Thursday, April 15, 2021

 ෴ගොං කම෴

=============


අම්මා වගෙයි ඇය සැරසුන සුවඳ                 මලින්

මහ විපතක් වුනා පවසමි කඳුලු                   වලින්

අවුරුදු හැට අටයි ඇවිදියි තවම                කෙලින්

නෑගම් ආවෙ ඇය මෙහෙ මාසෙකට           කලින්


දරු සෙනෙහස තිබෙි ඈ ළඟ                       පිරී'තිරී

වචනය පවා සෙල්ලිපියකි                            උදාගිරී

සලකන්නට උනත් ඈ හට මොකෝ                 බැරී

නැන්දම්මාය මගෙ පපුවෙහි සෙනේ                 පිරී


හැට කෝටියකි ලෙඩ ඉහ මත්තෙන්           බැස්ස

ඇස් වහ කටවහට වෙයි වැඩියම                   දස්ස

පොඩ්ඩක් වැරදුනොත් දික්වෙනවය          හොස්ස

මට සිරිලිය වගෙයි ඒ වැටකොලු                   මැස්ස


වයිරස් ලෙඩෙිකින් මුලු ලෝකෙම              දැවුනේ

ඒකය වත්තෙ වැඩිපුර කාලය                   ගෙවුනේ

දෙවියන් දෙනව වගෙ පලදාවද                 මැවුනේ

මගෙ දෑතින්ය එළවලු කොටුවම               වැවුනේ


ඇය ආ දාට පසු දින කොරටුවට                   ගිහින්

දුටුවෙමි බලන හැටි හිස ඇල කරපු          ඇහින්

දෙවියනි මමත් කරගත් කරුමයකි             විහින්

ගෙඩි මල් හැදුනු ගස් සේරම  මැරිල          ගිහින්


සමහර වෙලාවට අමුතුම වචන                  කියයි

සුලු සුලු දේට වුව දෙස් සහ සෝලි                තියයි

ඇය මිදුලෙනං පාරේ කිසිවෙකුද               නොයයි

ඇගෙ ඇස් කට වහට අපෙ මුලු ගමම         බයයි


නියඟය තිබුනි පහුගිය කල                  වැඩියක්ම

"අහසට හෙන ගහල වගෙ" කිව්       හැටියෙන්ම

ගහ ගහ අකුණු  දවසෙන් වැඩි              හරියක්ම

මහ වැසි වැටුනි එක දිගටම                   සතියක්ම


ගෙමැදේ නටයි ආදර බලු පැටිය                    මගේ

දැකලා ඒක "හරි හුරතල් එකෙකි"                 අගේ

කිව්වා පමණි ඉහ මොල රත්වුනිය               මගේ

එක වරුවකින් ලොං සේරම හැලුන              උගේ


අවුරුදු දාට ගන්නට රඹ කැන                           සීනි

යන්තම් පැහීගෙන එන කාලෙකි                     හීනී

දැකලා ඒක මාමන්ඩිගෙ මහ                           රාණී

සිදුවුන දේ අහෝ පවසන්නට                           බෑනී


දවසක් උදේ අවදිව කොරටුවෙ                   මෑතින්

කර කර හිටියෙ වැඩ, වැට පඳුරක             පාතින්

දුටුවෙමි බලන හැටි නැන්දම්මද                 ඈතින්

හැඳ සිටි සරම ඉස්සුනි නොදැනිම              දෑතින්


ගොං කම ඉහේ මොලයක් නැති තරම්       කැත

තවමත් රිදෙනවා ඒ කල දෙයින්                     හිත

පොඩි පොඩි බිබිලි දා ඉදිමී සුරන්                කෙත

කහනව කහනවා තව ඉවරයක්                  නැත


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.04.15

Tuesday, April 13, 2021

පාපොච්ඡාරනය



පොල් අතු පැලත් ගල් කොරියත් අතර             මැද

පල්වෙන තනිකමක් ගෙන උරුමයට                 ලද

ජීවත් වෙන්න මල් යහනා නොමැති                   සඳ

ගල් ගෙඩි බිඳිමි දවසේ කුලියකට                       අද


යුග දිවියෙහි කලක්  උපරිම සැප                   වින්දා

එනමුත් පෙර පවක්  බලවත්  වුනු                 හින්දා

දරු දෙන්නෙකුත් මගෙ  තනියට ළඟ             රන්දා

හිමියා මිය ගියේ මොන කරුමෙද                  මන්දා


සොච්චම් පඩිය දින විස්සට ඉවර                      වුනී

ඒ හිංදාම වැඩිපුර ගල් කඩන                          මෙනී

දුන්නට රිදුම් සිතුවිලි හද පතුලෙ                     ඇනී

ජීවන බරේ හැටි මෙි කුලු ගෙඩිය                       දනී


රැයටත් දවාලත් තනිකම අතර                     මැදින්

යන ජීවන ගමන තේරුම් ඇතිය                හොඳින්

කුසගිනි තිබහ කඳුලෙහි රස බරට               ලදින්

කුලු ගෙඩි පහර මෙන් ඒවා දැනුනි                තදින්


දරුවන් නඩත්තුව ලඳ කට නොම                 ලේසී

පැහැදිලි වැව් දියේ බැඳිලය බොර                   පාසී

අඹපල් ලියක යැයි හිතුවට සුවි                     සේසී

කවදාවත්ම පතිවත නොකලෙමි                   කාසී


පෙනුමද මගේ මනමාලයි පිය                       සීලියි

මෙතුවක් හිටියෙ ඔය ඔක්කොම         ඉවසාලයි

කුලියෙන් රැකුනෙ මුලු මාසෙම ගල          ගාලයි

හයියක්වුනේ ගෝලයෙකුයි                   මුදලාලියි


මෙලොවද සුවඳ මල් සුපිපෙන                 විලක්ය

එ'සුවඳ විඳින මෙන් බමරුන්                   කැලක්ය

පරසක්වල ගසමි මෙය                       සත්තයක්ය

පිනි නොවැටුනත් තව දැසමන්                 මලක්ය


ලෙලදෙන ළැමැද නිතඹට උන් දෑස              එබෙි

සඳ කුමරියට පරදී  තරු රෑන                       ගැබෙි

මුදලාලිගෙන්නම් නිතරම කාසි                  ලැබෙි

ගෝලයගෙනුත් මට සමහර වාසි                තිබෙි


ළඳකට පිරිමියෙකුගේ ඇස වැටු                     නාද

නොදනිමි නමුත් ඉවසා ඉන්නෙමි                   මාද

නොනගනු මැනවි කවදාවත්                      අවලාද

ගැහැනියකට අහෝ මෙහෙමත්              කල යාද


කෑදර ඇසට මුදලාලිගෙ                       ගෝලයගේ

ලක්වුන නමුත් යමි ජීවන පාර                        දිගේ

වාසිය අවාසිය දෝලන වීය                           හැඟේ

මා දරුවන්ට මා සරසවි මෑනි                          වගේ


ජීවන චාරිකාවෙි   හැම                              දවසකම

දැන් යා හැක හිමිගෙ හයියක්           නොමැතිවම

රාගය බිඳින පිරිමින් ඉදිරියෙහි                        හැම

හා පැටවෙක් නොවෙමි රුදු කොටි දෙනකි     මම


සිරි සිරි සද්දෙ මැද වැහි බිඳු බිමට                   වැටී

ඉපදෙන පෙන බුබුලු ගල් කැට අතර              ගැටී

පුපුරා නැවත ඇති වී එන අයුරු                          දිටී

පුදුමය උන්ට එය තේරුම් නොගිය                   හැටී


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.04.08

ඡායාරූපය ආදරණීයයන්ගෙන්..

ඔිලුමඩු FDL එක

 වන් බඩි ආප්... වන් බඩි මූවෙිඒඒන්.... ඩාවුන්

ටූ බඩි ආප්... ටූ බඩි මූවෙිඒඒන්.... ඩාවුන්

ත්‍රී බඩි ආාාප්...ත්‍රී බඩි මූවෙිඒඒන්... ඩාවුන් 


වම් පැත්තෙන් මාදුරුඔය ජලාශයත් දකුණු පැත්තෙන් මාදුරුඔය රක්ෂිතය මැද පිහිටි අදටත් නම නොදන්න වැවත් මැද්දෙ පිහිටි නිම්න භූමියේ අරලගංවිල පැත්තට මහඔය පැත්තේ ඉඳගෙන මූලික යුධෝපක්‍රම යටතේ කියාදුන්නු පාඩම් වල ප්‍රැක්ටිකල් පටන්ගත්තෙ උදේ හතට විතර. දවල් දොලහ වෙද්දිත් උගුර බැරැන්ඩි වෙලා අමු ලේ රහ දැනි දැනී තවත් යටි ගිරියෙන් කෑ ගහද්දිත් "යකෝ තොපිට ඔච්චරද කෑ ගහන්ඩ පුලුවන්" කියල අහ අහ, මූ වෙලා බිම දිගා වෙලා ඉන්නැද්දිත් පිටිපස්සෙන් ඇවිත් විශේෂ බළකා උපදේශකයන් තඩි ඇහැල පොලුවලින් තට්ටමට දෑත බදල දුන්නු පහරවල්නම් ජීවිතේට අමතක වෙන්නෑ. දාඩියට තෙත බරිත වෙලා හැම ඉරියව්වකටම "චිරි-චිරි" හඬ නංවමින් අපි හැරෙන හැරෙන පැත්තට අපිත් එක්කම හැරෙන නිල ඇඳුම් කමිසය හැම තිස්සේම කිව්වෙි "උඹට දැන් මහන්සී,ටිකක් විවෙික ගනින්" කියල. ඒත් දේව අණටත් එහායින් ක්‍රියාත්මක හමුදා අණ පිළි නොපැද්දොත් රිදෙන්නෙ මුලු ඇඟමයි. පොඩි වැරදීමකටත් කිලෝමීටර් ගණන් ෆෝවර්ඩ් රෝල් ගහලා බඩ ගාලා දණ ගාලා ලබා ගත්තු පුහුණුවෙි ප්‍රවීනත්වය අවුරුදු දහ අටෙි විස්සේ කොල්ලෙකුටනං මාරම වීරත්වයක්. කප්පරක් පට්ට කුණු හරප මැද්දේ, ආත්ම ගරුත්වය අමු අමුවෙි කෙළෙසන වචන දාහක් හමුවෙි කිසිම මනුෂ්‍යත්වයක් නැතැයි හැඟෙන හමුදා උපදේශකයන් තට්ටමටත්, ගහක එල්ලලා ඒත් තට්ටමටත්, අණට කීකරුව හතර අතේ දුවද්දි පස්සෙන් පන්නගෙන ඇවිත් ඇඟ හැමතැනටමත් වැවිර හිටින්න හීනි කෝටු වලින් ගහල ගහල අමුතිත්ත කුණු හරපෙන් බනිද්දි දැනෙන ෆිලින්ග් එක ඒ හමුදාවෙන් මෙහා කිසි තැනක කවදාවත් ගන්න බෑ.  ඒ හැමදේකටම පස්සෙ අල්ලගෙන ජොකත් එක්ක ඇඳුම් ඔක්කෝම ගලවල ලේ පුරපු පැල්ලම් වලයි, පුපුරල ලේ ගලන තැන්වලයි ලුනුයි මිරිස්කුඩුයි කලවම් කරල ගාල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරද්දිත් හිතට දැනෙන හැඟීම් මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඇත්තටම අපිට ඒ දෙතිස් වද මැද්දෙ සහ කඨෝරවූත් අනතුරුදායකවූත් සහ වෙහෙසකරවූත් පුහුණුව අස්සෙ හැමදාමත් රෑට ඇඬුනෙ ඇස් දෙකටත් හොරා. රස්සාවකටත් එහා ගිය ජීවිත පරිත්‍යාගයෙන් "මව් බිම, නැතිනම් මරණය" තේමා පාඨයට වහ වැටිච්චි හිච්චි සිංහල කොල්ලො ඉස්සර   කොතෙක්නම් හිටියද. මාත් ඒ එකෙකු වීම පිළිබඳව අදටත් ඇත්තේ හදවත පිරිච්චි සතුටක්.  හුස්ම ගන්න හුළඟටත් සංවෙිදී මිනිහෙක් ඉන්නවනං ඒ තමයි "සොල්දාදුවා". සමහරුනං කියනවා "ඒක උංගෙ රස්සාවනේ" කියලා. එහෙම කියන ඈයන්ට මෙි වගේ කිසිම වැදගැම්මක් නැතිවෙන්න පුලුවන්. හැබැයි උංදැලා මෙි පොලවෙ ඉපදිලා කැරපොත්තෙක් වගේ ඉඳලා හැකරැල්ලෙක් වගේ මැරෙන ජාතියේ ඈයන්.  කොච්චර උගත්තත් මෙි පුහුණුවත්, ඒ පුහුනුවෙන් ලද ඉවසීම හා  ප්‍රවීනත්වයෙන් සැබෑ යුද්ධයට මුහුන දෙන්නත් හැමෝටම බෑ. ඒකට පෞර්ෂත්වය කියන කොන්ද තියෙන්න ඔින. පොල්තෙල් වල විෂ රසායන තියෙනව කියල දැනගත්තම "මුදලාලි මෙි ගමෙි මෝලෙ හිඳින තෙල් නේදැ"යි අහන උගත්තු ඉද්දි කවදාවත් සෙබළෙක් "කෝපල් අද ඉව්වෙ ගමෙි මෝලෙන් ගෙනාපු පොල් තෙල් වලින්දැ" යි කවදාවත් අහන්නෑ. ඌට දෙන දෙයක් ඌ කනවා. 


කතාවට යමු. කැමැත්තයි, ආදරයයි, සහෝදර කමෙයි, සෙනෙහසෙයි තියෙන්නෙ එකිනෙකට අසමාන තේරුම්. ඒ ළඟින් යන වචන විතරයි . තේරුම් වෙනස්. මම දෙවෙනි වර හදාරපු එස්එෆ් සෙබළුන් උපදේශකවුනු පාඨමාලාවෙ සහෝදරයො වගේ හිටපු චරිත කිහිපයක් මටත් හිටියා. කෝප්‍රල් සුරවීර, කුලතුංග, පේමතිලක, සේනාධීර ආදිතමයන් එයින් කිහිප දෙනෙක්. පාඨමාලාව හදාරල ඒකකයට ආවට පස්සෙ කෑලි කෑලි වලට කඩලා කණ්ඩායම් වලට යැව්වත් අපි අතර තිබුනු හිතවත්කම් මග හැරුන්නෑ. අඩුම දින දෙක තුනකට සැරයක්වත් සෙට් එකෙන් කතා කරල හරි විස්තර අහන ගතියක් අපි අතර තිබුනා. එත් එක්තරා දවසක ආටි වැස්සකට තෙමිලා ඉස්සරලාම සුරවීරත් පස්සෙ අනිත් දෙන්නත් අපි අතර තිබුනු සහෝදරකම් අතෑරල මෙි ලෝකෙන්ම යන්න ගියත් අදටත් ඒ හිතවත්කම් හිත ඇතුලෙ පැලපදියම් වෙලා තියෙනවා. අදටත් ඔවුන් මතක් වෙනවා.එල්ආර්පී පාඨමාලාවෙි උසස් පෙළ පුහුණුව හදාරන්න අපිත් එක්ක සුදුසුකම් ලැබුවෙි 3ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව නියෝජනය කල ප්ලෑටූන් එකක් විතරයි. ඔවුනුත් අපි අතරත් මනා සබඳතාවයක් කාලයක් යනකන්ම තිබුනා. අවාසනාව කියන්නෙ ඔය හැමටම වඩා එහා ගිය කාරණාවක්. එල්ආර්පී බැජ් එක ගහන්න තව එක පාඨමාලාවක් විතරක් හදාරන්න ඉතුරුවෙලා තියෙද්දි අපේ ඒකකයටවත් අපේ වටිනාකමක් නොතේරී අපිව සීසීකඩ ඇරියෙ හරියට පිස්සන් කොටුවට බෝම්බ දැම්ම වගේ මානසිකත්වයකින්. පසු කාලෙක කුරුණෑගල දි හමුවුන අපිත් එක්කම එකම පාඨමාලාව හැදෑරූ සහ අවසාන පාඨමාලාව හැදෑරූ ජාතික ආරක්ෂක බළමුළුවෙි සෙබළුන් නම් මහත් ආඩම්බරෙන් ඒ බැජ් එක  ගහද්දි ඒ දිහා බලාගෙන සුසුම් ලෑව අවස්ථානම් අනන්තයි, අප්‍රමානයි. දහඩිය ලේ කඳුලු හෙලා හදාරපු ඒ පාඨමාලාවෙි ඉතිරිය කර ගන්න නොදුන්නු එවකට අපේ නිළධාරින් සමග මගේ නම් අදටත් තියෙන්නෙ තරහවක්. 


ඒ පාඨමාලාව හදාරල ඇවිත් ඊලඟට පැවැත්වෙන බැජ් එක ලැබෙන  පාඨමාලාවට නාම යෝජනා එනකම් ඒකකයේ කණ්ඩායමක ඉද්දි දවසක් රෑක මෙසේජ් එකක් එනවා " වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා රපෝර්තු කරවීමට ඔබ කණ්ඩායම් වෙතින් කෝප්‍රල් සහ ලාන්ස් කෝප්‍රල් නිළ ඇතුළුව සෙනීන් හය දෙනෙකුගේ නාම යෝජනාවන් අහවල් දින අහවල් පැයට පෙර මෙම මූලය වෙත ලබා දීමට කටයුතු කරන මෙන් මින් දන්වා සිටිමි" කියලා. ඒ අනුව එවකට සාමාන්‍ය සෙබළෙක් වුනු මගේ නමත් ඒ නාම යෝජනාවට ඇතුලත්වුනේ දෛවයේ සරදමකටද මන්දා. 


කටයුතු එසේ සිදුවෙද්දී සීටීබී බස් දෙකක් ඇවිත් නියමිත දවසට අපිව අරන් ගිහින් දැම්මෙ ඔිමන්තේ වලට. එතකොට මම දවස් 65කින් නිවාඩු ඇවිත් තිබුනෙ නෑ. ඒ ගිහින් දැම්මෙත් මහ රෑක. එදා රෑ එහෙ ඉඳලා පහුවදා අපිව අරන් ගියේ ඉස්සෙල්ලාම ඔිලුමඩු ප්‍රදේශයට. මාත් අපෙන් ගියපු තවත් හතර දෙනෙකුත් ඇතුලත් වුනේ 3වන පාබල බළ ඇණිය යටතේ පාලනය වුනු ලයින් එකේ කොනකට. අපි ගිහින් ඒ පරිසරයට යාන්තම් හුරුවීගෙන එනකොට මාන්කුලම් අපේ ඉදිරි ආරක්ෂක වළල්ලට කොටි පහර දෙන්න පටන් ගත්තා. ඒත් මහ රෑක. ගිනිරාමෙට එහෙ කට්ටිය මරාගනිද්දි අපිත් ඇලර්ට් වුනේ ඊලඟට අපිට කියල හිතාගෙන. අපිට අණ දුන්නේ සහ අපිට භූමිය පිළිබඳව හැම දෙයක්ම කියාදුන්නෙ කෝප්‍රල් සිසිර කුමාර. එයත් එක්ක ඉන්න එකත් එක්තරා අභියෝගයක්. ඒ රාජකීය අති පන්ඩිත සහ මෙි ලෝකෙ නොදන්නා දෙයක් නැති "සිදත්" කෙනෙක්. ඒත් අපිට ඒවා අදාල නෑ. අපේ පාඩුවෙි රාජකාරි කරගෙන හිටියා. 


එදා මාන්කුලමට ගහල සතියක් විතර යනකොට අපේ ලයින් එකටත් උන් පහර දෙන්න පටන් ගත්තා. අපිත්, 1වන කාරක ඉංජිනේරු බළකායට අයත් 11 බළඝණයේ ටීම් එකකුත් තවත් පොදු සමා අධියරයක් යටතේ නැවත හමුදා සේවයට එකතුවූ කණ්ඩායමකුත් තමා මෙි වෙද්දි මෙි ලයින් එකේ පාබල ඒකකය යටතේ හිටියෙ. ඉංජිනේරු කට්ටිය එයාලාට ආවෙිනික රාජකාරි වලට ඇවිත් හිටියෙ. අපිත්, පොදුසමා (35 කල්ලිය) අයත් පිලිවෙලින් ලයින් එකේ එලාගෙන හිටියෙ. එක්තරා මූසල රාත්‍රියක කොටි බර අවි සහ සැහැල්ලු අවි භාවිතා කරමින් එක්වරම අපේ ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගද්දි කලින්ම එහෙම දෙයක් වෙයි කියල සූදානමින් හිටපු අපි කපාගත්තු යුධ අගල් වලට බැහැලා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. උන්ගේ මෝටාර් බෝම්බ හරි ඉලක්ක වලට එක දෙක පතිත වෙන්න පටන් ගත්තම අපිට ඒ ප්‍රහාරයට මුහුන දීගන්න සෑහෙන්න අමාරුවුනා.  ඒත් එහෙම කියලා ගේම අතාරින්නත් බෑ. මෙතන සිද්දවෙන සුලු අතපසුවීමකින් පවා අපිට නවතින්න වෙන්නෙ අකුලගෙන ගිහින් වව්නියාවෙ. එහෙම නූනොත්  ජයරත්න එකේ.  මාන්කුලම හරියේ ආරක්ෂක වළල්ලේ හිටියෙ නේවි එකෙන්. බැරිවෙලාවක්වත් නේවි එක හරියෙන් ලයින් එක කැඩුනොත් අපිට කඩා බිඳගෙන දුවල ගිහින් පනින්න වෙන්නෙ පිටි පස්සෙ තිබ්බ මහා වැවකට. ඊට පස්සෙ දවසක අපි පසු බැස්සෙත් එහෙමයි. කරච්චි පැත්තෙන් පිකප් වෙන උන්ගෙ ආටි මෝටාර් අපේ ජීවිත හොයාගෙන පියාඹාගෙන එද්දි ඒ ඇහෙන සද්දෙට ටිකක් ඔලුව පාත් කලත් ඊලඟට ඔලුව උස්සන්නේ වෙඩි තියාගත්තු ගමන්. කොහොම හරි මෙි ප්‍රහාරය සෑහෙන කාලයක් අපි අල්ලගෙන හිටියා. 35 කල්ලිය පැත්තෙන් මුලින්ම පටන් ගත්දි තිබුන සද්දය, ගැම්ම එන්න එන්නම ටික ටික අඩුවුනා. ඊලඟට කොටින්ගෙ ඉලක්කය වුනේ ඒ සද්දෙ අඩු පැත්ත. අපේ සහායක භඨ පිරිස් ඒ අඩු පැත්ත පුරවන්න හෝ ගාල දුවගෙන ආවෙත් එල්ල වෙන දරුණු ප්‍රහාරය මැද්දෙ. 


රෑ දොලහට විතර පටන්ගෙන විටින් විට පැවතුනු ප්‍රහාරය පාන්දර තුන හතර විතර වෙද්දි එක්වරම දැවැන්ත ප්‍රහාරයක් බවට පරිවර්තනය වුනා.  එන්න එන්නම සටන දරුණුවුනා. උන් එක දිගටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අපිත් අල්ලගෙන හිටියෙ බොහොම සහ මෙහෙමයි කියල වචනයෙන් කියාගත නොහැකි ආකාරයේ අමාරුවකින්. කොයි වෙලාවෙි මුන් ලයින් එක කඩාගෙන පනීද කියල බයකුත් නොතිබුනාම නෙමෙි. ඒ හිංදම වෙඩි තියන වෙිගෙට කට්ට කරුවලේ මැගසින් ෆිල් කරන්න ගිහින් මැගසින් ලිප්ස් වලට අත කැපිල ලේ ගලද්දිත් නැවත නැවත මැගසින් පුරවාගනිමින්, පුරවා දෙමින් සහ පුරවාගෙන වෙඩි තබමින් ගැම්මෙන්ම ගේමෙ හිටිය අපිට චුට්ටක් හරි අස්වැසිල්ලක් වුනේ සහායක භට පිරිස් විසින් පිටුපස සිට පුරවා දෙන සහ ගෙනත් දෙන මැගසින් ලෝකය. මම උනත් මැරුනොත් මගේ තැන ගන්නත් බලාගෙන තව කිහිප දෙනෙක්ම එතන මැගසින් පිරෙව්වා. 


 එක දිගටම නූනත් සැරෙන් සැරේ එල්ලවුනු ඒ ප්‍රහාරය පාන්දර තුන තුන හමාරේ විතර ඉඳලා එක දිගටම පහුවදා උදේ හත විතර වෙනකම් පැවතුනා. අපිත් "මව්බිම නැත්තං මරණය" කියල හිතාගෙන එන හැමදේටම නොබියව මුහුණ දුන්නා. එකා දෙන්නා සටන අතහැර දමා මහ පොලව බදාගෙන වැටෙද්දිත් ඒ දිහාවත් නොබලාම  අපි අපේ ජීවිත ගැන ආශාව අත්හැර දමල කොහොමහරි එලිවෙනකම් සටන අල්ලගෙන හිටියා. වෙඩි තිබ්බ හැටි කියන්නෙ සටනෙ මුල් හරියෙදි  වරක් මගේ අවිය ට මගේම අතත් පිච්චුනා. උදේ ප්‍රහාරය නැවතුනාට පස්සෙ  ප්‍රතිඵල මහ ගොඩයි. ඉංජිනේරු බළකායේ දහතුන් දෙනෙකුත් (මෝටාර් ප්‍රහාරයකට ලක්ව) 35 කල්ලියේ 19 දෙනෙකුත් සහ අපේ ඒකකයේ එක්කෙනෙකුත් ඇතුලුව ඔක්කොම සෙබළුන් 38 දෙනෙක් මව්බිම දිනවීම වෙනුවෙන් මරණය තෝරගෙන තිබුනා. උදේ අට නවය වෙද්දිත් තුවාල වුනු සෙබළුන් සහ මියගිය සෙබළුන් ඉවත් කිරීම නැවතිලා තිබුන්නෑ. ට්‍රැක්ටර් ගණන් පුරවලා අරන් යන ඩෙත් බොඩි සහ  තුවාලවුනු අය දිහා  බලං හිටියෙ "ඊලඟ මොහොතෙ ඔය ටැට්ටරේ යන්නෙ මමද" කියල  හිත හිත. හැබැයි අනිවාරයෙන්ම මෙි  ප්‍රහාරයෙන් අපිට වඩා උන්ට හානි වෙන්න ඔීන. මොකද කියනවනං පාන්දර වෙන්න වෙන්න අපේ ලයින් එක කඩාගෙන ඇතුලට පනින්න ඉස්සරහට ආව ටෙරාලට බැරිම තැන අපි පෝලිමට යාන්ත්‍රික තුවක්කු දාගෙන දුන්නු දීමනාව අදටත් කන්වල රැව් පිළිරැව් දෙනවා වාගෙ දැනෙනවා. පාන්දර හරියෙදි මාත් තුවාල වෙච්චි මගේ පොයින්ට් එකේ සීනියර් වෙච්චි විතාරණ පාවිච්චි කරපු එල්එම්ජී එක තමා ගත්තෙ. එසේ ගුවන් සහායක් නොලබාම පැය හත අටක් යනතුරු මහ කැලයක් මැද්දෙ මරණයත් එක්ක මෙවැනි ප්‍රහාරයක් අල්ලං ඉන්නව කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙි. කඩාගෙන බිඳගෙන එන මුහුදු රැල්ලක් වගේ සතුරු රැල්ලක් හෝල්ට් කරනවා කියන්නෙ එසේ මෙසේ සෙල්ලමක් නෙමෙි. උදේට එලිවෙච්චි ගමන් ආව එම්අයි 24 යානා දෙකක් මීටර් සීයක් විතර දුරකින් අපිටත් පිටි පස්සෙ ගස් කරටිවල ගෑවෙන නොගෑවෙන මට්ටමෙන් ඉඳගෙන අපිට සහාය නොදැක්වුවානං අනිවාරයෙන්ම අදටත් අවුරුද්දක් ගානෙ අපේ අම්මත් රණවිරු ස්මාරකයෙ මගේ නමත් හොයනව. මොකද කියනවනං කොච්චර උනත් මට ඒ වෙද්දිනම් මෙි ගේම අතාරින්න හිතිල තිබුනෙ. ඒ මගේ එෆ්ඩීඑල් එක නොහොත් ඉදිරි ආරක්ෂක වළල්ලේ පළවෙනිම අත්දැකීම. ඒකත් පැය හත අටක දුක් සීන් එකක්. 


එදායින් ඇරඹුණු මගේ දෙවැනි ජීවිතය වට්ටප්පලෛ වලින් පසු බැහැලා අතුරුදහන් ලිස්ට් එකටත් නම වැදිලා වව්නියාවට වෙනකං ඇවිත් නැවත මෙි මූසල ලයින් එකට යන්න බෑ කියලා ආපහු ඒකකයට අපිව අරන් යනකම්ම ගහපු ගේම ඇත්තටම ජයග්‍රහනයක්. ඒ දේශපාලනයේ අභිමතාර්ථයන් උදෙසා ජීවිතය දන්දීමෙි පිළිවෙත අපේ බොක්කේවත් නොතිබුනු නිසා. එදා ගැහැණියක් වෙලත් චන්ද්‍රිකා මැඩම් ගහපු ගේම් අදටත් මතක් වෙන්නේ කාන්තාවක් වශයෙන් අපිව බෙිරගන්න කල සැලසුම් සහ ප්‍රයෝගයන්. ඒකනෙ හමුදාවෙ පරන ඈයො උන්දැට තාමත් ආදරේ. 


විශේෂම දේ එදා රෑ සිරස රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට කීවෙි "ඔිලුමඩු ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ලවූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සෙබලුන් දොලහක් මරුට, තවත් සිව් දෙනෙක් තුවාල ලබයි" කියල. ආයෙත් කිව්වා "කොටි සියයකට අධික පිරිසක් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත." කියල.

අද විතරක් නෙමෙි ෆෙන්ස් හැමදාම උං කිව්වෙ බොරුම තමා. 38ක් මමම ඇස් දෙකෙන් දැක්කා. තුවාල වෙච්චි 23 දෙනෙක් එම්ඩීඑස් එකට අරන් ගියේ ට්‍රැක්ටරේයි සීඔිගෙ වාහනේයි ඇම්බියුලන්ස් එකෙයි දාගෙන. මං මගේ රෙඩියෝ එකට තට්ටුවකුත් දාල බැලුව පිට රටක චැනල් එකක්වත් අහුවෙලාවත්ද කියල හිතල. 

 





 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.04.13

Tuesday, April 6, 2021

විශ්වමඩු 01



විශ්වමඩු ෆාම් එක මහ විශාල එකක්. රෝස කොස් වරකා,පැණි දොඩම්, මිදි, පේර, අඹ, කෙසෙල් දෙහි ආදී හැම පළතුරක්ම එහි සශ්‍රීකව වැවී තිබුනා. ඒ දවස්වල අපේ පැක් ආදියත් නිතරම සශ්‍රීක වෙලා තිබුනේ. හොරෙන් ෆාම් එකට පැනලා හොඳ පැහිච්චි කොස් ගෙඩියක් කඩාගෙන මදුලු ඇරලා ඒ වත්තෙන්ම හොයාගන්න පොල් වලින් කිරි කොස් පාරක් ගහල රොටියක් පුච්චල ගත්තම ඒ ලැබෙන සැප මං හිතන්නෑ තරු පහේ හෝටලේකින්වත් ලැබෙයි කියලා. මයෙ අප්පේ කාපු කෑමනක්. ගස් යට වකාරෙට වැටිල තියෙන පොල් ගෙඩි විස්සක් තිහක් අහුලගෙන ලීයකින් කපාගත්තු උලක් හිටෝලා ලෙලි ගහලා ඒ වතුර වලට මෙස් එකෙන් උස්සන සීනි කිලෝ දෙකක් විතරයි යීස්ට් ටිකකුයි දාල දවස් තුනක් පල් කරානං, රා, අරක්කු පැල්මයිරා කැලේ. ඒව ඉතින් පදම දැනගෙන හරියට කරන්න ඔින දේවල්. තඹ දඟර තිබ්බෙ නෑ. නැත්තං දෙකක් නෑ ආයෙ එහෙ කසිප්පුත් පෙරනවා. රනිල් සිල්වා පේමතිලක කෝපල් බණ්ඩාර, කෝපල් කරුනාරත්න ආරච්චි ආදියන් ඔිවට ඇබ්බැහි වෙලා තිබුනෙ. පාම් පිටි හොයාගන්න එක විතරයි අමාරුවකට තිබුනෙ. ඒත් අපේ පසු මූලෙන් රොටි කැන්ටිමට ගේන පිටි එහෙම පිටින්ම තිබුනෙ අපේ පැක්වල. 


එහෙ ඉද්දි තමා කොටින්ගෙ සබ්මැරීන් එකකට රිංගලා දොර වහගෙන වයිකිං එකක් දක්කනව වගේ බූම් බුම් ගගා ඉඳල එලියට එන්න හදද්දි දොර ලොක් වෙලා තිබුනෙ. ඒ දොර ඇරගන්න පැය දෙකක් විතර ගියා. මං හිතුවෙ එදා  මගෙ අවසන් ගමන සබ්මැරීන් එකක් ඇතුලෙම වෙයි කියල. වාසනාවට උන්ගෙම යකඩ බාර් එකක් දාල එලියෙ හිටපු එවුන් දොර ගලවල මාවයි අනිකයි එලියට ගත්තෙ. තාම කං අඩ් කූංං කූංං ගානවා ඒ පතබාපු පාරවල් මතක් වෙනකොට. දවසක් ඔය වැවෙත් කැඩිච්චි ඔරුවක එගොඩහට යන්න ගිහින් පෙරලුනා. හොඳ වෙලාවට කර වටක් විතර ගැඹුර. අපිත් මොංගල් එළ හරක් කියන්නෙ කවදාවත් ඔිවා එකකින් දෙකකින් මට්ටුවුනේම නෑ. නැවත නැවත කලේ ඒවමයි. කැලේ සෝදිසි මෙහෙයුම් යනව කියල ගිහින් කරන්නෙම ඔිවමයි. එක දවසක් ඔිවගේ ඉබාගාතෙ යන්න ගිහින් පාරකට වැටිල පාර දිගෙත් අපි ඇවිදගෙන ගියා. ජීපීඑස් යන්ත්‍ර පැත්තක. අපි යන්නෙ හිතේ බැලන්ස් එකෙන්. දවසක රෑක එහෙම යද්දි දුරින් වාහනයක් එන සද්දයක් ඇහිල යි ලයිට් පාරක් දැකලයි අපි පාර අයිනෙ තිබුනු පඳුරු කිහිපයකට මුවාවෙලා බලාගෙන හිටියෙ මෙි කොටි ඒරියා එක හිංද කොටිවත් එනවද කියල. ටික ටික ලංවෙද්දි කැබ් එකක් කියල අඳුරගත්තත් කව්ද එන්නෙ කියල හොයාගන්න බෑ රෑ හිංද. අපිටත් කියල තිබුනෙ මොකෙක්වත් එන්නෑ ඔහෙ කැලේ හිංද කියල. අපිත් පුල් ඇලට් එකේ බඩු ලඟටම එනකං බලාගෙන හිටියෙ සොට් එක දෙන්න. ඒ පාරෙ වාහනවලට හයියෙන් එන්න බෑ හෙන වලවල්. වලවලුත් නෙමෙි ඒව වගා ලිං ජාතියක් වාගෙ. වාහන දෙකක් මාරු වෙන්න එනවනං පේන්නෙ තමන්ට ඉස්සරහින් එන වාහනේ වහලෙ විතරයි. ආයෙ වලෙන් ගොඩ ආහම තමා ඒ මොකද්ද කියල පේන්නෙ. පැය කාලක් බාගයක් යනකොට වාහනේ අපිට ටික ටික ලංවුනා. අපි සූදානම්. ලෝන් ඔන් කලාපය හරහා නිදැල්ලේ පාවී එන වාහනයට හයේ පහරක් දීල නන්න කිරීමෙි අරමුණ පෙර දැරිව දණහිසෙන් ඉඳගෙන එම්පීඑම්ජීය ඉලක්ක පතට අනුව බයිපෝට් දෙක නවා කොටයක් උඩ තියාගෙන කොකාටත් ඇඟිල්ල තියාගෙන තව මීටර් පනහක් ඉස්සරහට එනකං හිටියෙ කොකා ගස්සන්න. ඒත් කාගෙ වාසනාවද අවාසනාවද මංද වාහනේ නැවැත්තුවා. අපිට ක්ෂිතජය කැඩිල යන්තම් පෙනුනා එකෙක් බහිනවා. අපි ක්ෂණිකව පොසිෂන් එක මාරුකලා. ඒ හඹාගොස් පහර දෙන්න. ඒත් අපේ අනික් ඇම්බුෂ් ටීම් එකේ ඉන්චාජ් හිටියෙ මං වගේ කලබල කාරයෙක් නෙමෙි. ඒ කෝපල් කස්තුරි. අපි විනාඩි දෙකක් විතර බලං ඉද්දි එකෙක් ඉස්සරහට ආවා. ඒ, හරියට අපි ඉන්නව දැකල වගේ. ලයිට් එලියෙන් එච්චරටම කව්ද කියල පැහැදිලිත් නෑ. අපි අපේ පොසිෂන් එකේම ඉඳගෙන වැඩෙි බලාගෙන හිටියෙ ඊලඟට මුං කරන්නෙ මොකද්ද කියල බලන්න. ටිකක් ඉස්සරහට ආපු එකා ඉඩ තියෙන තැනක් බලලා හයියෙන්;

*හරි කෝපල් මෙතනින් හරවන්න පුලුවන්,ඔහෝමම ටිකක් ඉස්සරහට එන්ඩෝ.. හ්හ් කිව්වා. හක්ක පයිනවනෙ. යකෝ මුං ආමිනෙ. අපිට මළ පැන්න යකෝ මෙි රෑ ජාමෙ කොහෙ හබ්බද්දි⁣යක යනවද මුං කියල. ඊටත් මහ කැලේ. අනික මෙතනින් එහා පැත්තෙ කොටි. අපිත් රැකවල්ලාගෙන ඉන්නෙ කොටි වැවෙන්වත් ක්‍රොස් කරයිවද්දෝ කියල බලාගෙන. 

කෝපල් කස්තුරියි මායි හීන් සැරේ වාහනේ රිවස් කරද්දි ලඟට ගියා. උං අපිව දැකල බය වෙලා. කිසිම සූදානමකිනුත් නෙමෙි හිටියෙ. ලඟට ගිහින් කෝපල් කස්තා, ඇතුලේ ඉන්නෙ කව්ද කියලවත් බලන්නැතුව,  "කෝපල් හැ&@%නෙනවදෝයි මෙි කැලේ" කියල ඇහුව. එතකොටයි උංගෙ හුස්ම වැටුනෙ. ඔෆිසර් කෙනෙක් ඇතුලෙ හිටියත් කට්ටියට පාර වැරදිලා. 4ලපාහ ඒකකයේ වාහනයක් සීඔිි එක්ක යන්න ඇවිත්. එන්න කිව්ව තැන හොයා ගන්න බැරුව දිගටම ඇවිත්. හොඳ වෙලාවට වාහනේ නැවැත්තුවෙ. නැත්තං දැයට ඔෆිසර් කෙනෙකුත් එක්ක තව තුන් දෙනෙක් අහිමි වෙනවා. පස්සෙ හරි පාරත් කියල දීල එයාලම කිව්ව මං සලකුනු අනුව සීඔි ඉන්න තැනත් කියල දීල  යැව්වා. රෑ හින්දයි හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ. ටිකක් එලි පහලිය තියෙන වෙලාවක ආවනං කිරි කොසුයි පුච්චපු මාලුයි එක්ක රොටියකුත් කාලම යන්න තිබුනා. 


ඔය අතරෙදි තමා මගේ ඇම්බුෂ් ටීම් එකේ කොල්ලෙක්ගෙ වෙඩිම තිබුනෙ. වෙඩිමට  දවස දවස ලං වෙන කොට මෙිකාට තිබ්බ පස්නත් වැඩිවුනා. පස්න කිව්වෙ වෙඩිමෙ හැසිරෙන විදිය, වෙඩිම ප්ලෑන් කරන විදිය, ඉන්වයිට් කරන හැටි ආදි එකි මෙකී නොකී අම්බානකයි පස්න. අපිත් ඉතින් ඔිව සම්බන්දව සහ කාන්තාව සම්බන්ධව හෙන විශාරදනෙ. මටනං උපාදියකුත් තිබුනා. (ඒ උපාදියෙ නම මෙිකෙ කියන්න බෑ. ඉම්බොස් ඇහුවොත් විතරක් කියන්නං.) මාත් පොරට හෙන බර ඇඩ්වයිස් ටිකක් හෙම දීල තිබුනෙ. බැඳපු ගමන් දරුවො හදන්න එපා කිව්වම මූ බබා වාගෙ ඇහුවෙ "ඉතිං ඒකට මොකද කරන්නෙ කෝපල්" කියලා. ඒවට මං අවශ්‍යය උත්තර දෙන්න ගිහින් ඌ දවසක් විතර මා එක්ක කතා නොකරත් හිටියා. පලවෙනි දවසෙ රාත්‍රිය ගත කරන හැටිත් මං කියා දීල තිබුනෙ. මූට මං කිව්වෙ පවුල් සැලසුම වශයෙන් කොන්ඩම් භාවිතා කරපන් කියලා. මූ මාත් එක්ක තරහ වෙන්න හේතුවත් ඔික. 

*මචං පළවෙනි දවසෙම ඉඳලා පවුල් සැලසුම් පටන් ගනින්. තව ඔන්නං මාස තුනක් තියෙයි යුද්දෙ. එතකොට මනස නිරෝගිව තියාගෙන හොඳ දරුවෙක් හදන්න පුලුවන්. එතකං ඒකට උඹ මුං ඇට පීති පාවිච්චි කරපං

*ඒකනං හොඳයි කෝපල්. ඒත් මුං ඇට පීති කිව්වෙ මොනාද.

*යකෝ, ඔය පාමසි වල තියෙන්නෙ

*මුං ඇටවලින් හදන එකද්ද

*නෑ නෑ බං... ඒවත් අර වගේම තමා. උඹ එකක් ඉස්සරල දා ගනින්. ඊට පස්සෙ තව එකක් අරං ඒකට මුං ඇට ටිකක් දාල ඒකත් දාගනින්. ඊට පස්සෙ වැඩෙි පටන් ගනින්. ඊටත් පස්සෙ ඔය කරගැට දාච්චා  අරව මෙිව තිබුනොත් කැඩිල ගිහින් උඹට නැවුම් අයුරින් යුග ජීවිතේ ගත කරන්න පුලුවන්. හරි සරලයිනෙ.

කියල තේරුම් කරල දුන්නම තමා ඌ මගෙත් එක්ක දවසක්ම කතා නොකර හිටියෙ. 

අපි සල්ලි එකතු කරලා ඌට බට්ට වැනෙන ඔරලෝසුවක් තෑග්ග විදියට ගන්න කියල දීල වෙඩිමට ගිය ඈයන්ට කිව්වෙ මතක ඇතුව මුං ඇට දෙසිය පනහකුයි පීති රැලි තුන හතරකුයි මැද්දට දාලා පෙට්ටය සරසලා දීල එන්න කියල. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2021.04.06

Thursday, April 1, 2021

පුංචි පරන්තන් 02




මට හමුදාවෙ ගෞරව නාම කිහිපයක් තිබුනා. ඒවා නමෙි මුලට හෝ අගට නොදැම්මත් ඒ හැම ගෞරව නාමයක්ම අපේ ඒකකයේ කට්ටියම දන්නවා. 

අනේ මංදා ඉතින් ඒවා කියලත් බෑ. නොකියත් බෑ. කිව්වොත් මගේ මාන්නය පෙන්නනවා කියයි. නැත්තං "ආපෝ මුගේ තියෙන පඩෙි" කියයි. කතාව මැදදි හරි අවසානෙදි හරි හිතුනොත් කියන්නං. 


පුංචි පරන්තන් අපි තමිල් සෙල්වම්ගෙ ගම සෝදිසි කරන්න ගිහින් හරි කලබලයක් උනා. ඒ එහෙ ගිය දෙවෙනි දවසේ  මගේ බැචෙක්ට ට්‍රැපින් එකක් පත්තුවෙලා. අපි කව්රුත් නොසිතන නොපතන වෙිලාවල් වලදි නොසිතූ දෙයක් සිද්ද වෙනවා. ඒකට සමහරු කියන්නෙ දෛවය කියලා. දෛවය කිව්වට හැමදේම දෛවයමත් නෙමෙි. අපි දරණ මත සහ පහල කරන සිතුවිලි අනුව කොයි දෛවයත් ආපහු හරවන්න පුලුවන්. ධර්මකීර්තිත් පුදුම මනුස්සයෙක්. කියන දෙයක් නාහට අහන්නෑ. ඒත් අහිංසකයි. අපි පහුවදා වෙල්යායක් ක්ලියර් කරන්න යනකොට තමා ට්‍රැපින් එක පත්තුවුනේ. ඒකෙන් තුවාලවුනේ ධර්මෙ විතරයි. මුණත් තුවාලවෙලා. දකුණු අත මැණික් කටුවෙන් ගලෝලම ගිහිල්ලා. කකුලක් ඩැමෙිජ්. අපිත් හැකි ඉක්මනට වටෙිම හූරල හූරල ක්ලියර් කරගෙන ධර්මෙ ඉන්න තැනට ගිහින් ඌවත් අරගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන කිලෝමීටර් ගණනාවක් පයින් ආවා. ඒ වෙද්දි අපේ ඒකකයේ වාහනේ ලයින් එකේ තුවාල  කාරයො අදින්න ගිහින් තිබුනේ. ඒක එනකම් අපි ඌව අරගෙන ඉස්සරහට ගියා. අපි එහෙම අරන් ගියේ 58 සේකාංකයෙ එම්ඩීඑස් එකට (වෛද්‍ය අංශය) භාර දෙන්න. ඒ යද්දි අපේ ඉස්කෝලෙ එකට ඉගෙනගත්තු කොල්ලෙකුත් හම්බවුනා. අපි යද්දි චොපර් එකක් එනකං ඩෙත් බොඩි කිහිපයකුත් තව ලයින් එකේ තුවාල වෙච්චි කිහිප දෙනෙකුත් හිටියා, අනුරාධපුරේට යවන්න. කලු ඉටිරෙදිවලින් ඔතලා දෙපැත්ත ගැට ගහලා ගොඩ ගහලා තිබුනු බොඩි ටික දැක්කමනං "අනේ අපොයි" කියලා හිතුනා. අපි ඔිවට කියන්නෙ ටොපිය කියලා. යුධ බිමෙිදී චූටි වැරැද්දක් කරනවා දැක්කත් අහන්නෙ "තෝත් ආසද ටොපියක් වෙලා යන්න?" කියලා. ධර්මයත් යනකම්ම කෑ ගැහුවෙි "මාව මරපං මාව මරපං" කියලා. එහෙම කියන්න එපා කියලා කියලා අහන්නැති, ඒත් බැරිම තැන හොඳ තිත්ත කුණුහරප වැලකින් අමතපුවම  අනේ ඌ කට පියාගත්තා. විස නසන්නෙ තවත් විසකින් කියනවනෙ. ඉතින් කුණුහරපයක් කිව්ව කියල ඒකට පාපයක් සිද්දවෙන්නෑ. නැත්තං හොඳින් කිව්වම කට පියාගන්න එපැයි. 


අපිත් එම්අයි 17 යානය එනකං ධර්මෙයත් එක්ක ඉඳලා බොඩි ටිකත් පටවන්න උදව් කරලා හම්බවෙච්චි යාලුව එක්කත් කතා කරලා ආපහු කර කර හිටපු රාජකාරියට ගියා.  ධර්මෙ පවු. මගේ වයසෙ උනත් කෙල්ලෙක් යාලු කරගෙන ඔන්නං මාස තුනක් ඇති. ඒ වෙනකොට මම බැඳලා.  රණවිරු සෙවනට ඌව බලන්න නිවාඩු ආව දවසක ගිය වෙලාවෙ "ලව් එක කෝමද මචං"  ඇහුවම  වටෙි ඉන්න අපිවත් පිච්චෙන තරමෙි උණුසුම් බැරෑරුම් ඒත් දිග සුසුමක් අරං පිට කරල  කිව්වෙ "කෙල්ලොනං මොනාද මචං" කියලා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. මාත් කාලයක් ඔය දේ අත්වින්ද හිංද මටනං ඔිවගේ ගානක් තිබුනෙම නෑ. 


අපි ඒ ක්‍රියාන්විතය ඉවර කරලා ඇතුලට ආවහම කෝස් එකේ ටෙස්ට් එක දඩ බඩ ගාලා ඉවරකලා. ඒ වෙද්දි විශ්වමඩු වලින් කොටුවෙච්චි දෙමළ මිනිස්සු හමුදා පාලනය තිබුනු පැත්තට ගන්න අපේ කට්ටිය යවන්න ඔින නිසා තමා ඉක්මනින් ඉවරකලේ. ඒ ඉවරකල දවසෙම තමා කපිතන් වන්නිනායක එක්ක විශ්වමඩු යන්න මගේ නම දාල තිබුනෙ. මං හමුදා ජීවිතේ කවදාවත්  අඬල දොඩල නිවාඩු ගිහින් නෑ. දුන්නොත් යනවා. නැත්තං දෙන දවසක යනවා. ඒත් මට ඒ කාල සීමාවෙ අනිවාරයෙන් නිවාඩු එන්න ඔින හේතුවක් තිබුනා.ඒ වෙද්දිත් නිවාඩු ඇවිත් ගිහින් මාස දෙකහමාරකට ආසන්නයි. මං සීඑස්එම්ගෙන් හෙන ගේමක් ඉල්ලලා බැරිම තැන  කපිතන් වන්නිනායකටම නිවාඩු යන්න ඔින කිව්වට පස්සෙ තමා සර් කිව්වෙ "හරි ඔයා යන්න" කියලා. මමත් නිවාඩු දාල ආව. ඒ අතරෙ තමා විශ්වමඩුවල ඒ රාජකාරියට ගියපු කපිතන් වන්නිනායක ඇතුලු අපේ 19 දෙනෙක් සූසයිඩ් එකකට අහුවෙලා එකම තැන මෙි ලෝකෙ අතැරල ගියේ.. (ඒ කතාව කලින් කවිවා) කපිතන් වන්නිනායක කියන්නෙ මං ගොඩක් ආදරේ කරන චරිතයක්.  හමුදාවෙ එහෙම අය ගොඩක් අඩුයි. නමුත් ඒ සර් කොල්ලො වෙනුවෙන් පන ඇරලා හිටපු කෙනෙක්. මම විතරක් නෙමෙි අපේ ඒකකයේ හැමෝම එක සේම ආදරය කරපු චරිතයක්. අපේ සීඑස්එම් පවා ඒ බිලාස්ට් එකට අහුවෙලා නැතිවුනා. 


එක දවසක් මම චීටා එකේ ඉන්නකොට හදිසි සෝදිසි මෙහෙයුමකට ගිහින් ආවා. මම කිව්වෙ අපේ පළවෙනි සෙක්ෂන් එක. අපිට ඒ දවස්වල කිව්වෙ "බත් ප්ලැටූන් එක" කියලා. (ඒවා කලින් කතා කිහිපයකම කියල ඇති. ) එදා අපි ගිහින් එද්දි කෑම ඉවරයි. මමත් ආධුනික සෙබළ ඉඳලා සාමාන්‍ය සෙබළ තත්වෙට පත්වුනා විතරයි. අපි ආවෙ ඒ කඳවුර හරහා. පස්සෙ අපි ආවා කියලා සර්ට පොඩ්ඩක් මතක් කරන්න ඔින කියලා සාජන් කිව්වා. අපි ෆීඩ්බෑක් එක දෙන්න ගියාම ඉස්සෙල්ලම කිව්වෙ "ඒව පස්සෙ පුලුවන්, දැං දෙකහමාරයි, ගිහින් කාල වරෙල්ලා" කියලා. අපි යද්දි ඒ කඳවුරේ කෑම ඉවරයි. අපිට අදාල කඳවුරකුත් නෙමෙයි. අපි එතකොට කල්කුඩා හිටියෙ. ඒ අපේ සී කණ්ඩායම හින්දා හා ඒ කඳවුර හරහා ආව හිංදා  සාජන් කිව්වා ගිහින් මෙහෙ ඔිසීට ටිකක් කතා  කරලා ඒ ගමන්ම සෙට් එකෙන් කල්කුඩා වලටත් කතා කරලා වාහනයක් ගෙන්නගෙන ඉතිරි ටික යමු කියලා.ටික වෙලාවකට පස්සෙ  කෑම නොතිබුනත් අපි කෑව විදියට ඇවිත් සර්ට කතා කලා. කෑවද ඇහුවා. අපි කෑව කිව්වා. එතකොට සර් හිනාවෙලා කිව්වා, "කෑවට කමක් නෑ, උඹලට කන්ඩත් බැරි නෑනෙ. ආං පේමරත්න  කෑම හදනවා,  යනින් ගමන් කාලම පලයල්ලා" කියලා. එදා අපිට ඔෆිසර් මෙස් එකෙන් කෑම දිල තමා එව්වෙ. ඒ කියන්නෙ අපි කෑව කිව්වෙ බොරුවට කියලත් සහ ඒ වෙලාවට මෙස් එකේ කෑම ඉවර වෙන්න ඇති කියලත් සර් දැනගන්න ඇති. මොකද නිලධාරි නිවස්නයේ කුක් මයි අපිට කෑම හදන්නෙත්. මහ මෙස් එකේ ඒවමයි ඔෆිසර් මෙස් එකේ තියෙන්නෙත්. අපිත් ඔෆිසර් මෙස් එකෙන් කෑම අරන් ඩිෆෙන්ස් එක උඩට නැගලා ඒක උඩ පෝලිමට ඉඳගෙන කාල තමා එන්න ආවෙ. ඒ අපි හිතුවට වඩා කාලයක් ක්‍රියාන්විතයට ගිය නිසා එහෙම වුනේ. අපි එක ඒකකයේ වුනත් වෙන කව්රුවත් එහෙම කරලා නෑ. 


මමත් මා එක්ක නිවාඩු ගිහින් ආපු තව කිහිප දෙනෙකුත් කිළිනොච්චියට ඇවිත් ඒකකය තියෙන තැන හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා. එතකොට ඒකකයක් එක තැනක දවසකට වඩා ඉන්නෑ. අපේ පසුමූලයෙන්වත් දන්නෑ ඒකකය තියෙන තැන. ෆෝන් වැඩ කරන්නෙත් නෑ. බැරිම තැන අපි බඩගින්නෙ ඉරනමඩු පැත්තට ඉබාගාතෙ ඇවිදගෙන යද්දි ඉංජිනේරු ඒකකයට අයත් නිළධාරියෙක් හම්බවුනා. රෑ වෙන්නත් කිට්ටු නිසා අපි වාහනේ නැවැත්තුවෙි පිහිටක් සරණක් බලාපොරොත්තුවෙන්. ඒකෙ ආවෙ ඔෆිසර් කෙනෙක්. ඒ සර්ට විස්තරේ කිව්වම අපිව වාහනේ දාගෙන එයාලගෙ යුනිට් එකට එක්ක ගිහින් එයාලාගෙ සීඔි මාර්ගයෙන් තමා යුනිට් එක තියෙන තැන හොයාගත්තෙ.  අපේ ලීව්  ස්ලිප් එකෙත් ඒ සර්ම අත්සනක් ගහල දුන්නා අපි නිවාඩු එන්න තිබ්බ දවසට ඇවිත් ඒකකය හොයාගන්න බැරුව එයාලගෙ ඒකකයේ දවසක් හිටියා කියලා. මොකද යුද්දෙ කියල නෑ, අපි ගැන ටක්කෙටම සමහරු හොයනවා. සමහර අපේම නිළධාරින්ගෙන් තමා බෙිරෙන්න බැරි. ඒ ඉතින් අපේ වැරැද්දනේ. කැරැට්ටුවෙි හොඳකම තමා. ඒකටත් එක හේතුනං අටෝරාසියක් තියෙනවා. ඒ සමහර නිළධාරි කිව්වෙ එක්කෙනෙකුට. එයා මුස්ලිම් සහ අළුත් ඔෆිසර් කෙනෙක්. මගේ ටීම් එකේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා නැතිවුනා. එයාගෙ මළගෙදරට යන්න මෙයා දුන්නෙ දවස් තුනක නිවාඩුවක්. මම සර්ට ඒක තේරුම් කරල දෙන්න යනකොට මට බැන්නා. සර් කීවෙම දවස් තුනක් ඇති කියලා. මං දවස් නවයක් අරන් දෙන්න ට්‍රයි එක. යකෝ එකකුස උපන් සහෝදරයෙක්නෙ. යුධ වාතාවරණයනම් කමක් නෑ කියමුකො. සර් කියන්නෙම අද උදේ මැරුනම අද රෑ අවසන් කටයුතු කරල ඔන්නං හෙටත් ඉඳලා අනිද්දා වරෙන් කියලා. කේස් එක හෙන ලොකුවට ගියා. බැලින්නං සර්රුත් හරි. මාත් හරි. ඒකට කියන්නෙ අනවබෝධය කියලා. පස්සෙ මං, මගෙන්  කියවුන දේවල් වලට  සමාවත් අරගෙන ආවට හිතේ කහට චුට්ටක් තිබුනා. ඒක එතුමාගෙත් තියෙන්න ඇති අනිවාරයෙන්ම. අපි කියන්නෙත් විඳින්න පුලුවන් දේවල් නෙමෙිනෙ. එයා කියල තියෙන්නෙ එයාලගෙ සිස්ටම් එක. එයා බෞද්ධයෙකුගෙ අවසාන කටයුතු කෙරෙන හැටි අහලවත් නැද්ද කොහෙද.

පස්සෙ සීඔි දක්වා කේස් එක අරන් ගියාම තමා ඌට දවස් දහයක් නිවාඩු හම්බුනේ. උගේ නම සුනිල්. ඌ මටනෙ කියන්නෙ "කෝපල්, මට හත්දවසෙ දානෙටවත් ඉන්න ලැබුන්නැත්තං  මං ආයෙ මෙහෙ පැත්ත පලාතක පස් පාගන්න එන්නෑ" කියලා. ඒ කියන්නෙ ඇබ්සන් වෙනවලු. මං අන්තිමෙි ගිරේට අහුවෙච්චි පුවක් ගෙඩියක් ගානයි. 


ඒව මෙිවත් විසඳිලා කරක් ගග ගගහ ඉන්නකොට තමා විශ්වමඩුවලින් ආරච්චිල ඇතුලු බෙිබදු සෙට් එකට අලුත් ඉරක් පායන්නෙ. අපේ හත්වැනි ඒකකයේ ඔිසී කෙනෙක් තමා ඉර පෑවෙව්වෙ. ඒ සර් මගේ සුපිරි බොක්කක්. ඔයාලාට මතක ඇති මාව සුගන්දිනිගෙ කේස් එකට කල්කුඩා එව්වාය කිව්ව කතාව. කල්කුඩාවලට ඇවිත් ඉන්න බැරිම තැන වැඩි ඇඳුනුම් කමක් නැති, ඒත් හොඳයි කියල හිතුනු සාජන් කෙනෙකුට මං කතාව කිව්වෙ කියලත් කිව්වනෙ. අන්න ඒ සැරයන් තමා සෙසුනිළ අධිකාරියට පත්වෙලා හත්වැනි ඒකකයේ ලුතිතන් රෑන්ක් එකෙන් ඔිසී  තනතුරේ හිටියෙ. සර්ව මට හම්බවුනේ විශ්වමඩු පාලම ගාවදි. ඒත් අහම්බෙන්. අපි සෝදිසි මෙහෙයුමක් (මරිසි සෙවීමෙි ක්‍රියාන්විතය) ගිහින් එද්දි සුපුරුදු කටහඬක් හයියෙන් කතාකරනව ඇහිල ඒ කටහඬට කාන්දමක් වගේ ඇදිල ගියා. අපේ යුනිට් එකයි මෙිකයි මෙි වෙද්දි කිට්ටුව කිට්ටුව හිටියෙ. ඒ සර් විශ්වමඩු පාලම යට ඔිපන් එකක කොටින්ට ගහන්න මෝටාර් වගයක් ස්ථානගත කරන වැඩක් නිරීක්ෂණය  කර කර හිටියෙ. මං පාලම උඩ ඉඳන්;

*ඒහ් බැජී...හ් කියල කෑ ගැහුව.

පොරත් කව්ද යකෝ තිස්ස තිස්ස කියන්නෙ බලන්න පාලම උඩ බැලුව. බලද්දි මං. අනේ අම්මෙි ඉතින්..... ඈ. කාලෙකින් අපි හම්බවුනෙත්.( සර් මගේ බැච් මෙිට් කෙනෙක් නෙමෙි. ඒ මං කතා කරන හැටි. ) කර කර හිටපු වැඩෙි සාජන් කෙනෙක්ට කරගෙන යන්න කියල සර් මට පල්ලෙහාට කතා කලා. මං පල්ලම් බැස්සා. ඒ ඇවිත් සර්ගෙ හට් එක ගාවට ගිහින් ආගිය දේවල් කතා කර කර ඉද්දි සර් මගෙන් ඇහුවා "මී කනක් තරම්වත් ටිකක් නැද්ද බං" කියල. මොකද අප්පේ අපි ගාව නැත්තෙ. ඒව නැත්තං යුද්දෙකුත් නෑ වගේ.  එහෙනං ඒව මෙි ලෝකෙ නැති දෙයක් වෙන්න ඔින. මං ලඟ තිබ්බ ඒවගෙන් බාගයක්ම එයාට දීල ඒකට කළගුන සලකන්න මට ලීටරේ ස්ප්‍රයිට් බෝතල් තුනක් පුරෝලා අරක්කු හම්බුනා. ඒ තල් අරක්කු නොහොත් පැල්මයිරා. මයෙ අප්පේ ඉතින් ඒ සර්ට නිවන් යන්ඩ ඒ පිනම ඇති. ඒව ගඳක් සුවඳක් නෑ. ස්ප්‍රීට් තිබුනෙ. අපි ගියපු හතර දෙනයි සර්රුයි එකට එකේ අනුපාතෙට ඇල් ජෝ කලවම් කරලා එතනදිම බෝතලයක් බීලා, සර්ගෙම කෑම එකත් කාල යන ගමන් කන්නං කියල සර්ගෙ පැක් එක උඩ තිබ්බ ඇම්බුං කෙසෙල් ඇවරියකුත් පැක් එකට දාගෙන තමා එන්න ආවෙ. (දැන්නං එතුමා හමුදාවෙ නෑ. රට ඉන්නෙ.) සර් අධිකාරියට පත්වෙන්න කලින් අපි දෙන්නයි අපිත් එක්ක යන කොල්ලොයි කරපුවා වෙනම පොතක් ලියතෑකි. ඒ තරම් ෆිට් එකක් තිබුනෙ. කොටි ඒරියා එකක තිබ්බ සමූපකාරයකට කොටි ගහපු මෝටාර් එකක් වැටිලා අපි දකිද්දි එතන හෙන ගිනිවිජ්ජුම්බරයක් වෙලා තිබුනෙ ⁣. දෙයියනේ කියන්නෙ සර්ටත් කන්න බැරි හෙන අසනීපයක් තිබුනා ඒ දවස්වල. මිල්ක් මෙිඩ් කිරි ටින් එක, එක උගුරට ගහන්නෙ. යෝගට් එක ටිකක් මිරිකලා වටෙි බුරුල් කරලා දෙතුන් පාරක් හොල්ලලා "බොහ්" ගාන සද්දෙන් එක පාර කටට දාගෙන ගිලින්නෙ. බිත්තර කියන්නෙ නයයි අඳුකොලයි වාගෙ. කිලෝ මීටරයකට එහා බිත්තරයක් තියනවනං පොර ඒක මෙහා ඉඳලා දන්නවා. එකක් ගන්නවා, තුවක්කුවෙ බැරල් එකේ ගහනවා, නියපොත්තෙන්  උඩ සිවිය අයින් කරනවා, ඊලගට "බුග්" ගාල කටෙි. ආං එහෙමයි ඒ සර්. මටත් ඔිව පුරුද්දට ගියේ එයා එක්ක ඉඳලමයි. මට ෆිට් වුනෙත් සුගන්දිනීගෙ කේස් එකෙන්මයි. මං පිස්සෙක් කියලා කොන් කරලා  නිදැල්ලෙ ඇරපු හරකෙක් වගේ ඉන්නකොට තමා එයා සැරයන් කාලෙම ආයෙ මට ෆිට් වෙන්නෙ. 


අපි පැල්මයිරා ගැහුවට මොකද ජීවිතේ පලවෙනි වතාවට බිව්ව ඒව පට්ටෙටම වැදුනා. ඒවා බීල අපි ආවෙ මහ කැලේ මැද්දෙ ගීතයෙන් ගීතය කර කර. ආයෙ එක තැනක ඉඳගෙන "විනාඩියක් පමණයි" ත් කලා.  ඒ කියන්නෙ එක වචනෙ දෙපාරක් කියන්නත් බෑ. ඔව් නෑ බෑ කියන්නත් බෑ. විනාඩියක් කතා කරන්නත් ඔින. එකෙක් පස්න අහනවා, අපි උත්තර දෙනවා. දිනන එකාට පැල්මයිරා උගුරක් දෙනවා. ඔව්ව මෙව්ව කර කර අපි කොහොම හරි හවස හය වෙද්දි හිටපු තැනට ආවා. ඒ එන්න කලින් අපිට හම්බවුනා උන්ගෙ ෆාර්ම් එක. දැං ඒක කරන්නෙ හමුදාවෙන්මයි. අපි ෆාම් එකට යද්දි එලු පට්ටියක් ගාල් කරපු තැනමයි හිටියෙ. මං හිතන්නෙ දවස් ගානකින් උන් කාල නෑ. අපි උන්ව ඇරලා ටැංකිවල තිබ්බ වතුරත් තිබ්බ තිබ්බ ඒවට පිරෙව්වා උන්ට බොන්න. බැඳල හිටපු හරක්ගේ ලණු කපල නිදහස් කලා. කුකුල් කූඩෙනං ඇරලා තිබුනෙ. අපි මරිසි හොයන්ඩ ගියා කිව්වෙ සෙවිලි තහඩු වගයක් හොයන් එන්න ගියෙ. අන්තිමෙි තහඩුත් නැතිව දවසමත් රස්තියාදුවෙලා ආවෙ. හැබැයි මොන දේ කලත් ආර්එස්එම්ට තියාගත්තු බෝතලේටනං අපි අතක්වත් තිබ්බෙ නෑ.  එහෙ හත්වැනි ඒකකය තියෙනකං අපි හිටියෙ බඹරු වගේ. ඒ පැල්මයිරා ස්කාගාරෙ අහුවුන අලුතමයි. පස්සෙ පැල්මයිරත් නැතුව රාත් නැතුව කරිඤ්ඤමුත් නැතිව වයින් ස්ප්‍රීතු වලින් ජීවිතේ රැකගත්තු අවස්ථාත් තියෙනවා. පැට්ටෝලුත් බොනවා... ගඳ හිංද බිව්වෙ නෑ. පිස්සුද අනේ මැරෙනව කියල දැන දැනත් ඔිව තියෙද්දි අමුවෙන් යුද්දෙකට පනින්ඩ. මැරෙනවනං ඒකත් ආතල් එකේ වෙන්න ඔින. ඒක තමා මගේ ප්‍රතිපත්තියෙ තිබුනෙ. 


ඔිවා නොකරපු ඒ වගේ එක දවසක එක වරුවක එක තැනක එක තත්පරයයි එක දශමෙක චූටි පරක්කුවක් වෙලා තමා අදටත් ක්ලැචස්වලින් යන්නෙ. ඒව ඔින නෑ. ඒව මගේ හිතේ විතරක් තිබුනනං ඇති.


පැල්මයිරා වසන්තයේදි ගෙනාපු බඩු ඉවර වෙනකොට මං සර්ට කියල ටිකක් කන්ටෑක්ට් කරගන්නවා. බැජීලට කියලා තව ටිකක් කන්ටෑක් කරගන්නවා, ආර්එස්එම් එහෙ ආර්එස්එම්ට කතා කරලා කන්ටෑක්ට් කරගන්න ඒවගෙන් ගේන කුලියට ගේන ඒවයින් බාගයක් හම්බ වෙනවා. පට්ට කැලේ මැද්දෙ අපි ගැන හොයන්න මෙලෝ යකෙක් නෑ. අපි කාලය ගත කලේ කැලේමයි. ඔය ඉද්දි යටිගම්මන කියල කොල්ලෙකුට වලහෙක් ගැහුවා. දෙන්න පොර බදද්දි වලහට වෙඩි තියාගන්න බැරුව  අන්ත අසරණ භාවයට පත්වෙලා ඉද්දි   කෝපල් කස්තුරිආරච්චි මැද්දට පැනල තමා යටිගම්මනව බෙිරගෙන තිබුනෙ. ඒත් මහ කැලේම, අපි සෝදිසි මෙහෙයුමකට ගිහින් ඉද්දි. කෑ ගහන සද්දෙ ඇහිලා අපි දුවගෙන එද්දි යටිගම්මන ලේ පෙරාගෙන කෑ ගහනවා, කස්තුරි බඩ බදාගෙන නැමිලා කෑ ගහනවා. අනික් අය මෙි දෙන්නව ස්ට්‍රෙචර් වල දාගෙන එන්න හදනවා. කෝපල් කස්තුරිටත් අම්බානක තුවාලයි.  පොරගෙ බඩට මැහුම් දාහතක් දැම්මා.තව ටිකක් එහෙ මෙහෙ වුනානං බඩවැල් පවා එලියට එන්න ඉඩතිබුනා කියල එම්ඩීඑස් එකෙන් කිව්වා.  කෝක වෙතත් පොර වලහයි කොල්ලයි දෙන්නම බේරගත්තා. අපි පැන්නනං එක්කො කොල්ල ඉවරයි.නැත්තං වලහ ඉවරයි. ඒ දෙකම නූනොත් අපි ඉවරයි. යටිගම්මන කියන්නෙ පිලිවෙලකට හිටපු කොල්ලෙක්. කස්තුරි දඩ සයිස් පොල්ලක් අරන් මැදට පැනපු හිංද හොඳට ගියා. හැබැයි  වලහා කොල්ලගෙ මූනට සොට් එක දුන්නා.   ආාය පෙම්වන්තිය බූට් එක තිබ්බා කියලා එකෙක් වෙඩි තියාගත්තා. ඕව මෙිව එහෙන් මෙහෙන් ලීක් වෙනකොට ඉහලින් අපේ ඒකකය ආයෙ සටන් පෙරමුනට යැව්වා. ඒ ගිය ගමන තමා පුදුකුඩිකුඩිඉරුප්පු මුදාගැනීමෙි මෙහෙයුම නොහොත් එතෙක් මෙතෙක් මගේ ජීවිතයේ මුහුන දුන් දරුණුතම සටන් වැලකට කොටු වෙන්නෙ. කොටි කඩපු වැව පාමුල අපි ඇම්බුෂ් ටීම් තුනක් දාගෙන හිටියෙ. ඊට හරියටම දවස් දෙකකට කලින් තමා අණදෙන නිළධාරි කෙනෙක් නොසිටි අපිට අළුත් අණදෙන නිළධාරි කෙනෙක් පත්වෙලා  ආවෙ. අපිත් ටිකක් බ්‍රෙික් වෙලා හිටියෙ සීඔි කෙනෙක් නැතුව.


එහෙම ඉද්දි තමා දරුණු සටනක් යන අතර තුර දරුණුවටම තුවාල වෙච්චි කොල්ලෙක් පස්සට ගන්න යද්දි මෝටාරයක් වැටිලා ඒක බ්ලාස්ට් වෙලා මං නන්නත්තාර වෙලා ඔලුව හොල්මං වෙලා  ගෙයක් ඇතුලට රිංගද්දි ආර්පීජී එකක් ඇවිත් ලෙලි ගහගෙන ගියෙ.  මටත් තුවාලයි, පිටිපස්සේ ආපු  "පූවා"  නොහොත් ජයසිංහටත් තුවාලයි. අපි දෙන්නටම තුවාල එක වෙඩිල්ලක්වත් වැදිල නෙමෙි. මෝටාර් ආර්පිජී ගහද්දි කරුවලේ එහෙ මෙහෙ  දුවල එක එක ඒවගේ හැප්පිලා. අන්තිමෙිටම හැප්පුනේ තඩි කරුවලේ දොරක් වගේ පෙනිච්චි බිත්තියක් වගේ එකක් හරහා ලඟ තිබ්බ ගේකට රිංගන්න  යද්දි. සැප කනේ හිටං ඉතිං. කලුවරේ කෙඳිරිගගා අතපත ගාල තමා තුවක්කුවත් හොයාගත්තෙ. 

දැනට මගේ ගෞරව නාම වලින් නෝමල් එකක් දෙකක් විතරක් කියන්නං, හොඳ හොඳ ඒවා පස්සෙ දවසක කියන්නං. .ඒ  "කෑම නිපුන්, බත් විශාරද, සීනි කරිංඤ්ඤං කලා භූෂණ, කුම්භකර්ණ ශූරි, ව්‍යාංජන නිපුන්.... කෝපල් ආරච්චි යක්කුන්ටත් ඇරිය දෙයියන්ටත් ඇරිය. හමුදා පදක්කම් නං කියන්න ඔින නෑ. සෝක් නේ???


මීට කලින් කියයුතු කතාවකුත් තියෙනවා. ඒක පස්සෙ දවසක කියන්නං. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.31