Thursday, June 25, 2020

ආච්චිගේ කොළම

ඉස්සර අපේ  පුරුද්දක් තිබුනා නිවාඩු ගිහින් එද්දි කඳවුරේ ඉන්න අයට කන්න මොනව හරි රසවත් කෑමක් ගේන. ඒක චිරාත් කාලයක් හමුදාවෙ තිබ්බ සම්ප්‍රදායක්. හැබැයි ඉස්සර ඒකෙදි ප්‍රමුඛත්වය දුන්නෙ කඩෙන් සීයට එකසිය පනහට ගේන බිස්කට් කේක් හුචක්කු නෙමෙයි.
කැවුම්,අලුවා, හැලප, වැලිතලප ආදි අම්මගේ අතින්,ගෙදර  හැදෙන රසවත් කෑමක්.

මගෙත් හමුදා ජීවිතේ මුල් කාලෙ ඉඳලම ඔික පුරුද්දක් වෙලා තිබුනෙ. අම්මත් ආසාවෙන් මොනවාහරි කෑමක් හදල දෙනවමයි.  මං වැඩි පුරම අරන් එන්නෙ වැලිතලපයි හැලපයි. මොකද මාත් ඔය දෙකට පන ඇරල ගොඩක් ආසයි. පස්සෙ කාලෙකදි නම් මෙිවත් නූතන තාක්ෂණයට මුසුවෙලා ග්‍රෑම් පන්සීයෙ වෙිපස් පැකට් එක දක්වා පරිවර්ථනය වුනාට පස්සෙ මෙලෝ රහක් නැතුව ගියා. නමුත් මම කවදාවත් එහෙම කලේනෑ. වැලිතලප කෑලි පනහක් විතර ගෙනත් විසිපහක් විතර මට කෑමට තියාගෙන ඉතුරුව ඔක්කොම බෙදනව. හැලපත් ඔහොමයි. නමුත් ඒ කෑම පස්සෙ කන්න කියල තිබ්බට කවදාවත් කන්න බැරිවුනා. එක්කො කව්රු හරි උස්සනව,නැතිතං කූඹි මල්ලිලා ඔිවට වග කියනවා.

නමුත් මිනිහෙක්ගෙ කර්මය කියන එක කැරකෙන්නෙ හරි මෙව්ව එකක් විදියටනෙ. මං එහෙම කිව්වෙ අරුන්දැ අර අනුත්තරා එකී කරේ එල්ලගත්තනෙ.  ඊට පස්සෙ අපේ අම්මාත්  ඉතින් ඔිවගෙන් නිදහස් වෙන්නෝන කියල හිතල අලුත ගෙනා මනමාලි දැරිවිට මෙි සාම්පදායික සිරිත් විරිත් ගැන පොඩි දේශනයක් හෙම දීල තිබුනෙ. ඒත් මෙි වගෙ කෑම හදන්න  ඉගෙන ගන්න කිසි උනන්දුවක් තිබුන්නෑ. අපේ උන්දැත් වැඩිපුරම හැදුවෙ හැලප කියමුකො. ඒක ලේසිලු මෙවුන්දැට. මයෙ අප්පේ බලන්නෙපැයි ඒ හදන හැලප වල රස. හුරුල්ලො හොද්දකට මිරිසුයි ගොරකයි චුට්ටක් වැඩිකරල ඒදල ගත්තනං ලෝබ නැතුව හැලප විස්සකට විසිපහකටනං ලෝබ නැතුව වග කියතෑකි. සිරාවටම.

දැං ඔය පිංවතුන් බලනව ඇති "යකෝ, හැලප විසිපහක් කන්න ඔිකත් බඩක්ද?." කියල. නැත්තං මෙහෙම හිතනව ඇති. "සුවර් මුගේ බඩෙි මුඩුක්කු හිඟන්නෙක් ඇති" කියල. ඒ දෙකම නෙමෙයි මිත්‍රොර්ණි, ඒකි හදන එක හැලපයක් ඔන්නං මාරි කැටයක්   විතර ඇති. ඉතින් ඔිකෙන් විසිපහක් කන්න බැයිනං ඔික බඩද්ද.ආං ඒකයි.

ඉතින් මෙිකත් ඒ සම්බන්ද කතාවක්.

එක දවසක් මං නිවාඩු ඉවරවෙලා යන්නෙ හෙට කියල මෙවුන්දැයි මගේ මස්සිනාගෙ කේප්ප වැස්සියි  ඩබල ඉහිං කනින් දාඩිය දාගෙන හැලප හදනව. හදනව කිව්වට පැයක් විතර අනනව. පිටි දානව,වතුර දානව සීනි දානවා,ආයෙ වතුර වැඩිවුනා කියල පිටිදානව,පිටි දාපුවම පැනිරස මදිවෙයි කියල  සීනි දානව,ඔය දෙකම දාල සීනිත් දියවුනාම තෙත වැඩී කියල ආයෙ පිටි දානව. ආයෙත් මුල ඉඳන්ම අරකමයි. මං කීප වරක් කුස්සිය පැත්තෙ කරක් ගහල බැලුවෙ පැය ගානක් තිස්සෙ හැදිච්චි තැම්බිච්චි හැලපයක් තියෙනං දෙන්නගෙ ඇස් වහල එකක් උස්සන්න බලාගෙන. ඒත් හතරට අනන්න ගත්තු හැලප වඩිය හය වෙනකොටත් තාම අනනව. එකියෙකුට අමාරු වෙනකොට අනිකි පටන් ගන්නවා. ඒකිට අමාරු වෙනකොට ආයෙ අනිකි පටන් ගන්නවා.

මාත් බලං ඉඳල ඉඳල බැරිතැන කිව්ව දෙන්නට කකුල් දෙක හෝදගෙන ආවොත් ලේසියෙන් අනන හැටි කියල දෙන්නං කියල. මෙි ගොං බඳින කනු දෙකත් බාත්රුම් එකට ගිහින් පට පට ගාල කකුල් දෙක හෝදගෙන ආව. දැන් කන්නලව් කරනව කියපිය කියපිය කියල. මං කිව්වා දැන් තොපි දෙන්නම කොරහට බැහැල ඔික මැටි වගේ පාගපියව් කියල. හැබැයි ඒ පොල්කටු හැඳි පාර වැදුනෙ කෙලින්ම මස්සිනාගෙ ඔලුවට.
දැන් තවත් ටිකක් වෙලා යනකොට මං ඇහුව ඔිකට බිත්තරයක් දැම්මෙ නැද්ද කියල. අපේ එකීත් නෑ කිව්වා. මං කිව්වා යකෝ එහෙනං මොන හැලපද.මටනං එපා කියල. අපේ මස්සිනාගෙ කේප්ප වැස්සිටත් මෙි මුකුත්ම මීටර් නෑ. ඔහේ අනනව. නලලට දාන දාඩිය ටික දකුනු අතේ දබරැගිල්ලෙන් හූරල විසිකරල ආයෙ අනනව. කයි කියල තමා බය. මං කිව්වා
*මයෙ අම්මා,මට විතරක් හරි බිත්තරයක් දාල හදපං එකක් ඈ.
*හ්ම්. රසට එකක් හදල දෙනව ඉස්සරහට වෙලා හිටියොත්.
මාත් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒත් බලන්න හිතොත්තුනි, මෙවුන්දල දෙන්න කතාවෙලා අර වඩියටම බිත්තර හතරක් කෙලලනෙ. මං පැයකට විතර පස්සෙ ආයෙ ගිහින් බලද්දි දීසියකින් එකයි බිත්තර කටු. දැං කාහල්ලකො හැලප.
අම්ම හිටපු නැති එකේ අසරනකමනෙ.
කොහොම හරි අපිට එදා හැලප කන්නත් බැරිවුනා, තනි තනියෙන් මටයි මස්සිනාටයි නිදාගන්නත් උනා. ලගට ගත්තෙම නෑනෙ.
ඒත් කමහ්නෑ කියමුකො. මෙච්චර සද්දාවෙන් බලාපොරොත්තු දල්ලගෙන හිටපු හැලප ටික කදවුරටත් අරන් යන්නත් බැරි වුනානෙ.

දැං මං කෑම්ප් එකට ගියා. ඒ යද්දි ඇති පහමාරට විතර. අපේ කෑම්ප් ⁣එකේ ඩියුටි රෝස්ටරේ ඩියුටියට නම වදින්න ගන්නෙ අපි ගෙදරින් පිටත් වෙන්නත් කලින්නෙ. එදත් මං මග එද්දිම ඩියුටි දාල තිබුනෙ.
ඒ ඇවිත් නාල කාල ඩියුටියටත් යන්න ලෑස්තිවෙලා අටට විතර කැරම් අතකුත් ගහලම යනව කියල හිතාගෙන කට්ටියත් එක්ක කතාවෙලා ඉඳගත්තා.
කව්රුත් දන්නවනෙ මං නිවාඩු ඉවර වෙලා එද්දි මොනාහරි කන්න ගේනව කියන්න. අපි කැරම් ගගහ ඉන්න අස්සෙ කෝපල් විජේපාල තව එකෙකුට කියල  රෑ නවයට විතර බොන්න කහට එකක් හදන්න කියල. එකෙක් හීටරේ ගහල කහට එක්කුත් වක්කරල අහක්වෙලා,

*ආරච්චි කෝ ගනින්කො බං ගෙනාපුව
*මොන ගෙනාපුවද?
*යකෝ නිවාඩු ගිහින් ගෙනාපුවා.
*ගෙනාව. මෙතන දිගාරින්ඩ බෑ. දෙපැත්තට වැනෙනව.  ඇනැප්පලයන් යන්න,මගුලක් ගේන්න ගිහින් මට වෙච්චි වැඩෙි දන්නෙ මමනෙ
*දැන් උඹ මුකුත් ගෙනාවෙම නැද්ද.
*ගෙනාව. ඒත් මගදි මාර සීන් එකක් උනානෙ බං බස්සෙකේදි.
*ඇයි මොකෝ උනේ. අමතකවුනාද. කවුරුහරි උස්සලාද. මගේ කැරම් ප්‍රතිවාදියෙක් ඇහුවා.
*ඒ එකක්වත් නෙමෙි බං. කියන්නත් ලැජ්ජ සීන් එකක් .
*ඒ මොකද්ද බං ඒ?? කිහාංකො බලන්ඩ.
දැන් කියන්න දෙයක් නැතුව දහඅතේ කල්පනා කලා. අරුන්දැලා හැලප හැදුවෙ බිත්තර දාල කියල කියන්නද. ඒත් මං මෙහෙම අසරන වෙන්න ඔින කොල්ලෙක් නෙමෙි. ගනදෙවි නුවණවල්ම පහල වෙලා මගෙ මොලෙත් මෙි වෙද්දි ඉරිතලල දාර ගෙවිල, නහර ගැට ගැහිල, ගැට ඇලවෙලා තිබුනෙ.

බොරු කියන්ඩෝන් නෑනෙ.ගණ දෙයියොත් මා එක්ක මෙි වෙද්දි ටිකක් ඇරියස් එකෙන් හිටියෙ. වැඩ ගන්නවා විතරලු, ඒකෙන් එයාට කිසි පතිපලයකුත් නෑලු කියල.
හැබැයි මෙි වෙද්දි මගේ මොලේ දකුනු පැත්තෙ සූටි දාරයක් හීනියට කෙඳිරි ගාගෙන නුවණක් මග එමින් හිටියෙ. ඒක පහල වෙච්චි ගමන් මාත් අතෑරල දැම්මා.

*නෑ,බං මෙි අහපල්ලකො.මං එද්දි හැලප පෙට්ටියක් අරං ආවෙ. ඒත් බස්සෙකේදි මාර සීන්නෙකක්නෙ උනේ කියහල්ලකො.
*ඒ මොකද්ද.
*අහපංකො මං ආපු බස්සෙකට හබරනින් වයසක ආච්චියෙක් නැග්ගානෙ. බස් එකෙත් හෙන ලෝඩ් එක.ඒ මදිවට මෙවුන්දැගෙ අතෙත් තඩි මලු දෙකක්.උඩට වත් නැග ගන්න බැරි තැන ආච්චි පුඩ් බෝඩ් එකේ හිටියෙ. ඒ තරං සෙනග.
*ඉතින්,
*ඉතින්,මෙයා කොහොම හරි බෝම අමාරුවෙන් අමාරුවෙන් බස්එකේ උඩට නැග්ගා කොහොම හරි. නැගල හිටගත්තා. කව්රුවත් සීට්එකක් දෙන පාටකුත් නෑ. මටත් ගොඩක් පව් කියල හිතුනා. වයසක මනුස්සයෙකුටවත් සීට් එකක් දෙන්නැති කුරිරු සමාජයක් බං මෙික.
*ඉතින් උඹ ඒ ආච්චිට හැලප පෙට්ටිය දුන්නා.පව් කියල. නැත්තං උඹ නැගිටල සීට්ටෙක දෙන්නෙපැයි..
*කට හුක්. මට පිස්සුද උඹලට ගේන එක එවුන්දැට දෙන්න. දෙයියංගෙ නාමෙන් අහගෙන හිටාංකො කියනකං.
*එහෙම දෙනවද බං.කෑම්ප් එකට ගේන හැලප එක.පිස්සුද උඹට. ඒ තව එකෙක් මට උදව් කරනවා.
*ඒ හැලප පෙට්ටියයි ආච්චියි අතර මොකද්ද තියෙන සම්බන්දෙ. කෝපල් විජේපාල ඇහුවා.
*ඒක කෝපල් සංසාරගත ආපදාවක්. කතාව කියන කොට තේරෙයි මොකෑ උනේ කියල. මං කිව්වා.
*ඉතින් ඉතින් කියාංකො සීන්නෙක.
*කොන්දා බස් එකේ මැද.ඒකත් යටිගිරියෙන් කෑ ගහනව "ටිකට් ගනියාවු,ටිකට් ගනියාවු" කියල.
මටත් එපා වෙලා තිබුනෙ.ගමෙි ඉඳන්ම හිටගෙන ආවෙත්.  ඒ අස්සෙ අර වයසක උන්දැ මට සීයක් දික්කරල කියනව පිටිපස්සෙම ඉඳන්  "පුතේ මටත් කදුරුවෙලට එකක් අරන් දියං" කියල වෙව්ව වෙව්ල. මොකද ආච්චි හිටියෙ මට එහාපැත්තෙන්.එයාට කොන්ද ගාවටවත් යන්න බෑ ටිකට්ටෙක ගන්ඩ.
මාත් පව්නෙ කියල හිතල ටිකට් එකක් අරං ඉතුරු පනහත් එක්ක දුන්නා. ආයෙ මෙි ගෑනි ටිකක් දුර ඇහිත් මගෙන් අහනව"ඉතුරු කෝ" කියල
*ඉතින් උඹ දුන්නනෙ.ආයෙ මොනාද ඉල්ලන්නෙ.
*ඒකනෙ බං කියන්නෙ.මහ කපටි ගෑනු බං.වයසට නෙමෙි වැඩ.
*ඉතින් ඉතින් කියහංකො ඉතුරු ටික. දැං මුං මගේ කතාවට වශීවෙලා. කැරම් නැවතිලා.
*ඊට පස්සෙ මචංලා මං ඇහුවා "ඇන්ටි,මං ඔයාට ටිකට් එකත් එක්ක ඉතුරු පනහ දුන්නනෙ. ආයෙ මොනාද ඉල්ලන්නෙ කියල. ඊට පස්සෙ මෙයා කියනව,ඒ මහත්තයා සීයකනෙ. මං දාහක්නෙ දුන්නෙ. තව නමසීයක් මදිනෙ මනුස්සයො කියල. මට මල පැන්න මචං.පොලෝතලේ තව්වක් විදගෙන ගිහින් එහාපැත්තෙන් මතුවෙන්ඩ හිතුන. ඒත් කරන්න දේකුත් නෑ. ලැජ්ජාවෙ බෑ ඊට එහා. මං කොච්චර කිව්වත් පැහැදිලි කලත් වැඩක් වුනේ නෑ.දුන්නෙ දාහක්ම කියනව. කොච්චර කිව්වත් පිලිගත්තෙම නෑ. මං ඒ සීය ගන්නකොට ලඟ එකෙක් බලාගෙනත් හිටියා. මං කිව්වා "මං ⁣කියන්නෙ බොරුනං මෙි මහත්තයගෙන් අහන්න" කියල. මගේ කරුමෙ කියන්නෙ ඌත් කිව්වනෙ දැක්කෙ නෑ.දාහක් වෙන්නැති දුන්නෙ කියල. මට නේද මචංලා මුංව මරාගෙන මැරෙන්න හිතුනා. හමුදාවෙ වත් හිටියනං මං හොඳ පාඩමක් උගන්නනව. ඒත් මං තනිවුනා එතන. කරගන්න දෙයක් ඇත්තටම නැතිවුනා.

*අම්මට සිරි බං,ඒ ආච්චිට බුදුබව ලැබෙන්ඩෝනෙ බං. එකෙක් කිව්වා.
*ඇයි උඹ එහෙම කියන්නෙ.මං උගෙන් ඇහුවා.
*නෑ. උඹෙි ගොං වැඩවලට අපි හැමදාම අහුවෙනවා. ඒත් ඒ ආච්චිට උඹ පදිරි උනානෙ. ඒ ඇති. හැලප කෑව වගේම තමා. ඉතින් කියහංකො.ඉතුරු ටික.
*කොහෙද ඉතින් තොපි කියන්න දෙන්නෑනෙ. ඊට පස්සෙ හෙන කේස් එකයි බස් එක ඇතුලෙ. ආමි එව්නුත් හිටිය.ලැජ්ජාවෙ බෑ බං. ඒ අස්සෙ තව  එකෙක් කියනව, මොනාද මහත්තයා,වැදගත් විදියට කකුල් දෙකටම ඇඳගෙන වාහනවලනං යනව. ඒත් අහිංසක මිනිස්සුන්ගෙ රුපියලටත් අරින්න තමා බලන්නෙ. ඔිව කැත වැඩ මහත්තයො.ගත්තනං දෙනව,ගත්තනං දෙනව කියල. කොච්චර කිව්වත් විස්සාස කරන්නෙම නෑ. දැන් හෙන ගිනිවිජ්ජුම්බරයයි බස්එකේ. පස්සෙ මං දන්නවනෙ මගේ ගාව තිබ්බ ගාන. ඊට පස්සෙ පර්ස් එකත් අතට අරන් දිගෑරල පෙන්නල කිව්වා.,තමුසෙලා දන්නැතුව කතාකරන්ඩෙපා,මං සන්තකේටම තියෙන්නෙ රුපියල් පන්සිය හැටයි. මං ආමි එකේ සොල්දාදුවෙක්. සෙබළු ඔය දහදුරා වැඩ කරන්නෑ ඔියි. අනික සෙබලෙක් තියෙන දෙයක් නැති එකෙකුට දෙනව මිසක්,නැති එකෙක්ගෙන් කඩාවඩාගන්නවදෝයි?? කියල. මට දැං කඳුලුත් වැටෙන් ඔන්න මෙන්න ලැජ්ජාවට.
*හොඳවැඩෙි. ඉතින් ඉතින්,
*දැං මචං කදුරුවෙලටත් කිට්ටුයි. මෙිකෙන් බෙිරෙන්නත් බැ.ලැජ්ජාව ඊට එහා.සැක්. කෑවයිං කෑවෙනෑ මෙිවගේ පරිප්පුවක් බං.

මං ඔික කියද්දි මුං මට නක්කලේටමයි හිනාවුනේ. මුං මට කොච්චර පදිරිවුනත් මං පදිරිවුනේ ආච්චි කෙනෙකුටලු. හොඳ වැඩෙිලු.
මංම ආයෙ කතාව පටන් ගත්තා.

*දැං මචංලා මං බහින්නත් එපෑ.
*ඉතින් උඹ හොරෙන් බැහැල යන්න ඇති. නැත්තං යන බස්සෙකෙං පයින්නැති.
*ලබ්බ තමා, මං වෙන කරන්න දෙයක් නැති තැන, මෙහාට එන්න හැටක් ඉතුරු කරගෙන අරුන්දැට මං සන්තකේටම තිබ්බ පන්සීය දීල බුදු සරණයිත් කියල පොඩි ටෝකකුත් දුන්නා.
මුංදැං කටවල් ඇරගෙන බලාගත්තු ගමන් මං දිහා.
*කියහංකො මොකද්ද කිව්වෙ.
*මං කිව්වා මචං, බුදු ආච්චියෙ. සල්ලි නැත්තං නෑ කියල ඉල්ලගන්න ලැජ්ජ වෙන්න එපා. ඔහොම බලුවැඩ කරනවට යන්න වෙන්නෙ අපායෙ. නහින දෙහින කාලේ නේද මෙි දෙයියනේ. යන තැනකට දෙයක් කරගන්නව ඇරෙන්න තවත් අපායෙ යන වැඩම කරන්නෙ පව් ආච්චියෙ ඔයා කියල. ඊට පස්සෙ ආච්චි කියනව
*අනේ මෙි මගෙන් කුනුහබ්බ නාහා හිටහං මහත්තයෝ. හිතං ඉන්නෙනං මහ වැදගත්තෙවුං කියල නෙ.ඒත් අසරණයෙක්ගෙන් කඩාවඩා ගන්නමයි බලා ඉන්නෙ. මං යන තැනක් මං බලාගන්නං. කියල තූ: නොදකින් කියල කෙලත් ගැහුව බං. මට මරන්න හිතුන බං.
*ඒකනං කැතම කැත වැඩෙි. අපි දන්නවනෙ බං උඹ ගැන. සතුටුවෙයං උඹ පිනට යමක් දුන්නා කියල.උඹට හැබැයි එහෙමවත් නොකිය ඉන්න තිබුනෙ බං. උඹ දන්නවනෙ උඹ කැත වැඩෙි කලේ නෑ කියල.
*නෑ බං මට හෙන වෙිදනයි. මං අසරණ විදියට බිං බලාගත්තා.
*ඊට පස්සෙ මොකෑවුනෙ.??
*මෙි ගෑනි කදුරුවෙලින් බැස්සා. බැහැල මං දුන්නු සල්ලි ටිකත් පට පට ගාල හැඹිලියට ඔබාගෙන අර සෙනග අතරින් වෙිගෙන් මාරුවෙලා ගියා. කලබලේ කියන්නෙ මෙයාට ගෙනාපු අර මලු දෙකත් අමතක වෙලා තමා යන්න ගියෙ.
*හම්මට යකෝ. මහ බලු ගෑණු බං.ඒ එකෙක්
*උඹට ඒ බෑග් දෙක ගේ්න්න තිබුනෙ බං.නැත්තං අල්ලල විසි කරන්න තිබුනෙ.

*ඔව් බං. සිරාවට. මට මලපැනල ඉන්න අස්සෙ ආයෙ කොන්දා කියනවා මචං, මහත්තයා ඔිව ගනන් ගන්න එපා, ඔය ගෑනි ඔහොමමයි,ඔය එවුන්දැගෙ රස්සාව.කාව හරි අමාරුවෙ දාල කීයක් හරි හොයාගන්න එක තමා  කරන්නෙ.අද මහත්තයා තමා ඔය ගෑනිට අහුවුනෙ කියල. පස්සෙ මගේ ඉවසීම හන්තානෙ වෙිල්ල කැඩුන වගේ දෙදරලා ගියා. මං උගෙන් ගේම ඉල්ලුවා ඊට පස්සෙ. ගහන්නමයි ගියෙ. කොන්දා එහෙම කියනව ඇහිච්චි දෙතුන් දෙනෙක් මාව අල්ල නොගන්න අම්මප මං ගහනව ඔිකට.එකක් ගහල ගුටි කෑවත් මොකෝ.පස්සෙ මං කිව්වා  ඉතින් කාලකන්නියෝ තෝ ඒක දැං කියන්නෙ ඒක බස්සෙකේදි කියන්ඩෙපැයි වයසත් නොබලා හක්කත් අතගාල ආයෙ ජීවිතේට ඔිවගේ වැඩ නොකරන්න පාඩමක් උගන්නනවනෙ. ඔික දැං කියන්නෙ අප්පට ....කියල මාත් පටන් ගත්තා.
*අපිත් රස්සාව කරගන්නෙපෑ මහත්තයෝ.. දැං ඔිකට කෑ ගහල වැඩක් නෑ. හැබැයි මහත්තයා අදනං ගෑනිට ගෙනාපු මලු දෙකත් අමතක වෙලා දාල ගිහින් තියෙන්නෙ. කියල මට බිම තිබුනු අරුන්දැ ගෙනාපු මලු දෙක පෙන්නුවා..පෙන්නල කිව්වා,"මහත්තයටත් පාඩු නොවෙන්න මෙි මලු දෙක අරන් යන්න. මෙිවගෙත් වටින කියන දේවල් ඇති කියල අර මලු දෙක අත් දෙකින්ම උස්සල මට දුන්නා. ඉතින් මටත් මොකෑ..මාත් මලුදෙක අරගෙන එන්න ආව.දිගෑරලත් බැලුව මලුවල මොනාද තියෙන්නෙ කියල. වැඩක් නෑ මචං.... මාත් එහෙම කියල  ටිකක් නිහඬවුනා. වශීවෙලා වගෙ මගෙ කතාව අහං හිටපු එකෙක් එකපාරටම ඇහුවා
*මොනාද මල්ලෙ තිබුනෙ බං ඇත්තට.

*තිබුනෙ ආච්චිගෙ හු&@%$ත. ආව මෙතන හැලප කන්ඩ. ප:ලයව් පොයින්ට් වලට  බල්ලො ටික.

කියල මං සද්දෙන්ම කියන කොට මග නතර වෙලා තිබුනු කැරම් ගේම සදාටම එපාවෙලා මගේ අනිකා තොගෙ අප්පට හුක්...කියල කැරම් බෝඩ් එකට පයින් ඇන්නා  මගේ ඇඟට පෙරලෙන්න. මල්ලෙ තිබ්බෙ මොනාද කියල අහපු එකා, ඌ ඉඳන් හිටපු ප්ලාස්ටික් පුටුව දෑතින්ම බදල ගත්තා මට ගහන්න. මගේ හැටිත් දැනගෙන වටෙි වටවෙලා සේප් එකේ කතාව අහන් හිටපු අනික් එවුන් හයියෙන් හක හක ගාල හිනාවෙද්දි තේ වක්කුරපු එකා ඒක උස්සල අරං "චෝස්" ගාල ජනේලෙං එලියට විසිකලා. එන පොට හොඳ නෑ කියල හිතුනු මං  ලඟ තිබ්බ ඇඳට හේත්තු කරල තිබුනු  තුවක්කුව  අතට ගත්තා. ලඟම තිබුනු උඩ ඇඳේ හූ මිටි තිය තිය කතාව අහං හිටපු කෝප්‍රල් විජේපාල ආර්ඩී(සුදු සීයා)
මහා වල් ජාතියේ කුනුහරපෙකුත් කියාගෙන සෙනිකව බිමට පැනල මට ගහන්න බූට් එකක් උස්සල ගන්නකොටම මං එලියට පැනගත්තා.
ඇත්තටම පෙන්ස්, හැමදාම මට පදිරිවෙච්චි වුන් මං ආච්චි කෙනෙකුට පදිරිවුනා කියල සතුටෙන් පසුවෙද්දි, උන්ම ආයෙත් මටම පදිරිවෙලා කියල දැනගත්තම දැනෙන හැඟීම මොනවගේ වෙන්න ඇද්ද?.

ආව මෙතන හැලප කන්ඩ



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.26

6 comments:

  1. හොද වෙලාවට තුවක්කුවත් අරන් පැන ගත්තේ ...අහු උනානම් එහෙම අර කස්ටිය ආරච්චිව හැලප කොලේක මැද්දට දාලා තලලා තම්බනවා....

    ReplyDelete
  2. සුපිරි කතාව.

    ReplyDelete
  3. හම්මේ ආරච්චි.
    කතාව කියවල හක්ක පැන්නේ නැතිටික විතරයි...
    විශ්‍රාම යනකොට සාජන් මීජර් නිලයෙද හිටියේ

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි..ඔබ සැමදෙනාටම.

    ReplyDelete
  5. මට වෙලාවකට හිතෙනවා උඹ අර අන්තිමටම කියපු හැලප කතාව උඹේ බ්ලොග් එක කියවන අපිට කිව්වද කියලා....මොනවා උනත් දිගටම ලියපං මචන්. ...උඹ ලියන වචනවල කතා රසය උපරිමෙන්ම තියනවා....

    ReplyDelete
  6. පිස්සුද. ඔයාලට එහෙම කියනවද?? ඒක සත්‍යම සිදුවීමක්. කෑම්ප් එකේ වෙච්චි.

    ReplyDelete