Friday, September 24, 2021

ලෑන්ඩ් කෲසර්

 මට හමුදාවෙ හමුවුන ගොඩක් අය මගේ අදහස්වලට විරුද්ධ අය. මට අකමැති අය. ඒ වගේම මම හොඳකටත් වඩා නරක  දෙයක් කලොත් ඒක ඊයක වෙිගයෙන් ඉහල රෑන්ක් එකක  කනේ තියන්න පුරුදු වෙච්චි අය තමා ගොඩක් හිටියෙ.   උන්දැලා කෞද කියල මං අඳුරගෙන උන්නෙ. ඒ වගේ ගැන් වලටත් මම අවස්ථා කීපෙකදිම රොම්බ ආතල් කිහිපයක්ම දීලයි තිබුනෙ. ආතල් එකක් කියන්නෙ මොකද්ද කියල දන්නැති එක රාමුවක කොටුවෙච්චි උන්දැලා ඒ චීත්ත වැඩ වලින් තමා ගොඩක් වෙලාවට ආතල් ගත්තෙ. පෞ ඉටිම්. හැබැයි ඊට වඩා මට සෙට්වුනා මට කැමති අය. වැරැද්දක් කලොත් දඬුවම් දීල හරි ආයෙ ඒ වගේ නොකරන්න උපදෙස් දුන්නු අය. එකෙන්ම ආතල් ගත්තු අය. මං ඒ ගොල්ලන්ට කැමතියි. කතා කිහිපයක්ම තියෙනවා ඒ ගැන. කල්‍යාණ මිතුරෙකුත් ඔය අස්සෙ හමු නොවුනාම නෙමෙි. කල්‍යාණ මිත්‍රයා කියන්නෙ හරි වැරැද්ද පෙන්නලා නැති බැරි වෙලාවට උදව් කරලා වැරදි පාරක යනවනම් නියමිත මාර්ගයට ගන්න මිතුරා නෙමෙි. කල්‍යාණ මිත්‍රයා කියන්නෙ අපිව මිත්‍ර්‍යා දෘෂ්ඨියෙන් මුදවාගෙන සම්මා දෘෂ්ඨියක පිහිටුවන ධර්මයෙහි පිහිටුවන විශේෂ පුද්ගලයට. එහෙම කෙනෙකුත් මට  හමුදාවෙදි හමුවුනා. ඒ සෙ/965 බනි 11 කුමාරසිංහ කේඑම්ජී. ඒ කතාව මං පස්සෙ දවසක කියන්නං. එයා මගේම කාණ්ඩයේ නැතිනම් බැච් එකේ වගේම තමා. ඒක වැදගත් කතාවක්.


මං හරි ආශාවෙන් හිටියෙ හමුදාවෙ ඩ්‍රයිවින් කෝස් එකක් කරන්න. ඒත් අවසානය දක්වාම මට ඒ පාඨමාලාව ලැබුණේම නෑ. ඒකට හේතුව වුනේ මගේ වෘත්තීය. ලංකා හමුදාවෙ ඉන්න හැමෝම දැන් වෘත්තීය සෙබළු. වෘත්තීයෙන් ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවෙක් වෙච්චි මට ඩ්‍රයිවින් කෝස් එකකට නම දාගන්න බැරිවුනේ මාත් එක්ක අවුල් වෙච්චි ක්ලාක්ලා සීසීල සහ මහේශාක්‍ය දෙවිවරු නිසා.ඒ කියන්නෙ නිළධාරි. නැතුව වෙනත් ⁣වෘත්තීන්වල අය ඩ්‍රයිවින් කෝස් නොකලාම නෙමෙි. හැබැයි එහෙම කියල මං හමුදාවෙ වාහන පදින්නෙ නැතුව හිටියෙත් නෑ. ආමර්ඩ් කාර් (යුධ ටැංකි)  යුනි බෆල්,ට්‍රැක්ටර්,තඩි ලේලන්ඩ්,බයික් ඇති වෙනකම් නූනත් හොරාට හොරාට හරි පැද්දා. ඒව ක්‍රමෙිට කරගත්තෙ. ඔය අස්සෙ මට කාලෙක ඉඳලා පට්ටම ආශාවක් තිබුනා ඩිපෙන්ඩරයක් හරි ලෑන්ඩ් රෝවර් එකක් හරියි ලංකාවට ඒ වෙද්දි ඇවිත් තිබුන,ඒත් හමුදාවෙ අල්ලන්නවත් නොලැබෙන ලෑන්ඩ් කෲසර් රථයක් පදින්න. නමුත් ඔය එකක්වත් හමුදා තියා සිවිල් ලයිෂන් එකක්වත් නැති මට දෙන්න කිසිම රියැදුරෙක් කැමතිවුනේ නෑ. එකක් ඉතින් මගෙ වැරැද්දක්. ඒ නාහෙට අහන්නැති එක වගේම සහ මූට මෙික දුන්නොත් මටත් හිරේ යන්න වෙයි කියල උන්දැලා හිතන්න ඇති. හැමදේම ආතල් එකට ගත්තු කෙනෙකුට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සහ අවස්ථාවක් ලබා දෙන්න කවුරුත් කැමති නෑ. මොකද ඒක  වගකීමක් තියෙන රස්සාවක් නිසා. 


මම සාමාන්‍ය සෙබළ ඉන්නැද්දි හැමදාම අපේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එකට ගිහින් වාහන වල ඔයිල් වතුර බලන එක සහ හෝදන්න උදව් කරන එක  පුරුද්දක් වුනා. ඒ වාහන පදින්න තිබුනු ආශාවටම මිසක් වෙන දේකට නෙමෙි. ඒ කොච්චර උදව් කලත්  අපේ ඒකකයේ එකෙක් මට ඔය එක වාහනයක් ආසාවට කිලෝමීටරයක් පදින්න දුන්නෑ. ඒ කියල උන්දැලා එක්ක මගේ තරහකුත් නෑ. ඔය අතරේ කාලතුවක්කු හමුදාවෙි හිටියා (මඩකලපුව 233 බසේමු) බොම්බඩියර් කුලතුංග කියල කෙනෙක්. අපිට වඩා ගොඩක් සීනියර්. එයා එලෙව්වෙ යුනි බෆල් රථයක්. ඒ මඩකලපුවෙදි. එයා කැරම් ක්‍රීඩාවට ඇබ්බැහිවුනු පොරක්. පොරත් එක්ක කැරම් අතක් ගහල දිනනව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙි කරන්න බැරි වැඩක්. දවසකට සිගරට්නම් පැකට් එකකට වඩා පොර දිනනවා. බ්‍රවුනින් ගන් එකක් හයි කරල තිබුනු ඒ වාහනේ දුඹුරු පාටයි. ඔය වාහනවල වින්ඩ්ස්ක්‍රින් එකත් පොඩියි. කිසිම වෙඩි උණ්ඩයකට ඒක පසාරු කරගෙන එන්නත් බෑ. පාර පේන්නෙත් ටිකයි. අනික ඔලුවට උඩින් බ්‍රවුනින් ගන් එකක් ලේ කරපු බෆල් එකක් පදිනකෙටෙ හිතට එන ගැම්මත් හරි අලංකාරයි. 



 කැරමි ක්‍රීඩාව කියන්නෙ මමත් දේවත්වයේ ලා සැලකූ ක්‍රීඩාවක්. එක වටයකදි මගෙන් අත් තුනක් පැන්නනම් ඒ බොහොමත්ම කලාතුරකින්. මටත් ඒ වගේම කැරම් සෙල්ලම් කරන්න පුලුවන්. මෙි බොම්බඩියර්ට අභියෝගයක් එල්ල කරන්න පුලුවන් කෙනෙකුට හිටියෙ මාත් ශ්‍රීලයුසේබ ඒකකයේ රාජපක්ෂත් විතරයි. එක දවසක් රෑක මෙයත් එක්ක මාත් සෙට්වුනා. අපි දෙන්න එක පැත්තක්, රාජපක්ෂයි තව කෙනෙකුයි එක පැත්තක්. ඔට්ටුව සිගරට් පහයි. ඒ තරඟයේ තුනෙන් දෙක අපි දෙන්න දිනලා පොර හෙන සංතෝසෙන් හිටියෙ. අත් තුනයි එක අතක් ඉවරයි. එහෙම. පස්සෙ මං වෙනම ඔට්ටුවක් ඇල්ලුවා බොම්බඩිත් එක්ක සිගරට් දහයකට. මම පැරදුනොත් සිගරට් දෙනවා. එයා පැරදුනොත් මට කෑම්ප් එක වටෙි රව්ම් දෙකක් බෆල් එක පදින්න දෙන්න ඔින. ඒකට එයත් කැමතිවුනාම රව්ම් දෙක දවස් දෙකකට දෙන්නං කියන පොරොන්දුව මත තරඟය පහුවදාට කල් තැබුනා. 


පහුවදා රෑ තරඟය පැවැත්වුනා. ගොඩක් අය බොම්බඩියර්ට හුරේ දාද්දි කෝපල් පොඩි නිළමෙ විතරක් මට හුරේ දැම්මා. තරඟය එක වටයයි. තරඟය ආරම්භවුනා. හදවතට අත තියල කියන්නෙ මොන වාසනාවක්ද නම් දන්නෑ මං තරඟය දිනුවා. දැන් ඔට්ටුව අනුව මට වට දෙකක් දවස් දෙකකදි බෆල් එක එලවන්න දෙන්න ඔින. ඒ අනුව එයා ඒ ඔට්ටුවෙ පොරොන්දුව අනුව වට දෙකක් විතරක් නෙමෙි නෝමල් රාජකාරි වැඩකට එලියට ගියොත් එලියෙදිත්  වැලිකන්ද කදුරුවෙල පැත්තෙ යනවනම් වාලච්චෙින පැන්නම කැලේ පාරෙදිත්, දෙතුන් සැරයක්ම පාසිකුඩා සී බාත් එකට යද්දි මට වාහනය පදින්න දුන්නා. ඒ අවස්ථාව මට කීප පාරක්ම ලැබුනා. ඒ අනුව මගේ එක ආශාවක් සංසිඳුනා. ඔය විදියටම තමයි කෝප්‍රල් විසිට් එක්ක මම ආමර්ඩ් කාර් එක එලෙව්වෙ. ඒ කඳවුර වටෙි දෙපාරයි. හැබැයි දෙපාර දුන්නා ඇති වෙන්නම. 

ඒත් මට  ඩිපෙන්ඩරයක් ලෑන්ඩ්රෝවරයක් හා කෘසර් එකක් පදින්න හමුවුනේම නෑ. මොකද අපේ ඒකකයෙත් ඔය වාහනයක් තිබුනෙ නෑ.කාලයත් එක්ක ඒ ආශාවන්  යටපත් වෙලා තියෙද්දි මම කෑගල්ලෙ කඳවුරට ට්‍රාන්ස්ෆර් ආ⁣ව. ඒකෙත් කාලයක් යද්දි මට අහම්බෙන් අවස්ථාවක් ලැබුනා ලෑන්ඩ්රෝවරයක් පදින්න. ඒ පාන්දරක. ඒ දවස්වල අපේ කඳවුරේ ස්ථාවර නියෝගයක් තිබුනා  රෑට වාහනයක් එළියට යනවනම් අනිවාරයෙන් සැරයන් නිළයෙන් ඉහල කෙනෙක් වාහනය භාරව යන්න ඔින කියලා. එදා මම තමා මෙි රාජකාරියෙ හිටියෙ. 2014 අවුරුද්දෙ නිදහස් උත්සවය තිබ්බෙ කෑගල්ලෙ. ඒ වෙනුවෙන් අපි ඇඩ්මින් භාරව ඉඳලා මාරම ගේමක් ගැහුවෙ. ඔය වාහනය භාරව හිටියෙ ඒ දවස්වල කෝප්‍රල් කෙනෙක්. ඒ තමා බුකියෙ සසිත් බණ්ඩාර කියල වෙන නමකින් එකවුන්ට් එක හදාගෙන ඉන්න සොරා.එයාට පිංසිද්ද වෙන්න කෑගල්ලෙ ඉඳල මාවනැල්ලටත් තව දවසක ගම්පොලටත් මට ඒක එලවන් යන්න ලැබුනා. ඒ ආශාවත් ඉශ්ඨවුනා කියමුකො. දැන් කොහෙන්දැයි ලෑන්ඩ් කෘසර් එකක් පදින්නෙ. 



ඔහොම ඉද්දි  583 බළසේනාවෙි සංඥා රාජකාරි කටයුතු ඉටුකිරීමට අපේ 9වන ඒකකයට පැවරෙනවා. ඒ ඒකකය තියෙන්නෙ කිළිනොච්චියෙ. අදටත් තියෙන්නෙ එ⁣තැනමයි. ඒ අනුව මට මාස එකහමාරක්  කිළිනොච්චි ඒ කඳවුරේ නවතින්න සිද්ධවුනා. මං සංඥා අංශ භාර ජ්‍යෙශ්ඨ කොමිෂන් නොළත් නිලධාරියෙක් විදියට ඒ රාජකාරිය ඉගෙන ගෙන තිබුනෙ නෑ. මොකද මගේ සම්පූර්ණම සේවාකාලය ගෙවුනෙ යුධ පිටියෙමයි. ක්‍රියාන්විතවල සහ ක්‍රියාන්විත ප්‍රදේශවලමයි. මම විතරක් නෙමෙි අපේ ඒකකයේ අයගෙන් 3/4 ක්ම ආවෙිණික වෘත්තීයයන් දන්නෑ. මම ක්ලාස් 111 පාස්වුනේ කම්පියුටරයෙන්. Class 11 පාස්වුනේ බෝලයක් අල්ලලා. ඒකත් කියන්නම්කො. ක්ලාස් 11 ටෙස්ට් එක කරන්න භාරව තිබුනෙ සැරයන් කෙනෙකුට. අපි තුන් හතර දෙනෙක් කලින් දවසෙ ඒ සැරයන්  හමුවෙන්න ගිහින් විස්තරේ කිව්වා. ඒ සැරයන් පනාගොඩ ඉඳන් ආපු කෙනෙක්. අපි කිව්වා "අනිත් ඒකක වගේ නෙමෙි සාජන් අපි හරි අසරණයි" කියල. ඒ කරලා  ඊට දවස් දෙකකට පස්සෙ දෙන්න තිබ්බ පේපර් එක ඉල්ලගෙන ආවා. ඇවිත් දවස් දෙකක් පාඩම් කරලා සාජන්ට පව්නෙ කියල පේපරේ ගොඩදාල දුන්නා. එවකට අපේ දෙවන අනි තුමා වුනු මෙිජර් ඩබ්ජී ඩයස් අපි ඔක්කොම පාස් කියල ඔලුවෙ අත ගහගත්තා. හැබැයි පස්සෙ කාලෙක වැඩෙි ලීක්වුනත් ඒ වෙද්දි අපි ඒ,ඒ නිළවලට නිර්දේශ වෙලාත් ඉවරයි.


කවදාවත් ආවෙිනික වෘත්තීය නොකර ෆීල්ඩ් එකේ හිටපු අය තමා අපි. පස්සෙ මට ඒ තනතුර භාරගන්න කියල 9 ඒකකයෙන් ලියුමක් ආවම මම කෙලින්ම එහෙ සීඔිට කතා කරල කිව්වා  ඒකට වෙන කෙනෙක් එවන්න, මට බෑ කියලා. ඒ ඒකකයේ සීඔි හිටියෙත් අපේ 2IC හිටපු මෙිජර් රත්නායක. එතුමා අපි කව්ද කියල දන්න නිසා දියතලාව, කෑගල්ල,කුරුණෑගල,දඹුල්ල, පුදුකුඩිඉරුප්පු,මුලතිව් ආදී තැන්වලින් ඒ තනතුරට පත්කරපු අය ගෙන්වලා කෝස් එකක් කලා. මොකද ක්‍රියාන්විත ප්‍රදේශවල වගේ නෝමල් ඒරියාවල රාජකාරි කරන්න බෑ. හරිම අමාරුයි. සිවිල් ආයතන සහ විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනය එක්ක තමා කටයුතු කරන්න තිබුනෙ මට. (කෑගල්ලෙ විතරයි) ඒ අනුව තමා මාස එකහමාරක් මං කිළිනොච්චි යන්නෙ. එහෙ අපි හවස හතරට ඔිෆ්. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එළිපහලියට යන්නත් අපිට අවසරය තිබුනා. අනික කිළි කියන්නෙ මගේ ගම වගේ. ඔිනම පාරක ,අතුරුපාරක, ආරම්භය වගේම අවසානයත් මම දන්නවා. එක සෙනසුරාදා දවසක කිළි ටවුමට ගියපු වෙලාවක මං දැක්කා දෙයියෙක් ලෑන්ඩ් කෘසර් රථයක් පැදගෙන පැදගෙන පැදගෙන යනවා. මට යට ගියපු ආශාව ආයෙ මතුවුනා. ඉහේ මලක් පිපුනා වගේ වුනා. ඒකට හේතුව ඒ වාහනේ පැදගෙන ගියපු පොර. ඒ මගේ මල්ලි. එයා ලංකාවෙ  බිම්බෝම්බ ඉවත් කරන "මැග්" සංවිධානයේ සේවය කලේ. එයත් ආමි මයි. ඒ ඒරියා ලීඩර් කෙනෙක් විදියට ඉංජිනේරු බළකාය වෙනුවෙන් කිළි ප්‍රාලේ කාර්යාලයේ රාජකාරි කලේ. තවත් හමුදාවෙ කිහිප දෙනෙක් එතන ඉන්නවා. මෙයාලා හමුදාවෙ වුනත් සම්පූර්ණ සිවිල් විදියට තමා හිටියෙ. මල්ලි ඒ වාහනය නතර කරන්න තැනක් හොයල නතර කරලා මට අත්පුඩියක් ගහල කතා කලා. මාත් ගිහින් පොරත් එක්ක කයියට වැටුනා. ප්ලෑන සාර්ථකයි. ලබන සෙනසුරාදා ඉඳන් කිළිවල ඉන්නකම් සෙනසුරාදාටයි ඉරිදාටයි වාහනේ පදින්න දෙන්න පොර පොරොන්දු වුනා. ඒ අනුව දවස් දෙකතුනක් පොරත් එක්කම කරක් ගහලා කෝස් එක අවසන් වෙලා කෑගල්ලට එන්න සතියකට කලින් සෙනසුරාදා දවසෙ අපි දෙන්න එයාගෙ  වැඩකට වව්නියා ගියා. ඒ ගියේ අර වාහනේ. යද්දි පොර පැදන් ගියා විනාඩි හතලිස් හතරට. කිළිවල ඉඳන් වව්නියාවට  කි.මී.75, 80ක් විතර තියෙනවා මගෙ මතකයට අනුව. ඒ දුරම පොර එක හුස්මට ලෑල්ලට පාගලා විනාඩි 44ට වව්නියාවට ගියා. මෙිකෙ මීටර් බෝඩ්එක තියෙන්නෙ 240ට. ආවෙ එකසිය හැටට පනහට හතලිහට, සමහර තැන්වල සීයටත් වගේ. වාහනේ කෝටි එකහමාරකද දෙකකද  කොහෙද එකක්. අයියටයි මල්ලිටයිනම් ඒකෙ වටිනාකමක් තේරුන්නෑ. මං අත්පුඩි ගහනවා,පොර පිකප් වෙනවා. ආයෙ පොර පිකප් වෙන වෙන ගානට මං අප්පුඩි ගහනවා,ඒකට පොර ආයෙ අමුතුවෙන් පිකප් වෙලා වාහනේ පිකප් කරනවා.. මෙි ගමනෙ එනකොට තමා මම පදින්නෙ. හරි සරළයි. ඒ දවස්වල වාහනත් අඩුයි ඒ9 පාරෙ. 


වව්නියාවෙ අලුත් ස්ටෑන්ඩ් එක ගාවට එනකම් මම එයාට කියල වාහනය  දාගත්තා.  මම එතැනින්  වාහනේ භාරගත්තා. සීට් එකේ ඉඳගත්තා. පළවෙනි පිම්ම පිකප් කරා. ඒ පිකප්  කරද්දි වාහනේ ඉස්සරහ ඉස්සුනා. සත්තයි දිවුරලා මෙි කියන්නෙ, එයාට විනාඩි 54 ක් ගියපු ගමන මම විනාඩි 42 න් ඉවර කලා. මීටරේ 180 ආසන්නයේ "ටීක් - ටීක්" ගානවා. 240ට තව හැටක් ඉතුරුයි, ඒකටත් මම පිකප් කරනවා., ඒත් ඊට කලින් අපි කිළිවලට ඇවිත් ඉවරයි. පදින්න නොලැබෙයිම කියල ආශාව අතෑරල හිටපු වාහනයක්, පදින්න ලේසිවුන වාහනවලට වඩා පැදල පැදල තමා මම කිළිවලින් ආපහු ආවෙ. මං පැදපු ගොඩක් තැන්වල විනාඩියට කි:මී: කණු තුන සහ හතර පාස් කරපු තැන් තිබුනා. ඒ වාහනයක් පැදපු කෙනෙක් ඉන්නවනම් දන්නව ඇති ඒකෙ තියෙන ආතල් එක.හැබැයි 180ට පිකප් කලා කියල වාහනේටනම් දැනුනෙවත් නෑ. ඒ අනුව මං පැදපු වාහන ලිස්ට් එකට මඩකලපුව කොළඹ දුම්රිය මඩකලපුව සිට වැලිකන්ද දක්වා  පැදල ඒකත්  එකතුවෙනවා. කෝච්චි පදිනවා වගේ අවස්ථානම් හමුදාවෙ ලක්ශෙකට එකක්වත් ලැබෙන්නෑ. ඒත් නියාමක රියැදුරු ලියනගේ මහත්තයා මාව ඒ අතින් වාසනාවන්තයෙක් කලා.  දැන් මෙි ලඟකදි ඉඳන් ආශාවක් ඇතිවෙලා තියෙන්නෙ කේඩීඑච් එකක් පදින්න. ඒකටනම් අවස්ථාවක් නොලැබෙයිම කියල හිතිල තියෙන හිංද 

තව ටික කාලයක් බලං ඉඳලා ඒ ආශාව අතෑරල දාන්න හිතං ඉන්නෙ.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.09.24

No comments:

Post a Comment