Tuesday, March 22, 2022

පෝලිම

 දින දෙකක් පෙට්‍රල් පෝලිමෙි සිට ඒ සුවඳටත් දුවන ප්ලැටිනා යතුරු පැදියට ලීටර දෙකක් ගසාගෙන... එතැනින් ගෑස් පෝලිමට ගොස් බලා සිටියෙමි  දෑසට කබ ටොන් එකක් ගලා එන  තුරු " ඔබ පමා ඇයි පියේ" සිතමින්.. එහෙත් ගෑස් නො එන බැව් දැන ගතිමි පසුවදා...එතැනින් බූමිතෙල් පෝලිමෙි සිට  දුක කියා දා ගතිමි රුපියල් සියයක  භූමිතෙල්...එතැනින් සතොසටත්, පසුව සතිපොලටත්... අහෝ විපතකි අප වන් වූ යක්ඛ පුතුන්ටත් සිදුවූ.... පෝලිම් වල සිට මා සතියකට පසු ගෙදර ගියෙමි... බිරිඳගේ වටොරත්...ඇගේ දෙතනත්, රාගයෙන් මත්වූ දෑසත් සිහි කරමින්... එහෙත් නන්නාඳුනන පිරිමින් වදයකට මී තියන්නාසේ පොරකනු දුටුවෙමි මගේම ගේ දොරකඩ. බියෙන් තැතිගත් මා නාද කළෙමි සීනුව...  එසැනින් ඇය ත් මාත් නිදන, මෙතෙක් සිහින දුටු සයනය දෙසින් ඇසුණි.... ඔබ  අට වැනියා යැයි...මා දුටුවෙමි මට කලින් එකා කාසි සල්ලි ගණන් කරනායුරු..... මොහොතකින් ඇසුණි සවනට මෙසේ..."යාන්තම් පන්සීය හරි"


සිහිනෙන් පිබිද බැලූයෙමි පෝලිම් යුගයෙහි ඇති අපූර්වත්වය....


කඩදාසිත් නොමැතිනම් වාචකව ලබාදෙනු

"දික්කසාදය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.21

Thursday, March 17, 2022

සඟ සැලියුට්

 ඉස්සර අපේ රටෙි යුද්දෙ කාලෙ බස් හෝල්ට්වල ලගින පිස්සෙක් වගේ මම , අඩිය අඟලට තැලිච්ච ට්‍රංක පෙට්ටියත් උස්සගෙන මාස දෙකෙන් තුනෙන් අහට්ටත් මෙහට්ටත් කාල් ගගා දුවපු ජීවිතේ ඒ කාලෙ හැටියට තිත්ත වෙලා තිබුනෙ. හැබැයි ඒ ගියපු එක තැනක්වත් මට වැරදුනෙත් නෑ. වැරදුනානම් වුනේ ආයෙ එතනින් තව තැනකට යන්න වෙච්චි එක විතරයි. ඉස් ඉස්සෙල්ලාම වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ල, එතනින් වට්ටප්පලේ, මාන්කුලම් පාර්ක් කරලා එහෙත් පට්ට කරක් ගහලා එතනිනුත් විසිවෙලා ඒකකයටත් ආවට පස්සෙ වුනේ ආයෙ තැන් තැන් වල යන්න සිද්දවෙච්චි එකම තමා. සිරාවටම ඒ දවස්වල මාව පෙන්නන්න බැරි මගේ ඒකකයේ ගොඩක් අය හිටියා. එහෙමයි කියල මං එවුන්දැලව ගනන් ගත්තෙත් නෑ. අංචියක් ඇද්දනං එයාද මෙයාද කියල බැලුවෙත් නෑ, සාධාරණව සෙපෝරුවෙන්න  කාටත් ඇද්දා. 


මෙි අතරෙ තමානෙ මම ඔට්ටමාවඩි පාලමට එවල තිබුනෙ. ඒ ඉන්න අතරෙ තමානෙ කාර් එකක් වගේ ජීප් එකකට  ටුවක්කුව උරුක්කරල ඉහල උසාවියට යන්න ගියෙ. ආයෙ බස් කොන්දෙකුගෙ උගේම බස් එක ඇතුලෙ කන්ගැට්ට තලල ඉහළම උසාවියට ගියෙ. ඒව ඉතින් ඔයාලට මතකත් ඇති. මං ඒව කලින් කියල තියෙනව. ඒත් කාර්ජිප් කතාව කතාව කියල නෑ.ඒක කියලම කතාව පටන් ගන්නංකො. 

එදා මං ඔිට්ටමාවඩි පාලම් මාර්ග බාධකයේ හිටියෙ " STOP"  බෝඩ් එකේ. ඒ කියන්නෙ ඔයාල දැකල ඇති මාර්ග බාධකයක දෙපැත්තෙ සෙබළු දෙදෙනෙක් ඉන්නවා "ස්ටොප්" කියල රතු අකුරෙන් ලියපු බෝඩ් එකක් අතේ තියාගෙන. එයාගෙ වගකීම තමා මාර්ග බාධකය පසු කර යෑමට එන ඔිනෑම වාහනයක් පරීක්ෂාවට ලක්කළ යුතුයි කියා හැඟුනොත් එය නවත්වා පරීක්ෂා කරන කණ්ඩය ඉන්න තැනට යොමු කිරීම. ඉතින් එදා වෙලාව ඇති 2.30ට විතර. මාත් ඒ වෙලාව වෙද්දි බත් සිහියෙ උපරිමෙි හිටියෙ. මාව කෑමට යවන්න නම් කෑම කාලා කව්රු හරි ඇවිත් මාව රිලීව් කරන්න ඔින. ඒත් එදා කෑම එද්දි දෙකයි. මහ ටැට්ටර් ඇංජිමකට ආමර්ඩ් ප්ලේට් ගහල හදපු ස්ටැලියන් රාජයා "හොට හොට හොට" ගගා එද්දිත් වෙලාව යනවා. ඔික දකිද්දිත් ඇඟේ ලේ කකියනවා. උදේ ඉඳන් මොහොතක් ඉඳගන්නවත් ඉස්පාසුවක් නැතුව සන්නද්ධ ඇඳුමෙන් පැය ගානක් කකුල් දෙකට ලේ බහිනකං හිටගෙන ඉන්නවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙි. ඒදවස්වල තිබුනු භඨ ඌනතාවයත් එක්ක දෙන්නෙක්ගෙ රාජකාරි එක් අයෙක් තමා කලේ. ඒ කිව්වෙ මෙි වගේ තැන්වල. ඔහොම ඉන්න අතරේ තමා කලුපාට සුප්පා කාර් එකක් වගේ ජීප් එකක් ඉස්සරහට ආවෙ. මාත් සුපුරුදු විදියට ඒ කාර්ජිප් එකටත් ස්ටොප් බෝඩ් එක ඇල්ලුවා.  මං ස්ටොප් බෝඩ් එක උස්සද්දිත් ඒකෙන්  දෙපාරක් විතර හෙඩ් ලයිට් ගහගෙන ඇරගෙන යන්න ආව. මාත් ඇරියෙ නෑ. දැම්ම ස්ටොප් බෝඩ් එක  බිමට, ගත්ත අවිය අතට, අරන් කාර් එකට වෙඩි තියන්න වගේ ඉරියව්වට ආවා. දූවිලි අවුස්සාගෙන රෝඩ් බ්ලොක් එකත් කෙලින් කරගෙන කඩා බිඳගෙන යන්න වගේ ආව කාර් එක මටත් මීටර් 20ක් විතර දුර තියල  දූවිලි වලාවක් නංවමින් "කාස්ස්" ගාල නැවැත්තුවා. ඒකත් හරියට මට නෝන්ඩියට වගේ ඉස්සරහටයි පස්සටයි කීප වරක් "කිහිච් කිහිච්" ගාල පැද්දිලා පැද්දිලා පැද්දිලා තමයි නැවත්තුනේ. මටත් හරී සතුටුයි. කොහොමත් මං රාජකාරි ඉන්නකොට අපේ සර්රුත් මා ගැන ටිකක් විතර අවධානයෙන් ඉන්නෙ. කාර් එක නවත්තනවත් එක්කම මං දැක්කා සර් හිටි ගැස්සෙනවා.සර් හිටිගැස්සෙනවා දැකපු මං අමුතුවෙන් තිගැස්සුනා. එතකොට තමා විශ්ණු දෙයියො වගේ පාට වෙච්චි පොරක් ඩැයිවිං සීට් එකෙන් බැහැල ඉස්සරහට එන්න ආවෙ. එතකොටම අපේ සර් මහා දූවිලි වළාවක් අවුස්සමින් සහ නැඟුණු දුහුවිලි වළාවන් සුළියක් ආකාරයෙන් හිස් අහස දෙසට පා කර හරිමින් "සොනික්" වගේ  "මෑක් මෑක්" හඬ තලමින්  විදුලි වෙිගෙන් අපි ළඟට ආවෙ. ඊ ලඟට තරු පැලැන්ඳූ අයෙක් හාත්පස දූවිලි වලාවන් නංවමින්  එනු දුටු සැප කාර් එකේ හිටපු හයේ හතරෙ දාර සුද්දෙක් දොර ඇරගෙන කාරයෙන් බැස්සා. හැබැයි ඒ වෙද්දි මට තේරුම් ගිහින් තිබුනෙ වැඩෙි වැරදීගෙන යන වග. අපි ලඟට ආපු සුද්දයි සර්රුයි අතර දෙල්කොල ගොඩෙි කබරයි දුවන්නැහෙ ඇති වෙච්චි ඉංගිරිස් භාෂාවෙන් කියවුනේ ඒ කැනඩාවෙි තානාපති කියල.  එතුමා කිව්වා මං ඒක නොදැක කාර්එක නවත්තන්න ඇති, ඒකට කමක් නෑ, එයාලව ටිකක් දැනුම්වත් කරල තියන්න , එතකොට ප්‍රශ්ණ ඇති වෙන්නෑ කියල. ටෙන් වීල් එකක් රිවර්ස් කරන අලුත ලයිසන් ගත්තු ඩැයිවරයෙක්  සයික් කන්කාඩියෙන් පසු පස බලන්නේ යම් සේද , එලෙසම අපේ සර් මා දෙස බලමින් දකුනු හක්කෙන් මට විතරක් පේන්න දත්මිටි කමින් හිටියෙ. මට ඔය දෙගොල්ල කතා වෙච්චි දෑ  හොඳට තේරුණේ කුඹුරුමුල්ල කැලෑ ඉස්කෝලෙන් ඉගෙනගෙන තිබුනු ඉංගිරිස් වලට පිං සිද්ද වෙන්න. මටත් මැද්දට පැනල සොරි කියන්න හිතුනත් ඒක එච්චර සදාචාර සම්පන්න නැති නිසාත්, ඊළඟට මා නවතින තැන කල්පනා කරන්න තිබුනු නිසාත් කට පියාගෙන හිටියා. ඒ තානාපති තුමාගෙ මනුස්ස කම ගැන මට හිතුනෙ "කරුණාකර ඔයාගෙ සෙබළට දඬුවම් කරන්න එපා" කියල ඉල්ලීමක් කලාට පස්සෙ. මට පව් කියලත් හිතුනා කාර් එකේ "DPL" කියල තඩි පොල් අකුරෙන් ලියල තියෙනවත් දැක දැක ස්ටොප් බෝඩ් එක අල්ලපු එක ගැන. කතාව සමනය වෙලා එතුමලා ගියාට පස්සෙ තමා රෝඩ් බ්ලොක් එක ගිනි ගත්තෙ. දැන් සර් මට බනිනවා, මං බිම බලනවා,වටපිට බලනවා, අහක බලාගෙන යන්න ආපු හිනාව නවතතගන්න ට්‍රයි කරනවා. කොහොමින් හරි අන්තිමෙිට වුනේ "ආයෙ මෙිකව කවදාවත් ස්ටොප් සෙන්ට්‍රි දාන්න එපා" කියල සර් විධානය කරපු එක. හැබැයි එදා ඉඳන් ආයෙ කවදාවත් මාව ඔය රාජකාරියට නම් දැම්මෙත් නෑ. කොහට්ටවත් යැව්වෙත් නෑ. ඊට දවස් කීපයකට පස්සෙ තමා අද කියන්න යන කතාව සිද්දවුනේ. 


ඒත් එමමයි. ඒ රෝඩ් බ්ලොක් එකමයි.වෙලාව ඇති දොලහට විතර. මං හිටියෙ වාහන පරීක්ෂා කරන කණ්ඩයේ. ඒ වෙලාවට එතනට වැලිකන්ද පැත්තෙන් මඩකලපුව බලා යන බස් එකක් නැවැත්තුවා. ඒකෙ පිටිපස්සෙ හිටපු කට්ටියක් සිංහල සිංදු කිය කිය අත්පුඩි ගග ගගහ හිටියෙ. මං ඉස්සරහ දොරෙන් නැගල බස් එකේ  හිටගෙන හිටපු අය පරීක්ෂාවට ලක් කිරීම සඳහා වාහනයෙන් බහින්න කිව්වම දෙමළ මුස්ලිම් සේරම බැහැල ගියා. ඒත් සිංදු කියපු එකෙක්වත් බැස්සෙ නෑ. මේක ටිකක් විතර සාමාන්‍යයි. ඒ නැගෙනහිර විෂ්වවිද්‍යාලයට යන සිංහල කාණ්ඩයක්. උන්දැලටත් බැහැල ඉස්සරහ⁣ට යන්න කිව්වට බැස්සෙ නෑ. දෙපාරක් හොඳින් කිව්වා. එතකොට එකෙක් මට ටෝක් කරගෙන ආවා. අපි සිංහලලු, කැම්පස්ලු යන්නෙ,ඇයි  ඔයා දන්නැද්ද? කිය කිය. කියන්නම ඔින,  ඒ වගේ සීන් වලට ආරච්චිට ටක් ගාල මලපනිනවා . කියන ඔක්කෝම ටික අහං හිටපු මං ඇහුවා "තමුන්ලා තුන පාස්වෙලාද කැම්පස් සිලෙක්ට් වුනේ" කියලා. කට්ටිය ඒකට ටිකක් තුශ්නිම්භූතවුනා වගෙ වුනා. ආයෙ එකියක් කට අරින්න හදද්දි මං ඉංගිරිස් වලින්ම "ආං බස් එකේ ආපු කැම්පස් ස්ටුඩන්ට්ලා නීතියට අවනත වෙලා බස් එකෙන් බැස්සා.ඔය බාලාංසෙ ඈයොත් කරුණාකරල බැහැල යන්න පෝලිමට" කිව්වා. දෙතුන් දෙනෙක් බහින්න දොර ලඟට එද්දි, තවත් එකෙක් "එහෙම කිය..." කියල පටන් ගන්න හදනකොටම මං ආයෙත් සිංහලෙන් "මෙි මගෙන් කුණුහබ්බ නාහා පලයව් එක එකා බස් එකෙන් බැහැලා, මහලොකුවට ⁣ඉගෙන ගත්ත කිව්වට නීතියටවත් අවනත වෙන්න බැරි එවුං" කිව්වම උනුත් දුං දාගෙන බැහැල පෝලිමට ගියා. ඒ වෙද්දි තව වාහන හතරක් පිටු පස්සෙ නවත්තල තිබුනෙ. ඒවත් චෙක් කරන්න ඔින. කාටවත් පුමාදයක් කරන්න බෑ. බස් එකට පස්සෙන් තිබුනෙ හයිඒස් වෑන් එකක්. මං ඒක බස් එකේ ඉද්දිමයි දැක්කෙ.පස්සෙ යකු නැගල හිටිය නියායෙන්ම  බස් එක චෙක් කරල බැහැල ඒ වෑන් එක චෙක් කරන්න එතනට ගියා. ඒකේ ඉස්සරහ ශීට්එකේ හිටියෙ සවාමීන් වහන්සේ කෙනෙක්. ලඟට ආවමයි දැක්කෙ. උන්නාන්සෙව දැක්කම මට මුකුත් හිතාගන්න බැරුව එක පාරටම හාමුදුරුවන්ට සැලියුට් කරා කියහල්ලකො. මහ වස නෝන්ඩියයි එතන වුනේ. ඒ සැලියුට් කරපු එකට අමුතුවෙන්  කලබල වෙච්චි පාර මං ඊළඟට උන්නාන්සෙගෙන් "කොහෙද ඔයා වැඩ්ඩෙ, කොහෙද මෙහෙ වඩින්නෙ" කියලත් ඇහුව කියහල්ලකො. මයෙ අප්පේ මා වෙනුවෙන් උන්නාන්සෙගෙ තොල් අතර තිබ්බ මහා කාරුණික දාර හිනා පොඩ්ඩ තාමත් මැවි මැවි පේනවා. හැබැයි උන්නාන්සෙට මොකක් හරි තේරිලා මට " පුතේ ඔයා කලබල වෙලා ඉන්නෙ, හිමීට කතා කරන්න" කිව්වා. ඒක ඇහුනම මට චුට්ටක් විතර කූල් එකක් දැනුණා. ඊළඟට හාමුදුරුවො වෑන් එකෙන් බැහැලා මාත් එක්ක විනාඩි දෙකක් විතර කතාකලා.මං කූල් ඩවුන් වුණාට පස්සෙ තමා උන්නාන්සෙ ආගිය තැන් කතා කලේ. මඩකලපුව මංගලාරාමෙට යන ගමන්ලු. උපාසක ඇත්තො ටිකකුත් වෑන් එකේ හිටියා. අපි කතා කරන අතරෙ එයින් දෙන්නෙක් බැහැලා වාහනේ පිටිපස්සට ගිහින් තඩි මාරිකැට පෙට්ටියකුයි අතදිග ආනමාලු ඇවරි දෙකකුයි ලීටර එක හමාරේ බීම කුප්පි වගේකුයි බාලා එතන තිබ්බ බංකුව උඩින් තියල මට ඒව ගන්න කිව්වා. මං කිව්වා "එපා මහත්මයා, බොහොම ස්තුතියි" කියල. එතකොට එයාලා "ඔයාලා ගොඩක් මහන්සි පිටනෙ ඉන්නෙ පුතා, මෙි ගිනි අව්වෙ. මෙිව ගන්න, අපි ආසාවෙන්නෙ දෙන්නෙ"කිව්වා. එතකොටත් අපේ සර් අපි ලඟට ඇවිත් බාගෙට නැමිලා හාමුදුරුවන්ට වැඳලා කතා බහ කලා.එයාලා යන්නත් ගියා.

පස්සෙ තමා සීන් කෝන් එක දුරදිග ගියේ. මං හාමුදුරුවන්ට සැලියුට් කරනවා අපේ ආමි කෙල්ල දැකලා. ඔිකි ඔය චුට්ටට ගිහින් වාහන ලියන තැන හිටපු ඔක්කෝමල්ලට ඒක කියල කිහාංකො.. ඒ මදිවට මං අතින් නාහෙං කටින් මදිවට කිහිල්ලෙත් ගහගෙන ලැබිච්චි දේවල් අරන් එනකොට මුං ටික හිස ඇල කරල මහා අමුතු විදියට "කිචි බිචි කිචි බිචි"ගාල හිනා වෙනව කියහල්ලකො. අපේ කෝපලුත් "හුකුටු පුකුටු හුකුටු පුකුටු" ගාල මා දෙස බගාගෙනම නෝන්ඩියට හිනාවෙනවා. ඔක්කොමත් හරි, මට කෝපල් සිල්වා එච්එච්ගෙ ඒ හිනා සද්දෙනෙ කාල ඉන්නම බැරිවුනේ. පස්සෙ ගෙනාපුව "කන එකෙක් කාපියව්" කියල පිටිපස්සෙ තිබ්බ බංකුවක් උඩින් තියල මං ආයෙ රාජකාරියට ගියා. 


ටික වෙලාවක් ගියා... සර් මට අතින් කතාකරලා ලඟට එන්න සංඥා කලා. මාත් ගියා. එතකොට සර් අහපි, අර හාමුදුවො ලෙෆ්ටිනනට් ද කැප්ටන්ද බං" කියලා. හම්මට සර්ටත් වැඩෙි ගිහින්. මං අහක බලාගත්තා.එතකොට  සර් කියනවා " හොඳ වැඩෙි තොට" ලු. ඒක සෙනිකව ලැව්ගින්නක් වගේ අපේ කණ්ඩායමෙිම පැතිරිලා ගියා. මගේ කැරැට්ටුවත් එක්ක ඒක කලවම් වුනාම තමා කට්ටියට හිනාවෙන්න මග පෑදුනේ. පස්සෙ හැමෝටම කාඩ් ගහල ජීවිත එපා කරවපු මටත් කව්දෝ විසින්"සඟ සැලියුට්" කියලා කාඩ් එකක් ගහල තිබුනා. යන්තං ඒ කාඩ් එකෙන් බෙිරුනේ ඊට මාසෙකට විතර පස්සෙ ඒ කණ්ඩායමෙනුත්  "තෝව එපා" කියල  දොට්ට දාලා ආයෙ අරව මෙව්ව උස්සාගෙන "සී" කණ්ඩායමට ගියාට පස්සෙ. ඒත් එහෙං මෙහෙන් ඔික ඒ කට්ටියගෙත් කන්වලට ගිහින් කීප පාරක් කියැවුනත් එච්චර දුරදිග ගියේ නෑ. ඒ එහෙදි බැචෙකුට වෙච්චි සීන් එකකට කාඩ් එකක් ගහල ඒක ප්‍රසිද්දවුනාට පස්සෙ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.17