Thursday, June 24, 2021

තලගොයි ලමයා

 මෙි කතාව ටිකක් වෙනස් එකක්. 


ඩීඅයි කරපු සාජන්ලා බඩ ගාතී

පීටීඅයිල බංකර්වල හරි ජාතී

ඩ්‍රිල් ඇන්ඩ් වෙපන් ඔක්කෝ


ටම තරු පේතී

නිළධාරින්ට විතරක් සැප සැප ජාතී


එ මගේ බංකර් කුරුටුගීයක්. ඒක ලියල තියෙන්නෙ කල්ලාර් අපේ බිලට් එකට ඇතුලුවෙන්න තියෙන පතරංග දොරේ. කවි නොදන්න කාලෙ ලියපු කවි නිසා ඒව මට මහමෙරක් වගේ. 


එහෙම ලියපු තව කුරුටු ගීයක් තියෙනව.


නිවාඩු යන්න අවසරයක් නොමැති තැන

එල්පී යන්න සුදු කොල්ලෙක් එවනු මැන


ඒකත් කබොක් ගල් කටෙිකින් බිලට් එකේ සුදු හුනු ගාපු බිත්තියේ ඩීඅයි තුමාට පේන්න ලියපු එකක්. එල්පී යනව කියන්නෙ රෑට තුන් දෙනෙක් එක්ක කැලේට ගිහින් රැයක් පුරාවට ඇහැරල ඉදිරි භූමියේ සතුරාගේ ක්‍රියාකාරකම් වෙනවද කියල කන්දීගෙන බලා ඉන්න රාජකාරියක්. ඒ එල්පී එකකට කෝපල් කෙනෙක් එක්ක සුදු කොල්ලෙක් ආවනං තුන්වැනියා  එලිවෙනකං අමර සැපේ නිදි. සුදු කොල්ලයි කෝපලුයි විතරක් ඇහැරිලා. ඩීඅයිට පේන්න ලිව්වා කිව්වෙ ඒ දවස්වල ඩීඅයි එකයි සීඑස්එම් එකයි දෙකම කෙරුවෙ එතුමා නිසා.


කතාවට යමුකො. මාවිල්ආරු ක්‍රියාන්විතය ඉවරවෙලා වන්නි මානුෂීය මෙහෙයුමට යන්න බලාගෙන කල්ලාර් සෝමපුර කඳවුරට වෙලා ලකා ගහ ගහ ඉද්දි හමුදාවට බඳවා ගත්තු ආධුනිකයින් පිරිසක් අපේ ඒකකයෙත් පුරප්පාඩු පුරවන්න කියල රෙජිමෙින්තු මධ්‍යස්ථානය වෙතින් දවසක රෑ මද්දහනේම එවලා තිබුනා. පැය හතලිස් අටක කන්ටින්‍යු රාජකාරියක් එලියෙ පට්ට කැලෑවක කරල කඳවුරට ඇවිත් මාවිල්ආරු ඇලෙන් නාගෙන රෑ හතට දෙන කෑම එක කොල්ලෙක්ට "මයෙ රෑ කෑම එක පෙට්ටිය උඩින් ගෙනත්  තියපං මල්ලි ඈ" කියල 

මං ඇඳේ පොඩ්ඩක් ඇලවුනේ සිරාවටම ඇඟට දැනුනු තෙහෙට්ටුව නිසා පොඩි හාන්සියක් දාන්නං කියල හිතාගෙන. ඒත් පාන්දර එකට විතර ඩීඅයි තුමා ඇවිත් ඇහැරවනකන්ම මට සමාදානයේ හොඳ වටිනා නින්දක් ගියා. කාලත් නෑ. කට දෙපැත්තෙන්  ගංගා යමුනා වගේ ගලාගෙන යන  මහා කුණු කෙල ගංගාවන් දෙකම අතේ පිටි අල්ලෙන් පිහදාන ගමන් යන්තං ඔලුව උස්සල බැලුවෙ "කව්ද ඩෝ.. මහ පාන්දර තිස්ස තිස්ස කියන්නෙ" කියල. බලන කොට උඩු කයට නිළ ඇඳුම් ෂර්ට් එකකුත් යටි කයට වයිරං වයිරං බතික් සරමකුත් ඔලුවට ලෙදර් තොප්පියකුත් සහ පයට ගම්බූට් දෙකකුත් දා ගත්ත මහා නීල ගෝඨයිම්බර ලීලාවෙන් ඇහැට අඟලක් දුරින් එලිය වදින්නැති හඳ වැනි මූන රුපියලක් වගේ වෙච්චි කණාමැදිරි එළි ටෝච් එකත් මූනට ලංකරලම අල්ලගෙන "ආරච්චි ආරච්චි" කියල ආයෙ ආයෙත් කතා කරන ඩීඅයි උතුමාණන් දිහා බැලුවෙ "අදනං බෑ..හෙට හෙට" කියන ලීලාවෙන්. ඇයි යකෝ මහ පාන්දර  ඔහොම කෝපල් කෙනෙක්ගෙ ඇඳක් ගාවට එන්න හයිය තියෙන්නෙ කඳවුරෙන්ම දෙන්නටයි. විසේසෙං ආරච්චි ගාවට. ඒ දෙන්නටම නැතුව මෙතුමා ආපුවම මං හිතුවෙ කොල්ලො කේස් එකකට තමා කියල. හැබැයි ඉතිං එහෙම නෑ රත්තරං මනුස්සයා. ඒකනෙ කන්තලේ ගිහින් බීල කේස් එකකුත් දාගත්තෙ. ඒත් මහ රෑ තද නින්දෙ ඉන්න බුවෙකුට ඇහැරවනකොට එහෙම ඔටෝම හිතෙනවා. මාත් "කව්ද හු&@%$තො හැ*@&$%න්න හදන්නෙ" කියල ටිකක් තදින්ම ඇහුවම ඊට එහා පැත්තෙ මං නිදා ඉන්න තැන පෙන්නන්න ආපු තවත් ජූනියර් කෝප්‍රල් කෙනෙක් "කෝප්‍රල් ආරච්චි, ඩීඅයි සර්" කිව්වම තමා මං ඇඳේ ඉඳගත්තෙ.

*ඇයි සර් මෙි හදිස්සියෙ??? ඇඳ කැඩුනද,නැත්තං සමලිංගක කේස් එකක්ද??කියල නිදිමතේම අහල "ඒ වෙනුවෙන් මට මොකක්ද කරන්න පුලුවන් සර්" කියල වැඩිදුරටත් ඇහුවම තමා දෙයියො බුදුන් බුදුවුන පශ්චිම යාමයේ කන් පිරෙන්න මහා කුනුහරප යාං හෑල්ලක් ඇහුනේ  කන් අඩි දෙකම පිරෙන්න. හරියට අඩියට වෙිලුන වික්ටෝරියාව පුරවන්න සමස්ථ මහවැලියම හරෝපුවම ඒ වතුරෙන් වික්යෝරියාව පිරෙනව වගේ පිලිවෙලකට. "කව්ද ඩෝ අපේ ඩිඅයි සර්ව සේවනය කරන්න හදපු පාහරයා..." කියල වැඩි දුරටත් අහන්න හිතුනත්,  ඒක ඇහුවනං ආයෙ දෙකක් නෑ,මා එක්ක තිබ්බ ඇරියස් වල හැටියටත් එක්ක අතේ තිබ්බ අර මූන සත පහ වගේ වෙච්චි ටෝච් එකෙන්  දමල අරිනවා මල් ඇවරියම බඩට යන්න. ඒ නිසා හීනෙන් වගේ "ඩීඅයි" කියන වචනෙ ඇහුන හිංද අර ටික විතරක් අහල ඇඳේ ඉඳගත්තා. "ඒත් එතුමා මා ගැන දන්න නිසා යකෙක් පොල් කාල වගේ අඳුරෙ ඉඳන් ඇවරිය විතරක් පෙන්නලා හිනාවෙලා කිව්වෙ "නෑ බං,අරුං ආවා.ටක් ගාල මොකක් හරි ඇඳුමක් දාං වරෙං" කියල. මං එතුමත් එක්ක ආපු බුවාටම "ලයිට් එක දාපං මල්ලි" කියල ලයිට් එක දාපුවම තමා මට දවල් තරු මහ පාන්දර පෙනුනෙ. නා කියාගෙන ටවල් එකෙන්ම ඇලවුනු මට එහෙම්මම නින්ද ගිහින් තිබුනෙ. ටවල් එක අල්ලපු ඇඳේ. කොට්ටෙ බිම.මෙට්ටෙ ඇඳේ බාගයයි බිම භාගයයි.  "හයියූ මගේ පතිවත" කියල වෙිගයෙන් හිතුනු මට සබාව ඉස්සරහ නිරුවත වහගන්න වුනේ ඇඳ පාමුලම අටෙි ඉලක්කම හැඩෙිට උණ්ඩි වෙලා තිබුනු පැල්ලං පැල්ලං පිරිච්චි බෙඩ්ශීට් එක ඇදල අරං. ඒ මගේ චරියාව බිලට් එකේ අනික් උන්දැලට සුපුරුදු වුනාට මෙතුම ජ්‍යෙශ්ඨයෙක්නෙ. ඒ නිසා ඩිංගිත්තක් විතර ලැජ්ජාවකුත් දැනුනා. ඒ දවස්වල මට කොහේ හිටියත් රෑට ඔිෆ් එකේ නිදියනවනං ඇඳුම් ඇඳල පුරුද්දක් තිබුනෙම නෑ. ඒ උණ හැදුනෙත් ලා/කෝ කාලෙ "දැම් මං හෙන සීනියර් පොරක් ඈ" කියල අහම්බෙන් හිතට ඇතුලු වෙච්චි දවසක ඉඳල. බෙඩ් ශිට් එකෙන් නිරුවත වහගෙන ඉහ ඉද්දර ඇඳ වියලෙ පේලියට වනල තිබුනු තෙත ජොක්කු වෙිලිච්ච ජොක්කු පේලියත් දකුණු අතින්ම දකුණු දිශාවට ඇදලා දාල සර්ට ඉඳගන්න කිව්වෙ  "අරුං" ටික ආව කිව්ව නිසා "අරුං ටික" භාරගන්න යන්න බොටමක් ටීසර්ටයක් දාගන්නකං. ඒ අතරෙ ඩී අයි සර්

*යකෝ උඹ කෝපල් කෙනෙක් නේද?? හැසිරීමනං අන්තිමයි ඈ..

*අන්න අන්න සර්.. සර්රුත් මෙතන ඉඳල ගියේ නෑ වගේනෙ කතාව කියල කිව්වම එතුමා කට පියාගත්තෙ මට තියෙන බයකට නෙමෙි. ඔය කතාව දිග්ගැස්සුනොත් සර් දන්නව එළිවෙනකං නිවනක් නෑ කියල. එතුමා කියන ඔිනම දේකට මට ඔිනතරං උත්තර තියෙනව කියලත් එතුමා දන්නව. අපි දෙන්න අතරෙ තිබුනු පොඩි පොඩි ඇරියස් කීප වරක්ම හෙන ⁣ලොකු  ලොකු වෙලා පහල උසාවි දක්වා ගිහින් තිබුනත් එතුමා කවදාවත් මට අහිතෙන්නම් යමක් කලේ නෑ. කන්තලේ ගිහින් බීල කෙලපු පිස්සුවට ඔීසී මගේ පටි දෙකම එක පාර ඇදල දාන්න දත්මිටි කද්දිත් ඔිසීව කූල් ඩවුන් කරල ඒ පටි දෙකත් බෙිරල දුන්නෙ ඉතින් මෙතුමාම තමා. එතුමා එදා එහෙම දෙයක් නොකරන්න මට විශ්‍රාම එන්න වෙන්නෙත් එහෙනං සාජන් රෑන්ක් එකෙන්. ඔය මාවිල් ආරු ඇලේ ඉන්නව කිඹුල්ලු. උං කිඹුල්ලු නෙමෙි කිඹුල් නැව්. දවසක් මං ඇලේ පීනල පීනල හෙන වහක් කාල මඩ නාල නාල පොඩි කිඹුල් පැට්ටෙක් අල්ලගත්තෙ දරුකමට ඇති කරන්නං කියල හිතාගෙන. ඒක ගෙනත් දැම්මෙත් සිමෙන්තියෙන්  නාන්න වතුර පුරවන්න හදපු ටැංකියකට. එක දවසක් ඔිකා ටැංකියේ ඉන්නව දැකල එතුමා හෙන වහක් කාල තිබුනා මූව වතුරෙන් බෙිරල කැලේට යවන්න. කිඹුලෙක්  දැකලවත් නැති සර් හිතල තියෙන්නෙ ඒ තලගොයි පැට්ටෙක් කියල. ඒත් ඌව අල්ලගන්න බැරිවෙලා හවස පිට්ටනියට සෙල්ලං කරන්න ගියාම ඇහුවා "තලගොයි පැට්ටෙක් ටැංකියට වැටිල හිටිය දැක්කෙ නැද්ද?" කියල. මං සතා මොකාද කියල කියන්න ගියේ නැත්තෙ සර් ඒ "තලගොයෙක්" කියපු හිංද. ඒක අහං හිටපු වෙනම කෝපල් කෙනෙක් එතුමාට කාඩි එකක් ගහල "තලගොයි ළමයා" කියල. ඒකට අහුවුනෙත් අන්තිමට මාව. සර් ඉන්න තැනත් තලගොයි ලමය කියල අපි එක එක කතා හදල කිව්වම සර්ටත් ඒක ගානක් ගියේ නෑ. ඒත් "ගිරවා" (සාජන් අනුර) "තලගොයි ළමයා කියල උං කතාවෙන්නෙ සර්ට" කියල එතුමාව දැනුවත් කරාට පස්සෙ තමා වැඩෙි පත්තුවුනේ. ඔික නොදන්න තව කෝපලයෙක් උදේ අටයි තිහට පෝලිං කරල ඉද්දි මගෙන්  "උඹෙි තලගොයි ලමයට කෑම දැම්මද" කියල අහද්දි තමා දුක්බරම අවස්තාවක් උදාවුනේ. අන්තිමෙිට මෙි කිඹුල් දණ්ඩා කරේ තියාගෙන මල්වට්ටියක් වගේ අරං ගිහින් ඇලට මුදාහරින්නත් මට සිදුවුනා. එතෙකින් කිඹුල් කතාව අවසන් වුනත් එතුමා ට්‍රාන්ස්ෆර් යනකම්ම "තලගොයි ළමයා" කතාවනම් තිබුනා. එතුමා ස්ථාන මාරුවීම් ලබල යද්දි මට වෙනම කතාවක් කරල ගියේ. අන්තිමෙිටම කිව්වෙ "දැංවත් පටි දෙකේ නම්බුව තියාගෙන හොඳ කෝපලයෙක් වෙයන් කෝපල්" කියල.


කතාවට යමුකෝ. මෙතුමා "අරුං" ආව කියල කිව්වෙ ආධුනිකයො 56 දෙනෙක් ආව කියල. ඒ අය මට භාරගන්න තියෙන හිංද තමා දවස් හතරක රාජකාරියකට කැලේ ගිහින් ඉද්දිත් අතර මැද දවස් දෙකකින් කඳවුරට එන්න ලැබුනෙ. මාත් සර් එක්ක ගිහින් ඒ කටයුතු සම්පූර්ණ කරලා ඉවර කරන කොට පාන්දර පහයි. ආයෙ නිදියන්න වෙලාවක් නැති හිංද සාජන් මෙස් එකෙන්ම තේ දෙකක් ගෙන්නගෙන බීල අපි කතාවට වැටුන. මෙි සර් ඉතින් හෙන හොඳයි. විනෝදෙට බරයි. ඒත් හෙනම සැරයි. ඉතිරි පැයම මට උපදෙස් දුන්නෙ ආධුනිකයො වෙනුවෙන් කරන්න තියෙන දේවල් සම්බන්ධව. එතන හිටියා අත් අකුරු ලස්සන කොල්ලො හතර දෙනෙක්.අකුරු මුතු කැට වගේ. කිව්වට විශ්වාස කරන්න ආයිබෝං.. ඒ අතරිනුත් අකුරු ලස්සනම කොල්ලා මුස්ලිම් කොල්ලෙක්. නම විතරයි මුස්ලිම්. අනික් සේරම සිංහල. අම්මයි තාත්තයි දෙන්නත් මුස්ලිම්. මට නිකමට හිතිල ඌට කිව්ව "ඉතිපිසෝ ගාථාව කියපං බලන්න" කියල. යකෝ හාමුදුරු නමකට වැඩිය ලස්සනට ඌ කිව්වා. අම්මට තාත්තට වඳින ගාතාවෙ ඉඳන් ගොඩක් දේවල් අපිටත් වඩා ඌ දන්නව. ඉගෙන ගෙන තියෙන්නෙ සිංහල ඉස්කෝලෙක. කරුමෙ කියන්නෙ මට නම මතක නෑ. නම මතක විදියට "ෆයිසර් වෙන්න" ඔින


ඔතන හිටිය අලුත්වත්ත කියල කොල්ලෙක්. වැඩිය තැලිච්චි පොඩිවෙච්චි එකෙක් නෙමෙයි. හෙන අහිංසකයි. පනිස්මන්ට්වලට හෙන බයයි. ඌව මං මගේ ක්ලාක් විදියට පත්කර ගත්තා. ඔතන හිටියා ජයවීර කියල තව කොල්ලෙක්. මෙි වෙද්දි උංගෙ සර්විස් එක අවුරුදු 14ක් වෙන්න ඔින. මගේ ඒකකයේ පසුකාලිනව බිහිවුනු පට්ටම කම්පියුටර් වැඩ්ඩා තමා ඌ. එහෙම කීප දෙනෙක් මං තෝරගෙන උං ගැන ඇහැ ගහගෙන හැමදේම කලා. ඇත්තටම සංතෝෂයි. උං ඔක්කොම අද හොඳ තැන්වල ඉන්නවා. ආඩම්බරෙන් කියන්නෙ මං තමා උන්ට ජොබ් එක ඉගැන්වුවෙ. අලුත්වත්ත ක්‍රීඩකයෙක්. මීටර් 100,200, තමා ඉස්කෝලෙ කරල තිබුනෙ. පොර කලාප මට්ටම දක්වා ගිහින් තිබුනත් එතැනින් එහාට යන්න බැරිවෙලා. පස්සෙ හමුදාවට බැඳිලා. මට දවසක් විස්තරේ කිව්වා. මං උගේ සහතික ටික ගෙන්නගෙන අණදෙන නිලධාරිතුමා දක්වා අරං ගියා. අළුත්වත්තට ක්‍රීඩා අංශයෙන් හොඳ ගමනක් යන්න හොඳ පාරක් හදල දුන්නත් කරුමෙට වන්නි යුද්ධෙ පටන් ගත්තා. ඒකෙන් පස්සෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ. හැබැයි අද එයාත් සමග මුළු ඒකකයටම වැටුප් හා දීමනා පිළිබඳ කටයුතු කරන්නෙ ඒ බැච් එකේ මංම ක්ලාක් වෘත්තීයට යොදවපු තව කෙනෙක්. ඔය ඔක්කොම මෙි ෆේස්බුක් ඉන්නවා. මං කුණු හරපයක් දැම්මත් බලනවා. හැබැයි අනෙකානං මෙි සබ්බ සකලමනාවම එපා කියල පිස්සු හැදිල ඉන්⁣න කෙනෙක්. ඔයාලට මතක ඇති මීට මාස දෙකකට පමණ කලින් පොලොන්නරුව පැත්තෙ පුද්ගලික රෝහලකදි දරු ප්‍රසූතියකදි ආදරණීය බිරිඳක් දොස්තරවරුන්ගෙ අත්වැරැද්දකින් මියගියා. ඒ එයාගෙ බිරිඳ. මටත් දුකයි ඒ වෙනුවෙන්.


ඉස්සර අපි හවස හතර වෙනකම් බල බල ඉන්නෙ පිට්ටනියට යන්න. වොලිබෝල්, බාස්කට්, ෆුට් බෝල් කියන්නෙ හරියට මගෙ ජීවිතේ වගේ. එක දවසක් මම පිට්ටනියකට යනකොට තරංග යූඩීසී කියල අළුත් බැච් එකක කොල්ලෙක් බාර් සෙල්ලම් කරනව. මෙිව කරන්න බැලන්ස් එකත් අතේ පයේ හයියත් හොඳට තියෙන්න ඔින. මං පැත්තකට වෙලා මෙි දිහා බලා ඉද්දි මට හිතුනා තරංග පීටීඅයි කෝස් එකකට යැව්වනං හොඳ තැනක් ගන්න පුලුවන් වෙයි කියල. ඊලඟට ආපු ඒ කෝස් එකට මං බලෙන්ම උගේ නම දැම්මා. ඒක යන්න සල්ලි නෑ කිව්වට පස්සෙ අතිනුත් සුළු මුදලක් දීල කොහොමහරි කෝස් එක යැව්වා. ඒ විදියට බෑ බෑ කියල අඬල අඬල කෝස් එක ගියපු තරංග සාමාන්‍ය පෙළ ශාරිරික අභ්‍යාස පුහුණු පාඨමාලාවෙි පළවෙනියා වුනා. ඒකට පස්සෙ ආපු උසස්පෙළ ඒ පාඨමාලාවෙන් තුන වුනා. ඊට පස්සෙ නාම යෝජනා කැඳෙව්වා ඉන්දියාවෙි පූන නගරයේ ඉංදීය හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ "පූනා" (පූනෛ්) පීටීඅයි කෝස් එකට. ඒකට තරංගත් සහභාගි වෙලා ඒකෙනුත් පාස්වෙලා අන්තිමෙි නැවතුනේ "පූනා පීටීඅයි" කෙනෙක් වෙලා. තරංගව සාමාන්‍ය පෙළ පාඨමාලාව යවද්දි මට මගේ ජ්‍යෙශ්ඨයින්ගේන් (උපදේශක) සෑහෙන්න කැපිලි ආවා. කොලු කාරයා කිව්වා. සීනියර්ලාට තැනක් දෙන්න කැමති නැති එකා කිව්වා. මට සමහර ඒවා කිව්වෙ හිතාගන්නවත් බැරි විදියට මං ළඟින් ආශ්‍රය කරපු සමහරු. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වාගෙ ඒ ඒ අයට ඒඒ විදියට පිලිතුරු දීල ඇඟ බෙිරගත්තු මම අන්තිමෙි ගොඩක් සතුටුවුනේ පූනා කෝස් එකෙත් තරංග පළවෙනිය වෙලා ඇවිත් යුධ හමුදා වර්ණ ලාභියෙකුත් වුනාට පස්සෙ. හැබැයි ඒ හැම අවස්ථාවකම පොර අනිතුමා හම්බවෙන්න කලින් ඇවිත් මාව හම්බවෙලා "ස්තූති" කලා. සතුටුයි ඉතින්. 

ඔය අතරෙ ඉද්දි තමා ඒ කොල්ලෙකුට අපේ කෝප්‍රල් කෙනෙක් විසින් සුළු වැරැද්දකට ධාරානිපාත කේස් එකක් දැම්මෙ. එදා මං ඔෆීස් එකේ බර වැඩකට යටවෙලා බර සික් එකකින් බර වැඩෙි කර කර හිටියෙ. ඒ වැඩෙිට සංසුන් මානසිකත්වය අත්‍යවශ්‍ය නිසා මං මගේ පාඩුවෙි වැඩෙි කරගෙන ඉද්දි අළුත්වත්ත අඬාගෙන මං ගාවට ඇවිත් "කෝප්‍රල්" කියල කතා කලා. මට ඉතින් මළ පැන්නා. කරුමෙ කියන්නෙ ඒ කෝපලුත් උගේ පිටිපස්සෙන් ඔෆීස් එකට ඇවිත් ආයෙ ඌට කෑ ගහන්න පටන් ගත්තා. ඒ වගේ දේවල් බිලට් එකේ වුනාය කියල මට කීප දෙනෙක්ම කිව්වත් කව්රුත් පැමිණිලි නොකල හිංද මං හොයන්න ගියෙත් නෑ. (ඒවා වුනේ මාත් එක්ක තියෙන තරහ උංගෙන් පිරිමහගන්න හදන එක නිසා. කෙලින් මට කියන්න බැරි අය අරහෙම දේවල් කලා)

ඉස්සර අපේ බැච් එකට සජිත්වීර වගේ ඒ අළුත් බැච්වලට සජිත්වීරයෙක් වෙලා හිටියෙ මම. හැම එකාම හිමින් සැරේ ඇවිත් ඒවා කියන්නෙ මට. මෙි කලබැගෑනියෙන් මළ පැනපු මම ඒ කෝප්‍රල් ගෙන් විස්තරේ ඇහුවා. හැබැයි එයා මට වඩා සීනියර් කෝප්‍රල් කෙනෙක්. එයා ෆස්ට් බැච් එකේ. ඒත් වැරැද්දට බැච් අදාල නෑ, මම බැන්නා. පොර මට බැනගෙන එද්දි මොලේ දකුණු පැත්ත හිරිවැටීගෙන ඇවිත් මෙිවගේ පොරක් වචනයෙන් "දමනය" කරන නුවණ පහල වෙලා වචන දහයෙන් පහලොවෙන් පොරව දමනය කලා. වචන ටිකක් බර වැඩී.ඒත් දමනය වෙන්න වුනේ පොරගෙ වැරැද්ද නිසා. ඊට පස්සෙ පොර කට වහගෙන සේප් එකේ ගියත් ඊට පස්සෙ කවදාවත් අපේ බිලට් එකේ ඒ වගේ දේවල් වුනේ නෑ. වැරැද්දට මමත් සුළු මධ්‍යම සහ උපරිම වශයෙන් දඬුවම් දීල තියෙනව. ඒත් ඒ එකෙක්වත් මාත් එක්ක වෛර බඳින්න තරම් අසාධාරන දඬුවම් දුන්නෑ. ඔය කතාව වෙද්දි  එවකට විධායක අධිකාරි තුමා වුනු ⁣අද මෙිජර් ජයලත් කම්පියුටර් රූම් එකේ ඉඳගෙන සියලු විස්තරේ අහගෙන ඉඳලා. සිරාවටම මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ එතුමා කම්පියුටර් රූම් එකේ ඉන්නවාය කියලා. පස්සෙ එතුමා එලියට ඇවිත්, මට ඇවිත් එයාව හම්බවෙන්න කියලා ගියා. මගේ ක්‍රියාව පැසසුවත් මම කවදාවත් පැසසුම්වලට කැමති නෑ. ඒ හිංද තමා එතුමාට ඒක මතක තියාගෙන ඉඳලා පස්සෙ දවසක අනාවැකියක් කිව්වෙ. ඒක එහෙම්මම සිද්ද උනා කියල තමා එතුමා මං යන පාරක තියා අහලකින්වත් නොයා ඉන්න පුරුදුවුනේ. 


යුධ හමුදාව කියන්නෙ සහෝදරත්වය එකමුතුකම විනය අතින් රටෙි ඉහලම ස්ථානයේ තියෙන ආයතනයක්. සතුටුයි ඒ වගේ එකක 22ක් ඉඳලා ජීවිතෙත් බෙිරගෙන පැන්ෂන් එන්න ලැබීම ගැන.ඇත්තටම කලුගල් බැදල කාල සීගිරිගලෙත් පොල් ගහපු උන්ට චීස් කියන්නෙ නතින්....තමා. මටනං මගේ සේවාකාලය පුරාවට කරපු හැම දෙයකින්ම තෘප්තිමත් වෙන්න පුලුවන්. සිහිකර කර විනෝදයක් ලබන්නත් පුලුවන්. ඔිවා ඉතිං හැමෝටම නෑ. 



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.24

2 comments:

  1. මේ photo එකේ ඉන්නේ උබ නම්,, අඩෝ තෝ පට්ට හැංඩියෙක් බොල.. රසිනි ට පින නැ. පින

    ReplyDelete