සති පොල බුලත් පොල කඩ පොල නගරෙ මැද
සතියට තුන් වතාවක් එහෙ යනෙන සඳ
සමූපකාරයෙත් කුලියට ගැලෙහි හිඳ
තවමත් බර අදිමි පූරුවෙ පවට ලද
ගව් ගණනක්ය දුර නගරෙහි සති පොලට
ගොස් ඊලඟට තොග කඩ පෙල සහ වෙලට
නන්දිගෙ පරපුරේ වී ඉපදුනු කලට
මා ලද උරුමයෙන් තව පන දෙමි ගැලට
ඉස්සෙන කෙවිට කොන්දට හැම නිතර වගේ
තට්ටුව දමන විට වෙර ඇති ගවයෙ කුගේ
වෙිගය ගන්න ගොස් රිය සක, යනෙන මගේ
ගල් රෑහෙටම ගෙවිලා කුර හතර මගේ
දිළිඳුව උපත ලද හිමි අඹු දරු රැක්ම
දරුවන් හට ලබන්නට ලෝකය දැක්ම
මට කල භාර, දිනයක මිය යන තෙක්ම
හිමියනි මැදි වියත් මගෙ ගොස් ඇත ඉක්ම
සෙවනක් නොලැබ එක පිම්මට ගිනි අව්වෙි
වැසි කාලෙටත් නැහැ කිසිවිට බැහැ කිව්වෙි
නැහැයෙන් සෙම ගලද්දිත් මොකටද රැවිවෙි
කුර ගෙවිලා නිසයි අඩි හිමිහිට තිව්වෙි
රසයක් කොහෙද වියැලී ගිය පිදුරු ගහේ
වෙනසක් නොමැත තිබහට බොන වතුර රහේ
නොදකිනු රිසිත් නම් මගෙ දුක් කඳුලු ඇහේ
වැඩිපුර වැසි වැටීයන් එන බිනර මහේ
හැම වෙිදනාවන් දෙනුවන් තෙමාවී
සිසිලැති සුළං උනුහුම් වී හමාවී
හිරු දෙවියනේ අසරනයට සමාවී
හෙටවත් පායපන් ඩිංගක් පමාවී
කළගුණ දන්න මිනිසෙකු ලෙස මතු දිනක
ඉපදෙන්නට සලස්වා බොදු කුළ ගෙයක
බණවරයක් කියා මෙි ඉඩමෙම කොනක
වළලනු මැනවි මා මව වළලපු තැනක
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.11.14
No comments:
Post a Comment