Sunday, March 7, 2021

පුනරීන්

 වැස්ස ඊයෙයි පෙරේදයි වගේම අදත් කඩා හැලෙන්න යන්නෙ  හරියට අපෙන් පලිගන්න වගේ. ඊට දවස් කීපයකට කලින් ඇරඹුනු වැහි වටය එන්න එන්නම අනෝරා වැහි බවට පරිවර්ථනය වෙන්න පටන් ගත්තේ කිසිම අනුකම්පාවක් නැති විදියට.  මුහුදු සුළඟේ දිය වී හමා එන  ලවන සුවඳ අපේ නැහැපුඩු හරහා හමාගියේ  "උඹලත් මට යටත් දරුවන්" කියන්නා වාගේ. මනුෂ්‍යා අයිති ස්වභාවධර්මයාට තමයි. ඒත් මිනිසා හිතන්නෙ සොබාධර්මය මිනිසාට අයිතියි කියල. ඒකනෙ හැම දාම උඩුගං බලා පීනන්නේ. එකම විදියට ඉපදිලා එකා වගේ ඉඳලා එක දෙයක් බෙදා ගන්න දෙපිල බෙදිල  පොර කන මෙි විචිත්‍රවත් කඩු තුවක්කු හරඹය ස්වභාව ධර්මයාට අයිති නෑ.  කිසිවෙකු විසින් කෘතීමව ඇතිකල දෙයක පශ්චාත්තාප වෙන කොටස බෙදාගන්න අවුරුදු ගණනාවක් තිස්සේ දෙගොල්ලක් පොර කෑවේ මොන එහෙකටද මංදා. ඊට පස්සෙ  ඒ කොටස තමන්ගෙ ප්‍රතිවාදියාට පාස් කරන්න දෙපාර්ශ්වයම බෝල් තරඟයක යෙදෙනවා.  දිනුම තමන්ට ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ප්‍රභාකරන්  උඩ පනිද්දි, හමුදාව ඒ බලාපොරොත්තුව උදුරගන්න දත කනවා. ඒත් නියත වශයෙන්ම දිනුම ලැබෙන්නෙ එක පාර්ශ්වයකට විතරයි. මිලේච්ඡයා මුලින් කොච්චර දිනුවත් අන්තිම කොටස හරි පරදින එක රීතියක්. යුද්දය ඇති කරපු ඈයන් ඔල්වරසන් දිදී වෙිදිකාවෙි ප්‍රීති ඝෝෂා නගද්දි මෙලෝ හසරක් තේරුම් නැති තමාගේම රටෙි දෙගොල්ලක් තමාගෙම ඈයන් එක්ක ගිනිරාමෙට මරා ගන්නවා.ඒකත් හරියට චිත්‍රපටයක රඟපාන නළුවන්ගේ වෘත්තීය අපි රස කර කර බලනවා වාගෙ.  ඔිවා ඉවසගන්න බැරුව දුන්නු දඬුවමකටද මන්දා යුද්දයටත් මෙච්චරටම බාධක මැද්දෙන් තරණය කරන්න උනේ. යුද්ධය කියන්නේ මෙි ලෝකෙන් තුරන්විය යුතුම දෙයක්. කිසිම භාෂාවකට යුද්ධය කියන වචනයවත් ඔින නෑ. 


හොඳ උදාහරණයක් මැරිච්චි කොටි කෙල්ලකගේ යුනිෆෝම් සාක්කුවක ඉතිරි වෙලා තිබී හමුවුන සතියක් විතර පරන පරාටා රොටී ⁣කිහිපයක්. පව් අසරන ජීවිත. හමුදාවෙන් ලැබුනත්, සටන අතහැරියොත් තමන්ගෙ පැත්තෙන් ලැබෙන මරණයත්, මරණයමයි. ඒ මරණය මොවුන්ට ලබා දුන්නේ බලහත්කාරය මයි. සතියකට ඇතිවෙන්න එකපාර ලැබෙන කෑම ටික ඇඳන් ඉන්න නිළ ඇඳුමෙි දාගෙන ඒව කකා මරණය එනතෙක් දෑස් හැර බලා සිටින යුවතියන් සහ තරුණයන්ගේ මරණය මතින් ගොඩ නගන ඊනියා රාජ්‍යයක සිහිනය ප්‍රභාකරන්වත් ඔල්මොරොන්දම් කරන්න ඇති. 


හමුදාව සාම්ප්‍රදායික පැරණි සටන් ක්‍රම වලින් අයින් වෙලා යුද්ධයත් මොඩර්න් විධියට පරිවර්ථනය වෙන්න ගත්තෙ ඒ වෙනකොට තිබුනු අවශ්‍යතාවය අනුව. විධායක බලයෙන් පාලනය වන රටෙි විධායකයටම අයිති යුධ හමුදාවත් ප්‍රතිසංස්කරණය වී  ගොඩ බිමෙි සිටින සතුරා සොය සොයා විනාශ කර දැමීමෙි අරමුණ  පරම යුතුකමක් සේ සලකා රණ භූමියට වන්නේ "පළමුව රට, නැතිනම් මරණය" යන තේමා පාඨය ආදර්ශ කොට ගෙන. 

මෙයින් ඇතිවුනේ දෙපාර්ශ්වයටම විනාශයක් මිසක් හොඳක් නෙමෙි. ඒකට හොඳම සාක්ෂිය දහස් ගණනක් මිය ගිය කොටි සෙබළුන් වැළලූ නච්චිකුඩා කනත්තත්,  දකුණේ කඳුලු බිබී, මිය ගිය තමන්ගේ කුසින් වැදූ තරුණ දූ පුතුන්ගේ මතකයන් තාමත් ආවර්ජනය කරන මව්වරුන් සහ අතීතය සිහිකරන පියවරුන්. "මව් බිම" යන වචනයෙන් උන්මාදවූ හමුදාවෝ දස දහස් ගණනක් තමන්ගේම රටෙි මිනිසුන් මරා දැමූහ. "ඊළම" යන වදනින් උන්මාදවූ කොටි හමුදාවෝ තමන්ගේම ලේ නෑයත්, සහෝදර සිංහල ජනතාවත් පොකුරු පිටින් මරා දැමූහ. මිලේච්ඡත්වය යනු එයයි.  දේශපාලන හෝ පුද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කර රජයට බලහත්කාරය පටවමින් ජනතාව වෙත භීෂණය පැතිරවීම හා මුදාහැරීම ත්‍රස්තවාදයයි.


මෙි වෙද්දි අපි හිටියේ පුනරීන් නගරයේ. ඒක පුනරීන් කිව්වට නගරයක්වත් නෙමෙයි. වම්පසින් ඇති ඉස්කෝලයත් දකුණු පැත්තෙන් ඇති පැරණි කොටුවත් විතරයි මෙි පුනරීන් කියල  කියන්නෙ. අපි එහාට යද්දි සුජාතා අත්තනායක මහත්මියගේ (මතක විදියට නම හරි වෙන්න ඔින)  පුතා හිරවී පන පිටින් පිච්චී මිය ගිය යුධ ටැංකිය සකසා හැදූ ස්මාරකය ඒ විදියටම තිබුනා. කොටුවක් කිව්වට ඒකත් පර්චස් විස්සක් විතර භූමියක් පුරා තනා තිබුනු බල කොටුවක්. (මගෙ මතකය අනුව) මෙි වෙද්දිත් හතර වටෙන්ම අහස කළු කරගෙන ගොරවමින් තිබුනේ. ඊයේ පෙරේදා වගේ ඇද හැලුනු මහා වැස්සක පෙරනිමිති හවස දෙක විතර වෙනකොටම අදත් පෙනෙන්න ගත්තා. මෙි වෙද්දි දවස් කීපයක්ම වැස්සේ තෙමී සිටි අපිට මෙි වැස්සත් තවත් එක් වැස්සක් විතරයි. හුළඟත් එක්ක ගසාගෙන එන වැහි බිංදු මූනේ ගැටෙද්දි වැලි බොරළු වලින් දමලා ගහනවා වගේ වෙිදනාවක් දැනෙන්නෙ. අපි පුනරීන්වලින් දකුණට හැරිලා ඉදිරියට යද්දි ආයෙත් හමුවුනේ දිග පස් බැම්මක්. මෙික එච්චර උස නැතත් බංකර් සවිමත්ව හදා තිබුනා. ඩෝසරයකුත් පැත්තක දමා තිබුනා. එතන ඉස්සරහා අපි මදක් නැවතුනා. ඊට පස්සෙ තමා  කලපුව දෙසින් ඉදිරියට ඇදුනු අපිට "සියළුම රැකසිට පහරදීමෙි කණ්ඩ"  වහාම මූලස්ථානයට පැමිණෙන්න කියල පණිවිඩයක් ආවෙි. 

අපිත් හැකි ඉක්මනින් වාර්ථා කලා. 


ඉන් පසු අපිට පැවරුනේ භාරදූර වගකීමක් සහිත අනතුරුදායක රාජකාරියක්. ඒ "අද රෑට කොහොම හරි මෙි ලයින් එක කඩන්න ඔිනේ. ඒ වෙනුවෙන් තමාගේ වගකීම සහ යුතුකම  අකුරටම ඉෂ්ඨවිය යුතු" බව උප අණදෙන නිළධාරි අපිට පැවසුවා. ඒ වෙනුවෙන් ඒකකයේ සියළුම දෙනාගේ සහයෝගයත් ලැබෙන බව පැවසූ එතුමා "සතුරාට නොපෙනී සතුරාව නිරීක්ෂණය කිරීම හා, වතුර පිරුනු භූමිය ආවරණය කරමින් එකම වෙලාවට ලයින් එකට සියල්ලෝම සමග ප්‍රහාරය එල්ල කිරීම" යන කොටස් අපිට භාරදුන්නා. මෙික ඉතාම අනතුරුදායක කටයුත්තක්. "ආවොත් සෙන්ට්, ගියොත් ඔිඩිකොලොන්" ක්‍රියාන්විතයට අපි සියළු දෙනාම එක්වී පිඹුරුපත් සැකසුවෙි ඒ වෙනවිටත් අපි යම් ප්‍රමාදයක සිටි නිසයි. අපේ ලයින් එකට සමගාමිව අනෙක් ඒකක මෙි වන විටත් ඒ රාජකාරිය ආරම්භ කර තිබුනා. අපිට ටිකක් බය හිතුනේ මෙි වෙද්දි අපේ අණදෙන නිළධාරි තනතුර වෙනස් වී තිබුනු නිසයි. ඒ වෙද්දි අපට අණදුන්නේ අනි තුමා විදියට වැඩ බලන උප අනි තුමා. 


අපිට සටනක් කිරීමෙිදී අණදීමට  හිතට "ෆිට්" කියල දැනෙන චරිතයක් නොහිටියොත් අපිත් ටිකක් පසුගාමී වෙනවා. ඒත් ඒ මිම්මෙන් හැමතැනම මනින්න බෑ. අණ ක්‍රියාත්මක කලයුතුයි. අපි සියලු දෙනා කතාකරගත්තු විදියට වැහි අඳුරේම පිටත් වුනා. අපිට යන්න වුනේ ඉනක් දක්වා වතුර පිරිච්චි කුඹුරු යායක් ආවරණය කරන්න ඒ හරහා. අපි කිසිම සද්දයක් නොනගා මගට ගිහින් වතුරේ බැහැගෙන නාහෙ මට්ටමට එනකම් වතුරේ ගිලිල හිටියෙ. ඒ තව ටිකක් වටපිටාව අඳුරු වෙනකම්. මීට වඩා ඔලුව ඉස්සුවොත් හා සතුරාට නිරීක්ෂණය වුවහොත් අත් වෙන්නේ මාරාන්තික සැප සමුදායක්. වෙලාව ආවම අපිත් හිමින් සැරේ වතුර කොටස ක්‍රොස් කරලා එගොඩට පැනලා ගොඩ බිමට පය තිබ්බා. ඒත් බඩගාගෙන නියරවල් ආවරණයට අරන්. මට එහායින් කෝප්‍රල් බිලිං චුට්ටාත්, ඊට එහායින් කෝප්‍රල් සුසන්තගේ කණ්ඩායමත් ඊටත් එහායින් සෙනරත් කුමාර මගේ බැචාගේ කණ්ඩායමත් මෙි වෙද්දි වතුර කොටස තරණය කරල තිබුනේ.ගමනේ අමාරුම හරිය පසු කරපු අපි සහ මා,   මඩ ගොඩෙි උඩුබැලි අතට දිගාවී අහස දිහා බලාගෙන හිටියේ "දැං වැහැපං,බුදු වැස්ස, උතුරන්ඩ වැහැපං" කිය කිය.එහෙම අඳුර කිට්ටු වෙනකං ඉද්දි  ගොරවලා අකුණු ගහලා මහා අනෝරාවක් කඩා හැලුනා.මෙි මහ වැස්සෙ තමයි අපේ ඊලඟ රාජකාරිය ආරම්භ වෙන්නෙ. අපි මඩ ගොඩෙි "කබරයි" යන්නා වාගෙ බඩ ගාගෙන ටික ටික ඉස්සරහට ගියා.රෙෂන් පැකට් ගිලලා ගිලලා,චීස් ටින් සැමන් ටින් රටඉඳි ක්‍රීම් කැකර් බිස්කට් කෙලලා කෙලලා  මහ වැස්සේ වුනත් බඩෙි පිරිල තියෙන වෙිරම්භ අධෝ වාතය "පෝ:හ්" ගාල මහ සද්දයෙන් පිට වෙද්දි ලඟින් යන එකා මූන දිහා බලන්නෙ උඩු තොලෙන් නාහෙත් වහගෙන. ඌටත් නෝන්ඩියට හිනාවෙමින් ගත්තු ආතල් එකත් සටනේ අවසානයත්  ජීවිතේටම අමතක වෙන්නැ. කෑ ගැහුවොත් ඇරෙන්න අපේ ශබ්දයක් පිටට යන්නැ. මෙි මහ වැස්සෙ, ඊටත් ඝණ අන්ධකාරයේ කොටියාවත් හිතන්නෑ හමුදා කාරයා ලඟටම එයි කියලා. අපිට පැවරුනේ වතුර පිරිච්චි කොටස ආවරණය කරමින් අපේ අනෙක් සෙබළුන්ට සහාය වෙන විදියට ලයින් එකට එකවිට ප්‍රහාරයක් එල්ල කිරිම. ඒ එල්ල කරන ප්‍රහාරය 58සේනාංකයම එකට කරන්නේ. එතෙක් ඉවසා සිටිය යුතුයි. මෙිකට රැයක්ම තෝර ගත්තෙ භූමියේ තිබුනු අවාසිදායක බව  හිංද.


අපේ තේරීම අනුව අපි කතාකරගත්තු තැන්වලම රැඳී හිටියා. ඒ "ෆයර්" කියන අණ වචනය එනකම්. හවස හතයි තිහට ඇති. මෙි වෙද්දි අපි සීතලට "දඩ -දඩ" ගාල ගැහෙන වෙලාව. වැස්ස චුට්ටක් තුරල් කරලා තිබුනා. නමුත් මගේ අත්දැකීම අනුව කොටින්ගේ මෙි ලයින් එකේ මහ අමුත්තක් මට දැනුනා. ඒක හරියටම වචනවලට පෙරලන්න තේරෙන්නෑ. ඒත් ලඟින් යන අදහසක් දෙන්න පුලුවන්. ඇත්තටම මට කීප වරක්ම හිතුනා "මෙි මම මුහුන දෙන අන්තිම සටන විය හැකිය" කියල. ඒ තරමට මහා කාලකන්නි අදහස් ඔලුවෙි පිරුනේ. ඒකට හේතුව උන්ගෙත් තිබුනු "නිහැඬියාව හා උපාය මාර්ගික ක්‍රම තව ඇතිය"  කියල. හිතත් කිව්වෙ "මරන එකෙක් මරාවි' උඹ නියරක් අස්සට වෙලා හිටපං" කියලා. සීතලට පහල වෙච්චි සිතුවිලිද මංදා. එක පාරකුත් පරිප්පු ඇටෙන් ගිහින් නොමැරි විතරක් බෙිරුනේ "ඔිවගේ සිතුවිලි සමුදායක්" පහල වෙච්චි දවසකමයි. මෙිකත් ඒ වගේ එකක්වත්ද දන්නෑ කියලත් හිතුනා. කෝකටත් මගේ ටීම් එකේ දෙවෙනියාට අපි සැලසුම් කරපු දේවල් සියල්ලම නැවත මතක් කරල දීල කීවෙි "හදිසියක් වුනොත්" පසු බැහීම ලේසි කරගන්න. මා ගැනනම් බලන්නම එපා කිව්වා. කොල්ලො ටිකත් අරන් කෝම හරි ගේම ගහල පලයන් කියලත් කිව්වා.


 රතු රාත්‍රිය එළැඹුනා. එක පාරටම පිටුපසින් "ෆයර්" අණ වචනය  දෙන්න කලින් ඇහෙන සුපුරුදු "චකෝස් චුකුම් භු:හ්ම්" සද්දෙන් මල්ටි බැරල් රොකටය  අවදිවුනා. ඊට පස්සෙ කලින් වැටුන අනෝරාවට වඩා තීව්‍ර විදියට "ආටි" වැස්සක් වස්සන්න පුලුවන් තරමට ඒ අවි ටිකටත් පන ආවා. ඒවා පත්තුවුනා කියන්නෙ "ෆයර්"ම තමා. අපිත් හරි බරි ගැහිලා සටනට අවතීර්ණවුනා. එකම යුද්දයයි එතන. සිරි බිරි ගගා වැටෙන හිරිපොද වැහි බිංදුු මැද්දෙ ඒවා කපාගෙන බට කැලේකට ගිනි තිබ්බා වගේ සද්දෙන් බර්ස්ට් එකේ "ටක ටක ටක ටක ටක ටකස් ටකස්" යන හඬින් තුවක්කුවෙන් පිටවෙන මූනිස්සම් සතුරාගේ පපු කැනති හොයාගෙන පියාඹා ගියේ එතකොට තිබුනු සහ දරාගෙන හිටපු සීතල දෙපිටින් යවමින්. එහෙම විනාඩි දෙකක් විතර යද්දි ආපු උන්ගෙ මෝටාර් ප්‍රහාරයනම් දරාගන්නම අපහසුවුන දෙයක්. මෝටාර් උණ්ඩ එක පිට එක පොකුරු පොකුරු බිම වැටී පුපුරා යද්දි ඒ ගැනවත් තැකීමක් නොකල හා ලඟ ඉන්න එකා ගැනවත් බලන්න පුලුවන් තරමෙි අවකාශයක් නොවුනු අපි  මෙි වෙද්දි දරුණු සටනකට අවතීර්ණ වෙලා හිටියෙ. සමහරු පස් බැම්ම ආසන්නයේ මයි. අපි තව ටිකක් පසුපසින්. 


අපිත් ඒ ලයින් එකට සමාන්තරව ඉස්සරහට ඇදෙද්දී පස් බැම්ම ආසන්නයේම තිබුනු බංකරයක් මහ වදයක් වුනා. මැෂින් ගන් දෙකක්ම දාගෙන "පොපොප් රිලීස්,පොපොප් රිලිස්" සද්දෙන් එක දිගටම අපිට වනන්න තියාගත්තේ හරියට ඒ බංකරේ උංගෙ නායකයා ඉන්නවා වාගෙ හැඟීමකින්. ඒ අවදානම මට නෙමෙි තිබුනේ. අපිට දකුනෙන් ගිය "බිලිං චුට්ටා⁣ ⁣" ගේ ටීම් එකට.  මෙතනින් යන්නනම් මෙි බංකරය නිහඬ කරවිය යුතුමයි. මොකද ඊලඟ ඉලක්කය අපි. අපි වෙඩි තියමින් පස් බැම්ම තරණය කරලා අර බංකරයට පහර දෙන්න පටන් ගත්තා. ඒක හරිම ලේසි දෙයක් බවට පත් කලේ උන්ගෙද අපේද මංද ගුවනේ පියාඹා ආපු මෝටාර් බෝම්බයක්. ඒක එසේ සිදුවෙද්දි මං බැලුවෙි නැවත ප්‍රතිසංවිධානය වෙන්න මගේ ටීම් එක හරිද කියලා. දකුණු පැත්තෙන් ආපු ඔක්කොම ටික හරි. ඒත් වමෙන් ආපු දෙකම නෑ. ෆයර් එක ටිකක් අඩු වෙද්දි මං ආයෙ වට පිට නම කතා කරල බැලුවෙ ලඟට ගෙන්න ගෙන ලබාගත් ජය උන් එක්ක සමරන ගමන් ආතල් එකක් ගන්න.  ඒත් මගේ වමෙන් ආපු "ගුරුකාස්" නොහොත්  මම, "මා ගැන බලන්නවත් එපා කොල්ලො ටිකත් අරන් ගේම ගහපං කියල උපදෙස් දුන්නු"  ලා/කෝ වීරා මඩ ගොඩක ලයින් එක ඔන්න මෙන්න තියලා මහ පොලව බදාගෙන වැටී සිටියා. හැබැයි ආයෙ කවදාවත්  වීරානම් නැගිට්ටෙ නෑ. වීරප්පන් නම් අදටත් ආබාධිතයෙක් විදියට ජීවත් වෙනවා. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.03.10

No comments:

Post a Comment