Sunday, January 17, 2021

පුහුණුවෙිදි හෙලන දහඩිය

 සූර්යයා හරියට වලාකුලකටත් පහතින් ඉඳන් ගිනිකඳු හතක් ප්‍රසාරනය වෙලා වාගෙ රස්නයක් මෙි පෘථිවි තලයට දුන්නෙ තමා ගැනවත් නොසිතා ඒකීය සිරි ලංකාවක් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වදින්නට සුදානම් සෙබළුන්ට කිසි අවසරයක් නොදී ගිනි ගින්දර රස්නයක් ලබා දෙන්න. විවෙිකයක් නැතුව එක දිගට අදින, හරියට වෙලාවට කෑම තියා තිබහට වතුරවත් නැතුව පැවරෙන ඉතා අසීරුවූත්, කඨෝරවූත්, වෙහෙසකර වූත්, පුහුණුව මදිවට ඉරට හිතෙන්න ඇති මාත් සැපක් දීල බලන්න ඔින කියල. ඒ අවු රස්නෙට කාකි නිළ ඇඳුම ඇතුලෙ ඉඳන් ශරීරය තැම්බෙද්දි උඩු තොලයි නාසයයි අතර නගින දාඩියයි හෙල්මට් එකෙන් වැහුනට ඉහ මුදුනේ ඉඳන් හිසකේ අතරින් බෙිරිලා කම්මුල් දිගේ ටැප් එකකින් වගේ බෙිරි බෙිරි කටට වම දකුණින් ඇතුල්වෙන දාඩිය ගංගාවයි දිවට වැටී දෙන ලවණ රසය අපිටනං දැනුනේ අමු ලේ රහක් විදිහට.ඇවිදිද්දි දුවද්දි පනිද්දි කන්වලට ඇසෙන නොඇසෙන තරමෙි සියුම් "චිරි චිරි" හඬට දාඩ්යෙන් තෙත්වූ සහ මඩ දුහුවිලි වලින් අවපැහැ වූ කළුපාට නිළ ඇඳුමෙි කමිසය කනට කොඳුරා කීවෙ "දැන් උඹට මහන්සියි, ටිකක් විවෙික ගනින්" කියල. ඒත් ගිනියමට රත්වූ පරිසරයෙන් ගලා එන සිහින් සුළං දහරාව, ඇලකින් වැවකින් ගොඩ දැම්ම වගේ තෙතට දාඩියෙන් පිට කොන්දටම ඇලුනු කමිසයත් ටී ෂර්ටයත් හරහා ගලා ඇවිත් තමන් අරන් ආපු උණුසුම වෙනුවට රත්වූ ශරීරයට ලබා දුන්නේ සනීපදායක මද සිසිල් බවක්.එමගින් ශරීරයටත් සිතටත් දැනුනේ මුදු මොළොක් සීතල බවක්. හිටගෙන උනත් නින්ද යන තරමෙි ඒ අති සියුම් සනීපය සුළං රැල්ලක් වගේම ඇවිත් දෙසවනට කොඳුරා කියන්නේ "උඹට තාම පුහුණුව මදි, තව එක් වරක් උත්සාහ කරල බලපන් උඹ සාර්ථක වෙනවාමයි" කියල.  ඉර,  "ඉවසීම" යන පාඩම එසේ නිහඬව කියාදෙද්දි අපි ගැන අනුකම්පාවක් හිතිලදෝ මංදා, ඒ පාඩමට පිටින් නොයා එයාම උණුසුම් උනත් සිහින් සුළං රැළි අඛන්ඩව අපි ඉන්න දිහාට එවන්නේ, නැවත නැවතත් අපිව දිරිමත් කරන්නම නේද? කියල හිතෙන්නෙ සොබාදහම ගැන අචල විශ්වාසයක් ගෞරවයක් තියෙන හිතකට පමණයි. සෙබළෙකු කියන්නේත් සොබා දහමෙිම තවත් නිර්මාණයක්. එහෙමයි මම විශ්වාස කරන්නේ. 


උදේ ඉඳන් දත කන්නෙ මෙි සතුරු බංකරයක් සහ යුධ අගලක් අත්පත් කර ගන්න අඛන්ඩව සිදුකරන පුහුණුවක් ලබාගන්න. කිලෝමීටරයක් විතර දුරක් බඩ ගාගෙන එනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙි. පොඩි කාලෙ අම්මගෙ දෙතනේ එල්ලී බිව් කිරි වල රසයට අනූනව ගලා එන මෙි දාඩිය කඳ දකුණු අතේ දබරැගිල්ලෙන් හූරල පැත්තකට දැම්මත් දිගට දිගට ගලාන එන දාඩිය සාගරයයි ගතට දැනෙන විඩාවයි මෙතෙකැයි කියා කියන්නම බැහැ. පුහුණු භූමියේ සරුවට වැඩී ඇති පළු වීර, කෝන්, අහු,තල්, මොර කොහොඹ බුරුත ආදී අටෝරාසියක් රූස්ස ගස් වලින් ඉදී වැටී තැනින් තැන විසිරී තිබූ කොලයි වැටී තියෙන කෝටු බෝටු දරයි ඉලුක් යායයි මෙි අවු රස්නයටම කරවී තිබුනත්, බඩ ගාද්දි ඒ එක කොලයක් පොඩිවෙන සද්දයක්වත් නොනැගෙන්න මෙි ව්‍යායාමය කරන්න ඔින. නිරන්තරයෙන් දඩ සයිස් ඇහැළ පොලු අතින් අරන් කෑකෝ ගසමින් අප අසලම ගැවසෙන උපදේශකයින් නිතරම උත්සාහ කලේ සුළු හෝ වැරැද්දක් වෙන්නට ඉඩ නොදී අපිව සහ ඉරියව් නිවැරදි කරන්නමයි. පුහුණුවක් අවසානයේ ගණන් කර බැලුවොත් ඇහැල පොලු පහරවල් විස්සක් තිහක් නම් තට්ටම් දෙකට පත බෑවෙන්න ඇති. හොඳින් හෝ නරකින් බැරිනම්, කොහොම හරි සාර්ථකව පුහුණුව ලබා දෙන්න උපදේශකයිනුත් දත කෑවට ඒ ඒ අවස්ථාවන්වලදී ඔවුන් ගැන දැනෙන්නේ පුදුමාකාර තරහක්. ඒත් ඒ තරහ පුහුණුව  අවසානයේ සිද්ධවෙන සාර්ථකත්වයේ අගය කිරීමත් එක්ක හිරු දුටු පිණි මෙන් වියැකී යන්නේ ඔවුන් ගැනද ලොකු ගෞරවයක් සෙනෙහසක් ඇති කරවමින්. 

අපි රටක නිළලත් හමුදාවක්. ඒත් ගරිල්ලා සෙබළුන් සිටින හමුදාවක් වූ පෙබාකරන්ගෙ හමුදාවටත් අපිට වගේම සටන් කිරීමෙි හොඳ හැකියාවක් තියෙනවා. හොඳට කන් ඇහෙනවා.  සෙබලෙකුට කන්වලට වගේම හිතටත්,ඇසටත්,පපුවටත් හොඳට ඇහෙනවා. උකුසු ඇසක්,ඌරෙකුගෙ කටක්,බූරුවෙකුගෙ පිටක්, වගේම අශ්වයෙකුගේ මෙන් කකුල් සහිත හරි අපූරු මිනිසා වෙිනම් ඒ සොල්දාදුවෙක් මිසක් වෙන කව්රුවත් නෙමෙයි. වඳුරෙක්, දිවියෙක්, වගේ ගමන් කරන්න පුරුදු පුහුණුවීමත් එච්චර ලේසිපහසු දෙයක් නෙමෙි. "දිවි ගමන" මටනං එපාම කරපු එකක්. බඩගාද්දි වැලමිටෙත් දෙකලවා වලත් දණහිස් දෙකත් ඇනෙන ගල් වලින්  තුවාල උනාම, එයින් දැනෙන වෙිදනාව අජරාමරයි. ලංකාවෙ සෙබළුන්ට සම්මත පුහුණුවට අමතරව ගරිල්ලා සටන් ක්‍රමත් හදාරන්න සිදුවුනේ එවැනි ගරිල්ලා සංවිධානයක් එක්ක හැප්පෙන්න සිදුවී තිබීම නිසාමයි. 


සතුරාට නොපෙනී සතුරා වෙත ලඟා වීමට ක්‍රම රාශියක් පුහුණුවෙිදී අපට උගන්වනවා. නමුත් මා විශ්වාස කලේම ඒ තනි පුහුණුවට වඩා පුද්ගලයෙකුට ජන්මයෙන් හිමිවන කපටිකම සහ හැකියාවට ඒ පුහුණුවත් එකතුකලාම ඔක්කොටම වඩා සාර්ථකයි කියල. වරක් මා හා මගේ සහායකයෙකු විසින්, හදාරපු නිළ උසස් කිරීමෙි පාඨමාලාවකදී මගේ මෙි නියායට අනුව ගිහින් සතුරාගේ කඳවුරට ඇතුළුවී  සාක්ෂි වශයෙන් උපදේශකයෙකුගේ ටී56 අවියකුත් අරගෙන ගිය තැනින්ම ආපහු ආව කතාවක් තියෙනව.

 

ඒ කල්කුඩා කඳවුර. පාඨමාලාව සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරීමෙි පාඨමාලාව 2002 අග. 

එදා රාත්‍රී හතට ආරම්භ වූ පුහුණුව අවසන් වෙන්න තිබුනේ පාන්දර තුනට.(කණ්ඩායම් දෙකක් නිසා). අපේම සහ මාත් අයත්වන "චීටා" විශේෂ ප්‍රහාරක කණ්ඩය යටතේ ලබපු ඒ පුහුණුවෙිදී අපිට දුන් අභියෝගය වුනේ,කලින් පෙන්වූ යම් සීමාවක් ඇතුලත ඔවුන්ගේ ඇස නොගැටී කඳවුරට ඇතුල්වී පෙන්වීමයි. ඒකට හැට දෙනෙකුගෙන් සමන්විත අපේ පුහුණු කණ්ඩය අදියර දෙකකින් තමා පුහුණුවීම අවසන් කරන්න තිබුනේ. මං අයත්වුනේ පළවෙනි ටීම් එකට. මෙිකට තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්‍රියාකාරකමට සහභාගි වෙන්න පුලුවන්. මම මුලින් ලෑස්තිවුනේ තනිවම ගේමට බහින්න. ඒත් මගේ බැචෙක් කල කන්නලව්ව ඉවත දාන්න බැරි නිසා "මාත් එක්ක එනවනං, අංක අනුව සද්ද නොකර මං යන පාරෙ මං යන විදිහට වරෙන්" කියා ඔහුවත් සහභාගි කරවා ගත්තා. මා තෝරාගත්තු තැනට ටිකක් එහා පැත්තෙන් තියෙන්නෙ මෙස් එක. ඒකෙ කුණු කානුව පුදුමාකාර ගඳක් තියෙන්නෙ. මෙික ඇවිස්සුනාම ඊටත් වඩා ගඳයි. මගේ ඉලක්කයවුනේ මෙි කුණු කානුව දිගේ ඇතුලට බඩ ගාන්න. මොකද ඒකත් අපිට පෙන්නූ සීමාව ඇතුලෙ තිබුනෙ. අනික මෙතන ගඳ නිසා කව්රුත් වැඩිය රැඳෙන්නෑ. වතුර නිසා සද්දය ඇහුනත් මුහුදේ රැලි නගින  සද්දෙත් ආධාරයට අරගෙන ගේමක් ගහන්න පුලුවන්. මුහුදෙන් එන ලුනු සුවඳත් කුණු කානුවෙන් එන ගඳත් මිශ්‍ර වුනාම පුදුම ආතල් එකක් නාහෙට දැනෙන්නෙ. පැය හතරක පුහුණුවට අදාල නැවත මතක් කිරීම් කර අපිව විසිරුවා හැරියේ හරියටම මීටර් පන්සීයක් වගේ දුරක ඉඳන් " දැන් පුලුවන්නම් ඇවිත් පෙන්නපියව්" කියල. උපදේශකයින් බලා ඉන්නෙ කඳවුරේ පස් බැම්ම උඩ. පාඨමාලා භාර නිළධාරි ග්‍රවුන්ඩ් එක අයිනෙ තාවකාලිකව අටවාගත් බිවැක් එකක් ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියෙ. පුහුණුව ආරම්භවුනා. මාත් කුමාරනායකත් පඳුරු සහ ඉලුක් ගාල්වලට මුවාවෙවී මුහුද පැත්තෙන් කුණු කානුව ගාවට ආවෙි විනාඩි විස්සක්වත් යන්න කලින්. ඒ ඇවිත් හොඳට බලාගෙන හිටියා මෙයාලාගෙ හැසිරීම. ඒ කියන්නෙ කොයි හරියෙද වැඩිපුර නැවතිලා ඉන්නෙ,කොයි හරියෙද ටෝච් ගහන්නෙ, කොයි හරියෙද කෑ ගහන,කතාකරන  සද්දෙ ඇහෙන්නෙ කියල. ඒකට අපිට පැය භාගයක් විනාඩි හතලිස් පහක් විතර ගියා. මොකද උපදේශකයන් කයියක් ගහගෙන පාඩුවෙි ස්වාභාවික කඳවුරක කටයුතු වෙන විදියට තමා ඒ වෙලාවෙ හැසිරෙන්නෙ. අපි දෙන්නා ඒ අතරේ බැලුවෙ මුහුදෙ සද්දෙ කොහොමද කියලා. ඒකත් අවුලක් නෑ. ඊලඟට කිසි හිරිකිතයක් නැතුව කුනු කානුව පල්ලෙන් ඩවුන් ගිහින් නාහෙන් කටින් ඉඳුල් අපද්‍රව්‍යවලටම හැදිච්ච පණුවන් වැටෙද්දි මුහුදු රැල්ලක් හෝහ්ස් ගාගෙන ඇවිත් චපාස් ගාල වැල්ලෙ වදිනකොට අපි දෙන්න ඒ සද්දෙට අනුව බඩ ගාන්න පටන්ගත්තා. රැල්ල ගියාම ආයෙ රැල්ලක් එනකම් ඉන්නවා. එහෙම පැයක් එක හමාරක් විතර යනකොට අපි දෙන්නා නැවතුනෙ පස් බැම්ම යටින් වතුර බහින්න දාල තිබ්බ බෝක්කු කට ඇතුලෙ. තව අඩි දෙකයි කඳවුරේ. කතා කරන හඬත් මීටර් විස්සක් තිහක් වගේ දුරකින් මගේ දුකුණෙන්  ඇහෙන්නෙ. හොඳට ඔට්ටපාලු ඇහැ දාල බලල ඒ කට්ටිය අනික් පැත්ත බලන වෙලාවක සහ ටිකක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල කුමාරනායකයට එතනම ඉන්න කියල මම නැවත බඩගාන්න පටන් ගත්තා. ඒ ඩිෆෙන්ස් එක අයිනෙන්ම වමට. ඒ ගිහින් හේත්තු වුනේ මෙස් එකේ මෙහා පැත්තෙ ටකරම් බිත්තියට. එහා පැත්තෙ කොල්ලො කනවා. මාත් සද්ද නැතුව අජරාමර පට්ටපල් ගඳ ගහන කලිසමයි ෂර්ට් එකයි ගලවල දාල යටට ඇඳන් හිටපු ටීෂර්ට් එකයි ජොකායි පිටින් කළුවරට මුවා වෙවී පාඨාමාලා භාර නිළධාරි හිටපු හට් එක ලඟට ආවා. ඇවිත් ඩවුන් ගිහින් ඉතා පරිස්සමට අර කබොකෙ ආයෙ බඩගාන්න පටන් ගත්තා. අරමුණ කඳවුරට ආවා කියල සාක්ෂියක් ලබා ගැනීම. මගෙ හිතේ තිබුනෙම ඒ සාක්ෂියත් අරන් ආයෙ ආපු විදියටම  එලියට යන්න. පිටිපස්සෙන් හිමීට බඩගාගෙන බඩගාගෙන ඇවිත් හට් එක ඇතුලෙ ගොඩ ගහල තිබුනු අවි ගොඩෙන් එක අවියක් ගත්තා. ඒකත් අරගෙන පස්සට බඩගාලා මෙතනට ආපු විදියටම නැවත බෝක්කු කට ගාවටම ගියා. ඒ ගියෙත් කුණු කානුව ගාවට ඇවිත් හිටපු උපදේශකයින් තවත් කඳවුරට ඇතුල්වෙන්න ආපු එකෙක් අල්ලගන්න ඌ ලඟට යද්දි. මං යද්දි කුමාරනායක අහුවෙලා. ඒත් ඌ කියල නෑ මාත් එක්ක ආවෙ කියලා. මං අහගෙන කුමාරනායකයට "තපහ් තපහ්" ගාල හෙන පොල්ලකින් අතාරින සද්දෙ. කොටින්ටනෙ අහුවෙලා තියෙන්නෙ. ඉතින් කොටි, හමුදාවෙ එකෙක් අල්ලගත්තම දෙන ආතල් එක අරුන්දැලා කුමාරනායකයට දෙනවා. එතනත් කීප දෙනෙක් රැස්වෙලා. උන්දැලාගෙ කෑ ගහන සද්දෙයි, කුමාරනායකට දක්වන අවධානයයි ප්‍රයෝජනයට අරන් මං නැවතත් කුණුකානුව දිගේ එළියට.  ඒ ගියෙත් ගලවල දාල ගියපු කලිසමයි ටීෂර්ට් එකයි ආපහු ඇඳගෙන,ගත්තු අවියත් නමල පැක් එකට දාගෙන. කිසි අමාරුවක් නැතුව එළියට ගිහින් ඉලුක් ගාලක රෝල්වෙලා රෝල්වෙලා මඩ ගතිය ටිකක් අඩු කරගත්තු මං, ටයිම් එක ඉවරවෙනකං විනාඩි හතලිස් පහක් විතර සුවඳ ගග ගගහ හොඳට නිදාගත්තා. 


ටයිම් ඉවරවුනා. උපදේශකයින් කෑ ගහනවා. අපේ උං හිටපු හිටපු තැන් වලින් ඇතුලට අරගෙන. සමහරු ඇතුලට එන්න තියා හිතලවත් නෑ. ගොඩක් අය පස් බැම්ම ගාවදි අහුවෙලා. ඒත් අපිට බනිනවා "බලපියව්,තොපි එකෙක්ගෙන්වත් කිසි වැඩක් නෑ, තොපි එකෙකුට බැරිවුනා කඳවුරට ඇතුල්වෙන්න, තොපි ඔහොම කොරයි ලයින් එකකට ගිහින්, බලපියව් කියාදුන්නු පාඩමවත් හරියට තොපි තේරුම් අරන්නෑ, ඇතුලට ආපු විස්සක් විතර ආං ඉන්නවා පලු ගහේ එල්ලලා,ගිහින් බලපියව්" කිය කිය. කට්ටිය ඒ පැත්තට යන්න හැදුවට මං ගියේ නෑ. මං නැවතුනා. ඒක දැකපු කණ්ඩභාර සැරයන්;

"ඇයි ආරච්චි, උඹට වෙනම ආරාධනා කරන්ඩෝනද?" ඇහුවා. මං සත පහකට ගනන් ගන්නැතුව "ඒ ඇතුලට එන්න බැරිවෙච්චි අයනෙ සාජන්, මං ඇතුලට ඇවිත් ගියේ" කිව්වා. 

*පලයං ප%@$යා.. බොරු කියන්නැතුව,

බබා හුකුංද උඹ??

*බබාද නැද්දනම් දන්නෑ සාජන්. මං ගාව ඇතුලට ආව කියල ඔප්පු කරන්ඩ පොඩි බඩුවක් තියෙනවා.. පෙන්නන්නද?

ඒක ඇහුණු කණ්ඩ භාර නිළධාරියි, පාඨමාලා භාර නිළධාරියි, උපදේශකයිනුයි, ගහේ එල්ලපු උං බලන්ඩ ගියපු එවුන් ආපහු හැරිලයි අපි හිටපු තැනට ආවා. 


*මොකද්ද උඹ ගාව තියෙන්නෙ?

*ටුවක්කුවක්.

*කාගෙද?

*කාගෙදනම් දන්නෑ, ඒත් ටුවක්කුවක් තියෙනවා. 

*කෝ..ගනින් බලන්ඩ..

මං පැක් එක ගැලෙව්වා. බට් එක නවල මැගසින් එක ගලවල බැරල් එකේ පොඩි කොටසක් විතරක් එලියට එන්න (ඔක්කොම දාගන්න බැරිනිසා)  පැක් එකේ හරහට දාං හිටපු අවිය එලියට ගත්තා. මං ඒක එහෙම දාගත්තෙ ආපහු යද්දි යුනිෆෝම් කලිසමයි ෂර්ට් එකයි ඇඳගන්න වෙලාවෙ. 


හම්මට කියාල්ලකො. පත්තුවුනා වැඩෙි. අවි නම්බරේ චෙක් කරනකොට අපේ පලවෙනි සෙක්ෂන් කමාන්ඩර් කෝප්‍රල් ජයසිංහගෙ (හූටර් ජයා) තුවක්කුව. එතනින් එහාට හෙන ගිණිකෙලියයි. අපිට ලොසාලා කියල බැනපු අයට කෝස් කමාන්ඩර් බනිනවා. එයා නවත්තනකොට ප්ලැටූන් කමාන්ඩර් පටන් ගන්නවා. මගෙන් ඇහුවෙ

*⁣ඒ ෛඑෂේ තෞසෙ ඛෝමධ ඇථුළඨ ආවෙ? කියල විතරයි.

මං ඔක්කෝටම ඇහෙන්න ගමන ආරම්භ කරපු තැන ඉඳන් අවසානය දක්වා ගමන් විස්තරය කිව්වා. මට ලකුණු 10ක් හමුවුනා. ඒ ලකුණු 10ක් කියන්නෙ කෝස් එකට මාර වටිනවා. මොකද පළවෙනියා ඉඳන් හත් වෙනියා දක්වා ස්ථාන වලට ලාන්ස් කෝප්‍රල් නිළය හම්බවෙනවා. මට ලකුණු හම්බවුනාට වැඩක් නෑ. පටි අඳින්න දැන්ම බෑ. ඒ වෙද්දිත් ඇඳපු එකක් ගලෝගෙන පරිවාස කාලෙ ඉවරවෙච්චි ගමන් හිටියෙ. ඒත් පාඨමාලාවෙ මෙහෙම දෙයක් කලා කියන තත්ත්වය මට තියෙනව. 


අන්තිමෙිට ඒ පුහුණුව ඉවරවුනා. පසුදින ඉරිදාවක්. අපේ රෙස්ට් ඩෙි එක. රෙද්දක් හැට්ටයක් හෝදගෙන වෙලාවට කාල සතියකට තියෙන වැඩ ඉවර කරගන්න තියෙන දවසක්. ඒත් අපි බලා පොරොත්තු වෙච්චි විදියට එදා නිවාඩුවක් හම්බවුනේ නෑ. අණදෙන නිළධාරිගේ උපදෙස් මත කුණු කානුවට මීටර් විස්සක් විතර මෙහායින් මුලු දවසෙම මහන්සිවෙලා අපි බංකරයක් හැදුවා. ඒ මෙි කුණු ඇල දිගේ ආරච්චි ආව වගේ කොටියෙකුට එන්න බැරිවෙන්න රාත්‍රී මුරයක් ස්ථානගත කරන්න. 


කතාවට යමුකො. එදත් ඔිවගේම දවසක්.ඒත් ඒ පුහුණුව වගේ නෙමෙි මෙික. දවස් දෙක තුනක් තිස්සේ කල පෙර පුහුණුවීම් අනුව ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බත් එක්ක කරන ⁣මෙි සෙල්ලම හරියටම නොකලොත් බඩුම තමා. මෙි යුධ අගල සහ බංකර අත්පත් කරගන්න සහභාගි වුනේ වරකට හතර දෙනයි. අපිත් බඩ ගාගෙන ගාගෙන අපිට ඉස්සරහින් තිබුනු යුධ අගලට මීටර් විස්සක් තිහක් පමණ කිට්ටු කරලා,කන්සිට්නා කම්බි අතරිනුත් රිංගලා හතර දෙනාම එකට නැගිටලා, එක දිගටම වෙඩි තියාගෙන තියාගෙන කානුවට පැන්නෙ කොන්ඩිත්තම් පාරකුත් ගහගෙන කෑ ගහගෙනමයි. යුධ අගලට පැන්න මාත් මගේ අනෙකාත් වමට සහ ,අනෙක් දෙන්නා දකුණටත් හැරුනෙ ක්ෂණයකින් යුධ අගල අත්පත් කර ගනිමින් ඊට ඉදිරියෙන් තියෙන බංකර් අත්පත් කරගන්න. එකිනෙකා පසුපස ඇදෙමින් ගිය මෙි ගමනේදී යුධ අගලෙත් වංගු වංගු තිබ්බ තැන් හරහා යන විදියට වෙඩි තබමින් ඉදිරියට ගියපු අපි, එක තැනක ක්ෂණිකව නැවතුනා. ඒ ඉදිරියෙන් තිබුනු බංකරයට පිටුපසින් මීටර් පහක් වගේ  ආ පස්සට වෙන්න. ඊලඟට මට ඉස්සරහින් ගියපු එකා කේ400 වර්ගයේ අත් බෝම්බයක් කඩල බංකරේට දානවත් එක්කම අපි දෙන්නම ඩවුන් ගියේ ඒ බෝම්බෙන් බෙිරෙන්න. ඒක පුපුරනවත් එක්කම බංකරේට පැනපු අපි දෙන්නා බංකරේ ඇතුලෙ හිටපු දෙන්නටම වැටෙනකම් වෙඩි තිබ්බා. ඒත් එක්කම වගේ තමා දකුණට ගියපු දෙන්නත් දකුණු පැත්තෙ තිබුනු බංකරය අත්පත් කරගත්තෙ. මෙික කියනකොට දිග වුනාට සම්පූර්ණම ක්‍රියාකාරකම වෙන්න ගියේ විනාඩි දෙකක් තුනක් උපරිම පහක් වගේ කාලයක්. අපි යුධ අගලේ කොටසක් සහ බංකරයක් අල්ලගත්තා. ඒත් ඉස්සරහින් තව බංකරයක් ඉතිරියි. ඊලඟට ඒක. ඒකත් පෙර පරිදිම කරල බංකරය අල්ලගත්තා. එසේ අපි හතර දෙනා මීටර් දෙසීයක් වගේ දුරකින් තිබුනු බංකර් හතරකුත් සම්පූර්ණම යුධ අගලත් අත්පත් කරගත්තා. ඊලඟට පසු බැසීම. ඒකත් අපි ඉගෙන ගෙන තිබුනු විදියටම කරල අවසන් කලා. ඊට පස්සෙ තමා බංකර්වල සෙන්ට්‍රී විදියට හිටෝල තිබුනු පඹයින්ගෙයි කානුවෙි වංගු වංගු වල හංගල වගේ තිබුනු ඉලක්කපත් වලයි වැදුනු උණ්ඩ ගාන බැලුවෙ. ඒක කරන්නෙ උපදේශකයින්. ඒ අනුව මෙි පාඨමාලාවෙ තුන්වෙනි තැනට වැඩිම ලකුණු හම්බවුනේ අපි දෙන්නට. විශේෂ ප්‍රහාරක කණ්ඩ පුහුණු පාඨමාලාවෙි මෙි ප්‍රායෝගික පුහුණුවීම් අවසන් කලේ අවසානයට සිදු කරන ජීව උණ්ඩ පුහුණුවීමත් එක්කමයි. එක මැගසිනයකට උණ්ඩ පහලොවක් බැගින් මැගසින් හතරක් සහ බංකරයට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන කෙනාට කේ400 අත් බෝම්බ දෙකක් ලැබුනා. මෙික සජීවීව කරන්න අපිට දින දෙකක් තිස්සේ අඛන්ඩව කමාන්ඩෝ සහ විශේෂ බළකා නිළධාරින් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේත් විශේෂ බළකා උපදේශකයින් යටතේත් පුහුණුවීම්වල නිරත වෙන්න සිදුවුනා. වෙඩි තබමින් ඉදිරියට යාමෙි පුහුණුව අවසානයේ සවස දෙකට පටන් ගත්තු මෙි පුහුණුවම රෑත් අපිට කරන්න වුනා. රාත්‍රී පුහුණුව තිබුනේ පුහුණු උණ්ඩ භාවිතයෙන් විතරයි. ඊට පසුදා තිබුනේත් වෙඩි තබමින් ඉදිරියට යාමෙි ජීව උණ්ඩ සහිත පුහුණුවෙි අවසාන අධියරය. ඒක තමා භයානකම එක. එක පෙළක් මෙහෙ ඉඳන් වෙඩි තියාගෙන  ඉදිරියට යන අතරේ, තවත් පෙළක් වෙඩි තියාගෙන මූනට මූන ඉදිරියට එනවා. මෙික දෙගොල්ල අතර මීටර් සියයක් තරම් පරතරයකින්, දුරකින් තමා ආරම්භ වෙන්නෙ. දෙගොල්ල ක්‍රොස් වුනාම තමා ව්‍යායාමය අවසන් වෙන්නෙ. මෙි පුහුණුවෙිදී අපි වරද්දන එක් ඉරියව්වක සුළු වරදකින් ජීවිතය උනත්,අතක් පයක් වුනත් අහිමි වීමෙි සම්භාවිතාව ඉතා ඉහලයි. නූලට පරිස්සමට පරිප්පු ඇටෙන් නාඩියෙන් කරන්න ඔින ඒ දේට ඉවසීම ඉතාමත් ඉහල මට්ටමක තියාගන්න ඔින. අර රූස්ස ලන්දක දාගෙන පැය එකහමාරක් තිස්සේ දෙන අති උත්තම වද තිස් දෙකේ කික් එකෙන් සිරුර උනුසුම්  (WARM UP)කරගෙන ඒ අවසානයේ සිදු කරන මෙි පුහුණුව ඉතාම වෙහෙසකර එකක්. ඒ ජීව උණ්ඩ පුහුණු මාලාව අවසන් වෙන්නේ මීටර් දෙසීයක්  අපිව ඉස්සරහට දාලා මෙහා පැත්තට බඩගාපියව් කියල, ඒ බඩගාද්දි උපදේශකයින් මෙහා පැත්තෙ ඉඳන් අපේ ඔලු උඩින් යන්න එල්එම්ජී (LIGHT MACHINE GUN) හතරක් දාගෙන  වෙඩි තියද්දිමයි. හැමදාම මෙි පෙර පුහුණු අවසන් වුනේ ටයි එකක් වගේ බුරිය ගාවටම ඇදෙන දිවත්, අත පය සහ මුහුණු කඳ බඩවල් හීරිලා තුවාල වෙලා ගලන ලේ පාරවල් එක්කමයි. පට්ට ගිනි මද්දහනක ලේ සහ දාඩිය ගලද්දි දැනෙන සනීපය මෙතෙකැයි කියානම් කියන්න බැහැ. ඊට කලින් හම්බවෙන පිඹුවා ගරිල්ලා පීටී පාර අපිටනම් ගෙනාවෙි පට්ටම ආතල් එකක්. මීට  පසු කාලීනව මෙි ක්‍රමය ටිකක් වෙනස්වුනත් ඒ දවස්වල මුලින් හදාරපු පාඨමාලාවලින් හරි අපූරු මතකයන් රාශියක් අපේ ජීවිතේට ඉතුරුවුනා. සිංහපුර,පූනානි ආදී වෙඩිපිටි වලත් මහ ඝන කෑලෑ මැද ලබපු පුහුණුවීම් ආදියත් මතක් වෙද්දි අද හිතට දැනෙන්නේ මහත්ම වූ ආශ්වාදයක්. 


මෙි කලින් කල ලද සාර්ථක පුහුණුවීම් නිසා ලබාගත් ජයග්‍රහණ නම් සීමාවක් නෑ. නච්චිකුඩා ලයින් එක අත්පත් කර ගැනීමෙිදී ඇතිවූ දරුණු සටන් මැද 58 සේනාංකයට අයත් මන්නාරම් මුහුදු තීරයෙන් ගොඩබිම පටන් ගන්න තැන තිබූ පළවෙනිම බංකරයත් අත්පත් කරගත්තේ ඒ කණ්ඩායම යටතේ ගිහින් හිටපු ආරච්චි,සුසන්ත,කුමාරනායක ඇතුලු සෙක්ෂන් එකෙන් වීමත් විශේෂත්වයක්. 


"පුහුණුවෙිදී හෙලන දහඩිය, යුධ බිමෙිදී රන් මිණි මුතු වෙි"  


ඉතා දරුණුවූත්, භයානකවූත්, මහා යුධ සංග්‍රාම මාලාවකින් පසු පනපිටින් යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා ගැනීමට තරම් භාග්‍යයක් වාසනාවක් මා ලද්දේ එවැනි පුහුණුවීම් ලබාදුන් උපදේශකයින්ටත්, ඇහැල,කොහොඹ,අහු ආදී දරුණු (පොලු) ආයුධවලටත් පිංසිදු වෙන්නටමයි. ඔවුන් මගේ ජීවිතයේ හමුවූ සැබෑම ගුරුවරුන් ලෙස අදටත් ගෞරවයෙන් සිහිපත් කරමි. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.01.17


No comments:

Post a Comment