Tuesday, November 10, 2020

කල්කුඩා බෝට්ටු සවාරිය

 කල්කුඩා යනු සීතල කඳවුරක්. මෙි මුහුදේම කොටසක් වූ පාසික්කුඩා ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්නේ සිත් ගත් නාන තටාකයක් වගේ, ඒත් විශාල සහ රැළි නොනගින නාන්න කන්න බොන්න ආතල් ගන්න කියාපු තැනක්. 


අපිත් මෙි කඳවුරේදි හැමදාම උදේට නැගිටින්නෙ මඩකලපු පැත්තෙන් අත්තන මලක් වගේ කහ පාටට හිරු රාජයා ලා හිරු කිරණ විහිදුවාගෙන  දවස ආරම්භ කරන හැටි බලාගෙන. නිමක් නැතුව "හෝඔිඔිඔි..ස් දඩාස් රලාස් පුස් පුස් පුස් සෝස්ස්ස්ස්.. චට්ට්ට්ටාටාටාස්ස්ස්" සද්දෙන්  අඩි ගානක් ඉහලට නැගල එන රැල්ල,  වෙරලෙ වැදිල ආපහු මුහුදටම ගසාගෙන යන්නෙ හරියට ජීවිතේ ගැන  පාඩම් ගොඩක් කියල දෙන්නා වගෙ ලස්සනට. අලි බැලිල්ලයි මුහුද බැලිල්ලයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ කියනවනෙ.  අපිත්, විශේෂයෙන් මමත්, නිකන් ඉන්න වෙලාවල් වලට කරන්නෙ මුහුද දිහා බලාගෙන මනෝ පාරක් ගහන් ඉන්න එක. ඒ මනෝ පාරවල් ඔස්සේ කල්කුඩා මෙි මහ මුහුද හරහාම කැනඩාව, නවසීලන්තය, ඔිස්ට්‍රෙිලියාව,ඇමරිකාව වැනි ලස්සන රටවල් වලට සිය දහස් වතාවක් නම් ගිහින් ඇති. නැව් සිය ගණන් පදවන්න ඇති.  කඳවුරු ජීවිතය සහ බැරැක්ක ජීවිතය කියන්නේ වෙනමම ලෝකයක්. ඒ ලෝකයට ආයෙ කදුරුවෙලින් එහා ලෝකයක් එකතුවෙන්නේ මාස දෙක තුනකට විතර සැරයක්. මෙි මුහුද අපිට පාඩම් ගොඩක් කියල දෙනවා. මට හිතට වදින වැදගත් පාඩමක් කියා දුන්නේ සුගන්දිනීගෙ ආදරේ ගැන. සුදු නෙළුම් පුෂ්පයත් ගොඩ මානෙල් පුෂ්පයත් කවදාවත් එකට පෑහෙන්නෙ නෑ කියන එක මට කියාදුන්නේ මෙි ගොඩ මානෙල් පාරාදීසයේ රළු මුහුද. ඒකට හේතුව සුදු නෙලුම් වතුරෙත්, ගොඩ මානෙල් ගොඩබිමත් පිපෙන නිසා වෙන්න ඇති. මෙි වෙද්දිත් මම සුගන්දිනීගෙ මතකයෙන් ඈත් වෙලා නෙමෙි හිටියෙ.  ඇය මගේ හිත අස්සෙම හැම තිස්සෙම හිටපු කාලයක්. හැමදාම ඉර බහින වෙලාවට ඈත මුහුදේ ක්ෂිතිජයෙන් සුගන්දිනීගේ අරලිය මලක් වැනි ලස්සන මුහුන මතුවෙලා, මගේ හිත ඇතුලට ඇවිත් ලස්සන ලස්සන දඟකාර සුරතල් කතා කියනවා. ඒ සිතුවිලි ඔස්සේ දින පොත පිරෙන්නම කවි ගොඩාක් ලියැවුනා. 


සුදු සඳ රැසින් නැහැ වෙනවිට මල් පොකුරූ

නිල් තරු උනත් බබලයි තව දී රුසිරූ

සත්සර අතර රඟ දෙන විට පද මියුරූ

මගෙ හද මඩලෙ කවියක් වූයේ කව්රූ


ඒ සුගන්දිනී ගැන, කවියක එළිවැටක් එළිසමයක් නොදන්න කාලෙක ලියැවුනු කවි පංතියකින් එකක් විතරයි. 


කාටත් හොරෙන් අංජූරුවා ටොපියක් කාලා ඒ වගේ මනෝ පාරක් හෙම ගහනවනම් සුපිරි තැන තමා මුහුදු වෙරල. හැබැයි රෑට කන් අගුලු වැටෙනවා සීතලට. හෝ හෝ සද්දෙන් නිමක් නැතුව කනේ වදින හුලං පාර නැත්තං මුහුද කියන්නෙ රෑට දිව්‍ය විමානයක් වගේ. ලස්සන ගැන නෙමෙි කිව්වෙ. ඒ තරමට මෙතන අපේ ජීවිතයත් එක්ක බැඳිල තියෙනව. හඳ පායන දවස්වලටනම් අපිට පුදුම ඇම්මක් තිබුනෙ මුහුද දිහා බලාගෙන ඉන්න. හැබැයි මෙි මුහුද කොච්චර ලස්සනවුනත් කල්කුඩා කඳවුර අවට මුහුදනම් හරිම භයානකයි. ඒකට හේතුව මෙි හරියෙ තියෙන ගල් සහ මුහුදෙ තියෙන දියවැල්.

 ගල් කිව්වෙ ඉස්සර ගොඩ බිම පිහිටි ගල්, වෙරළ ඛාදනයට ලක්වෙලා දැන් ඒවත් මුහුද වෙලා. රැල්ල සැරයි. මුහුද ගැඹුරුයි. අපි කවදාවත් මෙි මුහුදෙ බැහැල අඩි හය හතකට වඩා දුර ගියෙ නෑ. 


ඒ කාලෙ මෙහෙ නේවි එකෙන් හිටියෙ නෑ. අපේ ප්ලැටූන් එකෙන් තමා මුහුදු සංචාරයත් ආවරණය කලේ. 40HP ඇංජිමක් තියෙන ඩිංගි බෝට්ටුවක් සෑම පැය හතරකට වරක් මුහුදෙ කරක් ගහනවා. අපි කිලෝ මීටර් ගණනාවක් දුර ⁣ගිහින් ලොකු වටයක් ගහල නිරීක්ෂණ සංචාරයත් සම්පූර්ණ කරල ගොඩ බිමට එන්නෙ "ආයෙනං, ඔළුවෙ පන තියන කං බෝට්ටුවෙ යන්නෑ" කියල හිතාගෙන. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. එකක්, රැල්ලත් එක්ක මුකුත් බෑ. අනික තමා පැද්දෙන පැද්දිල්ලට මුල් දවස්වලනම් නොනවත්වාම වමනෙ ගියා. අනික අවුව. හම දැවිල්ල අල්ලනව මෙි අවුවෙ රවුමක් ගිහින් ආහම. 

නේවි එකේ අයට එහෙනම් කොහොම ඇද්ද කියල තර්ක කරන්න එපා. එයාලාට ඒවට පහසුකම් තියෙනවා. නමුත් අපිට තිබ්බෙ කොට කලිසමයි,ටීෂර්ට් කෑල්ලයි, ගොඩ බිමට ආව ගමන් ඊලඟ රාජකාරියයි විතරයි. මෙි රවුමක් ගිහින් ආව කියල අපිටනං විවෙිකයක් ඇත්තෙම නෑ. ආයෙ කොහෙ හරි රාජකාරි තමා. විශේෂයෙන් අපේ ප්ලැටූන් එකට. 


එදා ඇති උදේ නවයට විතර.  සී පැට්‍රෝල් එක තිබුනෙ උදේ දහයෙ ඉඳල දවල් දෙක වෙනකං. ඔය පැය හතර ආවරණය කරන්න එදා තෙන්නකෝන්, රත්නසිරි,හේරත් සහ සුරේන්ද්‍ර නම් කරල තිබුනා. බෝට්ටුව පදවන්නෙ රත්නසිරි. මෙි දවස්වල මුහුද අවදානම් වෙන හේතු දෙකක් තිබුනා. එකක් තමා වාරකං. අනෙක මෙි දවස්වල හඳුනා නොගත් කුඩා බෝට්ටු කිහිපයක් රෑට රෑට සහ සමහර දවස්වල දවාලට කව්රුත් නොසිතන වෙලාවල්වලට ⁣ඈත මුහුදෙන් ගමන් කරනවා කියල නිරීක්ෂණය වී තිබීම. අනෙක ධීවර ට්‍රෝලර් වුනත් මෙි ප්‍රදේශයෙන් යනවනම් ටිකක් ඈතින් යන්නෙ. එක්කො මෙි බෝට්ටු කොටින්ගෙ ඒවා. නැතිනම්, තහනම් ව්‍යාපාර කරන ඒවා. දවස් ගානක් මෙි බෝට්ටු එන පාරවල් රැකගෙන හිටියත් අපේ බෝට්ටු තියෙනව කියල කොහොම හරි දැනගෙන ආයෙ ඒ අහලකින් එන්නෑ. ඒවා අල්ලනවනම් එකම විකල්පය තමා හඹා යෑම. උපදෙස් ලැබිල තිබුනෙත් ඒ විදියට. 


මෙි කතාව වෙන දවසෙත් ඒ වගේ බෝට්ටුවක් යනව දැකල දහයට පටන් ගන්න තිබුනු සංචාරය නවයට ආරම්භ කිරීමට සූදානම් වුනා. එක ඩිංගි බෝට්ටුවක් ගියාම තව එකක් ගොඩබිම සීරුවෙන් ඉන්නවා. ස්ටෑන්ඩ් බයි බෝට්ටුවෙ හිටියෙ ලාකෝ බංඩාරත්, කණ්ඩ භාර සැරයන් විදියට කටයුතු කරන කෝප්‍රල් ප්‍රසාද්, ඇතුළු තවත් දෙන්නෙක්. අපි ගොඩබිම. එදා ඔිෆ්. 

ඒ වෙලාවෙ පැවති වාතාවරණය අනුව ඉතාම ඉක්මනින් රාජකාරියට සූදානම් වුනු පලවෙනි ඩිංගි බෝට්ටුව අපි ඔක්කොම එකතු වෙලා ලහි ලහියෙ මුහුදට දියත් කලා. අශ්ව බල 40ක වෙිගයෙන් ක්‍රියාත්මක මෙි බෝට්ටුව ගමන් කරද්දි නැපිය තියෙන්නෙ උඩමයි. ඒක ආයෙ පහලට වැටෙන්නෙ බෝට්ටුව නවත්තපුවම. අපි මුහුදට බෝට්ටුව තල්ලු කරපු විගස ඒ නැපියට ගොඩවුනේ එල්එම්ජී අවියකින් සන්නද්ධ තෙන්නකෝන්. අනෙක් දෙදෙනා බඳ දෙපසෙත් ක්‍රියාකරු පිටුපසත් වශයෙන් ඉතා වෙිගයෙන් ගල් මගහරිමින් වෙට්ටු දමමින් බෝට්ටුව  ඉදිරියට ඇදීගියා. අරමුණ සැක සහිත බෝට්ටුවක් හඹා යාම.


අපිත් ගොඩ බිමට වෙලා මෙි යන බෝට්ටුව තිතත් වශයෙන් පෙනී නොපෙනී යන තුරුම බලා හිටියා. අනෙක් ඩිංගිය වතුර කිට්ටුවටම තල්ලු කරලා හදිසියක් වුවහොත් දියත් කරන්නට සූදානමින් තැබුනා. අපි මෙි දෙස බලා හිටියෙ වැල්ලෙ බිම ඉඳගෙන. 


පැය භාගයකට විතර පස්සෙ ඒ ගිය බෝට්ටුවෙන් ගොඩබිමට ඇමතුමක් ලැබුනා. එයින් කියවුනේ සැක සහිත බෝට්ටුව පසුපස හඹා යද්දී ආ විශාල රැල්ලක හැපුනු බෝට්ටුව විසිවී ගිහින් නැපිය උඩ එල්එම්ජී අවියත් එක්ක හිටපු තෙන්නකෝන් මුහුදට විසිවී ගිහින් වැටුනු කතාවක්. ඒ රැල්ලෙ හැපුනු බෝට්ටුව අඩි ගණනාවක් විසිවී ගිය බවකුත් කියැවුනා. ඒ පණිවිඩය ලද සැනින් දෙවැනි බෝට්ටුවත් දියත් කෙරුනා. අපි ගොඩ බිමට වෙලා ඔලුවෙ අත තියාගෙන දෙවියන් යැද්දේ කිසිම කෙනෙකුට අනතුරක් අන්තරායක් සිදුනොවෙිවා කියා ප්‍රාර්ථනා කරමින්. පස්සෙ ගිය බෝට්ටුවට කණ්ඩ භාර නිළධාරි තුමත් නැග්ගා. සැරින් සැරේ ගොඩබිමට ආ පණිවිඩවලින් කියවුනේම තාම තෙන්නකෝන් හොයනවා කියල විතරයි. අපිත් විනාඩියෙන් විනාඩියට තොරතුරු අහනවා.  ඊට පැය භාගයකට විතර පස්සෙ ගිය දෙවැනි බෝට්ටුවත් පලවෙනි බෝට්ටුව තියෙන තැනට ගිහින් තිබුනා. ඒ ගැඹුරු මුහුද. නමුත් බෝට්ටු දෙකේ ක්‍රියාකරුවන් දෙදෙනා ඇරෙන්න අනිත් සියළුම දෙනා මුහුදට බැහැල පිහින පිහින තෙන්නකෝන් හොයන්නට කටයුතු කරල තිබුනා. ඒ අතර තුර තව කෙනෙක් අතුරුදහන් වෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බෙිරගෙන ඔහුවත් බෝට්ටුවට දාල තිබුනා. 


මෙි ආකාරයට හවස් වෙනකනුත් තෙන්නකෝන් පිළිබඳ කිසිදු තොරතුරක් නැති තැන කට්ටියම ගොඩ බිමට ආවා. එදා කඳවුර අපිට මළ ගෙයක් වගේ. කව්රුවත්ම කෑවෙ නෑ. අපි දවල්ටත් රෑටත් දෙකටම කෑවෙ නෑ. කන්න බෑ. අපිට මැවි මැවී පෙනුනේම තෙන්නකෝන් බිලට් එකේ තමන්ගෙ ට්‍රන්ක පෙට්ටිය අදිනවා අදිනවා වගේ. ආයෙ කතා කරනවා වගෙත් ඇහුනා. ඇවිදිනවා හිනාවෙනවා වගෙත් ඇහුනා. ඒකට දෙතුන් දෙනෙක්ම රැවටිලත් තිබුනා. අපි රෑ එළිවෙනකන්ම මුහුදට බැන බැන මුහුද දිහා බලාගෙන හිටියා. ඉන් දවස් කීපයකට පස්සෙ ඉදිමී නරක් වෙන්න පටන් අරන් තිබූ තෙන්නකෝන්ගේ සිරුර කඳවුරට ටිකක් දුරකින් වෙරළට ගොඩ ගසා තිබුනා. 

එසේ තවත් එක් සෙබළෙක් තෙරක් නොපෙනෙන ගැඹුරු මහමුහුදේ දිය කඳක් එක්ක පොර බදමින් බැරිම තැන තම අවසන් හුස්ම මුහුදු වතුරේම දියකර හරිමින් පතුලේ සැඟව ගිහින් තිබුනා. 


තෙන්නකෝන් මුහුදට වැටී තිබුනේ එල්එම්ජී අවියත් එක්කමයි. කුමක් හෝ හේතුවකට ඔහුට කරේ දමාගෙන තිබුනු රයිෆල් පටිය අවිය සමග ගලවා දමා උඩට එන්න බැරිවෙච්චි හේතුවක් තියෙන්න ඇති. නැතිනම් ලයිෆ් ජැකට් එක දාගන්න අමතක වෙන්න ඇති. ආසන්න වශයෙන් එල්එම්ජී අවියේ සහ පැක් එකේ බරට ලයිෆ් ජැකට් එක ඔරොත්තු නුදුන්නා වෙන්නත් පුලුවන්. (මමවත් බෝට්ටුවෙි යද්දි ලයිෆ් ජැකට් එක නොදැමූ අවස්ථා ඔිනෑ තරම් තිබුනා. ඒක දාගෙන ගමන ආරම්භ කලත් මගදි ගලවනවා.) මොකද වැව් වල එගොඩ මෙගොඩ පීනූ ඔහුට මුහුදු දිය ⁣මතු පිටට ඒමට නොහැකි වෙන්න කිසිම හේතුවක් තියෙන්න බැහැ. හැබැයි මෙි හරියෙ දියවැලක් තියෙනවා කියල අපිත් ටිකක් විතර දැනගෙන උන්නා. ඒ දියවැලට තමා තව එක්කෙනක් හසුවෙලා ගහන් යන්න ගිහින් අමාරුවෙන් බෙිරාගෙන තිබුනේ. කාට හරි කොතනක හරි වැරදීමක් වෙලා කියලනම් කියන්න පුලුවන්.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.10

No comments:

Post a Comment