Sunday, May 31, 2020

සමාධි බුදු සමිඳුනි



බුදු බව පතා අපමන දුක් කටොළු                විඳ
සිදුහත් ලෙසින් ඉපිදව කල්පයක                 මැද
සමතිස් පෙරුම් අවසන බුදු පදවි                  ලද
සමිඳුනි දම්සුතුර ගැන මට කියන                 වද

මුව මද සිනහ රැල්ලට සිත නතර             වුනේ
සිරිනෙත් යුගලයෙන් කරුණා ගුණය        දැනේ
පිරිසිඳ මසිත විඳවනු දැක විගස               කිනේ 
හිමියනි මටද ඔය විදියට සිනහ                සුනේ

ඉප දෙන මැරෙන සංසාරය                     අසාරය
පන්සාලිස් වසක් කල මුත්                      පචාරය
තවමත් එගැන මා නොකලෙමි             විචාරය
කෙලෙසින් වහන්නද ඉපදෙන                දුවාරය

නිතරම දෙසූ සද්දර්මයෙ කරුණ                  කට
සහ විඳවන විඳින බව කී වදන                    කට
නෑසුනු කන් වලින් ඉවතට හැරුනු           කොට
ඔබ ඉදිරියට එන වීරිය කොහෙද                  මට

සැකසිය නොහැකි ලෙස ජීවන ගමන්       මගේ
වැරදුන තැන් රැසක් ගැන පව් ලෙසින්    හැඟේ
ගැහෙනව පපුව සිහිවෙන විට බියෙන්     වගේ
කොහොමද යන්නෙ ඔබ හිමි දෙසු නිවන් මගේ

දුක පිරි ලොවෙන් පිටවන ලෙස සිතා           ගමී
ගල් වඩු තෙමෙි වෙසෙනා තැන සොයා        යමී
විමසා ඔබව නෙලු'යුරු මා ඔවා                    ගමී
ඔබ ඉදිරියේ මම මාවම නෙලා                      ගමී

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.31

පූබාලචන්ද්‍රන් හෙවත් කෝප්‍රල් දිසා

යුධ හමුදා ජීවිතය තුල මා රාජකාරි නොකල ස්ථානයක් මා සිතන ආකාරයට ලංකාවෙිනං නොමැත.1995 වසරේ ජනේරුවෙන් පසු රුදුරුවූත් කුරිරුවූත් ගරිල්ලා ත්‍රස්ථවාදීන් මෙි ලක් ධරණීතලයෙන්  මුළුමනින්ම අතුගා  දැමීම සඳහා ක්‍රියාත්මක කල සියළුම ක්‍රියාන්විතයන් වලින් මට සහභාගි වීමට නොහැකිවූයේ  සත්ජය 1 ක්‍රියාන්විතය පමණි. ඒ වන විට මා මැලේරියා රෝගයට ගොදුරුව රෝහල්ගතව සිටීම දැක්විය හැකිය.එම රෝගය සම්පූර්ණයෙන් සුවවුවද නිව්මෝනියා තත්ත්වයට  පත්වීමෙන් පසු රෝහල්ගත කිරීම නිසා මට වෛද්‍ය උපදෙස් මත විවෙික සුවයෙන් කඳවුර තුලම ගාල්වී සිටීමට සිදුවිය.එහෙත් එවකට පැවති භඨ පිරිස් ඌනතාවය මත 232 බළසේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරි සඳහා සහභාගිවීමට සිදුවිය. මෙි කතාව එහි රාජකාරි ඉටුකිරීමෙිදී සිදුවූ අත්දැකීමක් වුවද සිනහ උපදවන කරුණක්නම් නොවෙිමය.නමුදු සෙබළෙකුගේ පවතින චිත්ත ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය,එඩිතරභාවය  මනින සිදුවීමක් ලෙස මෙය දැක්විය හැකිය.

මා හට වෛද්‍යනිවාඩු වශයෙන් දින විසි අටක කාලයක් විවෙික සුවයෙන් ගතකිරීමට නිර්දේශ කර තිබුනද දින දහතුනකින් එම දින විසි අට අවසන් වූ නිසා ඉහත කී අංශය වෙත මාරුවීමට සිදුවිය.මට එහිදී පැවරුණු රාජකාරිය වූයේ ත්‍රස්ථවාදීන් අරක්ගත් ඔවුන්ගේ භූමියක සිට ඔවුන්ගේ තොරතුරු එක් රැස් කිරීමයි.විශේෂයෙන්ම ඔවුන්ගේ කඳවුරු, මාර්ග බාධක හා ඔවුන් නිතර නිතර ගමන් ගන්නා මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමය. මෙිජර් ජෙනරාල් නලින් අංගම්මන අපේ සේනාංක නායකයානන් බිම්බෝම්බයකට හසුව මිය යාමෙන් පසු මෙි රාජකාරි සඳහා බුද්ධි අංශ නිළධාරින් යෙදවීය.මා එයට පසුකාලීනව සම්බන්ධ වුනු සෙබළෙකි.

මා රාජකාරි සඳහා රපෝර්තු කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය.ඒ මා කොතෙක් දුරට මෙම රාජකාරිය සඳහා සුදුසුදැයි නිගමනය කිරීම සඳහායි.මා හට එදා මෙන් අදද දෙමළ භාශාව චතුර ලෙස හැසිරවීමෙි කුරිරු හැකියාවක් ඇත.මා විශ්‍රාම යනවිට දෙමළ භාෂා උපදේශකයෙකි.යුධහමුදාවට මෙන්ම පොලිස් නිළධාරින්ටද මා දෙමළ භාෂාව පාඨාමාලා මගින් උගන්වා තිබෙි.එහෙයින් මා ඉහත දැක්වූ සම්මුඛපරීක්ෂණයෙන් ඉහලින්ම සමත්විය.
* ප්‍රයිවට් ආරච්චි...තමුන්ට අපි පවරන්න යන්නේ විශේෂ රාජකාරියක්.මං හිතනව තමුන් ඒක සීයට සීයක් සාර්ථකව ඉටු කරයි කියල. බුද්ධිඅංශ භාර  නිළධාරිගේ උපදෙසකි.
* ඔව් සර්......  ඒ මම
* තමුන්ට තියෙන්නේ............. රාජකාරිය.පුලුවන් වෙයිද කරන්න.හැබැයි පුතෝ මෙික ජීවිතයත් මරණයත් අතර වෙන ගණුදෙනුවක්.තමුන් කව්ද කියල උන්ට ඉව වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉහත දැක්වූ මට පැවරුනු රාජකාරිය පිලිබඳ උපදෙස්ය ඒ.
* ගැටළුවක් නෑ සර්.මට පුළුවන්..මා එහි අවධානම් පැත්ත නොසිතාම එක සිතින්ම භාරගතිමි.
* බොහොම හොඳයි. කෙල්ලෙක් එහෙම නෑ කිව්ව නේද?
* තාම නෑ සර්
*තවත් හොඳයි.ඒ වුනාට තමුන් හෙට ඉඳන් කඳවුරෙන් නිදහස් වෙලා යන්නෙ අමුතුම සමාජයකට.ඒකෙදි තමුන්ට මුනගැහෙයි දෙමළ, මුස්ලිම් කෙල්ලො.පැහැදිලිද.එහෙමයි කියල උන් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ.මොකද තමුන්ගෙ ආරක්ෂාවටත් නිතරම අපේ සෙක්ෂන් එකේ අය ඔය ඒරියාවල සැරිසරනව.එහෙම උනොත් එයාලගෙන් මට තොරතුරු එනව.බැරි වෙලාවක්වත් එෆෙයාර් එකක් තිබුනොත් ගජමුතු දෙකෙන් එල්ලන්න සිද්දවෙනව අපට. (යකෝ මෙික යකාගෙ කතාවක්නෙ.සිංහල කෙල්ලෙකුත් නෑ.වෙන කෙල්ලෙක්වත් ටෝක් කරගන්නත් එපාලු.කමහ්නෑ ඉතින් මෙික හමුදාවනෙ)
* ඔව් සර්.මං සළකා බලන්නං.
*මොකක් ඔියි.සළකා බලන්නං?? ආයෙ කියනව බලන්න? ඔහු හයියෙන් හිනාවුනි.
මගේ කටෙි කුප්ප ගතිය කපිතාන් නිලාම්ට නොතේරෙන හැටි.
*නෑ සර් මං කිව්වෙ එහෙම වෙන්නෑ කියල.
*බොහොම හොඳයි.හැබැයි කෙල්ලො ඇරුනම තව කව්ද ඉන්නෙ?
* ගෑණු ඉන්නව සර්.
*අන්න හරි.කිසිම අවස්ථාවක කොටු පැනිලි එහෙ මෙහෙ පැනිලිනම් නම් බෑ පුතා.එහෙම උනොත් අර මං කලින් කිව්ව දඬුවමම තමා ඉෂූ වෙන්නෙ.තේරුනාද.
 ඇත්තටම මං කෙල්ලො නැතත් ගෑණු ඉන්නවනෙ කියල හිතුව විතරයි.ඒක ඔීසීට තේරිලා.පරිචිත්තවිජානන ඥානය තියෙනවද දන්නෑ කියලදත් මට හිතුනා.
*හරි සර්... මං බොහෝම ශෝකාකූල ස්වරයෙන් පිළිතුරු දුන්නා.
තවත් රාජකාරි ඉටුකරන විධිය ගැන මහා උපදෙස් ටොන් ගණනින් ලබා දී පැය කිහිපයකට පසු මාව නිදහස් කෙරිනි.
මට තිබුනේ පස් හා වැලි අදින මහ ට්‍රැක්ටරයක ගෝල වැඩෙයි.රියදුරා දෙමළය.ඔහු අපේ කපිතන් හඳුනන පුද්ගලයෙකි.ඔහු මාර්ගයෙන් මාහට එහි රස්සාවක් සෙට්වුනි.මට ඒ වෙනුවෙන් වැටුප දවසකට ඒ දවස්වල හැටියට රුපියල් පන්සියයකි.මට කරන්න තිබුනේ කැලයට ගොස් පස් ද වැලිද ඇනවුමෙි හැටියට ඒවා පටවාගෙන ට්‍රැක්ටරේම ගොස් ඇනවුම් කරුගේ නිවසට බෑමයි.මගේම කරුමෙට මෙි ලදරමෙිම හයිඩ්‍රොලික් පොම්පය වැඩ නැත.ඒ නිසා මාගේ සුරතින්ම අන්තිම වැලි කැටෙි දක්වා පැටවීමටත් බෑමටත් සිදුවිය. අරූ කිසිම අවස්ථාවක මට පුංචි හෝ සපොර්ට් එකක් දුන්නේ නැත.ඒ ගැන මගේ යටි හිතේ මහ විශාල තරහක්ද පැවතුනි.
නමුත් පොර එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැත.දවසකට ඔන්නම් වචන පනහක් පමණ ඔහු සමග කතා කරන්නට ඇත.ඒ බඩගිනී බං කෑම කාල ඉමුද, තේ එකක්වත් බොමුද බං,නවත්තහං හු=$*&තො.තොගෙ මෙි ලබ්බ හරියට රිවස් කරගන්ඩවත් බැරිද, හෝව් හෝව් ඇති ඇති,රායිට් යාමාං..... වගේ හැම තිස්සෙම භාවිතා වන වචන පමණකි.මා මෙහෙම සිංහලෙන් කීවාට මෙිවා අපි කතාකලේ දෙමළිනි.ඔහුත් මා සමගම ඇරියස් එකටම කටයුතු කරපු නව කුජීත පොරකි.අපි අතර කිසිම ඇයි හොඳයියක් නැත.නමුත් අනෙක් ට්‍රැක්ටර් කාරයින් සමග තරඟයට කටයුතු කිරීමෙිදී මාගේ මුඛයෙන් පිටවන හම්බ කුණු හරුප වැල් සඳහා ඔහුද මගේ පැත්තෙන් ඔහුගේ සහභාගිවීම අනන්ත පරිදි සීයේට සීයක්ම ඉටු කලේය. මගේ නවාතැන වූයේ කාවත්තමුනේ කෙරවලේම පැවති මුස්ලිම් ගම්මානයේ පාලු කඩකාමරයකි.එය මාසික කුලියට ලබාගත්තකි.කෑම තුන් වෙිලම කඩෙන්ය.ඒවාට ට්‍රැක්ටරේ දවසේ පඩියෙන් වැයවෙි.දවසටම කෑම සඳහා ඒ දවස්වල එකසිය පනහකි.තේ සිගරට් සඳහාද රුපියල් පනහක් උපරිම වැයවන්නට ඇත.එහෙත් මා සතුටින් මාගේ රාජකාරිය ඉටු කලෙමි.එල්ටීටීඊ මාර්ග බාධක හරහාද ඔවුන්ගේ ගම්මාන හරහාද මා ඔින තරම් ගොස් ඇත.ඔවුන් හා කතාබස් කොටද ඇත.බාස්කරන් යනු මගේ හොඳ හිතවන්තයෙකි.ඔහු හිතවත් වූයේද මෙි රැකියාවෙන්මය.නමුත් ඔහු අමුම අමු කොටියෙකි.කෙටියෙන්ම කීවොත් මූකුරාල් එල්ටීටීඊ කඳවුරේ හා ඒ පලාතටම එල්ටීටීඊ  අණදෙන නිළධාරියාය.පුදුමයට කරුණනම් මා රැකියාව කරන ට්‍රැක්ටරය ගමන් කරන්නේම උන් සිටින ඉසව් හරහාය.මෙය මට මුලින් මුලින් බිය හා සැකය කුතුහලය දනවන කරුණක් වුවද මාගේ රාජකාරියද එයම බැවින් මා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කලෙමි.ඒ රියදුරාගෙන් ඒ ගැන ඇසීමට මට ඇතිවුනු බියයි.මා හමුදාවෙි ඔත්තුකාරයෙකු බැව් ඔහු දැනගතහොත් මාව පාවා දෙනු ඇත.ඔවුන්ගෙම ජාතිය නසන්නට ආ සතුරෙකුයැයි දැනගත හොත් කැලේ මැදදීම ඔහුට මා ගේ සිරසට වැලි පටවන සවලෙන් දෙක තුනක් ඇන උත්සවශ්‍රියෙන් මාගේ අවසන් කටයුතු සිදුකල හැකිය.මගේ කට ගැන මා ද වැඩි විශ්වාසයක් නොතැබූ හෙයින් ඔිනෑවට වඩා කිසි කෙනෙකු සමග භජනයට නොගියෙමි.මා හට වරින් වර කඳවුරෙන්  ඉතා රහසේ ලැබෙන උපදෙස්ද මා අකුරටම ඉටු කලෙමි.මා  විසින් එල්ටීටී ඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සකසන ලද වාර්ථා හා මාර්ග,කඳවුරු සිතියම්ද දවසින් දවස ලැබෙන අළුත් තොරතුරුද ඉතාමත් රහසේ කඳවුරට ලැබෙන්නට සැලැස්වීය.ඒවා ඉහල  උපදෙස් පරිදි සිදුවන ඒවාය.ක්‍රම සහ විධි පැවසීම ඇවැසි නැත.
මෙසේ මාස අටක පමණ කාලයක් මා ඉතා හොඳින් මට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කලෙමි.නමුදු මෙි වන විට මා ට්‍රැක්ටරේ රියදුරා සමගද බද්ධ වෛරයෙන් පසුවුනෙමි.ඒ දෙදෙනාගේම එක එක කඩප්පුලි වැඩ හා කඩප්පුලි කටවල් නිසාය.ඔහුද මගේ එක්කුස උපන් සහොදරයෙකු මෙන්ය.මගේ පොටෝ එකක් මෙන්ය.මගේ වැඩ කෑල්ලමයි පොරටත් තිබුනේ.මා එක්වරක් වැඩට එන්නට පරක්කුවී ඔහු මා සොයාගෙන ඇවිත් සැපට නිදාගෙන සිටි මා කීද්දුවෙි ටැට්ටරයේ ටෙිලරය  තහඩු දොරේ හප්පාය.මා උඩ ගිහින් බිම වැටුනේ ආටියක්වත් වැටුනාද කිය සිතාය.ඒ තරමට සද්දේය.ඒ පාහර වැඩෙි කරලත් මූ හයියෙන් හක හක ගගා හිනාවෙන එක මට දිරෙව්වෙිම නැත.මා දන්නා උපරිම කුනුහරප වලින් ඔහුව අමතද්දී ඒවා නෑහෙන්නට මූ හිනාවෙිගනම  හයියෙන් ටැට්ටරය රේස්කරගෙන හිටියේය.ඔහුගේ නම පූ බාලචන්ඳුන්ය.ඔහු මා හඳුනාගෙන සිටියේ සදීස් කුමාර් වශයෙනි.මා මූට කිසි විටෙකවත් පූ යන වචනය භාවිතා නොකලෙමි.පූ යන්න දෙමලෙන් මල ය.මූ මලක්යැ.මහම මහ කාපිරි යකෙකි.කාපිරියන් ගෙනාව නැවකි.චන්ඳුන් යනු හඳය.මු හඳක්ද.මුගේ මූනේ අලි නාවන වලවල්ය.රැවුල වාකනේරි කැලේ වගේය.අලි ඇතුන් පමණක් මුගේ රැවුලේ නැත.අනිත් ඔක්කොම සත්තු සිටී.දත් අරියාදුවට පොල් හිටෙව්වා මෙනිය.හිනාවෙන විට කාටුන් එකක් මෙනි.හඳට කිසිසේත්ම නොගැලපේ.අනෙක අමු අමුවෙි හඳේ කීර්ති නාමයට කැලැලක් ඇති කිරීමටද නුපුලුවන.ඒ නිසා ඒ වචන දෙකම අයින් කර තරහටම "බාලා" කියා  ඇමතුවෙමි.එහෙත් බීඩියක් පත්තු කල විට මා අසලමය.එකල මා බීඩි භාවිතාකලේ බීමට නොවෙි.දෙමළ අය බීඩි පමණක් පාවිච්චි කල හෙයින් මාද උන්ගේ එකෙක් යැයි ඇඟවීමට හා වෙස්වලාගෙන සිටීමෙි උපායක් වශයෙනි.ගෝල්ඩ් ලීෆ් බීවෙි කැලේදි පමණය.ඒ කිසිවෙකුටත් නොපෙනෙන්නටය.නමුත් ඔහු මට කුමාර් යනුවෙන් ඇමතීම උගේ මනුස්ස ගතියකි.ඒ ගැන මා ආඩම්බර වෙමි.
මෙසේ මා හට පැවරුනු රාජකාරිය අවසන් වුනු පසු මා හට පණිවිඩයක් ආවෙි කඳවුරට පැමිණෙන ලෙසයි.ඒ සංවත්සරික උත්සවයක් සඳහාය.එයින්ම මගේ රාජකාරියද අවසන් විය.නියම කතාව ඉන් පසුවය.

මා කඳවුරට පැමිණ නා කියාගෙන නිළ ඇඳුමෙන් සැරසී නිළධරි අණදෙන මුන ගැසීම සඳහා පිටත්ව ගියෙමි.ඒ හමුදාවෙි පිළිවෙතකි.
මා කාර්යාලයට ගියද නිඅ තුමාහට පමුණුවන බවක් පෙනෙන්නට නොවීය.රෑට සංවත්සරය වෙනුවෙන් බියර් පාටියක්ද සංවිධානය කර තිබූ හෙයින් ඇති පදම් බීමට බඩ සුද්ද කරගැනීමටද තිබෙි.පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසු මා
* ඇයි සාජන් මාව ඔිසීට දාන්නැත්තෙ.
*පොඩ්ඩක් ඉන්න තව කෙනෙක් එන්න ඉන්නව.දෙන්නම එකට දාන්නෙ.
මා ඉවසුවෙිය.

ඊටත් පැය භාගෙකට පමණ පසු අනෙකා පැමිණියේය.දැකල පුරුදු මූනකි.හිනාවද අගේට පුරුදය.ගමන කතාව හොඳටම පුරුදුය.
එවිට සාජන්.
* ⁣ආ මෙි ආවෙ.කෝප්‍රල් දිසා කෑවද?
*කෑව සාජන්
*ට්‍රැක්ටරේ භාර දුන්නද.
*ඔව්.ඒක සීඑස්සී එකේ.හෙට සර්විස් කරන්න යවනව කියල...ඩොක්‍යුමන් වගේකට අත්සන් කලා.ඒක හදනකං එතන.ඒකයි පරක්කු උනේ.
*කෝප්‍රල් දිසා???
යකෝ මූ මගේ පරම හතුරා ට්‍රැක්ටරේ රියැදුරානෙ.යකෝ මූ කොහොමද ආමි උනේ??
*අඩෙි උඹ කොහේද මෙහෙ??
* මාත් ඒක තමයි අහන්න හැදුවෙ.එතකොට කෝප්‍රල් ආමිද.දෙමළ නෙමෙිද?
*නෑ යකෝ මං කෝප්‍රල් දිසානායක.උඹත් ආමිද.නම මොකද්ද.
*මං ආරච්චි. අපි දෙන්නට පැලෙන්නටම හිනාය.සීන් එක මාට්ටු උනේ මාස අටකට පසුය.එතකං අපි දෙන්නට දෙන්නා සැකෙන් කාලය ගතකලේ ඔහු, මා දෙමළ නිසාය.මා, ඔහු දෙමළ නිසාය.නමුත් දෙදෙනාම සිංහලය.එකම හමුදාවෙිය.මෙය අපගේ දුර්වලතාවයක් නොවෙි.
මා ඔබගෙන් පැණයක් අසමි.
"කොහොමද හමුදාවේ සංවිධානාත්මකභාවය"?? ආඩම්බරයි නේ???

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.03.16

Saturday, May 30, 2020

ටොම්බෝලා ආතල් එක

මෙි කතාව වෙන්නෙත් මඩකලපුව තානායම් කඳවුරේ. ඒ දවස්වල මඩකලපුවත් කියන්නෙ ඉතින් හරි සුන්දර ලස්සන තැනක් තමා.

⁣එදා හරි විනෝදකාමී දවසක්. ඒ දවස තව තවත් ආතල් බෝ වෙිවා කියල ආතල් එකේම ගෙවන්න තවත් දවසකට පලවෙනිම කික් එක ගත්තෙ පාන්දර අටට විතර අලුයමින්ම නැගිටලා පෙර දින රාත්‍රියේ ගසා ඉතිරිවූ  ගල් කාලකින් කට හෝදලා අටයි අට හාෆ් එකක් කිරි තේ කියල හිතාගෙන එක හුස්මට බීල. හමුදාවෙ තිස්දෙකයි දාසය කල්දේරමෙි හැඳිගාන ටී එකට පිටියි සීනියි කහටයි විතරයි මදි. අනික්ව ඔක්කෝම ඔිනෑවටත් වඩා තියෙන පසුබිමක ඒව කිරි තේ කියල අදුරගන්ඩ මිලී ලීටර් දෙසිය පනහෙ කෝප්පෙකින් කට කපල හතරක් වත් බොන්න ඔින.

එදා දවස අපිට විනෝද වෙන්නම විතරක් වෙන්කරපු හරි සුන්දර දවසක්.
ඒකට කියන්නෙ ටොම්බෝලා රාත්‍රිය කියලා. නමට රාත්‍රිය වෙච්චි ඔික පැවැත්තුවෙ පට්ට මද්දහනේ..

එදා ඉහල ඔිඩර්ස් එකක් ඇවිත් තිවුනා අටයි අට බෝතල් දෙකක රසය විඳගන්න ඔින කෙනෙකුට ඇහැක්ය කියල. අපි හැමදාම කාලගුනේ පොයින්ට් එකෙන් මැස්සෙක්ටවත් අහුනොවෙන්න හොරෙන් පැනල ගිහින් ගෙනත් ගහන පැලවත්ත බාගෙ හැබැයි මීට වඩා ආතල් එකක් දුන්නත් මෙික ලයිසන් පිටම හන්දා ඇල්වතුර හරි කමහ්නෑ වදිනවනං කැරකෙනවනං කියන මතයෙන් අපි හරි සංදෝසෙන් හිටියෙ. මෙදිනට බෑන්ඩ් එකක් ඉස්සරහ නටලා ඇඟ පොඩ්ඩක් ඒම හීනියට තලාගෙන කාරිය සීසීඑම්පී බුවාලටත් පේන්නම කැරකි කැරකි ඇවිත් කට දෙපැත්තෙන් විටමින් පාර ගලනකං ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නත් ආසයිනෙ. ඒ දවස්වල ඒව ඉතින් අපේ තිබුනු හීන.

මෙි කඳවුරට දවසක් ආටි ගහල අපේ අහිංසක  සුදාම්මිල දෙදෙනෙක් නිවන් ගිහින්, ඒ සොක්⁣ එකෙන්ම හූල්ල හූල්ල කාලෙ කක කකා හිටපු සහ ඒ එක්කෙනෙක්ගෙ "වෙන්ඩ" අයිති කාරයා වගෙ හිටපු බුවෙකුත් මෙි වෙද්දි අපි අතරෙ හිටියා. ඒ කිට්ටු කාලයක තමා මෙිකත් පැවැත්තුනේ.

මෙි වැඩසටහන භාරව මාත් එක භූමිකාවක ක්‍රියාකාරී සාමාජිකයෙක්. මට පැවරී තිබුනෙ බෑන්ඩ් එක ගහන වෙිදිකාවෙි ඉලෙක්ට්‍රීෂියන් සයිඩ් එකේ වැදගත් කාර්යබාරයක්. වයර්,විදුලි බුබුලු,ප්ලග් හෝල්ඩර්,මල්ටි ප්ලග්, අරව මෙිවා ඉල්ලන ඉල්ලන දේවල් ඒ සංගීත උත්තමයන්ගෙ දෙපාමුලටම ගිහින් දෙන්න.
ටෝම්බෝලා මහ දවාල වඩසටහන ආසාවෙන් සැමරීම වස් පෙරදින රැයෙත් හොඳහැටි කච්චෙිරියේ කොටුව උඩ පැලවත්ත දෙයියන්ගෙන් සල්ලං වුනු අපි Q ස්ටෝර්ස් එකේ ගැන්සිය මෙි වෙද්දි එකා දෙකා මෙලොව එලිය දකිමින් හිටියෙ.

*ආරච්චි.. වෙලාව කීයද බං.
*පාන්දර අටයි යකෝ . නැගිටහල්ල නැගිටහල්ල
*ඉඳකින්වත් බං. පැලවත්තම ගෙනාවනෙ එපා කියද්දිම.කාලකන්නි හැත්ත.
ඒ ලයනල් සිරිසේනගෙ කෙඳිරිය
*වෙිලි වෙිලි හිටපු විදියට පැලවත්ත දෙයියෙක් යකෝ.. ඒ මගෙ බැචා සුසන්ත බණ්ඩාර.
*මෙි අපි ආයෙ කවදාවත් පැලවත්ත නොගහ ඉමුද මගේ ආදරණීය යාලුවනේ. අපි ඒ වෙලාවට ලෝවැඩ සඟරාව හරි සිරිත් මල්දම හරි කියවමු.
ඒ බිලට් එකෙන් පිටට ඇහෙන්න කතා නොකරන සහ වීදුරුවට හලාගත්තු ටික කටට හලාගන්නත් ලැජ්ජාවෙන් මූන හංගන අහිංසක කෝපල් ජයතිලක.

ඔය කොච්චර මුං පැලවත්ත එපා කිව්වත් හවස හතර වෙද්දි සීය සීය සම්මාදන්වෙලා සෙට්වෙන්නෙම පැලවත්ත එකකට තමා.

ඉතින් ඔහොම ඊයෙ ඉතුරු වෙච්චැයින් උදේ හිස්බඩම අටයි අට බෝතල් බාගෙකින් සන්තර්පනය වෙලා යන්නෙ කොහෙද මල් පොල් තත්තෙන් උපරිමෙිට නැතත් චුට්ටක් විතර කැරකි කැරකි කබ පිටින්ම පිටත්වුනේ බෑන්ඩ් එකේ තත්තෙ බලාගන්න. උන්දැලා ඇවිත්නං මට එතන වැඩ කෝටියයි.

අහෝ..!! කරුමෙක මහත. මං යද්දි අපේ බෑන්ඩ් එක අර බෙර බෙර වගේ කූරු කූරු උඩ හිටවන ඩම්සැට් එකට ටොක් බබා "ජිස් ජිස්" සද්දෙ එනවද බලනව.
තව එක්කෙනෙක් ගිටාර් එකක් ටියුන් කරනව. තව දෙතුන් දෙනෙක් වැඩ නැතත් බොරුවට වැඩ වගේ පෙන්නන්න අහට්ට දුවනවා, මෙහට්ට දුවනවා,මෙහට්ට දුවනවා අහට්ට දුවනවා. තව එකෝම එක්කෙනෙක් වයර් එකක කොනක් අල්ලගෙන ආසියාවෙම අහිංසකය වගේ මංදිහා බලාගෙන..

*කෝපල්...  කියල  අඬගැහුව.
*මං දකුනු අතේ මහපටැගිල්ල මගේ පපුව පැත්තට හරෝලා "මටද" කියල ඉඟියකින් ඇහුවා.
*ඔව් කෝපල් පොඩ්ඩක් එන්නකො.
*ඇයි කෝපල්..
*නම මොකද්ද ඔයාගෙ..
*අහ් මං තාම පයිවට්ටාරච්චි කෝපල්..ඇයි..??  කියද්දි එයා මහ නෝන්ඩි බැල්මක් බලල...
*මං කෝපල් දයාරත්න. ඇයි තාම පයිවට්..
*දන්නැද්ද ඉතින් කෝපල් මෙිකනේඒඒ...කියල මං මහා කයියකට එයාව ඈඳ ගන්න හදනකොටම...මචං අර කිව් ස්ටෝස්එක කොහෙත් තියෙන්නෙ.. කියල ඇහුව..
*ඇයි කෝපල් දයාරත්න මොකද්ද වෙන්නෝනෙ.
*මට වයර් ටිකකුයි බල්බ් දෙකකුයි ප්ලග් පොයින්ට් එකකුයි ඔින. ස්ටෝර්ස්  එකෙන් ඉල්ලගන්න කිව්ව තාම කව්රුත් ආවෙ නෑනෙ.
*කෝපල් එක පාර හොදට මතක් කරල කියන්න තව මොන මොනාද ඔින කියල. මගෙ රසී ඇරෙන්න අනික් එකසිය තිස්හතරම උනත් ගෙනත් දෙන්නං..මුලු කිව් ස්ටෝර්ස් එකම ගෙනත් කකුල් පාමුලින් තියන්නං...හැබැයි දහපාරක් විතර අහට්ට මෙහට්ට දුවන්ඩනං බෑ. මොකද මං තමා කෝපල් ඉල්ලන කොට  දෙන්ඩ බලාගෙන ඉන්නෙ.
*යකෝ මූ..යකෝ කියල කෝපල් දයාරත්න හිනාවෙලා.."දැන්ට එච්චරයි" කිව්වා.
මාත් දුවල දුවල ගිහින් අවශ්‍ය ඒවත් ගෙනත් දීල කෝපල්වත් කයියට අල්ලගෙන පොරත් පිස්සෙක් කරල, අනේ උඹ පලයං මල්ලි..මං ඉතුරුව කොහොම හරි කරගන්නං කිව්වට පස්සෙ එහෙනං  බුදු සරණයි කෝපල් කියල මාත් එන්න ආව.

මෙි වෙද්දි අපේ බවලත් බලකායෙ ටීම් එකකුත් ගිනි කිරිල්ලියො වගෙ බොටං ගහගෙන සුදු ටී සර්ට් දාගෙන අතන මෙතන අඟර දඟර පපා වැඩට ඇවිත් හිටියා. උන්ගෙ ලස්සන පේන්නනං ඉතින් සිහිය විකල් වෙන්නම ඔින. හොඳ සිහියෙන් ඉද්දි පේන්නෙම ගොං පයින් ගහපු ලන්තෑම් වගේ,එහෙමත් නැත්තං අට පට්ටං වගේ. නැත්තං හැප්පිචිචි ඔස්ටින් කාර් වගේ. එකක් දෙකක් විතරක් එහෙන් මෙහෙන් තත්තෙක හිටියත් එක්කො නාන්නෑ. නැත්තං මූන හෝදන්නෑ..එක්කො දත් මදින්නෑ..ඔය ඔක්⁣කොම කලත් රෙදි හෝදන්නෑ වගෙ පුංචි පුංචි අවුල් ටිකක් විතරයි තියෙන්නෙ. ඒත් කියල දීල හදල ගන්න පුලුවන් තත්තෙ සූට්ටක් විතර තියෙනව.

ඇත්තටම වෙලාවකට හිතෙනව කාන්තාව හඳට උපමා කරපු මහ ගත් කතුවරු එහෙම කරල තියෙන්නෙ එක්කො ගුලි කාල, නැත්තං හබරල කොල කාල කට කහද්දි. ඒ එකක්වත් නෙමෙිනං සියඹලා ඇට කාල. මට මෙි ඉස්තිරි පරාන දකිද්දි පහල වෙන්නෙම ඔිවගෙ මහ දාර්සනික අදහස්.
ඉඟසුඟ ගතහැකි මිටින.. ⁣
කොහෙද අනේ කල්දේරම් බත කෙලල කෙලල තෙල්මන්ද ආරල දෙපැත්තෙන් වැක්කෙරෙනකොට "පිස්සුනේ" කියල හිතෙනව. සමහරුන්ට කලිසමක් අදින්නත් ඉන තියෙන තැනක් හොයාගන්න ගිහාම "අහෝ!! කිම මා තාම ජීවතුන් අතර" කියල හිතෙනව ඇති.

මාත් ඒවැයිං එකියකට කතා කරල
*නම්කී.. තිලකරත්න කොයි.
*අම්මෙි කෝපල්.. කෝපල්ලට කෝපල් අපිව මතක් වෙන්නෙ කෝපල් ඒහෙම දේකට විතරයිනෙ නේ කෝපල්.
*අනේ මං අරිකි මිරිකි කරන එක තාවකාලික නතර කලානෙ. දැන් ආස නෑ..කොයි අපේ උන්දැ..
*බිලට් එකේ..
*දැං ආවෙ නැද්ද.
*නෑ.
මාත් එයාගෙන්ම වෙිලසනින් බඩු වගයක් ඉල්ලල තිබුනෙ.පොඩි උවමනාවකට.
ඒ ටිකත් මෙි ගමන්ම අරන් ගියොත් හොඳයි කියල ගත්ත ඔෆීස් එකට ගිහින් කෝල් එකක්.
*ගුට් මෝනිං වුමස්කෝ බිලට් ස..
*පයිවට්ටාරච්චි..කව්ද
*මං කාසෙ ලලනී..
*හායි මගෙ සුදු අම්මි..ලලනී සූටික්කී..චූටි බට්ටිච්චි...
*ආ..මෙිං ඉන්නව මෙිං ඉන්නව.. කියල මං අරහෙම පටන් ගද්දිම රසීව ලයින් කරල  දුන්නා.
*ඇයි මොකෝ..
*දමල ගහන්⁣ඩෙපායිසෙ.. මං ගත්තෙ ඉල්ලුපු ටික ගෙන්න ගන්න.
*දැන් මොන මොනවද ඔින.
*ඉල්ලපුව ඔක්කොම ඔින.මට එන්න වෙලාවක් නං නෑ. උඩහ පැත්තෙ එන අයිටම් එකක් අතේ එවනවද.
*හා.
*සාජන් හේමන්තිගෙ මෙව්ව එක අනිවාරියයයි ඈ.
*හා හා  මං එවන්නං.

ඒ මගේ වෙනම වැඩසටහනකට.
ඔහොම ටොම්බෝලා දවාලත් පටන් ගත්තා කියමුකෝ. අපිත් අටයි අට වෙනුවට ආදේශක කාලක් අටයි අට  කාලකින් විතර සැන්ටින් කරල  සන්තර්පනය වෙලා  මෙතනට ඇවිත් ඉස්සරහටම වෙලා  විනෝද රසාංගත් බල බල ඉදල ඒව මෙලෝ රහක් නෑ කියල හිතුනට පස්සෙ බෑන්ඩ් එක ගාවින් ඇවිත් හිට ගත්තා.
ඒකත් තාම..
ස්ලං ස්ලං ටිඩිස් ඩිස් ගගා ඩ්‍රම ටියුන් කරනවා. තව කෙනෙක් ක්ලින් ක්ලිට් රටිං ටින් ටෑං  ටුං ගගා ලීඩ් එකත් තව කෙනෙක් පියුං ලියුං රවුං කැවුං ගගා කීබෝඩ් එක පදං කරනව. මාත් ඉතින්  බෑන්ඩ් එකේ කෝපල් දයාරත්නට හිමින් ඒත් ඇහෙන්න
*කෝපල් ටියුං කර කර විතරක් ඉන්ඩකො.ගහන්නැතුව ඈ.. කිව්වා.
එයා මා ගැන අදුරන් හිටපු හිංද
*තව පැය කාලෙන් ගහන්න පුලුවන් මචං කිව්වා..
*හොඳ වැඩෙි

මාත් ඒ පැය කාල උදාවෙනකං පැයක් විතර බලං ඉදල බැරිම තැන බිලට් එකට ආව.
 ඒ යද්දි මගේ බඩු ටික ඇවිත්. ඒ අස්සෙ රසීට චූට්ටක් විතර හිනාවෙන්න කියල ගලෝපු කෘන්තක දතත් කොල කෑල්ලක ඔතල දාල තිබුනා. ඒ රැපියල් දාහක්. මෙිකිට බනිස් පාං ඇදපු තරමට මෙික ගෑවෙන්නත් මදි. ඒත් මට හම්බෙන හැම සතේම ගෙට යටකරල තිබ්බ හංද මං යැපුනෙත් මෙවුන්දැගෙන්. අපරාදෙ කියන්න බෑ.. මට කැමැත්ත දීල නොතිබ්බත් ඉල්ලන පරක්කුවෙන් ඉල්ලන ඔිනම ගානක් දෙනව. මාත් අනිවාරයෙන්ම මාසෙම නොකා හිටියත් හිඟ සතපහක් තියන්නැතුව ණය බෙිරනව සල්ලි ලැබිච්චි ගමන්. ඒ හිංද අවුලක් නෑ.
මාත් ඇඳට වෙලා මෙිසෙ උඩ තිබ්බ පැලවත්ත කුප්පිය දිහා බලාගෙන මනෝ පාරක් ගහගෙන හිටිය බෑන්ඩ් එකේ ලයිව් සිංදු පටන්ගන්නකං. මෙි ටෝම්බෝල එකට ත්‍රිවිද හමුදාවෙන්ම එනව. එයාපෝස් මෙි වන විටත් ඇවිත් තිබුනෙ. ප්ලයිට් ලෙප්ටිනන්ට් දිසානායක මං චුට්ටක් අදුරනව. සර්රුත් ඇවිත් හිටියෙ.

සිංදුත් පටන් ගත්තා.. පැය භාගයක් විතර යන්න ඇරිය. මං නැගිට්ට. ආයෙ ලෑස්ති උනා අමුතුවෙන්ම. ඇන්දෙ බූට් දාල කම්බැට් කලිසම. ඒකට තට්ටං දෙකට තව සී සර්ට් දෙකක් හොදට නවල තියල බැඳගත්තා. රසීගෙන් ඉල්ලගත්තු අලුත්ම බෙසියර් එක ඇඳල ඒකෙ තොප්පි දෙකට ජොක්කු දෙකක් තියල පුම්බල තද කරල බැඳගත්තා. රසීගෙම මෙිකප් සෙට්එකෙන් හොඳට මෙිකප් එකත් දා ගත්තා. ඇස් දෙක පාට කරල කම්බුල් දෙකේ රෝස පාට තැවරුව. තොල් වල රෝසපාට ලිප්ස්ටික් එක උලල උලල හැඩ බැලුවම තාර පටි වගේ කලු වෙච්චි තොල් වල රෝස පාට ගෑවම ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව කියල කන්නාඩියෙන් බලල හිත හදා ගත්තා.රසීගෙම ඔරලෝසුවත් බැඳල සාජන් හේමන්තිගෙ හවරියත් දාල කටුත් ගහගත්තා. මට පැයක් විතර ගියා මෙි ටික කරන්න. ඊට පස්සෙ බෑන්ඩ් එකේ සිංදු බාගෙකට විතර බිලට් එක ඇතුලෙම අඟර දඟර චුට්ටක් පාල තත්තෙ බැලුව. කිසි අවුලක් නෑ.
කියාංවිතය අවසානයි.උඩින් කම්බෑට් ටීසර්ට් එක දාල ටූල් කිට් එක වහගෙන කලිසමට යටකරා.
නෙක්ස්ට් අරුන්දැගෙම නනයක් කැඩිච්චි රෝස පාට මල් මල් කුඩෙි ඉහලගෙන ඒකෙන් මූනත් වහගෙන ආව තැනට. ඇවිත් සයිඩ් එකකින් හිටගෙන හාත්පස සිසාරා බැලුව තත්තෙ. අවුලක් නෑ. සමහර එයාපෝස් සහ ආමි කපල් ස්ටෝල්වල ඉඳගෙන ආදර වදන් මුමුණ මුමුණ ටිපිටිප් කනව. තව කට්ටියක් හත්අවුරුද්දක් තිබහෙ හිටිය වගේ හා ගෙනාපුව ඉවරවෙයි කියල බයේ බියර් එක ලග ලග දාගෙන පැටල් කරනවා. තව කපල් කීපයක් දෑගිලි පටලා මැයි මල් පාරේ ලොවට හොරෙන් පා ඔසවද්දී කරනව. එලොවටත් මෙලොවටත් වැඩක් නැති තව නස්කූනි හැත්තක්  බියර් බාගෙනුත් වැටිල  බෑන්ඩ් එක ඉස්සරහ නටනව කියල හිතාගෙන උඩ පනිනව. ඔය අස්සෙත් මං දැක්කා පතිරාජ කියන කෙලි ඩෑල්ලෙක මහා පාඩු පිට දුවන මිනිරන් පතලක අන්තිම මිනිරන් කෑල්ලත් හොයාගෙන දෝනාව හාර හාර යනව වගේ දකුනු අතේ දබරැගිල්ලෙන් නාහෙ ඉහලම ඉස්තානෙ තියෙන හොටු කෑල්ලක් ගලෝගන්න හෙන ගේමක් දෙන ගමන් මහා කල්පනාවක යෙදී ඉන්නව.පව්. මං වගේ පැංචෙක්වත් හිටියනං කියල හිතෙන්න ඇති.
මෙි ඔක්කෝම යුනිපෝම් ඉන්නෙ. මං විතරක් පැත්තක හිටගෙන. ⁣අම්මප මටම හිතුන "යකෝ මෙවුන්දැලට වඩා දැං මං හෙන කෑල්ලනේ" කියල.

ඔහොම ඉද්දි හොඳ පාස් නම්බරයක් ප්ලේවෙනකොටම මං පැන්න පිටිය මැද්දට.

අම්මට සිරි..හූ පාරක් ඇහුනා නිකන් පා පහරක් වගේ. පා පැදියෙන් ලෝක සංචාරෙ ගිහින් ආපු එකෙකුට දෙරනෙ වුන් චියර් කරනව වගේ අත්පොලසන් සහ හූ පාරක්.. නට නට හිටපු රොත්තම ඇවිත් මාව වටකර ගත්තා. විසිල් පාරක් ආව කෙල්ලන්ට ඇඬෙන්න තරං මගෙ කංඅඩි බීරිවෙන සයිස් එකෙන්. සමහරු කෙල්ලන්ට කෑ ගහල කියනවා "අඬපියව් තොපි"
ඒ වුනාට ඒ උත්තමාවියො  තාම පෝම් උනේ නෑ. පෝම් උනානං අරහෙම කිව්ව උන්දැලාට ඇඬෙනව. නමුත් එහෙම කිව්වෙ තාම එයාලා කව්රුත් නටන්න ඇවිත් තිබුන් නැති හිංද..ඒ තරහට.
ඒ හූ පාර මැද්දෙම තමා මාත් පිටියට සම්පාප්ත වෙන්නෙ සහ නටන්න පටන් ගත්තේ..
මයෙ අප්පේ  ඉතින් නනේ කැඩිච්ච තැනින් පාත්වෙච්චි රෝස පාට කුඩෙත් කරක කරක නට නට  කැඩුව කැඩිල්ලක් ආයෙ මොනවද පැයක් යනකොට තට්ටම වලලු කරේ.බෙසියර් එක කටෙි. ජොක්කු බඩෙි. කලිසම දනිස්දෙක ගාව. හැබැයි මයෙ අප්පලා...
බ්‍රෙික් රොබෝ ඩිස්කෝ සෙස්සි නටල නටල අන්තිම හරියෙ ඒ හැමෙිකක්ම කලවං කරල මගේම එකක් හදාගෙනත් නැටුව. එදා දුන්නු ආතල් එකට එයාපෝස් එකයි බෑන්ඩ් එකයි පුල් හොල්මන්. නේවි තට්ටම කහ කහ හිනාවෙනව. උන් දන්නව මගේ හැටි. මං ඉන්නෙම ඔය නේවි බිලට් එකේනෙ.

නේව් එකේ කිලික් රත්නායක මට කපල් ඩාන්ස් එකකට සෙට්වුනා..පස්සෙ. ආයෙ අමුතුවෙන් අරව ටික අදාල තැං වලට යොමුකරගෙන කැඩුව ගීත දහයකට විතර බස බස ගාල. බෑන්ඩ් එකේ කෝපල් දයාරත්න මං නටලත් ඉවරවුනාම තමා දැනගත්තෙ "යකෝ..මූ මෙි උදේ ආපු බුවානෙ" කියල.
අපේ කොල්ලො ටික අප්පුඩි ගගහ මං වටෙි. රසිනි අත්දෙකෙන් කටම වහගෙන හිනාවෙද්දි කෙල්ලො ටික මට පට්ටම සප් එකක් දුන්න. මෙිවගෙන් කුලප්පු වෙච්චි මං මී හරකෙක් වගේ එදා කට්ටිය ඉස්සරහම හාල හාල අමුතු ආතල් එකක් දුන්නා. ඒකට ගල් කාලකුත් වැයවෙලා බියර් එකකුත් වැයවුනා.
 මෙි මං මෙහෙම නටපු දෙවෙනි පාර. තුන් වෙනි පාර නැටුවෙත් මඩකලපුවෙම තමා.

 ඒ මඩකලපුවෙම වෙිබර් ග්‍රවුන්ඩ් එකේ. ඒ සන්ෆ්ලවර්ස් ලා ගැහුව සාම උදානෙ දවසෙ. ඒක තිබ්බෙ රෑ.මෙිකට සිවිල් මිනිස්සුන්ටත් එන්න අවසර තිබුනා. එල්ටීටීඊ වුනුත් ඇවිත් හිටියා. මෙි සාමකාලෙ. රන්ඩු නවත්තල තිබුනෙ. මෙිකට සිවිල් යන්න පුලුවන්කම තිබුනා. යුනිපෝම් යන්න ඔින අය වෙනමම නම් කරලයි තිබුනෙ.

අපි කොල්ලො හතර පස්දෙනෙක් ගෑනු ඇඳුම් ඇදල බැස්සෙ ඒ ඒ අයගෙ ඒ ඒ ගර්ල් පෙන්ඩ්ලගෙන් ඉල්ලගෙන.
 මං ඇන්දෙ සල්වාර් එකක්. පපුව දාල පස්ස පුම්බල. එදත් ග්‍රවුන්ඩ් එකේ නැටුවා..සුපිරියටම. මට එල්ඒසී කෙනෙක් ඇඩ්‍රස් එකකුත් දුන්නා.😁😁😁. මං තනිකරම ⁣දෙමල කෙල්ලෙක් වගේ හිටියෙ මෙිකප් දාල ,පොට්ටු තියල. මාත් ඉතින් ඒ කාලෙ හිච්චි එකානෙ. අපි ටික වින්සනට් ගර්ල් ස්කූල් එකේ ස්ටුඩන්ට්ල වගෙ තමා එදා රෑම හිටියෙ. අයිනක් අල්ලං අපි මුල් ටික නැටුවෙ. ඊට පස්සෙ ආයෙ තැනකට යනව එතන නටනව.ආයෙ තැනකට යනව එතන නටනව.ඔහොම.

එදා රෑ එලි වෙද්දි එයාපෝස් ඇඩ්‍රස් එකයි.ආමි ඇඩ්‍රස් තුනයි (තුනම පිට ඒකක)එස්ටීඑප් එකයි, සිවිල් ඇඩ්‍රස් නවයයි.ටෙලිපෝන් නම්බර් දෙකයි.😁😁😁. නේවිත් වටෙි කැරකි කැරකි ආව. ඒ වුනාට මාව කලින්ම අඳුරගෙන කැපිල ගියා. අලුතෙන් පොරක් ඇවිත් හිටිය.පොරට හිනාවක් දාල ඇහැක් ගහල හක්ක පුම්බල පෙන්නල ඇදල ගන්න ගියෙ. චීප් පෙටි ඔෆිසර් මාව දැකල "මෙහෙ වර" කියල ඌව ඇදගෙන ගියා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.31

Thursday, May 28, 2020

කිරාන් පයින්ඩින් ටෙරාස් මෙහෙයුම

මෙි කතාව වෙන්නෙ කිරාන් වලදි. කිරාන් වතුරත් බැහැල ගිහින් නිස්කලංක වුනාම හිතට මහා මූසල කමක් දැනුනා. ඒ අපේ ඇංජින් හතර අයිති කාරයන්ට භාරදෙන්න වුනු හිංද. ඒ තරමට ඒ ගැන් එක අපේ හදවත් වලට සමීප වෙලා තිබුනෙ. හැබැයි ඉතින් දෙන්න පුලුවන් උපරිම සැප දුන්නා සත්තුන්ට උනත්. කවදාවත් තිබහට කලපුවෙ ⁣වතුරවත් බොන්න දුන්නෑ අපිට හොරෙන් බිව්වොත් ඇරෙන්න. විශේෂයෙන්ම මම.මොකද මං තමා ඒ හතර දෙනාගෙ කල්ලියෙ හිටපු ජුන්නා. මටතමා සැලකුම් භාරවුනෙ.  දවසකට කෙසෙල් කඳක්නං පට්ට ගහල දෙනවාම තමා. කඳවුරේ වැවිල තිබුනු පයින්වත් නොපෑගිච්චි නැවුම් තනකොල ඒ ඒ තැන්වලට අරං ගිහින් කැව්වා. මං මෙි හතර දෙනා කවන්න දක්කන් යනකොට ඔිසී දවසක් දැකල..

*ඒයි ගොපලු ආරච්චි කියල හිනාවුනා

මාත් ඔෆිසර් මෙස් එක වටෙිම තියෙන තනකොල දවස් ගානක් කැව්වා. නැත්තං අපිටමනෙ විසි ගහන්නත් වෙන්නෙ😁😁😁.ඒ හරක් වතුරෙ අපිව අරං ගියා මදිවට වෙලාවක් කලාවක් නැතුව විසි ගහන්න තිබ්බ තනකොල ටිකත් පස් මට්ටමටම පාත් කරල දීලම තමා ගියේ.

ඉතින් එහෙම ලඟින් හිටපු අය වෙන්වෙලා ගියාම හදවතට හිතට දුකක්  පාලුවක් දැනෙනව තමා.
ඔිනම හමුදාවකට සත්තු එකතුයි. ඒකත් මාරයි කියන්නෙ උන් එකතුවුනාම යන්නෙත් නෑ. මෙි කඳවුරේ හිටියා චික්කලා රංචුවක්ම😁😁. මුවෙක්,එලුවො දෙන්නෙක්,ඊරියක්.
ඊරි ගැනනං වචනයක් කියන්නම ඔිනෙ.
මෙි ඊරි අපේ අය දවසක් කැලේ යනකොට හම්බුවෙලා තියෙන්නෙ.මහ උන්දැට අතහැරිල දවසක් දෙකක් අපේ කට්ටිය යන එන පාරෙ ඉඳල තමා අරන් ඇවිත් තිබුනෙ.පලවෙනි දවසෙ ගෙනවිත් නෑ අපේ අය මහ උන්දැ ආවොත් කුක්කු දෙන්න එක්ක යයි කියලයි අම්මෙක්ගෙන් දරුවෙක් වෙන්කරන්න තිබ්බ අකමැත්තයි හිංද කියල. හෙන හුරතල් ඩෑල්ලෙකක්. පහුවදා යද්දිත් ඩෑල් එක එතන කෑ ගගහ ඉඳල  බඩගින්නෙ.මහ උන්දැට අමතක වෙලාද,හොයාගන්න බැරුවද මංදා. පස්සෙ දවසෙ කිහිල්ලෙ ගන්නගෙන ඇවිත් .ඉන්චාජ් හිටපු කෝපල්.
 මෙිකි පට්ට ආතල් එකක්නෙ අපිට දුන්නෙ ගෙනාවම. පිටි කුක්කු බිව්වෙම නෑ. අපිත් දත කාල කාල කොහොම හරි ටික ටික පුරුදු කෙරුවම අන්තිමෙි අපිට බොන්න තියෙන කුක්කුත් මෙයා බස බස ගාල අදින්න පටන් ගත්තා. අපි කහට බොනව.මෙි උන්දැ කටවටෙි ගාගෙන පෙරාගෙන ප්රූස් ප්රූස් ගගා කුක්කු පාර අදිනව.  දවස් දෙකක් තුනක් යනකොට මූ කිරි හදා දෙනකං කෑගහනව. ඔහොම ඔහොම අපි මූට කිරිදීල හැදුවා. ඒ අස්සේ කෝපල්ලා මූට අපිට පෑගෙන්න කොටි දාපු බට්ටො  ගලවල ගෙනාපුව ඉබින්න හපන්න සෙල්ලං කරන්න දුන්නා. මෙි දැරිවිගෙ නම රාණි.
අප්පේ බලන්ඩෙපැයි අලුගසාදාල තෙල් මංද මෝරල මයිල් වැඩිල ආපුවම තිබ්බ හැඩ. බත් කනකොට ඉක්මනින් වැඩෙනව ඔින සතෙක්.
මළ කරදරේ අප්පා😁😁. කොරැස් කොරැස් ගගා අපේ බිලට් වලමයි වාසෙ. අපිට වඩා පැටල්සීට් මෙි ඌරිච්චිට තිබුනා. අපි පෝලිං උනාම මෙි උන්දැත් දකුනෙන් පෝලිං වෙනව. අපි පිකට් යනකොට මෙි උන්දැත් යනවා. යන හැම පාරකටම හොම්බෙන් ඇන ඇන හාර හාර යන්නෙ. මෙයාම බට්ටො දහයකටත් වැඩිය ගලවන්න ඇති. පුරුදු කරලත් නෙමෙයි ඌරු ගතිය හින්දා. නැත්තං අතක් පයක් ගියා වගේද කකුලක් එහෙම ගියානං. ඇයි ඉතින් යන යන තැන බැකෝ කර කරනෙ යන්නෙ.

අපි කන්න හදනකොට හොම්බ දික්කරන් එ⁣න්නෙ ඊ ගහේ වෙිගෙන් අපේ බත් එකට අරින්ඩ. ගුටිත් කනව වෙලාවකට.ඒත් ලැජ්ජ නෑ. කෑම්ප් එක ඇතුලෙ හිටියොත් නඩුවක් පයිල් කරනවම තමා. මෙයා තරුන වියට පා තැබුවට පස්සෙ තවත් එක එක සෙල්ලං දාන්න පටන් ගත්තා. අපිත් ඉතින් හරි හුරතලේට කන්න බොන්න දීල හැදුව. "රානීඊඊඊ" කිව්වනං ඇහෙන මානෙක හිටියොත් පල්ලමෙි බ්‍රෙික් කැඩුන පුට් සයිකලේ වගේ වෙිගෙන් කඩාගෙන ඇවිත් ඉස්සරහ අඬු දෙකෙන් පොලව හාරගෙන යන්න බ්‍රෙික් ගහන්නෙ.

ඉතින්  ඔහොම කල් යද්දි එක දවසක් පිකට් ගිහින් මෙයා ආවෙ නෑ. අපි හැම තැනම හෙව්ව.වරුවක් විතර හෙව්ව. කෑ ගගහ හෙව්වා. මොකද අපි පිකට් අකුලන වෙලාව මෙයා දන්නව.කොහෙ හිටියත් පාරට එනව.පිකට් එක සම්පූර්ණ වෙන්නෙ මෙයා ආහම. නමුත් එදා හවස ආවෙ නෑ. ඔහොම අපිත් පිස්සු බල්ලො වගෙ හොයද්දි පඳුරක් අස්සෙ වැටිල ඉඳල හම්බුනා. එයාට කව්රු හරි වහ දීල. පස්සෙ ටැට්ටරේ දාගෙන ඇවිත් පූර්ණ ඌරු ගෞරව සහිතව කඳවුරේ තැනකම මිහිදන් කරලා තෙලඹු පැලයක් හිටෙව්වා. මං කිරාන් වලින් එද්දි තෙළඹු පැලේත් එක හමාරක් දෙකක් විතර උසයි.

අනිකා කිරා. ඒ එලුවෙක්. ඌට කොහොඹ කොල පෙන්නන්න බෑ. කන්නෙත් වල්බතල කොල වැල් තමා වැඩියෙන්ම. අපිත් කරන්නෙ ඒ කොල හතරක් පහක් මැද්දෙන් කොහොඹ කොල මිටියක්ම තියල අතින් කවන එක. ඤරස් ඤරස් පුග් පුග් ගග ගගා පිඹ පිඹ කක කකාගෙන කක කකාගෙන  යන කොට තිත්ත ආහම අපි පස්සෙ පන්නගෙන එනවා අඹරිච්චි අං ජෝඩුවත් මෙහෙක් කරාන අනින්ඩ.ඉතින් අපි දුවනව. ඒ එක මලවදයක්😁😁😁

ඉතින් ඔහොම ඉන්න අතරේ අපිට තොරතුරු ලැබිලා තිබුනා හැමදාම අපේ පිකට් එක ඇකිලුවම සංවිදානෙ කීප දෙනෙක් පිකට් එක පස්සෙන් එනවා කියල. අපිට මෙිව කියන්න ගමෙිම  උදව් කරන කට්ටියක් ඉන්නව.එයාල කවදාවත් අපි එක්ක කතා කරන්නෑ. ඒත් තොරතුරක් තියෙනවනං අනියම් මාර්ගවලින් අපිට දැනුම් දෙනව. මෙහෙම තමා අපිට මෙි තොරතුරත් ආවෙ. මෙි වෙද්දි පුඩිපංචිකල් තාරාවිකුලම් පැත්තෙ කුඹුරු කැපෙන කාලෙ. දවල් දොලහෙන් විතර පස්සෙ රෑ දහයට පාර වහනකං වී පටවගත්තු ටැට්ටර් පෝලිමට පාලමෙන් මෙගොඩට එනව.
දවසක් ඔිසී හිටපු ගමන් එක පාරටම දවල් දෙකට විතර කඳවුරේ හිටපු අය හදිසියේම කැඳෙව්වා.අපි පහලොවක් විතර හිටියා. මාත් දිවාමුරයක ඉඳන් ආවෙ. ඔිසී කීවා බඩු පස්සෙන් එන එක වහාම නවත්තන්න ඔින, නැත්තං ලොකු කේස් එකක් වෙනව ලඟදිම කියල. අපි ඒ කියනකොට හිතුවෙ පිකට් එක එන වෙලාවට රැකසිට පහරදීමක්වත් ලේස්ති කරන්නයි යන්නෙ  කියල. ඒත් සර්ගෙ තිබුනෙ වෙනම ප්ලෑන් එකක්.

කාටද ටැට්ටර එලවන්න පුලුවන් කියල ඔිසී ඇහුවා. කෝප්‍රල් ලලිත් ඉදිරිපත් වුනත් එයාව ඩැයිවින් යවල බෑ කිව්වා. මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා හමුදාවට එනකං කලේ ටැට්ටරයක් එලවපු එක.(දැනුත් පදින්නෙ ටැට්ටරයක් තමා අප්පේ) ඉතින් කුඹුරුත් හාල තියෙනව.  මං කිව්වා සර් මට පුලුවන් කියල.
අපේ ඩැයිවර්ල ඉන්නව හත් අට දෙනෙක්ම. එදා අපේ මෙින් පිකට් දවසෙ ඔක්කොම පිකට් ගිහින්. අපේ ටැට්ටරෙයි යුනිකෝන් එකෙයි අය ගන්න බෑ.හදිසියක් වුනොත් එයාල ඉන්නෙපැයි.

පස්සෙ ඔිසී කිව්වා ගෝනි විස්සකට වැලි පුරවන්න කියල. පුලුවන් තරම් වෙිගෙන් වැඩෙි ඉවර කරන්නත් ඔින කිව්වා.(ඉස්සර හමුදාවට ගෝනි ආව බංකර් ගහන්න) මටයි ඩ්‍රයිවින් පුලුවන් කෝපල් ලලිත් පියන්තටයි වෙන වැඩක් භාර දුන්නා. ඒ අපේ ට්‍රැක්ටරය කොහොම හරි ආමි වාහනයක් කියල හොයාගන්න බැරි විදියට වෙනස් කරන්න. ඒ කාලෙ ගොඩක් සිවිල් ටැක්ටර් වල නම්බර් ප්ලේට් නෑ. තිබුනත් කාඩ් බෝඩ් කෑලිවල ගහපුව තමා තියෙන්නෙ. මොකද ඒව ගොඩ යනවට වඩා යන්නෙ මඩෙි. මඩෙයි වතුරෙයි අරෙහෙයි මෙහෙයිනෙ. කෝපල් යතුරු ටිකත් අරන් ආවම අපි දෙන්න දඩබඩ ගාල  කවුලින් කේස් එක ගලවල නම්බර් ප්ලේටුත් ගලවල දැම්මා. ඒ කරල ටූල් බොක්ස් එක හයිඩොලික් බටෙි අනං මනං ගැජට් බැජට් ඩෙකරේසන් ඔක්කොම ගලවල සීට්එකේ ලෙදර් එකත් ගැලෙව්වා. එහෙම කලාම ටැක්ටරේ පට්ට ගහපු ඉස්සෙක් වගේ වුනා. බලන්න කැතේ බෑ. මෙි පලාතෙ හැම ට්‍රැක්ටරයක්ම ඔහොම තමා.පස්සෙ අපිටත් හොයාගන්න බෑ මෙි ටැට්ටරේ අපේ එකද්ද කියලත්. ඒක ඉවර කරල ටෙිලරේ වෙනස් කරන්න බැලුවා. මොන විදියකින්වත් ඒක වෙනස් කරන්න බෑ. නම්බරෙත් කලු තීන්තෙන් ඇඳල තිබ්බෙ. අපි දෙන්න ඇංජිමයි ටෙිලරෙයි අරගෙන ගියා සර් ඉන්න තැනට.
සර් අහනව
*කොහෙන්ද අයිසෙ මෙි ටැට්ටරයක් හොයාගත්තෙ මෙච්චර ඉස්මන්ට කියල😁😁😁.
වැඩෙි බොහොම හොඳයි කිව්වට ටෙිලරේ ගැන කිව්වම සර් ටිකක් කල්පනා කරල කිව්වා පාලමට ගිහින් රෑ ගොයම් කපන්න යන කඳවුර කිට්ටුව නවත්තන සිවිල් ටැට්ටරේක ටෙිලරයක් ඉල්ලගෙන එන්න කියල. අපිත් සර් කිව්ව විදියට ටෙිලරයක් අරං ආව. ඇවිත් අර වැලි ගෝනි ටික ටෙිලරේ වටෙිට මැද ඉඩ ඉතුරුවෙන්න ඇහිරුවා.මෙික ආරක්ෂිතව පිටට ඇතුලෙ තියෙන මොකවත් පේන්නැතිවෙන්න තමා අහුරල හැදුවෙ.එහෙම හදල අපේ පෝ මෑන් ටීම් දෙකක් හැදුව විසි දෙනෙක් විතර දාල😁😁. පස්සෙ අර ඉඩ තියෙන කොටසට බැස්සුව. එයාලාගෙ යුනිපෝම් එක, එක ටීම් එකක් කොට කලිසම් ඇඳල සරම් ඉනේ බැඳල කලු ටීෂර්ට් එක ඇඳල.(කොටි ඉන්න විදියටම) අනික් පෝ මෑන් ටීම් එකේ අට දෙනා පුල් යුනිපෝම්. මම යි  කෝපලුයි දික් කලිසං ඇඳල ඊට උඩින් සරම ඉනේ බැඳල අත්දිග පරණ ෂර්ට් ඇඳල මඩ ගාගෙන. මම පරන ෂර්ට් එකක් වැලේ කඩෙන් උස්සල හොඳට මඩ දිය කරල ඉස්ස. මගේ නෙමෙිනෙ😁😁.

පස්සෙ මායි කෝපලුයි කෝවිලට ගිහින් තුන්නූරු ටික්කුත් මඩ අතින්ම අරං ගා ගෙන තුවක්කු දෙකත් පූචස් එකත් වෙන වෙනම ගෝනි දෙකකට දාල කොක්කක අමුනල දැම්ම ඇංජිමෙි.හදිසියක් වුනොත් ගන්න පුලුවන් වෙන්න. මොන යකාටවත් හොයන්න බෑ දැන් අපි ආමිද කියල. මං මගේ සිවිල් ටීෂර්ට් එකක් ඔලුව වැහෙන්න දාගත්ත අවුවෙන් බෙිරෙන්න දැම්ම විදියට. කෝපල් එයාගෙ ලොකු ලේන්සුව කැප් එකක් විදියට දාගෙන ගැටගහල. දැන්
ඔපරේෂන් පයින්ඩින් ටෙරාස් ක්‍රියාන්විතයට පහ වෙද්දි සියල්ල සූදානං.

පාලමට උපදෙස් දීල තිබුනෙ ආපු ටැක්ටර් ටිකක් ඉක්මනින් චෙක් කරල යවන්න කියල.එයාලා ගියාම අපේ එක එනකං ආයෙ කව්රුත් පාලමට ගන්න එපා කියලත් කිව්වා. අපි ගිහින් නියමිත තැනින් නැවැත්තුවම ටැට්ටර් දහයක් විතර චෙක් කරල එකපාර එවන්නත් උපදෙස් දුන්නා.ඒකට හේතුව ටැක්ටර් දහයක් විතර එකතු වෙලා එද්දි  අපේ එක මැද්දෙන් දාගෙන යන්න.. ඒ වෙනකොට ආව ටැක්ටර් ඔක්කොම යවල ආයෙ කව්රුත් එන්න කලින් අපි කුඹුරක් ගාවින් ගිහින් නැවතුනා. ඊට පස්සෙ ආපු ටැක්ටර් තමා ගොඩ ගහල එකපාර එවන්නෙ. සියල්ල සූදානං. ගුවන් විදුලි යන්ත්‍රයකුත් ඇතුලෙ.ඒක ඔිෆ් කරල හදිසියක් වුනොත් විතරක් ඔන් කරන්න.

 පිකට් එකත් දැනුවත් කරල ඔිසී මෙි වෙනකොට අපේ මෙහෙයුම ගැන. ටැට්ටර් දෙක තුනක් අපිව පහු කරල යද්දි කෝපල් කිව්වා යං කියල. මෙතනින් එහාට කෝපල්ගෙ අණ ක්‍රියාත්මකයි. ඒකයි එයාට ටැට්ටරේ එලවන්න දුන්නැත්තෙ.

දැං අපිත් එනව මඩෙි ලිස්ස ලිස්ස පාර දිගේ. ටවුමටත් ගියා.ටවුම පහු කරලත් ගිහින් පාර අයිනෙ තියෙන වී මෝලක් ගාව අපි නැවතුනා. පිකට් එක හයයි හතලිස් පහට අකුලන්න පටන් ගත්තා දැන් පිකට් එක අකුලගෙන අපේ අය අපි දිහාවත් නොබල යන්න යනව.
අපේ අය තාම ටැක්ටරේ ඇතුලෙ.කොහොම ඉන්නවද මංදා.සෙට් එක. නැගිටින්නත් බෑනෙ. පිකට් එක අකුලල ඉවරයි. අපි තව පැයක් හිටියා. අපේ ටැට්ටරේ දැං කැඩිල ඔිපන් එක ගාව. කෝපල් යට රිංගගෙන තුවක්කුව තියෙන ගෝනියත් ලඟතියාගෙන අඩු පඩු අරගෙන එක ඔිසෙට බාස් වැඩ. තද කරල තියෙන නට් බුරුල් කරනවා.ආයෙ තද කරනව.ආයෙ බුරුල් කරනවා..ආයෙ තද කරනවා. ස්පැනර් එකෙන් යකඩ කදටත් ගහනව. මං තුවක්කුව දාල තිබ්බ ගෝනිය ටැට්ටරේ තිබෙද්දිම ඒක අල්ලගෙන බිම හිටගෙන.

පිකට් එක යනවත් එක්කම ආව ස්පෝර්ට් වර්ගයේ පුට් සයිකල් දෙකක් ඩබල් ඩබල් දාල. කරේ බෑගයකුත් තිබුනා..පදින එකාලගෙ. අපි සද්ද නෑ. උං අපි දිහා බලලත් ගියා. හොඳට මූනු ටික ස්කෑන් කර ගත්තා. උපදෙස් පරිදි අපි මුකුත් කලේ නෑ. මෙික රෙකී එකක් වගෙ කලේ පලවෙනි දවසෙ. ඒ ගියෙ බඩු. අපිත් රෑ අටට විතර ආපහු ඇවිත් ඔිසීට විස්තරේ කිව්වා. ඔිසී ඇහුව සුවර්ද කියල.අපි ඔව් කිව්වා. පස්සෙ අපි දඩ බඩ ගාල කාල එදා ටවුන් එකේ ඇම්බුෂ් එක ගියා. වෙනසක් නෑ.

පහුවදාත් අපි සියල්ලට රෙඩි වෙලා පහට විතර ගිහින් තැන වෙනස් කරලා කෑන් එකේ දාං ගිය ඩීසල් ලීටර් දෙක තුනකුත් කලුවර වැටුනම ටැට්ටරේ යටට හලල ටවුන් එකේ ටැට්ටර් හදන බාසුත් පනිවිඩයක් යවල  ගෙන්න ගත්තා. පොර බොක්කෙන් ආමි සපෝට් පොරක්. අපි ටැට්ටරේ කලින් දවසට වඩා වෙනස් කරල අරං ආවෙ. වැලි ගෝනිත් යුනිසෙප් එකේ පොලිසැක් ටෙන්ට් රෙද්දකින් වහල තිබුනෙ. ඇතුලෙ අට දෙනාගෙන් කොටකලිසම් ටීම් එක කලුවර වැටුනම බැහැල අංක අනුව පාර අයිනෙ  තල් ගස් පේලියත් එක්ක තිබුනු පඳුරු කීපයකට මුවාවෙලා ඔිනෑම දේකට සූදානමින් බිම දිගාවෙලා. ඒ සියල්ල ඉවරවුනාම හත හමාරට විතර පිකට් එක ඇකිලුවා.

 කෝපල් බාස්ට කිව්ව පාරෙ ඉදගෙන ඉන්න කියල එන මොකාට උනත් පේන්න. ඒ ටැට්ටරේ කැඩිල කියල අඟවන්න.පිකට් එක අපිව පහුකරල ගිහින් විනාඩි තිහක් විතර යද්දි බඩු ආවා. එදත් අපි දැක්කා පුට් සයිකල් දෙක එනව. උන් ටිකක් කිට්ටුවට ආහම බාස් :  ⁣සර් බඩු බඩු කියල නැවිල ටැට්ටරේ ඇන්ජිම අත ගාන්න ගත්තා. සියල්ල සූදානං. ඒ වෙනකොට අපේ සිග්නල් අනුව ඇතුලෙ හිටපු  අපේ යුනිපෝම් ඉතුරු බඩු හතරත් සූදානං කරගත්තා. උන් ටික ටෙන්ට් එක ඈත් මෑත් කරල හොරෙන් බලාගෙන හිටියෙ. බයිසිකල් දෙකම අපි ලඟටම ආවට පස්සෙ අපිම උදව්වක් ඉල්ලගන්න විදියට උන්ව අදුරන්නැති විදියට නැවැත්තුවා. උනුත් නැවැත්තුව. අපි අන්නෛ(අයියා)  කියල පටන් ගද්දිම උඩින් ටීම් එක පැන්නා කඩාගෙන. උඩින් උන් පනිනවත් එක්කම සරම් ටීම්එකත් කඩාගෙන පැන්නා තුවක්කු අමෝරාගෙන. මායි කෝපලුයි ලඟම හිටපු එවුන් දෙන්නා අල්ල ගත්තා. පැන්න ටීම් දෙක අනික් බඩු දෙක කොටු කරගෙන අල්ල ගෙන අපි අල්ලගෙන හිටිපු ඩබලත් අල්ල ගත්තා. ඒ වන විට රෙඩි පිට තිබු යුනිකෝන් එක ඊලඟ විනාඩි පහෙන් දහයෙන් කඩාගෙන ටවුමෙ.එකෙක් හරි අමාරු කාරයෙක් වගේ පැනල යන්නමයි හැදුවෙ. ඒත් කල්දේරම් බත් ගිලින සරීර කූඩු ඊට වඩා හත්තිමත්. සන්තෝසෙන් වගකීමෙන් කියන්න ඔින අපි එක පාරක් ගැහුවෙ නෑ. එක උන්ඩයක් වෙඩි තිබ්බෙ නෑ.පස්සෙ බාසුන්නැහේටත් බොරුවට වෙඩි තියන්න හදල පොරවත් දන ගස්සල මූනටත් හිමීට රිදෙන්න දෙකක් ඇනල කෝපල්ම පොර එලෙව්වා. බාස් දන්නව ඉතින් එහෙම කලේ ඇයි කියල.
එදා රෑම අපි අල්ලගත් හතර දෙනාම වාලච්චෙින පොලිසියේ ත්‍රස්ත විමර්ශණ ඒකකයටද සීඅයිඩී එකටද මංදා සීඔි මාර්ගයෙන් බාර දුන්නා. රෑම සීඕත්  ආව සී කණ්ඩායමෙි  වික්‍රමය බලන්න. උං ඇදන් හිටපු ඇදුන් වලින්මයි අත් ගැට ගහල අරං ආවෙ.
සීඕත් ඉතින් අම්මෙි.... අපිට හෙන සැලකුම් ඉතින්.
හැබැයි ඒකෙන් පස්සෙ කාලයක් යනකං අපිට පිකට් පස්සෙන් එන වදේ විතරක් නැතිවුනා. සතියකට විතර පස්සෙ අපිට පොලිසියෙන්  ලියුමක් ආවා. මෙි චරිත හතරෙ චරිතාපදානය.

ඒ හතර දෙනාගෙන් කෙනෙක් කිරාන් බලප්‍රදේශය බාර ලීඩර්,පොර තමාලු කිරාන් කෑම්ප් එකට ආටි ගහන කොට ටවුන් එකේ ඉඳන් සෙට් එකෙකින් උන්ගෙ ටීම් එකට ක්ලියරන්ස් දෙන්නෙ. මිටර් පනහක් පස්සට ඉස්සරහට මෙච්චරක්  වමට අච්චරක් දකුනට කිය කිය. ප්‍රහාර ගොඩකටත් සම්බන්දලු. අනික් එකෙක් ස්නයිපර් කෙනෙක්. අපි කලින් අල්ලපු එකා වෙනුවට පත්වෙලා ආපු එකා.එකෙක් උගේ බඩිය.අනික ලීඩර්ගෙ බඩිය. මෙික අපේ කඳවුරට ඇවිත් සීඔි කිව්වෙ. පස්සෙ අපි දහ දෙනාගෙ පුද්ගලික පයිල්වලට සේවය අගයල ලිපි දැම්මා.නිකනුත් නෙමෙි.

 සුදුසුකම් සපුරපු වහාම ඊලඟ නිලයට උසස් කරන්න විශේෂ නියෝගයකුත් එක්ක.

එදාම ඒ වෙනකොට සුදුසුකම් සපුරා තිබූ කෝපල් ලලිත් පියන්ත සැරයන් නිළයටත් ලාකෝ නිමල් කරුනාරත්න කෝපල් නිලයටත් ලාකෝ තෙන්නකොන් කෝපල් නිලයටත් උසස් කෙරුනා. සාසෙ පේමසිරි,සාසෙ ගුනසිරි සාසෙ දයාරත්න ලාකෝ නිලයට උසස් උනා.
ඉතුරු අපිටත් එදාම නිල උසස්වීම් ලබන්න වාසනාව තිබුනත් ඒ වෙනකොට පැවතිය යුතු නිල සංඛ්‍යාව සම්පූර්න නිසාත් ඒ වන විට නිලයක් පැලදිමට අවම සුදුසුකමක් වූ තරු වර්ග කිරීමවත් කරල තිබුන්නෑ. නමුත් තරු වර්ග කිරීම ඉක්මනින් කරවල නිල පලන්දන්න අනිතුමා නියෝග කලා. ඒකෙන් තව හොදක් අපි දෙන්නෙකුට උනා. ඒ මෙි ක්‍රියාන්විතයට සහභාගිවූ මගේ බැජ් එකේ තව කෙනෙකුටත් හමුදාවෙන් විශ්‍රාම යනකන්ම බැජ් එකේ සැමට ප්‍රථම නිල පැලදිමෙි භාග්‍යය හිමිවුනා.

(තරු වර්ග කිරීම යනු,පාබල සෙබලුන් විසින් සමත්විය යුතු විභාගයකි.ඒ දවස්වල අපිත් කලේ ඔික.පස්සෙ වෘත්තීය අනුව වුනේ. මෙික ක්ලාස් 111,11,1 වගේ එකක්)
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.28

Tuesday, May 26, 2020

මුතියන් කට්ටු තොවිලෙ

මෙි සිදුවීම වෙන්නෙ මුතියන්කට්ටු කඳවුරේදි  2010 වසරේ

අපි මුතියන්කට්ටු එල්ටීටීඊ කඳවුර එයාලගෙ ග්‍රහණයෙන් මුදාගෙන යුද්දෙ ඉවර උනාම  භාවිතාකලේ උසස් පාබල කණ්ඩ පුහුනූ පාසැලක් විදියට. ඔිගොල්ලන්ට මතක ඇති යුද්දෙ යන කාලෙ ලමයි හාරසීයක් විතර හිටපු ඉස්කෝලෙකට ගුවන් ප්‍රහාර එල්ල කරල ඒ ලමයි හිටපු ඉස්කෝලෙ හමුදාවෙන් අල්ලගත්තා කියල කතාවක්. ඒක ඒ කාලෙ විපක්ෂයෙනුත් සෑහෙන ප්‍රචාරයක් අරන් ගිය ප්‍රවෘත්තියක්. නමුත් ඒක එල්ටීටීඊ කඳවුරක්. පාසැලක් නෙමෙි. පාසැලක් කියන්න කිසිම සාධකයක් ඒ කඳවුරේ තිබුනෙ නෑ.අඩුම වැසිකිලියක්වත්. ඒ කිට්ටුවම තිබුන අනිත්  කඳවුර තමා  සබ්මැරීන් හදපු කොටි කඳවුර. ඒ උදයාර්කට්ටුකුලම් කඳවුර. මෙිකෙන් බට හිරට වෙන්න ටිකක් චූට්ටක් දුරින් තමා එයාලගෙ ගුවන් කඳවුර ඉරණමඩු රන වෙි එක එහෙම තිබුනෙ.

මෙික අමු මහ කැලෑවක්. එස්එෆ් LRRP ටීම් එකක් මුලතිව් පිහිටි එල්ටීටීඊ කඳවුරක නායකයන් කිහිප දෙනෙකු එලොව යැවීමට ගිය කැලෑ මාර්ගය වැටී තිබුනෙත් මෙි මුතියන්කට්ටුකුලම් වැව හරහා. ඒකත් ඔිගොල්ලන්ට මතක ඇති එයාෆෝස්ලා හෙන ගේමක් දීල විනාඩි පහක ක්‍රියාන්විතයකින් පස්සෙ ඒ එස්එෆ් ටීම් එක බෙිරගත්තෙ මුලතිව් කැලයක් අයිනෙ.ආන් ඒ ටීම් එක.

ඉතින් මං මෙි කතාව සිදුවෙන කාලෙ මෙි පුහුණු පාසැලේ 3 වැනි කඳවුරේ උපදේශකයෙක් විදියට තමා රාජකාරි කලේ. මාව මෙතෙන්ට එව්වෙ අපේ ප්‍රධාන ලිපිකරු තුමා මගේ බෙල්ල කපල. බෙල්ල කපනව කියන්නෙ පලිගැනීමක් කරාය කියන එකට අපේ සංස්කෘතික වචනය. ඒකට පොඩි පොඩි හේතු ගොඩක් බලපාන්න ඇති.

මං ඒ වෙනකොට මූලස්ථාන කණ්ඩායමෙි ප්‍රධාන ලිපිකරු විදියට රාජකාරි කලේ. අපේ මූලස්ථානෙ ප්‍රධාන ලිපිකරු තුමා නොහොත් සීසී මට වැඩ කීපයක් පවරල තිබුනා. ඒවා දවසින් දෙකෙන් ඉවර කරන්න පුලුවන් ඒව එහෙම නෙමෙයි. නමුත් උදේ වැඩෙි පවරල දවල් දෙකට තමා උත්තර ඉල්ලන්නෙ. ඒ වෙනකොට අපේ පරිගණක තිබුනෙ එකයි. ඒකත් මූලස්තාන කාර්යාලයේ. ඒකට අපිට කිට්ටු වෙන්නවත් බැහැ. ඒ තරමට ඒකෙ වැඩ. ටයිප් රයිටරයක්වත් නොතිබුනු මගේ කාර්යාලයේ ලිපි ලේඛන කටයුතු හැමදෙයක්ම මමත් අනිත් ලිපිකරුවන් හතර දෙනත් කලේ සම්පුර්ණ අතින්. හුස්ම ගන්නවත් කෑම කන්නවත් වෙලාවක් නැතුව රෑ එකොලහ දොලහ වෙනකනුත් අපි හුඟක් කැපවීමෙන් අපේ වෘත්තීය ඉටුකලා.  උදේ හයට නැගිටල ටී එකත් බීල මූන හෝදන්නෙත් නැතුව උදේ අට නවය වෙනකං ඔෆීස් එකේ. ඊට පස්සෙ ආයෙ ගිහින් පැය භාගෙන් මූන හෝදල කාල යුනිපෝම් එකත් දාගෙන නැවත ඔෆීස් එකට එන පාර ආපහු යන්නෙ හවස හතරට පහට.ඒ දවල් කෑමට. ආයෙ කාල නාල බේත් දීල ඇවිත් ඉඳගත්තම රෑ මද්දහනක් වෙනකං වැඩ. මෙික අපේ ආර්එස්එම් පවා දැනගෙන හිටියා.ඔක්කොම සීනියර්ස්ල දැනගෙන හිටිය හංද අපි කාටවත් කිසිම වචනයක් කිව්වෙත් නෑ.

 නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ පහසු සැලැස්සුවත් සීසීට මාව පෙන්නන්න බැරි ගතියක් තිබුනා.  එකක් මගේ පිලිවෙල.වැඩක් බාරගත්තොත් මට බ්‍රයිට් එකට ඒක අවසන් කරන්න තියෙන්න ඔින.අනික ඩෑල්ලෙක.
මට කියන්නෙම "උඹෙි ඩෑල්ලෙක වෙනස් කරගනින් ඈ" කියල.
මාත් කියන්නෙම"ඒව ඉතින් සර් ලබා උපන් හැටි.දිරවන්නැත්තං බලන්ඩෙපා" කියල.

මගෙ තියෙන්නෙම ඩෝන්ට් කෙයාර් ඩෑල්ලෙකක්ලු. හද්දෙයියනේ ඒකට මං මැරෙන්ඩයැ. අනික ඒවගෙ අපත ඩෑල් ලොවෙත් ඉන්නව හැම තැනකම. මට හමුදාවෙ ඉද්දි කියල තර්ජන ආවෙ නැත්තෙ ඇමරිකාවෙන් විතරයි.
අනික් හැම රටකින්ම ආව. අන්තිමට ආවෙ කියුබාවෙන්. සෙද්ද.

ටයිප් රයිටරයක්වත් කම්පියුටරයක්වත් නැතුව දවසකට පෑනක් ඉවරවෙනකං අපි ලියුං හදනව. ලියුම් මැසේජ් කවරින් ලෙටර් වාර්ථා සැකසීම රාජකාරි නියෝගය අපේ තුවාල වෙච්චි මියගිය අයට ඉක්මනින් සාධාරනයක් ඉටුකරන්න මූලික පරීක්ෂණ උසාවි නිගමන (හමුදා) පිටපත් පවා ලිව්වෙ ඇඟිලි වල දිය පට්ට එනකං අතින්. අපේ වැඩ කිරීමෙි වෙිගවත් බවට උන්දැ වැඩියම බය වෙලා හිටිය කියල බය නැතුව ඔින තැනක කියන්න පුලුවන්.  ඊට අමතරව මං වෛද්‍ය සහායකයෙක් විදියටත් මෙි අස්සෙ කටයුතු කලා. උනට,කොන්දෙ අමාරුවට,කකුලෙ අතේ පයේ වගේම හිසේ ඇම්මට අරකට මෙිකට අරකෙ අමාරුවට බෙිත් ගන්න එන අයට බෙිත් දෙන්න යන්නත් ඔින.ඒ අස්සෙ මෙි වැඩත් කරන්න ඔින. මං අවුරුද්දක මෙඩිකල් කෝස් එකක් කරල ඒකෙනුත් එකසිය අසූවකින් "එක" වෙලා හිටියෙ. (උසස් පෙළ සමත් වෙලා තිබ්බනං මගේ දෛවය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ඒ කෝස් එකෙන්.)
ඉතින් කොච්චර වැඩ තිබුනත් කොච්චර වැඩ කලත් ඔය අස්සෙ මං පැල්මයිරා වලිනුත් සන්තර්පනය වෙන එක අතෑරල තිබුන්නෑ.. ලීටර් එකහමාරේ ස්ප්‍රයිට් බෝතලේකට පැල්මයිරා ස්ප්‍රීතු (තල් අරක්කු.මෙිව එල්ටිටිඊ එකෙන් අත්අඩංගුවට ගත්තු ස්කාගාරයකින් අල්ල ගත්තෙ.මෙිව ගඳ සුවඳින් තොරයි.) එකක්ම දාගෙන ඒකත් මගේ මෙිසෙ යටින් තියාගෙන තොල ගග ගගා තමා වැඩ කරන්නෙ.
ඔිව ටිකක් යූස් කරල ඉන්න වෙලාවක බෑ කියන්න බැරි වැඩකට පුදුකුඩිඉරුප්පු අපේ කම්පැනියකට ගිහින් එන්න  අපේ අණදෙන නිළධාරි තුමාගෙ බයික් එක අරන් ගිහින් ඒක පාරෙ බුදියං හිටපු පඩත්තල එලුවෙක්ගෙ හැප්පිලා මං ගුවන් ගතවෙලා කකුලකුත් අතකුත් ලෙලි ගහගෙන බයිකලෙත් කඩාගෙන කිලෝ මීටර් පහක් විතර කොර ගග ගගහ බයිසිකලෙත් තල්ලු කරං පයින් ඇවිල්ල මංම දැවිල්ලට හූ කියද්දි මංම බෙිතුත් දාගෙන බැනුනත් අහල සීඔි තුමාටත් මූන මුලිච්චි කරන්නැතුව, චුට්ටක් සේප් එකේ ඉද්දි  සීසී ඇවිත් මගෙන් විස්තර වගයක් ඉල්ලුව. ඊයෙ හවස තමා මට කිව්වෙ ලිපියකින්, මෙික දින තුනක් තුල ලබා දෙන්න කියල. ඒත් පහුවදාම ඉල්ලනව.මං බෑ කිව්වා.
පස්සෙ ඒකට කේස් එකක් ගිහින් වචන හුවමාරුවක් ⁣එහෙමත් වෙලා ගිහින් ඒක සීඔිට රිපෝර්ට් කරල.
මට කැඳවීමක් සීඔිගෙන්.
*මොකද්ද තමුසෙට රාජකාරි කරන්න තියෙන්න අපහසු තාවය.මොකද්ද මෙි සී සී කියන්නෙ. .

මං  සම්පූර්ණ විස්තරේ මුල ඉඳන් අගටම  කිව්වා. සර්ට තේරුනා වැඩෙි අසාදාරනයි කියල. සීසීම කට වරද්දගෙන කියල තේරුනා.අනික සීසී ඉල්ලපු විස්තරේ සීඔිවත් දන්නෑ. පස්සෙ සීසීට අම්බානක බැන්න.ඒකෙ ප්‍රතිපලය උනේ මෙයා උප අනි තුමත් එක්ක ඩීල් එකක් ගහල මාව මුතියන්කට්ටුවලට ට්‍රාන්ස්ෆර් කිරීම.

මට නේද දෙයියො නෙමෙි දේව මන්ඩලේම වල්ගා තරු දල්ලගෙන ඇවිත් ආසිරිවාද කරනව වගේ හැඟීමක් ඇතිවුනේ.මොකද මට කෙලවියන් කියල මාව යවපු හැම තැනක්ම මට ලොවෙත් හරිගියා ඇරෙන්න අද වෙනකංවත් කෙලවුනේනං නෑ. ඒ යවපු හැම තැනකම කට්ටියත් අදුරගෙන නිලදාරින්වත් අදුරගෙන එවුන්දැලටත් ජීවිතේ එපා කරවල ආතල් එකේ ඉදල ආයෙ කොහෙන් කොහෙන් හරි කැරකිලා යුනිට් එකට ආවත්, ඒ ඇවිත් මොන තරාතිරමක කෙනෙක් එක්ක පාරට බැස්සත් "අඩෝ ආරච්චියා.. තෝ කොහෑ යකෝ මෙහෙ.. වරෙන් වරෙන් අඩෝ..තෝ දැක්ක කල් හු%@$&තෝ" කියල ආමන්ත්‍රනය කරන්න හමුදාවෙ ඇතුලෙත් ඔිනෑවටත් වඩා කට්ටිය මට ඉන්නව. ඒකම මදිද..පාරක් අයිනෙ වැටිල හිටියත් ඇඩ්‍රස් එක කියල බරබාගෙක පටෝලා හරි ඉන්න තැනකට යවන්න.නැත්තං ඉන්න තැනකට අරං යන්න.

මයෙ අප්පේ කියලවත් නිම කරගන්න බැරි සතුටක්. දෙන දෙයියො ආයෙත් පාරක් හොම්බටම ඇන ඇන "ගනු,ගනු" කියල දුන්නු චාන්ස් එක. මට පත්වීමෙි ලිපිය ගහල අතට දුන්නම අඩු ගානෙ ආර්එස්එම්ටවත් කිව්වෙ නෑ යනව කියල,හවසම අකුලගෙන ගිහින් නැවතුනේ අර කලින් කිව්ව ස්කූල් එකේ. මොකද ඔික කිය කිය ඉන්න ගියානං මට එතනින් ගැලවෙන්න බැරිවෙනව. ඒ හිංද සද්ද නැතුවම ආව.
ඇවිත් දවස් දෙකයි සීඔි දැනගෙන. දැන් හෝ ගාල මෙසේජ් එවනව ස්කූල් එකට ආපහු මාව එවන්න කියල. මං නෙමෙි ගියෙ. සීඔි විසිට් එකක් ආව ඉරිද ස්කූල් එකට අපේ ප්ලැටූන් එකේ කට්ටිය බලන්න.(සතියකට සැරයක් ඉහල නියෝග මත ඉරිදා අනිවාරයෙන්ම අනි තුමා හෝ උප අනිතුමා පැමිනිය යුතුයි)ඒ ආපු වෙලාවෙ මං නිදහසේ සාධාරනව පැහැදිලිව පැයක් තිස්සෙ සර්ට සීසී මට ඊට කලිනුත්  කියපු කරපුව පවා කියල අන්තිමෙිට ඉල්ලීමක් කලා "සර් මාව ආයෙ ගෙන්නන්න එපා සර්" කියල.සීඔි ලුතිතන් කාලෙ ඉඳලම මාව දන්නව. අනේ අපේ සීඔිත් බුදු වෙන්ඩ ඔිනෙ, ආයෙ කිසිම දවසක මාව එවන්ඩ කියල ලියුං ආවෙිත් නෑ. ඒ වෙනුවට සීසීගෙන් එක්ස්පනේසන් කෝල් කලා කියල ඇජුටන් දවසක් කිව්වා.

ඉතින්  මුතියන් කට්ටු  ඉන්න අතරේ සීනීයර් කෝපල් වෙලා හිටියෙ මං. හරි ක්ලාක් කෙනෙක්වත් නොහිටපු කඳවුරේ මං ඒ වැඩයි,මාක් ෂීට් වැඩයි,පුහුනු රාජකාරියි ඔක්කොම පිලිවෙලකට ලස්සනට කරගෙන ගියා. මෙිකට ස්කූල් එකේ ප්‍රධාන උපදේශක තුමා සෑහෙන්න මා කෙරේ පැහැදිලා හිටියෙ. මොන දහදුරා වැඩෙි කලත් මං පිලිවෙලට තමා ඒකත් කරන්නෙ.

 මෙි කාලෙ කැලේ මැද්දෙ තිබු අපේ ස්කූල් එකේ මැලේරියාව හැදුනු කෙනෙක් හමුවුනා. මං සික් රිපෝර්ට් එක බලපුවම තමා දැනගත්තෙ. ඒකත් අල්ලපු කඳවුරේ මෙඩිකල් ඔන්ලිට කියල නැවත තහවුරු කරගෙන සීඅයිට (CHIEF INSTRUCTER) කිව්වම වහාම එයාව යුනිට් එකට යවල සතිය ගානෙ මුලු කෝස් එකටම මැලේරියාව වලකන බෙිත් දෙන්න ඒව අරං ගෙනාව.ඒව පෙති දෙකක් සතියකට දෙනව එක්කෙනෙකුට මැලේරියාවෙන් වැලකෙන්න. මෙිවා අමු තිත්තයි. හිස්බඩ බිව්වොත් වමනෙත් යනව.
මෙි කඳවුරේ හිටියා ඔක්කොම හයසීයක් විතර. ඔහොම ඉන්න අතරේ එක දවසක් හෝදල වැලේ දාපු මගේ අලුත්ම යුනිෆෝම් එකක් නැතිවුනා. කමහ් නෑ නැති එකෙක්නෙ ගත්තෙ කියල හිත ගත්තා. ආයෙ දවසක් මගෙ කම්බෑට් ටීෂර්ට් එකක්. බූට් දෙක, අන්තිමෙිට නෙට් එක.
අනික්ව ඉවසගෙන හිටියත් නෙට් එක උස්සපු එකටනම් මට මලපැන්නා. මෙි කැලේ මැද්දෙ හවස හය වෙනකොට මාර මදුරුවො කැටියක් ඉන්නෙ. මෙිව හොරෙන් අරන් නෙමෙි.කව්රු හරි නොකිය අරගෙන. මං කිව්ව කිව්ව ගෙනත් තියපියව් කියල.ගත්තු එකෙක්වත් ඇහුවෙම නෑ. ඔය කාලෙ මගේ දත්බෙිත් සිග්නල් එකත් එන්න එන්නම දවසගානෙ වෙිගයෙන් කෙට්ටුවුනා. සබන් කෑල්ල දියවුනා. ඒත් සද්ද නැතුව හිටියා. ඒත් දරාගන්න බැරි විදියට එද්දි මට මල පැන්න. උපායක් කල්පනා කලා.
දත්බෙිත් එකටයි සබන් වලටයි ක්ෂණික පිලියමකින් බෙිත් කලා.

එදා මං ඔෆීස් එකට ගියෙ මැලේරියාවෙන් වැලකෙන පෙති පහක් විතරයි සිග්නල් එකයි සාක්කුවෙ දාගෙන. ඒ ගිහින් කාටවත් පේන්නැතිවෙන්න පෙති ටික හොඳට කුඩු කරල කූරටෙිකින් ඔක්කොම ටික සිග්නල් එක ඇතුලට දාල කලවං කරල මූඩිය වැහුව. මෙි බෙිත් මාරම තිත්තයි. ඒ තිත්ත දවසකටවත් කටෙන් යන්නෑ. මෙි තිත්ත හින්දම බෙිත් දුන්නට කොල්ලො බොන්නෙත් හෙන අකමැත්තෙන්.ගොඩක් කරන්නෙ බොන විදියට අරං හොරෙන් විසි කරන එක. ඒ හිංද පෙති දෙන දවසට නිලදාරියෙකුත් ඉස්සරහ තියාගෙන තමා පොවන්නෙ. ඒ තරමට තිත්තයි.
මාත් වෙන සිග්නල් එකක් කැන්ටිමෙන් අරන් අරක සද්ද නැතුව තැනින් ගිහින් තිබ්බා. පහුවදා පාන්දර පහයි හතලිස් පහට හොරා මාට්ටු. ඒ අපේම එකෙක්. ඌ සද්ද නැතුව උ⁣ගේ එක වගේ මගේ එක අරං බුරුසුවට තලියක්ම මිරිකගෙන මූන හෝදන්න ටැංකිය ගාවට ඇවිත් දත්බුරුසුවත් තෙමාගෙන දෙපාරයි ඇවරිය දිගේ අහට්ට මෙහට්ට කලේ... ඔික්: ඔික්:😊😊😊😁😁😁

*මොකෑ උට්ටො වමනෙ දාන්නෙ.හිටලද තොට.😁😁😁. මං ඇහුවෙ.

*නෑ කෝපල් අද මගේ සිග්නල් එක මාර තිත්තයිනෙ. කටින් එකයි කෙල මුගෙ.

*ඈ බොල ගස්ගෝනො. ඒ තොගේ එකද මගේ එකද. අන්න පස්සෙ තමා ඌටත් මීටර් වුනේ උනේ මොකද්ද වෙලාතියෙන්නෙ කියල.

එයා වැඩිවයසින් මල්වර වෙච්චි ගෑනු දැරිවියක් වගේ ලැජ්ජාවෙන් බිම බලාගත්තා. ආයෙ කවදාවත් මගේ සිග්නල් එක කෙට්ටු උනේවත් සබන් එක දියවුනේවත් නෑ.
ඒත් අනික්වා නැතිවුනු එකට මට මල පැනල හිටියෙ.
ඒ මදිවට අනික් කට්ටියගෙනුත් හැමදාම කම්ප්ලෙන් අරක නැතිවෙලා මෙික නැතිවෙලා කියල..

මං දවසක් දීල තිබ්බ මුලු පාඨමාලාවටම ගත්තුව හොරෙන් හරි වෙනත් මාර්ගයකින් හරි ඒව අයිතිකාරයන්ට ලැබෙන්ඩ සලස්සන්න කියල. ඒත් කිසි කෙනෙක් ගනන් ගත්තෙ නෑ. ඒ අස්සෙත් තව උපදේශකයෙක්ගෙ බූට් දෙකක් ආගිය අතක් නෑ.
ඒකටත් මං හොඳ සෙල්ලමක් සෙට් කරන්න ප්ලෑන් කරා.
මෙි ස්කූල් එකේ අය නාන්නෙ වැවෙන්.වැවට යනපාරෙ තියෙනව පුල්ලෙයාර් කෝවිලක්. ඒක පොඩී. ඒවුනත් අපි මලක් හදුන්කුරක් එහෙම දිනපතා හවසට මෙතන පත්තු කරනව. නිවාඩු ගිහින් එන අය දුම්මල තුන්නූරු අරව මෙිව ගෙනත් මෙතනින් තියල තියෙන්නෙ. මොකද අපි නිවාඩු දවස්වලට බුදු බැදුරෙ මල් පහන් පූජ කරල මෙතනත් පහනක් කාරිය දල්වන හිංද.

 මම ප්ලෑන් කලේ ගණදෙවි නුවණක් එක්ක.
මං ඒ නුවණ පහල වෙච්චි ගමන්ම කුස්සියට ගිහින් ගත්තා පොල් ගෙඩියක් මුඩ්ඩ පිටින්ම.අරගෙන කුස්සියෙන්ම කහකුඩු ටිකකුත් අරං හොඳට පොල් ගෙඩිය සුද්දකරල හෝදල කෝවිලෙන් ගෙනත් තියල තුන්නූරුත් ගාල කපුරු පෙති කීපයකුත් උඩින් තියල ප්‍රචාරයක් යැව්වා හෙට හවස හතරට කෝවිලේ පූජාවක් තියෙනව පුලුවන් කට්ටියට සහභාගි වෙන්න කියල. සමහරු අහනව පූජාව මොකද්ද කියල.මං කිව්ව නැතිවුනු බඩු ගත්තු අයට පලි ගහන්න යන්නෙ කියල.

මාත් පහුවදා තුනට විතර ඇඟත් හෝදගෙන ඇඳට එලන සුදු බෙඩ්ශීට් එකත් ඇඳගෙන ප්ලැටූන්වලින්  කොඩි මහන්න ගෙනාපු රතු රෙදි කෑලි දෙකකුත් අරං එකක් බෙඩ්ෂීට් එකට උඩින් නමල කපුව වගේ ඇඳගත්තා. අනික ඔලුවෙ ජටාවක් වගේ බැඳගත්තා.
දැං මං තෙල් මල් හදුන්කූරු එහෙම අරගෙන ගියා කෝවිලට. මෙිකට හවස පීටී යන්නැති සහ බඩු නැති වෙච්චි උපදේශකයන්ටත් අසනීප පිට හිටපු  කෝස් එකේ  සෙබලුන්ටත් සහභාගි වෙන්න කිව්වා. මං අපේ සීඅයි දැනුවත් කරල තිබුනෙ කලින්ම කෝවිලේ පූජාවක් කරනව කියල. මගේ ආවතේවකරු තමා 5 ගැමුණු හේවා බළඇණියෙ කෝපල් ගුණරත්න බංඩා.
සීඅයි මෙිජර් ටීඩී ක්‍රිෂාන්.

මං ගිහින් ආපු කොල්ලො දම්මල අතුගාවල පිලිමෙ අපි නාන්නැති තැනකින් වැවට දාල හෝදවල තැන්පත් කරල පහන් තුනක් දල්වල කබලට පොල්කටු අඟුරුත් ගෙන්නගෙන මල් එහෙම තියල ඔක්කොම කෙම් පහන් ටික කරල ආපු කට්ටියට  පන්සිල් දීල මාත් පන්සිල් ගත්තා.


 පස්සෙ දුම්මල සාම්බ්‍රානි දුමත් ඇල්ලුව. දැං මං කපුව  උනත් මං දන්න තෝත්තරයක්වත් ස්ත්‍රෝත්තරයකවත් නෑ දෙයි හාංදුන්නේ😁😁. ඒ කියල ගේම අතාරින්නද. නැතිවෙච්ච ලැබෙනවද. නෑනෙ. කට්ටියත් ටිකක් දුරින් ඉන්දෙව්වෙ මෙික ඇත්තක් වගේම කරන්ඩ ඔින හිංද. මොකද ස්තෝත්‍ර වලින් අහුවෙන්ඩ පුලුවන් නැත්තං😁😁😁.

දැං මං පටන්ගත්තා මුලින්ම අහසට බිමට දියට නායක සියලු දෙවි දේවතාවන් දෙයියෝ බුදුවන්ඩ කියල හිමින්... කියන දෙයක් අනික් අයට නොතේරෙන ගානෙන්.
 ඊලඟට  ටී පනස් හයේ පලවෙනි පාඩමින් පටන් අරන් පස්වෙනි පාඩමින් ඉවර කලා.
චෙක්සේප්ටි සිලෙක්ටර් ඔිපන්ද ටූ පූච් රිමූ ද මැගසින් ඉන්ටුද පූච් සේප්ටි ඩවුන් කොක්ගන් කොක් රිලීස් පෙස්ටිගර් සේප්ටි අප් එම්ටි මැගසීන් ලුක් ඉන් චෙක්ආප්.මැගසින් පිලිං සයට් සෙටින් ලෝඩින් අන්ලෝඩින් ඇන් මේක් සේප් හීමීට තාලෙට කියෝගෙන කියෝගෙන යන අතරෙ මැදින් ටිකක් හයියෙන් දෙමලෙන් වචන කීපයකුත්  දැම්මා.

ඊටපස්සෙ.
වෙන්නිලවෙි වෙන්නිලවෙි වානතවිටුටුවා..නෙජිකුල උලදලාම් කාදිල සොලිඩවා.උන්පේර සොල්ලුම් රෝජාප්පූ..කාට්ටිල් ආඩුම් තනියාග උන්පාට්ටු මට්ටුමි තුනියාග..ඔිම් ශ්‍රී හරහරාං ඔිම්.නමෝ .බගවතී ගවුරි පන්දාරක්ෂ ලෝක වසීකාරි අයියම් කිලියන් අරවින්ද් කල්යානං නාරයන් දේවී විරූලස්මී විරූඩ ලක්ෂ්මි මොගිත්තු නෙරෙක් සිවාහ:ද්‍රතරාස්ට විරූඩ විරූපාක්ස වෛස්‍රමන වෙසමුනි දැඩිමුන්ඩ අයියනායක මල්ලිනායක කතරගම දේවේන්ද්‍ර දෙයියෝ මෛත්‍රි බුදුන්දැක නිවන් දකින්ඩ...ගැත්තාටත් ගැත්තාගෙ පරපුරටත් සියලු ලෙඩරෝග කරදර බාදා මැඩ අන්තරායකර පස්න දුරුකර කල්පයක් ආයු ලැබදෙන්ඩා..
චූට්ටක් හයියෙන් කියල තාලෙට චුට්ටක් අඩියත් තියන ගමන් කවි දෙකකුත් කිව්වා.

වාතෙන් පිතෙන් එන ගෙඩියයි සෙං ගෙඩිය
ගාතෙත් අතෙත් එන ගෙඩියයි විස ගෙඩිය
මාගෙත් සිතෙන්නං ඉවසන්නට බැරිය
නැන්දම්මගෙ බාල කෙල්ල එල ගෙඩිය..

දේන දේන අවී උතමචාර අවී
පේලි පේලි හිටා.... පාන කොකාාාං  කැටී
පෙසෙක තියා අවී නට් පෝසන් සිටීඊඊං
අයියනායක දෙවී මගෙ රංවල දෙවී


ඔිම් හ්රීං හර හරමා ඔිම් ස්රීන් ග්ලිපින්ඩෝ ස්ලිදරින් හපල්පප් ඒස්වාහ: පොහ්: ගාල ගැහුව ඉස්සරහ තිබ්බ ගලේ පොල් ගෙඩිය.😁😁😁😊😊😊

ආයෙ වැඳගෙන හයියෙන්.

අයිනායක සිරි විස්නු දේව කතරගම දේවමන්⁣ඩලෙත් රංවල දේව සුමනසමන් දේවමන්ඩලෙත් සම්බුද්ද සාසනයත් රැකෙන රටත් හතරකොනේ සිට කල්පයක් රකින්ඩ පොරොන්දු දුන්නාවූ
ද්‍රතරාස්ට විරූඩ විරූපාක්ස වෛස්‍රමණ දේවමන්ඩලෙත් ඇස් ඇරී ගැත්තාගෙත් ගැත්තාගේ හිතවතුන්ගෙත් මෙතෙක් මෙි කදවුරේ නැතිවුනාවු සෑම සියලු බඩු බාන්ඩ පැය විසිහතරෙන් දෙපාමුලට ලැබෙන්ඩ සලස්වා මෛත්‍රි බුදුන් දැක නිවන්දකින්ඩ ඒ පිනත් හේතු කර මෙි පිනත් හේතුකර  බුදු පසේබුදු මහරහත් යන කිනම් හෝ බෝදියකින් නිවන් සැප වදාරත්වා හයි.... කියා මෙසේ ඉල්ලා සිටිම්හ.

 ඔන්න සුද්දයි නිවාරනයි. නැතිවෙච්චි දේවල් පැය විසි හතරෙන් නැතිවුනු කට්ටියට ලැබුන්නැත්තං කියන්ඩෝනෙ
මෙි අතක් ⁣හරි පයක් හරි කැඩිල වණවෙන්ඩ තමා කලේ. හැමදාමත් මෙිව හොය හොය ඉන්ඩ  බෑනෙ. යමක් නැති වෙච්චි අය ඒව ලැබිච්ච ගමන් මාව දැනුවත් කරන්ඩ. කමා කරවන්ඩ. නැත්තං මෙික දිගටම බලපානව. කියල ලෙක්චර් එකකුත් දීල මං සියලු දෙවියන්ගෙන් වෙනම වැඳල සමාවත් අරගෙන ඉවර උනාට පස්සෙ  කයියක් ගහගෙන එන්න ආව.

අපි උපදේශක කෝපල්ලා රෑට කන්න යන්නෙ එකටමයි. ඒක අපේ සම්මුතියක්. එතන ටීවී රූම් එකේ තමා අදහස් හුවමාරු කර ගන්නෙ.හෙට දවසෙ පුහුණු සැලසුම්. ලෙක්චර් තියෙන කට්ටියට අමතක වෙච්චි දේවල් එහෙම තියෙනවනං මෙතනින් තමා මතක් කරගන්නෙ.මතක් කරල දෙන්නෙ. උපක්‍රම අඩුපාඩු කතා කරගන්නෙ. අවශ්‍ය උපදෙස් දෙන්නෙ.

අපි හතට කෑමට ගියාම නවයට විතර තමා එන්නෙ.
ඒ එද්දි මං දැක්කා කලු ටියුලිප් එකක යමක් දාල කනුවක මොකක් හරි එල්ලල තියෙනව.
ඒ මගේ නැතිවෙච්චි නෙට් එක. පහුවදා උදේ එලියෙ වැලේ මගේ යුනිපෝම් එක තිබුනා. ටීෂර්ට් එකනං හම්බුනේම නෑ. මගේ පරන බූට් දෙක වෙනුවට අලුත්ම බූට් දෙකක් දවසකට විතර පස්සෙ ඇඳ උඩම තිබුන.

හුඟක් කට්ටියට නැතිවෙච්චි දේවල් අඩු වැඩි වශයෙන් එක එක ආකාරයෙන් ලැබුනා. ඒකට මට තෑන්ක් යූ ගොඩක් හම්බුනා😊😊😁. මං මාස නවයක් ඒ කඳවුරේ හිටියා. එතකං ආයෙ කිසිම දෙයක් නැතිවුනෙත් නෑ. පූජා තිබ්බෙත් නෑ.
හැබැයි කෝපල් ආරච්චි වෙනුවට උපදේශක ඈයො  " කෝපල් කපු" නමත් නිළධාරින් "කෝපල් කපු උන්නැහේ" කියලත් ආමන්ත්‍රනය කරන්නනං පටන් ගත්තා.

අතක් පයක් කැඩුන වගේද හිතෝතුනි කකුලක් එහෙම කැඩුනොත්😊😊😊.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.26

Sunday, May 24, 2020

රසනිගෙ බොඩි ගාඩ්

මඩකලපුවෙ තමා මෙි සීන් එකත් වෙන්නෙ. ඉස්සරල නැගෙනහිර ඉවර කරලම උතුරට යමුකො නේද.

මෙි මං රසනිට ට්‍රයි කරන දවස්. මෙි වෙද්දි මෙයාගෙ හොඳම යාලුවා යැයි කියාගත්තු නෝට් ටූ පයි ඒරියා එක ගම වෙච්චි ලොන්ත පෝල්  මහ අම්මන්ඩි කෙනෙක් රසනිගෙ සිකුරුටි විදියට වැඩකලා. එයාගෙ නම සුනේත්‍රා. පයිවට් සුනේත්‍රා. සැක්.ඒක හරියට ගොං පයින් ගහපු ලන්තෑරුමක් වගේ. ඒක මහ මොංගල් ඩෑල්ලෙකක් අයියො.. රෑ දොලහට විතර කලුයි. වැරදිලාවත් රෑක මගදි හම්බෙලා හිනාවුනොත් එහෙම අපිට මෝහිනී දිස්ටිය වැහිල වන්නං දහ අටමත් නටල මුලු හතත් පැනල තොයිලෙකුත් කරල බෝදි පූජත් දෙන්න වෙනව වැහිච්චි එකීව යවන්න.

 හැබැයි ඉතින් කලුවුනත් මුන්දැ ගාව අමුතුම ලල් එකකුත් නොකිබුනාම නෙමෙි. ගං දියක ගහං යන එකෙක් පිදුරුගහකත් එල්ලෙනවනෙ කියල  කතාවක් තියෙනවනෙ.  මෙි කටත් ට්‍රයි කරන අපේ දෙතුන් දෙනෙක් හිටියා😁😁😁.. සමාජෙන් කොන් වෙලා වගේ හිටපු මුන් ටිකත්  අර බුල්ටො පාටට හැරිච්ච අම්මන්ඩි අයිටම් එකට ඉස්පාසුවක් දුන්නෙම නෑ කියල ඒ දවස්වල දිවයින පත්තරේ කාටුන් වලටත් ගියා.
මට බකට් ඇද්දෙම මෙි ඉස්තිරී පරානෙමයි.
 මෙිකිත් එක්ක රසී ඩබල් දාල යද්දි මං කිට්ටු කරොත් එහෙම මයෙ අප්පුච්චියේ වටින කියන දේවල් ඉබෙිම නලලට එන්නෙ. ගස්සනව ගැස්සිල්ලක් හරියට බාගෙට ස්ටාට් වෙච්චි ලෑම් මාස්ටරයක් වගෙ. ආ නම්කී කිව්වම කඩනව කැඩිල්ලක් සට සට සට සට ගාල. කලු කුමාරය හරි කමන්නෑ මෙිකිට "නම්කී" කියනවනං.
එක දවසක් මෙි අම්මන්ඩිල දෙන්න ඒ කිව්වෙ අපේ උන්දැයි මෙවුන්දැයි දෙන්න කලපුව අයින දිගේ මැයිමල් ඉහිරුනු මල් මාවතේ උයන් සිරි නරඹමින් පාද චාරිකාවක් යන අතරෙ මාත්  බ්‍රෙික් නැති හුලං නැති මඩ්ගාඩ් නැති මගේ අජානේය ස්කූටරේ නැගී වෙිගයෙන් ඉස්සරහට එනවා.  සුනේත්‍රා අයිටම් එක මහපාර මැද ආවෙ. ඒකි දුරතියාම මං එනව දැකලත් ඒක සත පහකට ගනන් ගත්තෙ නෑ. මොකද මං අර හුචක්කුව ගාව සයිකලේ නවත්තයි කියල නිගමනේකට ඇවිත් ඉන්නැති.  මාත් හදිසියකට මෙි ඇරල යන්ඩ යන්නෙ. "අයින් වෙයාව් මෙිකෙ බ්‍රේක් නෑ" කියාගෙන තවත් වට දෙකක් පැටල් කරපු මං ඒ වෙලාවෙ හිතුවෙ මෙිකි අයින් වෙයි කියල. රසිනි දන්නව මහ සන්තෑසියක් අත ලඟයි ලඟයි වගේ කියල. අරකි නෙමෙි ගණන් ගත්තෙ. අර ලබ්බට කූර⁣ට ගැහුව වගේ පේන කිරල් කකුල් දෙක අස්සෙන් බයිසිකලේ ඉස්සරහ රෝදෙ යවල නවත්ත ගන්න කියල හිතුවත් ඒකිත් එක්ක ආපු  අනික් ඩෑල්ලෙක අමුතු එකක් හිංද  මං බොහොම අමාරුවෙන් පිටි පස්සෙ රෝදෙට බූට් එක දාපු දකුනු කකුල අල්ලල වන්ඩිය නවත්තගෙන
" මැරෙන්ඩ යනවද හුක්" කියල ඇහුව.
මෙිකි එක පාර කියාපි කටත් උල් කරල "ආ කව්ද දන්නෙ මැරෙන්ඩ යනවද? නැත්තන් රසනි හොයාගෙන යනවද" කියල.
මටත් ඉතින් කට නිකන් තියාගෙන ඉන්නම බැරි ගතිය නිසා" නෑ.මං මෙි සුනේත්‍රාගේ ගාත්‍රා දෙකේ මූත්‍රා පොල්ල යාත්‍රා කරවන්ඩනෙ යන්නෙ" කිව්ව.😁😁😁.
 මයෙ කිරි හපුච්චෙි ඒක කියපු ගමන් මෙිකි ආයෙ කඩපු කැඩිල්ලක්..කන් දෙකත් වෙන වෙනම හොල්ලල මැස්සො බීපු පපුවත් වමටයි දකුනටයි දෙපැත්තටම ගස්සන්න ගත්තා. හිතුව මදි මාව අල්ලගන්ඩ ඔිවට. හොඳ වෙලාවට රසිනි හිටියෙ.නැත්තං මෙි උන්දැ කඩපු කැඩිල්ලට තව පොඩ්ඩෙන් මගෙත් හැඟීම් ඇවිස්සිලා මල ගිනිවිජ්ජුම්බරයක් වෙලා ඇය මවක් වෙලා මා පියෙක් වෙලා සුරංගනා ලෝකෙක තනි වෙන්නත් බොහෝ දුරට  ඉඩ තිබ්බ එතන.

ඒ උනාට කිව්වෙනං ඉඳකින් මුගේ තියන වල්කම කියල විතරයි. "ඒ වල්කම  හැම වල්ලකම තියෙනවනෙ නමිකී" කියල රසිනි දිහා බැලුවම ඒකි  මා දිහා නෙතඟින් බලා කට කොනෙන් මද සිනහවක් පාගෙන හිටියෙ ඊලඟට ඇගේ සුදු මුදු දවසකට දහ පාරක් විතර  වෙල්වට් ගාල හෝදන  හරිම සොප්ට් ස්කින් විත් වම් අතේ රැඳී තියෙන නනයක් කැඩිච්චි රෝස පාට මල් මල් කුඩෙි මාගේ සිරස හෝ මුව කමල සිපගැනීමෙි අරමුනින් ගුවන් ගත කරන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දි මාත් ඉතින් ඇයව සේප් කර ගන්න අදහසින් යුතුව  "දන්නැද්ද අනී, පොඩි ඈයොනී" කියල සමාව භාජනය කරා.
*දැන් තමුන් අපිවත් යටකරල මරාගෙන මැරෙන්ඩ යන්න වගේ කඩා බිඳගෙන  ආවෙ කොහෙ යන්නද?
*බෙිකරියටනෙ
*ඇයි අදත් රෑට පාන්ද?
*ඇයි අදත් හවසට ගේන්න ඔිනැද?
*මගුලක් කියෝනව. ඒක නෙමෙි මං කිව්වෙ. කුමාරසිරිගෙ පාං කාල ඇතිවෙලා ඉන්නෙ.
*ආරච්චිලෑ වත්තෙ කෙසෙල් තියෙනව.
*තියාගං කියල කටින් කිව්වට මිත්‍රවර්නි,මගේ කොන්දනෙ රිදුනෙ.
*තමුන් දැන් කොහෙද ගියෙ?කොහෙද යන්නෙ? පස්න වැලක් ඇහුවා.
*ඉන්ට් ඔෆීස් එකට ගියෙ. කැප්ටන් ශිරාන් පනිවිඩයක් එවල තිබුනා.හැකි ඉක්මනින් ඇවිත් හම්බවෙන්න කියල.
*දැං හම්බුනාද.
*නෑ. බ්‍රිගේඩ් ඔෆීස් එකට ගියාලු. ආයෙ මිසින් වෙන්න කලින් අල්ල ගන්න ඔින.මං යන්නං.
*හ්ම්...
මාත් බයිසිකලේට නැගල වට දෙක තුනක් පාගන කොට තමා මතක් උනේ යකෝ මෙිකි මෙි පැත්තෙ මෙි කොහෙ යන්ඩ යනවද කියල.
ආයෙ යූ ටර්න් එකක් ගහල ඇවිත් ඩබල ගාවින් නැවැත්තුව.
*ඇයි මොකෝ.
*සප්තලනේ කොහෙද මෙි යන්නෙ මාතර කෝච්චිය හලාවත පාරෙ යනව වගේ කඩ කඩ..
*ඒව රහස්.
* රහස්නං අවුලක් නෑ. අපි දෙන්න අතර රහස් නෑනෙ. කියන්නකො.
*ඊඑස්ආර් එකට.
*අද කොහෙද ඩියුටි.
*කොටුවෙ.
*එහෙනං මෙි ලොන්ත පෝල් ඩෑල් එක එක්කහු කරං එන්ඩෙපා ඒ කට ඈ. මෙි අයිටමෙි හලල ආවොත් මං හත වෙද්දි එතන හරී.
සුනේත්‍රා මඩෙන් නග්ගපු මීදෙනක් වගේ මං දිහා බලල අහක බලාගත්තා.  මාත් එසැනින් සුටුස් ගාල ඇහැක් ගහල කාම භෘංග ඉරියව්ව පාල සයිකලේ හරෝගෙන එන්න ආව.
එදා රෑ..
*රුවින්
*ඇයි.වස්තුවෙ.
*තමුසෙට කෙල්ලො පේන්න බෑ නේ??
*ඔව්. මට එකියක් හැර අනික්වනං පේන්නම බෑ.ඇයි සුනේත්තරාද කවිද කියන වහන්තරාවද කිව්වෙ අහන්න කියල.
😁😁😁.
*එහෙම එකක් නෙමෙි මං කියන්නෙ හලෝ.
*එහෙනං.
*ඇත්තටම ඔයාගෙ කටනං අන්තිමයි රුවින්. මට හැමෝම කියන්නෙ ඔයාගෙ කට ටිකක් අඩුවුනානං සෝක් කොලු පැටිය කියල.
*රසී...
*ම්ම්ම්ම්
*ඔයාව කොල්ලොන්ට පේන්න බෑ නේ??
*අනේ මන්නං එහෙම එකක් දන්නෑ.
*ඒ වුනාට අපේ කොල්ලො අහන්නෙම "තොගෙ ඇස්වල හොටුද බං.ඔය වහන්තරාව පස්සෙම ඇදෙන්නෙ, ජයතිස්සල රත්නායකල රසිකාල ඉද්දි කියල.
*ඉතින් ඒ කෙනෙක් අල්ල ගත්තනං හොඳයිනෙ. ඇයි මටම වද දෙන්නෙ.
*මෙිකනෙ සුදූ. මං ඒව ගැන සලකා බලන්න ඉන්නෙ.මෙි සතියෙ බලල.
*ඇයි මෙි සතිය බලන්නෙ.
*මෙිකනෙ රත්තරං වසන්තය ආවත් මල් පිපෙන් නැත්තං ඒ වසන්තයෙන් වැඩක් තියෙනවද කියහංකො. මං ගමෙි එකකටවත් බහින්න කියල හිතාගෙන ඉන්නෙ මෙි..

ඔහොමත් ඉතින් අපි දෙන්න කච්චෙිරිය ඉස්සරහ පොයින්ට් එකේ ගොඩක් වෙලා කයිය ගහ ගහ හිටිය. මෙි පොයින්ට් එකට වටෙන් පාරදිගේ කව්රු හරි විසිට් එකක්  ආවොත් පේනව. ඒත් පිටි පස්සෙන් ආවොත් පේන්නෑ. මං මගේ රෝද දෙකේ  ලෑන් කුසර් එක නේවි බිලට් එක ගාව තිබ්බ කුඹුක් ගහට හේත්තු කරල තමා මෙතනට එන්නෙ. ඒ දවස්වල  රෑට මං නේවි බිලට් එකේ ඔිමි ගහන්න එනව. සමහර දාට බොන්න එනව.ඒ ආහම සමහරදාට මං ඒ බිලට් එකේමත් නිදියල පහුවදාට තමා ආපහු යන්නෙ.

ඒ දවස්වල අපිට සම්පූර්ණයෙන්ම රෑට ගෑල්ලමයිගෙ පොයින්ට් වලට යන්න තහනම්. කතා කරන්න දෙයක් තියෙනවනම් කැන්ටිමෙි විතරයි කතා කරන්න අවසරය තිබුනේ. එතන මගේ පර්ස් එකට වැඩි ආරස්සාවක් නැති හංද හැම ප්‍රානියෙකුටම හොරෙන් ලමිස්සිගෙ පොයින්ට් එකට කැපෙනව හැමදාම.
මෙි පොයින්ට් එකේ එදා හිටපු අනික් සුදාම්මි බැඳල ක්වාටස් ගතවෙලා ඉන්නෙ. එයා රෑට කාල බීල මිනිහටත් සලකල පැටලුං දිගෑරගෙන ගැට ලිහාගෙන හෙම පොයින්ට් එකට එනකොට රෑ දහයවත් වෙනව. එකියක් බංකරේ ඇතුලෙ සැපට නිදි.
අපි දෙන්න කලපුව අයිනෙ ඉඳගෙන තමා කතාකර කර හිටියෙ. ඔහොම ඉන්නැද්දි එක පාරටම බවලත්තු දෙන්නෙක් කතා කරන හඬක් ඇහුන ටිකක් විතර ලඟ.
ඒ කටහඩ ඇහුන විතරයි රසී ආවෙිස වුනා වගෙ වුනා.
*අනේ මෑම් එන්නෙ මෑම් එන්නෙ..අනේ ඔයා දැං යන්න කිව්ව.
දැං මං කොහාට ගියත් එයාල ඉන්න දුර අනුව පේනව. මොකද කලපුව අයින පාර දිගේම ලයිට් දාල තියෙන්නෙ. මෙි රෙද්ද ලගටම එනකං දන්නෙවත් නෑනෙ අප්පා. මටත් කරගන්න දෙයක් නෑ. මටනං අවුලක් නෑ.ඒත් රසී හින්ද අවදානමක් දෙන්නත් බෑ.
මං කලපුව අයින දිගේම අඩි දහයක් විතර නැමිල ඇවිත් රිංගුව බංකරේට. රිංගල  අනික් ඇඳට පැනල ඒකෙ තිබුනු රසීගෙ ජීවන සුවඳ වන් වූ අමු සර්පෙක්සෙල් ගඳ ගහන බෙස්සීට් එකත් ඔලුවෙම ඉඳල පොරෝගෙන  පේන්නැති වෙන්න පැත්තදාල වැටුනා. දැං හොයපියව්කො මාව.
මෑම්ලම  දෙන්නෙක් විසිට් එක එනව.
*කව්ද සෙන්ට්‍රි ඉන්නෙ..
*ගුඩීවිනිං මෑම්.. මං තිලකරත්න..
*ආ තිලක රත්න..ආයෙ කව්ද ඉන්නෙ..
*මෑම් මමයි වෛද්‍යරත්නයි ලා/කෝ ගුණසේකරයි.
 මෑම් කෙනෙක් ගැහුව ටෝච් එක බංකරේ ඇතුලට. (කෝපල් ගුණසේකර අපේ රෙජිමෙින්තුවෙ කෝපල් කෙනෙක් බැඳල ඉන්නෙ. එයාගෙ මහත්තය තමා නච්චිකුඩා ලයින් එකේ ටැට්ටරේ බ්ලාස්ට් වෙච්චි දවසෙ මාව පුද්ගලික විස්තර පයිල් එක ගේන්න කියල ආපහු යැව්ව සැරයන් සිල්වා) මෙි දෙන්නම අපිත් එක්ක සුපිරියටම හිතවත්. කෝපල් ගුණෙත් දන්නවා මං රසිනිට ටෝක් කියල.
එක මෑම් කෙනෙක්
*ආ අද පුදුමයි කෝපල් ගුණසේකර වෙිලාසන ඇවිත්නෙ.
ගෑනුන්ගෙ මොලේ හැඳිමිටෙි දිගනෙ තියෙනව කියන්නෙ.
*ඔව් මෑම්.සනීප නෑ කියල අද කලින් ඇවිත් නිදාගත්තා.
*මෑම්ල දෙන්නම යන්න ගියා. එක්කෙනෙක් කොහොම හරි දැකල මගේ වන්ඩිය කුඹුක් ගහට හේත්තු කරල තියෙනව. මෙයාලා හොඳට අදුරනව මගෙ බයිසිකල් එක.
මං දැං ඇඳේ ඉඳගෙන. අනික් ඇඳේ බුදියං හිටපු අනිකි හැක හැක හැක ගාල මට නෝන්ඩියට හිනාවෙනව.
එක මෑම් කෙනෙක් කියනව..

*මෙි ආරච්චිගෙ බයිසි කලේ නේද??

*ඔව්නෙ.අනිවාරයෙන් ආරච්චි මෙි කිට්ටුවම කොහෙ හරි ඇති. තිලකරත්නනෙ සෙන්ට්‍රි ඉන්නෙ.

රෙද්ද තමා මෑම්.... මං මෙි බංකරේ😁😁😁😁..

ඒ ගමන්ම මං රසිනිට කියන විදියට හිමීට අනිකිට විතරක් ඇහෙන්න.
*රසීහ් මගෙ රසීහ්..එම්න ඔයාගෙ පතිවත බලම්න.. කියද්දිම.
*දූ හු%@$&ත කියල ඔලුව තිබාගෙන හිටපු කොට්ටෙං දේයි ගාල ඇදල ඇරිය. ඉඳකින් විතරක් කටෙන් එකයි පුලුං..සැක්..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.24


ප:ලි. මගේ ආදරණීය යාලුවනේ.. ඔයාලගෙ කමෙන්ට්වලට රිප්ලයි නොකලා කියල මුකුත් හිතන්න එපා. ඒ මගෙ මහන්තත්තකමවත් ලොකු කමවත් නෙවෙයි. නමුත් ඔබතුමන්ලට දැනගන්න මොනවාහරි ⁣තියෙනවනම් කමෙන්ට් එකක්  දාන්න.මං මගේ සීමාවෙන් ඉඳන් උපරිම ඒවට රිප්ලයි කරනව.  ස්තුතියි වගේම බොක්කෙන්ම ආදරෙයි මගේ කතා කවි කියවන සියලුම දෙනාට..

Saturday, May 23, 2020

පාසැල් ප්‍රේමය



සෙනෙහස මනින්නට ලෝකයෙ නොමැත  මිමී
එනිසා මුලාවට ඉඩදී පනිති                           පිමී
ඉවතට දමා ආදරයේ සියළු                          බැමී
වෙන පැත්තකට ගිය ඈ අද හැඳිනු            වෙමී

රවුමට තිබුනු මුහුනට කලු ලපය                ඉතා
ගෙන දුන් අලංකාරය එහි තවම                 ඇතා
නළලෙහි දඟකරති ලස්සන කියුඹු             ලතා
සිකි පිල වරල ඇත පෙර පිලිවෙලට       ගොතා

ඩෙනිමට තවම ඇගෙ රුව                අලංකාරය
විකසිත දෙතොල් මල් පෙති              එයා කාරය
ලෙලදෙන තිසර ලැම                 සෙල්ලක්කාරය
නැවතත් කතාබහ  අති                    භයංකාරය

මගහැර නොගොස් හමුවී ඉදිරියට         ගිහින්
ඇසුවෙමි නවක තතු පිලිබඳ මිතුරු      ඇහින්
කල කී කතා බහ මැද ඉකි හඬකි           සිහින්
ඇයටත්  නොදැනි කලවයසත් ගෙවිල   ගිහින්

පළවෙනි කඩ ඉමෙන් මම පස්සට        හැරුනා
විසි දෙවසරක් කල් යුධ සේවෙට            බැඳුනා
එනමුත් ඇගේ සිහිනය වෙත නිති          ඇදුනා
ඇය කැම්පස් ගිහින් ඉහලම තැන          රැඳුනා

විදුහල් පේමයට වැඩියෙන් එහා                 යතී
නැතිනම් අසාදාරනයක් කලා                    වෙතී
ඇය රට මැද්දෙ කොටසක උප               දිසාපතී
මම කුස රජුය දැන් ඇය මගෙ              පබාවතී

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.23

අතීතයෙන් කතාවක් 03



එදා මං ශිෂ්‍යත්වය ලියන දවස. උදේ පහට නැගිටල අම්ම ස්වදේශීය සේවෙ යන පිරිත් විකාශය දාල කුස්සියට ගිහින් හිටියෙ තේ වත්කරන්න යි මට කාල යන්න කිරිබත් උයන්නයි. අපිත් මෙි පිරිත් ආරම්භයත් එක්කම අනිවාරයෙන්ම පහට අවදිවිය යුතුයි. අනික එදා මට විශේෂ දවසක් නිසා වෙිලාසනම නැගිටල පහ හමාර වෙනකම් පිරිත් හොඳට අහගෙන ඉඳල අම්ම හදල දෙන ප්ලේන්ටියත් බීල ඉවර වෙලා එටර්නා දත්බුරුසුවට එස්ආර් ටිකකුක් මිරිකල දාගෙන දතුත් මැද මැද ලිඳ ගාවට ගිහින් හොඳට මූනත්  හෝදගෙන ආව. මං යනකොටම අම්මත් ආව මූන හෝදන්න. මාත් මගේ දුඹුරු පාට වුනු සුදු ටවල් එකෙන් මූන පිහ පිහ ඇවිත් ගෙට ගොඩවෙලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනා. අක්කා කලින් දවසෙ හවස මට තිබුනු හොඳම සුදු කොට කලිසමයි කමිසෙයි පොල්කටු ඉස්තිරික්කෙන් අයන් කරල නමල තියල තිබුනෙ. අක්කත් මට ඇවිත් ලෑස්තිවෙන්න උදව් කරල හොඳට විභාගෙ ලියල එන්න කිව්වා. මං කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. මොකද මං කොහොමත් දන්නවනෙ කලින්ම ශිෂ්‍යත්ව ප්‍රථිපලය. ඒ නිසා මට වැඩිය දඟලන්න උවමනාවක් තිබුනෙත් නෑ. ගිය බදාදා අම්මත් එක්ක පංසලට ගිහින් බෝධි පූජාවකුත් තියල හාමුදුරුවොත් හම්බ වෙලා කාරණාව කිව්වම අතේ ගැට ගහපු පිරිත්නූල විතරයි විශ්වාසෙකට තිබ්බෙ.
අම්මත් ඉක්මනට ඉක්මනට මූන හෝදගෙන ඇවිත් අශෝකා වීදුරුවකුත් අලු දාල මැදල කලෙන්ම වතුර එකකුත් පුරෝලා ගේ ඉස්සරහම පුවක් රීප්ප මැස්සක් උඩ සරුවට වැවිල තිබුනු සමන් පිච්ච වැලෙන් මල් කීපයකුත් කඩල නැට්ට යටට හිටින්න වතුර වීදුරුවට දාල මෙිසෙ උඩින් ගෙනත් තියල ඉතුරු ටිකත් ලහි ලහියේ ලෑස්තිවුනා. එයා ලෑස්තිවුනේ මාත් එක්ක ඉස්කෝලෙට යන්න. මං ඒකට කැමති නෑ.මොකද අද විතරක්. විභාගෙ ලියන්නෙ මමනෙ.අම්ම ලෑස්ති වෙන අතරේ මම අම්මට කලින් ලෑස්ති වෙලා පයිල් කවරෙ දාපු බෑග් එකේ සාක්කුවට පැන්සල් දෙකකුයි නංගිට හොරෙන් එයාගෙ සුවඳගහන මක්කෙකුයි දැම්ම.
දාල ඒක තාත්තගෙ ඇඳ උඩින් ගෙනත් තිබ්බා.
වෙලාව හයයි දොලහයි. අම්ම  අර සමන් පිච්ච මල් දාපු වතුර වීදුරුවත් අරන් මට කලින් ගෙයින් පිට වෙලා මගේ ඉස්සරහට එන ගමන්
*පුතේ වෙලාව හරි. එන්න දැං කිව්වා.මාත් ආව. ඒ වතුර වීදුරුවත් අරං මගේ ඉස්සරහට ආව අම්ම ඒකෙන් උගුරු දෙක තුනක් පෙව්වා. පස්සෙ අම්මටයි තාත්තටයි දණ ගහල වැන්ඳා.
තාත්ත ඔලුව අතගාන ගමන්
*රත්නත්තරේ පිහිටයි.හොදින් කලබල නැතුව පුලුවන් තරම් කල්පනා කරල විභාගෙ ලියන්ඩ ඔින ඈ. කිව්වා.
අම්මත් ඒ ටිකම තමයි කිව්වෙ.
ඒ ඔක්කෝම කෙම්පහන් ටික කරල ඉස්කෝලෙට යනකන්ම මට කිව්වෙ
*පුතේ ආයෙ අවස්ථාවක් නෑ.පුලුවන් තරං හොඳට උගන්නපුව මතක්කර කර විභාගෙ ලියන්න. හොඳ ඉස්කෝලයක් හම්බුනොත් මයෙ පුතාව මං හැමදාම ඉස්කෝ එක්ක යනව. නැත්තං ඔය ඉස්කෝලෙට ගිහින්නං අමාරුයි පුතේ ඉගෙන ගන්න. ගමෙි ඔක්කොම බලා ඉන්නෙ නටපු නැටිලි වලට පුතා පේල් වෙනකං. ඒ අයටත් පේන්න එක්ක හොඳට විභාගෙ ලියන්න ඔින ඈ.
මාත් අම්ම කියන කියන එකට හ්ම් හ්ම් ගගා ඉස්කෝලෙට යනකම්ම ගියා.
විභාගය පටන් ගන්න වෙලාවත් ආවා. ළමයි එක්ක ආව දෙමව්පියො ඔක්කොම ඉස්කෝලෙන් එළියට යවල විභාගෙත් පටන් ගත්තා. ඉස්සෙල්ල තිබුනෙ සිංහල. ඒක ලිව්වා. ඊට පස්සෙ ගණිතය. ඒකත් නියමිත වෙලාවට ලියල ඉවර කලා. මටනං පේපර් දෙකම ගිනි ගින්දර වගේ ලේසියි. එදා විභාගෙ⁣ට ඇවිත් තුබුනු ප්‍රශ්ණ අනුව හා මගෙ තිබ්බ විශ්වාසය අනුව ලංකාවෙන්ම එක වෙන කව්රුත් නෙමෙි මං. ඒකෙ ආයෙ දෙකක් නෑ.
එදා අම්ම මට ටවුන් එකේ විජේ මාමගෙ කඩෙන් කන්නත් ගොඩක් ජාති අරන් දුන්නා. කැප්රෝල් දාන තුවක්කුවකුත් අරං දුන්නා.ඒකටම කැප්රෝල් දහයෙ බණ්ඩලයකුත් අරං දුන්නා. මට විභාගෙ ඉවරවුනාට වැඩිය සතුටුයි අම්මගෙ සැළකිලි වලට. මාත් අම්ම ගානෙ හොදට බඩ පැලෙන්න කාල කාල තුවක්කුවකුත් අරගෙන හවස බස්එකේ ගෙදරත් ආව. එදා රෑ තාත්තාගෙ සම්මුඛපරීක්ෂණය.
*කොහොමද විභාගෙ.
*මටනං ලේසියි. මංතමා වැඩිම ලකුණු ගන්නෙ.ඒක මට ෂුවර්.
*හරි ඒ තමුසෙනෙ කියන්නෙ. විභාගෙ ලේසිද.අමාරුද?කියනවකො.
*ඔය ඉතින් ආයෙ අහනවනෙ.ලේසියි ලේසියි දෙයියනේ. තාත්තා මොහොතක් මා දිහා බලාගෙන ඉඳල හිනාවෙලා කිව්වා..
*පේමෝති මිනිහ ලේසියි කියනවනං ආයෙ ඒකෙ දෙකක් නෑ. පේල්. අමාරුයි කිව්වනං ටිකක් හරි හිත හදාගන්ඩ තිබුනා.
*හරි ප්‍රථිපල ආහම බලමුකෝ. තාත්තනෙ කියන්නෙ මං පේල් කියල.
*පුතානං පේල් වෙන්නෑ.ඒක මං ඉරහද පායනව වගේ දන්නව. විභාගෙට ආපු ප්‍රශ්ණ ටිකකුත් මා එක්ක කිය කිය ඒවටත් උත්තර කිය කිය ආවෙ. කිව්ව ඒවනං ඔක්කොම හරි. ඒත් ඒ විදියට ලිව්වද කිලයලනං මාත් දන්නෑ.
*ලිව්ව ලිව්ව අම්මෙි. බලන්නකො ඔන්නං. දැං ඉවරනෙ.
අපිත් එදා කාල බීල නිදාගත්තා.
මෙි වෙනකොට අපේ කොලු නඩෙිට තවත් එක්කෙනෙක් එකතුවෙලා හිටියෙ. ඒ ජයසිරි. එයා කොලු නඩෙිට වැඩිපුර එකතු නූනත් මා එක්ක නං ගොඩක් එකතු උනා. ජයසිරි නිහඬ චරිතයක් වගේම අහිංසක චරිතයක්. එයාගෙ තාත්තා විජේ මාමා. අපේ ගෙවල් වලට ටිකක් එහායින් ගෙවල් තිබුනෙ. දවස් තුන හතරක් සෙල්ලං කරන්න ආවත් වැඩිය නෑ.
මටත් ජයසිරිව හිතට ඇල්ලුව. පස්සෙ ටික ටික ජයසිරිගෙ ආශ්‍රයට මං වැටුනා. අපි දෙන්න ඉස්කෝලෙ යන්නෙ එකට.එන්නෙ එකට. අපේ යටවක කන්ද පල්ලෙහාට බැහැල පයින් ඌරාපොලට එන්න පාරක් තිබුනා. ඒක වැටිල  තිබුනෙ කැලේ මැදින්.  දවල්ටත් ටිකක් කරුවලයි. යන්න තියෙන්නෙත් සොහොනක් උඩින්. යක්කු හොල්මන් බූතයො ගැන විශ්වාසයක් පුංචි දවස්වලම හිතේ තිබුනත් කනත්ත උඩින් යද්දි අපි දෙන්න බයවුනේ නෑ  දෙන්නෙක් ඉන්න නිසා. අපිට බස් එකේ යන්න දෙන සල්ලිවලින් ඉස්කෝලෙට ගිහින් ඇඟිලි මුරුක්කු කනව.එන්න තියෙන සල්ලි වලින් සුමනෙ නැන්දලයි කඩෙන්  සත පනහෙ නෙක්ටෝ අයිස් පැකට් අරං කකා පයින්ම එනව. ඒ එද්දි අපි ගඩා ගෙඩිත් කඩ කඩ ඒවත් කකා එන්නෙ. දං එරමිනියා රත්මල් ගෙඩි බෝවිටිය ගෙඩි තමා ගඩා ගෙඩි කිව්වට බහුලවම තියෙන්නෙ. ගෙදර එද්දි අපේ කටවල් දම්ම දම් පාටයි. කොහොම හරි තුන තුනහමාර වෙනකොට ගෙදර.
ඔහොම ඉද්දි ජයසිරි එක දවසක් මට මහ අමුතු කතාවක් කිව්වා.
*මං මෙි අවුරුද්දෙ විතරයි බං ගෙදර ඉන්නෙ.
*ඇයි ඒ.උඹ කොහෙවත් යනවද.
*ඔව්.
*කොහෙද යන්නෙ.
*මං මහණ වෙනව බං ලබන අවුරුද්දෙ.
*යකෝ උඹට පිස්සුද.මහණ වෙනව කියන්නෙ. බලහංකො අපි ලස්සනටමෙි සෙල්ලං කරල එහෙම ඉන්නෙ. උඹටත් පුලුවන්නෙ.
*නෑ බං. අම්ම තාත්ත හිටං කැමතී. මෙි  අවසාන විභාගෙ ලියල පංසලට යනව.
*හ්ම්.මටනං දුකයි බං. හිටහංකො ඉතින්.
*බෑ බං. මං ගොඩක් ආස හාමුදුරු කෙනෙක් වෙලා ඉන්න.
මං ආයෙ එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.
මමත් කීයට ගෙදර ගියත් පැයකට හරි සෙල්ලං කරන්න පිට්ටනියට යනව. ඒ අම්ම ශිෂ්‍යත්වය ලියපු දවසෙ අරන් දුන්නු පිස්තෝලයත් එක්ක. ඒ දවස්වල අපි කලේම හොරා පොලිස් සෙල්ලම. හැබැයි කිසිම කෙනෙකුට මගේ පිස්තෝලෙ අල්ලන්නවත් දුන්නෑ. පනවගේ ආරක්ෂා කරගෙන හිටියෙ. කොල්ලො ඔිකට කොච්චර රන්ඩු කලත් මම නෙවෙි අල්ලන්නවත් දුන්නෙ. එක දවසක් සෙල්ලං කරද්දි මගේ පිස්තෝලෙ කැඩුනා. ඒකට ආයෙ අලුතින් එකක් ගන්න සල්ලි දෙනකං මං ඇඬුවා. අම්මත් තාත්තගෙන් ඉල්ලල මට සල්ලි දුන්නම තමා මං නිහඬවුනෙ.

එදා රෑ අපේ ගෙදර ගුණේ මාම ආව. එයාට අපි කියන්නෙ බෝස්ගුණේ මාම කියල. එයා හරියටවත් හැලි අරක්කු බොනව. බාගයක් බිව්ව ගමන් බෝස් ගාල එලියටත් දානව. ඒ හිංදම කව්රුත් කිව්වෙ බෝස් ගුණේ කියල. මෙි මාම අපිට දුරින් නෑදෑයොත් වෙනව කියල මට මතකයි අම්ම කලින් දවසකත් ඇවිත් ගියාට පස්සෙ කිව්වා. ඒ මාම අපේ දිහා ආවම අපිට ගොඩක් දුක හිතෙන දෙයක් තමා කරල යන්නෙ. ඒ අපේ තාත්තා එක්ක යන්න එන හිංද. ඒ ගියාම මාස ගානකින් තමා ආයෙ ගෙදර එන්නෙ. ගුණේ මාමා ආහම අපි හොරෙන් බිත්තියට කන් තියල අහනව එයයි තාත්තයි මොනාද කතාවෙන්නෙ කියල.
අදත් ඇවිත් තියෙන්නෙ ඒ වගේ දේකට.
*කොල්ල සිස්සත්තෙ ලිව්වද බං ඇල්බට් අයියෙ. මොකද පාස්ද කියන්නෙ.
*අනේ මංද ඌනං ලේසියි කියල කියන්නෙ. ප්‍රතිපල ආහම තමා පාස්ද නැද්ද කියල දැනගන්න වෙන්නෙ.
*අපේ කෙල්ලත්නං කිව්ව ලේසි කතාවක් බං අයියෙ. ඒත් මුං මොනාද ලිව්වෙ කියල උන්මනෙ දන්නෙ.
*ආවෙ
*ආවෙ එදා ආව එකට.මොකද කියන්නෙ යමුද
*යන්නත්නං ඔිනේ. කවද විතරද යන්නෙ.
*ලබන සතියෙ යනව. තව එකොලහක් යනව. ජයසේන මහතුං පියල් පියන්ත හේනෙ අයිය හෙම ඔක්කොම යනව.
*හ්ම් යමුකො එහෙනං. කෝකටත් මෙි පාර ටිකක් විතර වැඩ ඇදෙයි කියල හිතෙනව.
*එහෙම තමා. හැබැයි ඇල්බට්ටයියෙ මෙි පාර වැඩටික ඉවර කරලම එමු.
ගිය පාර වගේ මැද්දෙන් නැතුව.
*හ්ම්.හ්ම්.යමුකො යමුකො එහෙනං.
එහෙම කියද්දි අම්ම ගුණේ මාමට කහට එකකුයි සීනි බෝතලෙයි ගිහින් දුන්නා. එතනින් එහාට කතා වෙන එව්ව මං අහන් හිටියෙත් නෑ.
ගුනේ මාම ඇවිත් ඉන්නෙ අපේ තාත්තත් සිංහලේ යන්න එක්කහු කරගන්න.
මෙි පාරත් පොලොන්නරුලු යන්නෙ. කුඹුරු වැඩ කරන කාලෙට මුදලාලි කෙනෙක් ගුණේමාමට තමා ⁣කට්ටිය එක්කාසු කරන්න කොන්ත්‍රාත් එක පාර දෙන්නෙ. තාත්තල සිංහලේ ගියාම ආයෙ ගෙදර එන්නෙ කාලෙකින්. සමහර විට ගොයනුත් කපල කුඹුරුත් හාල වැපිරුවාටත් පස්සෙ. ගුණේමාම තමා නඩෙි නායකය. එයා කට්ටිය එක්කගෙන මුදලාලි කියන දිහාට එක්ක යනව. එතනින් තමයිලු වැඩවලට දාන්නෙ. තාත්ත සිංහලේ ගිහින් ආහම අපිට සල්ලි උතුරනව. සෙල්ලම් බඩු කෑම බීම එහෙම ඉහලම විදියට. ඒත් තාත්තා නැතුව අපිට ගොඩක් දුකයි. කොච්චර සැර වුනත් එයා ගෙදර එන වෙලාව ලං වෙනකොට අපි ඇස් දල්ලගෙන බලා ඉන්නෙ දැන් දැන් උගුර පාදන සද්දෙ ඇහෙයි කියල. ඒත් මෙහෙම ගියාම ඒ වෙලාව ලංවෙනකොට මටනං ගොඩක් දුකයි. අපිටත් වඩා අම්මට. තාත්ත ගිහින් සතියක් දෙකක් යනකොට අම්මට තාත්තගෙන් ලියුමක් එනව. අම්මත් ඒකට උත්තර ලියල දානව. කවදා හරි තාත්තා එනකං මෙහෙමම තමා.තාත්ත එන දවසට ඒ ලියුං ඔක්කොම එකතු කරල අම්ම අතටම ගෙනල්ලත් දෙනව.


ඔහොම කාලෙ ගිහින් සිංහලේ යන දවසත් ආව. එදා පාන්දර හතරහමාරට තමා තාත්ත නැගිට්ටෙ. එයා මූන හෝදන්න බාල්දියත් අරං යන සද්දෙට අපිටත් උඩ ගිහින් ඇහැරෙනව. අපේ තාත්ත විට කෑවට ගොඩක් ලස්සනයි. කලු උනත් අඩි පහයි අගල් අටක් උසයි. අත පය එහෙම වැඩ කරලම බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ වගෙ. තාත්තගෙ රස්සාව ගොවිතැන. කුඹුරු,බුලත්,ගම්මිරිස් හෙම තමා වගා කරන්නෙ. කෝපිත් ටිකක් එහෙං මෙහෙං තියෙනව. තාත්ත සිංහලේ ගියාම අම්මගෙ කරට තමා ඒ බරත් වැටෙන්නෙ. ඒ කාලෙ බුලත් කොරටුවෙ කොල කැඩුනම අපිත් එලිවෙනකංම නිදි මරනවා. ඒ  කොල විස්ස  තියල බුලත් අමුනන්න. අම්මට මෙි වැඩ හොඳට පුලුවන්. සමහර දාට තාත්ත කුලියට එහෙම ගියාම අපිත් යනව අම්ම එක්ක වතුර දාන්න. කුඹුරු කලේනං අඳේට. අම්ම ගෙදර හාල් ඉවර වෙනකොට ලොකු තඹ හැලියක වී හෝදල ලිපේ තියල තම්බල වෙිලල මෝලට අරං ගිහින් කොටාගෙන එනව. අපිත් පොඩි උනාට සමහර වැඩ අපිටත් කරන්න පුලුවන්.
තාත්තා දත් මදින්නෙ බෝම්බු කෝට්ටෙං. ඒවා ගේ ඉස්සරහ වහලෙ අස්සෙ ගහල විස්සක් විතර තියෙනව. හැමදාම උදේට දත් මදින්න එයින් එකක් තමා අරන් යන්නෙ. තාත්ත මූන⁣ හෝදගෙන ඇවිත් අම්ම කලින් දවසෙ මැදල එහෙම ලෑස්ති කරපු නාෂනල් එක ඇඳගත්තා. ඊට පස්සෙ තමා තේ බීවෙ. ඒ ඇඳුමට තාත්ත ගොඩක් ලස්සනයි. හැඩයි. එයාගෙ පාටත් එක්ක කැපිල පේනව. කොන්ඩෙ ක්‍රේල්. පොල්තෙල් අල්ලක් විතර අරං ඔලුවෙ ගාල අම්ම පීරන පනාවෙන් සිය පාරක් විතර උඩට පීරනව. පීරල පීරල උඩු රැවුලත් පීරල තමා පනාව බිම තියන්නෙ.

තාත්තා ලෑස්තිවෙලා සරමට පොකට් පොකට් තියෙන කලුපාට බෙල්ට් එකත් දාගත්තා. අම්ම හදල දුන්නු ඇඳුම් බෑගයත් අරං කරේ එල්ලගෙන යන්න ලංවෙනකොට අම්මගෙ ඇස් දෙකේ කඳුලු ගොඩායි. ඒව ලාම්පු එලියට දිලිසි දිලිසි පේනකොට අපිට අම්මටත් වඩා දුකයි. තාත්තත් මූන එල්ලගෙන වගේ ඉන්නෙ. අපිටනං තාත්ත යන්න ලෑස්ති වෙනකොට ඇඬෙනවත් එක්ක. ඒත් මොකද උදේ පාන්දර ඇඬියාව කියල බලන බැල්මට අපි කැමති නැති හිංද අපි හොරෙන් අඬන්නෙ. තාත්තා පහ මාර විතර වෙනකොට ගෙදරින් පිටවුනා. අම්මා තාත්තට දණ ගහල වැන්දා. ඒත් එක්කම අපි තුන්දෙනත් දණ ගහල වැන්දා.
*කොල්ල සිස්සත්තෙ පාස් වෙලා තිබුනොත් ලියුමක් එවන්ඩ. මං වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්ඩ එන්නං. කියල තාත්ත එලියට බහින්න ඔන්න මෙන්න කියල අම්මට කිව්වා. ආයෙ කිව්වා "සල්ලි අතන ඇති,ටිකක් පරිස්සමින්" කියල. අපි ඒ සල්ලි තියෙනව කිව්ව "අතන" කවදාවත් දැනන් හිටියෙ නෑ. අපිට කවදාවත් තාත්ත සල්ලි අහුවෙන්න තිබ්බෙ නෑ.වැරදියට හුරුවෙයි කියල.ඒත් උවමනාව කියල ඉල්ලපුවම දෙනව.දීලත් ඒ සල්ලි වලට මොකද කලේ කියලත් අහනව. එයා කියන්නෙම පොඩි උන්ට සල්ලි ඔින්නෑ කියල. සල්ලි අතට දෙන්නෙත් ඉස්කෝලෙ වැඩකට විතරයි. ඒකරන දේවල්වලට බිල් ගෙනත් දෙන්නත් ඔින. රුපියල් පහක් කඩචෝරු කන්න වියදං කරන්න අවසරය තියෙනව.ඒත් කෑව එව්වත් කියන්න ඔින. ඒ දවස්වල අපිට හිතුනෙ තාත්තා හරි ලෝබයෙක් කියල. ඇයි දෙයියනේ කැන්ටිමෙන් මාලු පාං ගෙඩියක් කෑවත් ඒකත් අහනව. කැටෙිට සල්ලි දාන්න දුන්නත් ගනන් කරල දාන්න දෙන්නෙ. යාලුවොත් එක්ක එක්කහු වෙලා කඩවල් ගානෙ ගිහින් බුල්ටෝ එකක් නෙක්ටො අයිස් පැකට් එකක් ඇඟිලි පතුරක් කන්න සල්ලි ඉල්ලුවොත් රුපියලක් දෙයි.නැත්තං දෙකක් දෙයි. එහෙම තමා අපේ තාත්තා. දවසක් මං අපේ නඩෙි කොල්ලෙක්ගෙන් රුපියල් දහයක් හොරෙන් ගත්තා. ඒක හොර කමක්මත් නෙමෙි. අපි සෙල්ලං කරන්න ආහම ඒ එනකොට ගෙවල් වලින් දෙනව සල්ලි එනකොට සීනි සීයක් තේකොල විස්සක් පරිප්පු ටිකක් එහෙම ගෙනියන්න. අපි ඒව නැති වෙනවට වච්චිල් ගහ යටින් තියල වහනව. වච්චිල් ගහ කියන්නෙ ඔට්ටුතාං සෙල්ලම කරනකොට මෙි ගහ තමා වච්චිල. හතර වටෙි දුවල දුවල හති මුනින් දාගෙන ඇවිත් මෙි ගහ අල්ලපුවම කව්රුත් අල්ලන්නෑ. ඒකයි ඒකට වච්චිල් ගහ කියන්නෙ. එදා මංජු කඩෙි යන ගමන් තමා ඇවිත් තිබුනෙ. කොහොම හරි අපි සෙල්ලං කරල ඉවරවෙලා යන්න යන කොට මං විතරක් කන්ද මුදුනෙ හිටියෙ. අනික් ඈයො ගියාම අන්තිමෙිටම තමා මායි මහත්තයයි ආවෙ. අපි හිටියෙ ලාවුලු කඩ කඩ. ඒවත් කඩාගෙන ගහ ගාවට ආවම රුපියල් දහයක් ගහ මුල. මං ඔික ඇහිඳගත්තා. ඊට පස්සෙ මායි මහත්තයයි ඒ රුපියල් දහයෙම පියසීලි නැන්දලයි කඩෙන් විස්කිරිඤ්ඤ කෑව.
එදා රෑ ගෙදර තාත්ත ආවෙ ආවෙිස වෙලා වාගෙ.
පියසීලි නැන්ද අපේ තාත්තත් එක්ක කියල දහයෙ කොලයක් අරන් ඇවිත් ඒ දහයෙම විස්කිරිඤ්ඤා කෑවය කියල. එහෙන් මංජුලාගෙ අම්ම අපේ තාත්ත එන මග රැකගෙනම ඉඳල කියල මංජුට බඩු ගේන්න දුන්නු සල්ලි රුපියල් දහයක් නැති කරගෙන ඇවිත්. ඒක ගහමුල තමා එයාට අමතක වෙලා තියෙන්නෙ,ආයෙ ගියාම තිබ්බෙ නෑ කියල.මංජුත් කියල මමයි මහත්තයයි තමා අන්තිමට ආවෙත් කියල. අපේ තාත්තට කියල ආපහු සල්ලි එපා,කොල්ල අරංනං පොඩ්ඩක් තරවටුවක් දාන්න කියල.
ඒකයි පියසීලි නැන්දයි කියපු එකට තමා මෙයාට තරහ ගිහින් තියෙන්නෙ.
ගෙදරට ගොඩවුනෙත් දුම්මල වරම අරගත්තු කපුව වගේ
*මෙහෙ වරේන් කියාගෙන
*තෝ කාගෙන්ද අද සල්ලි ගත්තෙ.
*කාගෙන්වත් නෑ. මං බයටම නෑ කිව්වා.
*තෝ ඇහින්දද කොහෙන් හරි සල්ලි??
*නෑ.
*ඇත්ත කියපං. තෝ ඇත්ත කිව්වෙ නැත්තං හමගහල පොලිසියටත් බාර දෙනව දැනගිය.
මං සද්ද නැතුව හිටියා.
*ඇත්ත කියපිය ඉතින් ගත්තද.
*නෑ.
*එහෙනං තොට කොහෙන්ද පියිසීලිගෙ කඩෙන් විස්කිරිඤ්ඤ කන්න සල්ලි.
තාත්තා පොල්ලත් අමෝරාගෙන ඇහුවම මට කලිසමෙිම චූ ගියා. කොච්චර චන්ඩියෙක් උනත් තාත්තා ගාව අසරණයි. මට එදා බෙදුවා බොරු කිව්වටත් එක්ක. දහයක් ගහලා මාව අතින් ඇදගෙනත් ගියා පොලිසියට බාර දෙන්න කියලා. මං පන බයයි ඒ දවස්වල හිරේ යන්න. පොලිසියෙන් ගුටි කන්න.උසාවි යන්න. අම්ම නැතුව නිදාගන්න.
මං විලාප තිය තියා ඇඬුව. දඟල දඟල තාත්තගෙන් අත මුදාගන්න හෙන කට්ටක් කෑවා. ඒත් බැරි උනා. කන්ද උඩටම මහ රෑම ඇදගෙන ගියා. ඒ යද්දි ඉස්සරහට තිලකෙ මාම හමුවුනා.
*කොහෙද මෙි කොල්ලට තල තලා ඇදං යන්නෙ බං ඇල්බට්ටයියෙ.
*දන්නවද මූ කරපු නොහොබිනා දේ? කියල විස්තරේ කිව්වා. මට ලැජ්ජත් එක්ක.ඒත් අඬනව. පස්සෙ තිලකෙ මාම මං ගාවට ඇවිත් දණගහ ගත්තා
මගේ අතිනුත් අල්ලගෙන ඔලුවත් අතගගා ඇහුව ඇත්තද කියල.මං කිව්ව ඔව් කියල.
*ආයෙ කරනවද මයෙ පුතා ඔය වැඩෙි
*නෑ.
*එහෙනං බුදුන් පල්ල කියල දිවුරහං
*බුදුහාමුදුරුවන් පල්ල කරන්නෑ මාමෙ.
*අන්න හොඳා. මට දැං පුලුවන් ඔයාව පොලිසි අරන් යන එකෙන් වලක්කන්න.
ඒව හොඳ වැඩ නෙමෙි පුතේ.නරක වැඩ. එහෙම පුංචි පුංචි දේවල් කරල තමා ලොකු වෙනකොට ලොකු ලොකු දේවල් කරන්නෙ.ඊට පස්සෙ තමා ඔය තාත්තා කොරන්න ගිය දේවල් වෙන්නෙ. ආයෙ කවදාවත් කරන්නෙපා මයෙ පුතේ.
අනුංගෙ දේවල් අනුංගෙමයි.ඒව එපාමයි. අපායෙත් යන වැඩනෙ ඔිව.
කිය කිය මට ලොකු කතාවක් කිව්වා. කියල කියල අන්තිමට.
*ආයෙ කොල්ල කීයටවත් ඔය වැඩ කරන්නෑ.දැං පොරොන්දුත් උනානෙ. ඔන්නොහෙ අදට ගෙදර එක්කං පලයං ඇල්බට්ටයියෙ. හැබැයි කොල්ලො ඔිං මංතමා බෙිරගත්තෙ.ආයෙ මටත් ආරංචියක්වත් ආවත් ඇති මං තමා උඹව පොලිසි අරං යන්නෙ ඈ. ඔලුවත් අතගාල අපිව ආපහු හරෝල එව්ව. හැබැයි එදා ඉඳන් අද වෙනකනුත් මට පුදුම බයක් තියෙන්නෙ අනුන්ගෙ කියන වචනෙටත්. අනුන්ගෙ දේවල් එපාම තමා.

එදා තාත්තාගේ ඒ ක්‍රියාව හරිද වැරදිද කියා  සාධාරණීකරණය කරන්නට මා නොදනිතත් තාත්තාගේ ඒ වැඩෙන් මා මගේ මුලු ජීවිතයටම ඉගෙන ගත්තු පාඩමක් අදටත් පපුවෙි දරා සිටිමි.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.23

Friday, May 22, 2020

මාන්කේනි ටොයිලට් බැඳපු හැටි

මෙි සිද්ධිය වෙන්නෙත් මාන්කර්නි වල.ඒ කියන්නෙ 2004.12.16. සුනාමියට දින කිහිපයකට කලින්.

අපේ මාන්කර්නි වල අලුතින් හැදුවා ටොයිලට් වගයක්.එසේ මෙසේ ඒව නෙමෙි.අලිපත සයිස් එකට.මොකද මෙිසන් බාස්ලා අපේ නෑනෙ.අපිම තමා හැදුවෙ.අපි සෙට් එක කියන්නෙ ඔිනම ලබ්බකට මහ පලවෙනියෙන්ම හොම්බ දාල ඉස්සෙල්ලාම නන්නත්තාර වෙන සෙට් එකක්.ඒවගෙ බර වැඩ කණ්ඩයට මාත් හිටිය.මං හිටියෙ අත්වැඩ දෙන්න.අපේ සීඑස්එම් හිටියෙ සාජන් මෙිජර් ලයනල් කියල කෙනෙක්.එයා ආරච්චිගෙ චරිතෙ ගැන හොඳට කියවල තේරුම් ගත්තු චරිතයක්.ඉතින් මං ඉන්නෙ කොතනද එතනට විශේෂ උපදෙස් කීපයක් අනිවා දෙනව.ඒ බර වැඩ කණ්ඩයේ මාත් නම් කරල හිටිපු නිසා දුන්නු උපදෙසක් තමා කිසි විටෙකත් මගෙ අතට මෙිසන් හැන්ද දෙන්න එපා කියන එක.මොකද ඒක අපි දෙමළ මෙිසන් බාස් කෙනෙක්ගෙන් හෙන කට්ටක් කාල තමා ඉල්ලගත්තෙ.එයාට බය තිබුනෙ මං ඔිකත් කාල නැති කරයි කියල.අනේ අපි නොදන්න පොලිස් පයරින් මෙිසන් හැඳි..සෙද්ද තමා.
දැං අපි උදේ අටහමාරට පෝලින් වෙලා එහෙම නියමිත තැනට ගියා.අපි අතරෙ එකෙක් හිටියා යන්තම් කෙලින් ගලක් ගඩොලක්  බැඳ ගන්න පුලුවන්.පොර තමා බාස්.ලැට් හතරක් බඳින්න ඔින එක පෙලට.මෙිකට වලවල් කපලා කොන්ක්‍රීට් කරලා අනං මනං ඔක්කොම කරල තිබුනේ.ඉතින් දැන් බිත්ති බැඳීමේ අවස්ථාව තියෙන්නෙ.දැන් බාස් නොහොත් සිසිර කුමාර නූල් බෝලයක් එහෙම අරගෙන වජිර හවුස් එකේ මහා පරිනත අත්දැකීම් තියෙන ඉංජිනේරුවෙක් වගේ කරකව කරකව මෙිස හන්දත් අතින් අරගෙන ආව.දැං අත්තිවාරම උඩින් ගල් බැඳිල්ලක් තියෙන්නෙ.දැං ඉස්සෙල්ලා බදාම අනන්නත් එපායැ.ඒකට වතුරත් ඔිනනෙ.
*සිසිර බදාම අනන්නෙ කොහොමද අටට එකද දොලහට එකද?
*අටට එකද්දාහං.ටක් ගාල ඔින හැබැයි.
*දෙන්නංකෝ ඔයාට...ඔිවනං මොනාද අනේ..යි
 කියාගෙනම වැලියි සිමෙන්තියි දාල කලවම් කරල ගියා වතුර ගේන්න.මාත් ඉතින් බකට් එකත් අරං ඒකට හීන් තට්ටුවකුත්  දාගෙන සිංදු කෑල්ලකුත් කියාගෙන ගියා ලිඳ ලඟට.මෙතනට ලඟම ලිඳ සාජන් මෙස් එකේ ලිඳ විතරයි.මාත් හීං සැරේ මහළු මඩමට ඇතුල් උනා.ඒ යද්දි සාජන් මෙිජර් ලයනල් රෙදි වගයක් පොඟන්න දාල ඒක හෝදනව.ඒ වෙනකොට ඒව සර්ෆ්එක්සෙල් දාල පොඟන්න දාල තිබුනෙ.මං ඔික දැක්ක.
ඉතින් මං කිව්ව
*සර්, බාස්කට් එකට පොඩි කෝටු කැල්ලක් දාන්න එපායැ.
*ඒ මොකටද.
*නෑ ඉතින් නිකන් මං කිව්වෙ.
පස්සෙ ආයෙත් මං චූටි කයියකට සර්ව අල්ලගෙන විනාඩි පහක් විතර හිටිය.
*සර් ඇයි අද උදේම බෙඩ්සීට් සරං හෝදන්නෙ.
මං ඒකත් ඇහුවෙ නෝන්ඩියට කියල සර්ට තේරුනා.
*තොට ඒකෙං වැඩක් නෑනෙ.ආව වැඩෙි කරගෙන පලයන් මෙතනින් ඉක්මනට.
*අහ් ඔවුනෙ.ඒකත් අමතක වුනානෙ අප්ප.
 මාත් සර්ගෙම බාල්දියෙන් වතුර දෙකක් ඇදල බකට් එක පුරෝ ගන්නකොට සර් සරම ගලේ ගහනව හෝදන්න.
ඉතින් මං කිව්වා
*සර් ඔික  ඔච්චර හයියෙන් ගලේ ගහන්ඩෙපා.ළමයි මැරෙයි .. අපරාදෙ..
 කිව්ව විතරයි අම්මට හුඩු අර සර්ෆ්එක්සෙල් දාපු වතුර බාස්කට් එකම සර්ගෙ හස්ත දෙකෙන් අල්ලල ඇරිය ඇරිල්ලක් මගෙ කටෙි හිටං විටමින් පාර.දැං කනෙන් හිටං වතුර බෙිරි බෙිරි මාත් ආයෙ මුකුත් නොකිය වතුර බකට් එකත් උස්සගෙන ආව.ඒ වතුර මදි.ආයෙ ගියා වතුර එකක් ගේන්න.ඒ යන්න උනෙත් අතනටමයි.
ඒ ගිහින් නෝ කතා නෝ සිනා සීන් එකෙන් වතුර දෙකක් අදින ගමනෙදි සර් අහනව
*ඇයි උඹ රෙදි බාස්කට් එකට කෝට්ටක් දාන්න කිව්වෙ?
*අහ්.. ඒක මං මෙි නිකං කිව්වෙ සර්.. ඓ් වෙලාවෙ වැඩිය කතාවට ගියේ නෑ.මොකද මං දැක්ක තව රෙදි හෝදපු වතුර බාස්කට් එකක්ම සර්ගෙ කකුල් පාමුල දිලිසි දිලිස තියෙනව.
*නෑ.වෙන්න බෑ.නෑ මට කිහාං ඇයි උඹ ඒම කිව්වෙ.
මං මීක් නැතුව වතුර දෙකත් අතින් අරන්  ජල ප්‍රහාරක කලාපයෙන් පිටට ඇවිත් කිව්ව
* සර් ලමයින්ට ගොඩවෙන්නනෙ.නැත්තං උන් මැරෙනවනෙ (දන්නෝ දනිති ඒ මොකද්ද කියලා) කිව්වා විතරයි එසැනින් අර වතුර බාස්කට්  එකත් මා හඹා ගුවන්ගතවුනා.ඒ වුනාට ඒක වැදුනෙ නෑ මං රේන්ජ් එකෙන් පිට හිටපු නිසා.හැබැයි අමු සිංහල වගයක්නම් මහ හයියෙන් ඇහුනා.මමත් හිනාවෙවී ඇවිත්
බදාම ටිකත් අනන ගමන් සිසිරට කිව්ව
*මටනං බෑ ආයෙ වතුර ගේන්න යන්න.කව්රු හරි වතුර ගෙනාවොත් මං බදාම ටික අනල දෙන්නං ඈ.
*ඇයි
*සීඑස්එම් අායෙ පැත්ත පලාතෙ එන්න එපා කිව්ව.එහෙම කිව්වෙ ආයෙ ගියොත් සුවර්රෙකටම කන්න වෙනව ආයෙ දෙකක් නෑ.
*ඒකනෙ කියන්නෙ බං.මටත් ඇහුන උඹෙ ජාතකේ අමතනව.යකෝ ඔය සක්කිලි කට ටිකක් කන්ට්‍රෝල් කරගනින්.නැත්තං උඹ කවද හරි කාගෙන් හරි වෙඩි කාල මැරෙන්නෙ.
මාත් සද්ද නැතුව මගේ වැඩෙි කරගෙන ගියා.
ඔය අතරෙදි මං දැක්ක ⁣තව මෙිසන් හැන්දක් නිකන් තියෙනව.
*ඒ සිසිරයා.මාත් බිත්ති කෑල්ලක් බඳින්නද.
*මගෙ අම්මේ එපා.මතකනෙ සීඑස්එම් කියලමනෙ එව්වෙ උඹට අල්ලන්නවත් දෙන්න එපා කියල.
*පිස්සුද බං සීඑස්එම්ට පේනවයෑ.අනික දෙන්නෙක් වැඩ කලොත් ඉක්මන්ට බැඳගන්නත් පුලුවන්නෙ.
*ම්ම්හු ම්ම්හු..එපා එපා.
*සිගරට් එකක්වත් බොමුද බං. ඒ මම.
*කෝ තියෙනවද.
*හ්ම්ම්.
*පත්තු කරහංකො.
මාත් සිගරට් එකක් පත්තු කරල පොර අතට දීල මාත් එකක් පත්තු කරගත්තා.
*අඩෝ ඔික තියාගන්න එපෑයැ තේ බීල බොන්න.
*ආ...උඹ තේ බීලත් මගෙන්ම කෙලින්ඩද බලං ඉන්නෙ.
*නෑ නෑ බං
මෙි දවස්වල ධනපාල ඇහැක් ඇරලවත් බලන්නෑ බං.
*හරි එහෙනං මං උඹට අද දවසෙම සිගරටි මං ගානෙ දෙනව හැබැයි මට බිත්ති බඳින්න දුන්නොත්.
*ඒකනං කරන්න දෙන්න බෑ මගෙ දෙයියො.
*හරි හරි බං.සීඑස්එම් එනකොට මං හැන්ද තියල බදාම ගොඩ ගාවට යන්නං.අනේ මටත් ආසයි බං.ඒකනෙ මෙච්චර අහන්නෙ.
*හැබැයි පුතෝ හරියට බඳින්න ඔින.ඇද එහෙම යන්න බෑ හොඳේ.
*හරි හරි බං.
ඔහොම කං කෙඳිරි ගාල ගාල කොහොමහරි අවසරේත් ගත්ත බිත්ති බඳින්න.මට දැං හෙන ගැම්ම.ලංකර ගත්තා ඇතිවෙන්නම ගඩොල්.ඒ ගඩොල් අපිම කපල අපිම පුච්චපු ඒව.ඔින තරම් බඩු තියෙනව.
මං ඇති වෙන්නම ආයෙත් බදාම අනල තියාගෙන වැඩෙි පටන් ගත්තා.මගෙ හිංතටත් එන්නෙ දැං මම මහා  පරිනත ෆීල්ඩ් ඉංජිනියර් කෙනෙක් වගෙ.මෙිසන් හැන්ද අතට ගත්තම හෙන ගැම්මක් එනව හිතට.මාත් ඉතින් අරෑගෙන් අහගෙන ලඹ කර කර කෙරවලේම ටොයිලට් එකේ බිත්ති බැඳගෙන බැඳගෙන බැඳගෙන යනව.බදාමත් ඇති වෙන්නම ලංකරගෙනනෙ තියෙන්නෙ.
දැන් මීක් නෑ.දෙන්නම බරට බර කරට කර වැඩ.වට පිට බැලිලි කයිය ගැහිලි මුකුත් නෑ.
ඒ අස්සෙ මං බැඳ බැඳ හිටපු බිත්තිය උඩින්ම පැනල ගිහින් තේත් ගෙනාව.ඒවත් බිව්ව.ඒත් දිගටම වැඩ.දවල් එකට කෑමට නතර කරන්න එපායෑ.අපි දෙන්න එතකං බැහැල වැඩ හිංද වෙලාව යනව තේරුනෙත් නෑ.
සිසිර කුමාරය මට කතා කරල ඇහුව කෑමට යන්නැද්ද කියල.මාත් යං යං කියල මෙිසන් හැද්දත් සිමෙන්ති ගොඩෙි ඇනල එළියට එන්න හැදුව.
අප්පට සිරි කොයි යකෝ මෙිකෙ දොර...??
මට දෙලෝ රත්වුනා.යකෝ මං එතකොට බිත්ති බැඳල තියෙන්නෙ දොරවත් තියන්නැතුවද?
කොහොම හරි ඒ වෙනකොට මං ඉනටත් චුට්ටක් උඩට බිත්තිය බැඳල තිබුනෙ.දවල් කෑමට ගියෙ අපි දෙන්නම එක්කහු වෙලා දොර තියන්න ඔින බිත්තියත් කඩල.
අරූ එතෙක් මෙතෙක් ඒ ටොයිලට් බඳිනකං මට නෙමෙි හැංද දුන්නෙ.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.03.11

ඔපරේෂන් ඔෆ් පාත්පයින්ඩර්

යුධ හමුදා ජීවිතය තුල මා රාජකාරි නොකල ස්ථානයක් මා සිතන ආකාරයට ලංකාවෙිනං නොමැත.1995 වසරේ ජනේරුවෙන් පසු රුදුරුවූත් කුරිරුවූත් ගරිල්ලා ත්‍රස්ථවාදීන් මෙි ලක් ධරණීතලයෙන්  මුළුමනින්ම අතුගා  දැමීම සඳහා ක්‍රියාත්මක කල සියළුම ක්‍රියාන්විතයන් වලින් මට සහභාගි වීමට නොහැකිවූයේ  සත්ජය 1 ක්‍රියාන්විතය පමණි. ඒ වන විට මා මැලේරියා රෝගයට ගොදුරුව රෝහල්ගතව සිටීම දැක්විය හැකිය.එම රෝගය සම්පූර්ණයෙන් සුවවුවද නිව්මෝනියා තත්ත්වයට  පත්වීමෙන් පසු රෝහල්ගත කිරීම නිසා මට වෛද්‍ය උපදෙස් මත විවෙික සුවයෙන් කඳවුර තුලම ගාල්වී සිටීමට සිදුවිය.එහෙත් එවකට පැවති භඨ පිරිස් ඌනතාවය මත 232 බළසේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරි සඳහා සහභාගිවීමට සිදුවිය. මෙි කතාව එහි රාජකාරි ඉටුකිරීමෙිදී සිදුවූ අත්දැකීමක් වුවද සිනහ උපදවන කරුණක්නම් නොවෙිමය.නමුදු සෙබළෙකුගේ පවතින චිත්ත ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය,එඩිතරභාවය  මනින සිදුවීමක් ලෙස මෙය දැක්විය හැකිය.

මා හට වෛද්‍යනිවාඩු වශයෙන් දින විසි අටක කාලයක් විවෙික සුවයෙන් ගතකිරීමට නිර්දේශ කර තිබුනද දින දහතුනකින් එම දින විසි අට අවසන් වූ නිසා ඉහත කී අංශය වෙත මාරුවීමට සිදුවිය.මට එහිදී පැවරුණු රාජකාරිය වූයේ ත්‍රස්ථවාදීන් අරක්ගත් ඔවුන්ගේ භූමියක සිට ඔවුන්ගේ තොරතුරු එක් රැස් කිරීමයි.විශේෂයෙන්ම ඔවුන්ගේ කඳවුරු, මාර්ග බාධක හා ඔවුන් නිතර නිතර ගමන් ගන්නා මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමය. මෙිජර් ජෙනරාල් නලින් අංගම්මන අපේ සේනාංක නායකයානන් බිම්බෝම්බයකට හසුව මිය යාමෙන් පසු මෙි රාජකාරි සඳහා බුද්ධි අංශ නිළධාරින් යෙදවීය.මා එයට පසුකාලීනව සම්බන්ධ වුනු සෙබළෙකි.

මා රාජකාරි සඳහා රපෝර්තු කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීය.ඒ මා කොතෙක් දුරට මෙම රාජකාරිය සඳහා සුදුසුදැයි නිගමනය කිරීම සඳහායි.මා හට එදා මෙන් අදද දෙමළ භාශාව චතුර ලෙස හැසිරවීමෙි කුරිරු හැකියාවක් ඇත.මා විශ්‍රාම යනවිට දෙමළ භාෂා උපදේශකයෙකි.යුධහමුදාවට මෙන්ම පොලිස් නිළධාරින්ටද මා දෙමළ භාෂාව පාඨාමාලා මගින් උගන්වා තිබෙි.එහෙයින් මා ඉහත දැක්වූ සම්මුඛපරීක්ෂණයෙන් ඉහලින්ම සමත්විය.
* ප්‍රයිවට් ආරච්චි...තමුන්ට අපි පවරන්න යන්නේ විශේෂ රාජකාරියක්.මං හිතනව තමුන් ඒක සීයට සීයක් සාර්ථකව ඉටු කරයි කියල. බුද්ධිඅංශ භාර  නිළධාරිගේ උපදෙසකි.
* ඔව් සර්......  ඒ මම
* තමුන්ට තියෙන්නේ............. රාජකාරිය.පුලුවන් වෙයිද කරන්න.හැබැයි පුතෝ මෙික ජීවිතයත් මරණයත් අතර වෙන ගණුදෙනුවක්.තමුන් කව්ද කියල උන්ට ඉව වැටුනොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉහත දැක්වූ මට පැවරුනු රාජකාරිය පිලිබඳ උපදෙස්ය ඒ.
* ගැටළුවක් නෑ සර්.මට පුළුවන්..මා එහි අවධානම් පැත්ත නොසිතාම එක සිතින්ම භාරගතිමි.
* බොහොම හොඳයි. කෙල්ලෙක් එහෙම නෑ කිව්ව නේද?
* තාම නෑ සර්
*තවත් හොඳයි.ඒ වුනාට තමුන් හෙට ඉඳන් කඳවුරෙන් නිදහස් වෙලා යන්නෙ අමුතුම සමාජයකට.ඒකෙදි තමුන්ට මුනගැහෙයි දෙමළ, මුස්ලිම් කෙල්ලො.පැහැදිලිද.එහෙමයි කියල උන් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ.මොකද තමුන්ගෙ ආරක්ෂාවටත් නිතරම අපේ සෙක්ෂන් එකේ අය ඔය ඒරියාවල සැරිසරනව.එහෙම උනොත් එයාලගෙන් මට තොරතුරු එනව.බැරි වෙලාවක්වත් එෆෙයාර් එකක් තිබුනොත් ගජමුතු දෙකෙන් එල්ලන්න සිද්දවෙනව අපට. (යකෝ මෙික යකාගෙ කතාවක්නෙ.සිංහල කෙල්ලෙකුත් නෑ.වෙන කෙල්ලෙක්වත් ටෝක් කරගන්නත් එපාලු.කමහ්නෑ ඉතින් මෙික හමුදාවනෙ)
* ඔව් සර්.මං සළකා බලන්නං.
*මොකක් ඔියි.සළකා බලන්නං?? ආයෙ කියනව බලන්න? ඔහු හයියෙන් හිනාවුනි.
මගේ කටෙි කුප්ප ගතිය කපිතාන් නිලාම්ට නොතේරෙන හැටි.
*නෑ සර් මං කිව්වෙ එහෙම වෙන්නෑ කියල.
*බොහොම හොඳයි.හැබැයි කෙල්ලො ඇරුනම තව කව්ද ඉන්නෙ?
* ගෑණු ඉන්නව සර්.
*අන්න හරි.කිසිම අවස්ථාවක කොටු පැනිලි එහෙ මෙහෙ පැනිලිනම් නම් බෑ පුතා.එහෙම උනොත් අර මං කලින් කිව්ව දඬුවමම තමා ඉෂූ වෙන්නෙ.තේරුනාද.
 ඇත්තටම මං කෙල්ලො නැතත් ගෑණු ඉන්නවනෙ කියල හිතුව විතරයි.ඒක ඔීසීට තේරිලා.පරිචිත්තවිජානන ඥානය තියෙනවද දන්නෑ කියලදත් මට හිතුනා.
*හරි සර්... මං බොහෝම ශෝකාකූල ස්වරයෙන් පිළිතුරු දුන්නා.
තවත් රාජකාරි ඉටුකරන විධිය ගැන මහා උපදෙස් ටොන් ගණනින් ලබා දී පැය කිහිපයකට පසු මාව නිදහස් කෙරිනි.
මට තිබුනේ පස් හා වැලි අදින මහ ට්‍රැක්ටරයක ගෝල වැඩෙයි.රියදුරා දෙමළය.ඔහු අපේ කපිතන් හඳුනන පුද්ගලයෙකි.ඔහු මාර්ගයෙන් මාහට එහි රස්සාවක් සෙට්වුනි.මට ඒ වෙනුවෙන් වැටුප දවසකට ඒ දවස්වල හැටියට රුපියල් පන්සියයකි.මට කරන්න තිබුනේ කැලයට ගොස් පස් ද වැලිද ඇනවුමෙි හැටියට ඒවා පටවාගෙන ට්‍රැක්ටරේම ගොස් ඇනවුම් කරුගේ නිවසට බෑමයි.මගේම කරුමෙට මෙි ලදරමෙිම හයිඩ්‍රොලික් පොම්පය වැඩ නැත.ඒ නිසා මාගේ සුරතින්ම අන්තිම වැලි කැටෙි දක්වා පැටවීමටත් බෑමටත් සිදුවිය. අරූ කිසිම අවස්ථාවක මට පුංචි හෝ සපොර්ට් එකක් දුන්නේ නැත.ඒ ගැන මගේ යටි හිතේ මහ විශාල තරහක්ද පැවතුනි.
නමුත් පොර එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැත.දවසකට ඔන්නම් වචන පනහක් පමණ ඔහු සමග කතා කරන්නට ඇත.ඒ බඩගිනී බං කෑම කාල ඉමුද, තේ එකක්වත් බොමුද බං,නවත්තහං හු=$*&තො.තොගෙ මෙි ලබ්බ හරියට රිවස් කරගන්ඩවත් බැරිද, හෝව් හෝව් ඇති ඇති,රායිට් යාමාං..... වගේ හැම තිස්සෙම භාවිතා වන වචන පමණකි.මා මෙහෙම සිංහලෙන් කීවාට මෙිවා අපි කතාකලේ දෙමළිනි.ඔහුත් මා සමගම ඇරියස් එකටම කටයුතු කරපු නව කුජීත පොරකි.අපි අතර කිසිම ඇයි හොඳයියක් නැත.නමුත් අනෙක් ට්‍රැක්ටර් කාරයින් සමග තරඟයට කටයුතු කිරීමෙිදී මාගේ මුඛයෙන් පිටවන හම්බ කුණු හරුප වැල් සඳහා ඔහුද මගේ පැත්තෙන් ඔහුගේ සහභාගිවීම අනන්ත පරිදි සීයේට සීයක්ම ඉටු කලේය. මගේ නවාතැන වූයේ කාවත්තමුනේ කෙරවලේම පැවති මුස්ලිම් ගම්මානයේ පාලු කඩකාමරයකි.එය මාසික කුලියට ලබාගත්තකි.කෑම තුන් වෙිලම කඩෙන්ය.ඒවාට ට්‍රැක්ටරේ දවසේ පඩියෙන් වැයවෙි.දවසටම කෑම සඳහා ඒ දවස්වල එකසිය පනහකි.තේ සිගරට් සඳහාද රුපියල් පනහක් උපරිම වැයවන්නට ඇත.එහෙත් මා සතුටින් මාගේ රාජකාරිය ඉටු කලෙමි.එල්ටීටීඊ මාර්ග බාධක හරහාද ඔවුන්ගේ ගම්මාන හරහාද මා ඔින තරම් ගොස් ඇත.ඔවුන් හා කතාබස් කොටද ඇත.බාස්කරන් යනු මගේ හොඳ හිතවන්තයෙකි.ඔහු හිතවත් වූයේද මෙි රැකියාවෙන්මය.නමුත් ඔහු අමුම අමු කොටියෙකි.කෙටියෙන්ම කීවොත් මූකුරාල් එල්ටීටීඊ කඳවුරේ හා ඒ පලාතටම එල්ටීටීඊ  අණදෙන නිළධාරියාය.පුදුමයට කරුණනම් මා රැකියාව කරන ට්‍රැක්ටරය ගමන් කරන්නේම උන් සිටින ඉසව් හරහාය.මෙය මට මුලින් මුලින් බිය හා සැකය කුතුහලය දනවන කරුණක් වුවද මාගේ රාජකාරියද එයම බැවින් මා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කලෙමි.ඒ රියදුරාගෙන් ඒ ගැන ඇසීමට මට ඇතිවුනු බියයි.මා හමුදාවෙි ඔත්තුකාරයෙකු බැව් ඔහු දැනගතහොත් මාව පාවා දෙනු ඇත.ඔවුන්ගෙම ජාතිය නසන්නට ආ සතුරෙකුයැයි දැනගත හොත් කැලේ මැදදීම ඔහුට මා ගේ සිරසට වැලි පටවන සවලෙන් දෙක තුනක් ඇන උත්සවශ්‍රියෙන් මාගේ අවසන් කටයුතු සිදුකල හැකිය.මගේ කට ගැන මා ද වැඩි විශ්වාසයක් නොතැබූ හෙයින් ඔිනෑවට වඩා කිසි කෙනෙකු සමග භජනයට නොගියෙමි.මා හට වරින් වර කඳවුරෙන්  ඉතා රහසේ ලැබෙන උපදෙස්ද මා අකුරටම ඉටු කලෙමි.මා  විසින් එල්ටීටී ඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සකසන ලද වාර්ථා හා මාර්ග,කඳවුරු සිතියම්ද දවසින් දවස ලැබෙන අළුත් තොරතුරුද ඉතාමත් රහසේ කඳවුරට ලැබෙන්නට සැලැස්වීය.ඒවා ඉහල  උපදෙස් පරිදි සිදුවන ඒවාය.ක්‍රම සහ විධි පැවසීම ඇවැසි නැත.
මෙසේ මාස අටක පමණ කාලයක් මා ඉතා හොඳින් මට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කලෙමි.නමුදු මෙි වන විට මා ට්‍රැක්ටරේ රියදුරා සමගද බද්ධ වෛරයෙන් පසුවුනෙමි.ඒ දෙදෙනාගේම එක එක කඩප්පුලි වැඩ හා කඩප්පුලි කටවල් නිසාය.ඔහුද මගේ එක්කුස උපන් සහොදරයෙකු මෙන්ය.මගේ පොටෝ එකක් මෙන්ය.මගේ වැඩ කෑල්ලමයි පොරටත් තිබුනේ.මා එක්වරක් වැඩට එන්නට පරක්කුවී ඔහු මා සොයාගෙන ඇවිත් සැපට නිදාගෙන සිටි මා කීද්දුවෙි ටැට්ටරයේ ටෙිලරය  තහඩු දොරේ හප්පාය.මා උඩ ගිහින් බිම වැටුනේ ආටියක්වත් වැටුනාද කිය සිතාය.ඒ තරමට සද්දේය.ඒ පාහර වැඩෙි කරලත් මූ හයියෙන් හක හක ගගා හිනාවෙන එක මට දිරෙව්වෙිම නැත.මා දන්නා උපරිම කුනුහරප වලින් ඔහුව අමතද්දී ඒවා නෑහෙන්නට මූ හිනාවෙිගනම  හයියෙන් ටැට්ටරය රේස්කරගෙන හිටියේය.ඔහුගේ නම පූ බාලචන්ඳුන්ය.ඔහු මා හඳුනාගෙන සිටියේ සදීස් කුමාර් වශයෙනි.මා මූට කිසි විටෙකවත් පූ යන වචනය භාවිතා නොකලෙමි.පූ යන්න දෙමලෙන් මල ය.මූ මලක්යැ.මහම මහ කාපිරි යකෙකි.කාපිරියන් ගෙනාව නැවකි.චන්ඳුන් යනු හඳය.මු හඳක්ද.මුගේ මූනේ අලි නාවන වලවල්ය.රැවුල වාකනේරි කැලේ වගේය.අලි ඇතුන් පමණක් මුගේ රැවුලේ නැත.අනිත් ඔක්කොම සත්තු සිටී.දත් අරියාදුවට පොල් හිටෙව්වා මෙනිය.හිනාවෙන විට කාටුන් එකක් මෙනි.හඳට කිසිසේත්ම නොගැලපේ.අනෙක අමු අමුවෙි හඳේ කීර්ති නාමයට කැලැලක් ඇති කිරීමටද නුපුලුවන.ඒ නිසා ඒ වචන දෙකම අයින් කර තරහටම "බාලා" කියා  ඇමතුවෙමි.එහෙත් බීඩියක් පත්තු කල විට මා අසලමය.එකල මා බීඩි භාවිතාකලේ බීමට නොවෙි.දෙමළ අය බීඩි පමණක් පාවිච්චි කල හෙයින් මාද උන්ගේ එකෙක් යැයි ඇඟවීමට හා වෙස්වලාගෙන සිටීමෙි උපායක් වශයෙනි.ගෝල්ඩ් ලීෆ් බීවෙි කැලේදි පමණය.ඒ කිසිවෙකුටත් නොපෙනෙන්නටය.නමුත් ඔහු මට කුමාර් යනුවෙන් ඇමතීම උගේ මනුස්ස ගතියකි.ඒ ගැන මා ආඩම්බර වෙමි.
මෙසේ මා හට පැවරුනු රාජකාරිය අවසන් වුනු පසු මා හට පණිවිඩයක් ආවෙි කඳවුරට පැමිණෙන ලෙසයි.ඒ සංවත්සරික උත්සවයක් සඳහාය.එයින්ම මගේ රාජකාරියද අවසන් විය.නියම කතාව ඉන් පසුවය.

මා කඳවුරට පැමිණ නා කියාගෙන නිළ ඇඳුමෙන් සැරසී නිළධරි අණදෙන මුන ගැසීම සඳහා පිටත්ව ගියෙමි.ඒ හමුදාවෙි පිළිවෙතකි.
මා කාර්යාලයට ගියද නිඅ තුමාහට පමුණුවන බවක් පෙනෙන්නට නොවීය.රෑට සංවත්සරය වෙනුවෙන් බියර් පාටියක්ද සංවිධානය කර තිබූ හෙයින් ඇති පදම් බීමට බඩ සුද්ද කරගැනීමටද තිබෙි.පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසු මා
* ඇයි සාජන් මාව ඔිසීට දාන්නැත්තෙ.
*පොඩ්ඩක් ඉන්න තව කෙනෙක් එන්න ඉන්නව.දෙන්නම එකට දාන්නෙ.
මා ඉවසුවෙිය.

ඊටත් පැය භාගෙකට පමණ පසු අනෙකා පැමිණියේය.දැකල පුරුදු මූනකි.හිනාවද අගේට පුරුදය.ගමන කතාව හොඳටම පුරුදුය.
එවිට සාජන්.
* ⁣ආ මෙි ආවෙ.කෝප්‍රල් දිසා කෑවද?
*කෑව සාජන්
*ට්‍රැක්ටරේ භාර දුන්නද.
*ඔව්.ඒක සීඑස්සී එකේ.හෙට සර්විස් කරන්න යවනව කියල...ඩොක්‍යුමන් වගේකට අත්සන් කලා.ඒක හදනකං එතන.ඒකයි පරක්කු උනේ.
*කෝප්‍රල් දිසා???
යකෝ මූ මගේ පරම හතුරා ට්‍රැක්ටරේ රියැදුරානෙ.යකෝ මූ කොහොමද ආමි උනේ??
*අඩෙි උඹ කොහේද මෙහෙ??
* මාත් ඒක තමයි අහන්න හැදුවෙ.එතකොට කෝප්‍රල් ආමිද.දෙමළ නෙමෙිද?
*නෑ යකෝ මං කෝප්‍රල් දිසානායක.උඹත් ආමිද.නම මොකද්ද.
*මං ආරච්චි. අපි දෙන්නට පැලෙන්නටම හිනාය.සීන් එක මාට්ටු උනේ මාස අටකට පසුය.එතකං අපි දෙන්නට දෙන්නා සැකෙන් කාලය ගතකලේ ඔහු, මා දෙමළ නිසාය.මා, ඔහු දෙමළ නිසාය.නමුත් දෙදෙනාම සිංහලය.එකම හමුදාවෙිය.මෙය අපගේ දුර්වලතාවයක් නොවෙි.
මා ඔබගෙන් පැණයක් අසමි.
"කොහොමද හමුදාවේ සංවිධානාත්මකභාවය"?? ආඩම්බරයි නේ???

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.03.16

කිරාන් ස්පෙෂල්

මෙි කතාව වෙන්නෙ කිරාන් වලදි. කිරාන් වතුරත් බැහැල ගිහින් නිස්කලංක වුනාම හිතට මහා මූසල කමක් දැනුනා. ඒ අපේ ඇංජින් හතර අයිති කාරයන්ට භාරදෙන්න වුනු හිංද. ඒ තරමට ඒ ගැන් එක අපේ හදවත් වලට සමීප වෙලා තිබුනෙ. හැබැයි ඉතින් දෙන්න පුලුවන් උපරිම සැප දුන්නා සත්තුන්ට උනත්. කවදාවත් තිබහට කලපුවෙ ⁣වතුරවත් බොන්න දුන්නෑ අපිට හොරෙන් බිව්වොත් ඇරෙන්න. විශේෂයෙන්ම මම.මොකද මං තමා ඒ හතර දෙනාගෙ කල්ලියෙ හිටපු ජුන්නා. මටතමා සැලකුම් භාරවුනෙ.  දවසකට කෙසෙල් කඳක්නං පට්ට ගහල දෙනවාම තමා. කඳවුරේ වැවිල තිබුනු පයින්වත් නොපෑගිච්චි නැවුම් තනකොල ඒ ඒ තැන්වලට අරං ගිහින් කැව්වා. මං මෙි හතර දෙනා කවන්න දක්කන් යනකොට ඔිසී දවසක් දැකල..

*ඒයි ගොපලු ආරච්චි කියල හිනාවුනා

මාත් ඔෆිසර් මෙස් එක වටෙිම තියෙන තනකොල දවස් ගානක් කැව්වා. නැත්තං අපිටමනෙ විසි ගහන්නත් වෙන්නෙ😁😁😁.ඒ හරක් වතුරෙ අපිව අරං ගියා මදිවට වෙලාවක් කලාවක් නැතුව විසි ගහන්න තිබ්බ තනකොල ටිකත් පස් මට්ටමටම පාත් කරල දීල ගියේ.

ඉතින් එහෙම ලඟින් හිටපු අය වෙන්වෙලා ගියාම හදවතට හිතට දුකක්  පාලුවක් දැනෙනව තමා.
ඔිනම හමුදාවකට සත්තු එකතුයි. ඒකත් මාරයි කියන්නෙ උන් එකතුවුනාම යන්නෙත් නෑ. මෙි කඳවුරේ හිටියා චික්කලා රංචුවක්ම😁😁. මුවෙක්,එලුවො දෙන්නෙක්,ඊරියක්.
ඊරි ගැනනං වචනයක් කියන්නම ඔිනෙ.
මෙි ඊරි අපේ අය දවසක් කැලේ යනකොට හම්බුවෙලා තියෙන්නෙ.මහ උන්දැට අතහැරිල දවසක් දෙකක් අපේ කට්ටිය යන එන පාරෙ ඉඳල තමා අරන් ඇවිත් තිබුනෙ.පලවෙනි දවසෙ ගෙනවිත් නෑ අපේ අය මහ උන්දැ ආවොත් කුක්කු දෙන්න එක්ක යයි කියලයි අම්මෙක්ගෙන් දරුවෙක් වෙන්කරන්න තිබ්බ අකමැත්තයි හිංද කියල. හෙන හුරතල් ඩෑල්ලෙකක්. පහුවදා යද්දිත් ඩෑල් එක එතන කෑ ගගහ ඉඳල  බඩගින්නෙ.මහ උන්දැට අමතක වෙලාද,හොයාගන්න බැරුවද මංදා. පස්සෙ දවසෙ කිහිල්ලෙ ගන්නගෙන ඇවිත් .ඉන්චාජ් හිටපු කෝපල්.
 මෙිකි පට්ට ආතල් එකක්නෙ අපිට දුන්නෙ ගෙනාවම. පිටි කුක්කු බිව්වෙම නෑ. අපිත් දත කාල කාල කොහොම හරි ටික ටික පුරුදු කෙරුවම අන්තිමෙි අපිට බොන්න තියෙන කුක්කුත් මෙයා බස බස ගාල අදින්න පටන් ගත්තා. අපි කහට බොනව.මෙි උන්දැ කටවටෙි ගාගෙන පෙරාගෙන ප්රූස් ප්රූස් ගගා කුක්කු පාර අදිනව.  දවස් දෙකක් තුනක් යනකොට මූ කිරි හදා දෙනකං කෑගහනව. ඔහොම ඔහොම අපි මූට කිරිදීල හැදුවා. ඒ අස්සේ කෝපල්ලා මූට අපිට පෑගෙන්න කොටි දාපු බට්ටො  ගලවල ගෙනාපුව ඉබින්න හපන්න සෙල්ලං කරන්න දුන්නා. මෙි දැරිවිගෙ නම රාණි.
අප්පේ බලන්ඩෙපැයි අලුගසාදාල තෙල් මංද මෝරල මයිල් වැඩිල ආපුවම තිබ්බ හැඩ. බත් කනකොට ඉක්මනින් වැඩෙනව ඔින සතෙක්.
මළ කරදරේ අප්පා😁😁. කොරැස් කොරැස් ගගා අපේ බිලට් වලමයි වාසෙ. අපිට වඩා පැටල්සීට් මෙි ඌරිච්චිට තිබුනා. අපි පෝලිං උනාම මෙි උන්දැත් දකුනෙන් පෝලිං වෙනව. අපි පිකට් යනකොට මෙි උන්දැත් යනවා. යන හැම පාරකටම හොම්බෙන් ඇන ඇන හාර හාර යන්නෙ. මෙයාම බට්ටො දහයකටත් වැඩිය ගලවන්න ඇති. පුරුදු කරලත් නෙමෙයි ඌරු ගතිය හින්දා. නැත්තං අතක් පයක් ගියා වගේද කකුලක් එහෙම ගියානං. ඇයි ඉතින් යන යන තැන බැකෝ කර කරනෙ යන්නෙ.

අපි කන්න හදනකොට හොම්බ දික්කරන් එ⁣න්නෙ ඊ ගහේ වෙිගෙන් අපේ බත් එකට අරින්ඩ. ගුටිත් කනව වෙලාවකට.ඒත් ලැජ්ජ නෑ. කෑම්ප් එක ඇතුලෙ හිටියොත් නඩුවක් පයිල් කරනවම තමා. මෙයා තරුන වියට පා තැබුවට පස්සෙ තවත් එක එක සෙල්ලං දාන්න පටන් ගත්තා. අපිත් ඉතින් හරි හුරතලේට කන්න බොන්න දීල හැදුව. "රානීඊඊඊ" කිව්වනං ඇහෙන මානෙක හිටියොත් පල්ලමෙි බ්‍රෙික් කැඩුන පුට් සයිකලේ වගේ වෙිගෙන් කඩාගෙන ඇවිත් ඉස්සරහ අඬු දෙකෙන් පොලව හාරගෙන යන්න බ්‍රෙික් ගහන්නෙ.

ඉතින්  ඔහොම කල් යද්දි එක දවසක් පිකට් ගිහින් මෙයා ආවෙ නෑ. අපි හැම තැනම හෙව්ව.වරුවක් විතර හෙව්ව. කෑ ගගහ හෙව්වා. මොකද අපි පිකට් අකුලන වෙලාව මෙයා දන්නව.කොහෙ හිටියත් පාරට එනව.පිකට් එක සම්පූර්ණ වෙන්නෙ මෙයා ආහම. නමුත් එදා හවස ආවෙ නෑ. ඔහොම අපිත් පිස්සු බල්ලො වගෙ හොයද්දි පඳුරක් අස්සෙ වැටිල ඉඳල හම්බුනා. එයාට කව්රු හරි වහ දීල. පස්සෙ ටැට්ටරේ දාගෙන ඇවිත් පූර්ණ ඌරු ගෞරව සහිතව කඳවුරේ තැනකම මිහිදන් කරලා තෙලඹු පැලයක් හිටෙව්වා. මං කිරාන් වලින් එද්දි තෙළඹු පැලේත් අඩිහමාරක් දෙකක් විතර උසයි.

අනිකා කිරා. ඒ එලුවෙක්. ඌට කොහොඹ කොල පෙන්නන්න බෑ. කන්නෙත් වල්බතල කොල වැල් තමා වැඩියෙන්ම. අපිත් කරන්නෙ ඒ කොල හතරක් පහක් මැද්දෙන් කොහොඹ කොල මිටියක්ම තියල අතින් කවන එක. ඤරස් ඤරස් පුග් පුග් ගග ගගා කක කකාගෙන කක කකාගෙන  යන කොට තිත්ත ආහම අපි පස්සෙ පන්නගෙන එනවා අනින්ඩ.අපි දුවනව. ඒ එක මලවදයක්😁😁😁

ඉතින් ඔහොම ඉන්න අතරේ අපිට තොරතුරු ලැබිලා තිබුනා හැමදාම අපේ පිකට් එක ඇකිලුවම සංවිදානෙ කීප දෙනෙක් පිකට් එක පස්සෙන් එනවා කියල. අපිට මෙිව කියන්න ගමෙිම  උදව් කරන කට්ටියක් ඉන්නව.එයාල කවදාවත් අපි එක්ක කතා කරන්නෑ. ඒත් තොරතුරක් තියෙනවනං අනියම් මාර්ගවලින් අපිට දැනුම් දෙනව. මෙහෙම තමා අපිට මෙි තොරතුරත් ආවෙ. මෙි වෙද්දි පුඩිපංචිකල් තාරාවිකුලම් පැත්තෙ කුඹුරු කැපෙන කාලෙ. දවල් දොලහෙන් විතර පස්සෙ රෑ පාර වහනකං වී පටවගත්තු ටැට්ටර් පෝලිමට පාලමෙන් මෙගොඩට එනව.
දවසක් ඔිසී හිටපු ගමන්එක පාරටම දවල් දෙකට විතර කඳවුරේ හිටපු අය හදිසියේම කැඳෙව්වා.අපි පහලොවක් විතර හිටියා. මාත් දිවාමුරයක ඉඳන් ආවෙ. ඔිසී කීවා බඩු පස්සෙන් එන එක වහාම නවත්තන්න ඔින, නැත්තං ලොකු කේස් එකක් වෙනව ලඟදිම කියල. අපි ඒ කියනකොට හිතුවෙ පිකට් එක එන වෙලාවට රැකසිට පහරදීමක්වත් ලේස්ති කරන්න කියල. ඒත් සර්ගෙ ප්ලෑන වෙන එකක්.

කාටද ටැට්ටර එලවන්න පුලුවන් කියල ඔිසී ඇහුවා. කෝප්‍රල් ලලිත් ඉදිරිපත් වුනත් එයාව ඩැයිවින් යවල බෑ කිව්වා. මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා හමුදාවට එනකං කලේ ටැට්ටරයක් එලවපු එක.කුඹුරුත් හාල තියෙනව. ඉතින් මං කිව්වා සර් මට පුලුවන් කියල.
අපේ ඩැයිවර්ල ඉන්නව හත් අට දෙනෙක්ම. එදා අපේ මෙින් පිකට් දවසෙ ඔක්කොම පිකට් ගිහින්. අපේ ටැට්ටරෙයි යුනිකෝන් එකෙයි අය ගන්න බෑ.හදිසියක් වුනොත් එයාල ඉන්නෙපැයි.

පස්සෙ ඔිසී කිව්වා ගෝනි විස්සකට වැලි පුරවන්න කියල. පුලුවන් තරම් වෙිගෙන් වැඩෙි ඉවර කරන්නත් ඔින කිව්වා.(ඉස්සර හමුදාවට ගෝනි ආව බංකර් ගහන්න) මටයි ඩ්‍රයිවින් පුලුවන් කෝපල් ලලිත් පියන්තටයි වෙන වැඩක් භාර දුන්නා. ඒ අපේ ට්‍රැක්ටරය කොහොම හරි ආමි වාහනයක් කියල හොයාගන්න බැරි විදියට වෙනස් කරන්න. ඒ කාලෙ ගොඩක්  ටැක්ටර් වල නම්බර් ප්ලේට් තිබුන්නෑ. තිබුනත් කාඩ් බෝඩ් කෑලිවල ගහපුව තමා තියෙන්නෙ. මොකද ඒව ගොඩ යනවට වඩා දුවන්නෙ කුඹුරුවලනෙ. මඩෙයි වතුරෙයි අරෙහෙයි මෙහෙයිනෙ. කෝපල් යතුරු ටිකත් අරන් අරන් ආවම අපි දෙන්න දඩබඩ ගාල  කවුලින් කේස් එක ගලවල නම්බර් ප්ලේටුත් ගලවල දැම්මා. ඒ කරල ටූල් බොක්ස් එක හයිඩොලික් බටෙි අනං මනං ගැජට් බැජට් ගලවල සීට්එකේ ලෙදර් එකත් ගැලෙව්වා. එහෙම කලාම ටැක්ටරේ පට්ට ගහපු ඉස්සෙක් වගේ වුනා. බලන්න කැතේ බෑ. මෙි පලාතෙ හැම ට්‍රැක්ටරයක්ම ඔහොම තමා.පස්සෙ අපිටත් හොයාගන්න බෑ අපේ ටැට්ටරේ අපේ එකද්ද කියලත්. ඒක ඉවර කරල ටෙිලරේ වෙනස් කරන්න බැලුවා. මොන විදියකින්වත් ඒක වෙනස් කරන්න බෑ. නම්බරෙත් කලු තීන්තෙන් ඇඳල තිබ්බෙ. අපි දෙන්න ඇංජිමයි ටෙිලරෙයි අරගෙන ගියා සර් ඉන්න තැනට.
සර් අහනව
*කොහෙන්ද අයිසෙ මෙි ටැට්ටරයක් හොයාගත්තෙ මෙච්චර ඉස්මන්ට කියල😁😁😁.
වැඩෙි බොහොම හොඳයි කිව්වට ටෙිලරේ ගැන කිව්වම සර් ටිකක් කල්පනා කරල කිව්වා පාලමට ගිහින් රෑ ගොයම් කපන්න යන කඳවුර කිට්ටුව නවත්තන සිවිල් ටැට්ටරේක ටෙිලරයක් ඉල්ලගෙන එන්න කියල. අපිත් සර් කිව්ව විදියට ටෙිලරයක් අරං ආව. ඇවිත් අර වැලි ගෝනි ටික ටෙිලරේ වටෙිට මැද ඉඩ ඉතුරුවෙන්න ඇහිරුවා.මෙික ආරක්ෂිතව පිටට ඇතුලෙ මොකවත් පේන්නැතිවෙන්න හැදුවෙ.එහෙම හදල අපේ පෝ මෑන් ටීම් දෙකක් හැදුව විසි දෙනෙක් විතර දාල😁😁. පස්සෙ අර ඉඩ තියෙන කොටසට බැස්සුව. එයාලාගෙ යුනිපෝම් එක, එක ටීම් එකක් කොට කලිසම් ඇඳල සරම් ඉනේ බැඳල කලු ටීෂර්ට් එක ඇඳල. අනික් පෝ මෑන් ටීම් එකේ අට දෙනා පුල් යුනිපෝම්. මායි ටැට්ටරේ කෝපලුයි කොට කලිසං ඇඳල ඊට උඩින් සරම ඇඳල අත්දිග පරණ ෂර්ට් ඇඳල මඩ ගාගෙන. මම පරන ෂර්ට් එකක් වැලේ කඩෙන් උස්සල හොඳට මඩ දිය කරල ඉස්ස. මගේ නෙමෙිනෙ😁😁.

පස්සෙ මායි කෝපලුයි කෝවිලට ගිහින් තුන්නූරු ටික්කුත් මඩ අතින්ම අරං ගා ගෙන තුවක්කු දෙකත් පූචස් එකත් වෙන වෙනම ගෝනි දෙකකට දාල කොක්කක අමුනල දැම්ම ඇංජිමෙි.හදිසියක් වුනොත් ගන්න. මොන යකාටවත් හොයන්න බෑ දැන් අපි ආමිද කියල. මං මගේ සිවිල් ටීෂර්ට් එකක් ඔලුව වැහෙන්න දාගත්ත අවුවෙන් බෙිරෙන්න දැම්ම විදියට. කෝපල් එයාගෙ ලොකු ලේන්සුව කැප් එකක් විදියට දාගෙන ගැටගහල. දැන්
ඔපරේෂන් පයින්ඩින් ටෙරාස් ක්‍රියාන්විතයට පහ වෙද්දි සියල්ල සූදානං.

පාලමට උපදෙස් දීල තිබුනෙ ආපු ටැක්ටර් ටිකක් ඉක්මනින් චෙක් කරල යවන්න කියල. අපේ එක එනකං කව්රුත් පාලමට ගන්න එපා කියලත් කිව්වා. අපි ගිහින් නියමිත තැනින් නැවැත්තුවම ටැට්ටර් දහයක් විතර චෙක් කරල එකපාර එවන්නත් උපදෙස් දුන්නා.ඒකට හේතුව ටැක්ටර් දහයක් විතර එකතු වෙලා එද්දි  අපේ එක මැද්දෙන් දාගෙන යන්න.. ඒ වෙනකොට ආව ටැක්ටර් ඔක්කොම යවල ආයෙ කව්රුත් එන්න කලින් අපි කුඹුරක් ගාවින් ගිහින් නැවතුනා. ඊට පස්සෙ ආපු ටැක්ටර් තමා ගොඩ ගහල එකපාර එවන්නෙ. සියල්ල සූදානං. ගුවන් විදුලි යන්ත්‍රයකුත් ඇතුලෙ. පිකට් එකත් දැනුවත් කරල ඔිසී මෙි වෙනකොට අපේ මෙහෙයුම ගැන. ටැට්ටර් දෙක තුනක් අපිව පහු කරල යද්දි කෝපල් කිව්වා යං කියල. මෙතනින් එහාට කෝපල්ගෙ අණ ක්‍රියාත්මකයි. ඒකයි එයාට ටැට්ටරේ එලවන්න දුන්නැත්තෙ.

දැං අපිත් එනව මඩෙි ලිස්ස ලිස්ස පාර දිගේ. ටවුමටත් ගියා.ටවුම පහු කරලත් ගිහින් පාර අයිනෙ තියෙන වී මෝලක් ගාව අපි නැවතුනා. පිකට් එක හයයි හතලිස් පහට අකුලන්න පටන් ගන්න කිව්වා සෙට්එකේ. දැන් පිකට් එක අකුලනව.අපේ අය තාම ටැක්ටරේ ඇතුලෙ.කොහොම ඉන්නවද මංදා.සෙට් එක. නැගිටින්නත් බෑනෙ. පිකට් එක අකුලල ඉවරයි. අපි තව පැයක් හිටියා. අපේ ටැට්ටරේ දැං කැඩිල ඔිපන් එක ගාව. කෝපල් යට රිංගගෙන තුවක්කුව තියෙන ගෝනියත් ලඟතියාගෙන අඩු පඩු අරගෙන එක ඔිසෙට බාස් වැඩ. තද කරල තියෙන නට් බුරුල් කරනවා.ආයෙ තද කරනව.ආයෙ බුරුල් කරනවා..ආයෙ තද කරනවා. ස්පැනර් එකෙන් යකඩ කදටත් ගහනව. මං තුවක්කුව දාල තිබ්බ ගෝනිය ටැට්ටරේ තිබෙද්දිම අල්ලගෙන බිම හිටගෙන.

පිකට් එක යනවත් එක්කම ආව ස්පෝර්ට් වර්ගයේ පුට් සයිකල් දෙකක් ඩබල් ඩබල් දාල. කරේ බෑගයකුත් තිබුනා..පදින එකාලගෙ. අපි සද්ද නෑ. උං අපි දිහා බලලත් ගියා. හොඳට මූනු ටික ස්කෑන් කර ගත්තා. උපදෙස් පරිදි අපි මුකුත් කලේ නෑ. මෙික රෙකී එකක් වගෙ කලේ පලවෙනි දවසෙ. ඒ ගියෙ බඩු. අපිත් රෑ අටට විතර ආපහු ඇවිත් ඔිසීට විස්තරේ කිව්වා. ඔිසී ඇහුව සුවර්ද කියල.අපි ඔව් කිව්වා. පස්සෙ අපි දඩ බඩ ගාල කාල එදා ටවුන් එකේ ඇම්බුෂ් එක ගියා. වෙනසක් නෑ.

පහුවදාත් අපි සියල්ලට රෙඩි වෙලා පහට විතර ගිහින් තැන වෙනස් කරලා කෑන් එකේ දාං ගිය ඩීසල් ලීටර් දෙක තුනකුත් කලුවර වැටුනම ටැට්ටරේ යටට හලල ටවුන් එකේ ටැට්ටර් හදන බාසුත් පනිවිඩයක් යවල  ගෙන්න ගත්තා. පොර බොක්කෙන් ආමි සපෝට් පොරක්. අපි ටැට්ටරේ කලින් දවසට වඩා වෙනස් කරල අරං ආවෙ. වැලි ගෝනිත් යුනිසෙප් එකේ පොලිසැක් ටෙන්ට් රෙද්දකින් වහල තිබුනෙ. ඇතුලෙ අට දෙනාගෙන් සරං ටීම් එක කලුවර වැටුනම බැහැල අංක අනුව පාර අයිනෙ  තල් ගස් පේලියත් එක්ක තිබුනු පඳුරු කීපයකට මුවාවෙලා ඔිනෑම දේකට සූදානමින් බිම දිගාවෙලා.

 කෝපල් බාස්ට කිව්ව පාරෙ ඉදගෙන ඉන්න කියල එන මොකාට උනත් පේන්න. ටයිම් ආවා. එදත් අපි දැක්කා පුට් සයිකල් දෙක එනව. උන් ටිකක් කිට්ටුවට ආහම බාස් :  ⁣සර් බඩු බඩු කියල නැවිල ටැට්ටරේ ඇන්ජිම අත ගාන්න ගත්තා. සියල්ල සූදානං. ඒ වෙනකොට අපේ සිග්නල් අනුව ඇතුලෙ හිටපු  අපේ යුනිපෝම් බඩුත් සූදානං. උන් ටික ටෙන්ට් එක ඈත් මෑත් කරල හොරෙන් බලාගෙන හිටියෙ. බයිසිකල් දෙකම අපි ලඟටම ආවට පස්සෙ අපිම උදව්වක් ඉල්ලගන්න විදියට උන්ව අදුරන්නැති විදියට නැවැත්තුවා. උනුත් නැවැත්තුව. අපි අන්නෛ(අයියා)  කියල පටන් ගද්දිම උඩින් ටීම් එක පැන්නා කඩාගෙන. උඩින් බනිනවත් එක්කම සරම් ටීම්එකත් කඩාගෙන පැන්නා තුවක්කු අමෝරාගෙන. මායි කෝපලුයි ලඟම හිටපු එවුන් දෙන්නා අල්ල ගත්තා. පැන්න ටීම් දෙක අනික් බඩු දෙක කොටු කරගෙන අල්ල ගෙන අපි අල්ලගෙන හිටිපු ඩබලත් අල්ල ගත්තා. ඒ වන විට රෙඩි පිට තිබු යුනිකෝන් එක විනාඩි පහෙන් කඩාගෙන ටවුමෙ.එකෙක් හරි අමාරු කාරයෙක් වගේ පැනල යන්නමයි හැදුවෙ. ඒත් කල්දේරම් බත් ගිලින සරීර කූඩු ඊට වඩා හත්තිමත්. සන්තෝසෙන් වගකීමෙන් කියන්න ඔින අපි එක පාරක් ගැහුවෙ නෑ. එක උන්ඩයක් වෙඩි තිබ්බෙ නෑ.පස්සෙ බාසුන්නැහේටත් බොරුවට වෙඩි තියන්න හදල පොරවත් දන ගස්සල මූනටත් හිමීට රිදෙන්න දෙකක් ඇනල කෝපල්ම පොර එලෙව්වා. බාස් දන්නව ඉතින් එහෙම කලේ ඇයි කියල.
එදා රෑම අපි අල්ලගත් හතර දෙනාම වාලච්චෙින පොලිසියේ ත්‍රස්ත විමර්ශණ ඒකකයටද සීඅයිඩී එකටද මංදා සීඔි මාර්ගයෙන් බාර දුන්නා. රෑම සීඕත්  ආව සී කණ්ඩායමෙි  වික්‍රමය බලන්න. උං ඇදන් හිටපු ඇදුන් වලින්මයි අත් ගැට ගහල අරං ආවෙ.
සීඕත් ඉතින් අම්මෙි.... අපිට හෙන සැලකුම් ඉතින්.
හැබැයි ඒකෙන් පස්සෙ කාලයක් යනකං අපිට පිකට් පස්සෙන් එන වදේ විතරක් නැතිවුනා. සතියකට විතර පස්සෙ අපිට පොලිසියෙන්  ලියුමක් ආවා. ගොඩක් ස්තුති කරලයි වත්මන් තත්වය දැනුම් දීලයි.

ඒ හතර දෙනාගෙන් කෙනෙක් කිරාන් බලප්‍රදේශය බාර ලීඩර්,පොර තමාලු කිරාන් කෑම්ප් එකට ආටි ගහන කොට ටවුන් එකේ ඉඳන් උන්ගෙ ටීම් එකට ක්ලියරන්ස් දෙන්නෙ. මිටර් පනහක් පස්සට ඉස්සරහට මෙච්චරක්  වමට අච්චරක් දකුනට කිය කිය. ප්‍රහාර ගොඩකටත් සම්බන්දලු. අනික් එකෙක් ස්නයිපර් කෙනෙක්. අපි කලින් අල්ලපු එකා වෙනුවට පත්වෙලා ආපු එකා.එකෙක් උගේ බඩිය.අනික ලීඩර්ගෙ බඩිය. මෙික අපේ කඳවුරට ඇවිත් සීඔි කිව්වෙ. පස්සෙ අපි දහ දෙනාගෙ පුද්ගලික පයිල්වලට සේවය අගයල ලිපි දැම්මා.නිකනුත් නෙමෙි.

 සුදුසුකම් සපුරපු වහාම ඊලඟ නිලයට උසස් කරන්න විශේෂ නියෝගයකුත් එක්ක.

එදාම ඒ වෙනකොට සුදුසුකම් සපුරා තිබූ කෝපල් ලලිත් පියන්ත සැරයන් නිළයටත් ලාකෝ නිමල් කරුනාරත්න කෝපල් නිලයටත් ලාකෝ තෙන්නකොන් කෝපල් නිලයටත් උසස් කෙරුනා. අපිටත් එදාම නිල උසස්වීම් ලබන්න වාසනාව තිබුනත් ඒ වෙනකොට පැවතිය යුතු නිල සංඛ්‍යාව සම්පූර්න නිසාත් ඒ වන විට නිලයක් පැලදිමට අවම සුදුසුකමක් වූ නිළ උසස් කිරීමෙි පාඨමාලාවවත් වෘත්තීය සුදුසුකමවත් සපුරා නොතිබුනු නිසා ටිකක් විතර පස්සට ඇදුනා.   නමුත් ලැබුනා. ඒකෙන් තව හොදකි අපි දෙන්නෙකුට උනා. ඒ මෙි ක්‍රියාන්විතයට සහභාගිවූ මගේ බැජ් එකේ තව කෙනෙකුටත් හමුදාවෙන් විශ්‍රාම යනකන්ම බැජ් එකේ සැමට ප්‍රථම නිල පැලදිමෙි භාග්‍යය හිමිවුනා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.20