Friday, October 15, 2021

සතුරු අඩවිය

 නැගෙනහිරෙන් අහසට නගින හිරු රාජයා පිළිවෙලින් මහ පොළොවට තම කිරණ එළාගෙන එළාගෙන එද්දි ලා කහ පාටට දිස්වෙන හාත්පස අමුතු ප්‍රබෝධයකින් ඇලලී යන්නේ කාගේ වුවද සිත් සතන් පුබුදවමිනි. විහඟුන්ගේ ගී නාදයෙන් සවන් යුග පිරී යන්නේ රැයක් පුරාවට නිදිවර්ජිතව සිටි හෙයින් දිය සිඳි  වැවකට නවතමයෙන් වතුර පුරෝනව වාගේ හැඟුමකිනි. රැයක් එළිවෙන තුරාවටම ඇසුනේ  ගමන් ගත් බසයේ යකඩ එකට එක ඇතිල්ලීමෙන් ඇතිවන ඇන්ජිමෙි ශබ්දයත්,ඉඳහිට රියැදුරා විසින් හඬවන වැකූම් නලාවෙි නාදයෙනුත්ය. බසයේ පැය හත අටක නොනවතින ගමනක නිමාවෙන් පසු කිරාන් නගරයෙන් බැසගත් මමත් බාලාත් ඒ වෙද්දි උත්සන්න වී තිබුනු කුසගින්න නිවාගනු වස් වටපිට බලමින් සිටියේ ඒ වෙද්දි නගරයේ දකුණු පසින් විවෘතව තිබුනු එකම හෝටලයේ කෑමට ඇත්තේ මොනවාදැයි විමසිල්ලක් කරන අයුරිනි. කුසගින්නත්,තිබහත්,ගමන් වෙහෙසත්, නිදිමතත් යන ඒවාගෙන් මැඩවූ ගතත් සිතත් නැවත ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය වූ හෙයින් අපි දෙදෙනාම වහ වහා ටවුමෙි දකුණු පස පිහිටි පුල්ලෙයාර් කෝවිලේ ඉදිරිපස තිබූ ලිඳ වෙත ගොස් මළානික ගතියෙන් පෙලී තිබුනු මුහුණ අතපය තෙමා ගන්නට අදහස් කර ඒ වෙත ගියෙමු. ලිඳ අසලට ගිය මමත් බාලාත් කරේ තිබුනු ගමන් බෑගයන් එතැන බිම වැල්ල මත තබා ආඬියා ලිඳෙන් වතුර එකක් බා ගත්තෙමු. ඉන් පසු මා මුහුණ සෝදා ගන්නා තෙක් බාලා විසින්  වතුර බාල්දිය පැත්තකට මදක් ඇල කර වත් කරමින් මට සහය විනි. මාද එසේම බාලාට සහය වීමි. අත් දිගට දමා කලිසමට යට නොකර ඇඳ සිටි කමිසයේ අත් දෙක ඉහලටම ඇද දමා මුහුනත් අත් දෙකත් දෙකකුල්වල යට කොටසත් හොඳින් තෙමාගත් අපි දෙදෙනා ඊ ලඟට ඇදුනේ තේ කඩයටයි. එහි ඉදිරිපස මගේ උස ප්‍රමාණයටම තබා තිබූ වීදුරු ෂෝකේස් එකේ තට්ටු දෙකක්ම පුරවා තිබුනේ ඉඳි ආප්ප වලිනි. ෂෝකේසයේ පාන් බනිස් ලැවරිය වඩෙි ආදී දේ තිබුනත් අපි ඉඳිආප්ප ඇනවුම් කර පැත්තක තිබුනු මෙිසයක පුටු දෙකක් ඇදගෙන වාඩිවුනෙමු. මෙතැනට පැහැදිලිව හිරු පෙනේ. තාමත් පියවි ඇසින් බැලිය හැකි මට්ටමෙි ළාමක කිරණවලින් සුසැදි හිරුට තාමත් ගමෙි එක් පැත්තක් එළිය කරන්නට නොහැකි වී ඇත. මොහොතකින් ගල් කැටයකින් පහර කෑ කලෙක මෙන් මොර දෙමින් පහතින් ඉගිලී ආ කපුටන් රංචුවක් විදුලි කම්බි මත වැහුවෙි අපි සිටි කඩය දෙසම බලාගෙනය. මඳ වෙිලාවක් උන් දෙස බලා සිටි මා ෂෝකේසයේ පිඟානක හතරට කපා තිබුනු පාන් ගෙඩියෙන් පංගුවක් ගෙන සිහින් කැබලිවලට කඩා කපුටන් සිටි දෙසට විසි කළෙමි. ඒවා දුටු කපුටු රෑන පොර කමින් බිමට විත් මා විසිකල පාන් කැබලි එකින් එක අහුලාගෙන නැවතත් විදුලි කම්බි මතට ඉගිලි ගියේ අනෙකෙකුගෙන් තම ගොදුරට හානියක් නොවන්නට මෙනි. විනාඩියක කාලයක් යන්නට පෙර විසිකල සියලුම පාන් කැබලි අතුරුදහන් වී තිබුණි. නැවතත් ෂෝකේසයෙන් පාන් කාලක් ගනු දුටු අපට කෑම පිඟන් සකසමින් සිටි කඩෙි දමිළ තරුණ පහේ කාන්තාව කට හඬ අවදිකලාය.


*ඔවුන් තමා ඉස්සෙල්ලාම මෙි කඩෙිට එන්නෙ කොච්චර දුන්නත් මදි යි කීවාය.  එසේ කියමින් ඉඳිආප්ප සඳහා සම්බල්ද, බටු අල සහ හාල්මැස්සන් දමා සැකසූ හොදි දීසියක්ද ගෙනවිත් මෙිසය මත තැබුවාය. ඉන්පසු පිඟන් දෙකක්ද එතැනින්ම ගෙනත් තබා ශෝකේසයේ වට්ටියක දමා තිබූ ඉඳි ආප්ප පහේ ගොඩවල් කිහිපයක් ගණන් කර තවත් කුඩා වට්ටියකට දමා අප ඉදිරියෙන් තැබුවාය.  මමත් බාලාත් ඒ පහේ ගොඩවල් දෙක බැගින්ද හොදිද පිඟානට දමාගෙන අනාගෙන කන්නට වීමු. එසේ අපි දෙදෙනාම ඉඳි ආප්ප පනහක් කා, ප්ලේන්ටි දෙකක්ද ඇනවුම් කළෙමි. ඉන් පසු කටහඬ අවදිකල බාලා නැවතත් කාටවත් නොඇසෙන පරිද්දෙන් කතාවකට මුල පිරුවෙිය.

*උඹට මතකනෙ කියපුවා. මොනවා කිව්වත් කට පියාගෙන ඉන්න තියෙන්නෙ. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකහමාරක් විතර දුරකින් තමා ආමි රෝඩ් බ්ලොක් එක තියෙන්නෙ.

*හ්ම්. අවුලක් නෑ මචං. මට ඔිවා පුරුදුයි.

*මෙතන ඉඳන් සෑහෙන දුරක් තියෙනව මදීලගෙ අහට. ටැක්ටරයක් හරි කරත්තයක් හරි හම්බුනොත් හොඳයි. 

ටිකක් වෙලා බලමුද ඒ එකක් එනකං

*අපි හිමීට යමු බං. එකක් ආවොත් ගොඩවෙමු මම කීමි. මට වුවමනාව තිබුනේ අලුතෙන් යන මෙි ගමනේ වට පිටාවෙි සිරි නැරඹීමටයි. ජීවිතයේ තවත් එක් දැකීමක් ලබාගන්නටද මෙය කදිම අවස්ථාවකි. 

*හ්ම්.

 ප්ලේන්ටි දෙක අප අසලින් ගෙනත් තැබූ කඩෙි අක්කා අපි යන්නේ කොහාටදැයි විමසුවාය. අපි දෙදෙනා වෙිලාසනින්ම කතාකරගෙන සිටියේ කාටවත් යන එන තැන් නොපවසන ලෙසිනි. ඒ අපේ ආරක්ෂාවටය. අනෙක කාටවත් අප යන එන තැන් දැන ගැනීමට අවශ්‍යතාවයකුත් නැත.

*මෙයාලා මෙහේ අය නෙමෙි නේද? කොහේටද යන්නෙ?

*අපි මෙි ටිකක් ලඟට යන්නෙ? අක්කා මෙි පාරෙ ටැක්ටරයක් එන්න කීය ⁣විතර වෙයිද? බාලා කතාව වෙනතකට යෙමෙුකරමින් ඇගෙන් පැනයක් විමසුවෙිය.

*ඒකනං කියන්න බෑ.ඒත් මෙි දවස්වල කුඹුරු වැඩ නිසා උදේම මන්මුනෛ පැත්තට යන්න ඔිවා එනවා. ටිකක් වෙලා හිටියොත් යන්න පුලුවන් වෙයි.

*හ්ම්. මෙි පාරෙ යන්න තමා අමාරු. වැහැලවත් නෑ වගේ කාලෙකින් නේද?

*අනේ ඔව් අප්පා.. මෙහෙට වහින්නෙ කාලෙකටනෙ. තව කල් තියෙනවා වහින්න.. කුඹුරු එහෙම කැපෙන්න එපැයි. දැන්නං ටික ටික කැපෙනවා. ඔිවා ඔක්කොම කපල ඉවරත් වෙලා මාසයක් විතර යනකොට තමා වැස්ස පටන් ගන්නෙ. මල්ලිලා කොහේ ඉඳන්ද එන්නෙ??

*අපි වව්නියාවෙ. මෙහෙ මගෙ නෑදෑ කට්ටියක් ඉන්නවා එහෙ යන්නෙ අක්කා. බාලා ඇගේ පැණයට පිළිතුරු සැපයුවෙිය. 

එතැනින් ඇයත් සමග අපේ කතා බහ අවසන් විය. ප්ලෙන්ටි දෙකත් බී අවසානයේ බාලා විසින්ම ඇගේ ගණන් හිලව් බෙිරා බීඩි මිටියකුත් විට තුනකුත් අරගෙන බෑග් එකේ ඉදිරිපස සාක්කුවට දමා ගත්තේය. බාලාවත් මමවත් කවදාවත් දුම්වැටි පාවිච්චි කර නැත. එහෙත් ඔහු බීඩි මිටියක් ගත්තේ වෙනත් අරමුණකිනි. ඒ කුමකටදැයි කියා මා දනිමි. ඔහු ඒවා ගත්තේ හමුදාවෙි රෝඩ් බ්ලොක් එකේ චෙක් කරන අයටත් ඉන් පසු හමුවෙන සංවිධානේ රෝඩ් බ්ලොක් එකේ අයටත් පෙනෙන්නටය. අප දෙදෙනා එලෙස මුල ඉඳන්ම කතා වී සිටියෙමු. 


කෑම කන මෙිසය ළඟ බිම තබා තිබු අපේ තමන් බෑග් දෙක ගෙන කරේ දා ගතිමු. මෙතැනි සිට අපේ ගමනට සහාය වෙන යැක්ටරයක් හෝ කරත්තයක් එනතුරු දෙදෙනාම යා යුත්තේ පයින්ය. එය පොඩි දුරක් නොවෙි. බාලා කියූ ආකාරයට කිලෝමීටර් දහය දොළහක හා සමහර විට ඊටත් වඩා වැඩි දුරකි. කිරාන් ටවුමෙන් මන්මුනෛ පාර දිගේ මීටර් හැත්තෑ පහක් සියයක් එනවිට ගම අවසන් වෙි. ඉන් පසු ඇත්තේ විවෘත භූමියකි. බොහෝ කාලයකට ඉහත කුඹුරු කර ඇති බවට සිතිය හැකි එහෙත් දියවී ගිය නියරවල් සහිත කුඹුරු යායකි. වම් පැත්තෙන් පුංචි කඳු ගැටයකි. ඒ කඳු මුදුන සහ ඉන් එහා ජනාවාසයක් බවට පැහැදිලිව පෙනේ. මෝඩ ගඩොලෙන් බැඳ පොල් අතු හෙවිල්ලූ ගෙවල් දෙකක් අපි සිටින තැනට පැහැදිලිව පෙනේ. එක් නිවසක ඉදිරියේ රූස්ස අඹ ගස් දෙකකි. අනෙක් නිවස ඉදිරියේ තල් ගස් කිහිපයකි. මෙි පළාතේ තල් ගස් අපේ පැත්තේ පොල් ගස් වලටත් වඩා ආරක්ෂා කරන බව මා ඇත. දුවක් දීග දෙන විට දෑවැද්දට තල් ⁣ගස් දෙන බවකුත් අසා ඇතියෙමි. ඉතා දිළිඳු ලෙස ජීවිතය ගත කරන මෙි පවුල් දවසකට බඩ පිරෙන්න කන්නේ එක වෙිලකි. ඒ රෑටය. දවල් කාලයේ කුළියක් මලියක් කර හම්බ කරගන්නා දෙයින් එක් වෙිලක් හෝ දෙකක් කා ජීවිතය සරි කරගන්නේ ඉතා අමාරුවෙනි. ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන වුවත් හැමෝටම ඒ සඳහා ඉඩ කඩම් නැත. තිබෙන කොටසේ එළවළු වර්ග කිහිපයක්, පුංචි කුඹුරු කෑල්ලක් කර ඇති හැටි මා දුර තියාම දුටුවෙමි. තවත් ටිකක් ඉදිරියට ආ විට දුටුවෙි තවත් පුංචි කෝවිලකි. වැඩිය උස නොවූත් වඩා මහත වූත් පැරණි නුග රුකක් අසලතනා තිබුනේ පුල්ලෙයාර් කෝවිලකි. ඒ කෝවිල ඇතුලේ හමුදාවෙි තිදෙනෙක් රාජකාරි යෙදී සිටින අයුරු දුටු මාත් බාලාත් ඒ දෙසම බලාගෙන ඉදිරියට ආවෙි සමහර විට අඳුරන කෙනෙක්වත් ඇතැයි යන බොළඳ සිතුවිල්ලෙනි. එහෙත් එහෙමම කිව නොහැක. ගම්පහ ප්‍රදේශයේ පදිංචි අපි දෙදෙනාට ඒ ගම් පළාතෙන් හමුදාවට බැඳුණු කෙනෙකු සිටියහොත් ඔවුන් අපව අඳුරගන්නවා නොඅනුමානය. නමුත් අපේ බලාපොරොත්තුව ඔවුන් හා කතාවට යෑම නොව  මග හැර යාමයි. අඳුරන අය සමග කුළුපග වුවහොත් අපේ ගමනේ අරමුණ මග හැරෙනු ඇති. එබැවින් හැකි තාක් ඔවුන්ගෙන් වසන් වී සිටීමට අපිට වුවමනා වෙි. 

හෙමින් හෙමින් කෝවිල ඉදිරියට ආ අප දෙදෙනා ඉන් ඉදිරියේ ඇති පාරෙන් දකුණට හැරෙනවාත් සමග කෝවිලේ සිටි අයෙක් අත්පුඩියක් ගසා අපි දෙදෙනාට අසලට කතා කළේය. මා එක්වරම තිගැස්සුනේ මොහොතකට පෙර සිතුනු දේ හැබෑ වෙලා වද්දෝයි යන හැඟීමෙනි. එක්වරම හිස හරවා එදෙස බැලූ මට ඔවුන් තිදෙනාගේ මුහුණු පැහැදිලව පෙනේ. උකුසු ඇස් වලින් මා අපට කතාකල සෙබළාටවත් නොපෙනෙන්නට විමර්ශනය කල මා ඔවුන් තිදෙනාම නොහඳුනන අය වීමෙන් සැනසුම් සුසුමක් හෙලුවෙමි.  බාලා ද මා අනුවම ඒ දේම කරනු මා දුටිවෙමි. දෙදෙනාම නැවතී දුර තියාම කතා කල සෙබළා අසලට නොයා "ඇයි සර්" යනුවෙන් විමසීමි. ඔහු නැවතත් ලඟට පැමිණෙන ලෙස අතින් සන් කර දෙදෙනාම ඔහු අසලට ගෙන්වා ගත්තේය. 

*එංග පෝරිංග?

*නාංගල් ඌරුක්කු පෝරංග ෂර්

බාලා සෙබළාගේ පැණයට පිළිතුරු දුන්නේ මදක් සිනහ සෙමිනි. 

*එන්න ෂර් කූප්පුටිංග?

ඔහු ඊළඟට කතා කලේ සිංහලෙනි. නමුත් සිංහල නොදන්නා ලෙස ඇඟවූ අපි දෙමළෙන්ම ඔහු ඇසූ පැණ වලට පිළිතුරු බැන්දෙමු. ඔහුට අවශ්‍යතාවය තිබුනේ අප දෙදෙනාගෙන් කෙනෙකු කඩයට යවා සිගරට් කිහිපයක් ගෙන්වා ගැනීමය. එහෙත් අපි දුර ගමනක් ආ බව දැනගත් ඔහු අපිට යන්නට දී අප පිටුපසින් පැමිණි වෙනත් අයෙකු නවතා ගෙන ඔහුට සිගරට් ගෙන්වා ගැනීමට මුදල් දෙන අයුරු දුටුවෙමි. එතැනින් පිටත්වුනු අපි දෙදෙනාගේ ඊලඟ කතා බහ වූයේ එයයි. කව්රුවත් අහලක පහලක නැති තැන අපි දෙදෙනා හෙමිහිට සිංහලෙන් කතාකිරීමටත් දුර තියා හෝ කෙනෙකු පැමිණෙනවා දුටුවහොත් වහාම මාතෘකාව වෙනස් කර දෙමළෙන් කතා කරන්නට කතා වී සිටියෙමු. එය අකුරටම පිළිපැදීම අප දෙදෙනාගේම අරමුණයි.

අප මන්මුනෛ පැත්තට යා යුතුනම් කෙලින් පාර දිගේ යා යුතුය. එහෙත් ඒ පාරද අල්ලා කොටු කර හමුඳා කඳවුර ස්ථාපිත කර තිබූ නිසා වැඩි පුර කිලෝ මීටර් එකහමාරක් පමණ ගෙවා වටෙන් ලොකු රවුමක් යා යුතුය. අලිට කතා කල සෙබළා සිටි තැන ඉඳන් කඳවුරට ඇත්තේ මීටර් දෙසියයක් පමණය. කඳවුරේ පළලද මීටර් සියයක් පමණ යැයි උපකල්පනය කළහොත් කඳවුර පුටුපසට ඇත්තේ මීටර් තුන් සියයකි. ඒ මීටර් තුන්සියය හෝ එතන ඉඳන් කිරාන් මාර්ග බාධකයට මීටර් සියයක් තිබුණොත් අපට එතැනට යාමටඇත්තේ මීටර් හාරසියයක් පමණ දුරකි. එහෙත් ඒ වෙනුවට අපි කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගෙනා කඳවුර වටා ඇති පාරේ වැඩි මහන්සියකින් හමුදා මාර්ග පාධකයට යා යුතුය. නමුත් අපිට ඒවාට කතා කල නොහැකිය. කළයුතු සුදුසුම දේ කට පියාගෙන යන්න තිබෙන පාරේ යෑමයි. නොයෙක් වල්පල් දොඩමින් අවට පරිසරය නරඹමින් හෙමින් හෙමින් මාර්ග බාධකය බලා ගමනේ යෙදුනෙමු. අප ආ පාරේ වම් පැත්තේ කැළයකි. විශාල තල් මංඩියක අවසානයේ කැළෑව ඇරඹෙි. ඊට ටිකක් මෙහායින් වැව් බන්ට් එකක් පෙනෙන්නට තිබුණි. වැව ඊට එහා පැත්තේය. වැව් බන්ට් එක දිගේ සයිකල් වලින් ගමන් කරන මිනිසුන් මෙතැනට පැහැදිලිව පෙනේ. වම් පැත්තේ කඳවුරයි. ඉදිරියෙන් අවසාන මාරග බාධකයද පෙනෙන්නට ඇත. එහෙත් එහි නගරය දෙසට එන්නට දිගු පෝළිමක් ඇත. පළමුවෙන් පයාන් ගමන් කරන ගැහැනු මිනිස්සුද පිටපස කරත්ත දෙකක්ද ඊළඟට වී පටවා ඇතියැයි සිතිය හැකි ට්‍රැක්ටරයක්ද නැවතත් කරත්ත කාහිපයක්ද ඇති බැවු දුටුවෙමි. තවමත් හමුදා මාර්ග බාධකය විසින් පාර විවෘත කර නැත. අපද ඒ දුටු වහාම ගමනේ වෙිගය අඩු කළෙමු. වෙිගයෙන් ගියොත් පාර අරිනතුරු එතැන සිටගෙන ඉන්නවා වෙනුවට හිමින් ගමන් කර වෙහෙසත් මදක් නිවාගෙන පාර ඇරීමට ආසන්නයේ එතැනට යාමට අදහස් කළෙමු. එසේ අප ගමන් ගද්දි එක් වරම කඩිගුලකට අළු දැම්මාක් මෙන් එතැන කළබලයක් ඇති වෙන්නට පටන් ගති. ඉන්තේරුවෙන්ම දැන් මාර්ගය විවෘත කරනු ඇති යැයි මට සිතුණි. ඒ සිතුවිල්ල නිවැරදි විය. පෝලිමෙි සිටි මිනිසුන් තම තමන් අත රැඳි මලු සහ බඩු භාහිරාදිය රැගෙන එකා පිටුපස එකා මෙන්  බඩු සහ පුද්ගලයින් පරීක්ෂා කරන තැනට යන්නට විය. අපි යන දිශාවට සිටියේ කිහිප දෙනෙක් පමණි. ඒ පා පැදි වලින් යන පිරිමි කිහිප දෙනෙකි. ඔවුන් කුඹුරු යනවා යැයි සිතිය හැකි පරිදි බයිසිකල් හැඬලයේ දෑකැත්තක් ගසා ඇත. අප දෙදෙනාද පය ටිකක් ඉක්මන් කර මාර්ග බාධකයට කිට්ටු වීමු. එහි ඇතුල් වෙන තැනට මදක් ඉදිරියෙන් ඇති  කණුවක බෝඩ් එකක් එල්ලා ඇත. එහි දෙමළ බසින් "පරිසෝදනෛ නිලයම්" යනුවෙන් සඳහන් කර ඇත.  

අපේ අවස්ථාව පැමිණි විට පළමුව බාලාත් දෙවනුව මමත් පරීක්ෂාවට ලක්වීමට ඒ සඳහා පොල් අතු කිහිපයකින් වටකොට ඇති තැනට ඇතුල්වීමට ගියෙමු. ඊට පෙර මෙිසයක් මත ගමන් මලු තබන්නට යැයි අණ කල සෙබළෙක් අපේ ගමන් මළු පිරික්සන්නට විය. බෑගයේ ඇති සෑම දේම එකාන් එක ගෙන මෙිසය මත තමා පරීක්ෂා කල ඔහු හැඳුනුම්පත ගෙන ප්‍රශ්ණ කිහිපයක් ඇසීය. ඒ දෙමළ බසිනි. මාද දෙමළ බසින්ම පිළිතුරු දුනිමි.

*නම මෙකෙද්ද?

*ගනේෂමූර්දි සදීස් කුමාර්

*කොහෙ ඉඳන්ද එන්නෙ.

*වව්නියා ඉඳල සර්.

*යන්නෙ??

*අරයා මගේ යාලුවා. එයා බඳින්න ඉන්න කෙනාගෙ දිහා යන්නෙ සර්.

*කොහෙද?

*මන්මුනෛ සර්

*රස්සාව මොකක්ද කරන?

*ඩ්‍රයිවින් ෂර්

*තමුන් ඩ්‍රයිවින් කරනවා කියලනම් පේන්න නෑ.. සිංහල දන්නවද?

*ටික ටික දන්නවා සර්

මා සිංහල ටික ටික දන්නවා යැයි කීවෙි ඔවුන් හා කතා කිරීමෙිදී බැරිවෙලාවක්වත් සිංහල වචනයක් කියවුන හොත් ඇතිවන සැකයෙන් බෙිරීම සඳහාය. ඉන්පසු ඔහු මා හා කතා කලේ සිංහලෙනි. ඒ තවත් විස්තර කිහිපයකි. ඉන්පසු මට ඉදිරියට යන්නට ඇරිය ඔහු මා යන දෙසත් බලා සිටි බැව් මා ඇස් කොනකින් දුටුවෙමි. ඔවුන් හැම තිස්සෙම විමසිලිමත්ය. පුද්ගලයෙකු ගමන් කරන විලාශයෙනුත් ඔවුන්ව මැනීම මොවුන්ට ඇති විශේෂ පුරුද්දකි. පෙනුම,කතා බහ කරන විලාශය අනුවද ඔවුන් යම් යම් තීරණ වලට එළඹෙි. ඒ ඔවුන්ගේ හැටිය. ඒ පුරුද්දනම් මටත් යස අගේට පිහිටා ඇත. එබැවින් මා මෙවැනි තැන්වල ඒ බව දැන දැනම හැසිරීමට උත්සාහ කරන එකද මාගේ පුරුද්දකි. එබැවින් වැඩි කලබලයකුත් හදිසියකුත් නුරුස්නාබවකුත් නොපෙන්වා හිමීට බොඩි චෙකප් කරන තැනට ඇතුල් වීමි. එතැන සිටි සෙබළා මොහොතක් කෙලින්ම මාගේ මුහුණ දෙස බලා සිට බෙල්ලේ සිට යටි පතුල දක්වා අතගා "හ්ම්" යනුවෙන් හරි යැයි හඟවා යන්නට අවසර දුන්නේය. ඉන් පසු අප දෙදෙනාම එතැනින් පිටවී මද දුරක් එනතුරු නිහඬවම ගම⁣න් කළෙමු.


ඒ මාර්බාධකය ඇත්තේ කළපුව අයිනේය. ඒ භූමියත් වටකර කම්බි පොටවල් කිහිපයක් ගසා තල් අතු වලින් වටෙිම ආවරණය කර තිබුණි. එතැන් සිට ආයෙත් මීටර් හැත්තෑ පහක් පමණ යා යුත්තේ කලපුව මැදින් වැටී ඇති කොන්ක්‍රීට් පාර දිගේය. නිහඬව වටපිට සිරි නරඹමින් පැමිණි අපි දෙදෙනා රෝඩ් බ්ලොක් එකට නොපෙනෙන දුරකින් තිබූ තවත් කැඩී ගිය එහෙත් මදක් ඉස්සී තිබුනු කොන්ක්‍රීට් ලෑල්ලක වාඩි වුනෙමු.


එතැන් සිට අපි දෙදෙනාම බලා සිටියේ අප යායුතු දිශාවෙන් ටවුමට එන මිනිසුන් දෙසය. කාන්තාවන් දෙතුන් දෙනා එකට එකතුවී එහෙත් වැඩි කතා බහක් නැති සෙයින් ඔවුන් ගමනේ යෙදෙති. හිස් මත විශාල උරය. ඒවාගේ ඇත්තේ රට කජුය. සමහරු අතේ හිස් මල්ලක් පමණක් ඇත. දිලිසෙන කොලපාට සාරියකිනුත් රෝස පැට හැට්ටයකිනුත් සැරසී සිටි එක් කාන්තාවක් දෙස මා බලා සිටියෙමි. මැදිවියද ඉක්මවා ඇති ඇය තරමක් කලු පෙනුමකි. සාමාන්‍ය වෙිගයකින් ගමන් කල ඈ නාසයද විද කරුඹුවක් දමා තිබුනාය. පෙනුමට වඩා මහළු බවක් පෙන්වූ ඇය කොර ගසමින් ගමන් කල නිසා ඇය සමගින් පැමිණි  අනෙක් ඈයන්ට වඩා කැපී පෙනුනාය. එබැවින් අරමුණක් නැතිවම මා ඈ දෙසම බලා හුන්නෙමි. අප අසලින් ගමන් කරද්දී දත් විලිස්සා සිනාසී අප පසුකර ගමන් කළාය. මෙි ආදී වශයෙන් කට්ටි කට්ටි පැමිණෙන කාන්තාවන් දෙසත් පා පැදිවල ගෝනි එක දෙක පටවාගෙන අමාරුවෙන් පැද ආ පිරිමි ඈයන් අප දෙසවත් නොබලා තමන්ගේ ගමනේ යෙදෙන අයුරුත් විමසිලි දෑසින් බලා සිටිමා කට හඬ අවදි කර "කොච්චර දුරකින් එන අයදැ"යි සා බාලාගෙන් විමසුවෙමි. ඒ පෙනෙන තෙක් මානයේ ගම්මානයක් ඇති සළකුණක්වත් නොමැති නිසාය. 

"ඔය ඔක්කොම අපි යන ගමෙන් එන අය. සමහර වීට ඊට එහා ඉඳන් වෙන්නත් පුලුවන්. ඔය ඔක්කෝම සතියකට සැරයක් ටවුමට යනවා. බාලා පිළිවදන් දීය. "ඔය අරන් යන රටකජු විකුණලා සතියකට ඇති වෙන්න බඩු ගේන්න යන්නේ." 


*පව් බං. ජීවිතේ ගැට ගහගන්න මෙි මිනිස්සු විඳින දුකක්

*හ්ම් එහෙම තමා බං මෙහෙ මිනිස්සු. 

*එතකොට මදීලත් එහෙමද?

*ඔව් මදීගෙ තාත්තත් ඔහොම තමා. මං කලින් ආපු වතාවක එයත් එක්ක මාත් ටවුන් ගිහින් තියේ. එයා මෙි පාරෙන් නෙමෙයි යන්නෙ. කරත්තේ රටකජු බඩ ඉරිඟු වී මිටියක් දෙකක් දාගෙන යන්නෙ අනික් පාරෙන් වාලච්චෙිනට. ඒවා එහෙට විකුණලා මාසෙකටම ඇතිවෙන්න බඩු ගේනවා.

*ඔය බඩු ගන්න මුදලාලිලා කුණු කොල්ලෙට බං බඩු ගන්නෙ. ඔය මිනිස්සු කීය වුනත් දීලා දානවා. සමහරුනං කුණුකොල්ලෙට ඉල්ලද්දි  රණ්ඩුත් වෙනවා. ඒත් අන්තිමෙි තව රුපියලක් හරි වැඩි කරගෙන තමා බඩු දෙන්නෙ. මොකෝ අරන්යන ඒවා ආපහු ගේන්න කියලෑ බං

*සිරාවටම පවු බං. අරුන්දැලා ඒවගෙන් සල්ලි ගන්නැද්ද?

එයින් අරුන්දැලා යනුවෙන් මං අදහස් කලේ සංවිධානෙ අයයි. 

*එහෙම නෑ. අස්වැන්න නෙලුවම ඒවගෙන් ගෝනියක් දෙකක් දෙනවා. ඒ ඇරෙන්න සල්ලි ගන්නෑ. බාලා ඒවා හොඳට දනී. ඒ ඔහු මීට පෙර කිහිප වතාවක්ම ⁣මදීලගෙ ගෙදර ඇවිත් ගිහින් තිබුනු නිසාය. 


බාලා අද බලන්න යන මදීලත් මෙහෙ ඉපදී හැදී වැඩුනු අය නොවෙි. ඔවුන්ගේ මුල් පදිංචිය නුවරය. මදී ඉපදුනෙත් නුවරදීය. එහෙත් මීට අවුරුදු දොලහකට පහලොවකට පමණ පෙර එහෙදි ඇතිවූ සිංහල දෙමළ ආරෝවකින් ඔවුන්ට තවත් තම ගමෙි වසන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත. ත්‍රස්තවාදී අරගලය උතුරට ⁣නැගෙනහිරට පමණක් සීමා නොවී ඒවා දකුණේ සාමාන්‍ය මිනිසුන්ට පවා බලපෑ හැටි මාද හොඳින් දනිමි. උතුරේදී හමුදා ප්‍රධානියෙක් ඇතුළු තවත් සෙබළුන් සංඛ්‍යාවක් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය යෑමෙන් පසු රට පුරාම සිංහල දෙමළ ජාතීන් දෙක අතර විරසකයක් ඇරඹිනි. එය නුවරටද බලපා කෝපවුනු සිංහලයින්  මදීලගෙ ලැයිම් කාමරවලටද පැන ඔවුන්ව කපා කොටා පහර දී එළවා දමා තිබුණි. දෙදෙනෙකු මරා දමාද තිබූ බවත් එයින් කෙනෙකු මදීගේ බාප්පා කෙනෙකු බවත් මීට පෙර බාලා මා හට අවස්ථා කිහිපයකදී පවසා ඇත. එකල බිලින්ඳෙක්ව සිටි මදීවත් රැගෙන ඇයගේ දෙමව්පියන් සහ නෑදෑයින් අන්ත අසරණව යාචකයන් මෙන් අනාරක්ෂිතව නුවර ටවුමෙිත් තව තැන් තැන් වලත් කඩපිල් අගු ගානේ කුසට අහරක් නැතුව ඉබාගාතේ ඇවිදිද්දී ඔවුන්ට කන්න බොන්න දී ආරක්ෂා කොට ඇත්තේද සිංහල පවුලකි. එම දුක්බර අතීතය මා අත්විඳ හෝ දැක නොමැතිවුවත් පොතින් පතෙන් දැන උගත් කරුණු අනුව මටද සිංහලයින් එක්තරා අමනුෂ්‍ය කොට්ඨාශයක් යැයි සිතී තිබුණි. එහෙත් බොහො තැන් වලදී මෙසේ අසරණ වූ දමිළයින් ආරක්ෂා කොට තිබුණේද සිංහලයන් වීම නිසා මට ඔවුන් ගැන තිබූ පිළිකුල ඉවත දා මධ්‍යස්ථ අදහසක් දැරීමට එම සිදුවීම් උපකාර වූවා යැයි කිව හැක. අවිහිංසාව ආගම කරගත් සිංහල බෞද්ධයා ගැන පසු කාලීනව වුවත් ඔවුන් ගැන විරුද්ධ මතයක් දැරීමට වුවත් මට කවදාවත් නොහැක. එසේ වීමට ඔවුන් හා මා අතර විශාල සම්බන්ධතා ඇත. ඒ ගැන බාලාද දනී. බාලා දමිළයෙකුවුවත් උගත්තේ සිංහලයන් අතරේ සිංහල පාසැලකය. ඔහු මට වඩා උගත්ය. වසරකින් පමණ වැඩිමල්ය. මට වඩා උස මහත කලු පුද්ගලයෙකි. පිළිවෙලද සිංහල ආරටය. ඔහු දෙමළෙන් කතා කරන්නේ ඔහුගේ ගෙදරදී පමණි. අනෙක් සෑම තැන්හිම පැහැදිලි සිංහලෙන් කිසිම අඩුපාඩුවක් නොමැතිව කතා කරයි. ඔහුගේ මුළු පවුලම බෞද්ධය. ඔවුන් විසින් ගමෙි පන්සලට දෙන පේරු දාන කිහිපයකටම මාද සහභාගිවී ඇත්තෙමි. ඔහුගේ නංගීත් මල්ලීත් ඉගෙන ගත්තේ ගමෙි සිංහල ඉස්කෝලෙය. අක්කා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින්නියකි. බාලාද උසස් පෙළ සමතෙකි. නමුත් ඉන් එහා යන්නට තරම් නොකැමැත්තක් තිබූ නිසා රස්සාවට බැඳුනි. මට ඔහු හමුවන්නේ එහිදීය. හිතේ එකක් කටෙි එකක් නැති බාලා විහිළුවකටවත් බොරුවක් නොකීයුවෙකි. ආශ්‍රය කරන්නට සුදුසු සරළ චරිතයකි. ඔහු හා කතා කල මුල් දවස් කිහිපයේදිම ඔහු ගැන පැහැදීමක් ඇතිවුනු නිසා අප දෙදෙනා පසුව කුළුපග මිතුරන් වීමු. මා ඔහුගේ නිවසේත් ඔහු මගේ නිවසේත් අනන්තවත් රැය පහන් කර ඇත. ඉඳහිට කලාතුරකින් විනෝදෙට බියර් එකක් පානය කලද ඒ අප දෙදෙනා පමණි. වෙනත් මිතුරන් ඒවාට ඈඳා ගන්නේ නැත. බාලා දුප්පත්මත් නොවෙි. පොහොසතෙකුද නොවෙි. ඔහුගේ පියා සමූපකාරයේ සුළු සේවකයෙක් වන අතර මව ගෘහනියකි. නමුත් හිත හොඳ මිනිස්සුය. මදී යනු බාලාගේ පියාගේ නැගණියගේ දියණියකි. බාලාට වඩා වසර කිහිපයකින් බාලය. මදීලා සිංහල දෙමළ විරසකය නිසා අනාථව තැන තැන ඇවිද යද්දී නුවර රජවීදියේ කඩයක නාට්ටාමියෙකු ලෙස සේවය කල ⁣අද අප යන ගමෙි මිනිසෙකු හමුවී ඇත. ඔහු මදීගේ පියාගේ හොඳ මිතුරෙකි. ඒ මිතුරුකම නිසාම මුලදී මදීලාත් පසුව වරින් වර තවත් පවුල් කිහිපයකුත්  මෙසේ මන්මුනෛයි කැටුව විත් ගමෙි හිස් ඉඩමක පදිංචි කරවා ඇත. ඒ අනුව මදීලා දැන් මෙහේ ස්ථිර පදිංචිකරුවන්ය. මෙි පළාතේ සිටින්නේ අපි පවසන ආකාරයට වැලි දෙමළය. වැලි දෙමළ යනු ආදිවාසි වැදි ජනතාවකි. නමුත් ඔවුන් බොහෝ කාලයක පටන් සාමාන්‍ය ජනයා ඇසුරු කිරීමට පටන් ගත් තැන් සිට ඔවුන් හා සමාජගතවී ඔවුන්ගේ චර්යාවන් හුරුවී ඇත. එය වසරකින් දෙකකින් සිදු වූවක් නොවෙතියි බාලාම මට කියා තිබෙි. සමහර විට වසර පනහක හැටක කාලයක් තිස්සේ ඔවුන් අනුවර්ථනය වන්නට ඇත. ඊටත් වැඩි කාලයක්දැයි හරියටම කිව නොහැකි නමුත් අද තත්ත්වය එසේය. ඔවුන් සියළුම දෙනා දැන් ගොවිතැන් බත් ආදිය කරමින් සාමාන්‍ය ජීවිතයකට හිමිකම් කියයි. නමුත් බස් වහරෙහි යම් යම් වචන තාමත් ඔවුන් මුලදි කතා කල භාෂාවට සමානය. ඔවුන් මුල් කාලයේ දෙමළුන්ද සිංහලද නොවන ආදී ජන කොට්ඨාශයකි. නමුත් දැන් දෙමළ බවට පරිවර්තනය වී ඇති නිසා ඔවුන්ගේ අතීතය දන්නා වයසක කෙනෙක් හැර සාමාන්‍ය ජනයාගෙන් ඔවුන් වෙන්කර හඳුනාගත නොහැක. සමහර පුරුදුද පෙර සේමය. මෙිවා සියල්ල මා බාලාගෙන් අසා දැනගත් ඒවාය. 

මදීලා කාටවත් නොකියාම මෙහේ පදිංචියට පැමිණි පසු ඉන්නා තැනක්වත් සොයාගැනීමට නොහැකි තැන බාලාගේ පියා විසින් ඔවුන්ව සොයන්නට පටන්ගෙන තිබෙි. එහෙත් කිසිදු තොරතුරක් හොයා ගැනීමට තරම් නොහැකි තැන ඒ උත්සාහයන් අතහැර දමා තිබුණි. එයට හේතුව මෙසේ අනාථවූ පවුල් දිවයිනේ නොයෙක් නොයෙක් පැති පළාත්වලට සංක්‍රමණය වූ නිසාවෙනි. මෙසේම කිහිප දෙනෙක් ඔිමන්තෙයි හරහා යාපනයටද ගොස් තිබෙි. සමහරු තම තමන්ගේ නෑදෑ පවුල් සොයාගෙන ඒ ඒ ගම් වලටත් සමහරු නුවර එළි වතු ලැයිම් වලටත් ගොස් තිබෙි. නමුත් සම්පූර්ණයෙන්ම උත්සාහය අත් නොහල බාලාගේ පියා එවැන්කුගෙන් ලද තොරතුරක් අනුව කිහිප වරක් නුවර කඩෙික සිටින ඔවුන්ට ඉඩමක් සොයාදුන් මදීගේ පියාගේ මිතුරා සොයා පැමිණ ඇත. ඒ අනුව දවසක් දෙදෙනා මුණගැසී ඇත. ඒ මාර්ගයෙන් මදීගේ පව්ල සොයාගත් බාලාගේ පියා දෙතුන් වරක්ම බාලා සමග මෙහි පැමිණ ඇත. ඉන් පසු පාර සහ පළාත හුරුවූ බාලා තනිවම මදීලගේ ගෙදර පැමිණ ඇත. ඒ වගේම අද යන ගමනත් එවැන්නකි. අද විශේෂත්වය මෙයට මා සහභාගිවීමයි. 


අප දෙදෙනා නැවත ගමන් ඇරඹුවෙමු. මෙතැන් සිට අප යා යුත්තේ විශාල වලවල් හෑරී ඇති ගුරු පාරකය. නිරන්තරයෙන් හමා එන ක්‍රමයෙන් උණුසුම් බවට හැරෙන වාතය "හෝ..හෝ.." හඬ නගා කන් අතුලට රිංගයි. සුළඟේ වෙිගය නිසා කන් දෙක සිහින් වෙිදනාවක් දේ. එම සුළං ප්‍රවාහයන් පාර දෙපස ඇති දුහුවිලි වැදීමෙන්ම දුඹුරු පැහැයට හැරුණු කුඩා පඳුරු සහ ගස් අඹරවාගෙන පැමිණ නැවත නැවතත් පාරෙහි ඇති දුුහුවිල් අඹරවා අවුස්සාගෙන ඉහල නගී. මෙි වන විට වෙිලාවද දහවල් දහයට ආසන්න නිසා ක්‍රමයෙන් සූර්ය රශ්මියද අප ගතට දැනෙන්නට විය. ඒ වගේම ක්‍රම ක්‍රමයෙන් සුළඟේ ඇති කැළඹිල්ලද වැඩි වෙන්නට පටන් ගති. විටින් විට වෙිගයෙන් හමා එන සුළං ප්‍රවාහයත් සමග ඇඹරී ඉහල නගින දුහුවිලි වළාවෝ හාත්පසම දුඹුරු පැහැයට හරවමින් නැවතත් බිමට පතිත වෙි. සමහර විටක එම දුහුවිලි සහිත සුළං "දොක්" යන හඬින් මුලු සර්වාංගයටම පහර දේ. එවැනි විටෙක මා විසිකර දමන්නට තරම් එම සුළං වෙිගය සමත් වෙි. මෙි ජූලි මස අග සතියයි. මහ කන්නයට ලැබෙන වැසි ප්‍රමාණය මෙි සුළගෙන් මැනිය හැක. ඒ සුළඟේ වෙිගය හා පවතින කාලය අනුවය. සුළඟේ වෙිගය නිසා වැසි සමය ආරම්භවන කාලය දවස් කිහිපයක් පස්සට අදින අතර, සුළං පවතින කාලය අනුව වැස්ස පවතාන කාලය තීරණය කල හැක. මෙය යම් විද්‍යානුකූල නිර්නායකයක් නොව මිනිසුන් අත්දැකීමෙන් පවසන අයුරුය. එයද නිවැරදි වන්නට පුලුවන

 මන්ද යත් දීර්ඝ කාලයක් මුළුල්ලේ මිනිසුන් ගොවිතැන් බත් කරනුයේ මෙි අනුවය. සුළගත් සමඟ ගසා එන දුහුවිලි තැන්පත් වීම නිසා පාර දෙපසත් මදක් ඇතුලට වන්නටත් ඇති සියළුම අහු ගසුත් එරමිණියා තල් ආදී දේත් අනෙක් ගස් කොලන් ආදියත් තනිකර දුඹුරු පැහැයට හැරී ඇත. අප දෙදෙනාද මදින් මද ඒ පැහැයට හැරෙන්නට පටන් ගෙන තිබෙි. නමුත් මෙි පළාත ඉතා ලස්සනය. පාරේ වම් පසින් ඇත්තේ විශාල කුඹුරු යායකි. වැස්ස නැතත් ගොවිතැනට ඇතිවෙන්නට වතුර වාකනේරි වැවෙන් ලැබෙන බවත්, ඒ වතුර ගලා එන ඇලක් වෙල්යාය මැද හරස් අතට විහිදී ඇත. දුර තියා ඔිනෑම කෙනෙකුට ඒ ඇළක් බව තේරුම් ගැනීමට හැකි වන පරිදි ඇලඉවුර දිගේ විශාල කුඹුක් ගස් පේළියක් සරුවට වැඩී ඇත. කුඹුරු යායේ තැනින් තැන අහස සිඹින්නට මෙන් ඉහළට වැඩී ඇති තල් ගස් කිහිපයකි. මෙතැනට කලපුවද පැහැදිලිව පෙනේ. කුඹුරුයාය ඉහත්තාවෙන් පුංචියට පෙනෙන ගෙවල් කිහිපයකි. අතේ සුළැඟිල්ලේ නිය පොත්තේ තරම් කුඩාවට පෙනෙන ඒ ගෙවල්වල වහලය රතු පාටය. ඒ උළු සෙවිලි කර ඇති නිසාය. එ නිවෙස ඉදිරියෙන් පාරක් ඇති බැව් සිතේ. කුහුඹුවන් තරමෙි ප්‍රමාණයට ඔවුන් පෙනෙන්නේ අපත් ඒ පාරත් අතර පවතින දුර නිසාවෙනි. ඔවුන් පා පැදිවලින් ගමන් කරන බවද සිතාගත හැක. ඉහත්තාවෙන් කලපුවත් ඒ ගෙවල් කිහිපයත් පසුකර එද්දී ටිකක් මෙහාට වන්නට ඇත්තේ කැළයක ආරම්භයකි. වැඩි දෙනෙක් තොප්පිගල යනුවෙන් හඳුවන්වන කව් බෝයි කෙනෙකු පළඳින තොප්පියක ආකාරයට ස්වභාවික පිහිටි කන්දද මෙතැනට පැහැදිලිව පෙනේ. ඇස්මට්ටමෙන් බැලූ කල මෙි සියල්ල ම පෙනෙන්නේ ඉතාමත් අලංකාර විදියටයි. කැලෑව ආසන්නයේ තියෙන තල් මණ්ඩි දෙකක් හා තැනින් තැන වැඩී ඇති තවත් තල් ගස් නිසා ඒ සුන්දරත්වය තව තවත් තීව්‍ර වෙි. ඒ සැමට මෙහායින් නිල්ල ගැසී සරුවට වැඩී ඇති එහෙත් තාම බණ්ඩියවත් පීදී නැති විශාල කුඹුරු යාය නිසා අලංකාරත්වය සහ සුන්දරත්වය මොනවට පැහැදිලි වෙි. එය ඉතා දක්ෂ හැකියාවන්ගෙන් යුක්ත චිත්‍ර ශිල්පියෙකු ඇඳි සිතුවමක් වැන්න. ඒ සියල්ල පරයා වඩාත් ඈතින් මඩකලපුව දිසාවත් තොප්පිගලත් අතරින් දිස්වෙන විශාල කඳු පන්තියක් දිස්වෙි. නමුත් එහි හැඩය හරියට නොපෙනෙන්නේ මද්දහනට ලංව ඇති නිසා සුළං රැළි තාපකරනයට ලක්වීමෙන් ඇතිවන දිලිසීමත්, දුම්පාටට හැරී ඇති නිසාත්ය. හිරු කිරණ වැටීම නිසා දිලිසෙන ටකරන් තහඩු හෙවිලිකරන ලදැයි සිතිය හැකි නිවසක්ද ඈතින් පෙනේ. මෙිවා දුරක පිහිටියත් මධ්‍යස්ථ ඇසකින් බලන කල මෙිවා සියල්ල මදක් ලංව ටිකක් පැහැදිලිව පෙනේ. ඒ ඉදිරියෙන් ඇති තැනිතලා බිමට වඩා මදක්  ඉහලින් ඒවා පිහිටා ඇති නිසාය. 


කිරාන් හමුදා මුරපොළේ සිට මෙි වෙද්දි සෑහෙන දුරක් ගමන් කර ඇත. ඒ කිලෝමීටර්නම් කීයක්දැයි කීමට තරම් දැනුමක් අපට නැත. සමහර විට කිලෝමීටර් පහකට ආසන්න හෝ මදක් වැඩි දුරක් විය හැකිය. මෙතැන් සිට කිලෝමීටරයක් පමණ වූ දුරකින් සංවිධානයට අයත් මුරපොළක් ඇති බව නම් බාලා කීය. එයත් හිතේ තබාගෙන අප දෙදෙනා සාමාන්‍ය කතා බහෙනුත් බොහෝවිට අවට සිරි නරඹමිනුත් ගමන් කර සංවිධානයේ මුරපොළ අසලට පැමිණියෙමු. 


එම මුරපොල ඉදිරියේ සිටි සංවිධානයේ සාමාජිකයෙකු අපව ඔහු අසලට කැඳවා පරීක්ෂාවට ලං කළේය. අප හමුදා මුරපොලට පැවසූ විදිහටම මෙතැනටත් පැවසුවෙමු. එම සාමාජිකයා සිටියේ හමුදා කැලෑ ඇඳුමට සමාන දිගු කලිසමකිනුත් නිල් පාට ඉරිවලින් හීන්  කොටු වැටුනු පසුබිම සුදු අත් දිග කමිසයක් ඇඳ සෙරෙප්පු දෙකක්ද ඉදිරියෙන් කොටි ලාංඡනය එම්බ්‍රොයිඩර කර තිබූ තොප්පියක්ද දමාගෙනය. තුවක්කුවකුත් කරේ තිබිණි. එතැන සිටුවා ඇති කණුවක අවියේ මැගසින් දමන ආම්පන්න කට්ටලය එල්ලා තිබුණි. ඔහු පළමුවෙන් බාලා පරීක්ෂාකරන්නට පටන් ගත් අතර ඔහුගේ සහායට එවැනිම තවත්සාමාජිකයෙක් පැමිණ මාවත් ගමන් බෑගයත් පරීක්ෂාවට ලක් කළේය. අපි වව්නියාවෙි සිට ආ බැව් පැවසීම නිසා එකෙකු මගේ මුදල් පසුම්බියද ගෙන අදින්නට විය. එහි තුබුනේ රුපියල් හය සියයක මුදලක් පමණි. ඉතිරි මුදල් ඇත්තේ මගේ කලිසමෙි පිටුපස වම්පැත්තේ සාක්කුවෙහිය. එය මාගේ පුරුද්දකි. සන්තකයේ තිබෙන මුදල් එක් තැනකට රැස්කර තැබීම මා කවදාවත් නොකළ දෙයකි. යම් හෙයකින් ගමනකදී නොදැනුවත්ව පසුම්බිය අස්ථානගත වුවහොත් පත්වන අසීරුතාවය මගහැරවා ගැනීම පිණිස මා රස්සාව කරන්නට පටන් ගත් දින සිටම කරන දෙයකි. බෑගයේ අඇතුලේ මම පමණක් දන්නා එහෙත් කාටවත් සොයාගත නොහැකි කුඩා පොකට්ටුවක මගේ ඉතිරිමුදල් සියල්ලම සඟවා ඇත. බාලාද එසේමය. ඒ පිට කව්රුත් අප ළඟ තිබෙන මුදල් ප්‍රමාණය දැන ගන්නවාටත් හා එයින් අප ගැන ඔවුන් සිතන ආකාරයත් වෙනස් කිරීමෙි අරමුණෙනි. ඒ හැර ගමන් වියදමටත් කෑමට තේ බීමට ආදියට සරිලන මුදලක් පසුම්බියේත් කලිසම් සාක්කුවෙිත් ඇත. 

මාගේ පසුම්බියෙහි ඇති පොකට් එකින් එක විවෘත කර බැලූ ඔහු අන්තිමට මුදල් තියෙන කොටස ඇර එහි මුදල් ඇති පමණ බැලුවෙිය.ඒ රුපියල්හය සියය දැක කට කොනකට මද සිනහවක් නංවාගත් ඔහු ඒ මුදල දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලා නැවත පසුම්බිය මට දික් කළේය. එහි තියෙන්නේ මගේ හැඳුනුම්පතත් මුදලුත් දකුණු ඉන්දීය නළු නිළියන්ගේ පිංතූර කිහිපයකුත් පුල්ලෙයාර් දෙවියන්ගේ පින්තූරයකුත් පමණි. වටිනා ලියකියවිලි කිසිවක් අප දෙදෙනා රැගෙන ආවෙි නැත. ඒවා ගෙදර ලාච්චුවක දා ඇත. 

එතැනින් පරීක්ෂා කර අවසානයේ තවත් සාමාජිකයෙකු විසින් මෙිසය මත තිබූ පොතක් දිගහැර එහි  අප දෙදෙනාගේ සියළු විස්තර සටහන් ක⁣රන ලදී. ඉන්පසු මෙි ප්‍රදේශයට පිටින් ඇතුල්වන අයගෙන් බලපත්‍ර ගාස්තු අය කරනවා යැයි පවසා එක් අයෙකුට රුපියල් සියය බැගින් රුපියල් දෙසීයක් ගෙන  තුණ්ඩුවක්ද නිකුත් කලේ ඔහු විසිනි. එම තුණ්ඩුව මෙි පළාතෙන් පිටවන තෙක් සුරක්ෂිතව ලඟතබා ගන්නා ලෙස ඔහු දැන්වීය. එයද ගෙන පසුම්බියට නවා දමාගෙන අප දෙදෙනා එතැනින් පිටවීමු. 


අප දෙදෙනා අප දෙදෙනාටම පමණක් ඇසෙන පරිදි ඔවුන්ට බැන බැන හිනා වෙවී ඉදිරියට ගමන් කළෙමු. එතැන සිව් දෙනෙකු රාජකාරියේ යෙදී සිටියහ. සිව් දෙනාම හැඳ පැලැඳ සිටියේ එකම විදියටය. තුවක්කු තැන් තැන්වලය. වටෙිට ටකරන් ගසා වහලෙට තල්අතුත් පොල් අතුත් හෙවිල්ලා තිබුනා. මුරපොළ පිහිටා තිබුණේද ඇලක් අයිනේය. එතැනින් පිටත්වුනු පසු මදීලගෙ ගෙදරට එනතෙක්ම සැරින් සැරේ සයිකල්වලද පයින්ද ට්‍රැක්ටර්වලද ගමන් කරන සංවිධානයේ සාමාජිකයින් කිහිප විටක්ම මුහුනට මුහුණ හමුවිය.නමුත් ඔවුන් අප දෙදෙනා දිහා බලනවා මිස කිසිම දෙයක විමසීමක්වත් නොකලහ. එය අපිටද අස්වැසිල්ලක් විය. උදේ ඉඳිආප්ප කඩෙන් ගත් විට තුනෙන් ඉතිරිව තිබූ අන්තිම විටද දිග හැර ගත් අප දෙනො නැවතී තවත් විටක් ඒදා මදක් එතැන නැවතී සිටියෙමු. අපි ගමන් කලේද ඒ මුරපොලෙන් වමට හැරී යට කියූ ඈතින් පෙනුන පාර දිගේය. මෙි පාර දිගේ අරලගංවිලටත් ගිය හැකි බැව් බලා කීය. ඒ සැනින් මා කීයේ යද්දි ඒ පාරෙන් යමු කියාය. මෙි වෙද්දි පයින් ඇවිත් කකුල් කෙඩෙත්තුවද හැදී ඇත. එහෙත් ගමන තාමත් අවසාන නැත. මෙි පාරත් අපි කලින් ආ පාර මෙනි. වගා ලිං ප්‍රමාණයේ හෑරුනු වලවල් මෙි පාරේද ඇත. සමහර තැන් කුඹුරේ මට්ටමටම ගිලා බැස ඇත. පාර ටිකක් පළල්ය. තැනින් තැන වැලි ගොඩැලිද  ඇත. ඒවාද බලමින් මදක් නැවතී සිටි අප දෙදෙනා නැවත ගමන් ආරම්භ කරන්නට සූදානම් වෙද්දි ඈතින් ට්‍රැක්ටරයක් එනු දැක නැවත නැවතී විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමු. ඒ ආවෙි සංවිධානයේ ට්‍රැක්ටරයකි. ඒ නිසාම අප අත් දැම්මෙි නැත. ඒවා අනවශ්‍ය කරදර ගෙට කැන්දා ගැනීමක් වැනි යැයි සිතුනු නිසා පයින්ම ගමන් කෙරුවෙමු.  ට්‍රැක්ටරය අපව තවත් වරක් දුහුවිල් වලාවක ගිල්වමින් ආවාටත් වඩා වෙිගයෙන් අප පසු කර යන්නට විය. තවත් මීටර් පන්සියයක් පමණ ගිය තැන අප කලින් ආ පාර පැහැදිලිව පෙනේ. කලපුවද පුංචියට පෙනේ. අප ඒ පාරේ එද්දි මෙි යන පාර දුටු සේ මෙි පාරේදි ඒ ආ පාර දිස් වෙි. වටෙිම හරිම ලස්සනය. මෙි වෙද්දි ඉර මුදුන් වී ඇත. අපට පය ඉක්මන් කලානම් මෙි වෙද්දි මදීලගෙ නිවසට යන්නට හැකියාව තියෙන්නට ඇත. එහෙත් කතා බස් කරමින් අවට සිරි නරඹමින් ආනිසා ගමන කෙරුණේ මන්දගාමීවය. නමුත් වෙහෙසනම් දැනේ. තිබහද දැනේ. එහෙත් තවත් දුරක් යායුතු හෙයින් අප දෙදෙනා නැවත ගමන ඇරඹීමු. මෙි වෙද්දි අප දෙදෙනා සිටියේ සංවිධානේ මාර්ග බාධකය පසුකල නිසා සැනසුම් හුස්ම හෙලමින්ය. දැන් ඉතින් බිය විය යුතු කාරණාවක් නැත. බිය විය යුත්තේ කොතැනක කට වරදීද යන්න ගැනය. එබැවින් අප දෙදෙනා පරිස්සම් වීමට නිරන්තරයෙන්ම වග බලා ගත යුතුය. එය කිසිසේත්ම අමතක කර නැත.


තවත් සැතපුමක් පමන එද්දී පොඩි කඩයක් හමුවිය. එහිද තේ කැවිලි ආදිය ඇති බැව් දුටු නිසා  අප දෙදෙනා ඒ කඩයට ගොඩවී පසෙක තිබූ පිට ලෑල්ලක් දමා සකසාතිබූ බංකුවෙි වාඩු ගතිමු. මා කඩෙිට ඇතුළු වූ විගස වතුර වීදුරුවක් ඉල්ලාගෙන බීගෙන බීගෙන ගියෙමි. එය මදිව තවත් වතුර ජෝගුවක් ඉල්ලද්දී කඩෙි මුදලාලි මා දෙස බලා කඩෙි පිටුපස තිබූ කුඩා නිවසේ ලිඳ පෙන්වා දහඩියත් දුහුවිල්ලත් සෝදාගෙන එන ලෙස පැවසීම නිසා ඒ වතුර ජෝගුවත් බී දෙදෙනාම ඒ දෙසට ගියෙමු. මෙි වතුර කිවුල්ය. අමුතු රසකි. කිවුලනම් මට හුරුය. එහෙත් ඒ ලවණ මිශ්‍රිත කිවුලකි. සමහර විට කලපුව නිසා එසේ වන්නට ඇත. ලිඳට ගිය මමත් බාලාත් කමිසයද වෙස්ට් එකද ගලවා ගසා ලිඳ ළඟ තිබූ වැලක වනා දමා මාරුවෙන් මාරුවට වතුර බාල්දි කිහිපයකින්ම කඳ කොටසත් මුහුනත් දෑතත් සෝදා කලිසමද දණහිස තෙක් නවා කකුල් දෙකද සොදා ගතිමි. ඒ වතුරේ තිබූ සිහිලැල් බව නිසාම මද්දහනේ වුවත් නව ප්‍රබෝධයක් ගතට ඇතිවිය. මද්දහනේ වුවත් සුළඟ නිසා තවත් සිසිල් බව වැඩිවූ හෙයින් ලිඳ අතහැර දමා එන්නටද සාත් නොවුණි. එහෙත් ඉන් ගමන් විඩාව මදක් නිවාගෙන කඩයට ඇවිත් මෙිසයක් මත තබා තිබූ පුංචි වීදුරු ශෝකේසය ඇර එහි තිබූ වඩෙි කිහිපයක්ම ගෙන බාලාටත් දී කෑමට පටන් ගතිමි. මා පමණක් නඩෙි පහක්ද පෑන් කේක් දෙකක්ද වහ වහා ගිල දැමුවෙමි. මා මෙන්ම බාලාද කුලප්පුවී ඇති සෙයකි. මා කන දේම ඔහුත් වියරුවෙන් මෙන්කන්නට විය. එය හුදෙක් විනෝදය පිනිසම කරන ලද්දකි. නමුත් කුස අඩක් පිරුනි. කුඩා වතුර ජෝගු දෙකක්ම බාව් නිසා මගේ බඩ හොඳටම පිරුනි. ඉන්පසු මමම කඩෙි හරහට බඳින ලද පොල්ලක එල්ලා තිබූ කුඩා නෙස්ටමෝල්ට් සැෂේ පැකට් දෙකක් කඩා මුදලාලිට දී එය සකසා ගතිමි. එය බොන ගමන් මුදලාලි කට ඇරියේය.

*මං හිතුවෙ උඹල දෙන්නා මාවත් කයි කියල

*පිස්සුද අංකල් අපි හරක් මස් කන්නෑ යැයි මා කී විහිලුවට මුදලාලිද බුලත් කා කලු වී තිබූ දත් ටික පෙන්වා හයියෙන් හිනැහුනි. අපිද ඒ අනුව සිනාසුනෙමු. 

*උඹාලා කොහෙ යන ගමන්ද මෙි??

*සුදලාලිට මාව අඳුරගන්න බෑද. මං කීප විටක්ම මෙි කඩෙන් තේ බීල තියෙනවනේ යි මා විහිලුවට කීමි. ඒ සමග ඔහු මාදෙස මොහොතක් බලා සිට "ම්ම්හු මතකයක් නෑ" කීය. මාද "වෙන්න ඇති, මොකද මං කිව්වෙ බොරු" කී පසු ඔහු නැවතත් සිනාසුනි. මට ඇවැසිවූයේ එසේ විහිළු කර ඔහුට අප දෙදෙනා පිළිබඳ යම් මතකයක් ඇති කරලීමටයි. 

*කොහෙ ඉඳන්ද එන්නෙ?

*වව්නියා අංකල්. 

*මෛහෙ??

*මෙයා කැල්ලක් උස්සන්න ඉන්නෙ මෙහෙන්. අපි කියමුකො කසාදෙ කියලා. ආං ඒ වගේ. 

*මොන මගුලක් කියෝනවද මංදා 

*නෑ නෑ. මගුල ගන්න ඉන්නෙ මෙහෙන්. මෙයාගෙ ඇවැස්ස නෑනා මෙහෙ ඉන්නෙ.

*කව්ද?? මෙහෙ ඉන්නේ?

*බාලා කියාපංකො අංකල්ට කියා මා බාලාට මදීලගෙ විස්තර කීමට ඇරයුම් කලෙමි. මගේ ඇරයුමෙන් කටහඬ අවදිකල බාලා මදීගේ පියාගේ නම කියූ පමණින්ම මුදලාලි ඔහුව හැඳින ගෙන ඔහුගේ පව්ලේ විස්තර අපට කියන්නට විය. බැලින්නම් ඔහුද මදීගේ පියාගේ දුර ඥාතියෙකි.මදීලා මෙන්ම මෙයත් නුවර වැසියෙකි. එහෙත් වෙනත් වත්තකය. මදීලාත් එක්කම මෙහෙ පදිංචියට ආ වෙකි. ඒ නිසා ඔහු අප හා හොඳට හිතවත් විය. කතා බහෙන්ම ඔහු අහිංසක මිනිසෙක් බැවි හඳුනාගෙන අපි ඔහු හා සෑහෙන වෙලාවක් දොඩමළු වීමු. ඔහු මදීගේ නිවසට ඇති දුරත් නිවැරදිව අපට කීය. ඇගේ පියාද උදේ කරත්තයකින් වාලච්චෙිනෙ ගිය බවත් තාමත් ආපසු නොආ බවත් ඔහු එනවිට සවස්වෙන බවත් කීය. අපිටත් එතරම් හදිසියක් නොවූ නිසා නෙස්ටමෝල්ට් එක බී බෙලෙක් කෝප්පය මෙිසය මතින් තබා තවත් විටක් ඒදුවෙමු. අපි දෙදෙනාම විටට ඇබ්බැහි වී නැත. නමුත් විනෝදයට විට කන එක ඉඳහිට කරන දෙයකි. කරුංකා පුවක් හපා මගේ හකු දෙකම ඇදී රිදෙන්නට ගත්තේ දෙවෙනිවරට කෑ විටත් සමගය. ගස් බුලත් නිසා කටත් තුවලෙ ඇති සෙයක් දැනේ. පැණි දුංකල වල වැලිය. ඒවා වැලි නොහැපී කන්නටනම් සෝදාම ගත යුතුය.ඒවා කා පළපුරුද්දක් නැතත් පුරුදුවිය යුතු නිසා කන්නට වීමි. මදී හා විවාහ වෙන එක නොවෙන එක දන්නේ බාලාය. මා ඔහුගේ ලඟම මිතුරෙක් වුවත් ඒ ගැන හරියටම මටවත් කියා නැත. එය දන්නේ ඔහුමය. මාද ඒ ගැන කිසි විටෙකත් හාර හාරා අවුස්සන්නට නොගියෙමි. මා මදී දැකඇත්තේ පිංතූරයකිනි. හැබැහින් කවදාවත් මුනගැසී නැත.අද මුන ගැසෙන්නේ පළමු වතාවටය. ඇය කෙසේද, සුදුද,කලුද,උසද මහතද, ලස්සනද නැතද කියා දැනගනු වස් කුතුහලයක් ඇති බැව්නම් සැබෑවකි. නමුත් ඒවා දැනගැනීමට තරම් හදිසියක්ද මට නැත. බාලාටද ගාණක් නැති ගානය. ඉතින් මට මොන හදිසියක්ද? බාලා කියු පරිදි ඇය සාමාන්‍ය පෙළ  විභාගය සමතියෙකි. සමාජ සේවිකාවක් වශයෙන් රතු කුරුස සංවිධානයේ මසකට රුපියල් තුන් දහසක දීමනාවකට සේවය සපයන්නියෙකි. බාලා වරෙක ඇයට හොඳට උගන්වා ගතයුතුයැයි මා හා පවසා ඇත. නමුත් එම යෝජනාවට ඇය අකමැති වී ඇත්තේ උසස් අධ්‍යාපනය ලබන්නටනම් ඒ සඳහා පහසුකම් ඇති පාසැලකට යාමට ඇති දුෂ්කරතාවයයි. කිලෝ මීටර් ගණනාවක් ගෙවා කිරාන් මහාවිද්‍යාලයට හෝ ඊටත්වඩා දුරක් ගෙවා වාලච්චෙින ජාතික පාසැලට යා යුතු බැවින් ගමන් අපහසුව නිසාවෙන්ම ඇය අකමැති වී ඇත. නැතිනම් ඇයද තවත් ඉගෙන ගන්නට කැමැති එකියකි. 


පැයක පමණ කාලයක් කඩෙි ගතකල අප දෙදෙනා නැවත එළියට බැසිමි. ඒ මුදලාලිද හොඳට හිතවත් වූ පසුය. ඔහු කී පරිදි ගමනාන්තයට තවත් කිලෝ මීටර් තුනක් පමණ යා යුතුය. මද්දහන නොවුනිනම් එය එච්චර ගාණක් නොවෙි. නමුත් හිරු මුදාහරින පීඩාවෙන් තැවෙමින් හෙමින් යන ගමනකි මෙි. අප කඩයත් පසුකර ටික දුරක් පැමිණි පසු පා පැදියකින් ආ සංවිධානයේ සාමාජිකාවන් දෙදෙනෙකු අප අසලින්ම සයිකලය නවතා "කොහෙද යන්නේ"යි විමසීය. සයිකලයෙන් නොබැසම විමසූ පැණයට අපි යන තැන පැවසුවෙමි. තවත් පැණ කිහිපයක් විමසා එයට පිළිතුරු දුන් පසු ඔවුන් දෙදෙනා යන්නට ගියාය. ඒ දෙදෙනාම පිළිවෙළකට කැලෑ ඇඳුම ඇඳ සිටි දෙදෙනෙකි. නමුත් පයට සෙරෙප්පු දා ඉනට හමුදාවෙන් බඳින ⁣ප්‍රමාණයේ ඒ වගේම බඳපටියක් දමා කොණ්ඩය කොටට කපා තිබුණි. සයිකලයේ පිටුපස ගමන් ගත් සාමාජිකාව මා දුටු ආකාරයට ටිකක් පිළිවෙළකට සිටින එකියකි. පෙනුමද කලුත් සුදුත් නොවන  ප්‍රියංකරය තළෙළු පැහැයක් ඇත්තියකි.මුහුනද වටකුරුය. අපගෙන් විස්තර විමසූයේ ඇයයි. ඇය කතා කරන විටදි කටහඬත් පැහැදිලිය. ඒ කට හඬද අණක් නියෝගයක් කරන පරිදි හඬෙහි තාලය  උස් පහත් කරමින් කතා කල නිසාම  හා කතාකල ඒ විනාඩි කිහිපයේදිම ඈ ගැන පැහැදීමක් ඇතිවිය. උසට සරිලන ලෙස මහතද ප්‍රියංකරභාවයද නිසා  අපේ භාෂාවෙන් කියතහොත් පට්ට පිට් ඇඟක් ඇති හැඩවත් එකියකි. ඒ එහෙමයි කියා ඈ ගැන සිතක් ඇති කරගන්නට තරම් මා මෝඩයෙකු නොවෙි. ඇය රටක රජයට විරුද්ධව කැරළි ගසන සංවිධානයක මිත්‍යා අදහසකට යටවූ තැනැත්තියකි. ඇය එම සංවිධානයට එක්වූ අයුරු මා නොදන්නෙමි. එහෙත් කුමණ අයුරකින් කුමන අරුතකින් අරමුණකින් සංවිධානයට බැඳුනද සැබෑ මිථ්‍යාව යනු එයයි. ඇත්ත හංගා බොරුව උලුප්පා, සිදුනොවූ දේවල් සිදුවූ ආකාරයට පවසා, මනස වෙනස් කිරීමකට භාජනය කර, ඔහු හෝ ඇය අහිංසක ජන කොට්ඨාශ වෙත භීෂණය මුදා හරින සංවිධානයක සාමාජිකයෙකු හෝ  සාමාජිකාවක කර ඔවුන්ව සන්නද්ධ කර සහ කරන මෙවැනි අපරාධ නියම අපරාධ වන බව මාගේ හැඟීමයි. එය තමන් ලද  මිනිසත් භවෙි මිනිසත්කම නොමිනිසත් කමට හරවාගත්තෙකි. යහපතෙන් අයහපත තෝරා ගත්තෙකි. සාමය පටලවා ගත්තෙකි. කිසියම් අයෙකු විසින් දරුවෙකු හය හතර තේරෙන අවධියෙහි  මනස වෙනස් කිරීමකට භාජනය කර තමන්ගේ හෝ තමාද යටත් නායකයෙකුගේ අරමුණක් මුදුන්පත්කරවා ගැනීමට විනාශයට භාජනය කරවන්නෙකි. ඒ වගේම සත්‍ය තේරුම් නොගෙන ඒ ප්‍රවාහයට එකතු වීමම මිත්‍යාවකි. පසු කලෙක රාත්‍රියකදී මටත් ඒ සංවිධානයේ මෙවැනිම දේශණයකට සහභාගිවීමට අවස්ථාව ලැබුණි. මම කියා නැත. හරි දේ වැරදි දේ තේරුම් ගෙන සිටි මමද මිථ්‍යාව සහ විද්‍යාව යනු කුමක්දැයි හොඳින් දැන සිටි මගේ මනසද ඒ දේශණය අවසානයේ වෙනස් වෙන්නට හැකියාව තිබුණි. එතරම්ම ඔවුන්ගේ මෙි ක්‍රියාවළිය සංකීර්ණය. ඇපැහැදිලි කම සඟවා පැහැදිලි දිය ගලන ඇලක් දොලක් මෙන් වචන ගලපා ගලා යන්නට ඉඩ සලස්සන ඔවුන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ත්‍රස්තවාදීහුය. එම කතාව අවසානයේ දේශකයාද ඔහුගේ සංවිධානයද මෙි නොදරුවන් ඉදිරියේ වීරයන් වී අවසන්ය.  කෙනෙකුගේ යම් අරමුණක් මුදුන්පත්කරවා ගැනීම උදෙසා මහත් ධනස්කන්ධයක් වැයකර මිනිසුන් රවටන,මිනී මරන, සාමය සමගිය ඇති රටක් අනාරක්ෂිත කරන දේශපාලන  අරමුණු උදෙසා එවැනි රටක මහජනතාව වෙත භීෂණය, බලහත්කාරය, මුදාහරින ඔවුන්ට ඒ හැර වෙනත් අර්ථයක් දිය හැකිද?. එම දේශණයේ අවසානයේදී යමක් දැන සිටි මාද වෙනස් විය හැකි බවට මටම මහ බියක් දැනුනි. එතරම්ම ඔවුන් උපායශීලිය. වැඩ පිළිවෙළ සංකීර්ණය . නමුත් ඒ කල කී දේ සමානුපාතිකව එක් එක් මතයන්ට හා සිදුවීම්වලට සමකර බැලීමෙිදී අවසානයේ මටනම් ඇතිවුණේ මහත්ම වූ පිළිකුළකි. ඒ වගේම මෙි මිනිසුන් කෙරෙහි දුකකි. ඔවුන් සියල්ලෝම ඊනියා අරමුණකට කැමැත්තෙන් සම්බන්ධ වූවන් නොවෙති. සියයට හැත්තෑපහකටත් වඩා ප්‍රථිශතයක් බලහත්කාරය නිසාම ඒ ප්‍රවාහයට එකතු වූවන්ය. මා සිතන පරිදි මට හැඟෙන පරිදි එම සංවිධානයේ නායකයාද වෙන කාගේ හෝ ගැත්තෙකි. නැතිනම් අතකොළුවකි. දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මකවන රොබෝවෙකි. කව්රු හෝ වෙිවා ඔහු විදේශපාලනයක අරමුණකට මෙන්ම මෙරට දේශපාලනයේද අනුහසින් ක්‍රියාත්මකවන පඹයෙක්ද විය හැකිය. ඒවා හරියටම මා නොදන්නා නමුත් එක දෙයක් ඉන්තේරුවෙන්ම කිව හැකිය. ඒ ත්‍රස්තවාදය මෙරටෙහි ඔඩුදුවා අවසන් බවය. රටෙහි ජනජීවිතය පවා අනතුරකට භාජනය කර ඔවුන්වද රටද මහත් විනාශයකට තල්ලු කර රට දශක ගණනාවක් ආපස්සට තල්ලු කර ඇති බවය. 


ඔවුන් ගියපසු බාලාද මා දෙසට හැරී කට මදක් ඇදකර දෙවුර හකුළුවා දෑත් දිගුකර "අනේ මංදා බං" යන්න ඉඟියකින් පෑවාය. එයට මද සිනහවකින් පිළිතුරු දුන් මා මීට පෙර කර ඇති පරිදි චංචල මනස නිශ්චල කරගැනීමට උත්සාහ කළෙමි. මගේ මනස චංචල වන්නේ සංවිධානය මට යන්තමින් හුරුවුවත් මෙහි සිටින සාමාජිකයින් නුපුරුදු නිසාවෙනි. මා මීට පෙර අවස්ථා කිහිපයකදීම උතුරු පළාතේ ඔවුන් හා කතාබස් කර ඇතියෙමි. ඒ පුරුද්ද සිහිකර මනස නිශ්චල කරගැනීමට මට හොඳට පුළුවන. බාලාට මදී බලනවාට වඩා අපි දෙන්නටම ඊටත් වඩා ලොකු අරමුණක් ඇතිව අපි දෙදෙනාම මදීව බලන්නට ආමු. මදීට බාලාගේ පැමිණීම විශේෂ වුවද අපට විශේෂවූයේ අනෙකකි. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස අප දෙදෙනා මෙහි මාස කිහිපයක් රැඳී සිටිය යුතුවෙි. කොටින්ම කියතහොත් මෙතනදි වූයේ වෙනත් අරමුණක් උදෙසා මදීවත් ඔවුන්ගේ පවුලත් පාවිච්චි කිරීමක් මිස ඒ අනුව මදීව බලන්නට පැමිණිමකි. 


අප මදීගේ නිවසට ගොඩවූයේ දවල් දෙකට පමණය. ඉතාමත් උණුසුම්ව සහ උපරිම සතුටකින් අපව පිළිගත් මදී සහ ඇගේ මව ලහි ලහියේ අපට දවල්ට කෑම සකසන්නට විය. මදීගේ නිවස එක් කාමරයකින් සාලයකින් සහ කුස්සියකින් සමන්විත කුඩා එකකි. කුස්සයද සාලයටම ඈඳා එහෙත් බිත්තියකින් වෙන්කර ඇත. හරි හතරැස් එම නිවස ඔවුන් සෑදූවක් නොව කැනඩාව මූලස්ථානය කරගත් රාජ්‍ය සංවිධානයකින්හදා දුන්නකි. මෙි ගමෙි ගෙවල් වාස්සක් පමණඇත. ඒ සියළුම ගෙවල් මෙි ආකාරයේම ඒවාය. නමුත් තනි ඉරකට අනුව එක කෙලින් පොඩ්ඩක්වත් එහාට මෙහාට නොවන්නට තනා ඇත. මෙ ගමෙි මෙවැනිම ගෙවල් පේලි දෙකක් ඇත. ඉඩම අක්කර භාගයක් පමණ විශාල ඇත. ගෙමිදුලෙහි පල හටගත් විශාල දෙළුම් ගසකි. පොල් ගස් කිහිපයක්ද තල්ගස් දෙකක්ද මිදුලේ ඇත. පල හට නොගත් කටු අනෝදා ගසකුත් ගේ පිටුපසට වන්නට තිබෙි. ලිඳ ආඬියා ලිං ක්‍රමෙිට සැදූවකි. මදීද මා සිතේ ඇඳි රුවට වඩා පැහැපත් හැඩකාර යුවතියකි. එදා ඉරිදාවක් නිසා මදීටද නිවාඩු දවසකි. සාමාන්‍ය උස ඇතියෙකි. වරළස දණහිස තෙක් දිගය. කතා කරද්දී නිතරම සිනහවෙන් කතා කරන්නියෙකි. සමාජශීලී කෙල්ලකැයි මට සිතේ. නලලත ඇති කළු පැහැ තිලකයෙන් ඇය තවත් සුන්දර ලෙස බලන්නෙකුට පෙනේ

මට ප්‍රශ්ණයක්වූයේ තරුණ කෙල්ලක් සිටින නිවසක තමන්ගේ මස්සිනාත් වුවත් තරුණයෙකු සමග ආගන්තුක තවත් තරුණයෙකුට මෙවැනි කුඩා නිවසක මාස කිහිපයක් එකට විසිය හැකිද යන්නයි. එහෙත් කෙසේ හෝ අඩුපාඩු පිරිමසා ගත යුතුය. අපි එතරම් කාලයක් මෙහි නතරවී සිටින බව ඔවුන් කිසිවෙකු තාම නොදනී. දැනගත්විට මදීගේ මව පියා විසින් කුමණ තීරණයක් ගනු ඇතිදයි නම් නොදනිමි. නමුත් වෙන නිවසක හෝ අප නැවතී සිටිය යුතුය. 


 මදී විසින් සාදා දුන් ⁣සිසිල් බීම එක පානය කර බාලාත් මමත් මදීගේ මවගේ ඇරයුම පිට මිදුලේ තිබූ ලිඳට ගොස් හොඳට නා ගතිමි. ඒවා කිවුල් වතුර නිසා හරියට සබන් ගෑවෙන්නේද නැත. එහෙත් දුඹුරු පාටට හැරී තිබූ අප දෙදෙනා නෑමෙන් පසු සුපුරුදු පැහැයට ආවෙමි. පොල් අතුවලින් වටකර තිබූ ලිඳ වටා පිටතින් කෙසෙල් පඳුරුත් සරුසාරෙට වැඩී තිබුණි. සුදු මල් ගසකුත් පොල් අතු වැටට ඇතුලතින් සිටුවා තිබුණි. මෙහි මිදුල සම්පූර්ණම වැල්ලය. අප ඇඳගෙන ආ ඇඳුම්ද සෝදා වෙිලෙන්නට දමා ඇඳුම් මාරුකරගෙන ගෙට ගොඩ වීමු. තවත් ටික වෙලාවකින් පසු අපට දහවල් කෑම ලැබුණි. ගෙයි තිබූ එකම මෙිසය මත කෑම බෙදු පිඟන් දෙකත් වතුර ජෝගුවකුත් වීදුරුවකුත් ගෙනත් තැබූ මදීත් ඇගේ අම්මාත් ඉන්පසු අප හා ආගිය විස්තරත් පවුල්වල විසිතරත් කතා කරන්නට විය. මදීගේ අම්මා විසින් සකසා තිබූ කෑම වෙිල ඉතා රසවත් එකක් විය. බණ්ඩක්කා හා වැව් කරවල එකට දමා තෙල්දැමූ ව්‍යාංජනයක්ද, වෙනමම වැව් කරවල ව්‍යාංජනයක්ද පරිප්පු ව්‍යාංජනයක්ද සකසා තිබුණි. අළුත් හාලේ බතට ඒවා හරිම රසවත්ය. ඔවුන් හා දොඩමළු වෙමින් බඩ පිරෙන තෙක් දිවා ආහාරය ගත් අප දෙදෙනා මදී සමග මිදුලට බැස වෙනම කතාවකට මුල පිරුවෙමු. මදී කතා කරන විදියනම් හරිම අපූරුය. කටින් පිටවෙන වචනයක් පාසා මුහුනෙන් ඉරියව්ද පාමින් කල කතා බහ මා බලා සිටියේ ආශාවෙනි. එය කලාතුරකින් ගැහැණු ලමයෙකුට පිහිටන වෙනම කලාවකි. හිනාවෙනවිට දෙකම්මුල් වල ගැසෙන ලක්ෂණය ඇයටත් පිහිටා තිබුණි. සුදුමත් නොවන අමුතු පැහැපත් සමක් හිමි ඇය හිස පිටුපසට ගොනුකර තිබුනු වරලස මුදා හැරිය විට ඇගේ සුන්දරත්වය තවත් වැඩිවෙි. ඇය දෙස බලාගෙන මාද ඔවුන්ගේ කතාවට සහභාගිවුනෙමි. ඉතාමත් කුළුපගව අපත් සමග කතාකල ඇය මා ගැනද වැඩිදුර විස්තර විමසන්නට විය. ඒවාටද කලින්ම සූදානම් කරගත් පිළිතුරු මා පිළිවදන් ලෙස දුනිමි. ඒ අතර තුර බාලා අප ටික දවසක් මෙහේ නවතින බැව් කී පසුනම් ඇය මදක් නිහඬ විය. සමහරවිට අපට දෙන්නට පහසුකම් ඇගේ පුංචි නිවසේ නැති නිසා වන්නට ඇත. එහෙත් අපට එහෙම සැප පහසුකම් අවශ්‍ය නැත. කන්නට ලැබෙනවානම් මිදුලේ හරි නිදාගත හැක. කෑම වලටද අපට වියදම් කල හැක. සම්පූර්ණ කාලයටම සරිලන ලෙස මුදලක් අප සතුව නැතත් නැවතී සිටින කාලය තුල ගොයම් වැඩ වුව අපට කල හැකිය. මාද ගොවියෙකුගේ පුතෙකු හෙයින් ඒ වැඩ මටද හොඳට හුරු පුරුදුය. අපට අවශ්‍ය නැවතීමට පමණි. රස්සාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් බැංකු ගිණුමෙන් වුවද  මුදල් ගත හැක. අප ටික දවසක් නැවතී සිටිනවා යැයි කී පසු මදී එය තම පියාගෙන් විමසන ලෙස දැනුම් දුන් නිසා ඒ ගැන වැඩි දුරටත් කතා නොකලෙමු. අපගේ අරමුණත් මෙහිම නැවතීම නොවෙි. ඒවාටද සැලසුමක් ඇත. මන්ද යත් බාලා මෙි නිවසේ තරම දන්නා හෙයින් ඒවා ඔහු විසින් කල්වෙිලා ඇතුවම සැලසුම් කර තිබුණි. ඒවා ගැන වැඩිදුරටත් අප නොසිතුවෙි සමහර සැලසුම් අපි හිතනවාට වඩා වෙනස් විය හැකි බැවින් එන විදියකට මුහුණ දෙනවා යැයිද සිතා සිටි බැවිනි.



ම.ස.


(සතුරු අඩවිය මගේ පොතෙනි.තාම සංස්කරණය කර නොමැත)

4 comments:

  1. //තාම සංස්කරණය කර නොමැත
    blog එකට නම් මේ ඇති. එත් කිව්වා වගේ පොතට තව පොලිශ් වෙන්න ඕනේ.
    කොටි හොදයි කියලා හිතෙයි ලංකාවේ පොත් ප්‍රකාසකයෝ එක්ක ගනු දෙනු කරනකොට.
    ඒ වෙලාවට අර මොලේ දකුණු පැත්ත හිරිවැටිලා අදහස් පහලවෙලා වැඩේ සර්ව ප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා කියල පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්මස්තුතිි.ඔබ තුසාට. මට අඩුපාඩු තමා දැනගන්න ඔින. ඒකෙ ඔිනම දේ ඔබ තුමා කියල තියෙන නිසා. මා භාෂාව ටිකක් වෙනස් කලා. පසුවට මෙහිම දමමි.

      Delete
  2. පෝස්ට් වල තරම් නං රහ නෑ බාසා...කලිං විදියටම ලියන්න බෑද?

    ReplyDelete