Saturday, February 27, 2021

නච්චිකුඩා 02




අද මට අමුතු කතාවක් කියන්න හිතුනා. ඒක කොයි විදියට ඔවාලා ගලපා ගනියිද කියලානම් මන් දන්නෑ. ඒත් එකක් කිව යුතුයි. මෙි තමා සත්‍යය. ඔබෙිත් මගේත් රටෙහි ඒකීය භාවය සහ සාමය සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් සටන් වැදුනු ඒ යෝධ බල යෝධ ශක්තිය ඇති විරුවන්, රට වෙනුවෙන් රුහිරු ගංගාවන් හෙලා, ඒ යුධ භූමියේදීම තමන්ගේ හුස්ම අතාරින්නට තතනන කාලකණ්නි මූසල හෝරාවක හිතේ තියෙන අන්තිම හයිය බිංදුවත් හයියෙන් අල්ලාගන්න උත්සාහ කරද්දි  තමන්ගේ සගයින් සහ සහෝදරයින් වෙනුවෙන් බඩෙි බත් ඇටයක් නැතුව සටන් බිමට පා ඔසවපු වීරයින්ගේ කතාව. ඒක මහා දුක හිතෙන කතාවක් සහෝදරයා. මෙිවා ඔයාලා සුතමය ඥානෙන් දන්නවා ඇති. ඒ කියන්නෙ කාගෙන් හරි අහල, පත්තරේකින් ප්‍රවෘත්තියකින් අහල බලල ඇති. ඒත් අවබෝධ ඥානයෙන් ඔයාලා ඒ කිසිවක් දන්නෑ. ඒකෙ තියෙන දුක දන්නෙ එකෙකුට වෙඩි වැදිල හුස්ම ටික වාතලයට එකතු කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලඟ හිටපු සහෝදර සෙබළෙක් විතරයි.


හමුදාවට රජයෙන් කෑම දෙනවා වුනත් සතුරා පහර දෙන්නේ රජයෙන් කෑම දෙන වෙලාවට නෙමෙිනෙ. ඌ බලන්නේ තමන්ගේ ප්‍රථිවදියා කොයි තැන, කොයි වෙලාවටද දුර්වල කියලා. ඒ දුර්වල තැනට තමා උන් පහර දෙන්නේ. මෙික සංග්‍රාමයේ උපක්‍රමයක්. මහ යුද්දෙ යද්දිත් ඉහලින් " ශවෙින්ද්‍ර, මට අද කිලෝ මීටර් පහක් ඔිනේ" කියනවා වගේ මෙිවා ලේසි නෑ. සෙබළා යන්ත්‍රයක්වත් මැෂිමක්වත් නෙවෙයි. ඔහුත් ඔබ හා මා වගේ අපේ සමකාලීන පරම්පරාවෙි අපේම සහෘදයන්. ඔහු, තමාට ඉහලින් එන අණ සහ පීඩනය මත තමන්ගේ ක්‍රියාකාරීත්වයේ සහ නිපුනත්වයේ ඇති හැකියාවන් මත සත්‍ය යුධ භූමියේ ක්‍රියාකාරීවන අපේම සොයුරෙක්. ඒ වගේ එකෙකුගේ අවසානය ඉහලට "තවත් එකෙක්" උනත්, ඔහුව හදවතින් තුරුළු කරගෙන, බැන අඬ ගහගෙන, පුංචි දේටත් රණ්ඩුවෙන සහ හිනාවෙන, එකෙක් කාල එනකං පිඟාන ඉල්ල ගන්න මෙස් එක ලඟ හොරගල් අහුලන, සිගරට් එකක් බොන්න රුපියල් දහයක් විස්සක් ණයට ඉල්ලන, ඒත් විපතේදීත් සතුටෙිදීත් එක වගේම හැඟීම් බරවෙන , යාලුවෙක් මිත්‍රයෙක් ඔබට ඉන්නවාද?.ඇති මිත්‍රයා. ඒත් සෙබළා වගේ අවංක නෑ. මොකද සෙබළා මරණය කියන එක විශ්වාස කරනවා වගේම, මැරිලත් ආත්ම ගෞරවයට හානි වෙනවාට කවදාවත් කැමති නෑ.  

ඒ තමා සොල්දාදුවා. මං කියන්නෙ අපේ කාලෙ ගැන මිසක් MODERN ARMY එක ගැන නෙමෙි. 


වීරතුංග කියන්නේ මං තේරුම් ගත්තු විදියට අවංක වගේම හරිම අහිංසක පුද්ගලයෙක්. එයා මට හම්බවෙන්නෙ නච්චිකුඩාවලදි එයාලගෙ ඒකකයේ රාජකාරි කරමින් සිටියදි. ඒකකය 11 ගැමුණු හේවා බළ ඇණියෙ. අපේ ඒකකයේ නොවුනත් එකම හමුදාවෙි  සෙබළෙක්. කෙල්ලෙක්වත් යාළුවෙලා නැති හැමදාම උදේට දැලි රැවුල හූර හූර ජ්‍යේශ්ඨයාටත් කණිෂ්ඨයාටත් එකම හිතවත්කමක් පාපු ⁣අවිහිංසක කොල්ලෙක්. මං ඒ ඒකකයේ ඉද්දි මට එයාව සෙට් වෙන්නෙ අපිට කෑම අරං එද්දි. අපේ ලයින් එකට කෑම අදින පාටියෙ එදා වීරා හිටියෙ. කෑම හැත්තැපහක් අසූවක් දැල් දැල් පොලිසැක් උරේක දාගෙන කරේ තියාගෙන පොයින්ට් එකෙන් පොයින්ට් එකට කෑම දිදී එද්දි මං හිටපු තැනටත් ආවෙ අපිට කෑම දෙන්න. ඒ කෑම අපේ ඒකකයේ වගේ නෙවෙයි. ඒ දවස්වල රහක් ගුණක් බලන්නැති වුනත් උගුරෙන් පල්ලෙහාට වතුර වගේනම් බහින්නෑ. මෙි ඒකකයේ අණදෙන නිළධාරිතුමා කන බත් කට රහට දෙන එක ආගමක් කරගෙන තිබුනෙ. අපරාදෙ කියන්න බෑ, ලයින් එකේ කොල්ලො වෙනුවෙන් සිගරට් පැකට් එකකුත් ඒ සර්ගෙ සාක්කුවෙ තිබුනා. මාත් එතුමාගෙන් වචනයෙන් නොයිල්ලා අංග උපාංග භාෂාවෙන් ඉල්ලගෙන තියෙනව. ඒ කියන්නෙ "මොනාද කොල්ලො අඩුපාඩු එහෙම, කෑම ටික හොඳයිද?" කියල අහපුවම අපි කරන්නෙ "කන එකනං කෑව සර්" කියල චූටි හිනාවක් දාගෙන ඔලුව කහන එක. එතකොට එතුමා දන්නවා මූ මොනාද මෙි ඉල්ලන්නෙ කියලා. එතකොට සාක්කුවෙන් එකක් අරන් වැලි කොට්ටයක් උඩින් තියල යන්න යනව. මෙි වීරතුංගත් කවදාවත් සිගරට් බීපු එකෙක් නෙමෙයි. ඒත් ඌ ගාව නිවාඩු ගිහින් ඇවිත් සතියක් විතර යනකම් සිගරට් තිබුනා. 


එක දවසක් වීරා මගේ පොයින්ට් එකට වැටුනා. අපි රාජකාරි කලේ අපේ දෙන්නයි, එයාලාගෙ එක්කෙනයි විදියට. 

එදා තමා මගෙත් එක්ක වීරා කතාවට වැටුනෙ. මං එයාගෙන් විස්තර ඇහුවා. තාත්තා නෑ. එක නංගියයි,කොල්ලො තුන් දෙනයි. තාත්තා වකුගඩු කේස් එකකින් මැරිලා. ගම පදවි ශ්‍රිපුර. අක්කා අපේ ගම්පැත්තෙ ගාමන්ට් එකක වැඩ. කොල්ලො තුන් දෙනාම ෆෝසස්. වීරතුංග බාලයා. අයියා 2 කමාන්ඩෝ. එයත් මෙි ලයින් එකේමයි. ඊලඟ අයියාත් මෙි සටනෙම 59 සේනාංකය යටතේ ලයින් එකේමයි ඒ වෙද්දි රාජකාරි හිටියෙ. එයා ගජබා. වීරතුංග ඉස්කෝලෙ සාපෙල සමත් වුනත් උසස් අධ්‍යාපනයට තිත තියලා හමුදාවට බැඳිලා තියෙන්නෙ තමන්ටම කියලා ඉන්න ගෙයක් දොරක් හදාගන්න සියල්ල ප්ලෑන් කරලා. ගජබා අයියත් එහෙමයි. වැඩිමලා කමාන්ඩෝ. එයා මහගෙදර හදනවලු. "කෙල්ලෙක් ඉන්නවද බං" කියල අහපුවම මහා අහිංසක විදියට හිනාවෙලා "තාම නෑ කෝපල්" කිව්වා. මාත් ඇහුවා "ඉඳකින් යකෝ, තොට කෑල්ලක්වත් නැත්තං මොකටද බං නිවාඩු යන්නෙ" කියලා. එතකොටත් කලේ හිනාවෙන එක. 


ඇත්තටම මට වීරා ගැන පව් කියලා හිතුනා. අපි ගොඩක් දේවල් කතාකලා. එදා ඉඳන් දවස් පහ හයක් යනකං අපි එකට රාජකාරි කලේ. පිට ඒකකයක උනත් අපි අතර හිතවත් කමක් ගොඩ නැගුනා. දවස් ගානකුත් ගියා. 


ඒ අතරේ දවසක තමා අපි කොටින්ගෙ ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්නෙ. හැබැයි ඒ වෙද්දි වීරා මගෙත් එක්ක නෙමෙයි හිටියෙ. පොයින්ට් කීපයකට එහායින් ඌ ඩියුටි හිටියෙ. ඒත් වීරා නිවාඩු පාඩු වෙලාවට මාව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් කයිය ගහලා යන තත්වෙට ඌට මාව හිතට අල්ලලා ගිහින් තිබුනා. මාව දවසක් නොදැක්කොත් කොහෙන් හරි ඉන්න තැනකින් මාව හොයාගෙන ඇවිත් හිනාවීගෙන "කෝපල් දැක්කෙ නැත්තං වෙිලක් කෑවෙ නෑ වගේ කෝපල්, ඒකයි ඇවිත් යන්න ආවෙ" කියනව.  ඒකට තව හේතුවක් තිබුනා. මම නිකන් ඉන්න ගමන් කතාකලේ යුද්දෙ ගැන, රට ගැන,ලෝකය ගැන,ජීවිතේ ගැන. මිනිස්සු ගැන, හිටිවන කවි, කුනුහරප සිංදු සහ කවි ආදිය ඔන්න ඔව්වා. එහෙමත් කාලෙ ගෙවිල ගිහින් තමා ඉහත කිව්ව දිනේ උදාවෙන්නෙ. 


එදා අපි ලයින් එක කැඩුවෙ නැතිවුනත් මහ දරුණුවට සටන ගියා. පැය ගානක් තිස්සෙ කරපු සටනකින් පස්සෙ ප්‍රහාරය හෝල්ට් කරන්න ඉහලින් නියෝග ලැබුනා. ඒ වෙද්දි අපිටත් පණිවිඩෙි ලැබිල අපිත් පසු බහින්න සූදානමින් හිටියෙ. ඒත් එක්වරම අපිට නියෝගයක් ආවා පසු නොබැස දිගටම ප්‍රහාර එල්ල කරන්න කියලා. අපිත් ඒ අණට අනුව නැවත වැලි කොට්ටෙට මුවා වෙවී ටික ටික ඉස්සරහට ඇදුනේ " මොන රෙද්දද්ද යකෝ මෙි" කිය කිය. වැලි කොට්ටෙ කියන්නෙ සටනක් යද්දි අපේ ආවරණයට වැලි දාල සකසාගත්තු කිලෝ විසිපහක් තිහක් බර වැලි උරයක්. බඩ ගාගෙන ඉස්සරහට යනකොට වැලි කොට්ටෙ ටිකක් ඉස්සරහට තල්ලු කරනවා, ආයෙ ඒකට කවර් වෙනවා, වෙඩි තියනවා. ඔහොම. අපි ආයෙත් ආපහු හැරිල ඉස්සරහට ගියා. ඒ සටනෙ දරුණුකම කියන්නෙ සමහර තැන් වලින් කොටි උන්ගෙ ලයින් එකට ගොඩ වෙලා තමා අපිට වෙඩි තිබ්බෙ. හානි ගොඩයි. ආයෙත් පැයක් විතර යද්දි අපි පසුපසට ආවා. ඇවිත් හැති ඇර ඇර ඉන්නකොට තමා අල්ලපු පොයින්ට් එකේ කොල්ලා ඇවිත් කිව්වෙ

"සිග්නල් කෝපල්, වීරා කැෂුවල්ටි" කියලා. මං එසැනින් එයාලගෙ මූලස්ථානය පැත්තට යද්දි වීරා ඇතුලු දහයක් විතර වාහනේකට පටෝනවා. මං කඩා බිඳගෙන ගිහින් උගේ් දිහා බලං හිටියා. ලේ නාලා. වෙඩි වැදිච්චි තැනක්වත් හොයාගන්න බෑ. ඒ තරමට ලේ. ඒත් කටින් "හ්ම්" සද්දයක් නෑ. මාත් බලාගෙන ඉඳලා එන්න ආවෙ එතනින් එහාට අපිට කරන්න කිසිම දෙයක් නැති සහ බැරි නිසා. අපරාදෙ කියන්න බෑ එදාම රෑ හතට විතර පණිවිඩෙි ආවා "වීරා නැතුවුනා" කියලා. පපුව දණහිස් තෙක් කඩා පාත් වුනා. හිත මොහොතකට නතරවුනා. හයියෙන් හයියෙන් හුස්ම වැටුනා. ඒත් ඒකත් හදවතේ නම් ලයිස්තුවට ඇතුලත් කරලා දිගු හුස්මක් අරන් පහත දැම්මෙි හිත කොහොම හරි හදාගන්න. එදා අපි පසු බසිද්දි නැවත හැරිලා ඉස්සරහට යන්න වුනේ වීරලා ඇතුලු ටීම් එකක් දරුණු ප්‍රහාරයකට මැදිවෙලා නිසා, ඒ අය පස්සට ගන්නකම්ලු. පස්සට ගත්තෙ ඔය. අහිංසක ජීවිත අප්පා ඒ.


වීරා නැතිවෙලා කියල පණිවිඩෙි ලැබුනෙ රෑ හතට විතර. ඒ ගැනමයි අපි කතා කර කර හිටියෙ. ඔහොම ඉන්න අතරේ තමා පහුවදා උදේ ඒ ඒකකයේ විධායක අධිකාරි තුමා හා සී කණ්ඩායමෙි ඔිසී  විසිට් එක ආවෙ. මං වීරා ගැන සර්ල දෙන්නගෙන්ම ඇහුවා. දෙන්නම කිව්වෙ මොනා කරන්නද කෝපල්, ඒක ඊයෙ වීරාට, අද මට, හෙට ඔයාට වෙන්න පුලුවන්" කියලා. මාත් කිව්වා "ඒකනං දන්නවා සර්, ඒ වුනාට පවු අහිංසකයා නේද?" කියලා. එතකොට විධායක අධිකාරි තුමා තවත් එක් මූසලම මූසල ප්‍රවෘත්තියක් කිව්වෙ හයියෙන් හුස්මක් අරන් හයියෙන්ම පිටකරලා. 

*කෝපල් දන්නවද වීරතුංගගෙ ගජබා හිටපු අයියත් ඊයෙ රෑම ලයින් එකේදි නැතිවුනා කියලා?

ඒ කතාවටනං හිටගෙන හිටපු මාව  ඉන්දවුනා සහෝදරයා. ඒත් අපි පිළිගත යුතු ඇත්ත ඒක. හවස වීරා නැතිවුනා කියලා 59 සේනාංකයට මෙසේජ් එක මෙි ඒකකයෙන් යවල අයියව නිවාඩු යවන්න.  රෑ එකොලහට විතර 59 සේනාංකෙන් රිප්ලයි එක ඇවිත් තියෙන්නෙ ගජබා ලා/කෝපල් වීරතුංගත් නැතිවුනා කියලා. දෙයියනේ ඒ අම්මගෙ පපුව කොහොම තියෙන්න ඇත්ද?


ප්‍රශ්ණයක් අහන්නද? 

ඇත්තටම මෙි සටනේ  පරාජිතයා කව්ද?


සම්මතයට අනුවනම් පරාජිතයා වෙන්නෙ මිය ගිය තැනැත්තා. එයා සටනින් පරාද හිංද තමා මිය ගියෙ. ඒත් මෙි පුංචි රටෙි එහෙම නෑ. ඔවුන් තමයි මෙි සටනේ නියම ජයග්‍රාහකයො. තමන්ගේ කෙනෙක් විදියට ඉඳලා  යාලුවෙකුට මිතුරෙකුට හිතවතෙකුට මතකයන් රාශියක් ඉතුරු කරලා මිය ඇදෙන්න හැමෝටම බෑ. අද මෙි කතාව ඔබ ඇහුවෙත් ඒ ඉතුරු කරල ගිය මතකයක් නිසා....


ඉවර නෑ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.27


Wednesday, February 24, 2021

මුලංකාවිල් 01

 මුලංකාවිල් 01

============


නච්චිකුඩා ලයින් එක කියන්නෙ ආතල්ම පොට් එකක්. කොටි ගැහුව කියලයි මානුෂීය මෙහෙයුමක් යනවා කියලයි අපිට ගානක්වත් නෑ. තනමල්විල මුකයැ, ආන්න තනමල් නම් තනමල්.ඇත්තට ඉතින් මහ යුද්දයක් කලේ අපි නෙමෙි, යුද්දෙ කලේ මල් සහ කොල. අපි පොඩි සහයෝගයක් දුන්න විතරයි ෆෙන්ස්. 


ඔය ඉන්න අතරෙ දවසක තමා එයා ෆෝස් එකයි, ආමි එකයි මරා ගන්න දවසක් උදා වෙන්නෙ. එයා ෆෝස් කිව්වට එම්අයි 24 යානා දෙකකුයි, අපේ කට්ටියකුයි. ඒවනං කියන්න යන්නෑ. ඒ දැන්ම හිරේ විලංගුවෙ වැටෙන්න කැමති

නැති නිසා. ආයෙ දවසක් ලයින් එකේදි 5 සන්නාහ සන්නද්ධ බළකායෙ කොල්ලෙකුට පොළඟෙක් දශ්ඨ කරල එයාව පස්සට ගේන්න උනේ මුහුදෙන් බෝට්ටුවෙ. අපේ බෝට්ටුවක් මුහුදෙන් එනව කියල බීච් එක දිගටම ඉන්න අය ගුවන් විදුලි යන්ත්‍ර මගින් දැනුම්වත් කලත්, කොතනක හරි ලොස්ට් වීමකින් මැද හරියෙ තැනකට පණිවිඩෙි ගිහින් නෑ. හැම තිස්සෙම කොටි බෝට්ටුවලින් ඇවිත් බීච් එක දිගටම ගහගෙන ගහගෙන යන කාලෙ, මෙිත් ඒකක් කියල වරදවා හිතල අර පොළඟ දශ්ඨ කරපු කෙනා අරන් එද්දි ඒකටත් 5 සස⁣බ ඒකකයෙන්ම ගහල, නූලෙන් එවුන්දැලා පන බෙිරගෙන තිබුනා. 


ඔහොම ඉද්දි තමා අපි කීප දෙනෙක් හවසක ගම්මානෙ ඇවිදින්න ගියෙ. සිරාවටම හරි ලස්සන ගමක් ඒ. සමහර ගෙවල් ලස්සනට හදල තිබුනා. ගොඩක් තිබුනෙ කටුමැටි ගෙවල්. රට කජු හේන්,ලූනු, බඩ ඉරිඟු වගා සහ දුම්කොල වගා හොඳට සරු සාරව වවල තිබුනා. කොලම කෛාල පාටයි ගස් කොලං. කොටින්ගෙ ෆාම් එකකුත් තිබුනා. ඒක හෙන විශාල ප්‍රදේශයක් පුරාවට පැවතුනා. බඩ යනකං මඤ්ඤොක්ක කාල, සිහි නැතිවෙනකං කෙසෙල් කාල, තොල් පටි තාර පටි වගේ කලු වෙනකං දුංකොල ඔතල ගහල ආතල් ගත්තු තැනක් ඒ. අපේ ඒකකය වෙල්ලං කුලමෙන් මුලංකාවිල් ගමෙි කෝවිල ගාවට ඇවිත් එතන පිටුපස්සෙ තමා එලාගෙන හිටියෙ. මෙි ගමට නැගෙනහිරෙන් වැවක් තිබුනා. වැවට ඉහත්තාවෙන් 11 ලපාහ සහ 11 ගැහේබ හිටියා. 1වන ජාතික ආරක්ෂක බලමුලුවත් අපිත් එක්ක තමා ක්‍රියාන්විතයෙ හිටියෙ. ඒත් වෙනම. 


එක දවසක් කොටි අපේ දෙන්නෙකුට ස්නයිපර් ගැහුව. ගැහුවෙ දෙපාරකට තැන් දෙකකදි. ආයෙ කෝපල් කෙනෙකුට ස්නයිපර් ගහල, ඒක වැදුනෙ නෑ එයාගෙ හොඳ වෙලාවට. ඊට පස්සෙ තවත් ගහයි කියල අපේ ඒකකයට ආව අපේ ස්නයිපර්ල දෙන්නෙක්. එක්කෙනෙක් ස්ටාෆ් ගුරුකාෂ්. අනෙක් එක්කෙනා සාජන් ටොයියා. මෙි එයාලගෙ ඇත්ත නම් නෙමෙි. අපි දාපු නම්. ගුරුකාෂ් ගැහුවොත් ගැහුවා, බැස්ස ගියා. ආයෙ දකින්නවත් ලැබෙන්නෑ. ටොයියා පොලිෂ්. කොයි වෙලෙත් හිනාවෙලා ඉන්නෙ. ජෝක් කාරයෙක්. පොර එක තැනකින් ගහල තව තැනකින් මතුවෙනවා. එහෙමයි.

එක දවසක් මං ඉන්න තැනට ටිකක් එහායින් තිබුනු තඩි පළු ගහකට පාන්දරම නැගපු සැරයන් ටොයියා ඒ ගහේම කාලෙ ගත කරල එක උණ්ඩෙකින් කොටි දෙන්නෙක් අයින් කලා. ඒවත් ඉතින් දස්සකම් තමා. 


ගමෙි ඇවිදින්න ගියා කිව්වනෙ. ඔබ තුමාල විශ්වාස කරන්න, සමහර ගෙවල් වල බත් මුට්ටි ලිපේ බාගෙට ඉදෙනකොට දාල දුවල තිබුනෙ. අපි ගිහින් බලද්දි ඒව එහෙම්මම තාම ලිප උඩ. සත්තු තැනින් තැන මැරිලා. විශේෂයෙන් බල්ලො. පූසොත් හිටියා සීනි හැදිල වගේ කෙට්ටුම කෙට්ටුයි. අපිව දැක්කම දුවාගන්න පනත් නෑ. ඒත් කෑ ගහගෙන ලඟට වැටි වැටි එනවා. එක බල්ලෙක් හිටියා කන්න නැතුව හාමතේ පැත්ත දාල වැටිල. ඌව දැක්කෙත් අහම්බෙන්. ලඟට ගියාම දිවත් එලියට දාල කෙඳිරි ගාන්න ගත්තා.  මමත් මගේ පැක් එකේ දාගෙන හිටපු කොකාකෝලා ලීටර් එකහමාරේ බොතල් දෙකක පුරෝගෙන හිටපු වතුර ටිකක් බල්ලට ටික ටික මගේම අතට දාල පෙව්වා. අපරාදෙ කියන්න බෑ. දාන දාන වතුර ටික බිව්වා. පෙනුමෙන් ඒකා ටිකක් සැපට හැදිච්චි කුක්කෙක් උනත් දවස් ගානක් නිරාහාරව හිටිය හිංදද මංදා කෙට්ටුම කෙට්ටු වෙලා. ටිකක් විතර බූල් තියෙන බල්ලෙක්. පස්සෙ ඌව උස්සගෙන අපි ආපහු එන්න කතා වෙච්චි පාරේ මැද තැනක තියල හෙවන එන්න අතු කොල ටිකකුත් ගහල අපි අපේ ගමන ගියා. ඒක කිව්වම මතක්වුනේ. අපි මෙි කාලෙම කිළිනොච්චිය අල්ලගත්තම එක පාරක් යන්න වුනා ඉරණමඩු කැලේ. ඒ ක්ලියරින් OPPs එකකට. කැලේ මැදින් ගිහින් අපි වැටුනේ ගමකට. ඒ ගමෙි නම නං මට දැන් මතකෙට එන්නෑ. කියනවට විස්වාශ කරන්න, සංසාරෙ දුකයි කියල හිතෙන කෙනෙකුට ඒ දැක්ක දර්ශණම ඇති රහත් වෙන්න. වල් අශ්වයො, හරක්, බල්ලො,පූසො, එළුවො තැන තැන මැරිල කුණු වෙලා. ගන්දස්සාරෙ බැ. ඒ අතරත් හිටියා නොමැරී ඉතුරුවුනු බල්ලො පූසො කිහිප දෙනෙක්. අපිව දැක්කම කෙඳිරි කෑ ගහගෙන ලඟට දුවගෙන ආවා. ඒක දැකපු මගේ ඇස්වලට කඳුලුත් ආවා. ඒ වෙද්දි අපි ගාව තිබුනා උදේ කෑම එකයි දවල් කෑම එකයි දෙකම. ඒ බත් පාර්සල්. අපි ගියපු ප්ලැටූන් එකේ ඔක්කොම එදා දවසේ කෑවෙි රෑට විතරයි. කොටි හිටියොත් ගහපුවාවෙ කියල හිතාගෙන අපි කලේ ඒ කෑම ඔක්කෝම එකතු කරලා ⁣කඩෙික තිබුනු තේ දාන ලොකු ඇලුමිනියම් මුට්ටියකටයි, ගෙවල්වල තිබුනු ලොකු ලොකු වළං අරගෙන ඒ වලං වලටයි දාල අනල අනල අර අහිංසකයින්ට අඬ ගහ ගහ කන්න දුන්නු එක. අපේ කපිතන් බණ්ඩාරත් එයාගෙ කෑම එක දුන්නා සත්තුන්ට දාපියව් කියල. උන්ට කොච්චර දුන්නත් හිතට මදි. පස්සෙ අපි ඇලකට බැහැල සීසීකඩ තිබුනු වළං ඔක්කොම එකතු කරල වතුර අරගෙන ඒවට පුරෝලා තැනින් තැන තිබ්බා. ඒ ඔක්කෝම කරල ඉවර වෙලා අපි බඩගින්නට කුරුම්බා කඩාගෙන කෑව.  


කතාවට යමුකො. අපි කොටින්ගෙ ෆාම් එකේ ඇවිදල ඇවිදල පිපිඤ්ඤා වට්ටක්කා අඹ කඩල උර වලට දාගෙන කෙසෙල් කැන් පිටින් කඩාගෙන අරන් ආව. පැක් එකෙන් එකයි දුංකොල. ආයෙ තැනක තිබුනා සරු සාරෙට වැඩුනු නිල්ම නිල් පාට අතේ ඇඟිලි පහ වගේ විහිදිච්චි කොල තියෙන ගස් ජාතියක්. ඒ ගස්වල කොල ටික ඔක්කොම අපි හූරගෙන පැක් පුරෝ ගත්තා. ඒ කොල ජාතියෙන් ඔන්නං හඳට උනත් ගිහෑකි. ඒකට කලමනා විදියට දුංකල කොල ටිකකුත් කඩාගෙන පැක් එකට ඔබා ගත්තා. ඒ අරගෙන එන ගමන් අපි ආවෙ අර කුක්කත් කරේ තියාගෙන. ඌ අපිත් එක්ක සෙල්ලං කර කර හිටියා කාලයක්.  ගං වතුරෙත් අපි එක්ක පීන පීන තැන තැන ගියා. වෙඩි සද්දෙට සත පහකට බය නෑ. හෙන හුරතල් බව්වෙක්. ආසාවෙ බෑ.

 එදා හේනෙ ඇවිදල  එද්දි වෙනදා වගේ මහා කාලකන්නි අදහසක් මට පහල වුනා. ඒ අපේ මූලස්ථානය ස්ථාපිත තිබුනු කිට්ටුව කෙසෙල් කැලේදි. අපේ හිටියා කෝපල්ලා දෙතුන් දෙනෙක්. එවුන්දැලාට කොටි මරපං කිව්වොත් දාහක් මරයි. ඒත් හොල්මන් වලට බයයි. එක්කෙනෙක්නං මෙි පෝස්ට් එකත් කියවනවා. ඒ නිසා නම කියන්නෑ. 

පොර තමා හොල්මං වලට වැඩිපුරම බය. සුදන්දිරපුරම් වලදි බයකලෙත් එයාවම තමා. මෙයාල හිටපු තැන හට්එක ලඟ තිබුනු කෙසෙල් කැලේට තමා මූත්‍රා කරන්න යන්නෙ. මටම සෙට් වෙලා හිටියා කෝප්‍රල් මලවිගේ. පොර හොල්මන් ගැන කියනකොට හොල්මන් කියල ජාතියක් තියෙනවද කියලවත් දන්නැතුව හිටපු අපෙත් ඇඟේ හී ගඩු පිපෙනවා. ඒ එන ගමන් අපි ගෙනා කෑම ජාති බෙදාගෙන බෙදාගෙන යද්දි කොහේදෝ ඉඳල කෝපල් %@$ත් ආව බිලට් එකට. එතනම තිබුනු බුරුත කොටයක් උඩ අපිත් වාඩි වෙලා හිටියෙ. මෙයත් ඇවිත් මෙතන වාඩිවුනා. වාඩිවෙලා කයිය පටන් ගත්තා. කොහොම හරි කතාවෙ පැත්ත මාරු කරල කෝපල් මලවිගේ පටන් ගත්තෙ හොල්මන් ගැන කියන්න. පොර කියපු විදියට පෙරේදා රෑ පොර පස්සෙ මැරිච්චි දෙමළ ගෑනු කෙනෙක් පන්නලා. ඊට කලින් දවසෙ රෑ විසිට් එකක් යද්දි කැලේ කිට්ටුවදි ගෑනු කෙනෙක් කෙඳිරිගාල ඇහිල තියෙනව. ඒකනං වෙන්න බෑ. මොකද ගෑනු කෙඳිරිගාන්නෙ මලවිගේට අහුවුනොත් තමා. ආයෙ දවසක පිරිමි කෙනෙක් මලවිගේ අතින් ඇදල. පොර කිව්ව විදියට මාත් බයවෙලා තියෙනවලු කෙහෙල් කැලේදි. එයා කතාව කියද්දි මට තිබුනේ ඔලුව වනන්න විතරයි. අන්තිමට ඊයෙ රෑ තමා හොඳම එක වෙලා තියෙන්නෙ. කෙහෙල් කැලේ අස්සෙන් එකෙක් සර සර ගාල දුවද්දි, ඒ සද්දෙ පස්සෙ පන්නපු මලවිගේගෙ ඇස් පනාපිටම ඒ දුවපු එකා දුම් ගොඩක් බවට පත්වෙලා පා වෙවී පාවෙවී උඩට ගිහින්. අපි ගැන හොඳට දන්නවා උනත්, කියන ඔිනෑම බොරුවක් ඉහ මුදුනෙන් අදහන බය කෝපල්, ඒ කතා ටික අහගෙන හිටියෙ පොර මෙි දැන් හොල්මනකට කොටු වෙලා වාගෙ.ඇස් විසාල වෙලා, කට ඇරිලා, කන් කඩා පාත් වෙලා තොල කට වෙිලිලා ඇඟත් එක්ක හිරි වැටිලා. හිටපු අනෙක් අයත් ඒවට ලුනු ඇඹුල් දාල රස බලනවා. මෙි වෙද්දි ඇති හවස පහමාරට විතර. අපිත් දාර කොබෝ නයි රෑනක්ම එළවලා ආපහු ඉන්න ඉන්න තැන්වලට එන්න ආවෙ හිනාවෙවී. කෝපල් මලවිගේ කියපු කතා ටික හිංද මාත් තීරණය කරා හයෙන් පස්සෙ තනියෙන් එලියට නොබැහැ ඉන්ඩ.


පහුවදා මූලස්ථාන කණ්ඩායමෙි හෙන කේස් එකක්. රෙෂන් පැකට් කරන්න ගෙනාපු සිලි කවර වගයක් නැතිවෙලා. හොයනවා හොයනවා බඩු නෑලු. ඒවා බාරව හිටපු ක්ලාක්ට ඔිසී බනිනවා බනිනවා ඉවරෙකුත් නෑ. ඌත් බැනුම් අහ අහ "මෙතන තියල කෑමට ගියේ සර්" කිය කිය පලිසක්කර ගගහ දිවුරනවා. කොහොම හරි බඩු නෑ. හම්බවුනෙත් නෑ. දවස් දෙකක් තුනක් යද්දි මායි කෝපල් මලවිගේයි ආයි ගියා කෙහෙල් කපන්න. යද්දි දැක්කා බිලට් එක පිටිපස්සෙ තිබ්බ කෙහෙල් කැන්වලයි ගස්වලයි කොල පාට සිලිකවර පැටලිලා එල්ලිලා. ඒවගේ මොනවා හරි දාල විසිකරලා, ඒව ගස්වලයි කැන්වලයි පැටලිලා. අපි දෙන්නට හෙන පෙහේලිකාවක්වුනේ "කොහොමද යකෝ මෙහෙම උනේ" කියල. මාත් එක කවරයක මොනාද වතුර වගේ දෙයක් ඉතුරුවෙලා තියෙනව දැකල ඒක කෝට්ටකින් අරන් ඉව කරල බැලුවා. එතකොටයි අපි දෙන්නටම ෂර්ලොක් හෝම්ස් වැහුනේ. ඒවෑ තිබුනේ මනුස්ස මුත්‍රා වගයක්. සෑම්පලේ හැටියට මෙික කරපු කෙනත්, සිලිකවර බංඩලේට වෙච්චි දේත් අපි දෙන්නට වැටහුනා. අපි දෙන්න යන ගමන නවත්තලා ආපහු ආව බිලට් එකට. ඇවිත් මලවිගේ අර කෝපල්%@$ගෙන් ඔලුවෙ ගාන්න තෙල් ඩිංගක් ඉල්ලුවා. තෙල් දෙන්න පෙට්ටිය අරිද්දි මලවිගේ ඔලුව දාල පෙට්ටිය දිහා බලනකොට නැතිවෙච්චි සිලිකවර බංඩලෙන් කවර කීපයක් පොරගෙ ට්‍රන්ක පෙට්ටියේ අයිනක උන්ඩි කරල දාල තියෙනව දැකල. අනෙක්ව යට පෙට්ටියේ තිබිල අපි ඉල්ලගත්තා පිපිඤ්ඤා දාල ගෙනත් දෙන්නං කියල. පිපිඤ්ඤ ගේන්න නෙමෙි අපි ඉල්ලුවෙි. අනික්වා ටික කෝ කියල බලාගන්නයි ඔිනවුනේ. බඩු හරි. කවර සීයෙ බන්ඩල් දෙකක් පොරගෙ යට පෙට්ටියෙ. අම්මට සිරි උනා කිහාල්ලකො, මලවිගේ ඇද්දනෙ කේස් එක. ඒකට කුලප්පු වෙච්චි අරය වෙඩි තියාගත්තෙ නැති ටික විතරයි. අපිට මැරෙන්ඩ හිනා සීන් එකට. හිතාගත්තැකිනෙ වෙලා තියෙන දේ. පොර විසිට් එක බලන්න යද්දි කවර ටික මෙිසෙ උඩ තියෙනවා දැකල හොරෙන්ම කිහිල්ලෙ ගහගෙන ඇවිත් හංගගෙන. ඒ රෑ වුනාට පස්සෙ ඒවට චූ කරල විසික්ක කරන්න. එහෙම අයත් හිටියා. පව් ඉතින්. ඒකත් මානසික තත්ත්වයක්නෙ. පස්සෙ කව්රු හරි ඒක  ඔිසීට කියල, ඔිසීත් අහලා,අන්තිමෙි මුලු ඒකකයෙම ප්‍රසිද්ද වුනා සීන් එක.


දුක්ම සීන් එක වුනේ ඊට පස්සෙ. කන්න නැතුව වැටිල ඉද්දි අරන් ඇවිත් කන්න බොන්න දීල හුරතලේට ඇතිකරපු අර බව්වා පුනරීන් වලදි කොටිත් එක්ක ඇතිවුනු ගැටුමකදි කොටි ගහපු මෝටාර් එකකට අහුවුනා. අපි දකිද්දි උගේ හරියටම කොන්ද මැද්දෙන් දෙකට කැඩිලා මැරිල හිටියා. ජීවිතේ හැටි ඔහොම තමා ෆෙන්ස්. සතාටත් මනුෂ්‍යාටත් යුද්දෙකින් කවදාවත් හොඳක් වුනේ නෑ. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.23


දැන්නම් කතා ලියන්න වෙලාවකුත් නෑ. පොඩි වැඩකට අත ගහල ඉන්න නිසා. ඒ හිංද පුලු පුලුවන් වෙලාවට කතා පලකරන්නම් යාලුවනේ ඈ.....

Saturday, February 13, 2021

වැලංටයිං

 අපි ඔය වැලංටයිං සමරන්න යන කාලෙ අම්මන්ඩිලා තම තමන්ගේ කෙල්ලො විතරක් නෙමෙි, තරුණ  පහේ වැස්සියොත් ගෙට ගත්තා මයෙ පුතා. ඒකටත් එක්ක දැං.  අතේ ඇති ගානට හතු පිපෙන්නා වාගෙ හැතැම්මෙන්  හැතැම්මට තානායම් තියෙද්දි ලන්දවල්,බඩ වැඩි වලට තියෙන ඉල්ලුම අඩුවුනා නෙවැ. අනික අපි වැලැංටයිං සමරනවා කියල විසේසයක් නෑ. ඉස්සර මැණිකෙ කජු ලන්ද පැත්තෙන් වට පිට බල බලා හීන් සැරේ වැවට ඇදෙනවා කියන්නෙ එදාට ඉතිං මගදිම වැලංටයිං තමා. දැං වගේ තෑගි බෝග ඔව්වා මොනාක්කත් ඉස්සර නෑ. ඔව්ව මෙි මිනිස්සු හදාගනිපුවා බං. ඔික සමරලා අහක්කෙලා බිලි පිත්තෙන් බා ගත්තු පොල් කාවයියො රෑනක්, කබර ලූලෙක් හෙම තමා දෙන තෑග්ග. මං නං ඔය දවැස් වලට වැවට යන්නෙ හොඳ තෝර බීඩි මිටියකුයි, බුලත් පයියකුයි එක්ක. ඔික වරුවකටම ඇති.  මැණිකෙ එද්දි බඩ ඉරිඟු කරල් හතර පහක් ඇන්න ආවම ඔිවත් කකා වැලංටයිං තමා ඉතින්.අහලා බලාල්ලකො බොරු නං... ඔය කුස්සියෙ තෝම්බු කොටනවා වාගෙ හුජ හුජ ගගා කියෝනවා ඇහෙන්නෙ උන්දැ. 


වැව් ඉස්මත්තෙ දවසක්දා වැලංටයිං කොරන්ඩ ගිහින්නොවැ මහ අප්පල එවුන්දෑ මයෙ කරේ එල්ලුවෙ. දුං කරවල කෑල්ලෙ පාටට හිටියට අපරාදෙ කියන්ඩ බෑ ඔවුන්දැට හෙන විසේ ඒ කාලෙත්. කාර් බාර් නැතිවුනත් මයෙ බරබාගෙ තමා වාහනේ. හුරුල්ලෙන් කැලේට දාපුවම වැලංටයිනුත් සමරලා අලිත් බලාගෙන තමා හබරනින් එලි පාන්නෙ. මං ඉස් ඉස්සෙල්ලාම වැලංටයින් සමරපු දවසෙ මැනිකෙ ඇවිද්දෙත් ඉකිලි කැපිල වගේ ඔිං. හිතාගනිල්ලකො.


සීයාගේ කතන්දරේ


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.12

දුක් විඳ ජීවිතය ජය ගත්තෝ



අද මං කියන්න යන්නේ ඉතා වැදගත් කතාවක්. 


අපේ රටෙි ඉන්න සුපිරි ධනවතුන් උපතින්ම සල්ලිකාරයො නෙමෙයි. අපේ රටෙි විතරක් නෙමෙි මුලු ලෝකයේම. 

අපේ ⁣රටෙි සුපුරිම ධනවතුන් වන ධම්මික පෙරේා,නවලෝක මුදලාලි,දම්රෝ මුදලාලි ආදීන් බිංදුවෙන් තමා තමන්ගෙ ජීවිතය පටන් ගත්තෙ. ධම්මික පෙරේරා මහතා නම් තමාගෙ කතාව කියන්නෙ පේමන්ට් එකේ සපත්තු විකුනපු කෙනෙක් එක්ක ගහපු ඩීල් එකකින් ජීවිතය පටන් ගත්තා කියලා. නවලෝක මුදලාලිත් කඩෙික තේ හැදුවාලු. ඇත්ත වෙන්න ඇති. මොකද ඒවා ජීවමාන සාක්ෂි. අද මං ඔතනට එකතු කරන්න යන්නේ අපේ ගමෙි චරිතයක් ගැන. 


කතා නායකයාගෙ නම විතරක් මන:කල්පිතයි. සිදුවීම සත්‍යයි. 

මෙයා ජීවිතය පටන්ගත්තෙ බිංදු අරික්කාලෙන්. කඩෙි ඒ දවස්වල කහට එකක් සත පනහයි. ප්ලේන්ටියක් රුපියලයි. සමහර කඩවල්වල විතරන් එකයි දහයයි. මෙි සත පනහෙ කහට එකක් උනත් මෙයා බිව්වෙ ඒක කව්රු හරි අරන් දුන්නොත් පමණයි. මොකද ඒ තරමට හිඳිලා. මාත් අරන් දීලා තියෙනවා කිඹුලා බනිස් එකයි කහට එකයි. 

එක දවසක් මං මෙයාගෙන් අහනවා "මචං, උඹ හැමදාටම මෙහෙම ඉන්නද කල්පනාව?. කියල.

මිනිහා කිව්වෙත් "පිස්සුද මචං, මං බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ" කියල. බම්බුව තමා. අනේ ඌ කරන බිස්නස්. 


කාලයක් ගතවුනා. එහෙම හිටිය මිනිහා ඉස්සෙල්ලම එක පාරටම සීඩී 90ක් ගත්තා. ආං එතකොටයි අ⁣පිටත් තරු පෙනුනෙ. ඔබ දන්නවාද ඔබට බයික් එකක් තියෙනවනං  මෙි ලෝකෙ බිලියන කීයකින් එක් වාසනාවන්තයෙක්ද කියලා??. මිනිහා ඒ වාසනාවන්තයන් ගොඩට අපිටත් කලින් එකතුවුනා. ආයෙ කාලයක් ගතවුනා.  මිනිහා නිදි මරාගෙන, මදුරුවො තල තලා, හරියට බඩට කෑමක්වත් නැතුව, රැයක් දවාලක් කියල හිතන්නැතුව, ඉතා මහන්සියෙන් දුක් විඳලා ආරම්භ කරපු ව්‍යාපාරය මොන බාධකය ආවත් අත් හරින්නැතුව දිගටම කරගෙන ගියා.  අවුරුද්දක් විතර යද්දි මිනිහගේ බිස්නස් පාර නැගල ගියා. ආයෙ අවුරුද්දක් යනකොට ඉඩමක් ගත්ත, ආයෙ කාලෙකින් ලස්සන ගෙයක් හැදුවා. අද මෙි වෙනකොට මිනිහටම කියලා හාඩ්වෙයාර් එකයි,ටිපර් දෙකයි,කැන්ටර් ටිපර් එකයි, බැකෝ දෙකයි, ලෝඩරයකුයි තට්ටු තුනක හොටෙල් එකකුයි, කොන්ක්‍රීට් වැඩ පොලකුයි තියෙනවා.  ගංගා බීඩි දෙකක් වගේ හීන් කකුල් දෙකක් තියෙන, මල් ඇවරියක් වගේ කටෙි දත් පිහිටපු බුවා ඉස්සර සත පනහෙ කහට අරන් දුන්නු අපිට අද පොර ගානෙ ඉඳල හිටල හරි ජින් බෝතලයක්, වටිනා අරක්කු බෝතලයක් හම්බ වෙනවා. ඒත් අපි තාම එතැනමයි.හැබැයි මිනිහා අද කොච්චර පොහොසතෙක් වුනත් ඔහු, ඔහුගෙ  පළවෙනි ව්‍යාපාර සංකල්පය අත් හැරල නෑ. අදටත් ඒක කරනවා.හැබැයි කාලෙ තාලයට ගැලපෙන පරිදි මොඩිෆයි විදියට. මෙයා බයිකෙන් ගත්තු තරම් වැඩ අපි තාම කකුල් දෙකෙන්වත් අරන් නෑ. 


මිනිහා හා හා පුරා කියල බිස්නස් එකට අත ගහන්නෙ හඳ පායපු මහ රෑක. ඒක සාර්ථක වුනාට පස්සෙ ඔහු දිගට හරහට නිදි මරලා තමන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. තමන්ගේ සිහිනය වුනේ හැමදාටම කාගෙවත් බාධාවක් නැතුව මෙික කරගෙන යන්න. ඒ දවස්වල මෙි කාලෙ වගෙ කකුලෙන් අදින අය හිටියෙ නෑ. ඒකටත් හේතුවක් තිබුනා. මෙයාගෙ නව ව්‍යාපාරයෙන් ගොඩක්ම ප්‍රතිලාභ ගත්තෙ අපේ තාත්තලගෙ කාලෙ අය. මිනිහා ගාව තිබුනෙ මාරම සැලසුම්. 

පොර බයිසිකලෙන් කරන්නෙ ඉස්සෙල්ලාම ගම වටෙි විසිට් එකක් යන එක. ඊට පස්සෙ තමා වැඩෙි ආරම්භ කරන්නෙ. ගමෙි වැඩිහිටි අයටත් මෙයාගෙන් සෑහෙන සේවයක් සැලසුනා. අපේ තාත්තටත්. 


ඉතින් සීනි කිලෝ පහෙන් වැල වරකා ගෙඩියෙන් අන්නාසි ගෙඩියෙන් පටන් ගත්තු ව්‍යාපාරය අදනම් කරන්නෑ. දැන් කරන්නෙ ස්කූටි බයික් එකේ බඩු දාන වල වගේ එකේ ගල් බෝතල් පහක් විතඑ දාගෙන ඇවිත් පාරෙ කරක් ගග ගගහ කාල, බාගෙ  සහ බෝතලේ ගානෙ විකුනන එක. මගෙත් යාලුවො කීපදෙනෙක්ම පොරගෙන් බඩු ගන්නවා.කොරෝනා කාලෙ ආවම ඒ බිස්නස් එකෙන්ම මහ ටැට්ටරයකුත් ගත්තා. ඒ තරං සල්ලි කඳක්. ඉතින් ඔබ තවත් ලත වෙන්න එපා. සීනි කිලෝ පහම නැතත්, කිලෝ දෙකත් ඇති. අවශ්‍ය වෙන්නෙ පෙරාගෙන ඇවිත් වෙල මැද්දෙ වලක් වගේ තියෙන තැනක ඉඳගෙන ඉන්න එක විතරයි. අත්දුටුයි පත්යක්සයි. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.13


Wednesday, February 10, 2021

මාවිල්ලාරු 05 කල්ලාර් සිට අඩම්පන් දක්වා

 මාවිල්ආරු 05. කල්ලාර් සිට අඩම්පන් දක්වා.


ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර නවාතැනක්. ජීවිතය විඳින ආකාරය අනුව ඒක කෙ⁣නාගෙන් කෙනාට වෙනස් වෙනවා. ජීවිතේ වටිනාකම දන්නෙ තේරෙන්නෙ 99.9 කින් අනතුරකින්  ජීවිතේ බෙිරගත්ත කෙනා කියල කතාවකුත් අහල තියෙනවා. 

අනතුර කියන එක සෙබළකුගෙ ජීවිතේ එක්ක ලේ වලින් බැඳිල තියෙන දෙයක්. සටනකට යන්නේ කව්රුත් මැරෙන්නවත් තුවාල වෙන්නවත් බලාගෙන නෙමෙයි. ඒත් තම තමන්ගේ පිං පව් අනුව වාසනාව අවාසනාව අනුව ඒක සිද්ධ වෙනවා. ඒත් පොදු ධර්මතාවයක් තියෙනවා කොතන කොහොම හිටියත් වෙලාව ආවනං යන්න ඔින කියන එක. හැබැයි මං කියන්නෙ මෙික සෙබළාට අදාල නෑ කියල. යුද්දෙන් තිස් දාහක් මැරුනනං ඒ තිස්දාහම මැරෙන්න වෙලාව ආව අය නෙමෙයි. ඉන්න ඇති සමහරෙක්. ඒත් හැමෝම නෙමෙයි. 


මාවිල්ආරුවෙන් පටන් ගත්තු සටන නැගෙනහිර මුදාගැනීමත් සමග නැගෙනහිර යුද්ධය අවසන්වුනා. ඊට පස්සෙ පටන් ගත්තෙ නැගෙනහිර ප්‍රතිසංස්කරණ කටයුතු. හමුදාවෙන් විශාල දායකත්වයක් මෙි සඳහා දැක්වූවා. අපිටත් සිවිල් ජීවිත නැවත නගා සිටුවීම වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න වුනා. 


ඒ අතරතුරේ වන්නි මානුෂීය මෙහෙයුම පටන් ගත්තම අපි කල්ලාර්වලින්  ආවෙ අඩම්පන් වලට. ඒ මුලින් ටික දෙනෙක් උතුරු මානුෂීය මෙහෙයුම සඳහා සහභාගි වීමට. 


මන්නාරම මැදවච්චිය පාරේ මන්නාරම සිට කිලෝමීටර් හත අටක් මැදවච්චිය පැත්තට වෙන්න පිහිටි කුරුස හංදියෙන් අපි උතුරට හැරිල සෑහෙන දුරක් ගියා. ඒ ගිහින් ගිහින් මතුවුනේ අඩම්පන් නගරයෙන්. අඩම්පන් සිට අපේ කණ්ඩායමට භාරවුනේ ආධාරක භඨ පිරිස් (Reinforcements) රාජකාරි. ඒ අනුව ඉදිරි ආරක්ෂක වළල්ලට ටිකක් පිටුපසින් තමා අපි රාජකාරියේ යෙදවුයේ. එතකොට අපේ ඒකකයේ ගොඩක් භඨ පිරිස් මෙි ලයින් වල රාජකාරිවලට ටිකක් ආධුනිකයි. ඒකයි මුලින්ම ආධාරක භඨ පිරිස් විදියට කටයුතු කරන්න යෙදෙව්වෙි. මමනං තුන් පාරක් විතර ඔය ලයින් වල රාජකාරි වල ඉඳල තියෙනවා. ඒ එක පාරක් ආවෙ මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල හරහා මුලතිව් වට්ටාප්පලෛවලට මෙහා නැදුන්කර්නි කියන හරියෙ ලයින් එකට. 


 මට මැලේරියා සන්නිපාතෙ හැදිල මෙඩිකල් නිවාඩු ගිහින් සුවයක් නැතිවූ තැන නැවත රෝහල් ගතවෙලා ඉඳලා දවස් හතරකුත් ඇබ්සන් වෙලා මං නැවතිලා හිටපු රාගම හොස්පිට්ල් එකෙන් බෙිත් අරන් එහෙම්මම පනාගොඩ ගියා. ඒ ගිහින් රෙජිමෙින්තුවට රපෝර්තු කලාම නැවත පනාගොඩ අපේ රෝහලේ ඇඩ්මිට් කලා. එහෙ හිටිය ආයෙ දවස්ගානක්. ඉඳලා සුව වූ විගස ඩිස්චාර්ජ් වෙලා ආවෙත් රෙජිමෙින්තුවට. ඒ එද්දි ඉහලින් ඔිඩර්ස් එකක් ඇවිත් තිබුනා පැය 24ක කාලයක් ඇතුලත භඨයින් 90ක්  මාන්කුලම් ලයින් එකට යවන්න ලෑස්ති කරන්න කියල. මගේ ඔලුව දැක්ක ගමන් බළලත් නිළධාරි 1 ලක්ෂ්මන් "ආං තව එකෙක් එනවා" කිව්වා. ඒක මටත් ඇහුනා. එතකොට මං සිවිල් ඇඳුමෙන් ඉස්පිරිතාලෙ ඉඳල ටිකට් කපාගෙන එන ගමන්. මගෙන් ඇහුවෙ "ෆිට්ද? කැටගරිද" කියල විතරයි. මම ෆිට් කරාගෙනම ආවෙ හෙට මෙහෙන් මගේ ඒකකයට යන්න බලාගෙන. මම "ෆිට් සර්" කිව්ව විතරයි, පිළිතුර වුනේ "එහෙනං මෙහෙන් පෝලිම් වෙයන්" කියල. පස්සෙ ඇඳුම් බෑග්එක ඩියුටි රූම් එක ගාව තියෙන පඩිපෙල උඩින් තියල සිවිල් ඇඳුමෙන්ම පෝලිම් වෙච්චි පාර නැවතුනේ නැදුන්කර්නි ලයින් එකෙන්. ආං එහෙමයි හමුදාව අපිට සැලකුවෙ. අපිව මාන්කුලම් යවන්නෙ කිව්වත් ගිහින් නැවතුනේ නැදුන්කර්නි ලයින් එකේ.  නැදුන්කර්නි  ලයින් එකේ ඉද්දි තමා මුලු ලයින් එකම වව්නියාවට එනකං පසු බැස්සෙ. අපි කැලෙන් එලියට ඇවිත් පාර දිගේ පෝලිමට දවස් ගානක් තිස්සේ ඔිමන්තේ දක්වා ආවා. බඩගින්නෙ ආවෙ. තිබහට බොන්න වතුර පොදක් තිබුනෙ නෑ. තිබහෙ ඉන්න බැරුව පට්ට ගිනි අව්වෙ විජලනයටත් පත්වෙලා කටෙන් සෙම වැක්කෙරෙද්දි වාසනාවකට ඇලක් ගාවට ඇවිත් තිබුනා. අපි තුන් හාරසීයක් දෙනා ඒ ඇලෙන් වතුර බිව්වෙ. ඇලේ උඩින් මී හරක් නානවා. වතුර මඩ පාටයි. වතුරෙ පාවෙවී ආව ගොම්බෙටි අතින්  එහෙ මෙහෙ කරල තමා අපි පල්ලෙහායින් වතුර බිව්වෙ. ඒ තමා අපේ රටෙි දේශපාලනයෙ හැටි. එහෙම වෙන්න හේතුවක් කාරණාවක් මුකුත් දන්නෑ, අපිව ගිහින් අතෑරපු පාබල බළඇණියෙ ඔිසී අපිට කිව්වෙ "අපිත් යමන්, ආං කට්ටියම යනවා" කියලා විතරයි. අපිත් අතට අහුවෙච්චි අහුවෙච්චි දේවල් අරගෙන තමා ඉන්න ඉන්න තැන්වලින් පාරට ඇවිත් එන්න ආවෙ. අපි පාර⁣ට එද්දි සෙබළුන් හාරදාහක් විතර පෝලිමට ඔහේ එනවා. අපිත් ඒකට එකතු වෙලා ඔිහේ ආවා. අපි ඔිමන්තේ වලට ආවෙ දවස් කීපයකට පස්සෙ. ඒ ආවහම තමා කෑම වෙිලක් හම්බවුනේ. ඒකත් පොරකාල ගත්තු නිසා අරං කෑවා. අපි අමුතුම ජීවින් කොටසක් වගේ වෙලා හිටියෙ. අපේ රෙජිමෙන් ගිය අයගෙ නම් අතුරුදහන් ලිස්ට් එකටත් ඇතුලත් කරලා එද්දි. රෙජිමේන්තුවවත් දන්නෑ අපි ඉන්නෙ කොහෙද?, මොන ඒකකය යටතේද, මුන් ගියාට පස්සෙ මුන්ට මොකද වුනේ කියලවත්. වව්නියාවට ආපු ආපු අයගෙන් විස්තර ගද්දි අපි මාන් කුලම් ඉන්නව කියල හිතපු රෙජිමෙින්තුව, මාන්කුලම් වලින් ඔිමන්තෙයිවලට ආපු අයගෙ විස්තර අතරේ අපේ නම් නැතිවුනාම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතුරුදහන් ලිස්ට් එකට නමත් ගහල, ඒකකවලටත් දන්වලා. ඒකක වලින් අපිව අයත් පොලීසි හරහා ගෙවල් වලටත් දන්වලා. ඒක වැඩි හරියක්ම වෙන්න හේතුව වුනෙත් අපි බඩගින්නෙ වල්වැදුනා. කැලේ අස්සෙ රිංගලා ගඩාගෙඩි කන්න හෙව්ව. තිබහට වතුර හෙව්ව. මොකද අපි මෙලෝ දෙයක් දන්නැතුව වතුර බෝතලේවත් අරන් නෙමෙි ආවෙ. ඒව ඔක්කොම ලයින් එකේ දාල ආවෙ. තුවක්කුවයි සිවිල් ඇඳුමයි, ඇඳන් හිටපු යුනිෆේම් එකයි පර්ස් එකයි විතරයි අපිට ඉතුරුවෙලා තිබුනෙ.


.ඒ වෙද්දි ඉංජිනේරු බළකායෙ නිළධාරියෙක් එක්ක 18 දෙනෙකුත් අපේ එහෙ ගියපු 90න් 21ක් දෙනෙකුත් අර පෝලිමට ආපු අයගෙන් කැඩිල කැලේ මැද්දෙන් ආවෙ. අපි ඔිමන්තේ වලට එද්දි පාරෙ ආපු අය අපිට දවස් දෙකකට විතර කලින් ඇවිත්.  ඒකටත් හේතුව අපි කැලේ මැද නන්නත්තාර වෙච්චි එක. පාරක් හොයාගන්න බැරුව ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්නකොට තමා අහම්බෙන් වෙඩි සද්ද වගයක් ඇහිල ඒ සද්දෙ ඇහෙන පැත්තට ආවෙ. මොකද අපි දැනගෙන හිටියා අහසෙ තරු පිහිටීම හා කැලේ මැද්දෙ අපි ඉන්න හරිය අනුව සහ පුහුණු වීම් වලදී උගන්වපු දේවල් අනුව මනසින් කල්පනා කරල බලද්දි ඒ වෙඩි සද්දෙ කොටින්ගෙ වෙන්න බෑ කියල. අපිත් ඉංජිනේරු සෙබළු පස්සෙ වැටිල ඔහේ ආවෙ. ඉංජිනේරු සහ සංඥා කියන්නේ ලේ ඥාතීත්වයක් තියෙන රෙජිමෙින්තු දෙකක්. ඒ කියන්නෙ සංඥා බළකාය 1947 අවුරුද්දෙ පිහිටෙව්වෙ ඉංජිනේරු බළකායෙ සංඥා අංශයේ හිටපු සෙබළුන්ගෙන්. ඉස්සර සංඥා ඒකකයක් තිබිල නෑ. ඒ රාජකාරි කලේත් ඉංජිනේරු බළකායෙන්මයි. ඒ බලකායෙ සංඥා අංශය තමා පස්සෙ කාලෙ සංඥා බළකාය බවට පත්වුනේ.


අපි පාරට ආවෙ කනගරායන්කුලමටත් කිලෝමීටර් ගානක් උතුරු පැත්තට වෙන්න කනගරායන්කුලමත්, මාන්කුලමත් මැද හරියෙන්.  ඒ ඇවිත් බොහොම අමාරුවෙන් ආයෙ පාරට සමගාමීව කැලේ අයිනෙන් සොම්බි වගේ ඔහේ එන්න ආව. කොටි ආවනං අපිව වඩාගෙන එක්ක යන සයිස් එකක් තිබුනෙ. අපිට නැදුන්කර්නි ඉඳලා ඔිමන්තේ වලට එන්න දවස් නවයක් ගිහින් තිබුනා. අපිට කලින් ආපු අයට වෙච්චි දෙයක් නෑ. අපි යද්දි මගදි හම්බුන එයා ෆෝස් එකේ කට්ටියක්ගෙන් ඉල්ලුවෙ වතුර විතරයි. ඒවා අඩුපාඩුවක් නැතුව ලැබුනා. පස්සෙ එයාෆෝස් ටීම් එකක් අපිව අපේ මෙඩිකල් සෙක්ෂන් එකට අරං ගියා. සේලයින් දුන්නා. කෑම දුන්නා. ඊට පස්සෙ තමා කතා කලේ. ඒක හෙන ආන්දෝලනාත්මක කතාවක්. මෙහෙම ලේසියෙන් කිව්වට. මොකද ඒ වෙද්දි අපි අතුරුදහන් කියල මුලු ලෝකෙම දැනගෙන ඉවරයි. කොටින්ම අපේ ගෙවල් වල අය පවා. මං ඒ ඇවිත් පනාගොඩින් බෝලයක් අල්ලලා නිවාඩුවට ගෙදර එද්දි අම්මට පිස්සු හැදිලා.

අපිව කව්ද කියල අඳුරගන්න වව්නියාවෙ සංඥා අංශ භාර ලුතිතන් විජේරත්න ඉදිරි සැරහුම් මධ්‍යාස්ථානෙට ආවා. එයා අපේ එක්කෙනෙක්ව අඳුරගෙන එයාගෙන් අපේ විස්තර ඔක්කොම අරගෙන සේරම නිවැරදි කලා. ඊට පහුවෙනිදා රෑ හතේ අයිටීඑන් එකේ ප්‍රවෘත්තිවලට කිව්වා අතුරුදහන් වී සිටි තවත් සෙබළුන් පනස් හය ⁣දෙනෙක් නිරුපද්‍රිතව ඔිමන්තේ මුරපොල වෙත ආව කියල. ඒ කියන්නෙ තව කට්ටියක් අපි වගේ අතරමංවෙලා ඇවිත්. ඒත් ඉංජිනේරු බලකායෙ ටීම් එකක්. එයාලත් එක්ක තමා 56 වුනේ. එතකොට මුලු ලෝකෙටම නිවුස් එක දීලා එල්ටීටීඊ එකේ නොනවතින රැල්ලෙන් හමුදාව වව්නියාවට එනකං පසු බැස්සුවාය කියල. බම්බුව තමා. අපිනං එක උන්ඩයක් වෙඩි තිබ්බෙත් නෑ. වෙච්චි දේයක් දන්නෙත් නෑ. තිබහයි බඩගින්නයි එක්ක තමා සොම්බි වගේ දාර සටනක් කලේ. වැඩිය කියන්න යන්නෑ. කිව්වොත් ඔිව කේලං වලට යන්න බැරි නෑ. නැත්තං කිව්වහැකි පැන්සන් ගියපු අයත් ගෙන්නල හිරේ දම්මන්ඩ පුලුවන් වෙන්ඩ. කැලේ මැද්දෙ තිබ්බ පොඩි පොඩි වැව්වලින් තමා අපි පිපාසය සංසිඳවා ගත්තෙ. ඒත් හතර දෙ⁣නා ගානෙ බඩ ගාගෙන ගිහින්. කියන්න බෑනෙ, කැලේ බඩු හිටියොත් සොරිමනෙ. 


ඒ ඇවිත් අපිව එම්ඩීඑස් එකෙන් ඩිස්චාර්ජ් කරපු ගමන් ආයෙ අතෑරල ආපුව අල්ලන්න යන්න අපිව දැම්මා. අපි බෑම කිව්වා. පස්සෙ ලුතිතන් විජේරත්නට පිංසිද්ද වෙන්න රෙජිමෙින්තුවත් එක්ක කතා කරල අපි 90 දෙනාගෙන් ඉතුරු වෙලා හිටපු 81 දෙනෙක් ඉහලින් ආපු නියෝගයක් මත පනාගොඩින්ම බස් ඇවිත් ආයෙ පනාගොඩ අරං ගියා. ඒ ගිහින් මං ආයෙ අසනීපවුනා. ආයෙත් පනාගොඩ අපේ රෝහලේ දවස් ගානක් ඉඳල, රෙජිමට ඇවිත් නිදැල්ලේ ඇරපු හරකෙක් වගේ ඉද්දි තමා මං අපේ හිටපු අණදෙන නිළධාරි කෙනෙක් මාර්ගයෙන් බෝලයක් අල්ලල ඒකකයට ආවෙ. (බෝලයක් අල්ලනව කියන්නෙ අපේ භාෂාවෙන් පුදුගලික දැන හැඳුනුම්කමක් මත චාන්ස් ගන්නවා කියන එක). ඒකත් මං කරගත්තෙ ඒ සර් පනාගොඩ උදේ හවස යනව එනව දැකල,එදා  හවස ඔිෆ් වෙලා සර් ගෙදර යද්දි පාරට පැනල ස්ටාෆ් වෙහිකල් එකට අතදාල මගින්ම නවත්ත ගෙන තමා දුක් ගැනවිල්ල කිව්වෙ. එසැනින් ක්‍රියාත්මකවුනු සර් මගේ හැසිරීම කෙසේ වෙතත්, ඒකකය වෙනුවෙන් කරපු දේවල් දන්න නිසා ඒ වාහනේ ඉඳගෙනම රෙජිමෙ විධායක අධිකාරීතුමාට කෝල් එකක් දීලා, දවස් හතක නිවාඩුවකුත් අනුමත කරල දීල ගමන් නියෝගයකුත් අත්සන් කරවලා එදා රෑ නවය වෙද්දි එලියටත් යන්න සැලැස්සුවෙ. හැබැයි මං කෙලින්ම සර්ට කිව්වා වෙන දෙයක් වෙන්නෙ පස්සෙනේ කියල හිතල , "සර්, මට ඒකකයට යන්න බැරි වුනොත් මෙි තමා මං හමුදාවෙ ගත කරන අවසන්ම රැය, මං සර්ව හම්බවෙන්නම හිටියෙ ඒකයි" කියලා. සත්තකින්ම මට හමුදාව ගැන උපරිමෙිටම කලකිරිලා පැනල යන්න හිතාගෙන හිටියෙ. අතුරුදහං වෙලා ඉඳලත් ඔින්න ඔහොමයි මං ගෙදර ගියෙ. අනික  "ඔින්න ඔික තමා එක ලයින් එකක කේජු කන්ඩ ගිහින් මං කොරගත්තෙ". මැලේරියාවක් මාව යවපු වටයක්.


කතාවට යමුකො. ඔහොම ⁣අපි දෙවෙනි ලයින් එකේ ඉඳල  1වන කාර්‍ය සේනාංකයට පිහිටෙව්වම ඒකට ඇතුලත් කලාට පස්සෙ කෙලින්ම යුද්ධයට සම්බන්ධවුනා. වෙඩිතල්තිවු වලින් පස්සෙ දිගටම අපේ ඒකකයට අයත් භඨ පිරිස් සතුරා සමග මුහුනට මුහුන සටන් වලට අවතීර්ණවුනා. ඒ වෙද්දි අපේ ඒකකය සම්පූර්ණයෙන්ම 58 සේනාංකයට ඇවිත් තිබුනෙ නෑ. තෝරාගත්තු කණ්ඩායම් දෙකක් විතරයි මුලින් ආවෙ. අපි එහෙම ⁣දිගටම වෙල්ලන්කුලම් දක්වා ආවා. ඒ එන ගමනේදී පාලමක් අපේ පාලනයට ගන්න හෙන ගේමක් දීල ඒක අත්පත් කරගත්තා. ඊට පස්සෙ පොලව යට ඉදිකරනලද බංකර් පෙළක්. ඒ ආදී වශයෙන් දරුණු සටන් මැද නොනැවතී අපි වෙල්ලන්කුලම්වලට ආවට පස්සෙ තමා සම්පූර්ණ ඒකකය වෙල්ලම්කුලම් වලට ආවෙ. එතකොටනම් තනිකමෙි වෙනත් පාබල ඒකක වල අණ හා නියෝගවලට කටයුතු කරල හෙම්බත් වෙලා වෙලා හිටියෙ. මම හිටියෙ 11 ගැහේබ ඒකකයේ. තව කට්ටියක් 11 ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයේ. තව කට්ටියක් 5වන සන්නාහ සන්නද්ධ බළකායට අනුයුක්ත කරල හිටියා. ඒකකය ලයින් එකට ආව කියල දැනගත්තම දැනුනු සතුට ඇත්තටම වචනවලින් කියල විස්තර කරන්න බෑ. ඒක හරියට මරණ මංචකේ ඉද්දි අම්ම ඇවිත් අපිට පණ දීල අපිව බෙිරගත්තා වගෙ හැඟීමක්. අපි අපේ අණදෙන නිළධාරිතුමාට කිව්වා මෙි වගේ පිට ඒකකවල ඉන්න බෑ, අපිව කොහොමහරි ඒකකයට ගන්න කියල. ඒ කියල දවස් තුනක් ගියේ නෑ, සතුරා සමග ඇතිවුනු දරුණු සටනකින් මගේ ඇම්බුෂ් ටීම් එකේ හතර දෙනෙක්ම මෙි ලෝකෙ අත්හැරල ගියා. ඒ සටනින් මමත් බඩියාත් බෙිරුනේ සංසාරයේ කරල තිබුනු විශාල පිනකින්. අපි හිටපු ඒකකයේත් සැලකිය යුතු භඨ පිරිසක් රට දැය සාමය වෙනුවෙන් දිවි පිදුවා. ඊට පස්සෙ කෙලින්ම ඉදිරි පෙළ සටන්වලට අපේ ඒකකය යෙදෙව්වට පස්සෙ  තැන් තැන්වල විසිරිලා හිටපු අපිව, වත්මන් යුධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි ඒකකයට නැවත ගෙන්න ගත්තා. එවකට හමුදාපතිතුමා බ්‍රිගේඩියර් නිළයෙන් 58 සේනාංකයට අණදෙමින් හිටියෙ. හැබැයි  එතනින් පස්සෙ උන්නා මළා වැඩක් නෑ, පුදුම, පට්ටම මොරාල් එකකින් තමා සටනට බැස්සෙ. ඒ ගියත් අපිව මුලංගාවිල් ගමෙිදි ආයෙ සතුරාට කොටුවුනා. එතනිනුත් උන්ව එලෙව්වට පස්සෙ තමා නච්චිකුඩා ලයින් එකේ හිරවුනේ. 


මෙි නච්චිකුඩා ලයින් එක කියන්නෙත් මතක සටහන් රාශියක් තියෙන තැනක්. ඒ කතා කිහිපයක් කලින් ඔබ හමුවට ගෙනාවා. ආතල් ගත්තා. පිස්සු කෙලියා. අර යුද්දෙ අස්සෙත් ආයෙ හොල්මන් තියෙනවා කියලා අපේ කට්ටියක් බය කරන්න මටත් කෝප්‍රල් සිරිපාල නොහොත් කෝප්‍රල් මලවිගේ ටත් හැකියාවක් ලැබුනා. ඒකෙනුත් උපරිම ආතල් ගත්තා. අපේ ආධාරක කණ්ඩායම හෙන කෙසෙල් වත්තක තමා දාගෙන හිටියෙ. අපි රෑට විසිට් යනව කියල ගිහින් ඒ කෙහෙල් පඳුරු අස්සේ රිංගලා වෙිලිච්චි පරඬැල් අත්වලින් උස්සලා කෝපල්ලා කිහිප දෙනෙක්ම බය කලා. එතකොට මාත් කෝපල් නිළයේ. වෙඩි නොකා බෙිරුනේ අප්පා. ඒ දවස්වල ඔිව හිතුනෙ නෑ. 


එක දවසක් අපේ ලින්ක් එකට හිටපු 11 ගැහේබ ඒකකය හරහා කමාන්ඩෝ සෙබළුන් හතර දෙනාගේ ටීම් දෙකක් එලියට ගියා. ඒ දිගුදුර ක්‍රියාන්විතයන් සඳහා. එක ටීම් එකක් අපේ කෙරවලින් බැහැල ගියේ "දවස් තුනකින් විතර බං එන්නෙ" කියලා. මාත් බුදු සරණයි සාජන්, පරිස්සමින් ගිහින් එන්න" කියල තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරල යැව්වෙ. ඒ ගොල්ලො ගියාට පස්සෙත් මං ඒ යන දිහා බලාගෙන හිතින් ප්‍රාර්ථනා කලේ, "සංසාරේ මමත් යම් පුන්‍ය කර්මයක් කර ඇත්නම් ඒ පිං මහිමයෙන් මෙි යන හැමෝටම නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙිවා" කියලා. ඒක මං හැමදාම කරන, හිතන, ප්‍රාර්ථනා, කරන දෙයක්. ඒ ගිහින් ඊට හරියටම දෙවෙනි දවසෙ පාන්දර එකහමාරට විතර හතර දෙනෙක් එන්න ආවා. එතකොට පෝයක් කිට්ටුව හඳ බැහැගෙන යන්න ආසන්න මොහොතක්. 11 ගැහේබ කෙරවලේම අපිට සම්බන්ධ වෙන තැන හිටියෙ ආධුනිකයන් දෙන්නෙකුත් කෝප්‍රල් තිසේරා කියල කෙනෙකුත් තව මාණ්ඩලික සැරයන් කෙනෙකුත්. ඒ මාණ්ඩලික සැරයන් මගේ හමුදා සමකාලීනයෙක්. බැච් එකේ. එකට පුහුණුව නොලදත් සමකාලීනයෙක්. මං එයාට කතා කලේ බැචා කියලා. එයත් මට කතා කලේ බැචා කියලා. එයයි කෝපලුයි විවෙිකගන්න මොහොතෙ සෙන්ට්‍රි හිටියෙ ආධුනිකයෙක්. ඌ සෙන්ට්‍රි ඉද්දි ඉස්සරහින් හතර දෙනෙක් ඇවිත්  "මචං අපි කමාන්ඩෝ" කියලා. මූත් ඒ ටීම් එක ඉස්සරහට අරගෙන අහල "කෝපල්ලා පැය 72කින්නෙ එනව කිව්වෙ ඇයි අද එන්නෙ" කියල. ඒකට දුන්නු උත්තරේට ආධුනිකයා උනත් සැක හිතිල ඉද්දි, කතා කරපු එකා මුට "යන්නං මචං" කියලා. ඒකටත් මුට සැක හිතුන පාර පිලිවෙලින් හතර දෙනා කිට්ටුවෙන්ම යද්දි කාගෙ හරි වාසනාවකට මූට මීටර් වෙලා අන්තිමටම ගිය එකා ගැන.ඒකා මිටි පොරක්. මිට්ටො හමුදාවට ගන්නෑ. අනික කමාන්ඩෝ. පරීක්ෂාවෙන්ම ඌ දිහා බලපුවම මූ දැකලා අඩ සඳ එළියෙ වුනත්  ඒකගෙ පපුව ඉස්සිලා තියෙනවා. මෙිකා තුවක්කුවත් අමෝරාගෙන උන්ට නවතින්න කිව්වම පිටිපස්සෙ ගියපු මිට්ටා වෙඩි තියන්න කරේ දාගෙන හිටපු තුවක්කුව ඇදල ගද්දි මූ තනිවම හතර දෙනාටම වග කියලා. හතර දෙනාම මැරිල වැටිලා. මම හිටියෙ ඊට පොයින්ට් තුනකට මෙහායින්. හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා එතන මූ කමාන්ඩෝ භඨයින් හතර දෙනෙක් මරලා. 


කිව්වට විශ්වාස කරන්න, ආධුනිකයා උනත්, ඌ කරපු දෙයින් නච්චිකුඩා ලයින් එකේ හිටපු සෙබළුන් බරගානකගේ ජීවිත ඉටු දෙවියෙක් ඇවිත් වගේ මෙි පුංචි කොල්ලා බෙිරලා තිබුනා. ඒ ඇවිත් තිබුනේ කමාන්ඩෝ විදියට හැසිරෙමින්, ඒ විදියට යුනිෆෝම් ඇඳගෙන කොටි කොල්ලො දෙන්නයි,කෙල්ලො දෙන්නයි. එකෙක් කොටි නායකයෙක්. මූං හතර දෙනා ලයින් එකෙන් ඇතුලට ඇවිත් ඇතුල ජෑම් කරානං,එහෙනං අපි අපි වෙඩි තියාගෙන මැරෙන්නෙ. ඒක කරන්න තමා උං රිංගල තිබුනෙත්. උකුසු ඇස,තීක්ෂණ බුද්ධිය, සෙබළෙකුට අත්‍යවශ්‍යමයි කියන්නෙ ඔික නිසා. මුත් නිදිමතේ හරි ඉඳලා "හරි කෝපල් යන්න" කියල ඇතුලට එව්වනං, අපේ කීදෙනෙක්ගෙ බෙලි කපල මරයිද?, අපි අපිම වෙඩි තියාගෙන කී දාහක් මැරෙයිද? . ඊට පසුවදාම මෙි සෙබළා ලාන්ස් කෝප්‍රල් නිළයට උසස් කර රණ ශූර පදක්කමට නිර්දේශ කලා. ඒ වත්මන් යුධ හමුදාපතිතුමාගේ උපදෙස් මත ඒකක අණදෙන නිළධාරි තුමා විසින්. සෙබළෙකුට වාසනාව අවාසනාව කැරකෙනව කියන්නෙ හරියට ෆුට් බෝල් තරඟයක් වගේ. ගෝලයට ගැහුවොත් බඩු බනිස්. විරුද්ධ පැත්තෙන් බෝලෙ අරං එද්දි ගෝලයට යන්න නොදී රැක ගන්න තරමට තරඟය තීරණාත්මක වගේම උනුසුම්. ජය පරාජයෙන් තොරවුවත් බෝලය තමන් සන්තකයේ තියාගෙන ඉන්න තරමට අපිට දිනුම කැරකෙන්න ඉඩ තියනවා වගේම, පන්දුව අතෑරීම බොහෝවිට ජීවිතෙන්ම යන්න වෙන එකක්. 


ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.09

Friday, February 5, 2021

මූකුරාල් කඳවුර

 වැහිබර අඳුරු රාත්‍රියත්, සඳ නැති අමාවක රැයත් කියන්නෙ ලාංකික සොල්දාදුවෙකුට නම්  ගෙවා ගන්න අමාරු දිගු රැයවල් දෙකක්. ලෝකෙම හොල්ලපු ගරිල්ලා සංවිධානයක් එක්ක සටන් වදින  සෙබළෙකු තම සේවා කාලය පුරා ගත කරන්නේ ඉතා අමාරු කාලයක්. මෙි වගේ රැයවල් අපේ ජීවිතේට කීයක් නම් උදාවී ඇත්ද?. ඒ වගේම මෙි රැයවල්හිදී සතුරන් විසින් අපේ සහෝදර සෙබළුන්ගේ ජීවිත කී දාහක් නම් උදුරාගෙන ඇද්ද?. ඇත්තටම ඒ කාලය ගැන මතක් කරලා අද ආඩම්බරයක් සතුටක් වින්දත්, ඒ ඒ අවස්ථාවන් වලදී අපි කටු කාපු තරම්, දුක් විඳපු තරම් මෙි වගේ අකුරු පේලියකින් විස්තර කර කියන්න බෑ. ඒ වගේමයි පදක්කම් කියන්නෙත්.


 සෙබළෙකුට පදක්කමක් කියන්නේ අභිමානයක්,ආඩම්බරයක්. ඒක තමන්ට විතරක් නෙමෙි, තමන්ගෙ ලෙයින් ජාතක වෙච්චි පුතෙකුටත් ඉතාමත් අභිමානයක්,ආඩම්බරයක්. සෙබළෙකු මෙි පදක්කම් පලඳින්නේ පපුවෙි වම් පැත්තෙ. ඒ තමා හදවතට කිට්ටුම තැන. තමන් විසින් සිදුකල වික්‍රමාන්විත ක්‍රියාන්විතයන්ගෙන් පසු ඒවා අගය කිරීම වස් ජනාධිපති අණෙන් නිකුත් කරන මෙි  පදක්කමෙි තියෙන ගරු ගාම්භීරත්වය සහ ඒක ලබගෙන්න කරපු කැප කිරීම් අපි දන්නෙත් නැතුව කාලයාගේ වැලිතලාවෙන් වැසී යනවා. රණශූර පදක්කම,රණ වික්‍රම පදක්කම් දෙක වචන වලින් කීමට පහසු වුවත්, ඒවා ලබාගන්න විඳපු දුක් සහ කාපු කටු, තමන්ගේ ජීවිතය පවා අභියෝගයට ලක් කරමින් ස්වාර්ථය අතහැර පරාර්ථය වෙනුවෙන් කරපු අවදානම් ක්‍රියාන්විතයන් අද ඇහෙන්නේම නැති තරම්. රාජ ඌෂ්ණය සහිත නිළ ඇඳුමක් වෙතොත් ඒවා සරසන අබරණ වෙන්නෙ මෙි පදක්කම්.

මටත් පදක්කම් දහයක් හිමිවුනා. එකොලහක් ලැබිය යුතු වුවත් සේවා කාලය මැද කරපු එක් හිතුවක්කාර කමක් නිසා ඒ හිමිවිය යුතු එකොලොස්වැනි එක නොලැබී ගියා. ඒ උත්තම සේවා පදක්කම නොහොත් "USP" පදක්කම. 


කව්රු හරි මගෙන් ඇහුවොත් "ඔයා හමුදා ජීවිතේ අතරතුර හිටපු ලස්සනම කඳවුර මොකක්ද" කියලා, ඒකට මට කියන්න උත්තරයක් තියෙනවා. ඒ මඩකලපු තානායම් කඳවුර. මෙික දූපතක පිහිටි කඳවුරක්. බාහිර ලෝකයත් එක්ක සම්බන්ධවුනේ ගාන්ධි පටුමග අවසානයේ ඔරලෝසු කණුව ඉදිරිපිට තියෙන පාලමත්, බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තෙන් කලපුව මැද්දෙන් වැටී ඇති පාරත්, ලංකාවෙි ලාදුරු රෝහලක් පිහිටි මාන්තීවු,වව්නතිවු පාරේ පිහිටි පාලමත් එක්ක. ආයෙ ඇහුවොත් "ඔයා විනෝදයෙන් සතුටින් කාලය  ගත කරපු කඳවුර මොකක්ද" කියලා, ඒත් උත්තරය මඩකලපු තානායම් කඳවුර. අපි කාටත් ජීවිතේ සමහර තැන්වලදී විඳවිය යුතු තැන් උදා වෙනවා. ඒක මටත් පොදුයි. කොච්චර විනෝදෙන්, සතුටෙන්, නිදහසේ කාලය ගත කලත් මෙි කඳවුරේදී සහ කිරාන් කඳවුරේදී හිටපු කාලය තරම් මං ජීවිතේ  කවදාවත් කොතනකවත් විඳවලා නෑ. ඒ දෙකටම පාදක වුනෙත් එකම කාරණාවක් වීම තමා විශේෂත්වය. ඒ තමා "ආදරය".


වැහි කාලයට අපේ කකුල් වණ වෙනවා. ඇඟිලි කරු කුණු වෙනවා. නිදි මරන එකෙත් සීමාවක් නෑ. සිරි සිරි පොදත්, මහ අනෝරාවත්,ගිනියම් වූ පොලව සහ අව්ව කියන්නෙ අපේ ජීවිතේ කොටස් වගේ. අවසාන යුද්ධ කාලෙ එක දිගටම දවස් ගණන් ගොඩ බිමත් අඩි ගානක් යටවෙනකම් එක දිගටම මහ අනෝරා වැසි වැටෙද්දී ඒවාට නොතෙමුන දවසක් ඇත්තේම නෑ. එකම නිළ ඇඳුමෙන්, ඒකත් එක්කම දාගත්තු බූට් දෙකෙන් සති ගණන් කාලය ගත කරපු කාලෙ සිහිවෙන්න අදටත් සිහිවටන කකුල් දෙකේ ත් ශරීරයෙත්  තියෙනවා. ඔය අනෝරා වැස්සේ ගොඩක් අය තමන්ගෙ ප්‍රියයන් තුරුළු කරගෙන සීතලට ගුලිවෙලා ඇඳක නිදියද්දි මමත් යුධ බිමෙි පට්ට වැස්සේ  නිදියෑවා. කලපුවෙ ඉනක් වතුරේ දණ ගහගෙන මං නිදියල තියනවා. (ඒ අවසන් කාලෙ කලපුවෙි මැද කරපු රාජකාරි අතරතුර)අට දෙනත් එක්ක ඇම්බුෂ් ගිහින් ඉද්දි වැස්සකට අහුවුනොත් චුට්ටක් හරි තෙමෙනවා අඩු ගහක් යටට වෙලා දාගෙන යන පැක් ගලවලා බිම පේලියට අතුරලා හතර දෙනෙක් ඇහැරලා ඉද්දි අපි හතර දෙනෙක් නිදියනවා. අපිට තේරෙනවා ඇඟේ ගෑවි ගෑවි වතු ගලාගෙන යනවා. ඒත් ඒක සත පහකට මායිම් නොකර නිදියපු අවස්ථා ඔින තරම් තියෙනවා. ගහයට වැහි දෙකක් නෙමෙි දහයක් වැටුනත් ඒක අපිටනං සැප නින්දක්. 


අද මට කියන්න හිතුනෙ අපේ ඒකකයේ පළවෙනිම පදක්කම් ලාභියා ගැන. ඒ තමා අමරකෝන් එස්එම්. අපේ පලවෙනි බැච් එකේ එවකට සාමාන්‍ය සෙබළෙක්. ස්ථානය වාලච්චෙින කඩදාසි කම්හල් කඳවුර.


වාලච්චෙින මෙි කඳවුරේ තමා අපේ පෙකණිවැල කැපුවෙ. ඒක ස්ථාපිතව තිබුනේ කඩදාසි කම්හලට අයත් ඒ කිට්ටුවම ඇති මහ වත්තක් මැද්දෙ. ඒ නම මතක් වෙද්දිත් නාසයට ටර්පන්ටයින් ගස්වල සුවඳ දැනෙනවා. ඒ ටර්පන්ටයින් ගස් නෙමෙි. ඉස්සර කඩදාසි හදන්න ගන්න හිටවපු ගස් ජාතියක්. මට ඒ දවස්වල වගේම අදටත් ඔය ගස්වල නම මතක තියාගන්න බෑ. අනික මං පලු ගහටත්,කෝන් ගහටත් වගේම ඔය ගහටත් කියන්නේ ටර්පන්ටයින් කියලා තමා. ඒ ගස් ගැන කිව්වම තව පොඩි කතාවක් මතක් වුනා. මං අදටත් හරි ආසයි ඔය ගස්වලින් එන සුවඳට. 


එක දවසක් මෙි කඳවුරේ ඉද්දි රාත්‍රී රාජකාරියකට මාත් එක්ක තුන් දෙනෙක් එලියට යනවා. මෙි යන හරිය ගොඩක් අවදානම්. මොකද පේපර් මිල් එකේ වැඩකරපු ගොඩක් සිවිල් මිනිස්සු එල්ටීටීඊ එකට සම්බන්ධ අය. එක දවසක් එහෙම ගියපු වෙනත් තුන් දෙනෙකුගෙ බෙලි කපල මරලත් තිබුනා. ඒත් ඔය හරියෙමයි. එහෙම ගියාම අපි නිදාගන්නෙ නෑ. නමුත් එදා ගියපු කෝපල් ජයකොඩි රෑ එකොලහමාරට විතර අපි දෙන්නට නිදාගන්න කිව්වා. මට නින්ද යාගෙන එද්දි මං දැක්කා කව්රුහරි එකෙක් මං දිහා විරිත්තගෙන බලාගෙන ඉන්නවා. ඇස් දෙක රතුම රතුයි. අතපය අංග විකලයි.  ඌ හිටියෙත් අපි තුන්දෙනා හිටපු තැනට එහා පැත්තෙ ගහේ මැද හරියෙ. මගේ ඇඟේ හීගඩු පිපුනා. උගේ ලඟ තුවක්කුවක් තියෙනවා දැක්කෙ නැතිවුනත් මූ ගහෙන් හිමීට හිමීට බහිනවා. කට හද හදා මොනවා හරි කියනවා. ඒත් තේරෙන්නෑ. ඊලඟට දැක්කා ඒ ගහට ආසන්න ගහෙත් ඌ වගේම තව එකෙක් ඉන්නවා. ඌත් සද්ද නොකර ගහෙන් හිමීට බහිනවා.  මට එක පාරටම බය හිතුනා. තුවක්කුව ඇද්දා ඇද්දා අතට ගන්නම බැරිවුනා. අතපය වැඩ කරන්නැතුව ගියා. ඊට පස්සෙ කෝපල් ජයකොඩිට කතා කරන්න හැදුවා, ඒත් හඬ පිටවෙන්නෑ. මෙිවගෙ සීන් එකක් වුනාම මට අදටත් එකපාරටම කියවෙන්නෙ ඉතිපිසෝ ගාථාවත් එක්ක ජලනන්දන පිරිත. ඒ මං ඉස්කෝලෙ යන කාලෙ පිරිත් කියන්න ගිහින් තියෙන නිසා. මං ඉතිපිසෝ ගාථාව පටන් ගන්න හදද්දිම එකෙක් ගහෙන් පැන්නා. පැනල මගේ ලඟට ආපු උගේ ට්‍රයි එක මගේ බෙල්ල මිරිකන්න. මං ඌ එක්ක පොර බැදුවා. ඇඟට එක අතක් තියන්න දුන්නෑ. ඒත් එක්කම මට හොඳ කම්මුල් ශොට් එකක් වැදුනා. ඒක වැදුනෙ කොහෙන්ද කියල බලන්න ඔලුව උස්සන්න හදද්දි ආයෙත් එකක් වැදුනා. ඒ පාර කොච්චර සැරද කියනවනම් නිදාගෙන හිටපු මාව ඉන්දවුනා. එතකොට කෝපල් ජයකොඩි ඇහුවා, "මොකෝ තෝ ප&@%යා, බයවෙලා වගෙ ගැහෙන්නෙ" කියල. එතකොට ඒක හීනයක් කියල මීටර් උනත් පස්සෙ මට එතන ඉන්න බැරිම උනා.


දැකපු හීනෙත් වෙච්චි දේත් කෝපල් ජයකොඩිට කිව්වම, එයා සවන්දීමෙි මුරය අරගෙන පාරට ආවා. පාරට ඇවිත් මගේ මූන දිහා හොඳට බලල ආයෙ කම්මුල දෙපැත්තටම එක එක ගැහුවා. ගහල හිමීට සෙට් එකේ ඇතුලට කතා කරලා ඇහුවා  "සවන්දීමෙි මුරයේ අවුලක්, ඒ නිසා ඇතුලට එන්නද" කියලා. විස්තරය සවිස්තරව කිව්වට පස්සෙ ඇතුලට යන්න අවසරය ලැබුනා. ඒ කතාකලේ මට එක වචනයක්වත් නෑ හෙන්න. ඒ යද්දි කෝපල් ජයකොඩි අම්ම මෝ නැතුව මට අමුතිත්ත කුණු හරපෙන් බනිනවා. මට පොරට වෙඩි තියන්න තරං කේන්තියි. අම්ම මතක් කරලමයි බැන්නෙ. එදා මම පුදුම ඉවසිල්ලක් ඉවසුවෙ. ඒ කේන්තිය කොච්චරද කියනවනං මට කඳවුරට ආවා කියලත් අමතක වෙලා තිබුනෙ. ඒත් එයා මාව කෙලින්ම අරං ගියේ මෙඩිකල් සෙක්ෂන් එකට. ඒ ගියාට පස්සෙ පොර මගෙන් අහනවා " මල්ලි උඹට ඇඟට අමුත්තක් එහෙම දැනෙනවද" නිකන් බර ගතියක් වගේ, බැනපුවා ගණන් ගන්න එපා, ඒ තරහට නෙමෙි බැන්නෙ ඈ" කිව්වා. පස්සෙ ඩොක්ටර් ඇවිත් මාව හොඳට පරීක්ෂා කලා. බෙිතුත් දීල මාව ඇඩ්මිට් කලා. මට ඇති අසනීපයක් නෑ.ඒක මමනෙ දන්නෙ. බෙිත් බිව්වට පස්සෙ සනීපෙට නින්ද ගියා.  එදා මෙදා තුර මගේ ජීවිතයේ එදා තමා මං හීනෙන් හරි මොකෙකුට හරි බයවුනේ. හැබැයි එතනම බයවුන පලවෙනියාත් අවසානයාත් මම නෙමෙි. කීප දෙනෙක්ම ඊට පස්සෙත් එතන බයවෙලා තිබුනා. ඒක නතර වෙන්නෙම නැති තැන තමා එතන ස්ථීර පොයින්ට් එකක් දැම්මෙ. 


කතාවට යමුකො. මමත් පච්චම රෙකා කාලෙ පට්ටම වැඩක් වෙනවා. අපිට එතකොට ඉගිලෙන්න හරියට අත්තටු ඇවිත් තිබුනෙ නෑ. කව්රු හරි කියන විදියට තමා ඉගිල්ලුනේ. යුද්ධය, භීෂණය, මරණය ගැන මෙලෝ හසරක් දන්නෑ. තුන්වෙිලට හරක් මස් එළුමස් කුකුළ් මස් එක්ක කෑම එකක් පිඟාන පුරෝලා ලැබෙන කාලෙ. අපිට කඳවුරේ අය එක්ක කතා කිරීම තහනම්. භජනයට යෑම තහනම්, නිසි අවසරයක් නැතුව කඳවුරේ කරක් ගැසීම සපුරා තහනම්. කැන්ටිම පවා තහනම්. ඒක ඒ කාලෙ වදයක් වුනත් පස්සෙ කාලෙ තේරුණා ඒ අපිව පරිස්සම් කරන්න පනවපු තහංචි කියලා. ඔය පරිවාස කාලෙ ගෙවෙමින් පැවතෙද්දි එක දවසක් පාන්දරක අපේ ඩෙල්ටා කණ්ඩායම ස්ථාපිත මූකුරාල් කඳවුරට සතුරා වටකොට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මට මතක විදියට ඒ කඳවුරේ ඒ දවස්වල හිටියේ තිහක විතර භඨ පිරිසක්. අපි සැපට නිදාගෙන හිටියෙ. මෙි සද්දෙත් එක්ක අපි උඩ ගිහින් බිම වැටෙනවා. එදා තමා කන් පිරෙන්න පලමු වතාවට වෙඩි සද්දයක් ඇහෙන්නෙ. අපි හිතුවෙ "බඩුම තමා" කියලා. ඒ කිව්වෙ අපි ඉන්න කෑම්ප් එකටත් දැන් කොටි ගහයි කියල හිතුනෙ. අපි නැගිට්ටා. අවි ටික ලඟට අරන් දඩ බඩ ගාල යුනිෆෝම් එක දාගත්තා. ඒ වෙද්දි අපිට ඇහෙනවා බිලට් එකට දෙපැත්තෙන් බූට් දාගත්තු හමුදා මහත්තුරු "දඩ බඩ දඩබඩ"  ගාල දුවනවා. ඒකෙන් අපි තවත් බයවුනා. ඒත් එක්කම හති මුනින් දාගෙන අපි ඉන්න තැනට දුවගෙන ආවෙ පස්සෙ කාලෙක මගේ ඔිසී වෙච්චි කපිතන් බණ්ඩාර නොහොත් ඒ දවස්වල කෝප්‍රල් බණ්ඩාර. දුවගෙන ඇවිත්

"ලයිට් ඔිෆ් කරාල්ලා ලබායි" කිව්වා. අපි ලයිට් ඔිෆ් කලා. එයා එද්දි අපි රිවිරැස බහින්න වගේ ලෑස්ති වෙලා හිටියෙ. අම්මපා යාපනේ කොටුව හරි අල්ලනව කියාල හිතාගෙන හිටියෙ තිබ්බ ඇම්මෙ හැටියට. ඊලඟට එයා කිව්වෙ "ලබයි කබලල වෙල්ල එපා, මං යල පාලෙ විතලක් මගෙ පස්සෙල් එල්ල" කිව්වා. අපිත් එයා පස්සෙ වැටිල ගියා. එහෙම අපිව අරං ගිහින් දැම්මෙ පොලව යට හදපු බංකර් දෙකකට. කිව්වට විශ්වාස කරන්න, එදා ඒ වෙලාවෙ කාගෙ හරි වාසනාවකට කෝපල් බන්ඩාර නාවානං, අපි විසි දෙදෙනෙක් එදා සන්තෝසෙන් අවසන් ගමන් යනවා. අපි නිදියල ඇහැරිලා කෝපල් බණ්ඩාරත් එක්ක යනකොට යස අගේට තිබුනු බිලට් එකේ ආපහු එද්දි කණු විතරයි තිබුනේ. ආටි මෝටාර් පාරක් ඇවිත් කඳවුරම නන්නස්තාර වෙලා තිබුනා . ඒ මදිවට පේපර් මිල් එකේ ක්වාටර්ස් එකකටත් ආටියක් වැටිල එතනත් හතර දෙනෙක් තුවාලයිලු.එක මරණයයිලු. (ඒවනං මෙි සිද්දිය ඉවරවුනාම අපි දැනගත්තෙ). ඒ වෙලාවෙ අ⁣පි කෝපල් බණ්ඩාරගෙන් වෙලාව අහපුවම කිව්වෙ තුනයි හතලිහයි කියල. අපිට ඔරලෝසු බඳින්නත් තහනම්නෙ ඒ දවස්වල. ඒක ඉවරවෙද්දි උදේ අටට විතර වෙලා තිබුනා. කෝපල් බණ්ඩාර අපිව බංකරේට දාල ගියා ගියාමයි ආයෙ ආවෙ උදේ. ඒ එද්දි ඇඟේ ලේ තිබුනා. ඒ ⁣තුවාල වෙච්චි අය උස්සල කියල කිව්වා. තිහක් විතර හිටපු කඳවුරෙන් බෙිරිලා අපේ කඳවුරට ආවෙ දා හතර දෙනයි කිව්වා.ඒ තුවාල වෙච්චි අයත් එක්ක. අනෙක් සේරම මිය ගිහින්. කෝපල් මානවඩු කියල කෙනෙක් 60 මිමි මෝටාරය බෙිස් ප්ලේට් එකත් නැතුව කකුල් දෙකේ හිර කරගෙන මෝටාර් ගහල තිබුනා කිව්වා කඳවුරෙන් පනින අයට බෙිරිලා එලියට පැනගෙන ජීවිතේ ගැට ගහගන්න.  (පොලවෙහි රඳවා තමන ප්ලේටය) එයා මෝටාර් ගහද්දිම අපේ අය එයාවත් ඇදගෙන දුවන්න හදද්දි එයා කිව්වලු "තොපි දුවපියව් මං කෝම හරි එන්නං" කියල. කොටි අන්තිමෙිට එයාව මරල තිබුනෙ කටට ටී පනස් හය ඔබලලු. තමන්ගෙ සහෝදර සෙබළුන් බෙිරගන්න එයා එයාගෙ ජීවිතය කැපකරපු ඒ කතාව තමා මගේ පළවෙනි වීර කාව්‍යය.ඒ විස්තර තව තියෙනවා. කියන්න ගියොත් කතාව දික් වෙනවා. එයා අපේ ඒකකයේ හිටියට අපේ 4වෙනි ඒකකයේ කෙනෙක්. එයාටත් පදක්කම් ලැබුනා. අපි ඉතින් ඒ විස්තර ඇහුවෙ ඒ කඳවුරේ ඉඳල පන බෙිරගත්තු කෝපල්ලගෙන් කට ඇරගෙන සීයලගෙන් කටන්දර අහනව වගේ. 


ඒ ප්‍රහාරය මහා ජරමරයක් වුනාට පස්සෙ සේනාංකාධිපතිගේ විසිට් එකක් තිබුනා ඒ කිට්ටුම කාලෙ. ඒක නිරීක්ෂණ සංචාරයක්. එදා තමා අපිව කඳවුරෙන් එලියට අරං ගිහින් බාහිර ලෝකෙ පෙන්නුවෙ. අපිව එකා ගානෙ තව සීනියර් දෙන්නෙකුත් එක්ක වාලච්චෙින කඳවුරේ ඉඳල මූකුරාල් කඳවුර ආසන්නයට යනකම් තැනින් තැන ආරක්ෂක ⁣පොයින්ට් දැම්මා. මාව දැම්මෙ කිරිමණ්ඩලේ කිට්ටුව තැනකට. 

එවකට 23 සේනාංකාධිපති හිටියෙ බ්‍රිගේඩියර් නලින් අංගම්මන සර්. සර් ලෑන්ඩ් රෝවරේ නැගල දූවිලි මැද්දෙන් පිඹගෙන මූකුරාල් පැත්තට ගියා. දවල් ආපහු ආවා. ඒ ආපහු එන ටයිම් එකට අපේ කන් බීරි කරවන තරමෙි මහා විශාල සද්දයක් ඇහුනා. සමහරුන්ට ඒ සද්දෙ දරාගන්නත් අමාරු වුනා. ඒත් එක්කම "පට පට" ගාල වෙඩි පුපුරන සද්දෙකුත් ඇහුනා. මාත් එක්ක හිටපු සීනියර් කෙනෙක් වෙිගයෙන් සද්දෙ ආපු පැත්තට දිව්වා. ඒ විදියට ගොඩක් අය පාර දිගේ සද්දෙ ආපු පැත්තට දුවද්දි අපි දෙන්නා හිටපු තැනම රැඳිල හිටියා. ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක කඩාගෙන බිඳගෙන ආවා. සන්නාහ සන්නද්ධ රථ දෙකකුත් ආවා. 

ඇම්බියුලන්ස් එක ගිහින් විනාඩි විස්සකට පැය භාගයකට විතර පස්සෙ ආවට වඩා වෙිගයෙන් පිඹගෙන ගියා. 


ඒ කුඹුරුවල වැඩකරමින් සිවිල් විදියට හිටපු ත්‍රස්ථවාදීන් බෝම්බයක් අටවල. කාගෙ අවාසනාවකටද මංදා මෙික මාර්ගය සෝදිසි කරපු අයට අහුවෙලා නෑ.එක්කො එයින් පස්සෙ තියල.  ඒ විදියට බ්‍රිගේඩියර් නලින් අංගම්මන සර් රට දැය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කර තිබුනා.  ඒ සිදුවීම වෙද්දි බ්ලාස්ට් එක වෙච්චි තැනට කුඹුරුවල වැඩ කරමින් සිවිල් විදියට හිටපු කොටි වෙඩි තියාගෙන දුවගෙන එද්දි, ඒ ලඟම ආපු පරිවාර රථයේ  බෙිරිලා හිටපු අමරකෝන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අනෙක් අය කිට්ටුවට එනතුරු ඔවුන් සමග තමන්ගේ එල්එම්ජී අවියෙන් තනිවම සටන් කර, එතකොට තුවාල වී සිටි සේනාංකාධිපති තුමාත්, පරිවාර රථයේ වෙඩි වැදී හිටපු තවත් ජ්‍යෙශ්ඨ නිළධාරියෙකුත් ආරක්ෂා කරගෙන තිබුනා. ඒ වෙනුවෙන් අමරකෝන්ට 232 බළසේනාධිපති විසින් ලාන්ස් කෝප්‍රල් නිළයත්, රණ ශූර පදක්කමට නිර්දේශ කිරීමත් කලා. ඒ විදියට තමන්ගේ ජීවිතයට  සිදුවිය හැකි අවදානම නොතකා ස්වාර්ථය අතහැර පරාර්ථය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් සටන් වදිමින් බ්‍රිගේඩියර් නලින් අංගම්මන ඇතුලු හමුදා නිළධාරින් බෙිරාගැනීම රැකගැනීම වෙනුවෙන්  ලැබුනු පදක්කමෙන් අපේ ඒකකයේ පළවෙනි පදක්කම් ලාභියා බවට පත්වීමට අමරකෝන්ට වාසනාව ලැබුනා.


(සැ.යු. මෙය පැරණි මතකයක් නිසාවෙන් සමහර සිදුවීම් අමතක නිසා හා, එය සිදුවූ ආකාරය නොදුටු නිසා, පොදුවෙි ලිපිය ඉදිරිපත් කලෙමි.)




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.06

Wednesday, February 3, 2021

අතිධාවකයා

 එක දවසක ලස්සන හැන්දෑවක වීථියක මෝටර් සයිකල් ධාවකයෙක් වෙිගයෙන් තම යතුරු පැදිය ධාවනය කරමින් පැමිණෙනවා. මෙයාගේ විනෝදාශය වෙිගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම.

තාමත් නාඹර වියේ පසුවන මොහු නවීන මෝටර් සයිකලයක් ලබා ගන්නේ, ඒ සිහිනය වෙනුවෙන්ම වෙහෙස මහන්සි වී වැඩකරලා. පුද්ගලික ආයතනයක ආහාර ඇනවුම් සපයන්නෙක් ලෙස තම ප්‍රථම රැකියාව ආරම්භ කරන මොහු සල්ලි කාරයෙක් නම් නෙමෙි. දුප්පත් කමෙි අඩියටම නැතත් දවසට දෙවෙිලක් ඉඳ හිට තුන් වෙිලක් ලබාගන්න පුළුවන් පවුලක එකම පිරිමි දරුවා. පියා කුකුල් ෆාම් එකක බිත්තර කුකුල් කූඩුවක රැකියාව කරන්නෙක්. දිනපතා රැකියාවට යන පියාත් තමන්ගේ මෝටර් සයිකලයේ දමාගෙන ෆාම් එකට ගෙනවිත් අරලින මොහු තමන්ගේ විනෝදාශය පටන් ගන්නේ ඒ ආපහු යන ගමනින්. පොඩි පොඩි වංගු වල පවා කනේ වැලි ගෑවෙන තරමට සයිකලය නවන මොහු පාරේ ඉන්නව දැක්කොත් මිනිහෙක් බල්ලෙක් පූසෙක් තියා උඩින් යන කුරුල්ලෙක්වත් ඉන්නෑ.


එක් දවසක මෙසේ හැසිරෙද්දි පොලිස් ජංගම රථයක ගමන් කරමින් සිටි නිළධාරියෙකුට මොහු නිරීක්ෂණය වීමත් සමග පොලිස් රථය මාර්ගය අයිනට කර නවත්වා එම නිළධාරියා විසින් මොහුට යතුරු පැදිය නැවැත්වීමට අණ කරනවා. එම අණට කීකරු වූ ඔහු, සෙමින් නිළධාරියා අසලට පැමිණ සයිකලයෙන් බැසගත් ඔහු, එම නිළධාරියා හා යම් කතා බහක නිරත වෙනවා. දෙදෙනාම සිනාවකින් ආරම්භ කල කතාව නිසා මටත් යම් කුකුසක් ඇති වෙන්නේ, තම සයිකලය මාර්ගයේ වෙිගයෙන් ධාවනය කරන  ඔහුට අඩුම වශයෙන් දැඩි අවවාදයක්වත් නොකර ඉතා සුහදශීලී ලෙස කතා කරන්නේ ඇයි දැයි යන්න දැන ගැනීමට. විනාඩි කිහිපයක කතාවකින් පසු දෙදෙනා අතට අත දී සමුගන්නවා. පොලිස් නිළධාරියා කුමක් පැවසූයේ දැයි දැනගැනීමට මට ඇවැසි වුවත්, මා ඔහු නොහඳුනන පුද්ගලයෙකු නිසා ඒ අදහස අත්හැර දැමුවා. නමුත් මට අනුමානයෙන් දෙදෙනා අතර ඇතිවූ තකා බහ ගැන නිගමනයකට එන්න වැඩි වෙිලාවක් නොයන්නේ එම පොලිස් රථය පිටත්ව ගිය පසුත් ඔහු කිහිප වතාවක්ම පෙරටත් වඩා වෙිගයෙන් එම පාරේම එහා මෙහා තම සයිකලය පැද යෑමෙන්. මට හිතාගන්න පුලුවන් වුනේ කාරනා දෙකයි. එකක් මොහුගෙන් විස්තර අසා දැනගෙන පොලිස් නිළධාරියා මොහුව දිරිමත් කරනවා. එහෙමත් නැත්තං , "පොලිස් රථය පිටත්ව ගියපසු ඔින තරම් පැදපං, අපි ඉන්නැද්දි පැද්දොත් තෝව දවස් දා හතරකට ඇතුලට දානවා" කීවා විය හැකියි. 


මෙි පාරේ වාහන අඩුයි. වාහන නොයනවාමත් නෙමෙි. නමුත් ට්‍රැෆික් එකක් ඇති වීමට තරම් වාහන කන්දරාවක් මෙි පාරේ යන්නෙ නැහැ.


නැවත පසු දිනත් මොහු තම නවීන පන්නයේ යතුරු පැදිය ඉතා වෙිගයෙන් ධාවනය කරමින් පැමිණෙන අයුරු මා දකිනවා. ඒ එන ගමනේදී තරමක් වෙිගය අඩාල කරන මොහු එක් අවස්ථාවක ඉදිරිපස රෝදය ඉහලට ඔසවාගෙන පසුපස රෝදයෙන් පමණක් ⁣

ගමන් කරන්න ගන්නවා. ඊලඟට ඉදිරිපස රෝදයෙන් පමණක්. ඒ දෙකම කරල ඉවර වුනාම එකතැන සයිකලය කර කවනවා. 


එක් වරක් මා රාජකාරි වැඩකට කෑගල්ලේ රෝහල ඉදිරිපිටට ගිහින් ඉද්දි  

මෝටර් සයිකල් තුනක් ඇවිත් පට්ටම වැඩ කෑලි ටිකක් දානවා. එක්කෙනෙක් ගමන් කරන යතුරු පැදියෙන් පැන එය අතහැර නැවත එම යතුරු පැදිය පිටුපස හඹා යමින් එක් වරම අහසට පැනල කරනමක් ගහල තමන් පැදන් ආ යතුරු පැදියට නගිනවා. යතුරු පැදියත්, පාඩුවෙි යමින් හිටපු මිනිහෙකුට පිටුපසින් පැමිණ එක්වරම මී හරකෙක් අනින්න හදනවා වගේ ටිකක් එහෙ මෙහෙ වෙලා නැවත කෙලින් වෙනවා. හොන්ඩා වර්ගයේ මෝට සයිකලයක් පිටුපස මඩු ගාර්ඩ් එක බිම ගෑවෙන තරමට ඉස්සරහින් උස්සගෙන ධාවකයාත් හිටගෙන ගමන් කරනවා. විනාඩි විස්සක විතර කාලයක් මෙසේ එෆ්ඉසෙඩ්, ස්කුටි සහ  හොන්ඩා වර්ගයේ තවත් ට්‍රෙිල් බයික් එකකින් සෙල්ලම් දාලා ට්‍රෙිල්  බයික් එකේ ආපු කෙනා එක් එක්කෙනා ගාවට ඇවිත් කැප් එක දික් කරනවා. ඒ ආධාරයක් ඉල්ලගෙන. මොහු කොතරම් වෙිලාවක් කෙනෙක් ගාව බයික් එක නතර කරගෙන හිටියත් එක කකුලක් බිම තිබ්බෙ නෑ. බැලන්ස් නං ආං. අංශක හැටක් විතර හැඬලය විතරයි දකුනට හැරව්වෙි. පිලිවෙලින් මා ගාවට ආපු ඔහු මටත් කැප් එක දික් කලාම මාත් රුපියල් සියයකින් ආධාරයක් කරන්න හදනකොට ඒක බල බල හිටපු සෙනග ටිකක් කලබලයෙන් එහෙට මෙහෙට වෙනවා. ඒ සෙනග අතරින් ඉස්සරහට ආවෙි අපේ කෑම්ප් එක අසලම පදිංචි ගයාන්. ඔහු සිල්ලර කඩයක් කරන තම පියාට උදව් කරගෙන පාඩුවෙි ඉන්න කෙනෙක්. ඔහු මගේ මිතුරෙක් සහ මගේ උපාය දූතයෙක්. ඔහුට තිබුනේ හද්දා පරණ රුපියල් 88දාහට ආපුම කාලේ ගත්තු සීටී 100 බයික් එකක්. හද්දා පරණයි. මං එක දවසක් ඔික ඉල්ලගෙන ටවුමට යන්න ගිහින් නොමැරී බෙිරුනේ පූරුවෙි පිනකට. ඒ කියන්නෙ බ්‍රෙික් නෑ. ඉස්සරහ කවුල් එක හත් අට පොලකින් පුපුරලා. ලයිට් නෑ. මෙික ස්ටාර්ට් කලාම අපේ කඳවුරේ උඩහටම සද්දේ ඇහෙනවා. ඒ තරමට සයිලන්සරය දිරලා. 


මං බලාගෙන හිටියෙ මෙි ලඩියෙන් මූ මෙතන මොකක් කරයිද කියලා. කියන්නත් ආඩම්බරයි, අරුන්දැලත් බලා ඉද්දි අර සෙනගත් බලා ඉද්දි පාර පුරා මෙික දුවවමින් පට්ටම වැඩ කෑලි ටිකක් දැම්මෙි, අපේ ඇස් නලලට යවමින්. මොහු මෙිව කරනවා කියල මං දැනගෙන හිටියත් මෙච්චර ලස්සනට මෙච්චර වැඩ කෑලි දානවා දැකල නෑ. පුරුදුවුනේ අපේ ග්‍රවුන්ඩ් එකේ. ඒක ටික කාලෙකට කලින් නැවැත්තුවෙ බයික් එකත් එක්ක කන්දෙන් පහලට මූත් දෙරි ගහල කකුලකුයි අතකුයි කඩාගත්තට පස්සෙ. 


ගයාන්ගේ වැඩ කෑලි ටික දැක්කම අරුන්දැලාත් ෆෝම් උනා. නැවත බයික් තුනම දාගෙන පාර මැද්දෙ ගයාන්ව හාන්න හැදුවත් උන්ම හා ගත්තා මිසක් මිනිස්සු අත්පොලසන් දුන්නේ ගයාන්ට. ඒක දෙගුනවුනේ බයික් එකේ පෙනුමත් එක්ක. මාත් අත්පුඩි ගැහුවා. අන්තිමට ඒ  කට්ටියම ගයාන්ට සුභ පතලා යන්න ගියා. ගයාන් ගැන නොදැන පාරට විසි කරපු විස්සෙ පනහෙ කොල ඔක්කෝම එකතු කලේ ගයාන් මල්ලි. ඒවත් අරයලටම දුන්නා. හැබැයි පට්ටම ආතල් එකක් ඔය කව්රු කව්රුත් එකතු වෙලා අපිට දුන්නා. මගේ නං ඇඟේ හී ගඩුත් පිපුනා. 


මොහුත් ඒ වගේ පොරක්. එක එක වැඩ කෑලි දාගෙන ඉස්සරහට ඇවිත් නැවත ඉතා වෙිගයෙන් නොපෙනී යන දුරක්ම පාරේ සයිකලය පැදගෙන ගිහින් නැවත ක්ෂණිකව කඩාගෙන බිඳගෙන ආපහු එනවා. හම්බ කරන හැම රුපියලම මොහු සයිකලේට තෙල් ගහන්න දානවා ඇති. 


එක දවසක් ඒත් හැන්දෑවක සුපුරුදු පරිදි මොහු වෙිගයෙන් ඉස්සරහට ඇවිත් පාරේ අවසානය හොයන්න යනවා වාගෙ පිඹගෙන ගියා. නැවත ආවා. ආයේ ගියා. ආයෙ ආවා.ආයෙ ගියා. ඔහොම දෙතුන් පාරක් එහෙ මෙහෙ පැද පැද ඉන්නකොට අවස්ථාව තිබුනෙ මොහු ආපු පැත්තටම එන්න. ඒ එද්දි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මොහුට ඉස්සරහින් එනවා. ඒකත් පාරෙ වාහන අඩු හිංදත්, මෙි පාරෙ ට්‍රැෆික් පොලිස් නැති බව දන්න නිසාදත් මංදා පිඹගෙන ආවෙ. ඒ එද්දි පාරෙ සෙල්ලම් කර කර හිටපු බලු දන්ඩො දෙන්නෙක් දැකපු ප්‍රාඩෝ කාරය එක පාරටම තම වාහනේ වෙිගය අඩු කරනවා. ඒක නොදැක්ක ධාවකයාත් (මට තේරුනු විදියට) වෙිගය අඩු කලත් නවත්වා ගන්න නොහැකිව මහ හඬක් නගමින් ප්‍රාඩෝ එකේ පිටිපස්සෙ හැප්පෙනවා. ඒකෙ දොර ඇඹිලා. ලයිට් බිඳිලා. හැබැයි ඊට වඩා බයිසිකලයට හානි වැඩී. පෝක් දෙක ඇලෝයිවීල් ඉස්සරහ රෝදය පොල්කුඩු මිරිකලා වාගෙ ඇඹරිලා ගිහින්. සයිකලයට වෙලා තිබුනු හානියේ තරම කියන්නෙ නැවත කවදාවත් මෙික යථා තත්ත්වයට ගන්නම බෑ. ඊට වඩා හොඳයි අළුතෙන් සයිකලයක් ගන්න එක්ක. මෙි අනතුර වෙච්චි ගමන් ප්‍රාඩෝකාරයා එලියට පැනලා පිටි පස්සට දුවගෙන එනවා. යතුරු පැදිකරුටත් හානි වෙලා වාගෙ මට හිතුනෙ. ඒත් ඔහු කොර ගගහ අමාරුවෙන් නැගිට්ටා. කකුලක්නම් අනතුරකට පත්වෙලා. ඒක කෙනෙක් මැරෙන්න තරම් වෙිගයක් නොවුනෙ ටිකක් හරි දුරකින් ප්‍රාඩෝ එක බ්‍රෙික් ගහනවා දැකපු හිංදමද මංදා තමන් පැමිණි වෙිගයෙන් බාගෙකටත් වඩා වෙිගය අඩු කරගන්න බයික් කාරයට පුලුවන් වෙච්චි හිංද. 


ඊලඟට දෙන්නගෙ කතා බහ. ජීප් එක පැදන් ඇවිත් තියෙන්නෙ මැදිවියට ආසන්න එහෙත් පෙනුමෙන් තරුණයෙක් වගේ පොරක්. මෝටර් සයිකල් කාරයා තමන්ගෙ සිරුරට වෙච්චි හානියටත් වඩා දුකෙන් අඬ අඬ බලන් හිටියෙ බයික් එක දිහා. කොච්චර අමාරුවෙන් ගත්තු එකක්ද. කොච්චර ආශාවකින් සයිකලේ පදින්න ඇද්ද. යකඩ ගොඩක්වුනත් තමන්ගෙ එකම වස්තුවට කොච්චරනම් ආදරය කරන්න ඇත්ද? ඇත්තටම මටත් දුක හිතුනා.

දැන් ඒ ඔක්කොම ඉවරයි. සයිකලෙත් ඉවරයි. පොලිසි ගිහින් හතර වටෙි ණය වෙලා ජීප් එකත් හදා දෙන්න වෙනවා. එදා පොලිස් ජීප් එකේ ආපු නිළධාරියා ඉන්න පොලිසිය මෙි අනතුර පිළිබඳව විභාග කලොත් මූට ඇතුලටත් යන්න වෙනවා. අන්තිමෙි නොසිතූ ගැටලු රාශියකට කොටු වෙනවා. මගේ සිතිවිලි ගැලුවෙ එහෙම. 


ඒත් හිතවතුනි වුනේ හාත් පසින්ම කිසිවෙකු නොසිතූ දෙයක්. ඒ වෙලාවෙම පොලිසිය එතනට කැඳවපු ජීප් කාරයාට ඔවුන් කතා කලේ සැල්‍යුට් එකකුත් ගහල "සර්" කියල. ඇත්තටම මටත් පුදුමයි. බැලින්නම් මෙිත් පොලිසියේ ඉහලම තලයේ නිළධාරියෙක්. පස්සෙ ටික වෙලාවක් කතා කර ඉඳලා ලෙඩාවත් ජීප් එකේ දාගෙන ඉස්පිරිතාලෙ අරන් ගියා. එතනින් පස්සෙ සති දෙකක් විතර යනකම් මං මෙි පුද්ගලයව දැක්කෙ නෑ. ඒත් එක් හැන්දෑවක ඔහු එනවා. ඒ එන්නෙ බස් එකකින් බැහැල පයින්. ඇවිත් අනතුර වෙච්චි තැන ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා පස්සේ ඒ අවට ඇවිද ඇවිද කල්පනා කර කර සයිකලේ කෑලි ඇහිංදා. පුංචි කෑල්ල පවා අහුලපු ඔහු ඒව එකතු කරල ගොඩක් ගහල සාක්කුවෙන් ඇදල ගත්තු කලු කවරයකට ඒව දානවා. දාල අරන් යන්න හදනවා. මං ඔහුව නොහඳුනන නිසාත්, අනතුර දැක්කත් ඒ ගැන අහන එක හරි නෑ කියල හිතුනු නිසාත්, අහන්න පුලුවන් වුනත් අහන්න තරම් සුදුසු ක්‍රමයක් නොතිබූ නිසාත් මං ඒ දිහා බලන් ඉන්නවා පමණයි.


ඊටත් හරියටම සතියකට පස්සෙ තවත් යාලුවෙකුත් එක්ක අර ජාතියෙම, ඒ පාටින්ම සයිකලයක නැගී අනතුර වෙච්චි තැනට එනවා. ඇවිත් ඔහු මෙි පාරෙ පැදපු හැටි, අනතුර වෙච්චි හැටි, රස කර කර කියනවා. මටම පුදුමයි. මෙයා ගැන. මාත් හොඳට බලාගෙන හිටියෙ මෙයාට යතුරු පැදියක් කොහෙන්ද ආයෙත් කියල දැන ගන්න. මට ඇහෙනවා ඔහු යාලුවට කියනවා

"මචං ඒ සර් තමා මෙි බයික් එක අරං දුන්නෙ" කියල.

මට ඇහුනු විදියට කතාව තේරුම් ගන්න පුලුවන්. ඒ පොලිස් නිළධාරියා ⁣පාරම්පරික සල්ලි කාරයෙක්. සහෝදරයෙක් ඉන්නවා කෝටිපතියෙක්. බිස්නස් කාරයෙක්. ජීප් එකත් එයාලා හදල විකුනලා,අලුතින් එකක් අරං,මෙයාට සයිකලේකුත් අරන් දීලා. 

ඇත්තටම මෙි ලෝකෙ මිනිස්සු තාමත් සුජීවත්ව ඉන්නවා කියල මට හිතුනා. කොච්චරනම් උතුම් මනුස්සයෙක්ද ඔහු. සල්ලිකාරයො උනත් හැමෝම එහෙම නෑ. දුප්පතාගේම සල්ලිවලින් පෝසත්වෙලා, අරවගේ දේකුත් උනාම උගෙන්ම කඩාගන්න මිනිස්සුත් ඔින තරම් අපේ සමාජයේ ඉන්නවා. ඇත්තටම මටත් හිතුනා දවසක ඔහු එන වෙලාවක් බලන් ඉඳලා මගේ ටීවිඑස් එකත් පිටිපස්සෙන් ගිහින් හප්පලා අලුතෙන් එකක් මිනිහටම කියල අරගන්නත්. 

කාලයාගේ ඇවෑමෙන් එක්තරා ධාවන පථයක ප්‍රසිද්ධ මෝටර් සයිකල් ධාවන තරඟයක් පැවැත්වෙනවා. ඒකෙන් මෙයා පළවෙනියා වෙලා, ජීවිතේ අළුතින් පටන් ගන්නවා. එදා කප් එක ගන්න දවසෙ අර පොලිස් නිළධාරියාත් ඇවිත් ඉන්නවා කියල පසු බිමෙන් පේනවා. ඇත්තටම මම දින්නා වාගෙ සතුටක් මට දැනුනෙ. පොර ඒ දිනපු මුදලින් ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙනවා. තාත්තා කවදාවත් ෆාම් එකේ වැඩට යැව්වෙ නෑ. ඔහු තරඟවලට සයිකල් පදින එකත්, පුරුද්දක් විදියට ඉඳල හිටල මෙි පාරෙ සයිකල් පදින එකත් නැවැත්තුවෙි නෑ. ඒකත් ඉර බහින්න ආසන්න වෙච්චි අහස කුනු ලේපාටට හැරුනු හැන්දෑවක්. ඔහු දුරක ඉඳන් හිමීට සයිකලේ පැදන් එනවා පේනවා. ඒත් එක්කම "THE END" කියල තිරේ වැටිලා නම් පේලියක් උඩට උඩට යනවා. එතනින් මං බල බල හිටපු පිචර් එක අවසන් වෙනවා. ඉතින් මගෙ ආදරණීය යාළුවනේ, ඇත්තටම එහෙම සල්ලිකාර මිනිස්සු ඉන්නෙ පිචර් වල විතරයි තමා. ඒක තමා මං තේරුම් ගත්තෙ.


ස්තූතියි


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.03

Monday, February 1, 2021

හොදි නෑවීම

 හිතවත්කම යාලු මිතුරුකම කියන ඒව එක්කම මතුවෙන තවත් වචනයක් තමා සතුරුකම කියන්නෙ. මෙිවා ගහට පොත්ත වගේ බැඳිච්චි දේවල්. උඩින් මිතුරුකම පෙන්නගෙන දිවට දිව ගාගෙන හිටියත් අවස්ථාවක් ආපු ගමන් අනෙක් පැත්ත හැරෙන මිතුරන් අපි කාටත් ඉන්නව. කෙනෙක් තව කෙනෙකුට කොච්චර උදව් කලත් තමන්ගෙ වාසියට අනෙක් පැත්ත බලන මිතුරන් වර්ග හතරක්ද කොහෙද ඉන්නව කියල බුදුහාමුදුරුවොත් දේශනා කලානෙ. ඒක මෙි ලෝකෙ කාටත් පොදුයි. එහෙම කීප දෙනෙක්ම මටත් හිටියා. සිවිල් එකේ හිටියට වඩා වැඩි කාලයක් හමුදාවෙි හිටපු අපිට ඒවා එතරම්ම නැතිවුනත් ටික ටික හරි තියෙනව. ගොඩක් වෙලාවට එහෙම දෙපැත්ත කන යාලුකම් මටත් තිබුනට,  එළිපිට ගේම ඉල්ලන්න ඔය කව්රුත් දෙතුන් පාරක් හිතනවා. ඒකට හේතු දෙක තුනක් විතර තියෙනවා. මොකද ඒවා පාරා වලල්ලක් වෙලා තමන්ටම ආපහු එනකොට දරාගන්න ටිකක් අමාරුයි. මට විරුද්ධව කව්රුහරි මොනා හරි කලොත් ඒ කල කෙනාට හිතාගන්නවත් බැරි විදියට හිතන්නෙවත් නැති වෙලාවක තමා ඒක ආපහු කැරකෙන්නෙ. ඒවා අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. 


එක පාරක් අපේ ඒකකයට ආවා ෆුට් බෝල් තරඟාවලියක් සඳහා නාම යෝජනා ඉල්ලල. ඒකට  යන්න මාත් ආශාවෙන් හිටියත් ඉතා වැදගත් අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා මං කලින් ඉඳන්ම දින කාල වකවානු වෙන්කරගෙන හිටියෙ නිවාඩු යන්න. ඒ ඉන්න අතරෙ ආපු මෙි තරඟාවලියට මගේම රෑන්ක් එකේ එක්කෙනෙක් මාව යවන්නම ඔින කියල ඉහලට කරුණු පැහැදිලි කරල තිබුනා. ඒ ඔහුත් මෙි තරඟාවලියට යාමට නියමිත නිසාත්, ඔහු වෙනුවට මාව ඇතුලත් කර ඔහුට මෙිකෙන් ගැලවෙන්න ඔින නිසාත් තමා එහෙම කරල තිබුනෙ. ඒත් ඔහු දන්නැතුවද කොහෙද ඒ විස්තර මට එනව කියල. මෙි සිදුවීම වෙච්චි දවසෙම  හවස මට බුද්ධි තොරතුරක් ආවා, මාව

ඒ තරඟය සඳහා පනාගොඩ යවන්න අහවලා අහවලත් එක්ක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව. ඒ පණිවිඩෙත් එක්ක මං ඉතා කල්පනාකාරීව හිටියෙ කොයි වෙලාවෙ මට එන්න කියල පනාගොඩ යන්න ලෑස්ති වෙන්න කියයිද කියල. 


දවසක් ගියේ නෑ බල බල හිටපු දේ වුනා. එදා හවස මට එන්න කියල පනාගොඩ යන්න ලෑස්තිවෙන්න කියල කිව්වෙ සීඑස්එම් තුමා. ඒක ඉහල ඔිඩර්ස් එකක් කියලත් කිව්වා. මං කොච්චර කන් කෙඳිරිගෑවත් ඒ නියෝගයෙන් බෙිරෙන්න මට  බැරිම වුනා. ඒ ආරච්චිගේ කල් කිරියාවත්, මෙි තරඟ කණ්ඩායම භාරව යන ලුතිතන් රත්නත්තොට නිළධාරිත් සමග තියෙන ආරෝවත් ඒකට හේතුවක්වුනා කියල දැනගත්තෙත් පස්සෙ. මටත් අකමැත්තෙන් වුවද යන්නවුනු නිසා පනාගොඩ ගිහින් එහෙන් නිවාඩු යන්නත් අණදෙන නිළධාරි තුමා හමුවී කතා කර ගත්තා. නමුත් මගේ තරහනම් අඩු උනේම නෑ. ඒක හෙන කලබැගෑනියක් වෙයි කියල මංවත් දැනන් හිටියෙ නෑ. 


එක දවසක් මං රාත්‍රී කෑමට යද්දි මාව යෝජනා කරපු කෝපලුත් කෑමට ඇවිත් හිටියා. අපිත් ක්ලබ් එකේ කක කකා ඉද්දි සීනියර් කෝපල්ම මෙි කතාව ඇදල ගත්තෙත් හරියට මට නෝන්ඩියට වගේ. එදා රෑ කෑමට තිබුනෙ පාං කුකුල් මස් කරිය සහ පරිප්පු. ගෝවා කැරට් අර්තාපල් තම්බලා තිබුනා. මං හිමීට හිමීට තම්බපු එළවලු ටික කන්න පටන් ගත්තෙ කට්ටිය කියන දේවලුත් අහ අහ පස්සෙ පාං බාගෙ කන්නං කියල හිතාගෙන. ඒ වෙලාවෙ හිටපු කට්ටියම හිනාවෙවී මට නෝන්ඩිය දාද්දි හිමින්සැරේ වුවත් ටිකක් තදින් මළ පැනගෙන ආවෙ ජන්මයෙන් හිමිවුනු කලබලකාරීකමත් එක්ක. කට්ටියම එක් කතාවකට මට හිනාවෙද්දි මගෙත් ඉවසීමෙි සීමාව ඉක්මවා යන්න පටන් ගත්තා. ටෙිබල් එකේ මැද්දෙ ඉඳගෙන ඇස් කොනෙන් ඒ දිහා බලාගෙන නැගගෙන ආපු කේන්තිය අඩුකරගන්න බැලුවෙ සීනියර් කෝපලුත් ටෙිබල් එකේ හිටපු හිංද. මොනහ්. ඉවසන්නම බැරිවුනා. ඊලඟට මං කලේ නැගිටල ආයෙ හොදි ටිකක් බෙදාගෙන ඇවිත් ඉඳගෙන කන්න දුන්නු අච්චු පාං බාගෙම කොනකින් අල්ලල හොඳට හොඳට හොඳටම හොඳි එකේ ඔබ ඔබ පෙඟෙව්ව එක. ඒ කට්ටියගෙම මූනු දිහා නලලට යටින් ඇස් දෙක හරෝගෙන බල බල.  එහෙම මිරිස් මස් හොද්දේ හොඳට පොඟෝපු පාන් බාගෙ මගේ බෙල්ල කපපු කෝපල්ගේ මුහුන, කට, ඇස් දෙක බලා ගමන් කරවීමට නිවැරදි ඉලක්කය අරගෙන දකුණතින් වෙිගයෙන් මුදවා හැරියේ  "තොගෙ අප්පට හුක්" කියාගෙන. එහෙම ගහල මං ක්ෂණිකව එලියට පැන්නෙ,  එතන හිටියොත් අම්බානක කන්න වෙන බව හොඳාකාරවම දන්න නිසා. නොසිතූ වෙලාවක උගේ මූන පුරායි අහල පහල කක කකා හිටපු කට්ටිය නෑවෙන්නයි හොදි බෙිරෙන්න හොදි පාං පාර වැදුනම කට්ටියම පුටුත් පෙරලගෙන ක්ෂණිකව මාව අල්ලගන්න පැන්නම මං ඊටත් වඩා ක්ෂණිකව ඉස්සෙල්ලම පැන්න එකෙක්ගෙත් මූනට මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කරල  පිටිපස්සෙන් එලියට පැනගත්තෙ අපිට කෑම බෙදන සිවිල් මනුස්සයත් පෙරලගෙනමයි. ඊලඟට ආයෙ නැවතුනේ බිලට් එකේ.


කේස් එක ඉහලටම ගියා. උප අණදෙන නිළධාරි තුමා රෑම පහල උසාවියට අපි සේරම කැඳෙව්වා. කැඳවලා නඩුව විභාග කරද්දි මං වෙච්චි හැම දෙයක්ම පැහැදිලිව සර්ට කිව්වම සර්ටත් හිනා ගියත් ඒක නොපෙන්වා මට බනින්න පටන් ගත්තා. ලුතිතන් රත්නත්තොට, ඇජුටන්, ඔිසී, ඔක්කොම හිටියා එතන. ලුතිතන් රත්නත්තොටගෙ සහෝදරයෙක් ඉන්නව තව රෙජිමෙින්තුවක. අපේ රත්නත්තොට සර්රුත් මාත් එක්ක චුට්ටක් ආරෝවයි. ඒත් මංම ගහපු කාඩ් එකක් නිසා. වැරැද්දට දඬුවමක් ලෙස මට සතියක් ක්ලබ් එක තහනම් වුනා. සිද්දියට අදාල අනෙක් සියලුම දෙනාට දැඩි අවවාද කරල  මුදා හැරියා. ඒත් මං පනාගොඩ යන එක කැන්සල්වුනේ නෑ. එදා නං මගේ බෙල්ල කපපු බුවා හොඳට හොදි නාලා, ඇඳන් හිටපු සුදුපාට ෂර්ට් එකත් අයින් කරන්න වුනා. පොර මාත් එක්ක අවුරුදු ගානක් යනකම් කතා කලේත් නෑ. 


පනාගොඩත් ගියා. අනිතුමා මට පනාගොඩින් දවස් පහක නිවාඩුවක් දෙන්න කියල සර්ට කිව්වට ඒක නොලැබෙන තැනට තමා සියළු වැඩ කටයුතු සිද්දවුනේ. ඒකටත් මට තරහ ගිහින් හිටියෙ. මංනං හිතාගෙන හිටියෙ නිවාඩු දුන්නා නොදුන්නා ගෙදර යනවාමයි කියල. ඒක මහලොකු වැඩක්යැ. හතර හමාරට පනාගොඩ ගේට්ටුවෙන් එලියට යනව කියන්නෙ මටනං ඉතා ලේසි වැඩක්. එහෙම ගෙදර ගියොත් මං හිතාගෙන හිටියෙ ආපහු පනාගොඩ එන්නැතුව කෙලින්ම යුනිට් එකට යන්න. දෙන්නං රත්නත්තොටටත් බැටෙි කිය කිය තමා මාත් හිතාගෙන හිටියෙ. 


මට යන්න ඔින දවසත් ආවා. නිවාඩුවත් දැම්මා. උදේ ඒකට නිර්දේශය ගන්න නිවාඩු ඉල්ලුම්පත්‍රය සර් ගාවට දැම්මම ඒක අත්සන් කරල නෑ. මෙහෙම ගියාම අපි භාරව යන නිළධාරි නිවාඩුව නිර්දේශ කරන්න ඔින. නැත්තං ඒක අනුමත කරන්නෑ. මං යන්න හිටියෙ එදා හවස තිබුනු තරඟයකුත් අවසන් කරලා. ඒ වෙද්දි තරඟ දෙකක් අපි ගෝල් තුන සහ දෙක ගානෙ ගහල ඉස්සරහටම ඇවිත් හිටියෙ. මෙිකත් දිනුවොත් තරඟ තුනයි. ඊලඟට සෙමි ෆයිනල්. අපිට මුලු රෙජිමෙම බයවෙලා හිටියෙ. 


කොහොමහරි එදා තරඟෙ අවසන් වුනත් මගේ නිවාඩුව නිර්දේශ කරල නෑ. සර් එක්ක කතා කලාම කිව්වෙ "හරි හරි බලමු" කියල. එයා හිතන්න ඇති මං ගහපු කාඩ් එකට පලිගන්න හොඳම අවස්තාව තමා මෙි කියල. එදා හවස තිබුනු  තරඟයත් අපි දින්නා. ආයෙ දවස් අටකින් තමා සෙමි ෆයිනල් තියන්න තිබ්බෙ.ඒ හිංද පුහුණුවීම්වලට මාව ඔිනමයි කියල නිවාඩුව අත්සන් කරන්න බෑම කිව්වා. මට මල පැන්නා. අපි පුරුද්දක් විදියට තරඟයක් ඉවරවුනාම ග්‍රවුන්ඩ් එකේ වට වෙලා සිංදු කියනවා. ඒක තමා අපේ ආතල් එක. ඔහොම සිංදු කිය කිය ඉන්න අතරෙ මගේ මොලේ දකුනු පැත්ත හිරිවැටෙන ලෙඩෙි හැදුනා. ටිකක් වෙලා සිංදු අහන් හිටපු සර් යන්න පිටත්වුනා.  මං එයා යනවත් බලාගෙන හිටියෙ. ඊට පස්සෙ කට්ටිය කිය කිය හිටපු සිංදුව ඉවරවුනාම මං සිංදුවක් පටන් ගත්තා.


රත්නත්තොට පනාගොඩදි ගංජ ගහන කොට

මං දැක්කා ඉස්සරහින් දුවගෙන යනකොට

රත්නත් තොට තරහවුනේ පළමු වතාවට

ලිව් එකවත් යන්න නොදී ඉන්න කිව්ව මට


තරඟයකට මෙහෙට ආවෙ කප් එක ගන්නට

ඒ වුනාට කප් ඔිනද අපෙ ඒකකයට

රත්නත්තොට ගංජ ගැහුවෙ ගුවනින් යන්නට

ගුවන් තරඟ පටන්ගන්නෙ එහෙ ගිය දවසට


රත්නත්තොට පනාගොඩදි...///


නිකන්ම නෙමෙි කිව්වෙ හිතෝතුනි ඔික මම නට නටා කිව්වෙ.


කොහොමහරි ඒ සිංදුවට පිං සිද්දවෙන්ඩ සර්ම කොල්ලෙක් අතේ පණිවිඩයක් එවල තිබුන "අතන ඉන්න ආරච්චි කියන ප&@%යට කියපං නිවාඩුව අත්සන් කරල තියෙන්නෙ, ඒක දාගෙන දැන්ම යන්න කියපං" කියල. හැබැයි සෙමියට කලින් පැවැත්වුනු පුහුණු වට දෙකකටම මං ආවෙ නැතත් ඒ ගැන මගෙන් මුකුත්ම ඇහුවෙත් නෑ. ෆයිනල් එකත් ගහල කප් එකත් අරගෙන යුනිට් එකට ඇවිත් ඒ සතුටට ආයෙ අණදෙන නිළධාරි තුමා ගානෙ දවස් 14ක නිවාඩුවකුත් අපි හැමෝම ගියා.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.31