Tuesday, November 17, 2020

තීපන්

 මෙි කතාව පටන් ගන්නෙ  නාවල්අඩි වලින්. ඒ සාමකාලෙ. මෙි කාලෙ මෙහෙ වාකරේ පැත්තෙන් එන කොටි වාකනේරි තොප්පිගල පැත්තටත් , තොප්පිගල වාකනේරි පැත්තෙන් එන කොටි වාකරේ පැත්තටත් පාර මාරුවෙන එක වැලැක්වීම තමා  ⁣නැගෙනහිර හිටපු අපේ ප්‍රධානම රාජකාරිය වෙලා තිබුනෙ. මොනම හේතුවකටවත් මෙි ක්‍රොසින් එක වෙන්න දීම සපුරා තහනම්. මොකද මෙහෙම මාරුවෙලා ගියොත් පැයක් යනකොට මුලු පාර්ලිමෙින්තුවම මෙි සිද්ධිය දන්නව. ඊටපස්සෙ හමුදාවට බරපතල ප්‍රශ්ණ. අපි රෑටත් පාරවල් අයිනෙ ගිනි ගොඩවල් ගහගෙන රෑ එළි වෙනකම් ඇහැරගෙන මුර කරගෙන ඉන්නේ මුං කොහෙන් කොහාට යන්න මතුවෙයිද කියල බලාගෙන. 


ඒ කාලෙ අපි තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයක් නම් කරනව අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සඳහා. ඒකෙ අරමුණ අර උඩින් කිව්ව ජාතියෙ මාරුවීම් වෙනකොට කොහොමහරි එවුන්දැලව නවත්තන එක. කිසිම හේතුවක් මත එයාලට යන්න දෙන්න බෑ. අපේ එලියෙ රාජකාරි ඉන්න ටීම් එකකින් නිරීක්ෂනය කරල සෙට් එකෙන් විස්තරේ කිව්වට පස්සෙ තමා අර තිහම බහින්නෙ. 


 එදා මම දවල් හිටියෙත් ඔය රාජකාරියේමයි. දවල් දහය විතර වෙනකොට පන්සීයට අධික ත්‍රස්තවාදී පිරිසක් වාකනේරි තොප්පිගල පැත්තෙ ඉඳන් වාකරේ හරහා යාපනේට යන්න ඇවිත් ඉන්නවා කියල ඒ නිරීක්ෂන මුරයකින් කිව්වට පස්සෙ විනාඩි පහක් ඇතුලත අදාල තැනට යන්න අපි තිස්දෙනාම පිටත්වුනා. 


අපි එතනට ගියේ එවකට අපේ ඒකකයට අණදුන් නිළධාරි තුමත් එක්ක. එතුමා හරිම කුකුල් කේන්ති කාරයෙක්. පොඩ්ඩ මිස් වෙන්න බෑ. පට්ට තරහක් යන්නෙ. මෙි වගේ රාජකාරියක එහෙම බෑ. ඉවසීම 100%ක් තියෙන්න ඔින. අපි බයේ හිටියෙ එතුමාට තරහ ගිහින් අපේ එකකයෙන් සාමය කඩවෙයි කියල. උන්ටත් තිබුනු එකම උවමනාව හමුදාවෙි කා අතින් හරි මෙි සාමය කඩ කරවා ගැනීම. ඒ වෙනුවෙන් උන් අවස්ථා ගණනකදී ප්‍රසිද්ධියේ හමුදාවට බැන වැදුනා. ගල් ගැහුවා. සිංහලෙන් අමුතිත්ත කුණුහරපෙන් බැන්නා. ගහගන්න ආවා. අපේ අයට ගැහුවා. අසූචි ගැහුවා. ඒත් උන්ගේ තිබුනු ඒ බලාපොරොත්තුව මාවිල්ආරු සොරොව්ව වහනකම්ම ඉෂ්ඨ කරගන්න බැරිවුනා. ඒ හමුදාවෙි සාමාජිකයන් තුල තිබූ අනුපමෙිය ඉවසීමෙි ගුණය නිසා. 


 අපි එතනට ගියාම උන් එක දිගටම අපිට අම්ම මෝ නැතුව දෙමළෙනුයි කැඩිච්ච සිංහලෙනුයි පැහැදිලි සිංහලෙනුයි බනින්න පටන් ගත්තේ වික්ටෝරියා වෙිල්ල කැඩුනා වගේ.  නිකන් නෙමෙි අමුතිත්ත කුණු හරප වලින්. "මෙික අපේ නිජ භූමිය.මෙික කවදාවත් තොපිට දෙන්නෑ. තොපි මෙහෙන් අකුලගෙන පලයව්. නැත්තං හෙට වෙද්දි ඔක්කොම මරණවා" වගේ දේවල් හැමතිස්සෙම කියවන්න පටන් ගත්තා.ඊලඟට අම්මටම කියල බනිනවා. බැනුම් අහන එකනං අපි, අපේම කාගෙන් වුනත් දවසකට විසි තිස් වතාවක් අහනවනෙ. බැනුම් කියන එක ආරච්චි ඇතුලු ගොඩක් දෙනෙකුට ඇඟටම ජීර්ණය වෙලා තිබුනෙ. කාගෙන් හරි දවසකට කුණු හරප පේලියක් කන පුරා අහගත්තෙ නැත්තං එදාට "නිකන් කෑවෙ නෑ" වගේ ගතියක් දැනෙන්නෙ.  ඒ නිසා බනින්නෙ මොකා වුනත් ඒකෙ එච්චර  ගානක් තිබුනෙ නෑ. ගානක් තිබුනත් මොකුත් කියන්නත් බෑ. විස්තරේ පැහැදිලි කරල දීල දෙපැත්තම ඇවිලෙන්නැතුව සීතලෙන්, නාඩියෙන් ගහන්න ඔින ගේමක් නිසා අපිට මොනා කිව්වත් අපි ඒ වෙලාවෙ ඉවසගෙන හිටියා. නමුත් එන්න එන්නම අණදෙන නිළධාරි තුමාගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙන්න පටන්ගත්තා. උන්ට කොච්චර කරුණු කාරනා පැහැදිලි කරල දීල ආපහු යන්න කිව්වත් ඒක පිළිගන්න තරම් මට්ටමක උන්ගෙ එතන කව්රුත් හිටියෙ  නෑ. ඉල්ලුවෙ ගේමමයි. කැලෑවෙම හැදිල කැලෑවෙම වෙඩි උන්ඩයකින්  මැරෙන්න හිටපු  ජාතියකට සමාජයක් කියන එක තේරෙන්නෙ නෑ. හැදියාවක් කොහෙත්ම නෑ. ඊට එහා ගඳ. තනිකර තලතෙල් ගඳ. 


පිරිබාහරන්ට ඒ වෙද්දි උවමනා වෙලා තිබුනු කාරණාව මොන විදියකින් හරි හමුදාව අතින් "සාමය කඩවීම" කියන එක ඉෂ්ඨ සිද්ධ කර ගැනීම. ඔබට මතක ඇති කල්ලඩි සහ කාන්තාන් කුඩ් අතරේ තැනකදි අපේ කට්ටියකට මෙි පුද්ගලයින් විසින් කරපු හිරිහැර.  උන් උන්ගෙ සුපුරුදු ඇඳුමෙන් ඇවිත් ඒවා කරද්දි, කුලප්පු කරවන්න හිටියෙ සිවිල් ඇඳුමෙන් හිටපු උන්ගෙම කට්ටිය. 


උන් ඔය මොන දේ කලත් හමුදාව පැත්තෙන් සුලු අත්වැරදීමක් සිදුවුනත් උන්ට ඇති. එතකොට ජාත්‍යන්තරයට මෙික ලොකු ප්‍රවෘත්තියක් කරලා සාමෙ කැඩිලා ආයෙ යුද්දෙ පටන් ගන්නව. එතකොට ලංකාවටත් හමුදාවටත් කෝටියක් ප්‍රශ්ණ. නමුත් මොන දේ කලත් මොන යුද්දයක් දැනගෙන උන්නත් උන් හමුදාවෙ ඉවසීමෙි ගුණය කොච්චරද කියල දැනගෙන හිටියෙ නෑ. ඊට පස්සෙ තමා මාවිල් ආරු හොරොව්ව වහන්න වුනේ.


කතාවට යමුකො. උන්ගෙ පන්සීයක් ආවත් තිහයි බැස්සෙ.  අපිට වෙඩි තැබීම සපුරා තහනම්. උන් යන්නමයි හදන්නෙ.අපි නොදෙන්නමයි හදන්නෙ. පැයක් විතර යද්දි මෙික ජාත්‍යන්තර කැරැල්ලක් බවට පරිවර්තනය වෙමින් තිබුනෙ උන් අපිට එන්න එන්නම තඩි කුණු හරුප වලින් බනින එක වැඩිවෙන්න පටන් ගත්තට පස්සෙ. ඒත් වැඩක් නොවුනු තැන තමා අපේ අණදෙන නිළධාරි තුමාට බැන වදින්න පටන් ගත්තෙ. එතකොටනම් ටිකෙන් ටික අපේ සීමාවෙත් රතු ඉර පනින්න පනින්න වගේ පටන් ගත්තා. 


මට ටිකක් එහායින් හිටපු  කෝප්‍රල් කෙනෙක් එක පාරටම අමු සිංහලෙන්ම "තොපේ අම්මලාට"   කියල පටන් අරගෙන මහ සද්දෙන්  උන්ට බනින්න පටන් ගත්තා. ඒක නතර වෙනවත් එක්කම තව කීප දෙනෙක් ඊට එහා ගියපු වචන සෙට් එකකින් ආයෙ පටන් ගත්තා. එතකොට එතන හිටිපු ආරච්චිටත් කට නිකන් තියාගෙන ඉන්න බැරුව හයියෙන්ම දන්න උපරිම දෙමළ කුණුහරප වැලකින් පටන් අරගෙන "මෙි තිහ තොපේ පන්සීයෙම පස්ස පැත්තෙ ඇරලයි මරන්නෙ දැනගනියවු.. වෙි&@% පුතාලා.. අම්මට හික්කඩු යන්ඩ" කියල අවසන් කලා විතරයි අණදෙන නිළධාරි තුමා කිව්ව එයා හිටියොත් මෙතන අපේ අතින් සාමය කැඩෙන්න පුලුවන්, ඒ නිසා  උප අනි තුමා ගෙන්නන්නම් කියල, එතුමාව කැඳවලා විසඳන්න කියල අණදෙන නිළධාරි තුමා යන්න ගියා. ඒ වෙද්දි දෙගොල්ල වචන වලින් මරාගන්නවා. බෙිරෙන්නම බෑ. උන් හූ කිය කිය බනිනවා. අපි හුයන්නෙන් පටන් අරන් බනිනවා. 


දැන් ලෝක යුද්දයයි එතන. උන් අරින්නෙත් නෑ.අපි අරින්නෙත් නෑ. ඔය අස්සෙ කෙලවරක ටිකක් වැදගත් පාටට පෙනුනු එක කුණුහරපයක්වත් නොකිව්ව ඒත් හිනා වෙවී හැමදෙයක්ම අහන් හිටපු එකෙක් හිටියා. කොටියෙක් උනත් ඌ උගේ පාඩුවෙි හිටියා. මමත් තව දෙතුන් දෙනෙකුත් ඌට කිට්ටුකලා. ඌ සිංහලත් දන්නවා. අපි අර සද්ද මැද්දෙ ඔහුට කිට්ටු කරලා විස්තර ඇහුවා. ඌ කිව්වෙ උන්ගෙ ඉහලින් ආ නියෝගයක් මත යාපනේ යන්න යනව කියල. විනාඩි පහක් දහයක් වැනි ටික කාලයක් තුල  කතා කරල අපි සුහද වුනා. ඒ වෙද්දි උප අනි තුමා එතන හිටපු නායකයෙකුට ටිකක් විතර තදින් කරුණු පැහැදිලි කරල ආපහු යන්න කියමින් හිටියෙ.

එතුමා නිවිච්චි පුද්ගලයෙක් නිසා එච්චර අවුලකුත් නෑ. ඊලඟට එතුමා අර පුද්ගලයටත් කිට්ටු කරල කරුණු කාරනා විස්තර කරලා ආපහු යන්නම කියන ඉල්ලීම කලා. ඒක පිළිඅරගෙන පැය භාගයක් විතර යද්දි උන්ට යන්නම නොදෙන තැන ආපහු යන්න තීරණය කලා. අපිත් එක්ක පිට්වුනු පුද්ගලයා අපිට වැදගත් විදියට කතා කලා. සර් කිව්වා, මහත්තයා කිව්වා. ඌ උන්ගෙ පැත්තෙ විස්තර ටිකකුත් (යුධමය වටිනාකමක් ඇති  හෝ රහස් නෙමෙි)කිව්වා. වැදගත් විදියට හැසිරිලා ආපහු යන්න පටන් ගත්තා. ඔහුගෙන්ම නම අසා දැනගත් පරිදි "මෙිජර් තීපන්". එල්ටීටීඊ එකේ නැගෙනහිර දෙවෙනි පරිපාලන කටයුතු භාර පුද්ගලයා. 


උන් නොපෙනී යනකනුත් අපි බලන් ඉඳලා කඳවුරට ආවා. ඊට පසු අවස්ථා කිහිපයකදිම අර පුද්ගලයා "තීපන්" අපිට හමුවුනා. හිතවත්කමක් ගොඩනැගුනා. ඒ හිතවත්කම කොච්චරද කියනවනම් මාර්ග බාධකයට ඇවිත් අපේ නම් කියල කෝ කියල අහන තරමෙි මට්ටමට ගියා. ඊට ටික කාලෙකට පසු එක දවසක් ඔහු මට මාන්කේනි මාර්ග බාධකයේදී හමුවුනා.(මෙතන මාව අතිවිශේෂ සහ වැදගත් රාජකාරියක් යොදවලා තිබුනෙ). ඒ කරුණා සහ ප්‍රභාකරන් විරසක වෙලා කරපු යුද්ධෙට කිට්ටු කාලයක්.නමුත් එතෙක් විරසක වෙලා තිබුනෙ නෑ. 


 ඔහු අතේ තිබුනා විශාල බ්‍රීෆ් කේසයක්. ඒක පුරෝලා තිබුනෙ දාහෙ කොල බණ්ඩල් වලින්. මම නිකමට ඇහුවා" මෙතන කීයක් විතර තියෙනවද මචං" කියලා. රුපියල් කෝටි දෙකහමාරක්. මමනං එච්චර මුදලක් දැක්කෙත් එදා. මොකටද කියල අහපුවම "නැගෙනහිර එල්ටීටීඊ සාමාජිකයන්ගෙ කෑම සල්ලි" කිව්වා. පස්සෙ හමුදාවෙි ඉහල මූලස්ථානවල උපදෙස් අනුව ඔහුව මුදාහැරියා. ඒ උපදෙස් එනකම් පැය දෙකක් විතර අපි කතා කර කර හිටියා. ඒ ලෙවල් විද්‍යා අංශයෙන් කැම්පස් මට්ටමට නූනත් ඉතා ආසන්න මට්ටමින් සමත්වුනු දොස්තර කෙනෙක් වීමෙි සිහිනයෙන් පෙළුනු තීපන්, දවසක් රෑක ඉස්කෝලෙක තිබුනු කොටින්ගේ රැස්වීමකට සහභාගිවෙලා, "මොළ ශෝධනයට" ලක්වෙලා තමා සංවිධානෙට බැඳිල තියෙන්නෙ. ඇත්ත හෝ වෙිවා බොරු හෝ වෙිවා ඔහු කිව්ව විදියට එදාම උනත් සංවිධානෙන් අයින් වෙලා ඔහුගෙ අරමුණට යන්න ආශාවක් තියෙනවා කියල මාත් එක්ක කිව්වා. මිනිස්සු මැරෙන එක ගැන දුකෙන් කතාකලා. ඒත් දැන් සංවිධානය අත්හැරීම පැය විසිහතරකටත් අඩු කාලයකින්  තමා විසින්ම තමාට මරුවා ලඟාකර ගැනීමක් විදියට තමා ඔහු කීවෙ. ඒ සංවිධානෙත් හැමෝම යුද්ධෙට කැමති නෑ. ඒක හරියට  කොටි වලිගෙ බදා ගත්තා වගෙ වැඩක් නිසා දිගටම ඉන්න ඇති. හමුදාව එක්කත් සිංහල මිනිස්සු එක්කත් කිසිම තරහක් හෝ එහෙම වෙන්න හමුදාවවත් සිංහල මිනිස්සුවත් තමන්ට කරපු දේකුත් නෑ කියල අන්තිමෙිට කිව්වෙි "බලමු ඉතින් සර්, මෙික යුද්ධයක්නේ. කව්රු හරි එක පැත්තක් ඉවර වෙන්නම එපෑ" 


"ඒ කියන්නෙ ඔහු ආයෙ යුද්ධය පටන් ගන්නවා කියල පැහැදිලිව දැනගෙන ඉඳලා" 


ඔහු මට අන්තිම වරට හමුවුනේ කරුණා හා ප්‍රභා අතර පැවති යුද්ධයේදී මාන්කේනි වලදිමයි. වාහනේ නවත්තගෙන විනාඩි දහයක් විතර මාත් එක්ක කතා කර කර ඉඳල ගියේ. ඒ වෙද්දි මං දැනගෙන හිටියෙ මෙයා කරුණාගෙ පැත්තෙ කෙනෙක් කියලා. යන්න ලෑස්තිවෙලා කිව්වෙ "ආපහු ආවොත් අපි කතා කරමු සර්. ඒත් එන එකනම් එච්චර ෂුවර් නෑ." කියල. (මෙි වෙද්දි මම මෙතන අති විශේෂ වැදගත් රාජකාරියක හිටියෙ). ජාතිය ආගම පාර්ශ්වය වැදගත් නෑ. මාත් කිව්වා බුදු සරණයි මචං.එහෙම කියල යන්නෙපා, කොහොම හරි පරිස්සමින් ගිහින් පරිස්සමින් වරෙන් කියලා. ඔහු එදාම පැය තුනකට විතර පස්සෙ මට ආයෙ හමුවුනා. හැබැයි ඒ මාත් එක්ක කතාකරල ගිය තීපන් විදියට නෙමෙි. ඔලුවෙන් භාගයක් නැති කකුල් දෙකම කුඩු වෙච්චි ඇඟ හැමතැනම හිල් වුනු ලේ වලින් මුළු ශරීරයම පෙඟවුනු මළ මිනියක් විදියට. 


මෙි යුද්ධය එසේ නොවී සතුටු දායක විදියට විසඳුනානනං ඔහුට මගේ හොඳම යාලුවෙක් වෙන්න බොහෝදුරට ඉඩ තිබුනා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.17



1 comment:

  1. ලගදි සෙට් වුනේ ඔක්කොම කියෙව්වා, යුද්දේ අස්සේ වුනත් උබල ආතල් අරගෙන, ලව් කරගෙන, මනුස්සකම් රැකගෙන, ‍යුද්දෙත් හරියට කරගෙන ඉදලා තියෙනවා.. ඇත්තටම උබෙ කතා ටික පොතක් ගහන්න තරම් වටිනවා,දිගටම ලියන්න..අපි ( මමයි, මාය්යයි ) ආසාවෙන් කියවන්නේ..

    ReplyDelete