Sunday, October 31, 2021

මීයම්කුළම් වැහි කාලෙ

 මුරුගසං වරුසාවත් ගිනි ගින්දරේට පායන අව්වත්, රැයේ මහ කරුවලත් රෑට මහ පොලවට පතිතවන පින්නත් සෙබළෙකුට එල්ල කරන්නේ මහත්ම වූ පීඩාවක්. රළු කාකි ඇඳුමෙන් වහගෙන ඉන්න සිරුරෙන් අව්වට දාඩිය පිටවීමත් වැස්සෙදි සීතල දැනීමත් අඩුවක් වෙන්නෙ නෑ. වැහි කාලෙට තමා ජීවිතේම එපා වෙන්නෙ. කොච්චර නොතෙමී ඉන්න උත්සාහ කලත් ඒ උත්සාහයේ හැටියට තමා වැඩිපුරම තෙමෙන්නෙ. අවට ගෙයක් තියා ගෙයක් තියෙන පලාතක්වක් ⁣නැති කඳවුරක රෑ රාජකාරියට එළියට ගියාම දැනෙන ෆීලින්ග් එක නිවන් ගිහින්වත් ගන්න බෑ. වැස්ස කියල කොටි නොගහ ඉන්නෙත් නෑ. අනෙක් අතින් ගත්තම වැහි කාලෙ අන්තිම අනතුරුදායකයි. කොටි තියා ඩෝසරයක් ලඟට ආවත් ඇහෙන්නෙ නෑ. ඒ නිසා යන්න ඔින තැනට ගිහින් චුට්ටක් එහාට මෙහාට වෙලා තල් ගහකට හරි හේත්තුවක් දාගෙන වැස්ස පායනකම් හිටගෙන ඉන්න එක තමා කරන්න තියෙන්නෙ. කඳවුර ඇතුලෙ ජීවිත ගණනාවක වගකීමක් එක්ක මෙහෙම එළියට යන රාජකාරියක වගකීමත් ඉතා ඉහලයි. ඒ වැහි දවස්වල වෙලාව යන්නෙත් ගොඩක්ම හෙමින්. පැයක් ගතවෙන්න පැය ගානක් වගේ යනවා. 


ඒ මීයම්කුලම් කඳවුරමයි. එදාත් හරි වැස්ස. තොප්පිගල අහස කලුම කලු පාටට වලාකුළු වලින් ගැබ්බරවුනාම ඊට යටින් තියෙන  පෙනෙන තෙක්මානයේ ඉලුක්වලින් ගහන වු විවෘත භූමියත් වැස්ස වැහැලා වැහැලා තැනින් තැන පුරන් කුඹුරු පිරී ඉතිරී නියරවල් උඩින් වාන් දමන වතුරත් එක්ක කුඹුරුත් අහසෙ පාටට හැරුනම හාත්පසම මහා අඳුරුයි. වැස්සක් අවසානයේ පැහැදිලි ආලෝකයක් එක්ක පොලවට පාත්වෙන මීදුම, පොලවෙන් ඉහල නගින මීදුමත් එක්ක එකතුවෙලා පේන්නෙ කිරිමුහුද මීයංකුලම්වලට ඇවිත් වගේ. ඒ අතරින් පතර අහස සිඹින්න වගේ ඉහල නැඟුණු රූස්ස තල් රුප්පා සහ පරන වැව්වල වාගෙ අලු පාටට හැරී බාගෙට සහ සම්පූර්ණයෙන් මැරී ගිය ගස්වල කඳන් සිහි කරවන්නෙ අපි අමුතු ලෝකෙක ඉන්නව වාගේ. හවස තුන වෙද්දිත් හවස හයට හයහමාරට වගේ ඇඳිරිය පැතිරුණු හාත්පස දැක්කමත් "අදත් මං එලියෙ ඩියුටි" කියල හිතුනමත් දැනෙන හැඟීම හරිම චමත්කාරජනකයි.  හවස හතරට එළියට ගිහින් ජීවිත තර්ජනයකුත් එක්ක පහුවදා උදේ නවයට දහයට විතර ආපහු කඳවුරට එනකම්ම වැටෙන හැම වැහිබිඳුවකටම තෙමෙන කෙනෙක් වෙත්නම් ඇත්තටම ඔවුන් තමා ජීවිතේ සුපිරියටම විඳපු මිනිස්සු. ඒ කියල පහුවදාත් ඒ රෝල් එකම තමා. මීයම්කුලම් කඳවුරෙන් තොප්පිගල පැත්තට තමා මාරම ලස්සන. අද වගේ ඒ කාලෙ ඔහෙ කැලේ වැවිල තිබුනෙ නෑ. තෙත බරිත වෙලා රේල් පාර පැන්නම බූට් අස්සෙන් ඇහෙන  "චප-චප" සද්දෙත් එක්ක පෙනෙන තෙක් මානයේ ලොකු වටයක් ගිහින් (පැට්‍රෝල්) ආයෙත් රේල් පාර කිට්ටුවට ඇවිත් සතුරා එන පාර බ්ලොක් කරගෙන "හ්ම්" සද්දයක් නැතුව හැංගිලා බලං ඉන්න කණඩායමක් වුනාමත්, ඒ වගේ තැනකට වුනාම නිරෝෂා විරාජිනීගේ සිංදුවක් කියාගෙන කන වටෙි රවුම් ගහන මදුරු රෑන් එක පාරටම සින්දුව නවත්තලා මහ පොලවෙ ගොදුරක් දැකපු කුරුළුගොයෙක් වාගෙ එක පාරටම "සිග්" ගාගෙන ඇවිත් ඇඟේ කොහෙ හරි වහලා ලේ උගුරක් අදින්න ගත්තම ඇඟ විතරක් හොලවලා මදුරුවා පන්නන එක සිම්පල් දෙයක්. ඒ කාලෙට තමා "මනුස්සයන්ටත් නැට්ටක් තිබ්බනම්" කියල හිතෙන්නෙ.  හැබැයි ඒ ජීවිතේ මිහිර ආයෙත් විඳින්න තියෙනවනම් කියල දැනුත් හිතෙනවා. 


ඔය වැහිබර දවසක හවස නියරවල් අස්සෙ ඉඳගෙන "එරික්-එරික්" කියල නැත්තං "ෆයර් ෆයර්" කියල එහෙමත් නැත්තං "ස්පෝක්, ස්පෝක්" කියල යටි ගිරියෙන් බෙරිහන්දෙන ගෙම්බන්ගේ සද්දෙ මැදින් අපි මහ පාරට ආවෙ හවස හතරට විතර. ඒ රාත්‍රී රාජකාරි සඳහා. මෙි රාජකාරිය එන්නෙ රාජකාරි දෙකක් එක්ක. එකක් පැට්‍රෝල් එක. අනෙක සවන්දීමෙි මුරය. එදා හතරට මහ වැස්සෙම කඳවුරෙන් දොට්ට බැහැලා වාලච්චෙින පැත්තට මහ පාරේ කිලෝමීටර දෙකක් විතර ඇවිත් එතනින් තොප්පිගල පැත්තට තිබුනු කරත්ත පාරෙත් කිලෝමීටරයක් විතර ඇවිත් ආයෙ එතනින් පොඩි ඇල බන්ට් එකකට හැරුනම හොඳටම ඇඳිරිය වැටිලා. ඇඳිරිය කිව්වට වැහි අඳුර. වෙලාව පහට විතර ඇති. ඒත් හයහමාරට විතර කලුවරයි. නියෝග අනුව එතනින් එහාට යන්න තිබුනෙ බන්ට් එකට දකුණු පැත්තෙන්. ඒත් මෙතනට ආවහමයි දැක්කේ යන්න ඔින පාරෙ දනක් විතර වතුර පිරිල කියල. ඊට පස්සෙ අපි හතර දෙනා නැවත රේල් පාරට ඇවිත් ඒ දිගේ මීටර් සීයක් විතර කඳවුර පැත්තට එන්න පටන් ගත්තා. ඇවිත් බෝක්කුවක් ගාව නතරවුනා.  මෙතන ඉඳන් කඳවුරට අහස්දුර කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර ඇති. මෙතැන තමා අපි රැය නවතින්න යන්නෙ. වැස්ස තුරල් වෙලා තිබුනත් ආයෙ වැස්සක් ආවොත් රිංගන්න හොඳ පඳුරු දෙක තුනකුත් බලාගෙනමයි ආවෙ. ඒ ආවෙත් අපි මහ පාරෙ  එනව කව්රු දැක්කත්, මහ පාරෙන් හැරුනත්, ඒ දැකපු කෙනාට එතනින් එහාට "මුංට මොකද වුනේ යකෝ "  කියල හිතාගන්න බැරි විදියට කලුවරේ "මීක්" සද්දයක් නැතුව. හැබැයි වැස්ස මදක් තුරල් කරල තිබුනෙ. ඈත අහසෙන් රෑ එකොළහට විතර හඳත් යාන්තම් මෝදුවෙන හැඩක් තිබුනෙ. ඒත් වැහි අඳුර සැරෙන් සැරේ ඇවිත් හඳ වහ ගන්නවා. අපි හතර දෙනා රේල් පාරෙ තිබුන බෝක්කුවක් උඩ තොප්පිගල පැත්තට මුහුණ දාගෙන ඉඳගෙන හිටියෙ. එකොලහ වෙද්දි දෙන්නෙක් ඉඳගත්තු විදියටම දිගෑදිලා නිදා ගත්තා. මාත් තව එක්කෙනෙකුත් තමා ඇහැරලා හිටියෙ. වෙලාව කෙමෙන් කෙමෙන් දොලහට කිට්ටුවෙිගෙන එද්දි  දුරකින් එක පාරටම කිරල්ලු කෑ ගහගෙන ඉගිල්ලෙන්න ගත්තා. ටිකක් දුර නිසාත් සමහර විට නරි නිසා වෙන්න පුලුවන් නිසාත් අපි දෙන්නා වැඩි ගානකට නොගත්තත් පරිසරයට හොඳට කන්දීගෙන අවධානයෙන් හිටියා. ඒ ඊටත් මෙහායින් ආයෙ ඔය වගේ සද්දයක් එයිද කියල බලාගෙන. අපිව මෙතනින් පිටට පේන්නෑ. බෝක්කුවෙ යකඩ ඇඳි දෙකට අපිව වැහිල තියෙන්නෙ. මෙික බෝක්කුවක් උනත් වතුර ගහගෙන යන තැනක් නෙමෙි. ඒ ඇල මාර්ග පස් සහ වැලි කපන ට්‍රැක්ටර්වලින් වහල දාල, ඇල මාර්ග වෙනස්වෙලා. 

ඔහොම තව ටිකක් වෙලා යද්දි නොහිතුව විදියට ආයෙත් කිරල් සද්දෙ ඊට මෙහායින් ඇහුණා. අනුමානයේ හැටියට ඔය සද්දෙ එන්නෙ කරත්ත පාර දිගේ. ඒ කිරල් සද්දෙත් ටිකක් දුරින් ඇසුන නිසා තව ටිකකින් අනෙක් දෙන්නට කතාකරනවා කියල කතාවෙලා වැඩි අවධානයකින් නැවත ඉදිරි භූමිය දිහා බලාගෙන හිටියා. අපි දෙන්න හිටියෙ බොක්කු ඇන්දෙ දෙපැත්තට වෙලා. ටික වෙලාවක් යද්දි  ඈතින් නරි රැළක් හූ කියන සද්දෙත් ඇහෙනව. තව පැය භාගයක් විතර යද්දි කලින් දෙපාරටම වඩා කිට්ටුවෙන් අපි හිතුව විදියටම හේන් පැලක හිටපු බල්ලෙක් කාට හරි බුරනව ඇහුණා. හේන් තියෙන්නෙ මෙතනින් එහාට මීටර් 500ක විතර දුරකින්.  කොටි ආවත් මෙහෙම එන්නෑ. උන් එන්නෙත් කිසිම සද්දයක් නැතුව. මොකද උනුත් දන්නවා මෙි කිට්ටුව කොහේ හරි හමුදාවෙන් රැකගෙන ඉන්නවා ඇති කියලා. ඒත් මෙි වගේ කාරණාවන් වලට වාසනාව අවාසනාවත් බලපානවනෙ. ඒ බල්ලා බුරන සද්දෙත් එක්කම අපි අනෙක් දෙන්නත් අවදිකලා. කෝප්‍රල්ට සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කලා. කෝප්‍රල් රෙස්ට් කරාට අවදියෙන් ඉඳලා තියෙන්නෙ. පළවෙනි කිරල් සද්දෙ ඉඳන්මත් අහගෙන ඉඳලා තියෙන්නෙ. ඊළඟට අපි හතර දෙනාම හොඳට සද්ද අහගෙන බිම දිගාවෙලා උන්නු තැනම බලාගෙන හිටියා. පෝයක් පහුවෙලා තිබුනු නිසා හඳත් පායලා අහස්මුදුන පහුකරලා ගොඩක් වෙලා. එතකොට කෝප්‍රල් ගුවන් විදුලියෙන් කඳවුර දැනුවත් කලාම හොඳට බලාගෙන ඉන්න කිව්වා.  අපි රේල් පාරෙන් වමට බැහැලා නැවිලා සද්ද උපරිම අඩුකරලා හිමීට හිමීට සද්දෙ ඇහෙන පාර පැත්තට පුලුවන් තරම් කිට්ටුකලා. අපිට මීටර් සීයකටත් වඩා අඩු දුරක් ඒ කරත්ත පාරට තිබුනෙ. හරිම රසවත් ඉතිං. අපි ආයෙ මගට එද්දිම හොඳටම තේරුනා මෙි එන්නෙ මිනිස්සුම ජාතියක් කියලා. උනුත් සද්ද නෑහෙන්න ආවත් මගදි සිදුවුණු ඇබැද්දි නිසා නතර වෙවී එන්නෙ. කොහොම හරි අපි උන්ට කලින් පාරට කිට්ටු කලා. 


ටික වෙිලාවක් ගියා. සද්ද බද්ද සියල්ල නැවතුණා. හැඟීමෙි හැටියට දෙගොල්ල අතර මීටර් සීයකටත් වඩා අඩු දුරක පරතරයක්. අපිත් පඳුරු ගොන්නක තණ කොලේක  බිම දිගාවෙලා හොඳට බලාගෙන හිටියා.  පැයක් ගියා. පැය බාගයක් ගියා. කිසිම හැලහොල්මනක් නෑ. ආයෙත් පැය කාලක් විතර යද්දි දුරකින් ඇවිදින සද්දයක් ඇහුණා. විනාඩි දෙකක් වගේ කාලයක් ඒ සද්දෙ තිබිල නැවතුණා. ආයෙත් ටික වෙලාවකින් එහෙම වුනා. ආයෙත් එහෙම වුනා. ඒ අතරෙ ටී56 අවියක යූබෑග් ස්ලයිට් එකේ උඩ කොටස ඉස්සිලා ආපහු වදිනවා වගෙ සද්දයක් ඇහුනා. 

අපි නිගමනය කලා අරවගේ සද්දයක් ඇහෙන්න තරම් ලඟකට උන් ඇවිත් තියෙන්නෙ කියලා.  අපි තීරණය කලා කඳවුරේ උපදෙස් අනුව එන මොකාට හරි පහර දෙනවා කියලා. කෝප්‍රල්, හවස ලබාගත් රාජකාරි නියෝග සහ උපදෙස් අනුව රේඩියෝ සෙට් එකේ හෑන්ඩ් සෙට් එක දෙපාරක් පිට පිට ප්‍රෙශ් කලා. දැන් කඳවුරත් දන්නවා ප්‍රහාරයක් අතලඟ කියලා. ඒත් එක්කම කඳවුර ඇලර්ට් වෙනවා. මෙි කඳවුරටවත්, අපි වගේ කුඩා කන්ඩායමකටවත් පහර දෙන්න එන ටීම් එකක් නෙමෙි. එක්කො ක්‍රොසින් එකක්,නැතිනම් මාර්ග සෝදිසිය කරන කණ්ඩායමට පහර දෙන්න එන ටීම් එකක්. ඒ දෙකම නොවුනනං මීට කලින් ඔවුන් කොතනකට හරි ප්‍රහාරයක් එල්ල කරලා. නැතිනං මෙි වෙද්දි ගිහින්.

එහෙමත් වෙලාවක් ගතවෙලා ගියා. අපිත් ඉහ ලඟම කොටි ටික තියාගෙන මොහොතක් ඇස් පිල්ලන් නොගහ අඩුම හයියෙන් හුස්ම ගන්න එකත් නවත්තලා හිටිපු ඉරියව්වෙන්ම එලිවෙනකම් හිටියා. කඳවුරේ ගොඩක් අය මුකුත් වෙනසක් නැති නිසා ගේම අමතක කරලාද දන්නෑ. දැන් වෙලාව උදේ පහයි. අපි මෙතනින් යා යුතු වෙලාව පහුවෙමින් තියෙන්නෙ.  අපි පහට මහ පාරට කිට්ටුකර මාර්ග සෝදිසි කණ්ඩායම එනකම් සිටිය යුතුයි. ඒත් අපිට ඉන්න තැනින් නැගිටින්න බෑ. දැන් දන්නවා මුං අනිවාරයෙන්ම මගට වෙලා ඉන්නෙ උදේ අට විතර වෙනකම් කියලා. ඒ වෙලාවට තමා අපේ මාර්ගය සෝදිසි කිරීමෙි කණ්ඩායම හා පිකට් එක රාජකාරිය පටන් ගන්නෙ. ඒ කිට්ටු වෙනකොට මුං කැලෙන් කැලෙන් පාර දෙපැත්තට කිට්ටු කරලා ගේම පටන් ගන්නවා.


අපිත් බලාගෙන හිටියෙ "තොපිත් කීයට හරි නැගිටපියව් කො" කියලා.  පැය කාලක් ගියා. කඳවුරේ බැකප් එක අපි වෙනුවෙන් සූදානමින් මහ පාරෙත් ටික දුරක් ඇවිත් කෝන් ගහ ගාව නැවතිලා ඉන්නෙ. ඒ අපි වගේ එළියට යන අයගේ ආරක්ෂාව වෙනුවෙන් කඳවුරේ  සැලැස්ම. පහමාරයි. ලයිට් මැෂින් ගං එකක ලින්ක්ස් එකක් අවියෙම වදින ශබ්දයක්. හිමින් කතා කරන ශබ්දයක්. කෝප්‍රල් නට්ටටම සද්දය අඩු කරල තිබුනු ගුවන් විදුලියෙ හෑන් සෙට් එක තුන්පාරක් ප්‍රෙශ් කරලා ප්‍රහාරයකට සූදානම් කියලා කඳවුරට ඇඟෙව්වා. කඳවුරෙන් දෙපාරක් ප්‍රෙශ්කලා. ඒ කියන්නෙ සියල්ල සූදානම්. උනුත් එන පාටක් නෑ. එළිය වැටුනොත් ඔක්කොම අවුල්. ඒ නිසාම කෝප්‍රල් K400 හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් පූචස් එකෙන් එළියට අරං කලුවරේම දනගහගෙන සද්දෙ ඇහුනු පැත්තට විසිකලා. ඒක පුපුරනවත් එක්කම දෙපිරිසේම ප්‍රහාරය ඇරඹුනා. අපි හතර දෙනාට හැරෙන්නවත් බැරිවුණා උන්ගෙ වෙඩි බලයත් එක්ක. ඒත් අපි හතර දෙනාත් විනාඩි පහක් අල්ලන් හිටියා. උන්ට බබා හම්බවෙන්නෙ අපෙ බැකප් එක ආවම. හිතුවටත් කලින්ම බැකප් එක අපිට කිට්ටුවුනා. බැකප් එක වෙඩි තියාගෙන එද්දි උන් දුවන්න පටන් ගත්තා. දුවද්දිත් වෙඩි උණ්ඩ පොකුරු පොකුරු හුවමාරුවුනා. අපි  නැගිටලා පාරට ඇවිත් වෙඩි තිය තිය පස්සෙන් එලවන්න පටන් ගත්තා. අපි ඇල ගාවට ඇවිත් නතරවුනාම කඳවුරෙනුත් බ්‍රිගේඩයෙනුත් ආටි සහ මෝටාර් අහස විදගෙන එන්න පටන් ගත්තා. අපි පන්නන එක නවත්තලා රේල් පාරට ගොඩවෙලා අපේ ආටි මෝටාර් අපිට නොවදින්න ආවරණ ගත්තා. උදේ හයයි කාල විතර වෙද්දි අන්තිම මෝටාරයත් පුපුරා ගියාම බැකප් එකේ දහ දෙනත් අපි හතර දෙනාත් එකතුව සෝදිසි මෙහෙයුම් දියත් කලා. එල්එම්ජී ලිනික්ස් කැළි, සහ මැගසිනයක් ඇරෙන්න වෙන මුකුත් තිබුනෙ නෑ. හැබැයි ප්‍රහාරයේ හැටියට උන්ට විශාල හානියක්  වෙලා තියෙන්නම ඔින. ඉතාම ළඟින් උනත් ඉලුක් සහ කුඩා පඳුරු නිසා අපි වෙඩි තිබ්බෙ සද්දෙ එන පැත්තට මිසක් ඉලක්ක කරගෙන නෙමෙි. උන් දුවනව දැක්කම තමා "හීග්" ගෑවුනෙ. අපි මදුරුවෙක්ට තැලුවත් සද්දෙ ඇහෙන දුරක මුං ඉඳල තියෙන්නෙ. එත් සටනෙන් අපිට කිසි අවුලක් වුනේ නෑ. 


ඒ විදියට රැයක් පහන්වන තුරු අතේ දුරටත් වඩා ලඟක සතුරු පිරිසක් තියාගෙන හුස්මවත් නොගෙන හිටපු අපි උන්ට පහර දීලා එලවා දමන්නටත් එලව එළවා පහර දෙන්නටත් අපිට පුලුවන් වුකා. එදින හවස බ්‍රිගේඩයේ බුද්ධි අංශය විසින් එම ප්‍රහාරයේ ෆීඩ්බෑක් එක කඳවුරට දැනුම් දී තිබුනා. ඒ එක් අයෙක් මියගිහින් සහ තුන්දෙනෙක් බරපතල තුවාල වශයෙන්. සතුටුයි.උන් ඉස්සරවෙලාම අපේ මාර්ග සෝදිසි කණ්ඩායමට  පහර දුන්නනම් මෙි ප්‍රථිපලය බොහොම වෙනස් එකක් වෙන්න හොඳටම ඉඩ තිබුනා. 


හැබැයි අපි හිටපු බෝක්කුවට බෝක්කු දෙකකට එහායින් තිබුනු (වාලච්චෙින පැත්තට) බෝක්කුවක් උඩදි තමා අපේ අසල්වාසී කඳවුරේ සහෝදර සෙබළුන් දෙදෙනෙක් මියගියේ. එදාම ඒ ප්‍රහාරයෙන්ම මහ පාරේ බෝක්කුවක් අසලදි ඒ කඳවුරේ නිලධාරි අණදෙන තුමාත් එතුමාගේ බඩියාත් අර දෙදෙනාත් එක්කම එකොලහක් මියගියේ. අද වෙද්දි ඒ තැන් කැලෑවට වැහිලා ගිහින්. ටී හංදියෙ ඉඳලා වාලච්චෙින පාලම ගාවට එනකම් පාර දෙපැත්තේ තියෙන තල්ගස්වලට කතා කල හැකිනම් ඔවුන් කියාවි මෙි පාරේ සෙබළුන් තම ජීවිත පුජාකල අයුරු.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.10.31

3 comments:

  1. සත්තු කෑගහන ඒවා , අඳුරු කාලගුනේ චිත්තරුප මවන්නේ හොල්මන් චිත්තරපටියක වගේ. කියවද්දිත් හිතෙන්නේ දැන් කොටි ගහයි දැන් කොටි ගහයි වගේ දෙයක්.
    කියවන අපිට එහමනම් ගියපු උඹලට කොහොමට ඇතිද ?
    හැමදාමත් වගේ ස්තුති !!

    ReplyDelete
  2. Hi Ruwan, I am 62 yrs old and now not living in Sri Lanka. But My mom, brothers & Sisters, Relatives, Friend and all the people I loved, are still enjoying their life because of guys like you. We Never forget. Always think that we highly appreciate your dedication for ever, I repeat " for ever". Your kids, Family & friends can proud of you with all SL citizens, irrespective of whether they are sinhalese, Tamils or Muslims or any other. Jayasinghe

    ReplyDelete
  3. අපිට කරන්න තියා හිතන්න වත් බැරි දේවල්.. ආඩම්බරයි ආරච්චි! 

    ReplyDelete