Thursday, April 1, 2021

පුංචි පරන්තන් 02




මට හමුදාවෙ ගෞරව නාම කිහිපයක් තිබුනා. ඒවා නමෙි මුලට හෝ අගට නොදැම්මත් ඒ හැම ගෞරව නාමයක්ම අපේ ඒකකයේ කට්ටියම දන්නවා. 

අනේ මංදා ඉතින් ඒවා කියලත් බෑ. නොකියත් බෑ. කිව්වොත් මගේ මාන්නය පෙන්නනවා කියයි. නැත්තං "ආපෝ මුගේ තියෙන පඩෙි" කියයි. කතාව මැදදි හරි අවසානෙදි හරි හිතුනොත් කියන්නං. 


පුංචි පරන්තන් අපි තමිල් සෙල්වම්ගෙ ගම සෝදිසි කරන්න ගිහින් හරි කලබලයක් උනා. ඒ එහෙ ගිය දෙවෙනි දවසේ  මගේ බැචෙක්ට ට්‍රැපින් එකක් පත්තුවෙලා. අපි කව්රුත් නොසිතන නොපතන වෙිලාවල් වලදි නොසිතූ දෙයක් සිද්ද වෙනවා. ඒකට සමහරු කියන්නෙ දෛවය කියලා. දෛවය කිව්වට හැමදේම දෛවයමත් නෙමෙි. අපි දරණ මත සහ පහල කරන සිතුවිලි අනුව කොයි දෛවයත් ආපහු හරවන්න පුලුවන්. ධර්මකීර්තිත් පුදුම මනුස්සයෙක්. කියන දෙයක් නාහට අහන්නෑ. ඒත් අහිංසකයි. අපි පහුවදා වෙල්යායක් ක්ලියර් කරන්න යනකොට තමා ට්‍රැපින් එක පත්තුවුනේ. ඒකෙන් තුවාලවුනේ ධර්මෙ විතරයි. මුණත් තුවාලවෙලා. දකුණු අත මැණික් කටුවෙන් ගලෝලම ගිහිල්ලා. කකුලක් ඩැමෙිජ්. අපිත් හැකි ඉක්මනට වටෙිම හූරල හූරල ක්ලියර් කරගෙන ධර්මෙ ඉන්න තැනට ගිහින් ඌවත් අරගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන කිලෝමීටර් ගණනාවක් පයින් ආවා. ඒ වෙද්දි අපේ ඒකකයේ වාහනේ ලයින් එකේ තුවාල  කාරයො අදින්න ගිහින් තිබුනේ. ඒක එනකම් අපි ඌව අරගෙන ඉස්සරහට ගියා. අපි එහෙම අරන් ගියේ 58 සේකාංකයෙ එම්ඩීඑස් එකට (වෛද්‍ය අංශය) භාර දෙන්න. ඒ යද්දි අපේ ඉස්කෝලෙ එකට ඉගෙනගත්තු කොල්ලෙකුත් හම්බවුනා. අපි යද්දි චොපර් එකක් එනකං ඩෙත් බොඩි කිහිපයකුත් තව ලයින් එකේ තුවාල වෙච්චි කිහිප දෙනෙකුත් හිටියා, අනුරාධපුරේට යවන්න. කලු ඉටිරෙදිවලින් ඔතලා දෙපැත්ත ගැට ගහලා ගොඩ ගහලා තිබුනු බොඩි ටික දැක්කමනං "අනේ අපොයි" කියලා හිතුනා. අපි ඔිවට කියන්නෙ ටොපිය කියලා. යුධ බිමෙිදී චූටි වැරැද්දක් කරනවා දැක්කත් අහන්නෙ "තෝත් ආසද ටොපියක් වෙලා යන්න?" කියලා. ධර්මයත් යනකම්ම කෑ ගැහුවෙි "මාව මරපං මාව මරපං" කියලා. එහෙම කියන්න එපා කියලා කියලා අහන්නැති, ඒත් බැරිම තැන හොඳ තිත්ත කුණුහරප වැලකින් අමතපුවම  අනේ ඌ කට පියාගත්තා. විස නසන්නෙ තවත් විසකින් කියනවනෙ. ඉතින් කුණුහරපයක් කිව්ව කියල ඒකට පාපයක් සිද්දවෙන්නෑ. නැත්තං හොඳින් කිව්වම කට පියාගන්න එපැයි. 


අපිත් එම්අයි 17 යානය එනකං ධර්මෙයත් එක්ක ඉඳලා බොඩි ටිකත් පටවන්න උදව් කරලා හම්බවෙච්චි යාලුව එක්කත් කතා කරලා ආපහු කර කර හිටපු රාජකාරියට ගියා.  ධර්මෙ පවු. මගේ වයසෙ උනත් කෙල්ලෙක් යාලු කරගෙන ඔන්නං මාස තුනක් ඇති. ඒ වෙනකොට මම බැඳලා.  රණවිරු සෙවනට ඌව බලන්න නිවාඩු ආව දවසක ගිය වෙලාවෙ "ලව් එක කෝමද මචං"  ඇහුවම  වටෙි ඉන්න අපිවත් පිච්චෙන තරමෙි උණුසුම් බැරෑරුම් ඒත් දිග සුසුමක් අරං පිට කරල  කිව්වෙ "කෙල්ලොනං මොනාද මචං" කියලා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. මාත් කාලයක් ඔය දේ අත්වින්ද හිංද මටනං ඔිවගේ ගානක් තිබුනෙම නෑ. 


අපි ඒ ක්‍රියාන්විතය ඉවර කරලා ඇතුලට ආවහම කෝස් එකේ ටෙස්ට් එක දඩ බඩ ගාලා ඉවරකලා. ඒ වෙද්දි විශ්වමඩු වලින් කොටුවෙච්චි දෙමළ මිනිස්සු හමුදා පාලනය තිබුනු පැත්තට ගන්න අපේ කට්ටිය යවන්න ඔින නිසා තමා ඉක්මනින් ඉවරකලේ. ඒ ඉවරකල දවසෙම තමා කපිතන් වන්නිනායක එක්ක විශ්වමඩු යන්න මගේ නම දාල තිබුනෙ. මං හමුදා ජීවිතේ කවදාවත්  අඬල දොඩල නිවාඩු ගිහින් නෑ. දුන්නොත් යනවා. නැත්තං දෙන දවසක යනවා. ඒත් මට ඒ කාල සීමාවෙ අනිවාරයෙන් නිවාඩු එන්න ඔින හේතුවක් තිබුනා.ඒ වෙද්දිත් නිවාඩු ඇවිත් ගිහින් මාස දෙකහමාරකට ආසන්නයි. මං සීඑස්එම්ගෙන් හෙන ගේමක් ඉල්ලලා බැරිම තැන  කපිතන් වන්නිනායකටම නිවාඩු යන්න ඔින කිව්වට පස්සෙ තමා සර් කිව්වෙ "හරි ඔයා යන්න" කියලා. මමත් නිවාඩු දාල ආව. ඒ අතරෙ තමා විශ්වමඩුවල ඒ රාජකාරියට ගියපු කපිතන් වන්නිනායක ඇතුලු අපේ 19 දෙනෙක් සූසයිඩ් එකකට අහුවෙලා එකම තැන මෙි ලෝකෙ අතැරල ගියේ.. (ඒ කතාව කලින් කවිවා) කපිතන් වන්නිනායක කියන්නෙ මං ගොඩක් ආදරේ කරන චරිතයක්.  හමුදාවෙ එහෙම අය ගොඩක් අඩුයි. නමුත් ඒ සර් කොල්ලො වෙනුවෙන් පන ඇරලා හිටපු කෙනෙක්. මම විතරක් නෙමෙි අපේ ඒකකයේ හැමෝම එක සේම ආදරය කරපු චරිතයක්. අපේ සීඑස්එම් පවා ඒ බිලාස්ට් එකට අහුවෙලා නැතිවුනා. 


එක දවසක් මම චීටා එකේ ඉන්නකොට හදිසි සෝදිසි මෙහෙයුමකට ගිහින් ආවා. මම කිව්වෙ අපේ පළවෙනි සෙක්ෂන් එක. අපිට ඒ දවස්වල කිව්වෙ "බත් ප්ලැටූන් එක" කියලා. (ඒවා කලින් කතා කිහිපයකම කියල ඇති. ) එදා අපි ගිහින් එද්දි කෑම ඉවරයි. මමත් ආධුනික සෙබළ ඉඳලා සාමාන්‍ය සෙබළ තත්වෙට පත්වුනා විතරයි. අපි ආවෙ ඒ කඳවුර හරහා. පස්සෙ අපි ආවා කියලා සර්ට පොඩ්ඩක් මතක් කරන්න ඔින කියලා සාජන් කිව්වා. අපි ෆීඩ්බෑක් එක දෙන්න ගියාම ඉස්සෙල්ලම කිව්වෙ "ඒව පස්සෙ පුලුවන්, දැං දෙකහමාරයි, ගිහින් කාල වරෙල්ලා" කියලා. අපි යද්දි ඒ කඳවුරේ කෑම ඉවරයි. අපිට අදාල කඳවුරකුත් නෙමෙයි. අපි එතකොට කල්කුඩා හිටියෙ. ඒ අපේ සී කණ්ඩායම හින්දා හා ඒ කඳවුර හරහා ආව හිංදා  සාජන් කිව්වා ගිහින් මෙහෙ ඔිසීට ටිකක් කතා  කරලා ඒ ගමන්ම සෙට් එකෙන් කල්කුඩා වලටත් කතා කරලා වාහනයක් ගෙන්නගෙන ඉතිරි ටික යමු කියලා.ටික වෙලාවකට පස්සෙ  කෑම නොතිබුනත් අපි කෑව විදියට ඇවිත් සර්ට කතා කලා. කෑවද ඇහුවා. අපි කෑව කිව්වා. එතකොට සර් හිනාවෙලා කිව්වා, "කෑවට කමක් නෑ, උඹලට කන්ඩත් බැරි නෑනෙ. ආං පේමරත්න  කෑම හදනවා,  යනින් ගමන් කාලම පලයල්ලා" කියලා. එදා අපිට ඔෆිසර් මෙස් එකෙන් කෑම දිල තමා එව්වෙ. ඒ කියන්නෙ අපි කෑව කිව්වෙ බොරුවට කියලත් සහ ඒ වෙලාවට මෙස් එකේ කෑම ඉවර වෙන්න ඇති කියලත් සර් දැනගන්න ඇති. මොකද නිලධාරි නිවස්නයේ කුක් මයි අපිට කෑම හදන්නෙත්. මහ මෙස් එකේ ඒවමයි ඔෆිසර් මෙස් එකේ තියෙන්නෙත්. අපිත් ඔෆිසර් මෙස් එකෙන් කෑම අරන් ඩිෆෙන්ස් එක උඩට නැගලා ඒක උඩ පෝලිමට ඉඳගෙන කාල තමා එන්න ආවෙ. ඒ අපි හිතුවට වඩා කාලයක් ක්‍රියාන්විතයට ගිය නිසා එහෙම වුනේ. අපි එක ඒකකයේ වුනත් වෙන කව්රුවත් එහෙම කරලා නෑ. 


මමත් මා එක්ක නිවාඩු ගිහින් ආපු තව කිහිප දෙනෙකුත් කිළිනොච්චියට ඇවිත් ඒකකය තියෙන තැන හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා. එතකොට ඒකකයක් එක තැනක දවසකට වඩා ඉන්නෑ. අපේ පසුමූලයෙන්වත් දන්නෑ ඒකකය තියෙන තැන. ෆෝන් වැඩ කරන්නෙත් නෑ. බැරිම තැන අපි බඩගින්නෙ ඉරනමඩු පැත්තට ඉබාගාතෙ ඇවිදගෙන යද්දි ඉංජිනේරු ඒකකයට අයත් නිළධාරියෙක් හම්බවුනා. රෑ වෙන්නත් කිට්ටු නිසා අපි වාහනේ නැවැත්තුවෙි පිහිටක් සරණක් බලාපොරොත්තුවෙන්. ඒකෙ ආවෙ ඔෆිසර් කෙනෙක්. ඒ සර්ට විස්තරේ කිව්වම අපිව වාහනේ දාගෙන එයාලගෙ යුනිට් එකට එක්ක ගිහින් එයාලාගෙ සීඔි මාර්ගයෙන් තමා යුනිට් එක තියෙන තැන හොයාගත්තෙ.  අපේ ලීව්  ස්ලිප් එකෙත් ඒ සර්ම අත්සනක් ගහල දුන්නා අපි නිවාඩු එන්න තිබ්බ දවසට ඇවිත් ඒකකය හොයාගන්න බැරුව එයාලගෙ ඒකකයේ දවසක් හිටියා කියලා. මොකද යුද්දෙ කියල නෑ, අපි ගැන ටක්කෙටම සමහරු හොයනවා. සමහර අපේම නිළධාරින්ගෙන් තමා බෙිරෙන්න බැරි. ඒ ඉතින් අපේ වැරැද්දනේ. කැරැට්ටුවෙි හොඳකම තමා. ඒකටත් එක හේතුනං අටෝරාසියක් තියෙනවා. ඒ සමහර නිළධාරි කිව්වෙ එක්කෙනෙකුට. එයා මුස්ලිම් සහ අළුත් ඔෆිසර් කෙනෙක්. මගේ ටීම් එකේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා නැතිවුනා. එයාගෙ මළගෙදරට යන්න මෙයා දුන්නෙ දවස් තුනක නිවාඩුවක්. මම සර්ට ඒක තේරුම් කරල දෙන්න යනකොට මට බැන්නා. සර් කීවෙම දවස් තුනක් ඇති කියලා. මං දවස් නවයක් අරන් දෙන්න ට්‍රයි එක. යකෝ එකකුස උපන් සහෝදරයෙක්නෙ. යුධ වාතාවරණයනම් කමක් නෑ කියමුකො. සර් කියන්නෙම අද උදේ මැරුනම අද රෑ අවසන් කටයුතු කරල ඔන්නං හෙටත් ඉඳලා අනිද්දා වරෙන් කියලා. කේස් එක හෙන ලොකුවට ගියා. බැලින්නං සර්රුත් හරි. මාත් හරි. ඒකට කියන්නෙ අනවබෝධය කියලා. පස්සෙ මං, මගෙන්  කියවුන දේවල් වලට  සමාවත් අරගෙන ආවට හිතේ කහට චුට්ටක් තිබුනා. ඒක එතුමාගෙත් තියෙන්න ඇති අනිවාරයෙන්ම. අපි කියන්නෙත් විඳින්න පුලුවන් දේවල් නෙමෙිනෙ. එයා කියල තියෙන්නෙ එයාලගෙ සිස්ටම් එක. එයා බෞද්ධයෙකුගෙ අවසාන කටයුතු කෙරෙන හැටි අහලවත් නැද්ද කොහෙද.

පස්සෙ සීඔි දක්වා කේස් එක අරන් ගියාම තමා ඌට දවස් දහයක් නිවාඩු හම්බුනේ. උගේ නම සුනිල්. ඌ මටනෙ කියන්නෙ "කෝපල්, මට හත්දවසෙ දානෙටවත් ඉන්න ලැබුන්නැත්තං  මං ආයෙ මෙහෙ පැත්ත පලාතක පස් පාගන්න එන්නෑ" කියලා. ඒ කියන්නෙ ඇබ්සන් වෙනවලු. මං අන්තිමෙි ගිරේට අහුවෙච්චි පුවක් ගෙඩියක් ගානයි. 


ඒව මෙිවත් විසඳිලා කරක් ගග ගගහ ඉන්නකොට තමා විශ්වමඩුවලින් ආරච්චිල ඇතුලු බෙිබදු සෙට් එකට අලුත් ඉරක් පායන්නෙ. අපේ හත්වැනි ඒකකයේ ඔිසී කෙනෙක් තමා ඉර පෑවෙව්වෙ. ඒ සර් මගේ සුපිරි බොක්කක්. ඔයාලාට මතක ඇති මාව සුගන්දිනිගෙ කේස් එකට කල්කුඩා එව්වාය කිව්ව කතාව. කල්කුඩාවලට ඇවිත් ඉන්න බැරිම තැන වැඩි ඇඳුනුම් කමක් නැති, ඒත් හොඳයි කියල හිතුනු සාජන් කෙනෙකුට මං කතාව කිව්වෙ කියලත් කිව්වනෙ. අන්න ඒ සැරයන් තමා සෙසුනිළ අධිකාරියට පත්වෙලා හත්වැනි ඒකකයේ ලුතිතන් රෑන්ක් එකෙන් ඔිසී  තනතුරේ හිටියෙ. සර්ව මට හම්බවුනේ විශ්වමඩු පාලම ගාවදි. ඒත් අහම්බෙන්. අපි සෝදිසි මෙහෙයුමක් (මරිසි සෙවීමෙි ක්‍රියාන්විතය) ගිහින් එද්දි සුපුරුදු කටහඬක් හයියෙන් කතාකරනව ඇහිල ඒ කටහඬට කාන්දමක් වගේ ඇදිල ගියා. අපේ යුනිට් එකයි මෙිකයි මෙි වෙද්දි කිට්ටුව කිට්ටුව හිටියෙ. ඒ සර් විශ්වමඩු පාලම යට ඔිපන් එකක කොටින්ට ගහන්න මෝටාර් වගයක් ස්ථානගත කරන වැඩක් නිරීක්ෂණය  කර කර හිටියෙ. මං පාලම උඩ ඉඳන්;

*ඒහ් බැජී...හ් කියල කෑ ගැහුව.

පොරත් කව්ද යකෝ තිස්ස තිස්ස කියන්නෙ බලන්න පාලම උඩ බැලුව. බලද්දි මං. අනේ අම්මෙි ඉතින්..... ඈ. කාලෙකින් අපි හම්බවුනෙත්.( සර් මගේ බැච් මෙිට් කෙනෙක් නෙමෙි. ඒ මං කතා කරන හැටි. ) කර කර හිටපු වැඩෙි සාජන් කෙනෙක්ට කරගෙන යන්න කියල සර් මට පල්ලෙහාට කතා කලා. මං පල්ලම් බැස්සා. ඒ ඇවිත් සර්ගෙ හට් එක ගාවට ගිහින් ආගිය දේවල් කතා කර කර ඉද්දි සර් මගෙන් ඇහුවා "මී කනක් තරම්වත් ටිකක් නැද්ද බං" කියල. මොකද අප්පේ අපි ගාව නැත්තෙ. ඒව නැත්තං යුද්දෙකුත් නෑ වගේ.  එහෙනං ඒව මෙි ලෝකෙ නැති දෙයක් වෙන්න ඔින. මං ලඟ තිබ්බ ඒවගෙන් බාගයක්ම එයාට දීල ඒකට කළගුන සලකන්න මට ලීටරේ ස්ප්‍රයිට් බෝතල් තුනක් පුරෝලා අරක්කු හම්බුනා. ඒ තල් අරක්කු නොහොත් පැල්මයිරා. මයෙ අප්පේ ඉතින් ඒ සර්ට නිවන් යන්ඩ ඒ පිනම ඇති. ඒව ගඳක් සුවඳක් නෑ. ස්ප්‍රීට් තිබුනෙ. අපි ගියපු හතර දෙනයි සර්රුයි එකට එකේ අනුපාතෙට ඇල් ජෝ කලවම් කරලා එතනදිම බෝතලයක් බීලා, සර්ගෙම කෑම එකත් කාල යන ගමන් කන්නං කියල සර්ගෙ පැක් එක උඩ තිබ්බ ඇම්බුං කෙසෙල් ඇවරියකුත් පැක් එකට දාගෙන තමා එන්න ආවෙ. (දැන්නං එතුමා හමුදාවෙ නෑ. රට ඉන්නෙ.) සර් අධිකාරියට පත්වෙන්න කලින් අපි දෙන්නයි අපිත් එක්ක යන කොල්ලොයි කරපුවා වෙනම පොතක් ලියතෑකි. ඒ තරම් ෆිට් එකක් තිබුනෙ. කොටි ඒරියා එකක තිබ්බ සමූපකාරයකට කොටි ගහපු මෝටාර් එකක් වැටිලා අපි දකිද්දි එතන හෙන ගිනිවිජ්ජුම්බරයක් වෙලා තිබුනෙ ⁣. දෙයියනේ කියන්නෙ සර්ටත් කන්න බැරි හෙන අසනීපයක් තිබුනා ඒ දවස්වල. මිල්ක් මෙිඩ් කිරි ටින් එක, එක උගුරට ගහන්නෙ. යෝගට් එක ටිකක් මිරිකලා වටෙි බුරුල් කරලා දෙතුන් පාරක් හොල්ලලා "බොහ්" ගාන සද්දෙන් එක පාර කටට දාගෙන ගිලින්නෙ. බිත්තර කියන්නෙ නයයි අඳුකොලයි වාගෙ. කිලෝ මීටරයකට එහා බිත්තරයක් තියනවනං පොර ඒක මෙහා ඉඳලා දන්නවා. එකක් ගන්නවා, තුවක්කුවෙ බැරල් එකේ ගහනවා, නියපොත්තෙන්  උඩ සිවිය අයින් කරනවා, ඊලගට "බුග්" ගාල කටෙි. ආං එහෙමයි ඒ සර්. මටත් ඔිව පුරුද්දට ගියේ එයා එක්ක ඉඳලමයි. මට ෆිට් වුනෙත් සුගන්දිනීගෙ කේස් එකෙන්මයි. මං පිස්සෙක් කියලා කොන් කරලා  නිදැල්ලෙ ඇරපු හරකෙක් වගේ ඉන්නකොට තමා එයා සැරයන් කාලෙම ආයෙ මට ෆිට් වෙන්නෙ. 


අපි පැල්මයිරා ගැහුවට මොකද ජීවිතේ පලවෙනි වතාවට බිව්ව ඒව පට්ටෙටම වැදුනා. ඒවා බීල අපි ආවෙ මහ කැලේ මැද්දෙ ගීතයෙන් ගීතය කර කර. ආයෙ එක තැනක ඉඳගෙන "විනාඩියක් පමණයි" ත් කලා.  ඒ කියන්නෙ එක වචනෙ දෙපාරක් කියන්නත් බෑ. ඔව් නෑ බෑ කියන්නත් බෑ. විනාඩියක් කතා කරන්නත් ඔින. එකෙක් පස්න අහනවා, අපි උත්තර දෙනවා. දිනන එකාට පැල්මයිරා උගුරක් දෙනවා. ඔව්ව මෙව්ව කර කර අපි කොහොම හරි හවස හය වෙද්දි හිටපු තැනට ආවා. ඒ එන්න කලින් අපිට හම්බවුනා උන්ගෙ ෆාර්ම් එක. දැං ඒක කරන්නෙ හමුදාවෙන්මයි. අපි ෆාම් එකට යද්දි එලු පට්ටියක් ගාල් කරපු තැනමයි හිටියෙ. මං හිතන්නෙ දවස් ගානකින් උන් කාල නෑ. අපි උන්ව ඇරලා ටැංකිවල තිබ්බ වතුරත් තිබ්බ තිබ්බ ඒවට පිරෙව්වා උන්ට බොන්න. බැඳල හිටපු හරක්ගේ ලණු කපල නිදහස් කලා. කුකුල් කූඩෙනං ඇරලා තිබුනෙ. අපි මරිසි හොයන්ඩ ගියා කිව්වෙ සෙවිලි තහඩු වගයක් හොයන් එන්න ගියෙ. අන්තිමෙි තහඩුත් නැතිව දවසමත් රස්තියාදුවෙලා ආවෙ. හැබැයි මොන දේ කලත් ආර්එස්එම්ට තියාගත්තු බෝතලේටනං අපි අතක්වත් තිබ්බෙ නෑ.  එහෙ හත්වැනි ඒකකය තියෙනකං අපි හිටියෙ බඹරු වගේ. ඒ පැල්මයිරා ස්කාගාරෙ අහුවුන අලුතමයි. පස්සෙ පැල්මයිරත් නැතුව රාත් නැතුව කරිඤ්ඤමුත් නැතිව වයින් ස්ප්‍රීතු වලින් ජීවිතේ රැකගත්තු අවස්ථාත් තියෙනවා. පැට්ටෝලුත් බොනවා... ගඳ හිංද බිව්වෙ නෑ. පිස්සුද අනේ මැරෙනව කියල දැන දැනත් ඔිව තියෙද්දි අමුවෙන් යුද්දෙකට පනින්ඩ. මැරෙනවනං ඒකත් ආතල් එකේ වෙන්න ඔින. ඒක තමා මගේ ප්‍රතිපත්තියෙ තිබුනෙ. 


ඔිවා නොකරපු ඒ වගේ එක දවසක එක වරුවක එක තැනක එක තත්පරයයි එක දශමෙක චූටි පරක්කුවක් වෙලා තමා අදටත් ක්ලැචස්වලින් යන්නෙ. ඒව ඔින නෑ. ඒව මගේ හිතේ විතරක් තිබුනනං ඇති.


පැල්මයිරා වසන්තයේදි ගෙනාපු බඩු ඉවර වෙනකොට මං සර්ට කියල ටිකක් කන්ටෑක්ට් කරගන්නවා. බැජීලට කියලා තව ටිකක් කන්ටෑක් කරගන්නවා, ආර්එස්එම් එහෙ ආර්එස්එම්ට කතා කරලා කන්ටෑක්ට් කරගන්න ඒවගෙන් ගේන කුලියට ගේන ඒවයින් බාගයක් හම්බ වෙනවා. පට්ට කැලේ මැද්දෙ අපි ගැන හොයන්න මෙලෝ යකෙක් නෑ. අපි කාලය ගත කලේ කැලේමයි. ඔය ඉද්දි යටිගම්මන කියල කොල්ලෙකුට වලහෙක් ගැහුවා. දෙන්න පොර බදද්දි වලහට වෙඩි තියාගන්න බැරුව  අන්ත අසරණ භාවයට පත්වෙලා ඉද්දි   කෝපල් කස්තුරිආරච්චි මැද්දට පැනල තමා යටිගම්මනව බෙිරගෙන තිබුනෙ. ඒත් මහ කැලේම, අපි සෝදිසි මෙහෙයුමකට ගිහින් ඉද්දි. කෑ ගහන සද්දෙ ඇහිලා අපි දුවගෙන එද්දි යටිගම්මන ලේ පෙරාගෙන කෑ ගහනවා, කස්තුරි බඩ බදාගෙන නැමිලා කෑ ගහනවා. අනික් අය මෙි දෙන්නව ස්ට්‍රෙචර් වල දාගෙන එන්න හදනවා. කෝපල් කස්තුරිටත් අම්බානක තුවාලයි.  පොරගෙ බඩට මැහුම් දාහතක් දැම්මා.තව ටිකක් එහෙ මෙහෙ වුනානං බඩවැල් පවා එලියට එන්න ඉඩතිබුනා කියල එම්ඩීඑස් එකෙන් කිව්වා.  කෝක වෙතත් පොර වලහයි කොල්ලයි දෙන්නම බේරගත්තා. අපි පැන්නනං එක්කො කොල්ල ඉවරයි.නැත්තං වලහ ඉවරයි. ඒ දෙකම නූනොත් අපි ඉවරයි. යටිගම්මන කියන්නෙ පිලිවෙලකට හිටපු කොල්ලෙක්. කස්තුරි දඩ සයිස් පොල්ලක් අරන් මැදට පැනපු හිංද හොඳට ගියා. හැබැයි  වලහා කොල්ලගෙ මූනට සොට් එක දුන්නා.   ආාය පෙම්වන්තිය බූට් එක තිබ්බා කියලා එකෙක් වෙඩි තියාගත්තා. ඕව මෙිව එහෙන් මෙහෙන් ලීක් වෙනකොට ඉහලින් අපේ ඒකකය ආයෙ සටන් පෙරමුනට යැව්වා. ඒ ගිය ගමන තමා පුදුකුඩිකුඩිඉරුප්පු මුදාගැනීමෙි මෙහෙයුම නොහොත් එතෙක් මෙතෙක් මගේ ජීවිතයේ මුහුන දුන් දරුණුතම සටන් වැලකට කොටු වෙන්නෙ. කොටි කඩපු වැව පාමුල අපි ඇම්බුෂ් ටීම් තුනක් දාගෙන හිටියෙ. ඊට හරියටම දවස් දෙකකට කලින් තමා අණදෙන නිළධාරි කෙනෙක් නොසිටි අපිට අළුත් අණදෙන නිළධාරි කෙනෙක් පත්වෙලා  ආවෙ. අපිත් ටිකක් බ්‍රෙික් වෙලා හිටියෙ සීඔි කෙනෙක් නැතුව.


එහෙම ඉද්දි තමා දරුණු සටනක් යන අතර තුර දරුණුවටම තුවාල වෙච්චි කොල්ලෙක් පස්සට ගන්න යද්දි මෝටාරයක් වැටිලා ඒක බ්ලාස්ට් වෙලා මං නන්නත්තාර වෙලා ඔලුව හොල්මං වෙලා  ගෙයක් ඇතුලට රිංගද්දි ආර්පීජී එකක් ඇවිත් ලෙලි ගහගෙන ගියෙ.  මටත් තුවාලයි, පිටිපස්සේ ආපු  "පූවා"  නොහොත් ජයසිංහටත් තුවාලයි. අපි දෙන්නටම තුවාල එක වෙඩිල්ලක්වත් වැදිල නෙමෙි. මෝටාර් ආර්පිජී ගහද්දි කරුවලේ එහෙ මෙහෙ  දුවල එක එක ඒවගේ හැප්පිලා. අන්තිමෙිටම හැප්පුනේ තඩි කරුවලේ දොරක් වගේ පෙනිච්චි බිත්තියක් වගේ එකක් හරහා ලඟ තිබ්බ ගේකට රිංගන්න  යද්දි. සැප කනේ හිටං ඉතිං. කලුවරේ කෙඳිරිගගා අතපත ගාල තමා තුවක්කුවත් හොයාගත්තෙ. 

දැනට මගේ ගෞරව නාම වලින් නෝමල් එකක් දෙකක් විතරක් කියන්නං, හොඳ හොඳ ඒවා පස්සෙ දවසක කියන්නං. .ඒ  "කෑම නිපුන්, බත් විශාරද, සීනි කරිංඤ්ඤං කලා භූෂණ, කුම්භකර්ණ ශූරි, ව්‍යාංජන නිපුන්.... කෝපල් ආරච්චි යක්කුන්ටත් ඇරිය දෙයියන්ටත් ඇරිය. හමුදා පදක්කම් නං කියන්න ඔින නෑ. සෝක් නේ???


මීට කලින් කියයුතු කතාවකුත් තියෙනවා. ඒක පස්සෙ දවසක කියන්නං. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.31

No comments:

Post a Comment