Saturday, August 28, 2021

ඇනිවර්සරි එකේ රැප

 මෙි අපේ ඇනිවර්සරි එකක සිදුවෙච්චි සිදුවීමක්. 


හමුදාවෙ ඒකකයකට ඇනිවර්සරි එකක් ලබනව කියන්නෙ හරිම කාර්‍ය බහුල තත්ත්වයක් උදාවෙන්නෙ. අපේ ඒකකයේ ඇනිවර්සරි එක තියෙන්නෙ ජනවාරි 2 වෙනිදා. සිරාවටම අපට ජනවාරි පළවෙනිදාවක් ගෙදර ඉන්න ලැබෙනව කියන්නෙ රනිල් මැතිවරණයක් දිනනව වගේ දෙයක්. රනිල්ට මැතිවරණයක් දිනන්න පුලුවන්,ඒත් අපිටනම් ජනවාරි පළවෙනිදාවක් ගෙදර ඉන්න ලැබුනෙම නෑ. මෙි කටයුත්තට අපි පෙළ ගැසෙන්නෙ නොවැම්බර් මුල විතර වගේ ඉඳලා. මණ්ඩල පත්කරලා ඒවාට කාර්ය සභිකයින් (වැඩිපුර) ලබාදීල කරන්න තියෙන වැඩ කොටස කරලා හැම සතියකම  සෙනසුරාදා හවස 4ට කොන්ෆරන්ස් එකෙදි ඒකෙ ෆීඩ් බෑක් එකත් දෙන්න ඔින. දෙසැම්බර් මැද විතර ඉඳලා ජීවත් වෙන්න හරිම අමාරුයි.සෙනසුරාදා හවස රැස්වෙන වියත් මගේ ඈයො අනි තුමා ඉස්සරහ ලකුණු දාගන්න දෙන පොර ටෝක් සහ ඒවා ගෙන් ඉල්ලල තියාගන්න වැඩ කරවන්න තවත් හමුදාවක් හිටියත් මදි. ලයින් අප් එකට පාරෙ ගල් තියලා සුදු හුනු ගාල ලනු ඇදල වැඩි තණකොල කපල බිල්ඩිං වල හුණු ගාල මල් වවල මල් පෝච්චි තියල ඒවගෙත් හුනු ගාල වහලෙත් ගොම ගාල එකී මෙකී නොකී හැම දෙයක්ම කරන්න තියෙනව. ඊට අමතරව යෙදෙන පෙරඩ් රිහර්සල් එක. පෙරඩ් එක දෙන්නෙ අනි තුමාට. උසේ පිළිවෙලට කණ්ඩායම් හතරෙන් ප්ලැටූන් හතරක් හදල මූලස්ථාන කණ්ඩායමෙනුත් ප්ලැටුන් එකක් දාල උදේ අටෙි ඉඳන් 12 වෙනකං ග්‍රවුන්ඩ් එකේ දාල මඩවන එක තමා ඉවසන්නම බැරි.  සම්මාන මුරය වෙනමත් පෙරඩ් එක වෙනමත්,නමුත් එකිනෙකට සමබන්ධව තමා මෙික වෙන්නෙ. ඒ දවස්වලට මමනං ඉල්ලල ඩියුටි යන්නෙ.

ඇනිවර්සරි එකේ ඒ දවසේ වැඩ කටයුතු අහවර වෙන්නෙ දවල් සියළු නිළ ලන්ච් එකෙන්. ඊට කලින් 8.8 බියර් දෙක ගානෙ ලැබෙන අවුරුදුත් තිබුනා. මං ආසමඅංගය තමා ඒ. කාටත් හොරා කාලක් භාගයක් සාක්කුවෙි දාගෙන කසපැන් සංග්‍රහයට එකතුවෙන වඳ වස්සන්, පොල් කොට්ටෝරුවන්, අල්පදයනු ගොළු බෙල්ලන්, විලම්බීත වැල් පණුවන්, ගස් භූතයන් සහ හොඹුටු කැහිබෙල්ලන් අතරේ මාත් ඔිවැන් එකක් ඉනේ ගහගෙන හරි මග හංගලා හරි තමා සහභාගි වෙන්නෙ. එක අවුරුද්දක එහෙම ගහල ඉහල උසාවියටත් යන්න වුනානෙ. ඒ දෙක කලවම් වෙලා බඩු වැඩිවෙලා.  ඔය අස්සෙ අපේ ඒකකයට පිට ඒකක තුන හතරකින් යා කරපු කීප දෙනෙක් හිටියා. ඒ අතරින් සන්නාලි වෘත්තීයට යා කරපු කෝප්‍රල් සිල්වා චරිතයක්. පොරට හයියෙන් කෑ ගහන්න බෑ,සිංදු කියන්න බෑ,ඈනුම් අරින්න බෑ හක්ක පනිනවා. පොරට කල්ලාර් වලදි එහෙම එකක් වෙලා පපු දනහිස් ලඟට පාත් වෙනකම් හිනාවෙලා තමා නැවතුනේ. ඒත් පොර නැවතුනේ කන්තලේ රෝහලේ. 


*ඒ හුහ්හෝ... හහ්හ හැහ්හා හහ්හ හැහ්හා කියල කෑ ගහද්දි තමා අපිත් දැක්කෙ පොරගෙ කට කනේ කියල. ඒ බොක්ෂින් ක්‍රිඩකයෙක්. ප්‍රතිවාදියාගෙන් ගුටි කාල කාල පදම් වෙලා ඇති වෙලා ඒ ක්‍රීඩාවෙන් අයින් වෙලා හිටියෙ. ඒත් පොර හෙන චරිතෙ. පොරත් එක්ක හොඳින් ඉන්න අයට වඩා පොරත් එක්ක තරහ අය තමා වැඩිපුරම අපේ ඒකකයෙ හිටියෙ. වාසනාව කියන්නෙ පොරට මාව පේන්නම බෑ. මං ඈත එනව දැක්කොත් පොර මැෂිමට ඇස් දෙක තියාගෙන තමා ඉන්නෙ. 

මම ගුඩ් මෝනින් කිව්වත් "මෝනිං ඇයි? කියල තමා පිළිතුරු දෙන්නෙ. වැඩි කතාවට එන්නෙත් නෑ. මං ඇවිත් ආව වැඩෙි කරගෙන යනකම් පොරගෙ ඇස්දෙක මට හොරෙන් මාරුවෙන් මාරුවට මගේ අත පය දිහාත් මං පොර දිහා බලනකොට මැෂිම දිහාත් තමා තියෙන්නෙ. ඒ මං එක දවසක් මෙතනට ඇවිත් අපේ කට්ටිය මහන්න දීපු යුනිෆෝම් වගේක නම් මාරු කරල මාට්ටුවෙලා. කෙට්ටු එකාගෙ ඒව මහතට මහල,මහත එවුන්ගෙ ඒව කෙට්ටුවට මහල, කෙට්ටු එවුන් ගෙනත් දුන්නු පොඩි යුනිෆෝම් මහත එවුන්ට මහන්න ගිහින් මදිවෙලා මහත එවුන්ගෙ ඒව කෙට්ටු එවුන්ට මහන්න ගිහින් පොර වහක් කාල හිටියෙ. ඒකට ගොඩක් කට්ටියගෙන් ඒ කෝප්‍රල් බැනුම් අහලත් හිටියෙ. පව් ඉතින්. සමහරු තමන්ගෙ යුනිෆෝම් මහල තියෙන විදිය දැකල "තෝම තියාගං" කියල දමල ගහල ගිහිල්ලත් තිබුනා. මට පොඩි අප්සට් එකක් ගියේ ලුතිතන් ජයලත්ගෙ එකක් කපිතන් බංඩාරට මාරුකරපු එක. දෙන්නටම මම ගොඩක් කැමතියි. ඒත් එදා අර වැඩෙි මගෙන් සිද්දවුනා. ඒ දෙන්නා හරියට අලගුඩුවයි පියාමැස්සයි වගේ ශරීරාංග තිබුනු දෙන්නෙක්. මාත් ඒ කාලෙ පොර කයියට අල්ලගෙන බොත්තම් ගලවල දෙන වැඩෙයි, ලොකු පොඩි  යුනිෆෝම් ලිහල දෙන වැඩෙයි කර කර ඉන්න ගමන් තමා ඔික කලේ. ඉතිං පොරට එදා ඉඳන් මාව පෙන්නන්න බෑ, මගේ නිළ ඇඳුමක් මැහුනං මැහුවෙත් ඔක්කෝම මහල ඉවරත් වෙලා අන්තිමෙිටමයි. කතාවට යමුකො.


මෙි ඇනිවර්සරි එකේ අපිට ඉස්පාසුවක් ලැබෙන්නෙම නෑ. සමහර දවස්වලට රෑ වෙනකං සහ සමහර දවස්වලට රෑත් අපි වැඩ. වැඩ,වැඩ,වැඩ. අවසානෙදි අපිට ඉතිරි වෙන්නෙ නෙත් සිත් පිනා යන හුදී සිත් සතන් නිවී සැනසෙන දුටු දුටුවන්ගෙ මන බඳිනා ලස්සන කඳවුරක්. දැන් පෙරඩ් දීලා අනි දේශනයත් ඉවරයි. පහුවදාට තමා බියර් පාටිය සහ ලන්ච් එක. පහුවදා උදේ නවයට සැදැහැසිතින් පෙළ ගැසිලා සීඑස්එම්ගේ සුවච කීකරු ගෝලයො වගේ අපිත් ස්පොට් එකට ඇදුනා. එදා අපි කතාවෙලා හිටියෙ සිංදුවක් කියමු කියලා. මොකද අපේ බීට් බෑන්ඩ් එක ඒ අවුරුද්දෙ අපිට ලැබුනෙ නෑ. ඒ ගොල්ලො යාපනේ ගිහින් හිටියෙ. කල්වෙිලා වෙන්කර ගන්න හැදුවත් "ෂෙහ්!! බැරිවුනානෙ අඩෙි" කියල සීඑස්එම් ගස් ගල්වලටත් කිය කියා ගියා. අනේ බීට් බෑන්ඩ් නම් මොකටෑ, සුපිරි ගායකයො අපි අතර ඉන්නවා. ටිං බෙලෙක්ක පරන පාල්දි ඩිකිස් පියන් ටොයිලට් බාල්දි ටිකක් ලං කරගෙන කෝටු කෑලි දෙකක් කඩා ගත්තනං බීට් බෑන්ඩ් කැලේ. නටන එකත් අපිටම කරගන්ඩ පුලුවන්. සෙට් එක සෙට්වුනොත් නටනව විතරක් නෙමෙයි හාලත් තමා නවතින්නෙ. මෙදත් අපි හෑවා. 


බියර් පාටිය පටන් ගත්තා. බියර් දෙකට තියා පහකටවත් වැටෙන්නැති සමහරු බියර් බාගෙනුත් වැටුනා. ඒ කලවං කරල ගහල. මං ගල් ⁣බාගයක් ගෙනාව මදිවට රෑට බොන්න කියල කුස්සියෙ පොල්වතුර දවස් දෙකක් තිස්සෙ එකතු කරල කරිඤ්ඤං වඩියකුත් දාල ඒක ඩිෆෙන්ස් එකෙන් එලියෙ හංගලත් තිබුනෙ. ඒක කලේ මම,රනිල් සිල්වා,සාසෙ සිල්වා,සහ කෝප්‍රල් කුමාර. 

බියර් පාටියෙදි ස්පොට් එකෙන් ස්පොට් එකට එන නිළධාරින්ට අපි කිව්වා "සර්, සිංදුවක් නැතුවනං මෙිවා උගුරෙන් බහින්නෑ, සිංදුවක් කියන්න අවසරේ ඉල්ලල දෙන්නකො" කියලා. අපි ඒක ඔිසීටත් කිව්වා. ඔිසීත් "හා, ඉඳහල්,මං ගිහිල් සීඔිගෙල් අහල එල්ලං" කියල ගියා. අවසරෙත් හම්බුනා. පැයක් සිංදු කියන්න අවසරේ ලැබුනත් පැය දෙකහමාරක් අපි සිංදු කිව්වා. දවල් දෙකට මෙික ඉවර කරලා කෑමට යන්න ඔිනි. සංගීතේ මැද හරියක් යද්දි සීඔි ඇතුලු නිළධාරිත් එතනට ආවා. සීඑස්එම් කලින්ම අපිට සෙට්වෙලා හිටියෙ. ඒ අපි කේස් දාගනියි කියල බයේ මිසක්, අපිට ආතල් දෙන්නවත් ආතල් ගන්නවත් නෙමෙි .ඒ කෝප්‍රල් කුමාර,කෝප්‍රල් මලවිගේ, සාජන් හපු, සරත් කුමාර ආදී චරිත ටිකක් ඇරියස් එකකින් ඒ දවස්වල හිටියෙ.  සීඔිත් ග්ලාස් එක අරගෙන ලඟට ආවට පස්සෙ කෝපල්ලා කෝපල්ලා එකතු වෙලා සීඔිව උස්සන් නටන්න පටන් ගත්තා. කොල්ලො තම තමන්ගෙ ඔිසීලාත් කරේ තියාගෙන නටන්න පටන් ගත්තා. ආර්එස්එම් මගින්ම කැපිල ගියා "බෙල්ල කඩාගන්ඩ බෑ" කියලා. සිරාවටම පට්ටම ආතල් එකක් ගත්තා.අතර මැද්දෙ යන සිංදුත් නැගලම යන ඒවා. එකෙක් "විසි තිස්දහ විසි තිස් දහ" ගගා ඩ්‍රම් සෙට් එක තලනව. තව එකෙක් හැන්දක් අරන් ටලං ටිලිං ටුලුං ටිකිස් ටිකිස්" සද්දෙට බෝතලේකට පහර දෙනවා. තව එකෙක් නාහෙ එක හිලක් වහගෙන අනික් හිලට දකුණු අතේ ඇඟිල්ලෙන් ඇන ඇන ලීඩ් ගිටාර් එක ගහනවා. ඩ්‍රම ගැහුවෙ ලාකෝ රාජපක්ෂ. තව එකෙක් ඩිකිස් පියං දෙකක් අත් දෙකෙන් අල්ලගෙන සිම්බලේ ගහනව. ඒක ගහනකොට කන් දෙක "කූං" ගාගෙන යනවා. අපේ බෑන්ඩ් එක ඈතින් ඉන්න එකෙකුට ඇහුනනං එහෙම උං හිතන්නෙ කෑම්ප් එකේ වලියක් කියලා. නැත්තං කොටි ගහනවා කියලා. මමයි ජෙනි ජයයි සිංදුවලට රැප් කරනවා. ඒක ඉතින් සිංදුවෙන් සිංදුවට වෙනස්. ටී පනස් හයේ පාඩම් පහමත් රැප් කරලා, තව සිංදුවල කෑලි කෑලිත් අරං රැප් කරලා ආයෙ තව තව දේවලුත් කියලා, තුනු හරපත් කියි කිය රැප් කර කර හිටපු මට පට්ටම ආතල් එකක් ගේන සිංදුවක් සෙට්වුනා. ඒ අවසන් භාගෙ. ඒ කියන්නෙ මෙි වෙද්දි සීඔි දහදෙනෙක්ගෙ විතර කරේ ඉඳලා ඉඳලා බිමට බැහැලා. ටූඅයිසී තව කට්ටියකගෙ කරේ ඉඳල බැහැල හිටියෙ. කපිතන් බංඩාර (ඒ දවස්වල ලුතිතන්. පුරුද්දට තමා කපිතන් කියන්නෙ)  අත්වල ඉන්නවට වඩා හිටියෙ ගුවනෙ මයි. "ඒහ් කොල්ලලේ මාව මලල්ලද හදල්ලේ" කියල පොර කෑ ගහන ගහන ලාරට කොල්ලො පොරව උඩ විසික්ක කරනව. .දැන් පාටිය ඉවර වෙන්න ආසන්නයි. පස්වෙනි වතාවට විතර ගත්තු අවසාන විනාඩි දහයත් දැන් අවසන් වෙමින් යන්නෙ. වෙලාව දෙක හමාරයි.

  එකෙක් සිංදුව පටන් ගත්තා.මාත් ඒ සිංදුවට රැප පටන් ගත්තා


"ගෝවෙි....ගෝවෙි ගෑනු පරාදයි, රූපේ...හේ රූපේ මහද පිනායයි....


"පංසි ලකට,පමල දෙකට,පම්බි තකට,පරක් හකට,පාන ගොකට, පලල් බකට,පාස් පුකට,පරක් හකට,පඳුරු වකට පලව් රිකට".......ටඟ ටඟ ආ..ආ..ටඟ ටඟ....ටඟර ටඟර


 මං දැක්කා බිමට බැහැලැ බියර් ග්ලාස් එකත් අතේ තියාගෙන දෙවන අනි තුමා සමග කතාවක හිටපු සීඔි වපරැහෙන් ඇස් කොනෙන් මං දිහා බලාගෙන ඉන්නවා ,  ඔිසී කටත් ඇරගෙන කටින් හුස්ම ගන්න ගමන් මා දිහා බලා හිටියා. සමහරෙක් කියන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නැතුව අත්පුඩි ගහ ගහා ඒ රැපටත් පොලව හෑවා. තේරුච්චි උං වන් මෝ ආරා...වන් මෝ ආරා කියල කෑ ගහන්න ගත්තා...

ඒ රැපෙන්ම සංගීතේ ඉවරවෙලා කෑම කන්න ගියා. ටෙිබල් එකේදි සීඔි


"ආරච්චි මාර රැප් කාරයානේහ්?? මං අහගෙන රැප් එක" කියලා නෝන්ඩියටත් එක්ක කිව්වා. මං නෑහුනා වාගෙ පිඟාන දිහා බලාගෙන දවල් ලන්ච් එක කාගෙන කාගෙන ගියා.


පහුවදාට එළිවෙනකොට තමා කෝප්‍රල් සිල්වාට "හීග්" ගෑවෙන්න ඇත්තෙ. ඒ කතාව පස්සෙ දවසකට කියන්නං. වෙරි පිට වෙන දේවල් නේ..


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.28

No comments:

Post a Comment