Tuesday, August 3, 2021

යුධ බිමෙි අවුරුදු දෙකක්

 මට පුංචි කතාවක් මතක් වුනා. එතකොට මං හිටියෙ කිරාන් කඳවුරේ. 


එවකට අපේ ඔෆිසර් කමාන්ඩර් හිටියෙ කපිතාන් චන්දන පෙරේරා. හොඳ මොළයක්. වැඩිපුරම හිටියෙ අපිත් එක්ක. හරි හොඳයි.රාජකාරිමය වශයෙන් ප්‍රශ්ණ කෝටියක් තිබුනත් හිනාවෙලා ඉන්න එක එතුමගෙ පුරුද්ද. දැන්නම් කොහේ ඉන්නවද දන්නෑ. 


ඒ '97 සිංහල අවුරුදු දවස. එතකොට මං පාලමෙි රාජකාරි හිටියෙ. කණ්ඩ භාර සැරයන් හිටියේ සැරයන් ලයනල්. පුදුම සැරයි. මාව පෙන්නන්න බෑ. අපේ කඳවුරු ජීවිතේ අවුරුදු සහ වෙසක් පොසොන් කියන්නෙ ඉතාමත් සාමාන්‍ය දවස් විතරයි. මගේ සේවා කාලය පුරාවටම මම සිංහල අවුරුද්දකට කියල නිවාඩු ඇවිත් තිබුනේ අතක ඇඟිලි ගණනටත් අඩු වාර ගණනක්. මං සිංහල අවුරුද්දට එච්චර කැමති නෑ. වෙසක් එක තමා මගේ අවුරුද්ද.

එහෙම කියලත් වෙසක් එකකට කියල නිවාඩු ඇවිත් තිබුනේ කීප වතාවක් පමණයි. හැබැයි ඒ මිහිර අපි කඳවුර තුල යාන්තමින් විඳගත්තා. පසු කාලීනව වෙසක් උත්සවය වෙසක් කළාප පවත්වන තරමට දියුණු වුනත් ඒ දවසවල අපි කලේ තල් පිති හීනියට කපලා රැහැලා ඇද ඇරලා අරගෙන හදන අටපට්ටම් කූඩු. ඒවා හදල කඳවුරේ තැනින් තැන එල්ලුවාම දැනෙන සතුට, සතුටක් වගේම දුකකුත් අපේ ජීවිතවලට ඇතිකලා. 


එදා මාව දාල තිබුනේ පාලමෙි ඉස්සරහම පොයින්ට් එකට. මං පාලමට වැටුනොත් දාන්නෙ මෙි පොයින්ට් එකට විතරයි. හමුදාවෙ ඒ දවස්වල තිබුනු එක කරදරයක් තමා සමලිංගික කේස් එක. සිගරට් බීල බීල තාර පටිවගේ කලුවුනු තොල් ගිනි අවුවට කරවෙලා අව පැහැ ගැහිච්ච හම ඒ ක්‍රියාවට ඇබ්බැහිවුනු සමහරුන්ට පස්නයක් වුනේ නෑ. "කොයි ගෑණිත් කලුවරට එකයි" කියන්නැහෙ එවුන්දැලට කොයි කොල්ලත් කලුවරට එකයි කියල තමා කිව්වෙ. තව කෝපල්ලා කියන දෙයක් තමා "අලි කෙඳිත් කෙලවලට නැමෙනව කොල්ලො"  කියන එක. ඔය පාලම් පොයින්ට් එකේ මැද බංකරේ තියෙන්නෙ පාලම උඩ. එතන දඩ සයිස් කොහොඹ ගහකුත් තියෙනවා. අපි රෑට රෙස්ට් කරන්නෙ ඔය කොහොඹ ගහ යට. යටින් කලපුව. පාලම මැද්දට වැටිල තිබුනෙ ලොකු කොහොඹ අත්තක්. මෙි පාලමෙි ඇන්ද නෑ. තිබුනෙ නටබුන් වෙච්චි කණු දෙක තුනක් විතරයි. දවල් තිස්සෙ කරත්ත වල යන හරක් ගොම ගහල ගහල පිදුරුත් එක්ක කලවම් වෙලා තලි තලි වැටිල තැන තැන තිබුනට රෑ අටට විතර උදැල්ල අරන් ඒවා අයින් කරලා අතුගාලා ග්‍රවුන්ඩ් ෂීට් එක එලාගෙන නිදාගන්න පුලුවන් තරමට අපි හදාගන්නවා. එක දවසක් ඔහොම ඉද්දි රෑ දොලහට ඔිෆ් වෙච්චි ලා/කෝ සුනිල් ප්‍රේමතිලක නිදාගන්න ඇවිත් කිහිප වරක්ම ඒ වෙද්දි නිදාගෙන හිටපු මගේ කකුල් අතගාන්න ගත්තම දෙපාරක් හොඳින්ම කිව්වා. ඒත් ආරච්චිගේ තරම දැනගෙනත් පොරට එපා කියද්දි එපා කියන දේම කලේ පොරගෙ ලොකු අවාසනාවකට. පොප්පිගල පැත්තට ඔලුව දාල පාලම උඩ නිදාගෙන හිටපු මට වමෙන් තමා පොර නිදාගෙන හිටියෙ. ඒ ඉන්න ගමන් තමා පොර මෙි ක්‍රියාවලිය කරන්නෙ. ලොව පවිටු දනන්ගේ නොහොබිනා ක්‍රියා කවදාවත් නොරිස්සපු මම, හීන් සැරේ තව ටිකක් ඉහලට ඇදිලා හදිසි අවස්ථාවකට දෙපා වලට හයිය ගත හැකි ආකාරයට ඉරියව්ව හදාගත්තා.  ඒ වෙද්දිත් නින්දෙන් වගේ ඉඳගෙන කකුල අතගාන පොරට ජීවිතේටම අමතක නොවන පාඩමක් ඉගැන්වුවා. එක පාරටම නිදාගෙනම කකුල් දෙකටම උපරිම හයිය ගත්තු මම කකුල් දෙකෙන්ම පොරගෙ ඇලපත දිහාට දමල ඇන්නෙ උපරිම වෙිගයෙන්. නොසිතූ වෙලාවක, නොසිතු විදිහට එල්ලවූ පා පහරෙන් පොර ඉන්දවුනා. ඒත් හිතට මදි. මාත් ඉඳගත්තා. ඊලඟට, ඉඳගෙන හිටපු පොරට,  මාත් ඉඳගෙනම දෙවෙනි ප්‍රහාරය එල්ල කලා. ඒ පාරෙන් කැළඹුනු පොර වට දෙකක් කැරකිලා ගිහින් නැවතුනේ පාලමෙන් අඩි විස්සක් විතර පහලින් තිබුනු කලපුවට "ජබ්බෝස්ස්ස්" ගාගෙන  ඇදගෙන වැටිලා. මම මුකුත් නොදන්නා වාගෙ බෙඩ් ශිටී එක ආයෙ ඔලුවෙ ඉඳල පොරෝගත්තා. කලපු දියේ යමක් තදින් ගැටෙන සද්දෙ ඇහිච්චි සැරයන් ලයනල්, කෝප්‍රල් අධිකාරි සහ සෙන්ට්‍රි හිටපු කුමාරසිංහ දුවගෙන එද්දි එකෙක් කලපුවෙි සැඩ පාරෙ පොර බදනවා. මහ පාන්දර දොළහට විතර කලපුවට වැටිච්චි පොර සැඩ පාරටත් අහුවෙලා, ගහගෙනත් ගිහින් මීටර් සීයක් විතර දුරකින් තමා ගොඩ බිමට එන්නෙ. වුනේ මොකද්ද ඇහුවම පොරනං කිව්වෙ නින්දෙන් වැටුනා කියලා. ඒත් ඒ වෙද්දි මගේ ප්ලැටූන් සාජන්ට මං සීන් එක කියල ඉවරයි. දඬුවම ලැබුනු හිංද වෙන මුකුත් දඬුවම් දෙන්න ගියේ නෑ. ඒත් මාව ආයෙ කවදාවත් ඒ පොයින්ට් එකට දැම්මෙ නෑ. 


 ඔය සීන් එක  හිංදා තමා මාව  ඉස්සරහම පොයින්ට් එකට දාන්නෙ. බැරිවෙලාවක්වත් ආයෙ පීනන්න බැරි එකෙක්වත් වැටුනොත් එහෙම කියල සාජන්ට බියක් දැනෙන්න ඇති. 


ඉස්සරහම පොයින්ට් එකේ රාජකාරි ටිකක් අමාරුයි. රෝඩ් බ්ලොක් එකක් විදියට පැවැත්වෙන මෙි පොයින්ට් එකේ ඉද්දි සමහර දාට උදේට කන්නවත් වෙලාවක් නෑ. ඒ තොප්පිගල තාරාවිකුලම් පැත්තෙ ඉඳන් එන වී ට්‍රැක්ටර්, කරත්ත සහ නගරෙට බඩු ගන්න එන මිනිස්සු පරීක්ෂා කලයුතු නිසා. නමුත් ඒ අප්‍රේල් 14 වැනිදා මෙතන එච්චර කලබලයක් තිබුනෙ නෑ. අවුරුදු සමරන්නෙ අපි විතරක් නෙමෙිනෙ. දෙමළ අයටත් අවුරුදු නිසා සෙනග පැමිණීමෙි පැහැදිලි අඩුවක් තිබුනා. ඉඳහිට එක්කෙනෙක් දෙන්නෙක් ගියා ඇරෙන්න වෙන කව්රුත් ආවෙ නෑ. මෙි වෙද්දි නැගෙනහිර නායකයා හිටපු කරුණාත් නැවත උතුරේ ඉඳන් නැගෙනහිරට ආපු දවස්. එහෙම උනාම අපිට ටිකක් රාජකාරි අමාරුයි. කොතන කොයි වෙලේ අපිට ප්‍රහාරයක් එල්ල වෙයිද කියල අපි දන්නෑ. කෝකටත් ඒ හැම දේකටමත් අපි සූදානමින් හිටියෙ. 


ඔහොම ඉද්දි අපිට සැරයන් ලයනල් කිව්වා සෙනගත් එන්නැති එකේ රෝඩ් බ්ලොක් එක වහලා දාන්න කියලා. අපිත් වැහුවා. වහලා පොයින්ට් එක මැද්දෙ හදල තිබුනු සමර්හට් එකේ  ඉඳගෙන  කට්ටිය එක්ක හීනි කයියක් දාගෙන හිටියෙ. ඒ ඉද්දි අපි දැක්කා ඈතින් කරත්තයක් එනවා. නාකි ගොනෙක් බැඳපු ඒ කරත්තෙ මුල්වරට දැක්ක තැන ඉඳලා අපි ඉන්න තැනට එන්න පැයක්නම් ගියා. අපිත් බයිනෝ කියුලර් එකෙන් සැරෙන් සැරේ බල බල හිටියෙ. කරත්තෙ බඩුත් මුකුත් පේන්න නොතිබුනු නිසා අපිත් රිලැක්ස් එකේ හිටියෙ. 


කරත්තෙ ආවා. ඇවිත් අපි පාර වැහුව තැන ඉඳන් කරත්තෙ දක්කන් ආව මනුස්සයා හයියෙන් "සර් සර්" කියල කතා කලා. අපේ පොයින්ට් එකේ හිටපු සීනියර් කෝප්‍රල් සමග තව කෙනෙක් කරත්තෙ ලඟට ගියා. ගිහින් මොනවා හරි කතා කලා. ඉන් පස්සෙ මොකද්දෝ පෙට්ටියක් උස්සගෙන ආවා. අපිත් බලා හිටියෙ ඒ අරන් ආවෙ මොකද්ද කියලා. පරිස්සමින් පෙට්ටිය ඇරල බැලුවම ඒකෙ තිබුනෙ කිරිබත්,තල් වලින් හදපු රස කැවිලි වගයක්, තව නමක් දන්නැති කෑමක් සහ ඇඹුල් කෙසෙල් ඇවරි දෙකක්. ඒකෙ රසකැවිලි වර්ග කිහිපයක්ම තිබුනා. ඊට පස්සෙ එතන හිටපු සැරයන් සෙට් එකෙන් ඔිසිට කතා කරලා ඇහුවා එල්ටිටීඊ එකෙන් කැවිලි පෙට්ටියක් එවලා තියෙනවා, මොකද කරන්නෙ කියලා. ඒක එවලා තිබුනෙ උන්ගෙ කඳවුරකින්. අපිට දෙන්න කියල දීල තියෙන්නෙ උන්ගෙ පුඩිපංචිකල් රෝඩ් බ්ලොක් එකෙන්. සැරයන් එහෙම ඇහුවම අපිට අණ ලැබුනා "ඒ කිසිවක් කන්න එපා" කියලා. අපි කෑවෙත් නෑ. ඒ වෙද්දි අපිත් කඳවුරේ අපිට පුලුවන් විදියට කැවිලි හදලා තිබුනෙ. කැවුම් කොකිස් කිරිබත් හැදුවෙ අපේ කුක් පේමරත්න. ඊට කලින් දවසෙ පතරංග දොදොල් වඩියක් හැඳිගෑවෙ අපි ඔක්කෝම එකතු වෙලා. හැලප, කැවුම්, වැලිතලප පවා අපි හදල තිබුනෙ. කොකිස් හැදුවෙ මෝටාර් එකක ටෙිල් එකකින්. අපි 13වැනිදා ඔය ඔක්කොම ඉවර කරලා තමා පාලම් පොයින්ට් එකට ආවෙ. අපේ මුලස්ථානෙනුත් අපිට කැවිලි එවලා තිබුනා, පස්සෙ ඔිසීගෙ අදහස අනුව අපිත් හොඳ කැවිලි පෙට්ටියක් හැදුවා. හදලා පාලමට එව්වට පස්සෙ ආව පුට් සයිකල් කාරයෙකුට ඒක දීල දෙන්න ඔින තැනත් කියල යැව්වා. කෑවද නැද්දනං දන්නෑ. අපි යුතුකමක් වශයෙන් යැව්වා. හැබැයි ඒ අවුරුදු සතියෙම ගෙවිල ගියේ ඉතාමත් නිහඬව. වෙඩි සද්දයක්වත් ඇහුනෙ නෑ. 


ඒ 1999.04.13 දා. එවකට මම ඊ කණ්ඩායම යටතේ කාවත්තමුනේ පොයින්ට් එකේ හිටියෙ. ඒත් සිංහල අවුරුද්ද. පරන අවුරුදු දවසෙ උදේ පාන්දර අපි ඇම්බුෂ් එක ගිහින් වටෙිම ක්ලියර් කරගෙන පොයින්ට් එක ඇතුලට ආවෙ උදේ හයට හයහමාරට විතර. නමුත් එදාම උදේ අට වෙද්දි අපි හිටපු නව දෙනාගෙන් ඉතුරුවුනේ මමත්,ජයසිංහ නොහොත් පූවත්, තව එකෙකුත් විතරයි. ඒකත් පෙර කරපු පිනකින් බෙිරුනේ. ඒ කතාව මං කලින් කියල තියෙනව. ඒ පිනත් එතනදිම ඉවර වෙනවා රයිඩර් ටීම් එකේ ලාකෝ රණසිංහ කඩාගෙන බිඳගෙන ඇවිත් අපිට එකතුවුනේ නැත්තං. ඉතුරු වෙච්චි මාවත් ජයසිංහවත් ඉවරයක් කරන්න  තාප්පයක් බිමටම සමතලා වෙනකං එක දිගටම උං ආරූල් බෝම්බ ගැහුවා. අපි දෙන්නා අන්ත අසරන තත්වෙකට පත්වෙලා ඉද්දි  කෝපල් රණසිංහ නාවානම් මොනවායින් මොනවා වෙයිද කියල දන්නෙ උඩ හිටපු දෙවියො විතරයි. දුවන එක නං ලේ වල තියා මයිල් ගහකවත් තිබුනෙ නෑ. නව දෙනෙක් හිටපු ඒ රැකසිට පහරදීමෙි කණ්ඩයේ එදා නිවාඩු යන්න හිටපු, පෙළ භාර කෝප්‍රල් වුනු කෝප්‍රල් සමන් කුමාර, ලාකෝ චමිල් රෝහනත්,ලාකෝ ජයරත්න,සාසෙ සමරසිංහ , අංගම්මන,දිසානායක, යන අය එදා සදහටම අපව අතෑරල දාල ගියා. ඒත් සිංහල අවුරුදු දාකමයි. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.08.03

4 comments:

  1. නින්දට යන්න කලියෙන් මේ සුරංගෙයා...
    මෙව්වා ඇවිත් කියවාලා යන්ට ගියා....

    ReplyDelete
  2. "අලි කෙඳිත් කෙලවලට නැමෙනව"
    තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සිරාවටම දන්නැද්ද?? ඔයා පිරිමි කෙනෙක් කියල හිතාගෙන කියන්නං. කලවා වල සහ කකුල්වල තියෙන මයිල් වලට තමා ඒ කියනනෙ. ඒකෙන් අදහස කරන්නෙ "කොච්චර මවිල් තිබ්බත් අපිට ගේමක් නෑ " කියන එක

      Delete
    2. එහෙමත් එකක්ද? දැනන් හිටියෙ නෑ.

      Delete