Sunday, March 28, 2021

පුංචිපරන්තන් 01


චින්න පරන්තන් හෙවත් සිංහලෙන් පුංචි පරන්තන් කියන්නෙ අලංකාර භූමි ප්‍රදේශයක්. දශක දෙකක් හෝ ඊට වඩා කාලයක් සිංහලයාගේ පාද ස්පර්ශය නොලැබූ මෙි බිම කාලාන්තරයකට පස්සෙ පය ගහපු සිංහල සේනාව වෙන්නෙ යුධ හමුදාවෙ අපිමයි. පරන්තන් -පුනරීන් මාර්ගයේ රමණීය තැනිතලා භූමියකින් හා ඊට එහා කලපුවත් කලපු තාවුල්ල දිගේ වැවී තිබුනු තල් ගස් පේලියත් වම් පසින්  පෙනෙන තෙක් මානයේ පිහිටි කුඹුරු යායත් ඇත්තටම නෙතට රසඳුනක්. ඒ ශ්‍රේණියේ පාරක් වුවත් ත්‍රස්ත කලබල වලට පෙර එම පාරට දමා තිබු තාර  තැනින් තැන ගැලවිලා සමහර තැන් ගුරුපාරකටත් වඩා අන්ත විදියට තිබුනෙ. පාරේ සමහර තැන් වල වලවල් වෙනුවට තිබුනේ වගා ලිං. සටන් පෙරමුනත් අපේ ජීවිතත් අතර දෝලනය වූ වොලිබෝල් ක්‍රිඩාව මෙතැන්දි පැවැත්වුනේ මහත් දරුණු විදියට. මෙි වෙද්දි නිළ උසස් කිරීමෙි පාඨමාලාවකට සහභාගිවී සිටි මා ඇතුලු අපේ ප්ලැටූන් එකට පළවෙනි වතාවට ලැබුනේ පීරා සෙවීමෙි රාජකාරියක්.   සටන් පෙරමුනේ සිටි සතුරන් එතැනිනුත්  තවත් පස්සට එළවා දමා ඔවුන් කිළිනොච්චි දිසාවට පසු බැස්සවූයේ වීර වික්‍රමාන්විත සිංහල හමුදා සේනා විසින්. ඒ සේනාවෙි මාද සෙබළෙකු වීම සංසාරයෙන් ගෙන ආ පල පුරුද්දක්ද දන්නෑ.  ඔවුන් එතැනින් එළවා දැමීමෙි දරුණු සටනකට සහභාගිවී අපි පසුපසට ඇවිත් සිටියේ වෙිදනාබරම සිදුවීම් දෙකක් එක්ක නිළ උසස් කිරීමෙි පාඨමාලාවක් හදාරන්න. මහ යුද්ධයක් යන අතරමැදදී වුවත් හමුදාවෙි පරිපාලන කටයුතු කිසි විටක නැවැත්වූයේ නෑ. ඒ වෙද්දි මා කෝප්‍රල් නිළයේ සිටියත් ඒ නිළය ස්ථීර කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය නිළ උසස් කිරිමෙි පාඨමාලාව සහ ඊලඟට සැරයන් නිළයට සුදුසුකම් ලබන්නට ආසන්න අපි ගොඩක් දෙනා මෙි පාඨමාලාව හදාරා තිබුනේ නෑ. වෙිදනා බර සිදුවීම් කිව්වෙි මෙි පාඨමාලාව හැදෑරීමට සිටි  මං ලඟින්ම ආශ්‍රය කරපු බැජියෙකුගේ වෙන්වීමක්. අනෙක එවැනිම කෙනෙක්ගේ දෑස් අන්ධවීමට තරම් තුවාල වී සිටි, ඒත් මගේ බැචෙක්ගේ වෙිදනාව සහ ඔහු මින් ඉදිරියට ලෝකය කෙසේ දකීවිදැයි යන සිතේ පැවතුන විග්‍රහයකුත්.  


ඒ තමිල් චෙල්වම් ගේ උපන් ගම. අපිට අණ ලැබුනේ තමිල් සෙල්වම්ගේ ගම සහ ඒ ඒරියා එක පීරා සෙවීම. මා ඇතුලු අපේ පාඨමාලා කණ්ඩය කිලෝමීටර් ගණනාවක් කකුල් දෙකේ දිය පට්ට දානකම් පට්ට ගිනි අව්වෙි පුනරීන් සිට පුංචි පරන්තන් පැත්තට එද්දි දකුණට තිබූ ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගියේ දුර තියාගෙන එකා පසුපස එකා විදියට පෝලිමෙි. මෙි ගමනට ඉංජිනේරු බළකායේ දෙදෙනෙකුත් සහභාගිවී සිටියා. දවස් තුනකට අවශ්‍ය කෑම බීම වතුර සහ අවශ්‍ය ප්‍රමානයට පතුරම් අපේ ලඟ තිබුනා. අපිට උපදෙස් සහ නියෝග දෙද්දි දෙවන අනි තුමා කීවෙි සමහර විට ලයින් එකෙන් පැනපු කොටිත් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඇවිදින එකනම් මොනාද අනේ. අපි නිවාඩු යන්න වෙල්ලම්කුලම් ඉඳල කුරුස හංදිය දක්වා කිලෝමීටර් තිස් ගණනක් පේලියට පයින් ආපු මිනිස්සු.  


පැය කිහිපයකට පසු අපි නිශ්චිත ස්ථානයට ආවා. අපේ උපදේශකයනුත් එහෙන් මෙහෙන් අපිට සත්තම් දාගෙන හිටියෙ. මට තැන මතක නැහැ. ඒ වෙද්දි අපි ගමනාන්තයට ආසන්නව ඇල බන්ට් එකක් දිගේ පාරේ යමින් හිටියෙ. මගේ සෙක්ෂන් එකේම හිටපු සිරිවර්ධන මට කිව්වා "මචං ආරා, මෙතනින් එහාට මට මොකද්ද වගේ බං" කියල.  මං ඇයි ඇයි අහපුවම කීවෙ උගේ හිතට මහ මෙව්ව එකයිලු. ඇත්තම කියනවනං මටත් ඔික හැඟිල තිබුනෙ. අපි ඇවිත් නතර වුනේ කොටින්ගේ පස් බැම්මක් ලඟ. ඒවගේ තැන්වල අනිවාරයෙන්ම ට්‍රැපින් (මර උගුල්) බට්ටො සහ තව අපි නොදන්න නොදන්න දේවලුත් තියෙන්න පුලුවන්. ඒ නිසා අපි කෝකටත් පරිස්සමින් තමා මෙච්චර දුරක් ආවෙ. උන් ලයින් එකේ සමහර තැන් හදල තිබුනෙ ඇලේ දකුණු ඉවුරත් අල්ලලා . සියඹලා කුඹුක් පලු මොර ආදී රෑස්ස ගස් ඇලෙන් එහා පැත්තෙ තිබුනා. බංකර් හදල තිබුනෙ ඒවා යට. ඒ බංකර් ලඟට යනකම් ඒවා පේන්නෑ. මෙි ප්‍රදේශයෙන් ඉස්සරහට ගියේ මට මතක විදියට සිංහ රෙජිමෙින්තුවට අයත් ඒකකයක්. ඔවුන් මෙි හරියෙන් කොටි එළවා දමන්න සෑහෙන කට්ටක් කාල ඇති බවනං මෙිවායේ පිහිටීම අනුව හිතාගන්න පුලුවන්. ඇලේ කට මට්ටමට ගලා බහින වතුර පාරත් ගිල්මක් තරම් ගැඹුරවූ ඇලත් කොහොම ක්‍රොස් කරන්න ඇත්ද. අපි මෙි බන්ට් එක දිගේ ඇතුල් ප්‍රදේශයකට ආවට මෙතනින් කිලෝ මීටරයකට හෝ දෙකකට එහා පැත්තෙ යුද්ධෙ යනවා. අපිට හොඳට වෙඩි සද්ද මෙහෙට ඇහෙනවා. ඒ නිසා අපිත් බලාපොරොත්තුව හිටියේ පැනපු කොටි ඇති කියලා. මෙි වෙද්දි කිළිනොච්චි බළකොටුව යටත් කරගන්න කිට්ටු කාලයක්. 


මෙි යුද්ධයේදි හමුදාවෙි සැලැස්ම අනුව හමුදාවෙ ලයින් එකෙන් ඇතුලට පනින්න සතුරාට කිසිම ඉඩක් නෑ. දෙතුන් පාරක් දරුණු සටන් මැද උන් උත්සාහ කලා. නමුත් වීර සිංහල ලේ සහ ජානවලින් ජනිත වීර සෙබලුන් තමන්ගේ ජීවිත පුදා හෝ එම උත්සාහන් සියල්ල ව්‍යර්ථ කොට තිබුනේ. 


මං සිරාගෙන් එහෙම හිතෙන්න හේතුව අහපුවම කීවෙ "අනේ මංද බං" කියල. 

මෙි වෙනකොට සිංහයො වගේ ඉස්සරහට යමින් හිටියෙ අපේ උපදේශකයින්. දන්නවනෙ. යුධ බිමෙි කොච්චර වැඩ පෙන්නුවත් වරදින වෙලාව හරියට කියන්න බෑ.  තමන් උපදේශකත්වය දෙන ටීම් එකක් පිටිපස්සෙන් එද්දි ඉස්සරහ ඉන්න උපදේශකයන්ට ඇතිවෙන මාන්නයත් ඒ වගේ. උන්දැලා එක සීරුවට කයිය ගහගෙන ඉස්සරහට ගියත් අපි ප්‍රවෙිශමෙන් තමා ඉස්සරහට ගියේ. උපදේශකයින්ට බෝම්බ මර උගුල් පත්තු වෙන්නෑ. ඒවා ඔවුන්ට මාර බයයි. අනික මෙතැන හිටියෙත් පිට ඒකක දෙකකින් ආපු  උපදේශකයින් කිහිප දෙනෙක්. අපි මොනවා හරි කිව්වම ඒවා 

තඹෙිකට මායිම් නොකිරීම එයාලාගෙ ගති ගුණයක්. සිරා එහෙම කිව්වම මං මට පස්සෙන් එන අය ටිකකට නතර කරලා "හොඳට බලාගෙන වරෙල්ලා" කිව්වා. මං ආවෙ සිරාට පිටුපසින්. මං කට්ටිය නතර කලාම පෙළභාර හිටපු සැරයන් "ඇයි" කියල ඇහුවා. කෝස් එක වෙනම දෙයක්. යුද්දය සහ යුධ භූමිය වෙනම එකක්. 

මං කිව්වා "ඉස්සරහ ඩෙින්ජර් වගේ සාජන්. ඒකයි නැවැත්තුවෙ. ඔී ගොල්ලත් පරිස්සමින් බලාගෙන ඈ" කිව්වා. 

ඒ සැරයන් වෙන ඒකකයකින් අපේ ඒකකයට අනුයුක්ත කරපු කෙනෙක්. මං හිතන්නෙ වෙඩි සද්දෙ ඇහෙන්නත් ඇත්තෙ අපේ ඒකකයට ආවට පස්සෙ වෙන්න ඇති. එයා;

*අනේ මෙි, බබා හුකුං නැතුව වරෙන්. උඹ කෝමද ටීම් එක නවත්තන්නෙ??

*සාජන් මෙි. මෙි  3ලංසංබ නෙමෙයි. පහ ලංසංබ. ලෑන්ඩ් එක සර්ච් කරාට පස්සෙ කට්ටිය ගමු. 

මා ගැන දන්න කෝපල් තිස්ස බණ්ඩාරත් කෝපල් ජයසිංහත් කෝපල් හපුගොඩත් වහාම නැවතිලා මං කියපු එක අනුමත කලා. එතකොට තමා කට්ටියට මතක්වුනේ.


"සාජන් ඔිකා කිව්වොත් කිව්වා තමා ඈ. බඩුම තමා ආයෙ.. අපි මෙි හරිය චෙක් කරල ඉමු" ඒ සැරයන්ට වඩා සීනියර් අපේ යුනිට් එකේ කෝපල් සුසන්ත. . එයා මගේ අල්ලපු ගමෙි. පොරත් මා ගැන දන්න නිසා කට්ටියම හෝල්ට් කලා. 


අපි රේක්ක අරන් ගියෙ. බිම හූරලා දාඩිය දැම්ම වගෙද අප්පා ජීවිතේ. එහෙම නැත්තං කකුල්. ඔය අස්සෙ කෝපල් විජේපාල නොහොත් සුදු සීයාට චු බරක් හැදුනා. මෙහෙ ගෑනු ඉන්නව කියල එකක්යැ. හිටියෙ පාර මැද. එතැනම ඉඳන් සිප් එක ඇරලා අපිට පේන්නත් එක්කම  "චොර චොර" සද්දෙන් හොඬවැල ඇඟිලි දෙකෙන් අල්ලගෙන ගුරු පාරෙ මැදම රවුම් රවුම් ඇන්දෙ ජෝක් එකට. ඒ පොරගෙ හැටි. අපිත් එහෙම තමා ඉතිං. නමුත් චූ බරක් තිබුන්නෑ. පොර චු කර කර ඉද්දි වටයක් කරකිල බැලුවෙ අපිට දකුනු පැත්තෙන් ගෙයක් වටා බැඳ තිබුනු තාප්පය දිහා. ඒ රවුම කැරකිලා පොර එකපාරටම නැවතුනේ බාගෙයක් චූ කරලා ඉතුරු බාගෙ ස්ටොප් කරගෙන. 

"අප්පට &@%මිනෙනවා අං ට්‍රැපින් එකක් හු&@%තො"  කියල පොර කෑ ගහගෙනම පස්සට පැන්නා. එතකොටත් උගේ බිංදුව බිංදුව බෙිරෙනව. සැරයන් බය වෙච්චි පාර කටෙි කෙල හිඳුන මං හිතන්නෙ. 

අපි ගල් ගැහුනා. හිටපු හිටපු තැන්වල එහෙම්මම අඩියක්වත් නොඋස්සා ගල් ගැහිල වගේ හිටියා. මාත් බකමූනත්, ධර්ම කීර්තිත් සිරිවර්ධනත්  කෝප්‍රල් තිස්ස බන්ඩාර කෝප්‍රල් රත්නසිරි කෝප්‍රල් සුසන්ත ඉස්සර උනා. අපිටනං මෙිවා සාමාන්‍ය දේවල්. ඒත් අපි බයවුනේ කොටි එක ට්‍රැපින් එකක් විතරක් දාල නවතින්නැති නිසා අනෙක්වා කොහෙ කොහෙ ඇද්ද කියල දන්නැති නිසා. අපි ඔක්කෝම කෝප්‍රල්ලා හිටියෙ. සැරයන්ලා දෙන්නයි. අපි අපේ අතේ තිබ්බ රේක්ක වලින් මුලු පලාතම ඒත් පරිස්සමට හීරුවා. හූරන්න හේතුවත් අපි අනිවාරයෙන්ම දන්නවා උන් අත්බෝම්බ සහ බට්ටොත් මෙි ට්‍රැපින් එක්ක දාන බව. පාරත් හීරුවා. මෙි දකුණු අත වම් පපුවට තියල කියන්නෙ ෆෙන්ස්, ඒ සංග්‍රාමයෙන් අපි බට්ටො 36ක් ගැලෙව්වා. සුදු සීයගේ චූ රවුමක් ඇතුලෙත් බට්ටෙක් තිබුනා. ඒ පාර අයිනෙ. ඒව දාල තිබුනෙ සිග් සැග් ක්‍රමයට. අපි පහු කරන් ඇවිත් තිබුනෙත් බට්ටො තවානක්.ඒවා මීටරෙන් මීටරේට දුර තියලා පාර අයිනෙ දිගටම දාල තිබුනේ. බඩු හම්බ වෙන්න හම්බවෙන්න පස්සට පොඩර් කරනකොට තමා ඒවා දැක්කෙ. ඒත් අපි කව්රුවත්  එච්චර පව් කරල තිබුන් නෑ. බට්ටො මැද්දෙන් ආවත් එක බට්ටෙක් පිපිරුවෙ නෑ. බට්ටෙක් පිපිරුවානං අපි රොත්ත බුරුත්තම මැරෙනවා. ඒ හැම බට්ටෙක්ම පුපුරද්දි 60 මි.මී. මෝටාර් බෝම්බ දාල අටවපු ට්‍රැපින් පත්තු වෙන්න උන් හදල තිබුනෙ. අපිි රෑන්ක් බෙිදයක් උපදේශක ශිෂ්‍ය බෙිදයක් නැතුව හතර වටෙිම ක්ලියර් කලා. ට්‍රැපින් එකොලහක් තිබුනා. ඒවා තිබුනු තැන් සහ අටවලා තිබුනු විදිය නිරීක්ෂණය කරපු අපි  ඊලඟට කලේ වම් පැත්තෙන් තිබුනු ඇල ඉවුර පරිස්සමට ක්ලියර් කරන එක. ඇල ඉවුරෙත් බට්ටො දාල තිබුනා. හොඳටම රේක්ක කරලා කරලා එක බට්ටෙක්වත් නෑ කියල ස්ථීර කරගෙන අපි කලේ වෙනම ආතල් එකක් ගන්න එක. අපිටත් අතපය නිකන් තියන් ඉන්න බෑනෙ. ඇඟේ හැම මවිලක් මවිලක් ගානෙම තියෙන්නෙ ගොං කමනෙ. නැත්තං මහ යුද්දෙයක් යනකාලෙ හමුදාවට බැඳෙයියැ.  අපි, අපි ඔක්කෝටම ඇල ඉවුරෙ ඉන්න පුලුවන් විදියට සකසලා ඊලඟට කලේ අර ට්‍රැපින් පුපුරුවා හරින එක. ඒක කලේ මෙහෙමයි.


අපි ට්‍රැපින් එකොලහම සෙට් වෙන්න ලණු ඇද්දා. ට්‍රැපින් දාන්නෙ මෝටාර් හතරක් එකට ඔතලා ඒකෙ පියුස් එකට ඩෙටනේටර් ගහලා හරහට මාලු බාන්න ගන්න තුංගුස් නූලක් ඇදලා ඒකෙ කෙලවර හෑන් ග්‍රෙනේඩ් එකක පින් දිග ඇරලා ඒ ග්‍රෙනෙඩ් පින් එකේ අනෙක් කෙලවර බැඳලා. පොලවෙන් අඩියක් විතර උසට ඒව හරහට ඇදලා තිබ්බම අපි ඇවිදන් යනකොට නුලෙ කකුල වැදුනු ගමන් ග්‍රෙනේඩ් එකේ පින් එක ඇදිලා ඒක පුපුරනවා. ඒ කම්පනයට මෝටාර්වල ඩෙටනේටර් පුපුරනවා. එතකොට මෝටාර් ටික පුපුරනවා. බට්ටො දාන්නෙ අපි කාට හරි බට්ටෙක් පෑගිච්චි ගමන් තුවාල කාරයව ගන්න අපි දඩිබිඩියෙ එතනට යනකොට අර ට්‍රැපින් තියෙනවා දන්නැතුව එතනට කිහිප දෙනෙක් කඩාගෙන බිඳගෙන දුවගෙන එනවා. ඒ එද්දි අර නූල් පෑගිලා ඒවා පුපුරලා වැඩි හානියක් අපිට වෙනවා. අනෙක් ට්‍රැපින් හදන්නෙ හෑන් ග්‍රෙනේඩ් වල පින් පන්නලා සේෆ්ටි ලිවර් එක උඩට හිටින්න පොඩි වලක් කපලා ඒකට බෝම්බෙ දාලා ලිවර් එක පනින් නැතිවෙන්න ගඩොල් බාගයක්  ඒ උඩින් තියල පස් දානවා. කුමන හේතුවකින් හරි බට්ටොත් පුපුරන්නැතුව ට්‍රැපින් පුපුරන්නෙත් නැතුව අපි රේක්ක කර⁣න කොට අර හෑන් ග්‍රෙනේඩ් දාපු වලට රේක්කෙ වැටිලා ⁣ග⁣ල් කැටෙි අයින් වෙලා බෝම්බෙ උඩට ඇවිත් පුපුරනවා. මොකද ඔිනම කෙනෙක් රේක්ක කරන්නෙ තමන් දිහාට. එතකොට බෝම්බෙත් අපේ කකුල් ගාවට එනවා. ඒක පුපුරපුවම එයාව ගන්න දුවන් එන කට්ටියට බට්ටො පෑගෙනවා. එයාට බට්ට පෑගිල වැටෙන්නෙත් එක්කො තවත් බට්ටෙක් උඩට. නැත්තං ට්‍රැපින් එකක් උඩට. මිනිස්සු මරන්න තියෙන උපක්‍රම කොච්චරක්නම් තව ඇද්ද. අපි ලණු ඇද්දෙ ඔය ට්‍රැපින් වල හරහට දාල තියෙන නූල් වලට කොක්කක් හිටින්න ලණු කෙරවලට වැටකින් කපා ගත්තු කම්බි,  කොකු  විදියට හදලා. ඒකෙ පෙර ගමන්කරුවන් වුනේ ඉංජිනේරු බළකායෙ සෙබළු දෙන්නා. එවුන්දැලාත් ඒව ලඟට ගිහින් මංතර ජප කරනවා වගේ මොන මොනවද මන්දා කරලා  කරලා  මොනවද මංද හයි කලා. ඒ කරලා ඩෙට් කෝඩ් එකකුත් හයි කරලා ගිනි තියලා ආවා. ඒ ඩෙට් කෝඩ් එකපාරටම ඇවිලෙන්නෑ. ටික වෙලාවක් යනවා.  ලනුවෙන් ඇදලා පත්තු නූනොත් ඩෙට්කෝඩ් වලින් පත්තු වෙන්න තමා අරයලා ඒක හැදුවෙ. 


අපි ඔක්කොම ඇල ඉවුරට හේත්තු වෙලා බිම දිගාවුනා.  ඉංජිනේරු සෙබළෙක් අරවා අමුණපු ලණු කෙලවර අරගෙන පල්ලමට බැස්සා. බැහැලා "එකායි, දෙකායි, තුනායි, ඔන්න එහෙනං" කිව්වා. කියල ඔක්කෝම එකතු කරලා අරන් ආපු  ලනුවෙන් එකපාරට ඇද්දා. මෙිවා මෙහෙම සාමාන්‍යයෙන් කරන්නෑ.ඒත් ආතල් එකට කලා.  ඒක අදිනවත් එක්කම මුලු පළාතම ගිගුම් දෙමින් කලුම කලුපාට දුම්ගුලි දූවිලි කැටි විහිදුවමින් ගිනි කන්දක් පුපුරනවා වාගෙ සද්දෙට ඒ සියල්ල පුපුරා ගියා. අපේ කං අඩිත් මොනාද මංද වුනා. හැබැයි ට්‍රැපින් දාහක් පිපිරුවත් අපි හිටපු තැන අනුව අපිට හානියක් නෑ.  ලණුවෙන් ඇද්ද බුවා අපිටත් පල්ලමෙන් හිටියෙ. එකපාර අහසට නැගුනු දූවිලි බිමට පතිතවුනේ අපිවත් නාවගෙන. සමහර තැනක හෑන්ඩ් ග්‍රෙනේඩ් පවා උං ට්‍රැපින් විදියට අටවලා තිබුනා. 


 ඒ කිට්ටුව හිටපු කෝපල්ලා අපිට වඩා දූවිලි නාලා. කෝපල් සුසන්තලා කලුම කලු පාට වෙලා. දූවිලි නාලා. ඇස් පිල්ලං වල හිටං දූවිලි.  ඒක තමා යුධ බිමෙි ආතල් එක. ඒවා පුපුරණ සද්දෙට සෙට් එකෙන් කතා කලේ දෙවන අනි තුමා. නැත්තං දෙවන අණ දෙන නිළධාරි තුමා. අපි කිව්වා අවුලක් නෑ කියලා. 


 ඒවා ඔක්කෝම ඉවර වෙලා අපි පාරට ආවා. ඇවිත් ට්‍රැපින් තිබ්බ ඒරියා ටික ක්ලියර් කලා. ඒව අටවලා තිබුනේ බට්ටෙක් ගියත් පුපුරන විදියට. අපි රේක්ක කලේ ඉංජිනේරු සෙබළුන්ගේ උපදෙස් සහ ගුරුහරුකම් මැද. එයාලා ඔිවා ගැන විශාරදයින්. අපිට වඩා ඒ ගැන දන්නෙ එයාලා. ඒවත් ඉවර වෙලා හතර වටෙි ඇවිද ඇවිද බැලුවෙි තවත් ආතල් ගන්න බඩු මොනවහරි තියෙනවද කියලා. හවස හය විතර වෙනකොට තව ට්‍රැපින් හතරක් හොයා ගත්තා. ඒව දාල තිබුනේ මනුස්සයෙක් ඉඩමකට ඇතුල් වෙනකොට ඉස්සරලාම අඩිය තියන කොට කරන දේවල් අනුව. ඒ ගේට්ටුව අරිනකොට පුපුරන්න සහ පුපුරන මට්ටමට නූල ඇදෙන්නෙ නැතිවෙන්න චූට්ටක් ඇරියොත් අඩිය තියන තැන්වල බට්ටො දාලා ඒව පුපුරන්න හදල තිබුනෙ. ඒ කොටින්ගෙ පරි පාලන කටයුතු කෙරුනු හොඳ තත්ත්වෙකට තිබුනු ලස්සන ගෙයක්. ඒ ගේ ඇතුලත් මිදුලත් අවටත් වත්තත් අපි එලිය තියෙද්දිම සෝදිසි කලා. කාමර වල මැරිච්ච කොටි සමරන්න හදපු පෝස්ටර් හෙන ගොඩක් තිබුනා. පුටු දෙකක් මෙිසයක් ආදියත් තිබුනා. උන්ගෙ ලයින් එකේ පැලෑනක් බිම දාල කඩල බිදල දාල තිබුනා. ඇඳුම් තිබුනා. නොකඩපු ටී පනස්හය පතුරම් පෙට්ටි කීපයකුත් උන් දාල ගිහින් තිබුනා. ඒ වෙද්දි මං පාවිච්චි කලෙත් උන්ගෙන්ම ගත්තු මල්ටි පර්පස් මැෂින් ගන් එකක්. කෝස් එකට විතරක් ටී පනස් හය ගත්තට මෙි රාජකාරියට එනකොට ඒක භාර දීල මගේ ඒ අවියත් අරං මං ආවෙ. 


එදා රෑ අපි පට්ටම ආතල් එකක් ගත්තා. දැන් බයත් නෑ. අපි මෙි ඒරියා එකේ ඉන්නව කියල 58 සේනාංකයමත් දන්නවා. භූමිය ගැන වැඩි බයකුත් නෑ ක්ලියර් කරපු නිසා. අපි කලුවර වැටුනහම කලේ පාරට ඇවිත් අර පෝස්ටර් සහ ඇඳුම් එක්ක දර කොට හිස් ලී පතුරම් පෙට්ටි දාල ගිනි මැලයක් ගහපු එක. ඒ එලියෙන්ම තමා අපි රෑ කෑමට රෙෂන් පැකට් හදා ගත්තෙ. වතුර පහල ඇලෙන් වෝටර් ටැබ්ලට් දාල අරගත්තා. ගෙනියපු වතුර බීමට පමණක් තියා ගත්තා. රෑ එකොලහ විතර වෙනකොට අපි ලා අඩ සඳ එළියෙ අහස දිහා බලාගෙන ග්‍රවුන් ශීට් එලාගෙන නිදාගත්තා. එලි වෙලත් දර කොටන් ඇවිලුනා. මෙිව සේරම අපි කලේ මුර සෙබළු යොදවලා. අපිම තමා මුර සෙබළුන්ටත් හිටියෙ. කාලෙකින් හොඳට නිදාගත්තා. අපි එකා දෙන්නා නැගිට්ටෙ උදේ අටත් පහුවෙලා. 


උදේ නැගිටලා තේ හදාගෙන බිලා කෑමත් හදාගෙන මෙස්ටින් වලට දාගෙන අපි සූදානම් වුනේ ඊලඟ රාජකාරියට. ඒ කොටි අත්හැරල ගියපු බංකර ලයින් එක සෝදිසි කරන්න සහ, ගම පීරා සොයන්න. පැනපු කොටි නෑ කියල අපි දැනගෙන හිටියත් කරුමෙ කියන එක කොටි විතරක්ම නෙමෙිනෙ. ඒවට පුපුරණ දේවලුත් අයිතියි. සෙක්ෂන් එකක් බංකර් ලයින් එක ක්ලියර් කරද්දි අනෙක් සෙක්ෂන් දෙක ගමට ගියා. මම හිටියෙ ගමට ගිය ටීම් එකේ. අපි කතා වෙලා ගියෙ හරියටම දෙකට මෙික නවත්වමු කියලා. ඒක අමාරු රාජකාරියක්. ආමර් ප්ලෙට් දමපු ජැකට් සහ හෙල්මට් අපි පාරෙන් දාල ගියෙ. ඒව දාගෙන වැටක්වත් පනින්න බෑ. ගෙනාපු වතුර රෙෂන් මළු අමතර දේවල් අමතර පතුරම් ඔක්කෝම අපි දාල ගියෙ. එතන තුන් දෙනෙක් නැවතුනා බඩු බලා ගන්න. 


අපි ගමට ගියා. ඒ ගම හරිම ලස්සනයි ෆෙන්ස්. මල්ලාවි පැත්තට වෙන්න තිබුනු ගමක් ඒ. ගෙවල් එහෙම හොඳට හදල තිබුනෙ. අපි ගෙයක් මිදුලක් වැටක් වත්තක් නෑර හැම තැනම සර්ච් කලා. ඒ කොටින්ගෙ අවි ආයුධ එහෙම දාල ගිහින්ද කියල බලන්න සහ උන් හංගල ගියපු දේවල් හොයන්න. මොන්ටිසෝරියක් තිබුනු තැනක අපි සැක සහිත වලවල් දෙකකුත් හෑරුවා. ඒ වගේ තිබුනේ අහිංසක මිනිස්සුන්ගෙ ප්ලාස්ටික් පුටු, වැඩි ඇඳුම්, හට්ටි මුට්ටි ආදිය දේවල්. ඒවා ඒ මිනිස්සු යද්දි වලලලා ගිහින්. ආයෙ ආපු දවසක ගන්න. සමහර වලවල් වල ටීවී පවා පැකින් කරලා දාල ගිහින් තිබුනා. පව් අප්පා අසරන ජීවිත. ඒව මතක් වෙනකොටත් පපුව දනවා. 


අපි ඉස්සරහට යද්දි හම්බුනා ආයෙ කොටි හිටපු උන්ගෙ කාර්යාලයක් තිබුනු ගෙයක්. ඒ ගෙට යටින් පොලව යට බංකරයකුත් කපලා තිබුනා. ඒකෙ තිබුනෙ බෙහෙත් ජාති. සේලයින් බෝතල් පෙට්ටි කිහිපයකුත් තිබුනා. ඒව ගන්න බැරිවෙන්නම නාස්ති වුනා අපේ එකෙක් හෑන් ග්‍රෙනේඩ් එකක් දාලා. ඒවනං අපිට වැඩකුත් නෑ. ඒ බංකරේට බහින්න කලින් අපි ආරක්ෂාවට එහෙම බෝම්බයක් දෙකක් දානවා. මොනවා හරි අටවලා තිබුනොත් ඒකෙන් ඒවා බ්ලාස්ට් වෙනවා. අපි දවල් එක විතර වෙනකම් තෝරාගත්තු ග්‍රිඩ් අංකයම පරීක්ෂා කලා. විශේෂ දෙයක් හම්බුනේ නෑ. මට හම්බුනා උන්ගෙ පොටෝ ඇල්බම් එකක්. මං ඒක ඒකකයටත් අරන් ආව. ඒකෙ ගොඩක්ම තිබුනෙ ප්‍රභාකරන් සම්මානද මොනාද මන්දා දීපුවයි උත්සව වලට සහභාගි වෙලා ගහපු පිංතූරයි. ඒ එල්ටීටීඊ එකේ තදයෙක්ගෙ ඇල්බම් එකක්. කොටි විරු සමරුවෙ පොටෝ,තමිල් සෙල්වම්ගෙ පොටෝ ආදියත් තිබුනා. ඒක අරං ඇවිත් අපි ඒකට්ටියත් එක්ක එකතු වෙලා ඒව බැලුවා. 


එදා දවල්ට අපි කෑවෙ ගඩා ගෙඩි. අඹ, පේර, කුරුම්බා, පොල්, ගස්ලබු ආදිය. ආපහු එද්දි බඩවල් පුල් කරගෙන  ආවෙ. තල් රාත් තිබුනා, බොන්න බය හිංද බිව්වෙ නෑ. මං උගුරක් දෙකක් චෙක් කරන්න බිව්වා. තිත්තයි. ඒව නරක් වෙලාද කොහෙද. ඒ හිංද තල් රා මුට්ටි ටික බෙිරුනා. ආපහු එද්දි හේනකින් ලා බඩ ඉරිඟු කරලුයි හොඳට පැහුනු වට්ටක්කා ගෙඩි තුන හතරකුයි කරේ තියං ආව. ඒ රෑට ගිනිමැල ගහල  තම්බන්න. බඩ ඉරිඟු කිරි රහට අමුවෙන් කාල, වට්ටක්කා රෑ තැම්බුවා. ඒ ගමෙන්ම අරන් ආව ඇලුමිනියම් මුට්ටි වලට දාල. ලුනු, මිරිස්කුඩු, ලූනු ගෙඩි ටිකක් අපේ පැක්වල නැති වෙන්නැතිම දෙයක්. අපි වට්ටක්ක කෑවෙ ටී පනස් හයෙන්ම ගාගත්තු පොල් එක්ක. රෑ මැද්දක් වෙනකොට ගමට ගියපු අපි කාටත් ඉන්න බැරිවුනා. එකා එකා ඇලට බහිනවා, බෝතලේට වතුර එකක් පුරෝ ගන්නවා, බැද්දට රිංගනවා. මාත් දෙතුන් පාරක්ම ඒ විදියට රිංගුවා. ගස්ලබු පුදුම විදියට වැඩ කලේ. පඩයක් අරින්නවත් බය තරමට බඩවල් බුරුල් වෙලා තිබුනෙ. එක ජාතියක් නෙමෙිනෙ. පහුවදාට ගන්න අපි රටකජු හේනකුත් ඇහේ තියාගෙන ආවෙ. එදා රටකජු ගැලෙව්වෙ නැත්තෙ කාපු දේවල්වල තරම නිසා හා ඒ වෙද්දි වට්ටක්කා කඩගෙන තිබුන නිසා. ආතල් කෝටියයි ඉතින්. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.28

No comments:

Post a Comment