Wednesday, August 18, 2021

ආලංකුලම ඇම්බුෂ් එක

 අඳුරු වනයේ දවස පුරාම  තොරතෝංචියක් නැතුව ඇහෙන කන්ගැට්ට පාරවන  රැහැයි නාදයත් ඉඳහිට ඈතින් ඇහෙන නිශාචර පක්ෂියෙකුගේ කොක් කොක් කෝ බං- කොක් කොක් කෝ බං" නාදයත්  හැරෙන්න එදා රෑ අපිට වෙන කිසිම ශබ්දයක් ඇහෙන්න තිබුනෙ නෑ. හිමින් සැරේ සැරෙන් සැරේ ගලා එන මදනල රැහැයි නාදයත් එක්ක කලවම් වෙලා දෙසවන්වල හැපී හැපී කෙඳිරිගගා කිව්වෙම "පරිස්සමින්" කියලා. 

හවස හතරට විතර කඳවුරෙන් පිටත්වෙලා ඇඳිරි වැටෙනකම් නියමිත ගමන් මගේ හෙමින් හෙමින් ඇවිත්, ඒ එන පාරේම හමුවෙන හමුදාවෙි මෝටාර් ප්‍රහාරයකින් කැඩී ගොස් අඩක් ගරා වැටිච්චි පාලු ගේකට රිංගලා රෑ කෑමත් එතනම තියාගෙන කාල, නැවත හවස හතට විතර අරඹපු මෙි ගමනේ අවසානය මෙතන ඉඳල හරියටම කිලෝමීටර් හතරක විතර දුරක්. 

අපි තාවකාලිකව නැවතී සිටි තැන ඉඳන් මීටර් පන්සියයක් වගේ දුරකින් පිහිටි නාවල්අඩි වැවෙි ප්‍රමාණයේ වතුර හිඳිලා පොලව අලුවා, කිරිබත් කැට ගානට ඉරිතලල පැලිල තියෙන වැව් පිටිය හරහා මෙි යන්නෙ පාන්දර ජාමෙ සතුරා එනව කියන ආරංචියකට දෙකෙන් එකක් විසඳගන්ඩ. ඒ ආවොත් සෙන්ට්, ගියොත් ඔිඩි කොලොන් ගේම් එකක්. මෙි ක්‍රොසින් එක දවස් කීපයක්ම වෙලා සහ ඉදිරියටත් වෙනවා සහ වියයුතුමයි කියලා හමුදාවෙ කේළාම් කාරයොම තමා ඒකක කීපයකට මෙි කේළම කියල තිබුනෙ, "මොනාහරි කරන්ඩ ඒයිලා" කියල. කේළාම් කාරයො කිව්වෙ අපේ බුද්ධි අංශය. සතියක් නිදාගත්තොත් මෙයැයිල අපිට මාසයක් යනකම් හරීයට වද දෙන ජාතියක්. එහෙම කිව්වට මාත් ඉතින් ඒ කාලෙ එහෙම තමා. කාලයක් මමත් EPRLF කාරයො එක්ක කර්නල් කුලතුංග කියල පොරක් පස්සෙ ගියා. ඊටත් පස්සෙදි ආරංචිවුනා අපෙන් බෙිරෙන්න බැරිම තැන පොර ඉංදියාවට පැනල කියල. කුලතුංග කියන්නෙ සිංහල කොටියෙක්.( ඒ කතාව පස්සට ➡️)


ක්ලේමෝ බෝම්බ 4කුත් අරගෙන යන නව දෙනෙකුගෙන් සමන්විත අපේ කණ්ඩායම වැව් පිටියේ තැනින් තැන වැවිල වෙිලිලා, පරඬැල් වෙච්චි තෝම්බු පං පඳුරු අස්සෙන්, ඒත් තමන්ගේ කනටවත් නොඇසෙන තරමෙි ශබ්දයක්වත් නැතුව යන මෙි ගමන සාර්ථක වෙිවා හෝ නොවෙිවා මෙච්චර පරිස්සමින් යන පාරේ අපි ආපහු එන්නේ පිඹගෙන, හූ කියාගෙන. අපේ ආර්වී එකත් අර පාලු ගරාවැටිච්චි නිවසමයි. පුහුණුවෙන් ලබන ඉවසීමත්,විනයත්, හා කැපවීමත් එක්ක කලවම් වෙච්චි තරුණකම, කොළුකම සහ ඒ අතරින් ඉපදිච්චි නිර්භීතකමත් එක්ක ත්‍රස්තවාදය නැමැති  මාංශ භක්ෂක, අතු පතර විහිදා මහා පලාතක් වියනක් වගේ වෙලාගත් ශාකයේ අතු ඉති රිකිලි කඩා බිඳ දමා මහා ගහක් වනසන්න තතනන සටනක් මෙි. මෙි  වැනි සටන්, සටන් බිමෙි බොහෝ දුරට සාර්ථක වුනා. ඒකත් පරිස්සමට ගහේ කොලයකටවත් නොහැඟෙන්න කරන්න ඔින දෙයක්. පැලේ කාලෙම නිය පොත්තෙන් කඩලා විනාශ කරලා දාන්න තිබුනු මෙි ගහ, දේශපාලනය නැමැති මඩ ගොහොරුවෙි පෝෂනය වෙමින් හා ඔවුන්ම මෙි ගසේ වැඩීමට නොමිලේ දුන්  පොහොරවලින් පෝෂනය ලබා, අතු පතර විහිදී ගිහින් පලාතක්ම තම වියනෙන් වසාගෙන හිටියෙ කිසිම බයක් සැකක් නැතුව. පස්සෙ කාලෙක හරි මෙි ගසේ මුදුන් මුල  කපා විනාශ කර දැම්මෙි, මෙි ගහ කපන්න මෙි විදියට ලං වෙලා විනාශ වූ ජීවිත කීයක්නම් උඩින්ද. අපේ බුද්ධි අංශ නැමැති විලෝපිකයා ගහේ කරටියේ දල්⁣ලකින් කඳ ඇතුලට රිංගගෙන  පිළිවෙලින් කක කකා පල්ලෙහාට එන ගමන් මග නැවතී නැවතී දෙන කඳේ රස පිළිබඳ රහස් නිසා ගහේ විහිදී ගිය ප්‍රධාන අතු උනත් මුලින්ම කපා දමන්න තරම් මෙි පුංචි පුංචි කණ්ඩායම් වලට හොඳට හැකිවුනා. පස්සෙ කාලෙක 8 MAN TEAM සහ 4 MAN TEAM සංකල්පය ආවත් ඒ දවස්වල සීයක් ආවත් බහින්නෙ නවයයි. ඒ නවයට අර සීයම උනත් පදිරි තමා. වැරදුනත් වැරදුනේ සීමිත අවස්ථාවන් කිහිපයකදි පමණයි.


එදා අපේ පෙළ අණදෙන්නා වුනේ කෝප්‍රල්  හේරත් (විටා). එල්එම්ජී එකේ හිටියෙ ලා/කෝ හේරත් (බතා). බ්‍රාවො කම්පැනි එකේ කෝප්‍රල් චන්ඳුපාල (සූකිරි සුද්දා)  එම්පීඑම්ජී එක අරන් පස්සෙන්ම එන්නෙ අවියෙ ලින්ක්ස් එකත් හතර පස් පොලකින් වකුටු කරලා අතකින් තද කරගෙන කරේ තියාගෙන. නැත්තං ඒ දෙපරහැන්දෙ සද්දෙ ඇහෙන්නෙ හවස පේපර් මිල් එකේ ගහන බෙල් හූටරේ වගේ.  ඒවා හරි සරළ නම් ඒයි. සූකිරි සුද්ද කියන්නෙ ඒ තරමට සුදු හිංද නෙමෙි. හරි හැදියාවක් තියෙන, කාගෙවත් කනකට ඇහෙන්න තරම්වත් හයියෙන් කතා නොකරන, දහ අටෙි කෑල්ලක් පතිවත බිඳෙයි කියා බයේ ළඟින් ළඟින් අඩිය තියන්නා වාගෙ හිමීට ගමනෙ යෙදෙන නිසා. කාගෙවත් හිත රිදෙන්න එයා කතා කරන්නෑ. ඒ තරම් හැදියාවක් ඒ කොප්‍රල්ට තිබුනා, නෙමෙයි අනේ, ජුන්නෙක් වුනත් බොන සිගා එකෙන් බාගෙ නැතිවෙයි කියල බයේ තමා කාගෙත් හිත රිද්දන් නැතුව ජීවන චරියාව අරන් යන්නෙ. නැත්තං මීටර් 200 රේන්ජ් එකේදි ටාගට් එකේ වදින උණ්ඩ ගාන පොර හිමීට කිව්වත් කෙලවරටම ඉතා පැහැදිලිව ඇහෙනවා. පොර බිලට් එකේ හිටියත් ඇති,බිලට් එක පට්ට සුවඳයි, නෙමෙි අනේ තනිකර ගස් ගඳයි, තල් රා ගඳයි එන්නෙ.රෑට එලියට ගිය දවස්වලදි උදේට ඇතුලට ආපුවම වහනය වෙන්නෙ තනිකර පැලවත්තෙ බඩුවල සුවඳ.  


කතාවට යමුකො. ආලංකුලම ගම හරහා නිශාචරයේ තැනින් තැන සැරිසරන ලොං හැලිච්චි බුල්ටො වෙච්චි තැරි ගැහිච්චි පසික්කාඩු බල්ලෙකුටවත් ඉවක් නොවැටෙන්න ගියපු මෙි ගමනේ අපිට බාධාවක් වුනේ රන්වන් කරල් පැහිලා නැමිල බිමට බරවෙලා මද සුළඟින් "සිලි - සිලි" ගාල ලෙලදෙන කුඹුරු යායක්. මෙි කුඹුරු යාය පහු කරගන්න අපිට පැයක් විතර ගියා. ක්ෂිතිජය නොකැඩෙන පරිදි සමහර තැන්වල දනගාමින්, තවත් සමහර තැන්වල බඩ ගාමින්,නැවෙමින් ඒ ආ ගමනේ අවසානය මෙි කුඹුරු යායේ අවසානයේ සිට ඊලඟට හමුවෙන තවත් වැව් බන්ට් එකක් දිගේ ගිහින් ඒ වැවෙි ඉහත්තාවෙන් වැටී තියෙන උදේ ඉඳන් රෑ වෙනකං දර කරත්තයි පස් වැලි අදින ට්‍රැක්ටරුයි යන එන මැටි පාරක්. අපේ අරමුණ වුනේ ඒ කරත්ත පාරේ කැලේ ඇතුලෙ ඉඳගෙන බඩු කෑලි ටික එන පැත්ත අනුව වැව පැත්තට මුහුන දාලා උන්ව කොටු කරගෙන සටනක් දීම. මෙි යන්නෙ දින දෙකක රැකසිට පහරදීමෙි ක්‍රියාන්විතයක්. ඒ පළවෙනි දවසේ සටනක් ඇති නූනොත් පහුවදාට තවත් පාරක තැනක් කොටු කරන්න. සටනක් ඇති වුවහොත් කෙලින්ම මඩකලපුව කොළඹ පාරේ 126 කඳවුරට ටිකක් මෙහායින් තියෙන අපේම රෝඩ් බ්ලොක් එකකට එන්න තමා ප්ලෑන. අපි රෑ ගත කරලා සටනක් නූනොත් පහුවදාට රෑ වෙනකම් ඉන්නෙත් මෙි රෝඩ් බ්ලොක් එකේ. ඒවා පෙර දැනුම් දීම් අනුව තමා වෙන්නෙ. ආවට ගියාට අපේ තැන්වල⁣ටවත් රෑක යන්න එන්න බෑ. 


අපි කුඹුරුයායත් පහුකරලා වැව් බන්ට් එක දිගේත් (වැව් බන්ට් එක දිගේ කිව්වට බන්ට් එකට පහලින්) කැලේට ඇතුල් වුනා. ළඟ ඉන්න එකාගෙ ඇහැට ඇන්නත් පේන්නැති පාං පිටි දොදොල් වගේ කට්ට කලු කෑලි කැපිය හැකි ගන අඳුරේ එක කෝටු කෑල්ලක් නොකැඩෙන්න, ගහක කොලයක් හෙලවෙන්නැති වෙන්න ගහක වහල හිටියොත් මොනරෙකුටවත් සද්දයක් නොඇසෙන්න ඒ තරම් හෙමින් ගමන් කලේ ඉතාමත් ඉවසීමෙන් සහ පරිස්සමින් වගේම සූදානමකින්. මොකද අපි සතුරා හොයාගෙන උන්ගෙ ඒරියා එකට ගිහින් උන්ට ගහල එනවා වගේම, උනුත් තමන්ගෙ ඒරියා එකට එන මෙි වගේ කණ්ඩායම් ගැන ඉතාමත් සෝදිසියෙන් ඉන්නෙ. උන් ඉන්න තැනක් අපි දන්නෙත් නෑ, අපි එන තැනක් උන් දන්නෙත් නෑ. බැරිවෙලාවක්වත් අපි එනවා කියල ඒ වගේ නිරීක්ෂණ කණ්ඩායමකට අහුවුනොත් අපි උන්දැලට ගහනවට වඩා වෙිගයෙන් උන් අපිට ගහල එළවනවා. එහෙම වුනොත් ගොඩක් අමාරු හිංද තමා මෙච්චර පරිස්සමට යන්නෙ. එක දවසක් එහෙම වෙලා අනූනවයයි තුන්කාලෙන් තමා අපේ වෙනත් ටීම් එකක් බෙිරුනේ. 


අපි අපේ නියම තැනට ආව. මෙතන හරියටම තුන් මං හංදියක්. අපි ඒ හංදියම ආවරනය වෙන විදියට අපිට අවුලක් නොවෙන ආකාරයට ක්ලේමෝ බෝම්බ හතරම ඇටෙව්වා. පාර හරහා වැල්ලට යට කරලා ⁣වයර් ටිකත් ඇදගෙන ඒවා පත්තු කරන ෆයරින් ඩිවයිස් ඒවා කලින්ම නම් කරපු අයටත් බෙදා දීලා මාත් එකක් ගත්තා. මගෙ ක්ලේමෝ බෝම්බය දාල තිබුනෙ කරත්ත පාරෙ මගෙ කෙලින්මයි. ක්ලේමෝ දාපු අටවපු කෝප්‍රල් හේරතුත් සාසෙ බංඩාරත් බූට් අඩි අතු කොලේකින් මකාගෙන මකාගෙන පාරෙ මෙහා පැත්තට ඇවිත් නියමිත ස්ථානය ගත්තා. මෙතැන අපිට වාසියක් තිබුනා. අපි පාර අයිනට මීටර් දෙක තුනක් විතර කැලේ ඇතුලෙ ඉඳගෙන බිම දිගාවෙලා වැව දිහා බලාගෙන ඉන්න තිබුනෙ. වැව පේන්නෑ, ඒත් පාරෙ ⁣සතෙක් ගියත් අපිට පැහැදිලිව ක්ෂිතිජය කැඩිල පේනවා. මෙි වැඩ ඉවර වෙනකොට  රෑ 10 ට ආසන්නයි. අපි රේඩියෝ සෙට් එකත් උපරිම අඩු කරලා හුස්ම ගන්න සද්දෙවත් පිටට ⁣නොඇහෙන්න  බලාගෙන හිටියා. වෙිලාව රෑ 12ත් පැන්නා. කෝප්‍රල් හේරත් පනිවිඩයක් එවා තිබුනා, දෙන්නෙක් ඇර එක්කෙනෙකුට රෙස්ට් කරන්න. රෙස්ට් කරනවා කියන්නෙ ඉන්න විදියටම ඇස් දෙක ටිකක් පියවා ගන්න එක විතරයි. මමයි සරත් කුමාරයි හිටියෙ සෙක්ෂන් කමාන්ඩර්ට දකුණු පැත්තෙන් EARLY WARNING TEAM එකේ. ඒ කියන්නෙ පෙරදැනුම් දීමෙි කණ්ඩයේ.  සතුරා පිළිබඳ මොකක් හරි දෙයක් දැනුනොත් කිසිම දෙයක් දැනුම් දෙන්නෑ, අපේ පැත්තෙන් ආවොත් හොඳ හුස්මක් අරන් මැද ඉන්න කෝප්‍රල් ඇතුළු වෙඩි තබන ඛණ්ඩය ඉස්සරහට සතුරා ආහම දෙන ප්‍රහාරයට අනුගත වෙන්න බලාගෙන සූදානම් වෙනවා. අනෙක් පැත්තෙන් ආවත් ඒ ටිකමයි. 


එලෙස  පාන්දර දෙක හමාර විතර වෙනකම් පැය බාගෙ බාගෙ මාරුවෙන් මාරුවට රෙස්ට් කර කර හිටපු අපිට ටිකක් දුරින් "සලං බලං, සකල බලං"  වගේ මැෂින් ගන් එකක ලින්ක්ස් වදින සද්දයක් ඇහුනා. එතකොට සියල්ලෝම සූදානම් වුනා. මායි සරතයි රහසින් මාරුවෙන් මාරුවට කුණු හරප කවි කිය කිය හිටියෙ. අම්මහ්, ඒවට සරත් කුමාරය සුපිරි බාන්ඩෙි. ගෑනියෙක් කෙල්ලෙක් ගැන කියනවනං සතියක් නොකා අහං ඉඳී. ඌට නම දාල තියෙන්නෙත් "සිඹා" කියල. මොකද අපි අවයව වලින් කරන දේවල් මූට ඇස් දෙකෙනුත් හරි ලස්සනට කරන්න පුලුවන් පුදුම හැකියාවක් තිබුනෙ.  අපි දෙන්නම ඔය විදියට තමා හිටියෙ. තවත් විනාඩි කිහිපයක් යද්දි අර සද්දය නැවතුනා. විනාඩි පහකින් විතර ආයෙත් සද්දය ඇහුනා. ආයෙත් නැවතුනා. ඒ සද්දෙ ආයෙත් ඇහෙද්දි අපිට බඩු ටික කිට්ටු කරලා. ඒ එන්නෙ අපිට වමෙන්. ඒ කියන්නෙ වාකරේ පැත්තෙ ඉඳන් වාකනේරි පැත්තට ක්‍රොසින් එකක්. එතකොට මමත් සරත් කුමාරත් හිටියෙ දකුණු කෙලවරේම. මට එහා පැත්තෙන් සරත් කුමාර. මතකනෙ කඩල කතාව. ඒ සරත් කුමාර. මං ඌට කිව්වෙ "මට බයයි බං, උඹ එහා පැත්තෙන් දාගනින්" කියල. ඇත්තටම බය කට නෙමෙි,  එතකොට සර්පයෙක් ආවත් ඉස්සෙල්ලා කන්නෙ ඌටනෙ. ඒකයි. තවත් විනාඩියක්  යද්දි මං ෆයරින් ඩිවයිස් එකේ සේෆ්ටියත් පන්නලා, අතින් හොඳට බදලා අල්ලගෙන හිටියෙ. වෙඩි තියන මැද කණ්ඩායම වෙඩි තියනවත් එක්කම, ඒකෙන් අඤ්ඤකොරොස් වෙන උන්දැලා සීසීකඩ දුවනවා. එතකොට මගේ ඉස්සරහින් මොකෙක් හරි දුවන්න ආවොත් මාත් කෝචොක් එකට වගේ මෙිකත් මිරිකනවා. එතකොට බඩු බනිස් වෙනවා.  මං වෙනුවට සරත් තුවක්කුව ඉස්සරහට මානාගෙන නුහුරු ඇස වසා හුරු ඇස ඇරගෙන ඉදිරිය බලාගෙන. ඊලඟ නිමෙිෂයේදි වුනේ අර සද්ද ඔක්කොම එකපාරටම නැවතුනු එක. අපි පැහැදිලිව දැක්කා,උං ටෝච් එකක් පත්තු කරගෙන අතින් වහගෙන ඇඟිලි කරු අස්සෙන් චූටි එළියක් විහිදෙන්න අතින් වහගෙන ආවෙ. උං එහෙම එන්නෙ, පරිස්සමින්. මොකද හමුදාවෙන් මෙි ඒරියා එකේ ඇම්බුෂ් එකක් දාන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියල උං දන්න නිසා.  ඒ සද්දෙ නැවතුනාම, මට එක පාරටම චූ බරක් වගේ එකක් හැදුනා. ප්‍රෙෂර් එක වැඩිවුනා වගේ ඇඟ කිළිපොලා ගියා. හිත සලිත වුනා. මට හිතුනෙම ක්ලේමෝ එකක කෝඩ් එකක්වත් මතුවෙලා, ඒක දැකල " බඩු නැවතුනා වද්දෝ " කියල. එහෙම වුනොත් වැඩෙි ඉවරයි. අපිට ජීවිතවලිනුත් වන්දි ගෙවන්න තමා වෙන්නෙ. 


තවත් චූට්ටං වෙලාවක් යද්දි ආයෙත් අර ටෝච් එලිය පත්තුවුනා දැක්කා. එතකොට  ඩිංගක් පන ආවා. අපිව කොහොමටවත් උන්ට පේන්නෑ. ඒත් එක බූට් අඩියක් හරි නොමැකී තිබිල අර කණා එලියෙන් දැක්කොත් මහ විනාශයක් වෙන්නෙ. මෙි වෙද්දි උං හිටියෙ අපේ ටීම් එකට මීටර් තිහක් හෝ ආසන්න දුරකින්. මට මෙහා කෙලවරේ ඉඳන් මෙච්චර හීන් දාඩිය දැම්මනං එහා කෙලවරේ ඉන්න එකාට කොහොම දාඩිය දාන්න ඇද්ද. මයෙ අප්පෙ හිතෙනකොටත් හිත මෙව්ව වෙනවා. 


උං ඒ දුරත් ඇවිත් හරියටම කෝප්‍රල් හේරත්ගෙ ටීම් එක ඉස්සරහට එනකොට එක පාරටම ⁣දෙකන් බිහිරි කරවන සද්දෙන් ක්ලේමෝ දෙකක් පුපුරා ගියා. අපි කලින්ම කතාවෙලා හිටියෙ පිටු පස්සෙන් පන්සීයක් ආවත් කමක් නෑ, ඉස්සෙල්ලාම එන ටීම් එකට ගහමු  කියලා. ඒකට හේතුව, අපේ මෙි වගේ ඇම්බුෂ් නිසාම උන්ගෙ පොඩි පොඩි ටීම් තමා මූ වෙන්නෙ. බැරිවෙලාවක්වත් පස්සෙන් කව්රුවත් ආවෙ නැතොත් ගියපු වුනුත් නෑ,ආපු වුනුත් නෑ වගේ එකක් වෙන්නෙ. ඒ විදියටම වැඩෙි ඇරඹුනා. ඒ ක්ලෝමෝ සද්දෙත් එක්කම ක්ෂණිකව ෆයර් එක පටන්ගත්තා. ඒක හරියට රතිඤ්ඤා වැල් ගානකට එකවර ගින්දර තිබ්බා වගෙ සද්දයක්. 

ඒ අස්සෙ එකෙක් දුවනවා දැකල සරත්කුමාරය දත්මිටි කාගෙන ඌව බිම දාගන්න දැඟලුවා.. මාත් ක්ෂණිකව ඇස් දෙක පියාගෙනම ඇඟේ හයිය දකුණු අතට දීලා එක පාරටම ෆයරින් ඩිවයිස් එක මිරිකුවා.  ඒකත් "ගිඩ්ඩීඩිඩීඩීර්ර්ර්රියාාාංංං"  ගාල පොලවත් හොල්ලගෙනම පුපුරා යද්දි දුවපු එකෙකුත් නෑ, දුවපු පාරකුත් නෑ වගේ එකක් වුනා. නැත්තං ආයෙ උස්සං පලයල්ලකො ඔිව මෙි වෙඩි කන අස්සෙ.එකෙක් හරි බාව ගත්තා මදෑ ඒකෙන් කියල හිතුනා. ඒ ෆයර් එක විනාඩි පහකටත් වඩා අඩු කාලයක් තිබුනෙ. ඊලඟට ක්ෂණිකව පටන් ගත්තෙ ආයෙ මීටර් විස්සකින් තිහකින් වගේ දුරකින් අපිට තව ටීම් එකක් අම්බානකට වෙඩි තියන්න. අනික් පෙර දැනුම් දීම් කණ්ඩයෙන් ඒ සද්දෙ එන දිසාව භාරගත්තම මැද ටීම් එකත් ඒ පැත්තට හැරිලා වෙඩි තියන්න පටන් ගත්තා. අපි දෙන්නත් ඇරියෙ නෑ. රවුම් බාගයක් කැරකිලා ඇවිත් ඒකට මුහුන දුන්නා. ඒ වෙලාවෙ හිතුන විදියට මට හිතුනෙ 15 හෝ 20ක් විතර එතන ඉන්න ඇති  කියල. අපි දෙගොල්ල ඔිසෙට මරා ගද්දි කෝප්‍රල් චන්දුපාල තමන්ගෙ වගකීම ඔිනෑවටත් වඩා තමන්ගෙ කරට අරගෙන අපිට වැව් පිටිය පැත්තට පසු බහින්න වෙඩි ආවරණයක් හදල දුන්නා. ඒ කෙලවරේම පාරේ අර වෙඩි තියන පැත්තට මුහුනදාලා වීර පඳුරක් පාමුල දාල තිබ්බ අවසන් ක්ලේමෝ බෝම්බයත් පිපිරෙව්වට පස්සෙ. ඒක ලුපුරනවත් එක්කම අර සද්දෙ මොහොතකට නැවතුනා. එතකොට ඇහුනෙ වැලි කැටයි ගල් කැටයි ක්ලේමෝ එකෙන් විහිදී ගිය බයිසිකල් බෝලයි බිමට වැටෙන සද්දෙ. ඒ අවසරෙන් තමා කෝප්‍රල් චන්ද්‍රපාල ආයෙත් වැඩෙි පටන් ගත්තෙ. ඒ ආවරණය ඔස්සේ අපිත් පාර පැනල ආයෙත් ඉතුරු වෙච්චි අරුන්දැලත් එක්ක ගේම ඉල්ලුවා. මෙි ෆයර් එකත් ඔන්නං විනාඩි දහයක් තියෙන්න ඇති. සෙට් එකේ "මෝටාර් ඔිනැද මොටාර් ඔිනැද" කියල අහනවත් වගේ එකක් ඇහුවලු. හැබැයි කෝපල් හේරත් මෝටාර්  ඉල්ලුවෙත් නෑ. ඉල්ලන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒ ෆයර් එක පටන් ගන්න කලින් ඇජුටන් අපේ ප්‍රධාන කඳවුරේ රේඩියෝ රූම් එකට එනවා. මොකද  සෙට් එකේ හිටපු කෙනා ටෙරා එනව කියල දැනගත්තම ඒක ක්‍රම සහ විධි අනුව රහසින් ඇතුලට කියනවා. අපිට නියෝග සහ උපදෙස් ලබාදුන්නෙ ඇජුටන්ට්. එතුමා පහුවදාට එළිවෙනකම් අපේ ඔිනෑම  වගකීමක් භාර අරගෙන ඉන්නෙ. රැකසිට පහරදීමක් වුනත් මෙික විශේෂ ක්‍රියාන්විතයක්. ඒ නිසා ඇතුලට සෙට් එකේ කිව්ව ගමන්, එහෙ ඔපරේටර් ඒක ඇජුටන්ට දැනුම් දෙනවා. එසැනින් එතුමා රේඩියෝ රූම් එකේ. 


අපිත් ඔවුන්ට වෙඩි තියන ගමන් මීටර් තිහ හතලිහක් පසු බැස්සා. ඔවුනුත් පස්සෙන් එළවන ගතියක් තිබුන නිසා අපිත් තැනින් තැන නැවති නැවති තමා පසු බසින්නෙ. ඒ වෙඩි වරුසාව මැද්දෙ අපි වැව් බන්ට් එක ගාවට එනකම් ආවා. උනුත් වැව් පිටියෙ මැද්දක් වෙනකම් ආව. ඊට පස්සෙ කෝප්‍රල් හේරත් මෝටාර් ඉල්ලුවා. ඉල්ලල අපිත් වැව් බන්ට් එක ආවරණයට අරගෙන අරුන්දැලට ටොක් බබා හිටියා එන්න දෙන්නැතිව. තව විනාඩියක් යද්දි මෝටාර් එක දෙක පතිත වෙන්න පටන් ගත්තා. කෝප්‍රල් හේරත් ඒවාටත් කරෙක්ෂන් දිදී ඉද්දි 232 බසේමු ගානෙ එවපු 120 මිමී පැරා එකකුත් ගුවන් තලේ මැද හැඩ කරමින් පුපුරා ඇවිලී පාව යන්න පටන් ගත්තා. ඒ එලියෙන් ආවරණය වෙන්න උන් එක්කෝ කැලේට පැන්නා, නැත්තං බිම දිගාවෙලා හැංගිලා. කොහොම හරි මෝටාර් දහයක් විතර වැටෙද්දි ඒකත් හෝල්ට් කරල අපි හිමීට හිමීට පස්සට ඇදුනා. මෙි හරියෙ වැඩි වෙලාවක් සෙල්ලම් දාන්න බෑ. මොකද ඊලඟට ආලංකුලම ගමෙි සිවිල් මිනිස්සු වගේ ඉන්න කොටි ටික ආවොත් බඩු බනිස් වෙන්න පටන් ගන්නවා. ඊට කලින් අපි පසු බැස්සා. ඒ ආපු පාරෙන්ම නෙමෙි. සැළසුමට අනුව වෙන පාරකින්. එහෙම ඇවිත් අර ගේ ගාව නැවතුනා. කිසිම අවුලක් වුනේ නෑ. වැඩෙි නියමෙට ගියා. ඒක හරියට කෝස් එකක පුහුණුවක් කලා වගේ හැඟීමක් අපිට දැනුනෙ. කිසිම කෙනෙකුට කිසි අවුලක් නෑ. ගියපු නවයම ආපහු ආව. පුදුමෙ කියන්නෙ වෙනද නම් ගහක හැප්පිලා හරි වලක වැටිල හරි එකෙක් මොකක් හරි එකක් කරගන්නවා. එදා ඒකවත් නෑ. ඒකෙන් මටයි පාඩු. කාඩ් එකක් ගහන්නවත් කව්රුවත් නෑනෙ. 


පහුවදා හවස පහට රාත්‍රී මුරය පෙළ ගස්වලා ඒකට නියෝග දෙන්න ආපු තුන්වැනි කණ්ඩය භාර නිළධාරි කිව්වා අපේ ක්‍රියාන්විතයෙන් හතර දෙනෙක් මැරිලා තියෙනවා, එක්කෙනෙක් තුවාල වෙලා තියෙනවා කියල. ආයෙ කිව්වා 

*ඔයාලා ගහල තියෙන්නෙ සල්ලිවගයක් අරන් යන ටීම් එකකට.. ඒකත් සෙට් එකේ මොනිටර් වෙලා තියෙනවා

කියල. ඒක  කිව්වට පස්සෙ ඔක්කෝටම පේන්න මම "ෂයියෝ" කියල ඔලුවෙ අතගහ ගත්තා. එතකොට ලුතිතන් කුමාර ඇහුවෙ "ඇයි බැටරි වගේ ඒවත් උස්සන්නද" කියල. එතකොට කෝප්‍රල් හේරත් බිම බලාගත්තා. එයා එදා සහායක මුරපති හිටියෙ. එයා තමා අපිව පෝලිම් කලේ. සරත් කුමාරත් හයියෙන්ම "මයෙ අප්පේ" කියල හයියෙන්ම හිනාවෙන්න පටන් ගත්තා. ඊලඟට අපෙන් එලියට පනින්නට නියමිත  වචන සෙට් එක එලියට පනින්න කලින් එතුමා "කට්ටියම කල්පනාවෙන් රාජකාරි කරන්න ලමායි" කියල නිවාඩු ගිහින් එද්දි අලුතෙන් හදාගෙන ආපු නවරත්න මුද්දත් දෙපාරක් ඉඹල ශේප් එකේ කැපුනා.  නැත්තං එහෙම එතුමට රෑ අට වෙනකම්වත් ඔතනින් යන්න හම්බවෙන්නෑ. මොකද අපි හරි ආසයි එතුමා මුද්ද ඉඹින ඉඹිල්ල බලා ඉන්න. 


 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.18

2 comments:

  1. මුද්ද ඉඹින කේස් එක මොකක්ද?
    දැන් FB දාන එක නැවැත්තුවද?

    ReplyDelete
  2. හැමදාම වගේ චිත්ත රුප මැවෙන්න ලියලා තියෙනවා. උඹේ කතා වල කාගේ හරි නමක් තිබුනොත් ඉස්සෙල්ලම කරන්නේ පල්ලෙහාට ගිහිල්ලා බලන එක කතාවේ අන්තිමට එයා ජිවත් වෙනවද කියලා. නැතිනම් පොල්ලෙන් ගැහුවා වගේ එක පාරට දුක සීන් එක්ක සෙට් වෙනවනේ.

    ReplyDelete