Monday, June 21, 2021

රහස් කතා



 මගේ හමුදා ජීවිතේ උදාවුනු එක් බිහිසුනු අවස්ථාවක් ගැන කියන්න හිතුනා. කියන්නෙ නෑ, කියන්න හොඳ නෑ කියල හිතාගෙන හිටියත් පස්සෙ මතක්වුනා "පෙබාකරන් මැරිලනෙ යකෝ"  කියල. හැබැයි මෙි සීන් එක සිදුවුන කඳවුරත් කාලයත් විතරක් නොකිය ඉන්නම්. ඒක ඉතින් අපේ ඇඟට ටිකක් විතර ගුණ දායකයිනෙ. මගේ කතා හැම එකක්ම කියවනවනම් ඒ කතා ඇතුලෙ මෙවැනි කතාවක් ඇති. දින කාල ඝණය එක්කම. එවකට අපේ සන්නද්ධ සේවා සේනාධිනායක හිටියෙ මගේ පණ ඩිංග සහ මගේ ෆස්ට් ලව් එක වෙච්චි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය.

 

මෙි කතාව වෙන්නෙ කොටිත් එක්කමයි. කොටි කිව්වට කොටින්ට විරුද්ධව කොටිත් එක්ක කරපු වැඩක්. කොටිමත් නෙමෙි. කලින් කොටි එක්ක ඉඳලා ඒකෙන් අයින්වුනු ඒ EPRLF  අය. මට දුර්ලභ අවස්ථාවක් හම්බවෙනවා මාසයක විතර කාලයක් මෙි ටීම් එකක් එක්ක කටයුතු කරන්න. ඒ නැගෙනහිර පළාතෙදි. තලෛවන් සේනාධිරාජා (මියගිය) තලෛවන් ගනේෂ් (බබී)(මියගිය) තලෛවන් රාජු (මියගිය) සහ තව පස්දෙනෙක්. මමත් එක්ක නවයයි. අපේ තව තුන් දෙනයි ඔක්කොම දොලහයි. මෙි කතාවට පාදක වෙන්නෙ බුද්ධි රාජකාරියක්. ඒ නැගෙනහිර හොඳටම සටන් පැවතුනු කාලයක්. බෙිරෙන්නම බෑ. තවත් කාරණයක් වුනේ මෙි වෙද්දි "කරුණා අම්මාන්" උතුරේ ඉඳල නැගෙනහිරට සංක්‍රමණය වෙනව කියල විශ්වාසනීය තොරතුරු කිහිපයක්ම ලැබිල තිබීම. ඒ එල්ටිටීඊ පාස් අවුට් එකකට. එයා නැගෙනහිර නෝන්ජල් වැඩක් කරල ඒක අංජබජල් වෙලා පෙබා අංකල් ඒකට ජාතිය අමතන්න මෙයාව උතුරට කැඳවල තිබුනා. ඒකට කන් පිරෙන්නම අහගෙන එහෙම තමා නැගෙනහිර තාරාවිකුලම් (තොප්පිගල පැත්තෙ) මෙි පාස් අවුට් එකට එනව කියන්නෙ. කොටින්ගෙ පාස් අවුට් එකක් කීවම අපේ හමුදා කඳවුරු ඉතාමත් කල්පනාවෙන් තමා ඉන්නෙ. හේතුව මෙි විසිරයාමක්  ඒ දවස්වල අවසන් වුනේ කොහේ හරි අපේ කඳවුරකට පහරදීල අවි පැහැර⁣ගෙන. හේතුව ඒ පාස් අවුට් වෙන අයට අවි ලැබෙන්නෙ එහෙම පැහැරගන්න අවිලු. ඇත්තක් හෝ බොරුවක් හෝ වෙිවා ඒ දවස්වල එල්ටීටීඊ එකට අවි අඩු කාලයක්. අපිට ලැබෙන  තොරතුරුවලට අනුවනං කතාව එහෙමයි. ඒ ආසන්න කාලයේ අපිට පැවරුණු රාජකාරියක් තමා දවස් කිහිපයක් ඒ ඒ ඒරියාවලට ගිහින් උන්දැලගෙ කේළාම් හොයන එක. (මගේ අම්ම එක දවසක් මගෙන් ලියුමකින් ඇහුව මෙි දවස්වල මොකෝ කරන්නෙ පුතේ කියල. ඒකට පිළිතුරු යවපු මං කිව්වෙ "මෙි දවස්වල අපි අනුන්ගෙ රෙද්දවල් නොහොත් කේළම් හොයන එකනෙ කරන්නෙ අම්මෙ" කියල.)


 අපි එච්චරම දුරක් නොගියත්  මග ඉඳන් හරි රාජකාරිය කරගත්තා. මතකනෙ "පූබාලචන්ද්‍රන්". ඒ තොරතුරු සෙවීම අවසානයේ දවසක හවස මාවත් තව තුන් දෙනෙකුත් කැඳවපු අපේ ඔිසී අපිට විශේෂ රාජකාරියක් පැවරුවා. ඒ ඇම්බුෂ් එකක්. මෙිකට සහභාගිවුනේ  EPRLF අට දෙනෙකුත් අපි හතර දෙනෙකුත් පමණයි.ඒ මෙිකට පාරවල් දෙකක් ආවරණය කරන්න තිබුනු නිසා එක මාර්ගයක් ආවරණය කරන්න හය දෙනා බැගින්. එච්චරයි ඉතින් අපේ මානව සම්පත. තව හිටියත් එයාලට වෙනම රාජකාරි පැවරිලා තිබුනු නිසා හා මෙිකට අපිවම තෝරගත්තෙ "ආවොත් සෙන්ට්,ගියොත් ඔිඩිකොලෝන්" ක්‍රියාන්විතයක් හිංදා වෙන්න ඇති. මාත් කෝප්‍රලුත් ඇතුලු අනෙක් දෙදෙනාත් පාබල ඒකකවල සාමාජිකයන් වීම සහ "මෙි ගේම මුං කොහොමහරි ගහයි"  කියල තිබුනු විශ්වාසයක් මත. අනික යම් හෙයකින් මැරුනොත් බුද්දිකල මැරෙන්නැ. බුද්දිකල එක්ක ඉන්න මන්දබුද්දික වුනු අපි තමා මැරෙන්නෙ. එතකොට එයාලගෙ රෙජිමෙට පාඩුවකුත් නැති හිංද අපිවම තෝරගන්නත් ඇති. මන්ද ඉතින් මං ඒ කිව්වෙ මට හිතුනු දේ. මොකද ඔිවගෙ ඇමවල් දෙකතුනක්ම අපි ගිලල හිටියෙ ඒ වෙද්දි. ඇම්බුෂ් එක දවස් දෙකක එකක්. ඇඳුම කලු ටීෂර්ට් එක සහ කොට කලිසම ඇඳල ඊට උඩින් නිල් සුදු පොඩි කොටු කොටු වැටිච්ච සරමක් දෙකට නමල ඇඳලා. හමුදාවෙ අපි ටී56 දෙකයි එල්එම්ජී දෙකයි. EPRLF අය මිනිඋෂි ගන් තමා පාවිච්චි කලේ.


සුපුරුදු විදියට රෑ අටට විතර සුදු වෑන් එකේ මගක් දුරකට ගිහින් දාපු අපි එතැන ඉඳන් කිලෝමීටර් අටක් විතර ගියේ කැලෑව මැදින් පයින් සහ පරිස්සමින්. කැලෑව කිව්වට රූස්ස කැලේ නෙමෙි ලඳු කැලෑව. කෝප්‍රල් අස්මීගෙ (මගේම ඒකකයේ) නායකත්වයෙන් මාත් එක්ක හය දෙනෙකුටත් තලෛවන් සේනාධිරාජා එක්ක එයාලගෙම තව පස් දෙනෙකුත් අපේ එල්එම්ජී එකකුත් පාරවල් දෙකක් කවර් කරන්න යන්න තිබුනෙ. රැයක් පුරාවට නියමිත අවසාන ඉසව්වට ආපු අපි දෙකට බෙදෙන්න කලින් උදේ දවල් කෑම එක හදාගත්තෙ එලිය වැටුනොත් ඒවා කරගන්න බැරිවෙයි කියල අදහසක් තිබුනු හිංදා. ඒ නූඩ්ල්ස්. දවාලටත් එක්කම කෑම ටිකත් හදාගෙන ඉටි කොලේක ඔතාගෙන අරංගිය ටියුලිප් කවරෙම දාගත්තා. නැවතත් ටික දුරක් ගියපු අපි දෙකට බෙදුනා. සේනාධිරාජාගෙ ටීම් එක තව කිලෝමීටරයක් වගේ දුරක් යන්න ඔින. මෙතැනින් අපි නවතින්න ඔින.හමුදාවෙ අපි තුනයි අරයලාගෙ තුනයි. අනික තමා මෙි යද්දි බැරිවෙලාවත් සිවිල් මිනිස්සු හම්බවුනොත් අපි හතර දෙනාට  සිවිල් අයත් එක්ක කතා කිරීම සම්පූර්ණයෙන් තහනම්. කතා කරන්නෙ අරයල විතරයි. ඒකට හේතුව එයාල (EPRLF) දෙමල වීම සහ සිංහල අපි දෙමළ කතා කරත් දෙමළ අය අපි සිංහල කියල සැක කලොත් අවුලක් වෙන හිංද. මේක පාරවල් දෙකක් කියන්නෙ ප්‍රධාන එක් පාරකින් ඇවිත් එක තැනක ඉඳන් මෙි පාර දෙකට බෙදෙනවා. මෙි පාරවල් දෙකෙන්ම පාස්අවුට් එක තියෙන කඳවුරට යන්න පුලුවන්. හරියටම කොයි පාරෙන් "කරුනානිධි"  එයිද කියල දන්නැති නිසා තමා අපිට පාරවල් දෙකම කොටු කරන්න සිදුවුනේ. මෙි අපිට කවර් කරන්න තිබුනු නියමිත පාර සහ බැරිවෙලාවත් අපේ පාරෙන් එන්නැතුව සේනාධිරාජා ඉන්න පාරෙන් ගියොත් අපිට එයාලගෙ ආරක්ෂාව ගැනත් බලන්න ඔින. බැරිවෙලාවත් අපි ඉන්න පාරෙන් ආවොත් තලෛවන් අපේ සපෝට් එකටත්, පසු බැසීමට ලේසි වෙන්නත් අපි ලඟට එනවා. කතාව එහෙම වුනත්,  එයාල පහර දුන්නත් පසු බහින්නෙ ⁣අපි ඉන්න ඉසව්වෙන්. එතකොට එයාලගෙ ආරක්ෂාවත් අපි බලන්න ඔින. මම සංඥා සෙබලෙක් වූ නිසාම මට සෙට් එකකුත් ගන්න වුනා. කෝප්‍රල් අස්මිත් මගේම ඒකකයේ කෙනෙක් වුවත් අපි දෙන්නත් මෙි බුද්ධි අංශයේම තමයි රාජකාරි කලේ. කෝපල් අස්මි මුස්ලිම්. අපි දෙන්නම එක යුනිට් එකේ නිසා අපි දෙන්න බය නැතුව ගහපු ගේම්  අදටත් වාලච්චේන කල්කුඩා වාකනේරි කදිරවෙිලි කජුවත්ත කින්නිඅඩි කාවත්තමුනෛ සිවිල් මිනිස්සුන්ගෙන් ඇහුවනම් හරි ලස්සනට කියයි. අනික ඒ පැත්තෙ අපිට අදටවත්  යන්න බැහැ. මොකද ළමයි "ටාට්ටෙ ටාට්ටෙ" කියාගෙන අපේ පස්සෙන් එන්න වුනොත් එහෙම අපේ පවුල් ජීවිතෙත් ඉවර වෙයි ඔිං. 


ලැබී තිබුනු තොරතුරු අනුව පහුවදා රෑ තමා විසිට් එක වෙන්නෙ. එන්නෙ රෑ දහයට කලින්. ඊටත් පහුවදා තමා පාස් අවුට් එක තියෙන්නෙ. අපේ කෑම ආරක්ෂිත තැන් දෙකකට එකතුවෙලා තමා හදාගන්නෙ. ඒවා ඉතිං අති රහස්‍ය විදියට කෙරෙන්නෙ. මෙි වෙද්දි මෙි වගේ රැකසිට පහරදීම් දෙකකට මං මීට කලින් සහභාගි වෙලා තිබුනත් ප්‍රතිඵල අරන් තිබුනෙ එකකින් විතරයි. අනෙක දුවලම බෙිරිච්චි එකක්. ඒක හරි ජොලි පසුබැසීමක්. ඒක පස්සෙ දවසක කියන්නංකො.


නියමිත වෙලාව කිට්ටු වෙන්න වෙන්න ඒ හා සමානව අපේ හෘද ස්පන්ධනයත් ඉහල යන්න පටන් ගත්තා. ටීම් දෙකෙන් කව්රු පහර දුන්නත් දෙගොල්ල එකට පසු බහින්න ඔින. කොටින්ම කියනවනං  අපිව ගන්න වෑන් එක එන්න තියෙන  තැනට පන එපෝ කියල දුවන එක. අනෙක තලෛවන් සේනාධිරාජා ඇතුලු ඒ අය ගැන අපේ හිත්වල තිබුනු අවිශ්වාසය සහ සැකය නිසා ඒක දෙගුන තෙගුන වෙලා තිබුනෙ. සැකය කිව්වෙ පොර කලින් එල්ටීටීඊ නායකයෙක්. අනෙකා "බබී" නොහොත් තලෛවන් ගනේෂ්. ඔය දෙන්නගෙම ගමත් කොක්කඩිචෝලෙ. කොක්කඩිචෝලෙ කියන්නෙ කරුණගෙ මූලස්ථානය තියෙන ගම. ඒ හිංද කොහොමත් අපි අපේ වැඩි රහස් මෙයාලත් එක්ක කියන්න යන්නෑ. මෙි බෙිදය සමනය කරන්න අපේ බුද්ධි ඔිසී කොච්චර උත්සහකලත් ඒකම තමා උන්දැට කරන්නත් බැරිම වුනේ. අපේ විශේෂඥ ටීම් එක එක පාරක් මෙි වගේ ගේම් එකකට ගිහින් කොටුවෙලා තියෙද්දි ඔවුන්ව බෙිරගෙන පන පිටින් අරන් ඇවිත් තිබුනෙත් මෙි තලෛවන් සේනාධිරාජා කියන පුද්ගලයා. එවකට ඔහු එල්ටීටීඊ සංවිධානයේ උනත් හමුදාවට උදව් කරපු කෙනෙක්. ඒ කතාව තමා ඔිසී හැම නිතරම ඇදලගත්තෙ අපිව සමගි කරවන්න. ඒත් අපිට නම් නෙමෙි ඒ මොන කතා කිව්වත් මෙයාලව විශ්වාස කරන්න පුලුවන් වුනේ. (ඒ තුන්දෙනාගෙ නම් කිව්වෙ අද එයාලා ජීවතුන් අතර නැති නිසා. ) 


කොහොමහරි එදා අපි අපේ කතාව සම්පූර්ණ කලා. අපි දතකට මැදගෙන "දෙන්නම් ජම්බු, එකෙක් බත් කන්න ඉතුරු කරන්නෑ" කියල හිතාගෙන හිටියත් උන්දැලා ආවෙ තලෛවන් හිටපු පාරෙන්. රෑ එකොලහට ආසන්න වෙද්දි ඇරඹුණු ප්‍රහාරය විනාඩි පහක් දහයක් වගේ පැවතුනේ. අපි දැක්කා ඈතින් ඔිපන් එක හරහා වාහන දෙකක් එනවා. අපි හිතුවෙ අපි ඉන්න පාරට හරවයි කියල. නමුත් ඒක කෙලින් පාරෙ ආව විදියටම ගියා. එතකොට අපිට හිතුනා "බඩුම තමා" කියලා. පහර දීම ඇරඹෙනවත් එක්කම මම සෙට් එකේ ඇතුලට කිව්වා "වැඩෙි වෙනවා,ඊලඟට ඔයාලගෙ වැඩෙි" කියල. ඒ කියන්නෙ ඊලඟට වෙන්නෙ අර ටීම් එක ආපු ගමන් අපි දුවන එක. අපිව ගෙනත් දාපු තැනටත් වඩා දුරක්  වෑන් එක එනව අපිව ගන්න. නොකියා කිව්වෙ වෑන් එකට එන්න කියල.

කිලෝමීටර් අටම දුවන්නෑ, ඊට ගොඩක් මෙහාට වෑන් එක එනව. මෙි අතර අපිට තිබුනු සැකේ අනුව සේනාධිරාජගෙ ටීම් එකමද එන්නෙ,නැතිනං එයාලත් එක්ක තව එයිද, නැතිනං එයාලව මරලා කොටිම එයිද කියල බයකුත් අපිට නොතිබුනාම නෙමෙි. ඒකට හේතුව අපිට වඩා කරුණා මෙි පාරවල් ගැන සංග්‍රාමික වශයෙන් උපාය මාර්ග විදියට භාවිතා කරන්න පුලුවන් කියල දන්න එක. මම කරුණා නම් එහෙම අනිවාරයෙන් මෙි ප්‍රහාරයෙන් දිනුවොත් අපි හිටපු පාරත් කොටු කරනවා. ඒකට හේතුව උන්දැලා ගිය පාරත් එක්කම මෙි පාරෙත් බඩු ඉන්නවාම කියල හිතන්න පුලුවන් හේතු සාධක සංග්‍රාමික වශයෙන් තියෙන නිසා. අපිත් එක්ක හිටපු EPRLF දෙන්න තමා සේනාධිරාජාව අඳුරගන්න පුලුවන් අයට හිටියෙ. ඒ නිසා ටිකක් විශ්වාසයකුත් තිබුනා. මොකද ඒ වෙද්දි අපි මෙි ටීම් එක අඳුරගෙන සතියක් වත් නෑ. උන්දැලා ආවෙත් මෙි ප්‍රහාරයටමයි. ඒ මඩකලපුවෙ ඉඳල. ප්‍රහාරය සාර්ථක වෙිවා නොවෙිවා ආයෙ මාසයක් විතර උන්දැලා අපිත් එක්ක ඉන්නවා. 


විනාඩි කිහිපයක් පැවතුන ප්‍රහාරයෙන් පස්සෙ හරි ජංජාලයක් වුනා. ඒ එක කැබ් එකකට පහරදුන්නට අනෙක් කැබ් එකේ ආපු එවුන් මුන්දැලට පහර දෙන්න පටන් අරන්. මුන්දැලා අරුන්දැලාටත් වෙඩි තියන ගමන් තැන අතෑරල දුවන්න අරගෙන. පැය කාලක් වගේ යනකොට අපිට ටිකක් එහායින් කැලෑව පොඩි කරගෙන අලි දුවනවා වගෙ  සද්දයක් ඇහුනා. නමුත් කොටි හඹා ගෙන ආවෙ නෑ. එයාගෙ සෙට් එකෙන් කිව්වා ඒ එයාල එන්නෙ අපිටත් එන්න කියල. ආයෙ මොනව බලන්නද. අපිත්  උපරිම හයියත් ප්‍රාණයේ වගකීමත් කකුල් දෙකට භාරදීල ඔලිම්පික් මීටර් පන්දාහ දුවන්න පටන් ගත්තා. වෙල් යායක්, ඇලක්, ලඳු කැලෑ මන්ඩි කිහිපයක් ඒ විදියට වෙිගයෙන් පසු කරපු අපි නියමිත තැනට එනකොට වාහනේ එතැන පඳුරක් අස්සෙ තිබ්ල එලියට ගත්තා. අපිත් නැගල කිසිම කතා බහක් නැතුව කඳවුරට එනකම් ආවා. පහුවදා ප්‍රතිඵල අපේ සෙට් වලට මොනිටර් වෙලා තිබුනෙ එල්ටීටීඊ තුනක් මැරිල එක්කෙනක් බරපතල තුවාල කියල. නමුත් අපි ගන්න ගියපු ටාගට් එක ඒ කැබ් දෙකේම ඇවිත් නෑ. කොහෙවත් යන පඩත්තල සෙට් එකකට වරදවා හිතල ගේමක් දීල අපිත් පන එපා කියල දුවල තිබුනා. ඒකෙන් අපි කාටවත් එරමිනියා ගස්වලට හීරිලා ලේ බිංදුවක් පැන්නා ඇරෙන්න වෙන කිසිම හානියක් වුනේ නෑ.

පස්සෙ පස්සෙ මෙි පොරවල්ල ටික ආශ්‍රය කරන්න පටන්ගත්තට පස්සෙ අපිට අපි ගැනම ටිකාක් විතර ලැජ්ජ හිතුනෙ "අපරාදෙ මුංව සැක කලේ" කියල හිතිල. අපිට වඩා එල්ටීටීඊ එකෙන් පළිගැනීමෙි වුවමනාවක් මුන්දැලට තිබුනා. ඒත් දවස් පහ හයක් කරපු ආශ්‍රයෙන් මිනිස්සු මනින්න බෑනෙ. අපිත් සාධාරනයි. හැබැයි සිරාවටම කියන්නෙ, සේනාධිරාජා ගැන මගේ හිතේ අදටත් තියෙන්නෙ ගෞරවයක්. අපේ සිතිවිලියි වැරදි.මිනිහ නෙමෙි. අනෙක මෙි කාලය මට යලි යලිත් සිහිපත් වෙද්දි හිත ඇදී යන්නෙ පළවෙනි ලෝක යුද්ධය ගැන බලපු ෆිල්ම් වලට සහ ලෝක යුද්ද ගැන කියවපු පොත්වලට. 


පසු කාලෙක තලෛවන් සේනාධිරාජා සහ තලෛවන් ගනේෂ් එක්ක තවත් රාජකාරියක් කරන්න හම්බවුනා. ඒ මඩකලපුවෙ ඇතුළු ගම් ප්‍රදේශයකදි කෝප්‍රල් සේනාධි රාජා සහ කෝප්‍රල් ගනේෂ් එක්ක ඒ යටතේ. එතනොට මෙි දෙන්න හමුදාවට බැඳිල හිටියෙ. ඒ ඉඳුරාම "කෝප්‍රල්" නිළයට.  පසු කාලෙකදි කෝප්‍රල් සේනාධිරාජා මෙවැනිම ක්‍රියාන්විතයකදි කොක්කඩිචෝලෙදිම මිය ගිහින් තිබුනා. කෝප්‍රල් ගනේෂ් මඩකලපුව ඔරලෝසු කණුව ළඟ ගාන්ධි මාවතේ කෙරවලේදි පට්ට දවාලෙ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්ව සහ ලාකෝ රාජා කොටින්ගෙ පිස්තෝල කල්ලිය විසිනුත් වෙඩි තබා මරා දමා තිබුනා.ඒ හරියටම මඩකලපුවෙ පාළම ළඟ මාකට් එක ඉස්සරහදි පුට් සයිකලේක පොලිස් නිළ ඇඳුම ඇඳගෙන ආපු කොටියෙක් විසින්.  මාත් ඔතන තිබ්බ රෝඩ් බ්ලොක් එකෙන් අපේම පාබල හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක්ගෙන් අනන්‍යතාවය හෙළි කරන්නෙ නැතුව ඉඳල දවසක් කන් අඩි දෙකම පිරෙන්න ගුටි කෑවා. ගුටි කෑව කියල ඉතින් වැඳල හරි එතනින් බෙිරිල එනව මිසක් අනන්‍යතාවය හෙළි කරන්න ගිහින් වීරයෙක්නම් වුනේ නෑ.ගුටිකාල කන් දෙකම අත ගගා අඬ අඬා ආව මිසක්කා. හැබැයි ඉවසගන්න බැරිම තැන එවකට 233 බසේමු බළසේනාධිපතිවුනු අපේම අංශය භාර රෙජිමෙින්තුවෙි සේනාවිධායක වූ කර්නල් අහවලාට  කෝල් එකක් දාල කිව්වම අරුන්දැව ආපහු පනාගොඩටම යැව්ව කියලත් අපේ ඔිසීට කෝල් එකක් දාලම කියල තිබුනා. 


කතාව මෙිකයි. අහම්බයක්ද දෛවයේ සරදමක්ද නම් මම දන්නෑ  එදා හිටපු එක් අයෙක් අපේ අන්තිම සටන ඉවරවුනු දවසේ සිවිල් පුද්ගලයින් බෙිරාගනිද්දි ඒත් එක්ක ඇවිත් "ෆාදර්" කෙනෙක් විදියට අපිත් එක්ක කතා කර කර ඉඳලා යන්න ගියා. ඒකත් හරි ලස්සන සිදුවීමක්. මට මෙි ෆාදර් දැකල හුරු ගතියක් තිබුනත් කව්ද කින්ද මන්ද කියල අඳුරගන්න තරම් මතකයක් තිබුනෙ නෑ. මම කතා  කලා. කැඩුනු සිංහලෙන් පැයක් විතර අපිත් එක්ක කතා කර කර හිටපු ෆාදර් එල්ටීටීඊ ප්‍රදේශයේ පිහිටි පල්ලියක ඉඳල තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙම. පසුබහිද්දි කොටි විසින් මෙයාලවත් පස්සට පස්සට අරන් ගිහින් තිබුනා. තව ෆාදර්ස්ලා තුන් දෙනෙක් ටිකක් එහායින් වෙනම කතාවක හිටියා. මෙයා විතරයි කතා කලේ. ඒත් මට දැකල හුරු ගතිය නිසා මට හිතුනා කව්ද කියල කතා කරල දැනගන්න. එතකොට තමා කතාකලේ. කතාව ඇදිල ගිහින් නැවතුනා යට කී කතාවෙ. එතකොට මෙයා ඊපීආර්එල්එෆ්. එදා සීන් එකත් ෆාදර්ට හොඳට මතක තිබුනා. එදා ආපු ටීම් එකේ තව දෙන්නෙක් මඩකලපුව ඒරියා එකේදිම මැරැනා කියලත් කිව්වා. මං ඒත් කිව්වා හමුදාවට බැඳුනනං ඉවරනෙ මෙි වගේ කොටිත් එක්ක ඉන්නවට වඩා, කියල. එහෙනං අපිත් එක්ක යස අගේට ඉන්න තිබුනා කියලත් කිව්වා. මං ඒ අංශයේ ගහපු කැරැල්ලක් නිසා බෑඩ් රිපෝර්ට් එකක් එක්ක ආපහු යුනිට් එන්න වුනා කියලත් කිව්වා. මෙි සිදුවීම වෙද්දි  මම "තාම" කෝප්‍රල් සහ වෙන්ඩ සාජන්. මං කියපු ඒකට මිනිහ මුකුත් උත්තරයක් දුන්නෑ. යන්තම් හිනාවුනා විතරයි. එහෙම පැයක් විතර කතා කර කර ඉන්නකොට ඒසී කරපු කොලපාට බොලේරෝ එකකින් කර්නල් කෙනෙක් බැහැලා ආවා. එයා එනව දැක්කම ෆාදර්ස්ලා හතර දෙනාම ඒ සර් ගාවට ඇවිත් අතට අත දුන්නා. විනාඩි පහක් වගේ කාලයක් කතා කර කර ඉඳලා මාත් එක්ක කතා කරපු ෆාදර් මං ලඟට ඇවිත් මහ එපා කරපු කතාවක් කිව්වා.

*මචං මං සාජන් ××××.. අර ෆාදර්ස්ලත් එහෙමයි. අපේ රාජකාරිය මෙතනින් ඉවරයි අපි යනවා..අපේ සීඔි තමා ඒ ආවෙ කියල පැහැදිලි පට්ට සිංහලෙන් කතා කරල කිව්වා. 

මාත් ඇරියෙ නෑ. සීන් එකෙන් ඔල්මොරෙන්දම්වුනු මම

*ඉතිං හු&@%$තො කලින් කියන්ඩෙපෑ. කිව්වනං සාජන් කියලම කතා කරනවනෙ කියල. &@%$වචනෙ මගේ පුරුද්දට අනුව ඔටෝම කියවුනේ. සාජන්ට බකාස් ගාල හිනා ගියා. පොර මගෙන් සමාවත් ඉල්ලල පාට හතරකින් නිමෙන පත්තුවෙන බල්බි ඇතුලට දාල හදපු හරි ලස්සන පෑනක් සිහිවටනයක් විදියටත් දීල අතට අතත් දීල බොලේරෝ එකේ නැගල යන්න ගියා ගියාමයි අදටවත් පොර ආයෙ හමුවුනේ නෑ. සිරාවටම සහෝදර මෙව්ව එකකින් මගේ හදවත පිරීගියා.


මෙි වගේ කතා දෙක තුනක්ම මගේ ජීවිතේ තියෙනව. ඒත් අන්තිමට වුනු අර සිදුවීම ගැන මං මගේ දරුවන්ටත් කියාදීල කිව්වෙ "කවදාවත් ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා" කියල. ඇත්තටම මට හමුදාව ගැන පට්ට ආඩම්බරයි. හැබැයි ඊටත් වඩා හමුදාවට බනින්න පුළුවන් සාධාරණ හේතුත් මා ගාව තියෙනවා. 


කෝප්‍රල් සේනාධිරාජාගෙ ෆියුනරල් එකට හමුදාවෙ දෙසීයකට වැඩි පිරිසක් කාණ්ඩ තුනක් යටතේ සහභාගි වුනා කියල මම දන්නව. ඒ වට ආරක්ෂාව වළළු දෙකක්, මාර්ග ආරක්ෂාව සහ අවමංගල්‍යෝත්සවයට සහභාගිවුනු කණ්ඩයත් එක්ක. මෙි ලක් දෙරණේ අද අපි විඳින සාමයේ නිදහස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත විඳපු කටුකත්වය, විඳපු හිරිහැර සහ කාපු කට්ට මෙන්ම ඔවුන්ගේ ගතින් වැටුනු අප්‍රමෙියවූ දහඩිය බිඳුවක් ගානේ අපි සදා ණය ගැතිවෙමු. 


යටින් තියෙන එක පිංතූරෙක තියෙන්නෙ ඒ දවස්වල මං පාවිච්චි කරපු පුද්ගලික අවිය (ඉනේ ගහගෙන). අතේ තියාගෙන ඉන්නෙ කෝප්‍රල් සේනාධිරාජාගෙ අවිය. ඒක අනුස්මරණීය පිංතූරයක්. මෙි පොටෝවල මං රැවුල් කොන්ඩෙ කපල පිලිවෙලකට හිටියෙ වැදගත්ම හේතුවක් නිසා. ඒක අනුස්මරණය කලයුතුම අවස්ථාවක්.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.21

No comments:

Post a Comment