Thursday, August 12, 2021

යුනි බෆල් අනතුර

 මෙි මං නාවල්අඩි ඉන්නැද්දි වෙච්චි දෙයක්.


ඒ කාලෙ හරි පුදුම කාලයක්. අපි සීනියර් වෙලා,පිට පිටම අළුත් බැච් දෙකක්ම ඇවිත් තිබුනු අති සුන්දර කාලයක්. මෙි දවස්වල මෙහෙට මාර වැස්ස. 


නැගෙනහිර පැත්තට වහින්නෙ අවුරුද්දෙ සීමිත කාලයක් විතරයි. ඒ වහින එකත් වහිනව උතුරන්න වගේම පලාතම යට වෙන්නත්. ඊට කලින් වැස්ස නැති දවස්වල අපිට නාන්නවත් වතුර තිබුනෙ නෑ. නාන්න තිබුනෙ අදත් නාවල්අඩි පහුකරල මඩකලපු පැත්තට යනකොට නාවල්අඩි හංදියට වමෙන් පේන්න තියෙන පුංචි වැව් කෑල්ල විතරයි. මෙික වැවක් කිව්වට වලක් වගේ.

මෙික අක්කර දෙක තුනකට වඩා  ලොකුත් නෑ. මෙි වැවෙි පායන කාලෙට වතුර සාමාන්‍ය මට්ටමක් හිඳෙනව. වැවට වතුර එන්න ඇලක් නෑ. වැව පිරෙන්නෙ සම්පූර්ණයෙන්ම අහස් දියෙන්. මෙි පායන කාලෙ අපිට නාන්න නැතිවුනාම අපි තුන හතර වෙද්දි ටවල් එකයි සබන් කෑල්ලයි වෙපන් එකයි අරං යනව ඔය වැවට නාන්න. මෙි වැවෙි උදේ ඉඳන් මී හරක් නානවා. උං දෙක තුන වෙනකොට පට්ටිවලට යන්න පෝලිම් වෙලා යන්න යනව. එහෙ හරක් එහෙමයි. ඒකත් අපේ පාරිලිමෙින්තුව වගේමයි. උදේ ඉඳන් වැවෙි ලැගල ලැගල තපුල්ලල තපුල්ලල  වැවෙිම ගොමත් දාල තමා මුං යන්නෙ. අපි ඒ වැවට නාන්න ගියාම උඩ පාවෙන ගොම්බෙටි අතින් ඈත් මෑත් කරල තමා නාන්නෙ. හීට් එක හිංද නොන නොනා හෝ ඇඟ තෙමන්නෙ නැතුව ඉන්න බෑ. ඉස්සර ළිඳෙන් බව්සරේට වතුර ගැහුවත්,  මෙි කාලෙ බව්සරෙන් තමා ලිඳට වතුර ගැහුවෙ.  ඒ බව්සරෙන් වතුර ගැහුවත් ඒක ගෑවෙන්නවත් මදි. 232 බසේමු අයත් ඒකක තුනකටත්, ඒ ඒ කණ්ඩායම් වලටත් වතුර ගහන්න තිබ්බෙ එකම එක බව්සරයක් විතරයි. පාන්දර පහේ ඉඳල වතුර ගහන්න පටන් අරන් රෑ 8 වෙනකම් ගැහුවත් හැම කඳවුරක්ම ආවරණය කරන්න ඒකට බෑ. ඒ පායන කාලෙ නැගෙනහිර අපි පට්ට දුකක් වින්දා. විශේෂයෙන්ම 232 බසේමු අයත් නාවල්අඩි,127,126,119 කඳවුරු, කායංකේනි, නයි හංදිය, මීයන්කුළම් කල්කුඩා, කල්මාඩු,කුඹුරුමුල්ල යන කඳවුරු.ඒ කාලෙට පිටවල් වන වෙනවා දාඩිය කුෂ්ඨ වලට. තොල් පවා පුපුරනවා. ඒ කාලෙට අපේ නිළ ඇඳුම වුනෙත් රට වෙරළු පැහැ කපු නිළ ඇඳුමෙි කලිසමයි, ඒ ටීෂර්ට් එකයි,කැප් එකයි විතරයි. කොටි ගැහුවොත් විතරයි හෙල්මට් දාන්නෙ.  ජැකට් නෑ.  සෙබළ ජීවිතේ අපි එහෙමත් දුක් වින්දා.

ඒ කාලෙ දවසක් අපේ සංඥා කොමළිත් දාගෙන වාකනේරි පැත්තට වෙන්න ළිඳක් තියෙනවා කියන ආරංචියකට ඒක හොයාගෙන ගියා. ඒක සම්පූර්ණයෙන්ම අපේ පාලන ප්‍රදේශයෙන් පිට තිබුනෙ. ඒ කියන්නෙ කොටි ප්‍රදේශය. මෙිකෙ වතුර ටිකක් තිබුනා, ඒක තිස් දෙනෙකුට  විතර ඇති. මෙි ළිඳේ නානකොට අපේ හතර දෙනෙක් ගාඩ් එකේ ඉන්න ඔින. එක දවසක් කට්ටිය නාන්න පටන් ගත්තම එක පාරටම කොටි ගහලා. සෙන්ට්‍රි හිටපු අයත් එක්ක නන නනා හිටපු අයත් ජොක්කු ජොක්කු පිටින් ටවල් ටවල් පිටින් ගේමට එන්ටර් වුනාම පැය බාගයක් විතර සටන ගියා. ඒ අයගේ සහායට අපේ ට්‍රැක්ටරෙයි සීඔිගෙ වාහනෙයි කට්ටිය නැගල ක්ෂණිකව එතනට එනකොට ගේමෙන් තුන් කාලක් විතර ඉවර වෙලා. සමහරු ටවල් පිටින්, ෂෝට් පිටින්,ජොක්කු පිටින් ඩවුන් යනවා,නැගිටිනවා,ඉස්සරහට දුවනවා, වෙඩි තියනවා. ආයෙ නැගිටිනවා,ඉස්සරහට දුවනවා ,වෙඩි තියනවා.. ටවල් එක කැඩුනම අවිය බිමින් තියනවා,ආයෙ ඒක ඇඳගන්නවා.නැවත දුවනවා. ගියපු කට්ටිය මගින් බැහැල ඇඟේ උපරිම හයිය දාල ජපානෙ විදුලි දුම්රිය වගේ වේගයෙන් දුවගෙන මෙතනට ඇවිත් ගේම් එකට එන්ටර් වෙලා. මෙි වෙත්දි කට්ටිය මීටර් දෙසීයක්  විතර ඉස්සරහට ගිහින් හිටියෙ. අපේ ආධාරක ටීම්  එක ගියාම සීන් එක තවත් දරුණු වෙලා, උන් උන්ට පුලුවන් උපරිම හයිය දාල අවසාන ෆයර් එක දුන්නා. මෙයාලත් ගේම අතෑරල නෑ. කොහොමහරි සටන ඉවර වෙද්දි අපේ දෙන්නෙක් මිය ගිහින්,එක්කෙනක් බරපතල තුවාල ලබල,එයත් පොලොන්නරුව රෝහලේදි ජීවිතය හැරගියා. දුක්ම සීන් එක කියන්නෙ එකෙක් මැරිල හිටියෙ ඇඟේ එකම එක නූල් පොටක්වත් නැතුව. ඒ ටවල් කාරයෙක්. පස්සෙ බොඩි එක මගට ගෙනත් තමා නාල අඳින්න ගෙනා  නිළ ඇඳුමක් අන්දල තියෙන්නෙ. ඒ ලා/කෝ කෙනෙක්. ඒ ඒ අයගෙ නිලඇඳුම් තෝර තෝර ඉන්නැතුව අහුවෙච්චි එකක් තමා අන්දල තියෙන්නෙ. ලාකෝට අන්දල තිබුනෙ කෝප්‍රල් කෙනෙක්ගෙ නිළ ඇඳුමක්.  එයාට නිළ උසස්වීම එතනදිම දීල තමා කඳවුරට ගෙනත් තියෙන්නෙ. සීඔිනං කිව්ව "මට දෙන්න දෙයක් නෑ, කොල්ලො ටික නිළ උසස්විම් දීලම අරන් ඇවිත් කියලා. 


 කතාවට යමුකො. මෙි වැහි කාලෙට මෙි වැව පිරෙනවා. එතකොට කඳවුරේ බඹ නවයක් විතර ගැඹුරු එකම ලිඳත් කට මට්ටමට වතුර පිරෙනවා. වැහි කාලෙට මෙි මහ පාරත් ලිස්සනවා. කිසිම වාහනයක් පනහ හැට පැනල වෙිගයෙන් යන්නෙ නෑ. ඒ වෙලාවෙත් හොඳටම වැහැලා වැහැලා පායලා යන්තම් පොද තිබුනෙ. හවස පහට ඇති. ඈතින් කොන්වොයි එක හූ කියාගෙන පිඹගෙන එනවා. අපිත් පාර අයිනෙ කොන්වොයි ගාඩ් එකේ හිටියෙ. ඉස්සර නාවල්අඩි කඳවුර හරියෙ පාර තිබුනෙ කඳවුරට පිටින් නැගෙන හිර පැත්තෙන් අවුමක් විදියට එන්න.  අද තියෙන විදියට නෙමෙි. මෙතන එක තැන හරවන්න වංගුවක් තියෙනවා. හරියටම කඳවුරේ මෙින් ගේට් එක ඉස්සරහින්. සන්නද්ධ රථයත් ගියා, යුනිකෝන් එකකුත් ගියා, බස් දෙක තුනකුත් ගියා, ඊලඟට ආවෙ ආයෙ යුනිකෝන් එකක්. ඒක ආපු වෙිගයෙන්ම අර වංගුව ගත්ත ගමන් පාරෙන් පිට පැන්නා,ලිස්සලා ඇදිල ගියා,පස් ගොඩැල්ලක් උඩින් ගියා, යුනිකෝන් එක පෙරළුනා. අපිට හීග් ගැවුනා,කරන්නෙ මොකද්ද,කල යුත්තෙ මොකද්ද කියල එක පාරටම හිතට ආවෙත් නෑ. යුනිකෝන් එකේ රෝද උඩ. ඒක එලවගෙන ආවෙත් අපේම කෝපල් කෙනෙක්,එයාගෙ නම ලා/කෝ රාමනායක.  බෆල්,යුනිකෝන් විතරයි එලවන්නෙත්. ඒත් වැඩ්ඩට එදා වැරදුනා.ඒ  යුනිකෝන් එකටම යටවෙලා කාන්තා නිළධාරිණියක් යුනිකෝන් එකේ දාරෙටම අහුවෙලා දෙකට නොකැඩි දෙකට කැඩිල මැරුනා. තව කෙල්ලෙක් මැරුනා, තව අපේම ඒකකයේ කෝප්‍රල් කෙනෙක් මැරුනා. (නම අද මතක නෑ). අනෙක් සියලුම දෙනාට තුවාල.එක එක ආබාධ. පුදුමෙ කියන්නෙ, ⁣රාමනායකට කිසි හෙනයක් නෑ, ඔලුව පැලිල බෙල්ල කොරවෙලා විතරයි. වාහන ආරක්ෂක මුරයේ ආපු  ශිල්පදාස විසිවෙලා ගිහින් කොන්ද කැඩුනා. පොර මාර කාලයක්,මාර දුකක් වින්දා. උගේ නම ශිල්පදාස උනාට මෙ ලෝ ශිල්පයක් ඌ දන්නෑ. එදා ඉදන් එතන මරණයේ වංගුව කියන නමින් තමා හැඳින්වුණේ. මැරුනු තුන් දෙනාම නිවාඩු ගිහින් කඳවුරට රපෝර්තු කරන්න යන අය. එදා තමා මං දැක්ක දරුණුම අනතුර සිද්දවුනේ. ඇස් ඉදිරිපිට, ඒ දිහාම බලං ඉද්දි ලිස්ස ලිස්ස ඇදිල ගියපු වාහනේ ඊලඟ මොහොතෙ පෙරලිලා කොන්ඩෑරුමකුත් ගහද්දි හිතිච්චි දේවල්නම් අනන්තයි,අප්‍රමානයි. 

එහෙමම එකක් තමා වැලිකන්දෙදි වුනෙ. ඒ සන්නද්ධ රථයක්. ඒකත් වැලිකන්දෙදි පෙරලිලා ඒකෙ ගියපු ඔක්කොම මැරුනා. ආයෙත් දවසක් 583 බසේමු අයත් ට්‍රක් එකක මම ගමනාධිපති වෙලා පනාගොඩ ගියපු දවසක, ඒ වැඩත් කරගෙන ආපහු එද්දි පස්යාල කිට්ටුවදි  බල්ලෙක් බෙිරන්න ගිහින් රියැදුරා ගහපු බ්‍රෙික් පාරකට ට්‍රක් එක ලිස්සලා ඇදිල ගිහින් ආපු පැත්තටම හැරිලත් ආයෙ ලිස්සලා කානුවකට වැටිලත් යන්තම් නොපෙරලී බෙිරුනා. කාටවත් අනතුරක් නැතිවුනත් වෙච්චි සංගෙදිය දැක්ක බෙිරන්න ගියපු බල්ලත් අපිට කෝචොක් කරන්නා වාගෙ දුවල ගිහින් ආපහු හැරිල බුරද්දි වෙඩි තියන්න තරම් හිතුනා. පාරෙ ඒ වෙලාවෙ අපේ පස්සෙන්  ආව තවත් වාහනයක් වෙච්චි සීන් එක දැකලා නවත්ත ගන්න ගිහින් පොරත් ලිස්සලා අපේ ට්‍රක් එක කිට්ටුවටම හේත්තු වෙන්නම වගේ ඇවිත් කොහොමහරි නවත්ත ගත්තා. ඒත් වැහි දවසක. තැන හරියටම පස්යාල අත්තනගල්ල පාරේ පස්යාලට මීටර් පන්සීයක් වගේ දුරකින් අද ත්‍රිවීල් සේල් එකක් තියන තැන, ඒකට ඉස්සරහමයි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.10

2 comments:

  1. මේව ලියන එක හරිම වටිනව. සමහරු කියන්නෙ පඩියට යුද්ධ කරා කියලනෙ.මැරුන හැමෝම ගැන දුකයි. පොඩි දෙයක් අහන්න කැමතියි. කෙල්ලන්ටත් හමුදා ජීවිතය අමාරුද?? ඒ කිව්වෙ ගුටි කන්න එහෙමත් වෙනවද??

    ReplyDelete
  2. hinassala andwana eka umbe style eka neda. meka kiyewwama hina giya "වෙඩි තියනවා.. ටවල් එක කැඩුනම අවිය බිමින් තියනවා,ආයෙ ඒක ඇඳගන්නවා.නැවත දුවනවා." yoko yudda baya, marana bayata wada lokui ne lajja baya kiyala. ita peli kipayakata passe anduna :(

    ReplyDelete