Tuesday, June 29, 2021

මඩකලපුවෙ සිද්දි

 මඩකලපුවෙ ඉද්දි මගෙ වැඩෙිම ඉරිදට හොරාට කඳවුරෙන් එළියට ගිහින් ටවුමෙ කරක් ගහන එක. ඉඳල හිටල චිත්‍රපටියක් බැලීමත් මගේ වැඩක්. මඩ්ගාඩ් නැති බ්‍රෙික් නැති පැය බාගෙකට වඩා රෝදෙක හුලං අල්ලන්නැති කොටින්ම ප්‍රේම් එකකුත් හැඬල් එකකුත් රෝද දෙකකුත් විතරක් තියෙන ෆුට් සයිකලේකින් විශාල ටවුමක කරක් ගහනවා කියන්නෙත් එක්තරා අභියෝගයක්. සමහර දවස්වල දවල්ට කන්නෙත් කඩෙිකින්.පිස්තෝල කොටි රෑන් රෑන් ආවත් මම නෙමෙි ඒ පුරුද්ද නැවැත්තුවෙ. කොටුවට ගිහින් එන්නං කියල බොරුවක් ගහල කාළගුණේ ⁣පොයින්ට් එකෙන්  හිමීට දෙපැත්ත බලල එළියට පනින එකත් මහලොකු දෙයක් නෙමෙි. ආපහු කීයට හරි එනකොට ගේන්න සැන්ටින් කරල ගල් බෝතලේකට එක්කහු කරන මුදලුත් අරගෙන ගිහින් ආයෙ හවසට ඇතුලට එන්නෙත් ගිය තැනින්ම ගිය විදියටමයි. 


මඩකලපුව ටවුම වටෙි මාර ලස්සනයි. ඒක තවත් ලස්සන හවස හය හත අට විතර වෙද්දි. ඇවිදල ඇවිදල මහන්සි වෙනකොට සමහරදාට ආපහු එන්නෙ කොළඹ පාරෙ ගිහින් සින්න ඌරනි කලපුව අයිනෙ පාර දිගේ. මෙතැන ඉර බහිද්දි මාර ලස්සනයි. හවසට  ඉර බැහැගෙන යද්දි අහ⁣ස පුරා වැටෙන රතු පාටත් රෝසපාටත් කලවම් වුනු වලාකුළුවල සේයාව කලපුව මැද්දෙන් පේද්දි සහ අඳුර වැටීගෙන එද්දි ඉස්සො කොටුවල දැල්වෙන පැට්‍රෝල් මැක්ස්, ලන්තෑරුම් එළියත් වටෙි පිටෙි දැල්වෙන විදුලි ලාම්පුවල එළියත් සහ කලපුවට එගොඩින් සහ දූපත්වල තියෙන නිවෙස්වල දැල්වෙන විදුලි ලාම්පු එළියත් දැක්කම ඒ දසුනෙන් ඇස් දෙක ඉවතට ගන්න තියෙන්නෙ පුදුම අමාරුවක්. කොච්චර බලා හිටියත් ඇති වෙන්නෑ. ඒ අතරෙ මාලු අල්ලන්න ගිය ඔරු දෙක තුනකුත් දුරින් දුරින් පේන්න තියෙනකොට ඒ ලස්සන දෙගුණ තෙගුණ වෙනවා. ආයෙ මඩකලපුව කොටුව. ලන්දේසිකාලෙ හදපු ඒ කොටුව උඩට ඈතින් කල්අඩි පැත්තෙන් මුහුදත් චුට්ටක් පේනව. ගඟක් ගලනව වගේ කල්ලඩි පාලම හරහා නිරන්තරයෙන් යන එන ජනී ජනයා සහ වාහන දැක්කම හිතට එන්නෙ මං පිට රටක ඉන්නව වගේ කියල. දවල් තිස්සෙ රත්වෙලා රත්වෙලා හවස්වෙද්දි දුම් පාටට ඉහල නඟින ජලවාශ්ප දකිනකොට හිතෙන්නෙ නවදැලි හේන් ගිනිතියල ඒවගෙන් නගින දුම් වගේ කියල. බෆලෝ අයිලන්ඩ් කලපුවත් කාත්තාන්කුඩි ඉහත්තාවෙන් පිහිටි දූපතත් එකට එකතුවෙලා මෝයකට පැත්තට ගලන විශාල කලපුවට එකතු වෙනකොට නැගෙන ජලතරංග  හෙන විසාල මකුලු දැල් රාශියක් එලල වගේ පේන්නෙ. කොටුව පාමුලින් ගලාගෙන යන පැහැදිලි කලපු වතුරේ නිමක් නැතුව පීනගෙන යන ජෙලි ෆිෂ්ලයි මොරැල්ලො මාලු රෑනුයි මාර ලස්සනයි. හැන්දෑවට කොටුවෙ මෙි කලපුව පැත්ත ආවරණය කරන්න දාල තියෙන බ්‍රවුනින් ගන් එක  ගාව  තියෙන ලන්දේසින්ගෙ කාලතුවක්කුව උඩ වාඩිවෙලා මං මෙි දිහා අනන්තවත් බලාගෙන ඉඳල ඇති. ඒ සුන්දරත්වය තීව්‍ර වෙන්නෙ රසනිත් කොටුවෙ ඩියුටි වැටුනු දාට එයත් එක්ක මෙතනට වෙලා දහසක් දේවල් කතා කර කර ඉන්නකොට. මං එයාට කොච්චර ආදරේ කලත් එයා ආදරේ කියන මාතෘකාව ගැන නොකිය ඉන්න කොච්චරනම් වෙහෙසක් ගන්න ඇද්ද. මෙතනට අපි දෙන්න ආපු හැම දවසකම වගේ වෙන්වෙලා  ගියේ රණ්ඩු වෙලා හිත් නරක් කරගෙන. හවස ඈත එගොඩහ කෝවිල්වලින් "මංජ කලර් චිංගිචාන්,ශිවත කලර් චිංගිචාන්, චිංගිචාන් අර චිංගිචාන්" කියන භක්ති ගීතය ඇහෙනකොටනං ඒ වෙලාවටනං මගේ ඇඟේ මාළු නටනවා. මට හිතෙන්නෙම ඒ භක්ති ගීයක් වුනත් "මට කෝචොක්" කරනව කියල. මං ඔතනින් යන්නෙ හැමදාම තනියම. මොකක් හරි හේතුවකට රසනි රණ්ඩු වෙලා මට කලින් ඔතනින් යනවා. ඊට පස්සෙ එයාට යන්න ඇරල මං මෙතන තනිවෙලා වෙච්චි දේවල් ගැන කල්පනා කරනවා. ආයෙ මම ඔතනින් යන්නෙ මොන ඩියුටිය හිටියත් හවස හත විතර වෙද්දි හතර වටෙන්ම මුස්ලිම් පල්ලිවලින් ඇහෙන "අල්ලාහු අක්බර්" ගායනයටත් පස්සෙ.   ඒ දසුන් වල අසිරිය විඳගන්නනම් ඒ තැන්වලට යන්නම ඔින. ඒවගෙ ලස්සන වචනෙන් මෙතෙකැයි කියල කියන්නම බෑ. ඒත් මොහොතකට ඒ ලස්සන ඇතුලෙ ලේ පිපාසිත රුදුරු කොටි නඩෙිත් ගැවසෙනවනෙ කියල මතක් වෙන්නෙම නෑ.  තැනින් තැන දෙතුන් දෙනා මං සිරිනරඹනව වගේම  ෆුට් සයිකල් වල ඇවිත් ලයිට් කණු යටයි අතනයි මෙතනයි එකතු වෙලා කයිය ගහන පුද්ගලයින් දැක්කම හිතට එන්නෙම "මෙිත් කොටිද දන්නෑ" කියල. මඩකලපු කලපු පාර කොච්චර ලස්සන උනත් ඒ දවස්වල යන එන  පාර හදල තිබුනෙ ගල් බොරලු දාල. (ස්ටෑන්ඩ් එක පාර). 2002 වෙසක් දවසෙ ක්ලේමෝ බ්ලාස්ට් එකත්, පාලම ළඟ සිදුවුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත්, මඩකලපු ටවුමම අවලස්සන කරපු සිදුවීම් දෙකක්. ආයෙ දුම්රියපොළ ගාව සිදුවුනු ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය.පිස්ටල් ගෘප්වලින්නම් බෙිරුමක් තිබුනෙම නෑ. මඩකලපුව කොටුව මුදුනට ලස්සනට පේන කල්ලඩි පාලම පාමුල ටවුම පැත්තට වෙන්න තිබුනු ක්‍රිස්තියානි පල්ලිය ගාවදි ඉන්ට් එකේ දෙමළ කෙනෙක්ව පිස්තෝල කල්ලිය විසින් වෙඩි තියල මරා දැමුව. ඒ මගේත් හොඳ යාලුවෙක්. අපි දෙන්න වාලච්චෙිනෙදි වගේම නොයෙක් ක්‍රියාකාරකම් සඳහා එකටම මඩකලපුවෙත් ඇවිත් තියෙනව. මෙි පාරෙමත් ගිහින් තියෙනව. ඔතන අපේ ට්‍රැක්ටරයකුත් පෙරලුනා. ඒකෙන්නම් කාටවත් මොකුත් වුනේනෑ. 


ක්ලේමෝ සිදුවීම කිව්වෙ; එදා සැරයන් කෙනෙක් එක්ක දුම්රිය ආරක්ෂාවට ගියපු අපේ ටීම් එකකට ස්ටේෂන් එක පෙනෙන නොපෙනෙන දුරදි කොටි විසින් රිමෝට් එකකින් පුපුරණ ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හරිනවා. ඒ 2001 අවුරුද්දෙ. ඒකට අපේ ⁣ඉස්සරහින් ගියපු දෙන්නම අහුවුනත් ඒ දෙන්නගෙන් ප්‍රේමවර්ධන බීඩීකේපීපී දරුණු විදියට තුවාල ලබනවා. අනෙකාට සුළු තුවාල වුනත් කම්පනයට බිම ඇ⁣දගෙන වැටෙනවා. මෙි වෙලාවෙදි දෙමළ චිත්‍රපටියක ආකාරයට  ඒ ප්‍රහාරයෙන් බෙිරුනු සැරයන්ටත් අනෙකාටත් වෙඩි තබමින් කොටි තුන්දෙනෙක් දුවගෙන එනවා. මෙි සිදුවීමෙන් කැළඹුනු පාලම ගාව රෝඩ් බ්ලොක් එකේ හිටපු පොලිසියෙ කට්ටිය සිදුවීමවුනු තැනට වෙිගයෙන් දුවගෙන එනවා. ඒ අතරෙ තමා දෙසට වෙඩි තියමින් ආව කොටියෙකුට සුලු තුවාල ලබා සිටි සෙබළා පෙරලා පහර දෙද්දි ඒ කොටියා බිම වැටෙනවා. ඒකෙන් අනෙක් දෙන්නගෙ ගමන අඩාල වෙද්දි ඒ අවසරයෙන් පොලිසිය මෙතනට ඇවිත් අනෙක් එවුන්ට වෙඩි තියල අපේ හතර දෙනාම බෙිරගන්නව. අපේ අයගෙ හොඳ වෙලාව කියන්නෙ ඒ වෙලාවෙම තෙල් ගහන්න 233 බ්‍රිගේඩ් එකට ගියපු බෆල් රථයක් ඔතනින් යන්න එද්දි පොලිසියෙ කෑගැහිල්ලට නවත්තල බලනවා. ඒ අනුව තමා එක කොටියෙක් මරාගන්නෙ. එකෙක් තුවාල වෙලා ඉද්දි, ඌව අල්ලන්න ගියපු අපේ සැරයන් ඇතුලු පොලිසියෙ අයට ඌ වෙඩි තියද්දි පස්සට පස්සට ගිහින් ⁣බිල්ඩින් අතරේ නොපෙනී යනවා. පස්සෙ කොච්චර හෙව්වත් හොයාගන්න බැරිවුනා. ඒ කියන්නෙ වාහනේක ඇවිත් වාහනේම පැනල ගිහින්. ඒකයි කිව්වෙ මෙි ලස්සන අතරෙ අපේ මාරයත් වෙස්වලාගෙන බලාගෙන ඉන්නවා කියල. 


කලපුව අයිනෙ මෙතැනට පේන පිල්ලෙයාර්අඩිවලදි තමා 1999.09.24 දින අපේ 24 දෙනෙක් මැරෙන්නෙ. ඒ අපේ කොන්වොයි එකේ නිවාඩු ලබා යන අය රැගත් බසයකට බිබ්බෝම්බයක් තියල. එතැන බ්ලාස්ට් තුනක්ම උනා. අපේ බසයක්,පොලිසියෙ බසයක් හා නැවත අපේ ට්‍රක් එකක් වශයෙන්. පිල්ලෙයාර්අඩි වලට එහා පැත්තෙ ආයෙ අපෙ කඳවුරක් තියෙන්නෙ සතුරුකොන්ඩාන්. අපේ ඒ කණ්ඩායම තමා එතැන රාජකාරි කලේ. එහෙ හිටියෙ ලුතිතන් එන්ඉසෙඩ් ද  සොයිසා. මෙයා තමා කිරිමණ්ඩලේ අපි කොටි ප්‍රහාරයකට අහුවුනු වෙලේ එතැනට ඇවිත් අපිත් එක්ක නැවතුනේ. (ඒ කතාව කලින් කියල තියේ). 

මෙි අද කතාව. 

මෙි සතුරුකොන්ඩාන් කඳවුර ඉස්සරහින්ම තියෙන්නෙ අර කලින් කිව්ව වගේ ලස්සන කලපුව. පාර අයිනෙත් අපේ පොයින්ට් එකක් තිබුනා. ඒක දිවා මුරයක්. ඒ බංකරේ ඉඳල කලපුවට මීටර් 100-150 ක් විතර යන්න ඔින. මෙි ඉස්සරහම තමා මාලු අල්ලන අයගෙ ඔරු නවත්තල තිබුනෙ. බ්‍රිගේඩ් එක ඇතුලෙ ස්ථාපිත නේවල් පොයින්ට් එකෙන් සමහරක් දවසට විතරයි මෙි කලපුවෙ විසිට් එකක් යන්නෙ. ඒකත් නේවි එකේ අයට හිතෙන්න ඔින. ලුතිතන් සොයිසාගෙ පුරුද්දක් තිබුනා මෙි කලපුවෙ මාලු අල්ලගෙන ඇවිත් නවත්තන ඔරුවක් අරගෙන උදේට මාලු අල්ලන්න යන ඔරු පරීක්ෂා කරන්න කලපුවට යන එක. ඒක හෙන ඩෙින්ජර් වැඩක්. කව්රු එපා කිව්වත් මෙයා යනව. ඒ ගිහින් සල්ලිවලට මාලුත් අරගෙනමලු එන්නෙ. මෙහෙම දවස් කීපයක් කරාම මෙික කොහොමහරි කොටින්ගෙ කනටත් ගිහින්. මෙතුමා එකින් එක ඔරු පරීක්ෂා කරමින් යද්දි එක ඔරුවක ධීවරයින් විදියට කොටි දෙන්නෙක් ඉන්නවා. ලුතිතන් සොයිසා හිටගෙන. බඩියා හබල් ගානව. දෙන්නම මෙි ඔරුව ලඟට ගිහින් විස්තර අහද්දි මෙි දෙන්නටම කලපුව මැද්දෙම දාගෙන වෙඩි තියනව. අන්තිමෙිදි මෙි දෙන්නම මැරෙනව. මෙි සිදුවීම වෙද්දි මම හිටියෙ බ්‍රිගේඩ් එකේ ඇතුලෙ. මෙි කතාව මම අහගෙන දැනගත්තු එකක්. නමුත් කතාව ඇත්තටම ඒ විදියට සිදුවුනා. 


සිදුවීම් එසේ වුවත් වෙනදා වගේම එදා හවසත් ඉර බැහැගෙන යද්දි සුපුරුදු සුන්දර දසුන් මෙි හැමතැනම මැවී තිබුනා. අපි කාටත් අයිති නැති මෙි සුන්දර ලෝකේ සුන්දරම තැන් වල තමා ගොඩක් මරණ සිද්දවෙන්නෙ. ඒ සුන්දරත්වයේ නාමයෙන් වෙස්වලාගත් මරුවා නැත්තෙ කොතනද කියලා අපි කාටද කියන්න පුලුවන්. මම කලපුවෙි ලස්සන බලන්න නැවතෙන ඒ කලපුව අයිනෙම දෙමළ පොළිස් නිලධාරියෙක් මරා දමා තිබුනේ ඊට ටික දවසකට කලින්. මට මතක විදියට එස්ටීඑෆ් අයටත් ඔතන සිදුවීමක් වුනා. ඒකෙනුත් කීප දෙනෙක් තුවාලවුනා හා කිහිප දෙනෙක් මියගියා. ඒත් මං හැම ඉරිදාවකම නැතත් අඩුම මාසෙකට දෙපාරක්වත් ඔය පාරෙ ඇවිත් එතැනම නැවතිලා ලස්සනත් බලල සමහරදාට අටටත් විතර තමා කඳවුරට එන්නෙ. පිස්තෝල ගෘප්,සූසයිඩ් ගෘප් කොච්චර හිටියත් මගේ ඒ ගමන නැවතුනෙ එහෙන් ට්‍රාන්සර් වෙලා ආවට පස්සෙ තමා.

එක දවසක් අපි මඩකලපුවෙ ආඥ්ඥනේයර් පිලිරුවට මෙහා පැත්තෙ නාගරික පෙදෙස වටලා සෙවීමක් සිදුකරනව. ඒ පිස්තෝල කල්ලි නායකයෙක් ඉන්නවා කියන ඔත්තුවකට අනුව. අපි උදේ පාන්දර හතරට විතර පටන්ගත්තු මෙහෙයුම හවස දෙක වෙනකම් තිබුනා. එහෙම පරීක්ෂා කරගෙන කරගෙන යද්දි මට ලස්සන යමක් කමක් තියෙන ගෙදරක් පරීක්ෂා කරන්න සෙට් වෙනව. ඇත්තටම පරීක්ෂා කරනව කිවිවට පොලිසිය විතරයි පරීක්ෂා කරන්නෙ.අපි එයාලගෙ ආරක්ෂාවට ළඟ ඉන්නව. ඒ ගෙදරදි ලස්සනම ලස්සන කෙල්ලෙක් පැද්දෙන කිංකිනි ස්වරයෙන් පොලිසියත් එක්ක කතා කර කර එළියට ආව. පොලිසියෙ දෙන්නම දෙමළ දන්නෑ. මං එයත් එක්ක කතා කලා. ඒ වන්දාරමූල්ල කැම්පස් එකේ ඉගෙන ගන්න කෙල්ලෙක්. අපි දෙන්න ඇස්වලින් කතා කලා. වචනවලින් කතා කලා. ශරීරයෙනුත් කතා කලා. ආපහු මං එළියට බැස්සෙ පොලිසියෙ දෙන්න ටිකක් එහාට මෙහාට වෙනකම් ඉඳලා ගෙදර ෆෝන් නම්බරෙත් ඉල්ලගෙන. අම්මප මට ඒකිව දැක්කමනං රසනිට පොල්ලක් අරන් ගග ගගහ එලවන්න හිතුනා. රසනි කියන්නෙ කවදාවත් නොලැබෙන වස්තුවක් කියල යන්තම් හරි මම දැනගෙන හිටියනං අර අයිටම් එකට ට්‍රයි කරන්න තිබුනා. ට්‍රයි කරන්නනම් දෙයක් නෑ. ඒ දවස්වල මටනං ඔිවා කොහොමත් ඔටෝ වැටෙනවා. නිවාඩු එද්දි යද්දි වුනත් කෙල්ලන්ගෙන් කීයක්නම් ඇඩ්‍රස් ෆෝන් නමබර් අරං බස් එකෙන් බැහැල ඇද්ද.   


එයාගෙ තාත්තා කඩයක් කරනවා කිව්වා. තැනත් කිව්වා. මං එක දවසක් ඒ කඩෙිට ගිහිනුත් මාමජ්ජවත් ඇහැට දාගෙන ආව. පිස්සුනේ...මං එදා ඒ ගෙදරින් එළියට බැස්සෙ නම සදීස් කුමාර් කියල. ගම කිව්වෙ නුවරඑලියෙ කියල. මං දෙමළ කියල දැන ගත්තම එයැයිටත් ඉතින් මොනාහරි හිතෙන්න ඇති. පිස්සුනේ... ඊට පස්සෙ එකම එක දවසක් ඒ ගෙදර ගිහින් තේ බීල ආව. පිස්තෝලවලට තියෙන බය  හින්දම ආයෙ ගියෙ නෑ.පේන්න ඇවිත්නං ලොවෙත් ආරච්චිව බාවන්න එකෙකුටවත් බෑ. අඩි හයේ තාප්ප, පොටවල් අටෙි කම්බි වැටවල්, කලපු කෑලි නතින් ඉතින් ආයෙ. මොකද නුදුවපු එකක්යැ පිස්තෝල එක්ක. මගේ අහිංසක කකුල් දෙක කීපාරක්නම් මාව බෙිරාගෙන ඇද්ද. 


යටින් තියෙන්නෙ පිල්ලෙයාර්අඩි කලපුව සහ ප්‍රධාන පාර.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.06.29

2 comments:

  1. ko kalapuwe pradana para?

    ReplyDelete
  2. ඔබ අපව එම යුගයට අරං ගියා!

    ReplyDelete