කලින් කතාවෙ කිව්වනේ එකම පවුලෙ අයියයි මල්ලියි එකම දවසෙ නැතිවුනා කියලා. ඒක සත්‍ය කතාවක්. අපි නොසිතන නොපතන සහ සිදුවෙියැයි නොසිතන කතා කොතෙක්නම් ඇත්ද?.
තමන්ගෙ පුතාගෙ සිරුර යට කරන දවසෙ නැතිවුන පුතා ගෙදර නිවාඩුවට ගෙදර ආපු කතාත්, ඒකට බය වෙච්චි ගම්මු සීසීකඩ දුවපු කතාවකුත් තියෙනවා. සජීවීව වෙච්චි කතාවක් දෙකක් කෙටියෙන් කියන්නම්.
මම නුවර ස්කූල් එකේ පාඨමාලාවක් හදාරද්දි අපේ ප්ලැටූන් එකට එකම දවසෙ අවමංගල්‍ය උත්සව කිහිපයක්ම සිදු කිරිමට සිදුවෙනවා.ඒකෙ පළවෙනි සිරුර මල් ශාලාවෙන් භාරගෙන මළ ගෙදරට අරන් ගියෙත් අපේම පාඨමාලාවෙි දෙන්නෙක්.
එයාලා රෑ එකොලහට විතර සිරුර අරගෙන ගම්පොල පැත්තෙ එයාලගෙ ගෙදර ගියා. පස්සෙ බැනර් අරගෙන තව දෙන්නෙක් ගියා. පහුවදා දවල් 12.30ට තමා අවමංගල්‍ය උත්සවය කරන්න කටයුතු යොදාගෙන තිබුනෙ. ඒ එදාම තවත් අවමංගල්‍ය උත්සව තුනක් සිදු කිරීමට අපිට භාරව තිබුනු නිසා කාලය කළමණාකරණය කරගැනීම හේතුවෙන්. අන්තිම එක ඉවර කරද්දි රෑ 7යි. 12.30ට කරපු එකේ සියළු කටයුතු අවසන් වෙලා අන්තිම එකට යද්දි අපි භාරව ගිය නිළධාරිට කෝල් එකක් ආවා. ඒ, වහාම පළවෙනි එක කරපු ගෙදරට යන්න කියල. අපිත් ගියා. යද්දි ඒ ගෙදරට කෝල් එකක් ඇවිත් එයාලාගෙ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා. අපේ නිළධාරිත් කතාකලේ මොකක්ද දැන් කරන්න පුලුවන් කියල බලන්න. පස්සෙ ඒ ගමෙි අයත් පවුලේ අයත් කිව්වා "ඔහොම වැරදීම් වෙනව ඇති පුතාලා, කාගෙ උනත් දරුවෙක්නෙ.ආයෙ මුකුත් කරන්න එපා. ඒක එයාලගෙ ගෙවල් හොයලා එයාලාට දැනුම් දෙන්න කියලා.
ආයෙ දවසක් මෙහෙම සිරුරක් අරන් ගියාම කොල්ලගෙ අම්මා ඉදලක් අරගෙන අපිට ගම වටෙි ගහන්න පැන්නුවා. ඒ, තොපි මගේ කොල්ලා මරා ගත්තා" කිය කිය. අපිත් ඉතින් දුවලාම බෙිරුනා. පස්සෙ ගමෙි වැඩිහිටියෙක් බැලන්ස් කරලා, පොරට සිද්දිය තේරුම් කරල දීලා තමා "දෙන" ගෙදරට භාර දුන්නෙ. ඒ ගෙදරින් අපිට වතුර ටිකක්වත් දුන්නෑ. මග ඉඳලාම ෆියුනරල් එක ඉවර කරලා මගින්ම හැරිලා කෑම්ප් එකට ආවා. අපි කියලා මොනවා කරන්නද?. අද එයා. හෙට අපි හෝ මම වෙන්න පුලුවන් තත්ත්වයක් එදා තිබුනෙ. එහෙම තැනුත් තිබුනා. තව පුනරීන් (1992 අවුරුද්දෙ මතක විදියට) වලදි නැතිවුන මගේ නැන්දගෙ පුතාගෙ දෙන ගෙදර අරන් ආවෙ උදේක. අපි ඉස්කෝලෙ යන්න බස් එක එනකම් පාරෙ ඉද්දි ආමි වාහනයක් ඇවිත් පාර ඇහුවා. අපි පාර කිව්වට සිදුවිම මොකද්ද කියන්න තේරුමක් තිබුන්නෑ. ඉස්කෝලෙ යන්නැතුව ඒ වාහනේ පස්සෙන් ගිහින් තමා මරණෙ ගැන දැන ගත්තෙ. අපිට ඒ කාලෙ ආපු ආමි මහත්තුරු මිනියක් ගෙනාවා කියලවත් කිව්වෙ නෑ. අපි දන්නෙත් නෑ. අම්මලානම් දැනගෙන ඉඳලා තියෙනවා. අපිට කිව්වෙ නෑ. ඉතින් ඔහොම කාලයක් තමා ගෙවිල ඉවරවුනෙ.
අද කතාවට යමුකො. මෙි කතාව කල්ලාර් වලදි වෙන්නෙ.
ඇත්තටම අපේ රටත් මහ පුදුම රටක්. අපි ඉගෙන ගත්තු අපේ රටෙි ඉතිහාසය පිරිල තියෙන්නේම මහ යුද්ධ වලිනුයි, එක එක රටවලින් යටත් කරගන්න දත කාපුවයි,පුතා තාත්තට විරුද්ධවයි, සහෝදරයා සහෝදරයට විරුද්ධවයි ඇති වෙච්චි සටන් සහ ඒ ගැන කතා වලින්. 1505 පෘතුගීසි ලංකාවට ආ දා ඉඳන් 1948 අවුරුද්ද වෙනකං ඇති වෙච්චි අවි සටන් සහ දේශපාලන ගැටුම් අනන්තයි. මෙි සටන් මෙි පුංචි රටෙි ඉතිහාසයේ සමහරක් තැන් වෙනස් කරන්න පවා සමත්වුනාලු. 1948 අවුරුද්දෙ දේශපාලනික වශයෙන් නිදහස ලැබුනත් ආයෙත් පටන් ගත්තේ යුද්ධයක්. අවුරුදු 33ක් තිස්සේ තමාගේම එවුන්ට විරුද්ධව ඇති වෙච්චි සටනක් අපි කාටත් තාමත් මතකයි. ඒ එල්ටීටීඊ සංවිධානයත් රජයත් අතර ඇති වෙච්චි සටන්. ඒ යුද්දෙ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ සංවිධානයත් අතර තිබුනට, මෙි යුද්දෙ කරන්නේ රජයත් එක්කලු කියල පෙබා කරනුත් කීප අවස්ථාවකදිම කියලත් තියෙනවලු.
තමාගේම යටතේ ඇති ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, ගොඩබිම සටන් කල හැකි හමුදාවක්,ශක්තිමත් බුද්ධි බළකායක් හා සන්නද්ධ කාන්තා බළකායක් එක්ක පෙබා කරනුත් ගහපු ගේම සුළු පටු දෙයක් නෙමෙි. අවුරුදු තිස්තුනේම හමුදාපතිවරු, ජනාධිපතිවරු ගණනාවක් එක්ක හැප්පුනු ඒ තනි මිනිහා, තමන් තෝරගත්තු සිස්ටම් එකේ වැරැද්ද නිසා අන්තිමෙි මඩ ගොහොරුවක මැරිල ගියා.
ඒ වගේ දරුණු යුද්ධයකට මැදිවෙච්චි මෙි පුංචි රටෙි ඒකීය භාවය හා රටට සාමය ඇති කරලීමෙි පරම උදාර චෙිතනාවෙන් තමන්ගේ කුසින් වැදූ පිරිමි දරුවන්ම පස් දෙනෙක් ඇති මාතාවක්, ඒ දරුවන් පස්දෙනාම හමුදාවට පූජා කරල තියෙනවා කියල කිව්වොත් ඔබ සමහර විට පුදුම වෙන්නත් පුලුවන්. නමුත් ඒක ඇත්තක්. දරුවන් හතර දෙනෙක් යුධ හමුදාවටත් බාලම දරුවා නාවික හමුදාවටත් රට වෙනුවෙන් බැඳෙද්දි ඒ අම්මා ඔවුන්ට මොනවා කියන්න ඇද්ද. ඒකත් මහ යුද්ධ යන කාලෙ. අපේ ඒකකයේ හිටියා ඒ තුන් දෙනෙක්. ඒ සේන ලලිත්,සේන අජිත් සහ සුමිත් ධමිමික. පාබල හමුදාවෙ හතර වෙනියා. පස් වෙනියා නාවික හමුදාවෙ. සේන අජිත් සහ සුමිත් ධම්මික බැඳුනේ 1998 අවුරුද්දෙ. ඒ දෙන්නම බැචාලා. සේන ලලිත් වැඩිමලා 1993 අවුරුද්දේ. පාබල හමුදාවෙ එක්කෙනා 2000ත් අන්තිමයා 2001ත් බැඳිල තියෙන්නෙ. මං ඒ විස්තර හොඳට දන්නවා. මොකද මං එයාලගෙ ක්ලාක්නෙ. එත් තව එකක්. ඔය සේන ලලිත් අවුරුදු හයක විතර කාලයක් මාත් එක්ක එක වචනයක් කතා කරල නෑ. මාත් එක්ක පුදුම තරහක් තිබුනෙ. මාව පෙන්නන්න බෑ. අපිි දෙන්න තරහ නිසා ඔය අවුරුදු ගානටම එකට රාජකාරියක්වත් වැටිල නෑ. බැරිවෙලාවක්වත් රාජකාරියක් වැටුනොත් ඒක පළමුවෙන් දකින කෙනා සීඑස්එම්ට වැඳල හරි ඒක වෙනස් කර ගන්නවා. ඒ තමා අර හොදි පාං කේස් එක. මගේ බෙල්ල කපල පනාගොඩ පුට් බෝල් ගහන්න යවන්න ගේම ගහපු එක්කෙනෙක් තමා ඒ.
මෙි අතරින් සේන අජිත් කියන්නෙ ලක්ෂපතියෙක්. සිගරට් එකක් බොන්න අතේ රුපියලක් නෑ. ඒත් ලක්ෂ ගණනින් කතාව. කට ඇරියොත් දාර නයෙක්. නිකන් නයි ත් නෙමෙි.මල් මල් දාර කොබෝ නයි අරින්නෙ. පොර මගේනං හොඳ හිතවතෙක්. අපි දෙන්නයි, ජෙනි ජයසිංහයි එකතුවුනා කියන්නෙ අනිවාරයෙන්ම මොකක් හරි ගුටි කන කේස් කේස් එකක්ම තමා. වැඩිමල් සේන ලලිත් කියන්නෙ හෙනම මීටරයක්. ගහන ඔිනෑම ගේමක් නාඩියෙන් ගහන්න මෙයාට තියෙන්නෙ සහජ හැකියාවක්. එක පාරක් පොර පොඩි කේස් එකකට චාජ් එකේ ගිහින් සීඔි ; "අදාල චෝදනාව සම්බන්ධයෙන් තමා වැරදි කරුද?,නිවැරදි කරුද" කියල අහපුවම
"එම චෝදනාව සම්බන්ධයෙන් මා වැරදි කරු වුවත්, චෝදනා පත්‍රයේ ඇතුලත් වගන්ති අනුව මා නිවැරදිකරු තුමණි" කියනවා. ඒක කිව්ව විතරයි සීඔිගෙ කාර්‍යාලයේ හෙන කේස් එකක්. අන්තිමෙිට එම චෝදනාවලින් එයාව නිදහස් කරල චාජ් ෂීට් එක ගහපු ක්ලාක් චාර්ජ් එකේ ගියා. මොකද සේන ලලිත්ගේ මීටරේ තමා ඒ. එහෙම සිදුවීමුත් හමුදාවෙ තියෙනවා.
මෙි තුන් දෙනාම එකකුස උපන් සහෝදරයන්. පිලිවෙලින් 1,2,3. හමුදාවට බැඳිල මෙි ඔක්කොම හිටියෙත් ක්‍රියාන්විත සේවයේමයි. අවසන් යුද්ධ දෙකේදිත් ඉස්සරහින්ම හිටියෙ.
ඒ විශ්වමඩු සිවිල් මිනිසුන් පෙරහැරක් වගේ ඇවිත් හමුදාවෙන් බෙිරගන්න දවස. එතකොට මම මාස ගණනකින් නිවාඩු ගිහින් හිටියෙ නෑ. අපි එතකොට නිළ උසස් කිරීමෙි පාඨමාලාවක හිටියෙ. සුමිත් ධම්මිකත් ඒකෙ හිටියෙ. මට කපිතන් වන්නිනායකගේ ඔපරේටර් විදියට යන්න ලෑස්තිවෙන්න කිවුවම මං බෑ කියල නිවාඩු යන්න ඔින කියනව. ඒකට කපිතන් වන්නිනායකත් අනුමැතිය දෙනවා. මං නිවාඩු යනවා. සුමිත් ධම්මික මෙි රාජකාරියට යොදවනවා. (මීට පෙර කතාවක මෙි කොටස පළ කලා). එදා සිවිල් මිනිස්සු අතරේ හැංගිලා මරාගෙන මැරෙන කාන්තාවක් සිවිල කාන්තාවක් විදියට අපේ කට්ටිය ගොඩක් රැඳිල හිටපු තැනකට ඇවිත් සූසයිඩ් කරගන්නවා. එතනදි කපිතන් වන්නිනායක ඇතුළු දහ නව දෙනෙක් ජීවිතේ හැරයනවා. ඒකට කාන්තා සෙබළියන් දෙදෙනෙකුත් අහුවෙලා ජීවිතේ හැරයනවා. මෙිකට සුමිත් ධම්මික අහුවෙනවා. බ්ලාස්ට් එක වෙච්චි වෙලාවෙම ඒක සේන ලලිත් දැනගෙන පිස්සෙක් වගේ කෑ ගහගෙන එතනට දුවගෙන ගිහින් තියෙනවා. එතකොට සේන ලලිත් ඉඳල තියෙන්නෙ පිටුපස මූලස්ථානෙ. එතන ඉඳලා තමා පිස්සෙක් වගේ දුවල තියෙන්නෙ. යද්දි තැන තැන මැරිල වැටිල හිටපු අපේ කට්ටිය දැකල පොරට ක්ලාන්තය හැදෙනවා. හැබැයි පොරට සිහිය එනකොට ලඟ ඉඳල තියෙන්නෙ තමන්ගෙ මල්ලි සුමිත් ධම්මික. තමන්ගෙ මල්ලිගෙ දිහා මොහොතක් බලා ඉදපු සේන ලලිත්ගෙ දෑස් වලින් කඳුලු වැටුනා කියලා දැනගත්තා. ඒ තමා සහෝදර කම. අවුරුදු ගණනාවක් උඩුහමවත් නොකැඩි හැම සටනකමත් ඉඳලා, මෙි සටනේත් අවසානය පෙනි පෙනී තමන්ගෙ මල්ලි "මැරුණා නේද" කියල හිතුනම පවුලේ වැඩිමලා වෙච්චි අයියට මොනවා හිතෙන්න ඇද්ද. හැබැයි සේන ලලිත් එදා විතරයි මල්ලි වෙනුවෙන් කඳුලු හෙලුවෙ. අනික් හැම දවසකම මුන් තුන් දෙනා මරා ගන්නවා. වෙඩි තියාගන්නැති එක විතරයි. සමහර ඒව බෙිරන්නෙ අපි. ඒත් පුංචිම පුංචිම දේවල් වලට. එක්කො මල්ලි අයියගෙන් "බබා හුකුංද කෝපල්" කියල අහයි. නැත්තං සිගරට් එකක් නැද්ද කෝපල්" කියල අහයි. කරන්න දෙයක් ඇත්තෙම නැත්තං හොරෙන් ට්‍රන්ක පෙට්ටිය ඇරල සල්ලි හරි උස්සනවා. එහෙමයි උන් තුන්දෙනා. මුං වෙඩි තියාගන්නැති ටික විතරයි. එක දවසක් සේන ලලිත් සේන අජිත්වුනු තමන්ගෙ මල්ලිගෙන් ඔළුවෙ ගාන්න තෙල් ටිකක් ඉල්ලපුවම මොකද්දෝ ෂැම්පු බෝතලේකින් ෂැම්පු ටිකක් දීලා. ඒක ඔලුවෙ අතුල්ලපුවම කොණ්ඩෙ අලෙනව කියල ඔලුව හෝදනකොට පෙන ඇවිත්. එතකොටයි දන්නෙ තමන්ගෙම මල්ලි තමන්ව අන්දලා කියලා. ඔිකටත් හෙන වලියක් ගියා බිලට් එකේ. අපිටනං මැරෙන්ඩ හිනා සීන් එකට. අය්යා බනිනවා, මල්ලි බක බක ගග ගගා හිනා වෙනවා. ආයෙ දවසක් සුමිත් ධම්මික මල්ලි එක්ක කෝපල් සේන ලලිත් අයියා රෑ කඳවුරෙන් එලියෙ ඩියුටියකට ගියා. පහුවදා බිලට් එකට හෙන ගිනිවිජ්ජුම්බරයයි බිලට් එකේ. අයිය සෙන්ට්‍රි තියල මල්ලි නිදියල. මූට ටර්න් එකට ඇහැරවද්දි නැගිට්ටෙම නෑ කියල තමා කේස් එක ගියෙ. ඒ වගේ දවස්වලටනම් මල්ලිලා ටිකක් අයියගෙන් ඈත් වෙලා ඉන්නෙ. නැත්තං අයිය මල්ලි නෑ, සේන ලලිත් හක්ක අතගානවා. අයිය කෝපල්, මල්ලි ලාන්ස් කෝප්‍රල්. අයිය සාජන් වෙනකොට මල්ලි ස්ටාෆ් සාජන්. අයිය මල්ලිට නම කියල කතා කරනකොට "ඇයි සාජන් සේන ලලිත්, ස්ටාෆ්ට සර් කියන්ඩ ලැජ්ජද? " කියල අහපුවම ආයෙ මෙස් එකේ වලි. සේන ලලිත් ප්‍රමෝෂන් වලින් ජූනියර් වුනේ චාර්ජ් ෂීට් කේස් එකක් නිසා. ඒත් මල්ලි අයියගෙ දත ගලෝලා බාර් එකෙන් අරක්කු ගන්නවා. එහෙම තමා උන්දැලගෙ ජීවිතේ ගෙවිලා ගියෙ. හැබැයි සිවිල් එකේ මොකක් හරි ලොකු කේස් එකකට, ඒකට සම්බන්ධ සෙට් එකකට ගහන්ඩ අයියල මල්ලිලා හතර දෙනාම (පාබල හමුදාවෙ කෙනත් එක්ක) නිවාඩු ගිහින් උන්ට ගහලා හතර දෙනාම දවසක් කූඩුවෙත් ඉඳලා, අපේ සාජන් මෙිජර් කෙනෙක් ගිහින් තමා ඇප දීල අරන් ආවෙ.
සුමිත් ධම්මික උපදේශක පාඨමාලාවක් කරලා හිටියෙ. පොර කල්ලාර් ස්ට්‍රයික් කරපු කෝස් එකේ උපදේශක හිටියෙ. අයිය පාඨමාලාවෙ ශිෂ්‍යයෙක්. අයිය, මල්ලිට විරුද්ධව කුමන්ත්‍රනය කරනවා. මල්ලි අයියටත් ටෝක් කරනවා. පී ටී යද්දි අහන්නෙම "ඇයි ඇයි, කෝපල් සේන ලලිත් කියන දේ කරන්න බෑද?"
"ඔෆිසර් මෙස් එකේ බත බුදල බුදලා කඳ ආරලා මෙතන හැතැම්මක් දුවා ගන්න බෑ" කියනවා. ඔිව ඇහෙන අපිත් හිනා වෙවී අයිය මල්ලිලාගෙ සෙල්ලං බලාගෙන වෙනම ආතල් එකක් ගන්නවා. ඔිං ඔහොමයි අයියලා මල්ලිලා.
එයාලාගෙ අම්මට "වීර මාතා" පදක්කම යුධ හමුදාවෙන් ලැබුනා. අදටත් ඒ පස්දෙනාම ජීවතුන් අතර ඉන්නවා. මෙි තුන් දෙනාම දැන් විශ්‍රාම සුවයෙන් කල් ගත කරනවා ඇති. නැත්තං තවත් මරා ගන්නවද දන්නෑ.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2021.03.04
No comments:
Post a Comment