Friday, November 6, 2020

පාලි අයියා

 මෙි වාලච්චෙින පාලම් පොයින්ට් එක. 


ඒ දවස්වල හමුදාවෙ අපි පොලිසියෙ ලොකු අයියලත් එක්ක තමා මෙි පාලම  මවක මෙන් පියෙකු මෙන් රැක බලාගත්තෙ. ඒකට හේතුව බැරිවෙලාවත් මෙි පාලම බ්ලාස්ට් කලොත් මඩකලපුව තනි වෙනවා. කෝච්චි පාරත් තාර පාරත් එකට තියෙන ලංකාවෙ දෙවෙනි පාලම. මෙි තමා අපේ ප්‍රධාන සැපයුම් මාර්ගය.


ඔික ඊට කලින් දෙතුන් පාරක් බ්ලාස්ට් කරන්න ඇවිත් ඒ ආපු ඈයො  හරී පිලිවෙලට කාල ගියා කියන්නෙ වඩදිය බා දිය දාන කලපු  වතුරේ මළ සිරුරු කීපයක්ම පාවෙන්න ඇරලලු.  ඒ නිසා අපිත් බොහොම පරිස්සමින් තමා මෙික බලාගත්තෙ. මෙතන රාජකාරි ඔක්කොම වගේ කරන්න තියෙන්නෙ පොලිසියත් එක්ක. හැබැයි ඒ පොලිස් කිව්වට හමුදා පුහුණුව ලත් අය. ආර් පොලිස් කට්ටිය. මෙයාලා අපිත් එක්ක ගොඩක් හිතවත්. කලින් කතාවක කිව්වනෙ රත්නායක රාලහාමි දුන්නු ආතල් එකක් ගැන. ආං ඒවගෙ. මෙි වාලච්චෙින පොලිසියෙ හිටියා මගේ ලඟම ඥාති සහෝදරයෙක්. නෑදෑ කමින් මස්සිනා. මං ඒ දවස්වල එයා මෙි පොලිසියෙ ඉන්නව කියන්න දන්නෑ. එක දවසක් මං සන්නද්ධ රථයක රාජකාරි වැඩකට කල්මාඩු යද්දි මෙයා දෙබල් තුවක්කුවකුත් කිහිලි ගන්නගෙ⁣න මාර්ග සෝදිසි කිරීමෙි යෙදෙනව. ඒක දැකපු මම වාහනේ නවත්තවගෙන බැහැල ගිහින් කතා කලා. එතකොට තමා දන්නෙ පොරත් මෙි පොලිසියෙ ඉන්නෙ කියල. ඒත් අපි ටික කාලයක් යනකම්ම කාටවත් කිව්වෙ නෑ සහෝදරයො කියල. 


මං කඳවුර ඇතුලෙ ඉද්දි එයත් එක්ක අදහස් හුවමාරු කරගන්නෙ රේඩියෝ සෙට් එකෙන්. පොලිසියත් එක්ක කමියුනිකේෂන් තියෙන සෙට් එකක් එතකොට අපේ කඳවුරේ තිබුනා. 


මෙයාගෙ නම උපාලි. තවත් මස්සිනෙක් හිටියා අපේ. ඌත් උපාලි. අපිත් පොඩි කාලෙ ඉඳලම "ඒ උපාලි, බී උපාලි " කියන්නැතුව වැඩිමලා උපාලි, බාලයා පාලි කියල තමා හැඳින්නුවෙ. ඒ උපාලි අයියා සහ පාලි අයියා කියල. පාලි අයිය තමා වාලච්චෙින පොලිසියෙ හිටියෙ. 


ඔහොම ඉද්දි මං ආව පාලම් පොයින්ට් එකට. ඒ එන දවසෙ මං සෙට් එකෙන්ම කියල ආවෙ පාලමට එනවා කියලා. එදා හවස හතරට විතර පාලි අයියා මං ඉන්න තැනට ආවා. ඇවිත් මමම හදාදුන්නු තේ එකත් බීල, කතා බස් කරල, එතන හිටපු පොලිසියෙ අය එක්කත් කතාකරල, මාවත් හඳුන්වල දීල තමා ගියේ. මෙි පාලිගේ තවත් විශේෂත්වයක් තියෙනව. ඒ තමා මගේ, මට වැඩිමල් අක්කත් එක්ක මෙයා යාලුවෙලා හිටියෙ. නෑනා සහ මස්සිනා. අපේ කව්රුවත් මෙි සම්බන්ධෙට අකමැති වුනේත් නෑ. තව අවුරුද්දකින් විතර අක්කට රජයේ රැකියාවකට පත්වීමක් ලැබෙන්න තිබුනා. ඒකත් අරගෙනම බඳිමු කියල තමා ටිකක් කල් ඇර ඇර හිටියෙ. ඒ හන්දම පාලි අයියත් මා එක්ක වඩා වැඩි හිතවත් කමක් තිබුනා. අපි නිවාඩුවකදි හම්බවුනොත් බෝතලේ ගහන්නෙ එකට. ඒ ගහපු දවසට දෙන්නගෙන් කව්රුවත් ගෙවල්වල යන්නෑ. කොහේහරි ගෙදරක නිදාගන්නවා. 


අපේ අම්මලාට අනුව පාලි කියන්නෙ දේව දරුවෙක්. අරක්කු බිඳක් කටෙි තියන්නෑලු කියල හෙන ආඩම්බරෙන් අක්කව දකින දකින පාරට අම්ම කියනවා. ඒ වුනාට ඌ බොන්නෙම මා එක්ක. සිගරට් එකක් කටෙි තියන්නෑලු. පපුවට අත තියල කියන්නෙ, මූ තමා මටත් සිගරට් බොන්න පුරුදු කලේ. කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන්නෑ. ඒකනං ඇත්ත. ඒකටනං මාත් සාක්කි. මෙිකා ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඇස් කොනෙන් බලල බලල , ඩෑල්ලෙකක් ඇහැ දුන්නොත් නුහුරු ඇහැ ඇරගෙන හුරු ඇහැ උන්ඩි කරල පෙන්නල තමා ඒකි දිහා බලන්නෙ. ඒවට වල බහින්ඩ යන්නෙත් මා එක්ක. එහෙම එක දවසක් ගිහින් ඌ ඒකට ට්‍රයි, මං ඒකිගෙ නංගිට ට්‍රයි. කියන්නම ඔින. මෙි හැමෙිකක්ම ජොලියටම තමා. 


එක දවසක් පාලි අයියා මං ඉන්න පොයින්ට් එකට ඇවිත් එක පාරටම සාජන් ඉන්න හට් එකට රිංගුවා. ඊට පස්සෙ දෙන්නම මට හොරෙන් මොනාද මන්දා ගහක, ඇඟිලි පහ වගේ වෙච්චි වෙිලිච්චි කොල වගයක් අරගෙන සඳරේණු පත්තර පිටුවක දාගෙන මොන මොනවද කරා. ඒකට අත් උදව් දුන්නෙ අපේ සාජන් සිසිර. මෙි දෙන්නා මට අහලකටවත් එන්න දුන්නෑ. මාත් සහෝදරකමටයි සීනියර් කමටයි සලකල රසම රස ටී එකකුත් වක්කරගෙන දෙන්නම හිටපු සාජන් ගේ හට් එකට අරන් ගිහින් දුන්නා. ඒ යද්දිම එක පාරටම උන්ඩි කරපු සහ ඉරපු හිස් ගෝල්ලිප් පෙට්ටියක් මගේ කන ගාවින්ම "ස්ලිද්..රීන්.." ගාගෙන පියාඹලා ගිහින් වැටුනා. දෙන්නම ඇඳේ ඉඳගෙන කතා කර කර හිටියෙ. මං ගියාම "ටී එක ඔතනින් තියල පලයන්" කියල සාජන් ටිකක් සැරෙන් කිව්වා. මාත් ටී එක තියල එලියට ආව. එහෙම ටික වෙලාවක් ඉන්නකොට සාජන් එළියට ඇවිත්, අපි උදේටයි හවසටයි අතුගාල ගොඩ ගහන කොහොඹ කොල ගොඩට අමු කොහොඹ ඉති කීපයකුත් කඩල දාල ගිනි තිබ්බා. ඒ ගිනි දාල ආයෙ හට් එක ඇතුලට ගියා. මෙි අමු කොල පිච්චෙන ගඳ, මටනං අමුතු නැවුම් සුවඳක් ගේන්නෙ. ඊට පස්සෙ අර ගිනි ගොඩට වඩා දුමක් සාජන්ගෙ හට් එකේ කව්ලු අතරින් තෙරක් නොපෙනෙන අහස්තලය බලා පාවී පාවී යනව දැක්කා. ඒවා රවුම් රවුම් වෙලා කැරලි වශයෙන් පාවුනේ. මෙි මුකුත් නොදන්න මම, ඒ දුම මොකද්ද කියල තේරුම්ගන්න උත්සහ කර කර හිටියෙ. සාජන් දන්නැතුව බිත්තියට හෙවිල්ලල තියෙන පොල් අතු වලට ගිනි අරන්ද දන්නෙත් නෑ කියල හිතුනා. මොකද පොර හිටපු ගමන් සිගරට් එක බිබී ඉන්නකොට නිදාගන්න හිතුනොත් නිදාගන්නවා. ඒ වගේ නිදා ගත්තු දවසක පොල් කොල වලට ගිනි ඇවිලිලා මමමයි වතුර එකක් ගහල නිව්වෙ. ඒ වතුර පාරට සාජන් නෑවිලා මාත් කන් පිරෙන්න හුප්පදේ අහගෙන හිටියෙ. මෙි වෙලාවෙත් මට වතුර එකක් ගහන්න නොහිතුනාමත් නෙමෙි. ඒත් එයා දැන් සාජන් කෙනෙක්නෙ. ආයෙත් වතුර ගහල  හුප්පදේ අහගන්න ඔින නෑනෙ කියල හිතුනු හන්ද දෙන්නම අඟුරු වෙලා ගියත් දුවනවා මිසක්, මළත් වතුර ගහන්නෑ කියල හිතාගත්තා. මමත් රේල් පීල්ල උඩට වෙලා ඉඳගෙන හිටියෙ පාලි අයියා ඇවිත් මා එක්ක කතාවට වැටෙන කම්. මට සල්ලී කීයක් හරි ඉල්ල ගන්නත් උවමනාව තිබුන නිසා පාඩුවෙි හිටියා. 

ටිකක් වෙලා ගියාම සාජන් මට කතාකලා.

*ආරච්චෝහ්හ්හ්..

*ඔි... සාජන්..

* මෙි මග් දෙක ගිහින් තියහං මල්ලි..කූඹි වහනවා.. කිව්වා.

මාත් මග් දෙක ගේන්න හට් එක ඇතුලට ගියා. ඒ යද්දි පාලි අයියා "දඩස්" ගාල අතේ තිබුනු දෙයක් හංග ගත්තා. ඒ වුනාට ඒකෙන් එන දුම් පාර නවත්තන්න බෑ. ඇඳ පල්ලෙන් දුම් එනවා. ඒවත් අර අමුකොල පිච්චෙන සුවඳමයි. මටත් හෙන පෙහේලිකාවක්. මාත් පාලි අයිය දිහා බලල, "පොල් අතු ගිනි ගනී යකෝ" කියල කිව්වම පොර ආසියාවෙම ඉන්න අහිංසකය වගේ ඇස් දෙකත් හීං කරල මා දිහා බැලුවා. බලල හිනාවුනා.

මං ආපහු එද්දි සාජන් පාලි අයියට කියපු එක දෙයක් මගේ සවන් පුරා ඇහිල මට මං ගැනම මහා ආඩම්බරයක් ඇතිවුනා. ඒ කතාව අදටත් මගේ කන් අස්සෙ නින්නාද දෙනව.


*ආරච්චා හොඳ කොල්ල බං. මටත් නැති වුනාම ඉල්ල ගන්නෙ උගෙන් තමා. 


එදා ඉදන් මම තමා පාලි අයිය ආවම කොහොඹ කොල ගොඩට අමු අතුත් කඩල දාල ගිනි තියන්නෙ. පොර එනකොට මට සෙට් එකේ කියල අහල තමා එන්නෙ. එතකොට මාත් හොද උකුවට රහට කහට පදමට දාල සුපිරි ටී එකක් ගහන්න ලෑස්ති කරනවා. මංම තමා ගල් කෝපි වල රහ පාලි අයියට හුරුකලේ. 


කාලයත් අපිට හිතා ගන්න බැරි වෙිගයකින් දින සති  මාස වශයෙන් ගෙවී ගිහින් මාස අටක් පමණ ගතවුනා. එක දවසක් තුනට විතර පාලි අයිය මට සෙට් එකේ කතා කරා. 


*ඔබ ඩියුටිද,ඇතුලෙද ඔිවර්??

*ඇතුලෙ. එනවද මෙි පැත්තට ඔිවර්.??

*ඔව්. වෙනද වෙලාවට ඔිවර්..

*රොජර් ඔිවර්.. එන්න. බලාගෙන ඉන්නෙ. ඔිවර්..

*ඔි.කේ. රොජර්... ඇන්ඩ් අවුට් ඔිවර්.

*රොජර් ඔිවර්


එදා හවස තුන වෙද්දි පාලි අයිය ආව. ඒ ආවෙත් බාගෙට වෙිලිච්චි කොල මිටියක්ම අරන්. මටත් දුන්නා. සාජන්ටත් දුන්නා. දීල පොර කතාවට වැටුනා. මම නෙස්ටමෝල්ට් දෙකකුයි හවස තේ බොද්දි කන්න ගෙනාපු වියන් රෝල් දෙක්කුයි දුන්නා. මාත් එකක් කාල ටී එකත් බිව්වා. පස්සෙ අපි ගොඩක් දේවල් කතා කලා. එතකොට මෙයාගෙ වෙඩින් එකට තව මාස පහයි දවස් ගානක් තිබුනෙ. ඔක්කෝම ලෑස්ති කරල, දින පවා නම් කරල තිබුනෙ. අපි දෙන්න වැඩි පුරම කතා කලේ ඒ ගැන. අපේ ප්ලෑන තිබුනෙ එකසිය පනහකට වෙඩින් එක කියන්න. මගේ යාලුවො දහයයි, පොලිසියෙන් ටිකක් වැඩිපුරයි. එතකොට පොලිසියෙ එච්ඔිඅයි සර්රුත් මගේ හිතවතෙක් වෙලා හිටියෙ. ඒ පාලි අයිය මාර්ගයෙන්. මෙි සේරම කතා බස් කරල අමතක වෙයි කියල වැදගත් අදහස් කීපයකුත් පාලි අයිය ලියා ගත්තා. මෙයා හැමදාම මාව හම්බ වෙන්න එන්නෙ සිවිල්. එයාට එදා පහ, පහමාර වෙද්දි යන්න ඔින කිව්වා. ⁣ඒ පොලිසිය ඇතුලෙ පාටියක් ඇරේන්ජ් ⁣කරල තිබුනු නිසා. මෙයා රාජකාරි කලේ සීඑස්යූ බ්‍රාන්ච් එකේ. ඒක පොලිසියෙ ඉන්ට් එකලු කියල කිව්වෙත් එයාමයි. හිටපු ගමන් රෑ දහයටත් මෙි පාරෙ පුට් සයිකලේ පොර යනව. එහෙම යද්දි මං කතා කරන්නෑ. එයා කතා කලොත් විතරයි කතා කරන්නෙ. 

ඒ පාටිය හිංද පාලි අයිය ඉක්මනින් ගියා. ඒ ගිහින් හරියටම හතට පොර ආයෙ පුටාර් එක පැදගෙන ඇවිත් මං ගාවින්ම නැවැත්තුවා. 


*එකියක් ඇරස්ට් කලා බං. මෙි ඉන්ෆොමෙිෂන් එකකට යන්නෙ. ටක් ගාල එනව.

මාත් "පරිස්සමින්" කියල යැව්වා. ආයෙ හතහමාරට ආපහු ආව. වැඩිය කතා කලේ නෑ. පාටියට පරක්කු වෙන නිසා. කොත්තුවකුත් අරන් යන්න ඔින කිව්ව නිසා ඉක්මනින් ගියා. 


රෑ නවයට විතර කාවත්තමුනේ හජ්ජියාර් මුදලාලි ආව. පොර මගේ හොඳම හිතවතෙක්. අනිවාරයෙන්ම කතා කරල යන්නෙ. 

පොර ඇවිත් මා ගාවින් තැපැල් නයින්ටිය නැවැත්තුවා..

*ආහ්.. හත්ගියර් මුදලාලීඊඊඊ

*ආමාම් ෂේර්.. කෝමද ඉතිම්

අපිත් කතා කලේ ගනන් කරන්න පුලුවන් වචන කීපයක් විතරයි. එකපාරටම 

*ෂේර් දන්නවද, වාලචෙින පාරෙ, හෙන මිනිෂ් ගොඩ. යෙන්ඩම බෙි. මාත් පෝම පෝම අමාරුවෙන් තමා ආව.

*ඒ මොකෝ..

*පොලීෂියෙ ෂේර් කෙනෙක්ට පිස්ටල් ගාල. එතනමයි ෂේර්.. පාවුම් ආ.. පරිෂ්ෂමින් ශේර්..ලත් ආ..

*එව්ව හරි මුදලාලි. මෙිකෙන් රෝස පොකුරු නෙමෙිනෙ යන්නෙ කියල මං ටී 56ටත් තට්ටුවක් දාන ගමන් කිව්වා.

*යේක ටුවක්කුවෙන් හෙම පශ්ණ විෂඳන්ඩ බෙි ශේර්. මොළ යෙක ඔින. පරිෂ්ෂමින් ඉන්න. මා යන්නං.

*කොයි වෙලාවෙද සීන් එක වෙලා තියෙන්නෙ.

*මෙි දෙන් ශේර්. මාත් එතන තමා ඉදල ආව. කව්රුත් කිට්ටුවෙන්නෑ. ලඟට

*හරි මුදලාලි. තෑන්ක්ස් ආ...

 ඒ කියන්නෙ වාලච්චෙින පොලිසියෙ රාලහාමි කෙනෙක්ට පිස්ටල් ගෘප් එකෙන් ගහල. පාලි අයියටනං අවුලකුත් නෑ. පොර පාටියෙනෙ.

මං ඔික ගිහින් සාජන්ට කිව්වා.

සාජන් කිව්වා "ටක් ගාල කෝකටත් කතා කරල අහපන්. පාලියට මොකද කියල". ඌ ඔය පැත්තෙ යනව කියල හවස කිව්වා.

මාත් පොලිසියෙ තියෙන සෙට් එකට සම්බන්ධවෙන චැනල් එකට ගිහින් විස්තරේ ඇහුවා.


*මොකක් හරි ඔබලගෙ සිදුවීමක් තියෙනවද ඔිවර්??

*තියෙනවා. ඔබ කව්ද ඔිවර්??

*අහවලා. කියන්න පුලුවන්ද සිදුවීම ගැන. ඔිවර්

*කොස්තාපල් විජේරත්නට පිස්ටල් කරල ඔිවර්.

*විජේ රත්න කිව්වෙ කොයි එක්කෙනාද ඔිවර්??

*බුලත්කොහුපිටියෙ එක්කෙනා ඔිවර්

*ආර් ***39 අංකෙද ඔිවර්.??

*රොජර් ඔබ හරි ඔිවර්.

මට කෑ ගැස්සුනා. ඉන්නෙ කොතනද අමතකවුනා. හෑන්ඩ් සෙට් එක අතෑරුනා? මට මතක සාජන් සිසිර මං ගාවට දුවගෙන එනව විතරයි.


"හත් දෙයියනේ.... පාලි අයියා..."

*යකෝ පාලියද?? 

මට හිතාගන්න බැරිවුනා. කරන්නෙ මොකද්ද කරන්න ඔින මොකද්ද කියල හිතාගන්න බැරිවුනා. එවිටම සාජන් ඇතුලට විස්තරේ කියල මාත් එක්ක එතනට යන්න අවසරය ඉල්ලගත්තා. අපි දෙන්නම හජ්ජියාර්ගෙ ගෙදරට දුවල ගිහින් තැපැල් නයින්ටිය ඉල්ලගෙන ඊලඟ තත්පරේ  දෙන්නම එතනට ඉගිල්ලිලා ගියා. 


වාලච්චෙන ඔිට්ටමාවඩි පාරේ හෝටලයක් ඉස්සරහ පිස්ටල් ගෘප් එකෙන් වෙඩි තියල මරාදාපු  මගේ ආදරණීය මස්සිනා, පාලි අයියා, අරක්කු සිගරට් නොබොන පාලි පුතා, හිඟන්නෙක් වගේ පාර මැදම උඩු බැලි අතට වැටිලා.දකුණු අතේ පිස්ටල් එක. වම් අතේ ආගස් වර්ගයේ හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක්. කඩෙි මුදලාලි කිව්ව විදියට පාලියි වෙඩි තියපු එකයි අතර ෂොට් හතර පහක්ම හුවමාරු වෙලා තියෙනව. කඩෙි වීදුරු ශෝකේස් එක කුඩු වෙලා තිබුනෙ. වෙඩි වැදිලත් පාලි උන්ට වෙඩි තියලා. පිටි පස්සෙන් මෙිසන් බාස් කෙනෙක් විදියට හිටපු එකා බෙිරෙන්න බැරිම තැන පොල්ලකින් ගහල වැටුනට පස්සෙ ලඟට ඇවිත් නලලටම වෙඩි තියලා. එතන හිටපු එච්ඔිඅයි සර්ට පාලිගෙ අතේ තිබ්බ ග්‍රෙනේඩ් එක අරන් දුන්නෙ සාජන් සිසිර. පහුවදා උදේ තමා පාලි අයියව එතනින් ඉස්සුවෙි. එතකං මගේ ආදරණීය සහෝදරයා පාර මැද හුස්ම නැවතිලා වැටිල.


එච්ඔිඅයි මාර්ගයෙන් තමා සිදුවීම ගෙවල්වලටත් දැනුම් දුන්නෙ. මට බෑ ඔිව කියන්න යන්න ගෙදරට. එයාගෙ අවසන් කටයුතු සිදු කරන වෙලාවෙ නැන්දා මාවත් බදාගෙන ඇඬුව. මටත් ආපහු එන්න දුන්නෙම නෑ. මාත් දවස් හතරක් වැඩිපුර ඉඳල තමා ආපහු කෑම්ප් එකට ආවෙ. 


ඔක්කොම දහතුනක් හමුදාවෙ සහ පොලීසියෙ හිටපු අය අතරින්  දෙවෙනියට  රට වෙනුවෙන් ජීවිතය පූජාකලේ පාලි අයියා. පළවෙනියා පූනරින් වලදි. තව තුන් දෙනෙක් සක්‍රීය සේවයේ ඉන්නවා. ඒ පොලිස් එකයි, එස්ටීඑෆ් එකයි. ආමි එකයි. පැන්ෂන් තුනයි. ඇබ්සන්ට් එකයි. එස්ටීඑෆ් එක්කෙනාට මෙි වෙද්දි කොරෝනා හැදිල රාජගිරිය කඳවුරෙන් කුණ්ඩසාලේ අරන් ගියා කියල මීට දින තුනකට කලින් කෝල් එකක් දුන්නා.


අන්තිමෙිටම පිස්සියෙක් වගේ හිටපු අක්කා, ඊට අවුරුදු කීපයකට පසු දෙවන මනමාලය එක්ක විවාහ වෙලා අද සැපවත් පවුල් ජීවිතයක් ගත කරනවා. ඌ මගෙන් බැනුමුත් අහනවා. පොලිසියෙන් දඩ කොලයක් දුන්නොත් ඌ තමා වැඩිපුරම කුනුහරප අහන්නෙ.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.08

No comments:

Post a Comment