Tuesday, April 13, 2021

ඔිලුමඩු FDL එක

 වන් බඩි ආප්... වන් බඩි මූවෙිඒඒන්.... ඩාවුන්

ටූ බඩි ආප්... ටූ බඩි මූවෙිඒඒන්.... ඩාවුන්

ත්‍රී බඩි ආාාප්...ත්‍රී බඩි මූවෙිඒඒන්... ඩාවුන් 


වම් පැත්තෙන් මාදුරුඔය ජලාශයත් දකුණු පැත්තෙන් මාදුරුඔය රක්ෂිතය මැද පිහිටි අදටත් නම නොදන්න වැවත් මැද්දෙ පිහිටි නිම්න භූමියේ අරලගංවිල පැත්තට මහඔය පැත්තේ ඉඳගෙන මූලික යුධෝපක්‍රම යටතේ කියාදුන්නු පාඩම් වල ප්‍රැක්ටිකල් පටන්ගත්තෙ උදේ හතට විතර. දවල් දොලහ වෙද්දිත් උගුර බැරැන්ඩි වෙලා අමු ලේ රහ දැනි දැනී තවත් යටි ගිරියෙන් කෑ ගහද්දිත් "යකෝ තොපිට ඔච්චරද කෑ ගහන්ඩ පුලුවන්" කියල අහ අහ, මූ වෙලා බිම දිගා වෙලා ඉන්නැද්දිත් පිටිපස්සෙන් ඇවිත් විශේෂ බළකා උපදේශකයන් තඩි ඇහැල පොලුවලින් තට්ටමට දෑත බදල දුන්නු පහරවල්නම් ජීවිතේට අමතක වෙන්නෑ. දාඩියට තෙත බරිත වෙලා හැම ඉරියව්වකටම "චිරි-චිරි" හඬ නංවමින් අපි හැරෙන හැරෙන පැත්තට අපිත් එක්කම හැරෙන නිල ඇඳුම් කමිසය හැම තිස්සේම කිව්වෙි "උඹට දැන් මහන්සී,ටිකක් විවෙික ගනින්" කියල. ඒත් දේව අණටත් එහායින් ක්‍රියාත්මක හමුදා අණ පිළි නොපැද්දොත් රිදෙන්නෙ මුලු ඇඟමයි. පොඩි වැරදීමකටත් කිලෝමීටර් ගණන් ෆෝවර්ඩ් රෝල් ගහලා බඩ ගාලා දණ ගාලා ලබා ගත්තු පුහුණුවෙි ප්‍රවීනත්වය අවුරුදු දහ අටෙි විස්සේ කොල්ලෙකුටනං මාරම වීරත්වයක්. කප්පරක් පට්ට කුණු හරප මැද්දේ, ආත්ම ගරුත්වය අමු අමුවෙි කෙළෙසන වචන දාහක් හමුවෙි කිසිම මනුෂ්‍යත්වයක් නැතැයි හැඟෙන හමුදා උපදේශකයන් තට්ටමටත්, ගහක එල්ලලා ඒත් තට්ටමටත්, අණට කීකරුව හතර අතේ දුවද්දි පස්සෙන් පන්නගෙන ඇවිත් ඇඟ හැමතැනටමත් වැවිර හිටින්න හීනි කෝටු වලින් ගහල ගහල අමුතිත්ත කුණු හරපෙන් බනිද්දි දැනෙන ෆිලින්ග් එක ඒ හමුදාවෙන් මෙහා කිසි තැනක කවදාවත් ගන්න බෑ.  ඒ හැමදේකටම පස්සෙ අල්ලගෙන ජොකත් එක්ක ඇඳුම් ඔක්කෝම ගලවල ලේ පුරපු පැල්ලම් වලයි, පුපුරල ලේ ගලන තැන්වලයි ලුනුයි මිරිස්කුඩුයි කලවම් කරල ගාල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරද්දිත් හිතට දැනෙන හැඟීම් මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඇත්තටම අපිට ඒ දෙතිස් වද මැද්දෙ සහ කඨෝරවූත් අනතුරුදායකවූත් සහ වෙහෙසකරවූත් පුහුණුව අස්සෙ හැමදාමත් රෑට ඇඬුනෙ ඇස් දෙකටත් හොරා. රස්සාවකටත් එහා ගිය ජීවිත පරිත්‍යාගයෙන් "මව් බිම, නැතිනම් මරණය" තේමා පාඨයට වහ වැටිච්චි හිච්චි සිංහල කොල්ලො ඉස්සර   කොතෙක්නම් හිටියද. මාත් ඒ එකෙකු වීම පිළිබඳව අදටත් ඇත්තේ හදවත පිරිච්චි සතුටක්.  හුස්ම ගන්න හුළඟටත් සංවෙිදී මිනිහෙක් ඉන්නවනං ඒ තමයි "සොල්දාදුවා". සමහරුනං කියනවා "ඒක උංගෙ රස්සාවනේ" කියලා. එහෙම කියන ඈයන්ට මෙි වගේ කිසිම වැදගැම්මක් නැතිවෙන්න පුලුවන්. හැබැයි උංදැලා මෙි පොලවෙ ඉපදිලා කැරපොත්තෙක් වගේ ඉඳලා හැකරැල්ලෙක් වගේ මැරෙන ජාතියේ ඈයන්.  කොච්චර උගත්තත් මෙි පුහුණුවත්, ඒ පුහුනුවෙන් ලද ඉවසීම හා  ප්‍රවීනත්වයෙන් සැබෑ යුද්ධයට මුහුන දෙන්නත් හැමෝටම බෑ. ඒකට පෞර්ෂත්වය කියන කොන්ද තියෙන්න ඔින. පොල්තෙල් වල විෂ රසායන තියෙනව කියල දැනගත්තම "මුදලාලි මෙි ගමෙි මෝලෙ හිඳින තෙල් නේදැ"යි අහන උගත්තු ඉද්දි කවදාවත් සෙබළෙක් "කෝපල් අද ඉව්වෙ ගමෙි මෝලෙන් ගෙනාපු පොල් තෙල් වලින්දැ" යි කවදාවත් අහන්නෑ. ඌට දෙන දෙයක් ඌ කනවා. 


කතාවට යමු. කැමැත්තයි, ආදරයයි, සහෝදර කමෙයි, සෙනෙහසෙයි තියෙන්නෙ එකිනෙකට අසමාන තේරුම්. ඒ ළඟින් යන වචන විතරයි . තේරුම් වෙනස්. මම දෙවෙනි වර හදාරපු එස්එෆ් සෙබළුන් උපදේශකවුනු පාඨමාලාවෙ සහෝදරයො වගේ හිටපු චරිත කිහිපයක් මටත් හිටියා. කෝප්‍රල් සුරවීර, කුලතුංග, පේමතිලක, සේනාධීර ආදිතමයන් එයින් කිහිප දෙනෙක්. පාඨමාලාව හදාරල ඒකකයට ආවට පස්සෙ කෑලි කෑලි වලට කඩලා කණ්ඩායම් වලට යැව්වත් අපි අතර තිබුනු හිතවත්කම් මග හැරුන්නෑ. අඩුම දින දෙක තුනකට සැරයක්වත් සෙට් එකෙන් කතා කරල හරි විස්තර අහන ගතියක් අපි අතර තිබුනා. එත් එක්තරා දවසක ආටි වැස්සකට තෙමිලා ඉස්සරලාම සුරවීරත් පස්සෙ අනිත් දෙන්නත් අපි අතර තිබුනු සහෝදරකම් අතෑරල මෙි ලෝකෙන්ම යන්න ගියත් අදටත් ඒ හිතවත්කම් හිත ඇතුලෙ පැලපදියම් වෙලා තියෙනවා. අදටත් ඔවුන් මතක් වෙනවා.එල්ආර්පී පාඨමාලාවෙි උසස් පෙළ පුහුණුව හදාරන්න අපිත් එක්ක සුදුසුකම් ලැබුවෙි 3ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුව නියෝජනය කල ප්ලෑටූන් එකක් විතරයි. ඔවුනුත් අපි අතරත් මනා සබඳතාවයක් කාලයක් යනකන්ම තිබුනා. අවාසනාව කියන්නෙ ඔය හැමටම වඩා එහා ගිය කාරණාවක්. එල්ආර්පී බැජ් එක ගහන්න තව එක පාඨමාලාවක් විතරක් හදාරන්න ඉතුරුවෙලා තියෙද්දි අපේ ඒකකයටවත් අපේ වටිනාකමක් නොතේරී අපිව සීසීකඩ ඇරියෙ හරියට පිස්සන් කොටුවට බෝම්බ දැම්ම වගේ මානසිකත්වයකින්. පසු කාලෙක කුරුණෑගල දි හමුවුන අපිත් එක්කම එකම පාඨමාලාව හැදෑරූ සහ අවසාන පාඨමාලාව හැදෑරූ ජාතික ආරක්ෂක බළමුළුවෙි සෙබළුන් නම් මහත් ආඩම්බරෙන් ඒ බැජ් එක  ගහද්දි ඒ දිහා බලාගෙන සුසුම් ලෑව අවස්ථානම් අනන්තයි, අප්‍රමානයි. දහඩිය ලේ කඳුලු හෙලා හදාරපු ඒ පාඨමාලාවෙි ඉතිරිය කර ගන්න නොදුන්නු එවකට අපේ නිළධාරින් සමග මගේ නම් අදටත් තියෙන්නෙ තරහවක්. 


ඒ පාඨමාලාව හදාරල ඇවිත් ඊලඟට පැවැත්වෙන බැජ් එක ලැබෙන  පාඨමාලාවට නාම යෝජනා එනකම් ඒකකයේ කණ්ඩායමක ඉද්දි දවසක් රෑක මෙසේජ් එකක් එනවා " වව්නියාව ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා රපෝර්තු කරවීමට ඔබ කණ්ඩායම් වෙතින් කෝප්‍රල් සහ ලාන්ස් කෝප්‍රල් නිළ ඇතුළුව සෙනීන් හය දෙනෙකුගේ නාම යෝජනාවන් අහවල් දින අහවල් පැයට පෙර මෙම මූලය වෙත ලබා දීමට කටයුතු කරන මෙන් මින් දන්වා සිටිමි" කියලා. ඒ අනුව එවකට සාමාන්‍ය සෙබළෙක් වුනු මගේ නමත් ඒ නාම යෝජනාවට ඇතුලත්වුනේ දෛවයේ සරදමකටද මන්දා. 


කටයුතු එසේ සිදුවෙද්දී සීටීබී බස් දෙකක් ඇවිත් නියමිත දවසට අපිව අරන් ගිහින් දැම්මෙ ඔිමන්තේ වලට. එතකොට මම දවස් 65කින් නිවාඩු ඇවිත් තිබුනෙ නෑ. ඒ ගිහින් දැම්මෙත් මහ රෑක. එදා රෑ එහෙ ඉඳලා පහුවදා අපිව අරන් ගියේ ඉස්සෙල්ලාම ඔිලුමඩු ප්‍රදේශයට. මාත් අපෙන් ගියපු තවත් හතර දෙනෙකුත් ඇතුලත් වුනේ 3වන පාබල බළ ඇණිය යටතේ පාලනය වුනු ලයින් එකේ කොනකට. අපි ගිහින් ඒ පරිසරයට යාන්තම් හුරුවීගෙන එනකොට මාන්කුලම් අපේ ඉදිරි ආරක්ෂක වළල්ලට කොටි පහර දෙන්න පටන් ගත්තා. ඒත් මහ රෑක. ගිනිරාමෙට එහෙ කට්ටිය මරාගනිද්දි අපිත් ඇලර්ට් වුනේ ඊලඟට අපිට කියල හිතාගෙන. අපිට අණ දුන්නේ සහ අපිට භූමිය පිළිබඳව හැම දෙයක්ම කියාදුන්නෙ කෝප්‍රල් සිසිර කුමාර. එයත් එක්ක ඉන්න එකත් එක්තරා අභියෝගයක්. ඒ රාජකීය අති පන්ඩිත සහ මෙි ලෝකෙ නොදන්නා දෙයක් නැති "සිදත්" කෙනෙක්. ඒත් අපිට ඒවා අදාල නෑ. අපේ පාඩුවෙි රාජකාරි කරගෙන හිටියා. 


එදා මාන්කුලමට ගහල සතියක් විතර යනකොට අපේ ලයින් එකටත් උන් පහර දෙන්න පටන් ගත්තා. අපිත්, 1වන කාරක ඉංජිනේරු බළකායට අයත් 11 බළඝණයේ ටීම් එකකුත් තවත් පොදු සමා අධියරයක් යටතේ නැවත හමුදා සේවයට එකතුවූ කණ්ඩායමකුත් තමා මෙි වෙද්දි මෙි ලයින් එකේ පාබල ඒකකය යටතේ හිටියෙ. ඉංජිනේරු කට්ටිය එයාලාට ආවෙිනික රාජකාරි වලට ඇවිත් හිටියෙ. අපිත්, පොදුසමා (35 කල්ලිය) අයත් පිලිවෙලින් ලයින් එකේ එලාගෙන හිටියෙ. එක්තරා මූසල රාත්‍රියක කොටි බර අවි සහ සැහැල්ලු අවි භාවිතා කරමින් එක්වරම අපේ ලයින් එකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගද්දි කලින්ම එහෙම දෙයක් වෙයි කියල සූදානමින් හිටපු අපි කපාගත්තු යුධ අගල් වලට බැහැලා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. උන්ගේ මෝටාර් බෝම්බ හරි ඉලක්ක වලට එක දෙක පතිත වෙන්න පටන් ගත්තම අපිට ඒ ප්‍රහාරයට මුහුන දීගන්න සෑහෙන්න අමාරුවුනා.  ඒත් එහෙම කියලා ගේම අතාරින්නත් බෑ. මෙතන සිද්දවෙන සුලු අතපසුවීමකින් පවා අපිට නවතින්න වෙන්නෙ අකුලගෙන ගිහින් වව්නියාවෙ. එහෙම නූනොත්  ජයරත්න එකේ.  මාන්කුලම හරියේ ආරක්ෂක වළල්ලේ හිටියෙ නේවි එකෙන්. බැරිවෙලාවක්වත් නේවි එක හරියෙන් ලයින් එක කැඩුනොත් අපිට කඩා බිඳගෙන දුවල ගිහින් පනින්න වෙන්නෙ පිටි පස්සෙ තිබ්බ මහා වැවකට. ඊට පස්සෙ දවසක අපි පසු බැස්සෙත් එහෙමයි. කරච්චි පැත්තෙන් පිකප් වෙන උන්ගෙ ආටි මෝටාර් අපේ ජීවිත හොයාගෙන පියාඹාගෙන එද්දි ඒ ඇහෙන සද්දෙට ටිකක් ඔලුව පාත් කලත් ඊලඟට ඔලුව උස්සන්නේ වෙඩි තියාගත්තු ගමන්. කොහොම හරි මෙි ප්‍රහාරය සෑහෙන කාලයක් අපි අල්ලගෙන හිටියා. 35 කල්ලිය පැත්තෙන් මුලින්ම පටන් ගත්දි තිබුන සද්දය, ගැම්ම එන්න එන්නම ටික ටික අඩුවුනා. ඊලඟට කොටින්ගෙ ඉලක්කය වුනේ ඒ සද්දෙ අඩු පැත්ත. අපේ සහායක භඨ පිරිස් ඒ අඩු පැත්ත පුරවන්න හෝ ගාල දුවගෙන ආවෙත් එල්ල වෙන දරුණු ප්‍රහාරය මැද්දෙ. 


රෑ දොලහට විතර පටන්ගෙන විටින් විට පැවතුනු ප්‍රහාරය පාන්දර තුන හතර විතර වෙද්දි එක්වරම දැවැන්ත ප්‍රහාරයක් බවට පරිවර්තනය වුනා.  එන්න එන්නම සටන දරුණුවුනා. උන් එක දිගටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අපිත් අල්ලගෙන හිටියෙ බොහොම සහ මෙහෙමයි කියල වචනයෙන් කියාගත නොහැකි ආකාරයේ අමාරුවකින්. කොයි වෙලාවෙි මුන් ලයින් එක කඩාගෙන පනීද කියල බයකුත් නොතිබුනාම නෙමෙි. ඒ හිංදම වෙඩි තියන වෙිගෙට කට්ට කරුවලේ මැගසින් ෆිල් කරන්න ගිහින් මැගසින් ලිප්ස් වලට අත කැපිල ලේ ගලද්දිත් නැවත නැවත මැගසින් පුරවාගනිමින්, පුරවා දෙමින් සහ පුරවාගෙන වෙඩි තබමින් ගැම්මෙන්ම ගේමෙ හිටිය අපිට චුට්ටක් හරි අස්වැසිල්ලක් වුනේ සහායක භට පිරිස් විසින් පිටුපස සිට පුරවා දෙන සහ ගෙනත් දෙන මැගසින් ලෝකය. මම උනත් මැරුනොත් මගේ තැන ගන්නත් බලාගෙන තව කිහිප දෙනෙක්ම එතන මැගසින් පිරෙව්වා. 


 එක දිගටම නූනත් සැරෙන් සැරේ එල්ලවුනු ඒ ප්‍රහාරය පාන්දර තුන තුන හමාරේ විතර ඉඳලා එක දිගටම පහුවදා උදේ හත විතර වෙනකම් පැවතුනා. අපිත් "මව්බිම නැත්තං මරණය" කියල හිතාගෙන එන හැමදේටම නොබියව මුහුණ දුන්නා. එකා දෙන්නා සටන අතහැර දමා මහ පොලව බදාගෙන වැටෙද්දිත් ඒ දිහාවත් නොබලාම  අපි අපේ ජීවිත ගැන ආශාව අත්හැර දමල කොහොමහරි එලිවෙනකම් සටන අල්ලගෙන හිටියා. වෙඩි තිබ්බ හැටි කියන්නෙ සටනෙ මුල් හරියෙදි  වරක් මගේ අවිය ට මගේම අතත් පිච්චුනා. උදේ ප්‍රහාරය නැවතුනාට පස්සෙ  ප්‍රතිඵල මහ ගොඩයි. ඉංජිනේරු බළකායේ දහතුන් දෙනෙකුත් (මෝටාර් ප්‍රහාරයකට ලක්ව) 35 කල්ලියේ 19 දෙනෙකුත් සහ අපේ ඒකකයේ එක්කෙනෙකුත් ඇතුලුව ඔක්කොම සෙබළුන් 38 දෙනෙක් මව්බිම දිනවීම වෙනුවෙන් මරණය තෝරගෙන තිබුනා. උදේ අට නවය වෙද්දිත් තුවාල වුනු සෙබළුන් සහ මියගිය සෙබළුන් ඉවත් කිරීම නැවතිලා තිබුන්නෑ. ට්‍රැක්ටර් ගණන් පුරවලා අරන් යන ඩෙත් බොඩි සහ  තුවාලවුනු අය දිහා  බලං හිටියෙ "ඊලඟ මොහොතෙ ඔය ටැට්ටරේ යන්නෙ මමද" කියල  හිත හිත. හැබැයි අනිවාරයෙන්ම මෙි  ප්‍රහාරයෙන් අපිට වඩා උන්ට හානි වෙන්න ඔීන. මොකද කියනවනං පාන්දර වෙන්න වෙන්න අපේ ලයින් එක කඩාගෙන ඇතුලට පනින්න ඉස්සරහට ආව ටෙරාලට බැරිම තැන අපි පෝලිමට යාන්ත්‍රික තුවක්කු දාගෙන දුන්නු දීමනාව අදටත් කන්වල රැව් පිළිරැව් දෙනවා වාගෙ දැනෙනවා. පාන්දර හරියෙදි මාත් තුවාල වෙච්චි මගේ පොයින්ට් එකේ සීනියර් වෙච්චි විතාරණ පාවිච්චි කරපු එල්එම්ජී එක තමා ගත්තෙ. එසේ ගුවන් සහායක් නොලබාම පැය හත අටක් යනතුරු මහ කැලයක් මැද්දෙ මරණයත් එක්ක මෙවැනි ප්‍රහාරයක් අල්ලං ඉන්නව කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙි. කඩාගෙන බිඳගෙන එන මුහුදු රැල්ලක් වගේ සතුරු රැල්ලක් හෝල්ට් කරනවා කියන්නෙ එසේ මෙසේ සෙල්ලමක් නෙමෙි. උදේට එලිවෙච්චි ගමන් ආව එම්අයි 24 යානා දෙකක් මීටර් සීයක් විතර දුරකින් අපිටත් පිටි පස්සෙ ගස් කරටිවල ගෑවෙන නොගෑවෙන මට්ටමෙන් ඉඳගෙන අපිට සහාය නොදැක්වුවානං අනිවාරයෙන්ම අදටත් අවුරුද්දක් ගානෙ අපේ අම්මත් රණවිරු ස්මාරකයෙ මගේ නමත් හොයනව. මොකද කියනවනං කොච්චර උනත් මට ඒ වෙද්දිනම් මෙි ගේම අතාරින්න හිතිල තිබුනෙ. ඒ මගේ එෆ්ඩීඑල් එක නොහොත් ඉදිරි ආරක්ෂක වළල්ලේ පළවෙනිම අත්දැකීම. ඒකත් පැය හත අටක දුක් සීන් එකක්. 


එදායින් ඇරඹුණු මගේ දෙවැනි ජීවිතය වට්ටප්පලෛ වලින් පසු බැහැලා අතුරුදහන් ලිස්ට් එකටත් නම වැදිලා වව්නියාවට වෙනකං ඇවිත් නැවත මෙි මූසල ලයින් එකට යන්න බෑ කියලා ආපහු ඒකකයට අපිව අරන් යනකම්ම ගහපු ගේම ඇත්තටම ජයග්‍රහනයක්. ඒ දේශපාලනයේ අභිමතාර්ථයන් උදෙසා ජීවිතය දන්දීමෙි පිළිවෙත අපේ බොක්කේවත් නොතිබුනු නිසා. එදා ගැහැණියක් වෙලත් චන්ද්‍රිකා මැඩම් ගහපු ගේම් අදටත් මතක් වෙන්නේ කාන්තාවක් වශයෙන් අපිව බෙිරගන්න කල සැලසුම් සහ ප්‍රයෝගයන්. ඒකනෙ හමුදාවෙ පරන ඈයො උන්දැට තාමත් ආදරේ. 


විශේෂම දේ එදා රෑ සිරස රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට කීවෙි "ඔිලුමඩු ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ලවූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සෙබලුන් දොලහක් මරුට, තවත් සිව් දෙනෙක් තුවාල ලබයි" කියල. ආයෙත් කිව්වා "කොටි සියයකට අධික පිරිසක් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත." කියල.

අද විතරක් නෙමෙි ෆෙන්ස් හැමදාම උං කිව්වෙ බොරුම තමා. 38ක් මමම ඇස් දෙකෙන් දැක්කා. තුවාල වෙච්චි 23 දෙනෙක් එම්ඩීඑස් එකට අරන් ගියේ ට්‍රැක්ටරේයි සීඔිගෙ වාහනේයි ඇම්බියුලන්ස් එකෙයි දාගෙන. මං මගේ රෙඩියෝ එකට තට්ටුවකුත් දාල බැලුව පිට රටක චැනල් එකක්වත් අහුවෙලාවත්ද කියල හිතල. 

 





 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.04.13

No comments:

Post a Comment