Sunday, April 2, 2023

පරණ බඩු

 ඈත අහසත් හිතේ ගොඩගැහිල තියෙන සිතුවිලි සමුදායත් අනාගතේ කොහොම වෙනස් කරයිද කියල කාටවත් කියන්න බෑ. මට එහෙම හිතුනෙ පාලුවෙි කාන්සියේ ඇඳට වෙලා බර කල්පනාවක ගිලිල ඉන්න කොට. කොට්ටෙ ඇඳ වියලට හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන ජනේලයෙන් පේන ඈත ක්ෂිතිජය දිහා බලාඉන්නකොට හිතට එන්නෙම මහ අමුතු සිතුවිලි. උදේ හවස දකින ඇන්ටික් බඩු වලින් පිරුනු ගේ කෑල්ල දිහා බලාගෙන සුසුම්ලාපු වාර ගනන නම් මෙතෙකැයි කියල කියන්න බෑ. හිතටත් මහ බරක් දැනෙන්නෙ මෙහෙම තනියම ඉන්න වෙලාවල් වලට.අද තියෙන දානෙකට  පෙරේදා අපේ උන්දා උන්දැගෙ මහගෙදර ගියේ මට අවවාද අනුශාසනා ගොඩක් දීලා. මොකද මං එහෙ යන්නෙ අවුරුද්දට එක සැරයයි. නෑදෑයො උනත් ඔිනවට වඩා ලංකරගන්න හොඳනෑ. වෙලාවකට හිතෙනව නෑදෑයො කියන්නෙත් මෙි කොට්ටවගේමයි කියල. මහරෑ කට දෙපැත්තෙන් ගලායන විටමින් ගංගාවලින් දූෂිතවී පිලුනු ගඳ ගහන මෙි කොට්ටා උර වගේමයි කියල. අනික උන්දැ මාව එහෙ එක්කන් යන්න වැඩිය කැමති නැත්තෙ උන්දැගෙ නංගි ටෝක් කරයි කියල බයේ එහෙම නෙමෙි. 


ඇත්තටම මං ඇඳ වියලට බරදීල බර කල්පනාවක හිටියෙ. ගෙවල් දොරවල් අස් කරන්නත් බෑ. කරුමෙ කියන්නෙ මෙි වගෙම උන්දැ හිටපු නැති දවසක හිරු හිනැහෙන එක් උදෑසනක කුස්සිය අස් පස් කරන්න ගිහින් අපුන්දෑ තේ බොන කෝප්පෙ අතෑරිල  දෙකට මැද්දෙන් පැලිල වෙන්වෙලා ගියා. ඒත් ඒක මං අතින් නූන විදියට පයිප්ප ගම් ගාල අලෝල තියල, උන්දැ තේ වත්කරද්දි  උන්දැගෙම අතින් වෙච්චි එකක් ගානට හෙන අමාරුවකින් අටෝල තිබ්බා.  මාත් ගෙදර සුපිරිසිදුව අස්පස් කරල තියෙනව දැක්කම උන්දැ මා දිහාත් බලල හිනාවුනේ කට කන්දෙක ගාවටම ඇදල හිනාවෙලා. මාත් කට කොනකින් හිනාවෙන ගමන් හිතුවෙ " බීපිය තේත් එක්ක පයිප්ප ගම්" කියල. උන්දැත් 

 කලගුණ සැලකීමක් වශයෙන් "තේ ටිකක් බොමු නේද?, මහන්සිත් ඇතිනෙ ඔයාට" කිව්වම මුලු ගතම සලිත වෙලා ගියත්, මං නිස්සද්දව හිටියා. 


උන්දැත් එක්ක මට පරන ඇරියස් එකකුත් නොතිබුනාම නෙමෙි. මං දුර ඈත අම්පාර දිහෑ වැඩකට ගිහින් ඉන්නැද්දි ෆෝන් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකක් වට්සැප් දාගන්න ගිහින් පට්ට වහක් කෑවෙ. ඩෙිටා ඔන් කරල පැය බාගයක් ගිහිල්ලත් හතර ජී සිග්නල් ආවෙම නැතිලු. කියන්නෙම හච් කතිර සිකනල්, හච් නිකං සිකනල් සහ එටිසලාට් සිකනල් විතරමලු ආවෙ. රුපියල් දෙසීයක ක්‍රෙඩිට් ඉවරවෙනකම්ම සැරින් සැරේ කතා කලා මිසක් වැඩෙි කරගන්න හම්බුනේම නෑ. 

HSDPA,HSPA සිග්නල් වලට මුන්දෑ කියන්නෙ හච් කතිර සහ හච් නෝමල් සිග්නල් කියල. එටිසලාට් සිග්නල් කියන්නෙ EDGE සිග්නල් වලට කියන්නෙ එටිසලාට් සිකනල් කියල. මට එදා මල පැනල පොහොට්ටු දොට්ට පැනල කැවුතු ඇඹරෙන මට්ටමෙි තරහක් ආවත් ආයෙ ගෙදර එන්න ඔින නිසා ඉවසගෙන හිටියා. මං ඒත් ඇහුව ඩෑලොක් සිම් එකේ කොහොමද ගෑනියෙ හච් එටිසලාට් සිග්නල් එන්නෙ කියල. ඒක තේරුං කරන්න ගිහින් තමා සතියකින් ගෙදර ඇවිත් ආයෙ සතියක් යනකම් තනියම නිදාගත්තෙ.


කතාවට යමුකො. තේ එකත් පැහෙන සද්දෙ ඇහුනා. එහෙං මෙහෙං "ටලං ටලං ටක ටක" තාලෙට තේ හැන්දෙන් කෝප්ප වාටි වලට පහර දෙන සද්දෙත් ඇහුනා. ඒත් එක්කම තමයි මට ඇහුණේ මහා විලාපයක්. ඒක හරියට වල් ඊරියෙක් මරන මංචකේ කෑගහනව වගේ අමිහිරි සද්දයක් ෆෙන්ස්. පස්සෙ ඈ.. කෑ ගහගෙන බාත්රූම් එකට දුවද්දි සාලෙ පුටුවක ඈඳිගෙන හිටපු මං ගෙයින් එලියට දිව්වා. ඊළඟට පාරට පැන්නා. පස්සෙ පාර දිගෙත් දිව්වා. පැය ගණනකට පසු ගෙදර ආවම තමා ටිකක් ඇඟ කූල්වුනේ. මං ඒ එද්දිත් මුන්දා ඒ කෝප්ප ජාතිය හදපු උන්දැලගෙ මීමුත්තලට, කිරිකිත්තලට හිටං යමර බැනුම් බනිනවා. හොඳ වෙලාවට මට බැන්නෙ නෑ. මුන්දැ තේත් හදල "රහද" බලන්න අන්ඩෙන් උස්සල තොල ගාවට ගෙනාවා විතරලු.. චෝස්ස් ගාල ඇඟේලු. 

හැබැයි ඉතිං එළදෙනට පව් කියල හිතුනත් බුරුලක්  පෙන්නුනානං එහෙම මං තමා අහුවෙන්නෙ කෝප්පෙ කැඩුව කියල. 


අදත් ගෙදර අස්කරන්න ඔින. ඒත් හෙනම පාළුයි. මද සුලඟේ නැලවෙන ගස් කරටි ජනෙල් කම්බි අතරින් පේනකොට මහ මූසල ගතියක් හිතට එන්නෙ. ඇත්තටම වයිපරේ හිටියනං මෙි වෙලාවට කඩෙි දෙපාරක් හරි තුන්පාරක් හරි ගිහින්නෙ. අද ඒකත් නෑ. ගේ අස්කරන්න තියා ඇඳෙන් නැගිටින්න හිතෙන්නෑ. ඔය අතරමංදෑවෙ බුකියටත් ගොඩවෙලා වස්සැප් එකෙත් කරක් ගහල යූටියුබ් එකටත් ඇඟිල්ල ගහන්න හදනකොටම තමා මට ඈතින් මිහිරි කන්කලු ස්වරයෙන් නාදයක් ඇහෙන්නෙ.


"පරන බඩු වලට අපි දෙනවා අලුත් බෙිසාං...හට්ටි මුට්ටි පරන බැට්ටි,......පරන බයිසිකාල්....කැඩුණු පෙට්ටි වලට අපි දෙනවා අලුත් බෙිසාං... පොල් කටු ගන්නවා... පොල්කටු පොල්කටුඌඌ...

ඇත්තටම අද අපුන්දැවත් හිටියනං ලොරියට දීල  අලුත් බෙිසමක්වත් ගන්න තිබුනා..


මාත් විජහට නැගිටලා පාර අද්දරට ගියා. ගිහින් ලොරියම අරගෙන ආවා ගෙදරට. ඒකෙ හිටිය තුන් දෙනෙක්. අපරාදෙ කියන්න බෑ, අපි හතර දෙනාම එකමුතු වෙලා අපේ ගේ වටෙිම අස්කලා.  කාමර හතරමත් අස්කලා. කුස්සියත් අස්කලා. උන්දැලා උළුකැට ගන්නවනං එහෙම වහලෙ මකුළු දැළුත් කඩවගන්න තිබුනා. පස්සෙ ඔක්කෝමත් සුද්ද පවිත්‍ර කරලා දීල අතටත් බාගෙකට තුන්කාලකට වාගෙ සෑහෙන ගානකුත් දුන්නා. පරන පොත් බෝතල් ඔක්කොම දුන්නා., බියර් බෝතල්වලින්ම දාහකට ආසන්න මුදලක්. අපරාදෙ කියන්න බෑ. හරි රත්තරං මනුස්සයො ටිකක්. එතන හිටපු එකෙකුටවත් ගස් නගින්න බෑ. නැත්තං කුරුම්බ ගෙඩියක් බොමු කියල පොල්වලු තුන හතරකුත් බිමට ඇද දාගන්න තිබුනා. 


එදා හවසත් මුන්දා එද්දි මං හරි ලස්සනට ගේ හදල තිබ්බා. එදානං මට චුට්ටක් විතර වැදිල තිබුනෙ. මුන්දැ අහනව 

*"කෝ මං අර පිලිකන්නෙ ගොඩගහල තිබ්බ බඩු ටිකහ්?"  

*බඩු කාරයෙක් ආවනෙ. මං දුන්නා.

*අයියෝ...මං ඒව ටික එක්කහු කරල තිබුනෙ මං ඒව ටික දෙන්න. දැං කෝ ඒවට ගත්තු සල්ලි. 

*මෙි කතා කරන්නෙ ඒව තමයි.

*කෝ..සල්ලි ඒවෑ??

*යකෝ මෙි කතා කරන්නෙ ඒ සල්ලි තමයි.

*කෝ??

මද වෙලාවක් මා දිහා බලං හිටපු ඈ මැකිලා යන්න ගියා..

ඒ යද්දි තමා මගෙන් ඇහුවෙ

*කීයක් හම්බුනාද? 

*බාගෙකට විතරයි. තෞසෙ හිටියනං බෝතලයක් ගන්න තිබුනා ඈ..ෂික්.

*ඒක තමයි. අපරාදෙ සයිකලේට සෑහෙන ගානක් ගන්න තිබුනා.තෞසෙව රවට්ටලා අඩුවටම අරන් යන්න ඇති. අපරාදෙ

*නෑ. නෑ මැනිකෙ..ඒවටනං එච්චරම තමා හම්බෙන්නෙ.

*එහෙනං..?

*නෑ ඉතිං තෞසෙ හිටියනං කීයක් හරි ගන්න තිබුනා. පරණ බඩු කාරයොනෙ.

තෞසෙලාත් පරන කෙසේ වෙතත් බඩුනෙ...උං ඒ ඒ බනිස් වලට අපි දෙනවා කෙසෙල් ගෙඩි කියලත් කිව්වා ඔිං... විතරයි ෆෙන්ස් අපරාදෙ හම්බුන අලුත් බෙිසම. කොහොමත් මාසෙකින් විතර ආයෙ කන්දක් ගොඩ ගැහෙයි.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2023.04.02

6 comments:

  1. කර්නල් ඩොලයාඩ්April 2, 2023 at 1:58 PM

    සොල්දාදුවාගේ බිරිඳ සැමදාම මනාලියක්. විශ්‍රාමික බලපති සැරයන් ප්‍රයිවට් ආරච්චිගේ ත් එහෙමයි

    ReplyDelete
  2. වැල් කම් බැක් රලාමි , මං හිතුවේ බොග දාන එක නවත්තලා කියලා ....

    ReplyDelete
  3. රනිල් වික්‍රමසිංහ ඒකාධිපති විධායක ජනාධිපතිට කඩේ යන්නේ ඇයි රුවන්? මිලිටරි ජනාධිපති එක්ක එකතු වෙලා අපිව මරන්නද හදන්නේ

    ReplyDelete
  4. යක්කුන්ටත් ඇරිය දෙයියන්ටත් ඇරිය සැරයන්ට කවුද ඇරියේ කියලා මා බැලුවේ

    ReplyDelete
  5. දෙමළු මරපු මිනිමරුවා

    ReplyDelete

  6. //HSDPA,HSPA සිග්නල් වලට මුන්දෑ කියන්නෙ හච් කතිර සහ හච් නෝමල් සිග්නල් කියල. එටිසලාට් සිග්නල් කියන්නෙ EDGE සිග්නල් වලට කියන්නෙ එටිසලාට් සිකනල් කියල.

    සුවර් එකට කොපල් කාලේ රෙක්කන්ට දුන්නා වගේ කියල දෙන්න යන්න ඇති HSPA , EDGE අනම් මනං :D

    දැන් කොහොමද පොතේ වැඩේ? රටේ තොටේ වෙච්ච දේවල් හැටියට ලියන්න තරං හිත නිදහස්ව තිබුනද දන්නේ නෑ.
    කොහොම හරි ඒ වැඩේ හරියන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete