Sunday, May 9, 2021

පුදුකුඩිඉරුප්පු

 ඒ 35 පාර පරන්තන් වලින් පටන් අරගෙන අවසන් වෙන්නෙ පුදුකුඩිඉරුප්පුවලින්. පුදුකුඩිඉරුප්පු කියන්නෙ මහ අමුතු නමක්.  ඒ පළාතේ ජනතාවට පමණක් හා සිතියමකට පමණක් සීමාවුනු  ඒ නම සිංහල ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ අවසන් යුධ කාලයේදී ඇතිවූ සංග්‍රාමික හේතූන් නිසා. එවකට එල්ටීටීඊ සංවිධාන නායකයාගේ භූගත නිවස පිහිටීමත්, සංග්‍රාමික වශයෙන් මෙන්ම ඒ ක්‍රියාදාමයන්හි  මර්මස්ථානයක් වශයෙනුත් වැදගත් වූ මෙි ප්‍රදේශය ආක්‍රමණය කරන්නට පටන්ගත් රජයේ හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ලකර ආපසු හැරවීමට ගත් නිශ්ඵල උත්සාහයත් නිසා තුඩ තුඩ රැවි දෙන්නට පටන්ගත් පුදුකුඩිඉරුප්පු නාමය ඒ 35 පැත්තට පාරේ දෙපැත්තෙන් කඩ කිහිපයකුත් යාපනය පාරේ කඩ කිහිපයකුත් තිබුනා හැරෙන්නට ඒක මහා විශාල නගරයක් නෙවෙයි. නමුත් යම් දියුණු මට්ටමක් ඒ නගරයේ තිබුනා වන්නට පුලුවන්. යමක් කමක් ඇති මිනිසුන් එහි වාසය කල බවටද සාක්ෂි දරන්නේ පළාතේ ඉදිවී තිබුනු නිවාස ගොඩනැගිලි පද්ධති. වන්නි මානුෂීය මෙහෙයුම අවසන් අධියරේ පවතිද්දි පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය මුදාගන්න කරපු සටන මට වඩා හොඳට දන්නෙ පාබල ඒකක වල සිටි සෙබළුන්. ඒ වෙද්දි මමත් හිටියෙ පාබල ඒකකයක් යටතේ. මං විතරක් නෙමෙි අපේ ඒකකයේ බොහෝ දෙනෙක්. දින කිහිපයක් පුරාවට ඉතා දරුණු සහ බිහිසුනු සටන් රැළි කිහිපයක්ම මෙි ප්‍රදේශයේ ඇවිලී යනවා. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. ප්‍රභාකරන්ගෙ ලොකු පුතා මෙි සටන් වලට පෙරමුණ ගෙන සහභාගි වීමත් ඒ වෙනුවෙන්  උපරිම ශක්තියක් මෙන්ම ආරක්ෂාවක්  පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය බෙිරාගැනිමට ඔවුන්ට යොදවන්නට සිදුවුනා. තවද සංග්‍රාමික වශයෙන් මෙි ප්‍රදේශය ඔවුන්ට ඉතා වැදගත්වුනා. ඔවුන්ගෙ ආත්මගරුත්වය රැඳිල තිබුනෙත් පුදුකුඩිඉරුප්පු කියන නගරෙ මැද. කිළිනොච්චි තමන්ගේ බළකොටුව බිඳවැටීමෙන් පසු වියරු වැටී සිටි ලේ පිපාසිත ත්‍රස්තයන් අඩුම වශයෙන් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙන් එහාටවත් රැකගැනීමට තමන්ට හැකි උපරිම ප්‍රයත්නය දරන්නට වුනා. මෙි වෙද්දි සීමිත ඉඩ ප්‍රමාණයකට කොටුවුනු ත්‍රස්තවාදීන් තමන්ගේ ඊනියා විමුක්ති ඊළම වෙනුවෙන් කාන්තා බලඇණි පවා සටන් පෙරමුනට කැඳවා තිබුනා.වැඩියම මැරුනෙත් කෙල්ලො මට හිතෙන විදියට. ඒ ශ්‍රෙණියේ මාර්ගයක්වුවත් ඒක අබලන් පාරක්. බොහොමයක් ප්‍රධාන මාර්ග පද්ධතිි තිබුනේ මැටි පාරවල් විදිහට. මුලතිව් වට්ටාප්පලෛ පිහිටි අදටත් ඉන්දියාවෙන් පවා බැතිමතුන් පැමිනෙන මහා කෝවිලක්වූ ගණපති කෝවිලට (මට මතක ඒ නම) එන්න තවත් ප්‍රධාන පාරක් වැටිල තිබුනෙ මෙි නගරය ආසන්නයෙන්. මෙි කෝවිල සම්බන්ධවත් ප්‍රසිද්ධ කතාවක් තියෙනව. ඒ මහා පූජාව දවසට කෝවිලේ පහන් පත්තු කරන්නේ ඒ අසලින් පිහිටි කලපු වතුරෙන් කියලා. ඒක වෙන්නෙ කොහොමද කියලනම් දන්නෑ.නමුත් අපේ දේවාලවල වගේ දිය කපන උත්සවය දවසට පහන් පත්තු කරනවා කියන්නෙ ඔය කලපු වතුරෙන් තමා.ඒකට දේවගැතිතැන දවස් කිහිපයක් යාග පවත්වලා අවසාන යාගය කලපුවට බැහැලා කරල ඒ අවස්ථාවෙ ගන්න කළපු වතුරෙන්ලු පහන් පත්තු කරනවා කියන්නෙ. ඇත්ත හෝ වෙිවා බොරු හෝ වෙිවා එහෙම කතාවක් තියෙනවා. ආයෙ ඒ කෝවිල් භූමියේ පිහිටි කොහොඹ ගහකින් එළකිරි ගලා යනව කියලත් කතාවක් තියෙනවා. විද්‍යාත්මකව විග්‍රහ කරනවනම් ඒව හුදෙක් ප්‍රයෝග විතරක් වෙන්න පුලුවන්. නමුත් කොහොඹ ගහේ කතාවනම් ඇත්ත කියල ඒ උත්සවයකට දන්සැලක් දෙන්න ගියපු අපේ හමුදා මිතුරන් කිහිප දෙනෙක්ම පසු කාලිනව මා අතින් කියල තියෙනව. එයාලත් දැකල තියෙන්නෙ ගහේ දෙබලකින් කිරි එනවා විතරයි. එන විදිය දැක්කට එන ක්‍රමය ඒ කව්රුත් දන්නෑ.  පරන්තන් පැත්තෙ ඉඳල නගරය දෙසට මුහුන ලා හිට ගත්තම දකුණ ඔඩ්ඩුසුඩාන් වලටත් වමට යාපනයත් ලෙසින් මෙි පාර මා දන්නා අයගෙන් අසා දැනගත් පරිදි පරණ නුවර - යාපනය පාර. මෙි ඒ 35 පාරෙ තිබිල එක් අවස්ථාවකදි ගුවන් හමුදාවට පහර දීල පැහැර ගත්තු ලෑන්ඩ් රෝවර් රථයක් හමුවුනා. ඒක ඒ වෙද්දි කැඩිල තිබුනත් ඊට ටික දවසකට කලිනුත් පාවිච්චි කරල තිබුනු බවට සාධක තිබුනා. ඒ, ඒකට බර අවියක් හයි කරල. ඒව අරන් යන්න බැරිවුනු තැන වාහනය දාල අවිය අරන් ගිහින් තිබුනෙ. 

 

 මානුෂීය මෙහෙයුමෙිදි ඊට ටිකක් පිටුපසින් හිටපු අපේ ඒකකයත් පියවරෙන් පියවර ඒ සටනට සහභාගි වෙන්න ලෑස්තිවුනා. ඒ වෙද්දි අණදීමත් ටිකක් වෙනස් වෙලා තිබුනෙ. නමුත් ගේම අතාරින්න දෙපාර්ශ්වයම දැක්වූ අකමැත්ත මත ත්‍රස්තවාදීන් තමන්ගේ භූමි ප්‍රදේශය වෙනුවෙනුත් හමුදාව රට වෙනුවෙනුත් ජීවිතාශාව කෙළ පිඩක් මෙන් ඉවතලා මෙි සටනට මුහුණ දෙන්න පටන් ගත්තා. පුදුකුඩිඉරුප්පු වලින් දකුණු පැත්තට වෙන්න, ඒ කියන්නෙ ඔඩ්ඩුසුඩාන් පැත්තට වෙන්න ඉතාම දරුණු විදිහට සටන් ඇවිලී ගියා. එහිදි ලාන්ස් කෝප්‍රල් වරයෙක් පුපුරණ ද්‍රව්‍ය පටවාගත්තු සතුරාගේ වාහනයකට ආර්පීජී ප්‍රහාරයක් එල්ල කරනවා. ඒක පුපුරා යාමෙිදී ඇතිවුන කම්පනයට ඔහුත් එතනදීම මිය යනවා. තමන්ගේ ජීවිතයට විය හැකි හානිය ඉවතලා තම සහෝදර සෙබළුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සිදුකල ඒ ක්‍රියවට ඔහු හමුදාව තුළත් ඔබෙිත් මගේත් හදවත් තුලත් වීරත්වයට පත් වෙනවා. මෙි සටන් වෙන රටක සිදුවුනානං ඒ ගැන නිශ්පාදනය වෙන සිනමාපටි ගණන මෙතෙකැයි කියල කියන්න බැහැ. ඒවා ලෝක පූජිත මට්ටමෙි සිනමාපටි වෙන්නත් පුලුවන් බොහෝදුරට. මොකද ගොඩක් රටවල් වල සත්‍ය පසුබිම් කරගෙන නිශ්පාදනය වුනු ඉතා ජනප්‍රිය සංග්‍රාමික සටන් ඇති චිත්‍රපටිවල පවා අපේ සිංහලයා තරම් කැපවීමෙන් වගකීමෙන් උපාය ශීලිව උපක්‍රමශීලීව මෙන්ම තමන්ගේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ගාමිණී කුලරත්නලාගේ කතා වස්තු නෑ. කලින් කිව්ව විශේෂ බළකා සෙබළාගේ භූමිකාව නෑ.අවසන් කල මුහුදේ ඇතිවුනු දරුණු සටනකදි තමන්ගේ ඩෝරාවත් තම සගයන්ගේ ජිවිතත් වෙනුවෙන්,  ඩෝරාව දෙසට නාවික ආරක්ෂක වැටෙන් මිදී  පුපුරණ ද්‍රව්‍ය පුරවාගෙන වෙිගයෙන් හඹා ආ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ බෝට්ටුවෙි තමන්ගේ බෝට්ටුව හැප්පීමට සලස්වා එතෙක් තමාට අණදුන් නිලධාරියාගේ සහ සහෝදර නාවිකයන්ගේ දෑස් ඉදිරිපිට මරාගෙන මැරෙන නායක නැවි සෙබළාකුගේ භූමිකාව නෑ. මුහුදේම ඇතිවුනු තවත් සටනකදි තමා මියයන බව දැන දැනත් ඒ ගැන නොතකා කොටි බෝට්ටුවකට එල්ලකල ප්‍රහාරයකදි කොටි සෙබළාගේ ආර්පිජී උණ්ඩය පපුවෙන් පිළිගන්න ගමන් ඊට මිලි තත්පර දශම අරික්කාලකට පෙර ඒ ආර්පීජී ප්‍රහාර එල්ලකරන  කොටියාවද මරාදැමූ නාවිකයෙකුගේ භූමිකාව නෑ.  ඒ ගැන අපි දන්නෙ සටනට සහභාගි වූ නිසාත් ඔබ දන්නෙ ප්‍රවෘත්තිවලට පෙන්නපු විනාඩි දෙකේ විස්තරයනුත් විතරයි. 


අපිට මෙි සටනට සහභාගි වෙන්න සිදුවුනේ මහ රෑක. ඒ වෙද්දි දවසක් පුරාවට ඇතිවුනු සටන් හේතුවෙන්  භඨ පිරිස් නැවත ප්‍රථිසංවිධානය වන තෙක්. මෙි කතාවට අදාලව එදා මට හිමිවුනේ සටන් පෙරමුන⁣ට ආහාර සහ වතුර සැපයීමෙි භූමිකාව. ඒ දිවා කාලයට මෙන්ම රෑ කාලයටත්. ඒක රොටරියක්. අද මම, හෙට වෙන කෙනෙක්, ඊලඟ දවසට තවත් කෙනෙක් වශයෙන්. පිටුපස සිට 16×16 ලන්ච් ෂීට් එකේ එතෙන මෙලෝ රහක් නැතුව හැඳි ගෑවෙන මගේ බැචා වූ පේමරත්නයන්ගේ සහ සැරයන් සරත්චන්ද්‍රයන්ගේ ආදරණීය හැඳි මාළු පිනි එක්ක ඇට බාගෙට තැම්බිච්චි බත් පාර්සල් ඉදිරි පෙලට සපයනවා කියන්නෙ ලේසි පාසු කාර්‍යයක් නෙමෙයි. බත් ඇට බාගෙට තැම්බිච්චි දවසක සැරයන් සරත්චන්ද්‍රගෙන් බත් පාර්සල්වලට අමතරව ගිනි පෙනෙලි මිටියකුත් බැඳල ඉල්ලල ඒකටත් මං පරිප්පු   හොදි නෑඹිලියක් නාල හිටියෙ. *සැරයන් සරා.. අදනං ගිනි පෙනෙලි මිටියකුත් ඔින වෙයි ඈ.

*අර මක්කටැයි  ගිනි පේලි

*අදනං බත් ටිකක් ඉදිල මදි වගේ නේද බැචා??

*ඉතින් ඒකට මක්කටැයි හු*@&තො ගිනි පේලි

*සරලයිනෙ, කෑම පාර්සලෙත් එක්ක පොයින්ට් එකකට එක ගිනිපෙනෙල්ලක් දෙනවා *@&කේ ගහගන්න කියල. එතකොට ඉතිරි හරිය බඩෙිදි ඉදෙනවනෙ..

ඒක කියනවත් එක්කම තමා දූ @&#%ත්තිගෙ පුතා යන්ඩ කියල කෝප්‍රල් කෙනෙක් වෙච්චි ආරච්චිට අතේ තිබ්බ පරිප්පු හොදි නෑඹිලියෙන්  නෑවෙන්නම සැරයන් කෙනෙක් දමල ඇරියෙ. 


ඒ කෑම පාර්සල් උන් ඉන්න තැන් හොය හොයා ලඟටම ගිහින් දෙනවා කියන්නෙත් සටනට සහභාගිවුනාට වඩා අනතුරුදායක ක්‍රියාවක්. ඒක රෑකට කරනවා කියන්නෙ ඊටත් එහා ගියපු අනතුරුදායක ක්‍රියාන්විතයක්. එදා රෑ මුල් හරියෙ ටිකක් නිස්කලංකව ගෙවී යන්නෙ. දවසක් පුරාවටම පැවතුනු සටන් නිසා දෙපැත්තම ටිකක් පෙඩප් වෙලා හිටියෙ. අපිව අනුයුක්ත කරල හිටියෙ ගැමුණු බළ ඇණියක් එක්ක. උදේ කෑම දවල්ටත් දවල් කෑම හවසටත් ගෙනිහිං දීල රෑ කෑම ගෙනිහින් දෙන්න වෙලාවක් හොයාගන්න මටම සෑහෙන වෙලාවක් ගිහින් තිබුනෙ. ගණනින් පාර්සල් අසූ හතරක්. ගෙනියන්න ඔින කිලෝමීටර් තුනක් විතර කරේ. වාහන අරන් යන්න බෑ, උං දන්නවා කෑම එන්නෙ කියලා. එතකොට උංගෙ මෝටාර් අවදිවෙනවා. යන්න පොඩි පොඩි වාහනත් හමුදාවෙ නෑ. කෙමනටයි හබකෙටයි අරකටයි මෙිකටයි ඔක්කෝටම තිබුනෙ ළමයින්ගෙ වාහනේ (ට්‍රැක්ටරය) සහ  අපේ ඒකකය වෙනුවෙන් අනූපමෙිය මෙහෙයක් ඉටුකර විශ්‍රාම ලබා ගන්නා අටියෙන් හති ඇර ඇර හිටපු යුහ 6993 ආදරණීය සංඥා කොමළි පත ලේලන්ඩ් රාජිණිය. ඒකටත් ඒ වෙද්දි අපේ බැච් එකේ සේවා කාලයමයි. 


නච්චිකුඩා ලයින් එක කඩාගෙන ඉදිරියට යද්දි අපි ගංවතුරකට කොටු වෙනවා. එහිදී භඨ පිරිසක් කලපුවත් මුහුදත් අතරමැද කුඩා බිම් කඩකට කොටුවෙනවා.එතකොට පැවතුනු අධික වර්ෂාව නිසාත් ගමනා ගමනයට තිබුනු එකම පාරත් ගිල්මක් තරම් යට වෙද්දි ඊට ටිකක් කලින් සංඥා කොමළි යුද්ධය මැද්දෙම ඉස්සරහදි ගං වතුරට කොටුවෙනවා. එතකොට පාරවල් ඔක්කෝම මඩවෙලා ලිස්සනවා. ඒ වතුරට යට නොවුනු හරිය. ඒ පාරවල් කැපුවෙත් ඒ දවස්වලම ඉංජිනේරු බළකායෙන්. ඒක තමා අපේ ප්‍රධාන සැපයුම් මාර්ගය. මෙි පාරේ ගමනක් යද්දි එක තැනක කොමළි එරෙනවා. ගන්න මොන විදියකින්වත් බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික එරුණු කොමළි පෙරලෙන ස්වභාවයට පත් වෙනවා. ඒ පෙරලෙන එක නවත්තලා යලිත් සිව් පයෙන් නගා සිටවන්න බලාගෙන  එතනට යුධ ටැංකියක් එනවා. ඒකත් එරෙනවා. ඒ දෙකම ගන්න යුධ ටැංකි රිකවරිය එනවා. ඒකත් එරෙනවා. ඔය ආකාරයට හවස් වෙද්දි යුධ යැංකි තුනක් හෝ හතරක් එරෙනවා. තව ට්‍රැක්ටරයකුත් ලොරියකුත් එරෙනවා. එතකොට යුද්ධෙ පැත්තකින් තියලා මෙිව ගොඩ ගන්න තමා මූලිකත්වය තිබුනෙ. මෙි එකකින්වත් පළක් නොවුනු තැන කොමළි රාජිනිය පාරක් පල්ලෙ ඉඳන් අපේ හදවත් පාරමින් කාත් කව්රුත් නැති අසරණියක් විදියට කණපිට ගහනවා. ඒ වාහන එරිලා පෙරලිලා තිබුනු හැටි දැක්ක පළමු වතාවෙම මගේ සිහියට ආවෙම කලිෆායි අර තට්ටයගෙයි එක් ඉරියව්වක් ගැන. මං ඔික එතන හයියෙන් කියවද්දි මාත් එක්ක හිටපු උප අනි තුමා (දෙවන අණ දෙන නිළධාරි තුමා) කිව්වෙ "තොටත් ඔින්නැති හු*@&#%$ක් නෑ, කියලා. එතකොට තමා මට "2ICත් ඉන්නවනෙ යකෝ" කියල මතක්වුනේ. ඒ දවස්වල ඔය සයිට් බලන්න තරම් තාක්ෂණයක් මං ගාව නොතිබුනත් ඒවා අපිට හම්බවුනු පත්තර කෑලිවල යස අගේට ප්‍රින්ට් වෙලා තිබුනා. ඒව අපි යුධ බිමට අරන් යන්නෙ මැදවච්චියෙන්. නැත්තං අනුරපුර ශුද්ධවූ නගරයෙන්. එහෙ ඒව විකුනන්නම කට්ටියකුත් හිටියනෙ. එවුන්දැලා දැන් කෝටිපතියලු හමුදාවට පත්තර විකුණලම. ඔිව කියන්න ලැජ්ජ වෙන්න ඔින නෑ ෆෙන්ස්. ඒක තමා යථාර්තය. ඇත්ත ඇති සැටියෙන්ම කීවෙ ඒකයි. නම් දෙකනං වර්තමානයෙන් ගත්තෙ ඈ. අපේ උන්දැ කියනව වගේම "පිට ගියා". මං කිව්වෙ කතාව. උන්දැ කියන්නෙ වෙන එකක්නෙ. ඒ කණපිට ගහපු කොමළිය ගොඩ ගන්න දවස් දෙකක් ගත වෙනවා. අපේ රිකවරියකුත් පෙරලිලා එතන හෙන අංජබජල් තත්ත්වයක් උදාවුනාට පස්සෙ ඒ ඔක්කෝම ගොඩ දාගන්න පුලුවන් වුනේ ලමයිගෙ වාහනේකටත් තවත් යුධ ටැංකියකටත් විතරයි. අපි නොහිතන අය ළඟ හෙන ජවයක් තියෙනවා. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කලේ ළමයින්ගෙ වාහනේ නොහොත් මහ ටැට්ටරේ. එතනින් පස්සෙත් කොමළි නිශ්ශබ්දව හිටියෙ නෑ. තමන්ගෙ සේවාව අඛණ්ඩව යුධ පෙරමුනට ලබා දුන්නා. එදා කෑම අදින්න තිබුනෙ ඔය වාහන දෙක විතරයි.


කෑම පාර්සල් 90ක් (නිළධාරින්ගෙ ඒවත් එක්ක)පෝර මලු දෙකක දාගෙන චප්ප චෝරු වෙනකං කිලෝමීටර් ගානක් පයින් යන්න බෑ. මොකද තියන අඩියක් අඩියක් පාසා යට කෑම තැලෙනව. උඩ කෑම තරුවලට, යට කෑම පටි වලට උනත් ඒවාට හානියක් නොවී ඔක්කෝම කෑම පෙරමුණට ලබා දීමෙන් මුවින් මුව පේමාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමෙන් පිනකුත් ඇති වෙන නිසා පරවෙිසමෙන් හැමෝටම එක වගේ කෑම ලබාදීමත් වගකිමක්. ඒ නිසා කෑම ටික රෑ හයහමාරට විතර පෝරමලු දෙකක දාගෙන කරක් ගැහුවෙ අණදෙන නිලධාරි තුමාගේ යතුරු පැදියට ඉව අල්ලගෙන. ඒක මහ අමුතු බයික් රාජයෙක්.ඔිකෙ ගියපු එකෙක් කවදාවත් යහතින් ආපහු ඇවිල්ල නෑ. හොඳටම ආවෙ නැත්තෙත් අපේ කපිතන් කෙනෙක්ම තමා. ඒකෙ මූනටත් මාර අපලයක් තිබුනෙ. පොඩි වෙන්නෙම මූනමයි. මට ඒවා වැඩක් නෑ. මොකද  ඔික පැදපු හැම දවසකම මාත් ආවෙ මූන විතරක් නෙමෙි අතපයත් එක්ක ලෙලි ගහගෙනම තමා. ඒත් සීඔිගෙ බයිකෙ නිසා ඒක පරිස්සම් කිරීම ඇඟට වගේම පඩි පතටත් ගුණ දායක හිංද පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ස්ථිර අධිෂ්ටාන ඇති කරගෙන ගියා එම්ටී එක පැත්තට. ඒකෙ දළය ඉන්නෙත් මගෙ බැචෙක්ම තමා. නම පියදාස. මූ පියදාස කිව්වට උදේ ඉස්සරහට හම්බුනොත් ඇල්ටොත් නෑ,බුල්ටොත් නෑ සල්ලිත් නෑ, සනීපත් නෑ තමා. මට ඒ දවස්වල දෙවියෙක් හදිසියේ පහල වෙලා වරමක් දුන්නනං කෝටි ගනන් වස්තුව ඉල්ලන්නෑ. ඉල්ලන්නෙ අපේ ඒකකයේ හිටපු ඔය කීප දෙනෙක්ගෙ නම් වෙනස් කරල දෙන්න දෙවියනි කියල විතරයි. එකෙක් හිටියා කිරා කියල. ඉස්සෙල්ලම ඉල්ලන්නෙ උගේ ඒ නම වෙනස් කරල දෙන්න කියල. මුගේ නම කිරා. කිරන්නෙම නිදිමයි.නිදි කිරාගත්තු ගමන්මයි. පොයින්ට් එකක සෙන්ට්‍රි දැම්මොත් නිදි කිරන එකම තමයි වැඩෙි. කොටි දාහක් උගේ පොයින්ට් එක ඉස්සරහිං කුන්චනාාද බෙර හේවිසි තම්මැට්ටං ගහගෙන වරෙන්, ඌ බලන්නෙ ඌට ඇහැරිච්චි වෙලාවක තමා. පස්සෙ ඌව අපි තියාගත්තෙ අතවැසියෙක් විදියට.  හත්වලාමෙි කියන්නෙ ඔය උන්දැලාට නම් තියාපු ඈයො කවදාහරි මගෙ මූනට මුලිච්චි වෙයන් දෙයියනේ කිය කිය පලිසක්කර ගහපු කාලෙකුත් තිබුනා. 


මාත් එම්ටී එක පැත්තට ගිහින්;

*ඔි පියා පියා... කියල පියදාසව ඇමතුවා.

*කූ තුලාදියා කියල පියදාසත් බිත්තියට ඉටි රෙද්දක් ආවරණය කරල හදපු තාවලකාලික වල කක්කුස්සියක සබ්ජෙක්ට් එක කර කර ඉන්න ගමන්ම ඉටිරෙද්දට උඩින් හොල්මනක් වගේ ඔලුව දාල පිලිතුරු දුන්නා.

ගඳත් ඉවසගෙන පැමිණි අවශ්‍යතාවය වල කකුස්සියේ මෙපිට ඉඳන් කිව්වහම 

*සීඔි කියල තියෙන්නෙ කාටවත් දෙන්න එපා කියලා. ළමයින්ගෙ වාහනේ පලයන්

*පිස්සුද බං ඒකෙ යන්න. මැරුම්කන්ඩ වෙන්නෙ. අනේ බං සක දෙයියන්ට ටෝකක් දීල ඉල්ලා දියංකො. දෑස වගේ පරිස්සං කරලා ගේන්නං කියල කීප වතාවක්ම පොරොන්දු උනාම ඌ සක දෙයියන්ගෙන් අහල පිලිතුරක් දෙන්නං කිව්වා. මාත් බලාපොරොත්තුවෙි දෑස් දල්ලගෙන පියා පස්සෙන්ම වැටිලා දේව විමානෙට ගියේ සතුටුදායක පිළිතුරක් බලාගෙන. පිළිතුර හම්බුනා. ඒ පොරොන්දු අවවාද අනුශාසනා රැසකට පස්සෙ. දැන් ඉතින් කාට බයවෙන්නද? යතුරත් ඉල්ලගෙන බයිකෙත් අරං පූවා නොහොත් ජයසිංහයත් පටෝගෙන මාත් කට්ට කලුවරේ ඒත් හැත්තැවට ටිකක් අඩුවෙන් පැදගෙන පැදගෙන ගියේ ආයෙ සටනක් යන්න කලින් ලයින් එකට කෑම ටික දීලා උන්ගෙ බඩවල් ටික පුරවන්න බලාගෙන. මාත් ගියා. ලයිට් දාගෙන යන්න බෑ ලයින් එක කිට්ටුවෙ. ලයිටුත් ඔිප් කරගෙන ඇන්ජිමෙි සද්දෙත් අඩුකරගෙන හතලිහට විතර පාරෙ දක්කගෙන ගිහින් ලයින් එකට මීටර් 100ක් විතර මෙහායින් නවත්තල දෙන්නම උර දෙක කරේ තියාගෙන ලයින් එකට වැදුනා. ඒ ගිය ගමනනං මට ජීවිතේට අමතක වෙන්නෑ. එදා ලයින් එක කඩාගෙන ටෙරා පනින සයිස් එකක් තිබුනෙ. ඒ වෙද්දිත් කොනකින් ටෙරා පැනල ආටි ලයින් එකට රිංගලා කියල කතාවක් ගිහින් තිබුනෙ. එහෙම යන්නනං සොලා ලොසා වෙන්න ඔින. මංනං ඔය කට කතා විස්සාස කරන්නෑ. ඒත් ඒව විස්වාස කරන ගොන් කණු අනන්තවත් ලයින් එකේ හිටියා. ගැමුණු පොයින්ට් එකක් ගාවින් යන්න උනේ යුධාදිකරණයකින් අහන වගේ පස්න වැලකට උත්තර දීල. නැත්තං දෙකක් නෑ, උන් වෙඩි තියනවා. මා එක්ක කතා කලෙත් "ටික්ස්" සද්දෙන් අවියෙ සේප්ටිය පොකුරු උන්ඩ පිටවෙන තැනටම දාල. ඒ සද්දෙ මොකද්ද කියල අමුතුවෙන් සොලාට ඉගෙන ගන්ඩ ඔින නැති හිංදා , හිටියෙ මොකා උනත් මට එක පාරටම කියවුනෙ " සිග්නල් රෑ කෑම ටික හු%@$#තො" කියල. ඒත් මූ යවන පාටක් නෑ, හේමන්තයාට පාස්වර්ඩ් එක අමතක වෙලා විසිට් එකේ ආපු කෝපල්ලව කල් බැලෙව්වා වාගෙ මූත් මට කල් බලවන්ඩද කොහෙද හදන්නෙ කියල හිතුනා.  ඒකත් හොද වෙලාවට කෝපල් රාජනායක කියල පොරක් හිටපු හිංද පොර මගේ කටහඬ අදුරගෙන  "එවහං මල්ලි" කියල පොයින්ට් එකේ සෙන්ට්‍රිට කිව්වට පස්සෙ තමා අපි දෙන්නව ඇරියෙ. පස්සෙ පොරත් එක්කත් විනාඩියක් විතර ටෝක් කරලා ආයෙ ගස් පාමුලයි,මුල් පාමුලයි,ගල් පල්ලෙයි,කානු පල්ලෙයි වැටි වැටි කට්ට කරුවලේ ගිහින් කෑම ටික බෙදුවා. ඒත් එක් නිලධාරියෙක් හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා. යද්දි බඩිය සෙන්ට්‍රි තියල ලුතිතන් ජයන්ත බුදි. ඒකත් වැලි කන්දක් පාමුල. ඇගේ හැප්පුනාට පේන්නෑ. කට්ට කරුවල. මට ඇත්තටම එදානං පව් කියල හිතුනා. "හමුදාවකට කල යාද මෙහෙම ගස් යට" කියල හිතුනා. හැබැයි ඉතින් තව ටික දවසයිනෙ කියලත් හිතුනා. අනික  සොලාට රෝස පෙති ඉහිරිච්චි මල් යහනා උරුම නෑනෙ. ගස් ගල් යට තමා වාසෙ.

සර්ටයි බඩියටයි ගෙනාපු කෑමත් දීල ආයෙ අමුතුවෙන් පාරට එන්න ආවෙ ගිය පාර හොයාගන්න බැරුව නන්නත්තාරවෙලා. ඒ යද්දි එද්දිත් එහෙං මෙහෙං දෙපැත්තම සැරින් සැරේ ටොක් බා ගන්නවා. දෙගොල්ල අතර පරතරය ඒ හැටි දුරක් නෑ. මූනට මූන වගේ හිටියෙ. උං ටවුමෙ. අපේ අය ඊට මීටර පනහක් හැත්තැපහක් විතර මෙහා. ආයෙත් අර පාරෙම ඇවිත් ගෙවල් මංඩියකින් පාර වැරදිච්චි පාර මතුවුනේ බයිකෙටත් මීටර් දෙසීයක් විතර දුරකින්. ආයෙ එතන ඉදන් බයිකෙ දුන්නු පියාටත් බැන බැන බයිකෙ නවත්තල තිබ්බ තැනට ඇවිත් වැඩි සද්ද බද්ද නොකර ස්ටාර්ට් කරගෙන අපි දෙන්න එන්න පිටත්වුනා. ඒ ආපු ගමනෙ සිහි වටන ඇඟ පුරාමයි. ඒව තාමත් තියෙනවා. එහෙම අපි දෙන්න ඔන්නං කිලෝ මීටරයක් එකහමාරක් විතර එන්න ඇති. කට්ට කරුවලේ මතකෙන් ආපු ගමනෙදි කොහේදෝ දඩාවතේ යන ධාතු අවලං පජාත නස්කූනි පඩත්තල එලුපට්ටියක් පාරෙ බුදියං ඉඳල උන් දෙතුන් දෙනෙක්ගෙම ඇඟවල් උඩින් "දඩ දඩ දඩ දඩස් හුටස් පටස් බෑහ් බෑහ් "ගාන  සද්දෙන් ගියා කිහාල්ලකො බයිකෙ. මට "අම්මොහ්" කියල කියාවුනා විතරයි මතක. හොම්බ නැවතුනෙ තවත් එලිච්චියකගෙ පස්සගාත් අස්සෙ ගිහිං. ඊයා අනේ...හුජ්ජ ගඳ උං ළඟ. 

නිකමුත් නෙමෙි ගියෙ දාර ගොම්බෙටි රාජයන් කිහිප දෙනෙකුත් ඉඹගෙනමයි. මං දැක්කා කරුවලේ උනත් ක්ෂිතිජයත් කඩාගෙන, පූවා ගගනගාමී හැඟීමකින් උඩින් උඩින් පාවී පාවී ගිහින් "දොක්" ගාල බිම වැටෙනවා. මට නැගිට ගන්න අමාරුයි. පූවටත් අමාරුයි. කෙඳිරිගාල කෙඳිරිගාල මං හිටපු තැන ඉඳගත්තා. ඒ අස්සෙ ස්ත්‍රී වර්ගයාම දූෂනය කරපු දරුණු පොරක් අවුරුදු දොලහක පුංචි කෙල්ලෙක් දූෂනය කරන්න ඒකිව අල්ලන්න පස්සෙන් පන්නනව  වගේ එළු එළිච්චියො ටිකත් නොහිතපු වෙලාවක පාත් වෙච්චි කුන්ඩවාලියෙන් කුලප්පු වෙලා "බැහෑ බැහෑ බැහෑ" ගාගෙන හිස් ලූ ලූ අත දුවනවා. පූවගෙ කෙඳිරියක්වත් නෑ. විනාඩි කීපයකට පස්සෙ  බෝහොම  අමාරුවෙන් නැගිටලා ගමන් සගයාට මොකදවුනේ කියල බලන්න යද්දි අවියෙ කොකින් හැඬල් එකත් ඔලුවට කිඳා බැහැලා ඔලුවත් තැරි ගහගෙන උඩුබැලි අතට හැරිල ලේ විලක් වගේ එකක් මැද පූවා කෙඳිරි ගග ගගා තනිවෙලා. මං ගිහින් ඌව නැගිට්ටුවා. කකුලක් ආබාධයි. ඇඟ හැමතැනම තුවාල. ඒක නම් ඉතින් අවුලක් නෑ මටත් තුවාලයිනෙ. ඊට පස්සෙ කෙඳිරිගගා බයිකෙ කෙලින් කලා. නෝ ස්ටාට්. නෝ ලයිට්. නෝ කවුලින්. කවුලින් එකයි ලයිටුයි කුඩෙි කුඩු. ගියර් පැඩල් එකයි ෆුට් රැක් එකයි පලස්තීනෙයි ගාසා තීරෙයි වගේ විරසක වෙලා. එකතු කරන්න හැදුවා හැදුවා බැරිම උනා. සිග්නල් ලයිට්නං ඔිකෙ තිබුනෙත් නෑ. ඒවා අපෞන්දැලා කලින්ම කුඩු කරලා තිබුනෙ. පැට්ටෝල් ගඳේ බෑ. හැඬල් එක ඔහොක් වෙලා. හරවන්න බෑ ටැංකියෙ වදිනවා. ටැංකිය තෙමිච්ච වෙසක්කූඩුවක් වගේ. අට පට්ටං දහ අට පට්ටං වෙලා. බොහොම අමාරුවෙන් දෙන්න කෙඳිරි ගග ගගා සයිකලේ තල්ලුකරගෙන මූලස්ථානෙටත් ආවට පස්සෙ තමා මතක්වුනේ "යකෝ මෙික සීඔිගෙ සයිකලේ" නෙ කියලා. අන්න එතකොටයි ලේ පරයා දාඩිය නැගෙන්න ගත්තෙ. දැන් කොහොමෙයි මූනක් බලාගෙන මෙික බාර දෙන්නෙ??. අපි දෙන්නා ඇතුලට යද්දිම ඉස්සරහ ගාඩ් කමාන්ඩර් වගේ හිටපු කෝපල් සමරෙ ගාව මම "අම්මෝහ්" කියාගෙන ඇද වැටුනට පස්සෙ උන්දැ බයිකෙ තියාගෙන අපිව එම් අයි ගාවට අරං ගියා. එතනින් සීඔිගෙ වාහනේම එම්ඩීඑස් එකට ගිහින් බෙහෙත් දාගත්තා. මටනං රූටල ගියපුවට ලෙලි ගිහින් විතරයි.  ඒ දාර ලෙලි ගියාපුවට බෙිත් දාල එදා එහෙ ඇඩ්මිට් කලා. මට වඩා පූවාට තුවාලයි. ඔලුවටම මැහුම් හතරක් දැම්මා. කකුලට පත්තු බැඳලා. දකුනු කකුලට මැහුම් පහක්ද හයක්ද කොහෙද දාල. කොන්දත් අවුල් වෙලාලු කියල පූවාමයි මටත් කිව්වෙ. කෝප්‍රල් සමරෙ එහෙං හනුම වගේ මුලු කඳවුරම ගිනි තියල. සමහරුන්ගෙ කන්වලට පණිවිඩෙි ගිහින් තිබුනෙත් කෑම බෙදන්න යද්දි කොටි වෙඩි තියල කියල. කොහෙම හරි සීඔි පහුවදා ලයින් එකට යන ගමන් අපි දෙන්නවත් බලන්න ආව. ඇවිත් කිව්ව එකටනං හදවත දාල පිච්චිලා ගියා ෆෙන්ස්.


"බයික් එකනං හදා ගන්ඩ බැරියැ අයිසෙ. බොරුවට අමාරු පෙන්නලා ඇඩ්මිට් වෙලා  ඉන්නැතුව ඉක්මනට එනවා" කිව්වා. හැබැයි මට ඒ වෙලාවෙත් හිතුනා මං ඒ ඇක්සිඩන්ට් එක ගැන දැක්ක හීනයක්වද්දත් කියල. ඇයි යකෝ අච්චරත් තැරි ගහගෙන ඉන්නැද්දි බොරුවට අමාරුව පෙන්නලා කිවේවෙ ඒකට. හැබැයි ඉතින් ඒකෙ ගත යුත්තක් නැත්තෙමත් නෑ තමා.මාත් ඉතින් ඔලුවට කූඤ්ඤ ගහනව වගේ ඩොට්ටර්, පපුව රේක්කෙකින් අදිනවා අදිනවා වගේ සර්, යටි කයේ නැංගුරමක් දාල වගේ සර් කිය කිය සහ තවත් අරහෙ මෙහෙ කැක්කුමයි කිය කිය ඩොක්ටලත් වටෙි යව යව හිටියෙ සීඔිට මුහුන දෙන්න බැරි හිංදම තමා. එහෙං අර වල් පියදාසයා පනිවිඩ පිට පනිවිඩ එවනවා මාව වෙිලකට උයලා හරක් මස් කියල ලයින් එකට යවනවලු ඔක්කොමල්ලට කන්ඩ කියල. පස්සෙ ඉතින් සීඔිගෙ නොනිමි සෙනෙහස හා ආදරය පිට එදා හවසම ටිකට් කපාගෙන ආපහු ඇතුලට ආව. ටිකට් කපාගන්න ඔින වෙලා එතන හිටපු සාජන් මෙිජර් බැලන්ස් කරන්න ගියාම ⁣එයා;

*ටිකට් කපන්න බෑනේ, අන්ඩපුර යවනව දෙන්නම එස්රේ ගන්න

*පිස්සුද සර් මට දැන් නිට්ටාවට සුවයිනෙ

*එහෙනං තමුසෙ ඩොක්ටර්ට කිව්වෙ අරෙහෙ මෙහෙ රිදෙනව කියලා..

*ඒ උදේනෙ. දැන් නෑ සර්. දවල් අපේ ලොකු තැන ඇවිත් අමාරු ඔක්කොම හොඳ කරල ගියෙ  සර්. අනේ ටිකට් කප්පල දෙන්න සර් අද හවස ඈ..

ඔිං ඔහොමයි හවස ආවෙ. ඊටත් පස්සෙන්දා තමා බයිකෙ හරියටම ඇස් දෙකට වැටුනෙ. ඒ වෙලාවෙනං මට "අනේ අප්පේ ගියපු දුරක්" කියල හිතිලා සීඕ ගැන අනූපමෙිය දුකක් පපුවෙ වම් පැත්තෙ තැම්පත්වුනා..හැබැයි ඉතින් අපි කට්ටියක් එකතුවෙලා යුද්දෙ ඉවරවුනාම කොටින්ගෙ බයික් හතර පහකින්ම කෑලි ගලවල සල්ලි වලටත් ගෙනල්ල බයිකෙ අති සුපිරියටම හැදුව. හැබැයි මාසයයි. ඒකටත් කෙහෙතගෙ අපලෙනෙ.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.10