Sunday, August 30, 2020

වැහි කෝඩෙි


වීදියේ හංදියේ හවස මන්දාරමෙි.

කල්පනා ලෝකයේ ඉදිමි මා පාලුවෙි

හද පුරා වෙිදනා  විඳින මෙි ලෝකයේ

වැසි වලාකුලේ පාව එන්න දේවතාවියේ...


නුඹ නිසා තනිවෙලා හිඳින අඳුරු මාවතේ

වැහි කෝඩයක් වෙලා අපේ ආදරේ පියේ

හද සංතානයේ මාගෙ ආශා අරන්

තව ලෝකයක් තනා සුවය දේද පේමියේ


කඳුලු වෑහෙනා තරම් නුඹ නොදකිනා තරම් 

මට පුදුමයක් නොවෙි ගලා යාවි ජීවිතේ

අහස් කන්ද සිසාරා පායනා වර්ණ දී

දේදුන්නක් වුනේ කෙලෙස දේවතාවියේ...


රුවින් පමුදිත යද්දෙිආරච්චි

2020.08.30

Saturday, August 29, 2020

කුඹුරුමුල්ල රණබිම

 මෙි 1996 අවුරුද්දේ අග භාගයේදී සිදුවෙච්චි කතාවක්. මෙි වෙද්දි මම කිරාන් හිටියෙ. නමුත් මෙි සිදුවීමට පාදක වුනේ කුඹුරුමුල්ල කඳවුර.


නැගෙනහිරෙන් අහසට නගින හිරු රාජයා තමන්ගේ පළමු රැස් කදම්භය නැගෙන හිර බිම දිගේ පිළිවෙලින් එළාගෙන එළාගෙන එන්නේ ඒ වෙද්දි නැගෙනහිර රණ භූමි මත අතොරක් නැතිව ලේ හෙළූ සෙබළුන්ට කරන ගෞරවයක් විදිහට. ඒ රණබිම් මතම සතුරාගේ මිලේච්ඡ වෙඩි උණ්ඩ වලට එරෙහිව වීර වික්‍රම වික්‍රමාන්විත සටන් පා අවසන උණ්ඩයකට ළය දී තමන්ගේ අවසන් හුස්ම වා තලයට මුසුකල අපේ කාලයේ වීරයන් මෙි පොළවෙි අනන්තවත් මිහිදන් වෙලා තිබුනා. 1993 වස⁣රට පෙර වසරවලදී සතුරු සේනා විසින් පොලිසියේ පොකුරු ගණන් රණ විරුවන් මරා වළ දැමූයේත් මෙි නැගෙනහිර භූමියේ. 


"මෙි භූමියේ ශබ්ධ නොනැගෙන සේ පය තබන්න.මන්ද යත්, ඔබගේ හෙට දවස වෙනුවෙන්, රණවිරුවන් ඔවුන්ගේ අද දවස කැපකර මෙි පොළවෙි මිහිදන්ව නිදන බැවිනි."


මෙි කාලෙ තමා උතුරේ  රිවිරැස ක්‍රියාන්විතය පැවැත්වුනේ. යාපනය අර්ධද්වීපය සතුරු ග්‍රහණයෙන් මුදවාගැනීම පිණිස ක්‍රියාත්මක වූ එම ක්‍රියාන්විතයට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගොඩක් බයවෙලා හිටියේ. දවසෙන් දවස අඩියෙන් අඩිය ඔවුන්ගේ බළකොටු මහ පොලවට සමතලා කර දමමින් ඉදිරියට ගියේ ලක් ධරණී තලය වෙලාගත් ත්‍රස්තවාදය නම් වූ  පිළිකාවෙන් මාතෘ භූමිය මුදවාගැනීමෙි ඒකායන පරමාර්ථයෙන්. මෙසේ සටන් පැවතෙද්දී ඒ රණ වික්‍රමය කඩාකප්පල් කිරීමෙි අරමුණෙන් නැගෙනහිර මෙි වෙද්දි උන් ප්‍රහාර මාලාවක් සංවිධානය කරල තිබුනේ. මොවුන්ගේ ප්‍රහාරවලට නිතරම ලක්වුනේ වැලිකන්දෙන් මෙහාට පිහිටි කඳවුරු. මීයන්කුළමි,126, නාවල්අඩි, 233 බළසේනාවට අයත් භූමිය,කුඹුරුමුල්ල,කිරාන්,සන්දිවෙිලි,

වව්නතිවු,පුලුකුණාව වැනි කඳවුරු තමා ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලකයන් වූයේ. මෙි වෙද්දි අපේ ඒකකය ස්ථානගත වෙලා හිටියේ 233බළසේනාව ඇතුලේ. ඒ අනුව මෙි ප්‍රධාන කඳවුර වටා ආරක්ෂක වළල්ලක් ආකාරයට සතුරාට සුපිරි ඝණයේ යුධ පාඩම් උගන්වමින් ස්ථානගතවී සිටි අප ඒකකයේ අපි, මෙි වෙද්දි තවත් කරුණකින් උද්දාමයට පත්වෙලයි සිටියේ. ඒ චෙංකලඩි කලුපාලමෙිදී කොටින්ගේ ප්‍රහාරයකට ලක්ව කොටුවී සිටි විශේෂ බළකායේ කණ්ඩායම් දෙකක්, නිරිභීතව ඉදිරිපත්වී ඔවුන්ව බෙිරාගැනීම වෙනුවෙන් දැක්වු වික්‍රමාන්විතයට  අප ඒකකය විශේෂ බළකායේ ඒකකයක් විදියට පරිවර්ථනය කිරීමට හමුදා ඉහලම මූලස්ථාන විසින් කර තිබූ නිර්දේශයක් නිසා. මෙි වෙද්දි කිසිවෙකුත් විවාහ වී නොසිටි අප ඒකකයේ සියළුම සෙබළුන් පළමුවත්, දෙවනුවත්,තෙවනුවත් මව් බිම යන අධිශ්ඨානයෙන් ඔදවැඩී සිටියේ. 1996 වසරේ අගෝස්තු මස අපව විශේෂ බළකායට බඳවාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පවා සිදුකරමින් සිටියත් කුමක් හෝ හේතුවක් මත එය වැළකී ගියා. 


ඒ අතරතුර තමා මෙි සිදුවීම වුනේ. මෙි වෙද්දි කිරාන් ස්ථානගතව සිටියේ සී කණ්ඩායම. කුඹුරුමුල්ල ස්ථානගතව සිටියේ ඒ කණ්ඩායම. උතුරේ පැවැතිවෙන රිවිරැස ක්‍රියාන්විතයේ අරමුණු කඩාකප්පල් කර දැමීමටනම් කලයුතු වන්නේ නැගෙනහිර අස්ථාවර කිරීම විතරයි යනුවෙන් සතුරු නායකත්වය අවබෝධ කරගෙන සිටියෙන්, නිතරම නැගෙනහිර පිහිටි කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ඔවුන් පුරුද්දක් කොට ගත්තා. ඒ වෙද්දි මීයන්කුළම්,126 කඳවුර,නාවල්අඩි, කිරාන් මාර්ග ආරක්ෂක මුරයට වගේම කින්නිඅඩි සහ වව්නතිව් පුලුකුණාව කඳවුරුවලට ඔව්න් නොසිතූ අවස්ථාවලදී ප්‍රහාර එල්ල කරලයි තිබුනේ. මෙි කතාවෙිදී  කුඹුරුමුල්ල කඳවුරට ප්‍රහාර එල්ල කරද්දි අපි කිරාන් කඳවුරේ සීරුවෙන් සිටියා. ඒ අපේ කඳවුරටත් ප්‍රහාරයක් එල්ල වෙියැයි කියන අදහසින් හා කුඹුරුමුල්ල කඳවුරට සහායක කණ්ඩායමක් හැටියට උදව් ඉල්ලුවොත් යන්න බලාගෙන. 


මම හිටියේ කිරාන් පාළම දෙසට මුහුනලා තිබුනු බංකරේක. වෙලාව ඇති පාන්දර එකට හෝ දෙකට විතර. එක්වරම කුඹුරුමුල්ල කඳවුර අත්පත්කර ගැනීම උදෙසා සතුරන්ගේම මෝටාර් ප්‍රහාරයකින් ඇරඹුනු එම සටන පුරා පැය ගානක් පැවතුනා. නොනවත්වාම ඇද වැටෙන මොටාර්, කාලතුවක්කු උණ්ඩ පුපුරා යන හඬත් ඒ සමග ඇරඹුනු සුළු අවි පොකුරු උණ්ඩ  ප්‍රහාරයත් ඒ කඳවුරට හෙල්ලෙන්නවත් ඉඩක් තැබුවෙි නැහැ. එක දිගටම වෙඩි තබමින් ලේ පිපාසිතව ඉදිරියට ඇදෙන සතුරු හමුදාවට හොඳ පාඩමක් කියාදීමෙි නොනිත් අරමුණකින් පෙර සූදානමකින් සිටි අපේ කොල්ලෝ ඔවුන්ට නොදෙවෙනි විදියට මුහුනට මුහුන සටනකට අවතීර්ණ වි තිබුනා. මෙි කඳවුර තුන් පැත්තකින් වටකර තිබූ නිසා උපරිම වෙඩි බලයක් ඒ තුන් පැත්තටම සැපයිය නොහැකි බැවින් අපේ කඳවුරෙනුත් ඔවුන් මෝටාර් සහාය ඉල්ලුවා. අපේ කඳවුරේ ස්ථානගත 120 මිමී කාතු දෙකත්, එතෙක් සීතල පින්නේ අහසට ලම්බාකාරව  නිදා සිටි අපේ  81මිමී.60 මිමී මොටාර් සියල්ලමත් එක්වරම නින්දෙන් පිබිද කඳවුරේ තිබූ නිහඬ තාවය දරුණු ලෙස බිඳිමින්  තත්පරයෙන් තත්පරේ පළාතම ගිගුම් දෙමින් කාර්‍ය බහුල වෙන්න පටන් ගත්තා. ගුවන් සැතපුම් තුනක් පමණ දුරකින් පිහිටි කුඹුරුමුල්ල රණබිමට නියමම ඉලක්කපත් වලට ඒවා පතිත කරවීමටත් අපේ අයට හැකිවුනා. මල්වෙඩි සංදර්ශණයක් මෙන් මුලු අහසම ඒකාලෝක කරමින් විහිද යන ට්‍රෙිසර් උන්ඩ අපේ ඔලු උඩිනුත් පියාඹා ගියේ "කිසිස්-කිසිස්" හඬ නංවමින්. වාලච්චෙනෙන් සහ අපේ කඳවුරෙන් ආටි මොටාර් පිකප් වෙද්දී අහසට නංවන ගිනි දළුත්, දෙගොල්ලන්ගෙම ඒවා ගුවනේ පාවී ඇවිත් විදුලි කොටන්නාක් මෙන් ඉලක්කයන් වලට වැටී පුපුරා යන හඬත් එක්ක අහසට විහිදුවන කළුම කළු දුමාරයන් සහ ගිනි දළුත් පැරා එළියෙන් අපි පැහැදිලිව දුටුවා.  ආධාරක භඨ පිරිසක්ද නොමැතිව තමන්ට හැකි උපරිමයෙන් මෙි ප්‍රහාරය මැඩපැවැත්වීමට ඔවුන් තමන්ට හැකි උපරිම උත්සාහය දරමින් හිටියා. අසල්වැසි කඳවුරකට ප්‍රහාරයක් එල්ලවීමෙිදී ඔවුන්ගේ සහයට යෑම පිණිස දහ අට දෙනෙකුගෙන් සමන්විත දිනපතා නම් කරණු ලබන ආධාරක කණ්ඩයක් මෙි වෙද්දි කිරාන් කඳවුරේ සූදානම්ව හිටියා. ඒ අතර මාත් එක් සාමාජිකයෙක්. අපේ අමතර භඨ පිරිසක් නොසිටියත් යොදවා තිබූ රාජකාරියට අමතරව තමා මෙි කණ්ඩයටත් නම ඇතුලත් කරන්නෙ. එසේ නම් කරනු ලබන අයවළුන්, පිටත ප්‍රහාරයක් එල්ලවන සෑම අවස්ථාවකදිම තමා සිටින රාජකාරිය අනෙකාට භාරදී කලින් නම් කරනු ලබන  තැනකට එක් වී ඔිනෑම අවස්ථාවක පිටත්ව යෑම සඳහා සූදානම්ව සිටිය යුතුයි. අපි ප්‍රධාන ගේට්ටුව අසල එහාට මෙහාට ඉවසීමකින් තොරව ඇවිද ඇවිද බලා සිටියේ "දැන් යන්න කියයි දැන් යන්න කියයි"  යන නියෝගය අපේක්ෂාවෙන්. 


තව තවත් වාලචිචෙන කඳවුරෙන් ගුවනට මුදාහරින පැරා එළි හාත්පස ඒකාලෝක කරමින් රැය "දවාලක්" බවට පරිවර්ථනය කරන්නට පටන් අරන් තිබුනා. නොනවත්වාම එක දිගටම කෙරෙන  සටනට මෙි වෙද්දි පැයකටත් ආසන්න කාලයක් ගතවී තිබුනා. අපේ කඳවුරෙන්ද එක දිගටම වෙඩිතියන මෝටාර් "සිලින්න්-සිලින්න්" යනුවෙන් හුලං කපාගෙන ඉලක්කපත් හොයා යද්දි අපේ ලේ නලියමින් තිබුනේ. තවමත් අපිට අණ නිකුත්වී තිබුනෙ නෑ. කුඹුරුමුල්ල කඳවුර පිහිටි දෙස බලාගෙන අපි සුසුම් ලෑවා. 


තවත් විනාඩිය විනාඩිය ගතවෙද්දී අපේ හිත්වලට මහ භයංකාර සිතුවිලි ඇතුල් වෙමින් තිබුනා. ඒ අර කඳවුරේ අපේ එවුන්ට මොනවා වෙලා ඇද්දැයි යන සිතිවිල්ලෙන්. එක දිගටම වැස්සක් වහින ආකාරයට පට පට ගගා පුපුරන පොකුරු වෙඩි උන්ඩත් ඒ මැද්දට දිඩීං ගා පිකප් වෙන ආටි මෝටාර් දඩෝං දඩෝං ගා පුපුරා යද්දිත්, ඒ ශබ්දය ඇසෙන ඔිනෑම සෙබලෙක් මෙසේ කුලප්පු වෙන එක සාධාරනයි. අපේ කණ්ඩභාර නිළධාරි තුමා එවකට 2/ලුතිතන් වන්නිනායකත් අපිත් එක්ක බිම ඉඳගෙන වචනයක්වත් කතා නොකර  ප්‍රහාරයට කන්දීගෙන හිටියේ. ඒ සතුරාගේ වෙඩි ශබ්දයත් අපේ අයගේ වෙඩි ශබ්දයත් වෙන් වෙන්ව අඳුනාගන්න උත්සාහ කරමින් සතුරු වෙඩි ශබ්දය මෙි වෙද්දි කොතනින්ද ඇහෙන්නේ යන්න නිශ්චය කරන්න. 


පැය දෙකක් ගතවුනා. ඒත් තවම යුද්ධය ඉවර නෑ. පටන්ගත් ආකාරයටම හිටපු ගමන් එකපාරටම ප්‍රහාරයක් එල්ලවෙනවා. ආයෙ විනාඩි දෙකතුනක් කිහිපයක් නිහඬව ගෙවෙනවා. ඒ අතරතුර නොනවත්වා ආටි බ්ලාස්ට් වෙනවා. ආයෙ එකපාරටම සටන මහ දරුණු විදියටම ඇවිලී යනවා. නැවත කිසිම ශබ්දයක් නැතිව විනාඩි දෙකතුනක් ගතවෙනවා. ආයෙත් සටන ඇවිලී යනවා. ඔය ආකාරයට පාන්දර හතර හතරහමාර විතර වෙනකම් සටන පැවතුනා. මෙි කඳවුරට වුනු හානියක් ගැන තාම සඳහනක් නෑ. මෙසේ පැවති සටන එක් අවස්ථාවක මහා බරටම ඇවිලී ගිහින් එක් තැනකදි නිහඬ වුනා. ඉන්පසු වරින් වර සුලු සුලු ප්‍රහාර කීපයක ශබ්දය පමණක් අපිට ඇසුනා. 


වෙිලාව උදෑසන පහයි තිහයි. අපේ බිලට් එක ගාව ආරක්ෂිතව නවතා තිබූ යුනිකෝන් බෆලය ස්ටාර්ට් වෙන සද්දෙට අපි එක්වරම ඉඳගෙන සිටි තැන්වලින් නැගිටලා පස්සේ තිබුනු වැලි ගසා දැමුවෙි දැන්වත් යන්න ලැබෙයි කියන අදහසින්. ඒත් එක්කම ලුතිතන් වන්නිනායක අත තිබූ ගුවන් විදුලි යන්ත්‍රයට නියෝගයක් ආවෙි හැකි ඉක්මනින් එහෙත් ඉතාමත් කල්පනාවෙන් කුඹුරුමුල්ල කඳවුර බලා පිටත්වන ලෙසට. අපිත් යුනි බෆලය ලඟටත් එන්න කලින් මගට දුව දුවා ඒකේ එල්ලුනේ පිටත් වෙන්න ගතවෙන කාලය තත්පරේකින් හරි අඩු කරගන්න බලාපොරොත්තුවෙන්. අන්තිමට ගොඩවුනු ලුතිතන් වන්නිනායක රථයේ විදුලි ලාම්පු නිවා පදවන ලෙස රියැදුරාට දැන්වූවා. 

අපේ දැනුම හැටියට මෙි වෙද්දි කුඹුරුමුල්ල කඳවුර සතුරන් අතට පත්වෙලා. අපේ අය මෙි වෙද්දි එළියට පැනල ජීවිතේ ගැටගහගෙන ඇති. කුමන හෝ අයුරකින් ඔවුන්ව එකතුකරගෙන අපි නැවත කඳවුර අත්පත් කරගත යුතුමයි. නැතිනම් ඔවුන් කඳවුරට ඇතුල්වී ඇතුල ජෑම්වී අපේ කඳවුර මංකොල්ල කාල ඇති. මෙි සිතුවිලි හිතට එද්දි ලේ ගමනා ගමනය වඩ වඩාත් තීව්‍ර වුනා. අපේ ඔිසී ගැන පුදුම තරහක් ඇතිවුනා. ඇයි අපිට කලින්ම යන්න නුදුන්නේ. ඒ ගියානං අපිත් ඒකට එකතුවෙලා කඳවුර කොහොමහරි බෙිරගන්නවනේ.


මෙසේ සිතමින් එකදු වචනයක් කතා නොකර අපි යුනිබෆලයේ ගමන් කලා. ඒත් වාහනේ යන්නේ කඳවුරටමයි. ප්‍රධාන ලාම්පු නොදල්වා උනත් අඳුරේ ඉතා වෙිගයෙන් ඉගිලී ගිය යුනි බෆලය කුඹුරුමුල්ල කඳවුර ඉදිරිපිට නැවතුවා. 

වහ වහා එයින් බැහැගත් අපි දුටු දසුනකින් මහා ප්‍රීතියක් නහර දිගේ ඇදී ගියා. ඒ වෙද්දි කුඹුරුමුල්ල කඳවුරේ අපේ එවුන් ට්‍රැක්ටරේකට මළ කඳන් වගයක් පටවනවා. ජයන්ත බංඩාර කියන හාදයා තනියම මළකඳන් උස්සන් ඇවිත් ට්‍රැක්ටරේට දානවා. වෙන්නේ මොකද්ද උනේ මොකක්ද කියල අකුරක් නෑර අපි මුල ඉඳන්ම දැනගෙන හිටියේ. අපිට උවමනා වෙලා තිබුනේ මෙි ඇත්ත ඇස් දෙකෙන් දකින්න. එසේ එල්ටීටීඊ මළසිරුරු විසිහතක් අපේ ලොරියකටයි ට්‍රැක්ටරේකටයි පැටෙව්වා. සමහර මළ සිරුරු කාන්තා ඒවා. ඒවා හයක් තිබුනා. විසි එකක් පිරිමි ඒවා.  සමහර මළ සිරුරු අපේ ඩිෆෙන්ස් එක ආසන්නයේම වැටී තිබුනා. ඒ කියන්නේ පැය තුනක් විතර මහා දරුණු සටනක් මුහුනට මුහුණ තිබිලා. මං ජයන්ත⁣ගෙන් විස්තර ඇහුවා.

ඌ කිව්වෙ තුන්සීයක් විතර හිටියලු බං කියල. උපරිම උත්සාහය දරල තියෙන්නෙ කඳවුරට රිංගන්න. ඒත් අපේ කොල්ලො උන්ව ඩිෆෙන්ස් ලයින් එක පාමුලදිම පිලිවෙලින් නිහඬ කරවලා තිබුනා. ජයන්තගෙ ඇඟ හැමතැනම ලේ. අත්වල පවා වැක්කෙරෙනවා. මෙදින කොයි මට්ටමෙි සතුරු ප්‍රහාරයක් කඳවුරට එල්ලවී තිබුනත් අපේ එක්කෙනෙක් ජීවිතක්ෂයට පත්වී එක්කෙනෙක් සුලු තුවාල පමණක් ලබා තිබුනා. අපිත් එදා වරුවක්ම වැයකලේ භූමිය සෝදිසි කරන්න. තුවක්කු, අත් බෝම්බ,ආර්පීජී අවි,40මිමී අවි,බැංගල්ටෝපිඩෝ,සටන් භූමිය පුරාම විසිරිලා තිබුනා. කාතු බෝම්බ පුපුරා යාමෙන් ඉතිරිවෙන ටෙිල් පමණක් හැත්තැ එකක් මං ඇවිදල ඇවිදල  එකතු කර ගත්තා. ඒ  කිරාන් අපේ බිලට් එක වටෙි අලංකරණය සඳහා සකස්කරන මල්පාත්ති සහ ප්ලැටූන් එකේ බංකරය ලස්සන කරගන්න.


ජයන්ත බංඩාර කියන්නේ මගේ එක්කුසේපන් බැචෙක්. ඌ විසිහතර,මං විසිනවය. මෙයා කුංග්ෆූ මාස්ටර් කෙනෙක්. සමස්ත ලංකා තරඟවලින් තුන් වෙනි ස්ථානය ලබාගත් කෙනෙක්. මෙිකා මටත් කුම්පු ගහල තියෙනව. තව එවුන්ටත් ගහල තියෙනව. මං පෙන්ෂන් එනකනුත් මුගෙන් බෙිරිලා හිටියෙ පුදුම අමාරුවකින්. මං විතරක් නෙමෙි අපේ අනෙක් බැචාලත්. කිවයුතුම දේ වෙන්නේ ඒ මාර්ගයෙන් තවත් ඉදිරියට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන්නට තිබූ අවස්ථාවන් සියල්ලම පසෙකලා රට වෙනුවෙන් හමුදාවට බැඳී අමු කට්ටක් කෑමයි. ඒක තමා සිංහල කම කියන්නේ. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ හිත්වලින් මෙි සෙබළුන් කල කැපකිරීම් අමතක කර දැමීමත් සිංහල කමක්. මෙි සටනේ ජීවමාන සාක්ෂියක් ඔහු.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.28

Wednesday, August 26, 2020

කල්කුඩා නාට්ටි තරඟ කරපු හැටි

 මෙි කතාව වෙන්නෙත් කල්කුඩාවලදි. කල්කුඩා කියන්නෙ අපිටනං හරි මෙව්ව එකක් තිබ්බ කඳවුරක්. මාසෙකට එක ඉරිදාවක් ගිනියම් පාටින් ඉර බැහැගෙන යන හවසක හීනියට අටයි අටක් යූස් කරල, ඒකත් කරගන්න බැරි වාතාවරණයක් තිබ්බොත් පහේ ටොපියක් කටෙි දාගෙන  සීනිත් එක්ක කොට්ට පොලයක් පලාගෙන  කාල මූදෙ නාල සිංදුවක් කියල ආතල් පිට ඉන්න පුලුවන් ජොලි පොට්ටෙකක්.


ඉස්සර හමුදාවෙ තිබුනා ඒ ඒ ඒකකවල ඒකාංගික නාට්‍ය කිරීමෙි කලාවක්. මෙික තරඟයක්. හුඟක් එව්ව විකට නාට්ටි. මෙිවා කරන්න තවත් හේතුවක් තමා යුද්ධය නිසා ඒකාකාරී ජීවිතයක් ගෙවන සෙබළාට යම් මානසික වින්දනයක් ලබාදී ඔවුන්ගේ මොරාල් එක අප් කිරීම. මෙි තරඟයෙන් දිනන අයට වටිනා නම්බු නාම වගේම වටිනා තෑගිත් හම්බවෙනවා. නම්බුනාම හම්බ වෙන්නෙ ඒව බලන එව්වොන්ගෙන්. ඒ තමා අවුරුදු විසි දෙකක් යනකනුත් මකන්න බැරි කාඩ්. අපේ ඒකක මූලස්ථානයේ මෙි කාඩ් සහ මඩ බලකායේ ප්‍රධානියා හිටියෙ කෝප්‍රල් කෙනෙක්. ඊලඟට ආරච්චි බුවා. නෙස්ට් සමරජීව පතිරන.  ඊට කලින් අවුරුද්දේ බරපතල ලෙස කාඩ් වගයක් ලියාපදිංචි වෙලා මෙි ⁣අවුරුද්දෙ තරඟයට ආරච්චිලාලගේත් නම් නැතිවෙන ලයින්නෙකක් තිබුනේ. ඒත් දෛවයේ සරදමකින්ද මන්ද ඒ අයිතිවාසිකම මෙි අවුරුද්දෙ ලැබුනත්, මිස්ටර් ගෝරිං සිංග්, ස්ටාෆ් මල් බංඩා, ජුලියස් සීසර්, ජීඑල් පීරිස් වැනි අපේ  ඒකකයේ නිළ කාඩ් ලද්දන්ගෙන් දරුණු අවවාද සහ අනතුරු ඇඟවීම් කීපයක් ලැබිල තිබුනා. ඒ "ආයෙ එහෙම ප%@&$යලා කාඩ් ගහල තිබුනොත් එහෙම කුකුලෙක්ගෙ වගේ බෙලිගෙඩි කරකලා මුහුදට විසික්ක කරනවා, දැනගනියවු"  කියන දරුණු තර්ජනයකුත් එක්ක. මෙි අස්සෙ කාඩ් එකක් වැදුනු සුදු සීයාත් අංගමාරෙ හැදිච්චි වල් අස්සයෙක් වගේ අපිත් එක්ක මද කිපිල හිටියෙ. මොකද අකලට කෙස් සුදුවිච්චි ඒ පොරට සුදු සීයා කාඩ් එක රෙජිට්ටර් කෙරේ මං. සමහරු පොර ඉන්න තැන සුදු සීයා කියල කතා කරාට බුවා දන්නෑ බුවාට මෙි කියන්නෙ කියල. සතියක් විතර ගිහින් ඒක තමන්ට කියන්නෙ කියල අලගිය මුලගිය තැන් හොයාගෙන ඇවිත් ඒ මං කියල දැනගෙන තරු පායපු එක් මූසල සැන්දෑවක තරු විසිවෙන්නම මගේ කං අඩියත් රත්කරල තිබුනෙ. 


ආරච්චිලා ඇතුළු ප්ලැටූන් එකටනං ඔව්ව හෙන මෙව්ව එකයි. හැබැයි ඊට වැඩිය ආතල් එකක් තියෙනව ගුලියක් දෙකක් කාල පට්ට ගිනි මද්දහනේ තල් ගහක් යට ග්‍රවුන් ශී⁣ට් එකක් එලාගෙන ඒකෙ වටෙිට ඉඳගෙන කයිය ගහන ගමන් එක එක චරිතවලට කාඩ් නිර්මානය කරන එක. අපි අවුරුදු විසි දෙකම නිවැරදිව හැමදාම කලෙත් ඔික විතරමයි. ඒත් කොච්චර කලත් ඉවරයකුත් නෑ. සමහර කෝපල්ලා සාජන්ලා ඇතුලු එක එක නිළවල චරිත හිටියා කෝපල් හේරත්ලා රත්නසිරිලා  පයිවට්ටාරච්චිලා එක්ක හැසිරෙද්දි උනත් ඒ ඉස්සරහ පොඩ්ඩක් සංවර වෙන්න උත්සාහ කරපු අය. ඒ අපිට තියෙන බයට නෙමෙයි. ඊලඟට තමාට මකන්න බැරි ආත්මගරුත්වය අමු අමුවෙ දූෂනය වන මොන ජාතියේ කාඩි එකක් වදීද කියල පරාන බයෙන් ජීවත් වෙන අය. ඒකට අපේ අණදෙන නිලධාරි තුමාත් ඇතුළුයි.

 අපේ ප්ලැටූන් එකට කියන්නෙ "බත් ප්ලැටූන් එක" කියල. ඒකට හේතුව උදේ ඉඳන් ගුලි කෙලල කෙලල ඇස් හීන් කරගෙන නලලෙන් උන් උන් දිහා බල බල සීමාවක් නැතුව බත් හට්ටි කරීස් හට්ටි ඔක්කෝටම වගකීම. අපි කුස්සියට යද්දි බත් හට්ටියයි කරීස් හට්ටියි "දඩ-දඩ" ගාල ගැහෙන්නෙ "අදත් ඉවරයි" කියල හිතෙන බයට. හැබැයි ඒ වගේම තමා සටනක්, බර වැඩක්, ඇතුලු ඔිනෑම වගකීමක් කර උඩට පාත් වුනොත් ඒක මොන සම්මජ්ජාතියෙන් හරි හිතුවටත් වඩා හොඳින් සාර්ථකව ඉටු කිරිම. අපි කොයි වෙලෙත් කඳවුරේ නෑ. දවසගානෙ කොටි බලපෑම් තියෙන කඳවුරු, ස්ථාන,මහපාර,කලපුව,වගේම මහ මුහුද වැනි හැමතැනම  කුඩා කණ්ඩායම් වශයෙන් රාජකාරි සඳහා ගොස් සිටීම. මෙි ගියපු ගොඩක් තැන් ඉතාම අනතුරුදායක තැන්. නමුත් ගේමකට බැස්සොත් අන්තිම හුස්ම වෙනකං ගේම අතාරින්නෑ. ඉතුරු වෙන තනි එකා තනියෙන් හරි ගේම ගහනව. ඒක කව්රුත් දන්න නිසා අපි කොච්චර බත් වලට වග කිව්වත් ඒ වෙනුවෙන් කිසිම විරෝධයක් කාගෙන්වත් එල්ලවුනෙත් නෑ.

දවසක් උදේක කුඹුරුමුල්ල කඳවුරේ මාර්ග ආරක්ෂක මුරයට ප්‍රහාරයක් එල්ලවුනා. ඒකට මූන දීම සඳහා විනාඩියකටත් අඩු කාලයක් තුල ලෑස්තිවෙලා බ්‍රවුනින් වර්ගයේ   මැෂින්ගන් දෙකක් හයිකරපු, අපිට වෙන්කරලා තිබුනු යුනි බෆල් එකේ නැගල ඒ ප්‍රහාරය වෙන ඉසව්ව බලා කඳවුරේ බැරියර් එකත් අරගෙනම ඉගිල්ලිලා ගියා. බැරියර් එකත් අරන්ම ගියා කිව්වෙ සෙන්ට්‍රි හිටපු එකා බැරියර් එක බාගෙට ඇරියෙ. අරිනකං හිටියෙ නෑ හදිස්සියට.  ඒක බෆල් එකේ වැදිල දෙකටම කැඩුන. ඒ ගිහින් හෙන ගේමක් දීලා ප්‍රහාරයට කොටුවුනු අපේ අයව  නිරුපද්‍රිතව කඳවුරට එක්ක එන්න අපි කටයුතු කලා. නිකන්මත් නෙමෙි

කොටින්ගේ ඩෙත් බොඩිත් පහක්ම අත්පත් කර ගනිමින්. නමුත් අපේ කිසිම එකෙකුට හීරීමක්වත් වුනේ නෑ. 


අපි එහෙම ගියේ උදේ කෑම කන්න පිඟනුත් අතේ අරගෙන කාටත් කලින් මෙස් එකේ පෝලිමට යනින් ගමන් ඉද්දි. 

අපේ ප්ලැටූන් කමාන්ඩර් හිටියෙ සුද්දෙක් වගේ හරි ලස්සන සර් කෙනෙක්. එයාත් අපි එක්කමයි කරක් ගහන්නෙ. එතුමා දැන් කර්නල් කෙනෙක් හිංද නම කියන්න යන්නෑ. 

අපි ඒ ගිහින් එද්දි  නවය හමාර දහය විතර වුනා. පැයක එකහමාරක විතර සටනක් ඒක. ඒ එද්දි බත් නෑ. ඒකට හේතුව අපි නැති හිංද එදා උදේට අනික් එවුන් බඩ පිරෙන්න කාල. අපේ ප්ලැටූන් එකම කඳවුරේ හිටියොත් දෙපාරක් නොඋයපු දවසක් නෑ. 

කතාවට යමුකො. 

අපේ හිටියා කෝප්‍රල් චන්ද්‍රලාල් බීඒ කියල කෙනෙක්. කට ඔිදිරිස් හිරමනයක් වගේ. මූන පොල් උලක් වගේ. ගමනත් නිකන් හරී මෙව්ව එකයි. මෙයා දුක්ගැනවිල්ලක් දාල පනාගොඩට අවුරුද්දකට ස්ථානමාරුවක් ඉල්ලල තිබුනෙ. අපේ සීඔි හරී හොඳයි. ඒ දවස්වල හිටපු සීසීත් හරී හොඳයි. 

මමයි අපේ ප්ලැටූන් එකේ කෝප්‍රල් කෙනෙකුයි වැය වෙච්චි පතුරම් වගයක් ආපහු ගබඩාවෙන් ගන්න ලියුම් වගයක් හදාගෙන ඒක සීඔීගේන් අත්සන් කරගන්න ඔෆීස් එකට ගිහින් හිටියෙ. 

සීසීත් අරයගෙ ලියුමත් එක්ක සීඔි ගාවට දාන්න එක්ක ඇවිත් හිටියෙ. අපිත් එතනමයි. 


සීඔි;

*මොකද්ද පුතා පස්නේහ්?

කෝප්‍රල් චන්ද්‍රලාල් විස්තරේ දිගෑරියා. 

*හරි ඔයා ක්ලියරන්ස් අරගෙන සතියකින් යන්න ලෑස්ති වෙන්න. සීඔි කිව්වා.

අපිටත් හෙන සතුටුයි. මොකද සීඔි ඔින ප්‍රශ්ණෙකට බලනවනෙ.

දැන් කෝප්‍රලුයි සීසීයි එළියට ආව. සර් මෙිල් එක බලන්න පටන් ගත්තා. ආයෙ ගැහුව බෙල් එක. සීසී දුවගෙන දුවගෙන ඇවිත් සීඔිගෙ ඔෆීස් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියා.

අපිත් එතන ඉන්න නිසා කියන දේවල් හිමීට ඒත් පැහැදිලිව ඇහෙනව.

සීඔි;

*අයිසේ සීසී.. තමුසෙට පිස්සුදෝයි.. මෙහෙම දවස ගානෙ එකා එකා ටාන්සර් ඉල්ලගෙන එන පලියට මා ගාවට දාන්නෙ, මුං ගියාම තමුසෙයි මමයිද මෙිකෙ රාජකාරි කරන්නෙ. පොඩ්ඩක් හිතනවා අයිසෙ. මොකක් හරි බොරුවක් කියල ඒක ශේප් කරනවා.... හ්ම් දැන් යනවා..

*සර්, ඒ එන ප්‍රශ්ණ සර් ගාවට දාන්නැතුව,මගෙ මට්ටමින් ඉවර කරන්න බෑනෙ. 

*හරි අයිසෙ හරි, තමුසෙ කියනව පනාගොඩින් අනුමැතිය ඉල්ලලා තියෙන්නෙ, ඒත් එහෙන් අනුමැතිය දෙන්නෑ කියනව, යනව යනව...

අපේ ඇස් උඩ ගියා. කෙල තලියක් ස්පොල්ලෙ ගියා. කට ඇදවුනා. තරහක් ආව. හැබැයි සර් කියන්නෙත් ඇත්ත. ඒ එන පලියට යැව්වොත් යුනිට් එකම මෙි වෙද්දි පනාගොඩ තමා.


මං කෝප්‍රල් හේරත්ගෙ මූන බැලුවා. පොර කට කොනින් හිනාවුනා.

"දෙන්නං දෙයාර්" තත්පර දහයක් ගියෙනෑ.. කාඩ් එකක් එතැනම නිර්මානය උනා. කාලෙ ගියා. නාට්ටි තරඟ පටන් ගත්තා.

ප්ලැටූන් සාජන් අපේ නාට්ටියෙ පොලිසියෙ එච්ඔිඅයි. කෝප්‍රල් බන්ඩාර ඇඩ්මින් බ්‍රාන්ච් එකේ ඔිඅයිසී. සංසෙ රත්නසිරි කොස්තාපල් කෑමදාස (උගේ කාඩ්එකත් ඒකම තමා. කෑමක් කිව්වොත් සිහියත් නැතිවෙලා ඇදන් වැටෙන්නෙ). මිනිහ තමා ට්‍රාන්සර් එක ඉල්ලන්නෙ. ආරච්චි එච්ඔිඅයිගෙ ඔිඩ්ලි කෝස්තාපල්. ආරච්චි තමා එච්ඔිඅයිට කේලම් කියන්නෙ,බෙලි කපන්නෙ, කකුලෙන් අදින්නෙ. ඇද කියන්නෙ. හැමදේකින්ම ලකුණු දාගන්නෙ.


නාට්ටිය පටන් ගත්තා;

එච්ඔිඅයි පුටුවෙ ඉඳගෙන ඉද්දි කෑමදාසත් ඉස්සර කරගෙන ඇඩ්මින් ඔිඅයිසී;

* ආරච්චි සර් ඉන්නවද?

*සර්නං ඉන්නව, ඒත් දැම්ම කාවවත් දාන්න එපා කිව්වා,මැඩම් එක්ක කෝල් එකක ඉන්නෙ. (පසු බිමින් ටීවී එකක රිමෝට් එකකින් එච්ඔිඅයි වයිෆ් එක්ක කතාකරන සද්දෙ ඇහෙනව.තනිකර වල් කතා ඒවනං.)

කෝල් එක අරං ඉවරයි.

*එස්කුස්මී සර්,ඇඩ්ඩිං ඔිඅයිසී ඇවිත්තින්නවා.එන්න කියන්නද?

*එන්ඩ කියනෝයි. මුංගෙන් බෙිරෙන්ඩ නෑනෙ.

දෙන්නම ඇතුල් වුනා. දැන් ඉන්ටවීව් එක. කෑම දාස කියන්නෙ තනිකර දෙපිට කැපෙන වල් කතා. ට්‍රාන්සර් එකට හේතුව ඇදලගත්තෙ බිරිඳව. එදා සීඔිගෙ ඔෆීස් එකේදි අපේ කනට ඇහුනු දේවල් පොලිසියේ වචනයි ජෝක් කෑලියි,වල් කතායි අරවයි මෙිවයි කලවම් කරල දාල ඉන්ටව් එක යන අතරේ,නරඹන්නන් සිනාසාගරයක ගිල්ලෙව්වා.

*අයිසේ කෑමදාස,තමුසෙට දැන් මුකද්ද වෙන්ඩෝනෙ?

*සර් පොලිස් හෙක්වාටරේට ටාන්සර්රෙකක් අවුරුද්දකට විතර,

එච්ඔිඅයි අතකුත් අහසට විසික්කරන ගමන්,

*දෙන්නං දෙයා, ඔහොමදෝයි මං ටාන්සර් දුන්නෙ? තමුසෙ හෙට යන්ඩ ලෑස්ති වෙනව. හෙටම. 


මගේ ආදරණීය යාලුවනි, අපිට නාට්ටිය අවසන් කරන්න උනේනෑ.

නාට්ටි තරඟෙ බල බලා හිටපු සීඔි පුටුවත් පෙරලගෙනම මොන මොනවාදෝ හිමීට මුමුණ මුමුණ නැගිටලා යන්ඩ ගියා. නරඹන්නන් සිනා සාගරයක ගිල්වමින් නාට්ටියේ ඉතුරු ටික ඉවරකලා.

හරියටම සතියකින් කෝප්‍රල් චන්ද්‍රලාල් පනාගොඩ ට්‍රාන්සර් එක ගියා. බත් ප්ලැටූන් එක මාසෙකට ආයෙ කිරාන් බලා පිටත්ව ගියා. ඒ ගිහින් මාසෙම එහෙ සෝදිසි මෙහෙයුම් ක්‍රියාන්විත කිහිපයක්ම සිදුකරන්න වුනා.

සීසී " සී "කන්ඩායමට ට්‍රාන්සර් ගිය අතර, සී කන්ඩායමෙි සාජන් මෙිජර්ට සීසී පත්වීම ලැබුනා. ඇජුටන් එදා හවසම ඩී කණ්ඩායම බලා  ගිය අතර ඩී කණ්ඩායමෙි ඔෆිසර් කෙනෙක් විධායක අධිකාරි තනතුරේ වැඩ භාරගත්තා.

අපිත් කිරාන් කඳවුරේ සතුටින් මාසයක්ම සෝදිසි මෙහෙයුම් ක්‍රියාන්විත සිදුකරල කල්කුඩා වලට ආපු ගමන් පහුවදා ඉඳන්ම ආයෙ කින්නිඅඩිත්, ප්‍රේතාලේ, කල්මාඩු, කුඹුරුමුල්ල යන කඳවුරුවල දිනපතා රාත්‍රිය ගත කරන්නත් සිදුවුනා.

එදායින් එදත් ආයෙ කවමදාකවත් නාට්ටි තරඟ තිබ්බෙත් නෑ, සීසීත් එයාගෙ ඒකකයට ට්‍රාන්සර් වෙලා යනකම්ම කවදාවත් අපිත් එක්ක කතා කලේත් නෑ. 


අපිත් ඒ අස්සෙ ගුටි නොකා බෙිරිලා හිටියෙ හරීම අමාරුවෙන්.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.26

Thursday, August 20, 2020

හොල්මන් දැකපු සීසී

 මෙි කතාව වෙන්නෙත් සුදන්දිරපුරම් වලදි.


මෙහෙ ඉන්න එක මට එක්තරා පිස්සුවක් වෙලා තිබුනෙ. ඒ කැලේ හිංද. මෙි කැලේ මාර ලස්සනයි. අපේ කඳවුරේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර ඇතුලතින් ලස්සන ඔයක් ගලා යනව. වතුර පට්ටම හීතලයි. මාර ලස්සනයි. මෙි කාලෙ කොටිත් නැති හිංද මං හිටපු ගමන් කොල්ලො දෙතුන් දෙනෙක් අඬගහගෙන යනව ඇවිදින්න. ඒ වසන්ත කාලයක්. කැලේ ඇතුලෙ පලු ගස්වල කහ සිවුරු වනල වගේ. කහම කහ පාටට පලු ඉදිල වැක්කෙරෙනව.

ඊලඟට මොර. අප්පොච්චියේ මොර කාපු කෑමනක්. මත්වෙනකං මොරයි පලුයි කාල කාල බඩත් උස්ස ගන්න බැරිවෙනකොට තමා කෑම්ප් එකට එන්නෙ. 

එකදවසක් අපි හවස දෙකට විතර ගියා සත්තු බලන්න. අර ඔයට වතුර බොන්න සත්තු එනව. අපිත් ගහක් උඩට නැගල හතරවටෙි බල බල ඉන්නකොට තමා හෙන ඌරු රංචුවක් ආවෙ. ඌරො විසිපහක් විතර හිටියා රංචුවෙ. ඊලඟට වැලි මුවෝ. හවස පහ විතර වෙද්දි ආවෙ තනි ගෝනෙක්. ඒකානං තනිකර කුලු මීමෙක් වගේ. අපිත් ඒ ඔක්කොම බල බල ඉඳල අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියල තමා ඇතුලට ආවෙ. ඒ ආවෙත් නිකන් නෙමෙි. පලු,මොර,දඹ කන්දක් කඩාගෙන ආවෙ. ඒව අතුපිටිනුයි උර පිටිනුයි ගෙනත් එල්ලුව රූම්එක ඉස්සරහ කණුවක,කන අයට කන්න.

පැයක් විතර යනකොට මං දැක්කා එකෙක් උරෙත් ලෙවකනව. මෙි දවස්වල තමා අපේ ඒකකයට අවුරුදු දාසයක් පිරීම නිමිත්තෙන් උත්සව සාලාවක් සංවිධානය කරල තිබුනෙ. ඒකෙ මට භූමිකා දෙකක් තිබුනා. එකක් ප්‍රභූ සම්මාන මුරය. ඒකට එන්නෙ වත්මන් අපේ හමුදාපති තුමා. අනික කඳවුරේ අලංකරණය. මෙිකට තිබ්බෙ සතියක එකහමාරක විතර කාලයක්.  ඔහොම ඇවිත් ඉන්නකොට තමා ආර්එස්එම් මට

 පණිවිඩයක් කිව්වෙ.

*සාජන් ආරච්චි,තව සතියයි තියෙන්නෙ.  හෙට ඉඳන්ම ඔයාගෙ  සම්මාන මුර වැඩෙි පුහුණුවීම් පටන් ගන්න.  


*අනේ සර්..මං අනිතුමා හම්බවෙන්න ලියුමක් දාල තියෙන්නෙ. ඒ වැඩෙත් මෙි වගේ කැපවීමෙන් කරල දෙන්නකො.


*හරි හරි බං. මං කිව්වනෙ.මං සීඔිට කියල ට්‍රාන්ස්ෆර් එක හදල දෙන්නං. ඉස්සෙල්ල මෙික ඉවරයක් කරහංකො.

මාත් හා කියල වැඩෙිට කැමති උනා. ඒ වෙද්දි මං සම්මාන මුර හයක්,හතක් විතර දීල තිබුනා හමුදාවෙ විවිධ තරාතිරන් වල අයට. මම මගේ සැරයන් රෑන්ක් එකේ සම්පූර්ණ කාලය තුල සම්මාන මුර දා හතක් කරල තියෙනව. මෙි සම්මාන මුරය කියන්නෙ හමුදාවෙ අධිකාරි නිළයකට ලබන්න පුලුවන් උපරිම උසස්ම උත්මාචාරය. එතනින් එහා එකක් නෑ. මෙිකට වත්මන් හමුදාපති තුමාම එන්න හේතුව මානුෂීය මෙහෙයුමෙිදී අපි දක්වපු රණ ශූරත්වයට කලගුණ සැලකීමක් වශයෙන්. 

මාත් එක්ක ඒකටම හරියන සෙට් එකක් හිටියා. ඒ අය එක්ක විතරයි මං සම්මාන මුර දෙන්නෙ. මෙි ඒරියා එකේ කොහේ හරි සම්මාන මුරයක් දෙනවනං ඒක භාරවෙලා තිබුනෙත් මට. මෙදත් මං ඒ කට්ටිය අරගෙන පුහුණුවීම් කරල නියමිත දවසෙ සුපිරියටම වැඩෙත් කලා. අනි තුමාටත් සතුටුයි. ආර්එස්එම්ටත් සතුටුයි.

පහුවදා අනි තුමාගෙ සියළු නිළ ඇමතීමෙි රැස්වීම. 

එතුමත් කියන්න ඔින දේවල් කියල දෙන්න ඔින උපදෙස් දීල අන්තිමට තියෙන අපේ ප්‍රශ්ණ ඇහුව.

මාත් දඩබඩස් ගාල නැගිට්ටා.

*ආ.. සාජන් ආරච්චිටත් පස්න තියෙනවනෙ. මෙච්චරකල් ආරච්චිගෙන්නෙ  අපිට පස්න තිබුනෙ. හා කියමුකො බලන්න.

*සර්, මං හමුදාවෙ මෙි අවුරුදු දාසයටම මෙි ඒකකය යටතේ ක්‍රියාන්විත රාජකාරියේමයි හිටියෙ. කවදාක්වත් කිසිම පස්නයක් දාලවත්,කේලං කියලවත්,බෙළි කපලවත් නෑ.

*ඔව්. කටයි වැඩයි සවුත්තු උනාට ප්‍රතිපත්ති හොඳයි කියල මං දන්නව.දැං මොකද්ද තමුන්ගෙ පස්නෙ.

*සර්, මෙිකත් කේලමක් නෙවෙයි. ඒකයි ප්‍රසිද්ධියෙම කියන්නෙ,මං මීට මාස එකහමාරකට විතර කලින් පුද්ගලික කාරනාවක් නිරවුල් කරගන්න  ඔබතුමාව හමුවෙන්න අවසර ඉල්ලල ලියුමක් දැම්මා. නමුත් මෙි වෙනකං බැරිවුනා. ඒක මං දැක්කා ඉදිරිපත්වත් නොකර සීසීගෙ ලාච්චුවෙ තියෙනව. අපි ගැටලුවක් ඉදිරිපත් කලාම ඒක සර් ගාවට නියමිත විදියට එන්නෑ. සීසීගෙ ලාච්චුවෙ තැන්පත් වෙනව. මෙි ඒකකය වෙනුවන් තමයි සර් අවුරුදු දාසයම දර දිය ඇද්දෙ. නමුත් සර්ට තියෙන පස්න ඉදිරිපත් කලාම නියම විදියට ඒක සර්ට ලැබෙන්නෑ.

*ඇත්තද සී සී මෙි කියන්නෙ. සීසී නැගිට්ටා.කියාගන්න දෙයක් නෑ. මං කලින් දවසෙත් සීසීගෙ ලාච්චුවෙ තිබ්බ මගේ ලියුම මංම බලල දෙන්නං බැටෙි කියල හිතාගෙන ඉඳල තමා මෙතන දිගෑරියෙ.

එතනින් සීසීට පැය බාගෙක විතර දේශනාවක් ලැබිල, අවසන් අවවාදත් දෙකතුනක්ම ලැබුනා.

*හරි,දැන් ආරච්චිට මොකද්ද වෙන්න ඔින.

*මට සර්ව හම්බවෙන්න ඔින සර්,පුද්ගලික කාරනාවක් තියෙනව නිරාකරණය කරගන්න.

එතනදිම සර් කිව්වා අද හවසම මාව සර් හමුවට දාන්න කියල. 

එදා හවස මෙස් එකේ මාර ගිනිවිජ්ජුම්බරයයි. සමහරු මට බනිනව. සමහරු හොඳ කියනව. ආර්එස්එම් මධ්‍යස්ථව බලා ඉන්නව. මට බනින උන්ට මං බනිනව. එකම වලියයි එතන. හැබැයි ඊට පස්සෙ සීඔි හම්බවෙන්න ලියුම් දානවනං ඒවා සීඔිට යොමුකරන්න ආර්එස්එම්ට භාරවුනා. ඒ මං කොල්ලො වෙනුවෙන් කරපු එක හොඳ වැඩක්. 


සීසී මාත් එක්ක සෑහෙන කාලෙක ඉඳල ඇරියස් පිට හිටියෙ. ඒ කියන්නෙ තරහයි. මං විතරක් නෙමෙි මෙි ඒකකයේ තුනෙන් දෙකක්ම පොර එක්ක තරහයි. 

ඒවා කොහොම උනත් පොර ටෝච් එලියෙන්වත් හවස හයෙන් හතෙන් පසු එලියට බහින කෙනෙක් නෙමෙයි. ඒ තරං හොල්මන්වලට බයයි. මොකද මෙි කඳවුරේ හොල්මනක් ඉන්නව කියන ආරංචිය අල්ලපු කඳවුරුවලට පවා ගිහින් තිබුනේ.ඇත්තටම මෙිකෙ හොල්මනක් නෑ. ආරච්චිලයි තව දෙතුන් දෙනෙකුයි එකතුවෙලා තමා ඔය කතාව පතුරුවා හැරියෙ. 

එක දවසක් මාව දාල තිබුන විසිට් එකක්. පාන්දර එකත් දෙකත් අතර. මං පට්ට නිදිමතේ හිටියෙ. ඒ නිදිමතේම විසිට් එකත් ගිහින් එන ගමන් මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන මහා කුඩුක්කේඩු අදහසක් ගලා ආවා. මාත් මෙස් එක කිට්ටුවට ඇවිත් දඩබඩ ගාල හයියෙන් හුස්ම ගන්න ගමන් බොරුවට දාඩියත් දාපු විදියට හොල්මනකින් බෙිරිලා ආව වීරත්වයක් මවා පාමින් ඊලඟ විසිට් එකේ හිටපු සාජන් ජයවර්ධනට කතා කලා. පොරත් බයවෙලාවගෙ එක පාරටම නැගිටලා 

*මොකද්ද යකෝ තොට වෙලා තියෙන්නෙ; ඇහුවා.

*ඒයි ජයා,මචං මං ටැංකිය ගාවින් එද්දි මොකෙක් හරි නාන සද්දයක් ඇහුනා. කව්ද නාන්නෙ බලන්න ටැංකිය ගාවට ගියාම මොකෙක්වත් නෑනෙ බං. 

*අප්පටසිරි ඉතින්.

*ආයෙ මගට එද්දි ගහක අත්තක් කපන සද්දයක් ඇහුනා. ඒත් මෙලෝ යකෙක් නෑ බං. මාත් බය බිරාන්ත හඬින් ජයාට කිව්වා. අපි මෙි කඳවුරට ඇවිත් මාස දෙකක් විතර වෙන්නෙ. රූස්ස කැලේ හිංද ගොඩක් අය තනියෙන් විසිට් යන්නෙ ගොඩක් පරිස්සමින්.

*තව පාරක් අම්මට සිරි. දැං උඹට අවුලක් උනාද?

*අවුලක්නං වුන්නෑ. ඒත් උඹත් කල්පනාවෙන් පලයන්. සද්ද ඇහුනොත් හොයන්න යන්නෙපා. පාඩුවෙ වරෙන්.

සාජන් ජයත් බෝම කල්පනාවෙන් විසිට් එක ගිහින් ඇවිත් ඊලඟට විසිට් ඉන්න එකාට ඒක ඩබල් කරල කියල. එහෙම තමා ඔික කටින් කට ගියෙ. සමහර දවස්වලට කෝප්‍රල්ල ඉන්න බිලට් එකේ වහලෙට වැලි ගහලත් තිබුනා. තව දවසක් හරියටම රෑ දොලහට නාන ටැංකියේ වතුර බාල්දිය උස්සල විසිකරන සද්දෙකුත් ඇහිල පොයින්ට් එකක හිටපු සෙන්ට්‍රියෙකුත් දුවල තිබුනා. මෙස් එකේ ඩිකිස් පෙරලෙන සද්දයක් ඇහිල සිවිල් කුක්ට සිහියත් නැතිවෙලා. ඒකටත් ප්‍රතිකාර කරා. හැබැයි ඔය සීන් වෙච්චි හැම දවසකම ඒ වෙලාවල් වලටම මාත් විසිට් හිටියා කියල කාටවත් ගානක් නෑ.


ඔහොම ඉද්දි තමා සීසී විසිට් එකක් යන වෙලාවක් සෙට්වුනේ.

එදා හරි අඳුරු දවසක්. තරු එලියවත් තිබුන්නෑ. සීසී උතුමා එකොලහට විතර නැගිටලා ගං බූට් දෙකත් දාගෙන කනා මැදිරි එලි ටෝච් එකත් ගහගෙන විසිට් එක යන්න ලෑස්තිවුනා. මෙික මං බල බල හිටපු අවස්ථාවක්. නිදිවගේ හිටියට නින්ද යවා ගන්නැතුව තනි ඇහෙන් බල බල හිටියෙ එයා කීයටද විසිට් එක යන්න පටන් ගන්නෙ කියල. 

පොර නැගිටල උගුරත් පාද පාදා පිටත්වුනා. මං දැක්කා ටෝච්එකේ එලිය වැඩි වෙන්න ඒකෙ මූනටත් දඩස් බඩස් ගාල මිටි මොලෝලා දෙක තුනක් අතාරිනවා. එයා ගියා. මං නැගිට්ටා. ටෝච් එක පත්තු කරල අතින් වහගත්තා. යන්තම් බිම පේන විදියට. ගියා කෙලින්ම ටැංකිය ගාවට. ගිහින් ඉඳගත්තා. තව විනාඩි දහයයි සීසී මෙතනින් යන්න ඔින. මෙි හරියෙ පොයින්ට් එකක්වත් නෑ. පොරගෙ ටෝච් එලියට බිමයි ඉස්සරහ තියෙන ගහයි විතරයි පේන්නෙ.


 ඊලඟට ටැංකිය තියෙන පාත් එකට අවතීර්ණ වුනා විතරයි මං වතුර බාල්දි තුනක් ටැංකියෙන් අරන් පුරුදු විදිහට ටිකක් එහාට ගිහින් උස්සලා කෙනෙක් නාන සද්දෙන් උස්සලා හැලුවා. එක පාරටම ටෝච් එලිය නැවතුනා. තවත් විනාඩි දෙකක් විතර ඉඳල ආයෙත් වතුර බාල්දියක් අරං පෙර පරිදිම හැලුවා. ඒත් සද්දයක් නෑ. ටෝච් එකත් පත්තු කරගෙනම බඩු නැවතිලා. මං දැක්කා එක පාරටම පොර නැමෙනව. ඒත් එක්කම හෙන වැලි අහුරක් ආව මං ඉන්න දිහාවට. ඊට පස්සෙ මං බාල්දිය ටැංකිය ගාව කොන්ක්‍රීට් ලෑල්ලට සද්දෙන්ම අතෑරල නැමිල නැමිල මගට ආව. 

ඒත් පොර එතනමයි. ඊලඟට මං බිම අතගාල අතගාල හොඳ වැලි අහුරක් අරගෙන උපරිම වැර දාල පොරගෙ පැත්තට නැතුව පොරගෙ ඉස්සරහට අතෑරියා. මට ඇහුනේ "බුදු අම්මෝ" කියන සද්දෙ විතරයි. ඊලඟට ටෝච් එකත් බිම අතෑරෙනව දැක්කා. මං හීන් සැරේ හොරෙන් හොරෙන් මෙස් එකට එද්දි දැක්කා සීසී ඉන්න තැනට ටෝච් එලි දෙකක් එනව. 

මං දඩ බඩ ගාල මෙස් එකට ඇවිත් ඇඳට වැටිල ඔලුවෙ ඉඳන් බෙඩ්සීට් එක පොරෝ ගත්තා. පැය භාගයක් විතර යද්දි අර ටෝච් එලි දෙක සීසීව මෙස් එකට ගෙනත් ඇරලලා යනව බලා උන්නා. එදා ඉඳන් තමා හවස හයෙන් පස්සෙ සීසී එලියට බැස්සෙ නැත්තෙ.

පහුවදා ඔික කඳවුරේම ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා. සීඔි ගෙ කනටත් ගියා. ඒ කියල තියෙන්නෙ ආර්එස්එම්.

සීඔි නං කිව්වලු කොල්ලන්ගෙ ඇඩ්මින් වැඩටික හරියට නොකරපුවම ඔය වගේ හොල්මන් පේනවා. ඒ හිංද ඇඩ්මින් ටික හරියට කලොත් හොල්මන් පේන එක නවතී කියල. ආර්එස්එම්මුත් ඒක අනුමත කරාලු. 


කාව තැම්බුවත් සීඔි ව තම්බන්න ආරච්චිගේ ලුනු ගොරක මදි.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.20



 


Sunday, August 16, 2020

කුරුණෑගල මල් ශාලාව

 මෙි කතාව වෙන්නෙ කුරුණෑගලදි. කුරුණෑගල තිබුනා ඒ දවස්වල උප ප්‍රදේශ මූලස්ථානය කියල එකක්. මං මෙතනට ආවෙ මෙි කඳවුරේ ලිපිකරුවෙක්ව හිටපු අපේ කෝප්‍රල් කෙනෙක් ඒකකයට මුදවා හරින්න. 


තමා අයත් ඒකකයෙන් පිට තැනකට සෙබළෙක් යනවනම් ඒ යන කෙනා කඳවුරු ප්‍රධානියා ගාවට දාල යන කෙනාගෙ විස්තර අහන එක හමුදාවෙ සම්ප්‍රදායක්. මාව මෙතනට එව්වෙ මගෙ කිසිම කැමැත්තක් නැතුව. ඒකට හේතුව උඩහ ඉද්දි ගත්තු ආතල් මෙිවාගෙ තැනක ගන්න බැරිවීම. අනික උතුර සහ නැගෙනහිර ඇඟට පත්තියන් වෙලා තිබුනු නිසා මෙිවගෙ නෝමල් පලාතක රාජකාරි ආහම ඒක ටිකක් මෙව්ව එකයි. හැදෙන්නත් කාලයක් යනව. අනික මෙතනට එවන්න තවත් ප්‍රධානතම හේතුවක් වුනේ මට මාසයකට සැරයක් හමුදා රෝහලේ සායනයකට සහභාගිවෙන්න තිබුනු නිසා උඩහ ඉඳන් එන්න තිබුනු අපහසුතාවයත් එක්ක "උඹෙි වැඩෙත් එහෙ ඉඳම්ම කරගනින්"කියල. ආවෙ අවුරුද්දකට. 


ඒත් මෙතනට ආපුදා ඉඳන් මට හිතුනෙම බොරුවක් කියල හරි ආපහු යන්නමයි. මං එද්දි ඇජුටන් කිව්වෙ "ආරච්චි, කුරුනෑගල කියන්නෙ කුරුණෑගල, නැතුව ඒක අම්පාර,ගාල්ල මාතර එහෙම නෙමෙි, ඒ හිංද කෑම්ප් එකට ගිය ගමන් එහෙට ගියා කියල අනිවාරෙං කෝල් එකක් දීපන්" කියල. එහෙම තමා මාව පිටත් කරල එව්වෙ. මොකද මාත් "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" කියල ඇජුටනුත් දන්න නිසා. කොළඹ යැව්වොත් මතුවෙන්නෙ යාපනෙන්.නැත්තං පුත්තලමෙන්.එහෙමත් නැත්තං අම්පාරෙන්,වව්නියාවෙන්. 


එක දවසක් කලින් හිටපු ඇජුටන් මාව එව්වා මින්නේරි. ඒ හදන්න දාපු පොටෝ කොපි මැෂින් එකක් පහුවදා එහෙන් අරගෙන කොන්වොයි එකේ දාගෙන කඳවුරට වරෙන් කියල. පොඩි සීන් එකක් වෙලා එදා රෑ මං ගතකලේ හබරණ පොලීසියේ කූඩුවක. අන්තිමෙි නිවාඩු හිටපු පොලොන්නරුවෙ ඔෆිසර් කෙනෙක් ඇවිත් තමා මාව එලියට ගත්තෙ.  පොලිස් පොතේනං නම ලියල තිබුන්නෑ ආමි කිව්ව හිංද. ඒත් එලියට එද්දි කිවිවෙ,

"බිව්වට කමහ් නෑ මනුස්සයෝ අපිත් බොනවා, ඒත් කොකු දාගන්ඩ යන්නෑ" කියල. 

කතාවට යමුකො. මං මෙහෙට ඇවිත් දැම්මා බ්‍රිගේඩියර් ඔබෙිසේකර සර් ගාවට. එයා තමා බ්‍රිගේඩ් කමාන්ඩර්.

*තමුන්ට ක්ලාක් පුලුවන්ද?

*කරල නං නෑ සර්. ඒත් අල්ල ගන්න පුලුවන්.

*තමුන්ට ඩ්‍රයිවින් පුලුවන්ද?

*ඩැයිවින්නං පුලුවන් සර්. ඒත් ආමි ලයිසන් නෑ සර්.

(හමුදාවෙ වාහන සිවිල් ලයිසන් එකෙන් එලවන්න බෑ)

*හරි එහෙනං තමුසෙට ස්ටෝර්මන් එක කරන්න පුලුවන්ද?

*ඒකනං අපහසුයි සර්. මං කරලම නෑ.ඒත් අල්ල ගන්න පුලුවන්.

*එතකොට පීආර්අයි(හමුදා ගිණුම් කටයුතු) පුලුවන්ද? එතනට ක්ලාක් කෙනෙක් අඩුයි

*ඒකනං මං කරලම නෑ සර්. ඒත් පුරුදු වෙන්න පුලුවන්.

*අයිසෙ එහෙනං තමුසෙම කියනවකො තමුසෙට පුලුවන් දේවල් ටික.

*මං අවුරුදු එකොලහම ෆීල්ඩ් එකේ හිටියෙ සර්. මෙහෙට එවුවෙත් ඇම්බුෂ් එකකින් ගලෝලා. මට එන්ඩ කිව්වා මං ආව මිසක් වෘත්තීයක් කරන්න තියෙනව කියල කිව්වෙ නෑ.

*අයිසෙ බී එම්, මෙන්න මෙි මනුස්සයව අරං ගිහින් වාහන එස්කෝර්ට් වත් දානව. ආපහු යවන එකත් පවු  කියල දඩාස් ගාල අතේ තිබ්බ පෑන මෙිසෙ උඩින් තිබ්බා.


බ්‍රිගේඩ් කමාන්ඩර් එහෙම කිව්වම මං ආසියාවෙ අහිංසකය වගේ එතුමගෙ මූන දිහා බලං හිටියා. සර් අහපු මෙි හැමදේම මට හොඳට පුලුවන්. කරල වැඩත් පෙන්නල තියෙනව. ඒත් මං හිතුවෙ අහන අහන එක බෑ කිව්වම ආපහු යවල වෙන කෙනෙක් ගෙන්න ගනී කියල. ඒත් වුනේ හිතුව දේ නෙමෙි.

ඒ ගිහින් ආපහු එද්දි බීඑම් සර්,

*තමුසෙ මොකටද ඔියි මෙහෙට ආවෙ.

*මාව එවුව.හමුදාවෙ බෑ කියන්න බෑනෙ සර්..ඉතින් මං ආව.


ආයෙ එතුමා වචනයක් කතාකලේ නෑ.

මං කුරුණෑගලට ආවෙ මාවිල් ආරු ක්‍රියාන්විතයට සහභාගිවෙලා ඒක ඉවරවෙලා. ඊට පස්සෙ පටන් ගත්තනෙ නැගෙනහිර මුදවාගැනීමෙි මහා ධාවන තරඟය. ඒකෙත් එස්එෆ්ලගෙ ඔපරේටර් කෙනෙක් විදියට සාම්පූර් දක්වා ගිහින් ඉද්දි තමා මට මෙහෙට එන්න වුනේ.

ඒකටත් හේතුව වුනේ ඉංදියාවෙ කෝස් එකකට යන්න ඉන්ටවීව් ගිහින් ඒකත් චොර වෙලා ඇවිත් ඉද්දි.


මෙි දවස්වල මෙහෙට අම්බානක හමුදාවෙ ඩෙත් බොඩි එනව. මට අදටත් හිතෙන විදියට කුරුණෑගල තමා වැඩිම ඩෙත් බොඩි තිබුනෙ. එස්එෆ්,කමාන්ඩෝ, පාබල හමුදා,සිංහ,ගැමුණු අම්බානකයි. ඒ අතර අපේ ඒකකයේ ඒවත් සෑහෙන්න තිබුනා. මොකද ඒ ඔපරේෂන් එකේ අපේ ඒකකයත් බැහැල වැඩ කලේ. ඒකකය කිව්වට කම්පැනි දෙකක්.

මෙහෙම තමන්ගෙ බලප්‍රදේශයට අයත් ඒරියා එකට බොඩි එකක් ආහම ඒකට කරන්න වැඩ ගොඩක් තියෙනව. ඒ අතරින් පලමුවෙන්ම යුනිෆෝම් පිට ෆියුනරල් එක කරන්න,පුහුණු පතුරම් ගන්න අවසරය ගන්න, හිටපු නිළයට වඩා ඉහල නිලයක් පලන්දන්න අවසරය ගන්න, ගන් කැරියර් එක(ඔයාලා දැකල ඇති සෙබළෙකුගේ මරණයකදි පෙට්ටිය තියන කාලතුවක්කුවක් වගේ තියන කරත්තය) කුන්ඩසාලෙන් ගෙන්න ගන්න, ෆියුනරල් එක පිළිවෙලින් ඊලඟ තියෙන රෙජිමෙින්තුවට භාර දෙන්න,වගේ මහ වැඩ ගොඩක්. ඒකට ලියුම් තුනක් ගහන්න තියෙනව. ඒ ලියුම් තුනම රයිටරයෙන් ගහල අත්සන් කරල ඒ ඒ මූලස්ථාන වලට යවන්න ඔින. මෙික දවාලක් රැයක් නැතුව විස්තර ආපු මොහොතෙම ඉදිරි කටයුතු ටික පටන් ගන්න ඔින. නැත්තං වෙලාවට බොඩි එකේ අවසන් කටයුතු කරන්න වෙලාව මදිවෙනව. 


 සෙබළෙකුගේ මරණයක් කිව්වම ඒක මුලු ගමටම ගාම්භීරත්වයක් වගේම අන්තිම ශෝකාන්තයක්. ඒ අතර මැද දෝලනය වන හැඟීම් කළමනාකරණය කරන්නෙ මෙි ලියුම් තුනෙන්. මෙිව ඉහල මූලස්ථාන එක්ක කරන ගණුදෙනුවක් නිසා හරියටම කෙරෙන්නත් ඔින. 

ඒ නිසා හැමදාම වගේ මෙිව ගැන හොයා බලන්න බීඑම් (බළසේනා මෙිජර්) කඳවුරේ නැවතුනා. 


එදා මහ අන්ධකාර දවසක්. වැහි බීරුම හතර අතේ. යන්තම් වැහිපොදකුත් කඩා වැටෙමින් තමා තිබුනෙ. මට මතක විදියට රෑ හඳ වෙනුවටත් හඳම තමා පායල තිබුනෙ. මං හිටියෙ එස්කෝර්ට් නොහොත් වාහන ආරක්ෂක මුරයේ. පුරුදු දේවල්නේ.

එදා ඩියුටි ක්ලාක් හිටියෙ 15 ගජබා කෝප්‍රල් කෙනෙක්. එයාට රයිටරේ බෑ. කම්පියුටරෙත් බෑ. එවකට මං ලාන්ස් කෝප්‍රල් කෙනෙක්.

වෙලාව ඇති රෑ එකොලහට විතර, 

මං මුරහලේ ඉඳන් නිදාගන්න ලෑස්තිවෙනකොටත් වෙනද වගේ නැතුව බ්‍රිගේඩ් ඔෆීස් එකේ ලයිට් දාල. වෙනද නවය, නවය හමාර වෙනකොට ලයිට් ඔීෆ් කරල ක්ලාක් මෙිසයක් උඩ නිදාගන්නව. ඒත් අද වෙනස්. මාත් මුරපතිට;


*සාජන් මං ඔෆීස් එකට පොඩ්ඩක් ගිහින් එන්නං, හදිස්සියක් උනොත් "ආරච්චෝ" කියල හූවක් තියන්ඩකො. තප්පරෙන් මෙතන ඈ.

*හරි හරි ටක්ගාල වරෙන් ඈ.

මාත් "හා" කියල ගියා ඔෆිස් එක පැත්තට මෙි වෙනස මොකද්ද බලන්න.

යද්දි කෝප්‍රල් නෞෂාඩ් ලියුම් වගයක් ගහනව. පොර  විනාඩියට එක අකුරයි ගහන්නෙ. රයිටරේ බෑ.පුලුවන් වුනත් සිංහල බෑ. කම්පියුටරෙත් බෑ. වැඩිය කියන්න යන්න බෑ කතාව දිග්ගැස්සෙන හිංද. නමුත් කෝප්‍රල් කෙනෙක් අපහසුතාවයට පත් කරන්න ලා/කෝ කෙනෙක් කෝප්‍රල් කෙනෙක් කැමති නෑ. හේතුව ළඟ ළඟ නිළයක් දරණ නිසා.

ඉතින් මාත් ඔිකට කැමතිවුනේ නෑ. එදා ඩෙත් බොඩි දහතුනක් ඇවිත් තිබුනා.

රිදීගම,වාරියපොල,කටුපොත,මූනමල් දෙනිය ආදී. (මට ඔය ටික තමා මතක) 

මෙිකට මහ විශාල කර්තෘව්‍යයක් කරන්න තිබුනත් ඒක මෙයාට හරියාකාරව බැහැ. මං විනාඩි දහයක් විතර බලං හිටියා. කරන ක්‍රමෙි සම්පූර්ණම වැරදී.

*කෝප්‍රල් නෞ.ඔික වැරදිනේ. ඔහොම නෙමෙි වෙන්න ඔින මෙහෙම. කියල මං ක්‍රමය පැහැදිලි කළා. පොරට ඒ වුනත් කරගන්න බෑ. (මං ඔිෆ් වෙලාවල්වලට ඔෆීස් එකට ගෙන්නනව වැඩ පුරුදු වෙන්න කියල. ඒ ඇවිත් මං කරන්නෙ මෙතන වැඩ කෙරෙන විදිය බලාගෙන ඉන්න එක)


*බුදු මෂං. උම්බට පුලුවන්නං යේක කල්ල දියංකෝ.

*කරන්න පුලුවන්.හැබැයි කොන්දේසියක් පිට.

*ෂරි,ෂර්.යේක ෂික්කිරේට්, විෂ්ෂ්කේට් මං ගේනවා. උම්බ කාල පීල වෙඩෙි කල්ල දියං.

*පිස්සුද කෝපල්. පගාව ගන්න. කොන්දේසිය මෙිකයි. මං විනාඩි පහෙන් ඔක්කොම කරල දෙන්නං. හැබැයි මෙි ඔෆීස් එකේ කාටවත්ම මං කරල දුන්න කියල කියන්න බෑ. ඇහුවොත් රෙජිමන්ටල් එකේ කා හරි ලව්වා කරගත්ත කියන්න ඔිනේ.ඔිකේ නං ඔිකේ.

*උම්බ දෙවියා මෂං. කෙල්ල දියං.මං මාරෙයාඩවත් කියම්නෑ.

මාත් රයිටරේට දාල තිබ්බ කොල හතර අල්ලල විසික්ක කලා. දාගත්තා කාබන් කොපි තුනක් එක්ක අලුත් හාෆ්ෂීට් කොල හතරක්. (අවශ්‍යතාවය අනුව)

පුටුව ඇදල ඉඳගත්තා. විනාඩි පහයි.වැඩෙි කම්ප්ලීට්.

ගත්තා අවශ්‍ය අවශ්‍ය තැන්වලට කෝල්. අරගෙන කිව්වා විස්තරේ.මෙහෙම කේස් එකක් තියෙනව,ෆැක්ස් එකේ බඩු එවනවා,එතකං වැඩෙි පටන් ගන්න කියල.

කෝප්‍රල් නෞෂාඩ් මට වඳින සයිස්.

මං වැඩෙි කරල දීල අවශ්‍ය තැන්වලට ලියුම ෆැක්ස් ටික යවන්න එයාට බාරදීල  කෝල් පවා දීල සනාථ කරගන්න කියල පල්ලෙහාට ආවෙ ආයෙ මොනා හරි කේස් එකක් ආවොත් රෑ කීයට උනත් කමක් නෑ "කතා කරන්න කෝප්‍රල්"කියල.

ඒත් එලිවෙනකං ආයෙ කේස් එකක්  ආවෙනෑ. ඒත් පහුවදා උදේ අටයි තිහට මං ඔිෆ් වෙලා බිලට් එකේ ඉද්දි මට කෝල් එකක්.

*ලා/කෝපල්ලාරච්චි සර්.

*කෝපල් මං ඉලංගසිංහ. බීඑම් ඇවිත් හම්බවෙන්න කිව්වා.

*හරි මචං. මං එන්නං. කියල පෝන් එක තියල මූන හෝදල කාල බීල මං ඔෆීස් එකට ගියා.

ඒ ගිය ගමන්ම සීසී, (7ශ්‍රීලපාහ සාජන් මෙිජර් හේරත් එච්එම්සීබී) 

*ආ..අඩෝ ආරච්චි.. මෙහෙ වරෙන් මෙහෙ වරෙන්..

*ගුම්මෝනිං සර්.

*ගුඩ් මෝනින් තමා උදේට කියන්නෙ.කව්ද මෙි ලියුම් ටික ගැහුවෙ.

(හද්දෙයියනේ..මං ඊයෙ රෑ කෝප්‍රල් නෞෂාඩ්ට ගහල දුන්නු ලියුං.)

*මං දන්නවැයි සර්. මං එස්කොට්නෙ හිටියෙ 

*බබෙක් වෙන්න එපා. ඩියුටි ක්ලාර්ක් නෞෂාඩ්ට රයිටරෙත් බෑ.කම්පියුටරෙත් බෑ. එහෙනං කව්ද මෙික ගැහුවෙ.

*මං දන්නවෑ සර්.ඒක කෝපල් නෞගෙන්නෙ ආන්න ඔින.

*ආං නෞ බීඑම් ළඟ.

මට හීං දාඩිය දැම්මා. චාර්ජ් ශීට් වල වගන්ති ටික මතක් වුනා. ⁣කටෙි කෙල හිංදවුනා. දනිස් දෙක "ඩර ඩර" ගාල ගැහෙන්න පටන් ගත්තා. තොල්පටි දෙක වෙිලුනා.

*බබෙක් වෙන්න එපා බං. ඇත්ත කියහං. උඹ බොරු කිව්වොත් මං දැං උඹෙි යුනිට් එකට කෝල් එකක් අරං උඹ ගැන අහනව. ඊට කලින් ඇත්ත කියහං.

*සර්.මං තමා ගහල දුන්නෙ. පව් සර්. සර්ලත් අහිංසකයෙක්නෙ ඩියුටි දාල ගිහින් තියෙන්නෙ.

*ආන්න රයිට්. මං මෙි වෙනකොටත් උඹෙි යුනිට් එකේ සීසීට කතා කරල ඉන්නෙ. උඹ ගැන ඔක්කෝම විස්තරේ කිව්වා. ලේස්ති වෙයන් මෙි සබ්ජෙක්ට් එක කරන්න. එක එක වාහන වල හිඟන්නෙක් වගේ නැග නැග ඉස්කොට් යන් නැතුව.

මං සද්ද නැතුව හිටියා. ඒත් මට ඒ සබ්ජෙක්ට් එක කරන්න නෙමෙි ලැබුනෙ. බොරු කිව්වට දඬුවමක්. ඒ කුරුණෑගල ඉහල නමක් තියෙන මල්ශාලාවකට ස්ථාන මාරුවක්. මෙතන මගේ රාජකාරිය වුනේ උඩහින් එන අපේ බොඩි අවසන් කටයුතු සඳහා කඩිනමින් සූදානම් කරවීම.


වයඔ පලාතට අයත් බොඩි එන්නෙ මෙි මල්ශාලාවට. අපි ඒ හැම බොඩි එකක්ම චෙක් කරල ඒව අරන් එන අපේ අයගෙන් භාර අරගෙන එම්බාම් ආදී කටයුතු වලට භාර දෙන්න ඔින. නිළඇඳුම් අන්දවල පදක්කම් පැලඳවීම කරල ඒවා පෙට්ටි වලට දාල ෆියුනරල් එක කරන ඒකකයෙන් ආහම එයාලට භාර දෙන්න ඔින. මෙි බොඩි හැම එකක්ම එකම විදියට එන්නෑ. සමහරුන්ගේ මූනූවල පලු නෑ. ඇඟේ කොටස් නෑ. සමහරුන්ට වෙඩි වැදිල විතරයි. තව සමහරු බ්ලාස්ට් වලට අහුවෙලා. එහෙම එන බොඩිස් පුලුවන්තරම් ලඟම ඥාතීන්ට  අවසාන අවස්ථාවෙ මුහුන බලන්න පුලුවන් විදියට සැකසීම අපේ වගකීමක්. නමුත් මෙතනට එන මරණ ප්‍රමාණය වැඩි නිසා දෙන සකස් කරන බුවා කරන්නෙ මුහුන ටිකක් වැඩිපුර තුවාල වෙලා තිබුනොත් පෙට්ටිය සීල් කරන එක. මෙිකට මං කීප පාරක්ම කොක්ක දැම්මත් පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් පෙට්ටිය සීල්. 

ඒ වගේ බොඩීස් හතරක් ආපු දවසක තමා මෙි කතාව වුනේ.

ආටි හෝ මෝටාර් වැදිල මුහුන ගොඩක්ම තුවාල වුනු කොල්ලෙක් ගෙනාවා. දැන් ඇතුලෙ කතාව පෙට්ටිය සීල් කරන්න.වෙලාව පාන්දර දෙකයි. මමත් මගේ තනියට ඉන්න යාලුවත් වැඩෙිට කැමතිවුනේම නෑ. මූ කියන්නෙම මුහුන හදන්න බෑ කියලමයි. අපි දෙන්නම කියන්නෙ පුලුවන් කියලමයි. ඔික වචන හුවමාරුවක් දක්වා දුරදිග ගියාම මට මළ පැන්නා. එක බොඩි එකක් හදන්න එපා කිව්වා. අමාත්‍යාංශෙටම කතා කරල කියනව කිව්වා. පොර කිව්වා පුලුවන් දෙයක් කරන්න කියලා. කොච්චර කිව්වත් පොර අහන්නෑ. පස්සෙ බැරිම තැන කලමනාකරුට කතාකලා.


මිනිහ කිව්වෙත් තව එන්න එන්න බොඩිස් වැඩිවෙනව.ඒ හිංද ඒක කරන්න අමාරුයි. පුලුවන් විදියකට කරන්න සපෝර්ට් එකක් දෙන්න කියල. නමුත් මායි අනිකයි පරාජය භාරගන්න කැමති නෑ. කරන්න වෙන දේකුත් නෑ. මෙි වෙලාවෙ මට මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන ඇඟේ හීගඩු පිපීගෙන ගණදෙවි නුවණ පහල වීගෙන ආව. ඇඟෙත් විදිල්ලක් කෙටුව වගේ මෙව්ව එකක් උනා. 


කලමනාකරුට යන්තමින් ඇහෙන්න මම කඳවුරට කෝල් එකක් ගත්තා.


*ගුඩ් මෝනින් කෝප්‍රල්. මං ලාකෝපල්ලාරච්චි. කෝප්‍රල් මට පනාගොඩ කෑම්ප් එකේ නම්බරේ ටිකක්ට දෙන්නකෝ.

පොර කිව්ව නම්බරේ මම අනික් එක්කෙනාගෙ පෝන් එක අරං ගහ ගත්තා.

*ගුඩ්මෝනින් උප්‍රමු කුරුණෑගලින් ලාකෝවාරච්චි. මට බ්‍රිගේඩියර් ඒකිව් ගෙ නම්බර් එක දෙන්නකො.

එතනින් ඒ සර්ගෙන් අහන් නැතුව නම්බරේ දෙන්න බෑ කිව්වා. මං ඊට පස්සෙ කෙලින්ම එතනින්ම ආරක්ෂක ලේකම්(වත්මන් ජනාධිපති තුමා) ගේ නම්බරේ ඉල්ලගෙන ගත්තා කෝල් එකක්.

*ගුඩ්මෝනින් සර් මං ලාකෝ ආරච්චි, කව්ද සර්.  ආ..එහෙමද සර්. හරි සර් මං හෙට උදේ අටෙන් පස්සෙ කතාකරන්නම් සර්. 

*මොකද්ද කෝප්‍රල් ප්‍රශ්ණය. දුරකතනෙ එහාපැත්තෙන් ඇහුනා.

*ආ..සර්.මං ඉන්නෙ අහවල් මල්ශාලාවෙ කුරුණෑගල. කම්ප්ලේන් එකක් කරන්න ගත්තෙ.

*ඒක මට විසඳන්න පුලුවන් දෙයක්ද. කාටද කියන්න ඔින.

*නෑ සර් මෙික ආරක්ෂක ලේකම් තුමාටම කියන්න ඔින දෙයක් සර්. මං උදේ කෝල් එකක් ගන්නං. ගුඩ් ඩෙි සර්.


 මං ඒ ඇමතුම විසන්දි කරල යාලුව දිහා හැරෙනකොට මං දැක්ක මල්ශා⁣ලාවෙ කලමනාකරුගේ ඇස් විසල් වෙලා හීන් දාඩිය දාල කටත් බාගෙට ඇරිල තියෙනව. මං ඇතුලට එන්න හදද්දි පොර;

*බුදු අම්මෙි මහත්තයෝ,ඔිකට ඔච්චර දුර යන්න දෙයක් නෑනෙ. අපි බලමු කරන්න පුලුවන් මොනාද කියල. ආයෙ කතා කරන්න ඔින නෑ කාටවත් හොඳේද?

*ඒක ඉතින් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වෙ නෑනෙ.කිව්වනං මගේ බිලත් ඉතුරුනේ. දැං හෙට කතාකරන්නම වෙනව. 

*එපා එපා ඔින නෑ. අපි කෝම හරි හදමු.

*හරි. ඔයා කියනවනං කමක් නෑ.හැබැයි හෙට දොලහ වෙද්දි බොඩි ටිකත් ඔින පුලුවන්ද? මෙතන ආයෙ සීල් බීල් කතා නෑ. අපිට ඔින විදියට වැඩෙි වෙන්න ඔින. බැයිනං කියන්න මං ආරක්ෂක ලේකම්ට කියල වෙන මල්ශාලාවක් බුක් කරගන්නං. 


*පුලුවන්.අනිවාරයෙන්ම පුලුවන්.

මාත් සද්ද නැතුව එයාලට වැඩෙි කරන්න පටන් ගන්න කියල මට ඔිනම විදියට එතන ඉඳන් හැමදාම වැඩ ටික කරගත්තා. 


ඒත් පුදුමෙි කියන්නෙ මං කඳවුරට කතාකලෙත් නෑ, පනාගොඩට කතාකලෙත් නෑ, ආරක්ෂක ලේකම්ට කතාකලෙත් නෑ.පෝන්එකේ සිම් දෙකම ඔිෆ් කරල මං මගෙම නම්බරේට රිංකරල මං, මං එක්කම කතාකලා. හිතුව මදි ආරච්චි මල්ලි එක්ක හැප්පෙන්ඩ.

එදා ඉදන් මෙතනට එන බොඩි ඔක්කෝම සුපිරියටම හදලා,හදන්න බැරි එව්වත් හදල අන්තිම මොහොතෙත් මැරුනු එක්කෙනාගෙ ලඟම ඥාතීන්ට මුහුන බලන්න මං අවස්ථාව හදල දුන්නා. හැබැයි ඒ කේස් එක ගියපු සහෝදරයගෙ බොඩි එක මකුලාගම එකක්. මූනමල්දෙනිය කටුපොත පාරේ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.16

Wednesday, August 12, 2020

ගුලිකාලා වෙච්චි දෙයක්

 මෙි කතාව වෙන්නෙ මං කල්කුඩා ඉද්දි.

කල්කුඩා තියෙන්නෙ පාසිකුඩාවලට චුට්ටක් මෙහා ඒ යන පාරෙ.


මෙි ඒරියා එකේ හැම තැනම තියෙන්නෙ පොල්වතු. පොල් ගස් කොච්චරක් තිබුනත් ඒවගෙ හැදෙන්නෙම අඹ සයිස් පොඩි ගෙඩි. තිබහ යන්න කුරුම්බයක් හෙම බොනවනං ඒවැයිං ගෙඩි හැත්තැපහක් අසූවක්වත් බොන්න ඔින. නමුත් මෙි ගස්වලට අත තැබීම හෝ කුරුම්බයක් කඩාගෙන පානය කිරීමට අදහස් කිරීම පවා ඒ කාලෙ අපේ හිටපු සීඔි තහනම් කරල තිබුනෙ. ඒත් අපි කුරුම්බා නොබීපු දවසක් නෑ. ඊලඟට තිබුනෙ තල්ගස්. තල් කුරුම්බා හැදිල පැහිල වල්ල පිටින් බිමට නැමිල ඒ ගස් යටින් යද්දි "හායි" කියනව. ඒත් එයාලා අපිත් එක්ක කොච්චර හිනාවුනත් ගොඩක් අය  එයාලට අත තියන්න යන්නෑ. ඒකට හේතුව නැග්ගොත් බහින්න වෙන්නෙ තුවාල එක්ක නිසා. ඒත් මට හීරීමක්වත් නැතුව ගහට නැගල තල් කුරුම්බ වල්ලක් උනත් කපාගෙන අතින් අරන් කිසිම සද්දයක් නැතුව නිරුපද්‍රිතව බිමට බැසීමෙි අවුරුදු විස්සක පලපුරුද්දක් තියෙනව. ආයෙ තල් රා. ඒකත් එහෙමයි. ගහ යට ඔත්තු බලන අපේ එකාටවත් සද්දෙ ඇහෙන් නැතිවෙන්න ගහට නැගල රා මුට්ටියම අරන් බිමට බැහීමෙි මහා කාලකන්නි පලපුරුද්දක් මට තිබුනා.

හොරකම උනත් හොරකමක් විදියට කිරීම එක්තරා කලාවක් නං මං එහි පිකාසෝ කෙනෙක්. මට පුලුවන් කාගෙ උනත් කලිසම ඇඳන් ඉද්දි ජොකා ගලෝලා අතට දෙන්න. බූට් දෙක දාං ඉද්දි මෙිස් දෙකත් ගලවන්න පුලුවන්. එවා උපතෙන් පිහිටපුවා. 

 මෙහෙ තියෙන්නෙ තනිකර වැල්ල. ටිකක් එහා පැත්තෙන් කල්කුඩා මූද.


හැබැයි අපිට ඔය දේවල් කොච්චර තහනම් කරල තිබුනත් නොකලෙත් ඒ අණ ක්‍රියාත්මක කිරීම විතරයි. මෙි ඒරියා එකේ තියෙනව හෙන වලව්වක්. වලව්වක් කිව්වට දෙමළ වලව්වක්. මයෙ අප්පේ බලන්ඩෙපැයි ඒ වත්තෙ තියෙන පල දරපු ගස්වල හැදිල තියෙන දේවල්. අඹ,පේර,තල්, උක්ගස් කෙසෙල් ගස් දොඩම් දෙහි හෙන ගොඩයි. අන්නාසි ගසුත් පනහක් හැටක් තිබුනා. ආයෙ කොස්.


අඹ කිව්වට වර්ග කිහිපයකින්ම අඹ ගස් එහෙ තිබුනා. එක අඹ ගහක් තියෙනව ගෙඩි හැදිච්චි කාලෙට වොට් සීයෙ බල්බ් පත්තු කරල වගේ. කහම කහ පාටයි. හැම තිසසෙම හිනාවෙච්චි ගමන්. ඉතින් ඔිව දිහා බල බල ඔතනින් මාරුවෙනව කියන්නෙ පිංවතුනි කරන්ඩ පුලුවන් දෙයක් නෙමෙි.කරන්ඩ බැරි දෙයක්. අපි රෑට එළියට ගියාම ඔය අඹ ගහෙන් අඹ නොකාපු දවසක් නෑ. 

හිටපු ගමන් අපි කරිඤ්ඤං ගහන්නෙත් ඔය වත්තෙන් අහුවෙන දේවල් දාල, ඔය වත්තෙන්ම අහුලගන්න වෙිලිච්චි පොල්වල වතුර වලින්. 

මෙහෙ තල් ඉදිල වැටෙන කාලෙට එක බංකරේක ඉන්න බෑ, ඔළුව ලොකු නයි කූඹි පිරිල. ඒ කාලෙ නිවාඩුත් නෑනෙ. ඉතින් කූඹි වකාරෙ. යන්තං කොහට්ට හරි හේත්තු වුනානං ආමට් කාර් වගේ කෙලගෙන ඇවිත්  විරිත්තගෙන කෙලින්නෙ. දැවිල්ලත් ඒ වගේමයි. අපිත් ඒ කූඹි කොච්චර පිරුනත් හැමදාම දවාලට තල්ගෙඩි දෙකතුනක් අහුලන් ගිහින් පිකට් පොයින්ට් එකකට වෙලා ආමි එකෙන් ඉෂූ කරපු වතුර බෝතලේ තියෙන එනමල් කෝප්ප ටික එකතු කරගෙන රුපියල් දහයක සීනිත් ගෙනත් තල් කිරි හදල බොනවම තමා. ඒවටත් පින තියෙන්නම ඔින. 


එදා මං පිකට් හිටියෙ. ඉන්චාජ් හිටියෙ විමල්රාජ් කියල ෆස්ට් බැච් එකේ බුවෙක්. පොරගෙ නම දෙමලවගෙ උනාට සිංහල. ඒ වුනත් ඌට බැරිත් සිංහලමයි. කතා කරන්නෙම අන්ඩර දෙමල. සිංහල තේරෙන්නෙම නෑ. කරන්නෙම එපා කියන වැඩමයි. පොරත් අර කලින් කතාවක කිව්ව කෝපල් ඇන්ටනී වගේ හෙන ගායකයෙක්. ගායකයෙක් කිව්වට ගීත නෙමෙි. තනිකර මූ කියන්නෙ කුනුහරප කවි. ඒ කවි තුනක් හතරක් ඇහුවනං අපිටත් ළමයි හම්බවෙන සයිස් එකක් තියෙන්නෙ. ඒ කවි ⁣ කොච්චර සෝක්ද කියනවනං මට තාමත් ඒවගෙ කවි කීපයක් කට පාඩං. ඒ තරං මුගේ කවි හෙන වල්. කන්ඩ කිව්වොත් මයෙ අප්පට කලු ගල්,වැලි එහෙමත් නැත්තං බෝක්කුවක් පාලමක් උනත් කමක් නෑ දිරවනවනං. බොන්ඩ කිව්වොත් හබරල කොල හරි කමහ්නෑ ⁣කුඩුකරල ඔතල බොන්න තියෙනවනං.


 ඒ දවස්වල තිබුනා මෙහෙ කඩවල්වල අංජූරුවා ටොපි කියල ජාතියක්. ඒකට අපේ එවුං කොච්චර ඇබිබැහිවෙලා තියෙනවද කිව්වොත් පැනඩෝල් පෙත්තක් ගන්න කියල කඩෙිකට ගියත් ඉස්සෙල්ලම මුදලාලිල අහන්නෙ"ශේර් අංජූරුවා ටොප්පිද?" කියල. අපේ ඔිසී අම්බානක සිගරට් බොනව. ඔහොම එක දවසක් කල්කුඩා පොලිසිය ගාව කඩෙිට සිගරට් පැකට් එකක් ගන්න ගියාම මුදලාලි අහල"ශේර් අංජූරුවා ටොප්පිත් ඔිනද?" කියල. මෙයාට මෙික තේරුන් නැතිවුනත් ටොපි කියන වචනෙ තේරුන හිංද "හා එහෙනං දෙන්ඩකො" කියල. මෙිවට අංජූරුව ටොපි කියල නම දාල තියෙන්නෙත් අපේම කස්ටිය තමා. මෙිවට දෙමලෙන් කියන්නෙ වෙන නමක්. ඉතින්  මිනිහත් ඉතුරු රුපියල් දහයට ටොපි දෙකක්ම දීල. මෙිව දැක්ක ගමන් සර් දැනගෙන බඩුම තමා කියල. පස්සෙ ඒ මුදලාලිගෙන් අහල;

*මුදලාලි, මෙිවා අපේ අනික් අයත් අරං යනවද?

*ඔිම් ශර්. යේක කන්නෙම ආමි, පොලිෂ් ⁣ෂර්ලම තමා.බෙිරෙන්ඩ බෙි ශර්. (කල්කුඩා පොලිසිය තිබුනෙත් අපේ කෑම්ප් එක ගාවමයි. යකෝ උන් මෙිව කාල කොහොම දඩ ගැහුවද දන්නැ.)

අපේ සර්රුත් ඒ දෙක සාක්කුවෙි දාගෙන ඇවිත් රහ බලන්න ඇතිනෙ. පහුවදා ඉඳල එයාමලු යන්නෙ ඒ කඩෙිට සිගරට් ගේන්න. හැමදාම රුපියල් පහක් දහයක් ඉතුරුවෙන විදියටලු සිගරට් ගන්නෙ.


ඒ ටොපි ඇහිත් එසේ මෙසේ එව්ව ජාතියක් නෙමෙි. ඔතල එන කවරෙ කහ පාටයි. ඒක කඩල ටොපිය කටෙි දාගෙන දිවෙන් උඩු තල්ලට කරල අලෝපුවම ටික වෙලාවක් යද්දි අප්පාහ්.. පනපිටින් දියියලෝකෙ ගියාවගෙ පීලිං එකක් තමා දැනෙන්නෙ. සීනි ටිකක් වැඩිකරල උකුවට තල් කිරි පාරකුත් ගැහුවනං.. දියිය ලෝක ඩබොල් ඩබොල් පේන්නෙ. මෙිව අපිට කොච්චර ආතල් දුන්නත් එකක මිල රුපියල් පහයි. ඒකයි අංජූරුවා කියන්නෙ. සිංහලෙන් කියනවනං පහේ ටොපි. එක දවසක් අපි ගියා කොමළිත් අරන් මින්නේරි. ඒ ගිහින් එද්දි  දවල්ට කෑවෙ පරාක්‍රම සමුද්‍රය ගාව බැම්ම උඩ. මයෙ අප්පේ එතන ඉන්න රිලව් කැටිය.උන් අපිට කන්න දුන්නෙම නෑ කියන්ඩලාකො. මං පිටිපස්සෙන් ආපු රිලවෙක් බය කරන්න ගිහින් ඉස්සරහ බලද්දි බත් එකේ තිබ්බ බිත්තරේ නෑ. ඒක ඇස් පනාපිටම රිලවෙක් අරන් දුවනව. ඊට පස්සෙ බිත්තරේට තිබ්බ ආසාව අත්හැරල වටපිට බලන්නැතුව කෑම එක කාල අතත් හොදගෙන ඉද්දි මට මහා කාලකන්නි අදහසක් ආව. ඒ රිලවුන්ගෙන් සූටි ආතල් එකක් ගන්න.වැඩි දුර හිතුවෙ නෑ. සිගරට් ගේන්න කඩෙිකට ගිහින් එද්දි අරං ආව අංජූරුව දහයක්. ගෙනත් කවරෙ කඩල බාගෙ බාගෙ දුන්නා රිලවුන්ට කාපියව් කියල. (පව් වැඩෙි තමා.ඒත් ඔිව ඒ වෙලාවෙ හිතුනෙ නෑ). ඒක කටෙි දාගෙන දුවපු රිලව්, ටික වෙලා⁣වක් යද්දි කසිප්පු බෝතලයක් බීපු මයිකල් මාම වගෙ අලුව කප කප තමා යන්නෙ. සමහරු ඇවිදන් යද්දි වැටෙනව. සමහරු ගස්වල අතු බදාගෙන කෙඳිරි ගානව. එකෙක් දෙන්නෙක් උං උංගෙම නැටි හපාගන්නව. සමහරු පෝඩ්ඩෝල් බඩ පිනුම් කොන්ඩිත්තං ගහනව. ඒ අස්සෙත් එකෙක් කල්බලනව. තව එකෙක් පිස්සුවෙන් වාගෙ ඇවිත් තව බඩු නැද්ද අහනව. උං දුන්නු ආතල් එක අපි පැය දෙකක් විතර බලං හිටියා.


එදත් අපි හතර දෙනා මෙි අංජූරුව ටොපි ගෙන්න ගත්තෙ ටිකක් දුර තිබ්බ කඩෙිකින්. ඒ පාරෙ යන අංකල් කෙනෙක්ට කියල. මිනිහත් ටොපි දහයක් ගෙනත් දුන්නා. අපි සල්ලි දීල තමා මෙිව ගෙන්න ගන්නෙ. පොරත් පහයි අටෙි ගොසරි කවරෙක දාගෙන ඇවිත් මෙි ටික  අතට දුන්නම කළගුණ සැලකීමක් වශයෙන් පොරටත්  එකක් දුන්නා. පොරත් ඒක දිවෙන් උඩු හක්කට තියල අලෝගෙන ටික වෙලාවක් කතා කර කර ඉඳල ගියා. ඊට පස්සෙ අපිත් සමානුපාතික කමෙිට එක එක කටෙි දාගෙන දිවෙන් උඩු තල්ලට තියල අලෝගෙන ගියා පොයින්ට් එක දාන්න ඔින තැනට. ටිකක් වෙලා යද්දි මයෙ අප්පේ.....කියන්නත් හරි මෙව්ව එකයි..වළාකුළු එන්නෙ අපිවත් යට කරන් යන්න වගේ. මාත් එතකොට ඔලුව පාත් කරලා ඒ වලාකුලු වලට නිදැල්ලෙ පාවෙලා යන්න ඉඩ අරිනවා. පොල් ගස් තල් ගස් එක පාරටම මහත් වෙලා ආයෙ එකපාටම කෙට්ටු වෙලා අපිට විරිත්තනව වගේ පේනවා. පාරෙ ගියපු තනිකඩ දඩ සයිස් හොරි බල්ලෙක් මට "ගුඩ්බෝනින් මාමෙි" කිව්වා. මාත් ඌට ගුඩ් මෝනින් කියල උඩ බලපුවම හෙන තල්වල්ලක් එහෙක් මෙහෙක් කර කර හිනාවෙනවා.

විමල්රාජ්;

*ගහමුද බං සීනි ටිකක් වැඩිකරල තල්කිරි එකක්.

*ඔව්වනං මොනාද අනේ. ගහනවනං ගහමු.

*එහෙනං අහුලං වරෙල්ලකො..

මායි තව එකෙකුයි ගියා තල් අහුලන්න. ගිහිං ගස් කීපයක් වටෙි කරක් ගහල ගහල හොඳ වැයිං තල් ගෙඩි තුනක් අහුලගෙන පොයින්ට් එකට ආව. ඇවිත් හැදුව උකුවට සුදුවට පොල්කිරිත් දාල හොඳ තල්කිරි එකක්. පොල්කිරි දාන්නෑ මෙිවට. ඒත් අපි හිටපු තැන පොල් ගෙඩිත් දෙක තුනක් වැටිල තිබ්බ එකේ "නිකන් තියෙන පොල්නෙ බං" කියල ගෙඩියක්ම ගාල හෝදල දැම්ම. දාල පොඩි ගල් තුනක් අහුලං ලිපක් වගේ එකක් හදල මෙස්ටින් එකේ හොඳට රත්කරා. අපිත් එහෙම හදල බීල බැලුවෙ මෙහෙම බිව්වොත් මක් වෙයිද කියල බලන්න.

දෙයියනේ කියල කිසි අවුලක් නෑ. පැය බාගයක් යනකොට මගේ යටි බඩ පදේසෙන් "ඩර්ර්ර්ර්ප්..ප්හ්.. ගාගෙන එන කෙඳිරිල්ල කටින් "අර්ර්ර්ක්" ගාල පිටවෙනව. ඒහෙම වෙන්න වෙන්න මට හිනා යන්න පටන් ගත්තා. 

කොහොම හරි තව පැය බාගයක් යනකොට බඩ කනපිට හැරෙන්න වගේ ආවා. ඉවසන්නම බැරි තැන බොන්න ගෙනාපු වතුර බෝතලේකුත් අරං රිංගුව පඳුරක් පල්ලට. ඒ ගිහින් එද්දි මගදිම ඇහුනා හෙන සද්දෙට "ඩෝඕඕඕහ්" ගාල පඩයක් අරින සද්දයක්. ඒ විමල් රාජ්. මං දැක්කා ඊලඟට පොර වතුර බෝතලයක් අරන් අනික් පැත්තෙ තිබ්බ පඳුරක් පල්ලට රිංගනව. ඔහොම හවස හතර විතර වෙද්දි අපි එකා හතර පස් පාර බැගින් පඳුරු පල්ලෙ රිංගල තිබුනා.තව යන්න උනානං එච්චර පඳුරුත් නෑ මෙි හරියෙ.


 මෙි පිකට් එක අකුලද්දි කඳවුරේ ඉන්න නිළධාරියෙක් බඩියෙකුත් එක්ක එනවා පාර දිගේ. එයා කීයට හරි ආහම තමා පිකට් එක ඇතුලට යන්නෙ. එදා ආවෙ ඔිසී.

ඒ වෙද්දි අපි ටොපි දෙක දෙක කාල හිටියෙ. ඔිසී ඇවිත් පිකට් ඉන්න අය පාරට එන්න කිව්වම විමල් රාජ් මහ හයියෙන් හිනාවුනා. ඒක දැකපු ලඟ හිටපු එකා ඊටත් වඩා හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. මෙි හොල්මන් ටික දැක්කම මට ඊටත් වඩා හයියෙන් හිනාගියා. දැං අපි හිනාවෙනව. වැඩෙි මොකද්ද කියල තේරිච්චි ඔිසී අපිට බනිනව. ඒ බනින්න බනින්න අපි හිනා වෙනව. බනින්න බනින්න අපි හිනා වෙනව. අපේ ඇස් ගෙඩි හීං වෙලා තිබ්බෙ. අන්තිබෙි ඔිසී අමුතිත්ත කුණු හරප වැලක් කිව්වම හිනාව ටිකක් අඩුවුනත්  නැවතුන්නෑ. ඒත් "තොපිට පිස්සුද යකුනේ හිනාවෙන්නෙ" කියල ඔිසී නිකන්වත් ඇහුවෙනෑ. අපි හතර දෙනාව ගෙනත් දැම්මා ශෙල් එකේ. අපි ශෙල් එක ඇතුලෙ ඉඳන් ගාඩ් කමාන්ඩගෙනුයි ගාඩ් රූම් එකට එන උන්ගෙනුයි වෙනම ආතල් අරං දිගටම හිනාවෙවී හිටියෙ.ගාඩ් කමාන්ඩර් බනින කොටත් අපිට හිනා යනව. හවස හයට ගහන බියුගල් පාරටත් මාර හිනාවක් ගියේ.


  ඔහොම පැය කිහිපයක් ගිහාම ඔිසී ක්ලාක් අතේ පනිවිඩයක් එවලා අපිට එන්න කියන්න කියලා.

ඌ ඇවිත් පණිවිඩෙි කිව්වෙ ගාඩ් කමාන්ඩර්ට.

*සාජන් ඔිසී කිව්වා පිකට් එකේ ගුලි කාල චෙක් වෙච්චි හතර දෙනාටයි සාජන්ටයි එන්න කියල.

සාජන් අපිවත් දක්කගෙන ගියා සර්ගෙ රෑම් එක ඉස්සරහට. 

*අයිසේ..මට ඇත්ත කියනවා තොපි අද ගුලි  කෑව නේද?

අපි සද්ද නෑ. 

*කටවල් අරිනවා ඉතින්.. කෑව නේද?

බොල බූරුවනේ කියල පටන් අරං පැය භාගයක් විතර යනකං බැනල බැනල නැවත පහේ ටොපි තියා රුපියලේ ටොපිවත් කන්නෑ කියල පොරොන්දු කරවාගෙන අපිව යැව්වා. ආයෙ චෙක්වුනොත් හොඳ මගුලක් කරනවා කියලත් කිව්වා. අපි සැලියුට් එකකුත් ගහල ආපහු හැරෙද්දි විමල් රාජ් ඔිසීගෙ රූම් එකේ දොර ඉස්සරහම වැලිවලට බාගයක් යටවෙලා  ලයිට් එලිය වැටිලා දිලිසි දිලිසි තිබ්බ පහේ ටොපි උරයක් හොරෙන් අපි හැමෝටම පෙන්නුවා.

ඔිසීත් සොරා වගේ..අනේ මංදා..



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.12

Sunday, August 9, 2020

මුතියන්කට්ටු ගැරඬි හොද්ද

 ඒ මුතියන්කට්ටු පුහුණු පාසලේදී. යුද්දෙ ඉවරවෙලා මාස කිහිපයයි, හමුදාවෙ පටන් ගත්තෙ එක දිගටම කෝස් රැල්ලක්.

"ප්‍රභාකරන් යලි ඉපදේවා" කියල නොසිතුනාමත් නෙමෙි. යුද්දෙ තිබ්බනං හොඳා කියල හිතුනු වාර අනන්තයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. පෙරළුනු පිට හොඳයි කියල අපිත් ලෑස්තිවුනා වැඩෙිට. මාව මෙතනට එව්වෙ  සීසී තුමා මගෙ බෙල්ල කපල. ඒක කලින් කතාවක කිව්වනෙ.


මෙි කෝස් එකක වන අභ්‍යාසයේදි වුනු කතාවක්. මං එතකොට උපදේශකයෙක් විදියට තමා රාජකාරි කලේ. 

 

එදා අපිත් සුපුරුදු පරිදි තියෙන ලට්ට ලොට්ට ටික ලෑස්ති කරගෙන කෝස් එකේ අවසාන එක්සසයිසස් එක වන දවස් හතරක ජංගල් එක යන්න ලෑස්ති වුනා. වැඩි දුරක් නෙමෙි. කඳවුරේ ඉඳලා කිලෝ මීටර් පහක් විතර දුර. අමුතුවෙන් යන්න කැලයක් ඔින නෑනෙ.අපි හිටියෙ කොහොමත් රූස්ස කැලේනෙ. 


මෙිකෙ ප්‍රධාන උපදේශක තුමා හිටියෙ එතකොට මෙිජර් හේවාමාන්න. මගෙ ක්ලාස්මෙිට්. මගෙ ඉස්කෝලෙ බොක්කක්. ඒත් ඉතින් මං කරපු සමහර දේවල් එතුමට ගැලපුනේත් නෑ කියනවනෙ.


මගේ සුපිරි බොක්කක් වෙලා හිටියා තවත් උපදේශකයෙක්. ඒ 1වන ගැමුණු හේවා බළඇණියෙ කෝප්‍රල් රණසිංහ. පොර එස්එෆ් එකේ අවුරුදු දොලහක් ඉඳල ආමි එකෙන් අස්වෙන්න ඒකකයට ඇවිත් ඒකට අනුමැතිය ලැබිල නැතුව නන්නස්තාර වෙලා හිටපු ජෝකර් ඩෑල්ලෙකක්. මගේ පොටෝ කොපියක් කිව්වොත් වඩාත් නිවැරදියි. හොඳ මීටරයක්. හැබැයි මස් වැද්දෙක්. වෙඩි තියල සත්තු මරන්න තහනං උනාට පොර මස් කන එක අතෑරියෙ නෑ. කොකෙකුට හරි කමක් නෑ උගුලක් අටෝනවා. එක්කො වැවෙි මාළුවෙක් හරි බානව.

එදා අපි ජංගල් එක ගිහින් දවසක් ගතවෙද්දි පොර නිකන් මන්දගාමී වෙලා වගේ හිටියෙ.

*කෝපල් ආරච්චි, මාලුවෙක්වත් බාමුද බං. මෙලෝ රහක් නෑනෙ.

*පිස්සුද බං සත්තු මරන්ඩ. ඔන්නොහෙ දෙන දෙයක් කාල හිටාං පැත්තකට වෙලා කියල  අහන අහන පාරට කොච්චර කිවුවත් මෙික පොරට හරියන්නෙම නෑ. අහන්නෙම දැලක්වත් දාමුද බං කියල.

*මටත් කියල කියලම එපා වෙලා හිංද තොට ඔින මගුලක් කරගනින් කියල සද්ද නැතුව හිටියා. කෝස් එක  රෙෂන් මලු අරං ජංගල් ගියාට උපදේශක  අපිට  කෑම්ප් එකෙන් කෑම එවනව. නිකන්මත් නෙමෙි ඇති තරමට. අපිත් ඉන්න ගානට වඩා වැඩිපුර කෑම මුල් කිහිපයක් බැඳන් තමා එන්නෙ. ඒ අධික මහන්සියට  වැඩිපුර බඩගිනි හැදෙන නිසා.


එදා ඇති හවස තුනට විතර. කෝප්‍රල් රණසිංහ මට කතාකරල,

*මචං මං කෑම්ප් එකට ගිහින් එන්නං. වතුරයි කෑමයි අරං

මාත් "හා" කියල උපදේශක නිළධාරියෙකුගේ අනුමැතියත් අරන් දීල රණසිංහයව අපේ එකම සම්පත වුනු ටැට්ටරේට දාල කෑන් ටිකත් පටවල යැව්වා වතුරයි කෑමයි ගේන්න.

ඒත් ඒක පැයෙන් එකහමාරෙන් එන්න පුලුවන් ගමනක් වුනත් හය වෙද්දිත් මිනිහ නෑ.

මං හිතුවෙ ඇතුලට ගිහින් මහන්සියට හාංසියක් දාල ඉද්දි එහෙම්මම නින්ද ගිහින්වත් ඇති කියල. මාත් ඔහොම එක එක සිතිවිලි සමුදායක ගිලී ඉද්දි ඈතින් ඇහුනා ටැට්ටරේ එන සද්දෙ. හිතටත් ටිකක් සැනසීමක් ආව මගේ බොක්කා එන බව ඇහුනු හිංද. මොකද මාත් බඩු ටිකත් බලාගෙන මෙතනට වෙලා අධික පාලුවෙන් හිටියෙ. ඒ මා ඇතුලු කන්ඩායමට හෙට පාන්දර තුනට ජංගල් එක්සසයිස් එකක් තියෙන නිසා ටිකක් රෙස්ට් කරන්න.

මෙයා අපිට කෑමත් පාර්සල් කරගෙන ඒ ටික පහ පහ ගානෙ සිරි සිරි මලුවල දාගෙන එක ඇඟිල්ලේ කවර එක එක එල්ලගෙන මං ළඟට ඇවිත්..

*ගනින් කෝප්‍රල් මෙි ටික.

*අඩෝ ඔහොමද සීනියර් කෝපල්ට කතා කරන්නෙ. කියල කියන ගමන් මාත් ළඟට ගිහින් උගේ ඇඟිලිවල එල්ලගෙන හිටපු කවර ටික මගේ ඇඟිලිවල පටලෝගෙන බෙිස් එකට අරං ආවා. ඒ අස්සෙ මූ මා දිහා මහා අමුතුවකට කීප සැරයක් බැලුවත් මූත් ජෝකරයෙක් හිංද මං ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. පස්සෙ අපි දෙන්නම ගිහින් හොද්දක් හදල තිබුනු පොඩි ඩිකිස් එකකුයි වතුර කෑන් ටිකයි බෙිස් එකට ගෙනාවා.

ඔහොම ඉද්දි තමා ට්‍රෙිනින් වලට ගිහින් හිටපු අපේ නිළධාරි දෙ⁣න්නෙක් සහ අපේ තව පස් දෙනෙක් ආවෙ. සීඅයි සහ අනෙක් නිළධාරින් හවස කඳවුරට යනව. ඉතුරු වෙන්නෙ මෙි නිළධාරි දෙන්නයි අපේ කොල්ලො ටිකයි. කොල්ලො ටික කිව්වට අනිත් අය ට්‍රෙිනින් එකකට ගිහින් හිටියෙ. එයාල වෙනම තැනක ඉන්නෙ. පස්සෙ රණසිංහයා බෙිස් එකට ආපු ඔෆිසර්ලා දෙන්නට;

*සර්..ආඳෙක් ඇල්ලුවා. කන්න කලින් කියන්ඩ කියල මූ කිව්වා.

*යකෝ උඹ වතුර ගෙන්න ගිහින් මාලු අල්ලන්නත්  ගියාද?. මාර පොරක්නි.

*නෑ. ගොඩ ආඳෙක්. ඒක තමා ඩිකිස් එකේ නැටෙව්වෙ.

මාත් ඔික වැඩිය ගනන් ගත්තෙ නෑ.

අපිත් ටෝච් එල්යෙන් මුතියන්කට්ටු වැවෙි ඉහත්තාවෙන් කාණ්ඩෙ කාණ්ඩෙ ගිහින් හිමින් සැරේ නාගෙන ඇවිත් රෑ නවයට විතර ලන්තෑරුම් සහ පැට්ටෝල් මැක්ස් එලියෙන් ඉන්න ඉන්න තැන්වල ඉඳන් ආසම වියායාමයට සුදානම් උනා. ඒ කිව්වෙ කෑම කන්න.

මෙි වෙලාවෙ  ඩිකිස් එකේ බාගයක් කාලක් විතර පිරෙන්න උයාගෙන ඇවිත් තිබූ ගොඩ ආඳන් මාලුවෙන් කෑල්ල කෑල්ල අපිට රණසිංහයම බෙදල ඔිනද කියල අහල ඉස්මත් තියෙන විදිහට ටික ටික බෙදුවා.

ඇත්තටම රහයි. අපරාදෙ කියන්න බෑ. කොල්ලෙක් උනත් රහට උයල.කොහොමත් ආමි අපිට උයන්න පුලුවන්. 

මයෙ අප්පේ ලුනු මිරිස් ඇඹුල් ගානට දාල සුපිරියට හදල තිබුනු ඒ හොද්ද එක්ක විතරක් අපි පස්දෙනෙක් කෑම මුල් අටක් කෑවා. අපිට එහෙම කෑම වැඩිපුර ගේන්න පුලුවන්. උදේ ඉඳන් ට්‍රෙිනින් වලට සහභාගි වෙලා දුවල පැනල කෑ ගහල හවස් වෙද්දි හොඳටම හෙම්බත් වෙලා ඉන්නෙ. කෑම එකක් නෙමෙි මටනං තුනක් හතරක් කියන්නෙත් සුලු දෙයක් තමා. ඒ වෙලාවෙ හිටපු සර්ල දෙන්නයි අපියි  කාල ඉවර වෙලා මුගේ හොද්ද ගැනත් වර්ණනා කරලා ග්‍රවුන් ශීට් එකත් එලාගෙන ඉස්මුරුත්තාවට එනකං පිරිච්චි බඩත් පැත්තකට ඇල කරගෙන  වැතිරුනේ පාන්දර තුනට ඇහැරෙන්න තියෙන හංද. ඒ තවත් පුහුණු කටයුත්තක් තියෙන නිසා. අපි දෙන්නත් තරු පිරි අහස දිහා බලාගෙන එක එක වල්පල් කුනු හරප ආදිය කතා කර කර හිටියා. අනික්වුන්ට හොදටම නින්ද ගිහින්. සමහරු  ගොරොද්දෙත් අදිනව. සර්ලා දෙන්න වෙනම තැනක නිදි.

මා ගාවින්ම ඇලවෙලා හිටපු රණයා;

*කෝප්‍රල් ආඳා රහයිද.

*මරු බං. තිබ්බනං තව කනවා.

*ඒ ආදෙක් නෙමෙි. ගොඩ ආඳො කියල ජාතියක් ඉන්නවෑ බං 

*එහෙනං අර මොකාද හොද්දෙ නැටෙව්ව කිව්වෙ එතකොට.

*ගැරඬියෙක් කියල මූ හයියෙන් හිනාවුනා...

*මොනාහ්හ්හ්?? ගැඬරියාහ්??? තොගෙ අප්පට හුක්.. කියාගෙන මං ඌ ඉන්න පැත්තට වෙිගෙන් හැරුනෙ මුගේ බෙල්ල මිරිකන්න. ඒත් එස්එප් කුවික් කියනවනෙ. මං හැරෙනකොට මූ නැගිටල අහකට පැනලත් ඉවරයි.

*තෝ එව්වද යකෝ අපිට කැව්වෙිහ්???

*ඔි.. කියල මූ ආයෙ හක හක ගාල හිනාවෙනව.

ඒක ඇහිච්චි සෙන්ට්‍රි හිටපු එවුන් දෙන්නා ළඟ තිබ්බ පලු ගස් දෙකක් බදාගෙන "ඔික්" ගාද්දි,  නින්ද ගිහිං හිටපු එකෙකුට ඔික ඇහිල බුදියගෙනම ඔික් ගෑවා. ඒක ඇහිච්චි තව එකෙක් දෙන්නෙක් කෑවෙ මොනාද ,උනේ මොනාද කියලවත් දන්නැතුව අරූ වමනෙ කරන සද්දෙට  ඉන්න ඉන්න තැන්වලම ඉඳගෙන වමනෙ දාන්න හදනව. මටත් මහ අප්පිරියාවක් ආවත් මූට ගානක් නෑ. 

ඒ අස්සෙ එකෙක්..

*අම්මප ටුවක්කුව තිබ්බනං තොට වෙඩි තියනව යකෝ...ඔික් ඔික්...බ්ලෑක්..

*මොකද මොකද කෝපල්ලා.. නිදාගන්න දෙන්නැතෙයි...සර් කෙනෙක් අහනව.

*සර්රුත් ගැඬරිමස් බුදල බුදල සද්ද නැතුව නිදි නේහ්??  බ්ලෑක්.. බ්ලෑක්...ඒ තව එකෙක්

*කව්ද යකෝ ගැරඬි කෑවෙ..

*මෙි රණය කැවේවෙ සේර්... බ්වෑක් ඔික්..

එක සර් කෙනෙක්..

*ආ.. ඒකට මක් වෙනවද.. කියල අනික් පැත්ත හැරිල නිදාගන්න හදද්දි "කව්ද යකෝ ගැරඬි කෑවෙ" ඇහුව සර් බිවැක් එකත්(කැලේ සෙබළුන් විසින් හදන පොඩි කූඩාරම් විශේෂයක්) ගලෝගෙන ඇඟේ ඔතාගෙනම නැගිටල පැත්තකට දුවල

*බ්ලෑක් බුවෑක් ඔික්...

මෙි අස්සෙ අපිටත් කලින්ම කාල කලින්ම නිදාගත්තු කනපල්ලෙ තියල ආටි ගැහුවත් ඇහැරෙන් නැති බෙිබදු ගුණෙයයි හේරතුයි මෙලෝ දෙයක් දන්නැතුව තාම නිදි.

රණයා හයියෙන් හක හක ගගා හිනාවෙනව.


අපිත් මූට බැනල බැනල නිදාගත්තට කව්රුත් වමනෙනං දැම්මෙ නෑ. ඒකටම හරියන ඔෆිසර්ස්ලා දෙන්නෙක් තමා අපිටම ඉතුරුවුනෙත්.(මෙි දෙන්නත් කෝප්‍රල් රෑන්ක් එකේ ඉඳලා කමිෂන් ගියපු දෙන්නෙක්) 

අර ගානක්වත් නැතුව හිටපු සර් බිවැක් එක අස්සෙ ඉඳගෙනම;

*ඇත්තට කොහොමද බං හැදුවෙ එහෙම.

මූ විස්තරේ කිව්වා.  මූ නාන්න යන්න රෙදි ගන්න බිලට් එකට යද්දි ගැඬරියා  බිලට් එකේ ඉඳල තියෙන්නෙ. මූ ඌව අල්ලගෙන ඔලුවෙ ඉදන් අඟල් හයයි, නැට්ටෙ ඉඳන් අඩියයි කපල මැටි අනල හොඳට ගාල ගින්නෙ තම්බල පොතු ඇරල හොද්ද ගහල තියෙන්නෙ. මම බළල් මස්, මීමිනි මස් හා මස් කොක් මස් කාල තිබුනත් එස් එෆ් කෝස් දෙකක් කරලත් ගැරඬිමස් කෑවෙ එදා. කෑවෙ නෑ. අරූ කැව්වා. 

එස්එෆ්නෙ. පත්තෑයෙක් අහුවුනත් ඇති. එදා ඉඳන් මූ ලුනු මිරිසක් හැදුවත් හොඳට හොයල බලල ඉඹලත් බලල තමා මන්නං  කෑවෙ. නැත්තං මූ දවසක අපිවත් දන්නැතුව අපේ ගාතයක් උයල දෙයි අපිටම කාපිය කියල. ඒතරං පොර.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2020.08.09

Wednesday, August 5, 2020

කිරාන් ඉස්කෝලේ ප්‍රහාරය

ඒ කිරාන් 1997 මැද භාගෙ. මෙි කාලෙ නැගෙනහිර පළාතේ ගෙවුනෙ බොහොම අමාරු කාලයක්. ඒකට හේතුව උතුරේ ක්‍රියාත්මක මෙහෙයුම් කඩාකප්පල් කිරීමෙි අරමුණෙන් එල්ටීටීඊය නැගෙනහිර පළාතේ සිදුකල ප්‍රහාර මාලාවන්. ස්නයිපර්,රැකසිට පහරදීමි,කඳවුරුවලට පහර දීම් අඛන්ඩව සිදුවෙච්චි කාලයක්. පුළුකුණාව,වව්නතිව් කඳවුරුවලට දින ගණන් එක දිගට ප්‍රහාර එල්ල කලේ මෙි කාලෙ. අපිටත් එපාම වෙලා තිබුනු කාලයක්. මෙි වෙද්දි කිරාන් හිටපු අපේ ගොඩ දෙනෙක් මිය ගිහින්,තුවාල වෙලා භඨ සංඛ්‍යවෙන් ඉවත් වෙලා හිටියෙ. ඒ මදිවට ඇබ්සන්ට්. මෙි වෙද්දි පහලොවකටත් වැඩි ප්‍රමාණයක් නිනොනො වෙලා හිටියෙ.(නිවාඩු නොගෙන රාජකාරියට නොපැමිණීම). ඒකට හේතුව මෙි කඳවුරේ තිබුනු අධික රාජකාරි ප්‍රමාණය. ඇත්තටම කියනවනම් අපේ ඔිසීත් සමහර වෙලාවල් වලට කීවෙ ඇබ්සන්ට් වෙන එකත් සාධාරනයි කියල. මෙි වෙද්දි කඳවුරේ ඉතුරුවෙලා හිටියෙ මරල විසික්කරත් ගෙම්බෙක් වෙලා හරි කඳවුරට එන ජාතියෙ ඩෑල් ටිකක්. උං මලත් හමුදාව දාල යන්නෑ. අනික මෙි කඳවුරේ අවුරුද්දක් රාජකාරි කරපු එකෙකුට ලංකාවෙි නෙමෙි ලෝකේ ඔිනෑම කඳවුරක ඔිනෑම තත්ත්වයක් යටතේ රාජකාරි කිරීමෙි හැකියාවක් තියෙනව. ඒ තරමට මෙිකෙ රාජකාරි අමාරුයි,ඒ වගේම බහුලයි,අනතුරුදායකයි. නින්ද අවමයි. උදේ කෑම කාල ගියාම දවල් කෑම හවස තුනට හතරට අතට ලැබෙන්නෙ. පපුවට අත තියල කියන්නෙ සමහර දවස්වලට අපි ඉන්න තැන්වලට ලැබෙන කෑම එක කන්න බෑ, නරක් වෙලා. කවදාවත් එළියෙදි උණු තේ එකක් බිව්වෙ නෑ. ඒක තමා ඇත්ත. දහයෙ තේ එක දොලහට,තුනේ තේ එක පහට. ඒ, අපි ඉන්න තැන් වලට තේ සහ කෑම ලැබෙන වෙලාවල්. මම අදටත් මෙිව මතක් කරල හිතන්නෙ ඒ වෙලාවල් වලටවත් අපිට ඒ ඒ දේවල් ලැබුනු එක ලොකු දෙයක් කියල. මෙි දවස්වල අපිට ලැබුණු දීමණාව නැතිනම් වැටුප රුපියල් තුන්දහස ඉක්මවූයේ නෑ. ඒ මුදලින් වැඩි හරියක් අපි වියදම් කලේ කෑමට. මොකද කෑම පරක්කු වෙනකොට අපිට ඉන්න බෑ. උපරිම මහන්සි වෙලා ඉන්නෙ. සාඩින් ටින් එකේ දාල සීනි මුලක් එක්ක විකුනන්න තියෙන  මී කිරි ටින් එකක් ඒ දවස්වල රුපියල් පහලොවයි. අපි කරන්නෙ කිරි කන එකමයි. දවසකට මම කාල තියෙනව ඒ කිරි ටින් තුන, හතර. කෑම බීම ඒ  වෙලාවටවත් ලැබෙන්න අපේම සහොදරයන් සහ නිළධාරින් ගත්තු උත්සාහයන් අපමණයි. කිලෝමීටර් හත අටක් දෙන්නෙක් කෑම, තේ අරන් එනව කියන්නෙත් හෙන ගේමක්. කාටත් පොදුයි මෙි ජීවිතේ. කඳවුරේ ඉන්න කපිතන් චන්දන පෙරේරා හැමදාම අන්තිම පොයින්ට් එකෙන් කෑම ලැබුනද කියල සෙට් එකේ අහල, ලැබුනා කියල කිව්වොත් තමා එතුමා කෑම එක කන්නෙ. ඒ තමා එතුමා අප කෙරෙහි දක්වපු බැඳීම. ඒ තමා ඒ දවස්වල අපේ ජීවිතය. හරියට අපල කාලයක් ගෙවනවා වාගෙ බොහොම අමාරුවෙන් ගෙවා දාපු කාලයක්.
මෙි කතාව මං කිව්වෙ ඔබ සැමට අපේ කඳවුර ගැන චූටි අවබෝධයක් ලබාගන්න. 

එදා ඇති දවල් එකට එක හමාරට විතර. අපි බඩගින්න ඉස්මුරුත්තා වෙලා ඉන්න ටයිම් එක. ඉස්කෝලෙ නිවාඩු දවසක්. මම හිටියෙ කිරාන් කෝවිලට දකුණෙන් මී⁣ටර් පනහක් වගේ දුරකින්. අපේ කණ්ඩ භාර සැරයන් හිටියෙත් අපි එක්ක. මගේ පොයින්ට් එකේ ඉන්චාජ් හිටියෙ කෝප්‍රල් පෙරේරා ආර්පීකේ. මම ඇස් දෙක තියාගෙන හිටියෙ පාරෙමයි. ඒ කෑම එක දැන් එයි,දැන් එයි කියල මග බලාගෙන. 
ගතවූයේ මොහොතක් පමණයි. කිරාන් මහා විද්‍යාලය ඇතුලෙන් අපිට හිතාගන්නවත් නිමෙිෂයක් නොදී එක පාරටම ප්‍රහාරයක් එල්ලවුනේ ඔය වෙලාවෙ. උන් අල්ලන්නෙත් ඔය ටයිම් ම තමා. ඒ අපි පෙඩප් වෙලා ඉන්න කාල පරාසයක් නිසා. කඩිගුලකට අලු දැම්ම වගේ කුලප්පු වුනු අපි කලේ එක පාරටම බිම දිගාවෙලා වෙන්නෙ මොකද්ද කියල බලන එක. 
ඒ ගහන්නෙ අපේ පොයින්ට් එක කෙලින් පාරෙන් එහා පැත්තෙ හිටපු අපේ අනිත් පොයින්ට් එකට. අපිත් හැකි උපරිම වෙිගෙන් පාර පැනල ප්‍රහාරය එල්ලවෙන පොයින්ට් එකේ සහයට ගියා. ඒක තත්පර ගානක් තුල වගේ තමා සිදුවුනේ. උං ඉස්කෝලෙ ඇතුලෙ ඉඳන් අපේ පොයින්ට් එකට ගහනවා. ෆස්ට් ෆයර් එක ආරම්භ වෙලා විනාඩි පහක් දහයක් යද්දි  අපේ කට්ටිය මරා ගන්න බැරිවුනොත් ඊලඟට උන් කරන්නෙ දුවන එක. 
කෝප්‍රල් පෙරේරාත් ඒ ගැන දන්න නිසා ඔහු කලේ මාවත්  සෙනරත් බංඩාරවත් ඇදගෙන ගෙවල් වලට මුවා වෙවී උන්ට නොදැනෙන්න ඉස්කෝලේ වම් පැත්තට ඇවිත් ඉස්කෝලෙ පිටුපසින් තියෙන පාරෙන් පැනල දුවන්නට නියමිත ඔවුන්ට පහර දෙන්න ක්ෂණිකව ඇම්බුස් එකක් දමන එක. ප්‍රහාරය එල්ලවෙන පොයින්ට් එකේ කිසිවෙකුටවත් හානියක් නොවුනත් ඔවුන්ට ඉන්න තැන් වලින් හෙල්ලෙන්නවත් බෑ. කණ්ඩ භාර සැරයන් තමන්ගෙ බඩියාවත් අරගෙන ඔවුන්ගේ සහයට එතන නැවතුනා. ඒ අය අපි මගින්ම හැරිලා ඉස්කෝලෙ වම් පැත්තට යනව දැක්කම කොටින්ගෙ අවධානය තමන් වෙත තියාගන්න ඒ වන විට පැමිණ සිටි තවත් පොයින්ට් දෙකක අයත් සමග  දිගින් දිගටම ඉස්කෝලෙ ඇතුලට දැඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. අපි තුන්දෙනා උපරිම පරිස්සමින් එහෙත් වෙිගයෙන් ඉස්කෝලෙ පිටුපස තිබූ පාරට  ඇවිත් කුණු පිරී තිබුනු කානුවක ඩවුන් දාගෙන බලාගෙන හිටියා. ඒ උන් කීයට හරි  මෙි පාර පැනල දුවන්න ඔින නිසා. 
ඒ වෙද්දි විනාඩි දහයක් උපරිම යන්න ඇති. පස් දෙනෙක් පාර පැන්නා. ඊලඟට අපේ වාරේ. 
මමත් සෙනරත් බංඩාරත් කෝප්‍රල් පෙරේරාගේ විධානය ලැබෙන තෙක් ආරක්ෂිත ඇණය පොකුරු උණ්ඩ පිටවෙන ස්ථානයට දාගෙන ඉතාමත් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටියෙ ඔහුගේ සුපුරුදු " කෙළපිය කෙළපිය හුක්" කියන වචන සෙට් එක කටින් එලියට පනිනකං. අපේ අනිත් පොයින්ට් වල අයත් කිසිම හානියක් නැතුව  වෙඩි තිය තිය ඉස්කෝලෙට කිට්ටු කරන කොට මුන්ගෙ ඊලඟ පියවර අනිවාරයෙන් දුවන එක. අපේම අයගේ වෙඩි උන්ඩ අපේම කන ගාවින් යද්දි අපිත් පස් කාගෙන හිටියෙ මුං ඉස්කෝලෙන් එලියට පනිනකං. 
එක තත්පරේකදි අපි බලා සිටිය දේ සිදුවුනා. අපේ අනිත් පස සිටි අය කම්බි වැටවල් කෙලින් කරගෙන ඉස්කෝලෙට පනින කොටම මුං දුවන්න පටන් ගද්දි 
"කෙළපිය" අණ නිකුත්වුනා. 
උඩ තියාගෙන කෙළියෙ මිත්‍රවරුණි. පාර මැද්දෙම තුනක් බා ගත්තා. දෙකක් දිව්වා. ඒත් කෝප්‍රල් පෙරේරාට මදි. ඊලඟ තත්පරේ පොර කලේ උන් පස්සෙ පන්නන එක. 
මං දැක්කෙ කුණු හරප පේලියක් කියාගත්තු කෝප්‍රල් පෙරේරා නැගිටලා මැගසින් එක මාරුකරල අරුන් පස්සෙ පන්නන්න පටන් ගන්නව විතරයි. ඉඩම් උඩින් කම්බි වැටවල් දෙකක් පනින්න ඇති. එක පාරටම ආයෙත් මැගසින් දෙකක් විතර වෙඩි තියන සද්දයක් ඇහුනා. කෝප්‍රල් පෙරේරා අපිට කලින්ම කිව්වෙ "කිසිම හේතුවකට තොපි දෙන්න නැගිටින්න එපා" කියල. ඒත් අපි දෙන්නත් එයා පස්සෙන්ම දුවගෙන ගියා. 
නමුත් අපිට තවත් කරන්න කිසි දෙයක් ඉතුරු නොකරම ලේ විලක් මැද කෝප්‍රල් පෙරේරා මිදුලක වැටිල හිටියා. 
අපි හයියෙන් කෑ ගහල අපේ අය සහයට ගෙන්න ගත්තත් ඔහුගේ බැරෑරුම් "ගොර..ගොර.."  කෙඳිරිය අපගේ දෑස් තෙත් කරන්න තරම් සමත් උනා. 
ඔහුව හැකි ඉක්මනින් ප්‍රථිකාර සඳහා අරන් ගියත් මගදිම අපිව අතෑරලා ගිහින් තිබුනා. 
කෝප්‍රල් පෙරේරා කියන්නෙ අවිවාහකයෙක්. ඔහුගේ මංගල උත්සවයට තවත් ඉතිරිව තිබුනේ හරියටම දින තිස් හයක කාලයක්. 4 වැනි සංඥා බළකායේ සෙබළෙක්.

ඒ තමා සෙබළෙකුගේ දෛවය. මෙවැනි කතා තව කීපයක්ම තියෙනව. නොමැරී බෙිරුණත් මට මං ගැනත් ඒ වගේම කතා කිහිපයක් තියෙනව. ඒ දවස්වල හමුදාවෙ හිටපු අපේ ජ්‍යෙෂ්ඨයො නිතරම කීවෙ, නිවාඩු යද්දි,එද්දි,වෙඩින් උත්සවය කිට්ටු වෙද්දි,පැන්ෂන් යන්න ආසන්න වෙද්දි සහ වෙනත් ජීවිතයේ වැදගත්ම අවස්ථා උදාවෙන්න ආසන්න වෙද්දි පුලුවන් තරම් වෙනදටත් වඩා කල්පනාවෙන් ජීවත් වෙන්න කියල. ඒක අන්තිම සත්‍යයක්. අත්දැකීම් තියෙනව අපමණ තරම්. මං කලින් කතාවක කියපු කිරාන් ටවුමෙදි පිස්තෝල කල්ලියෙන් මා පස්සෙ පන්න පන්නා වෙඩි තිබ්බෙත් නිවාඩු ගිහින් එන දවසකදි.
සතුරු හමුදාවක් ඇස් පනාපිට මැරී වැටුනත් හමුදාවෙි එවැනි වීරත්වයක් ඇති සෙබළුන් එක් අයෙක් අහිමිවීම ඒ සතුරු හමුදාවම මැරුන සතුටට වඩා වැඩි පාඩුවක් අපට දැනෙන්නෙ. 

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.08.05

Sunday, August 2, 2020

චන්ද පෝසටරේ

අහන්ඩලාකො. මං ගියා චන්ද රැස්වීමකට. මීරිගම. ගියා නෙමෙයි. වැඩට ගිහින් එද්දි සූ ගාල මිනිස්සු දහ පහලොස් දෙනෙක් ටවුන් එකේ පිරිලා. මාත් වාහනේ නැවැත්තුවා මෙි වැස්ස අස්සෙ එකෙක් ඇණගෙනවද්ද බලන්න. 
අනේ නෑ. ඊට දකුණු පැත්තෙන් බපල් දෙකක් දාගෙන හෙන දේශපාලන රැස්වීමක්. අපිත් පොඩිකාලෙ ඇහුවට පස්සෙ සුරංගනා කතා අහල තිබුන්නැති හිංද වාහනේ අයින් කරල නවත්තල ඒ කියන ඒවට කන් දීගෙන හිටියා. අපි වාහනේ නවත්තන්න උනෙත් ඒ උත්තමයලා ආපු වාහන ගොඩ පිටි පස්සෙ. 
අපි දෙන්නත් මෙි කියන කතා දිහා කන් හතරම දාගෙන අහගෙන හිටියත් ඇහෙනව ටිකක් හොරයි අපි හිටපු තැනට. මල්ලි වසීවෙලා වගෙ කතාව අහද්දි මං බැලුවෙ වටපිටයි,මුංදැලා ආපු වාහන දිහායි. එතන තිබ්බා වාහනයක්.. මයෙ අප්පේ.. එක දවසක් පස්යාලෙදි බයික් එකට තෙල් ගහද්දි එතන තිබ්බ ජපන් වාහන සේල් එකෙන් ඒ ජාතියෙ වාහනේක ආසාවට ගණන් ඇහුවෙ.
"එකසිය අනූ හතයි මල්ලි"කිව්වා. ගණන් අහපු මට ඉන්දවුනා. අප්පේ ඉතින් මෙයාලා එච්චරක් වියදම් කරලත්නෙ මෙි අපි වෙනුවෙන් රැස්වීම්වලට එන්න. මට පව් කියලත් හිතුනා. 
මාත් බැලුවා ඊලඟට ඒ වාහනවල කොටල තියෙන ස්ටිකර් දිහා. මයෙ අප්පේ.. ඒ ස්ටිකර්වල යි පෝස්ටර් වලයි තිබ්බ දේවල් කියෙව්වම තව අවුරුදු පහකින් මෙි රටට දේශපාලනේ ඔින වෙන එකකුත් නෑ කියල හිතුනා. ඒ තරමට සශ්‍රීක වෙනවාමයි කියල තිබුනෙ. ඒ මං ආසම වාහනේ පිටිපස්සෙ එක ඉස්ටිකරේක තිබුනා සුදු පාට ලොකු  අකුරෙන් 

 "අත්තනගල්ලේ පුරෝගාමියා නව දේශපාලනයක් කරා" 

අනේ ඉතින් සමාවෙන්න. මෙවුන්දැටත් අතක් පයක් කටක් කකුලක් එක විදියකින් තියාගෙන ඉන්න බෑනෙ.. උඩ සාක්කුවෙ තිබ්බ පෑණ අතට ආවෙ ඉබෙිටම. ඒක නිකන් පුරුද්දට වාගෙ..

ඒකෙ තිබුනු පලවෙනි වචනේ...
අත්තනගල්ලේ.. අත්තනගල්ලක් කොහෙද යකෝ මෙහෙ. මෙි මීරිගමනෙ. මකලම දැම්ම අත්තනගල්ලේ කියන වචනෙම. 

ඊලඟට පුරෝගාමියා.. මෙයා කොහෙද අනේ අපිට පුරෝගාමියෙක් වෙන්නෙ. චන්ද කාලෙට විතරයි මුන්දැලට සත්ත කරුණාව පහල වෙන්නෙ. දැක්කෙත් අවුරුදු හතරකින් විතර. ඒකත් රැස්වීමක. මැකුවා "පු" ඉතුරුවෙන්න "රෝගාමියා"අකුරු ටිකම.
ඊලඟට "නව". ඒක එහෙම්මම ඉතුරුකලා. මුං අපිට හැමදාමත් නවතම තමා. දකින්නෙ අවුරුදු පහකට වරක්.ඇත්තනෙ.

ඊලඟට "දේශපාලනයක් කරා"
අනේ මුංදලා කරන දේශපාලනේ. සැක්.
මැකුව "දේ" යන්නේ ඉස්පිල්ලයි "ශ:පාලනයක්"කියන අකුරු ටිකයි ඔක්කොම. 
ඊලඟට "කරා"..
කොහෙද යකෝ "කරව්" ඉන්නෙ මීරිගම. මෙහෙ තනිකර ඉන්නෙ බොදුනුවො. මට මළ පැන්නා. ආච්චිට හාල් ගරන්ඩ,දෙපාරක් නොහිතාම කැපුව "රා"යන්න.

අන්තිමට ඉතුරුවුනා ලස්සන වචන දෙකක්. 

"පු       නව      දෙ       ක"

ඔික කව්රුත් දකින්න කලින්.. මං මල්ලිවත් ඇදගෙන ඉක්මනින් එතනින් මාරුවුනා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.08.02

රාගය



එක එක ඉස කුඩිච්චියො නලවමින්        ගත
රිදවයි පාරවයි පූරුවෙ පවෙන්                  සිත
පෙර බවයන්හිදී පින් කල බැවින්          නෙත
ගැහෙනව කීරි, හත් දෙයියනි හඳුන්     පොත

නැති හිංදාම හිමිකම් මා නමට            ලොවෙි
සතියෙන් දෙකෙන් විඳ අවසන් වෙයිද    සුවෙි
තව ටික කාලෙකින් දැල්වුනු පහන       නිවෙි
සමිඳුනි රාග කඳ හිංදම තිදොර             තැවෙි

සුදු කළු තළෙලු ලෙස බෙදමින් නෙතට  හුරූ
තව මල් පිපේ නොකියමි යම් දිනක     බොරූ
නැත කිසි දෙයක් මස් ඇසකින් පෙනෙන යුරූ
බල බල හිඳින්නෙමි මෝ කඳ නිවෙන     තුරූ

සමිඳුන් දෙසූ සදහම්                        දේසනාවට
යොමුකර බැලිමි සිත කිවු              කාරනාවට
විදසුන් වැඩෙන ලෙසකින්              බාවනාවට
පළවෙනි තැනම දුන්නෙමි              වාසනාවට

රුවින් පසුදිත යද්දෙහිආරච්චි
2020.08.02

Saturday, August 1, 2020

සුදන්දිරපුරම් හොල්මන

මෙි කතාව වෙන්නෙ  සුදන්දිරපුරම් කඳවුරේදී. මෙික මහ ඝණ කැලෑවක් මැද පිහිටපු එල්ටීටීඊ එකේ කඳවුරක්.

මෙි වෙද්දි මං කණ්ඩ භාර සැරයන්වරයෙක් විදියට උසස්වීම් ලබල හිටියෙ. ඒ වුනත් ලේවල තිබ්බෙ එදා ඉඳන්ම තිබුනු බාලාංශෙ වැඩමයි. ඒ කියන්නෙ සැරයන් කෙනෙක් වුනත් ප්‍රයිවට්ලාගෙ වැඩ කෑල්ලමයි තිබ්බෙ. මෙි කඳවුරට ආවෙත් 59සේනාංකයේ කර්නල් කෙනෙක් එක්ක කේස් එකක් දාගෙන. කෙටියෙන් කිව්වොත්  මගෙ මස්සිනා එක්ක. 

මම 59 සේනාංකෙට ආවෙත් මුතියන්කට්ටු පුහුනු පාසලේ ඉඳල. ඒ මගේම පංතියේ මගේ ලඟින්ම ඉඳන් මගෙන් ගනන් කොපි කරල පේල් වෙච්චි ඩෑල්ලෙකක් වුනු මෙිජර් හේවාමාන්නත් එක්ක කේස් එකක් දාගෙන. මගෙන් ගණන් කොපි කරල ලියපු එකෙක් මෙලෝ සම්මජ්ජාතියෙන් කවදාවත් ගොඩ ගියේ නෑ. මොකද මාත් ගණන් ෆේල්නෙ. බාග,ප්‍රතිශත,පස්තාර,ද්වීපාද,ත්‍රිපාද,බහුපාද,සමීකරණ,වායු සමීකරණ ඔය මෙලෝ රෙද්දක් මට එදා තේරුනෙත් නෑ. අද තේරෙන්නෙත් නෑ. මගෙන් කොපි කරපු උන්දැලට තේරුනෙත් නෑ. උං පාස් උනෙත් නෑ. එයාත් දෙපාරක් කරල කිව්ව පාස්වුනේ.

මුතියන්කට්ටු එදා අපිට තිබුනේ අවි රහිත සටන් කලාව ඉගැන්වීම. මෙික අපේ සිලබස් එකේ තියෙන දෙයක්. මෙිකෙන් උගන්වන්නෙ කරාටි ගහගන්න. අවියක් නැති අවස්ථාවකදි සතුරාට මුහුන දෙනහැටි තමා මෙිකෙන් පුරුදු කරන්නෙ. මෙික පුහුණුවෙන සෙබලුන්ට හඳුන්වා දෙන්නෙ කතාවක් අනුසාරයෙන්. ඒ වෙද්දි මෙිජර් හේවාමාන්නයි මායි අතර සම්බන්ධයක් තියෙනව කියල කව්රුත් දන්නෑ. මං කියන්න ගියෙත් නෑ. එදා ඒ විෂයෙ ප්‍රැක්ටිකල්  බලන්න එතුමත් ඇවිත් හිටියා. 
මං ඇඳල හිටියෙ කෙල්ලෙකුට.  මෙිකප් දාල ලිපිස්ටික් ගාල කම්මුල් රෝසපාට කරල  අපේ බවලතීගෙන් උස්සල ගෙනිහින් තියාගෙන ඉන්න ඇඳුම් ඇඳගෙන කරාබු කුට්ටමකුත් දාගෙන තව කෝප්‍රල් කෙනෙක් එක්ක පෙම් යුවලක් පාරෙ යන විදියට අතේ වෙලි වෙලී ලව් කර කර බුල්ටො එකක් හප හපා යනව. එතනට කොල්ලො සෙට් එකක් බහිනව මගෙ පෙම්වතාට ගහල මාව සමූහ දූසනේ කොරන්ඩ ඇදන් යන්ඩ. මං සමූහ දූසනේ වෙන්ඩ වැඩි කැමැත්තකින් හිටියත් ඒක කාටවත් කරගන්න පුලුවන් වුනෙත් නෑ. හිතටත් හෙනම මෙව්ව එකයි. ඒ මගේ පෙම්වතා ගේමට බැහැල උන්ට සටපට සට පට ගාල කරාටි ගහල මාව බෙිරගන එක්කාසු කරං යනව.. ඒක තමා කතාව.
අරුන්දැලත් එක්ක අල්ලන ගුස්ති පාරවල් තමා මෙයාලට පුරුදු කරන්ඩ තියෙන්නෙ. මෙි පාඩමට අවශ්‍ය හැමදෙයක්ම මං ගෙනිහින් තියාගෙන උන්නෙ. එදා ඔික බලන්න ඇවිත් හිටිය මෙිජර් හේවාමාන්න මා දිහා බල බල අනික් කට්ටියට හොරෙන් ජෝක් එකට මට ඇස් ගග ගගහ හිටියෙ. මාත් එක එක කෝලිත්තං කර කර ඉඳල අනික් උපදේශකයන් ටෙිනින් කරවන අතරෙ හිමීට සර්ට කිට්ටු කරා. එතුමත් මා එක්ක කතා කර කර හිටියෙ වෙන වෙන දේවල්. ඒ වුනාට මං කලේ එයාට ටෝක් වෙන එක. පස්සෙ බැරිම තැන එයා ගියා. එයා කියන්නෙ එකක් මං කියන්නෙ වෙන එකක්. ඊයාාා...ඒව හෙන වල් කතා අනේ.
"මගේ තුදු බංඩියට පැට්ටෙක් දෙන්න බෑද?" කියල ඇහුව විතරයි ගමනෙ වෙිගෙ ඩබොල් කරල ගියෙ.

ඊට දවස් දෙක තුනකට පස්සෙ අපි හීන් අඩියක් ගහල ඉන්න වෙලාවක ඔික මගෙ කටින් පැන්නා.
*ඒක නෙමෙි අඩෝ. මරු සීන් එකක් උනානෙ බං එදා.
*ඒ මොකද්ද?
*මෙිජර් හේවාමාන්න මට ටෝක් කලානෙ බං. 
*අම්මප කියාං... 
*ඔව් ඔව් බං.. කිව්වම කට්ටියම හිනාවුනා. මං නොවිච්චි ඒවත් වෙච්චි ගානට අතින් පයින් දාල කට්ටියම කුල්මත් කරා."පස්සත් මිරිකුවා යකෝ" . ඔික කාටවත් කියන්න එපා කියල මුන්ට එතනදි කිව්වත් දවස් දෙකක් යනකොට සීඅයි මෙිජර් හේවාමාන්නගේ කනටත් ගිහින් ඉවරයි. (සී.අයි. =CHIEF INSTRUCTER) මයෙ අප්පේ එදා මට කිව්ව දේවල්. 
මහ පලවෙනියෙන්ම මගෙන් ඇහුවෙ
*ඒයි,උඹ හිතුවද මං කොලු කාරයෙක් කියල.
*කියන්න බෑ ඉතින් හමුදාවෙනෙ.
*උඹ මගෙන් මුකුත් අහගන්ඩෙපා. දැං බලහං ස්කූල් එකේ ඔෆිසර්ස්ලත් දන්නව මෙික.
*ඇත්තටම එහෙම නෙමෙිද? එහෙනං මට ටෝක් කලේ?? අපරාදෙ මාත් ටෝක් වෙන්න ගියෙ.
*පලයන් යන්ඩ මෙතනින්.මගෙන් කුනුහරප නාහ. 
ආයෙ කුනු හරපත් අහපල්ලකො මිත්‍රවරුනි.මං ආව එන්න. නැවත ඒ ලඟ දවසක කොල්ලො දෙන්නෙක් එවන්න කිව්වා එතුමාම රෑම් එක අස් කරගන්න. මං උන් දෙන්නට කියල යැව්ව තනියෙන්නං සර්ට අහුවෙන්නම එපා කියල. මුං දෙන්න වැඩෙිට ගියාම එකෙක් ඇතුල අතුගාද්දි අනිකාට මිදුල අතුගාන්න කියල. මුං නෙමෙි ගිහින් තියෙන්නෙ. එකෙක්ට එකෙක් තනි කරලම නෑ. දෙන්නම ඇතුලෙ ඉඳගෙන වැඩලු. ඇයි අහපුවම
*සර් කෝප්‍රල් ආරච්චි තමා කිව්වෙ හැමතිස්සෙම එකටම ඉන්න කියල. උන්ටත් මොකාහරි කමහ්නෑ පාවල දෙන්න තියෙනවනං. ඒ වෙලාවෙම උන් දෙන්න එලෝලා. උං අතේම පනිවිඩෙිකුත් එවල මට ඇවිත් හම්බෙන්ඩ කියල. 
*සර්..
*සර් තමා හුක්... කියල පටන් අරගෙන මයෙ අප්පේ මුතියන්කට්ටු කැලේ ඉන්න හැම සතාගෙම නම් කියල මට බැන්නා. සතෙක්ගෙ නමක් කියනව.ටිකක් බනිනව.ඈත බලනව. ආයෙ සතෙක්ගෙ නමක් කියල ටිකක් බැනල ඈත බලනව. ආයෙ මට ගස්ගෝනා කියලත් කිව්වා. මං හිනාව තදකරගෙන හිටියෙ වික්ටෝරියාව උතුරන මට්ටමෙි වතුර කඳක් ඇවිත් ඒක දරාගෙන ඉන්න බැම්ම වගේ. කොයි වෙලාවෙ වාං දමයිද බයෙන් හිටියෙ.
*හ්ම් දැං යනව. ආයෙ එහෙම  මෙි මගුල් එක එකාට කියල තිබ්බොත් එහෙම තොට වෙඩි තියනව  අම්මප..
මාත් එන්න ආව. එදා ඉඳන් මං කොහේ ඉන්නව දැක්කත් එතුමා දුරින්ම මාරුවෙලා යන්න පටන් ගත්තා. මීටර් සීයකට වඩා මං ඉන්න ඉසව්වකට කිට්ටු කලේම නෑ. 
ඒ කිට්ටුව දවසක මට ආයෙත් පණිවිඩයක් එනව "කොල්ලෙක් එවන්න" කියල. ඒ එවන්න කියල තිබුනෙ ෆයිල් වගයක් ප්‍රධාන කාර්යාලයට යවන්න. ඒ ඔෆීස් එක ටිකක් දුරයි. මාක් ශීට් වගයක් තමා ඒ ෆයිල්වල තිබුනෙ. ඒවා අපිම හදල සර්ගෙ අත්සනට දාපුවා. 
මාත් තුන්දෙනෙක් යැව්වම හේතුව අහන්නෙත් නැතුවම කේන්ති ගිහින්. ආයෙ පණිවිඩයක් මට.
*මෙි කෝපලයො. මට බෑ තෝත් එක්ක මෙි රාජකාරිය කරන්න,එක්කෝ මෙිකෙ උඹ හිටහන්. නැත්තං මං යනව.දෙකෙන් කැමති එක දැන්ම කියහන්.
*ඇයි සර්??
*⁣බබෙක් වෙන්න එපා යකෝ.. කියල එතුමා නැගිටල යන්න ගියා. 
*මෙිව කොපිකරනව වගේ ලේසි නෑ සර්.
*තොගෙ අප්පට කියල යමින් හිටපු සර් ආයෙ වෙිගෙන් හැරිල මං ඉන්න පැත්තට ආහම මම ශේප් එකේ මාරුවෙලා යන්න ගියා. එදා ඉඳන් මගෙ මූනවත් බලන්න එතුමා කැමතිවුනේ නෑ. ඊට හරියටම මාසෙකට විතර පස්සෙ තමා මාව 59 සේනාංකෙට එව්වෙ. ඒ අපේ ස්කූල් එකේ පාලන කටයුතු 59 සේනාංකෙ ඉඳන්  කරපු රෙපාව රිලීව් කරන්න. 
මාත් තියෙන ඔක්කොම අකුලගෙන 59 සේනාංකෙට ආහම එතනත් මහ අමුතු කෙනෙක් හිටියා. මං ඒ කඳවුරේ ආතක් පාතක් නැතුව කරක් ගග ගගහ ඉන්නව දැකල හවස පීටී යමින් හිටපු කර්නල් ජීඑස්, ආර්එස්එම්ට මාව පෙන්නල,
*ආං අර මනුස්සයව හෙට මා ගාවට දාන්න මිස්ටර්.
ආර්එස්එම් ඇවිත් මට පණිවිඩෙි කිව්වා. එතකොට මට නිළ උසස්වීම් ලැබිල ඒ නිළය පලඳින්න ඒකකයට එවන්න කියල 59 සේනාංකෙට ලියුමකුත් ඇවිත් තිබුනෙ. මං හිතුවෙ ඒකට වෙන්න ඇති කියල වැඩි විස්තර අහන්න ගියේ නෑ. මොකද මෙි වෙද්දි මං දැනන් හිටියෙ නෑ මෙතුම මෙහෙ ඉන්නෙ කියල.
පහුවදා මාත් ගියා. ඔෆීස් එකට ඇතුල් වෙනකොටමයි මං දැක්කෙ මෙයා ඉන්නෙ කියල. 
*තමුන් මෙහෙ මොකද කරන්නෙ.
*සර් මං මුතියන්කට්ටු ස්කූල් එකේ හිටියෙ. මෙහෙ ස්කූල් ඇඩ්මින් කටයුතු වලට ආවෙ. 
ඒ ස්කූල් එක මෙි සේනාංකයට අයිති එකක්. 
*කමක් නෑ. තමුන්ට පුලුවන්නෙ මගෙ බඩියට එන්න. 
*අනේ සර් මටනං බෑ. 
*ඇයි?
*මට බෑ සර් ඔය බූ⁣ට් පොලිස් කරන එව්වායි,රෙදි අයන් කරන එව්වායි කරන්න. 
මං එහෙම කියද්දි ආර්එස්එම් දත්මිටි කක කකා මං දිහා බලාගෙන හිටියෙ. එයා දන්නෑනෙ සර්රුයි මායි අතර තියෙන සම්බන්ධෙ.
*අයිසෙ තමුසෙ චුට්ටක්වත් වෙනස් වෙලා නෑ ඔියි. තාම එහෙමමයි. දැං මං මෙතන තමුසෙට ඒව කරන්න කිව්වද?
*කිව්වෙ නෑ. ඒ වුනාට ඊලඟට කියන්නෙ ඔය ටිකනෙ.
*නෑ.තමුසෙ එන්නම ඔින. නාවොත් ඒක මං බලාගන්නං. මටත් බෙිරෙන්නම බැරිවුනා. වැඩිය කියවන්න ගියොත් හමුදා නීතිය ඇදිල එන්න පුලුවන් නිසා මාත් ශේප් එකේ බෙිරිලා හිටියා. මඩකලපුවෙ ඉඳන් සිත්තන්ඩිවලටත් යවපු පොරනෙ.මෙතනින් යාපනේට යවන්ඩත් බැරිනෑ.
එදින සවස ඉඳල මං එතුමගේ බඩියා. 
එදින හවස.
*ආරච්චී... තේකක් බොමුද.
⁣*මට නං බෑ.සර් බොන්න.
*මොකක් හු...
සර්නං ඊට එහා මුකුත්ම කිව්වෙ නෑ. මං ගිහින් ටී එකක් හැදුවා. මෙි සේනාංකෙ ඒ වෙද්දි සිවිල් වෙිටර්ල එක්කෙනයි හිටියෙ. එයැයිත් සේනාංකාධිපති ගාව ඉන්න නිසා අනික් වැඩ කරන්න බෑ. බඩියා තමා තේ එකක් උනත් හදල දෙන්න ඔින.
මාත් ගියා. ගැහුව හීටරේ. ගත්තා කෝප්පෙ. දැම්මා සීනි හැඳි අටයි.පිටි හැඳි අටයි.ගොට්ටෙට තේ කොල ග්‍රෑම් පනහයි. සීනියි පිටියි දාපුවම කෝප්පෙන් තුන් කාලක් පිරිල. ඉතිරි කාලට වතුර දාල හැදුව කැට කපන්න පුලුවන් සයිස් එකේ ටී එකක්. 
සර් පත්තරේ බල බල ඉන්න අතරේ 
මාත් හීන් සීරුවෙ ටෙිබල් එක උඩින් ටී එක තියල කෝකටත් කියල ටිකක් දුර පලාතකට ගියා. ඒ ගියෙ මං කලින් හිටපු බිලට් එක දිහාට. පැය භාගෙකට විතර පස්සෙ ඔෆිසර්ස් මෙස් එකේ සිවිල් කුක් දාඩිය පෙරාගෙන මාව හොයාගෙන ආව.
*මහත්තය කොහෙද ගියේ අප්පා.මං පැය භාගයක් තිස්සෙ හොයනව.ආං සර්ට මල පැනල හොයනව හැමතැනම.ඉක්මන්ට යං.
*මළා. මළ පැනලද ඉන්නෙ.
*ඒකනං දන්නෑ. මටම කියල දඩ පොල්ලකුත් ගෙන්න ගත්තා හැබැයි.
*හෑ.
*ඔව් ඔව් යං යං ඉක්කන්ට.
මං හැබැයි ටිකක් බයවෙලා හිටියෙ. හවස ප්‍රමෝශන් අඳින්න යුනිට් එකට යන්න කතාකර ගන්නත් හිටියෙ. ඒකත් අමතක වෙලා කරපු පාහර වැඩෙි ශික්.
*එස්කියුස්මී සර්...
*ආවද,මෙි උඹ මෙහෙට වැඩක් නෑ. හෙට උදේම මූමන්ට් ඔිඩර් එකත් අරගෙනම පලයන් යුනිට් එකට හොඳද.ආයෙ නාවට කමහ් නෑ. මං සීඅයිට කියල වෙන එකෙක් මෙහෙට ගෙන්නගන්නං. දැං පලයං.
මං සද්ද නැතුව හිටියා.
*බලනව අයිසෙ..තමුසෙ හදපු තේ එකේ හැටි. පඩයක් ගියානං දනිස් දෙකත් ඇලෙනව. යනෝයි යන්ඩ....
මාත් ආව එන්න. මයෙ අප්පේ කියලවත් කරගන්න බැරි වැඩක්. ඒ ආවෙ සුදන්දිරපුරම් කඳවුරට.
මෙහෙ ඇවිත් ප්‍රමෝෂන් එකත් ඇඳගෙන පාටියත් ඉවරවෙලා ඉන්නකොට තමයි මෙි කතාව වුනේ. අපේ හිටියා අඳුර වැටෙනකොට ගහක අත්තක් හෙල්ලුනත් බයවෙන ජාතියෙ පොරක්. මාත් එක්කමයි ප්‍රමෝශන් ඇන්දෙ. මෙි පට්ට කැලේ ඇතුලෙ දවල්ටවත් අහස පේන්නෑ. රෑට එකෙක් ඇඟේ හැප්පුනත් පේන්නෑ. රෑ දහයට ජෙනිය ඔිෆ් කරනවා. ඒ මදිවට මෙි කඳවුරේ මැරිච්චි කොටියෙක් හොල්මන් කරනව කියල කට කතාවක් කඳවුර පුරාම ගිහින් තිබුනෙ. ඒත් දැකපු එකෙක් නෑ. ඒ හිංද කෝකටත් තෛලය කියල කට්ටිය ටිකක් පරිස්සමින් තමා රෑට එහෙ මෙහෙ ගියෙත්. ඒ කට කතාවෙ එක් භූමිකාවක් මටත් තිබුනා. 

එදා විකියව  විසිට් එකක් දාල.
පාන්දර එකට:
*ආරච්චි,ආරච්චි,සාජන් ආරච්චි,මචං
*ඇයි ඇයි...
*යමන්කො බං. ඉක්මනින් එමු.
*මට බෑ උඹ පලයන්..
*අනේ වස්තුවෙි යමන්කො.
මිනිහගෙන් බෙිරෙන්න බැරිම තැන මාත් ඩබල් දාල විසිට් එක යන්න ලෑස්තිවුනා. මොනාවුනත් අහිංසක ඩෑල්ලෙකක්නෙ කියල. ඒවුනත් මගේ නින්ද කඩපු එකට ටිකක් තරහත් ගියා. රෑ කලුවරට තිබ්බ බයට තමා මට මෙි කතාකලේ විසිට් එක යන්න.
ඔය යද්දි මට මහා කාලකන්නි, මොලේ හිරිවැටෙන අපත සයිස් අයිඩියාවක් ආව. 
*ඒ සාජ්,නාන තැනින්නං මට යන්න බෑ,වටෙන් යමන්.
*ඇයි බං.ලඟයිනෙ.
*මගුලක් කියනව,ඊයෙ රෑ දොලහ එක මං විසිට් යනකොට ටැංකිය ගාව එකෙක් නානව ඇහුන. මෙි රෑ මොකා නානවද බලන්න ගිහින් බැලුවම කව්රුත් නෑ. මාත බය හිතෙන හඬකින් කිව්වා.
*අම්මප කියහන්?
*අම්මප තමා බං. ඒක කලින් තව කීප දෙනෙකුටම වෙලා තියෙනව. කෝපල් කෙනෙකුත් බයවෙලා. අපේ පියදාසයත් බයවෙලා.ගිරවත් බය වෙලා තියෙනෝ බං.
*අම්මෝ ඒකනෙ බං කියන්නෙ. ආර්එස්එම්ට කොච්චර කිව්වත් අහන්නෑනෙ දෙන්න දෙන්න විසිට් දාන්න කියල. 
මං දැක්කා කලුවරේ උනත් මිනිහගේ ඇස් විසාල වෙලා තිබ්බ හැටි. එහෙම ටික දුරක් කතාකර කර ඇවිදින් මං නිහඬවුනා. මූත් කතාවක් නෑ. එහෙම මීටර් පනහක් විතර ඇවිදින් මං සද්ද නැතුවම මග නැවතුනා. මූ යනව. මං මග. 
මෙතන ඉඳන් අනිත් බංකරේටත් ටිකක් දුරයි. 

එසැනින් මං බිමට නැවිල වැලි අහුරක් ගත්තා. 

ස්ස්සරසරසරසරාාාස්ස්ස්...
මට ඇහුනෙ බුදු අම්මෝ කියනව විතරයි. ඊට පස්සෙ  දැක්කා ගන කැලෑව අස්සෙන් ටෝච් එලියක් ගස්වල වැදි වැදි 
වෙිගෙන් දුවන හැටි.
අනේ හත්තිකේ කියන්නෙ ටෝච් එකක්වත් අතේ නොතිබ්බ මං ගස් අල්ල අල්ල පොයින්ට් එකකට ගිහින් ඒකෙන් ටෝච් එකක් ඉල්ලගෙන තමා මෙස් එකට ආවෙ. හැබැයි එදයින් එදත් පොර විසිට් යන්න මට කතා කලේ නෑ. 

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.08.01