Monday, April 18, 2022

අහෝ..! මාගෙත් තරුණ කාලය

 ෴අහෝ! මගෙ තරුණ කාලය෴

============================


පුංචි රටකට මෙවන් යුගයක් උදාවෙන බැව් දන්නවානම්

සරත්,ශවෙි, මෙන් කමල්, අන් අයත්

ප්‍රභාකරන් නොමරනව ඇති

මගෙත් තරුණ විය කම්බි පොටවල් හයක් හතකට කොටුකලේ ඇයි

දිවා රෑ නොනිදමින් ඒගැන මමම මාගෙන් අසනවා


හිරේ නොගියත් හිරේ ගිය මෙන් සතුරො මර, මර ඇදෙනවා

අනේ දෙවියනි උනුත් මං වාගෙමයි මට දැන් හිතෙනවා

උන් මරන්නට කරපු දේවල් ගැන හිතා  පසු තැවෙනවා

අනේ මිනිසුනි දහස්වර මා නුඹෙන් සමා වර යදිනවා


පළමුවත් දෙවනුවත් මව් බිම කියා අපවත් ඇවිස්සූ

පුංචි රටකට කරපු හදියක් අනේ මෙහෙමත් මිනිස්සූ

නොබා බාහුව යකුන් ඉදිරියෙ, නුඹට මට දත් විලිස්සූ 

වෙමුද ශක්තිය පහර වෙන්නට විලස ගඩොලක් පිලිස්සූ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.17

Sunday, April 17, 2022

දිවිය ලෝක ගමන

 ඔිම් ශ්‍රී ගණපතියේ නම හ:

ඔිම් ශ්‍රී ඝණපතියේ නම හ:

ඔිම් ඔිම් ශ්‍රී ගණපතියේ නම හ:


ගියවර දේව සබාවට ගියාට පස්සෙ ඊයෙ රෑත් දේව සබාවට යෑමට අවස්ථාවක් ලැබුනා. ටික දිනක ඉඳන් ඒ පැත්තෙ විසිට් එකක් දාන්න කොච්චර උවමනාවක් තිබුනත් ඒකට අවස්ථාවක් ලැබුනෙ ඊයෙ රෑ. පැය විසිහතරක් පේවී ඉඳලා ඉඳලා සුපුරුදු පරිදි දරණෙ ගහගෙන ඉඳගත්තා. භාවනාවට හිත යොමුකලාට පස්සෙ හිත ඉක්මනින් එකඟ කර ගත්තා. නැත්තං හඳ මෝරං එන කාලෙට හැදෙන ගාය අපුන්දැටත් හැදිලා ගැටයක් ගැහුවොත් එහෙම වැඩෙි චකබ්ලාස් වෙනවා. 


මං දේව සබාවට යද්දි එහෙ හෙන හැටහුටාමාරක් විතර කන් සම්මන්ත්‍රනයක්. ඒකෙ මූලාසනාරූඪ හිටියේ සක්‍ර දේවෙින්ද්‍රයා. ඒත් මං එකවරම සබාවට ගියේ නෑ. මගට වෙලා බිත්තියට කනක් හේත්තු කරලා  එතන ඇතුලෙ කතාවෙන දේට ටිකක් ඇහුම්කං දුන්නා. එතන මාතෘකාව වෙලා තිබුනෙ මෙි දවස්වල අපේ රටෙි ගොඩක් අය කතාවෙන උගන්ඩා ප්‍රශ්ණයක්. මට හීන් දාඩිය දැම්මා. මං ලංකාවෙං ආව නරයෙක් කියලා ඔය කොයි දෙයියත් දන්නවා. බැරිවෙලාවත් ඔය උගන්ඩා පස්නෙ ගැන මගෙන් ඇහුවොත් එහෙම රෙදිත් ගැලවිලා හෙන ගිනි විජ්ඩුම්බරයක් වෙනවා. ඒත් මං බියෙන් තැති ගත්තෙ නෑ. හිතට වීරිය අරගෙන හිටියා. ඒ අස්සෙ එක දෙයියෙක් තව දෙයියෙක්ගෙන් අහනවා...

*ඇත්තටම දෙයියනේ ඔය ප්ලෙන් එකේ තිබුනෙ ඩොලර් වෙන්න බෑද?

අනික් දෙයියා;

*අනේ මංද දෙයියනේ.. මං හිතන්නෑ අප්පච්චි එහෙම දෙයක් කරන්න ඇති කියලා. 

මයෙ අප්පේ.. මං මෙච්චර කල් හිතං හිටියෙ ලංකාවෙන්ම මං විතරයි මෙහෙම දිවිය ලෝකෙ ඇවිත් තියෙන්නෙ කියලා. බැලින්නං අප්පච්චි  මටත් කලින්ම මෙහෙ ඇවිත් තියෙනවනෙ යකෝ. නැහ්නං විශ්වය පුරා විහිදී ගිය අප්පච්චි රාවෙි... ඒ විදියටම දිවිය ලෝකෙටත් මුන්දැගෙ රාවෙ ඇවිත්ද?? කියල මට හිතුනා..මං එහෙම හිත හිත ඉද්දි වට පිට බැලුව එක දෙයියෙක් මං බිත්ති කණුවකට මුවාවෙලා කතාවලට කන්දීගෙන ඉන්නවා දැකලා මට ඉස්සරහට කතාකලා. මාත් වීරයා වගේ ඉස්සරහට ගියා. මා දෙස කට කොනකින් නෝන්ඩි හිනාවක් දමාගෙන බැලූ සක්‍ර දෙයියො...මාව පච කරලාම දමන්නෙමැයි සිතා..

*එම්බා නරය, තා කිමද දේව සබාවෙි වෝල් එකට කන්දීගෙන සිටියේ..ඉදිරියට නාවෙි මංද??

මට ඇත්තටම දුක හිතුනා. මොකද මං දිවිය ලෝකෙ ආවත් මීට කලින් ඔහොම හැංගිලා හිටපු එකෙක් නෙමෙි..ඒත් දැං..

මගේ නිහඬතාවය නොරිස්සූ සක්කර තෙමෙි...

*අඩෙි පවසව නරය..කිම්ද කාරණ..

* රෙද්දක් ඇඳන් දිවිය ලෝකෙටවත් එන්න පුලුවන් දේවල්ද දෙයියනේ දැන් දැන් දම් දීපයේ සිද්ද වෙන්නෙ?? මං බිම බලාගනිමින් පැවසුවා..

*එක තමා අද දේව සබාවෙත් ටොපික් එක වුනේ.. තා දන්නේ මොනවද ඒ ගැන??

*මොනහ්??

*අර ප්ලේන් කතාව..

*අහ්!! ඉතින් ඔබ වහන්සෙලා හිතන්නෙ මොනව කියලද??

*ඩොලර්??

*ඉතිං දෙයියනේ ඒ රට අතීතයේ සිංහල රටක්නෙ. උගන්ඩාව කියන්නෙත් සිංහල නමක්නෙ.. ඉතිං ඔය ඩොලර් ටොන් එකසිය දෙකක් වගේ ටිකක් එහෙ යැව්ව කියල හෙන ගහනවද දෙයියනේ...අපේම මිනිස්සුමනෙ..

*ඈහ්??? අඩෙි නරය.. තා කෙසේද එසේ පවසන්නේ??

* මෙහෙමනෙ දෙයියනේ...හරි සරළයි.. කියල මාත් කතාව පැහැදිලි කරල දුන්නා..

උගන්ඩාව කියන්නෙ උක් + කන්ඩ+ ආව  උකන්ඩාව කියන එක. .මං එහෙම කියනකොට දෙවියන්ගෙ මූන ටිකක් අඥ්ඥකොරොස් වෙන්න පටන් ගත්තා...මං ඇහුවා;

*ඇයි දෙයියනේ..

*අඩෙි එහෙම කුණු හරපයක් වගේ එකකුත් තියෙනව නේද?

*ඔව්.. ඒකනෙ උක්කන්ඩ ආවා නොකියා බාවිතයේ පහසුව තකා උගන්ඩාව කියන්නෙ... මං වැඩි දුරටත් කාරණේ පැහැදිලි කලා. 

*තොපගේ දම් දීපයෙහි අච්චර පෝලිම් මොකෝ?? 

*ඒකනං ඉතිං එහෙම තමා. තෙල්,ගෑස්,බෙිත්,කොන්ඩම් පෝලිම් නම් ඉතිං තියෙනවා..

*මොකහ්?? කොන්ඩම් පෝලිම්??

*ඔි.. රට බංකොලොත් කරලා, ඒ මදිවට යන්න කිව්වම යන්නෙත් නැතුව උඩ බලාගෙන ඉද්දි රටෙන් මිනිස්සු යන්න ගියා. එහෙම යන්න බැරි මිනිස්සු දරුවොන්ට අනාගතයක් නැති හිංද දරුවො හදන එකෙන් වලකින්න ඔින හංද තමා කොන්ඩම් පෝලිම් වල ඉන්නෙ..

ඊට පස්සෙ සක්‍ර දෙයියො ටිකක් විතර කල්පනාවකට වැටුනේ, මගේ ඒ දැනුම ගැන පුදුම වෙනවද?, නැහ්නං මාව කිච කරන්න බැරිවුන එක ගැන හිතනවද කියල මට හිතාගන්න බැරිවුනා..

කල්පනා ලෝකයෙන් මිදුනු සක්‍ර තෙමෙි...සෙකන්ඩ් වුනු බවක් නොහඟවා..

*හරි එහෙනං කියාපම් බලන්ඩ... ගෝඨාබය කියන්නෙ මොකද්ද කියලා....

මාත් කාලේ තාලෙටම උත්තර දුන්නා..

*මෙහෙමනෙ දෙයියනේ... Gotabaya කිව්වම got a big.. කියන්නත් පුලුවන්. නමුත් මෙතන ගෝඨාබය කියන්නෙ ඔික නෙමෙි. . ගොට්+අ+ බය =. .බයවුනා..බය අරගත්තා..බයෙන් තැතිගත්තා..වගෙ දෙයක්. ඉතිං මෙි දවස්වල යන්න වෙයිදෝ, ගත්තුවා දෙන්න වෙයිදෝ හිරේ යන්න වෙයිදෝ කිය කිය පරාන බයකින් ඔය මනුස්සයා ඉන්නෙ..ඒකයි.. ගොට් අ බය ගෝටාබය කියන්නෙ. සමහරුන්ට ගෝටා බයයි. සමහරුන් ගෝටාට බයයි. තව සමහරුන්ට ගෝටා බය දැනිල තියෙනව. ආන්නේකයි...

මගේ ඒ පැහැදිලි කිරීමත් එක්ක දෙවියන්ගේ මූනට පොඩි මදහසක් නැගුනා.. ඒත් ගේම අතාරින පාටක් නෑ..

*එතකොට මහින්ද කියන්නෙ??

*ඒක මෙහෙමයි දෙයියනේ... මහින්ද කියන්නෙ මං හින්දා කියන එක. මුංදැ කවදාහරි බැරිවෙලාවත් රජ වුනොත්  අර දම් දීපයට මෙච්චර හරියක් කෙලවෙනව කියල උන්දැගේ අප්පච්චි කලින් ඉඳන්ම දැනන් ඉඳලා තියෙනවා..ඉතිං ඒ බර සම්පූර්ණයෙන්ම මෙයාට නොදමා "මං හින්දා තමා, අච්චර හරියක් වෙන්නෙ" කියල හිතල ඒ සාපෙන් ටිකක් තමන්ටත් ලැබෙිවා කියල පුතාව සැහැල්ලු කරන්න ඔින හිංද  "මං හින්දා" කියල නම දාල තියෙන්නෙ. ඒක හරිනේ..දැං ඔය පේස් බුක්වලත් ඔිසෙට යන්නෙ ඔය වගේ දේවල් ..

මං එහෙම කිව්වම දෙව්යන්ගේ අතේ තිබුනු කොක්ටෙිල් වීදුරුව "ස්ලාං" ගාලා පුලුන් වළාකුලක් උඩට වැටී කෑලි කෑලි බිඳී ගියා..

මට ඒකෙන් හැඟුනෙ දෙවියන්ට ටිකක් විතර තරහ ගිය බවක්. 

*එම්බා නරය, තොපගේ දම් දීපයේ තිබුනු යුද්දෙ දිනෙව්වෙ ඒ මනුස්සය...තොපට රටක් ඉතුරු වෙලා තියෙන්නෙ ඒ උත්තම පුද්ගලා නිසා..යසයි තොපගේ කළගුණ සැලකීම.

මට කට කොනට සිනහවක් නැඟිණි. දෙයියො දන්න මගුල. උන්දැ යුද්දෙ දිනෙව්වෙ නෑ.රට මංකොල්ල කන්න ඔින නිසා තිබ්බ බාදකයක් අයින්කලා විතරයි. හැබැයි මං හිතුව බැසිල්, චමල් ගැනත් අහයි කියලා. ඒත් ඇහුවෙ නෑ. ඇහුවනං අරින්නෙත් නෑ. මං හිතන්නෙ දෙව්යොත් පොහොට්ටුවට බරයිද කොහෙද..ඒකයි ඒ..

*හරි එහෙනං, දම් දීපය කියන තොපගේ රටෙි අරගලයක් යනවානෙ. ඒකට සහාය දෙන්න හෙට කලුතරින් පා ගමනකුත් එනවානෙ. ඒක සංවිදානය කරන්නෙත් අර කෙට්ටු සහෝදරයෙක්නෙ. ටිංකර් විල්ද..ටිංවිල්ද කෞද  කියලා.  

*ඔව්.. ටිල්වින් සිල්වා..

*අන්නහරි... එතකොට ටින්විල් කියන්නෙ.. 

*ටිල්වින් කියන්නෙ Till win කියන එක. සටනේ තමා. ඒත් දිනන් නැතුවම මැරිල යනව..හැබැයි "දිනන තුරු" සටනේ. ඒකයි ටිල්වින් කියන්නෙ. 

මං එහෙම පැහැදිලි කරාම දෙවියන්ට මළ පැන්නා. කට කොන් දෙකෙන් යොදුන් දෙක දෙක දිග දළ දෙකක් එලියට පැන්නා. ඇස් රතු පාට වුනා. මහා වියරු හිනාවක් දැම්මා.... කවදාවත් සක්‍ර දෙවියන්ට එහෙම වෙලා නෑ. ඒ හිංද මාත් ටිකක් බයවුනා. ඒ වියරු සිනාවත් එක්ක දෙවියන් මගේ දිහාට හොඳටම හැරිලා..

*එම්බා නරය, එසේනම් තගේ මහ එකා රට වෙනුවෙන් කොරපු එක දෙයක් පවසව!... පවසව! ඉතින්...

*මාත් මළ පැන්න විදියක් අඟවලා දෙවියන්ගෙ දිහාවට කෙලින්ම හැරිලා...දකුණු අතේ ඇඟලි හතරක් නමාගෙන මැදගිල්ල විතරක් දික්කරල උස්සලා දෙවියන්ට පෙන්නන ගමන්..

*මගේ තාත්තා කොරපු එක දෙයක් තමා අද ඔබ වහන්සෙගෙ ඉස්සරහ මෙි කථා කරන්නෙ.. කිව්වා විතරයි... සක්‍ර දෙවියොයි, කට ඇරගෙන සංවාදය අහගෙන හිටපු දේව මංඩලෙයි එකපාරටම "හුචස්" ගාල අතුරුදහං වුනා. මහා දුම් වළාවක් විතරයි එතන ඉතුරුවුනේ. 

ඇයි යකෝ.. තාත්තා එදා ඒ දේ නොකලං අද මං නෑනෙ දෙයියනේ.. කියල බය නැතුව මුලු දිවිය ලෝකෙටම ඇහෙන්න  කෑ ගහල කිව්වා. පස්සෙ මාත් හිමින් සැරේ දම් දීපය බලා පසු බැස්සා..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.16

Tuesday, April 5, 2022

දිවියලෝකෙ විනාඩියක්

 සිල් පිරෙන මන්දාරම් හවසක දිවි සැරියෙන් මොහොතක් ගත කර දිගු, එහෙත් වැදගත් ගමනක් සඳහා සිත පහදවා ගෙන එරමිනියා ගොතාගෙන ගෙයි මුල්ලෙහි වාඩි ගතිමි. අපුන්දෑ සහ අපුන්දෑගේ පඩි පෙල් පඩිපෙල් දරු පැටව් ටිකත් දක්කගෙන අවුරුදු දහයකින් යටට ඇඳල නෑ වගේ, මාගෙ වම් හක්කේ හයියම දතකුත් ගලෝගෙන තිලකවර්ධන එකට ගියේ "ඉතුරුවුනොත් තෞසෙටත් මොනාහරි ගේන්නම්" කියා කියාගෙන. ඉතුරුවුනොත් විතරක් මට ලැබෙන  ටීෂර්ටයක් හෝ සතියක් ඇන්දම දාරෙ දිගේ "බ්රාස්" ගා පැලෙන, දහක් දෙනා අතගා, තේරිලා තේරිලා ඉතුරුවුන "30% OFF" රාක්කෙන් රුපියල් 300ට 400ට මිලදී ගන්න කසි කබල් ඒ ඇඳුමට කවදත් වහල් වෙච්චි මං, හිත හදා ගත්තේ "මට මොකටෑ ඔය කෝලං" කියල හිතාගෙන.

හැබැයි මං මහා සතුටකින් ගෙදර නැවතුනේ මේ දවස්වල රෙදි කඩවල් ඉස්සරහ දොරටු පාලයන් වගේ තබා ගිගුම් නංවන තැරි දාර බෆල් හතරේ සෙට් වලින් ඇහෙන මෙලෝ හසරක තේරුමක් නැති " මා මිය ගියාම තාප්පෙ පුරා සුදු අතින් පෝස්ටර් අලවන්න" කියා විලාප දෙන ගීත අහනවට වඩා, ගෙදරට වෙලා නමෝ විත්තියෙන් සුපුරුදු දැහැනට සම වැදිලා දෙයියන්ගෙනුත් ආතල් එකක් ගන්න එක හොඳයි කියා හිතුනු නිසා. අනික අහින්සකයෙකු පයෙන් පාගා ගත් යම රැජිනත්, උන්දැගේ පඩිපෙල් ටිකත් රෙදි තෝරන්න ගියාම එතන ඉන්න සේල්ස්මන්ලගෙනුත් කුනුහරුප අහගෙන තමා දොට්ට බහින්නෙ. ඊට මීට වඩා ගෙදරට වෙලා මෙහෙම දෙයක් කරගන්න එක හොඳයි.


මාත් සුපුරුදු විදිහටම පිරිසිදු වෙලා, බුදුන්ට මල් පහන් පූජා කරලා මුලින්ම විශ්වයෙන් ඇහෙන "ඔිම්" ශබ්දයට සවන් දීගෙන ඒ ශබ්දයටම අනුගත වෙන්න පටන් ගත්තා. ටිකක් විතර දුරකට සිත දැහැන් ගතවීගෙන ආවා විතරයි එක පාරටම උඩහ ගෙදර මයිකලයගෙ ලැහැටු කනාටු ගෙරි බලු තඩියා බෙරිහන් දෙන්න පටන් ගත්තා. මං ඉඳගත්තටත් වඩා වෙිගෙන් හිටගෙන මිදුලට පැනලා මයිකලයට උණ ගැනෙන්ඩ බලු තඩියට ගඩොල් බාගෙකින් දමලා ඇරියේ තිරිසන් අපායෙ උප නූපන් සියලු සත්වයන්ගේම පලු අරිමින්. ඒකා කොහොමත් මෙි වගේ වැදගත් වැඩක් පටන්ගන්න කොට ඔහොම්මමයි. ඒකයි හැමදාමත් මගේ ගේ ඉස්සරහ මං විසින්ම ගඩොල් බාග ටිකක් රැස් කරගෙන ඉන්නෙ. ඒකාට ගල උරුක් කරන්නත් කලින් මාව දැක්ක සැනින් කූං කූං ගාගෙන දුවන්නෙ ඊට කලින් කාපු පාරවල් ඔටෝ මතක්වීම නිසා හා දවසක් අපුන්දෑ විසින් හවස තුනට තේ බොන්න හදන ලද කලුගල් අග්ගලා රාසියකින් කල සංග්‍රහය මතක් වීමෙන්.   ඒකා ගියා. මං නැවතත් ගෙයි මුල්ලට වෙලා වැඩෙි පටන් ගත්තා


හිත දැහැන් ගතවුනා. මට දැනුනේ මාව පුලුන් රොදක් මෙන් අවකාශයේ පාවී පාවී යන්නාක් මෙන් පුදුමාකාර සැහැල්ලුවක්.මා ඒ ධ්‍යානය ස්ථීර කරගෙන  එසැනින් මාලිමාව අතට ගත්තෙ දිව්‍ය ලෝකය තියෙන දිහාට බෙයාරින් එකක් ගන්න.  ඒකටත් අංශක 69° ක කෝණයක් ලැබුණු විට, මහා පුදුමයෙන් මාලිමාව දෙසත් දිවිය ලෝකයත් දෙස මාරුවෙන් මාරුවට බැලුවෙි , මාලිමාව දෑතින් බදා පොලවෙි ගසම් දෝ නොගසම්දෝ හෝයි යන සිතිවිලි සමුදාය මැද්දෙන්. පසුව "යන කැකිරි වත්තකින් පලයං" කියල හිතාගෙන මාළිමාව අල්ල මැද තියා ගමනට සැරසුනෙමි. ඒ කෝපය නිසා ධ්‍යානය බිඳුනොත් බිමට වැටෙයි කියන බය නිසා. ඊලඟට සිතට නැගුනු එම ක්ෂණික සිතිවිලි සමුදාය මෛත්‍රීයෙන් යටපත් කරගෙන නුහුරු ඇහැ වසා හුරු ඇහැ අඩක් පියවා මාලිමාවෙි පියනත අගිස්සේ පිහිටි "වී" කැපුමත් සිළුමිණි සෑයේ කොත් කැරැල්ල දෙසත් ලම්බාකාරව සරළ රේඛාවක් පිහිටන්නාසේ බලා, අරගත් කුරුමානම අනුව එය තවත් නිවැරදි කරගනු වස් මදක් හිස අහට්ටත් මෙහට්ටත් කර බැලුවෙමි. එවිට මා දුටුවෙි මාගේ ඉදිරියෙන්  පියාඹා යන දාර කොකෙකි. සෑයත් කොකත් යන දෙකම පටලැවුනු මා කොකා ඈතට ඈතට පියාඹා යනතෙක් බලා සිට නැවතත් මාළිමාවෙි උතුරු කටුව සමපාත කර ගතිමි. අහෝ..!!! දාර දුකකි. එවිට මා දුටුවෙි කොන්ඩෙ වවපු, කරාබු දාපු, කොන්ඩෙ වවල පාට ගාපු සහ හැට්ටකටු ගසා ඉසකෙයියා උඩට පීරා රැලි රැලි යකඩ බෑන්ඩ් දමා, හෙන වැදිච්චි පොල් කරටි සොයා පියාඹා යන  කොට්ටෝරුවන් රෑනක් මෙන් දිස්වෙන දහ අටෙි විස්සේ විසි දෙකේ පමණ කොලු රෑන් රෑන් අහට්ටත් මෙහට්ටත් පාවී පාවී යන අයුරුයි. මෙි දසුන මට සුපුරුදු එකක් වූවත්, වෙනදාට වඩා පිරිසක් එතැන දුටු හෙයින් හෙමින් සැරේ එකෙකුට කිට්ටුවී ගම් පලාත ඇසීමි. ඒකා තනමල්විලය. උගේ නඩෙි විස්සකි. තව එකෙකුගෙන් ඇසීමි. ඒකා මැදවව්චියේය.උගේ නඩෙි හතලිහකි. ඒ පිළිතුරුවලින් අන්දුන්කුන්දුන් වූ මා වට පිට බලා මොහොතක් යට බැලිමි. නොයෙක් පළාත්වලින් තවත් කොලු නඩ කිහිපයක් හඳ ඇල්ලීමට යාමට මග එනු දුටු මා, එතැනින් ඉක්මනින් මාරුවුනෙමි. එහෙත් පොළවෙ සිටින බහුතර තරුණ ප්‍රජාවක් මෙකල හොයන්නේ එක ගහනකොට දෙක වදින මෙට්ටය. උන්ට ඔිනෑ ඒකය. ඊට වඩා මුං දාහෙන් සම්පතකි. අහෝ.!! ඔය දෙගොල්ල පමණක් ඉන්න රටක ඉරණම ඉදිරියේදී කෙසේ විසඳෙයිද?.. හැබැයි මෙට්ට හොයන උන්ට වඩා අරුන්දැලා දාහෙන් සම්පතකි. "අහෝ!  මෙි තරුණ ජීවිත නේද?" යැයි මටම කියාගත් මා ඊලඟට

හිත ශක්තිමත්ව  දැහැන් ගත කරගෙන ඉදිරිය බැලීමි. මෙතැන සිට තව්තිසාවට කිලෝමීටර් සීයකි. ඉතා වේගයෙන් මා ඒ සියලු දුර තරනය කළෙමි. තවිතිසාවට ආමි. අහෝ දුකකි. සක්කර දෙයියන්ගේ පඬුපුල වටා මහලු වී වැහැරී ගිය දිවිය ලෝකෙන් චුත වෙන්න ඔන්න මෙන්න ආසන්න නාකි දෙවි ඩෑල් ටිකක් පඬුපුලේ ගිනි රස්නෙන් සීතල මගාරින අයුරු දුටිමි. හීන් සැරේ ඔවුන් ලඟට කිට්ටුවී, එහෙත් ශබ්ද නොනගා එක් දෙව්යෙක්ගෙන් "කෝ සක්කර දෙයියො, බෑරක්වත් වැඩලාදැ"යි ඇසීමි. මා දුටු සැනින් හිස් ලූලූ අත දුවන්නට සැරසුණු ඒ දේව ඝණයා බොහොමත්ම අමාරුවෙන් නවතාගෙන මා කව්දැයි පවසා දේව මංඩලය කූල් ඩවුන් කර ගතිමි. ඉන් එක් දෙවි කෙනෙක්ගෙන් "සුදු ඇඳ සිටි මා දුටු පමණින් බියවූයේ මන්දැ?"යි ඇසූවිට එතැන සිටි ටිකක් කටකාර දෙවියෙක් "අප තොපගේ සුදු ඇඳුමටත් බයයි" කීය.මාද පෙරළා  "ඒ මන්දැ?"යි විමසූවිට "ඇයි තෞසෙ ලංකාවෙන් නේද ආවා  කිව්වෙ?, ඒ බොරුදැ?"යි ප්‍රශ්ණයකින්ම  පිළිතුරු දීය. හම්මට දැන්නෙ මතක්කුනෙ...." අනේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ" කියා හිත දැඩි කරගත් මා "අනික මොකටද මං දෙයියන්ටවත් සෙකන්ඩ් වෙන්නෙ" යි සිතා , "නෑ නෑ මට සාටකයක් නෑ දෙවියනේ" කියා කරත් අතගා, විශ්වාස නොකළ තැන ඉනත් පෙන්වා, ඉනුත් සෑහීමකට පත් නොවුණු කල  සරමත් කඩා දෑතින් ඉහළට ඔසවා පෙන්වූවෙමි. මාගේ ක්‍රියාව දෑහින්  දුටු  දෙකටම නැති දෙවි කෙනෙක් තමන්ගේ කම්මුලටත් අත තියාගෙන කැඩිච්ච සරමටත් අස්සෙන්  අහස දෙස බලා "වැල මැරුනට,  අලනම් බැහැලා නේහ්???"කියා විමසීය. 

*හමුදාවෙ හෝල්ට් ගහලනෙ මා පිළිවදන් දුනිමි. ඒ වටෙි සිටි තවත් දෙව් කෙනෙක් විසින් "මක්කටද දිවිය ලෝකෙටත් බැරියර් එකක් ඇන්න ආවෙ?" යි විමසූ කල, මා,  "ඒ බැරියර් එකක් නෙමෙයි දෙවියනේ.."යි පිළිවදන් දුන්නෙමි . ඉන් පසු ගෙවී ගියේ අප අල්ලාප සල්ලාපයේ යෙදෙන කාලයකි.


ඉන් ටික වෙිලාවකට පසු සක්‍ර දිව්‍ය රාජයාටත් ප්‍රථමව ඉහිං කනින් දාඩිය පෙරාගෙන වැඩියේ  "මාතලී" දිව්‍ය පුත්‍රයාය. මා ඒ බව දුර තියාම දැනගත්තේ පරන එල්එච් තර්ටියක මඩ් ගාඩ් එකක් රෝදයේ ගෑවෙන්නා ⁣සේ මාතලී දිව්‍ය පුත්‍රයාගේ අශ්ව රථයෙන් නොකඩවා ඇසුන "කචා බදම්, කචා බදම්,කචා බදම්" යන ශබ්දස් ස්වරූපයෙනි. හවස හයට පමණ පැමිණ රථයෙන් බැසගත් දිව්‍ය පුත්‍රයා දේව සභාව ඔන්න මෙන්න තියා දකුණතේ දබරැඟිල්ලෙන් නලලත පිරී තිබුන දහඩිය කන්දරාව "ක්‍රෑහ්ක්: තුහ්ක්: යන ශබ්දයෙන් හූරා, ඊළඟට වම් නාහෙට ඇඟිල්ල තියා දකුණු නාහේ පිරී තිබූ හොටු රෑනම "හම්ප්රූස්ස්" ශබ්දයෙන් හූරා අත ගසා, අත කරත්තේ බරාඳයේ වැදුන විට නැවත වරක් අත දෙස බලා ගසාදසා කටෙි ඔබා ගත්තේ කරත්තයේ වැදීමෙන් වෙිදනාවට පත්වූ අත නිවා ගන්නට විය යුතුය.  ඉන් පසු ඔහු සභාව දෙසට වැඩියේ කකුලකුත් නොන්ඩි ගසමිනි.  ඔහු හොටු හූරද්දිම මා දුටුවෙි ලනු අඹරා ඔංචිලි පැදිය හැකි තරමට නාසයේ මයිල් දිගු වී ඇති අයුරුයි.පව්, දිව්‍ය පුත්‍රයෙක් වෙලත්,   නාහෙ මයිල් ටිකවත් කපා ගන්ඩ තරමෙි වෙිලාවක් නැති හැටි. අනෙක අතරින් පතර මයිල් ගස් දෙක තුනක් ඉදී සුදු පාටට හැරී තිබුනු අයුරු. ඇත්තටම පව්!!.  ඉන් පසුවයි ඔහු වටපිට බැලීයේ.තම වාහනේ පැච් එකක් දාගන්න සිල්ලර කඩෙිකට ආ සිරිපාලයෙක් "වැරදි තැනකට ඇවිත් වාගෙ"යි සිතා වට පිට බලන්නාසේ මා දෙස වපරැහින් බැලූ උන්නාන්සේ "මයෙ අප්පේ.. තා අදත් ආවදැ" යි ඇසීය. මා නිහඬ පිළිවෙතින් උන්නාන්සේ දෙස බලා සිටියෙමි. මට වුවමනාව තිබුනේ සක්‍ර දිව්‍ය රාජයා බැහැ දැකීමටයි.එහෙත් ⁣දිව්‍ය පුත්‍රයා බැලන්ස් නොකර ගත්තේනම් අවශ්‍යතාවය මග හැරේ. එම නිසාම මා "නුඹ වහන්සේ කොහේ වැඩ්ඩාදැයි" විමසීමි. එම්බා..!! මෙි අසව.!! මට දැන් මෙි ජීවිතය ඇට්ටකුනාවූ කොස් හැලියක් වගේයි... පාන්දර තුනට පැට්ටල් පෝලිමට ගියේ..වෙිල් දෙකක් ඇබ්සන් වුනා. අප මහා ශක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේ තාම ඩීසල් කෑන් පෝලිමෙි..යි පිළිවදන් දුන් විට මට කට කොනකට සිනහ නැඟිණි. එය දුටු මාතලී.." අඩා.. තා කින්ඩියට වගේ සිනහසෙන්නේ ඇයි??" මාගෙන් විමසීය.

*"ඔබ වහන්සේ ඔය දවසක් පෝලිමෙි ඉඳලා"  

*එහෙනං??

* ඔබ වහනසේගේ නේත්‍රා යුගල මදක් අර කම්මුතු ඇටෙිට හරවන සේක්වා!! යි මා ඉල්ලීමක් කළෙමි. 

මා දෙස නෝන්ඩියට බැලූ උන් වහන්සේ තම පින්වත් නේත්‍රා යුගල කරකවා යට බලා...

*කෝ තොපගේ රට?? පේන්නෑනෙ.. අඟුරු කෑල්ලක් වගේ කලුම කලු පාටයිනේ.

*එහෙනං දැං එහෙ ලයිට් කපලා ඇති..

*එසේනම් තැනින් තැන කලාමැදිරි පුකක් වගේ ටික ටික එලි පේන්නේ??.

*අහ්.. ඒ අපේ ඇමති අගමැති ගොල්ලගේ ඒරියා..නෙ...දෙවියනි..පලාත් සබා උන්නැහේලගෙ ඒරියාත් එහෙම තමා..

*අඩා.. තෙපි මක්කටැයි මෙච්චර පෝලිම්වල??

*තෙල් නෑ ගෑස් නෑ, බඩු නෑ...අත්තියවස්‍ය මුකුහ් නෑ...

*තොපි මහා පව් බං.. 

*එහෙමයි... "බෙිත්" ගන්න ගිහිං උන්ගේ "ගෑස්" බලල ගෙදර ඇවිත් හතර හංදිවල "තෙල්" ගාගෙන තියෙන දෙයක් කාල බුදිය ගන්නවා දේව පුත්‍රයානනි. මෙි බලන්න, මෙි බලන්න..පෝලිම්වල ඉඳලාම මගේ හංදි සියල්ලම බුරුල් වී ඇති ආකාරය...

මාගේ පිළිතුරෙන් පපුවට මහා හුස්මක් ගෙන හිමින් නාහෙන් සුසුමක් පිටකරමින් බැලූ දිව්‍ය පුත්‍රයා..

*හරි හරි නුඹ අද මක්කටද ආවෙ..

*සක්කර දෙයියන්ට මෙි අවනඩුව කියන්න දෙවියනේ..

*වැඩක් නෑ..

*ඇයි??

*වැඩක් නෑ..

*ඉතිං වැඩක් නැත්තෙ ඇයි??

*සක්‍ර දෙවියො, තොපේ රට අතෑරල දාල තියෙන්නෙ..

*හේතුව??

*හේතුවද??

*අහගනිං.. තොපේ මිනිස්සු දියසේනයෙක් ගෙනත් හිතාමතා කොරගත්තු හරියට අපි පළිද? 

*අපි කාල බැලුවෙ නෑනෙ..යි මා නෑහෙන පරිදි කොඳුරා මටම කියා ගතිමි. ඒත් එය යන්තම් ඇසුණු දිව්‍ය පුත්‍රයා..

*කාල බලන්ඩ දෙයක් නෑ. තොපි මහා මෝඩ යක්කු ටිකක්. තොපි දන්නැද්ද කොච්චර තැම්බුවත් බිත්තරේ බිත්තරේමයි කියලා?? 

*අන්න අන්න දෙවියොත් ඉතිං මගේ මළ පන්නන්ඩ හදනවානෙ. අපි කොරපු මගුලක් නෑ. බහුතරේ තමා කොලේ..

කතාව තවත් දිග්ගැස්සෙන්න ඔන්න මෙන්න කියා අප සිටි දෙසට වැඩියේ බඹර චක්‍රයක් වගේ ඔළුව වටෙිටම ඔලු දහයක් තියෙන හිරු රැස් මෙන් ශරීරය බබලවන මහා තේජවන්ත දෙවි රාජයෙකි. ඔහු දුටු පමණින් මාතලී දිව්‍ය පුත්‍රයා දණ නමා ඔහුට නමස්කාර කළේය. මාද හරි නැති නිසා ඔහු අනුගමනය කර, ඔලු දහයෙන් හරි ඔළුව තෝරාගන්න කිහිප වරක් එම දෙවියන් දෙස බැලුවෙමි.

*කිමද, නරය, තා හොරුහින් මදෙස බලන්නේ..?? රාවණ මහා දිව්‍ය රාජයා විමසීය..

*පස්වාන් දහසකට බුහ්දු...

*හෝව් හෝව්..

*ඇයි දෙවියනි??

*තොපිලගේ ආසිරිවාද මට එපා...

*හේතුව??

*යකෝ.. තොපි මාව ගල් ගුහා අස්සෙයි,ගස් බෙන අස්සෙයි, කඳු අස්සෙයි හොය හොය කෙලින පිස්සුව හොඳටෝම ඇති.

*අනේ...එහෙම..න්න්...

*මෙි මේ...කිසිවක් නොදොඩව...

මාගේ ජාන වලින් පැමිණි තොපි විජය කියලා පට්ටපල් හොරෙක් අල්ලගෙන මගේ නම්බුවත් කාලා, දැන් රටෙි නම්බුවත් කාලා...තොපි මට කරන අවනම්බුවක තරම...මා නැවත තොපගේ ද්වීපයෙහි කහට එකක්වත් බොන්න ආයෙ වඩින්නෑ.මතක තියා ගනුව...

*අනේ...අපිනං දෙයියො ඉන්නව කියල මහපාරෙ බුද්යන්නෑ දෙවියනි..

*හැඥේ ඥෙමෙි... තොපි එහෙ තුන් වෙිලටම කන්නේ බත් වෙනුවට රට ජාතිය ආගම නේද??

ඒකටනම් මට "හීක්" ගෑවුනි.

*අනේ...

*තොපිට වඩා අර ඉංදියන්කාරයො හොඳයි ඔියි...අඩුම අවුරුද්දකට සැරයක් මගේ පිළිරුවකට ගිනි හරි තියනවා.. තොපිට මාව මතක් වෙන්නේ කෙලවිලා අකුලෝලම ගියාට පස්සේ...නෙ

මා කිසිවක් නොකීමි...මදකින් දේව මණ්ඩලයට ක්ලෝමෝ බෝම්බයක් ගැහුවා වාගේ දේව ඝණයා හිස් ලූලූ අත දුවන්නට පටන් ගත්හ. එයින් වික්ශිප්තව වට පිට බැලූ මට පෙනුණේ සිරි ලැංකන් ද්වීපයෙහි සිදුවූ මහා කාරුණික එහෙත් මටනං සාමාන්‍ය සිදුවීමකි...


*මොකක්... චොකා මල්ලිත් නිදහස්...??හම්මට දැං හරි. එච්චරයි අඩුවකට තිබුනේ. ඇත්තටම මං ⁣ගොඩක් බයේ හිටියේ එයා එලියට එන එකක්  නැතිවෙයි කියලා..

දේව සබාවෙි ඉදිරිපස තිබූ එල්ඊඩී පුලුල් තිරයෙහි යටින් පේළියට "චොකා මල්ලි නිදොස් කොට නිදහස් කෙරේ" කියා අකුරු පේලියක් යනු දුටු රාවණයානෝ තම අතට ඇදගත් කඩුව මිටෙි සිට අගටම කාගෙන කාගෙන කාගෙන ගියහ.අනෙක් දේව ඝනයා චොකාගෙන් බෙිරීමට හතර අතේ දිව ගියේය. ඒත් පෝලිම් යුගයට වසන්තයක් වූ එම ප්‍රවෘත්තියෙන් මා පමණක් අමන්දානන්දයට පත්වුනෙමි. 


ඒත් එක්කම මට ඇහෙන්න ගත්තේ අපේ පොඩි එකා... මා එරමිනියා ගොතාගෙන සිටින අයුරු දැක..අම්මෙි ටාට්ටා අදට් පිඹුලෙක් වගේ කකුල් වෙලාගෙන ඉඳගෙනම දොයි" යන වදන් පේලියයි. මා වහාම මහ පොලවට ආමි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.05

Tuesday, March 22, 2022

පෝලිම

 දින දෙකක් පෙට්‍රල් පෝලිමෙි සිට ඒ සුවඳටත් දුවන ප්ලැටිනා යතුරු පැදියට ලීටර දෙකක් ගසාගෙන... එතැනින් ගෑස් පෝලිමට ගොස් බලා සිටියෙමි  දෑසට කබ ටොන් එකක් ගලා එන  තුරු " ඔබ පමා ඇයි පියේ" සිතමින්.. එහෙත් ගෑස් නො එන බැව් දැන ගතිමි පසුවදා...එතැනින් බූමිතෙල් පෝලිමෙි සිට  දුක කියා දා ගතිමි රුපියල් සියයක  භූමිතෙල්...එතැනින් සතොසටත්, පසුව සතිපොලටත්... අහෝ විපතකි අප වන් වූ යක්ඛ පුතුන්ටත් සිදුවූ.... පෝලිම් වල සිට මා සතියකට පසු ගෙදර ගියෙමි... බිරිඳගේ වටොරත්...ඇගේ දෙතනත්, රාගයෙන් මත්වූ දෑසත් සිහි කරමින්... එහෙත් නන්නාඳුනන පිරිමින් වදයකට මී තියන්නාසේ පොරකනු දුටුවෙමි මගේම ගේ දොරකඩ. බියෙන් තැතිගත් මා නාද කළෙමි සීනුව...  එසැනින් ඇය ත් මාත් නිදන, මෙතෙක් සිහින දුටු සයනය දෙසින් ඇසුණි.... ඔබ  අට වැනියා යැයි...මා දුටුවෙමි මට කලින් එකා කාසි සල්ලි ගණන් කරනායුරු..... මොහොතකින් ඇසුණි සවනට මෙසේ..."යාන්තම් පන්සීය හරි"


සිහිනෙන් පිබිද බැලූයෙමි පෝලිම් යුගයෙහි ඇති අපූර්වත්වය....


කඩදාසිත් නොමැතිනම් වාචකව ලබාදෙනු

"දික්කසාදය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.21

Thursday, March 17, 2022

සඟ සැලියුට්

 ඉස්සර අපේ රටෙි යුද්දෙ කාලෙ බස් හෝල්ට්වල ලගින පිස්සෙක් වගේ මම , අඩිය අඟලට තැලිච්ච ට්‍රංක පෙට්ටියත් උස්සගෙන මාස දෙකෙන් තුනෙන් අහට්ටත් මෙහට්ටත් කාල් ගගා දුවපු ජීවිතේ ඒ කාලෙ හැටියට තිත්ත වෙලා තිබුනෙ. හැබැයි ඒ ගියපු එක තැනක්වත් මට වැරදුනෙත් නෑ. වැරදුනානම් වුනේ ආයෙ එතනින් තව තැනකට යන්න වෙච්චි එක විතරයි. ඉස් ඉස්සෙල්ලාම වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ල, එතනින් වට්ටප්පලේ, මාන්කුලම් පාර්ක් කරලා එහෙත් පට්ට කරක් ගහලා එතනිනුත් විසිවෙලා ඒකකයටත් ආවට පස්සෙ වුනේ ආයෙ තැන් තැන් වල යන්න සිද්දවෙච්චි එකම තමා. සිරාවටම ඒ දවස්වල මාව පෙන්නන්න බැරි මගේ ඒකකයේ ගොඩක් අය හිටියා. එහෙමයි කියල මං එවුන්දැලව ගනන් ගත්තෙත් නෑ. අංචියක් ඇද්දනං එයාද මෙයාද කියල බැලුවෙත් නෑ, සාධාරණව සෙපෝරුවෙන්න  කාටත් ඇද්දා. 


මෙි අතරෙ තමානෙ මම ඔට්ටමාවඩි පාලමට එවල තිබුනෙ. ඒ ඉන්න අතරෙ තමානෙ කාර් එකක් වගේ ජීප් එකකට  ටුවක්කුව උරුක්කරල ඉහල උසාවියට යන්න ගියෙ. ආයෙ බස් කොන්දෙකුගෙ උගේම බස් එක ඇතුලෙ කන්ගැට්ට තලල ඉහළම උසාවියට ගියෙ. ඒව ඉතින් ඔයාලට මතකත් ඇති. මං ඒව කලින් කියල තියෙනව. ඒත් කාර්ජිප් කතාව කතාව කියල නෑ.ඒක කියලම කතාව පටන් ගන්නංකො. 

එදා මං ඔිට්ටමාවඩි පාලම් මාර්ග බාධකයේ හිටියෙ " STOP"  බෝඩ් එකේ. ඒ කියන්නෙ ඔයාල දැකල ඇති මාර්ග බාධකයක දෙපැත්තෙ සෙබළු දෙදෙනෙක් ඉන්නවා "ස්ටොප්" කියල රතු අකුරෙන් ලියපු බෝඩ් එකක් අතේ තියාගෙන. එයාගෙ වගකීම තමා මාර්ග බාධකය පසු කර යෑමට එන ඔිනෑම වාහනයක් පරීක්ෂාවට ලක්කළ යුතුයි කියා හැඟුනොත් එය නවත්වා පරීක්ෂා කරන කණ්ඩය ඉන්න තැනට යොමු කිරීම. ඉතින් එදා වෙලාව ඇති 2.30ට විතර. මාත් ඒ වෙලාව වෙද්දි බත් සිහියෙ උපරිමෙි හිටියෙ. මාව කෑමට යවන්න නම් කෑම කාලා කව්රු හරි ඇවිත් මාව රිලීව් කරන්න ඔින. ඒත් එදා කෑම එද්දි දෙකයි. මහ ටැට්ටර් ඇංජිමකට ආමර්ඩ් ප්ලේට් ගහල හදපු ස්ටැලියන් රාජයා "හොට හොට හොට" ගගා එද්දිත් වෙලාව යනවා. ඔික දකිද්දිත් ඇඟේ ලේ කකියනවා. උදේ ඉඳන් මොහොතක් ඉඳගන්නවත් ඉස්පාසුවක් නැතුව සන්නද්ධ ඇඳුමෙන් පැය ගානක් කකුල් දෙකට ලේ බහිනකං හිටගෙන ඉන්නවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙි. ඒදවස්වල තිබුනු භඨ ඌනතාවයත් එක්ක දෙන්නෙක්ගෙ රාජකාරි එක් අයෙක් තමා කලේ. ඒ කිව්වෙ මෙි වගේ තැන්වල. ඔහොම ඉන්න අතරේ තමා කලුපාට සුප්පා කාර් එකක් වගේ ජීප් එකක් ඉස්සරහට ආවෙ. මාත් සුපුරුදු විදියට ඒ කාර්ජිප් එකටත් ස්ටොප් බෝඩ් එක ඇල්ලුවා.  මං ස්ටොප් බෝඩ් එක උස්සද්දිත් ඒකෙන්  දෙපාරක් විතර හෙඩ් ලයිට් ගහගෙන ඇරගෙන යන්න ආව. මාත් ඇරියෙ නෑ. දැම්ම ස්ටොප් බෝඩ් එක  බිමට, ගත්ත අවිය අතට, අරන් කාර් එකට වෙඩි තියන්න වගේ ඉරියව්වට ආවා. දූවිලි අවුස්සාගෙන රෝඩ් බ්ලොක් එකත් කෙලින් කරගෙන කඩා බිඳගෙන යන්න වගේ ආව කාර් එක මටත් මීටර් 20ක් විතර දුර තියල  දූවිලි වලාවක් නංවමින් "කාස්ස්" ගාල නැවැත්තුවා. ඒකත් හරියට මට නෝන්ඩියට වගේ ඉස්සරහටයි පස්සටයි කීප වරක් "කිහිච් කිහිච්" ගාල පැද්දිලා පැද්දිලා පැද්දිලා තමයි නැවත්තුනේ. මටත් හරී සතුටුයි. කොහොමත් මං රාජකාරි ඉන්නකොට අපේ සර්රුත් මා ගැන ටිකක් විතර අවධානයෙන් ඉන්නෙ. කාර් එක නවත්තනවත් එක්කම මං දැක්කා සර් හිටි ගැස්සෙනවා.සර් හිටිගැස්සෙනවා දැකපු මං අමුතුවෙන් තිගැස්සුනා. එතකොට තමා විශ්ණු දෙයියො වගේ පාට වෙච්චි පොරක් ඩැයිවිං සීට් එකෙන් බැහැල ඉස්සරහට එන්න ආවෙ. එතකොටම අපේ සර් මහා දූවිලි වළාවක් අවුස්සමින් සහ නැඟුණු දුහුවිලි වළාවන් සුළියක් ආකාරයෙන් හිස් අහස දෙසට පා කර හරිමින් "සොනික්" වගේ  "මෑක් මෑක්" හඬ තලමින්  විදුලි වෙිගෙන් අපි ළඟට ආවෙ. ඊ ලඟට තරු පැලැන්ඳූ අයෙක් හාත්පස දූවිලි වලාවන් නංවමින්  එනු දුටු සැප කාර් එකේ හිටපු හයේ හතරෙ දාර සුද්දෙක් දොර ඇරගෙන කාරයෙන් බැස්සා. හැබැයි ඒ වෙද්දි මට තේරුම් ගිහින් තිබුනෙ වැඩෙි වැරදීගෙන යන වග. අපි ලඟට ආපු සුද්දයි සර්රුයි අතර දෙල්කොල ගොඩෙි කබරයි දුවන්නැහෙ ඇති වෙච්චි ඉංගිරිස් භාෂාවෙන් කියවුනේ ඒ කැනඩාවෙි තානාපති කියල.  එතුමා කිව්වා මං ඒක නොදැක කාර්එක නවත්තන්න ඇති, ඒකට කමක් නෑ, එයාලව ටිකක් දැනුම්වත් කරල තියන්න , එතකොට ප්‍රශ්ණ ඇති වෙන්නෑ කියල. ටෙන් වීල් එකක් රිවර්ස් කරන අලුත ලයිසන් ගත්තු ඩැයිවරයෙක්  සයික් කන්කාඩියෙන් පසු පස බලන්නේ යම් සේද , එලෙසම අපේ සර් මා දෙස බලමින් දකුනු හක්කෙන් මට විතරක් පේන්න දත්මිටි කමින් හිටියෙ. මට ඔය දෙගොල්ල කතා වෙච්චි දෑ  හොඳට තේරුණේ කුඹුරුමුල්ල කැලෑ ඉස්කෝලෙන් ඉගෙනගෙන තිබුනු ඉංගිරිස් වලට පිං සිද්ද වෙන්න. මටත් මැද්දට පැනල සොරි කියන්න හිතුනත් ඒක එච්චර සදාචාර සම්පන්න නැති නිසාත්, ඊළඟට මා නවතින තැන කල්පනා කරන්න තිබුනු නිසාත් කට පියාගෙන හිටියා. ඒ තානාපති තුමාගෙ මනුස්ස කම ගැන මට හිතුනෙ "කරුණාකර ඔයාගෙ සෙබළට දඬුවම් කරන්න එපා" කියල ඉල්ලීමක් කලාට පස්සෙ. මට පව් කියලත් හිතුනා කාර් එකේ "DPL" කියල තඩි පොල් අකුරෙන් ලියල තියෙනවත් දැක දැක ස්ටොප් බෝඩ් එක අල්ලපු එක ගැන. කතාව සමනය වෙලා එතුමලා ගියාට පස්සෙ තමා රෝඩ් බ්ලොක් එක ගිනි ගත්තෙ. දැන් සර් මට බනිනවා, මං බිම බලනවා,වටපිට බලනවා, අහක බලාගෙන යන්න ආපු හිනාව නවතතගන්න ට්‍රයි කරනවා. කොහොමින් හරි අන්තිමෙිට වුනේ "ආයෙ මෙිකව කවදාවත් ස්ටොප් සෙන්ට්‍රි දාන්න එපා" කියල සර් විධානය කරපු එක. හැබැයි එදා ඉඳන් ආයෙ කවදාවත් මාව ඔය රාජකාරියට නම් දැම්මෙත් නෑ. කොහට්ටවත් යැව්වෙත් නෑ. ඊට දවස් කීපයකට පස්සෙ තමා අද කියන්න යන කතාව සිද්දවුනේ. 


ඒත් එමමයි. ඒ රෝඩ් බ්ලොක් එකමයි.වෙලාව ඇති දොලහට විතර. මං හිටියෙ වාහන පරීක්ෂා කරන කණ්ඩයේ. ඒ වෙලාවට එතනට වැලිකන්ද පැත්තෙන් මඩකලපුව බලා යන බස් එකක් නැවැත්තුවා. ඒකෙ පිටිපස්සෙ හිටපු කට්ටියක් සිංහල සිංදු කිය කිය අත්පුඩි ගග ගගහ හිටියෙ. මං ඉස්සරහ දොරෙන් නැගල බස් එකේ  හිටගෙන හිටපු අය පරීක්ෂාවට ලක් කිරීම සඳහා වාහනයෙන් බහින්න කිව්වම දෙමළ මුස්ලිම් සේරම බැහැල ගියා. ඒත් සිංදු කියපු එකෙක්වත් බැස්සෙ නෑ. මේක ටිකක් විතර සාමාන්‍යයි. ඒ නැගෙනහිර විෂ්වවිද්‍යාලයට යන සිංහල කාණ්ඩයක්. උන්දැලටත් බැහැල ඉස්සරහ⁣ට යන්න කිව්වට බැස්සෙ නෑ. දෙපාරක් හොඳින් කිව්වා. එතකොට එකෙක් මට ටෝක් කරගෙන ආවා. අපි සිංහලලු, කැම්පස්ලු යන්නෙ,ඇයි  ඔයා දන්නැද්ද? කිය කිය. කියන්නම ඔින,  ඒ වගේ සීන් වලට ආරච්චිට ටක් ගාල මලපනිනවා . කියන ඔක්කෝම ටික අහං හිටපු මං ඇහුවා "තමුන්ලා තුන පාස්වෙලාද කැම්පස් සිලෙක්ට් වුනේ" කියලා. කට්ටිය ඒකට ටිකක් තුශ්නිම්භූතවුනා වගෙ වුනා. ආයෙ එකියක් කට අරින්න හදද්දි මං ඉංගිරිස් වලින්ම "ආං බස් එකේ ආපු කැම්පස් ස්ටුඩන්ට්ලා නීතියට අවනත වෙලා බස් එකෙන් බැස්සා.ඔය බාලාංසෙ ඈයොත් කරුණාකරල බැහැල යන්න පෝලිමට" කිව්වා. දෙතුන් දෙනෙක් බහින්න දොර ලඟට එද්දි, තවත් එකෙක් "එහෙම කිය..." කියල පටන් ගන්න හදනකොටම මං ආයෙත් සිංහලෙන් "මෙි මගෙන් කුණුහබ්බ නාහා පලයව් එක එකා බස් එකෙන් බැහැලා, මහලොකුවට ⁣ඉගෙන ගත්ත කිව්වට නීතියටවත් අවනත වෙන්න බැරි එවුං" කිව්වම උනුත් දුං දාගෙන බැහැල පෝලිමට ගියා. ඒ වෙද්දි තව වාහන හතරක් පිටු පස්සෙ නවත්තල තිබුනෙ. ඒවත් චෙක් කරන්න ඔින. කාටවත් පුමාදයක් කරන්න බෑ. බස් එකට පස්සෙන් තිබුනෙ හයිඒස් වෑන් එකක්. මං ඒක බස් එකේ ඉද්දිමයි දැක්කෙ.පස්සෙ යකු නැගල හිටිය නියායෙන්ම  බස් එක චෙක් කරල බැහැල ඒ වෑන් එක චෙක් කරන්න එතනට ගියා. ඒකේ ඉස්සරහ ශීට්එකේ හිටියෙ සවාමීන් වහන්සේ කෙනෙක්. ලඟට ආවමයි දැක්කෙ. උන්නාන්සෙව දැක්කම මට මුකුත් හිතාගන්න බැරුව එක පාරටම හාමුදුරුවන්ට සැලියුට් කරා කියහල්ලකො. මහ වස නෝන්ඩියයි එතන වුනේ. ඒ සැලියුට් කරපු එකට අමුතුවෙන්  කලබල වෙච්චි පාර මං ඊළඟට උන්නාන්සෙගෙන් "කොහෙද ඔයා වැඩ්ඩෙ, කොහෙද මෙහෙ වඩින්නෙ" කියලත් ඇහුව කියහල්ලකො. මයෙ අප්පේ මා වෙනුවෙන් උන්නාන්සෙගෙ තොල් අතර තිබ්බ මහා කාරුණික දාර හිනා පොඩ්ඩ තාමත් මැවි මැවි පේනවා. හැබැයි උන්නාන්සෙට මොකක් හරි තේරිලා මට " පුතේ ඔයා කලබල වෙලා ඉන්නෙ, හිමීට කතා කරන්න" කිව්වා. ඒක ඇහුනම මට චුට්ටක් විතර කූල් එකක් දැනුණා. ඊළඟට හාමුදුරුවො වෑන් එකෙන් බැහැලා මාත් එක්ක විනාඩි දෙකක් විතර කතාකලා.මං කූල් ඩවුන් වුණාට පස්සෙ තමා උන්නාන්සෙ ආගිය තැන් කතා කලේ. මඩකලපුව මංගලාරාමෙට යන ගමන්ලු. උපාසක ඇත්තො ටිකකුත් වෑන් එකේ හිටියා. අපි කතා කරන අතරෙ එයින් දෙන්නෙක් බැහැලා වාහනේ පිටිපස්සට ගිහින් තඩි මාරිකැට පෙට්ටියකුයි අතදිග ආනමාලු ඇවරි දෙකකුයි ලීටර එක හමාරේ බීම කුප්පි වගේකුයි බාලා එතන තිබ්බ බංකුව උඩින් තියල මට ඒව ගන්න කිව්වා. මං කිව්වා "එපා මහත්මයා, බොහොම ස්තුතියි" කියල. එතකොට එයාලා "ඔයාලා ගොඩක් මහන්සි පිටනෙ ඉන්නෙ පුතා, මෙි ගිනි අව්වෙ. මෙිව ගන්න, අපි ආසාවෙන්නෙ දෙන්නෙ"කිව්වා. එතකොටත් අපේ සර් අපි ලඟට ඇවිත් බාගෙට නැමිලා හාමුදුරුවන්ට වැඳලා කතා බහ කලා.එයාලා යන්නත් ගියා.

පස්සෙ තමා සීන් කෝන් එක දුරදිග ගියේ. මං හාමුදුරුවන්ට සැලියුට් කරනවා අපේ ආමි කෙල්ල දැකලා. ඔිකි ඔය චුට්ටට ගිහින් වාහන ලියන තැන හිටපු ඔක්කෝමල්ලට ඒක කියල කිහාංකො.. ඒ මදිවට මං අතින් නාහෙං කටින් මදිවට කිහිල්ලෙත් ගහගෙන ලැබිච්චි දේවල් අරන් එනකොට මුං ටික හිස ඇල කරල මහා අමුතු විදියට "කිචි බිචි කිචි බිචි"ගාල හිනා වෙනව කියහල්ලකො. අපේ කෝපලුත් "හුකුටු පුකුටු හුකුටු පුකුටු" ගාල මා දෙස බගාගෙනම නෝන්ඩියට හිනාවෙනවා. ඔක්කොමත් හරි, මට කෝපල් සිල්වා එච්එච්ගෙ ඒ හිනා සද්දෙනෙ කාල ඉන්නම බැරිවුනේ. පස්සෙ ගෙනාපුව "කන එකෙක් කාපියව්" කියල පිටිපස්සෙ තිබ්බ බංකුවක් උඩින් තියල මං ආයෙ රාජකාරියට ගියා. 


ටික වෙලාවක් ගියා... සර් මට අතින් කතාකරලා ලඟට එන්න සංඥා කලා. මාත් ගියා. එතකොට සර් අහපි, අර හාමුදුවො ලෙෆ්ටිනනට් ද කැප්ටන්ද බං" කියලා. හම්මට සර්ටත් වැඩෙි ගිහින්. මං අහක බලාගත්තා.එතකොට  සර් කියනවා " හොඳ වැඩෙි තොට" ලු. ඒක සෙනිකව ලැව්ගින්නක් වගේ අපේ කණ්ඩායමෙිම පැතිරිලා ගියා. මගේ කැරැට්ටුවත් එක්ක ඒක කලවම් වුනාම තමා කට්ටියට හිනාවෙන්න මග පෑදුනේ. පස්සෙ හැමෝටම කාඩ් ගහල ජීවිත එපා කරවපු මටත් කව්දෝ විසින්"සඟ සැලියුට්" කියලා කාඩ් එකක් ගහල තිබුනා. යන්තං ඒ කාඩ් එකෙන් බෙිරුනේ ඊට මාසෙකට විතර පස්සෙ ඒ කණ්ඩායමෙනුත්  "තෝව එපා" කියල  දොට්ට දාලා ආයෙ අරව මෙව්ව උස්සාගෙන "සී" කණ්ඩායමට ගියාට පස්සෙ. ඒත් එහෙං මෙහෙන් ඔික ඒ කට්ටියගෙත් කන්වලට ගිහින් කීප පාරක් කියැවුනත් එච්චර දුරදිග ගියේ නෑ. ඒ එහෙදි බැචෙකුට වෙච්චි සීන් එකකට කාඩ් එකක් ගහල ඒක ප්‍රසිද්දවුනාට පස්සෙ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.03.17

Sunday, February 13, 2022

දුක්විඳ ජීවිතය ජය ගත්තෝ

 දුක් විඳ ජීවිතය ජය ගත්තෝ

=======================


අද මං කියන්න යන්නේ ඉතා වැදගත් කතාවක්. 


අපේ රටෙි ඉන්න සුපිරි ධනවතුන් උපතින්ම සල්ලිකාරයො නෙමෙයි. අපේ රටෙි විතරක් නෙමෙි මුලු ලෝකයේම. 

අපේ ⁣රටෙි සුපිරිම ධනවතුන් වන ධම්මික පෙරේරා,නවලෝක මුදලාලි,දම්රෝ මුදලාලි ආදීන් බිංදුවෙන් තමා තමන්ගෙ ජීවිතය පටන් ගත්තෙ. ධම්මික පෙරේරා මහතා නම් තමාගෙ කතාව කියන්නෙ පේමන්ට් එකේ සපත්තු විකුනපු කෙනෙක් එක්ක ගහපු ඩීල් එකකින් ජීවිතය පටන් ගත්තා කියලා. නවලෝක මුදලාලිත් කඩෙික තේ හැදුවාලු. ඇත්ත වෙන්න ඇති. මොකද ඒවා ජීවමාන සාක්ෂි. අද මං ඔතනට එකතු කරන්න යන්නේ අපේ ගමෙි චරිතයක් ගැන. 


කතා නායකයාගෙ නම විතරක් මන:කල්පිතයි. සිදුවීම සත්‍යයි. 

මෙයා ජීවිතය පටන්ගත්තෙ බිංදු අරික්කාලෙන්. කඩෙි ඒ දවස්වල කහට එකක් සත පනහයි. ප්ලේන්ටියක් රුපියලයි. සමහර කඩවල්වල විතරක් එකයි දහයයි. මෙි සත පනහෙ කහට එකක් උනත් මෙයා බිව්වෙ ඒක කව්රු හරි අරන් දුන්නොත් පමණයි. මොකද ඒ තරමට හිඳිලා. මාත් අරන් දීලා තියෙනවා කිඹුලා බනිස් එකයි කහට එකයි. 

එක දවසක් මං මෙයාගෙන් අහනවා "මචං, උඹ හැමදාටම මෙහෙම ඉන්නද කල්පනාව?. කියල.

මිනිහා කිව්වෙත් "පිස්සුද මචං, මං බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ" කියල. බම්බුව තමා. අනේ ඌ කරන බිස්නස්. 


කාලයක් ගතවුනා. එහෙම හිටිය මිනිහා ඉස්සෙල්ලම එක පාරටම සීඩී 90ක් ගත්තා. ආං එතකොටයි අ⁣පිටත් තරු පෙනුනෙ. ඔබ දන්නවාද ඔබට බයික් එකක් තියෙනවනං  මෙි ලෝකෙ බිලියන කීයකින් එක් වාසනාවන්තයෙක්ද කියලා??. මිනිහා ඒ වාසනාවන්තයන් ගොඩට අපිටත් කලින් එකතුවුනා. ආයෙ කාලයක් ගතවුනා.  මිනිහා නිදි මරාගෙන, මදුරුවො තල තලා, හරියට බඩට කෑමක්වත් නැතුව, රැයක් දවාලක් කියල හිතන්නැතුව, ඉතා මහන්සියෙන් දුක් විඳලා ආරම්භ කරපු ව්‍යාපාරය මොන බාධකය ආවත් අත් හරින්නැතුව දිගටම කරගෙන ගියා.  අවුරුද්දක් විතර යද්දි මිනිහගේ බිස්නස් පාර නැගල ගියා. ආයෙ අවුරුද්දක් යනකොට ඉඩමක් ගත්ත, ආයෙ කාලෙකින් ලස්සන ගෙයක් හැදුවා. අද මෙි වෙනකොට මිනිහටම කියලා හාඩ්වෙයාර් එකයි,ටිපර් දෙකයි,කැන්ටර් ටිපර් එකයි, බැකෝ දෙකයි, ලෝඩරයකුයි තට්ටු තුනක හොටෙල් එකකුයි, කොන්ක්‍රීට් වැඩ පොලකුයි තියෙනවා.  ගංගා බීඩි දෙකක් වගේ හීන් කකුල් දෙකක් තියෙන, සීනි මැදිලා වාගෙ කෙට්ටු, මල් ඇවරියක් වගේ කටෙි දත් පිහිටපු බුවා ඉස්සර සත පනහෙ කහට අරන් දුන්නු අපිට අද පොර ගානෙ ඉඳල හිටල හරි ජින් බෝතලයක්, වටිනා අරක්කු බෝතලයක් හම්බ වෙනවා. ඒත් අපි තාම එතැනමයි.හැබැයි මිනිහා අද කොච්චර පොහොසතෙක් වුනත් ඔහු, ඔහුගෙ  පළවෙනි ව්‍යාපාර සංකල්පය අත් හැරල නෑ. අදටත් ඒක කරනවා.හැබැයි කාලෙ තාලයට ගැලපෙන පරිදි මොඩිෆයි විදියට. මෙයා බයිකෙන් ගත්තු තරම් වැඩ අපි තාම කකුල් දෙකෙන්වත් අරන් නෑ. 


මිනිහා හා හා පුරා කියල බිස්නස් එකට අත ගහන්නෙ හඳ පායපු මහ රෑක. ඒක සාර්ථක වුනාට පස්සෙ ඔහු දිගට හරහට නිදි මරලා තමන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. තමන්ගේ සිහිනය වුනේ හැමදාටම කාගෙවත් බාධාවක් නැතුව මෙික කරගෙන යන්න. ඒ දවස්වල මෙි කාලෙ වගෙ කකුලෙන් අදින අය හිටියෙ නෑ. ඒකටත් හේතුවක් තිබුනා. මෙයාගෙ නව ව්‍යාපාරයෙන් ගොඩක්ම ප්‍රතිලාභ ගත්තෙ අපේ තාත්තලගෙ කාලෙ අය. මිනිහා ගාව තිබුනෙ මාරම සැලසුම්. 

පොර බයිසිකලෙන් කරන්නෙ ඉස්සෙල්ලාම ගම වටෙි විසිට් එකක් යන එක. ඊට පස්සෙ තමා වැඩෙි ආරම්භ කරන්නෙ. ගමෙි වැඩිහිටි අයටත් මෙයාගෙන් සෑහෙන සේවයක් සැලසුනා. අපේ තාත්තටත්. 


ඉතින් සීනි කිලෝ පහෙන් වැල වරකා ගෙඩියෙන් අන්නාසි ගෙඩියෙන් පටන් ගත්තු ව්‍යාපාරය අදනම් කරන්නෑ. දැන් කරන්නෙ ස්කූටි බයික් එකේ බඩු දාන වල වගේ එකේ ගල් බෝතල් පහක් විතර දාගෙන ඇවිත් පාරෙ කරක් ගග ගගහ කාල, බාගෙ  සහ බෝතලේ ගානෙ විකුනන එක. මගෙත් යාලුවො කීපදෙනෙක්ම පොරගෙන් බඩු ගන්නවා.කොරෝනා කාලෙ ආවම ඒ බිස්නස් එකෙන්ම මහ ටැට්ටරයකුත් ගත්තා. ඒ තරං සල්ලි කඳක්. ඉතින් ඔබ තවත් ලත වෙන්න එපා. සීනි කිලෝ පහම නැතත්, කිලෝ දෙකත් ඇති. අවශ්‍ය වෙන්නෙ පෙරාගෙන ඇවිත් වෙල මැද්දෙ වලක් වගේ තියෙන තැනක ඉඳගෙන ඉන්න එක විතරයි. අත්දුටුයි පත්යක්සයි. 


ඔය යටින් තියෙන පිංතූරෙ  ජාතියෙ  වාහනයක් තමා ළඟදි  බැස්සුවෙ. සතුටුයිනේ..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.13

Saturday, February 12, 2022

වැලැංටයිම්

 අපි ඔය වැලංටයිං සමරන්න යන කාලෙ හිටපු වැඩිමාලු අම්මන්ඩිලා තම තමන්ගේ කෙල්ලො විතරක් නෙමෙි, හිටපු තරුණ  පහේ වැස්සියොත් ගෙට ගත්තා මයෙ පුතා. ඒකටත් එක්ක දැං.මයෙ අප්පේ..  අතේ ඇති ගානට හතු පිපෙන්නා වාගෙ හැතැප්මෙන්  හැතැම්මට තානායම් පිපෙද්දි වෙලේ කුඹුරේ ලන්දවල්,බඩ වැටි වලට තියෙන ඉල්ලුම අඩුවුනා නෙවැ ඔිං. අනික එ දවස්ඔල අපි වැලැංටයිං සමරනවා කියල විසේසයක් තිබුනෙ නෑ. ඉස්සර මැණිකෙ කජු ලන්ද පැත්තෙන් ඇඳන් හිටපු චීත්තෙ හද හද වට පිට බල බලා හීන් සැරේ වැවට ඇදෙනවා කියන්නෙ එදාට ඉතිං මගදිම වැලංටයිං තමා. දැං වගේ තෑගි බෝග ඔව්වා මොනාක්කත් ඉස්සර නෑ. ඔව්ව මෙි මිනිස්සු හදාගනිපුවා බං. ඔික සමරලා අහක්කෙලා කෙටල වැල් කෑල්ලක  අමුනපු බිලි පිත්තෙන් බා ගත්තු පොල් කාවයියො රෑනක්, කබර ලූලෙක් හෙම තමා දෙන තෑග්ග. මං නං ඔය දවැස් වලට වැවට යන්නෙ හොඳ තෝර බීඩි මිටියකුයි, බුලත් පයියකුයි එක්ක බිලි පිත්තකුයි වෙලෙන් කොටාගත්ත ගැඩවිල් පොල් කට්ටකුයි එක්ක. මයෙ අප්පේ.... ඔිවා ටික වරුවකටම නම් ඇති.  මැණිකෙ එද්දි බඩ ඉරිඟු කරල් හතර පහක් ඇන්න ආවම ඔිවත් කක කකා වැලංටයිං තමා සමරන්නෙ ඉතින්.අහලා බලාල්ලකො බොරු නං... ඔය කුස්සියෙ තෝම්බු කොටනවා වාගෙ හුජ හුජ ගගා කියෝනවා ඇහෙන්නෙ... ඒ  උන්දැ තමා. 


වැව් ඉස්මත්තෙ දවසක්දා වැලංටයිං කොරන්ඩ ගිහින්නොවැ උන්දැගෙ මහ අප්පල විසින් එවුන්දෑ මයෙ කරේ එල්ලුවෙ. දුං කරවල කෑල්ලෙ පාටට හිටියට මොකද...අපරාදෙ කියන්ඩ බෑ ඔවුන්දැට හෙන විසේ ඒ කාලෙත්. දැං වගේ කාර් බාර් නැතිවුනත් මයෙ බරබාගෙ තමා වාහනේ. හුරුල්ලෙන් කැලේට දාපුවම වැලංටයිනුත් සමරගෙන අලිත් බලාගෙන තමා හබරනින් කොකං පාන්නෙ. මං ඉස් ඉස්සෙල්ලාම වැලංටයින් සමරපු දවසෙ ඔවුන්දෑ ඇවිද්දෙත් ඉකිලි කැපිල වගේ ඔිං. හිතාගනිල්ලකො.


සීයාගේ කතන්දරේ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.02.12

Saturday, January 1, 2022

ආදරෙන් කියන වගනම්

 උඹට ඉක්මනින්ම මාව අමතක වෙලා යයි. කොහොමත් අළුත් එකක් සෙට්වුනාම උඹට මාව වටින එකක් නෑ කියල මම දන්නවා. ජීවිතේ මොන බාධක ආවත්, ඒවට මුහුණ දෙන හැටි උඹට ඉගැන්වුවෙ මං. යහපත් සාධාරණ විධියට ජීවිතේ බැලන්ස් කරගන්න කියල දුන්නෙ මං. එපා කියන දේ නෑහුවොත් ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන හැටි උදාහරණ සහිතවම උඹට කියල දුන්නෙ මම. හම්බ වෙන රුපියලෙන් පවා වැඩක් ගන්න හැටි, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කාලය ගත කරන හැටි, දවසට එක වෙිලක් හරි කාල පාඩුවෙි ඉන්න කියා දීපු හැටි, උඹට මතකද?. මතක ඇති. ඒත් දැන්මම උඹ මාව අමතක කරන්න පටන් අරන්. මම උඹට කවදාවත් කවුරුවත් කියා නො දීපු පාඩම් කියාදුන්නා. ඒකට මාත් එක්ක උඹට තරහකුත් ඇති. ඒත්  උඹ ඒව හරියට තේරුම් ගත්තද නම් කියන්න මම දන්නෑ.මම කලේ ඒ හැම එකකින්ම උඹට මොනම  විධියකින් හරි පුංචි හෝ පාඩමක් කියාදීලා උඹට ජීවත් වෙන හැටි කියා දෙන්න. උඹ ඒක තේරුම් ගත්තේ බාගෙට. උඹ කොහොමද දන්නෙ උඹෙි ජීවිතේට අළුතෙන් එකතුවුනු කෙනා උඹට මොනා කරාවිද කියලා. කොහොම හරි කමක් නෑ. අනාගතය තාම ඉපදිලා නැති නිසා පේන කියවන්න බෑ. හැබැයි මං උඹට කියාදීපු හැම පුංචි හෝ පාඩමක්ම ජීවිතේට එකතු කරගෙන ඒවගෙන් ඉගෙන ගෙන තව තව දේවල් අළුත් කෙනාගෙනුත් ඉගෙන ගෙන දවසින් දවස ජීවිතේට මුහුණ දීපං. හැබැයි එකක් ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්. උ⁣ඹ මල්වෙඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා, උත්සව තියලා ජීවිතේට එකතුකර ගත්තු අළුත් කෙනා, මම වගේ උඹව කවදාවත් ආරක්ෂා කරන එකක් නෑ. උඹව බලාගන්න එකක් නෑ...එයා මට වඩා බැරෑරුම් විදියට උඹට සලකාවි. සමහරවිට උඹ අමාරුවක වැටුනොත් උඹ දිහා නොබලාම යන්නට යාවි. උඹව නොසලකා හරීවි. ඒ වෙලාවට මාව මතක් කරපන්. මං කියාදීපු දේවල් මතක් කර ගනින්. ඒ තුලින් උඹ එයාට එකතු වෙන්න බලපං. ඒක තමා ම⁣ට තියෙන එකම සතුට. උඹ කොහේ හිටියත් මොනවා කලත් තමන්ගෙ ළඟ ඉන්න කෙනා රැකගෙන උඹත් රැකෙමින් ජීවිතේට මුහුණ දීපං. උඹට හරි ගියොත් මාව අමතක කරපන්. වැරදුනොත් මාත් එක්ක ගත කරපු කාලය සිහිපත් කරපං. උඹට කවදාවත් වරදින එකක් නෑ. පරිස්සමින් හිටපං. හැමෝම මම වගේ නෙමෙි. මාත් එක්ක දාපු සෙල්ලම් කවදාවත් එයත් එක්ක දාන්න එපා. උඹ විනාශවෙිවි.  එයාත් එක්ක හැසිරෙන විදියට, එයාට සලකන විදියට එයා උඹටත් සලකන්න පටන් ගනීවි. ඒත් හිතන්න එපා මට පුලුවන් විදියට උඹට හැමදේම දුන්නු මාව ඈත් කලාට එයා උඹට මම වගේ සලකයි කියලා. ඒ නිසා සිහි කල්පනාවෙන් ජීවත් වෙයන්. මට තාම උඹ ගැන දුකයි.උඹට ටිකක් තදින් සැලකුවට උඹ මට වෛර කරනවා ඇති. මා ගැන  ආදරෙන් ලියවුන හැම තැනම මාව කපල දාල උඹ එයා ගැන ලියාවි. ඒත් කවදාවත් මා ගැන වැරදියට හිතන්න එපා. තරහ වෙන්නත් එපා.  මං ඒ හැමදේම කලේ යහපත් චෙිතනාවකින්.  එක අවවාදයක් දෙන්නම් අවසන් වතාවට. කවදාවත් මාත් එක්ක දාපු සෙල්ලම් එයත් එක්ක දාන්න යන්න එපා. එයාට ටිකක් දරුණු හිතක් තියෙන්නෙ කියලා හැමෝම කියනවා. උඹ මාව ටික ටික ඈත් කරද්දි මං ඒ ගැන හොඳට හොයලා බැලුවා. ඒක ඇත්ත කාරණාවක්. සමහර විට එයාට හිතක් පපුවක් නැතුවාම වාගෙයි. ඒ නිසා කෝකටත් පරිස්සමින්. තෙරුවන් සරණයි. පරිස්සමින් හිටපං රත්තරං.


මීට 2021...