Wednesday, December 30, 2020

කුරුණෑගල 06

 කුරුණෑගල 06


පෙමාගෙ කතාව කලින්ම කියන්න හිතුනෙ ගොඩක් දෙනෙක් ඒ ගැන අහපු හිංද.


මට කුරුණෑගලින් යන්න සිදුවුනා. මාත් පෙමාත් තව දෙතුන් දෙනෙකුත් කුරුණෑගල ජීවිතයෙන් මිදී නැවත උඩහ ගියා. ඒ මාවිල්ආරු සහ නැගෙනහිර ත්‍රස්තවාදයෙන් මුදාගැනීමෙි මානුෂීය ක්‍රියාන්විතයට. මගේ තැලිච්චි ට්‍රන්ක පෙට්ටියත් තඩි බෑගයත් ත්‍රිකුණාමලේ යන බස් එකක ඩිකියට දාල "මෙතනින් එහාට මක් වෙයිද?" කියල හිත හිත තමා කල්ලාර් සෝමපුර බලා ගියේ. ගෙදරින් හෙන බරබරේ. යන්නම එපා කියනවා. ඒත් නොගිහින් ඉන්න බෑ. මෙික හමුදාවනෙ. යුද්දෙට බයනං හමුදාවට යන්නෑනෙ.


මං ගෙදරින් යන්න ලෑස්තිවෙලා බඩුත් අරං ගෙයින් එළියට බහිද්දි වයිෆ් ආයෙ දුවගෙන ඇවිත් මාව බදාගත්තා. ඇස්වල කඳුලු පිරිලා. මං කලින් උඩහ ඉද්දිත් එයා ඔහොමයි. ඉකි ගගහ ඇඬුවෙ නැතිවුනත් ගොඩාක් බර දුකක් ඒ පපුවෙ තියෙනවා. විහිලු කරනවා රණ්ඩු වෙනවා තමා. එහෙම නැත්තං ආතල් එකක් නෑ ජීවිතේ. අපි දෙන්නා කොච්චර රණ්ඩු වුනත් වැරදි මූලය එන්නෙ මගේ අතට. අතපයයි කටයි නිකන් තියන් ඉන්න බැරුවට දාන කේස් වලට එයා පලිනෑ කියල දන්නවා. ඒත් ඒකෙ වෙිදනා සහගත පැත්තකුත් තියෙනවා. නිවාඩුවක් ඇවිත් ගියාට පස්සෙ මාස දෙකක් විතර යනකං ඒ ගතකරපු දවස් කීපයේ තමා අපි ජීවත් වෙන්නෙ. ඒවා යාළුවොත් එක්ක කිය කිය හිනාවෙන කොට හිතට චුට්ටක් විතර සතුටක් ගලා එනවා. අළුතෙන් අහන කතාවලට යාලුවො හිනාවුනාට මම හිනාවෙන්නෙ ගොඩක් වෙලාවට බොරුවට. ඇත්තටම පපුවෙ වෙන්වීමෙි දුක තියාගෙන ඇත්තට හිනාවෙන්න බෑ. කඳවුරට ඇවිත් සතියක් දෙකක් යනකං මතක් වෙන්නෙ ගෙදරමයි. හෙට උදේ මං කඳවුරට යන්නෙ කියල වයිෆ්ගෙ උගුර බැරැන්ඩි වෙන්නෙ කලින් දවසෙ රෑ ඉඳන්. හරියට කතා කරගන්නවත් බෑ. රෑට නිදාගන්න ගියාමත් පැය ගානක් උරහිසේ ඔලුව තියාගෙන ඈනුම් ඇර ඇර මගේ ඔලුව අතගාන එයාව දැක්කම ගොඩක් පව් හිතෙනවා. නින්දකුත් නිදියලා ඇහැරෙනකොටත් සමහර දාට තාම එයා මගේ ඔලුව අතගානවා. එහෙම තමා අපේ ජීවිතේ අවුරුදු විසිදෙකක්ම ගෙවිල ගියේ. ගෙයින් එලියට බහිනකොටත් ආයෙ දුවගෙන ඇවිත් බදාගෙන "බුදු සරණයි,පරිස්සමින් ගිහින් එන්න" කියද්දිත් මහා දුකක් තමා දැනෙන්නෙ. කොච්චරවත් පරිස්සමින් ගිහින් එන්න කිව්වට පරිස්සමින් එන විදිය දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි. ඒ කොහොම එයිද කියලා. සෙබළෙකුගේ ජීවිතේ හැටි එහෙම තමා. 


සෙබළ බිරිඳක් කියන්නෙ ජීවිතේ අපමණ කැපකිරීම් කරපු චරිතයක්. ඒක අත්දුටුවෙ මගේ බිරිඳගෙන්. හැම රණවිරු බිරිඳක්ම එහෙමයි. කලාතුරකින් එ⁣ක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මඩෙි හිටෝපු ඉන්න වගේ. අපේ හිටියා නිමල් ප්‍රේමසිරි කියල පළවෙනි බැච් එකේ කොල්ලෙක්. අවුරුද්දක් වයස සුදු බොල්යක් වගේ චූටි කෙලි පොඩ්ඩක් එක්ක නිමල් ප්‍රේමසිරිව අතෑරලා වෙන මනුස්සයෙක් එක්ක ගියා. මෙයාගෙ අම්ම නෑ. වයිෆ්ගෙ තාත්ත නෑ. අන්තිමෙිට මෙි චූටි දුවව බලාගත්තෙ වයිෆ්ගෙ අම්මා. අවුරුද්දක් විතර කිට්ටු වෙද්දි  කොළඹ නුවර පාරෙ පස්යාලෙදි කහඉර මැද්දෙ අම්ම වාහනේක හැප්පිල මැරුනා. ඒ අවසන් වැඩ කටයුතු වලට අපිත් ගියා. ඒවා ඔක්කොම අවසන් වුනාම සානුකම්පිත හේතූන් මත නිමල් ප්‍රේමසිරි ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලුවා පනාගොඩට. ඒ දුවව බලාගන්න. අවාසනාව කියන එක පාත් වෙන්නෙ අපිට කිය කිය නෙමෙි. ට්‍රාන්ස්ෆර් එක අනුමත වෙලා එන්නත් කලින් නිමල් ප්‍රේමසිරි ජීවිතයට සමුදුන්නා. ඒ කල්මාඩු රණ භූමියේදී. අපි මැරුනට වඩා දුකක් වෙිදනාවක් එදා අපිට දැනුනා. හොඳම හරිය ඒක නෙමෙි. ඒ වෙද්දිත් දික්කසාද නොවී සිටීම හේතුවෙන් මෙයාගෙ සියළු වන්දි මුදල් හමුදා ක්‍රමය අනුව හිමිවෙන්නෙ බිරිඳට. ලැජ්ජාවක්  කියන එක තණපුඩුවකත් නොතිබුනු මෙවුන්දෑ ෆියුනරල් එක අවසන් කරන්නත් කලින් අපෙන් ගේම ඉල්ලුවෙ වන්දි මුදල් ඉල්ලල. ඒ දවස්වල අපිට ඔිවාගැන එච්චර අවබෝධයක් නැතිවුනත් වෙන දේවල් ගැන බලාගෙන ඉඳලා ඉගෙන ගැනීමෙි හැකියාවක් හොඳට තිබුනා. මෙි වෙද්දි සම්පූර්ණම සීන් එක සීඔි දැනගෙන හිටියෙ. එයා කීයටවත් කැමතිවුනේ නැහැ දරුවයි මිනිහයි දාල අයාලෙ ගියපු මෙවුන්දෑට වන්දියවත් වැටුපවත් දෙන්න. ඒක සෑහෙන කල් ඇදි ඇදි තිබිල අන්තිමෙි ලඟම ඥාතියා වශයෙන් නිමල් පේමසිරිගේ තාත්තා නිමල්ගෙ දුවව නම්කලා. ඒ සියලු හිමිකමක්ම අන්තිමෙි නිමල්ගෙ දුවට ලැබුනා. (තාත්තා ගන්න කැමති වෙලා නෑ) ඒක වෙච්චි සහ කරපු විදියනම් දන්නෑ, කොහොමහරි වැඩෙි සිද්දවුනේ ඒ ආකාරයට. අන්තිමෙි මෙි ගෑනි දුවව ඉල්ලල නඩු දැම්මා. ඒ සේරමවුනේ එකට ජීවත්වෙන මිනිහ මාර්ගයෙන්. උසාවියේදි වෙච්චි දේවල් නම් දන්නෑ. අපේ රෙජිමෙින්තුවෙ සිරිතක් වශයෙන් අද දක්වාමත් සෑම අවුරුද්දකම ඔක්තෝම්බර් 10 වෙනිදට මියගිය අයගේ ලඟම ඥාතින් ගෙන්නල පවතින ගැටළු පිළිබඳ හොයා බලනවා. මම සැරයන් නිළයේ ඉද්දි මෙි එක උත්සවයකට සහභාගිවෙන්න අවස්ථාවක් ලැබුනා. ඒ මණ්ඩල සාමාජිකයෙක් විදියට. එදා දැකල හුරු පුරුදු ගතියෙන් නිමල්ගේ තාත්තා අඳුරගෙන විස්තරේ ඇහුවම කිව්වෙ උසාවියෙන් නිමල්ගේ නංගිට දුවගේ අයිතිය පැවරුනා කියලා. ඒක වෙච්චි විදියත් මම දන්නෑ. ඒත් එහෙම වෙලා තිබුනා. එහෙම බිරින්දෑවරුත් ඉන්නවා. 


2004 සුනාමිය දවසෙ මම හිටියෙ කල්කුඩා කඳවුරේ. මගේ පුද්ගලික අවියෙ ඉඳන් අඳින්න තිබ්බ වස්තරේ පවා මුහුදට ගහගෙන ගියා. අපි දුවල බෙිරුනේ. ට්‍රෙිනින් එකකදීවත් එහෙම දුවල නෑ. පුදුම දිවිල්ලක් දිව්වෙ. ඒ දුවන අපිව නවත්තගත්තෙ පාලම් පොයින්ට් එකෙන්. නැත්තං තාම දුවනවා. මගේ බිරිඳ දැනගෙන හිටියා මං කල්කුඩා ඉන්නෙ කියල. ඒ දවස්වල කොඩැක් පිලුම් රෝල් දාන 135 කැමරාවකින් ගහපු පොටෝ පවා ගෙදර ගෙනිහින් තිබුනෙ. එදා මගේ බිරිඳ පොලිසියට ගිහින් විස්තර අහන්න. ඒත් පොලිසියත් අසරණයි. දුරකතන සම්බන්ධතාවයන් බිඳවැටිල තිබුනෙ. එයාට පෙලෙිසියෙන් හරි විස්තරයක් නොලැබුන පාර මෙිං මෙවුන්දැයි අපේ අම්මයි පහුවදා වාලච්චෙනෙ රෝඩ් බ්ලොක් එකට ඇවිත්. බොහොම අමාරුවෙන් ආපහු යවාගත්තෙ. අම්මටයි එයාටයි සතුටෙන් ඉන්නෙ කියල පේන්න  පැය ගානක් බොරුවට හිනාවෙන්නත් වුනා. එහෙම අයත් ඉන්නවා. 


එදා මං යද්දි මාවිල්ආරු ක්‍රියාන්ව්තය පටන් අරන් දවස් කිහිපයක් වෙනවා. කඳවුරට පය තියනකොටත් මං දැක්කෙ ඉටිකොල වල ඔතලා අනුරාධපුරේට අරං යන්න එම්අයි 17 හෙලිකොප්ටරය එනකම් ගොඩ ගහල තිබුනු අපේ කොල්ලන්ගෙ මළ සිරුරු. තුවාල වෙච්චි කීප දෙනෙකුත් ඒ අතර හිටියා. බරපතල විදියටම තුවාල නොවෙච්චි අයවුනත් ඒ මූනුවල තිබුනු අසරණභාවය, වෙිදනාව, දුක කියන එක මං හොඳට දැක්කා. හෙට මාත් ඔය පෝලිමෙිද දන්නෑ.  මගෙත් අනාගතය, හෙට දවස කොහොම තීරණය වෙයිද?. 


මං කෑම්ප් එකට යනකොට හවස පහමාරට විතර ඇති. ඒ ගිය ගමන්ම බඩුටික බිලට් එකට දාල ඔෆීස් එකට ගිහින් ගමන් නියෝගය දීල ආයෙ බිලට් එකට ආවෙ එක තැනක විනාඩියක්වත් ගත කරන් නැතුව. මට මෙික අලුත් කඳවුරක් නිසා ගොඩක් අය මෙහෙ තත්ත්වෙත්, හැසිරෙන්න ඔින විදියත් ගැන උපදෙස් ගොඩක් දුන්නා. ඇත්තම කතාව මාත් ටිකක් බයවෙලා වගේ හිටියෙ. ඒ එදා එහෙ තිබුනු වාතාවරණය නිසා. හදිසියෙ දුවන්න වුනොත් දුවන්න තැනක්වත් මං දැනන් හිටියෙ නෑ. අඩුගානෙ බංකරයක් තියෙන තැනක්වත්. මල්ටි බැරල් රොකට් ලෝන්චර්  (MBRL GUN VEHICLE )එකත් තිබුනෙ අපේ බිලට් එකට ටිකක් එහා පැත්තෙ. මෙි වෙද්දි මාවිල්ආරු සොරොව්වට අපේ කට්ටිය හොඳටම ලංවෙලා තිබුනෙ. හිතේ දුකත් බඩගින්නත් ගමන් වෙහෙසත් නිසා හෙම්බත් වෙලා හිටපු මම රෑ තව කීපදෙනෙකුත් එක්ක ගියා කෑමට. මෙික ටෝච් එලියක්වත් පත්තු නොකර යන ගමනක්. කට්ට කරුවලේ මෙස් එකට ගිහින් ලන්තෑරුම් එලියෙන් කාලා, ඔෆීස් එක කිට්ටුවෙන් තියෙන පාරේ බිලට් එකට එන්න හම්බවුනේ නෑ, මෝටාර් වැස්සක් පතිතවුනා. උන්ගෙ පලවෙනි මොටාර් එක පිකප් වෙද්දිම සීසීකඩ දුවපු අපිට ඒක බිමට වැටිල පුපුරල යනකම් බංකරේකට පැන ගන්න ලැබුනෙ නෑ.අපේ ජීවිත හොයාගෙන  "සලස් සලස් කූංං" ගාල හුලන් කපාගෙන  එන සද්දෙට බංකරේකට පැනගන්න නොහැකිවුනු අපි මහ පොලව බදාගෙන පස්කාගෙන ඔලුවත් අත් දෙකෙන් වහගෙන බිම දිගාවුනා. අපි කකා හිටපු ආසන්නයේම වැටිලා පුපුරල ගියපු මෝටාරයේ කෑලි සර සර සර හඬින් ඉලක්ක හොයාගෙන සීසීකඩ විසිර යද්දි ඇඟේ ලේ වතුර නොවුනාම නෙමෙයි. ඒ අස්සෙ කිට්ටුව බංකරේක ඉඳන් කොල්ලෙක් කෑ ගහනවා ,මෙහාට එන්ඩෝ..මෙහාට එන්ඩෝ..දුවල එන්ඩෝ කියල. මාත් දඩ බඩ ගාල නැගිට්ටෙ බංකර් තියෙන තැන දන්න එකෙක් පස්සෙන්ම දුවල ගිහින් ඒ එකකට පැන ගන්න. අපි නැගිටින්න හදද්දිත් මෝටාර් වැටෙනවා. මෙතන හිටියොත් කොහොමත් අතුරුපස චීනච්චට්ටි කෑල්ලකින් හම්බ වෙන හිංදා මොටාර් වැටෙද්දිම කෑ ගහල අඬ ගහන පැත්තට අපි දෙතුන් දෙනෙක් දිව්වා. කරුමෙ පෙන්ස්. කලබලේට කොරොස් කටෙත් අත දාන්න බෑ කියනවනෙ. මං නැගිටල හැරිල පැයට කිලෝමීටර් හැටපන්දාහක විතර පිකප් එකක් ගත්තා විතරයි  තඩි ගහක හැප්පිලා ආයෙ විසිවෙලා ගිහින් උඩුබැලි අතට වැටුනා. ඒකනං ආටි පාරක් කෑවට වඩා රිදුනා. ආයෙ මට ඔලුව උස්සන්න බැරිවුනා. ලඟ ලඟින්ම මෝටාර් වැටෙන්න පටන් ගත්තු නිසා වැටිච්චි තැන ගහටම මුවාවෙලා බිම බදාගත්තා. ඒ ගහ තඩි කොහොඹ ගහක් පෙන්ස්. කරුවලේ ගහ ඇඳිනුවෙ නැතිවුනත් මං ඒක දැනගත්තෙ රසෙන්.  තිත්ත දැනුනෙ කොහොමද කියල අහන්න ඔට්ටු නෑ . ඒව කියන්න තරම් උචිත නෑ ඒකයි. 


එහෙම එක විදියටම මෝටාර් දෙක තුනක් වැටිල පුපුරල යනකං මං කලේ බංකරේට ඉලක්කෙ අල්ලපු එක. මට පිටිපස්සෙන් තිබුනෙ ටොයිලට් එකක්. ඒකෙ වහලෙටත් තේක්ක කොට කිහිපයක් දාල තිබුනෙ. කොට දාල තිබුන කියල දැක්කෙ පහුවදා උදේ. ඒක ඇතුලෙත් කව්රුහරි ඉන්නව කියල මට දැනුනා. උන් මෝටාර් ගන් කිහිපයකින් තමා අපිට පහර එල්ල කරමින් හිටියෙ. මොටාර් එක දෙක වැටෙන කොට අපේ ආටි ගන් වලටත් පන ඇවිත් පලාතම දෙදරුම් කවාගෙන උන්ගෙ ඉලක්ක හොයාගෙන යන්න පටන් අරන් තිබුනෙ. ඒත් මල්ටිය තාම පිකප් වුනේ නෑ. 


ඒ වෙද්දි ලයින් එකේ ඉස්සරහත් සටනක් ඇවිලෙන්න පටන් ගත්තා. ඒ අපේ ලයින් එකට ගහල ඉවරවෙනකං ආධාරක භඨ පිරිස් එන එක සහ මල්ටිය කාලතුවක්කු ටික මොහොතකට නිහඬ කරන්න උපක්‍රමයක් විදියට තමා උන් මෝටාර් ගහන්න පටන් ගත්තෙ. මාත් ගහේ හැප්පිලා හැදිච්චි කැරකිල්ල මඳක් අඩුවෙන කොටම බංකරේ ඇතුලට පැනගත්තා. මං හොල්මන් වෙච්චි පාර කියන්නෙ ඒ පැනලත් බිම දිගාවෙලා තමා හිටියෙ. මූනෙන් ලේ එනව හෝ ගාලා. උඩ ඇවරියේ දතකුත් බුරුල් වෙලාද මන්දා. උරහිසත් හොල්ලන්න බෑ. කකුලකුත් මොනාද වෙලා. බංකරේට වෙලා ඒ වෙිදනාව අඩු වෙනකං මං බිම නිදාගෙන කෙඳිරි ගග ගගා හිටියෙ. ඒත් උන් මෝටාර් ගහන එක ඉවර නෑ. ඊට පස්සෙ තමා අපේ මල් වෙඩි සංදර්ශනේ පටන් ගත්තේ. ඒ "ඩාං හුචාස්  චෝස් - ඩාං හුචාස් චෝස්"  ගාල පිකප් වෙන මල්ටි බැරල් පාර. යුද්දෙ කොච්චර කැතවුනත් රෑට මල්ටි ගහනකොට මාර ලස්සනයි. ඒව ගහන්න ගත්තු ගමන් රිදෙන ඒවා පැත්තකින් තියල මං ඔලුව ඉස්සුවා. ඒ ඔලුව උස්සපු පාර මල්ටි එලි පාරෙන්ද මංදා කොල්ලෙක් දැකල මගේ මූනෙන් ලේ එනවා. උන් අර ආටි මෝටාර් වැටෙන අස්සෙ මාව එම්ඩීඑස් එකට අරන් යන්න හදනවා. ඒ මට මෝටාර් කෑලි වැදිල කියල හිතල. හැබැයි මෝටාර් වැදුනට වැඩිය හපන් මෙික. උඩ හොස්ස පුපුරල මට දැනෙන්නෙ ඒක අඩියක් විතර ඉස්සරහට දික්වෙලා කියල. කොහොමහරි මං වෙච්චි දේ කියල වෙිදනාව ඉවසගෙන හිටියා. 


ටික වෙලාවක් යද්දි අපි හිටපු තැනට මීටර් කිහිපයක් ඉස්සරහ තිබුනු ටොයිලට් එක වහලෙ උඩටම මෝටාරයක් පතිත වුනා. අපි කෑ ගැහුවෙ නෑ. කෑ ගැස්සුනා. ඒත් වෙන්න ඔිනදේ වෙලා ඉවරයි. පව් අහිංසක ජීවිත. කට්ටිය පැනල පැනල ඒකෙ ඇතුලෙ හිටපු අය ටික ඇතුලට ඇදල ගත්තත් දෙන්නෙක් සල්ලඩයක් වෙලා තිබ්බා. ඒක තමා සෙබළෙකුට උරුම ජීවිතේ. 


 අපේ කෑම්ප් එක ඉස්සරහම පොඩි ගෙයක් තිබුනා. ඒක කටුමැටි ගෙයක්. ටකරන් හෙවිල්ලල තිබුනෙ. කාමර දෙකයි මුලු ගෙටම. ඒ ගෙදර කොල්ලට අවුරුදු විසිතුනයි. එයත් ආමි. ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙ වව්නියාවෙ තමා රාජකාරි කලා කිව්වෙ. එයා නිවාඩු ඇවිත් හිටියෙ. මෙහෙ නිවාඩු ආවට වැඩක් නෑ. යුධ පිටියකින් තවත් යුධපිටියකට ස්ථාන මාරුවක් වගේ තමා මෙහෙ අය නිවාඩු එනව කියන්නෙ. එදා එයාගෙ නිවාඩුව ඉවරයි. වෙලාව උදේ අටයි තිහට නවයට විතර ඇති. එදත් මෙි වගේම ආටි පාරක් අපිට බඩ කටපුරා හම්බවෙමින් තිබුනෙ. කෑම්ප් එකටත් උඩින් පියාඹා ගියපු ආටියක් ඒ ගේත් කඩාගෙන ඇතුලට වැටිල පුපුරල ඒ අහිංසකයත් ගේ මැද්දෙම මැරිල වැටිල හිටියා. නිවාඩු ඉවරවෙලා යන්න ලෑස්ති වෙලා තාත්තට වැඳල ඉවරවුනා විතරයි කිව්වා. තාත්තත් එක්කම එකට යන්නම ගිහින්. අනිත් ඔක්කොම අය තුවාල වෙලා. ඒ මරණයේ කටයුතුත් අපෙන්ම තමා කලේ. ඇත්තටම රහ කර කර අතීතය හාරා ඇවිස්සුවට මිහිරි මතකයන් වලට වඩා තියෙන්නෙ ගොඩාක් වෙිදනාවෙන් විඳ දරාගත්තු අමිහිරි මතකයන්. පුදුකුඩිඉරුප්පු කිට්ටු කරල විශ්වමඩුවලින් ක්‍රියාන්ව්තය යද්දි මැරුණු සහෝදර සෙබළු දෙදෙනෙකුගේ මළසිරුරු දෙකක් එක්ක  හවස ඉඳන් පුරා රැයක් එළිවෙනකං මම තට්ට තනිවම මහ කැලේ හිටියා. ඒ මාව දාල ගියාට මං ඉන්න තැන හොයාගන්න බැරුව. මගේ තනියට මං දිහා බලාගෙන හිටියෙ අහසෙ තිබුනු තරු විතරයි. අමු ලේ ගඳත් එක්ක, හොල්මන් අවතාර තියෙනවා කියන ආකල්පත් එක්ක,  දැවෙන වෙිදනාවකුත් එක්ක, උන් එක්ක ගතකරපු අතීතය තත්පරයක් ගානෙ මතක්වෙද්දි ඔබට පුලුවන්ද එහෙම ඉන්න. 




ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.30

1 comment:

  1. උබ ලියලා තියෙන දේවල් වලට ඇඩෙනවා.. ලියලා තියෙන විදියට හිනා එනවා... දැන් හිනා වෙවි අඩනවා...

    ReplyDelete