Sunday, October 3, 2021

දැහැමි ජීවිතේ




 මෙි දවස් වෙද්දි අපේ බැච් එකට සාජන් නිළය  අත පේන දුරින් තිබුණෙ. සාජන් කිව්වම ගොඩක් අයට හිතෙන්නෙ ලොං හැලිච්චි හම රැළි වැටිච්චි හැරමි⁣ටියෙන් යන සයිස් එකේ චරිතයක්නෙ. ඒත් සන්නද්ධ හමුදාවල එහෙම නෑ. ගල් බනිස්වල ගල් නෑ වගේම, බනි/සැරයන් නිවස්නයට "මහළු මඩම" කියල කිව්වට ඒකෙ මහල්ලො නෑ. හමුදාවෙ හැම නිළයක්ම තරුණයි.  සෙසුනිළයෙක් විදියට යන්න පුලුවන් අන්තිම රෑන්ක් එකටත් ගිහින් විශ්‍රාමත් අරගෙන අවුරුදු තුනක් විතර වෙච්චි මටත් තාම හතළිස් තුනයි. ඒ කියන්නෙ ජීවිතේ දඟකාරම වයස. දැන් දැන් පොලිසිවලත් එහෙම නෑ. හොඳට ඇඟ මහන්සි කරලා යමක් කරන්න පුලුවන් තරුණ පහේ සාජන්ලා තමා දැන් ගොඩක් ඉන්නෙ. 

ඒ දවස්වලත් කෝප්‍රල් කියල නෑ, බාලාංශෙ වැඩම තමා කලේ. ඒ හිංදම මාව දිරවන්නැති සෙට් එකක් තමා යුනිට් එකේ වැඩි පුරම හිටියෙ. ඒ අතරෙ බැචාලත් ඉන්නව. ඒහෙම කෙනෙක් තමා කුමාරසිංහ කේඑම්ජී කියන්නෙ. හැබැයි කවදාවත් කාටවත් විශ්වාස වෙන්න විහිලුවකටවත් බොරුවක් කිව්ව කෙනෙක් නෙමෙි. නමුත් විහිලුවට ඒව මෙිව කියල පස්සෙ "බොරු මචං මං කිව්වෙ" කියල ඇත්ත කියනව. යුනිට් එකේ මොකක් හරි ගැන වැදගත් කට කතාවක් ගියොත් කව්රුත් ඒකෙ ඇත්ත නැත්ත දැනගන්න එන්නෙ කුමාර ගාවට. කුමාරසිංහ තමා අනිතුමා සහ විඅ තුමා ළඟ ලඟින්ම වැඩ කරපු ක්ලාක්. පරිගණක ක්‍රියාකරුවෙක්. මෙයාගෙ පුරුද්ද පොත් කියවීම. ඒ නවකතා කෙටි කතා නෙමෙයි, දහම් පොත්. මටත් ඔික හෙන විහිළුවක් වෙලා තිබ්බෙ කිව්වොත් තමා කතාව හරි. මාත් ඒ දවස්වල හිතාගෙන හිටියෙ පන්සිල් පද පහ කිව්වම ඔක්කොම පව් සුද්දයි නිවාරණයි කියල. ඒ ඉතින් දැනුමෙ හැටි තමා. 


එක දවසක් මෙයා කෑම පැයට හම්බවෙන විවෙිකයෙත් ඇඳේ ඉඳගෙන පොතක් කියව කියව හිටියෙ. කොච්චර වුනත් මම වැඩිය පොර එක්ක විහිලුවට යන්නෑ. විහිළුවක් කළත් පරිස්සමෙන්. බයකට නෙමෙි, උන්දැට ටිකක් ගෞරවයක් තිබුන හිංද. මාත් පොර මොකද්ද මෙි ඇස් පිල්ලං නොගහ කියවන්නෙ කියල බලන්න ළඟින් ගිහින් ඉඳගත්තා. මට තාම මතකයි ඒ කියවපු ටිකේ තිබුනේ රූප වෙිදනා සංඥා සංඛාර විඥ්ඥාන ගැන කියන හෙන විස්තරයක්. මං වම්පැත්තෙ පිටුව කියවන්න පටන් ගන්න කොට කුමාරසිංහ දකුණු පැත්තෙ පිටුවෙ භාගයකුත් කියවල ඉවරයි. ඒත් මං පිටු දෙකම කියවල ඉවර වෙනකං පොර පොත අල්ලගෙන හිටියා. ඉඳලා "කියවල ඉවරද?" කියල ඇහුව. 

මමත් ඔව් කිව්වම 

*උඹට තේරැනාද ඒ කියල තිබ්බ දේවල්?

*මටනං මෙලෝ හසරක් තේරුන්නෑ බං කියල කිව්වම "මං පස්සෙ කියා දෙන්නං" කියල පොත වහල දෙන්නම කාර්යාලයට ගියා. ඒක මං එතනින් අමතක කලා. 

ඊට දවස් දෙක තුනකට පස්සෙ කුමාර සහාය මුරපති රාජකාරියේ හිටියෙ. මම වාහන ආරක්ෂක මුර රාජකාරි හිටියෙ. ඒ දවස්වල එස්කොට් වලට කෝප්‍රල් කෙනෙක් දානවා. ඒක වුණෙත් ආරච්චි නිසාමයි කිව්වොත් තමා හරි. ඒ දවස්වල හිටපු ගමන් ආරච්චි අන්තරස්දාන වෙනවා. ඒ කියන්නෙ  තිබ්බ රථ ගායට අනුව බොලේරො කැබ් එකේ දොරත් කිහිලි ගන්නගෙන යන්න පුලුවන් ගමනක් නම් මාත් ඒ වාහනයට ගොඩවෙලා ගිහින් එළි පහලියේ රවුමක් ගහල එනවා. ඒ යන්නෙ කාටවත් කියන්නැතුව. 


 එතකොටත් මම කෝප්‍රල්. එහෙම ගිය දවසක හදිසි උවමනාවකට මාව අම්බානක කෑම්ප් එකේ හොයලා. ඒ හොයලා හොයලා බැරි තැන මුරපතිගෙනුත් අහලා එළියට යනව දැක්කද කියලා. මුරපතිටත් මාව ගාණක් තිබිල නෑ. එයත් කියල දැක්කෙ නෑ කියල. පැය පහකින් විතර මම ආපහු කෑම්ප් එකට එනකොට කෑම්ප් එකම ගිනි ගොඩක් වෙලා. ගින්නෙ සැර කියන්නෙ ආර්එස්එම්ගෙයි සීඑස්එම්ගෙයි කන්වලිනුත් දුං විසිවෙනවා මාව මුහුනට මුහුණ මුලිච්චි වෙද්දි. එදානං ආර්එස්එම් මගේ කන අතගාන්නංම කියල අත ඉස්සුවත් අතගෑවෙ නෑ. ඒ සීඑස්එම් හිංද. සීඑස්එම් කිව්ව "අතෑරල දාන්න සර්, කෝපල් කෙනෙක්නෙ, ඔිකව පනිෂ්මන්ට් ඩියුටියක් දාමු" කියලා. ඒ හිංද බෙිරුනා. එදා ඉඳන්  කෑම්ප් එකේ එස්කොට් කමාන්ඩර් කියල අළුත් තනතුරක් හදලා මාව දවස් හතක් කන්ටින්‍යු දඬුවම් රාජකාරි නම් කරල ඒකට දැම්මා. මෙි ඊට කලින් දවසක වෙච්චි දෙයක්. ඔය කෑම්ප් එකේ කිට්ටුවෙන් හෙන ඇළක් ගලා යනව. මං විවෙිකයක් හැටියට කැලේ සිරි බලන්න තව දෙතුන් දෙනෙකුත් ඇදගෙන කැලේ යනවා. ඒහෙමත් දවසක කැලේ සිරි බලන්න ගිහින් එද්දි ඇතුලෙ අම්මට සිරි වෙලා තිබුණෙ. එදාත් කෝප්‍රල් කෙනෙක් හින්දා ගුටි නොකා බෙිරිලා "ලාස්ට් චාන්ස්" කියල අවවාද ලබල තිබුනෙ.  ඒත් ඉතින් තිබුනු පුරුදු නිසාත් ඔිවෑ එච්චර ගාණක් නැති හින්දාත් වැඩිය ගණන් ගත්තෙ නෑ. එදා ඉඳන් ඔය " එස්කොට් කමාන්ඩර්" තනතුර පුරුද්දට ගිහින් ඔහු තමා එස්කොට් රාජකාරිය මෙහෙයවන්නෙ. හැබැයි ඉතින් ඊට පස්සෙත් ආරච්චි කම්බි වැටෙන් රිංගල හරි කැලේ සිරි බලන්ඩනං  ගියා. 


එදා අපි දෙන්නට  නිදහසේ පැය ගාණක් කතා කරන්න ලැබුණා. ඒ රෑ නවයෙ විතර ඉඳන් පාන්දර දෙක වෙනකම්. පාන්දර දෙකට තමා එයා ඔිෆ් වෙන්නෙ. මටත් එයාගෙ කතාවට හිත ගිහින් තිබුණු හංද නිදිමතක් දැනුනෙම නෑ. ඒ පැය පහ ඇතුළෙ පොර මට හිතෙන විදියට හාමුදුරු කෙනෙක්ට වඩා පැහැදිලිව සරළව උදාහරණ එක්ක (සමහර උදාහරණ වලට ගත්තෙත් මාවමයි.සංදෝෂයි ඉදිම්) අර කරුණු ගැන දීර්ඝ දේශනාවක් කලා. හැම දෙයක් ගැනම කතා කලා. එතකොට මටත් මෙික තවත් හදාරන්න ඔිනැය කියල හෙන ආශාවක් මතුවෙලා තිබුණෙ. අනෙක පැළැඳ සිටිය නිළය අනුව පොත් පත් කියවන්න ඔින තරම් වෙලාවකුත් විවෙිකයකුත් ඒ වගේම පුස්තකාලයකුත් අපිට තිබුනා. 


අන්තිමෙිදි කුමාර ඇහුව "උඹට ආසයිද ඒව ඉගෙන ගන්න"කියල. මං ඔව් කිව්වම මට පොත් දෙකක් පොර ගානෙ දුන්නා "උඹ මෙි දෙක තියාගනින්, හොඳට කියවල තේරුම් ගනින්, දන්නැති දෙයක් අහපන්" කියලා. තේරුම් ගන්න බැරි වෙච්චි තැන් කිහිපයක්ම පොරම මට තේරුම් කරල දුන්නා. හැබැයි පසු කාලිනව මළ ගෙදරක බණක් අහද්දි, ටීවී එකේ රේඩියෝ එකේ ධර්ම දේශණාවක් අහද්දි උනත් ස්වාමින් වහන්සේලා දේශනා කරපු දේවලුයි කුමාරසිංහ කියල දීපු දේවලුයි වෙනස්කම් තිබුනෙම නෑ. හරියටම කියල දීල තිබුනා. නමුත් තේරුම් ගන්න කාලයක් ගතවුනා.


 එක දවසක් ශීල ව්‍යාපාරයකට සිල් ගන්න මාව පනාගොඩ පඩිකපානාරාමෙට එව්වා. මාත් ආශාවෙන් ආවෙ. එදා පටිච්ඡසමුත්පාදය ගැන පැය දෙකක ⁣ධර්මදේශණාවක් කලේ හමුදාවෙ ඉඳලා පැන්ෂන් ගිහින් මහන වෙච්චි හමුදා මෙිජර් ජෙනරල් කෙනෙක්. නමනං මට හරියටම මතක නෑ. හැබැයි පට්ටම සරළව, තව තවත් අහන් ඉන්න ආසා විදියට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සනටම දේශණාව කලා. ඒ ගොඩක් තැන්වලදි මට හිතුනෙ  "යකෝ එදා කුමාරයත් ඔිකමනෙ කිව්වෙ" කියල. තව තවත් අහන් ඉද්දි දන්නෙම නැතුව වෙලාව ගෙවිල ගියා. මං ඔික ආපහු යුනිට් එකට ගිහින් කුමාරයට කිව්වම " ඒක තමා බං ඇත්ත, හරියට තේරුම් ගත්තනං ලොකු දෙයක්." කියල. පස්සෙ කිව්වා මාව ශීල ව්‍යාපාරයට යන්න නම දැම්මෙත් කුමාරමයි කියලා. ඒ වෙනකම් ඔිකට යන්න මට මගේ නම දාපු එකා හොයා ගන්න බැරුවයි හිටියෙ. ඒ පස්නෙත් එතනදිම විසඳුනා. පොර ආයෙ පොත් දෙකක් මට තියා ගන්න දුන්නා. ඒවත් සමහර තැන් කට පාඩම් වෙනකම් කියවල තියේ. මෙි වෙද්දි පටිච්ඡසමුත්පාද විවරණ පොත (රේරුකානේ චන්දවිමල හිමි) එකොළොස් වතාවක් කියවල තියේ. ඒ පොතනම් කියවන්න කියවන්න ආසයි. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ජීවිතේට පොතක් නාල්ලපු මම මෙි වෙද්දි දහම් පුස්තක විතරක් 183ක හිමි කරුවෙක්. ඒ හැම පොතක්ම දෙපාරකට වැඩියනම් අනිවාරයෙන්ම කියවල තියෙනව. සුවඳ පවුඩර් නවල්නම් හුරුවක් නෑ, ඒත් ඓතිහාසික කතා සිද්ධි ගැන ලියවුණු පොත්නම් අදටත් කියවනවා. අන්තිමෙිටම කියෙව්වෙ අහම්බෙන් හම්බවෙච්චි සෝමපාල රණතුංග මහත්මාගේ "ශෛල කල්‍යාණි"  පොත. දැන් කියවමින් ඉන්නෙ බෂාම් මහත්මාගෙ "අසිරිමත් ඉංදියාව" පොත.  පිස්සෙක් වගේ පොත් කියවන්න හුරුවුනාම ඒක අතාරින්නම බෑ. අනික ඒ පොත් කියවද්දි කියවද්දි තේරුම් ගියේ "බාලාංශ වැඩ කර කර ගෙවපු පිස්සු ජීවිතේ අපරාදේ" කියලා. ඒකත් තේරුම් යන්න වාසනාවක් තියෙන්නම ඔින. කොහොමහරි මාව දිරවන්නැතිව සමහර තැන්වල එකට රාජකාරියක් වැටුනත් කොහොමහරි තමන්ගෙ නම අයින් කරගෙන මාව මග හැරපු කුමාර මට ජීවිතේ හමුවුණු සුවිශේෂීම පුද්ගලයෙක් වුනා. දහම් කරුණු තේරුම් යද්දි සුපුරුදු ජීවිතෙන් අයින් වෙලා "වැදගත්" වෙන්න මට පුලුවන් වුනා. මාණ්ඩලික සැරයන් නිළයේ සිට තැන්පත්ම චරිතයක් බවට පත්වෙන්න උත්සාහ කලා. සමහර තැන්වලදි පුරුද්ද මතුවුනත් කලින් වගේ එහෙම වුනේ නෑ.. සමහරු මට කතා කලේ "පිස්සා" කියලා අගට "ආරච්චි" නම කියලා. පසුකාලීනව විශේෂණ පද සියල්ලම අයින් වෙලා ආරච්චි විතරක් වෙන්න මට හැකිවුණා. ඒකත් වැදගත් විදියට. ඊටත් පස්සෙ "ඒ කතාව ඇත්තද නැත්තද කියල කුමරගෙන් අහල බලපං" කියනවා වාගෙ ඒක "කුමාරගෙන් හරි ආරච්චිගෙන් හරි අහල බලපං" කියන මට්ටමට ආවා. සරලව කතාව කිව්වට ජීවිතයක් වෙනස් කරපු කතාවක් මෙික. අදටත් මම මගේ දරුවන්ට බණ කතා කියා දෙනවා. හොඳ නරක හොඳට කියා දෙනවා. ඒ වගේම මෙි ආපු ගමන සහ යන ගමන 2028 අවසාන වස් පොයෙදි නිමා කරන්නත් තීරණය කරලයි තියෙන්නෙ. ඒකට බිරිඳගෙන් පවා අවසරය ලැබිලයි තියෙන්නෙ. එයා අවසරය දුන්නෙ එක් කඩඉමකින් පස්සෙ. ඒ කඩඉම 2028 ඉවරයි. 


පොතක පිටු දෙකක් ගියපු දුරක්...ඒ පිටු දෙක අයත් පොත "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි!! කියන කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ පොත. 

ඒ වගේ කල්‍යාණ මිතුරන් හැමෝටම ලැබෙන්නෑ කියලයි මට දැනටත් හිතෙන්නෙ. ඒ වෙනුහවෙන් කුමාරට කරපු ප්‍රාර්ථනය මං ඒකක මාරුවීම් වෙද්දි කුමාරගෙ අත් දෙක අල්ලල  කරල ආව නිසා බුකියෙ දාන්න අවශ්‍ය වෙන එකක් නෑ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.03

7 comments:

  1. Umba nam puduma minihek bang, Adahanna watina porak, Wijebahu

    ReplyDelete
  2. ඇත්ත වශයෙන්ම රුවින් පමුදිත යද්දෙහිආරච්චි මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක් මෙවැනි මිත්‍යා දෘෂ්ඨික ආගමක් ප්‍රචාරය කිරීම ගැන. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    රුවින් පමුදිත යද්දෙහිආරච්චි මැතිතුමා කියන්නේ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් යද්දෙහිආරච්චි මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න රුවින් මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ පොතක් ලෙසින් ඇවිත් තිබෙන්නේ ඔබතුමාගේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
    Replies
    1. ගරු මහත්මයාණනි,

      මගේ පියා ක්‍රිස්තියානි. නමුත් කවමදාකවත් පන්සල්වත් පල්ලිවත් ගිහින් නෑ. අම්මා බෞද්ධ. මමත් කවමදාකවත් පල්ලි ගිහින් නෑ. උප්පැන්නෙත් කොහොමහරි බුද්ධාගම වැටිල තියෙනවා. නමුත් මම පුංචිකාලෙ ඉඳලම පංසල් දහම්පාසැල් ගියේ. මගේ ක්‍රිස්තියානි ඥාතීන් ගොඩක් ඉන්නවා. මොරටුව,ඉඳිබැද්ද,කටුකුරුන්ද,අඟුලාන,රත්මලාන,මණ්ඩාවල,හංවැල්ල,බොහොමයක් බෞද්ධ, සුළුතරයක් ක්‍රාස්තියානි. බුද්ධාගම ඇරුනම මම ගොඩක් ආදරය සහ ගෟරව කරන ආගමක් ක්‍රාස්තියානි කියන්නෙ. ඒ ආගමත් ටිකක් හදාරල තියෙනව. සුරුවමක් දැක්කත් නැගිටලා ගෞරව කරන සහ ෆාදර් කෙනෙක් කන්‍යා සොයුරියක් දැක්කම කතා කරන සහ කාලයක් කොන්තයක් කරේ දාගෙන හිටපු කෙනෙක්. නමුත් පුංචිකාලේම ඉඳල හුරුවුන සහ ඇදහුවෙි ඉගෙනගත්තෙ බුද්ධාගම. පුංචිකාලෙ පිරිත් කියන්න ගිහින් තියෙනව වගේම මහන වෙන්නත් බෝපැත්ත(අත්තනගල්ල) පිරිවෙනේ අවුරුද්දක් විතර නැවතිලා ඉඳලත් තියෙනවා. ඒ අනුව තමා මම බුදුහාමුදුරුවන්ට ආදරය කරන්න ඒ ආගම හදාරන්න අදහන්න පුරුදු වෙන්නෙ. ඔබ තුමා කිව්ව වගේ යාඥා මෙහෙයදි යාඥා කරනවා කිව්ව වචනයටත් මම ආදරෙයි. බොහෙමෙත්ම ස්තුතිිවෙිවා ඔබ තුමාට. මම ඔබ තුමාව කවදාවත් දැකලත් නැහැ.ආශ්‍රය කරලත් නැහැ. ඒත් හදවතට එකඟව ඔබ තුමාට ආදරෙයි.

      Delete
  3. අවශ්‍ය අයෙකුට පටිච්ඡසමුත්පාද විවරණ පොත (රේරුකානේ චන්දවිමල හිමි) මෙතනින්


    රේරුකානේ හිමියන්ගේ අනෙක් පොත් මෙතනින් ද බාගත කළ හැකිය.


    ඔබට පින් සිදු වේවා!

    මේ වගට
    Myself Hattor

    ReplyDelete
  4. මගේ දෙවෙනි link එක වැඩ නොකරන සේ පෙනේ.
    ඒ වෙනුවට
    https://download.ifbcnet.org/
    භාවිතා කරන්න.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  5. පැවිදි වෙච්ච මේජර් ජෙනරාල්වරයා ආනන්ද වීරසේකර (බුද්ධංගල ආනන්ද හිමි ) ද?
    සරත් වීරසේකර ඇමතිගෙ අයියා.

    ReplyDelete
  6. //විශ්‍රාමත් අරගෙන අවුරුදු තුනක් විතර වෙච්චි මටත් තාම හතළිස් තුනයි
    මේක නම් කලින් comment එකට දීපු උත්තරයක් වගේ . පැන්සොන් ගිහිල්ලත් 43 කියන්නේ අර පටි ගැලවෙන සීන් වුනේ නැත්තම් අඩුම වයසෙන් sgt ගහලා වාර්තාවක් තියන්න තිබුනනේ

    //සිව්රෙ හිටියනං සිව්රෙ හිටපිය කිය කියාත් ගැහුවා. බැන්නෙ සිවුරටමයි
    උඩ comment එක කෝප්‍රල් ජෝෂප් ගේ අවතාරේ වෙන්න ඕනේ

    ReplyDelete