මාවිල්ආරු පය ගහනවත් එක්කම දුටු සහ වෙච්චි දේවල්වලින් හිතට ඇතුළුවූ සිතුවිලි සහ හැඟීම් ටිකෙන් ටික පහව යන්නට පටන් ගත්තෙ නැවතත් පුරුදු යාළුවන් සමග ආශ්‍රය ටිකෙන් ටික ඇතිවෙන්නත් වැඩිවෙන්නත් පටන්ගත්තට පස්සෙ. මාවිල්ආරු සොරොව්ව ඇරීමත් සමග කාලයක් වියලි තත්වයෙන් පැවති ඇල, ඉහත්තාවෙ පිහිටි විල්ලුවෙන් ගලාගෙන ආව ජල කඳෙන් පිරී ඉතිරී යන්නට වුනේ බොරදිය විදියට බුබුලු නංවමින්. වතුර නැතුව ඉරිතලල ලොකු කිරිබත් කැට විදියටත්, ඒවත් කුඩුවෙලා ගිහින් දූවිලි බවටත් පත්වෙලා තිබුනු ඇලේ, ඒවා පොඟවගෙන, අස්සෙන් අස්සෙන් ටිකෙන් ටික ගලා ආව ඒ ජල කඳ වගේම හිතත් ටිකෙන්ටික පිරී එන්න පටන්ගත්තට පස්සෙ දැනුනේ කවදාවත් කාටවත් කියල විඳගන්න පුලුවන් තරමෙි සතුටක් නෙමෙි. ඒක මහා අමුතු නිරාමිස සතුටක්. ඇළ දෙපැත්තට රොක්වුනු අහිංසක මිනිසුන් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගන අයුරු දැක්කම හිතට ආවෙ කියාගන්න බැරි තරමෙි ආඩම්බරයක් සමග සතුටක්. පසුපෙළ සටන් කරුවෙකු විදියට ඒ දේවල් මං හොඳට බලාගෙන හිටියෙ. සෝමපුර පංසලේ ලොකු හාමුදුරුවො හිමීට හිමීට පිරිත් කියන්න පටන් ගත්තෙ අපි වෙනුවෙන්ද,ඇලේ ජල කඳ වෙනුවෙන්ද කියල නම් දන්නෑ,ඒත් උපේක්ෂා සහගත සිනාවකින් මුව පුරෝගෙන මුමුණ මුමුණ කියන්න පටන්ගත්තු පිරිතට ඇල දෙපැත්තට එක්වුනු මිනිසුන් එකා දෙන්නා එකතු වෙමින් අත් දෙක ඉහ මුදුනෙ තියාගෙන සාධු කාර දෙන්නනම් පටන් ගත්තා. අත්පුඩි ගසමින් කෑ ගසමින් හූ කියමින් ජයඝෝෂා කරපු මිනිස්සු කොච්චරනම් අහිංසක සතුටක්ද ඒ විඳින්නෙ කියල හිතුනම හිතට ආව සිතුවිලි මෙහෙමයි කියල විස්තර කරන්නම බෑ.
සමහර තැන් මීටර් හතරක් පහක් පමණ පළල සමහර තැන් පමණක් මීටර් දහයක් විතර ආසන්න පළලකින් යුත් කරවටක් ගැඹුර ඇලේ වතුර ටිකක් හිංද කොටි සංවිධානය "මදෑ කොරගත්තු හරියක්" කියල හිතෙනකොට කට කොනකට නැගෙන සිනහවත් එක්ක සිහියට එන්නෙ ඒ වෙනකං හමුදාවත් එක්ක අරියාදු කරගන්න ගිහින් උන්දැලා කොරගත්තු දේවල් ගැන. ඒවයි මෙිකයි දෙකම එකට සිහිපත් වෙද්දි හිනායාම ස්වාභාවිකයි. තුවක්කුවෙන් හැම ප්‍රශ්ණයම විසඳන්න බෑ වගේම සාකච්ඡා වලිනුත් හැමදේම විසඳන්න බෑ. විසඳන්න පුලුවන් වචනයක තියෙන බලය උන්දැලත් විශ්වාස කලානං. කොහොමත් මෙි වෙද්දි එයාලාට උවමනා වෙලා තිබ්බෙ කොහොම හරි නැවත යුද්ධය පටන් ගන්න. යුද්දෙ තියනකං ලංකා රජයේ දේශපාලඥයා වැජඹෙනවා වගේම තමා ප්‍රභාකරනුත්. ප්‍රභාටත් යුද්ධය නැතුව පැවැත්මක් නෑ. ඒ හිංද උවමනාව තිබුනෙ කොහොම හරි ජාමෙත් බෙිරගෙන හමුදාව අතින් සාමය කඩ කරව ගන්න. එතෙක් කොච්චර දැඟළුවත් කරගන්න බැරිතැන ඇලක් වහන්න ගිහින් වෙච්චි හරිය ප්‍රභාට මැරිලත් මතක තියේනං ඔය යකා ඉපදෙන හැම ආත්මෙකම ඇරපු ටැප් එකක්වත් වහන එකක් නෑ. උන්ගෙම ඈයො බයවෙලා හිටියෙත් ප්‍රභාකරන්ට නෙමෙි. උන්දැගෙ තුවක්කු පතුරම් වලට. ඒවා බිම තිබ්බ කාලෙක ප්‍රභාට වෙන්නෙත් මහින්ද මහත්තයට වෙච්චි දේම තමා. ඒක දැනගෙන හිටපු හිංදමද මංද පොරත් දේශපාලන ප්‍රවාහයට එකතු නොවී යුද්දෙටම හූමිටි තිබ්බෙ. හැබැයි එයැයිට එයැයිගෙ එකෙක් අතින්ම පරලොව යන්නත් ඉඩ තියෙන්න තිබුනා එහෙම උනානං. ලෝකය කියන එක වෙනස් වෙනවා වගේම මිනිස්සුන්ගෙ චින්තනය කියන එකත් වෙනස්වෙනවා හැම තත්පරයක් ගානෙම.
මෙි අහු අස්සෙ මං තව සුන්දර දසුනක් දැක්කා. ඒ ඇල දිගේ ඇලේ සිරි නරඹ නරඹ උඩහට යන අතරෙ. තඩිම තඩි කිඹුල් රාජයෙක් "ජබෝස්" ගාල ඇලට පැන්නෙ සතුටටද මට බය වෙලාද මංදා. උන්ටත් සතුටු හිතෙන්න ඇති ඇලේ ගලාගෙන එන බොර පාට වතුර කඳ දැක්කම.
ඇල දිගේම උඩහට ගියපු මම ටිකක් වෙලා ඇල දිහා බලාගෙන හිටියෙ ටිකෙන් ටික වැඩිවෙන ජල කඳත් හරියට අපේ හමුදා ජීවිතේ වගේම නේද කියල හිතිල. වෙලාවකට ඔතෑනිව ගලාගෙන යන ජීවිතේ තවත් වෙලාවකට ප්‍රචන්ඩ මාරුතයක් වගේ වෙන්නෙ තුවක්කුවක් නිසා නේද කියලත් හිතුන. ඇත්තට මනුස්සයෙකුට කෑම නැතුව ඉන්න පුලුවන් උනත් වතුර නැතුව ඉන්න බැරි හැටි. මහ බඹා බුලක් ගහල මනුස්ස සරීරෙ මැව්වද මංදා. ඔිකට අරක්කු නැතුව ජීවත් වෙන්න බැරි විදියට මැව්වනං, එහෙනං අද මෙි ඇලේ ගලා යන්නෙ අරක්කුනෙ. අපරාදෙ එහෙනං බෝතල්වලට පුරවං ගිහින් උදේ හවස බැදුමක් හපන ගමන් ඩිංග ඩිංග සප්පායම් වෙන්න තිබුනා.
මෙි ඇලේ ගලාගෙන ආවෙ වතුර විතරක් නෙමෙි. සිංහලයගෙ ආත්මය. සිංහලයගෙ ලේ, දහඩිය, කඳුලු, නෑදෑකම්, බෞද්ධකම ක්‍රිස්තියානිකම ඔක්කොම. ඇලක් හිංද ඇරඹෙච්චි සටන ටිකෙන් ටික රජයේ තීරණත් එක්ක නැගෙනහිර ත්‍රස්ථ ග්‍රහණයෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන මානුෂීය මෙහෙයුමක් බවට පරිවර්ථනය වෙන්න පටන් ගත්තා. පෞද්ගලිකව මගේ අදහස තිබුනෙ "ඒ බං, එහෙම කරන්න පුලුවන් වෙයිද බං" කියන එක. ඒකට හේතු වුනේ සාම කාල දෙකක් පුරාවට මාත් හමුදාවෙ හිටපු හිංද. අනික තමා කවදාවත් විශ්වාස නොකරන රටෙි දේශපාලන තත්ත්වය. සිරාවටම මහින්ද රාජපක්ෂ කියල කෙනෙක් රටෙි ඉන්නව කියල දැනගත්තෙත් ඡන්දෙ හිංද. ඒක ගැනනම් කියන්න ලැජ්ජ නෑ. මොකද අපිට මෙි කැලේ පත්තරයක් බලන්නවත් ප්‍රවෘත්ති ටිකක් බලන්නවත් විදියක් නෑනෙ. අපි දන්නෙ උදේ කාල කඳවුරෙන් පිටත් වුනාට පස්සෙ ජීවත් වෙලා හිටියොත් ඊලඟ වෙිල් දෙක කන්න ලැබෙයි කියල විතරයි. සහතික වශයෙන්ම මට මගේ ජීවිතේ ගැන සිරාවටම විශ්වාසයක් තිබුන්නෑ. ජීවිතේ සමහර වැදගත් තැන් නැවත ප්‍රතිසංස්කරණය කරගන්න බැරි විදියටම වැරදුනේ ඒ හිංද. ආධුනික කාලෙ දෙන දෙයක් කාල සීනියර්ලයි කෝප්‍රල්ලයි ඉන් එහා අයයි කියන දේවල් කරගෙන ගුටි කාගෙන හරි නොකා හරි හිටිය මිසක් අපිට එතනින් එහා ලෝකයක් මෙි කඳවුරු ජීවිතේ තිබුනෙ නෑ. ඒක ඒ කාලෙ හැටි. මානව හිමිකම්, මානුෂීය සංවිධාන, ඒවයෙ තියෙන නීති රීති, එව්ව මෙව්ව මොනවද කියන්නවත් මුල් කාලෙ දැනන් හිටියෙ නෑ. අපිට ඉගැන්නුවෙත් නෑ. රණ බිම් ක්‍රම, මූලික යුධෝපක්‍රම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, සිතියම් කියවීම,ආදී දේවල් තමා අපේ ජීවිතේ වෙලා තිබුනෙ. කොටින්ම අපි ඒ දවස්වල නිවාඩුවක් දාන්නෙත් කව්රුහරි "උඹ හෙට නිවාඩු දාහං" කියල කිව්වොත් විතරයි. එතකං මාසයද දෙකද පහද අවුරුද්දද අදාල නෑ, කිව්වොත් නිවාඩු දාල යනව. එහෙමයි. අහන්නවත් යන්නෑ. අහන්න ගියොත් හක්කත් තලාගෙන අනික් පැත්තට හැරිල ඒම තමා ඒකෙත් ප්‍රථිපලය වෙන්නෙ. කඳවුරු ජීවිතේත් හරියට ලිඳේ ඉන්න ගෙම්බගෙ කතාව වගෙ. ඒක එක්තරා හිර ගෙයක්. වෙනසකට තිබුනෙ මාස කීපයකට හරි සැරයක් නිවාඩුවක් හම්බවෙන එක විතරයි. ටිකක් හරි ලෝකය දකින්න පටන් ගත්තෙ ලිඳේ ඉන්න ගෙම්බට වතුර පිරෙනකොට ටිකක් වැඩිපුර ලෝකය පේනවා වාගෙ අපිටත් ප්‍රමෝෂන් එකක් දෙකක් ලැබෙන කොට තමා ටිකෙන් ටික ඇස් ඇරෙන්න පටන් ගත්තෙ. එතකම් දුකට සැපට අව්වට වැස්සට හැමදේටම ලඟ හිටියෙ පස්ලෝහයෙන් හැදුනු ටී පනස්හය විතරයි.
මානුෂීය මෙහෙයුමත් එක්ක මාවිල්ආරු ඇල ඇරියට පස්සෙ එතනින් එහාට යන්න අපේ අයට ටිකක් අමාරුවුනා. ඒකට හේතුව ගැඹුරු විල්ලුවත් විල්ලුව ඉහත්තාවෙ උං හදාගෙන හිටපු බංකර පේලියකුත් හිංද. බංකර පේලිය කිව්වට අපිට තිබුනෙ මාවිල්ආරු හොරොව්ව උඩින් පොලොන්නරුව පැත්ත බලාගෙන හිටගත්තම විල්ලුවට වම්පැත්තෙන් ඉස්සරහට තිබුන බංකර කිහිපයක් විතරයි. මෙික "මාවිල්ආරු සටන" කියල නම් කලාට ඒ සටනෙත් එහා පැත්තක් තියෙනවා. ඒ එහා පැත්තෙ කතාව තමා මෙි.
බන්ට් එක දිගේ ටික දුරක් යනකොට මීටර් සීයක් විතර දිග වාන වගෙ තියන කොටසකින් මීටර් හත්අට සීයක් එහා පැත්තටත් එතනින් දකුණට වෙන්න ටිකක් දුරකිනුත් තිබුනු බංකර දෙකක් තමා ඒවගෙනුත් පුදුම හිසරදයක් වෙලා තිබුනෙ. අපිට තිබුනු ඉලක්කය අනුව ඉස්සරහට යන්නනම් මෙි බංකර දෙක අපේ යටතට ගන්නම ඔින. එතනින් එහා ටික අපෙන් දකුණුට ගියපු අය අල්ලගන්නවා. එයාලත් පිලිවෙලින් මරාගෙන මරාගෙන වටෙන් එන තෙක් අපි රැඳිල හිටියෙ හොරොව්ව ලඟමයි. ඒ ඉන්න අතරෙ හිටපු ගමන් කොල්ලෙක්ගෙ ටී 56ක් අරං අර බංකර දෙක තියෙන පැත්තට දික් කරල "ඩෝං - ඩෝං" ගාල දෙකක් අතෑරියාම විනාඩි ගානක්ම යනකං හතර වටෙිටම 12.7 අවියකිනුත් මැෂින් ගන් කිහිපයකුත් දාගෙන මිරිකගෙන ඉන්න උන්දලා ආරච්චිටනම් නම් දුන්නෙ පට්ටම ආතල් එකක්. සොරොව්වෙි වම් පැත්තෙ කන්ඩිය උඩටම නැගල බිම දිගාවෙලා උන්ගෙ බංකර පේලියට එහෙම දෙකක් තුනක් අතෑරපු සැනින් පොඩිවුන් පස්ස බිම තියාගෙන කන්ඩියකින් පල්ලෙහාට රූටනව වගේ "බිරූස්" ගාල පල්ලෙහාට රූටල එන මං, ආයෙ ඔලුව උස්සන්නෙ "ඇකැක්,ඇකැක්,ඇකැක්", තාලෙට ඇහෙන 12.7 එකේ සද්දෙයි, "පොපොප් රිලීස්, පොපොප් රිලීස්" යන හඬින් ඇහෙන මැෂින් ගන්වල සද්දෙයි ඉවරවුනාට පස්සෙ. ඒක කීප සැරයක්ම කලාට පස්සෙ ආරච්චි කියල එකෙක් ගන්න ආතල් එකක්මද මංද කියල හිතිලද කොහෙද උන් වෙඩි තියන එක නැවැත්තුවා. මට ඔින වුනෙත් උන්ගෙ ගාව තියෙන තුවක්කු වර්ග මොනාද කියල බලාගන්න නිසා, එකම ආතල් එක කීප පාරක්ම ගන්නත් වුනා.
මම මෙි සටනෙ හිටියෙ ඉදිරිපෙළ නෙමෙි. පසුපෙළ සටන්කරුවෙකු විදියට ආධාරක කණ්ඩායමෙි. එල්එම්ජියක් කිහිලි ගන්නගෙන ඒකට අවශ්‍ය පතුරම් සහ ඇති තරමට වතුරත් ලෑස්ති කරගෙන හිටියෙ ඉස්සරහ සටන් වදින භඨ පිරිස්වලට ආධාරක කණ්ඩායමෙි(බැකප්) සහායක් ඇවැසි වෙච්චි ගමන් ඇවැසි සහාය ලබාදීමෙි පරම යුතුකමින් ඔද්දල්ව සටනට සම්බන්ධ වෙන්න යන්න බලාගෙන. අපිත් ඉස්සරහ යන අයත් එක්කම යනවා.නමුත් ටිකක් පිටුපසින්. ඔහොම යන දවසෙ තමා අර ඉහතින් කිව්ව බංකර පේලියේ අමාරුම බංකරයක් ගැන තීරණයකට එළඹෙන්න සිද්ධවුනේ.
ඒ සඳහා අපිත් එක්ක ගියපු ගැමුණු ඒකකයක ටීම් එකකට ඒ බංකරය ගන්න කිව්වට පස්සෙ එයාලා ගිහින් ඒක අල්ලගන්න බැරුව ආපහු ආව. නැවත ටීම් දෙකක් ගියා. ඒත් බැරිවුනා. එන්න එන්නම එයාලට හානි වැඩිවෙන්න ගත්තම ඒ බංකරය අල්ලගන්න එක පැවරුනේ අපිට. අපේ අණදෙන නිළධාරි තුමත් අපරාදෙ කියන්න බෑ, කිසි දේකට නෑ බෑ කියන්නෙනම් නෑ. කුඹුක් ගස් මංඩියකුත් තල් ගස් මංඩියකිනුත් ලඳුමංඩියකුත් ආවරණයකට අරන් සකසා තිබුනු පොලව යට බංකරය හෝ දෙක අල්ලනවා කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමෙි. අනික මෙි වෙද්දි අපේ ඒකකයටත් අළුතෙන් සාමාජිකයින් (ආධුනිකයන්) බැච් එකක් ඇවිත් තිබුනු හිංදා හා, ඔවුන්ට යුද්ධය ගැන නිසි වැටහීමක් නොතිබුනු අවකාශයක් තුල ඒ වගේ දේකට ඔවුන්ව සම්බන්ධ කරගැනීමත් අපේ අවාසියට හේතු වෙන්න පුලුවන්. හැබැයි අද මෙි මොහොතෙ මං ඉතා ආඩම්බරෙන් අභිමානයෙන් කියනවා, උන් බැච් එකනං ගිනි ගින්දර වගේ බඩු ටිකක්. එහෙන් මෙහෙන් මොංගල් ඩෑල් දෙක තුනක් හිටියට බහුතරය රියල් බුලට්. දෙයක් කිව්වම "යං කෝපල්,ඔිවනං මොනාද අනේ" කියල තබා බහින්නේ. මොකද උං එක්ක අපි තව මහ යුද්ධෙකුත් (වන්නි මානුෂීය මෙහෙයුම) කලානෙ. ඒ බැච් එකෙනුත් ඒ වෙද්දි ආධාරක වෙඩි කණ්ඩයට ටීම් දාල තිබුනෙ. උන් අපිට වඩා කඩිසරයි. උන්ගෙත් වාසනාව කියන්නෙ ආධුනික කාලෙම මෝටාර් ලේ කරන්න මෝටාර් ගහන්න ලැබුනනෙ. ඉතින් කොයි වෙලෙත් ෆයර් වෙච්චි ගමන්.
මෙි බංකර පේලියේ වම් කොටසේ තිබුනු අමාරුම බංකරය අල්ලන්න භාරවුනේ මගේ බැචෙකුට. ඒ අපේ නඩෙි හිටපු නාහෙට අහන්නැති එකෙකුට. නමින් ජයන්ත බණ්ඩාර. ගැමුණු ටීම් දෙක තුනකටම බෑ කියල පස්සට ආපු ඒ බංකරය අත්පත් කරගැනීමෙි මෙහෙයුම ප්ලෑන් කලේ අපේ අනි තුමා. ඒකට ඌණ පූර්ණ සපයාගනිමින් එතෙක් මෙතෙක් ලද අත්දැකීමුත් එක්ක ගේමට ජයන්ත බැස්සෙ අමුතු විදියකට. උපදෙස් වලට කිව්වෙ "අඳුර වැටෙනවත් එක්කම, ඒ අඳුරත් එක්ක ප්‍රහාරය ආරම්භ කරන්න" කියල. අවශ්‍ය නියෝග,උපදෙස් ලබාගත් ජයන්ත තමන්ගෙ අට දෙනත් අරගෙන පිටත් වෙද්දි "පරිස්සමෙන් ගිහින් වරෙන් මචං" කියන්නවත් මට ඒ වෙලාවෙ ඉස්පාසුවක් තිබ්බෙ නෑ. මාත් තව කෝප්‍රල්ලා කිහිපදෙනෙකුත් එක්ක ජයන්තගේ සහායට මගට ගිහින් උවමනාවෙන් පරිස්සමින් බලාගෙන හිටියෙ අවශ්‍යතාවයක් වුනොත් එක්වරම මළා හෝ නොමළා, ඉස්සරහින් බංකර්වලට කඩා වදින්න බලාගෙන. ඒ ගියෙ එල්එම්ජී තුනයි එම්පීඑම්ජී තුනයි, ආර්පීජී දෙකයි.ටී පනස් හය හතරයි. මටත් එල්එම්ජියක් තිබුනු හිංද යන්න ලැබුනා. ජයන්ත එයාට ඔින විදියට ටීම් එක සිලෙක්ට් කරගෙන අපිට පස්සෙ පිටත්වෙලා ඇවිත් "භූමියට ගිහින් තමා ප්‍රහාරය සැලසුම් කරන්නෙ, කෝකටත් කවර් වෙලා ඉඳපියව්" කියාගෙන උපක්‍රම ශීලීව අපිව පසු කරගෙන ගියා. ජයන්තයා ගියා කියන්නෙ මාත් තව එකෙකුත් බැකප් එකේ බැජීල හිටියා. සත්තයි ඇස්පිල්ලන්වත් ගහන්නැතුව තමා බලං හිටියෙ. ඒක බැච් එක හිංද විතරක් නෙමෙි. කව්රු ගියත් එහෙම තමා. අපේ එවුන්,අපේ කොල්ලො,අපේ මිනිස්සු, අපේ සෙබළු, අපේ ජීවිත තමා ඒ යන්නෙ. සපෝර්ට් එකක් උවමනා වුනොත් නියමිත තැනට යන්න විනාඩියක් හරි පරක්කුවෙයි කියන සැකේට අපිත් ටික ටික තව ටිකක් මගට කිට්ටු කලේ එක පාරටම "අප්පට හුක්" කියාගෙන බංකර් පේලියට කඩා වදින්න බලාගෙන. ජයන්ත කියන්නෙ මහ හිතුවක්කාර පොරක්. ඒ අපේ ඒකකයේ වැටුප් හා දීමනා සකසන ලිපිකරු. කව්රුත් ආදරය කරන චරිතයක්. වැටුප් දීමනා සටහන් කරල දෙන කොලේ අතටත් දීල එක එකා ගාවට ගිහින් "මොනාද තියෙන ගැටළු" කියල අහන්නත් තරම් නිහතමානි චරිතයක්. අපිටත් පනාගොඩ පැත්තෙන් කරගන්න මොනවහරි වැඩක් තියෙනවනං කොලේක ලියල ජයන්තගෙ අතට දුන්න කියන්නෙ අපිම ගිහින් වැඩෙි කරගත්තටත් වැඩිය හොඳට ඒ වැඩෙි කරන කෙනෙක්. පනාගොඩ ගිහින් දවස් ගානක් ඉඳලා ඒකකයටත් ඇවිත් යුද්ධෙටත් යන්නෙ ස්ව කැමැත්තෙන්. මෙි බංකර අල්ලන ක්‍රියාන්විතයට ඉදිරිපත් වුනෙත් වෙන කෙනෙක් "හා" කියන්න කලින් ස්ව කැමැත්තෙන්. අනි තුමත් මිනිහ ගැන දන්න නිසා අනුමැතිය ලැබුනා.
අපිව පහුකරගෙන ගියපු ජයන්ත පැය දෙකකට විතර පස්සෙ (අද මට මතක විදියට) තමා ගේමට එන්ටර්වුනේ. ඒකට හේතුවත් කියලමයි ගියේ. මෙි බංකර පේලියට ඉස්සරහින් ගහල අල්ලන එක කරන්න අමාරු දෙයක් නෙමෙි,කරන්න බැරි දෙයක්. ඒකෙන් අපිටමයි අවාසි. ගැමුණු ටීම් කීපයෙන්ම කීප දෙනෙක් තුවාල වෙලා එක්කෙනෙක් මියගියා මෙික අල්ලන්න ගිහින්. මෙි බංකරේ අත්පත් කර නොගෙන කීයටවත් මෙතනින් ඉස්සරහට යන්න බෑ. ඒ වෙද්දි දකුනත් අපිට සමගාමීව ඉස්සරහට ඇවිත් තිබුනෙ. අපි මෙි බංකරේ අල්ලගෙන ඉස්සරහට යනකං එයාලාත් නැවතිලා. 12.7 බර අවියකින් සහ මැෂින් ගන් කිහිපයක් දාගෙන තමා උන් පේලියට ඉඳගෙන දෙන්න තියාගන්නෙ. ඒ ෆයර් එකට අහුවුනා කියන්නෙ ආයෙ ඔලුව උස්සනව බොරු. අනික මෙි සටන රෑට කරන්න බෑ. හවස තමා ගේමට බැස්සෙ. ඒකට හේතුව අපිට භූමිය ගැන අවබෝධයක් තිබුනෙ 1:50000 මීටර් ග්‍රිඩ් සිතියමෙි තියෙන තොරතුරු වලින් විතරයි. රෙකී අරව මෙිව යන්නත් බෑ. ගහනවනං එකපාර ගහල අල්ලන්න ඔින කතාවක් තමා හැමෝම කිව්වෙ. ඒ නිසා ඉදිරියෙන් හෝ පිටුපසින් පහරදීල මෙික අල්ලනවට වඩා පිටුපසින් ගිහින් උන්ගෙ බංකරේ ඇතුලටම එකවර පහර දෙන්න වෙනව කියල තමා හැඟීම තිබුනෙ. මෙි වගේ පුහුණු කීපයක් අපි හදාරල තිබුනත් අන්තිමෙිටම පුහුණුවෙන්න අවස්ථාවක් හම්බවුනේ සිංහපුර බළඇණි පුහුණු පාඨමාලාවෙදි. (Trench clearing and bunker acquisition) අතපයවල් උලුක් කරගෙන කොඳු ඇමැට්ටි කරගෙන ඔලු පලාගෙන බෙලි අඹරවාගෙන දවස් දෙක තුනක් තිස්සේ කරණම් ගග ගගහ පුහුණු වෙච්චි ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න වෙන්නෙත් මෙි වගේ තැන්වල තමා. (ඔයාලාට මතක ඇති මං මීට කලින් මුල් කාලෙ කතාවක් කිව්වා ආධුනික පුහුණු පාඨමාලාවෙ සිගරට් බීල අහුවෙලා පොකුනක බස්සලා පනිෂ් කරපු එකක් ගැන. ඒ බුවා තමා මෙි)
ජයන්ත පිටත්වෙලා පැය දෙකක් හෝ තුනකට ආසන්න විතර කාලයක් ගියාට පස්සෙ ගොම්මනත් එක්කම එක පාරටම අපිටවත් හිතාගන්න බැරි වෙලාවක එකවර බංකර දෙකකට පහර දෙන්න පටන් ගත්තා. මුලින්ම ඇහුනෙ අත්බෝම්බ පුපුරන හඬ. අපිත් බලං හිටියෙ "දැං ගහයි,දැං පටන් ගනියි" කියල. හිත හිත හිටිය විදියටම එක්වරම ප්‍රහාරය ඇරඹුනා. ඒ ප්‍රහාරයත් එක්ක අපිට නියෝගයක් ආවා පුලුවන් තරම් ඉක්මනින් බංකර පේලියට කිට්ටු කරන්න කියලා. අපිත් සූදානම් පිට හිටියෙ. ඒත් අපිට යන්න බෑ. අරුන්දැලා දෙගොල්ලොම වෙඩි තියන ඒව කන පල්ලෙන් හූ කියාගෙන යන්නෙ. ඒක කිව්වට පස්සෙ ආයෙ සෙට් එකේ කීවා, අදාල නෑ, පුලුවන් ඉක්මනින් ආවරණ අරං ඉස්සරහට යන්න කියල. ඒ කින්නත් කලින් අපි ආවරණ බල බල හිටියෙ නෑ, හැකි ඉක්මනින් දුවන වෙිගෙන් කිට්ටු කරමින් හිටියෙ. බංකරේට මීටර් පනහක් හැටක් වගේ ලං කරල තියෙද්දි, එතනින් ඉස්සරහට ගමන් කලේ අපේ ටීම් එකෙන් පස් දෙනයි. (එයාලා යද්දිත් බංකර අල්ලලා කියලා පස්සෙ අපිත් එක්ක කිව්වා) මාවත් ආර්පීජී දෙකත් තව දෙන්නෙකුත් ටී 56 දෙකකුත් ඒ කෝපල්ලා විසින් මග නතර කලා. ඒ ආයෙ දෙගොල්ලටම සපෝර්ට් එකක් අවශ්‍යවුනොත් "මරාගෙන මරාගෙන ඉස්සරහට එන්න තමා තියෙන්නෙ" කියලා. අපේ ගමනට සමගාමීව මීටර් සීයක් විතර පිටුපස්සෙන් අනි තුමාත් අපේ කණ්ඩායම් අණදෙන්නත් තව බැකප් එකකුත් ඇවිත් නැවතිලා හිටියෙ. ඊටත් පැය කාලකට විතර පස්සෙ සෙට් එකේ කියනව ඇහුනා "ඩන් සර්, බංකර් දෙකක් ඔිකේ" කියල. ඒ ඇහුනෙ ජයන්තගෙ කටහඬ. ඒ බංකර් දෙකට එහා පැත්තෙන් ගැඹුරු ඇලක් තියෙන නිසා උන්ගෙ කට්ටියට සපෝර්ට් එකට එන්න බෑ. ආවත් පිටිපස්සෙ නැවතිලා හිටපු අපි කීයටවත් එතනින් මෙහාට මැස්සෙකුටවත් එන්න දෙන්නෙත් නෑ. ජයන්ත බංඩාර බංකර් දෙකම ඇල්ලුව කියපු වෙලාවෙ සතුට වැඩිකමටමද මංද මටත් නොදැනිම මගේ අතින් මගේ අවියට පහරක් වැදුනෙ. මෙතෙක් වෙලා ඇඟේ ලේ නැතුව හිටිය එක, ඊලඟ මොහොතෙ තමා ලේ ටිකක් ඉනුවෙ. ඒ කියන්නෙ ජයන්ත එක බංකරයක් අත්පත් කරගන්න ගියත් එක ලඟ දෙකක් තිබිලා, අට දෙනා ටීම් එක දෙකකට බෙදිලා, බංකර දෙකටම කඩා වැදිල එකවර දෙකම අල්ලලා. අහපුවම කීවෙ "සෑහෙන දුරක් බඩගාන්න වුනා බං" කියල. ඒව එහෙම තමා. සතුරාට නොපෙනී සතුරා වෙත ලංවීමට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකෙත් වැදගත්ම අමාරුම එක තමා බුරිය ගෙවෙනකං බඩගෑම. අඳුර වැටෙනවත් එක්කම අඳුරත් එක්ක අල්ලපු බංකර් දෙක පහුවදා එළිය වැටෙනකං රැකගන්න එක අපිට පැවරුනා. එතනින් ඇරඹුණු සටන රෑත් දිගට දිගට ගියා. ජයන්තලත් ගියා. කිසි කෙනෙකුට හානියක් නොවී මෙි බංකර් දෙක අත්පත් කරගැනීමම විශාල ජයග්‍රහනයක් වුනේ, තවත් දවසක් මෙතන රැඳෙන්න වුනානං වෙන්නෙ නැගෙනහිර යුද්ධය ඉවරවෙන්න තව දවසකින් කල් යන එක. පසුව ඒ බංකර් ඇල්ලීමෙි පූර්ණ ගෞරවය ජයන්තට හිමිවුනා. එදා රෑ අපි හිටියෙ නෙතට නින්දක් නැතුව මිනීමරු කිඹුලන් පවා ඉන්න විල්ලුවෙි උඩ "රෑට ආපහු මුං එයිද" කියල බල බල. ආවත් ඉතින් දෙගොල්ලගෙන් කාටහරි මරණයක් මිසක් හොඳ දෙයක් වෙන්නෑ. ඒ වෙද්දි දකුණු පැත්තෙ කට්ටියත් උංගෙ හැංගිච්ච බංකර් හොය හොය රෑ එළිවෙනකං සටනක හිටියෙ. මෙි සටනට, මෙහි නමක් සඳහන් කල නොහැකි තවත් කණ්ඩායමක් සෝමාවතිය පැත්තෙන් අපේ පැත්තට එන කතාවක් ආරංචිවුනා. මෙි අනුව බලද්දි දෙතුන් ගොල්ල මරාගන්නවට වඩා හොඳයි පසු බහින එක කියල තීරණය කරපු කොටි ත්‍රස්ථවාදීන්, එතනින් එහාට වෙරුගල් වාකරේ කදිරවෙිලි දිසාවට පසු බහින ආකාරයක් තමා තිබුනෙ. මාවිල් ආරු ඇල ඇරල දවස් දෙකක් හෝ තුනක් යනකොට ඒ ඇල පෝෂණය කරන මහා විල්ලුවත් විල්ලුවට කිලෝමීටරයක් විතර එහාටත් සම්පූර්ණයෙන්ම හමුදා පාලනයට අයිතිවුනා. එදා රෑ අපි අත්අඩංගුවට ගත් අවි සහ ත්‍රස්ත මළසිරුරු පහුවදා ටීවී එකේත් පෙන්නුවා කියලත් අපිට කිව්වෙ අපේ ඔිසී.
"වතුර පාරක් කරපු හදියක්"
ඉවර නෑ...
රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2021.01.07
කතා කියෙව්වට අද තමයි කොමෙන්ට් එකක් ලියන්නෙ. අත්දැකිම්ම අපූරුවට ලියනවා...
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ඔබ තුමාට
Delete