ජීවිතේ රස කතා කිව්වම හැමෙිකක්ම මිලිටරිම කියල නෑනෙ. අද කියන්න හිතුනා අපේ ගෙදර සතියක පසු විපරමක් හා කරපු වැදගත් රිසර්ච් එකක් පිලිබඳව.
මං ඉස්සර ආශාවෙන් දිනපොත් නඩත්තු කලා. ඒත් දැන් එහෙම නෑ. ඒ පුරුද්ද මගෙන් ගිලිහිලා ගියේ මීට අවුරුද්දකට කලින්. ඒකට ගොඩක්ම බලපෑවෙි ඇමරිකාවෙි එම්සීසී ගිණුම, අපේ ආණ්ඩු පෙරලිය, රටෙි තත්ත්වය, චීන ජන රජය විසින් මෙරටට කරන දේශපාලන අතපෙවීම් සහ බලපෑම්, පොදු දේපල විකිනීම, වගේ බැරෑරුම් මාතෘකා නෙමෙි. නිදහස අවම වීම තමා හේතුව වුනේ.
මගේ පුරුද්දක් තියෙනව. ඒ තමා අනිවාරයෙන්ම උදේ පහට අවදිවීම. ඒක රැයක් තිස්සේ නිදි මරලා උදේ හතරහමාරට නිදාගත්තත් මොන අහේතුවක්ද මන්දා පහට ඇහැරෙනවා. පහට නැගිටලා කරන්නෙ බඩ පිරෙන්න වතුර එකක් බොන එක. ඊලඟට ගෙදර උදේ කෑම වෙිල සැකසෙන්නේ මගේ අතින්. වැඩට ගියා නොගියා ඒක පුරුද්දක්. ඊට පස්සෙ තමා අනික්වා කරන්නෙ. දවස තිස්සේම මහන්සි වෙලා වැඩ කරන සුද්දිට ලොකු උදව්වක් කියල හිතනව ඒක. හැබැයි දවසක් දවාලකත් මට උයන්න කියපු වෙලාවක මාත් ගණන් ඉස්සුවා. ඒ ජොලියට. මං කිව්වා "එකක් කරපුවාම දෙකක් කියනවා, තෞසෙලාගෙ හත්මුතු පරම්පරාවම එකයිනෙ ඔියි" කියල. මෙික එවුන්දැ එවුන්දැගෙ අම්මට කියල "මුදු හදන පරම්පරාවම එකයිනෙ ඔියි"කිව්ව කියල. නැන්දම්මත් හිනාවුනා ඒක අහල. මොකා යකෝ මුදු හදන්නේ??
අපේ එක්කෙනාට උදව් කරන බලමහිමයෙන්ද මන්දා මට මෙි සතියෙ විශේෂ අවස්ථාවක් හිමිවුනා. ඒ අළුත් රිසර්ච් එකක් සිදු කිරීමෙි මහඟු අවස්ථාවක්. මෙික කව්රුත් කලින් කරල නැතුව ඇති. ඒක කොච්චර
දුරට සාර්ථක වුනාද කිව්වොත් නව සොයාගැනීමක් කරන්නටත් මට හැකිවුනා.
වෙනදා පස්ස පැත්තට ඉර එලිය වෙටෙනකම් ඇඳේ දපනෙ දාල නිදියන අපේ ගෙදර එක්කෙනා කවදාවත් නැතුව එදා මං අවදි වෙද්දිම අවදිවුනා. මං ඇහැරවන්න යන්නෙත් නෑ පවුනෙ කියල. නෙමෙි අනේ. ඒකි පයින් ගහනව නිදා ඉද්දි ඇහැරැව්වොත්. ගොං පයින් ගහනව වගේ නිල් වෙන්නත් වදින අවස්ථා නැතුව නෙමෙි. නින්දෙන් වගේ කරනව කියල පෙන්නුවට මට හැඟිල තියෙන්නෙ ඒ බබා පාට් එකක් කියල. එක දවසක් මහ පාන්දර පහට ඒ වගේ අවුලක් ගිහින් කොරහෙ තිබුනු ඉඳුල් වතුර එකක් ඇඳේ ඉඳන්ම නා ගැනීමෙි දුර්ලබ අවස්ථාවකුත් ඇයට හිමිවුනා. ඉඳුල් වතුර එකක් හැමදාම එක්කාසු කරනවා කියන එකත් ටිකක් අමාරු නිසා මං පස්සෙ පස්සෙ ඔික අතෑරල දැම්මා.
එදා පහට නැගිටපු මෙවුන්දෑ කබ කඩ කඩ ඇවිත් ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන පංච මහා ගංගාවලින් ගලා ඇවිත්, කටෙි වෙිල්ලක් බැඳලා වගේ පුරෝගෙන හිටපු කුණු කෙල කන්දරාව කුස්සිය පැත්තෙන් මිදුලට බැහැලා "ක්‍රෑහ්ක්..තු:හ්ක්" ගාල විසි කරල බාත්රූම් එකටත් ගිහින් ආපහු එන්න දොර අරින කොටම මම මගේ ගානෙ පොල්කුඩු සහ ලූනු පොතු වතුර එකක් හොඳට කලත්තල කලත්තල "සරස්" ගාල පාන්දරම ඇයගේ සුසුදු සුදුමුදු මූන පොජ්ජ සිප ගන්න මුදා හැරියා. ඒත් එක්කම "මොන හුක්" කියල ඇහිච්චි වචන සෙට් එකට මට හිනා ගියත් මං ඉවසාගෙන හිටියෙ ඔිවගෙ අකරතැබ්බ ඇයටත් අත්වැරදීම් වශයෙන් ඉදිරියේදි වෙන්න පුලුවන් අවදානමක් තියෙන නිසා. බාත්රූම් එක එලියෙ තියෙන නිසාත් කුස්සිය ලඟින්ම පිහිටීම නිසාත් භූගෝලීය වශයෙන් මටත් යම් අවදානම් සහගත තත්ත්වයක් එතන තියෙනව. ඒ නිසා ඇවරියම පූට්ටු කරගෙන ඉවසා සිටියෙ මගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන්. ඒ තරම් බඩුව මෙික. හිනාවෙද්දි ඉස්සරහ තිබුනු පොල්ලෙලි දත් දෙකම වැහිල තිබුනෙ දඩ සයිස් ලූනු පොත්තකින්. ලයිට් එලියෙ උනත් මං ඒක හොඳට දැක්කා.
අලුත් දවසක් උදේම එහෙම පටන් ගත්තම හිතාගන්නකො දවස කොහොම ගෙවෙයිද කියල. මං සාමාන්‍යයෙන් තේ බොන්නෙ උදේ හයත් හයයි කාලත් අතර. ඒකත් පුරුද්දක්. මෙයත් එහෙම්මම බාත් රූම් එකට ගිහින් ගිනි ගැහෙන හීතලේ වතුර පාරක් හැම තැනටම අල්ලගෙන
*කෝ ටවල් එක දෙනවකෝ...
*හිටහං මං වැඩක්
*යකෝ ටවල් එක දීපං වාහෙ.. හීතලයි
" කට..කට..කට..කටස් කටස්.." මීයෙක් රෝස් පාන් කන සද්දෙන් එවුන්දැගෙ දත් ඇඳි දෙක එකට වදින සද්දෙත් මට ඇහුනා.
බෙිරෙන්න බැරිමතැන ටවල් එක ගිහින් දුන්නා. ඇඳුනුත් මාරුකරගෙන යටි හිතිනුයි කටිනුයි අනං මනං කිය කිය මගේ සපෝර්ට් එකට කුස්සියට ආව.
*සුද්දි... සුදුලුනු ගෙඩ්ඩකුයි කලමනා ටිකයි අරන් එනාකො..
මං එයාට ආදරේට කියන්නෙ සුද්දි කියල. ඒක එයාට මහ මෙරක් වගේ. ඇත්තටම සැබෑම ආදරණීය වචනයක්. ඔය පොඩි පොඩි වචන වලත් ආදරය සෙනෙහස තියෙනවා කියල ඒකි හිතනව. පව්ල් ජීවිතේ සාමයත් රැඳිල තියෙනව ඔය පුංචි පුංචි වචන වල. හැබැයි ඒ එවුන්දැට අනුව. මං සුද්දි කියන්නෙ වෙන තේරුමකින්. ඒ "හු%@&ති" කියල කියන්න බැරි හිංද තමා "සුද්දි" කියල සංස්කරනය කරල අමතන්නේ.
*ඒ සුද්දි... මයේ සරමත් හෝදාං..ඈ...
*ඒ සුද්දි.. තේකක් බොමුද?
*අඩෙි සුද්දියෙ රේඩි එක දාංකො...
එයත් ඉතින් ඒවා ආසාවෙන් කරනවා.
මෙවුන්දෑ ගියා ගබඩා කාමරේට මං කිව්ව අඩුම කුඩුම ටික ගේන්න. මයෙ අප්පේ කියන්නෙ ඊලග විනාඩියෙ බාර් වහන නිසා අරක්කු කාලක් ගන්න බැරි වෙච්චි එකෙක් කිලෝ මීටර් පහක් පුස් බයිසිකලේ පාගනවා වගේ වෙිගෙන් ආපු ආතක් පාතක් නැති වල් කුපාඩි පඩත්තල වරත්තු වලත්ත ඔට්ටපාලු කැරපොතු රාජයෙක් මෙිකිගෙ කකුලක් දිගේ ඉහලටත් නැගල තව කොහෙ කොහෙදත් මංද දුවල හෙන ගිනිවිජ්ජුම්බරයයි එතන. "හෑක්කා......හ්".කියල යටි ගිරියෙන් හූටරේ ගහලම පටන් ගත්තෙ පාන්දරම. ඊලඟට ඇඳන් හිටපු නයිටියත් ගලෝලා දාලා මෙිකි උඩ පනිනවා. කැරපොත්තා මෙිකිගෙ කකුල අතගාල බැහැල ගිහින් හැංගිලත් ඉවරයි. ඒත් මෙතන සිරියාවෙ බෝම්බ ගහනකොට වගේ සද්දෙ. මාත් පැනපු ගමන් පැත්තක ගොඩ ගහල තිබුනු හාල් උරෙයක් අරන් ඇඟට දාල ඔතල දැම්මෙ ඇඩස්සොල්ලි උපකරණ ටික වැහෙන්න. ඒ සද්දෙට අල්ලපු ගෙදර මලයා වත් දුවං ආවානං එහෙම මං ගැන වැරදියටත් හිතල තැන තැනත් කියයි. අන්තිමෙිටම කියයි රංජත් හරි කියල.
*සුද්දි ඇත්ත කියාං. ඌ ගල විතරනෙ අතගෑවෙ. වෙන මුකුත් නෑනෙ??
*පලයන් වල් මිනිහො යන්ඩ. තමුසෙටනං මොකෑ. කෑවනං හෙම මගේනෙ.
මාත් ඒ මුස්පේත්තු කැරපොත්තටම බැන බැන මගේ වැඩෙි කරගෙන ගියා.. වැඩිය කියවන්න ගියොත් හෙම තේ එකට එක්කො සීනි මදි. නැත්තං කහට මදි. එක්කො ඔය දෙකම මදි වෙලා වතුර ඇති.
ඒවත් ඉවර වෙලා දවල්ට වත්ත පිටියෙත් කරක් ගහල කොරෝනා පලදාවත් බලල ඇවිත් පාලු කාංසියෙන් ඉන්න අතරේ මට හිතුනා ආයෙ මෙි වගේ උස්සවයක් නොවෙන්න කාඹරේ අස් කරල දාන්න.
වැඩෙි පටන් ගත්තා. පිලි වෙලකට වැඩෙි කරගෙන කරගෙන යද්දි උදේ අංචිය අල්ලපු බුවා (ද, මංද).. ඉන්නව එලවලු වට්ටිය යට දිලිසි දිලිසි මස් කට්ටක් දික්කරාම මූන දිහා බලා ඉන්න ටොමියෙක් වගේ උඩ බලාගෙන. පැන්න ගමන් බෙල්ලෙන්ම අල්ලගෙන දැම්මා බෝතලේකට. ඒ ඈතකට ගිහින් දාන අදහසින්. දාල මූඩිය වැහුවා. තඩි හූනෙකුත් අහුවුනා. ඌ මටත් විරිත්තල වෙට්ටුවකුත් දාල පැනල ගියත්, ඒක මෙවුන්දැ දැක්කා.
*අපෝ.. කයියනං කෝමද. හූනෙක්වත් අල්ලගන්න බෑනෙ මෙි මිනිහට. ඈක්ක විතරක්.
*ඒක ඒ හැටි ගේමක්යැ. ඒත් හූනු සාස්තරේ බයානකයි සුද්දියෙ..හූනා අල්ලල පෙන්නනව පහ්නෙකට උත්තර දුන්නොත්.ආයෙ හූනු සාස්තරෙත් කියනවා.
*මොකද්ද පස්නෙ??
*හූනගෙ නැත්තෙ මොනාද කියපං.
*මං දන්නවෑ. මං හූනො අල්ලල තියෙනවෑ.
"මෙවුන්දෑ බබා"
පස්සෙදි, දවසම මුස්පේන්තු කරපු කැරපොත්තා ගිහින් දාන්න කියල බෝතලේ අතටත් අරගෙන ආයෙ කල්පනා කලා... මූ ගිහින් දැම්මොත් කන්න තුන්වෙිල හම්බෙයිද? මූට වෙන සතෙක් හිරිහැර කරයිද කියල. සෑහෙන්න ඒ ගැන කල්පනා කර කර ඉන්න කොට මොලේ දකුණු පැත්ත හිරීවැටීගෙන ඇඟ කිළිපොලා යමින් කනේ මයිල් කෙලින් වෙලා හෙන දඩ සයිස් අදහසක් ආවා.
හැමදාම කැරපොත්තො දකිනවා. අතගෑවිල තියෙනව. අල්ලල තියෙනව. ඒත් මූ ගැන අපි වැඩිය මුකුත් දන්නෑනෙ.ඒ හිංද කැරපොත්තා පිලිබඳ රිසර්ච් එකක් කරන්න අදහස පහලවුනා.
ඊලඟට පෑනකුයි,පොතකුයි කතුරකුයි, ලොකු එකයි පොඩි එකයිත් ලං කරගෙන මං මගේ රිසර්ච් එක පටන් ගත්තා.
කැරපොත්තා අරගෙන තියාගත්තා මෙිසේ උඩින් ඉගිලෙන්න බැරි විදියට.
ඊලඟට කොලේ දකුනු පැත්තෙ ඉහලින් දිනේ දාල යටින් මාතෘකාවත් ලියල පළමුවෙන්ම වම් පැත්තෙ පිහාට්ට ඡේදනය කලා.
ඊලඟට "හ්ම් ගෝ නව්..".කියල අත ටිකක් බුරුල් කරල විධානයක් කලා. ඌ ගියා. හැබැයි දකුණු පැත්තට බරවෙලා.
නිරීක්ෂණය:- කැරපොත්තෙකුගේ වම් පිහාට්ට නැතිකොට ඌ දකුණට බරව ගමන් කරයි.
නිගමනය:- පිටෙහි පවතින බර අසමාන වූ විට පැත්තකට බර වෙි.
කැපුව දකුනු පිහාට්ට.
"හ්ම්..ගෝ...නව්".කියල අත බුරුල් කලා.
නිරීක්ෂණය:- පිහාටු දෙකම නැති කල ඌ උගේ වගේ නැතුව ගමන් කරනු ලබයි.
නිගමනය.:- කැරපොත්තාට පිහාටු ඇවැසි නැත.
ඊලඟට කකුලක් කැපුවා:-
හුම්...ගෝ නව්.. .
නිරීක්ෂණය:- කකුල නැති පැත්තට බරව සෙමින් ගමන් කරයි.
නිගමනය:- එක කකුලක් නැතුව වුවද කැරපොත්තෙකුට ගමන් කල හැකිය.
අනික් පැත්තෙ ඒ කකුලම.
නිරීක්ෂණය:- පිටුපසට බරව ගමන් කරයි. වෙිගය මදක් අඩුය.
නිගමනය:- කැරපොත්තාට කකුල් හතරක් හොඳටෝම සෑහේ.
ඊලඟට තව කකුලක්:-
හ්ම්.. ගෝ නව් මා පෙන්ස්.....
නිරීක්ෂණය:- කැරපොත්තාට කකුල් තුනක් ඇතිවිට වෙිගයෙන් ගමන් කල නොහැකිය. කොර ගසයි.
නිගමනය:-
කැරපොත්තාට කකුල් තුනක් ඇති විට එක තැන කරකැවෙන ගතියක් පෙන්නුම් කරන අතර, ඌට කකුල් හතරක් පමණක් පිහිටීම ප්‍රමාණවත් වෙි.
ඊලඟට සමාන අනෙක් පාදය ඡේදනය කලෙමි.
නිරීක්ෂණය:-
කැරපොත්තා හොඳින් කොර ගසන අතර ඉදිරි පාදවලින් ඇද ඇද ගමන් කරයි.
නිගමනය:- කැරපොත්තාට කකුල් දෙකකින් කල හැකි දෙයක් නොමැති අතර,ඇවිදිම සඳහා කකුල් හතරක්ම අවශ්‍ය වෙි.
තව කකුලක්:-
"හ්ම්... ගෝ...නව්"
නිරීක්ෂණය.:- කැරපොත්තාට කකුල් දෙකෙන් ගමන් කල නොහැක. පාද පහක් විසන්ධිකල විට එක තැන කරකැවෙි. වෙිගය මදක් වැඩිය.
ඒ ආකාරයට පාද පහක්ම විසන්ධිකර නිරීක්ෂණ නිගමන සටහන් කර ගත්තා.
ඊලඟට ඉතිරි අන්තිම පාදයද විසන්ධි කර
"හ්ම් ගෝ පෝවර්ඩ්. (ගමන් නොකරයි)
විධාන කිහිපයක්ම කලෙමි. අඩෙි පල.. පල යකෝ... හ්ම් ගෝ නව්"
ම්ම්ම්හු.. ගියේම නෑ.
නිරීක්ෂණය:- එම විධානය කිහිප වරක් කලද, කැරපොත්තා ගමන් නොකරයි. එක තැනකටම වී නිසොල්මන්ව බලා සිටී.
නිගමනය:- කැරපොත්තාගේ පාද සියල්ල ඉවත්කල පසු උගේ කන් දෙක නෑසේ..
ඒ විදියට කරපොත්තා පිලිබඳ රිසර්ච් එක අවසන් කලා. ඒ, නැවත අර පැන ගියපු හූනාව හෙට අල්ලගෙන ඌ පිළිබඳවද රිසර්ච් එකක් කිරීමට අදහස් කරල.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.11.13
No comments:
Post a Comment