Tuesday, May 18, 2021

රෑහු ගස්

 යුධ හමුදාවෙ රාජකාරි කරනකොට අටෝරාසියක් විතර  පස්න එනවා. ඒ ප්‍රශ්ණ හමුවෙි නොසැලී නොබියව ඒවාට මුහුන දෙන එකට තමා හමුදාව කියන්නෙ. ඒ ප්‍රශ්ණ ලොකු පොඩි බෙිදයක් නෑ, ප්‍රශ්ණ නම් ප්‍රශ්ණ තමා. ඒක තමා හමුදාවෙ ඇල්පබට් එකට "ප්‍රශ්ණ" කියන වචනය එකතු කරල නැත්තෙ. අපි බාවිතා කරන වචන අසූහාරදාහක් විතර අතරින් හමුදාවෙ  වචන තුනක් භාවිත වෙන්නෑ. ඒ "ප්‍රශ්ණ"  "බෑ" සහ "නින්ද" කියන වචන තුන.  ඒ වෙනුවට භාවිතා කරන්නෙ "ගැටළු" "අපහසු" සහ "විවෙිකය". ප්‍රශ්ණ කිව්වොත් ඌ ගැටළුවා. බෑ කිව්වොත් හක්ක පන්නනවා. නිදා ගත්තොත් කෙලවර වෙන්නෙ මරණයෙන්. හමුදාවෙ බංකරයක රාජකාරි ඉද්දි "කුකුළා ගැසීම" නොහොත් "නිදි කිරීම" "කුකුල් නින්ද" දෙපාර්ශ්වයෙන්ම මරුවා කැඳවනවා. ඒක සතුරා දැක්කොත් බෙල්ල කපල කඳවුරට ඇතුල්වී කඳවුරම විනාශ කල හැකියි. ඒක නොවිච්චි දෙයක් නෙමෙි වෙච්චි දෙයක්. ඒකට එක් උදාහරණයක් මගේම බැචෙක් වූ ජයපාල දුන්නා. වාසනාවකට කඳවුරට ඇතුල් වෙන්න බැරිවුනා. අනිත් පාර්ශ්වය අපේම නීති රීති. කුකුළා ගසා හසුවුවහොත් ඩිෆෙන්ස් එක උඩට නග්ගල වෙඩි තියල දාන්න පුලුවන් කියල එකල මගේත් එක්ක පොයින්ට් එකක රාජකාරි හිටපු අමරනායක ට මෙිජර් සෙනෙවිරත්න නොහොත් එවකට අපිට අණ දීපු නිඅ තුමා කියල තියෙනව. ඒ කියල අපි කුකුළා නොගසා හිටියෙත් නෑ. ක්‍රමෙිට හැමදේම කලා. ආධුනිකයා කාලෙ හොරෙන් සිගරට් බීල බීල පොයින්ට් එකට ගියාම ඒ කුකුල් නින්ද වදින්නෙ අපිත් නොදැනුවත්වම. මටත් එක දවසක් කිරාන් වලදි කුකුල වැදිල පැය දෙකක් තිස්සෙ මහ අපා දුකක් වින්දා. ඒ විසිට් එකකට අහුවෙලා.  කඳවුර පාවා දීම වගේ බරපතල වැරැද්දක් ඒක. 


මං තල් කොටෙිකට හේත්තුවෙලා අවියත් තල් කොටෙි උඩින් තියාගෙන ඉදිරි භූමිය දිහා දෑස් දල්වගෙන බලා හිටියෙ එන කොටියෙක් වරෙවි..දෙන්නං ජම්බු කියල හිතාගෙන. ඒත් එහෙම ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහින් මට ජම්බු හම්බුනා දවසක්.  ඒ අතර විසිට් එකක් ඇවිත්,


*ඒහ් උඹට නින්ද ගියාද?

*පිස්සුද කෝප්‍රල් නෑ..

*ඔව් මට පිස්සුනේ.. තොට නින්ද ගියේත් නෑනෙ නේද කියල අහල ලඟට ආපු කෝපල් හදවතින් බුර බුරා නැගෙන අප්‍රමාණ අල්පප්‍රාණ මහප්‍රාන ආදර ස්නේහයෙන් සහෝදර ප්‍රේමයෙන් ඇඟේ උපරිම හයිය දාල හක්කෙ දෙපැත්තම අතගාල 

*තොට නින්ද ගියේ නැත්තං තෝ දැක්කද මගේ රැපියල් පහක් මෙි කානුවට වැටෙනවා...

ඒත් නින්ද ගියා කියල පිලිගන්න බැරිවුනු මං

*ඔව් කෝපල් "ජබොක්" ගාලනෙ වැටුනෙ.මං අහගෙන .

*ඔවි ජබුක් ගාල වැටුනෙ එහෙනං ඒක බැහැල හොයල දීපංකො හොඳ මල්ලි වගේ..

කියනවත් එක්කම අවිය බංකරේ ඇතුලෙන් තියන්න අවිය ගන්න හදනකොට අවියත් නෑ. මොකද එහෙම උනාම සෑහෙන වෙලාවක් යනකං සෙන්ට්‍රි ඉන්න වෙන්නෑ කියල මං දන්නව.ඒක තමා අවිය බංකරෙන් තියන්න හෙව්වෙ.

හත්තිකේ කියන්නෙ එතකොට තමා දෙලෝ රත්වුනේ. මාත් ඉතින් ස්වයං වින්දනේ යෙදෙද්දි අම්මට අහුවුනා වගෙ හැඟීමකින් කෝප්‍රල් දිහා බැලුවෙ "නින්ද ගිහින් වගේ තමා කෝපල්" කියන විදියට. 


*හ්ම් කෝ ඉතින්. බැහැපං කානුවට.

දවස් ගානක් තිස්සෙ වැහැලා වැහැලා වතුර පිරීතිරී යන බොරම  බොර පාට කරවටක් දක්වා ගැඹුරු යුද අගලට යුනිෆෝම් එක පිටින්ම මාත් ස්විම්පූල් එකකට පනින ආකාරයට "ජබ්බූංං" ගාල පැන්නෙ අහිංසකයගෙ රුපියල් පහ හොයා දෙන්න. මොනහ්..පැය භාගයක්නං ඔට්ටුවුනා. ඒත් ඒකෙ රුපියල් පහක් තියා එක පයිසයක් තිබ්බෙ නෑ. ඒ අස්සෙ අහට්ට පීනනකොට මෙහට්ට වැටුනෙයි මෙහට්ට එනකොට අහට්ට වැටුනෙයි කිය කිය පැය භාගයක් විතර අහට්ටත් මෙහට්ටත් දක්කපු කෝපල් 

*නැත්තං ගොඩ වරෙන් ඒක ඔින්නෑ...කිව්වම ඉහිං කනිං මඩත් මඩ වතුරත් වැක්කිරි වැක්කිරි ගොඩට ආවෙ සේප් එකේ එතනින් බඩු ඉවර වෙයි කියලා හිතාගෙන. ඒත් මොනහ්...

*උඹ දන්නවද පුද්ගලික වාහන ගැන.

*දන්නව කෝපල්

*එහෙනං පුද්ගලික වාහනේම ගිහින් නයිට් ගාඩ් හතේ ඉන්න සෙන්ට්‍රි කව්ද කියල බලා වරෙං...

අනේ ඉතින් මාත් පෝවර්ඩ් රෝල් එකේ මීටර් සීයක් විතර දුර පොයින්ට් එකට ගිහින් ආයෙත් පුද්ගලික වාහනෙන් හිටපු පොයින්ට් එකට ආවෙ "නින්ද ගියා කියල පිලිගන්න වෙයි වගේ" කියල හිත හිත.ඒ ආකාරයට පැනි බඹරෙ, පුෂප්,ස්කොට්, හාෆ් ස්කොට් ආදී නොයෙක් වද බන්ධන වලට ලක්වූ මං, හංගපු   තුවක්කුවත් කෝප්‍රල්ගෙන්ම ඉල්ලගෙන මඩ පිටින්ම ඉතුරු පැය දෙකත් ඇහැරල හිටියෙ ඒ වෙද්දි නිදාගෙන හිටපු ඈයන්ට පව් කියල හිතුනු හිංද. පව්. මහන්සි වෙලා වෙලා නිදාගත්ත අනික් බැචාලා දෙන්නා. මං ඉතින් ඇහැරෙව්වෙම නෑ. එලි වෙනකං සෙන්ට්‍රි හිටියා. පරණ ආමි කාරයා  මෝඩයා කියන්නෙ උන් කවදාවත් මොලේ ඇති වැඩක් නං මං දන්න කාලෙක කරල නෑ. 


ඒ තමා මගේ පළමු සහ අවසාන කුකුල් නින්ද. එතනින් පස්සෙ ආයෙ කවදාවත් කුකුල ගැහුවෙ නෑ. එහෙම ඉන්නකොට තමා 116 බැච් එකෙන් ටීම් එකක් අපේ කණ්ඩායමට ආවෙ. අළුතෙන් බැච් එකක් ආහම ඊට කලින් බැච් එකට කරන්න තියෙන වැඩ ගොඩක් අඩුවෙනව. එතකොට අපි සීනියර්. ජූනියර්ල ලව්ව ඒව කරවීම තමා සීනියර්ලගෙ වගකීම. මාත් දන්නෙම නැතුව සීනියර් වෙලා ජුනියර්ල අපිටත් කෝප්‍රල් කියල අමතන කොට දැනෙන හැඟීම ඒ දවස්වල තරිඳු එකෙන්වත් ඩෙිවිඩ් එකෙන්වත් ගන්න බෑ. කඳවුරේ විසිට් එන්න පටන් ගන්නෙ රෑ 11 ඉඳලා. එතකං විසිට් ගියේ ආරච්චිත් තව බැචැල දෙතුන් දෙනෙකුත් විතරයි. ඒ යන්නෙ රෙක්කුට්ලා චෙක් කරන්න. කෝපල්ලට අහුවුනොත් හකු සම්බල් ⁣කරනව. ඒත් අපි ගියා. අපේ කණ්ඩ භාර සැරයන්ට මුළු කඳවුරේම කෝපල්ලා ලාන්ස්ලා සීනියර් ප්‍රයිවට්ලා බයයි. උන්දැට පටි ඇතා නැතා වැඩක් නෑ, හැරිච්චි හැරිච්චි අතේ  වනනව. මමත් දවස් දෙක තුනකට සැරයක් කාලම ඇති වෙලා හිටියෙ. පස්සෙ සාජන්  "තොට ආයෙ ගහන්න තැනක් නෑ, තොට ඔින විදියකට හිටු" කියල මාව නිදැල්ලෙ ඇරල හිටියෙ. ඒ වුනාට එයා මට හරි ආදරෙයි. කොච්චර අධික රාජකාරි බරවැඩ කලත් තව එකෙක් හිනස්සල අපිත් හිනාවෙන වැඩක් කරනවානං කලේ මමත් සේනාරත්න කියල පළවෙනි බැජ් එකේ එකෙකුත් විතරයි. 


අපේ සාජන් දවසකට සිගරට් පෙට්ටියක් බොනවා. පැටල් කරල එකපිට දෙකක් ඇදල තමා නවතින්නෙ. ආයෙ පැය බාගෙන් විතර ආයෙ දෙකක් පැටල් කරනවා. ඒ හිංදම පොරට සෙමත් හැදිල තියෙන්නෙ. හැම තිස්සෙම "උහුක් හුක්"ගාල බාගෙට කහිනව වගේ උගුර පාදනවා. ඒ සද්දෙ අපේ ලේවලට කැවිල තියෙන්නෙ. පොර ගාඩ් රූම් එක ගාවින් විසිට් එක එන්න පටන් ගත්තම කඳවුරේ පිටි පස්සෙම පොයින්ට් වල ඉන්න අපිත් දන්නවා බඩු විසිට් එකට බැහැල ඉන්නෙ කියලා. ඒ අර සද්දෙන්. ඒක පොර එක්තරා රිද්මයකට කරන්නෙ. ඒක මට හොඳට පුරුදුයි. එක දවසක් රෑ දහයට විතර මාත් ඒ ක්‍රමෙිටම බංකර් දෙක තුනක "උහුක්-හුක්" ගගා විසිට් එකක් ගියා. ඒ ටයිම් එකට ඉන්නෙ බැචාලා සහ අළුත් අය නිසා අවුලකුත් නෑ.බංකරයක් කිට්ටුවෙලා අර සද්දෙ දාපුවම ඈත ක්ෂිතිජය දිහා බංකර්වල වහල උඩයි අරහෙයි මෙහෙයි හොරාට ඉඳගෙන බලා හිටපු ඈයො තහඩු ජර බර ගගා බිමට පනිනකොට දැනුනු ආතල් එක මාරයි. මාරම ආතල් එක උං බනිද්දි. ඒ ඇම්ම නිට්ටාවටම සුවකලේ දවසක් එක්තරා අඳුරු රාත්‍රියකදි බැචෙක් වෙනුවට සෙන්ට්‍රි හිටපු ලාන්ස් කෝප්‍රල් කෙනෙක්. ඒ ඔෆිසර් මෙස් එක ළඟ පොයින්ට් එකේදි. හක්කත් අතගාලා නාහෙත් අතගාලා  පස්සෙ උන්දැ මාව අහු ගහක් ගහක්  උඩ නැග්ගුවා. නග්ගල කිව්ව "රෑහු ගහේ රැවු ඉදිලා රෑහු කන්න වරෝ" කියල කෑ ගහපං කියලා. හිමිං කෑගහන්න කිව්වට ගිරියෙන්ම කෑ ගහල කිව්වෙ මුලු කඳවුරටම ඇහෙන්න. කෝප්‍රල් "හිමිං හිමිං" කියද්දි වර්ඩ්  එකේ තිබ්බ ආතල් එකේ වැඩිකමට  මං තව හයියෙන් කෑ ගැහුවා. ඒක ඇහිච්චි ලුතිතන් විජේරත්න හට් එකෙන් එලියට ඇවිත් "කව්ද ඩෝ සබ්ජෙක්ට් එකට කතා කරන්නෙ" කියල බලද්දි වැඩෙි පුල් සීරියස් නැගල ගියා. අවසානෙ කෝප්‍රල් දවස් තුනක් කන්ටින්‍යු රෝඩ් බ්ලොක්. මං දවස් තුනක් බැට්ල් ඔිඩර් ගහගෙන දවස පුරා විසි ගහල තමා ඒකෙ දඬුවම ඉවර කලේ.





රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.05.18

No comments:

Post a Comment