Friday, November 20, 2020

සිංහපුර 01

 සිංහපුර 01.


වැලිකන්ද සිංහපුර ගම තියෙන්නෙ හබරණ ඉඳන් මඩකලපු පැත්තට යද්දි වැලිකන්දෙන් වම්පැත්තට කිලෝ මීටර් දහයක් දොලහක් විතර යනකොට තියෙන ගොඩාක් ලස්සන තැනිතලා භූමියක. මෙි පලාත හරිම ලස්සනයි. ගමට පිටුපස්සෙන් බටහිර දිසාවෙන් ඇති සිංහපුර විශාල වැවත්, නිම්න කොටසත්, ඒවායේ අපිටත් වඩා උසට වැවුනු  පන් වර්ග හා කඩොලානක වගේ හැදී වැඩුන පොඩි පොඩි පඳුරු, ජපන් ජබර ආදී ජලජ පැලෑටිත් නිසා දෙඇස් මෙන්ම ඒවාට බෝවුන පන් කුකුලන්ගේ, මොනර,වළි කුකුළ් ආදී පක්ෂීන්ගේ තොරතෝංචියක් නැතිව ඇහෙන කුරුළු නාදයත් නිසා හැම තිස්සෙම අපේ දෙසවන් ඒ මිහිරෙන්ම පිරිල තියෙන්නෙ. ඉඳහිට ඇහෙන අපේ සහ පොලිසියේ වාහනයක් ගමන් කරන ශබ්දයක් ඇරෙන්න මෙි පාරෙ ආවෙ ගියෙ සිංහපුර දක්වා එන ලංගම බසේ රථයේ ශබ්දය පමණයි.


 හුරුළුවැව රක්ෂිතයෙන් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන පාර  පැනල එන වල් අලි රංචුවෙි සාමාජිකයින් සීයක් එකසිය පනහක් විතර මෙි කැලේ හිටියා. තනි අලියෙකුත් මෙහෙ ඉන්නවා. තනි අලියා කියන්නෙ තනියෙන් ඉන්න නිසා මිසක් ඒක කිව්වම හිතට එන දරුණු අලියෙකුගේ චිත්ත රූපය මෙයාට හිමි නෑ. ඌ අහිංසකයෙක්. ඒ දවස්වල භාවිතයේ තිබුනු කොඩැක් 135 කැමරාවකින් මං එයාගේ පොටෝත් අරන් තිබුනා. ඌ සැර නෑ කියල දැනගත්තෙ වගේ වගක් නැතුව උන්දෑ අපි ඉන්න හරියටත් ඇවිත් තණ බුදිනවා හා කීප වරක්ම අපේ අයට මූනට මූන හම්බවෙලත් ඌ උගේ පාඩුවෙි ගිහින් තිබුනු නිසා. මෙි ගම හරහා ත්‍රිකෝණමඩුව දක්වා ඉස්සර ගියපු බස් එක පස්සෙ කාලෙක ත්‍රස්තවාදී කලබල නිසා නවත්තල දාල තිබුනෙ. ඊට පස්සෙ මෙි පාරෙ එන බස් එකේ ගමනාන්තය වුනේ සිංහපුර. මෙි කියන ගමෙි යුධ හමුදා බළඇණි පුහුණු පාසලක් ස්ථාපිත කරල තිබුනා ඒ කාලෙ. ගමෙි තියෙන එකම පන්සලත් යුධ හමුදාවෙි 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් ඉදිකරල පූජා කරන ලද්දක්. මෙි පළාතට සම්පූර්ණ ආරක්ෂාව සපයන ලද්දේ  ත්‍රිකෝණමඩුවෙ පිහිටි හමුදා අණුකණ්ඩයත් සිංහපුර ස්ථාපිත බළඇණි පුහුණු පාසලත් සහ විස්සක විතර පිරිසක් හිටපු පොළිස් මුරපොලෙනුත් වශයෙන්. ගම වටෙිම නිතරම ආරක්ෂක හමුදාවන් ගැවසීම නිසා ත්‍රස්ථවාදීන්ට උනත් මෙි ඒරියා එකට එනවනම් දහවරක් නෙමෙි විසිතිස් වතාවකටත් වැඩිය හිතන්න ඔින කරුණක්. නමුත් මෙි ගමෙි පිහිටි කැලෑ ප්‍රදේශවලදි හමුදාවට ප්‍රහාර එල්ලවුනා. 

උන්ට සිවිල් සහ හමුදා කියල බෙිදයක් නැහැනෙ. අපේ පුහුණුව කාලෙනම් ප්‍රහාර එල්ලවුනේ නෑ. ඒකට හේතුව එහෙන් මෙහෙන් ගිය සාම කට කතාව. 


2003 වසරේ මෙි පුහුණු පාසලට අපේ බළඇණියම තාවකාලිකව ආවෙ බළඇණි පුහුනුව හදාරන්න. උදේ හයයි කාලට ශාරීරික අභ්‍යාස පුහුණුවට පිට්ටනියේ පෙළ හැදීමෙන් ආරම්භ වෙන පුහුණුව කාලසටහනකට අනුව එක දිගටම නිනව්වක් නැතුව දුවල දුවල අවසන් වෙන්නෙ සමහර දවස්වලට රෑ මැදියමත් පහුවෙලා. හැබැයි ගොඩක් වෙලාවට සවස හතට අවසන්. මෙි පාඨමාලාව අවසානයේ  අපිට තාවකාලිකව ස්ථානගත වෙන්න නියමිතව තිබුනේ මඩකලපුව කල්ලඩි කඳවුරේ. ඒ ඊලඟට මෙි පුහුණුව ලබන්න නියමිතව තිබූ 7 ගැහේබ ඒකකය පුහුණුව සඳහා මුදවා හරින්න. 

අපේ ඒකකයත් සාර්ථකව පුහුණුව අවසන් කරලා කල්ලඩිවලට ගියා. ඒක තාවකාලික ස්ථානගතවීමක් නිසා ස්ථිර තැනක් ලැබෙනකම් ඒකකයේ අතිරික්ත බැරැක්ක භාණ්ඩ ඇතුළු විශාල බඩු තොගයක් පුහුණු පාසලේම තිබූ මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලිවල ගබඩාකර ඒවා බලාගැනීමටත් තිදෙනෙක් නැවැත්වූවා. ඒ තිදෙනාගෙන් එක්කෙනෙක් තමා ආරච්චි. ආරච්චිව මෙතන නවත්තලා යන්න තරම්  හේතුවක් ඒ දවස්වල ඔහු අයත් කණ්ඩායමට තිබුනා. ඒ පාඨමාලාව හැදෑරීමෙිදී කරපු නොහොබිනා වැඩ කිහිපයක් නිසා "අලි ගහල හරි ඔිකා මැරෙයිනෙ" කියන ආකල්පයකට අනුව. 


අපේ පුහුණු කාලසටහනට අනුව එදා තිබුනේ රැකසිට පහරදීමට අදාල පුහුණුවක්. මෙික සැලසුම් කරල තිබුනෙ දින දෙකක් පුරාවට පවත්වන්න. ඒ එක තැනක ඉවරවුනාට පස්සෙ තව තැනකට යන්න. ඒ කියන්නෙ ස්ථාන දෙකකට. මෙික ඉවසිම පුරුදු කරන්නත් එක්ක තමා පැවැත්වුනේ. එක සතුරු කණ්ඩායමක් බුද්ධි තොරතුරු අනුව පාන්දර එකත් දෙකත් අතර කාලයේදී එන අතර, ඔවුන්ට ඇපත් නැතිවෙන්න කටින් ඩෝං ගසා විනාශ කිරීම පළමු එක. දෙවැනි එක නිශ්චිත වෙලාවක් නැතුව කොයි වෙලේක කීයට හරි එන සතුරු කණ්ඩායමකට ඔවුන් එන මග රැකසිට පෙර පරිදි කටින් ඩෝං ගසා හා පුහුණු පතුරම් ආධාරයෙන් වෙඩි තබා විනාශ කිරීම. මෙි පුහුණුවීම් දෙකටම අපිට පුහුණු පතුරම් ලැබුනා. අපිව මෙහෙයවපු උපදේශකයින් අතේ පමණක් ජීව උණ්ඩ සහිත අවි කිහිපයක් තිබුනා. 


අපිත් ගියා. ඒ දින දෙකකට අවශ්‍ය සළාක මලුත් අරගෙන. මාව තෝරගත්තේ අපේ කණ්ඩායම භාරව යන ලුතිතන් බණ්ඩාරගේ ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරු හැටියට. මෙිකට මාවම තියා ගත්තේ පනිෂ්මන්ට් එකක් විදියට.  එදා හවස තුන වෙනකම් පුහුණුව ලබල, ඩී කණ්ඩායම වූ අපේ කණ්ඩායමට රැකසිට පහරදීමෙි කටයුත්ත සඳහා වාරය පැමිණ තිබුනා. තුනට පෝලිම් කරල බ්‍රීෆින් කරන කොට ඒ ඒ අංශවලට භට පිරිස් නම් කරනවා. වෙනදා ඉස්සෙල්ලාම ආරච්චිව පෙන්නලා "උබ අතට්ට" කියල කියන ඔිසී, එදා මගේ මුහුන බල බලත් කිසිම දේකට නම් කලේ නෑ. ඔක්කෝම නම් කරල ඉවරවුනාම ඔිසී මට කිව්වෙ"ආලච්චෙි උබ ගීං සෙට්ටෙක ගලිල්" කියල. හුටා. අර දාර ලහුතු බර රේඩියෝ සෙට් එකකට දැං ගහපන්කො කර.


මෙි ඒකට තෝරාගැනීමට අදාල නිදාන කතාව. 

එදා තිබුනෙත් කණ්ඩායම් පුහුණුවීමක්. ඒකත් කැලෑබද සටන් යටතේ තිබුනු පුහුණුවක්. අපිට ස්ථානගත වීමට යන්න තිබුනු පාරේ උපදේශකයින් පිරිසක් කලින්ම ගිහින් අපිට ඇම්බුෂ් කරල තිබුනා. ඒක හොරෙන් කරල තිබුනෙ. ඒකට හේතුව අපි රිලැක්ස් වෙන තැන් පෙන්වා දීල එහෙම වෙන්න එපා. එහෙම වුනොත් මෙහෙම වෙනවා කියල කියාදෙන සීන් එකක්. අපිත් ඒ සීන් එකේ ප්‍රධාන නළුවන් ආකාරයට මෙිවා ගැන හාංකවිසියක ආරංචියක් නැතුව ගම⁣න කරගෙන ගියා. ලොන්ත සයිස් දාර එරමිනියා,කර, කටුරැස්ස,කෝපල් කටු (ලාන්ස් කෝපල් රෑන්ක් එක වගේම සුදුපාට ලොකු කටු ජාතියක්. අපි ඒ දවස්වල ප්‍රයිවට් නිසා ඒවට කිව්වෙ කෝපල් කටු කියල. කෝපල්ලටනම් මල පැන්නා. අපි හිනාවුනා.) පඳුරු තියෙන තැනක තමා ඔවුන් රැකගෙන හිටියෙ. ඒ අපි යන පාරේමයි. අපේ අරමුණ තවත් කිලෝමීටර් තුනක් විතර දුරින් තිබුනු ස්ථානයකට යාම. එදා මං ගාව තිබුනෙ මගේ අවියට අමතරව 60 මිලිමීටර් අවියක බැරල් කොටස (බයිපෝට් සමග.බයිපෝට් කිව්වෙි මෝටාර් එකේ බැරල් එක රඳවන කකුල් දෙකක් වගේ එකක්). මෙිකත් බරයි. අපිත් කතා කර කර යන්නෙ. අවි සද්ද එමටයි. මෙිව කරන්න එපා කියල කලින්ම කියල තිබුනෙ. නමුත් අපි පිළිපැද්දෙ නැත්තෙත් ඒකමයි. මුලින්ම ලෝකෙ ඉන්න සයිලන්ස්ම හමුදාව වගේ එලියට බැස්සට ඒ පිළිවෙල තිබුනෙ මීටර් සීයක් දෙසීයක් විතර දුර යනකම් විතරයි. ඊට පස්සෙ ප්‍රාථමික ඉස්කෝලෙක වගේ සද්දෙ.


 මෙහෙම ඉස්සරහට යද්දි අර කටු පඳුරු ජාති අපිට බාධාවක් විදියට පිහිටා ඇති තැනකදි හිතාගන්නවත් බැරි ආකාරයට සතුරු ප්‍රහාරය එල්ලවුනා. ඒ වගේ දෙයක් වෙද්දි ගන්න ඔින ඇක්ෂන් එහෙමත් අරගෙන අපිත් ප්‍රථිප්‍රහාර එල්ලකලා. ඒ කටින් ඩෝං සහ පුහුණු පතුරම් ඩෝං ආධාරයෙන්. මම කටින් ඩෝං කියන ගමන් පුහුණු වෙඩිත් ඩෝං තියනවා. ඒ මෙිවගෙ තැන්වලට සද්දෙ ටිකක් වැඩිපුර ඔින නිසා. මෙිකෙදි තුවාලකරුවන් නම් කරල නොතිබුනත් ඔවුන් කරන්නෙ අපිව ජීව ග්‍රහයෙන් අල්ලගෙන ගිහින් දවසක් පුරාවට පට්ට, පට්ටසිරි, පුල්පට්ට සහ පටෙි පට්ට ආතල් රැසක් අමු අමුවෙි ලබාදීම. ත්‍රස්ථවාදියෙක් දරුණු හමුදාවකට අහුවුනාම, තමන්ගේ පක්ෂයේ විස්තර නොකියන සතුරකුගෙන්, ඒ තොරතුරු ලබාගන්න උත්සාහ කරන මිලේච්ඡ හමුදා ප්‍රධානියෙක් ඔහුට දෙන වධ ආකාරයට දෙතිස් දඬුවම් ක්‍රමයම මෙවුන්දැලා අපිට දෙනවා. ඊට අමතරව මුන්දැලා හොයාගත්තු පොඩක්ට් ඔප් සී ලැංකන් ක්‍රම වලටත් ආතල් දෙනවා. ගස්වල  කකුල් දෙකෙන් එල්ලලා යටින් මිරිස් පුච්චනවා. නැත්තං ගිනි ගොඩක් ගහනවා. එහෙම එල්ලගෙන ගහනවා. ඒ ගහන එකත් තුවාල වෙන්නම ගහනවා. ඇඟේ නූල් පොටක්වත් ඉතුරු කරන්නැතුව ඔක්කෝම ගලවලා අර කැලේ මැද්දෙ විලාසිතා තරඟ පවත්වනව. ක්‍රීම් වර්ග, සබන් වර්ග විකුනන්න කරන වෙළඳ දැන්වීම් ඇක්ට් කරවනවා. පත්තර කොලෙන් ලන්ෂීට් එකෙන් අඹුඩෙ ගස්සල එක එක ඉරියව් වල පිහිටුවලා දඩ පොලු සංග්‍රහ ලබා දෙනවා.  තුවාල වුනාම මිරිස්කුඩු ගම්මිරිස් කුඩු ලුනු කුඩු ගානවා. මෙිකට කනේ හිටන් සැප අනූනයි. අම්මට සිරි වෙන ආතල් තමා එතන හම්බවෙන්නෙ. ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම වද දීල බාගෙටත් මරල තවත් චුට්ටක් මරල තමා අතාරින්නෙ. ඒ පැය ගානකට පස්සෙ. කන්න බොන්නවත් දෙන්නෑ. රජකාලෙ උල තියනවා හොඳයි, මුන්ට අහුවුනොත් ඊටත් වඩා අමර සැපක් හම්බවෙන්නෙ.


 අපිත් මෙහෙම වෙඩි තියාගෙන ඉන්නකොට අපේ දුර්වල තැනකින් මුන්දැලා ඇතුලට පැන්නා. අපිත් එයාලාට ඉස්සරහට එන්න බැරිවෙන්න සිහි නැතිවෙනකම් කටින් ඩෝන් කියනවා. වෙඩි තියනවා. මොනහ්... බෙිරේන්නම බෑ. උන් ඇතුලටත් පැන්න කියමුකො. අපේ දෙන්නෙක්ව අල්ල ගත්තා. මං හිටපු ඉස්සරහිනුත් ලයින් එක කඩාගෙන මුන්දැලා ඇතුලට පැන්නා. ඒ පැන්නෙ සාසෙ ලේනා වීරසිංහ සහ  බුරුසුවා,ප්‍රොබ්ලම් වීරා, බබා හුකුම් වීරා,බත් වීරා, වයසකයා වැනි අන්වර්ථ නම් රාශියකින් හැඳින්වෙන  අනෙක් සාසෙ වීරසිංහ. (වීරසිංහලම දෙන්නෙක්.දෙන්නම පීටීඅයි. අපේම ඒකකයෙ). මාව අල්ලගන්න ඉස්සරලම පැන්නෙ ලේනා. මං නැගිට්ට ගමන් ටී56 අවිය කරකෝලා උගේ කොන්ද මැද්දටම "දේයි" ගාල එකක් අතෑරියා. ඇයි දෙයියනේ කාටද පුලුවන් අර කලින් කිව්ව සැප ගන්ඩ. වෙනදේ දැන දැනත් හිතකින් පුලුවන්ද මුන්ට අහුවෙන්ඩ. ඒ වැදිච්ච පාරට ලේනා ඉන්දවුනා. ඒක දැකපු බුරුසුවා "අප්පට හුක්" කියාගෙන ආයෙ මාව අල්ලගන්න පැන්නා. ඌත් පනී කියලසැකේට සොට් එක දෙන්න අවිය කරකෝලා ගන්න කලින් පැනපු නිසා මං එක පාරටම නැමුනා.  ඒ නැමිච්චි පාරට අහුවුනේ මං අරං ගියපු මොටාර් අවිය. ඊලඟට ඒකත් අරං එකපාරටම නැගිටලා බත් වීරගෙ ඇඟට  ඒක විසිකරල ක්ෂණිකව පසු බැස්සා. සමහරු හු කියාගෙන පඳුරු උඩින් පසු බසින අතර මට ටිකක් දුරින්, පඳුරක් උඩින්, ප්ලැටූන් කමාන්ඩරුත් වෙිගෙන් පසු බසිනවා වගේ එකකුත් යාන්තමට දැක්කා. මාත් කාටවත් සෙකන්ඩ් වෙන්නැතුව ඇඟේ උපරිම හයිය දාල පසු බැස්සා.  ඒ දුවල දුවල දුවල ගිහින් නැවතුනේ කිලෝමිටරයක් විතර දුරකින්. පස්සෙ අරුන්දැලා අල්ලගත්තු එවුන් අල්ලගෙන ගුටිකන එවුන් ගුටි කාල බෙිරෙන එවුන් බෙිරිල පසු බැස්ස එවුන් හතර අතේ පසු බැහැල හෙන ගිනිවිජ්ජුම්බරයක් වෙලා ඇම්බුෂ්එක නන්නත්තාර වෙලා පැය ගානකට පස්සෙ තමා ආයෙ කට්ටිය එකතුවුනේ. එදා අපේ පහක් අරං ගිහින් තිබුනා. 

ඒත් උපදේශකයින් ගිහින් රිපෝර්ට් කරල අපි ගැහුව කියල. ලේනගෙ කොන්ද ඉදිමිලාලු. ඉතින් මට මොකෑ. මෝටාර් පාර කාපු වීරගෙ තොල පැලිලලු. ඒත් මට මොකෑ. හැබැයි ඒ රිපෝර්ට් එකට අනුව පනිස්මන් ලැබිච්චි එකනං හෙන අවුලක්. ආං ඒකනං ටිකක් රිදුනා. ඒ නිසා තමා මෙි ඇම්බුෂ් එකේදි මාව ඔිසී ලඟින්ම තියාගත්තෙ. ඒ ආයෙ අරුන්දැලාට ගහල පසු බසී කියල වෙන්න ඇති. ගුවන්විදුලි යන්ත්‍රය දාල දුවන්න බෑනෙ.


මෙි වගේ පුහුණුවකදි අපිට ලැබෙන්නෙ එච්එෆ් සංඛ්‍යාත ගුවන් විදුලි යන්ත්‍ර. ඒවගෙන් ෆ්‍රිකොන්සි දන්නවනම් ලෝකෙ එහා කෙලවරට උනත්  කතාකරන්න පුලුවන්. මට හම්බුනේ ඒ වර්ගයේ කූගර්  ගුවන්විදුලි යන්ත්‍රයක්. ඒක එක්ක සළාක මල්ලත් අරං යන්න අමාරුයි. දින දෙකකට සෑහෙන්න වතුර, ග්‍රවුන්ෂීට් එක, මැගසින්, පතුරම්, ගුවි යන්ත්‍රයේ අමතර බැටරි එක්ක සලාක මල්ලත් ඔබා ගත්තම ගොඩක් අමාරුයි. අනික පැක් එකේ එච්චර ඉඩත් නෑ. මාත් ඔිවා අරගෙන යාලුවන්ට දෙන්න පුලුවන් ඒව අරන් යන්න දීල අනෙක් ඒව ලඟ තියාගෙන යන්න සූදානමින් හිටියා. ඒ ඔිසී එනකං. ඔිසිත් ආවා. ඇවිත් ආයෙ මොකක් හරි අමතක වෙලා පැක් එකයි වෙපන් එකයි ගෙනාපු දේවලුයි මං ගාවින් තියලා ආයෙ මෙස් එකට ගියා. ඒ ගිහින් ආවෙ විනාඩි පහලොවකින් විතර. සර් ආවට පස්සෙ ගමන් ඇරඹුනා. දැන් යනව. හවස හතරට යන්න තිබුනෙ. අපි ගියේ පහට විතර. සැලසුමට අනුව කලින්ම කතා කර ගත්තු තැනකට ඇවිත් අපි රෑට සලාක ආහාර වෙිලක් සකසා ගත්තා. මට එයාටත් එක්ක හදන්න කියල ඔිසී කිව්වා.මාත් ඔිසීගෙ සලාක මල්ලෙන් නූඩ්ල්ස් පැකට් එක අරං ඒකට සැමන් ටින් දෙකම කඩල දැම්මා. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකයි, දුංතෙල් බත් පැකට් එකයිත් ඒකට දාලා තව තව දාන්න පුලුවන් දේවලුත් ඔක්කොම දාල කලවම් කරල  අන්තිමෙිට තේ සළාකෙ සීනි ටික දාන්න හදල, ඒක නොදා පස්සෙ රට ඉඳි පැකට් එකම දාල හැදුවා සුපිරි ආහාර වෙිලක්. 

ඔිසී:-

*බොකද්දෝයි තවුසේ  බෙි හදල තීඩ්ඩෙ. බිරිස් ගොඩෙි පැඩි රහ බනෙ එල්ලේ ඔියි. 

ඒ කිව්වෙ මිරිස් සැරත් එක්ක තඩි පැණි රහක් එනවලු.

 මාත් "කරුවලේනේ" කියල නිකා හිටියා.

*ලෑ.ලෑ. තෝ බෙික කැ%@&$ කබට කෙලේ. හිටාං.මං හෙට අල්ල ගල්ලංකො.කෙලෝලොව තොට.

මාත් පට්ට කරුවලේ බොහොම අමාරුවෙන් ඔහොම හරි හදල දුන්නම මදෑ.

කොහොම හරි ඔිසී මෙික මිරිස් රහයි පැනි රහයි කියල අතෑරියෙ නෑ. මං අඩ තරු එලියෙත් දැක්කා ඇඟිල්ලත් මෙස්ටින් එකේ  අතුල්ලල ගුණම කොටසත් හූරගෙන කනවා. 

සර්ට ඒක හදල දීල මාත් හදාගෙන කාල ඉවර වෙලා නියමිත වෙලාවට ආයෙ ගමන ආරම්භ කලා. දැන් යන්නෙ හෙන කුඹුරු යායක් දිගේ. ඒ යද්දි මට ඇහුනා "බ්රූම්ම්ම්.. පට් පට්.. ගාල සද්දයක්. ඒත් එක්ක ඔිසී පස්සෙන්ම යන මා දිහාට හැරිල "ඇයි" ඇහුව. මං සද්ද නැතුව හිටියා. ආයෙ චුටි දුරක්.

"ඩ්ර්ර්ර්ර්ර්ම්.. ටක් ටක් පූක්" ආයෙ ඔිසී පස්සට හැරිල මංදිහා බලල "ඇයි" කියල ඇහුවා. ඒත් එක්කම ආවෙ හෙන පට්ටම පට්ට ගඳක්. ඒක හරියට බ්ලුමැන්ඩල් පාරෙ කුනු කන්දෙන් හමනවා වගෙ ගඳක්මයි. මං ආයෙ සද්ද නැතුව හිටියා. ආයෙ චූටි දුරක්. ඒකනං විනාඩි පහක විතර හෙන ගහන්නා වගේ ලෑන් මාස්ටර් එකක් ඉස්ටාර්ට් කරන සද්දේ තරම් හෙනම හෙන දිග පඩයක්. ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ම්ම්ම්ම්.. පට් පට් පට් පට් ටස්ටස් ටුස් පූඌඌක්... පුෂ් පුෂ් පුෂ්.

බුදු අම්බෝ මං විඳන දුකක්.

ආයෙත් සර්..

*"ඇයි?" 

*හෙන ගඳයි නේහ් සර්...??

*උබ රට ඉඳි දැම්මලං ඉවසං වරෙන්.ප&යා.

මාත් අර තොටලඟ මුඩුක්කු පේලියක එකෙක් වගේ අන්තිමෙිට ඒ ගඳට හුරුවෙලා ඉවසගෙන සර් පස්සෙන්ම වැටුනා.

ඒ ගමන නැවතුනේත් නියමිත තැනමයි. අපි ඇම්බුෂ් එක දාද්දිත් අර සද්දෙයි ගඳයි දෙදරන්න නාහෙ මුල ඉඳන්ම එනවා. ඇයි ගුවන්විදුලි යන්ත්‍රය ඔිසී ගාවම තියෙන්නෙපැයි. කොහොම හරි මට ඇහුනා සතුරා ඇවිත් අපිට ගහද්දි සර් අවි දෙකකින්ම වෙඩි තියනවා. දෙකෙන්ම එන්නෙ ගඳ නිසා පාඩුවෙි හිටියා. 

ඩ:හ්ර්ර්ර්ර්රර්ට්ට්... ටීක්, පෝඔිඕඕඕක්...පූඌඌඌක්... ලෂ් ලෂ් ලෂ් ටුක් ගාල එක සද්දෙයක් ඇහුනා. එහෙම දිගට යන ඒවා පට්ටම ගඳයි. සැමනුත් දෙකක්ම කාලනෙ. 


ඊලඟට ඒකත් ඉවරවෙලා පාන්දර හය වෙනකං ගිහින් ආයෙ නැවතුනා. ඒ උදේ කෑම එක හදාගන්නයි තේ එක හදාගන්නයි. සර් මට ඒ දෙකම භාරදීලා පැක් එක ගලෝලා ඒක අස්සෙන් අතදාල එයාගෙ රෙෂන් මල්ල දීල ඊලඟට පැක් එක ඔලුවට තියාගෙන ටිකක් ඇලවුනා. ඊලඟට තමා මාර කේස් එක පටන් ගන්නෙ. 

මං කැරකි කැරකි ඉන්නකොට සර්.

*ඇයි උබ හදල්ලැද්ද?

*හදනවා සර්.

*ඒනං හදාපං ඉක්මලට.

*සර්. පැක් එක දෙන්නකො.

*ඇයි පැක් එක. මං උඹට රෙෂල්ලෙක දුල්ලෙ.

*හා හා සර්. කියල මං සර්ගෙ එක හැදුවා. මගේ එක හැදුවෙ නෑ. 

*ඇයි උබ කල්ලැද්ද.

*කන්නත් ඔින සර්.

*එහෙලං ඉක්මනට හදාගලිල්.

*සර්... පැක් එක දෙන්නකො. 

*ඇයි බොකටද මගේ පැක් එක??

*මගේ රෙෂන් මල්ලත් ඔිකෙ ඇත්තෙ..සර්  කිව්ව විතරයි...  එක පාරටම නැගිටල එයාගෙ පැක් එක අල්ලල වීසික්ක කරලා මට බනින්න පටන් ගත්තා. 

*තෝලම් මහ ගොල් ප&%ක් යකෝ.. උඹ ඔිසීගෙ පැක් එකේද එතකොට උබෙි රෙෂල් මල්ලත් පැටෙව්වෙ.එතකොට මං තොගේ එකත් එක්කද මෙච්චර දුරක් අරං ආවෙ බරයි කිය කියා. ඈ යකෝ කිය කිය බනිනවා. හොඳ වෙලාවට වතුර බෝතලේ ගැන කිව්වෙ නැත්තෙ. එහෙනං එතන දෙකක් වෙනවා. 

පස්සෙ මං සද්ද නැතුව ගිහින් පැක් එක අරන් ආව. එතකොටත් බනිනවා. ඇවිත්  මගේ ටික අරං කෑම හදල ඉවරවෙනකනුත් බනිනවා. කනකොටත් බනිනවා.යන කොටත් බනිනවා. එනකොටත් බනිනවා. නවතිනකොටත් බනිනවා. ඒ මදිවට අමු සැමන් පඩ ගඳ. 


ඇම්බුෂ් එක එන්න පටන්ගද්දිම ස්කූල් එකේදි මොකක් හරි අමතක වෙලා ඒක ගේන්න පැක් එක මගේ ලඟින් තියල සර් ආපහු ගියපු වෙලාවෙ  හීන් සැරේ මගේ රෙෂන් මල්ලයි වතුර බෝතලේකුයි සර්ගෙ පැක් එකට දැම්මා. මුළු රැයක් පුරාවට සර් ඒකයි මගේ වතුර බෝතලෙයි කරේ තියාගෙන අමාරුවෙන් ගියෙ..සර්රුත් "වෙනදට වඩා පැක් එක බර වැඩීනෙ අයිසෙ" කියද්දි මං මොකක් හරි එකක් කියල ඒක අමතක කොරෝනවා..මං ගුවන්විදුලි යන්ත්‍රය විතරක් කරේ දාගෙන ගිහින් නියමිත පුහුණුව අවසන් කරල ආවා.එදා ඉඳන් සර්ගෙ අහලකටවත් මාව ගත්තෙ නෑ. ලුතිතන් බණ්ඩාර කියන්නෙ මගේ හිටපු සෙක්ෂන් කමාන්ඩර් කෙනෙක්. පස්සෙ කමිෂන් ගිහින් තමා ඔිසී වුනේ. ඒ හිංදම මට වෙඩි තිබ්බෙ නෑ.

 ඒ සර් මට තව දවසක් හෙන ආතල් එකක් දුන්නනෙ. 

එක දවසක් සර්ගෙ කාමරේට කූඹි රිංගල. ඇඳේ මෙට්ටෙ  කූඹි ගුලක් වගේ. ඒ තරං. මං උදේ දහයට විතර පයිල් එක්කුත් උස්සං ඔෆීස් එකට යද්දි සර් කාමරේ අස් කරනවා. ඒ වෙලාවෙ සර් මෙට්ටෙ අරන් එලියට එද්දි මම;


* ගුඩ් මෝනින් සර්, ඇයි සර් මෙි?

*කූබි රිග්ගල බං. මෙට්ටෙ හිටං ජරා සත්තු..

*ඔව් නේස්සර්.. මාර කූඹි ඉන්නෙ සර්

 කන්නෙත් ඉන්ජෙක්සන් ගහනව වගේ නේස්සර්.. මාත් පුදුමෙන් වගේ ඇහුවෙ.

*ඔි බං. මෙි මෙට්ටෙ හිටං මෙි..බලපක්කො..

*ඔිකට සර් මෙට්ටෙ අව්වට දාල විතරක් හරියන්නෑ..  

*එහෙලං?

*මෙට්ටෙ බිමට දාල මුලු හතරට කෙලින් බිමට සීනි ටික ටික දාන්න..

*එතෝට බුං යයිද බං??

*අනිවාරෙන් යනව සර්.. සීනි කන්ඩ කුඹි ටික බැස්ස ගමන් සද්ද නොකර මෙට්ටෙ උස්සල වෙන තැනකින් දාන්න සර්.. එතකොට උන්ට ආයෙ මෙට්ටෙ හොයාගන්න බෑ. කියල මං යන්න ගියා. මට ඇහුනා සීනි ටිකක් ගෙන්නන්නද කොහෙද සර් බඩියට කතා කරනවා. මං වෙිගෙන් කැපිල ගියා. 

හරියටම හවස තුනට මට ඔිසීගෙන් පණිවිඩයක්. මාත් ගියා. 

*එස්කියුස් මී සර්...

*කව්දහ්??

* තාම ප්‍රයිවට්ටාරච්චි සර්..

*ආ තෝ කොහොබත් මැරෙලකං පයිවට්ටාරච්චි තමා. ⁣වල් මුසලයා. වෙි&@ගෙ පුතා.. ගස් ලබ්බා, හිකනලයා,වල් ඌරු රජා.. තෝ බොකද්ද මට උදේ මෙට්ටෙට කරල්ඩ කිව්වෙ..ආයෙ කියාපම් බලල්ඩ?

අම්මටසිරි පත්තුවෙලා කියහල්ලකො. 

මං නිස්සද්දව හිටියා. සර්ගෙ බඩියා කුමාරනායකයා මුල්ලක ඉඳන් හක හක ගගා හිනාවෙනවා. නිරපරාදේ මං මගේ බුද්ධියත් විකුනල ඒකටත් බැනුම් අහල අහල

*දැප්පල, නලියා, මගෙ දෑහැට නොපෙනී තොට කෝබත් නිර්දේශ දෙල්ලෑ, කෝපල් එක අඳිල්ල..කිව්වට පස්සෙ සැලියුට් එකකුත් ගහල එන්න ආව. 



ඉවර නෑ....

ඊලඟ කොටසට...


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.20

No comments:

Post a Comment