Thursday, November 4, 2021

කිරාන් කඳවුරු ප්‍රහාරය

 මෙි කිරාන් කඳවුර. 1996 වසර මැද.


ඒ දවස්වල හමුදාවෙ රෙඩ් ඇලර්ට් (RED ALERT ) කියල එකක් තිබුනා. එල්ටීටීඊ සංවිධානය විසින් පමණක් ("පමණක්" කිව්වෙ හමුදාව විසින් ඒ සංවිධානයට එල්ල කරපු ප්‍රහාර මෙිකට ගත්තෙ නෑ) එතෙක් එල්ල කරන ලද සියළුම ප්‍රහාරයන් සමීක්ෂණය කරලා ඒ අනුව හමුදා භඨ පිරිස් වෙත දිවයින පුරාම වැඩිපුර ප්‍රහාරයන් එල්ලකල දින සහ කාල ගණනය කරලා බලල  කොයි වෙලාවටද කොයි දවස්වලටද වැඩිපුර ප්‍රහාර එල්ල කරලා තියෙන්නෙ කියල හොයල ඒ දවස් රෙඩ් ඇලර්ට් විදියට නම් කරලා වැඩි පරෙස්සමක් වෙන්න කටයුතු කරපු එක. ඒ අනුව මාසෙ දවස් කිහිපයක් සහ වෙිලාවන් කිහිපයක් හඳුනගෙන ඒ දවස්වල අපි පට්ටම ආතල් එකක් ගත්තා. හඳ බැහැගෙන යන කාල,හඳ නැගගෙන එන කාල, ඇඳිරිය වැටීගෙන සහ ඉර උදාව ආසන්නය වගේම උදේට බංකර් වලින් පසු බසින වෙිලාවල් තමා ගොඩක් වෙලාවට මෙි විදියට ගත්තෙ. ඊට අමතරව කලු කොටි සැමරුම, නායකයින්ගෙ උපන්දින,නොවැම්බර් මාසෙ කරන එව්ව එක,සංවිදානය වෙනුවෙන් මියගොස් වීරයන් සේ සලකන ඈයන් මියගිය දවස්  සිහිකරන උත්සව ආදියත් ඔිකට තිබුනා. ඒක ටික කාලයක් පැවතුනත් එච්චර සාර්ථක ක්‍රමයක් නම් නෙමෙි. අනික හමුදාව සාම්ප්‍රදායානුකූලව ඔය අතරින් දවස් කිහිපයක් කොහොමත් ඇලර්ට් වෙනව. හඳ බහින නගින කාලෙට රෙඩ් ඇලර්ට් එන්න කලිනුත් අපේ නිවාඩු පවා කැන්සල් කරලා රැය පුරාවට අපි උපක්‍රමික සීරුව කරලා තියෙනවා. මෙි උපක්‍රමික සීරුවට එහෙමත් නැත්තං Stand to එකට අපි කරන්නෙ බංකරේ ඉන්න තුන් දෙනාම ඇහැරල ඉන්න එක විතරයි. ඒත් ඒ දවස්වලට අපේ කඳවුරටනම් ගහපු කොටියෙක් නෑ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඒ ඒ ටයිම් වලට හමුදාවෙ කොහාටවත් නොගැහුවා කියලා. මං කියන්නෙ අපේ කඳවුර ගැන විතරයි. අන්තිමෙිට ඒකෙන් වුනේ එහෙ තිබ්බ රාජකාරි කන්දරාවට අනුව අපි තවත් පෙඩප් වෙච්චි එක විතරයි. 


මෙි රෙඩ් ඇලර්ට් එන්න කලින් වෙච්චි සිදුවීමක්.


එවකට අපේ නිලධාරි අණදෙන තුමාට 232 බළසේනාවෙන්,ඒකක මූලස්ථානයෙන් සහ බුද්ධි අංශ විසින් තහවුරු කරල දැනුම් දීල තිබුනා අහවල් දවසෙ එලිවෙන්න මොහොතක් තියා හරි අපේ කඳවුරට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වෙනවාමයි කියලා. කිරාන් කඳවුර කියන්නෙ තනි වෙච්චි කඳවුරක්. අසල්වාසී කඳවුරු වම: කුඹුරුමුල්ල (අපේ ඒකකයට අයත්) දකුණ සන්දිවෙිලි(වෙනත් ඒකකයක කණ්ඩායමක්) වශයෙන් තිබුනෙ. කිරාන් කඳවුරට කිරාන් ටවුමෙ ඉඳලා කිලෝමීටර් එකහමාරකට ආසන්න දුරක් තියෙනවා. පිටුපසින් කලපුව,ඉදිරියෙන් විශාල විවෘත භූමියක්. කුඩා ගම්මානෙකුත් තියෙනව කඳවුර ආසන්නයේ දකුණෙන්. වමෙන් කුඩා විවෘත භූමියක් එක්ක කැලෑවක්. කඳවුරට පහර දෙනවනම් එන්න තියෙන්නෙ මෙි අන්තිමෙිට කිව්ව කැලේ හරහා විතරයි. කැලේ කිව්වට කුඩා කැලයක් ඒක. ඒ නිසා හැම දවසකම දවල් කාලයෙත් නිරීක්ෂණ මුර දෙකකින් සමහර දාට තුනකින් විතර මෙි ප්‍රදේශය ආවරණය කරනවා. මෙි කඳවුරේ විශේෂත්වය තමා අපිට ප්‍රහාරයක් එල්ලවුනොත් පසු බැසීම් නෑ. අසල්වාසී කඳවුරුවලින් සහායක භඨ පිරිස්  එනකම් අල්ලාහිටීම තමා එකම ක්‍රමය. ඒ කියන්නෙ "ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්" න්‍යාය. සහායක භඨ පිරිස් එනවා කියලත් ඒ එන්න අමාරුයි. හේතුව ඒ එද්දිත් හෙනම සටනක් දීල තමා කඳවුර කිට්ටුවට හරි එන්න වෙන්නෙ. කුඹුරුමුල්ලෙන් භඨ පිරිස් මෙහෙට එන්න දොට්ට බැස්සත් ඒ එන්න තියෙන්නෙ සංවිධානෙටම වාසිදායක විදියට පිහිටපු භූමියක් හරහා. අනික ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. හැබැයි ඉහළම විශ්වාසයක් තිබුනා අපේ එවුං සතුරු වළල්ලක් නෙමෙි වළලු සීයක් වුනත් කඩාගෙන කුඩු කරගෙන උඩින් හරි යටින් හරි අපේ සහායට එනවාමයි කියලා. ඒ විශ්වාසය උඩ තමා අපිත් කාලයක් ඔය කඳවුරේ ගණන් කර කර රැයවල් පහන් කලේ. අනෙක තමා රෑට කඳවුර ඇතුලෙ ඉන්නවට වඩා පිරිසක් හිටියෙ කඳවුරෙන් එලියෙ. කඳවුරෙත් කරන්ට් එක තිබුනෙ නෑ. රෑ හතේ ඉඳන් දහය වෙනකම් දුවන 1KVA භූමිතෙල් ජෙනියක් විතරයි තිබුනෙ.  හැබැයි කොටින්ටත් හිතන තරම් ලේසියෙන් පහර දීල ආපහු යන්නත් එහෙම ලේසියෙන් බෑ. ඒ ආවොත් අපි ආපහු යවන්නෙත් නෑ. ඒ තරම් පට්ට ගේමකින් තමා අපිත් හිටියෙ. මොකද කියනවනම් අපේ කඳවුරේ පරන සාජන්ලා දෙතුන් දෙනෙකුත් පරණ කෝප්‍රල්ලා කීප දෙනෙකුත් අපේ නිලධාරි අණදෙන තුමත් විතරයි ඒ දවස්වල විවාහකව හිටියෙ. තව එක් නිලධාරියෙක් හිටියා විවාහක. ඒ අවසන් සටනේදි ඔබෙත් මගෙත් නිදහස සතුට වෙනුවෙන් විශ්වමඩුවලදි එල්ලවුනු මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරයකදි ජීවිතය පූජා කල එවකට 2/ලුතිතන් ඩබ්එම්ඒඑස් වන්නිනායක  RWP RSP USP (FIELD COMMITION) (මිය යන විට තිබූ පදක්කම්) ඒ මං, හැමදාම ආදරය කරපු සහ තාමත් එතුමා සම්බන්ධ පැරණි මතකයන්  සිහිපත් කරන නිලධාරියෙක්. අනෙක් සියළු දෙනාම අවිවාහකයො. (මෙවැනි මරාගෙන මැරෙන සටන්වලදි විවාහක අවිවාහක බවත් ගොඩක් දුරට බලපානවා, හේතුව කියන්න ඔින නෑනෙ).අනික ඒ දවස්වල තිබුනා හමුදාව තුලින්ම එස්එෆ් එකට සහ කමාන්ඩෝ එකට සෙබළුන් ඉන්ටවීව් කරලා බඳවගන්න වැඩ සටහනක්. මාත් මරාගෙන මැරෙන්න යන්න හිතාගෙන හිටියෙ ඔය දෙකෙන් කෝකට හරි බැඳිලා. ඔිකට මං, මගෙ නමත් දාගන්න සෑහෙන ගේමක් ඉල්ලල ප්ලැටූන් සාජන්ට කියල හක්කත් එජස් කරගෙන හිටියෙ. මට විතරක් නෙමෙි ඔය උණ හැදිල තිබ්බ කීප දෙනෙක්ටම. අන්තිමෙි මට යන්න ලැබුනෙ නෑ, අපේ කණ්ඩායමෙන් එස්එෆ් එකට විතරක් හතර දෙනෙක් හෝ හය දෙනෙක් ගියා.  කොහොමත් මරාගෙන මැරෙන ලයින් එකෙන් තමයි අපි ඔක්කෝම මෙි කඳවුරේ හිටියෙ. පිකට් එකටද,ඔිපී එකටද,පිස්තෝල කල්ලිද,ස්නයිපර්ද, රැකසිට පහරදීම්ද, කේළාම් හොයන එකද (රෙකී)  ඔය කෝක උනත් සද්දෙ ඇහෙන ඇහෙන මානයේ ඉන්න අපිට ඔය කිලෝමීටරේද දෙකද තුනද, දුවගෙන යන්න උපරිම වැයවුනේ විනාඩි පහේ හෝ උපරිම දහයේ කාලයක් විතරයි. බෙල්ට් ඔිඩරය දාගත්තා, බැලස්ටික් හෙල්මට් එක දාගත්තා, අවිය ගත්තා,දිව්වා.(මෙි කඳවුරේ අපි කවදාවත් සිවිල් ඇඳුම් ඇන්දෙ නෑ.අඳින්න වෙලාවකුත් නෑ).  ආයෙ පෝලිම් කර කර හිටීම් ඒ දවස්වල තිබුනෙ නෑ. ඒ යන්නෙත් කැලෑ, ලඳු,ලදු පඳුරු කලපු කෑලි වෙිවැල් ගාල්  ඔිවා මෙිවා දෙබෑ කරගෙන. එහෙම තමා ඒ දවස්වල අපේ හැටි. 


කතාවට යමුකො.


අපේ කඳවුරට පහර දෙන්න උං දවස් ගානක් මොඩ්ල් ට්‍රෙිනින් කරලා. පාස් අවුට් එකකුත් කරලා. ඊලඟ කාරණය තමා පාස් අවුට් වෙච්චි ඈයන්ට අවි සපයගන්න එක. ඒ කාලෙ උන්ගෙ එකාට එක ගානෙ අවි තිබුනෙ නෑ.( ඒ  හිංදනේ රණසිංහ මහත්තය ගිහින්ම දුන්නෙ). ඒ දවස්වල උං කරන්නෙ පාස් අවුට් වෙන උන් එක්ක ඇවිත් මෙි වගේ තනි වෙච්චි කඳවුරකට පහර දීල අවි පැහැරගන්න එක. ඊට පස්සෙ පළායාම. අපිට ඔය තොරතුරු ආවෙ පහර දෙනවා කිව්ව දවසට සතියකට විතර කලින්. අපට හොඳ ශක්තිමත් බංකර් පද්ධතියක් තිබුනත් ගොඩක් කට්ටිය ඉන්නෙ රෑට එළියෙ නිසා ඇතුලෙ මෑන් වුනේ බංකර කිහිපයක් විතරයි. රෑට සිවිල් කුක් හිටපු කෙනත් සමහර දාට වෛද්‍ය බළකායෙ දෙදෙනත් ස්ව කැමැත්තෙන් රෑට බංකර්වල ඇහැරගෙන හිටපු දවස් ඔින තරම් තිබුනා. (මෙයාලා හෙන ගේමකදි අපිත් එක්ක කරට කර සටන් වැදුණා. වෛද්‍ය බළකායේ සාසෙ ගුණතිලක, සාසෙ රාජපක්ෂ,අරක්කැමි තිලකරත්න. ➡️මෙයා සිවිල් සේවකයෙක්). ඒ මෙි වගේ ඩෙින්ජර් දවස්වලදි.

සතියක් කියන්නෙ කඳවුරේ ඉහල රෑන්ක් වලට සහ අපේ මූලස්ථානවලට ඉතා කෙටි කාලයක් වුනත් අපිටනම් ඔිකෙ ලවක් දෙවක් තිබුනෙ නෑ. තියෙන දෙයක් කාල කියන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන තමා හිටියෙ. දවස ගෙවෙන එකෙත් එච්චර අරුමෝසමක් තිබුනෙ නෑ. කොච්චර පරිස්සමින් කිව්වත් අපි ගණන් ගත්තෙත් නෑ. බයවුනෙත් නෑ, හැබැයි නිවාඩු ගියෙත් නෑ. මට හොඳට මතකයි, ඒ පණිවිඩෙි එනකොට නිවාඩු දාල හිටපු අයත් නිවාඩු අයින් කරගත්තා, ඒ,  මෙි සතිය ඉවරවෙනකම්. 

එක දවසක් හවසක නිඅ තුමා මුළු කඳවුරම පෝලිම් කලා.ඒ පණ ඇති සහ නැති ලෙඩ්ඩු කොරු කොක්කු දියකාවො සියලුම දෙනා. අරමුණ අපි මෙි ප්‍රහාරයට මුහුණ දෙන ආකාරය, ඒ වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළිබඳව නියෝග උපදෙස් ලබාදීම. කොටින්ම කිව්වෙ මෙි ප්‍රහාරයට මුහුණ දෙන හැටි. ඒ අතර තුර ජෙනි කරන්ට් එක කම්බි වැටට ඇදීම, නව යුධ අඟල් නිර්මාණය සහ තිබුනු ඒවා ප්‍රතිසංස්කරණ කිරීම,නිරීක්ෂණමුර ස්ථාපිත කිරීම, නියමිත දවස වෙනකම් රැක සිට පහරදීමෙි කණ්ඩ ගණන වැඩි කර රාජකාරයේ යෙදවීම, තොරතුරු රැස් කිරීම යන ආදියත් නියමිත දවසත් ඒ දවසට කලින් දවසත් මුළු කඳවුරම සතුරා එනවා කියන ප්‍රදේශය ආවරණය වන පරිදි රැක සිටීම ආදිය.  හැබැයි කඳවුර ඇතුලෙ මොනදේ සිද්ධ වුනත්,කලත් පිටට කිසිම වෙනසක් පෙන්වූවෙනම් නෑ.  අනෙක්වා කෙරෙන්නෙ ඇඳිරි වැටුනයින් පස්සෙ. සියළු වැඩ අවසන්. නියමිත දවසට කලින් දවස පැමිණුනා.  අපිත් සියළුම දෙනා උපදෙස් අනුව කලින් දවසෙ රෑ හතේ විතර ඉඳලා පාන්දර පහ වෙනකම් එළියට ගිහින් රැකගෙන හිටියා. කඳවුර ඇතුලෙ හිටියෙ ගුවන්විදුලි ඔපරේටර් 02යි,සීඑම්සී (වෛද්‍ය බළකාය) සෙබළුන් දෙන්නයි සිවිල් අරක්කැමියයි, ට්‍රක් රථ රියැදුරයි,⁣විතරයි. ජෙනියෙ කටයුතු කරන්නෙත් ගුවි යන්ත්‍ර ක්‍රියා කරුවන්මයි.  ඒ දවස්වල මුලින් කඳවුර ආරම්භ කරද්දි 157ක් හිටිය තැන ඒ වෙනකොට ඉතුරු වෙලා හිටියෙ 97 ක් වගේ පිරිසක්.  ගොඩක් අය තුවාල සහ බට්ටො පාගලා,ස්නයිපර් වැදිලා, එහෙ මෙහෙ වෙලා තිබුනෙ. ඒ වගේම පිරිසකුත් ඇබ්සන් වෙලා. මෙි කඳවුරේ රාජකාරි පට්ටම පට්ටම අමාරුයි. අපිත් කොලු කම නිසත් ආශාව හිංදත් තමා හමුදාව අල්ලගෙන හිටියෙ. නැතිනං හමුදාවෙන් පැනලා මෙි වෙද්දි අවුරුදු 25ක් විතර වෙනව.පොලවෙ අඩිය ගහන වාරයක් පාසා කකුල ෂුවර්ම නෑ. කඳවුරට එනකම් ජීවිතේ ෂුවර්ම නෑ. හෙල්මට් ජැකට් දාගෙන එක තත්පරයක් එක විදියකට ඉන්නැතුව හෙල්ලි හෙල්ලි ඉන්නෙ උන්ට ස්නයිපර් ගහන්න බැරිවෙන්න. වැල්ල වළලු කරක් එරෙනවා. අනෙක්ව කියන්න ඔින නෑනෙ. කවදාවත් කඳවුරෙන් එළියෙ තේ එකක් රස්නෙ පිටින්,බත් එකක් සීතල නොවී කාපූ බීපු කාලයක් තිබුනෙම නෑ. ලන්ච් ශීට් එකේ එතිලා චප්ප චෝරු වෙලා ගුලි ගැහිලා කැට ගැහිලා එන, දිගෑරලා ගුලිය කඩද්දි "සිරි සිරි" සද්දෙ ඇහෙන කෑම එකක් තමා අපිට ලැබෙන්නෙ.ඒකත් හවස තුනට තුනහමාරට.  ඔික කන්නෙත් ගුලි ගැහිලා ගහකට මුවාවෙලා ජැකට් එක ගලෝලා ඒක උඩ දිග ඇරගෙන. ඒත් හෙල්මට් එක ගලවන්නෑ. නැතිනම් බිම ඉඳගෙන පොලවෙ පිඟානක් වගේ පොඩි වලක් හදාගෙන ඒකට බත් එක දාලා දිග ඇරගෙන.වැලි පොලවනෙ. (සිරාවටම හොඳේ. පාන් ලැබෙන දවස්වලට හොදි එවන්නෙත් ලන්ච් ශීට් එකේ ඔතලා ගැට ගහල. එතකොට කරන්නෙ දීසිය වගේ ටිකක් ගැඹුරට වලක් හදාගෙන ලන්ෂීට් එක පිටින් ඒ වලට දාලා, ලන්ශීට් එක දිගෑරලා පාං කෑලි පොඟවගෙන කන එක. මමනං හුළඟෙ යනවට කොලේ මුලු හතරෙන් පොඩි ගල් කැට හතරකුත් තියා ගන්නවා. හුළඟකවත් ආවොත් ඉතින් කාල ඉවරයි. හුලඟට ගසාගෙන එන වැලි වලින් හොද්ද වැහෙනවා. ඒ තමා ඒ කාලෙ හමුදාව. මෙිව පපුවට අත තියල කියන කතා හොඳේ). පස්සෙ ඔික අපේ නිලධාරින්ට නිරීක්ෂණය වෙලා ඒක ඔිසීට කියලා පස්සෙ හැමෝටම ප්ලාස්ටික් පිගානක් බැගින් ගන්න කිව්වා. අපිත් පහුවදා ඉඳන් සිල් ගන්න යනකොට වගේ උදේට කඳවුරෙන් පිටවෙන කොට ඒ පිඟාන ජැකට් එකේ යකඩෙ දාන (ARMOR PLATE) සාක්කුවෙ දාගෙන ගියා. පස්සෙ ඒකත් අයින් වෙලා බකට් ගෙනාවා. මොකද කියනවනං බනින හිංද ප්ලාස්ටික් පිඟාන ගෙනිච්චා මිසක් ඔිකෙ මමනං කවදාවත් කාල නෑ. පුරුදු විදියටම තමා කෑවෙ. ඔිකත් මාට්ටු වෙලා තමා බකට් ගෙනාවෙ. එතකොට නං ටිකක් පිළිවෙළට කෑවා. ඒකත් එපා වෙන වැඩක්. ඇයි ඉතින් කට්ටිය පිකට් ගියාම  කඳවුරේ ඉතිරි වෙන්නෙ දහයක් දොළහක් විතරයි. හෝදපල්ලකො බකට් හැට හැත්තෑවක් තුන් වෙිලකට සබන් දාල.කඳවුරේ ⁣දහයක් හිටියත් වැඩ්යම එකතු පාදා කරගත්තොත් දෙකයි එකතු කරගන්න පුලුවන්. අනෙක් අය ඇතුලෙත් ඩියුටිනෙ. මෙි බකට් එක්කෙනෙකුට දෙක බැගින් තිබුනෙ. එකක උදේ කෑම එක එවනවා, එකක දවල් එක එවනවා. දවල් එක බෙදන්න එන ඈයන් උදේ එක එකතු කරගෙන අරන් යනවා. අපි හවසට ඇතුලට යද්දි දවල් ගේන බකට් සිරි සිරි මල්ලක දාගෙන පුට් බෝල් ගඟ ගගහ තමා අරන් යන්නෙ.නැතිනං වොලි බෝල්.  කොල්ලොනේ. කොලු කමනේ. පිස්සොනේ. ඉතින් ඔිවගෙන් ක්‍රිකට්, එල්ලෙ ෆුට්බෝල් ගහන වෙලාවලුත් තිබ්බා. ආයෙ සල්ලිවලට ගේනවා. මෙි ගේන්නෙ අපේම සල්ලිවලින්. හමුදාවෙන් ඔිවා දුන්නෙ නෑ.


නැවතත් කතාව. පළවෙනි දවසෙ අපි එළියට ගිහින් නොනිදා රැය පහන් කර කඳවුරට ආවා. කිසි විශේෂයක් තිබුන්නෑ. දවසනං අද තමා දවස. එදත් අපි දැඩි පරිස්සමින් එළියට ගිහින් වන මායිමට දෑස් දල්වාගෙන ආශාවෙන් බලාගෙන හිටියා. හවස පහට රෑට කාලා රැක ගන්න තිබුනු එකම වස්තුව වෙච්චි පර්ස් එකත් අරන් තමා මෙි ගමන යන්නෙ.කඳවුරේ මෝටාර් සියල්ලම සහ ඒවගේ ක්‍රියාකරුවන් කුඹුරුමුල්ල කඳවුරට පළවෙනි දවසෙම යවල තිබුනෙ. අපිට ප්‍රහාරයක් එල්ලවුනොත් එහෙ ඉඳන් තමා ආධාරක වෙඩි එන්නෙ. අපි මෙහෙම එලියෙ රැකසිට පහරදීම දාපු තැන තවත් විශේෂයක් තමා එක්කො කොටි එන්න ඔින මෙතැනින්, නැතිනම් වෙන කොහෙන් හරි රිංගල ආවොත් යන්න ඔින මෙතනින්. කොහොම උනත් අපිට මාට්ටු වෙනවා. දෙවෙනි දවසෙ මම හිටියෙ කන්ඩ භාර සැරයන්ගෙ ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාකරු. එදානම් රෑ අට නවය වෙද්දි මටනං මාර නිදිමතක් ආවා. පළවෙනි දවසෙත් මුලු රෑම ඇහැරිලා, දවල්වත් විනාඩියක් ඇහැ පියවගන්න වුනේනෑ රාජකාරි හිටපු නිසා. ඊට එහා මහන්සිය. බිම මුනින් අතට හැරිලා කලින් දවසෙ කපාගත් වියතක් විතර දිග දෙබළක් පොලවෙ ඇනලා ඒක උඩින් අවියෙ බැරල් එක තියලා ටිකක් රිලැක්ස් වෙන කොට ගතේ වදින සිහිල් සුළං දහරා නෙතට තමා කියන්නෙ "බුදියගිය" කියලා. ඔන්න අදත් ඒකමයි වෙන්න යන්නෙ. මාත් ඉවසගෙන හිටියා හිටියා ඉන්නම බෑ. බැරිම තැන ගුටි කෑවත් කමක් නෑ කියලා සාජන්ට කිව්වා "දැන්නම් බෑ සාජන්" කියලා. ඒ සාජන් පට්ට වසයි. යුනිට් එකේ දරුණුම සාජන් තමා ඒ. ලයනල් කිව්වම මුලු රෙජිමෙම දන්නවා පොර ගැන. (මුන්දැට තමා පසු කාලෙක බය පැත්තකින් තියල (මට) තටු ආවම "ගෝරිං සිං" කියල මමම කාඩ් එකක් ගහල තිබුනෙ. හැබැයි ඉතිං පොර මට පට්ටම ආදරෙයි. පිස්සනේ. චික්කනේ. ගංජනේ. ). අපි බිම මුනින් අතට දිගා වෙලා ෆුල් ඇලර්ට් එකේ හිටියෙ. ඒ ඉද්දිම සාජ් මං දිහා බලල බිම පැත්තක පරිස්සමින් තියා තිබුනු රේඩියෝ සෙට් එකේ හෑන්ඩ් සෙට් එක ඉල්ලගෙන "තෝ නිදා ගිය,හැබැයි කතා කරපු ගමන් නැගිටපිය ප&@%$යා" කිව්වා. ඒ වෙලාවෙනං සැරයන්ට මගේ සාසෙ කම පැත්තකින් තියලා උන්දැගෙ බෙල්ල බදාගෙන උම්ම එකක් දෙන්න හිතුනත් ලෝකයා සහ පවිටු දනන් ඔික දැක්කොත් මොනවා නොකියයිද කියල හිතල මාත් උන්නු විදියටම ඇස් දෙක පියා ගත්තා. එහෙම පැය දෙකක් යද්දි සාජන් ඇඟිල්ලකින් ඇඟට ඇනලා කතා කරලා "දැං ඇහැරිය" කිව්වා. පොරට නිදාගන්න නෙමෙි. වෙලාව ඩෙින්ජර් නිසා.  ආයෙ "දැන් වෙලාව එකොලහමාරයි, දැං බලාගෙන හිටගිය" කියලත් කිව්වා. දැං අපි ඇහැරගෙන බලං ඉන්නවා. හරියටම රෑ දොළහයි, එක පාරටම නොහිතුව විලස කොටි ප්‍රහාරය එල්ලවුනා. අපිට හිතාගන්න බැරිවුණා. ඉස්සෙල්ලම දරුණු ආටි සහ මෝටාර් ප්‍රහාරයක් තමා එල්ලවුනේ. ඒත් එක්කම ඒකට යටින් කොටි ප්‍රහාරය. ඒක පැය ගානක් තිබුනා. හැබැයි ඒ ප්‍රහාරය එල්ලවුනේ අපි කොච්චර ආශා බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් අපිට නෙමෙි, මඩකලපුව වව්නතිව් කඳවුරට. උං අපේ කඳවුරට ගහනවා කියල වෙනත් කඳවුරකට තමා ප්‍රහාර එල්ල කරල තිබුනෙ. සයි ඔප්ස් (PSY OPs- මනෝවිද්‍යා මෙහෙයුම්) එකක් විදියට තමා උං "කිරාන්" කියල තියෙන්නෙ. නමුත් හැබෑවටම උන් ප්ලෑන් කරල තියෙන්නෙ වව්නතිව් වලට. ඒ ප්‍රහාරය කොච්චර දරුනුද කියනවනම් පහුවදා උදෙත් නවය විතර වෙනකම් දෙගොල්ල මරාගත්තා. වව්නතිව් කඳවුරටනම් දුක්ම සීන් එක වෙලා. අපිට පස්සෙ  තමා සියල්ල ආරංචිවුනේ. අපේ මෙින් රේඩියෝ රූම් එකේ තියෙන රේඩියෝ සෙට් වලට එහෙ  චැනල් වලට යන්න පුලුවන්. උන්දැලා මුල ඉඳන් සීන් එක සැරෙන් සැරේ ඒ ජාලයට ගිහින් අහගෙන ඉඳලා. වව්නතිවු කඳවුර පාන්දර පහ වෙද්දිත් උන්ට (කොටින්ට)  අල්ලන්න බැරිවෙලා. උන්ගෙ බර ගානක් මැරිලා. අඩුම පහර දෙන්න ආපු දෙවෙනියත් මැරිලා. (ඒ ප්‍රහාරය කරුණා තමා ලීඩ් කරලා තියෙන්නෙ) පස්සෙ බැරිම තැන උන් යන්න ගිහින්. කොටි පසු බැහැල කියල දැනගත්තු සෙබළෙක් සෙට් එකෙන් ඉස්සරහ ලයින් එකට පතුරම් ඉවරයි කියලා පතුරම් ඉල්ලලා. ඒක ⁣උන් මොනිටර් කරගෙන ඉඳලා තියෙන්නෙ. ආයෙ පැය කාලකින් බාගෙකින් පසු බැහැල ගිය උං ආපහු හැරිල ඇවිත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා. ඒ පාර තමා කඳවුර ලෙල්ලටම ගියෙ. දෙපැත්තෙම හානි ගොඩයි. වැඩිම හානිය හමුදාවට. 

අපි දැක්කා මඩකලපු අහස ඒකාලෝක කරමින් පැරා වලින් පවා සපෝර්ට් කරනවා. පත්තු වෙච්චි පළවෙනි උණ්ඩයේ ඉඳලා අවසාන උණ්ඩය දක්වාම අපි අහගෙන හිටියෙ. වෙලාවකට ටිකක්  විතර නිහඬ වෙනවා ආයෙ එක පාරටම පත්තු වෙනවා. ආයෙ චූටි වෙලාවක් හිමින් ෆයර් එක ගිහින් ආයෙ පෙරටත් වඩා දරුණුවට මරාගන්න පටන් ගන්නවා. කොටි පහර දෙන්න පටන් අරන් පැයක් යනකොට අපේ බ්‍රිගේඩයේ තියෙන කාලතුවක්කු වලිනුත් උන්ගෙ කඳවුරු වලටයි ආටි තියෙන තැන් වලටයි පහර දුන්නා. ඒකත් පැය ගානක් තිබුනා. බිමින් දුර වුණාට ගුවන් සැතපුම් වලින් උන්ගෙ ආටි ගහන තැනට අපේ ආටි රේන්ජ් එක තියෙනවා. ඒකනෙ ගැහුවෙ.  වාලච්චෙනෙන් පිකප් වෙන ආටි අපේ ඉහ උඩින්  "සිං සිං" ගාල හුලං කපාගෙන පියාඹාගෙන යන සද්දෙ අපිට හොඳට ඇහුනා. නැගෙනහිර අහස මහපොළ දාට වගේ තනිකර සංදර්ශනයක් වෙලා තිබුනෙ. පාන්දර පහ වෙනකොට ටිකක් "ෆයර්" එක අඩුවුන නිසා අපි හිතුවෙ එතනින් ඉවර වෙයි කියලා. මොකද ඒ දවස්වල තිබුනු අත්දැකීම් අනුව රෙක්කා වෙච්චි මම වුනත් දැනන් හිටියා කඳවුර අල්ලලා නෑ කියලා. නමුත් අර ඉස්සරහ ලයින් එකේ සෙබළාගේ පණිවිඩය නිසා නැවත සටන පටන් ගද්දි සිරාවටම හිතුනා "බඩුම තමා" කියලා. බලන්න ඉතින් වචන දෙක තුනක වැරැද්දකින් තීරණාත්මක දිනපු සටනක් ආපහු කණපිට පෙරලෙන හැටි. දුකෙන් වුනත් කියන්න ඔින,එදා වව්නතිව් කඳවුර, පරාජිත මුලතිවු, පුනරීන් යන කඳවුරුවලටත් දෙවෙනි වුනේනම් නෑ. වෙනසකට තිබුනෙ සිද්ධාන්තය එක වුනත් අර කඳවුරුවල වගේ එක් දාස් ගණන් සෙබළු හිටියෙ නැති එක විතරයි. එහෙම තමා යුද්දෙ සහ අපේ රටෙි හැටි.

(පසු බැහැපු කොටින්ට අපේ එකාගේ පතුරම් කතාව ඇහුනම, උං දන්නවා උන්ට ගේමක් දෙන්න ඉස්සරහ බඩු නෑ කියල. ඒකයි ගිය පයින්ම ආපහු හැරිල තියෙන්නෙ)  


එක පාරටම අහසෙන් කඩා වැටෙනව වගේ අපිටත් මෙි වෙච්චි සීන් ටික නිසා ආපහු හරියට ඔරියන්ටෙිට් වෙන්නත් දවසක් දෙකක් ගියා. කිරාන් වල මං ආසම කලපුවට. එක පාරක් මහ වැහි කාලෙක (1997 අග සහ 98 මුල් මාසෙ) ඔය කලපුවත් දෙගොඩතලා ගිහින් දුරින් කිලෝ මීටර් 15කට වඩා ප්‍රදේශයක් වතුරෙන් යටවුනා. ආයෙ මොනාද කර වටක් වතුර. අපි ශෝට් ගහගෙන ජැකට් හෙල්මට් දාගෙන සමහර තැන්වලින් නාහෙ විතරක් උඩට තියාගෙන වතුරේ බැහැගෙන පීනගෙන  පිකට් ගියපු කාලෙ ඒ. ඒ ගං වතුරට තමා ආරච්චිල මී ගොන් තවලමත් හැදුවෙ. (කතාව මතකනෙ) ඔන්න ඉතින් එදා අපි වතුරෙ කිලෝමීටර් එකහමාරම කඳවුරේ ඉඳලා බහිමින් පීනමින් ඇවිදිමින් පස්වනක් පීතියෙන් ඇලලෙමින් පිකට් එක ගියා. යන්නෙ ටවුමට. යන්නෙ පාර දිගේ. කඳවුරේ අපි දාපු බට්ටො ගහගෙන ඇවිත් වතුරේ පීන පීන අපිට හිනාවෙනවා. ඒක හරියට සීසන් කාලෙට මැණික් ගඟේ වාගෙ. හැබැයි මෙි ඒ බට්ටො නෙමෙි, මෙි පුපුරන බට්ටො. සමහර වෙලාවට නාහෙත් හැප්පෙනවා. ඒ වෙලාවට කරන්නෙ හීන් සැරේ අල්ලගෙන යටින් පියුස් එක ගලවල අරං සාක්කුවට දාගෙන බට්ටා පැක් එකට දාගන්න එක. ඒ කියන්නෙ නිශ්ක්‍රීය කරනවා. මෙික හෙන ඩෙින්ජර් කේස් එකක්. හරිම විදියට හරි කල්පනාවෙන් සීරුමාරුවට කරන්න ඔින දෙයක්. යන්තං අතට තද වුනොත් දනහිසෙන් කකුල ගලෝල යනව වාගෙ එක්කො බෙල්ල ගලෝල යනව. නැතිනං අත් දෙකයි ඇස් දෙකයි ගලෝල යනවා. අනික ඔය බට්ටො පුපුරන්න හේතු දෙක තුනක්ම තියෙනවා. එකක්, සමහර ඒවගෙ පියුස් එක ටිකක් තදින් ඇල්ලුවත් ඇති.  මාත් ඒ වෙද්දි ඔිවැයිං කීපයක් ගලවල පැක් එකේ දාගෙන හිටියට ඒව බට්ටො එකතු කරන අන්ඩර් ග්‍රවුන්ඩ් බංකරයට දාන්න අමතක වුනා. බය වෙන්න දේකුත් නෑ. ඒ දවස් ගානම මාත් පැක් එක ඔලුවට තියල නිදාගත්තෙත් ඔිව එක්කමයි. 

එදා අපි ගම කෙළවරට ගිහින් දෙපැත්තට ලයින් දෙක දාගෙන ගම ක්ලියර් කරන්න ලෑස්තිවුනා. එතන ලයින් එක හදාගන්නකං අපි පැය කාලක් භාගයක් ඉන්නවා කොහොමත්. මං හිටියෙ පුච්චල බාගෙට මැරිච්චි කුඹුක් ගහක් ආවරනයට අරගෙන, පාත තිබ්බ දෙබල උඩින් වම් කකුල තියාගෙන දකුණු කකුල බිම තියාගෙන වම් කකුල උඩින් අවිය පැත්ත දාල තියාගෙන ඉස්සරහට බරවෙලා  ඉස්සරහ බලාගෙන. රේක්ක පාටියෙ හිටපු දිසානායක පීජීබී ලඟට ඇවිත් "අහක්කෙයන් පහුරු ගාන්න" කිව්වා. මාත් අහට්ට මෙහට්ට වුනාම මං හිටපු තැනත් දිසා පොඩර් කලා. සහතිකයි මෙි කියන්නෙ මං එච්චර වෙලාවක් ඉඳලා තියෙන්නෙ අපේම බට්ටෙක් උඩ කකුල තියාගෙන කියන්ඩලාකො. ඒත් වාසනාවට පිපිරුවෙ නෑ. ආයෙ මොනාද එදා මට කලංතෙ හැදුන්නැති ටික විතරයි. මං හිතාගෙනම හිටියෙ බැරිවෙලාවක්වත් මට බට්ටෙක් පෑගුනොත් වෙඩි තියාගන්නව කියල. මක්කටැයි අනේ කකුලක් නැතිව දුක් විඳලා. මං විතරක් නෙමෙි උපතිස්ස කියල ලාන්ස් කෝප්‍රල් කෙනෙකුත් ඔිකමයි කිව්වෙ. එදා දවසෙම මගේ ඔලුවෙ වැඩ කලේ ඔිකමයි. එතකොටත් බට්ටෝ තුන් හතර දෙනෙක් මගේ පැක් එකේ හිටියා. අපේ හිටියා මං වගේම බට්ටන්ට බය තව කෙනෙක්. ඒ සාසෙ හේරත්(පොරනං පස්සෙ දවසක කිරාන් ටවුමෙදිම බට්ටෙකුට ගියා.) එදා හිටියෙ මං පොරත් එක්ක එක පොයින්ට් එකේ. මටත් අතපය නිකන් තියන් ඉන්න බෑ කියන්නෙ, මං කලේ කල් බලලා බලලා ප්ලෑන් කරලා කරලා පියුස් එක ගලවපු පැක් එකේ හිටපු බට්ටෙක් අරන් පොරට හොරෙන් පොරට පෑගෙන්න දාපු එක. මංමයි බට්ටා පෑගුවම පෙන්නුවෙත්. ආයෙ මොනාද කියන්නෙ ඒක දැක්ක විතරයි පොරගෙ කටෙි කෙල හිඳිලා, ඇස් දොට්ට පැනලා, බඩ කැවුතු වකුගඩු ඇඹරිලා, සිහි විකල් වෙලා කට දෙපැත්තෙන් සෙමත් දොට්ට පැන්නා. වැඩෙි කියන්නෙ ඒ සීන් එක දැකලා මට බකස් ගාල හිනැස්සක් ගියපු එක. ඊළඟට  පොර බෙල්ට් ඔිඩරේ ගහගෙන හිටපු පිහිය ඇදල අරන් බට්ටව උඩට ගත්තා. අරං ඇඟිලි දෙකෙන් උස්සලා පියුස් එක ගලවන්න හදනකොට පියුස් එකත් නෑ. මිනිහට වැඩෙි තේරිලා පැනපු ගමන් මිටි මොලෝලම  ඇන්න කියන්ඩලාකො මගෙ හොබ්මටම දෙකක්. ඒ පාරෙ සැර කොච්චරද කියනවනං  මගේ තොල් දෙකම පුපුරලා එකම ලේ විලයි එතන. කටෙන් එකයි ලේ. ඊට පස්සෙ දවස්ගානක් යනකං මං බත් කෑවෙත් බාගෙට කට ඇරලා සූප්පු කරලා. 


පොර බට්ටට ගියපු දවසෙ මං දැක්කා උඩ ගිහින් වැටෙනවා. දකුණු කකුල දන හිසෙන් පහල මස්ටික ගලෝලා ගිහින් ඇටෙි විතරක් සුදු පාටට ඉතිරිවෙලා තිබුනා. ආයෙ මල් ඇවරියක් ගානට විහිදිච්ච බූට් එකේ කෑල්ලකුයි විළුඹෙ කෑල්ලකුයි නහරෙකින් එල්ලිලා වැලි ගෑවිලා කලුපාට වෙලා පැද්දි පැද්දි තිබුනෙ. හේරත් මුනින් අතට වැටිලා මහ පාරට අත්දෙකෙන් තට්ටු කර කර සිංදු කියනවා. ඇස් දෙක ලේම ලේ පාටට හැරිල තිබුනෙ. ඒ වෙලාවට සිහිය විකල් වෙනවා ෆෙන්ස්. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.11.04

1 comment:

  1. මේක කියවලා ටිකක් කල්. කියන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියේ .
    එක post එකකට එක දුක සීන් එකක් ඇති බන්. දෙක තුනක් දරා ගන්න අමාරුයි

    ReplyDelete