Tuesday, April 5, 2022

දිවියලෝකෙ විනාඩියක්

 සිල් පිරෙන මන්දාරම් හවසක දිවි සැරියෙන් මොහොතක් ගත කර දිගු, එහෙත් වැදගත් ගමනක් සඳහා සිත පහදවා ගෙන එරමිනියා ගොතාගෙන ගෙයි මුල්ලෙහි වාඩි ගතිමි. අපුන්දෑ සහ අපුන්දෑගේ පඩි පෙල් පඩිපෙල් දරු පැටව් ටිකත් දක්කගෙන අවුරුදු දහයකින් යටට ඇඳල නෑ වගේ, මාගෙ වම් හක්කේ හයියම දතකුත් ගලෝගෙන තිලකවර්ධන එකට ගියේ "ඉතුරුවුනොත් තෞසෙටත් මොනාහරි ගේන්නම්" කියා කියාගෙන. ඉතුරුවුනොත් විතරක් මට ලැබෙන  ටීෂර්ටයක් හෝ සතියක් ඇන්දම දාරෙ දිගේ "බ්රාස්" ගා පැලෙන, දහක් දෙනා අතගා, තේරිලා තේරිලා ඉතුරුවුන "30% OFF" රාක්කෙන් රුපියල් 300ට 400ට මිලදී ගන්න කසි කබල් ඒ ඇඳුමට කවදත් වහල් වෙච්චි මං, හිත හදා ගත්තේ "මට මොකටෑ ඔය කෝලං" කියල හිතාගෙන.

හැබැයි මං මහා සතුටකින් ගෙදර නැවතුනේ මේ දවස්වල රෙදි කඩවල් ඉස්සරහ දොරටු පාලයන් වගේ තබා ගිගුම් නංවන තැරි දාර බෆල් හතරේ සෙට් වලින් ඇහෙන මෙලෝ හසරක තේරුමක් නැති " මා මිය ගියාම තාප්පෙ පුරා සුදු අතින් පෝස්ටර් අලවන්න" කියා විලාප දෙන ගීත අහනවට වඩා, ගෙදරට වෙලා නමෝ විත්තියෙන් සුපුරුදු දැහැනට සම වැදිලා දෙයියන්ගෙනුත් ආතල් එකක් ගන්න එක හොඳයි කියා හිතුනු නිසා. අනික අහින්සකයෙකු පයෙන් පාගා ගත් යම රැජිනත්, උන්දැගේ පඩිපෙල් ටිකත් රෙදි තෝරන්න ගියාම එතන ඉන්න සේල්ස්මන්ලගෙනුත් කුනුහරුප අහගෙන තමා දොට්ට බහින්නෙ. ඊට මීට වඩා ගෙදරට වෙලා මෙහෙම දෙයක් කරගන්න එක හොඳයි.


මාත් සුපුරුදු විදිහටම පිරිසිදු වෙලා, බුදුන්ට මල් පහන් පූජා කරලා මුලින්ම විශ්වයෙන් ඇහෙන "ඔිම්" ශබ්දයට සවන් දීගෙන ඒ ශබ්දයටම අනුගත වෙන්න පටන් ගත්තා. ටිකක් විතර දුරකට සිත දැහැන් ගතවීගෙන ආවා විතරයි එක පාරටම උඩහ ගෙදර මයිකලයගෙ ලැහැටු කනාටු ගෙරි බලු තඩියා බෙරිහන් දෙන්න පටන් ගත්තා. මං ඉඳගත්තටත් වඩා වෙිගෙන් හිටගෙන මිදුලට පැනලා මයිකලයට උණ ගැනෙන්ඩ බලු තඩියට ගඩොල් බාගෙකින් දමලා ඇරියේ තිරිසන් අපායෙ උප නූපන් සියලු සත්වයන්ගේම පලු අරිමින්. ඒකා කොහොමත් මෙි වගේ වැදගත් වැඩක් පටන්ගන්න කොට ඔහොම්මමයි. ඒකයි හැමදාමත් මගේ ගේ ඉස්සරහ මං විසින්ම ගඩොල් බාග ටිකක් රැස් කරගෙන ඉන්නෙ. ඒකාට ගල උරුක් කරන්නත් කලින් මාව දැක්ක සැනින් කූං කූං ගාගෙන දුවන්නෙ ඊට කලින් කාපු පාරවල් ඔටෝ මතක්වීම නිසා හා දවසක් අපුන්දෑ විසින් හවස තුනට තේ බොන්න හදන ලද කලුගල් අග්ගලා රාසියකින් කල සංග්‍රහය මතක් වීමෙන්.   ඒකා ගියා. මං නැවතත් ගෙයි මුල්ලට වෙලා වැඩෙි පටන් ගත්තා


හිත දැහැන් ගතවුනා. මට දැනුනේ මාව පුලුන් රොදක් මෙන් අවකාශයේ පාවී පාවී යන්නාක් මෙන් පුදුමාකාර සැහැල්ලුවක්.මා ඒ ධ්‍යානය ස්ථීර කරගෙන  එසැනින් මාලිමාව අතට ගත්තෙ දිව්‍ය ලෝකය තියෙන දිහාට බෙයාරින් එකක් ගන්න.  ඒකටත් අංශක 69° ක කෝණයක් ලැබුණු විට, මහා පුදුමයෙන් මාලිමාව දෙසත් දිවිය ලෝකයත් දෙස මාරුවෙන් මාරුවට බැලුවෙි , මාලිමාව දෑතින් බදා පොලවෙි ගසම් දෝ නොගසම්දෝ හෝයි යන සිතිවිලි සමුදාය මැද්දෙන්. පසුව "යන කැකිරි වත්තකින් පලයං" කියල හිතාගෙන මාළිමාව අල්ල මැද තියා ගමනට සැරසුනෙමි. ඒ කෝපය නිසා ධ්‍යානය බිඳුනොත් බිමට වැටෙයි කියන බය නිසා. ඊලඟට සිතට නැගුනු එම ක්ෂණික සිතිවිලි සමුදාය මෛත්‍රීයෙන් යටපත් කරගෙන නුහුරු ඇහැ වසා හුරු ඇහැ අඩක් පියවා මාලිමාවෙි පියනත අගිස්සේ පිහිටි "වී" කැපුමත් සිළුමිණි සෑයේ කොත් කැරැල්ල දෙසත් ලම්බාකාරව සරළ රේඛාවක් පිහිටන්නාසේ බලා, අරගත් කුරුමානම අනුව එය තවත් නිවැරදි කරගනු වස් මදක් හිස අහට්ටත් මෙහට්ටත් කර බැලුවෙමි. එවිට මා දුටුවෙි මාගේ ඉදිරියෙන්  පියාඹා යන දාර කොකෙකි. සෑයත් කොකත් යන දෙකම පටලැවුනු මා කොකා ඈතට ඈතට පියාඹා යනතෙක් බලා සිට නැවතත් මාළිමාවෙි උතුරු කටුව සමපාත කර ගතිමි. අහෝ..!!! දාර දුකකි. එවිට මා දුටුවෙි කොන්ඩෙ වවපු, කරාබු දාපු, කොන්ඩෙ වවල පාට ගාපු සහ හැට්ටකටු ගසා ඉසකෙයියා උඩට පීරා රැලි රැලි යකඩ බෑන්ඩ් දමා, හෙන වැදිච්චි පොල් කරටි සොයා පියාඹා යන  කොට්ටෝරුවන් රෑනක් මෙන් දිස්වෙන දහ අටෙි විස්සේ විසි දෙකේ පමණ කොලු රෑන් රෑන් අහට්ටත් මෙහට්ටත් පාවී පාවී යන අයුරුයි. මෙි දසුන මට සුපුරුදු එකක් වූවත්, වෙනදාට වඩා පිරිසක් එතැන දුටු හෙයින් හෙමින් සැරේ එකෙකුට කිට්ටුවී ගම් පලාත ඇසීමි. ඒකා තනමල්විලය. උගේ නඩෙි විස්සකි. තව එකෙකුගෙන් ඇසීමි. ඒකා මැදවව්චියේය.උගේ නඩෙි හතලිහකි. ඒ පිළිතුරුවලින් අන්දුන්කුන්දුන් වූ මා වට පිට බලා මොහොතක් යට බැලිමි. නොයෙක් පළාත්වලින් තවත් කොලු නඩ කිහිපයක් හඳ ඇල්ලීමට යාමට මග එනු දුටු මා, එතැනින් ඉක්මනින් මාරුවුනෙමි. එහෙත් පොළවෙ සිටින බහුතර තරුණ ප්‍රජාවක් මෙකල හොයන්නේ එක ගහනකොට දෙක වදින මෙට්ටය. උන්ට ඔිනෑ ඒකය. ඊට වඩා මුං දාහෙන් සම්පතකි. අහෝ.!! ඔය දෙගොල්ල පමණක් ඉන්න රටක ඉරණම ඉදිරියේදී කෙසේ විසඳෙයිද?.. හැබැයි මෙට්ට හොයන උන්ට වඩා අරුන්දැලා දාහෙන් සම්පතකි. "අහෝ!  මෙි තරුණ ජීවිත නේද?" යැයි මටම කියාගත් මා ඊලඟට

හිත ශක්තිමත්ව  දැහැන් ගත කරගෙන ඉදිරිය බැලීමි. මෙතැන සිට තව්තිසාවට කිලෝමීටර් සීයකි. ඉතා වේගයෙන් මා ඒ සියලු දුර තරනය කළෙමි. තවිතිසාවට ආමි. අහෝ දුකකි. සක්කර දෙයියන්ගේ පඬුපුල වටා මහලු වී වැහැරී ගිය දිවිය ලෝකෙන් චුත වෙන්න ඔන්න මෙන්න ආසන්න නාකි දෙවි ඩෑල් ටිකක් පඬුපුලේ ගිනි රස්නෙන් සීතල මගාරින අයුරු දුටිමි. හීන් සැරේ ඔවුන් ලඟට කිට්ටුවී, එහෙත් ශබ්ද නොනගා එක් දෙව්යෙක්ගෙන් "කෝ සක්කර දෙයියො, බෑරක්වත් වැඩලාදැ"යි ඇසීමි. මා දුටු සැනින් හිස් ලූලූ අත දුවන්නට සැරසුණු ඒ දේව ඝණයා බොහොමත්ම අමාරුවෙන් නවතාගෙන මා කව්දැයි පවසා දේව මංඩලය කූල් ඩවුන් කර ගතිමි. ඉන් එක් දෙවි කෙනෙක්ගෙන් "සුදු ඇඳ සිටි මා දුටු පමණින් බියවූයේ මන්දැ?"යි ඇසූවිට එතැන සිටි ටිකක් කටකාර දෙවියෙක් "අප තොපගේ සුදු ඇඳුමටත් බයයි" කීය.මාද පෙරළා  "ඒ මන්දැ?"යි විමසූවිට "ඇයි තෞසෙ ලංකාවෙන් නේද ආවා  කිව්වෙ?, ඒ බොරුදැ?"යි ප්‍රශ්ණයකින්ම  පිළිතුරු දීය. හම්මට දැන්නෙ මතක්කුනෙ...." අනේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ" කියා හිත දැඩි කරගත් මා "අනික මොකටද මං දෙයියන්ටවත් සෙකන්ඩ් වෙන්නෙ" යි සිතා , "නෑ නෑ මට සාටකයක් නෑ දෙවියනේ" කියා කරත් අතගා, විශ්වාස නොකළ තැන ඉනත් පෙන්වා, ඉනුත් සෑහීමකට පත් නොවුණු කල  සරමත් කඩා දෑතින් ඉහළට ඔසවා පෙන්වූවෙමි. මාගේ ක්‍රියාව දෑහින්  දුටු  දෙකටම නැති දෙවි කෙනෙක් තමන්ගේ කම්මුලටත් අත තියාගෙන කැඩිච්ච සරමටත් අස්සෙන්  අහස දෙස බලා "වැල මැරුනට,  අලනම් බැහැලා නේහ්???"කියා විමසීය. 

*හමුදාවෙ හෝල්ට් ගහලනෙ මා පිළිවදන් දුනිමි. ඒ වටෙි සිටි තවත් දෙව් කෙනෙක් විසින් "මක්කටද දිවිය ලෝකෙටත් බැරියර් එකක් ඇන්න ආවෙ?" යි විමසූ කල, මා,  "ඒ බැරියර් එකක් නෙමෙයි දෙවියනේ.."යි පිළිවදන් දුන්නෙමි . ඉන් පසු ගෙවී ගියේ අප අල්ලාප සල්ලාපයේ යෙදෙන කාලයකි.


ඉන් ටික වෙිලාවකට පසු සක්‍ර දිව්‍ය රාජයාටත් ප්‍රථමව ඉහිං කනින් දාඩිය පෙරාගෙන වැඩියේ  "මාතලී" දිව්‍ය පුත්‍රයාය. මා ඒ බව දුර තියාම දැනගත්තේ පරන එල්එච් තර්ටියක මඩ් ගාඩ් එකක් රෝදයේ ගෑවෙන්නා ⁣සේ මාතලී දිව්‍ය පුත්‍රයාගේ අශ්ව රථයෙන් නොකඩවා ඇසුන "කචා බදම්, කචා බදම්,කචා බදම්" යන ශබ්දස් ස්වරූපයෙනි. හවස හයට පමණ පැමිණ රථයෙන් බැසගත් දිව්‍ය පුත්‍රයා දේව සභාව ඔන්න මෙන්න තියා දකුණතේ දබරැඟිල්ලෙන් නලලත පිරී තිබුන දහඩිය කන්දරාව "ක්‍රෑහ්ක්: තුහ්ක්: යන ශබ්දයෙන් හූරා, ඊළඟට වම් නාහෙට ඇඟිල්ල තියා දකුණු නාහේ පිරී තිබූ හොටු රෑනම "හම්ප්රූස්ස්" ශබ්දයෙන් හූරා අත ගසා, අත කරත්තේ බරාඳයේ වැදුන විට නැවත වරක් අත දෙස බලා ගසාදසා කටෙි ඔබා ගත්තේ කරත්තයේ වැදීමෙන් වෙිදනාවට පත්වූ අත නිවා ගන්නට විය යුතුය.  ඉන් පසු ඔහු සභාව දෙසට වැඩියේ කකුලකුත් නොන්ඩි ගසමිනි.  ඔහු හොටු හූරද්දිම මා දුටුවෙි ලනු අඹරා ඔංචිලි පැදිය හැකි තරමට නාසයේ මයිල් දිගු වී ඇති අයුරුයි.පව්, දිව්‍ය පුත්‍රයෙක් වෙලත්,   නාහෙ මයිල් ටිකවත් කපා ගන්ඩ තරමෙි වෙිලාවක් නැති හැටි. අනෙක අතරින් පතර මයිල් ගස් දෙක තුනක් ඉදී සුදු පාටට හැරී තිබුනු අයුරු. ඇත්තටම පව්!!.  ඉන් පසුවයි ඔහු වටපිට බැලීයේ.තම වාහනේ පැච් එකක් දාගන්න සිල්ලර කඩෙිකට ආ සිරිපාලයෙක් "වැරදි තැනකට ඇවිත් වාගෙ"යි සිතා වට පිට බලන්නාසේ මා දෙස වපරැහින් බැලූ උන්නාන්සේ "මයෙ අප්පේ.. තා අදත් ආවදැ" යි ඇසීය. මා නිහඬ පිළිවෙතින් උන්නාන්සේ දෙස බලා සිටියෙමි. මට වුවමනාව තිබුනේ සක්‍ර දිව්‍ය රාජයා බැහැ දැකීමටයි.එහෙත් ⁣දිව්‍ය පුත්‍රයා බැලන්ස් නොකර ගත්තේනම් අවශ්‍යතාවය මග හැරේ. එම නිසාම මා "නුඹ වහන්සේ කොහේ වැඩ්ඩාදැයි" විමසීමි. එම්බා..!! මෙි අසව.!! මට දැන් මෙි ජීවිතය ඇට්ටකුනාවූ කොස් හැලියක් වගේයි... පාන්දර තුනට පැට්ටල් පෝලිමට ගියේ..වෙිල් දෙකක් ඇබ්සන් වුනා. අප මහා ශක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේ තාම ඩීසල් කෑන් පෝලිමෙි..යි පිළිවදන් දුන් විට මට කට කොනකට සිනහ නැඟිණි. එය දුටු මාතලී.." අඩා.. තා කින්ඩියට වගේ සිනහසෙන්නේ ඇයි??" මාගෙන් විමසීය.

*"ඔබ වහන්සේ ඔය දවසක් පෝලිමෙි ඉඳලා"  

*එහෙනං??

* ඔබ වහනසේගේ නේත්‍රා යුගල මදක් අර කම්මුතු ඇටෙිට හරවන සේක්වා!! යි මා ඉල්ලීමක් කළෙමි. 

මා දෙස නෝන්ඩියට බැලූ උන් වහන්සේ තම පින්වත් නේත්‍රා යුගල කරකවා යට බලා...

*කෝ තොපගේ රට?? පේන්නෑනෙ.. අඟුරු කෑල්ලක් වගේ කලුම කලු පාටයිනේ.

*එහෙනං දැං එහෙ ලයිට් කපලා ඇති..

*එසේනම් තැනින් තැන කලාමැදිරි පුකක් වගේ ටික ටික එලි පේන්නේ??.

*අහ්.. ඒ අපේ ඇමති අගමැති ගොල්ලගේ ඒරියා..නෙ...දෙවියනි..පලාත් සබා උන්නැහේලගෙ ඒරියාත් එහෙම තමා..

*අඩා.. තෙපි මක්කටැයි මෙච්චර පෝලිම්වල??

*තෙල් නෑ ගෑස් නෑ, බඩු නෑ...අත්තියවස්‍ය මුකුහ් නෑ...

*තොපි මහා පව් බං.. 

*එහෙමයි... "බෙිත්" ගන්න ගිහිං උන්ගේ "ගෑස්" බලල ගෙදර ඇවිත් හතර හංදිවල "තෙල්" ගාගෙන තියෙන දෙයක් කාල බුදිය ගන්නවා දේව පුත්‍රයානනි. මෙි බලන්න, මෙි බලන්න..පෝලිම්වල ඉඳලාම මගේ හංදි සියල්ලම බුරුල් වී ඇති ආකාරය...

මාගේ පිළිතුරෙන් පපුවට මහා හුස්මක් ගෙන හිමින් නාහෙන් සුසුමක් පිටකරමින් බැලූ දිව්‍ය පුත්‍රයා..

*හරි හරි නුඹ අද මක්කටද ආවෙ..

*සක්කර දෙයියන්ට මෙි අවනඩුව කියන්න දෙවියනේ..

*වැඩක් නෑ..

*ඇයි??

*වැඩක් නෑ..

*ඉතිං වැඩක් නැත්තෙ ඇයි??

*සක්‍ර දෙවියො, තොපේ රට අතෑරල දාල තියෙන්නෙ..

*හේතුව??

*හේතුවද??

*අහගනිං.. තොපේ මිනිස්සු දියසේනයෙක් ගෙනත් හිතාමතා කොරගත්තු හරියට අපි පළිද? 

*අපි කාල බැලුවෙ නෑනෙ..යි මා නෑහෙන පරිදි කොඳුරා මටම කියා ගතිමි. ඒත් එය යන්තම් ඇසුණු දිව්‍ය පුත්‍රයා..

*කාල බලන්ඩ දෙයක් නෑ. තොපි මහා මෝඩ යක්කු ටිකක්. තොපි දන්නැද්ද කොච්චර තැම්බුවත් බිත්තරේ බිත්තරේමයි කියලා?? 

*අන්න අන්න දෙවියොත් ඉතිං මගේ මළ පන්නන්ඩ හදනවානෙ. අපි කොරපු මගුලක් නෑ. බහුතරේ තමා කොලේ..

කතාව තවත් දිග්ගැස්සෙන්න ඔන්න මෙන්න කියා අප සිටි දෙසට වැඩියේ බඹර චක්‍රයක් වගේ ඔළුව වටෙිටම ඔලු දහයක් තියෙන හිරු රැස් මෙන් ශරීරය බබලවන මහා තේජවන්ත දෙවි රාජයෙකි. ඔහු දුටු පමණින් මාතලී දිව්‍ය පුත්‍රයා දණ නමා ඔහුට නමස්කාර කළේය. මාද හරි නැති නිසා ඔහු අනුගමනය කර, ඔලු දහයෙන් හරි ඔළුව තෝරාගන්න කිහිප වරක් එම දෙවියන් දෙස බැලුවෙමි.

*කිමද, නරය, තා හොරුහින් මදෙස බලන්නේ..?? රාවණ මහා දිව්‍ය රාජයා විමසීය..

*පස්වාන් දහසකට බුහ්දු...

*හෝව් හෝව්..

*ඇයි දෙවියනි??

*තොපිලගේ ආසිරිවාද මට එපා...

*හේතුව??

*යකෝ.. තොපි මාව ගල් ගුහා අස්සෙයි,ගස් බෙන අස්සෙයි, කඳු අස්සෙයි හොය හොය කෙලින පිස්සුව හොඳටෝම ඇති.

*අනේ...එහෙම..න්න්...

*මෙි මේ...කිසිවක් නොදොඩව...

මාගේ ජාන වලින් පැමිණි තොපි විජය කියලා පට්ටපල් හොරෙක් අල්ලගෙන මගේ නම්බුවත් කාලා, දැන් රටෙි නම්බුවත් කාලා...තොපි මට කරන අවනම්බුවක තරම...මා නැවත තොපගේ ද්වීපයෙහි කහට එකක්වත් බොන්න ආයෙ වඩින්නෑ.මතක තියා ගනුව...

*අනේ...අපිනං දෙයියො ඉන්නව කියල මහපාරෙ බුද්යන්නෑ දෙවියනි..

*හැඥේ ඥෙමෙි... තොපි එහෙ තුන් වෙිලටම කන්නේ බත් වෙනුවට රට ජාතිය ආගම නේද??

ඒකටනම් මට "හීක්" ගෑවුනි.

*අනේ...

*තොපිට වඩා අර ඉංදියන්කාරයො හොඳයි ඔියි...අඩුම අවුරුද්දකට සැරයක් මගේ පිළිරුවකට ගිනි හරි තියනවා.. තොපිට මාව මතක් වෙන්නේ කෙලවිලා අකුලෝලම ගියාට පස්සේ...නෙ

මා කිසිවක් නොකීමි...මදකින් දේව මණ්ඩලයට ක්ලෝමෝ බෝම්බයක් ගැහුවා වාගේ දේව ඝණයා හිස් ලූලූ අත දුවන්නට පටන් ගත්හ. එයින් වික්ශිප්තව වට පිට බැලූ මට පෙනුණේ සිරි ලැංකන් ද්වීපයෙහි සිදුවූ මහා කාරුණික එහෙත් මටනං සාමාන්‍ය සිදුවීමකි...


*මොකක්... චොකා මල්ලිත් නිදහස්...??හම්මට දැං හරි. එච්චරයි අඩුවකට තිබුනේ. ඇත්තටම මං ⁣ගොඩක් බයේ හිටියේ එයා එලියට එන එකක්  නැතිවෙයි කියලා..

දේව සබාවෙි ඉදිරිපස තිබූ එල්ඊඩී පුලුල් තිරයෙහි යටින් පේළියට "චොකා මල්ලි නිදොස් කොට නිදහස් කෙරේ" කියා අකුරු පේලියක් යනු දුටු රාවණයානෝ තම අතට ඇදගත් කඩුව මිටෙි සිට අගටම කාගෙන කාගෙන කාගෙන ගියහ.අනෙක් දේව ඝනයා චොකාගෙන් බෙිරීමට හතර අතේ දිව ගියේය. ඒත් පෝලිම් යුගයට වසන්තයක් වූ එම ප්‍රවෘත්තියෙන් මා පමණක් අමන්දානන්දයට පත්වුනෙමි. 


ඒත් එක්කම මට ඇහෙන්න ගත්තේ අපේ පොඩි එකා... මා එරමිනියා ගොතාගෙන සිටින අයුරු දැක..අම්මෙි ටාට්ටා අදට් පිඹුලෙක් වගේ කකුල් වෙලාගෙන ඉඳගෙනම දොයි" යන වදන් පේලියයි. මා වහාම මහ පොලවට ආමි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2022.04.05

No comments:

Post a Comment