Saturday, October 23, 2021

3 බංකරේ

 මට නිකන් ඔහේ ඉන්න වෙලාවල් වලට හිටපු ගමන් බුකාස් ගාල හිනා යනවා. අපේ වෛප් ඒ වෙලාවට අහන්නෙ "අහවල් දෙයක් වෙලාදෝයි වහලෙත් එක්ක හිනා වෙන්නෙ" කියලා. නැත්තං "දැං කා එක්කද හිනාවුනේ" කියල. ඒක විශ්‍රාමගත් මුල්කාලයේ ටිකක් තදින්ම තිබුනා. ඒ දවස්වල වෛප්ට දීපු එකේක උත්තර නිසා දැං වැඩිය අහන්නෑ. සේවයේ ඉද්දි කරපු ගොං වැඩ ගහපු බුල් කාපු ගුටි අහපු බැනුම් මතක් වෙද්දි නිකන්ම හිනා යනවා. ඒක හමුදාවෙ ඉද්දිත් තිබුනා. දැනුත් තියෙනවා.එක දවසක් අපේ සීඑස්එම් අපිව බරවැඩ කණ්ඩයකට දැම්මා. අපිට තිබුනේ කඳවුර සුද්ද කරන්න. ඒ වගේ වැඩ දවස්වලට අපි කටවහරෙන් කියන්නෙ ජෙන්රල් පැටික් කියල. ජෙනරල් පැටික් (General fatigue) කරනවනම් සාසෙ වෙච්චි අපි මොක්කුද? මමත් අහුවෙලා හිටියෙ විසි ගහන්න. ඉන්චාජ් තුමා හිටියෙ සීඑස්එම්. මට සීඑස්එම් ඉනට අත්දෙක තියාගෙන අපි වැඩ කරන දිහා බලන් ඉන්න හැටි  දැක්කම සුපුරුදු "බුකෑස්" හිනාව නාහෙනුත් එක්ක එළියට පැන්නම සීඑස්එම්;

*ආරච්චි මොකත්තෝ විසිකැත්ත එක්ක හිනාවෙන්නෙ, තොට ආයෙත් පිස්සුද ?

මාත් කර කර හිටපු වැඩෙි නවත්තලා "මෙහෙමනෙ සර්" කියල ලොකු කතාවක් පටන් ගන්න හදනකොට සර් දන්නවා "මූ එන්නෙ මාවත් අන්දන්න" කියල. මොකද කියනවනම් එහෙම කතාවක් පටන් ගත්තම පැයකට ඒක නවතින්නෑ කියල සර්ම දන්නවා. එතකොට වැඩෙි නෑ කයිය විතරයි.

*අමුතු පිස්සුවක්යෑ  සර්. පරන එකම තමා. කියල පටන් ගත්තම

"හ්ම් හ්ම්..වැඩ වැඩ ඔතන ඉඳන් වැඩ කරන ගමන් කතා කරපං" කිව්වා. 

*දන්නැද්ද සර් ඉතින් ගහපු බුලක් මතක් වෙච්චම මටත් හොරා හිනැස්සක් යනව තමා කියල ආයෙ දිගටම වැඩ. ඒ සීඑස්එම් එක්ක මංවත් මං එක්ක ඒ සීඑස්එම්වත් වැඩිය භජනෙට එන්නෑ. එක පාරක් ගෝරිං සිං කියල කාඩ්එකක් ගහල මට ජීවිතේ නහගන්න හිතිල තිවුනෙ. 


මට වැඩිපුරම සිහියට එන්නෙ ආධුනික කාලෙ සාසෙ කාලෙ වෙච්චි දේවල්. ඒව ටිකක් තදින් හිතට වැදිල තිබුනා. කෝප්‍රල් බණ්ඩාරගෙ අඩස්සියෙන් මුදෝලා හමුදාවෙන් නිදහස් ජීවිතය දුන්නට පස්සෙ තමා අඩන්තේට්ටම් එක එක සිද්දවෙන්න පටන් ගත්තෙ. තේ ගෙනාවත් වැරදී, ⁣සීනියර්ලට බෙදල දුන්නත් වැරදී,රස්නෙන් දුන්නත් වැරදී,නිවුනත් වැරදී,අතුගෑවත් වැරදී,නොගෑවත් වැරදී,නෑවත් කෑවත් වැරදී,ඇවිද්දත් වැරදී එකී මෙකී නොකී කරන හැමදෙයක්ම වැරදියටම පේන අල්පේශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන් වැඩ සිටින ලා/කෝප්‍රල්ලා,කෝප්‍රල්ලා අතරේ උන්දැලාගෙන් ජීවිතේ බෙිරගෙන හිටිය කියන්නෙ එහෙම කෙනෙකුට මෙි ලෝකෙ ඔිනෑම තැනකට ගිහින් ජීවිතේ ගැටගහගන්න පුලුවන් හැකියාවක් ඔිනම කෙනෙකුට ලැබෙනවා. හැබැයි එක චාන්ස් එකක් තිබුනෙ අපි දෙවන බැච් එක නිසා ඒක ටිකක් තදින්ම අපිට බලපෑවා. පළවෙනි බැච් එකත් රෙකෲට්, අපිත් රෙකෲට්. ඒ නිසා හරි හරියට ඝස්ටන. 

එක එක ඒකක වලින් සමන්විත බළසේනාවකම යුනිට් එක ස්ථාපිතව තිබුනු නිසා අපිට සමහර වෙලාවල්වලට හැංගෙන්නත් චාන්ස් තිබුනා. එහෙම එකක්වුනා කියමුකො.


ඒ කෝප්‍රල් අනිල් රාජා. පොරට තේ ගෙනාවම නිවිලිත් නැතුව රස්නෙත් නැතුව මග් එකට දාල දෙන්න ඔින. එදා මමයි අජිත්කුමාර කියල කොල්ලෙකුයි තේ ගේන්න හිටියෙ. කෝප්‍රල් අනිල් රාජා බිලට් එකේ ඉන්නවනම් අපි මීක් සද්ද නෑ. පොර තේ වෙලාවට බිලට් එකේ හිටියා කියන්නෙ අපිට කෑමක්ම තමා සෙට් වෙන්නෙ. ඒ දවස්වල කුස්සියෙ හිටියෙ ඊපීආර්එල්එෆ් ඉඳලා හමුදාවට බැඳිලා හිටපු 9ශ්‍රිලංජාආබමු ඒකකයේ මුස්ලිම් කෝප්‍රල්ලා කීප දෙනෙක්. කෑම ඉවීම,බෙදීම, ඒ අය තමා කරන්නෙ. මෙලෝම රහක්නම් නෑ. හැබැයි හරක් මස් එක නම් සුපිරියටම හදනවා. ඒ දවස්වල හමුදාවට හරක්මස් දුන්නා. සාඩින් ටින් එකක සයිස් එකට පෙති කපල හදන හරක්මස් පෙත්ත බඩට යනවට වඩා කොටසක් දත් අස්සෙ යන්න තමා උයන්නෙ. ඊට පස්සෙ කූරටෙිකින් හරි හැට්ට කට්ටකින් හරි තමා ඒවා දත්වලින් ගලවල බඩට යවන්න ඔින. ඒවා අධීක්ෂණයට හිටියෙත් අපේ ආර්කි්‍යු තුමා ස්ටාෆ් සාජන් බෂීර්. එයා අපේ රෙජිමෙමයි. මායි අජිතුයි තේ ගෙනත් කෝප්‍රල්ගෙ කෝප්පෙට දාලා බුද්ධ පූජාව වගේ අත් දෙකෙන්ම ගිහින් දුන්නම පොර ඒක අතට අරං උගුරක් බීල ඒක තමන්ගෙ මට්ටමට නැත්තං අනිවාරයෙන්ම අපේ ඔලුවට තේ එක හලනව. ඒක එයාගෙ පුරුද්දක්. මට ඔිකවුනේ මෙදා. මාත් හිතින් බැන බැන ගිහින් මූන අතපය හෝදගෙන ආවා. ආයෙ දවසක් තේ එක දෙද්දි පොර පයිං ගැහුවා. එදත් තේ නෑවා. ඒ හිංද එපාම වෙලා තමා තිබුනෙ. පරණ ආමි කාරයා හෙන මරි මෝඩයි. මෙිවා පපුවට අත තියල කියන කතා හොඳේ. 

අපේ හිටියා අමරනායක කියල කොල්ලෙක්. පොර කැඩෙට් සාජන් කෙනෙක්. අපේ කෝස් එකේ බෙස්ට් රෙකෲට්. ඌ හෙනම කුකුල් කේන්ති කාරයා. අපේ බිලට් එක ඉස්සරහම තිබුනෙ දිවාමුරය නවය. අමර නායක ටූ ප්ලැටූන් එකේ. අපි ත්‍රී ප්ලැටූන් එකේ. අපේ ප්ලැටූන් එකේ තමා අනිල් රාජා හිටියෙ. තේ ගේන වෙලාවට බිලට් එකේ කව්රුවත් නොහිටියොත් බිලට් එකටත් එක්ක තේ ගේන එක මෙි ඩෙි ගාඩ් එකේ වගකීමක්. එදා අමරනායකයි තවත් කෙනෙකුයි බිලට් එකේ ටී කෑන් එකත් අරන් ගිහින් තේත් ගෙනත් කෝප්‍රල් අනිල් රාජටත් දීල. දීල තියෙන්නෙ අමරනායක. තේ එක එදා ටිකක් නිවිල තිබිල තියෙන්නෙ. තේ එක පෝලිමෙි ඉඳලත් එපෑ ගන්න. අමරේ තේ එක දුන්නම නිවිල නිසා අමරෙට තේ එකෙන් දමල ගහල. ඒකට මල පැන්න පාර පොරත් පැනපු ගමන් කෝපල්ගෙ හක්කට දෙකකුත් ඇනල පයිනුත් එකක් ඇනල අමරෙට තිත්ත කුණුහරපෙන් බැනල, ඒකට අරුන්දැට අමුතුවෙන් මළ පැනල තව එකක් ඇනල, ඒ පාරෙ සැරට කෝප්‍රල් අපේ පෙට්ටි පේලියත් පෙරලගෙන විසිවෙලා වැටිල. අමරෙ කියන්නෙත් දේහදාරී හොඳ උස මහත පොරක්. පානදුර පිංවත්තෙ ගම. මෙිකට කෑම්ප් එකේ හෙන ගින්නක් හටගත්තා. අන්තිමට හැබැයි කෝප්‍රල් පැරදිලා චාර්ජ් එකේ නොගිහින් යන්තම් බෙිරුනා. එදා ඉඳන් අපිව එයාට පෙන්නන්න බැරිවුනත් දැඩි අවවාද නිසා මුකුත් කරගන්න බැරිවුණා. එතකොට මං හිටියෙ දිවාමුරය තුනේ. 

ඒකෙ හිටියෙ සුපිරි චරිත දෙකක්. සාසෙ ඒකනායක සාසෙ යුගානන්ද. නිවිච්චි දෙදෙනෙක්. ඒ නිසා මං බිලට් එක පැත්ත පළාතෙ යන්නෑ,බංකරේමයි හිටියෙ. යුගානන්ද හෙන ගායකයා. පොර කරන්නෙ තේ ගේන කෑන් එක අරගෙන ඒකට හිමින් තට්ටු දම දම සිංදු කියන එක. සිංදුත් මාරම ලස්සනයි. ඒකනායක හීන කාරයා. දුර ඈත බලාගෙන සෙන්ට්‍රි ඉන්නෙ එක එක පාට පාට හීන බල බල. මෙතන බංකරේ ඉස්සරහින් පේපර්මිල් එකේ කුණු කානුවක් යනවා. වැහිකාලෙට ඉන්න බෑ ගඳ. ඒ ඇල කෑල්ලෙන් අපේ යුද අගලටත් වතුර එනවා. මෙි වැහිකාලයක්. 

ඒ වෙද්දි අපිව කඳවුරෙන් එළියට රාජකාරියකටවත් ගිහින් නෑ. කම්බි පොටවල් වලින් ඇතුලෙ තමා රෙකෘට් අපේ ලෝකය ගොඩනැගිල තිබුනෙ. එදා 2300-0100 සෙන්ට්‍රි හිටියෙ මං. දවස් දෙක තුනක් වැස්ස ගියාම එදා මට ඉස්සරහින් අමුතු "චප-චප" ගාන සද්දයක් ආවා. යුගායි ඒකායි මාව බය කරල තිබුනෙ මෙතනින් කොටි ආවොත් කඳවුරට රිංගන්න පුලුවන් කියල. මාත් ඇලට් එකේ ඉන්නගමන් මෙි සද්දෙ ඇහුනම දෙගිඩියාවකට පත්වුනා. ඒ "කොටිද? වෙන සද්දයක්ද?" කියන එකට. හොඳට විපරම් කරල බලපුවම සද්දෙ ඇහෙන්නෙ කානුවෙන්. මං මගේ ටෝච් එක අල්ලල හොඳට බලපුවම මාළු රෑනක් වරල් ගගහ පොඩි වතුර පාරක් දිගේ ඇවිත් අපේ කානුවට පනිනව. කානුවෙන් එකයි අංගුට්ටො. තව එන්නෙත් අංගුට්ටො. මගේ ටෝච් එක එළිය මදි හිංද හීන් සැරේ බංකරේ ඇතුලට ගිහින් යුගාගෙ කොට්ටෙ යුගාට නොදැනෙන්න උස්සල පොරගෙ ටෝච් එක ගත්තා. විසිට් එකත් ගියා විතරයි මං පූචස් එක ගලෝලා වෙපන් එකත් පැත්තකින් තියල බූට් දෙකත් ගලෝලා තියල ටෝච් එක කටෙන් අල්ලගෙන නාන්න ගෙනියන බාල්දියත් අරං වැඩෙිට බැස්සා. මාලු අල්ල අල්ල අර වල පිරෙව්වා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ, ඒක පුලේ පුල් දැන්. තව වලක් කැපුවා. එකත් පිරෙව්වා. මඩ පෑදීගෙන ආපු කානුව මීහරක් ලැගල වගේ මඩ වෙලා. විසිට් එකක් එනකොට ටක් ගාල සන්නද්ධ වෙනවා. පොත අත්සන් කරල ගිය ගමන් ආයෙ වැඩෙිට බහිනවා. ඔය විදියට පැය හතරක් එක දිගටම මාලු ඇල්ලුවා. පට්ට ආතල් වැඩෙි. අතෙන් ලේත් එනවා අංගුට්ටෙක් කට්ටෙන් ඇනල. ඒත් මං ගේම අතෑරියෙම නෑ. මං තුනහ මාරට තමා ආයෙ සෙන්ට්‍රි බාරදුන්නෙ. ඒ ඒකනායකට. යුගාගෙ ටෝච් එකෙත් බැටරි නට්ටටම බහිනකල් මාලු ඇල්ලුවා. මාත් ඔිෆ්වෙලා නිදාගන්න ගිහින් ටික වෙලාවක් ගියාම ඒකනායක ආයෙ මට ඇහැරෙව්වා.

*උඹ මොකද්ද අර කරල තියෙන්නෙ?

*ඇයි කෝපල්?

*වලවල් කපල මාලු අල්ලල දාල තියෙන්නෙ. දැන් නිදාගනින්කො.හෙට උදේ අල්ලගන්නං කීවා. ඒ ටික ඇහුනම මට එලි වෙනකං නින්ද ගියේ නෑ. කන්න වෙන බව දන්නවනෙ. ඒ හිංද.

පහුවදාට එලිත් වෙලා තේත් අරන් ආවට පස්සෙ නඩුව ඇහුවා. පොරට සෙන්ට්‍රි භාර දුන්නෙත් පැය දෙකහමාරක් පරක්කු වෙලා නිසා පොර හිතල තියෙන්නෙ මට නින්ද ගිහින් කියලා. වලවල් දෙක කැපුවෙත් බංකරෙන් මීටර් විස්සක් තිහක් විතර පිටුපස්සෙ. සද්දෙට තමා පොර හොයල තියෙන්නෙ. අන්තිමෙි කනේ පාරවල් දෙකකුත් කාලා පැය ගානක් තිස්සෙ අල්ලපු මාලු ආයෙ අරං අරං ගිහින් ඇලට දැම්මා. වෙනම කනේ පාරක් කෑවා සෙන්ට්‍රි පරක්කු වෙලා ඇහැරෙව්වට. හැබැයි ඉතින් ඒ දඬුවමෙන් පස්සෙ සිද්ධාන්තෙ ඉවරෙටම ඉවරවුනා. ආයෙ ගැහිලි බැනිලි මුකුත් නෑ. ඒ කාලෙ එහෙම අයත් හිටියා. ඒත් අංගුට්ටා ඇනපු පාරෙ සැර කියන්නෙ දවස් තුනක් සහලෝල උණ හැදිල, අත පිට්ටු බම්බුවක්වගේ ඉදිමිල තිබුනා. ඒත් ඔිෆ් එකක් නෑ, ඩියුටි තමා. 

ඔය බංකරේම ඉද්දි තමා සං මීයම්කුළම්වලට ස්ථානමාරුවෙලා යන්නෙ. ඒත් වැස්ස. මෙි පළාතට වහින්න ගත්තම සහලෝලම වහන්න ගන්නවා. මාස තුනක් විතර වැස්ස. වැහි කාලෙ කියන්නෙනම් සෙබළෙකුට එපා කරපුම කාලයක්. ඔය කඳවුරේ ඇතුලෙ තිබුනා සිවිල් නිවාස දෙක තුනකුත්. මෙි බංකරේ කෙලින්ම පිටිපස්සෙ තියෙන ගෙදර හිටිය කෙල්ලො දෙන්නෙක්. උං දෙන්නා බංකරේ දිහා බලල සැලියුට් ගහනව හිනාවෙනවා විරිත්තනවා ඇඟිලිබිඟිලි පානවා එක විකාරයයි. මාත් අර දෙන්නට හොරෙන් එකියෙකුට ටෝක් කරනවා. ටෝක් කරා කියල යාලු වෙන්නවත්, ඒ ගෙවත්තෙ හතරමායිමවත් පනින්න බෑ. ඒත් ජෝක් එකට එහෙම කරනවා. එක දවසක් එහෙම කොර කොර ඉන්නකොට එකියක් මට අත් දෙක එකතු කරලා දෙමළ මොකක් හරි බිඟියක් පෑවා. ඒක මට තේරුණේ "අනේ නිකා හිටහං" කියනවා වාගෙ. මාත් ඒකට පිළිතුරු වශයෙන් වම්අතේ අල්ල උඩින් දකුණු අතේ අල්ල තියලා ඉස්සරහට තල්ලු කරලා ඉඟියෙන් "බම්බු ගහපං" කිව්වා. එදා ඉඳං මෙිකි මං දකින දකින වාරයක් පාසා මං ඒකිට ගහපං කියපු බම්බුව ඒ විදියටම මෙිකි මට ගහන්න කියන්න පටන් ගත්තා. ඒක නැවතුනේ ඒවුන්දැගෙ අම්ම ඒක දැකල මටත් එක්ක පේන්න ඒකිගෙ ඔලුවට "ටෝර්ර්ර්" ගාල ඇලුමිනියම් ජෝගුවකින් එකක් ඇන්නට පස්සෙ. එදා ඉඳන් මං ඒකිව දකින වාරයක් පාසා ඔළුව අතගාන්න ගත්තම ආයෙ මට පේන්න එළියට නෑවිත්ම ඇරියා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.22

1 comment:

  1. මේක ලියන්නේ කලින් පාර පොත ලියන එක සම්බන්දයෙන් අඩු පාඩු තියෙනවනම් කියන්න කියපු හින්ද. නැත්නම් තමන්ගේ වෙලාව මහන්සිය අරන් අපිට සතුටුවෙන්න ලියන ඒවා ගැන අඩුපාඩු විචාර ලියන එක හරි නැහැ,.
    මේක publish කරන්න ඕනේ නෙහ.

    //අමරේ තේ එක දුන්නම නිවිල නිසා අමරෙට තේ එකෙන් දමල ගහල. ඒකට මල පැන්න පාර පොරත් පැනපු ගමන් කෝපල්ගෙ හක්කට දෙකකුත් ඇනල පයිනුත් එකක් ඇනල අමරෙට තිත්ත කුණුහරපෙන් බැනල, ඒකට අරුන්දැට අමුතුවෙන් මළ පැනල තව එකක් ඇනල, ඒ පාරෙ සැරට කෝප්‍රල් අපේ පෙට්ටි පේලියත් පෙරලගෙන විසිවෙලා වැටිල.


    කියන විදියට මල පැන්නෙ අමරෙට.

    //කෝපල්ගෙ හක්කට දෙකකුත් ඇනල පයිනුත් එකක් ඇනල අමරෙට තිත්ත කුණුහරපෙන් බැනල

    මේක විදියට cpl ගහල තමන්ටත් බැන ගෙන. මම හිතන්නේ කියන්න ඕනේ උනේ cpl ගුටිකන ගමන් අමරෙට තිත්ත කුණුහරපෙන් බැන්න කියල.

    ඕකෙ අව්ල වාක්‍ය දිග නිසා. මීට කලින් ලියපු පොස්ට් (පොතේ එකම නෙවි) වලත් ඔය සහ සම්බන්දෙ කැඩෙන එක තියෙනවා.ඒක හදාගන්න. (මගෙත් තියෙන අව්ලක්)
    කෙටි වාක්‍ය ලිවානම් හරි.

    //ඒකට මල පැන්න පාර පොරත් පැනපු ගමන් කෝපල්ගෙ හක්කට දෙකකුත් ඇනල. පයිනුත් එකක් ඇනල . කෝපල් අමරෙට තිත්ත කුණුහරපෙන් බැනල. ඒකට අමරෙට අමුතුවෙන් මළ පැනල තව එකක් ඇනල. ඒ පාරෙ සැරට කෝප්‍රල් අපේ පෙට්ටි පේලියත් පෙරලගෙන විසිවෙලා වැටිල.

    සුභ ගමන්!!!


    ReplyDelete