Tuesday, November 3, 2020

නයි හංදියෙ ඇම්බුෂ් එක

 මම මෙි වෙද්දි හිටියෙ නයිහංදිය කඳවුරේ. 


මෙි කෝබ්‍රා ජන්ෂන් එහෙමත් නැත්තං නයි හංදිය කෑම්ප් එක කියන්නෙ අපේ තිබුනු කඳවුරක්. මඩකලපුව පාරෙ කොළඹ පැත්තට ඇවිත් නාවල්අඩි හන්දියෙන් දකුණට හැරුනම ලංකාවෙි වැඩිම මුඩුබිම් ප්‍රමාණයක් හරහා වැටී තියෙන මෙි ප්‍රධාන පාර හම්බවෙනව. ඒ පාරේ, නාවල් අඩි ඉඳල හරියටම කිලෝ මීටර් තුනක් ආවම තමා මෙි කඳවුර තියෙන්නෙ. ඒ දවස්වල මෙි කඳවුරේ අපේ සම්පූර්ණ කණ්ඩායමක්ම හිටියත් සඳ තරු නැති එක් වැහිබර අඳුරු රාත්‍රියක දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වටකර පහර දීල, කඳවුර අල්ලගෙන, මංකොල්ල කාල සහ ගිනි තියල කඳවුර විනාශ කර දැමීමෙන් පසු  තාවකාලිකව අත්හැරල දාල තිබුනෙ. කොටි ගහද්දි ඒ කඳවුරේ හිටියෙ අපේ තිස් දෙනයි. ඒක අත්හැරදාල කිව්වට නැවත ස්ථාපිත කරනකම් එහි බංකර් පෙළ ඇතුලු සියලුම ඉදි කිරීම් නැවත මුල ඉඳන් පටන් අරන් තිබුනෙ. ඒ වෙද්දි කඳවුරේ ස්ථානගත කරන්න අවශ්‍ය තරම් අතිරේක භඨ පිරිසක්  අපේ ඒකකයෙ හිටියෙ නෑ. මොකද ඒ දවස්වල කින්නිඅඩි, නාවල්අඩි, වාලච්චෙින, 126 කඳවුර,මීයන්කුලම්,ටී හංදිය සහ කායන්කර්නි කඳවුරු ගත්තම එක තැනක හරි තැන් කිහිපයකදි හරි ඇතිවෙන සටන් වලින් අපේ කීප දෙනෙක්ම දවසකදි මියයනවා. නැතිනම් තුවාල වෙනව. මගේ මල්ලි කෙනෙක් හිටියෙත්, නයිහංදියෙ ඉඳල ආයෙත් ත්‍රිකුණාමලය පැත්තට කිලෝ මීටර් පහක් විතර දුරින් තිබුනු කායන්කර්නි අපේ අසල්වාසී කඳවුරේ. මෙි කඳවුරුවල භඨ පිරිස්වලට දිනපතා සිදුවෙන එල්ටීටීඊ ප්‍රහාර හේතුවෙන්, මියයෑම් සහ තුවාලවීම් වෙන පිරිස් වැඩි නිසා තීරණයක් තිබුනා මෙි කඳවුර  ඉන් පිටත ඉඳගෙන රැකගන්න. ඒ අනුව නැවත කඳවුර ස්ථීරව ස්ථාපිත කරන තෙක්  ඒකෙ අළුත්වැඩියා කිරීමෙි කටයුතු පටන් අරන් තිබුනෙ. අලුත්ම බංකර්  සහ ඒ සෑම බංකරයකටම යා හැකි පරිදි එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ යුධ අගල් පද්ධතියක්, කම්බිවැටවල්, බිම්බෝම්බ තීරු, අඩි අටක් උස පස් බැම්මක් ආදී ඉදිකිරීම් තමා මෙි වෙනකොට ආරම්භ කරල තිබුනෙ. මෙි කතාව වෙද්දි  ඉදි කරමින් තිබුනෙ පොළව යට බංකර් පද්ධතිය. මෙික මහ කට්ට පොලවක්. කබොක තමා වැඩිපුර තිබුනෙ. අලවංගුවෙන් එක පාරක් ඇන්නම ඒක "ඩ්‍ර්රීන්න්" ගාල දෙදරනවා. නැත්තං බම්ප් වෙලා ඇවිදින් නාහෙ වදිනව. ඒත් අපි අපේ ගේම අතහැරියෙ නෑ. ඒ විදියට අඩි හයක් විතර ගැඹුරට අඩි දහයක් විතර දිග පළලින් යුත් වලවල් කැපීම අපිට අභියෝගයක් වෙලා තිබුනෙ. නමුත් අන්තිමෙි ඒ කට්ටවෙච්චි පොලව පරද්දන්න අපිට පුලුවන් වුනා. ඒ වෙනුවෙන් උදේ හතේ ඉඳන් හවස පහ විතර වෙනකම් දාඩිය මුගුරු දාගෙන අත්වල කරගැට ඇවිත් ඒවා පුපුරලා ලේ ගලනකම් අපි වැඩ කලා. ඇත්තම කතාව හවස් වෙද්දි අපිට උන වගේ. බාගෙට මැරිල වගේ. ඇඟිලි දිග අරින්න යතා තත්ත්වයට ගන්න වෙනම ව්‍යායාමයක් කරන්න ඔින. මෙි වැඩ බත් කනවා වගෙ කරන්න බෑ. හරිම අමාරුයි. 


 මෙි කඳවුරේ කරන බර වැඩවලට අමතරව  වැඩ කරන අයට කෑම බීම සපයා ගැනීමත් අප විසින්ම සිදුකරගත යුතුව තිබුනා. ඒ වෙනුවෙන් සහ වැඩ කරන අපගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම පස් දෙනෙක් ලබාදීල තිබුනා. එයාලගේ වගකීම වැඩ කරන අයට තේ බත් වතුර සහ ආරක්ෂාව සැපයීම. ඒකත් ලේසිනෑ. කිලෝ මීටර් තුනක් විතර ඒවත් අදින්න ඔින කරේ. ට්‍රැක්ටරේ තිබුනොත් ඒ දවසට ටිකක් ලේසියි. අපි වැඩ ඉවරවුනාම එයාල නැවත නාවල්අඩිවලට ගිහින් ආයෙ එන්නෙ පහුවදා. ඒ උදේ කෑම එකත්, තේ සළාකයත් අරගෙන. එහෙම තමා ඒ දවස්වල අපේ තිබුනු තත්ත්වය.


මෙි අවට තියෙන්නෙ හරිම ලස්සන පරිසරයක්. මහපාරෙ ඉඳල මීටර් පනහක් විතර දෙපැත්තෙන්ම ඇතුලට පොලව මට්ටමටම එලිකරල උදලුගාල වගේ තියෙන්නෙ අපේ ආරක්ෂාවට. ඒ ත්‍රස්තවාදී මර උගුල් සහ බිම් බෝම්බ  අටවයි කියන සැකේ නිසා. මඩකලපුව පැත්තට වෙන්න විශාල කුඹුරු යායක්.අනෙක් පැති කටු පඳුරු සහිත ලඳු කැලෑව. කඳවුරෙන් මුහුද පැත්තට වෙන්න ගම. ඒක තනිකර එල්ටීටීඊ ගමක් කිව්වොත් තමා හරියටම හරි.


මෙි කඳවුර අපි නැවත ස්ථාපිත කරනකං රැකගත්තෙ, දිවාකාලයට බර වැඩ කරන දොලොස් දෙනාම රාත්‍රියට ඒ ලඳු කැලෑවෙ කොහෙ හරි  තැනක රැකසිට පහර දීමෙි කණ්ඩයක් වශයෙන් රාජකාරි ඉඳල. 


මෙි පාරෙ වෙරුගල් මාංකේනි, කජුවත්ත, කදිරවෙිලි වගේ ගම්වලින් මිනිස්සු යනව එනව වාලච්චෙිනට වැඩ වලට. බස්, බයික්, පුට් බයිසිකල්, ටැට්ටර් තමා ප්‍රවාහන මාධ්‍යය. ඔය මිනිස්සු අතරේ මගෙත් හිතවත් කීපදෙනෙක් දවස ගානෙ ටවුන් එකට ආව ගියා. ඔවුන් මට හිතවත් වුනේ ඒ දවස්වල මාලු අරන් පේතාලේ මාකට් එකට වෙන්දේසි කරන්න යනකොට ඒ අයගෙන් මාලු...ම අරං. ඒ දවස්වල රුපියල් පනහක මාලු ගත්තම අපි ඔක්කොටම ඇති. මෙි මාලු ගන්නෙත් නිකන් නෙමෙයි සල්ලිවලට. මං මෙි අයගෙන් ඉස්සෙල්ලම මාලු ගත්තම ඉක්මනින්  වෙන්දේසි කරගන්න පුලුවන් තරමෙි වාසනා මහිමයක් මගේ අත්වල තියෙනව  කියල මෙි අයම කීප විටක්ම  කියල තියෙනව. වැඩි පුර මාලු අරන් පුස් බයික්, තැපැල් නයින්ටි වලින් එන අය පාර දෙපැත්තත් බල බලා එන්නෙ මං පාර අයිනෙ පේන්න ඉන්නවද කියල. එදාට අපිට මාලු එපා වුනත් නිකන් හරි දීල යනව. ඒ ගිහින් හිනා කටක් පුරෝගෙන එන්නෙ. පව් අහිංසක මිනිස්සු.


අපිත් මාලු අරං කරන්නෙ කොහෙ හරි ගිනිගොඩක් ගහල කම්බි දැලක දාල පුච්චනව,නැත්තං හොදි හදනව.එහෙමත් නැත්තං බදිනව.   අපි මාලු සෙල්ලම කරන්නෙ ගොඩක් දුරට බොන්න හිතුනොත් විතරයි.  උදේ හතට විතර ඇරඹෙන බර වැඩ (fatigue)  ආයෙ නවත්තන්නෙ උදේ සහ දවල් කෑමට. දවල්ට කාල පටන් ගන්න ටර්න් එක ආයෙ නවත්තන්නෙ  හවස පහ වෙනකං මැෂින් වගේ එක දිගටම වැඩ කරල. මෙිව හදවතට එකඟව මහන්සි වෙලා කරපු වැඩ. මොකද අපේ කණ්ඩායමෙි ප්ලැටූන් එකක් තමා එදා කොටි ගහනකොටත් මෙතන හිටියෙ. මෙදා  Under ground  බංකර් (පොලව යට හදන බංකර විශේෂයක්. එදා වට කරගෙන ගහපු දවසේ දැක්කා Overhead බංකර් වල ඉඳන් මුකුත් කරන්න බෑ කියල.) හදන්න තමා සැලසුම් කරල තිබුනෙ. එමෙන්ම, උදේ ඉඳන් උපරිම මහන්සියෙන් වැඩ කරල කරල හවසට ඉවරවුනාම රෑට එක විදියකට ඉන්නම බෑ. හරිම අමාරුයි. කොච්චර අමාරු උනත් නිදාගන්න බෑ. රෑට ඇහැරලත් ඉන්න ඔින. නැත්තං කොටි වඩාගෙන එක්කං යනව. 


මෙි සිදුවීම වෙන දවසෙ මෙතන හිටපු සීනියර් කෝප්‍රල් යෝජනා කලා හැන්දෑවට චූට්ටක් වෙන්න අඩියක් ගහමු කියල. ඒකනං පංකාදු අදහසක්. අපි දොලොස් දෙනා සැන්ටින් කරල බෝතල් දෙකහමාරක් ගෙනාවා. මං මම ගානෙ මාලු බයිට් එකක් හැදුවා. 


එදා හතර හමාරට වැඩ ඉවර කරලා ගියා කලපුවට නාන්න. ඒ කලපුවෙ තනිකර  තියෙන්නෙ ලුනු වතුර. පපුවට අත තියල කියන්නෙ, මෙි වතුර නාද්දිත් දාඩිය දානව. සබන් ගාන්න බෑ. වහින කාලෙට එච්චර අවුලක් නැතිවුනත් පායන කාලෙට එහෙම තමා.


අපිත් ගිහින් නාල ආව. ඇවිත් කෑම්ප් එක ඇතුලෙම තහඩුයි පොල් අතුයි හෙවිල්ලල හදා ගත්තු හට් එකේ ගල් තුනක් තියල හදපු ලිපේ මං බයිට් වැඩෙි පටන් ගත්තා. පැය එකහමාරක් විතර යනකොට මාලු කිලෝ පහක් විතර බැදල බොහොම අමාරුවෙන් කිලෝ දෙකක් විතර ඉතුරු කර ගත්තා. බැදල තියන තියන එකා ඉගිල්ලිලා යනව වගේ මිසින් වෙනව. බැදල බානකං ඉඳල කෝපල්ලා උස්සනව. ඒත් මුකුත් කියන්න බෑ. අපිත් පවු. එයාලත් පව්. පට්ට ජොලි ජීවිතේ ඉතින්. මෙිකෙ අපි කැකිරි වට්ටක්කා ඉරිඟු කොමඩු පවා වගා කරල තිබුනෙ. ඒක හේනක්. හේනට බිම හැදුවෙ තනකොල කක කකා ආතක්පාතක් නැතුව යන හරක් කදවුර ඇතුලට දක්කල. අපරාදෙ කියන්න බෑ, උන්  ඉලුක් සහ තනකොල හරි ලස්සනට අඩිය අඟලට පාත් කරල දෙනව.


රෑ කෑම එක හයයි තිහට විතර ලැබුනා. ඊ ලඟට හතට විතර කැලේ ආරක්ෂිත තැනක අස්සටම රිංගල ග්‍රවුන්ඩ් ශීට් එකකුත් එලල වටෙිට ඉඳගෙන අපි වැඩෙි පටන් ගත්තා. සෙන්ට්‍රි ඉන්න ගමන්මයි මෙි වැඩෙි කෙරෙන්නෙ. අවිය අතේ. හැමෝම සෙන්ට්‍රි තමා. සොට් එකක් දාගෙන මීටර් පනහක් හැටක් වගේ තුවක්කුවත් අරගෙන හිමීට හිමීට විසිට් එකකුත් යනව. ඒ අපේ ආරක්ෂාවට. එහෙම වෙන්න හේතුව ඒ වෙද්දි මෙහෙ හිටපු කොටි අපිටම අමුතු අමුතු ආතල් කීපයක්ම දීල තිබුනු නිසා.


අට විතර වෙනකොට වැඩෙි ඉක්මනින් ඉවර කරල රෑට කෑව. ඊ ලඟට ඇම්බුෂ් එක. ඒක දවාලෙ සැලසුම් කරගත් පරිදි දාන්න ඔින තැනට ගියේ, බලං හිටපු එකෙකුට,  "මුං කොහෙද යකෝ ගියේ" කියලවත් හිතාගන්න බැරි විදියට උපක්‍රමිකව වාෂ්පවෙලා.ඒ ගිහින් කලින් කතා කරගත්තු තැනම ස්ථාන ගත වුනා. හැමදාම එකම තැන නෙමෙි ඉන්නෙ. දිනපතා තැන් වෙනස් කරනවා. ඊලඟට ටික වෙලාවක් හැමෝම පරිසරයට හොඳට කන් දීල, අනවශ්‍ය සද්දබද්ද ඇහෙනවද බලල,අවුලක් නැතිබව දැනුනු නිසා දෙන්නෙක් සෙන්ට්‍රි ඉඳල දහ දෙනෙක් රෑ එකොලහෙන් පස්සෙ නිදාගත්තා. මාත් නිදාගත්තා. එහෙම පැය දෙකක් නිදාගන්න බැරිවුනා. එකපාරටම අපි හිටපු දිහාට ගල් ප්‍රහාරයක් එල්ලවුනා. (කොටි මෙි ආතල් එකම මීට කලින් දවසකත් දීල අපේ පෙර වාසනා මහිමයක් තිබිල නූලෙන් බෙිරුනේ. උන් මෙි ගල් විසික් කරන්නෙ දුර ඉඳන් ඉස්සරහට සහ දෙපැත්තට ) ප්‍රහාරයක් කිව්වට අඟල් තුනේ තුනේ විතර ගුරු පාරෙ තියෙන කබොක් ගල් කෑලි තුන හතරක්. ඒ වෙලාවෙ සෙන්ට්‍රි හිටියෙ කෝප්‍රල්. එයා අපි ඔක්කෝටම කිසිම සද්දයක් නැතුව ඇහැරෙව්වා. අපිත් කලබල නොකර තුවක්කුවත් අරගෙන ගල් ආපු පැත්තට හැරිල මුනින් අතට හැරුනා.  සෙන්ට්‍රිත් බිම දිගාවෙලා. ආයෙත් විනාඩි පහක් විතර යද්දි පඳුරු උඩින් ගල් කෑලි කීපයක් පියාඹල ඇවිත් සර සරස් ටලස් ටොක් ගාල බිම වැටිල රෝල් වෙලා ගියා. ඒවා ටිකක් එහාට වැටුනෙ. කෝප්‍රල්ගෙ උපදෙස් අනුව අපි එක චූටි සද්දයක් පිටට නොඇසෙන්න පැක් එක දාගත්තා. ඊලඟට කෝප්‍රල් සමග හතර දෙනෙක් ගල් ආපු දිහාට නැතුව ඊට තව ටිකක් වමෙන් පාර පැත්තට ඇදුනා. අපි හිටියෙ කොටි ක්‍රොසින් ඒරියා එකක. ඒක පස් පාරක්. ඇම්බුෂ් එක දැම්මෙ කායන්කේනි කඳවුරත් අපේ කඳවුරත් මැද්දෙන් ත්‍රීකුණාමලේ පැත්තට මුහුන දාල නාවල්අඩි කඳවුරට කිලෝමීටර් තුනක් හතරන් පිටුපසින් ඈතින් ආලංකුලම ගමෙි ඉඳල මෙි ට්‍රින්කො පාරට එන්න තියෙන ගුරු පාරෙ . කෝප්‍රල් ගියාම ලා/කෝ සුනිල් ආර්ඒඑස් සමග මා ඇතුලු අට දෙනා හිටපු තැනම බැකප් එකක් විදියට නැවතුනා. දැන් හතර දෙනා බඩ ගානව. මෙි පඳුරු සහිත භූමියක්. සද්දයක් නැතුව  නැවිල උනත් යන්න පුලුවන්. ඒ ගියපු හතර දෙනා ටික වෙිලාවකින් පස්සෙ අපි ලඟට ඇවිත් රහසින්, "වරෙව් ටක් ගාල" කිව්වා. 

අපිත් ටැක්ටිස් වලට කෝප්‍රල් අනුව ඔහු පස්සෙන් ගියා. ඒ විදියට අපිව අරන් ගිහින් දැම්මෙ මහ පාරත් ක්‍රොස් කරල කෑම්ප් එකට නැගෙනහිරින් තිබුනු ගමට යන පාරේම තැනක තල් ගස් පේලියක් යටින් කාණුවක. කානුවක් කිව්වට සාමාන්‍ය ප්‍රමාණයේ කානුවක්. එක පාරටම කොහොමත් පාරට පේන්නෑ. අපිව එතන තියල කෝප්‍රල් ආයෙ එයාගෙ ටීම් එකත් අරන් පඳුරු අස්සෙන් අස්සෙන් කෑම්ප් එක පැත්තට ගියා. ඒ පැත්තෙ තමා අපේ කඳවුර තියෙන්නෙ. අපි දැන් ඉන්නෙ මඩ කලපුව පැත්තට මූන දාල උන් එයි කියල හිතන පාරේ උන්ට වම් පැත්තෙන්. මෙතන ඉඳන් කඳවුරට කිලෝමීටර් එකහමාරක් විතර තියෙනව. එයාලා අරික්කාලටම නැමිල පේලියට පේලියට ගියා.  ඒ වෙද්දි අපි හොඳටම දන්නව මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙයිම තමා කියල. ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්. සරළයි,සුගමයි, සෞම්‍යයි. බීල හිටිය කියල අපිට ගානක්වත් නෑ. දොලොස් දෙනෙකුට ඒ ටික ගෑවුනේවත් නෑ. වෙරි ගන්නනං තව බාගයක්වත් බොන්න ඔින. 


එයාලා පැය කාලකට විතර පස්සෙ ගියපු විදියටම අපි ගාවට ඇවිත් නැවත අපිවත් අරන් ගම පැත්තටම කැලේ මැද්දෙන් ඒත් ටිකක් වෙිගයෙන් ගියා. ඒ ගියේ පස් පාරට සමගාමීව ඊට ඇතුලට වෙන්න කැලෙන් ගම පැත්තට වෙන්න. ඒ ගිහින් බෝක්කුවක් පල්ලට රිංග ගත්තා. ඊට පස්සෙ තමා අපිට හරියටම සීන් එක කිව්වෙි.


කෝප්‍රල් බෝක්කුව යට ඉඳන් රහසින්;

*එකෙක්වත් කලබල වෙන්න එපා. කාටද වෙරි තියෙන්නෙ. තියෙනවනං කියහල්ලා ටක් ගාල. 

*කාටවත්ම නෑ. කෝප්‍රල්.

*හරි, මං හිතපු විදිය හරිනං අනිවාරෙන්ම තව ටිකකින් මෙතනින් බඩු එන්න ඔින. කුඩු කරලම දාන්න තියෙන්නෙ. කරේ මොනා හරි තියෙනව. පෙනුනු විදියට අතේ තුවක්කු තියෙනව. කාටවත් අවුලක් නෑනෙ. පිස්සු කෙලින්න යන්න එපා බිව්ව කියල. ඒව දං ඉවරයි. තේරුනානෙ.


*ගහමු කෝප්‍රල්. නැති වෙලාම යන්ඩ හු&&$ත. ලා/කෝ සුනිල් කිව්වා. ඊලඟට කෝප්‍රල් වැඩෙි වෙන්න ඔින විදිය කිව්වා. ප්‍රහරය එල්ල කිරීමෙන් පසු ඊලඟ තත්පරේ පසු බැසීම.සරලවම කිව්වොත් රවුන්ද, හතරැස්ද අටපට්ටම්ද බල බලා ඉඳිලි නෑ, ගැහුව,දිව්වා. එච්චරයි. දුවන්නෙ ඔක්කොම එකට.  බැරිවෙලාවත් කව්රු හරි මග හැරුනොත් එන්න ඔින තැනත් කිව්වා.


 අපි රෙඩිවුනා. පාරට සමාන්තරව දොලොස් දෙනාම එක පේලියට ඩවුන් ගියා. ආයෙ මොනාද තුවක්කුවෙ ආරක්ෂිත ඇණයත් පොකුරු උණ්ඩ ප්ලේස් එකේ. දකුණු අතේ දබරැඟිල්ල ට්‍රිගර් එකට පිටුපසින් ට්‍රිගර් ගාඩ් එක බදාගෙන. මටනං ඔය පොකුරු උන්ඩ කෙළිය  හරියන්නෙම නෑනෙ. ෂුවර්ම සින්ගල් ෂොට් තමා. මෙි දොලහ උන්ගෙ පනහකට සීයකට උනත් හොඳටම ඇති. උන් හිමීට හිමීට වටයක් ගිහින් එන රවුම අපි හරස් අතට කෙටි පාරකින් මීටර් තුන් හාරසීයකින් කවර් කරල උන්ට කලින් ඇවිත් රැකගෙන උන්නේ. මෙි එන්නෙ අනිවාරයෙන්ම කොටි. සිවිල් මිනිස්සුන්ට ගල් ගහන්න උවමනාවක් නෑනෙ. උං ඒ කලේ, කැලේ ඇතුලෙ ආරක්ෂිතව හැංගිලා ගල් ගැහුවම, අපි ඉන්නවනං ඒ ඉන්න හරිය හොයාගන්න. මොකද අපි වෙඩි තියනවනෙ. ඒකයි. අපි වෙඩි තිබ්බත් එතකොට මුන්ට වදින්නෑ. අපි ෆයර් එක නවත්තපු ගමන් හරි ෆයර් එක යන ගමන් හරි උන් කරන්නෙ කැලේ කඩාගෙන වංගු කෙලින් කරගෙන පඳුරු උඩින් පැනල දුවන එක. ඒ උං හිතන විදිය. නමුත් ආමි කාරයා හිතන්නෙ ඊට වඩා වෙනස් විදියකට. ඒක තමා මෙි වුනේ.  මෙි දේවල් මෙි විදියට වෙන්න මහා කාලයක් ගියේ නෑ.


 අපිත් ඩවුන් දාගෙන බලා ඉන්නවා බඩු ලඟට එනකම්. විනාඩි විස්සක් විතර යනකොට වටෙි ගිහින් ගිහින් තුන් දෙනා වෙනුවට හතර දෙනෙක්ම පාරේ ආව. කෝපල් දැකල තිබුනෙ තුන් දෙනයි.  මුං එන්නෙ හිමීට හිමීට.  අපිට ක්ෂිතිජය කැඩිල චූට්ටක් විතර පේනව. තුවක්කු සද්දයකුත් ඇහුන නිසා අනිවාරයෙන්ම බඩුම තමා කියල ස්ථීරවම දැනගත්තා. දැන් මුන්ගෙ බය අඩුයි. අපිට එහා පැත්තෙ උන්ගෙ ගම. ආමි එකෙන් හිටියනං මෙලහට සටනක් ගිහින්නෙ. ඒකයි බය ඇරිල තිබුනෙ. අනික උන් කීයටවත් හිතන්නෑ අපි උන්ගෙ ගමටම ඇවිත් ගහයි කියල. 


සැලසුමට අනුව උන් ටික හරි මැද්දට ආව ගමන් ෆස්ට් ෆයර් එක කෝප්‍රල් එයා ගානෙ දෙන්නං කිව්වා. ඊ ලඟට එයත් එක්කම අපිට තාලෙ අල්ලන්න කිව්වා. මන්ද ස්වර මධ්‍ය ස්වර නෑ කිව්ව. කෙලින්ම උච්ඡ ස්වර පමණයි කියලත් කිව්වා. අනික බිව්ව කියල වන්නම් නටන්න විතරක් ලෑස්ති වෙන්න එපා කිව්වා. චිත්‍ර කරපු නිසා නැටුම්නං කොහොමත් බෑ. චිත්‍රත් කලා කියල අපිට කෙලින් ඉරක්වත් ගහගන්න පුලුහනෑ. කලාවෙනුත් හොඳටම හුරු වෙලා තිබුනෙ යුධ කලාව සහ හුදකලා⁣ව කියන දෙක විතරයි. 


තවත් විනාඩි කීපයක් යද්දි බඩු ලඟ ලඟම එනව පේනව. එන්නෙ පාර දිගේමයි. ඒ එන්නෙත් කතා කර කර.

උන් එන්න එන්නම කිට්ටු වෙනකොට  පපුව පිරෙන්නම හොඳ හුස්මක් ගත්තා.ඊලඟට මගේ පන ඩිංග වෙච්චි අම්මව මතක් කරගත්තා. ගත්තු හුස්මෙන් බාගයක් පිට කරල බාගයක් පපුවෙ ඉතිරි කරගත්තා. බඩු හරියටම මැද්දට ආවට පස්සෙ (හරියටම කෝපුල්ගෙ ඔලුව ඉස්සරහ) කෝපල්ම බෙර ගහන්න පටන් ගත්තා. අපිත් එක දිගටම තණුවෙන් පිට නොයා තාලෙ අල්ලගෙන හිටියා. සැලසුමට අනුව මෙතනින් හතර දෙනෙක් ෆයර් කරන්නෑ. ඒ හතර දෙනාට පටන් ගන්න කිව්වෙ අපි නවත්තපුවම. ඒ තමා මැගසින් චෙින්ජ් එක. මොන. ඒයාලට වෙඩි තියන්න තරම් දෙයක් එතන ඉතුරු වෙලා තිබුන්නෑ. තුනක් කෑ ගහනව විතරයි ඇහුනෙ. වැටුනා දැක්කා. පස්සෙන්ම ආපු එකා දුවනවා වගේ දැක්කා.  ඒත් අන්තිමට හිටපු අපේ දෙන්නා නැගිටල පාරටත් පැනල වෙඩි තියල ඌව බිම දානවා දැක්කා.


මෙි සියළුම සිද්ධාන්තවලට මුල ඉදන්ම පැයක් හෝ එකහමාරක් යන්න ඇති. ෆයර් එක විනාඩි දෙකක්, තුනක්, විතර යන්න ඇති. මම ඇතුලු තුන්දෙනා හිටියෙ ඉස්සරහින්ම එන දෙන්නට සොට් එක දෙන්න. ඉතිරි දෙන්නා කෝප්‍රල් සහ එයාගෙන් දකුණට. 


 ඒ ෆයර් එක නවත්තපු ගමන් අපි කඳවුර පැත්තට පසු බැස්සා. අපේ බැකප් එකට ඉන්නෙ, හදන කඳවුර කිට්ටුව ස්ථානගත වෙන්න එන නාවල්අඩි කඳවුරේ අපේම සවන්දීමෙි මුර දෙකක්. අපි හැකි ඉක්මනින් කඳවුර කිට්ටුවට ඇවිත් මහ පාරට ගොඩ වෙනකොට බැකප් එක එතනට ඇවිත්. එයාලගෙ සෙට් එකෙන් සීන් එක ඇතුලට කිව්වම ටික වෙලාවකින් පැරා දෙකක් ගැහුවා ප්‍රහාරය වෙච්චි තැන සෝදිසි කරන්න. එතකොට ට්‍රැක්ටරේ තවත් කීප දෙනෙකුත් නිළධාරියෙකුත් ආවා. ඒ ආවෙ 2/ලුතිතන් නානායක්කාර. අපි ඔක්කොම එකතු වෙලා භූමිය සෝදිසි කලා. 


සල්ලඩි වගේ හිල් වෙච්චි එල්ටීටීඊ මළ සිරුරු හතරක්, බට්ටො පනහක ගෝනියක්, කිලෝ එකේ එකේ ප්‍රමාණයට  ඔතල තිබුනු හාල්මැස්සො ඇතුලු කරවල දාපු ගෝනියක්. අලුත්ම සරම් දෙකක්, ටී පනස් හය අවියක්, අලුත්ම අලුත් කිරි කිරි එල්එම්ජී අවියක්, (පස්සෙ කාලෙ අපි මෙි අවියෙන් උන්ටම ගැහුවා)  අත්බෝම්බ හතරක්, බට්ටන්ට සවි කරන ඩෙටනේටර් පනහක්, පෙන්ටෝච් බැටරි කෑලි පෙට්ටියක්  ඒ අතරින් හොයාගත්තා. පෙන්ටෝච් කෑලි පෙට්ටියම ආරච්චි විසින් ගල් කලා. ඒ රේඩියෝ එකට දාන්න තියාගන්න. පස්සෙ මං ඒකෙන් කෑලි හයක් තියාගෙන ඉතුරු ඔක්කෝම රේඩියෝ තියෙන අයට බෙදල දුන්නා. එවකට ලුතිතන් ජයරත්නටත් දෙකක් දුන්නා. පස්සෙ තමා කිව්වෙ බැටරි පෙට්ටිය ගල් කලා කියල. 


ඒකට ආර්එස්පී ගහපු ලිවුම යුහමූ වලට යවල තියෙන්නෙ පරෙවියෙක් අතේ. ඌ මගදි පරෙවි දෙනක් එක්ක සංසර්ගයේ යෙදෙන්න ගිහින් මැරිල, අද වෙනකං ඒ සිදුවීමෙි පදක්කමත් නෑ, කරපු එකේ හොඳත් නෑ.යවපු ලියුමත් නෑ. 


කෙටියෙන්ම කිව්වොත් විසිල් විතරයි, ඇත්තටම බල්ටි නෑ.  



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.03

1 comment:

  1. patta machan...!digatama liyanna wewa...proud of you guys

    ReplyDelete