Tuesday, July 13, 2021

බාලා සමග කාලයක්

 ජීවිතේ කියන්නෙ හරියට මෝය කට කපපු තැනකින් මුහුදට වැටෙන්න ලංවෙච්චි ගඟක් වාගෙ. උඩින් වතුර නිසලයි. ඒත් යටින් මාර සැරක් තියෙන්නෙ. ගොඩක් දෙනා මතුපිටින් දකින නිසල බව නිසා "ඒක හරි නිසල ගඟක්" කියල හිතල "මටත් මෙි වගේ  ගංඟාවක් වෙන්න ඇත්නම්" කියල හිතනවා ඇති. ඒත් ඔවුන් දන්නෑ ඒ ගඟ මෙතනට එන්න මග දිගේ කාපු කට්ට කොහොම එකක්ද කියලා. කඳුවලින් පල්ලෙහාට වැටෙමින්, ගල්පර වල හැපෙමින්, වංගු  වලින් චංචල වෙමින් , කටු පඳුරු අස්සෙන්, හෙල් තැනිතලා මැද්දෙන් මෙි සා දුරක් එන්න ගත්තු වෑයම දන්නේ ඒ ගංගාව විතරයි. ඒ ගංඟාව නිසාම  ඇතිවුනු ශිෂ්ටාචාර වල මිනිස්සු හිතුමතේ ඒ ගංගාවෙි පාර වෙනස් කරන්න හැදුවත් ස්වභාව ධර්මතාවය අනුව ඒවා කඩා බිඳගෙන හරි අන්තිමෙි මූද නැමැති ස්වාමියා හම්බ වෙනකම් ගලා ඒම තමා ගංගා කුමරියගේ සිස්ටම් එක. ඒ ගමන අතරමැද මුහුන දෙන බාධක හිංදාම හයි හත්තිය ඇති හෝ නැති සමහර තැන්වලදි ඒ බාධක මැද යම් තරමකට ගංඟාව දුර්වල වුවත් වංගුවක් දාල හරි ඇවිත්  සාගර හිමියාට උණුසුම් හාද්දක් දෙන්න පුලුවන් හයිය තියෙන ගංඟාවකට විතරයි. තැනක තර වී එහෙත් තවත් තැනක ක්ෂය වෙමින් රන්වන් පුලින තලා මැද බඩගාගෙන ආයෙත් අමාරුවෙන් පෝෂණය ලබන ඒ ගංඟා කුමරිය,  මඟ අහුරන අහිංසක ජනතාවට කවදාවත්  ගැරහුවෙි නෑ. ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරමින් නිසලව ගලා යන්න හැදුවත් , හැබැයි දෙ'ඉවුර  ඉන්න රුදු යක්ෂයන් වැනි මිනිසුන් ගංඟාවෙි චරිතය දූෂණය කලේ හරියට පුතා තම මව දුෂණය කරන පරිද්දෙන්. ඒත් මග නැවතීමක් නොමැති ගංඟාව අවසානය තෙක් ගලනව. ඒක තමා ධර්මතාවය. මෙි ගංඟාව නමින් කොච්චරක් කවි ගීත ලියැවුනත් ඒවායේ යථාර්ථය දකින්නේ මෙි ලෝකයේ බොහොම ටික දෙනයි. සුතමය ඥානයෙන් ගඟක් ගලන හැටි දැක්කත් අවබෝධ ඥානයෙන් ගඟ ගලන හැටි දකින්නේ සංසාරයේ පින තියෙන කෙනා පමණයි. 


ඒ ගංගාව වගේ ගලාගෙන යන ජීවිතයේ බොහෝ හැල හැප්පීම් මටත් සිදුවුනා. සමහරක් කියන්න බෑ. සමහරක් නොකියා කියන්න පුලුවන්. නමුත් වැඩි ප්‍රථිශතයක් කියන්න පුලුවන්. මෙිකත් ඒ වගේ දෙයක්. හැබැයි මං අද දවසෙත් සමස්ථ යුධ හමුදාවටම බැන්නා."ශවී" දන්නවනම් මං උන්නැහේට බැනපු තරම්, මගේ මූලික පරීක්ෂණ උසාවිය වෙනුවෙන් උන්නැහේ නිවාඩුවක් දාල ඇවිත් මගේ ප්‍රශ්ණය විසඳනවා. එතකම් මම හෙටත් බනිනවා අනිද්දත් බනිනවා. ඒ මගේ හැටි.  නමුත් පන ඇරලා මං මගේ යුද්ධ හමුදාව කියන  තාත්තාට  ආදරෙයි. මෙිවාට වග කියන්න ඔින "සැකී අංකල්". ඒවා ඉතිම් උයාලට අදාලම නෑ හුඳේ..


මෙිත් එක්තරා කාලයක සිදුවෙච්චි කතාවක්. මෙි එකල  සදීස් කුමාර් වුනු මමත් බාලාත් කරපු දෙයක්. නම් ගම් මන:කල්පිත නැතිවුනත් එකල අපිට දීපු නම් ඔිවා. දැං මෙිව කිව්ව කියලත් බය වෙන්න දෙයක් නැතිවෙයි. 

දුම්පාටට හැරිච්චි මීදුමෙන් වැහුනු තොප්පියක් වගේ වුනු කන්දක් පාමුලට ගිහින් ආතල් එකක් අරං එනව කියන්නෙත් ඒ දවස්වල එසේ මෙසේ දෙයක් නෙමෙි. ඒක සෙබළෙකු වශයෙන් ඔහුගේ ජීවිතේ පන එපා කියල කරපු හරිම වීරත්වයක් ඇති ක්‍රියාවක්. ඒ එදා තිබුනු තත්ත්වය අනුව වීර සම්මාන වලින් පිදුම් ලැබිය යුතු මට්ටමෙි ක්‍රියා.


 අද මම කියන්න යන තැන  තිබුනේ එවුන්දැලගේ මාර්ග බාධකයක්. මමත් ඒ දවස්වල "අමු ගොනා" කියන්නෙ හොයා ගන්න තොරතුරුවලට අනුව ඒ ඒ තැන්වලට ගිහින් උන්ට කොනිත්තලා රිද්දලා එන්නත් යම් යම් අවස්ථාවලදී කැමැත්ත ප්‍රකාශ කරපු එක. ඒක නම් මොකද්ද අනේ. වැනට් සුදු වෑන් එකේ නිලාම් (කර්නල් මුතාලිෆ්- මියගිය) සර් එක්ක තවත් චරිත කිහිපයක්  උන්ගෙ කඳවුරුවලට ගිහින් කාල බීල පාටි දාල එන්නෙ. ඒත් උං එකෙක් දන්නවද ඒ "ආමි" සෙට් එකක් කියලා. හැබැයි දැනගෙන හිටියා එක්කෙනෙක්. ඒත් ඒ කඳවුරේ එල්ටීටීඊ ලීඩර්. පස්සෙ මිනිහත් හමුදාවට උපරිම සපෝර්ට් කරලා ඒ අංශයටම බැඳිලා, රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු පොරක්. පහු කාලෙක අපිත් ඉතින් පොරට  "සර්" නොකිව්වාමත් නෙමෙි. ඒකනං මොකද්ද. කොටි සෙප්පඩයින්ටත් සර් කියල කතා කරපු මිනිස්සු අපි. 


සිරාවටම කියන්නෙ; අදත් යුද්දෙ ඉවර නැතුව ඒ රාජකාරියෙම යෙදී ඉන්නවනම් ඒ ඉන්නැද්දි නායකත්වය ඇහුවොත්  "මෙි ගේමට උඹත් එනවද" කියල, මං ගත්තු කටටම කියන්නෙ "බෑ" කියල. බයකට නෙමෙි, ඇත්තටම දැන් තමා ඒවා තේරෙන්නෙ. 

ඒකත් හරියට අනූවට සීයට විතර වෙිගයෙන් බයික් එකක කිලෝමීටර් සීයක් පනහක් පැදල අනතුරක් නැතුව ගෙදරට ආවටත් පස්සෙ, ආපු හැටි මතක් කරද්දි   "මං කොච්චර මී හරකෙක්ද යකෝ, පුදුමයි මං බෙිරිලා ගෙදර ආපු එක" කියල හිතෙන එක වගේ .  එහෙමයි කියල පහුවදාට පරිස්සම් වෙනවද? නෑ. නැවතත් සීයට වෙිගයෙන් ගමන යනවා. 


බාලා සමග ට්‍රැක්ටරේ වැඩ කරද්දි වාකනේරි ඒරියා එකේ සංවිධානයේ මාර්ග බාධකයක් සෙට් වෙනවා. මෙතන ඉන්නෙ හයයි. හයම ඉන්නේ වාකරේ වාකනේරි වාලච්චෙින පැත්තෙන් එන මිනිස්සු පරීක්ෂා කරන්න. උන්ට උන්ගෙ පැත්තෙ ඉඳන් මෙහා පැත්තට එන එවුන් වැඩක් නෑ. උන් කොහොමත් දෙමළනෙ. ඒත් මෙහා පැත්තෙ ඒ දවස්වල යක්ඛ පුත්තු ජාතියක් හිටියා, උන්ට ජාතියක් ජන්මයක් නෑ. දවසක් සතියක් මාසයක් නෑ. කෑමක් බීමක් වැඩක් නෑ. කඳවුරෙන් එළියට යනව විතරයි දකින්නෙ එන දවසක් වෙලාවක් කව්රුවත් දන්නෑ. මුන්දැලාට උන් පන ඇරලා බයේ හිටියෙ. අනික තමා ඒ යක්ඛ පුත්තු උන්ගෙ කනෙන් රිංගීම. මෙි කනෙන් රිංගුවානං ඇතුලටත් ගිහින් මොලෙත් කාල බොටුවත් විකල කන්බෙරේ රණ ගීතත් ගයල තමා අනෙක් කනෙන් එළියට එන්නෙ. හැබැයි විශේෂත්වය කියන්නෙ අදටත් අපිනං ඒ යක්ඛ පුතුන්ට කියන්නෙ "බත් කමාන්ඩෝ" කියල. ඔය ගියපු බත් කමාන්ඩෝ ගොඩේ මගේ අයියත් හිටියා. ඒ දවස්වල නම් මං වගේම පච්ච ප්‍රයිවට් උනාට, හැසිරුවෙි ලයිට් මැෂින් ගන් එකක්. පොරත් කමාන්ඩෝවෙි නම ගියපු පොරක්. ආන්න ඒ යක්ඛ පුත්තු අරුන්දැලාගේ කනෙන් රිංගයි කියල තිබුනු බය නිසා තමා මෙි පැත්තෙං ඒ පැත්තට යන ඈයන් බරටම චෙක් කරන්නෙ. ඒ කොච්චර චෙක් කලත් වැඩක් නෑ, බත් එකේ සැරයන් කෙනෙකුයි තව කෙනෙකුයි මෙි පාරෙන් ගිහින් ආපහු මතුවුනේ මාදුරු ඔයෙන්. අදහන්න ඔින චරිත දෙකක් තමා ඒ. ඒ ඩබල ඒ වගේ ආව ගිය පළමු ගමනත් අවසාන ගමනත් නෙමෙි ඒ.  ඔවුන්දැල දෙන්න දවසක් අපේ රෝඩ් බ්ලොක් දෙකකිනුත් කනෙන් රිංගල, උංගෙ ඒවගෙනුත් කනෙන් රිංගල වාකරේ හරහාත් ගිහින් සේරුනුවරින් මතුවෙච්චි ඩබලක්. අවාසනාව කියන්නෙ අය්යනම් කිව්වා සැරයන් වරයා පහු කාලෙකදි ත්‍රස්ත ප්‍රහාරයකදි  නැතිවුනා කියලා.  ඔය සිදුවීමෙන් පස්සෙ අපිට බය ටිකක් ඇරිල තිබුනෙ. මොකද ඒ දෙන්න ගිහින් නිකා හිටියෙ නෑ. ඇවිත් සර්ව සම්පූර්ණ විස්තරය කිව්වට පස්සෙ අපේ භූමි පරිමාව තවත් දිගු කරල වැලි, පස්, ගඩොල්, දර, කොටන් හා වී අදින්න, කුඹුරු හාන්න  ඒ පැත්තටත් යන්නවුනා. මංනං බයෙන් හිටියෙ මුල් දවස් ටිකේ. ඇයි යකෝ රසවත් කෑමක් උනත් බඩගිනි නැතුව කන්න පුලුවන්ද කියහල්ලකො. අනික බාලා. ඒ දවස්වල නිකන් ඉඟියකින් හරි දැනගෙන හිටියනං බාලා කියන්නෙත් මං වගේම "හිපාටුවෙක්" කියල, එහෙනං ඊට වැඩිය ලොකු ගේමක් එහෙ ඒ කාලෙ ගහන්න තිබුනා.


 වාකනේරි මූකුරාල් ඒරියා එකේ ලීඩර් වෙච්චි "බාස්කරන්" මගේ යාලුවෙක් වුනු නිසා තවත් බය ටිකක් ඇරිල තිබුනත් මොනයම් විදියකින් හරි ඌත් මම ආමි කියල දැනගත්තනං හිතාගන්නවත් බැරිවෙයි වෙන දේ. සදීස් කුමාර් වෙච්චි මට දෙමළ කියල ඔප්පු කරන්න අනන්‍ය තාවයකට තිබ්බෙත් ග්‍රාමසේවක විදිහට සීල් තියල අත්සන් කරල හමුදාවෙන්ම හදල දුන්නු හැඳුනුම්පත විතරයි. පර්ස් එකේ දාගෙන හිටියෙත් දෙමළ නළුවන්ගෙයි නිළියංගෙයි එක එක ලස්සන පිංතූර. ඒවගේ පිටුපස්සෙ කැලැන්ඩරුත් තිබුනා. ඇතුලෙ තිබුනෙ ගණ දෙයියන්ගෙ පිංතූරයක්. ආයෙ තිබුනා කොටි සංවිධානයට කට්ටිය බඳව ගන්න ඒ පැත්තෙ අලවල තිබුනු පොඩි පෝස්ටරයකුයි එක්සත් ජාතින්ගෙ සංවිධානය විසින් බෙදා හැරපු පෝස්ටර පිංචකුයි. එල්ටීටීඊ පෝස්ටරේ ලියන්න පටන් අරන් තිබ්බෙ "වරුග," කියල. ඒ කියන්නෙ "එනු" කියනව වගේ එකක්. ඒක හරියට "අපි වෙනුවෙන් අපි" වගේ දැන්වීමක්. ඒකෙ විස්තරනම් එච්චරටම මතක නෑ. ඒත් එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙන් බෙදපු පෝස්ටරය අදටත් කට පාඩම්. අපි දෙන්න එක දවසක් ට්‍රැක්ටරේ යනකොට උන් ඒක බෙදනවා. අපේ ට්‍රරක්ටරෙත් නවත්තල අපි දෙන්නටමත් දෙකක් දුන්නා. ඒකෙ තිබුනේ


මීනා එයාගෙ ගිරවත් එක්ක ඉන්න විදියට ඇඳපු කාටුන් චිත්‍රයක්. මීනා කියන්නෙ හරියට අපේ කාලෙ  "මල් මාමා" වගේ ප්‍රසිද්ධ චරිතයක්. ඒකෙ තිබුනෙ "අංගේ පෝගාදේ, අංගේ වෙඩික්කුණ්ඩු ඉරුක්කලාම්, සංදේහමාන පොරුලෛයික් කණ්ඩාල් පෙරියෝරිගලිඩම් තෙරිවික්කවුම්" 

"එහෙට යන්න එපා.එහෙ ( බෝම්බ වැනි) පුපුරන ද්‍රව්‍ය තිබිය හැකියි. සැක සහිත යමක් දුටුව හොත් වැඩිහිටියෙකුට දන්වන්න" ඒ ඒකෙ තේරුම. 


අපි දෙන්නත් මාසයක් විතර කාලයක් තිස්සේ හොයාගත්තු තොරතුරු ඇතුලට දුන්නම දවසක් ලෑස්තිවෙලා තිබුනා "බත්" මෙි රෝඩ් බ්ලොක් එක හරහා රජයේ පාලන ප්‍රදේශය පැත්තට උන්ගෙන් එන ක්ලියරින් පාර්ටි එකකට පහර දෙන්න. ඒක වෙන්නෙ උදේ දහයත් එකොලහත් අතර. අපි දෙන්නට එතකම් මෙි පාර හරහා යන්න බෑ.(පහු කාලෙක "බාලා"  ආමි කියල දැනගත්තු නිසා ඔහුත් ඈඳාගෙනම තමා කතාව කියන්නෙ) එදා අපි දාගත්තෙ දවස් ගානක් තිස්සේ කන්නලව් කරලා කරලා වැලි දෙකක් ගෙනත් දියවි යකුනේ කියල අඬපු පේතාලේ පැත්තෙ කඩෙිකට වැලි දෙකක් ගිහින් දෙන්න. ඒක මං දන්නෑ. බාලා තමා මටත් එදා උදේ මාව ගන්න කාවත්තමුනේ ආවම කිව්වෙ"අරුංගෙ වැලි දෙක ගිහින් දෙන්න ඔින අදවත්" කියලා. එහෙම කියල තමා එහෙට වැලි දෙක අරන් ගියේ. ආයෙ අර පැත්තෙ ගියේ හවස දෙකෙන් පස්සෙ. ඒ යද්දි රෝඩ් බ්ලොක් එක නන්නම වෙලා. උන්ගෙ හතර දෙනෙක් හමුදාවෙන් මරල කියල හෙන ගාලගෝට්ටියයි එහෙ. සිවිල් එවුන් මීක් කියල සද්දයක් නෑ. හමුදාවෙන් ඇවිත් මරල තියෙන්නෙත් රෝඩ් බ්ලොක් එක ආසන්නයේදිමයි.උන් මාරම පොරවල් කියන්නෙ, යකෝ ගහල ඉවරනම් වරෙව්කො. ඒත් නෑ. උන් මගක් ඇවිත් එහෙ නැවතිලා.ඒකෙන් අන්තිමෙිදි වුනේ අපිට දවස් තුනක් විතර යනකම් ඒ පැත්තටවත් යන්න වෙච්චි නැති එක. එහෙම උනොත් උං සැක හිතන්න පුලුවන්. අනික අපි අපේ උංදලා කව්ද කියල දැන ගත්තත් උංදැලා අපි කව්ද කියල නොදන්න එක. කීප දෙනෙක් ඒරියා එකේ ඉන්නව කියල දැන ගත්තට ඒ කව්ද කින්ද මන්ද කියන්න ඔය ටීම් එක දන්නෑ. කමාන්ඩෝස්ලා යුනිෆෝම් ඉන්න නිසා අපි දන්නව ඒ ආමි එකෙන් කියල. 


ඒ අතර මැද්දෙ දවසක  ඔය සීන් අකා මකා වෙලා ගියාට පස්සෙ තමා මට ගොං කරත්තයක් මීටර් වෙන්නෙ.ඒක ඊට කලින් මට මීටර් වෙලා තිබුනෙ. ඒත් ක්‍රියා මාර්ගයක් ගත්තෙ නෑ.  ඉස්සර එල්ටීටීඊ කඳවුරු වලට හාල් තුනපහ අරන් එන්න යන්නෙ එක කරත්තයක් විතරයි. මොකද ඒක කරන්නෙ හමුදාවට හොරෙන්. හමුදාව දැන ගත්තොත් හෙන නඩු ඔව්ව. ඒත් මෙි පොර මං අනන්තවත් දැකල තියෙනව කරත්තෙ ගිහින් එක්කො වී කොටාගෙන එනවා. ටවුමට යද්දි රටකජු ඉරිඟු අරන් යනවා. එද්දි තියෙන්නෙ හාල්,පාං පිටි, මස්, මාලු, එළවලු කිරිපිටි සීනි වගේ දේවල්. ඒවත් කරත්තෙ පුරෝලම. ඒ යන්නෙත් සතියෙ බ්‍රහස්පතින්දා දවසට විතරයි. මං හෙනට ඔය කරත්තෙ මීටර් කරගෙන හිටියෙ පහු කාලෙක ගේමක් දෙන්නම්මයි කියල හිතාගෙන.අර උණුසුමත් එක්ක  දවස දවස යද්දි පස්සෙ මට හිතුනා මූට ගේමක් අදින්න ඔිනමයි කියලා. ඒ අනුව පුංචි ⁣වාර්ථාවක් හැදුවා. හැබැයි මෙි එකම පාරෙ වැඩ කරන දවස්වලම නෙමෙි. පොර යන එන පාරවල් වෙලාවල් මං මීටරේට මීටර් කරගෙන හිටියෙ. ඒ අනුව කතාවත් හදලා විස්තරෙත් දාල විමලෙ අයියට දුන්නම දවස් දෙකකින් මට අපේම නගරාශ්‍රිතව හිටපු බුද්දික කෝපල් කෙනෙක් ගෙන් ඒකට රිප්ලයි විදියට ඔහු පිළිබඳව පණිවුඩය ලැබුනා.


"පොරත් එක්ක කතා කරන්නවත් විස්තර අහන්නවත් නවත්තන්ඩවත් යන්ඩ එපා. උඹ ඒවා නොදැක්ක නොදන්න තාලෙට ඉඳපන්. ඒ අපේම සාජන් කෙනෙක්, එයා තමා උන්ගෙ බෙිස් එකේ උයන්නෙ. උඹ කව්ද කියන්නත් උඹ කරන්නෙ මොනවද කියන්නත් ඒ සාජන් දන්නවා. එච්චරයි. වැඩි විස්තර පුවක් ගස් වලින්. සරලයි සෞම්‍යයි සුගමයි, සෞම්‍යාට ඇන්නෙ සාජන් ඉලන්දර එච්චරයි" . කිව්වා. සෞම්‍යා කියන්නෙ (එක්කොත් ඔිව ඔින නෑ. මං කැමති නෑ කේළාම් හැගිස්සෙනවට). ඔිං  ඒ කෝපල් කිව්ව දේ. ඉතින් මළ පයින්නැද්ද කියාල්ලකො.


"If you don't fight for what you want, Don't cry for what you" 


ඉතින් යාළුවනේ, මං ලබන සතියෙ මුහුනු පොතෙන් සමුගන්නවා. ඒත් මං මගේ බ්ලොග් එක නිතිපතා යාවත්කාලීන කරනවා. කතා කියවනවනම්,කියවන්න ආසයිනම් "ෆලෝ" කරන්න. 


www.rasadawatha.blogspot.com



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.07.13

2 comments:

  1. මාත් බුකියෙං පල්ලං බැහැලා සති තුනක් විතර වෙනවා. ‌අනේ මොන හෙනෙයක්වත් නෑ. ආරච්චි අයිය මහත්තය මේක ලියන්ට. අපි එනවා කියවන්ට.

    ReplyDelete
  2. බත් කොමාන්ඩෝ -- මරු නම

    ReplyDelete