Thursday, November 18, 2021

කොළඹ රස්සාව

 මෙි මං කොළඹ හිටපු කාලේ. 


ඒ දවස්වල රටෙි මහ යුද්දේ. කොළඹ වගේම රටෙි හැමතැනම බෝම්බ පිපිරීම් හා මියයෑම්. බස් බෝම්බ, සූ සයිඩ් ආදිය ඔිසෙට තිබුනු කාලයක්. ඒ මදිවට දවස ගානෙ අහුවෙන මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හා පුපුරන ද්‍රව්‍ය. ඒත් එහෙමයි කියල මට පිටකොටුවෙ රස්සාව කරගෙන එහෙටම වෙලා ඉන්න වුනා. ඒ කාලෙ හතර වටෙි කරක් ගග ගගහ පේමන්ට් එකේ (පිටකොටුව පංසල ගාව)  ශෝට් විකුණ විකුණ හිටපු මට ඒ ජොබ් එක නම් එපා වෙලාමයි තිබුනෙ. රුපියල් හතලිහ පනහ හැට යන මිළ ගණන් වලට මහරගම පැත්තෙ ගාමන්ට් එකකින් සතියකට සැරයක් පිටකොටුව ටෙිලර් ෂොප් එකකට එවන ශෝට් ටිකක් අරගෙන එකක් රුපියල් සීයට විකුණ විකුණ පිටකොටුව, මහ වීදිය හරහා මල්වත්ත රෝඩ් රෝඩ් එකෙන් කොටුව දක්වා හා හැම හරස් වීදියක්, ගෑස්පහ වගේම ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකත් අනිකත් සමහර වෙලාවල් වලට ඔය හැමතැනමත් පීපල්ස් පාර්ක් එකේ තට්ටු දෙකෙත් ඇවිද ඇවිද කලේ මහ එපාවෙන රස්සාවක්. ඒත් දවසකට ශෝට් දහයක් පහළොවක් විකුණ ගන්න එක හෙන අමාරුයි. සමහර දවස්වලට ෂෝට් මදි වෙනව. ඒවා වෙිලාසන ඉවරවුනාම කරන්නෙ ගෝල්පේස් සහ කොල්ලුපිටි පැත්තෙ කරක් ගහන එක. ගෝල් පේස් එකට ඇවිත් පැයක් විතර මුහුද දිහා බලාගෙන ආනාපාන සතිය වඩලා වඩලා ආයෙම පයින් කොම්පඤ්ඤවීදිය හරහා කොටුව ස්ටෙිෂන් එක. කොට කලිසමක් සහ අත්දිග ටීෂර්ට් එකක් ඇඳගෙන ඇවිද ඇවිද ඒ නටපු නාඩගම අද වෙනකම් කලානං සිරාවටම මං අද කෝටිපතියෙක්. 


ඒ දවස්වල කොළඹ කියන්නෙ මහ එපාම එපාම එපාම කරපු තැනක්. ගඳ ඊට එහා. මෙි වගේ වැහි කාලයක් කියන්නෙ පණ පිටින් අපායෙ ගියා වගෙ.  ටොයිලට් උතුරපුවා, හෝටල් වලින් විසික්ක කරන බත් මාලු පිනි කෑම වර්ග කුණු වෙලා ගඳ ගහන මහපාරේ ඒවා නාහෙ වහගෙන "චුරු චුරු" හඬින් පාද ඇඟිලි කරු අස්සෙන් එළියට පනිනකම් පාගගෙන ඇවිදපුවා.. සංසාරෙකට අමතක වෙන්නෑ. ෂෝට් දහයක් පහළොවක් වැලක දැම්ම වගේ වමතේ එල්ලගෙන වීක් එන්ඩ් එකේ ගම රටවල් බලා යන සමනල් යුවතියන්ගේ දෑස් දිහාත්, හැම දෙයක් දිහාම හැම කෙනෙක් දිහාම සැකයෙන් බලන්න පුරුදු වෙලා හිටපු මම, සීයායි ශෝට් සීයායි ශෝට්"  කිය කිය ඔවුන් වටෙිම කැරකෙද්දි, අනුරාධපුර කොළඹ බස් එකක් කිසිම හිතක් පපුවක් නැතුවා වාගෙ කුණු වතුර පිරිච්චි පාරේ වතුර දෙබෑකරගෙන යද්දි ඒ ෂවර් එකට අහුවෙලා "කටෙි හිටං වතුර" වෙච්චහම දැනෙන සතුට.. මයෙ අප්පේ අවීචි මහ නරකාදියේවත් එහෙම අච්චු දෙන්නෑ. දවසෙ තුන් වෙිලෙන් දෙවෙිලක් කෑවෙත් බොහොම අමාරුවෙන්. සල්ලි නැතුවා නෙමෙයි, කුණු මයිලෙට කක්කුස්සි උතුරලා පාරෙ ගහගෙන යද්දි එන මළකඩ ගඳ සිහිපත් වෙලා කෑම එපා අප්පිරියා වෙනවා. 

පාන්දර හතරට පිටකොටුවට එන එකම බෝඩිමෙි නැවතිලා හිටපු අපි සෙට් එක උදේ හය වෙනකොට ශෝට් විකුණන අය ⁣ඒවා අරං, තැඹිලි කපන අය තැඹිලි අරන්, ඇපල් ලෑලි කරන අය ඒවා අරන් ස්ථානගත වෙලා ඉවරයි. සිංදු පොත් ඇඩස්සොල්ලි පත්තර සහ පොත් විකුණන අය ඒවා වික්කේ බස්වලට කෝච්චිවලට නැගලා. 


යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං... නන්දාමාලනීගේ ජනප්‍රිය සිංදු සීයම රුපියාල් වීස්සයි, මහද නැමැති වන බමරා ඔබෙි කනට කොඳුරා කියන ජෝත්පාලගේ රහස් ගීත සීයක්ම තියෙන පොතාක්  රූපියල් වීස්සයි...විනෝද චාරිකාවකට ගැලපෙනම ගීත පොත සිංදු සීයායි රූපියල් වීස්සයි..දන්නෝ දනිති ගන්නෝ ගනිති චාමර වීරසිංහගේ තනමල්විල මල් රූපියල් වීස්සයි...


පත්තෙරේ පත්තෙරේ...පත්තෙරේ... බිරිඳ,පියාදරී වින්ද්‍යා පත්තර තුනම රූපියල් වීස්සයි..පත්තර තුනම වීස්සයි.. 

මෙි අය ගොඩක් වෙලාවට ඉන්නෙ ගුණසිංහපුර සහ පිටකොටුව ලංගම ස්ටෑන්ඩ් එකේ...


ටොප්පි සියරට් ටොප්පි සියරට් කූල් වතුරෙකාක්.. ටොපිස් සියරට් පෙපෙර් මින්ට් බබල්ගම් චුවින්ගම්..ටොපී ටොපී ටොපීඊඊඊ ගමන් වෙහෙසට පාළුවට තනිකමට හප හපා යන්ඩ..මහත්තයාට පෙපර් මින්ටෙකක් බබාට බබල්ගම්මෙකාක් නෝනාට චුයින්ගම්මෙකාක් සියරට්ටෙකාක්....


ඊළඟට තව එකෙක් නගිනව..රබානක් අරන්..

බුදු නෝනා මහත්තයා මං රබානක් අරගෙන මෙි බස්සෙකට නැංගේ ඔබලාගේ හුදෙක් විනෝදය පිණිස විරිදුවක් දෙකක් ගායනා කරම්න..අත පය හතරම තිබුනට අහක බලාගන්න එපා.. මට හැතිය, වලිප්පුව, මීමැස්මොරය, ,උණ හෙම්බිරිස්සාව කක්කල් කැස්ස ඔක්කොම තියෙනවා.බරවැඩක් කරලා පවුල ජීවත්කරවන්න බැරි නිසයි මෙහෙම විරිදුවක් දෙකක් ගායනා කරලා  ඔයාලාට අතපාලා දෙන කීයකින් හරි ජීවිතේ ගැට ගහ ගන්නෙ.පිංවත් ඔබ සැම දෙනා දෙන පුංචි රුපියල් පහෙන් දහයෙන් තමා මගේ පවුල ජීවත් කරවන්නෙ මගේ ලෙඩවලට බෙිත් ගන්නේ...


රපට පපම් රපට පපම්...

අතපය හතරම තිබුනට එපා අහක බලාගන්න...


ඊළඟට තව එකෙක්..

ඌ කරන්නෙම හොඳට ඇඳ පැළඳ ගත් නෝනලා ඉන්න මහත්තයාල ගාවට ගිහින්

"මහත්තයා නෝනා දීලා යන්න මහත්තයා නෝනා දීලායන්න" කිය කිය හිඟමන් ඉල්ලන එක.


ඔහොම ඉන්නකොට තමයි පිටකොටුවෙ පොලිසියෙන් අපිට කොක්ක ඇද්දෙ. නගර සභාවෙන් කිව්වා කියලා පේමන්ට්වල බඩු විකිණීම තහනම් කලා. වැහි දවස්වලට පාර අයිනෙ ඉටි රෙද්දක් එලාගෙන කොට කලිසම් ටීෂර්ට් විකුණ විකුණ ජීවිතේ ගැටගහගත්තු අපි පොලිසියෙන් එනව දැක්කම ඉටි රෙද්දෙ කොන් හතරෙන් උස්සගෙන උන්දැලාට නොපෙනෙන තෙක් දුවලා දුවලා ගිහින් උන්දැලා ආපහු ගිහාම ආයෙ එතැනටම ඇවිත් ඉටිරෙද්ද දිගෑරගෙන බිස්නස් එක කරනවා. ටික දවසක් යද්දි මට මෙික එපා වෙලාම ගියා. එක දවසක් පොලිසියෙන් කනේ පාරකුත් කෑවා. ඒ එකට එක කට ගහන්න ගිහින්. පස්සෙ මට ගෝල්පේස් එක සෙට්වුනා. හැමදාම මුහුදක් දැකපු නැති ඈයන් වගේම මුහුද දිහා බලාගෙන කුඩවලින් ඔලු  වහගෙන කටවල් හපාගන්න එන ජෝඩු නිසා බිස්නස් එකත් සරුවටම නැතත් ටිකක් විතර සරුවට නැගලා ගියා. රුපියල් දෙකේ කාසියක් විතර ලොකු වඩෙි එකකට අඟල් තුන්කාලක විතර දිග ඉස්සෙකුත්  නොවිච්චි කූනිස්සෙකුත් නොවිච්චි එකෙකුත් ගහගෙන ඒවා කූඩෙකට දාගෙන "වඩෙිව්ඩෙිවිඩෙි ඊස්සොවඩෙිස්සොවඩෙිස් උනු උනු වඩෙි ස්සොවඩෙිස්සොවඩෙිස්" ගග ගගා දවසකට කීප පාරක්ම දනහිසුත් ගෙවිලා තුනටිය ගාවට එනකම්ම ගෝල් පේසියෙ අහට්ටත් මෙහට්ටත් ඇවිදලා ඇවිදලා ගත්තු ආතල් එක, ඒකනම් මාරයි. මට ඒ වගේ මහන්සියක් දැනෙනකොට කරන්නෙ ජීවිතේටම මුහුද නොදැකපු ප්‍රාථමික පංතියක සිසුවෙක් වගේ  මහා පුදුමෙන් මුහුද දිහා බලා ඉන්න එක. නැතිනං වැල්ලට බැහැලා පංචා බෙල්ලො අහුලන එක. හෙන විනෝදයි ඉතිං.

එක දවසක් මං ගෝල්පේස් එකේ ඉන්නකොට ආරංචියක් ආවා, අපේ සෙට් එකේ නායකයාගෙන් හවස හතරට අහවල් තැනදි මුන ගැසෙන්න කියලා. ඒක මට ආවෙත් ගෝල්පේස් එකේ වඩෙි විකුණන අපේ ලීඩර්ගෙන්. නමුත් හොඳ බිස්නස් තියෙන වෙලාව. දාල යන්නත් දුකයි. ඒත් කරන්න දෙයක් නැති කමට කොළඹ 03 එලිෆන්ට් හවුස් එක ගාව කියපු තැනට නියමිත වෙලාවට ආවා. මෙතැනට පොත් කාරයො,ටොපි කාරයො,තැඹිලි කාරයො,ඇපල් කාරයො,ත්‍රීවීල් කාරයො, කීප දෙනෙක්ම ඇවිත් හිටියා. 

...................................................................

අපි විසිර ගියා. එදා හවස ඔය අතරින් කෙනෙකුට හෙන වගකීමක් පැවරුනා. ඒ අපේ කොල්ලෙකුට පිටකොටුවෙ පොත් සාප්පුව ගාව හිටපු රුපියල් පනහට බෙල්ට් විකුනන එකෙක් ගහලා. රුපියල් සීයට ඔරලෝසු විකුනන පොරකුයි ලංකට් විකුනන පොරකුයි තමා අරුන්දැට සපෝර්ට් කරල තියෙන්නෙ. ඒ සීන් එක කිව්වම මගෙයි රණතුංගගෙයි ඇඟේ මාළු නටන්නට වුනා. විනාඩි කිහිපයක් යනකම් කතා කරගන්න බැරිවුණා. ජයලතාගෙ ඇඟ වෙව්ලන්න වුනා කියල පොරම තමා කිව්වෙ. යකෝ... කොරනවා මදිවට තව ගුටිත් කාපල්ලකො. මටනං සිරාවටම උන්හිටිතැන් අමතක වෙලා දත්මිටි කෑවුනා. වැඩි වෙලාවක් පස්සට නොදා ෂොට් එක දෙන්නමයි මට නම් ඔිනවුනේ. කොහොමින් කොහොම හරි ලීඩර් මහත්තයා තමා අපිව ටිකක් කූල්ඩවුන් කලේ. ඒ කීයට හරි බුවාලට සොට් එක දෙනවා කියන පොරොන්දුව පිට. පොර දන්නවා සීන් එකට අපි බැස්සොත් පොරට තමා ඇප නැතිවෙන්නෙ කියලා. උන්දැ ටැමිල්. අපිත් කොළඹ නොම්මර එකේ ටැමිල් බුවාලා තමා.නලලෙ තුන්නූරු ටිකක් උලාගෙන වදමලක් නැත්තං පිච්ච මලක් කනේ ගහගෙන තමා දවස ආරම්භ කරන්නෙ.  


එදා හවස අපි හය වෙද්දි පොට් එකට ආවා. අපේ හිටියා 12 දෙනෙක්. ඔටුව පිටෝටුව කියන්නෙ ඒ දවස්වල අපිටනං නතිං ඉතිං. කාට හරි මෙිවගේ කේස් එකක් ආවොත් හෙඩ් ඔෆීස් එකට කතා කරලා තව කට්ටිය ගෙන්න ගන්නත් අපිට පුලුවන් කම තිබුනත් අපේ ලීඩර් බෝධිය ගාව හිටපු තනි තරුවෙ පොලිස් සර්ව දුරකතනෙන් බැලන්ස් කරල තිබුන නිසා එච්චර තරමක් දුර යන්න අපිට උවමනාවූයේ නැහැ. 

එතැනට ඇවිත් ජයලත් සහ තව දෙන්නෙක් අරුන්දැලාගෙන් අපේ බුවාට ගැහුව හේතුව අහද්දි පොර මෙයාලටත් ටෝක් කරන් ඇවිත්. මම හිටියෙ හරියටම බෝධිය ඉස්සරහා. ඒ ඔළුව ඉස්සරහට හරවගෙන හිටියත් ඇස් දෙක  දකුනු පැත්තෙ යන සීන් එකට එන්ටර් කරගෙන ඒ දිහා බලාගෙන. එතන චූටි කතාවක් ගිහින් බෙල්ට් කාරයා ජයලත්ගෙ උරහිසෙන් අල්ලල තල්ලු කරනවා මං දැක්කා. ජයලත් අත් දෙක දෙපැත්තට දාලා දෙපැත්තෙන් හිටපු අය නවතලා නැවතත් පොරම කතාවට බැස්සා. ඒත් බෙල්ට් කාරයා දමනය නොවෙන පාටකින් වැරදි මිනිහගෙන්ම ගේම ඉල්ලුවා.  විනාඩි පහක් යන්න ඇති. මං දැක්කෙ ජයලත් ඉන්න තැනම ඉඳලා වම් පැත්තට ටිකක් හැරිලා කකුල උස්සනවා විතරයි,බෙල්ටි කාරයා ඔරලෝසු බක්කියකුත් පෙරලගෙනම විසිවෙලා ගිහින් වැටුණා. අන්න ආරච්චිට මළ පැනපු තැන. මට උන් හිටි තැන් අමතකවුනා. කරන රස්සාව ගැන අමතක වුනා. මං ⁣අපේ තාත්තගෙන් ඉගෙන ගනිපු කුණු හරප දෙකකුක් කියාගෙන දුවගෙන ගිහින් බිම වැටිච්චි පොරට පයින් එකක් ඇන්නම එතන තිබුනු රෙදි කඩෙි පොරක් කතුරකුත් අරං එළියට බැස්සා. ඒ වෙලාවෙ මට කරන්න දෙයක් ඇත්තටම තිබුනෙ නෑ. ඒකට බැස්සෙත් ජයලත්. උගේම කඩෙි රාක්කෙකින් ඇදල ගත්තු කලිසම් රෙදි පීස් එකක් අත් දෙකෙන්ම අල්ලල කරකවලා බෙල්ලට එකක් එකයි දුන්නෙ, පොර කරකැවිලා ගිහින් වැටුණා. පස්සෙ පයිනුත් එකක් ඇන්නම ගුටි කාපු එකා කඩෙි ඇතුලෙ තිබුනු පඩිපෙළ උඩට වීසික්ක වෙලා ගිහින් වැටුණා කියලා ඒක දැකපු කෙනෙක්මයි කිව්වෙ.  හම්මට කියාල්ලකො, තව ත්‍රීවීල් කාරයො දෙන්නෙක් ආව කියාල්ලකො එතෙන්ට. ජයලත් දෙන්නෙකුට ගැහුවා,මං එකෙකුට ගැහුවා ලීඩර් මාත්තියා එකෙකුට එකයි ගැහුවෙ,ඌ අඬාගෙන වැඳගෙනම බිම ඉඳගත්තා. මෙිවා සේරම වෙන්න ඔන්නං විනාඩි දහයක් දොළහක් යන්න ඇති. එක පොලිස් මහත්තයෙක් ආවෙ නෑ සීන් එක සැන්ටිමැන්ටල් කරන්න, අපි අපේ ගේම අමු හැන්දෑවෙ දෙනෝදාහක් මැද්දෙ ගැහුවා. 

අන්තිමෙි වැඩෙි ශේප්වුනා. ඒ බෙල්ට් එකාට එතන කිසි විටෙක බෙල්ට් විකුණන්න බෑ. කඩ කාරය නෙමෙි ජයලත් එක්ක ඇවිලිලා තිබුනෙ, ගෝලයා. ඌව වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ කඩෙන් අස් කලා. අපි අන්තිමෙි පිට කෛාටුවෙ හෙන ගෙම්බර් එකෙන් හිටපු තුන් දෙනෙකුට හිතේ හැටියට වනලා, පිටකොටුවෙ පාතාලයෙ පුංචි කොටසක් අපේ අතට ගත්තා. හැබැයි අපිට ඔිවාගේ දේවල් බැරිවුනානං තාමත් පිටකොටුව ගිනිගන්නවා. ඊට පස්සෙ ලැව්ගින්නක් වගේ ඔික කඩවීදි පුරා පැතිරිලා ගියා.අපිත් ටිකක් බයෙන් හිටියෙ. ඒ කොහෙන් කොයිවෙලාවෙ දැලියෙක් ඇදේද කියලා. හැබැයි එහෙම එකක්නම් වුනේ නෑ. එදා අපිත් එක්ක හිටපු ත්‍රීවිල් කාරයෙක් තාම එතන ත්‍රීවීල් එලෝනවා මට ළඟ දවසකදි හම්බ වුනා. ඒ තව ත්‍රවීල් පහක් හයර් එකකටත් දීලා, තමනුත් එකක් හයර් කරන ගමන්. අපිට තමා කලිසනුයි වඩෙිය් පත්තරයි සිංදු පොතුයි විකුනලා ගොඩ යන්න බැරිවුනේ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.11.18

5 comments:

  1. අරච්චිගෙන් වඩේ කාපු ෂෝර්ට් ගත්ත කට්ටියත් ඇති මේක කියවන!!!

    //යකෝ... කොරනවා මදිවට තව ගුටිත් කාපල්ලකො

    රටේ හැමෝටම වගේ ජීවිතේ එක පාරක් හරි හිතෙන දෙයක්

    ReplyDelete
  2. සෑහෙන කට්ටක් කාලා තියෙනවා නෙහ්🙄😞😯
    මේ කියන්නෙ කොයි කාලෙද හැබැයි?

    හැබැයි අර කියන විදියට ෂෝට් විකුණලා කෝටිපතියො වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  3. Machan train eke giya rambooo uba dannawada....eka dawasak mata kanata katala kunu harupe. Banna nohuka hitapan hittoo kiyala...

    ReplyDelete
  4. දැනටත් ඔය වගේ බුවාලා ඇති, අපි කවදාවත් දැනගන්නේ නැති. ඕනි තරම් හම්බවෙලා ඇති. සමහර විට කතා කරලත් ඇති.
    එකෙන්ම respect කරනවා ඒ හැමදෙනෙක්ටම

    ReplyDelete
  5. ගොඩක් ලස්සනට කතාව ලියනව සර්,ඇත්තටම කුතුහලය ඇති වෙනව කියවන් යද්දී ඊලග කොටස කියවන්න... ගොඩක් අද්දැකීම් පිරුනු ජීවිතයක් පොඩි මොහොතක් හරි මුනගැහිලා කතා කරන්න ආසවෙන් ඉන්න චරිත අතරෙ සර් ඉහලින්ම ඉන්න කෙනෙක්

    ReplyDelete