Thursday, November 26, 2020

සිංහපුර 03

 සිංහපුර 03


අපේ ඒකකයේ ආරම්භයේ ඉඳන්ම විශ්‍රාම යන තෙක්ම හිටපු වෙනත් ඒකකයක එක් සාමාජිකයෙක් හිටියා. ඒ සාසෙ සිල්වා. සන්නාලි වෘත්තීය තමා එයාගෙ ජොබ් එක. හොඳ බොක්සින් ක්‍රීඩකයෙක්. එක තරඟයකටයි සහභාගි වෙලා තිබුනෙ, ඒකෙනුත් නිල්වෙන්නම කාල හක්ක පනින ලෙඩක් මෙයාට තිබුනා. හයියෙන් ඈනුමක් අරින්න බෑ. හක්ක පනිනවා. හයියෙන් කහින්න, කෑ ගහන්න බෑ හක්ක පනිනවා. සිංහපුර ඉද්දි එක දවසක් සැන්ටින් පාරක් දාල කෝපල්ල එක්ක හොරෙන් බීල, මොකක් හරි වෙලා මෙයාගෙ හක්ක පැනලා. 

"යහෝ..වහෙ හහ්හ පැහ්හා..වාව ඉහ්පිහිතාහෙ ඈන් පලෑන්, හහ්හ පැහ්හා, හහෝ.. හුහ්හෝ හහ්හ පැහ්හා" කියල හයියෙන් කෑ ගහනකොට හොරෙන් බීපුවත් මාට්ටු වෙලා, ඒකටත් හෙන කේස් එකක් ගිහින් කෝපල්ල ආර්එස්එම්ගෙන් ගුටිත් කාලා තිබුනා.  කෝපල් සිල්වා ඒ කියල තියෙන්නෙ එයාගෙ හක්ක පැන්නා ඉක්මනින් ඉස්පිරිතාලෙ අරන් පලයන් කියලා.  අපි සීන් එක දන්නෙත් පහුවදා.එතකොට මෙයා ලාන්ස් කෝප්‍රල්. අපේ ඒකකයට පුදුම ආදරයක් තිබුනෙ. සම වයසේම කොල්ලොනෙ ඒ වෙද්දි අපේ ඒකකයේ හිටියෙ. එයා ගැන කියනවනං පොතකුත් ලියල තව චුට්ටකුත් ලියතෑකි. ඒක ආරංචිවෙලා දවසක කෝපල් සිල්වගේන්  "හෝහල්, හොයි හහ්හද පැහ්හෙ" කියල අහන්න ගිහින් රෙදි කප කප හිටපු කතුරෙන් මට දමල ඇරල ඒක බිත්තියෙ වැදිල කැඩිල ආයෙ හයසිය ගානක් අතින් දීල අළුතෙන් කතුරකුත් ගේන්න වුනා. ඊට පස්සෙ මට තහනම් කරල තිබුනෙ ටෙිලර් ශොප් එක පැත්ත පළාතට එන්න. 


අපිට පාඨමාලාව මැද්දක් යද්දි වාර්ෂික නොමිලේ නිකුත් කිරීම් ලැබුනා. ඒ නිකුත් කිරීම් වලට ටවල්,බූට් සපත්තු,මෙිස්,නිළ ඇඳුම්, කැන්වර්ස් සපත්තු ආදිය ලැබෙනවා. ඒවා අපිට ලැබුනේ වර්ෂය මුල. ඒකට හේතුව මෙි පාඨමාලාව හදාරද්දි නිළ ඇඳුම් ඉරෙනවා, පේඩ් වෙනවා, මිසින් වෙනවා. මිසින් වෙනවා කිව්වෙ හෝදලා වැලේ දාපුවම ඒකෙ ඇස් දෙකම එල්ලල ආවත් ඒකටත් හොරෙන් උස්සනවා. මෙි වගේ කෝස්වල මැජික් කාරයො කොහොමත් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔය ප්‍රශ්ණ නිසා අපි කියල තිබුනෙ තව නිළ ඇඳුමක් තිබුනොත් හොඳයි කියලා. ඇත්තටම මං මෙි කෝස් එකටත් ඇන්දෙ අවුරුදු හතරක් විතර පරණ, හිතේ තිබුනු වෙන කෝස් එකක් කරද්දි භාවිතයට ගන්න තිබ්බ එකක්. ඉස්සර හමුදාව දුප්පත්. මාසික වෙිතනය හස්බවුනාම අපි ඒකෙනුත් කරන්නෙ අවශ්‍ය කරන නිළ ඇඳුම් ආදිය ගන්න එක. හමුදාව දුප්පත් උනාට අපි ලස්සනට ඇඳල පැළඳල ඉන්නව. පාඨමාලාවට ඇන්ඳ මගේ නිළ ඇඳුම් තුනෙන් එකක් ගැන තමා අර කිව්වෙ අවුරුදු හතරක් විතර පරණයි කියලා. ඒත් ඒක ඉස්සෙල්ලම ඇන්ඳෙත් පාඨමාලාවටමයි. 


එදා අපිට පුහුණුවට තිබුනේ වෙඩි තැබීම. ඒ මීටර් 25 දුරදි අවිය සීරුමාරු කරල, එතන ඉඳන් මීටර් 50,100,200 දුර ඉඳන් ඉලක්කපතට වෙඩි තැබීම.  අපි රියන්ෆෝස් ඒකකයක් වුනාට හමුදාවෙ ඉහලින් අපිට සැලකුවෙි සේවා ඒකකයක් විදියට. ඒ පාලන කටයුතුවලදී විතරයි.ඒ දවස්වල නැගෙනහිර ක්‍රියාන්විත සම්බන්ධව හැම දේකටම පෙරමුණ ගන්න වුනේ අපේ ඒකකයට. 


එදා වෙඩිතැබීමෙි පුහුණුවෙිදී ඒක භාරව කටයුතු කලේ එවකට ලුතිතන් ගමගෙදර. මගේ වාරයත් ආවා. 

ඊට පස්සෙ අවියත් අරන් ගිහින් සීරුවෙන් ඉඳලා වෙඩිපිටි නියෝග අනුව හැසිරිලා වෙඩි තියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ තිබුනේ ඉරියව් තුනක පිහිටා වෙඩි තැබීම.ඒ බිම දිගාවී,දනහිසෙන් ඉඳගෙන සහ හිටගෙන (PRONE,KNEELING& STANDING). මෙි වෙඩිතැබීම කරන්න තියෙන්නෙ ටයිමින් වලට. ඒ කියන්නෙ එක ඉරියව්වකට තත්පර කිහිපයක කාලයක් දෙනවා. ඒ කාලය ඇතුලත වෙඩි තියල අවසන් කරන්න ඔින. මමත් පළමුව බිම දිගාවී ⁣ඒ ඉරියව්වට ලැබෙන  උණ්ඩ ප්‍රමාණය නියමිත කාලය තුල වෙඩි තියල, ඊලඟ ඉරියව්වට ආවා. ඒ එද්දි "බ්රාස්" ගාල ශබ්දයක් ආවා. මට දැනුනා වෙච්චි හදිය. යුනිෆෝම් කලිසම ඉරුනා හරියටම දාරෙ දිගේ. ඒත් මං කිසිවිට ඉරියව්ව වෙනස් නොකර වෙඩි තැබුවා. ඉරුනේ කොතනින්ද,ඉන්නෙ හෙලුවෙන්ද යටින් හුලන් වදිනව නේද කියල මට අදාල නෑ, හිටපු විදියටම ඉඳගෙන ගත්තු කුරුමාණමෙිම ඉඳගෙන වෙඩි තැබුවා. මමත් තව තිදෙනකුත් ඒ තුනට අමතරව වෙනම ඉරියව්වක ඉඳන් වෙඩි තැබීම කරනවා. ඒ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා. එහෙම ඉඳගත්තම ඒක දැකපු ලුතිතන් ගමගෙදර "ආරච්චි, අවුලක් වෙලා නේද?" කියල ඇහුවත් මං හිස හොලවන්නැතුව තනි ඇහෙන් එතුමා දිහා බලල ඒක නෑහුනු ගානට ඉඳගෙන මගේ වැඩෙි කරගෙන ගියා. මොකද ගත්තු කුරුමාණම වෙනස්වුනොත් ආයෙ ඊට පෙර උණ්ඩ වැදිච්චි තැන්වලට ඊලඟ උණ්ඩ පතිත කරවන්න කීයටවත් බෑ. ඒක ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාවෙන් පුහුණු වූවක් සහ වෙඩි තැබීමෙිදී න්‍යායක්. ආයෙ කලිසම දිහා බැලුවෙ රපෝර්තුවත් අවසන් කරල එතනින් විසිර ගියාටත් පස්සෙ. ඊට පස්සෙ ප්‍රථමාධාර ආපු මෙඩිකල් ඔර්ඩ්ලිගෙන් තුවාලවලට අලවන දඩ සයිස් ප්ලාස්ටරයක් ඉරුණු තැනට ඇතුලෙන් පලු දෙක එකතු කරල අලවගෙන තමා දවසම දිව්වෙ. ඒ වගේ දෙයක් උනාම ගන්න අමතර නිළ ඇඳුම් අපි ගාව තිබුනෙ නෑ. ඒ ඔක්කෝටම තමා පාඨමාලාව මැද්දෙ අරහෙම නොමිලේ නිකුත් කිරීම් ලැබුනෙ.


මෙි නිළ ඇඳුම් ලැබිච්චි දවස මහ මූසල දවසක්. තාම හිතාගන්න බෑ එහෙම වුනේ ඇයි කියලා. සුපුරුදු පරිදි එදාත් හවසත් ලුතිතන් බණ්ඩාර කට්ටියම පෝලිම් කරල ගැටළු විමසද්දි අපි කීප දෙනෙක් කිව්වා අළුත් යුනිෆෝම් එක හදාගන්න ටෙිලර් ෂොප් එකට යන්න ඔින කියල. ඒකට මටත් තව එක්කෙනෙකුටත් අනුමැතිය ලැබුනේ එතුමගේ යුනිෆෝම් එකත් එක්ක කෝපල් සිල්වට හදන්න ගිහින් දෙන අවසරයත් එක්ක.  අපි දෙන්නාත් සර්ගෙ නිළ ඇඳුමත් අරගෙන ටෙිලර් ඉන්න තැනට ගියා. 

ඉස්සෙල්ලම අපේ ඒව දීල, අවශ්‍ය මිම්මත් දුන්නම සර්ගෙ යුනිෆෝම් එකත් මහන්න කිව්වා කියල දුන්නා.

ඒක දුන්නම කෝප්‍රල් සිල්වා,


*එහෙම මහන්න බෑනෙ බං, සර්ගෙ මිම්ම ඔිනෙ. නැතිනම් අඳින යුනිෆෝම් එකක් හරි ඔින.

*ඔයත් අහන දේවල් කෝප්‍රල්, සර්ගෙ මොන හැඩයද්ද කෝප්‍රල්. මාරි පෙට්ටියක හරි සල්ලයිට් පෙට්ටියකට හරි මිම්ම අරන් කැමති විදියට මහනව මිසක්. 

එහෙම කියද්දි කෝපල් සිල්වා මුහුනේ ඉරියව්වලින් සන් කර කර මට මොකක් හරි කිව්වා. ඒක නොතේරුනු මං හිතුවෙ ආයෙ කියපං කියනව වගෙ එකක් කියනව කියල.

ආයෙත් මං;

*හරි හරි කෝපල් පොරගෙ හරි හැඩයක් තියෙනාද අනේ. හරි හතරැස් බුවානෙ. ඔන්නොහෙ බඩට ටිකක් වැඩිපුර ඉඩතියල අනික්වා මහන්න. හෙට ඔින කිව්වා ඈ. ඔිසීගෙ එකට කලින් මගේ එක මහන්ඩ ඈ.. කියනකොටම එකපාරටම ඇජුටන්, කෝපල් සිල්වගෙ රූම් එකෙන් එළියට ආව. සර් කැන්ටිමෙන්  සිගරට් එක අරගෙන ඒක බොන්න එන්නෙ මෙතෙන්ට. මට දෙවියන් සිහිවුනා.

*මොකද්දෝයි තවුසෙ කීවෙ. 

නිහඬයි.

*ආයෙ කියනව බලන්න මොකද්ද කිව්වෙ කියල. හිටහංකො මං ඔිසීට කියන්න සර් නැතිතැන කතාකරන්නෙ එහෙමයි කියල. කාල වරෙන්කො.

 ආයෙ කියපු එකක් ඇදල ගන්න කියලද. කිව්වෙ නෑ කියන්නද. එයා ගිහින් ඒක අපේ සර්ට කියල හෙන ගිනිවිජ්ජුම්බරයක් එතන වුනේ. රෑම උසාවියට කැඳවල බත් එපා වෙන්නම කන් පිරෙන්න කිව්වා. හැබැයි ඊට වඩා හොදයි කියල හිතුනා ඇජුටන් ඒ වෙලාවෙම මට ගැහුවනං. වෙන මුකුත් හිංද නෙමෙි, ලුතිතන් බණ්ඩාර බනින කාලය අනුව තොල් තුවාලවීමෙි වැඩි ප්‍රවනතාවයක් තියෙන නිසා. ඒ හිනාවෙන් නැතුව ඉන්න තොල් හපාගෙන ඉඳල.

96 අවුරුද්දෙම වෙච්චි දෙයක් මෙි.  මමයි කොඩිතුවක්කු කියල තවත් මගේ බැචෙක් එක්ක කැන්ටිමෙන් සිගරට් එකකුත් අරං සෙක්ටර් 03 මැද්දෙ තියෙන බංකරේකට රිංගුවෙ කාටත් හොරා මෙික බොන්න. අහුවුනොත් අපිට බඩුම තමා. අපි දෙන්නා රටක් රාජ්‍යයක් දිනුව වගේ සිගරට් එකයි, ගිනිපෙට්ටියයි අරගෙන බංකරේට යද්දි තුන් හතර දෙනෙක් බංකරේ ඇතුලෙ සිගරට් පත්තු කරගෙන ඩබල් එකේ අදිනවා. මං සිගරට් බොන්නෙත් නෑ, කොඩියගෙ තනියට ගියෙ. 

අපිව දැක්ක ගමන් ඒ අය සිගරට් එක හංගගත්තා. ඇත්තටම අපි ඒ තුන් හතර දෙනාව දැක්කෙත් එදාමයි. 

ඒ සිගරට් එක හංගනවා දැකපු මම හිතුවෙ අනිත් රෙක්කෘට් බැච් එකේ කට්ටියක් කියල. ඒත් අපේම බැච් එකේ, ගජබා රෙජිමෙින්තුවෙ පුහුණුවෙලා ආපු අය. එයාලත් හිටියා අපිත් එක්ක. 

ඊට පස්සෙ මං විහිලුවට; "හා හා මං දැක්කා, උඹල කොහොමද හමුදාවෙ සිගරට් බොන්නෙ?" ඇහැව්වා.

එකෙක්;

*අනේ කෝපල්, ආසාවට එකක් බිව්වෙ.

*ආසාවට සිගරට් බොනාද හු&@තො?

ගනියව් තියෙන ඔක්කොම එලියට...

තව එක සිගරට් එකක් එක්කෙනෙක් සාක්කුවකින් ඇදල ගත්තා.මාත් උන්ට හෙන ලෙක්චර් එකක් දීල,ඒ සිගරට් එකත් අරගෙන හවසට ලෙමන් පප් එකකුයි සිගරට් පහ ගානෙයි අරං හම්බ වෙයව් කියල උන්ටික යැව්වා. 

රෑ හතට විතර අපේ ඔක්කොටම එන්න කියල කොප්‍රල් බණ්ඩාර පණිවිඩයක් එවල තිබුනා. අපිත් ගියා. යද්දි අරුන්දැලත් ඉන්නවා කෝප්‍රල් බණ්ඩාරත් එක්ක. අනිවාරයෙන්ම ආයෙ සිගරට් බීල කෝපුල්ටම මාට්ටුවෙලා. අනික මුන්දැලා මාව හම්බවෙන්න ආවෙත් නෑ. අපිත් ගියා ලඟටම. මං හිතුවෙ අපිටත් අහුවුනානේද කියල සාක්ෂි අහයි කියල. ඒත් වුනේ වෙන දෙයක්.

*කව්ද,මෙි කෝපල්ලට සිගරටුයි ලෙමන් පපුයි අරං හම්බ වෙන්න කිව්ව ගස්ගෝනා??

"මොකක්, කෝපල්ලා., අපි එහෙම එකක් දන්නෑනෙ. "

කව්ද ඒ කිව්වෙ කියල දෙතුන් පාරක් අහද්දි මං ඉදිරිපත්වුනා. 

*ආ උඹඳ චන්ඩියා?? කියල අත දිගෑරල කණ හරහා උණු උණුවෙන්ම සොට් එකක් වැදුනා. ඒක සමබර වෙන්න කියල අනිත් පැත්තටත් එකක් දුන්නා.එතන දඬුවම් දෙකයි. එකක් අරුන්දැලට කෝචොක් කරපු එකට, අනික සිගරට් බිව්වට. 

මෙහෙ ඒ වෙද්දි නිළ උසස් කිරීමෙි පාඨමාලාවක් යනවා. ආධුනිකයො වුනු අපි ඒකකයේ හැමෝම අඳුරන්නෑ.  බලනකොට ඒකෙ අය තමා අර ඉඳල තියෙන්නෙ. පොරලත් පස්සෙ කිව්ව එච්චර ගහයි කියල දන්නෑ, ආතල් එකක් ගන්නයි හැදුවෙ කියල. එතකොට අපි කාල ඉවරයි. එදායින් පස්සෙ  ඔය කෝස් එක තියෙන පළාතකින්වත් මං ගියේ නෑ.


අපිත් ඔහොම ඉඳල මාස පහකට විතර පස්සෙ සිංහපුර දාල ගිය බලාගෙන හිටපු ඉතිරිබඩු ටිකත් අරන් ආයෙ ගියෙ කල්ලඩි වලට. අපිට ටික කාලයක් කල්ලඩි නවතින්න වුනා. ඒ කඳවුරේ ඒකක කිහිපයකම අණුකණ්ඩ තියෙනව. එකක් ශ්‍රිලයුයුබ අණුකණ්ඩය. මාත් ආතක්පාතක් නැතුව රාජකාරි කරන් ඉද්දි එක දවසක් අඳුරන අඳුරන කෙනෙක් වගේ කෙනෙක් කඳවුරේ පාරෙ යනව දැක්කා. එයා බොටමට ටීෂර්ට් එකක් දාල ඩෙක්ස් ෂූෂ් දාගෙන හිටියෙ. ඒ ඇඳන් හිටිය පිළිවෙල අනුව එක්කො සාජන් මෙිජර් කෙනෙක්. නැතිනම් නිළධාරියෙක්. මටත් එයාව ටිකක් හුරුගතියක් තිබුනත් දුර තියා අඳුරන්න බැරි හිංද තව ටිකක් කිට්ටු කරල ඩෑල් එක බැලුවා. මතකෙට එන්නෙම නෑ. ඒත් හොඳට හුරුයි. එයාත් මා දිහා හොඳට බලල;

*ඒහ්... ගම කොහෙද?

*එබුවෙ..

*අහ්.. මං ලුතිතන් ව&@විතාන.  ඒ මං එතුමා අඳුරන්නෙත් නැති නිසා සහ එක පාරට කනට ගහන්නැහේ "එබුවෙ" කිව්ව නිසා තමා එයා එයාවම හඳුන්වල දුන්නෙ.ඒකත් කියල ආයෙ;

*එබුවෙ??. එබුවෙ කොහේද??

වෙන කව්රු හරි ඇහුවනං මං කරන්නෙ ඊලඟට "උඹෙි පු&@%නෙ" කියල නෝන්ඩියට හිනාවෙනඑක. ඒත් මෙයා සර් කෙනෙක් නිසා ඒක බොහොම අමාරුවෙන් ගිලගෙන "මාතර සර්" කිව්වා. ආයෙත් හොඳට බලල "බං...මට උඹව හොඳට දැකල හුරුයි, මාතර කොහෙද?" කියල නලලත් රැළි කරගෙන ඇහුවම ඊලඟට මං ආයෙත් කිව්වෙ "එබුවෙ" කියල.එතනින් එහා මගෙන් ආයෙ විස්තර ඇහුවෙ නෑ. මාත්

සර්ගෙන් අහපුවම එයා අපේ ගමට අල්ලපු ගමෙි. හැබැයි මාත් ගම්පහ කියල කිව්වෙ නෑ. එතනින් අපේ ආස්සරේ ඉවරවුනත් මං දැක්කා සර් දවස් කීපයකට පස්සෙ නිවාඩු යනව.ඒ නිවාඩු ගිය දවසෙම රෑ මට ගෙදරින් කෝල් එකක් ආව වයිෆ්ට අමාරුයි කියල. ඒ වෙද්දි වයිෆ්ට මගේ වැඩිමල් පුතා හම්බවෙන්න හිටියෙ. පහුවදාම මං පැය 72ක පාස් එකක් දාල ගෙදර ගියා. කරුමෙික මහත කියන්නෙ.. ඒ සර් මට ආයෙ නිට්ටඹුවෙදිම  හම්බවුනා. නිකන්ම නෙමෙි. මූනට මූන. ඒත් මං වයිෆ්ව වතුපිටිවල රෝහලට ඇඩ්මිට් කරලා අපේ අක්ක ගෙදර එක්ක එන්න ගිහින්, එයත් එක්කම බබාලන්තෙකින් අඩුපාඩු බඩු වගයකුත් අරන් අතින් පයින් කටින් එල්ලගෙන බයික් එක තියෙන තැනට එද්දි. ඒ වෙලාවෙ කතාකරන්න තියා හිතන්නවත් බෑ.පුලුවන් වුනත් කතා කරන්නෑ. ඒ එබුවෙ කියල නිට්ටඹුවෙදි හම්බවුනොත් හෙන කේස් නිසා.  මාත් මූනට මූන හමුවුනු සර් එක්ක යන්තම් හිනාවෙලා යන්න ගියා. ඒත් ඇස් කොනෙන් දැක්කා සර් ආපහු හැරිලත් මා දිහා බලනව. පැය 72 පාස් එක ඉවර වෙලා ආයෙ  කඳවුරට ගිහින් ඉද්දි නිවාඩු ගිහින් ආපු එතුමා කඳවුරේදි මට නැවතත් හම්බවුනා. ඒ එතුමා ආපු කිට්ටුම දවසක. සර් මාව දැකල;

*ඒහ්.. එබුවෙ කෝපල්, මං උඹ වගේම එකෙක් දැක්කනෙ බං නිට්ටඹුවෙදි. හිනාවෙලත් ගියෙ. ඒත් මං බැලුව මාතර එකා කොහොමද නිට්ටඹුවෙ කියල. 

*වෙන්නැති සර්..එක වගේ හතක් ඉන්නවලුනේ සර්. 

*නෑ. නෑ. බං. උඹ වගේමයි මං දැක්කෙ.තව ගෑණු කෙනෙකුත් හිටියා. මට හිතෙන විදියට බබෙකුට අවශ්‍ය බඩු වගයක් අතේ තිබුනෙ. 

*වෙන්න බෑ සර්. මං කඳවුරේනෙ හිටියෙ. 

*ඔව් ඒකත් ඇත්ත තමා.. කියල තවත් වල්පල් ටිකක් කතා කරල සර් යන්න ගියා. සර් නිවාඩු ගිය දාට පහුවදා පාස් එක ගියපු මගේ ඒ දවස් ගාන  සර්ට කලින් ඉවරවෙලා තමා ආවෙ. 

ලෝක දෙකක් ගිනිගත්තෙ ඊට මාස කිහිපයකට පස්සෙ. ඒ අපි දෙන්න එකම කොන්වොයි එකේ නිවාඩු ඇවිත් එකටම නිට්ටඹුවෙන් බැස්සට පස්සෙ. වැඩෙි මාට්ටුනේ. එතකොට සර් ඇහුවා "ඈ බං, එබුවෙ එකා ඇයි නිට්ටඹුවෙන් බැස්සෙ" කියල. මාත් හිනාවෙලා සර්ට වඩා ටිකක් හිමින් පහුවෙලා ඇවිත් ගෙදරට එන්න බස් එකට නැංගා. ඒකෙත් එයා හිටියා. මං දිහා නෙමෙි නිකමටවත් බැලුවෙ. මං කිව්ව එබුවෙ කතාවයි, නිට්ටඹුවෙන් බැහැපු කතාවයි දවසක් අපේ ඇජුටන්ට කිව්වට පස්සෙ එතුමා කියල තිබුනා "ඇති ඔයින් ගියා" කියල.ආයෙ කියල තිබුනා එතුමත් මගෙන් ගම අහපුවම "එබුවෙ" කිව්වෙ කියල. එදා ඉඳන් එතුමා මාත් එක්ක වැඩි භජනෙට ආවෙනෑ. ඇජුටනුත් මොන මොනා හරි කියන්න ඇති. ඒ අතර දවසක ඇජුටන්වත් පැය දෙකක ගාඩ් එකක තියන්න මට හදිසියේම සිදුවුනා. 


එවකට ඇජුටන් හිටියෙ ලුතිතන් ජයලත්. සර් පුරුද්දක් විදියට හවසට කඳවුර වටෙිම විසිට් එකක් යනව. එදත් හය විතර වෙද්දි මං දැක්කා කිරි කොකෙක් වගේ සුදට සුදේ ඇඳගෙන සර් දුරතියාම එනවා. ඒ වෙද්දි මට ඉවසගන්න බැරි බඩෙි අමාරුවක් හැදිල තිබුනේ. අපි දවල් තල් කිරි හදල බිව්ව. කුරුම්බ කලටි වගේ කුත් කාල බංකරේක රොටී පුච්චල ඒවත් කාල අංජූරුව ටොපිත් කාල සාජන් මෙස් එකේ රෑට කෑමට හදපු නූඩ්ල්ස් වගේකුත් ඔතාගෙන ඇවිත් ඒකෙනුත් ටිකක් කාල ඉතුරුවා පැත්තක ඔතල තියාගෙන තිබුනෙ.ඒ රෑට සෙන්ට්‍රි ඉන්න ගමන් හප හපා ඉන්න.  ඒ බංකරේ තියෙන්නෙ කඳවුරෙන් එළියෙ. මටත් මොකේක හරි ඔය කාපු දේක මාත්‍රාවක් වැරදිල බඩෙි අමාරුවක් හැදිල තිබුනෙ. බඩෙි අමාරුව කියල ඇරියෙ නෑ, නූඩ්ල්ස් ටිකකුත් කාල හිටියෙ. හැබැයි ඊට පස්සෙ තමා ඒක වැඩිවුනෙ. මෙි බංකරේක හැම තිස්සෙම දෙන්නෙක් ඉන්න අනිවාර්ය කරල තිබුනත් අනිත් දෙන්නම වෙන ඩියුටියක ඉඳල තාම ඔිෆ් වෙලා ඇවිත් හිටියෙ නෑ. කොහොමද දෙයියනේ ටොයිලට් එකට යන්නේ කිය කිය ඉන්නකොට තමා වාසනාවන්තයා ඈතින් එනව දැක්කෙ.

සර්රුත් විනාඩි දහයක් පහලොවක් යනකොට මෙතනින් යන්න අවාම මං බඩඅල්ලගෙන ඉස්සරහට නැවිල බංකරේ කොටයක් අල්ලගෙන හිටියෙ.

*ආරච්චි මොකෝ...??

*ඉන්න බෑ සර්.. හෙන අමාරුයි.. බඩ රිදෙනවා. එම්අයි රූම් එකට යන්න විදියක් නැතුව ඉන්නෙ. 

*ඇයි මොකෝවුනේ??.

*අනේ මංද සර්. එකපාරටම හැදුනෙ.

*කෝ අනික් අය??

*තාම පැට්‍රෝල් ගිහින් ඇවිත් නෑ සර්. 

*ඉන්නම බෑද?

*අමාරුයි සර්...

*හා එහෙනං ඉක්මනට ගිහින් බෙහෙත් ටිකක් අරං එනවා... ඉක්මනට එන්න ඔින හොඳද? යන ගමන් ගාඩ් කමාන්ඩර්⁣ට කියාගෙන යනවා මං මෙතන ඉන්නෙ කියල කව්රු හරි කමක් නෑ ඉන්න කෙනෙක් ඉක්මනට මෙතෙන්ට එවන්න කියල.. හොඳද?

මාත් "හා සර්, ", කියල ගිහින් ටොයිලට් එකටත් ගිහින් මගේ වැඩෙිත් කරගෙන රෑට කෑමත් එක්ක බෙහෙතුත් අරං එන්න විනාඩි දහයකට විතර කලින් ආපු අපේ අනික් එ⁣ක්කෙනෙක් ඇවිත් තමා සර්ව "ඔිෆ්" කරල තිබුනෙ.මට සර්ගෙ පණිවිඩෙි ගාඩ් කමාන්ඩර්ට කියන්න අමතක වුනත් අපේ අනිත් දෙන්නා ඒ වෙද්දි ඇවිත් හිටපු නිසා උන් එකෙකුට කතාව කියල  ටක් ගාල යන්න කිව්ව. ඌත් "යන්නං" කියල කිව්වට ගිහින් තිබුනෙ මමත් එන්න කිට්ටුව. මාත් ඌ ගිහින් කියල හිතාගෙන රෑටත් කෑම අරගෙන තමා බංකරේට ආවෙ.  පව්. එතකං සර් සෙන්ට්‍රි ඉඳල. හැබැයි සර්රුත් මොකවත් කිව්වෙ නෑ. සමහර විට මං විදල ගිය යෑමනට සර් හිත හදාගන්න ඇති.


අපේ සීඑස්එම් කවදාවත් මාව තනියෙන් පැටිග් වලට දාන්නෑ. කා එක්ක හරි ඒ යටතේ තමා දාන්නෙ. එතුමනං කියන්නෙ මාව පැටිග් වලට දානවට වඩා හොඳයි එතුමම ගිහින් ඒක කරනව කියල. ඒකවුනේ කල්ලඩි කොහොඹ ගහක් කපන්න මාත් එක්ක තව එකෙක් දාල වට අඩි දෙක තුනක් වෙච්චි ගහ කපල පෑහැලා ඉවර කරන්න අපිට දවස් හතරක් ගිය හිංද.




කතාව ඉවර නෑ....



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.11.26

No comments:

Post a Comment