Sunday, January 3, 2021

කිරාන් අදුරු රැයක්

 ඒ මහ අඳුරු රැයක්. පුර පෝයටත් දවස් දෙක තුනක් වගේ තිබුන නිසා ක්‍රම ක්‍රමයෙන් මෝරන හඳ ඉර බැසයනවත් එක්කම  අඳුර වැටෙන්න පටන් ගන්න ලෝකයට ඉර වගේම නැතත් ටිකක් හරි එළිය දෙන්න තමන්ගෙ රාජකාරිය භාරගත්තා. ඒත් මෙි අතර තව කෙනෙක් උඩ ඉඳන්  ලෝකය දිහා බලාගෙන හිටියා. ඒ වැහි වළාකුළු. පෝය දවස කිට්ටු වෙන්න වෙන්න වැහි වළාකුළුත් හරි බරි ගැහුනෙ පෝය දවස අල්ලල හොඳට පැල් බැඳගෙන දෙන්නද කොහෙද.  ඒ අඳුරත් එළියත් නොවන ආලෝකය අස්සෙන් මද සුළගට ලෙලදෙන තල් අතු තාලෙට සෙලවීමෙන් එන "සර සර"  සද්දෙ ඇහෙද්දි හිතට දැනෙන්නෙ පොඩිකාලෙ වෙසක් එක දවසෙ රෑට හැතැප්ම එකහමාරක් විතර පයින් පෝලිමට මිනිස්සු දාස් ගානක් එක්ක පන්සල් ගියපු හැටි. මග දිගට ගෙවල්වල එල්ලල තියෙන ඒත් තාමත් පත්තු නොකරපු වෙසක් කූඩු දිහා බල බල ලස්සන එක තෝරමින් යන ගමනෙදි හමා එන සුලඟින් පොල් අතු හෙල්ලෙද්දිත් එන්නෙ මෙි සද්දෙමයි. ඒත්  එදා ඇහුනු සද්දෙ මිහිරයි අද ඇහෙන සද්දෙ මිහිරයි අතර තියෙන්නෙ අහසට පොළව වගෙ හැඟීමක්. එදා අපි ඒකෙන් මිහිරක් වින්දට අද ඇහෙන ඒ හැම සද්දයක් ගැනම ගොඩාක් අවධානය දෙන්න වෙනවා. ඒක හරියට පොඩිකාලෙ බයිසිකල් පදින්න පුරුදු වෙනව වගෙ දෙයක්. 


ඒ අඳුරු රෑ අපි හිටියෙ ගොඩක් අවධානයෙන්. මොකද හඳ නැග එන කාලෙට සාමාන්‍යයෙන් ත්‍රස්ථවාදීන් පහර නුදුන්නත් පවතින කාල ගුණයත් නැගෙනහිර කොටි නායකයා විසින් කඳවුරට පහර දීමට පූර්ණ සැලසුමක් ඇති බවටත් බුද්ධි තොරතුරු වලින් සනාථ වෙලා තිබුන නිසා හා මෙි කඳවුරේම සැලැස්මක් හදලා ඒකට පහර දෙන විදියේ මොඩ්ල් ට්‍රෙිනින් පවා කරල තියෙනවා කියල තොරතුරු ලැබී තිබුන  නිසා වෙනදට වඩා ගොඩක් කල්පනාවෙන් තමයි අපි හිටියෙ. 


රෑ එකොලහට විතර ගමට දකුණු පැත්තෙන් බල්ලො බුරන සද්දයක් එක දිගටම ඇහෙන්න ගත්තා. කාටහරි හපන්න පනින විදියට තමා ඒ බුරන්නෙ. එක බල්ලෙක් දෙන්නෙක් නම් විශේෂයක් නෑ. නමුත් තැන් කිහිපයකින් එකම වෙලාවට බල්ලො කිහිප දෙනෙක් මෙි විදිහට හැසිරීම අස්වාභාවිකයි. ඒ සද්දෙ පටන් අරන් විනාඩි කිහිපයක් යද්දි නෑසී නැතුව ගියත්, බල්ලන් බුරන හඬත් එක්ක අපේ කඳවුරම ඇලට්වුනා.  මෙි සිදුවීමෙි හිතන්න පැති කිහිපයක් තිබුනා. කඳවුරට පහර දෙන්න එනවනම් ගම පැත්තෙන් ආවෙ ඇයි? සහ ආවත් බල්ලන් ඇවිස්සුනේ ඇයි. මඳ වෙලාවක් ගතවෙද්දි 2/ලුතිතන් ලොකුසූරියත් 2/ලුතිතන් මෙන්ඩිස් යන නිළධාරිත් විසිටි එකක් ඇවිත් අමුතු කතාවක් කිව්වා. ඒ දෙන්නම ආවෙ කඳවුරේ පිටුපසට. මමත් රාජකාරි හිටියෙ කඳවුරේ පිටුපස පැත්තෙ. නමුත් බල්ලො බුරන්නෙ කඳවුරේ ඉදිරියෙන්. 


*හොඳ කල්පනාවෙන් ඉන්න. භූමියේ සුලු වෙනසක්වත් නොතකා හරින්න එපා. තේරුනානෙ. තව ටිකකින් සීඑස්එම්මුයි සෙක්ටර් කමාන්ඩරුයි මොටාර් ටික ලේ කරලා (Lay) මෙතනට එයි. පැහැදිලියිනෙ. ක්ලේමෝ ටික බැලුවද?

*බැලුවා සර්. ගැටලුවක් නෑ. ඒ පිලිතුරු දුන්නෙ බංකරේ සීනියර් හිටපු සාසෙ සෙනෙවිරත්න. 

*හරි. අපි ගිහින් ආයෙත් එනවා. හොඳ කල්පනාවෙන් ඉන්න මෙි රෑ එළිවෙනකං.

පැහැදිලියිනෙ.

*ඔව් සර්.

ඒ දෙන්න ගියා. පැය භාගයක් විතර යද්දි එනව කිව්ව දෙන්නත් ආවා. අපේ කඳවුරේ රෑ දහයට ජෙනිය ඔිෆ් කරනවා. අපිට කරන්ට් එක තිබුනෙ නෑ. ජෙනියෙන් තමයි හැමදේම කරන්නෙ. අ⁣පේ ඉලෙක්ටීෂියන් වැඩ කරන්නෙ හෙට්ටිආරච්චි. රෑ ජෙනිය ඔිෆ් කලාම කරන්ට් එක සෙට් කරන්නෙ ඉස්සරහම තියෙන කම්බි පොටවල් වලට. ආරක්ෂිත ලාම්පු(Security Light) පවා හැමදාම නිවනවා. එදත් නිවල තිබුනෙ. මගේ හිතටත් මහා අමුතු අමුතු හැඟීම්  ඇතුල් වෙලා තිබුනෙ. දවල්ට මෙි කිසි දේක හැඟීමක් නෑ. ඒත් රෑ වෙද්දි හැමදාම ඔහොමයි.


ටික වෙලාවක් යද්දි සෙක්ටර් කමාන්ඩර් ඇවිත් පණිවිඩයක් කිව්වා. ඒ හදිසියේ ඇම්බුෂ් තුනක් ගමට යවන එකක් සහ ඒ සඳහා කඩිනමින් සූදානම් වී පොයින්ට් එකකින් එක්කෙනා ගානෙ ගිහින් මුරහල ඉදිරිපිට පෝලිම් වෙන්න කියල. සෙනෙවිරත්න ඇම්බුෂ් එක යන්න ලෑස්තිවෙලා ගියා. ඒ ගිහින් ටික වෙලාවක් යද්දි ආයෙ බල්ලො බුරන්න  කෑ ගහන්න පටන් ගත්තා. ඇම්බුෂ් තුනම පිටවුනේ කඳවුරේ පිටිපස්සෙන්. එහෙම පිටිපස්සෙන් පිටවෙලා කඳවුරට වමෙන් සහ දකුණෙන් ලඳු කැලෑව මැද්දෙන් ගමට යෑම තමා අරමුණ. මාත් එක්ක හිටපු අනෙකාත් මමත් බලාගෙන හිටියේ මොකද වෙන්නෙ කියල. මෙි වෙද්දි කඳවුරේ හැම බංකරයකම ඉන්නේ දෙන්නයි. ඒ මෙස් එකේ ඉන්න ආමි කුක්ල දෙන්නත් දාල, උයන්න හිටපු සිවිල් තිලකරත්නත් බංකරේකට එවලා. සිවිල් කියල නෑ එදා තිබුනු තත්ත්වය එහෙමයි. අනික තිලකරත්න අයියත් කැමැත්තෙන් මෙිවට සහභාගි වෙන්නෙ. ඒ දවස්වල සිවිල් ආමි කියල නෑ, ගේමනම් ගේමටම තමා හිටියෙ. තුවක්කු නෑ. බලාගෙන ඉන්නව ඇහැරලා. මොකක් හරි සිදුවීමක් දැක්කොත් අපිව දැනුම්වත් කිරීම තමා එයාගෙ රාජකාරිය. තිලකරත්න මීට පස්සෙ දවසක අපේ කඳවුර වටකර පහරදීපු අවස්ථාවක තුවක්කුවකින් සෑහෙන්න වැඩ පෙන්නුවා. අපිත් එක්ක හරි හරියට, කරට කර. ආරක්ෂක අම්‍යාංශයට අනුයුක්ත කරල ඉන් යුධ හමුදාවට ඇතුලත්වුනු සිවිල් සේවකයන් අතරින් ලංකාවෙන්ම තුන් දෙනෙක් විතරයි ආර්එස්පී පදක්කම් ලාභියන් වුනේ. ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තිලකරත්න. තව එක්කෙනෙක් ඉන්නව ඒත් තිලකරත්න. එයා දැන් මෙිජර් ජෙනරාල් හත්නාගොඩ(එවකට මෙිජර්/මතක විදියට)  බෙිරගන්න ගහපු ගේමක් හා ඒ බෙිරගෙන කිලෝමීටර් ගණනාවක් කරේ තියාගෙන වව්නියාවට අරන් ඇවිත්. ආබාධිතයි වෙඩි වැදිල. පසු කාලෙක එයත් අපිත් එක්ක 583 බළසේනාවෙ රාජකාරි කලා. 


ඇම්බුෂ් තුනම ගියා. ඒ ගියේ එකක ලුතිතන් මෙන්ඩිස් සහ ගම ඇතුලටම යන ටීම් එකේ 2/ලුතිතන් විජේරත්න. අනික් එකේ සැරයන් කෙනෙක් ගියේ. එන්නෙත් එතනින්ම කිව්ව නිසා අපිත් හොඳට බලාගෙන හිටියා. පැයක් ගතවුනා. තවත් පැය භාගයක් ගතවුනා. අනෝරා වැස්සක් වැටෙන්න අතලඟ. යන්තම් කුඩුපොද වැටෙමින් තිබුනෙ. ඒත් අපි ඒක ගණන් ගත්තෙ නෑ. එළියටම වෙලා හිටියෙ. වෙනදා වගෙ නිදිමත එනකොට හිංදි සිංදුවක තාලෙට හුරුවම් බාලා නින්ද කඩාගන්න විදියක් එදා තිබුනෙ නෑ. අපිට කිසිම සද්දයක් නැතුව ක්ෂිතිජය නොකැඩෙන ආකාරයට හැංගිලා වගෙ තමා ඉන්න වුනේ. වැස්සත් පටන් ගත්තා. එතකොට බංකරේට රිංගපු අපි දෙන්නා දෙපැත්තෙ තියන කවුලුවලින් ඉස්සරහ බලාගෙනම හිටිහා. වැස්ස වැටිල පැය භාගයක් විනාඩි විස්සක් විතර යනකොට ගම පැත්තෙන් එක දිගටම වෙඩි හඬ ඇහුනා. කඳවුර උඩිනුත් "සිග්-සිග්" ගාල වෙඩි උන්ඩ යන්න පටන් ගත්තා. විනාඩි දහයක් වගේ යනකොට එක දිගටම ගිය ෆයර් එක අඩුවෙලා සැරින් සැරේ එක දෙක තුන ඇහෙන්න ගත්තා. ඒ කියන්නෙ ෆයර් එක ඉවරයි. 

ඒ ෆයර් එක අවසන් වෙලා විනාඩි තිහක් විතර යනකොට එක ඇම්බුෂ් ⁣ටීම් එකක් ගියපු තැනින්ම ඇතුලට ආවා. බූට් අඩිය තියනකෙටෙ ඇහෙන චොරොස් චොරොස් සද්දෙත්, අවි සද්දෙත් ඇරෙන්න කඳවුරට එනකම් කවුරුවත් කතා කරන හඬ ඇහුනෙ නෑ. වෙලාව ඇති පාන්දර දෙක හමාරට විතර. එයාලනම් ගිනි මහ පාන්දරත් ඇතිවෙන්න නාලා. අපිට තමා ඒ වාසනාව නැත්තෙ. ලුතිතන් විජේරත්න තෙත බෙිරි බෙිරි බංකරේට ඇවිත්  ඇතුලෙන් තුවක්කුව තියල අනික් කට්ටියට ඉන්න කියලා ගියා.(එයා තමා අපේ සෙක්ටර් එක භාර නිළධාරි) එයා ආවෙ ආයෙ පැය භාගයකට විතර පස්සෙ. ඇවිත් කිව්වා "නිදිමත යන්නත් එක්ක ආං ගිහින් බලනවාලා,ලෙෆ්ටිනන්ට් මෙන්ඩිස් එකක් ගෙනහ්ලා" කියලා. එතකොට වැස්ස පායලා තිබුනේ. මට ඉස්සරලාම ගෙනාවෙ මොකද්ද කියල බලන්න යන්න ඔින වුනත් මට වඩා සීනියර් අනෙකා උගේ බලතල පාවිච්චි කරල ඉස්සෙල්ල ගියා. ඌ ආයෙ ආවෙ පැයකට විතර පස්සෙ. ඌ ආවම මාත් ගියා බලන්න. හම්මට කොටි මළ සිරුරක්. නිකන්මත් නෙමෙයි, තුවක්කුවකුයි, ක්ලේමෝ දෙකකුයි එක්ක. ක්ලේමෝ කිව්වට ඒවා අඩි දෙකක් විතර දිගයි. උන් හදපුවා. 


පහුවදා උදේම අපෙ පිකට් එකට පහර දෙන්න ආපු ටීම් එකක් ඒ විදියට නවත්තන්න මහ වැස්සෙම අපේ අයට හැකිවෙලා. යකඩෝ..මාත් පහුවදා පිකට් යන්න හිටියෙ. 

තල් කැලේ මැද්දෙන්, අපේ අය නොහිතපු අනෝරා වැහි වෙලාවක මතුවෙද්දි මොකුත් කරකියාගත නොහැකිවූ ඔවුන්ගෙන් ඉස්සරවෙලා ආපු අය වෙඩිතියද්දි පස්සෙන් ආපු අය දුවලා. අපේ අයත් නොහිතපු තැනකදි මූනට මූන හම්බවුනු ටීම් එකට කලබලේ වෙඩි තියද්දි තමා ඒ කොටින්ගෙන් එකෙක් මැරිල තිබුනේ. අපි පහුවදා එළිය වැටෙන්න ඔන්න මෙන්න කියල ගිහින් සටන් ඇතිවුනු ප්‍රදේශය සෝදිසි කිරීමෙිදී සටන ඇතිවුනු තැනට මඳක් දුරකින් තිබුනු තව අවියකුත් මැගසින් කිහිපයක්,අත්බෝම්බ හතරක්, එල්එම්ජී පතුරම් වැල් දාපු පැක් එකක් සමග ලින්ක්ස් තුනක්, සරමක්, සහ ගේකට රිංගලා හැංගිලා හිටපු සැපටම තුවාලවුනු තවත් එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට ගත්තා. තව තැනක සැපටම වැටුනු ලේ පාරක් තිබුනා. ඒ තල් ගහක් යට. එදා හවස බුද්ධි අංශයට උන්ගේ සෙට් එකේ කියපු දෙයක් මොනිටර් වෙලා අපේ ඔිසී වුනු මෙිජර් සෙනෙවිරත්නට දැනුම් දීලා එතුමා එදාම හවස අපිව ඒ ගැන දැනුම්වත් කලා. ඒ එක් අයෙකු මිය ගිහින් තුන්දෙනෙක් තුවාල වෙලා කියලත් එක් අයෙක් ආගිය අතක් නැති බවත්. ආගිය අතක් නැතිව හිටපු මනුස්සයා අපි  වාලච්චෙින පොලිසියේ ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබාදෙන්න භාරදුන්නා.  එල්ටීටීඊ සංවිධානයට අයත් මැගසින් බහාලනයක් (පූචසයක්) පැළැඳ, හමුදාවෙි අපි අඳින කම්බෑට් කලිසමක් හා ⁣කොටි අඳින සිවිල් කලුපාට ටීෂර්ට් එකකින් සැරසී සිටි, එදා පාන්දර කඳවුරට ගෙනාපු මියගිය සාමාජිකයා උදේ හවස දකින ⁣අපිත් එක්ක හොඳට කතාබහ කරන,අපි කඩෙි යවල සිගරට් පවා ගෙන්න ගන්න කිරාන් සමූපකාරයේ මුරකාරයා කියලා ටෝච් එලියෙන් උනත් අපි පැහැදිලිව අඳුනගත්තා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.03

6 comments:

  1. Happy new year Arachchi (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාටත් සුභම සුභ වාසනාවන්ත නව වසරක් වෙිවා....!!!

      Delete
  2. Hathnagoda is my school mate. Keep writing

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට

      Delete
  3. දැන් අටම්පහියට ලියන්නෙ නැද්ද ආරච්චි? ඒකෙ ටික දවසකින් දැක්කෙ නැති නිසා මේ පැත්තෙ ආවේ බලන්න..

    ReplyDelete
    Replies
    1. මං ඒකෙන් අයින් කලා. දැන් පේජ් එකෙයි බ්ලොග් එකයි විතරයි මහත්මයා..

      Delete