෴ගොං කම෴
=============
අම්මා වගෙයි ඇය සැරසුන සුවඳ මලින්
මහ විපතක් වුනා පවසමි කඳුලු වලින්
අවුරුදු හැට අටයි ඇවිදියි තවම කෙලින්
නෑගම් ආවෙ ඇය මෙහෙ මාසෙකට කලින්
දරු සෙනෙහස තිබෙි ඈ ළඟ පිරී'තිරී
වචනය පවා සෙල්ලිපියකි උදාගිරී
සලකන්නට උනත් ඈ හට මොකෝ බැරී
නැන්දම්මාය මගෙ පපුවෙහි සෙනේ පිරී
හැට කෝටියකි ලෙඩ ඉහ මත්තෙන් බැස්ස
ඇස් වහ කටවහට වෙයි වැඩියම දස්ස
පොඩ්ඩක් වැරදුනොත් දික්වෙනවය හොස්ස
මට සිරිලිය වගෙයි ඒ වැටකොලු මැස්ස
වයිරස් ලෙඩෙිකින් මුලු ලෝකෙම දැවුනේ
ඒකය වත්තෙ වැඩිපුර කාලය ගෙවුනේ
දෙවියන් දෙනව වගෙ පලදාවද මැවුනේ
මගෙ දෑතින්ය එළවලු කොටුවම වැවුනේ
ඇය ආ දාට පසු දින කොරටුවට ගිහින්
දුටුවෙමි බලන හැටි හිස ඇල කරපු ඇහින්
දෙවියනි මමත් කරගත් කරුමයකි විහින්
ගෙඩි මල් හැදුනු ගස් සේරම මැරිල ගිහින්
සමහර වෙලාවට අමුතුම වචන කියයි
සුලු සුලු දේට වුව දෙස් සහ සෝලි තියයි
ඇය මිදුලෙනං පාරේ කිසිවෙකුද නොයයි
ඇගෙ ඇස් කට වහට අපෙ මුලු ගමම බයයි
නියඟය තිබුනි පහුගිය කල වැඩියක්ම
"අහසට හෙන ගහල වගෙ" කිව් හැටියෙන්ම
ගහ ගහ අකුණු දවසෙන් වැඩි හරියක්ම
මහ වැසි වැටුනි එක දිගටම සතියක්ම
ගෙමැදේ නටයි ආදර බලු පැටිය මගේ
දැකලා ඒක "හරි හුරතල් එකෙකි" අගේ
කිව්වා පමණි ඉහ මොල රත්වුනිය මගේ
එක වරුවකින් ලොං සේරම හැලුන උගේ
අවුරුදු දාට ගන්නට රඹ කැන සීනි
යන්තම් පැහීගෙන එන කාලෙකි හීනී
දැකලා ඒක මාමන්ඩිගෙ මහ රාණී
සිදුවුන දේ අහෝ පවසන්නට බෑනී
දවසක් උදේ අවදිව කොරටුවෙ මෑතින්
කර කර හිටියෙ වැඩ, වැට පඳුරක පාතින්
දුටුවෙමි බලන හැටි නැන්දම්මද ඈතින්
හැඳ සිටි සරම ඉස්සුනි නොදැනිම දෑතින්
ගොං කම ඉහේ මොලයක් නැති තරම් කැත
තවමත් රිදෙනවා ඒ කල දෙයින් හිත
පොඩි පොඩි බිබිලි දා ඉදිමී සුරන් කෙත
කහනව කහනවා තව ඉවරයක් නැත
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.04.15
No comments:
Post a Comment