Wednesday, October 28, 2020

පන්ඩිත හාමුදුරුවෝ

 සේරුවාවිල පුද භූමිය යනු බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්. අප මහා කාරුණිකයන් වහන්සේගේ වම් දළදාව, ලළාට ධාතුව තැන්පත්ව ඇතැයි කියන්නේ මෙි පංසලේ පිහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ. මෙි පුදබ්මෙි වසරකට සැරයක් මහා ආමිස පූජා පිංකමක් පවත්වනවා. ඒ පිංකම පැවැත්වෙන  කාලෙ කියන්නෙ සේරුවාවිල පුද බිමට ඉතා කාර්‍යබහුල දවස් කීපයක්. ඒ, මෙහි පැවැත්වෙන පූජාවට රටෙි හැම පැත්තෙන්ම ඇදී එන මහා ජනසන්නිපාතය නිසා. බස් පුද්ගලික වාහන ලොරි වෑන් කාර් ආදියෙන් දස දහසක් විසි දහසක් සමහර විට ඊටත් වඩා බැතිමත් පිරිසකගෙන් මෙි පින් බිම පිරී යන්නේ හිතාගන්නවත් බැරි විදියට.  මාවිල්ආරු සාම්පුර් මුතූර් තෝප්පූර් ආදී ප්‍රදේශ එල්ටීටීඊයෙන් මුදාගෙන  ජනතාවට බියක් සැකක් නොමැතිව ආරක්ෂිතව ජීවත් වෙන්න වටපිටාවක් ඇතිවුනාට පස්සෙ වැඩි වැඩියෙන් මෙි පලාතේ මිනිස්සු නිදහසේ ගැවසෙන්න පටන් ගත්තා. නමුත් නැගෙනහිර මානුෂීය මෙහෙයුම මෙි වෙද්දි නොනවත්වා ඉදිරියට යමින් සිටියේ. මට මතක විදියට යුද්ධය තිබුනේ තොප්පිගල වාකනේරි ප්‍රදේශවලට වෙන්න වගේ. අපේ ඒකකය මුදාගත් ප්‍රදේශ ආරක්ෂා කරගැනීමට නැවතුනාම සිවිල් සම්බන්ධීකරණ කටයුතු පවා සිදුකිරීම අපේ ඒකකයෙන් ඉමයි ඉටුවුනේ. 

ඒ අනුව මෙි මහා පිංකම වෙනුවෙනුත් අපිට අපේ කාලය ශ්‍රමය වැයකරන්න සිදුවුනා. 


ඉහලින් ආපු නියෝග අනුව අපිට ගොඩක් ලොකු වගකීමක් මෙි අනුව පැවරුනා. ඒ, පිරිසිදු පානීය ජලය සැපයීම, වැසිකිලි කැසිකිලි ඉදිකිරීම,මහා සංඝ රත්නය වෙනුවෙන් නවාතැන් සහ දාන මාන කටයුතු  ඒ අතරින් කිහිපයක්. 


ඒ නියෝග ආව ගමන් කල්තියාම අපේ ඒකක මූලස්ථානය විසින් මෙි එක් එක් රාජකාරි කොටස් නම් කරල කමිටු සහ අනු කමිටු සභාපතිවරුන් යටතේ එක් එක් කර්තෘව්‍යයන් සඳහා පිරිස් නම් කලා. මං ඇතුලත්වුනේ මහා සංඝ රත්නය වෙනුවෙන් නවාතැන් සැකසීම හා ආහාරපාන පිරිසිදු ජලය ආදිය සැකසීම/සැපයීම වෙනුවෙන්.  ඒ සඳහා අවශ්‍ය සියළු බඩු භාහිරාදිය සපයාගැනීම, ආහාර/දාන පිළියෙල කිරීම සහ බෙදා දීම තමා අපේ ප්‍රධාන වගකීම වුනේ. මෙයට ඇවැසි තරම් භඨ පිරිස් අපි අතර නොහිටියත් අඩුම සම්පත් යටතේ වැඩි වැඩ කොටසක් වැඩි කාර්යක්ෂමතාවයෙන් කරගැනීම අපිට හොඳට හුරු වෙලායි තිබුනේ. ඒ අනුව අපේ කමිටුවත් කෑලි දෙක තුනකට කඩාගෙන කොටස් කොටස් වශයෙන් බෙදී මෙි වගකීම ඉටු කරන්නට කටයුතු කලා. 


ඒ අනුව සේරුවාවිල පුදබිම සුද්ධ පවිත්‍රකිරිම, කැසිකිලි,වැසිකිලි, වතුර ටැංකි ඉදිකිරීම/ සැකසීම සහ පානීය ජලය සැපයීම අපි කල්තියාම ආරම්භ කලා. කොහොමහරි මෙි වැඩ ටික කෙරීගන ගියා කියමුකො. ඉතාමත් සද්භාවයෙන් හා මහන්සියකින් කිසි කෙනෙකුගෙන් අඩුපාඩුවක් නාහන්නට අපි උපරිම උත්සාහ කලා. මෙි පූජාවට රටෙි හැමපැත්තෙන්ම අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.  සංඝරත්නයම දාහක් විතර සහ ඊටත් වැඩි වෙනවා. මෙි සඳහා බස් එනවා මාර තොගයක්. ඇඟිල්ලක් ගහන්න ඉඩ තිබ්බෙ නෑ ඒ දවස් කීපයේ මෙි පංසලේ කොතනකවත්. ඒ තරමට සෙනග. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඒකකයක් යෙදවූවා මතකයි.


අපිත් මෙි පිංකම වෙනුවෙන් දිවා රෑ දෙකේදිම, වෙලාවක් කලාවක් නොබලා කෑම බීම නින්ද පවා අමතක කරල බැහැල වැඩ කලා. ඒකට තව එක් වැදගත් හේතුවක් තිබුනා. ඒ තමා අපි නැගෙනහිර ගත කරන අවසානම දවස් කිහිපය. එතනින් පස්සෙ අපි එහෙන් විත්ඩ්‍රෝ වෙලා නුදුරේදී ආරම්භ කිරීමට සැලසුම් කරල තිබුනු වන්නි මානුෂීය මෙහෙයුම සඳහා සහභාගිවීමට යාමට නියමිතව තිබුනු එක. ආයෙ කවදා පිනක් කරගන්නද? යන තැනකටත් දෙයක් තියෙන්න ඔින නිසා බැහැලම වැඩකලා.  


 ඉතාමත් සාර්ථක විදියට මෙි  පාලන කටයුතු සිදුවෙලා  අවසාන දවසත් උදාවුනා. මගෙත් එක්ක එකටම හැම වැඩෙිටම සහායවුනු සහ වෙන්කර දීපු වගකීමක් තිබුනු කෝප්‍රල් ජයරත්න වැඩිය හාමුදුරුවරු මුනගැහිල කතාකරන්න කැමතිවුනේ නෑ.  ඒ ඇයි කියල මං දන්නේ නෑ.නමුත් සමහර විට ඔහු පිංකම් සඳහා වැඩි කැමැත්තක් නැතුව ඇති කියලම හිතුනු නිසා රෑට නිකන් ඉන්න අවස්ථාවල ඔහුට මෙි කටයුතු වලින් ලැබෙන පින් කන්දරාව ගැනත් ඉන් ලැබෙන ඵලය සහ ආනිසංශ ගැනත් තේරුම් කරදීමට මා උත්සාහ කලා. ඒත් ඔහු ඒවා ගණනකට නොගත් බව පෙනෙන්නට තිබුනු නිසා කීපවරක්ම දරපු ඒ උත්සාහය "උඹට හොඳනම් මට මොකෝ" කියන නියායෙන් අතහැර දැමුවා. පිනක තියෙන වටිනාකම,එයින් මෙි ජීවිතයේදිම ලැබෙන සහ පරලොවදී ලැබෙන ආනිසංස ගැන ඔහුට වැඩි විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති කියල මට හිතුනා. ඉන් පසු ඔහු කුස්සියේ වැඩ භාරගත් අතර, "මං මගේ වැඩෙි කරන්නං,උඹ කට්ටියත් අරගෙන දානෙ බෙදන වැඩ ටික කරපංකො" කියල මට කිව්වා. ඉන් පසු මා ඇතුළු කණ්ඩායම අපට පැවරුනු වගකීම ඉතා හොඳින් ඉටු කරමින් සිටියා.


 ජයරත්න හිටියෙ කුස්සියෙ විතරයි. එලියටවත් ආවෙ නෑ. ජයරත්න කියන්නෙ මගේ බැචෙක්. බැචෙක් කිව්වට එකට ඉන්ටවීව් ඇවිත් පුහුණු පාසැල්  දෙකක පුහුණුවීම් කරල නැවත එකම ඒකකයකදි හමුවුන අය. අපේ බැජ් එකටම වඩා දවසක් හරි වැඩිමල්. ඔහු දවසක් කියපු විදියට ඔහු මට වඩා අවුරුදු ගානක් වැඩ්මල්. නමුත් ෆිට් එක එකයි. 


අවසාන දවසෙ අප විසින් මෙි අවස්ථාවට වැඩි මහා සංඝ රත්නය වෙනුවෙන් දිවා දානය බෙදා දෙන අවස්ථාව උදාවුනා.   වැඩ සිටි මහා සංඝ රත්නය වෙනුවෙන් එකටම දානෙ පිළියෙල කලත් අපි කලින්ම බෙදාගෙන  තිබුනු විදියට කොටස් කොටස් වශයෙන් දානය පිළිගැන්නවෙන වීමෙි අවස්ථාව උදාවුනා. 


අපිත් මහා සද්දාවෙන් භක්තියෙන් ආදරෙන් ආසාවෙන් හැම කට්ටක්ම කාල දානෙත් සකසල සූදානම් උනා.අපිට පැවරුනේ දවල් දානය. හීල් දානය තිබ්බෙ අපිට නෙමෙි. මෙහෙම අපිත් වෑංජන අතින් අරන් ස්වාමීන් වහන්සේලා ඉදිරියට ගිහින්

*අපේ හාමුදුරුවනේ රතුබත්,සුදුබත්,අල හොදි,පරිප්පු කිය කිය ඇවැසි ඇවැසි අයට මෙිව බෙද බෙද හිටියෙ.

 එදා දානය බෙදන්න ගත්ත විදිය අනුව ජයරත්නට කොතනකවත් හැංගෙන්න බැරිවුනා. මොකද උයාගත්තු දානය උන් වහන්සේලා වැඩ සිටි කිට්ටුවටම ගෙනත් බංකු සහ මෙිස උඩින් තියාගෙන තමා මෙි කටයුත්ත සිද්ධකලේ. 

අකමැත්තෙන් උනත් ඒ කොට බිත්තියෙන් එහා පැත්තෙ ඉඳගෙන ස්වාමීන් වහන්සේලාට බෙදල ඉවරවෙලා ගේන දීසි හට්ටි මුට්ටි වලට අඩුපාඩු පුරවාදෙන්න කෝප්‍රල් ජයරත්නට  සිදුවුනා. මොකද මෙි වෙද්දි අපේ අණදෙන නිළධාරි තුමත් අධීක්ෂණයට මෙතනට ඇවිත් හිටියේ. අපිටනං එතුමා හිටියත් නොයින්න ගානයි. වැඩෙි ඉවරකරල තමා ආයෙ එතුමා එක්ක කතාකරන්නෙ. 


මෙි වැඩෙි යන අතරමැද මෙතන හිටපු ලොකු හාමුදුරුවො නිතරම බලාගෙන හිටියෙ ජයරත්නල කෑම දාල දෙන දිහා. එක් අවස්ථාවක මමත් අඩුපාඩු අරන්  ලඟට යද්දි උන්නාන්සෙට ටිකක් හයියෙන් කතා කරල තමා "අහවල් වෑංජනේ අපේ හාමුදුවනේ" කියල ඇහුවේ. එතකොට  මං දිහාත් බලල හිනාවෙලා ආයෙ අරපැත්ත බලල තමා "පොඩ්ඩක් දාන්න" කිව්වෙ. සිවුරත් නිතරම හද හද හිටියෙ.ඒ වෙන කව්රුත් නෙමෙි මෙතැන වැඩ හිටපු ⁣ලොකු හාමුදුරුවො. ( අපි දානෙ බෙදපු තැන වැඩ හිටපු. ඉස්සෙල්ලම දාන ශාලාවට වැඩිය පිළිවෙල අනුව සහ වාඩිගෙන හිටපු පිලිවෙල අනුව තමා මං එතන හිටපු ස්වාමීන්වහන්සේලා ලොකු අයද පොඩි අයද කියල තීරණය කරගත්තෙ.ඉස්සරහින්ම ආවෙ උන්වහන්සේ.) 


මෙි අතර අපේ කොල්ලෙක් එක් වෑංජනයක් බෙදන්න අරන් ගිහින් බෙද බෙද හිටියෙ ටිකක් උස්සගෙන. ඒ වෑංජනය ඔහු බෙදපු ආකාරය වැරදියි. එක පාරටම ජයරත්න එයාට කිව්වා"මල්ලී ඔික පහත් කරල බෙදන්න" කියල. එවිට අර ස්වාමීන් වහන්සේ හිනාවෙලා පාත්තරේ දිහා බලාගෙන ආයෙ දානෙ වළඳන්න පටන් ගත්තා.ආයෙ කිසි විටෙකත් ඒ පැත්ත බැලුවෙ නෑ. 

දානෙ බෙදලත් ඉවරයි. අද අන්තිම දවස. ලොකු හාමුදුරුවො සුහදශීලී කතාවක් කියන්න පටන්න ගත්තා.


ඒ දවස්වල මෙි පළාතේ තිබුනු තත්ත්වය, දැනටමත් යන යුද්ධය, ඒවටත් දායකත්වය දෙන ගමන් අපි විසින් සිදුකල මෙි පුන්‍ය කර්මය ගැනත් උන් වහන්සේ ගොඩක් සතුටු මුඛයෙන් කතාකලා. ඒවගේ ආනිශංස කියල දුන්නා. අපිට ආශිර්වාද කලා. ස්තුති කලා. ඒ අතරේ තවත් අරුම පුදුම කතාවක් කියන්නට උගුර එහෙම පාදලා පටන් ගත්තා. 

"මම අසවල් ස්වාමීන් වහන්සේ. ඔබතුමන්ලා සමහර විට ටීවී එකෙන් මං බණ කියනවත් අහල දැකල ඇති. මගේ ගම මාතලේ අලුවිහාරේ. මම පංසල් දහයක විහාරාධිපති වහන්සේ නමක් කියල පටන් අරන් තිබ්බ තානාන්තර ඔක්කොමත් කිව්වා. උන්වහන්සේ ආචාර්‍ය කෙනෙක්. තානාන්තර දහයකටත් වැඩ් මිසක් අඩු නෑ. අපිත්, සීඔිත් හිටගෙන දැන් කතාව අහගෙන ඉන්නවා එහෙයි එහෙයි කිය කිය. උන්නාන්සෙලත් පිටත්වෙන්න නැගිටල හිටියෙ. 

දැන් අපෙන් අහනවා උන්වහන්සේ" කවුද දන්නවද මාව මහන කලේ?

*නෑ අපේ හාමුදුවනේ. 

උන්නාන්සෙම ටිකක් හයියෙන් ජයරත්නහ් කියල කතා කරා. 

ඌ..නෑ... හැංගිලා.

දෙතුන් පාරක් කතාකලාම 

අත්දෙක ඉස්සරහට බැඳගෙන ඔලුවත් පාත්කරගෙන ඉදිරියට ආව.

ලොකු හාමුදුරුවො ජයරත්නගෙ අතකුත් අල්ලගෙන..


*මෙි තමා මාව මහන කල ගුරු හාමුදුරුවො. මං මෙච්චර වෙලා මෙයා දිහා බලන් හිටියෙ මා එක්ක දැන් කතා කරයි දැන් කතා කරයි කියල. සිව්රු ඇරල හමුදාවට යනව කියල ගියාට පස්සෙ ඔන්න අද තමා හම්බවුනේ. ඒත් අවුරුදු පහලොවකින් විතර.  නිකමටවත් පන්සල පැත්තෙ ආවෙ නෑ. අපිත් එක්ක තරහද දන්නෙත් නෑ නේද පණ්ඩිත හාමුදුරුවනේ" යි කියල ජයරත්න ගෙන් ඇහුවා. ඒත් ඌ හිනාවුනා විතරයි, මුකුත්ම කීවෙ නෑ. 


එදා ඉඳන් අපේ කණ්ඩායමෙි සියළුම ආගමික කටයුතු සම්බන්ධ හැමදේම පැවරුනේ ජයරත්නට. බෝධිපූජා දාන මාන පිංකම් ආදී සෑම දෙයක්ම. එයා හමුදාවට එද්දි "පංඩිත" හාමුදුරුනමක්ලු. අර පංසල් දහයෙම අනුනායක හිමිනමක්. ජයා ගියායින් පස්සෙ සහ ලොකු හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ මෙි පංසල් දහයම බලාගන්නෙ මෙි ස්වාමීන් වහන්සේලු. 


හොඳ වෙලාවට මං ජයාට පිං වල තියෙන ආනිශංස කියා දෙන්න ගිහින් ඇනගත්තෙ නැත්තෙ. පස්සෙ ඌ මට බණ කියාදෙන්න පටන් ගත්තා. අපි දෙදෙනා පැන්ෂන් එනකම්, සහ අදටත් අපි අතර පැවති හිතවත්කම එහෙම්මමයි. 


මං අවසානෙට මෙහෙම කියන්නම්. තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා..


එදා තමන්ගේ රට දැය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන් හමුදාවට එක්වුනු මෙවැනි ස්වාමීන් වහන්සේලා අට පාස්ද?


එවැනි මහා භාර දූර බරපතල  සංග්‍රාම කිහිපයකින් පසුවත් නිදුක් නිරෝගීව තම ජීවන ශක්තියෙන් මෙි දු:ඛිත සංසාරයෙන් සමුගන්නට තතනන මෙි ඔබගේත් මගේත් ජීවමාන ශාස්තෘන් වහන්සේලා නොවෙිදැයි?.


එදා මෙි පිංකමෙිදි, පිනෙහි ඇති ආනිශංස කියා දීමට ගිය සහ, එහෙත් නිහඬව තමාගේ කෙරුම්කාරකම් ගැන ආපස්සට කිය කියා "මං මෙහෙමයි බොලව්" නොකියා නිහඬ පිළිවෙතින් ඉවසූ මෙවැනි චරිත මගේ ජීවිතයේ මුහුනට මුහුන හමුවූ සැබෑ වීරයන් සේමැයි. 


"⁣තෙරුවන් සරණයි අළුවිහාරේ අපේ පඥ්ඥාදස්සි  ලොකු හාමුදුරුවනේ"


මෙ'භවෙහි අප'තර පවතින හිතවත් හෝ සහෝදර කමට, එසේත්  නොහැකිනම්  මතු අත් භවෙක හෝ මට මෙි සංසාරයේ පවතින දු:ඛය සහ භයානකත්වය ගැන කියා දී මාවත්  මෙි භයංකාර සසරෙන් එතෙර කරත්වා...! 


උපන් දේශය වෙනුවෙන් අවි වලින් යුද වැද අවසන නිරුපද්‍රිතව සමාජගතවූ ඔබ වහන්සේටත් මටත් එකම චක්‍රයක් යටතේ තවත් යුද්ධයෙක මෙන් සටන් වදින්නට සිදුවී ඇති මෙි කෙලෙස් යුද්ධය සමග කරනු ලබන සටනයෙහිත් අවසානයක් පෙන්නුම් කරත්වා..!


අවසරයි.


(ඔබ වහන්සේගේ ඉල්ලීම පරිදි ටෑග් නොකලෙමි.)


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.26

No comments:

Post a Comment