Thursday, September 16, 2021

රිහබිලිටෙිෂන්

 මෙි කතාව වෙන්නෙ වට්ටප්පලෛයිහිදී.


ඊට කලකට ඉහත කරපු රාජකාරියක් එක්ක අත්දැකීම් තිබුනු  මට මෙහිදී විශේෂ රාජකාරියක් පැවරුනා. ඒ එතකොට යුද්ධය අවසන් වෙලා රජය විසින් අවතැන්වූවන් පදිංචි කරවන්න ලක ලෑස්තිවුනු කාලයක්.ඒ අලම්පිල්,චලෙයි සහ ඉන් ඉදිරියට වැලිඔය පැත්තට.  

එක එක තැන්වල ටික ටික රාජකාරි කර කර හිටපු මට එක පාරටම පණිවිඩයක් ආවෙ අනිතුමා හමුවෙන්න කියලා. ඒ වෙද්දි තල් ගස් කරටි වල සහ පොල් ගස් කරටිවලම කාලය ගත කරලා අවුරුදු විස්සක පළපුරුද්දත් තිබුනු මට, කඳවුරේ මහ කුස්සියෙන් එකතු කරන පොල් වතුරෙන් කරිඤ්ඤං හදල යාලුවොත් එක්ක බීපු මට, කම්බි වැටවල් පැනලා ගිහින් කාටත් හොරා ගහක කුරුම්බයක් ඉතුරු නොකර වලු පිටින් බාගෙන ආපු මට, මෙි වගේ උත්තමයෙක් හමුවෙන්න කියල පණිවිඩයක් ආහම ටිකක් "කොර" වෙනවා. මෙි වෙද්දි සාජන් නිළය පැළැඳ සිටියත් "ආරේ ගති නෑරේ" කියන්නා වාගෙ කලේම ඔය වගේ වැඩ තමා.. ඒ වගේම කරන තරමක් කලෙත් තවත් ගොං වැඩ නිසා හිත දෙගිඩියාවට පත්වෙලා තිබුනෙ.


 මට පණිවිඩෙි ආවෙ ඇස්ඇල්ටී ෆයිබර් ඉන්ටර්නැට් ජස්ට් මැසේජ් ආකාරයට..ඒ..


* සාජන් ආරච්චෝ...යියි

කියලා ඊට මීටර් සීයකට විතර එහායින් මගේ යටතේ තිබූ පොයින්ට් එකක ලාන්ස් කෝප්‍රල් කෙනෙක් අහස් තලයම ගිගුම් දාලා කෑ ගහද්දි ඒ වෙද්දිත් මං හිටියෙ පොල් ගහක කරටියක.  බූට් එක්ක පොල්, තල් ගස් නැගීමෙන් මම ලබා තිබුනේ අවුරුදු විස්සක පළ පුරුද්දක්. මමත් ගහේ කරටියේම ඉඳගෙන යටි ගිරියෙන්

*ඇයි හු&@%$තෝ කියල පිළිතුරු දෙද්දි 

*රාජවාසලේන්න් පයින්ඩෙයෝක්ක්

කියල ඒකා පිළිතුරු දුන්නා. ගහට නැගපු කාරිය කරගෙනම බිමට බැස්ස මං, මගේ සහායකයාට කඩපු කලටි කුරුම්බා වලු ටිකත් පොයින්ට් එකට අරන් වරෙන් කියල ටිකක් පය ඉස්මන් කලේ පයිංඩෙි එවපු තැන එච්චර හොඳ නැති නිසා. මොකද මෙි වෙද්දි  ආර්එස්එම් විසින් මට හැනපියර්  දෙකකුත් පයින්ට් කරල තිබුනෙ. ඒ තරමට චරියාව හොඳයි. ඒවනං මෙි කපේදි ගෙවන හැනපියර් නෙමෙි.

අපේ වෙිටර් අතේ මං කියල යවල තිබුනේ සොළෙකුට ෆයින් කරන්න පුලුවන් සත හැත්තෑපහක දෙයක් විතරයි කියලා. වැඩිදුරටත් කියල යැව්ව  "ඔන්නං බුල්ටො හරි ඩෙල්ටා හරි ටොපියක් එවන්නං සත හැත්තැපහට හරියන්ඩ,උන්දැට  ඒවා සූප්පු කර කර ඉන්ඩ කියාං" කියල. 

පයිංඩෙට අනුව මාත් පොයින්ට් එකට ඇවිත් ගස් ගඳ යන්න උඩින්පල්ලෙන් වොෂ් එකක් දාගෙන නැවතත් නිළ ඇඳුම පිටින් ගියා අනි තුමාව හම්බ වෙන්න. ඒ වෙද්දි අනි  විදියට හිටියෙ මෙිජර් ජයවර්ධන. අපේ වැඩ බලන අනි තුමා.

මාත් ගිහින් සීසීට විස්තරේ කියල එතුමාව හමුවෙන්න කාලය එනකම් අහට්ට මෙහට්ට ඇවිද ඇවිද හිටියෙ "ඩාල්! ඩාල්!!" ගාල ගැහෙන හෘදයෙන් යුතුව. මොන ගින්නක් පත්තුවෙලාද දන්නෑනෙ. මොකද කියනවනං සීසී කියන්නෙ මාගේ එදිරිකාරයෙක්. හේතුවක් කිව්වෙම නෑ. අනෙක මාව දෑහැට පේන්න බැරි පවිටු දනන්ගෙන් එකෙක් යද්දි එද්දි මා ගසක ඉන්නවා දැකලා එතුමන්ට මොන මොනවා කියලද කියල කෞද්දන්නෙ. 

අනිතුමා හමුවුනා. බලාපොරොත්තුවෙන් ආපු හැම දෙයක්ම ඉවත ලා එතුමා මට පැවරුවෙි රාජකාරියක්. මං හිතුවෙවත් නැති විදියට මට පැවරුනේ වට්ටප්පලෛ සිට අලම්පිල් දක්වා නැවත පදිංචි කරන මිනිස්සුන්ගෙ ඔිපාදූප සහ කේළාම් හොයන රාජකාරියක්. ඒකට තව මාසයක පමණ කාලයක් තිබුනු නිසා මට රැවුල කොණ්ඩෙ වවන්න අවසරත් ලැබුනා. "මොන රෙද්ද කලත් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් වැඩෙි වෙන්න ඔින ආරච්චි

අනික තමා සිවිල් මිනිස්සු පදිංචිකළාම කසිප්පු පොට් එහෙම වැටෙයි. ඒව අස්සෙ එහෙම රිංගල අහුවුනොත් වෘෂණ කෝෂ දෙකෙන් බාල්කෙක එල්ලනවා හරී" කියල ලොකු අවවාදයකුත් දුන්නා.  


කාලෙත් ගෙවිල ගියා. ඒ සැලසුමට අනුව අපි තමා ඉස්සෙල්ලාම මෙි ගමෙි පදිංචි වෙන්නෙ. මගෙන් පස්සෙ තමා අනික් ඈයන්. මගේ රාජකාරියවුනේ මෙි ගමෙි මිනිස්සු අතරින් කොටි කව්ද, නොවන්නේ කව්ද,පුනරුත්තාපනය වෙලා එන ඈයන් මොනවද කරන්නේ සහ පුනරුත්ථාපනය නොවී ආව කොටි ඈයන් කව්ද කියල, ඒ ආදිය විස්තර සෙවීම. මාත් එක්ක තවත් තුන් දෙනෙක් මෙි විදියට ලෑස්ති කෙරුනා. එක්කෙනෙක් 5බුද්ධි ඒකකයෙ කෝප්‍රල් කෙනෙක්. ඒයා මාලු කාරයෙක්. අපේ කෝප්‍රල් කරුණාරත්න කඩකාරයෙක්. එයාගෙ කඩෙි හාල් තුනපහ කුළුබඩු ඇරෙන්න අනික් හැමදේම වගේ තිබුනා. අනෙකා ජයසිංහ. ඌට එක දෙයක් කියල නෑ, ඌට හම්බෙන හැමදේම ඌ කරනවා.(ඌට පව් කියල හිතුනු වාරනම් අනන්තයි).  මම(එක්කොත් ඔින්නෑ,ඔහෙල මට වීලු කරයි). මම කරන්නෙ උදේ එළිවෙච්චි වෙලේ ඉඳන් දැලි ගෑවිච්චි පෝරමල්ලක් කරේ එල්ලගෙන,ගල් කැටයෙන් ගල් කැටයට වියත් දම දමා,කියෝ කියෝ පාරෙ යන එක. ඉස්සරහට හම්බවෙන හමුදාවෙ හැම එකාගෙන්ම කීයක් හරි කඩාගන්න එක මගේ යුතුකමක්. බීඩියට, සුරුට්ටුවට, තමා ඒ හොයන්නෙ. මිනිස්සු පදිංචිකලායින් පස්සෙ උන්ගෙ කසිප්පු පොට් එකටත් ගියෙ ඔය වගේ හම්බු කරන සල්ලි වලින්ම තමා. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වුනත් ඒව නැතුව ඇඟ වෙව්ලන ගතියට පත්වෙලා හිටපු මම හොරාට හොරාට ඔය තැන්වලටත් නොගියාම නෙමෙි. හැබැයි ෆ්‍රෙන්ස් සිරාවටම බිව්වෙ නෑ.බොන බව  පෙන්නුවා විතරයි. උන්ගෙම සල්ලිවලින් උන්ගෙන්ම බඩු අරන් මගට ඇවිත් හලනව. උන් ඒව පෙරුව විදියට ඒව බොන එකෙක් අවුරුද්දක් ජීවත්වුනානං ඒක ලොකු වාසනාවක්. හැබැයි පසුකාලීනව මුලතිවු ටවුමෙ විවෘත කරපු හමුදාවෙ බියර් ෂොප් එකෙන්නම් මං 8.8 ඖෂධය දිගටම ගත්තා. ඒ චරිතය වැලිකන්දෙ අවුරුදු උත්සවයෙ කරපු එකමයි. ඒක හරි සරළයි. ( ඒ බාර් එක භාරව හිටියෙ 9කැඩෙටි බළකායෙ කපිතන් සෝමරත්න. මගේ බෙස්ට් ෆ්‍රෙඩා. එතුමා එයාගේ පඩියෙන් මට බොන්න දුන්නු සුපිරි ගණිත ගුරුවරයෙක්. (ලව් යූ කපිතන් සෝමරත්න)එතුමා දවසක් නිදහසේ සේට් වෙච්ච වෙලාවක මට කිව්වා  "ඇත්තටම ආරා,මට උඹ ගැන පොතක් ලියන්න හිතෙනවා බං" කියලා. ඒත් මං කිව්වා "ආරච්චි කියන්නෙ පොතක් තමා සර්" කියලා. මෙිවා ඉතින් හමුදාවෙ හැමෝටම ලැබෙන අවස්ථාවල් නෙමෙි. ඔිපනින් යුනිට් එකක දෙවෙනි බැච් එක වෙලා, කැරොල් වෙලා, නස්කූනි වෙලා,හැම එකාටම නිරීක්ෂණය වෙලා හිටිය අහිංසකයෙක් තමා. හැබැයි මාසයක් යද්දි  සිවිල් ඈයන්ගෙ කසිප්පු පොට් අතුගාලාම දාන්නත් අපිට පුලුවන් වුනා. පොලිසිය මාරාන්තික වික්‍රමයන් කලේ අපේ ඔත්තුවලට ඔය කසිප්පු පොට් වටලන්න. 


මම රෑට නිදාගත්තෙ හොරාට හොරාට කඳවුරට රිංගලා සහ සමහර දාට කරූගේ කඩෙි. උදේට දැලිනාගෙන දූවිලි නාගෙන පෝර  මල්ලක් කරේ එල්ලං, කියෝ කියෝ පාරදිගේ ගිහින් ඉස්සරහට හම්බුවෙන හැම එකාගෙන්ම සල්ලි කීයක් හරි කඩාගෙන, නොදෙන එවුන්ටත් අම්ම මෝ නැතුව බැන බැන නිමක් නැති ගමනක යෙදෙන මම, හවසට නතර වෙන්නෙ කෝප්‍රල් කරුගේ කඩෙි පිටිපස්සෙ . (අපිට සම්මාන දෙන්න ඔින මිත්‍රයා.) ඒ කාලෙ මට දිරවන්නෙම නැති නිළධාරියෙකුත් අපේ ඒකකයේ හිටියා. දෛනික සළාකය (Fresh)  ගේන්න ඒ දවස්වල අනිවාරයෙන් නිලධාරියෙක් යා යුතුයි.  බොහොමයක් වෙලාවට යන්නෙ දවසේ කාර්‍ය පාලන රාජකාරි හිටපු නිළධාරි. (Duty Officer). මං එදා පාරේ බල්ලට හැතැප්ම නෑ වගේ  ඔහේ ඇවිද,ඇවිද  යද්දි ආව හමුදා ටැට්ටරේට අතදාල නවත්තලා කෑම ඉල්ලුවා. කෑම නෑ කිව්වා. උන්දැලාටත් දෙමළෙන්  බැනල තමා මම එතනින් ගියෙ. ඇත්තටම බැන්නෙ අරුන්දැට. ඒවා නොතේරිච්චි උන්දැ ඒ ගැන සීඔිටත් රිපෝර්ට් කරල තිබුනා "අපි ටැට්ටරේ යද්දි ආරච්චිය කෑම ඉල්ලුවනේ සර්" කියලා.  සීඔිත් ඉන්ටර්වීව් එකකට ගිය දවසක ඒ ගැන ඇහුවත්  ඒවට දෙන්න උත්තර ගෝනි ගණන් මං ගාව තිබුනා. (ඒ කාලෙ අනිවාරයෙන් මාස තුනකට සැරයක් සෑම සෙබළෙකුම ඉන්ටර්වීව් කරන්න කියල නියෝගයක් සරත් ෆොන්සේකා සර් විසින් හමුදාවෙ හැම තැනටම දැනුම් දී තිබුනා. ඒ අනුව තමා මමත් සීඔි හමුවෙන්න රෑක ගියේ) හැබැයි එදාවත් සීඔි මට ඒ සීන් එක ගැන වෙන මුකුත්ම කිව්වෙ නෑ, ඇහුව විතරයි. අපේ ඒකකයෙ අය විතරයි මම කවිද කියල අඳුරගෙන හිටියෙ. දවසක් තන්නිඌත්තු වලින් නෙදුන්කර්නි හරහා වව්නියාවට යන්න තියෙන පාරේ ස්ථාපිතව තිබුනු 5ශ්‍රීලපාහ ඒකකයෙන් මාව චෙක් කලා. ඒ රෝඩ් බ්ලොක් එකේ අය මාව ජෝක් එකකට අරන් තිබුනෙ. මම කැඩිච්චි සිංහලෙන් වරද්ද වරද්ද ඒ ජෝක් වලට හවුල් වෙලා ෆන් එකකුත් ගත්තා. දවසක එතන හිටිය නිළධාරිට විතරක් මම රහසින් කිව්ව මම කව්ද කියලා. එතුමා හිනාවෙලා ඔලුවෙ අතගහගත්තෙ "උඹලෑ යුනිට් එකේ ඔහොම සාජන්ලත් ඉන්නවද හු&@%තො" කියල හිනාවෙලා. ඉන්පස්සෙ ඒ පාරෙ යන සමහරක් දාට ස්පෙෂල් කෑම පාර්සලේකුත් මට ලැබෙන්න ගත්තා. ඒ බදාදාට. ඒ ඒකකයෙ බදාදා  සෙබළුන්ට ස්පෙෂල් ලන්ච් එකක් දෙනවා දවල්ට කාපිය කියල. මාත් බදාදාට ඒ පැත්තෙ කරක් ගහල කෑම පාර්සලෙත් අරගෙන ඒකත් කොහාට්ට හරි වෙලා කාලා, හතරට විතර කන්නං කියල තව කෑම එකකුත් ඔතාගෙන ඒම පුරුද්දක් වුනා. ඒක ටිකක් ලොකුවට බැඳලා දෙනවා. එතකොට එයාලා දන්නවා අපි කීප දෙනෙක්ම මෙහෙම ඉන්නව කියල. එයාලගෙත් හතර දෙනෙක් වෙන වෙන වෙිෂ අරගෙන ෆීල්ඩ් එකට බැහැල හිටියෙ. ඒ එයාලගෙ ඒරියා එකේ.මම ඒ ගේන අමතර කෑම එක කෑවෙ, ඒ වෙද්දි මුලතිවු පාරෙන් 59සේනාංකයට යන්න හැරෙන හංදියෙ මුලම දාල තිබුනු අපේ රොටී කැන්ටිමෙි. ඒක කලෙත් මගේ බැචෙක්. ඒ බෙලි පේමරත්න. අපි එයාට ආදරේට කියන්නෙ "බෙල්ලා" කියල. 


ඔහොම ඉද්දි තමා මුලතිව් වට්ටප්පලෛයි පාරෙ අතර මැද තිබුනු අපේ පොයින්ට් එකක කොල්ලෙක්ගෙ අවියක් අතුරුදහන්වුනේ. ඌ පාන්දර හතරට සෙන්ට්‍රි භාරගත්තත් නිදිමතට ආපහු ඉඳගෙනම නින්ද ගිහින්. ඒ අළුත් කොල්ලෙක්. හමුදාව ගැන මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්. නිදිමතට අපි කවුරුත් වහල්ලුනේ. මූටත් නින්ද ගිහින්. අවිය නැතිවෙලා කියල දැනගත්තම හෙන ගිනිවිජ්ජුම්බරයක් වු⁣නා හමුදාවෙ. සෙබළෙකුගෙ පෙම්වතිය,බිරිඳ වශයෙන් සළකන සහ වැසිකිළියට ගියත් ඇතුලෙ බිත්තියට හේත්තු කරලා සබ්ජෙක්ට් එක කරගන්න සෙබළෙකුගෙ අවියක් මෙහෙම නැතිවුනා කිව්වම ඒක හෙන ප්‍රශ්ණයක්.කාලයත් එක්ක සීසීඑම්පී එකෙන් ඇවිත් මිනිහත් පොල්හේන්ගොඩ අරන්ගියා. ඒකට වැල වගේ අපේ කිහිප දෙනෙක්ම ගියා. එකෙක් රනිල් සිල්වා. 2300-0200 පැය අතරේ මුර පරීක්ෂා රාජකාරිය නියම කරල තිබුනු රනිල් සිල්වා, රෑ පුරාවට හොඳට නිදියල පාන්දර පහට නැගිටල තමා විසිට් එක ගිහින් තිබුනෙ. ඒකෙන් ඌවත් කොටුවුනා. උදේ පහට ඇහැරිච්චි වෙලාවට විසිට් එක ඇවිත් නියමිත වෙලාවට ආව විදියට විසිට් පොතේ අත්සන් දාල ගිහින්. අර කොල්ලා කියල පහට කෝප්‍රල් රනිල් සිල්වාත් විසිට් එක ආවා කියලා.ඒකෙන් රනිල් කොටුවුනා. පොයින්ට් එකේ හිටපු අනික් දෙන්නා ඔටෝම සීන් එකට අහුවුනා. ආයෙ සැරයන් කෙනෙක්. එයා තමා සෙක්ටර් කමාන්ඩර් හිටියෙ. ඒ සීන් එකෙන් පස්සෙ අපේ ඒකකයටත් සෑහෙන්න නරක නාමයක් ඇවිත් ලිස්ට් එකෙනුත් කැපෙන සයිස් එකක් තිබුනෙ. 58 සේනාංකය යටතේ අච්චර කැපකිරීම් කරපු අපේ ඒකකය බින්දුවෙනුත් පල්ලෙහාට වැටෙනවට අපිනම් කීයටවත් කැමතිවුනේ නෑ. අනෙක පාබල ඒකකවලින් අපිට තිබුනු කැපිල්ල. ඔය පොයින්ට් එක ඉස්සරහම තියෙනවා ඇළක්. ඒකට පාන්දර ඉඳන් මිනිස්සු එනවා. විශේෂයෙන්ම මාලු කාරයො. එතනින් පෙට්ටි තරාදි පඩි හෝදගෙන මූනත් හෝදගෙන තමා වැල්ලට යන්නෙ මාළු ගේන්න. ඒ මාලු කාරයන් අතරෙ හිටියා එකෙක්, පොර හැමදාම අනිවාරයෙන්ම පාන්දර ඔය ඇළට එනවා. අපිත් කාලෙක ඉඳන් ඇහැ ගහගෙන හිටපු බුවෙක්. අලම්පිල්වලින් තමා මාලු ගන්නෙ. ඒ කොටියෙක් කිව්වොත් නිවැරදියි. 


අවියෙ කේස් එක නැගලම යද්දි අපිටත් නියෝගයක් ආවා අවියට මොකදවුනේ කියල හොයන්න. එදාම රෑ කෝප්‍රල් කරූයි මායි අඩියක් ගහන ගමන් ප්ලෑන් කලා අවිය හොයන විදිය. මෙි ක්‍රියාන්විතයට අපේ මාලුකාරයගෙත් අනෙකාත් සහාය කර ගත්තා. විස්තරේ හොයාගෙන හොයාගෙන යද්දි අපිට සැකය ඇතිවුන එක තැනක් තිබුනා. ඒ,අර මාලුකාරයා.  මිනිහ ඒ ගමෙිම පදිංචි කාරයෙක්. අවිය නැතිවෙච්චි දවසෙ ඉඳන් එක පාරටම මිනිහ අතුරුදහන්වුනා. සැකය තවත් වැඩිවුනා. අපි ඊට පස්සෙ හෙව්වෙ මිනිහ කෝ කියල. අපි මෙිව හැම එකක් ගැනම කඳවුරට දැනුම් දෙනවා.  එක දවසක් අපේ සිවිල් ඔත්තු කාරයෙක් කිව්වා මිනිහ වට්ටප්පලෛ කෝවිලේ ඉන්නවා කියල.  (ස්ව කැමැත්තෙන් හමුදාවට සහාය දීපු දෙමළ මනුස්සයෙක්). ඒ අනුව ක්ෂණිකව අපි කෝවිලට ගිහින් මිනිහව ෆලෝ කලා. මෙි වෙද්දි මිනිහ නැවතිලා ඉන්නෙත් ගමෙිම කෙලවරේ මුලතිව් කඳුවරට ආසන්නව. එතකොට මාලු බිස්නස් එක කලෙත් නෑ. 


දවස් දෙකතුනක් ඔහොම යද්දි  දවසක් ඒ මිනිහ ගමට ආවා. අපිත් මිනිහව ෆලෝ කර කර කඳවුරට විස්තරේ දුන්නා. අන්තිමෙි අපිත් දන්නෙම නැතුව දවසක් රෑක මිනිහ ආයෙමත් අතුරුදහන්වුනා.  පස්සෙ මිනිහගෙම වත්තෙ පොල්අතු වලින් වටකරපු කක්කුස්සි කොටසෙ වලදාල තිබිල අවියත් හමුවුනා. ආයෙ කවදාවත් එයා අවි සොරකම් කලේ නෑ. ඒ පළාතේ ඒ දවස්වල වැසිකිළි තිබුනෙ වළ කක්කුස්සි,පෝච්චි කක්කුස්සි නෙමෙි. පොල් අතුවලින් වට කරල මිදුලෙම කොටසක් ආවරණය කරල තියෙන්නෙ. බර හැදිච්චහම උදැල්ලක් අරන් ඒ කොටුව ඇතුලට රිංගලා වලක් කපාගෙන වැඩෙි කරගෙන වහල එනව. ඒක තමා සිස්ටම් එක. ඒ කක්කුස්සියක් ඇ⁣තුලෙ තමා අවිය වළදාල තිබුනෙ. අපේ එකාට නින්ද ගිහින් ඉන්න බව දැනගෙන හොරෙන්ම ඇවිත් බංකරේට හේත්තු කරල තිබුනු අවිය මූ උස්සලා. ඒකෙන් වුනේ අහිංසකයින් කීප දෙනෙක් නොවිඳියයුතු වද හිංසා විඳීම සහ අර අහිංසකයාව සේවයෙන් පහකිරීම. ඒවට ඉතින් අපිට මුකුත් කරන්න බෑ. ඒව තම තමුන්ගෙ වැරදිනෙ. කොහොමහරි රනිල් සිල්වායි අනෙක් දෙන්නායි, සැරයනුයි සීන් එකෙන් ⁣බෙිරුනත්,  "රාජකාරිය පැහැරහැරීම, සම්බන්ධයෙන් රනිල් සිල්වාගෙ නිළය පහත දැමුනා.ඒ දවස්වල සීසීඑම්පී එකෙන් හොඳට කෑව කියලත් මිනිහ කිව්වා. ආයෙ කිව්වා සීසීඑම්පී බුවෙක්  වෘෂණ කෝෂ දෙක ලාච්චුවකට දාල, ඒ ලාච්චුව වැහෙන්න "ඩොක්" ගාල පයින් ගැහුවත් කියල.  (විසිට් එකක් ගියපු දුරක්) පොයින්ට් එකේ අනෙක් දෙදෙනාට අවුලක් නූනත්,ඉන්චාජ්ට චෝදනාපත්‍ර නැගුනා. ඒකෙන් ඉසසරහට ලැබෙන්න නියමිත ප්‍රමෝෂන් වලට තමා බලපාන්නෙ.

හැබැයි ආයෙ කවදාවත් අරුන්දෑ අවි සොරකම් කලේ නෑ. ඒකම මදෑ.(ඒ අවිය වෙනුවෙන් අපි හෙන ගේමක් ගැහුවෙ.)

ඒ අස්සෙ මාස හතරක් විතර යනකොට අපේ ඒකකය වට්ටප්පලෛයි වලින් ඉවත්වෙලා පුදුකුඩුඉරිප්පු සුදන්දිරපුරම් කැලේ ස්ථීර පදිංචියට ගියා.ඒ අනුව අපිත් අපේ රාජකාරියෙන් මිදිලා ඒකකයත් එක්ක යන්න ගියා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.16

7 comments:

  1. යුධ අත්දැකීමක් ලියන්න ආයේ.ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා.

    ReplyDelete
  2. ඔය සාම ගිවිසූම කාලේ මූලතිව් වලදි අඹ ලෑල්ලකට ගියා..වෙලෙන්දා මාව මග අරිනවා..මම අදුන ගත්තා..වැඩෙ තේරුනා...මූ කනට කරල කියපි අඔ ලෑල්ලම ආරගෙන නොහූක පල පකයෝ කියලා..

    ReplyDelete
  3. ලංකාවට අඩුවක්ව තියෙන දෙයක් ..යුද සාහිත්‍ය ..ඔයාට ඒ අඩුව පුරවන්න පුලුවන් ..

    ReplyDelete
  4. ලංකාවට අඩුවක්ව තියෙන දෙයක් ..යුද සාහිත්‍ය ..ඔයාට ඒ අඩුව පුරවන්න පුලුවන් ..

    ReplyDelete
  5. අනේ ආරච්චියෝ තව ටිකක් වැඩිපුර ලියපංංං උඹ ලියන ඒවා කියවන්න බලාගෙන පිපාසයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා...

    ReplyDelete
  6. අම්මෝ ඇති යාංතන් ආරච්චි ඇවිත්.. දැන් මේ කතා ටික මුල-මැද-අග ගලපලා පොතකට ගහන්න කාලේ හරි නේ..?

    ReplyDelete
  7. //ඒ දවස්වල සීසීඑම්පී එකෙන් හොඳට කෑව කියලත් මිනිහ කිව්වා.//

    මේකනම් මාර අවුල්. 80 අග - 90 මුල පත්තරේක කියෙව්වා MP එකෙන් ගත්තු army කෙනෙක්ට ගහලම මැරුණා කියලා. මම පොඩි එකා, මට අව්ල් ඇයි MP ත් army කට්ටිය ඉතින් ඇයි තමන්ගේම එකාට ගහන්නේ කියලා . https://www.youtube.com/watch?v=bQPtWrK145w බැලුවම හිතෙනවා ලෝකේ කොහෙත් MP ලට තියෙන්නේ එකවගේ කැමැත්තක් කියල

    ReplyDelete