Sunday, January 29, 2023

මාංකේනි නවසි කුරුම්බා

 ඒ මාංකේනි කඳවුර. 2003. අපි මාංකේනි වලින් බළඇණි පාඨමාලාවක් යන්න ලෑස්ති වෙන ගමන්.


ඒ පෝයක් ඉවරවෙලා රෑ නවයට විතර හඳ පායන්න පටන් ගන්න කාලෙ. කතාවක් තියෙනවනෙ හඳ තියෙන කාලෙට සමහරුංගෙ මොලේ අවුල් යනව කියල. මටනං එහෙම එකක් ඒ කාලෙ තියා මෙි කාලෙත් නෑ. හැබැයි ⁣කරපු දේවල් ගැන මතක් වෙනකොටනම් හිතෙනවා සජිත්ට වඩා මට ටිකක් හරි පිස්සු චුට්ටක් විතර වැඩිවෙලා තියෙන්න ඇති කියල. 


හඳ පායන කාලෙට මාංකේනි පට්ට ලස්සනයි. අපේ කඳවුරට පිටුපසින් තියෙන්නෙ මහ මුහුද. හඳ පායලා පොල් කරටි අස්සෙන් අහස පේනකොටත්, ඒත් එක්ක හඳ එළිය වැටිල මුහුද කිරි පාටට පේනකොටත් හිතට කවි සිතුවිලි ගලා එන්නෙ හරියට මහයියාවෙ බෝක්කු කට කැපුව වාගෙ. අස්සෙන් පස්සෙන් රෙකා කාලෙ පුරුදු වෙච්චි කුණු හරප කවිත් නොකියවුනාම නෙමෙි. ඒත් හොඳ කවි ගොඩක් නම් කියවුනා. සිරාවටම කියන්නෙ,  මං ඔය හඳකාලෙට බංකර් උඩ ඉඳන් මුහුද දිහා බලාගෙන කැනඩාවට, නවසීලන්තෙට, ඔිස්ට්‍රෙිලියාවට නැව් දක්කන් ඉහේ කෙස් ගානට ගිහින් ඇති. කවදාවත් ඉටුනොවන සිහින දැකීමත් එක් කලාවක්. පුදුම හැකියාවක්. ඔහොම දවසක තමා කල්ලඩිවලදිත් කඳවුරෙන් පිටත පාර්ක් කරල තිබුනු ඩෝසරයක් ස්ටාර්ට් කරන්න ගිහින් කෝප්‍රල් ආරියරත්නගෙන් කනේ පාරවල් ටිකක් කෑවෙ. මෙි කතාව වෙද්දිත් මම හිටියෙ බීච් එක අයිනෙ බංකරේක. පිටිපස්සෙන් කාන්තා බළකා බැරැක්කෙ. උන්දැලා නිදිමරගාතෙ අරින පඩ සද්දෙත් ඇහෙන තරම් දුරකින් තමා මෙි බංකරේ තිබුනෙ. තව එකක් කියන්න අමතක වුනා. ඔය බීච් එක ටිකක් එහාට ගියාම පට්ට ගැඹුරුයි. මමනං එකම එක දවසක් වත් ඔය බීච් එකට බැහැල නෑ. දියවැලකුත් තියෙනවලු. 


එක දවසක් ගජබා රෙජිමෙ ටීම් එකක් අපේ කෑම්ප් එකට ආව. ආපු හේතුවනම් මතක නෑ. හැබැයි ඇවිත් ෆන්ෂන් එකකුත් ගත්තා. ඒ කියන්නෙ අටයි අටෙි බියර් ටින් ගහල බීච් එකේ නාන එකක්. අපි ඒ ආව හැමෝටම කිව්වා ඔතනින් බැස්සට කමක් නෑ, වැඩි දුර යන්න එපා කියල. කොහෙද ඉතින් ඒ ගොල්ලො පයිටින් යුනිට්නෙ. පෛවට්ටාරච්චිලා කියන දෙයක් අහන්නෙම නෑනෙ. මට මතක විදියට දහ දොළොස් දෙනෙක් මෙි මුහුදෙ බැහැල නෑව.  ටික වෙලාවක් යද්දි හෙන කලබලයක් අපේ බිලට් එක දිහාවට ඇහුනා. මුරහලත් තියෙන්නෙ ඔය කිට්ටුව. මාංකේනි කියන්නෙ සාමාන්‍යයෙන් පුංචි කඳවුරක්.  මමත් ඩියුටියක් ඔිෆ් වෙලා ඇවිත්  යුනිෆෝම් වගයක් හෝදන්න පෙඟෙන්න දාන්න යන්න ලෑස්තිවෙලා හිටියෙ. සද්දෙ ඇහිච්චි පැත්තට කට්ටිය දුවද්දි මාත් දිව්වා. වටෙි හිටපු අයත් දිව්වා.  ඒ දවස්වල අනිතුමා නිවාඩු හිටියෙ. මං දන්න විදියට අපේ දෙවන අනි තුමාත් එපා කියල තිබුන ඔතන මූදට බහින්න, බහිනවනං පරිස්සමින් කියල. කොහෙද ඉතිං ඒ ගොල්ලො ෆයිටින් යුනිට්නෙ. දුර යන්නැතුව පරිස්සමින් නාන්නං කියල තමා අවසර අරන් තිබුනෙ. 


කළබලේ තමා පොරොන්දු කඩකරලා ටිකක් දුරට ගිහින් මූදට බැස්ස එක්කෙනෙක් අඩුයි. ඒ කෝප්‍රල් කෙනෙක්. එක පාරක් වතුර උඩට ඇවිත් ආයෙ යට යනව දැකල තියෙනව තව කෙනෙක්. එයා ක්ෂණිකව එතනට පීනන ගමන් තමා කෑ ගහල තියෙන්නෙ. ඒ සද්දෙට ළඟ හිටපු අයත් කෑ ගහද්දි.  දුවගෙන ආපු මුරපතිත්  දඩබඩ ගාල බූට් පන්නලා යුනිපෝම් ගලවල මූදට පනිද්දි අපි කීප දෙනෙක් ඒ වෙනකොටත්  හිටියෙ මූදෙ. මුහුදෙ හිටපු අපි  හැම තැනම පීන පීන හෙව්වා මෙයා නෑ. මාත් ඇඳන් හිටපු යුනිෆෝම් කලිසම ගලවල තමා මුහුදට පැන්නෙ. නැත්තං බැලුම් පොකට්වලට වතුර පිරුනමයි, යුනිෆෝම් කලිසම තෙමුනමයි ගොඩක් බරයි. අනික මට මුහුදෙ ඔය හරිය ගැන තිබ්බ බය. ඒ නිසා තමා කලිසම ගලවල මුහුදට  පැන්නෙ. දැන් කට්ටියම පීන පීන හොයනව. ඒත් නෑ. තව ඩිංගෙන් මාතර වැල්ල කිට්ටුව උපන් ගම වෙච්චි අපේ ලුතිතන් කෙනෙකුත් අතුරුදහන් වෙනව එතෙන්දි.


  කොහොම හරි පැයක් විතර දත කාල කාල හෙව්වත් මෙයාව හම්බුනේම නෑ. පස්සෙ බැරිම තැන කට්ටිය ගොඩට ආව. 2IC, ඇජුටන්ට් අපේ ඔිසී ඇතුලු ගොඩ දෙනෙක් මෙතනට රොක් වෙලා හිටියෙ. අපි විස්සක් තිහක් විතර මූදෙ හිටියෙ. ඒ කෑම්ප් එක ඉස්සරහම හිටියෙ  සිංහල ධීවර පවුල් කීපයක්. ඒ අයයි, අපියි මෙයාව හැමතැනම හෙව්වා. ගස්ගල් අස්සෙ නෙමෙි..ගිලිල ඇති කියල හිතාගෙන මූදු පතුලෙ හෙව්වෙ.   පැය දෙකකට විතර පස්සෙ බැරිම තැන එකා දෙන්නා ගොඩට එනකොට තමා මටත් ගොඩට එන්න ඔිනවුනේ. මුදු රැල්ලයි, මද්දහනයි, මීටර්  දෙක තුන හතරක් ගැඹුරු මුහුදු පතුලෙයි කරක් ගහල ගහල  අපිත් හොඳටම  හෙම්බත් වෙලා හිටියෙ.


ටික වෙලාවක් යද්දි  ඔක්කොම ගොඩට ආවත්,  මං විතරක් මුහුදෙ වැල්ල ගාවට ඇවිත් දන ගහගෙන හිටිය. අහිංසක ජීවිතයක්නෙ දෙවියනේ නැතිවුනේ කියල කල්පනාවෙන පාරට පාරට මට ගොඩට එන්නම හිතුනෙ නෑ. ඒත් කට්ටියම කියනවා "තෝත් වර ගොඩට" කියල. ඒත් මට එන්න බෑ දුකයි..  වතුරෙ පීනලා මහන්සි උනත් ඇවිදගන්න බැරිකමක් තිබුනෙ නෑ. ඒත් එන්න බෑ. පස්සෙ මං කිව්වා "සර්ලා, ඔයාල යන්ඩලාකො, මං එන්නං හීන් සැරේ" කියල. ම්ම්ම්හු... ඒත් අහන්නෑ. මං ගොඩට එනකං කව්රුවත් එතනින් යන්නෙත් නෑ. ඒත් තාම සිවිල් අයයි අපේ කට්ටියයි බෝට්ටු වල  මහ මූදෙ කරක් ගහනව. පීන පීන හිටපු අපි විතරයි ගොඩට ආවෙ. පස්සෙ එයාලා මට ගොඩට එන්න කියනවා, මං බෑ කියනවා. මං බෑ බෑ කියද්දි එයාල අඬගහනවා. බැරිම තැන මං එතන හිටිපු එකෙකුට කිව්වා ටිකක් හිමින් "මං ගොඩට එන්න ඔන්නං ඔය කලිසම ගෙනත් දීපිය" කියලා. මූදේ හෝ හෝ හඬ මැද්දෙත් ඒක ඇහිච්චි 2IC මුහුදෙන් නැගෙන සද්දෙ පරයා නැගෙන හඬකින් "මුංනං හදන්නම බෑ, ඇජුටන්" කියනව වගෙ එකක් මගෙ සවනත වැකුනා. ඒක ඇහිච්චි සාජන් මෙිජර් ලයනල් "වරෙන්කො පරයා අද ගොඩට" කියනව වගෙ එකකුත් කියනව වගෙ ඇහුනා. ඒත් ඉතින් ඔය කොයි ගෝරනාඩුවත් හුරු මං හීං සැරේ කලිසම ඇඳගෙන ගොඩට ආවා. හැබැයි මං කියපු වෙලාවෙම ගොඩට ආවනං  මට වැදිල තිබ්බ කාඩ් අටෝරාසියට තවත් කාඩ් එකක් "බැරියර්" කියල වදින්නත් බොහෝ දුරට ඉඩ තිබුනා. 


ඒ නැති වෙච්චි කෝප්‍රල්, වෙන්න තිබුනු දේ එලෙසම වෙලා තියෙද්දි රැල්ලත් එක්ක ගොඩට ගහගෙන එද්දි අපිට හමුවුනා. ඉතිං අපේ කඳවුරත් අවමංගල්‍යක හැඩෙි ගත්තා. 


කමහ් නෑ, කතාවට යමුකො. කන බොන දේට මගෝඩි වැඩකට කවදාවත් පස්ස නොගහ ඉදිරිපත්වීමෙි කුරිරු හැකියාවක් ආරච්චිට තිබුනා. රිසාල්ට් එක පස්සට... ඒව හිතන්නෙ පස්සෙ. වැඩෙි තමා ෆස්ට්. අපේ කුස්සිය පිටිපස්සෙ තිබුනා "නවසි"කියල කට්ටිය හිතාගෙන හිටපු ටිකක් උස පොල් ගහක්. මයෙ අප්පේ..බලන්ඩෙපෑ ඒකෙ කුරුම්බා වලුවල තියෙන ලස්සන.. හඳපානට රත්තරං වාගෙ දිලිසෙන්නෙ. අනික ඒකෙ වතුරත් හෙන රහට ඇති. හැබැයි ගෙඩියක් කඩාගෙන බීපු එකෙක්නං ඔහෙ හිටියෙ නෑ. මොකද පොල් කැඩීම,කුරුම්බා කැඩීම "සම්පූර්ණයෙන්ම තහනම්" කියල අපි හැමෝවම නිළ දරණ අය විසින් දැනුම්වත් කරල තිබුනෙ. ඒත් මම විතරක්ම දෙතුන් පාරක් ඔය නවසි ගහෙන් ගෙඩියක් කඩා ගන්න ට්‍රයි කලත් ඒ සෑම උත්සාහයක්ම වතුරෙ ගියෙ හරියට මහා මුදෙ ගහගෙන ගිය අර කෝප්‍රල් වාගෙ. ඒත් මං උවමනාවකටත් නැතුව තියෙන කහන ගතියට ඔිකෙන් ගෙඩියක් බොන්න නොනිත් ආශාවෙන් හිටියෙ. ඒකට එකම එක අවස්ථාවක් පෙර දැනුම් දීමකින් තොරවම හඳ පායලා තියෙන පාන්දරක උදාවුනා.


මං හරියටම පාන්දර දෙකට ඩියුටි ඔිෆ්වෙලා ඔන් සෙන්ට්‍රිටත් "ටොයිලට් එකට ගිහින් එන්නං" කියල මගේ  ක්‍රියාන්විතය සඳහා පිටත්වුනා. ගොඩක් දවස්වලට  "ටොයිලට් එකට ගිහිං එන්නං" කියල මං මෙහෙම පොයින්ට් එකෙන් ගියත්, බොහෝ අවස්ථාවල මං ආයෙ බංකරේට ආවෙ ඉරත් පායන්න කිට්ටු වෙලා. ඒක දන්න නිසා මං යන්නෙ මොකටද,කරන්නෙ මොනවද කියල කව්රුවත් හොයන්නෑ. උං දන්නවා මං එහෙම ගියාම ආපහු එන වෙලාව. හැබැයි මොන වැඩෙි කලත්, ඒක හරියට කෙරෙනකං ආයෙ යකෙකුටවත් කියන්නෑ. එහෙම තමා මං හිතාගෙන හිටියෙ. මතකනෙ එක පාරක් ඔහොම ගිහින් ඔය කඳවුරේම සිංහල අවුරුද්දක් දාක හොරෙන් පුඩිං කෑවා. එදා ඉඳං බොහෝ දුරට මම තනියම තමා ගේමකට බැස්සනං බැස්සෙ. 


දැන් මමත් හීන් සැරේ කරක් ගහල ගහල  හොඳට වටපිටත් බලල බූට් දෙකත් ගලවල හංගල ඇඳන් හිටපු  යුනිෆෝම් එක පිටින්ම නගින්න පටන් ගත්තා ගහට. සුටුස් ගාල නැග්ගමත් කියමුකො. ඇම්බුෂ් ගිහින් මාලු කපන්න තියාගෙන ඉන්න මොට්ට පිහියත් අරන් දවස් කීපයක් තිස්සෙ බලල බලල "ඒ වල්ල කැපුවොත් නම් යකාටවත් හොයන්න බෑ" කියල මාක් කරගෙන හිටපු වල්ලට පිහිය අස්සෙන් දාල අතුල්ලලා අතුල්ලා පැය කාලක් විතර යනකම් අතුල්ලලා කොහොම හරි වල්ල ගහෙන් වෙන් කර ගත්තා. වැඩෙි ඉක්මන් කරන්න ඔින. විසිට් එකක් ආවොත් විනාසයි. විසිට් එකක් ඇවිත් ගහට නිකන් හරි ටෝච් එක ඇල්ලුවොත් තවත් විනාසයි. මොකද කියනවනං විසිට් එන මයෙ අප්පලා බිමට වඩා ටෝච් එක ගහන්නෙ ගස්වලට. නිදිමතේ තනි ඇහෙන්නෙ විසිට් එක යන්නෙත්. 


ගහෙන් වෙන්වෙලා තව වල්ලක් උඩට පාත්වෙච්චි ඒ ගෙඩි පහක් හයක් විතර තිබුනු වල්ල දත කාල කාල උස්සල අරං .ගස් කඳේ ඇනගෙන නමාගෙන හිටපු දකුණු කකුල උඩින් තියා ගත්තා. මට එහෙම වලු දෙක තුන අරං බැහැල අවුරුදු විස්සකටත් වඩා හොඳ පළපුරුද්දක් තිබුනා. ඒත්  පුදුම කරුමයක්. පලාතම දෙවනත් කරන ගමන් නැට්ට කපද්දි පිහියට ඇතිල්ලිච්චි ගෙඩි දෙකක් දෙපාරට නැට්ටෙන් කැඩිල වැටුණ කිහාල්ලකො " දිඩිහ්" "ඩිහ්" ගාල බිමට. එකක් වෙිලිච්චි පොල් අත්තක් උඩකිනුත් "සර සර සර බරස්" ගාල රෝල් වෙලා ගියේ හරියට මට නෝන්ඩියටත් වාගෙ.  ඊළඟ නිමෙිසෙ දනිස්ස උඩ තියෙච්ච වල්ලම අන් බැලන්ස් වෙලා වැටුණ කිහාල්ලකො "සරස් බු:හ් දො:හ්" ගාල බිමට. කරුමය කියන්නෙ කිය කිය පහර දෙන එකකට නෙමෙයි පෙන්ස්. නොකියම පහර දෙන එකට. 


මුලින්ම සද්දෙ ඇහුනු දිහාට ටෝච් එළිය ඇල්ලුවෙි ළඟ පොයින්ට් එකක රාජකාරි හිටපු මුලු යුනිට් එකම නමට වඩා "බෙල්ලා" කියල හඳුුන්වන සිසිරකුමාර. ඌට අහුවුනා කියන්නෙ සීඔිට අහුවුනා හා සමානයි. සිසිර කියන්නෙ මටවඩා සීනියර් බුවෙක්. පොරත් ටෝච් එක වටෙිටම අල්ල අල්ල මා ඉන්න දෙසට දුවගෙන ආවෙ විදුලි වෙිගෙන්. ඒ හිංදම මට ඉතුරු ටිකත් බැහැල දුවන්න කාලයක් තිබුනෙ නෑ. පොරත් ලඟට  ඇවිත් කෑ ගහන්ඩ හදනකොටම මම   "කෑ ගහන්ඩෙපෝයි, සීඔිට ඇහැරෙයි" කියන ගමන් ගහෙන් බාගයක් බැහැල හිටපු විදියටම ඉතුරු ටිකත් බැස්සා. මගේ දැන් කලබලයක් නෑ.වෙන්න ඔින දේ වෙලා ඉවරයි.  දැන් මං ඉන්න තැනට සද්දෙ ඇහිච්චි තව පොයින්ට් එකක සෙන්ට්‍රියෙක්  ගහෙන් ගහට ටෝච් එක අල්ලනව. ඒ අල්ලන ගමන් යටි ගිරියෙන් කෑගහල අහනවා. "කෞදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ" කියලා. ඒක ඇහිච්චි එහා කොනේ හිටපු මුරපති කෝප්‍රල් හඬ නගා "කොයෙදෞත්තෝ කුරුම්බාආආආ... කඩන්නේඒඒඒඒ..." අහනවා.   වටෙිටම ටෝච් එකත් ගග ගගහ දුවගෙන ආව සිසිරත්  ගහ යටට ආව, ගැහුව ටෝච් එක මූනට ඊළඟට  මහා සද්දෙන් "ආරච්චියා කුරුම්බා කඩන්නේඒඒඒ" කිව්වා. ඊළඟට එහා පැත්තෙ පොයින්ට් එකේ හිටපු එකත් ආව. විසිට් එකත් මග එනව. ⁣ගාඩ් කමාන්ඩත් ආව. සෙක්ටර් කමාන්ඩර් හිටපු ප්ලැටුන් සාජනුත් ආව.  මාත් කලබල වුනේ නෑ, නපුරු දුෂ්ඨ කොටි රැලකට අහුවුන අහිංසක හා පුංචෙක්" වගේ ආසියාවෙම ඉන්න අහිංසකය ලෙසින් පැමිනි කට්ටිය කියන කියන දේවල් අහගෙන හිටිය. ඒ, ඒ කට්ටියගෙ හිත වෙනස් වෙයිද කියල බලන්න. මුරපති ඇවිත් පොයින්ට් වලින් ආපු කට්ටියට සද්දෙකුත් දාල "පලයව් පොයින්ට් වලට" කියල එලෝලා ආයෙ අමුතුවෙන් බනින්න පටන් ගත්තා. විසිට් එකේ ආපු සාජන්ට් නම් අතේ තිබ්බ ටෝච් එකේ අඩියෙන් ඔලුවට හිමීට එකක් ඇන්නා විතරයි.

හතර පස් දෙනෙක්  එතන ඉතුරුවුනා කියමුකො. ගෙඩි හයක්  තිබ්බ වල්ලෙ. හයම අර මොට්ට පිහියෙන් කප කපා "බීපිය බීපිය" කියල පෙව්වත් කියමුකො. ඒවත් හෙන පතරංග ගෙඩි. ලිඳකට වගේ වතුරත් තිබුනා. ගෙඩි හතරක් බොනකොට හුස්ම ගන්නත් බෑ. මාත් අඩ අඳුරේ හොරාම  ඇඟිල්ලක් උගුරට දාල වමනෙ පාරකුත් දැම්මෙ, කට්ටිය බයවෙලා "දැං ඇති" කියයි කියල වත් හිතාගෙන. ඒත් නෑ ෆෙන්ස් හයම පොවන හැඩක් තිබුනෙ.  දැන් තව එකක් ඉතුරුයි. අතේ දියපට්ටත් දාල පිහියටම. බොන්නනං කොහොමහරි බැරියැ.මෙි උලව්වෙන් කපන එකනෙ වැඩෙි. මං ඒත් කිව්ව කව්රු හරි කපල දුන්නොත් ඔන්නං අනිකත් බොන්නං කියල. ඒක ඇහිච්චිගමන් අපේ ප්ලැටුන් සාජන්ට් නම් ආයෙ ටෝච් එකෙන් එකක් විතරයි ඔලුවට ඇන්නෙ. නිකන්මත් නෙමෙි "මුගේ අප්පට යකෝ" කියන ගමන්. 


කොහොමහරි හයවෙනි එකත් මංම කපාගෙන බිව්ව කියමුකො. දැං එතන හෙන ලෙක්චර්. කෝපල් කෙනෙක් කියනව "හොඳ වෙලාවට සද්දෙ ඇහුනෙ, නැත්තං ඔිකට අපිනෙ අහුවෙන්නෙ" කියල. ඒක අනුමත කරපු සාජන්ට් ආයෙ අමුතුවෙන් බනින්න පටන්ගත්තා. දැං හෙට ඉහල උසාවියට දාන පොරොන්දුව පිට "උදේ අටට හම්බුවෙයන් ඇවිත්"කියල කට්ටිය විසිරෙන්න ලෑස්තිවෙලා "තෝත් දැං පල පොයින්ට් එකට" කියල මටත් යන්න කිව්ව. මාත් යන්න ලෑස්තිවෙලා බීල ඉවර කරපු කුරුම්බ ගෙඩි දෙකකුත් අත්දෙකෙන් අරං ඇඟට හේත්තුවෙන්න තියල අල්ල ගත්තා. එවිට විසිට් ආපු සාජන්

*දැං තොට ආයෙ මොකටද ඔය කෝම්බ? කියල ඇහුව.

මං කිව්ව "ලොඳ කන්නනෙ ඉතිං, නැත්තං අපරාදෙනෙ" කියල.

යමින් හිටපු ප්ලැටුන් සාජන් මං දිහාට හැරිල ආයෙ පටන් ගත්තෙ අතකුත් උරුක් කරන ගමන්  "නෙද්දකින් තොගෙ අම්....කියල විතරයි.  එතනින් එහාට වෙච්චි දේ නං අහන්නෙපා පෙන්ස් කියන්නෑමයි ඉතිං.


ඔය ප්ලැටුන් සාජන්ට් එක්ක මගේ ඉතිහාස කතාවකුත් තියෙනව. එතකොට මෙයා සාමාන්‍ය සෙබළෙක්.  එක දවසක් මම රෙකා කාලෙ වාලච්චෙින කෑම්ප් එකේදි මාව පොල් ගහකට නග්ගන්න  හැදුව. ඒත් මෙි වගෙම හොරෙන් කුරුම්බ බොන්ඩ. මං "ගස් නගින්න දන්නෑනෙ කෝපල්" කිව්වම පොර අර මහ රෑ පොයින්ට් එකේදිම බිම පොල් ගහක් අන්ඳලා "දැන් නැගපිය ඔය ගහේ" කියල බඩ ගාවල තමා ගස් නගින්න පුරුදු කලේ. මම ඒක එහෙම එතන කිව්වනං තාමත් ගුටි කනවා. මොකද මිනිස්සුන්ට හරි ඉක්මනින් මුල අමතක වෙනවනෙ. 


කොහොමහරි පහුවදා උදේ අටට ගිහින් මම ඔය සාජන් හමුවුනා. සාජන් සාජන් මෙිජර් ගාවට දැම්මා. එතනින් 2IC ට දැම්ම. 2IC මාව නැවත වරක් දැඩි තර්ජනාත්මක අවසාන නිවෙිදනයකුත් සමග ඇප පිට  නිදහස් කර හැරියා.  නිකන්මත් නෙමෙි, "තමුන් ආයෙ එහෙම මෙි වගෙ වැඩක් කරල අහුවුනොත් කපනවා යට තියෙන ගජමුතු දෙකම" කියන අවවාදෙකුත් එක්ක.  එතනින් පස්සෙ ආයෙ කවදාවත් කව්රුවත් එහෙ කුරුම්බ බීවෙ නෑ. හැබැයි මමනං බීව. ඒත්  කාටවත් අහු⁣වුනේ නං නෑ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.29

Wednesday, January 25, 2023

රාළහාමිගෙ ඔරලෝසුව


 ඉස්සර නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි කරද්දි හමුදාවෙ සහයට පොලිසියත් හිටියා. ඒ කියන්නෙ හැම කඳවුරකම පොලිසියෙ දෙන්නෙක් ගානෙ. මටනං ඒ කාලෙ ඉඳන්ම පොලිසියෙ ඈයො පෙන්නන්නම බෑ. ඒකට හේතුව මම අදටවත් දන්නෑ, හැබැයි පෙන්නන්න බෑ. මට හිතෙන්නෙ ඔය පොලිස්සියෙ සමහර ඈයො අපිත් එක්ක රාජකාරි කරද්දි වෙච්චි සමහර සිදුවීම් හිංද වෙන්න ඇති. හැබැයි ඒකට දැං. මයෙ අප්පේ දැං කියලත් මහ වෙනසක් නෑ, දැං ඊටත් වඩා පෙන්නන්න බෑ. ඒ කාලෙ හිටපු, නම්බරේට ඉස්සරහිං ඉංගිරිස් "ආර්" අකුර තියෙන රාළහාමිලානං ටිකක් විතර හොඳයි. ඒ ගොඩෙි, ගොඩක් ආමි එකේ කෝස් කරපු අය හිටිය. ඒ ෆයරින් කෝස් ෆයිටින් කෝස් අර කෝස් මෙි කෝස් වගේ ඒවා.පොරලා හොඳයි කියන්නෙ, අපේ සිතුම් පැතුම් ටිකක් විතර උන්දැලා දන්නවා. ඒ නිසා.

 රෙගියුලර් රාළහාමිල හිටියෙ ඔය ආර් කියන කට්ටියටත් සද්දෙ දාගෙන. ඒ හිංදමද මංද ආර් කට්ටිය පොලිසියෙ රෙගියුලර් කට්ටියටත් වඩා එකමුතු වෙලා හිටියෙ අපිට. එක දවසක් වාලච්චෙිනෙ ආලංකුලම මාර්ග බාධකේ හිටියා ඔය කියන ජාතියෙ රෙගියුලර් පොලිස් රාළහාමි කෙනෙක්. ඒ මං ටැම්පරියක් අදින්න කෝප්‍රල් හපුගොඩව නිවාඩු යවන්න තාවකාලිකව රේඩියෝ රෑම් එකේ වැඩ බාර අරගෙන හිටපු දවස්.  මෙි ⁣සිද්දිය වෙද්දි  මම හිටියෙ නාවල්අඩි රේඩියෝ රූම් එකේ රාජකාරි.

 හවස තුනට විතර ඒ රාළහාමි අපේ සෙට් එකකින් මෙින් රේඩියෝ රූම් එකට කතා කරල කිව්ව පොරගෙ අත් ඔරලෝසුව නැතිවෙලා තියෙනව කියල. ඒක ගෝල්ඩ් වොච් එකක්ලු. (එක මං දන්නෙ පස්සෙ) පොර කඳවුරට කතා කලා.

*හෙලෝ සෙවන් ටූ බ්‍රාවෝ සිග්නල් ඔිවර්
*සෙවන් ටූ බ්‍රාවෝකේ
*රොජර් මෙතන මගේ ඔරලෝසුව නැතිවෙලා තියෙනවා ඔිවර්
*මොන ඔරලෝසුවක්ද ඔිවර්
*මගේ අතේ බඳින ඔරලෝසුව ඔිවර්
*දැන් මොකක්ද ඔබ කියන්නෙ ඔිවර්
*ඒක මෙතන නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා, තියෙනවනං ගැටළුවක් නෑනෙ ඔිවර්. 
*නෑ,නෑ නැතිවෙලා තියෙනව ඔිවර්
*ඉතිං නැතිවෙලා තියෙනවනං ගැටළුවක් නෑනෙ. නැතිවුනානංනෙ ගැටලුව ඔිවර්..
එයා නැතිවෙලා තියෙනව කියන එකට මම "නැතිවෙලා" කියන වචනෙ ලඟට කොමාවක් දාලම තමා රිප්ලයි කලේ. පොර බැරිම තැන
*ඒක නැතිවෙලා ඔිවර් කිව්වා.
ඊට පස්සෙ මං ඇහුව...
*ඔබට ඔික පරිස්සම් කරගන්න බැරුවද රට පරිස්සං කරන්න ආවෙ?? කියල. ඔහොම සංවාදෙ විනාඩි දෙක තුන හතරක් ඇදිල ගියාම මම අපේ කෙනෙක් සෙට් එකට අරගෙන විස්තරේ ඇහුව. පොර කිව්වෙ පැයකට විතර කලින් ඒක ගැලෙව්වලු, පස්සෙ බැඳගන්න හොයද්දි නෑලු කියල.
මම ඒක අපේ රේඩියෝ රූම් එකේ අනෙක් කෝප්‍රල්ට කිව්වට පස්සෙ එයානං කිව්වෙ "තිබ්බ තැනක ඇති, උඹ නාඩ ඉඳිං" කියනව වාගෙ එකක්.
ඒ කියමනත් එක්ක පස්සෙ මටත් හිතුනා නිකං ඉන්න ඒ රාළහාමිගෙන් චූට්ටක් විතර ආතල් එකක් ගත්තත් "හෙන ගහනවෑ" වාගෙ එකක්.
මම පැය භාගෙකට විතර පස්සෙ ආතල් ගන්න අයිඩියා එක ඔළුවට ආව ගමන්  පොරව සෙට් එකට අරගෙන

*ඔබෙි ඔරලෝසුව හම්බුනාද ඔිවර්
*තාම නෑ, තාම හොයනව කිව්ව.
මාත් ඉතිං වැඩ්ඩ වගේ පොර ඒ කතා කරද්දි ඉන්න තැනත් අහගෙන
*ඔබ සෙට් එකත් අරගෙන පොඩ්ඩක් ඔබෙි වමට යන්න .ගිහින් ඔිකේ කරන්න ඔිවර්,
විනාඩියකට විතර පස්සෙ
*හරි ආවා ඔිව..ර්
*දැන් ඔබ කොයි පැත්තටද හැරිල ඉන්නෙ ඔිවර්'  මම ප්‍රශ්ණයක් ඇහුවා.
*කඳවුර පැත්තට ඔිවර්..
*කඳවුර පැත්තට නෙමෙි, ඔබ කැලේ පැත්තට හැරෙන්න ඔිවර්
*හරි හැරුනා ඔිවර් .
*දැන් ඉදිරියට පියවර දහයක් යන්න ඔිවර් (ඒ මම.)
*හරි ආව ඔිවර්. පොර මං කියන කියන එක කරලා මට ඔිකේ කරනවා. පොරට සතුටුබර හැඟීමකුත් ටිකක් විතර තියෙන්න ඇති. මොකද මං අපේ කව්රු හරි අල්ලගෙන ඔරලෝසුව තියෙන තැන දැනගෙන තමා මෙි කියන්නෙ කියල පොරට හැඟෙන්න ඇති. ඇත්තම කියනවනං මට පොරගෙ නැතිවෙච්චි ඔරලෝසුව තියෙන තැන නිකන් පේනව පේනව වාගෙ දැනුනා. ඊලඟට මම කොහොම හරි පොරව මට ඔින තැනට ගෙනත්...
*දැන් ඔබ මදක් ඉදිරියට නැමෙන්න.එතන ඇති වොච් එක ඔිව...ර්.
තත්පර කිහිපයකට පස්සෙ පොර ආයෙත්..
*කෝ නෑනෙ ඔිවර්..
*නැතිවෙන්න බෑ, තියෙන්න ඔින, හොඳට බලන්න ඔිවර්..
පොර ආයෙත් තත්පර කිහිපයකට පස්සෙ 
*ඔබ කියන තැන නෑ ඔිවර්  
පොර දැං මට ඔිනම තැනට ඇවිත් තියෙන්නෙ.
ඊට පස්සෙ මම .
*සෙවන් ටූ බ්‍රාවෝ .එහෙනං ඔබෙි දකුණු අත දිග හරින්න ඔවර්..
*හරි දිගෑරියා  ඔිවර්  
*දැන් අත ටිකක් වැලමිටෙන් නවල ඉඟටිය හරියට ගෙනත් ඉඟටියෙන් ඔබෙි වම් පැත්තට අඟල් හයක් විතර ගේද්දි පොට්ටනියක් වගේ එකක් අහුවෙයි. ඒක ටිකක් තදින් මිරිකල බලන්න, ඔරලෝසුව තිබ්බ තැන මතක් වෙයි  ඔිවර්... 
කිව්ව විතරයි පොරට මළ පැන්නා. හෑන්ඩ් සෙට් එක ප්‍රෙෂ් කරගෙනම කුණුහරුපෙකුත් කියල ඔිෆ් ලයින් ගියා. ඊට පස්සෙනම් පොර නැතිවෙලා තියෙනව කිව්ව වොච් එකක් තියා නැතිවෙච්චි මළකඳක් ගැනවත් ඇතුලටනම් කීවෙ නෑ. හැබැයි පොරටම ඒ ඔරලෝසුව හම්බුවෙලා තිබුනා, පොරගෙ බූට් එකක් ඇතුලෙම තිබිල. ආමි අපි පැය විසි හතරම ඔතන ෆුල් යුනිෆෝම් හිටියත්  රාළහාමි ඉන්නෙ හවස් වෙද්දි බූට් දෙක ගලවල සෙරෙප්පු දෙක දාගෙන රිලැක්ස් එකේ. කොහොම හරි ඒක බූට් එක ඇතුලට වැටිල. හවස කෑම්ප් එකට එන්න ලෑස්තිවෙලා බූට් දෙක දාන්න හදනකොට තමා බඩු හම්බෙලා තියෙන්නෙ. 
ඔය අයිඩියා එක මගේ ඔළුවෙ දකුණු පස හිරිවට්ටාගෙන ආවෙ ඔිවගෙ එකක් ඊට කලින් මට වෙලා තිබ්බ නිසා.. ඒ අනුසාරෙන් තමා මම ඔය ආතල් එක ගත්තෙ.
එතකොටත් මම නාවල්අඩි කඳවුරේ මයි හිටියෙ.පුක් කිචි  සුභසිංහ එක්තරා දවසක් ගෙදරට කෝල් එකක් අරන් "හෙලූව්ව්" කියද්දිම  මම පස්සා පැත්තට අනින්න ගිහින්, කිචිය හැම සයිලයක් ගානෙම දුවල, "තිය හු%@$ති පෝං එක" කියල හෑන් සෙට් එක ජනෙල් පඩියෙ ගහල කඩපු කතාවක් කිව්වනෙ. ආං ඒක කඩල මම හෙන කට්ටක් කාල ආයෙ හෑන්ඩ් සෙට් එකකුත් ගෙනත් දීල මාසයක් විතර ගියාම තමා මෙික වුනේ.

සාමාන්‍යයෙන් අපි රෑ හතට විතර කෑම කාල රොක් ගැහෙන්නෙ කැන්ටිම ගාව. එතන තමානෙ අපේ පාරිලිමෙින්තුව පවත්තන්නෙ. (ඒ කතා කලින් කියල තියේ). 

ඒ මම නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට ආපු දවසෙම රෑ.  එදා උදේ මං ඇඳුම් බෑග් එක හදාගෙන අල්මාරිය ලොක් කරලා යතුර තිබ්බ තැන වයිෆ්ට හොයාගන්න බැරුව, "අනේ අයියෙ ආරච්චි ඔතනට ආව ගමන් කෝල් එකක් දෙන්න කියන්න කියල, කැන්ටිමෙි එයාගෙ ජයවර්ධන අයියව (මගෙ බැචා) කීප වරක්ම දැනුම්වත් කරල තිබුනා..ජයා ගෙන් මටත් පණිවිඩෙි හම්බුනා. දන්නවනෙ ඉතිං නිවාඩුවක් ඉවරවෙලා කෑම්ප් එකට එනව කියන්නෙ,  ඒ වෙලාවට ඔළුව පුල් කචල් වෙලානෙ තියෙන්නෙ. ඇයි දෙයියනේ ආයෙ කවදා කියල නිවාඩුවක් යන්නද?,ආපහු නිවාඩුවක් එන්න ලැබෙයිද? කියලවත් දන්නැති කාලයක්නෙ තිබුනෙ.
මාත් ඉතිං බෑග් එක හදල යතුර කොහෙන් හරි තියල ඇති, තිබ්බ තැන මටත් මතක නෑ. අල්මාරිය හැමතිස්සෙම ලොක් කරන්නෙ අපේ ලොක්ක ඒ දවස්වල පොඩීනෙ. ඔික ලොක් නොකළොත් අල්මාරියෙ නිකන් ලොක් එක කරකවල දොරවල් ඇරල ඔික ඇතුලෙ තියෙන හැම සබ්බසකලමනාවම බිමට ඇදල දානව. ඊට පස්සෙ වැඩ ගොඩයි. ඒක හංද තමා හැම තිස්සෙම ලොක් කරලම තියන්නෙ.

එදා රෑ කාල බීල පොල් ඉරට්ටකින් ඇවරි දෙකත් හාර හාර රාම වාතෙ ඇර ඇර මාත් කැන්ටිම ලඟට ආවෙ ගෙදරට කෝල් එකක් ගන්න. ඒවෙද්දිත් එතනට කෝල් ගන්න ඇවිත් හිටපු ජුන්නල ටිකකටත් සද්දයක් දාල, හදිස්සියක් කියල ගෙදරට කෝල් එකක් ගත්තා. මාත් විස්තරේ අහගෙන,...

*හෙලූ උයා දැන් කොතනද ඉන්නෙ?
*මං සාලෙ ඉන්නෙ 
*එහෙනං දැං අපේ කාමරේ අල්මාරිය ගාවට යන්නකො
*හරි 
*දැං ඔයා මොකද්ද ඇඳන් ඉන්නෙ අනේ?? මං නිකමට වගේ ඇහුව.
*ඔයා ගිය පාර අරන් දීපු කළු සායයි ඔයාගෙ නිල්පාට ටීෂර්ට් එකයි අනේ වයිෆ් කිව්වා 
ඊළඟට මම...
*හරි හරි හුරතල් වෙන්ඩ එපා...මං නිකං ඇහුවෙ.එහෙනං දැං ඔයා අල්මාරියෙ කන්නාඩිය තියෙන දොර ගාවට යන්නකො.
*හරි.
*ගියාද?
*ඔව්.
*එහෙනං දැං ඔහොම්මම බිත්තිය පැත්තට හැරෙනවකො.
*හරි හැරුනා.
*හැරුනද? එහෙනං ඔයා ඔහොම්මම අල්මාරියෙ යට නැවිල බලන විදියට ඉන්නකො.
*අනේ මෙි..බොරු කරන්ඩෙපා හලෝ..අල්මාරියෙ යට යතුර තියන්නෑනෙ...
*හරි හරි තෞසෙ නැමෙනවකො..මමනෙ දන්නෙ යතුර තියෙන තැන.හොඳට නැමෙනවකො ටිකක්
*හරි හරි 
*නැමුනද?
*ඔව්..
*එහෙනං දැං ඇඳන් ඉන්න සාය පිටිපස්සෙන් උස්සල අල්මාරියෙ කණ්නඩිය දිහා බලපංකො. යතුර තියෙන තැන විතරක් නෙමෙි යතුර දාන තැනත්..පෙ.....නෙයි කියල කියන්න හම්බුනේ නෑ මගේ ආදරණීය යාලුවනේ...ඊළඟට මගේ සවනත වැකුනෙ "හුක්" සද්දෙකුත් එක්ක අවීචිමහ නරකාදි දුෂ්ඨ වචන පේලියක් . මම ඒව පිට කාටත් ඇහෙන්න කලින් "සුටුස්" ගාල පෝන් රිසීවරේ පෝන් එකෙන්ම තියල කට්කරන ගමන් කැන්ටිමෙි ජයා දිහා බැලුවෙ මුකුත් වුනේ නෑ කියන්ඩ වාගෙ. ඒත් මට නොතේරෙන්න වටපිටෙි හිටපු පවිටු දනන්  මගේ කතාව අහං ඉඳල කියල තේරුනේ..අනෙක් උං "හික්කි,හික්කි,හිකි හිකි" ගාල හිනාවෙද්දි හා ජයා මගෙන්  පැනයක් විමසුව විටදි..
*අහගත්තද මකයා ..... හොඳ වැඩෙි තොට...
අනේ මංදප්පා... ඒ දවස්වලත් මටමමයි තමා වුනේ..

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2023.01.25


*

Tuesday, January 24, 2023

වින්දනය

 ඔබ දන්නවාද??

* මෙි අඹ ගෙඩියෙ හැඩෙි ගත්තු රට ගොඩ ගන්න තරම් මෙි වෙන තෙක් කිසිම සුදුසු නායකයෙක් අපි අතර නැති වග?

* ඔබත් මාත් පය ගසා සිටින මෙි මහ පොළවෙි අයිතිය වෙනුවෙන් දෙපයින් සිට ගන්නට තරම් අපේ කොඳු කෙලින් කරන්න පුලුවන් නායකයෙක් තාම ඉපදී නැති වග?

* වරින් වර අරුන්ටයි මුන්ටයි උන්ටයි රැවටෙන අපිට කනට එකක් ගසා  "මෙික තමා ඩෝ...හරි පාර" කියන්න තරම් අත පය  කට පන තියෙන එකෙක් තාමත් දිවිය ලෝකෙවත් පහල වී නැති වග?


*74 වසරක් මුළුල්ලේ අපිව වහල්ලු වගේ කරගෙන හිටපු අපේ පංතියේම  එවුන් එහෙට ගියාට පස්සෙ උඹෙත් මගෙත් කොන්ද අඩු කුලේ පරහැත්තවුනු උන් ඉස්සරහ නැමෙන්නට තරම් හීනමානයක් උඹෙත් මගේත් හිත්වල ඇති කරපු බව?

* උන් මොනදේ කලත් ඒකට සුදු හුණු ගාන්න තරම් උඹෙත් මගෙත් මහ එවුන් උන්ගේ දේශපාලනයට වහල්කර ගත්තු වග? 

* මොඩර්න් පොලිටිකල් සිස්ටම් හරහා ඔබත් මාත් කරන්ට දෙයක් නැතුව "අපි හම්බු කලොත් අපි කනවා" කියන්න තරම් මැටි මෝල් විදියට හිතන්නට අපේ පරම්පරාව කොච්චර "ගොං" කරාද කියලා?


* අපේ රට,ජාතිය, ආගම, තම්බියා, දෙමළා,  අතරේ උඹත්, මාත්, අපේ දරුවනුත්, උන්ගෙ දරුවෝත්  ලෝකයේ ඉහළටම ඔසවා තියන්න වරම් අරන් ඇවිත් ඉපදෙන්න හිටපු නායකයාගේ තාත්තා එදා රෑ සරමෙි පිසදාගත් වග?

*එනයින්ම අපිට ශ්‍රේෂ්ඨ නායකයෙක්  අහිමිවුනු වග??


දුක් නොවන්න. ඒ අපේ සීයලා ආච්චිලාගේත්, අපේ  වැඩිහිටියන්ගේත් දුර්වලතාවයයි. ඒ වෙනුවෙන් අපි......


අඩා! සිංහලිනි නැගිටිවු!! දෙපයින් සිටගනිව්,!!!, නැත්තං මොලේ තැලෙයි.



"සොරුන්,මංකොල්ලකාරයින්,භීෂකයින්,කොමිස්කාරයන් සහ බලයට ප්‍රේතයින් බලයට පත්කරන රටක ජනතාව වින්දිතයින් නොව අපරාධයක හවුල්කරුවෝය"


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.01.06