Friday, October 16, 2020

අරනායක නාය යෑම

 ඒ 2016 අවුරුද්ද. මතකනේ අරනායක නාය ගියපු සිද්දිය. අහිංසක මිනිස්සු බරගානක් පන පිටින් වළලා දමමින් ස්වභාව ධර්මයා විසින් අපිට ඉතුරු කරපු ඛෙිදනීය මතකය. ඒ වෙද්දි මං සබරගමුව පලාතේ උසස්ම හමුදා මූලස්ථානයේ සංඥා අංශය භාරව තමා කටයුතු කරමින් හිටියේ.


ඒ දවස් ටික මහ අමුතු විදියට ගෙවී ගියේ. දින ගණනාවක් තිස්සේ සීමාවක් නැතුව ඇදහැළුනු ධාරානිපාත වර්ෂා රැල්ල නිසා අපිත් ටිකක් වික්ෂිප්තභාවයට පත්වෙලා හිටියේ. ඒකට එක් හේතුවක් වුනේ අපේ කඳවුරේත් කොටසක් නාය යෑමෙි තර්ජනයට ලක්ව ඇතැයි කියමින් අපිට ඇවිත් තිබුනු රාජ්‍ය ආයතනවලම ලිපි නිසා. අනෙක  සබරගමුවට වැටෙන මෙි වැසි වටයක් අවසන්වන්නේ ඛේදාන්තයකින් යන්න අපිත් හොඳහැටි දැනගෙන හිටපු නිසා. ඒ වෙද්දි දවස් කීපයක් තිස්සේ පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් බළසේනා මෙිජර් විසින් මට විශේෂ රාජකාරියක් පවරනු ලැබුවා.  ඒ මාතලේ පිහිටි 8වැනි ගජබා රෙජිමෙින්තුව, දියතලාව ස්ථානගත 1 වැනි ගැමුණු හේවා බළඇණිය ඇතුළු සබරගමුවෙි ස්ථානගත සියළුම හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන සමග නිතරම සම්බන්ධතාවය පවත්වා ගනිමින් දවසකට සිව් වතාවක් ඒ ඒ කඳවුරු සහ පොලිස් බලප්‍රදේශ යටතේ ඇති ප්‍රදේශයන් හි වත්මන් තත්වය දැනගෙන ස්ථීර කරගෙන නිතරම ඔහුව දැනුම්වත් කිරීම හා බිඳවැටෙන සංඥා සම්බන්ධතා කෙසේ හෝ කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනිම. ඊට අමතරව ආපදා ඇතිවිය හැකි යැයි අනුමාන කෑගල්ල, දෙහිඔිවිට, වරකාපොල,රුවන්වැල්ල, දැරණියගල, අරනායක,මාවනැල්ල, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය ආදී සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සමග නිතරම සම්බන්ධතාවය පවත්වාගැනීම. කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දෙකේම ආපදා කළමණාකරණ රාජකාරි සහ හදිසි ගලවාගැනීමෙි රාජකාරි ඉටුකිරීම අපිට යුධ හමුදා මූලස්ථානයෙන්ම පවරලයි තිබුනේ. මෙි සිදුවීමට දවස් දෙකකට කලින් දෙහිඔිවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශයක නාය යාමක් හා ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබුනා. ඒ සිදුවීමෙන් කිහිප දෙනෙක් මිය ගිහිනුත් තිබුනා. ඒ වෙද්දි අපේ කණ්ඩායමක් හා කොස්ගම හමුදා කඳවුරෙන් පැමිණි හමුදා කණ්ඩායමක් එහි අවශ්‍ය කටයුතු වල නියැලී  සිටීම නිසා  ඒ පැත්ත වැඩිදුර හෙවීමට මට අවශ්‍ය නොවුනේ ඔවුන් විසින් ඉඳුරාම බළසේනා මෙිජර් සමග සම්බන්ධතාවය පවත්වා ගනිමින් අවශ්‍ය උපදෙස් ලබාගන්නා නිසා.  


මෙිකට වැදගත්ම හේතුව වුනේ යම් හදිසි තත්ත්වයක් යටතේ විපත්තිදායක තත්ත්වයක් කොතැනක හෝ ඇති වුවහොත් තත්පරයක කාලයක්වත් ප්‍රමාද නොවී විපතට පත්වූවන් ගලවා ගැනීම අපේ ප්‍රධාන වගකිමක් වෙලා තිබුනු නිසා. එවකට මාතර ස්ථානගත අපේ ඉහල මූලස්ථානය වූ 58 වන සේනාංකයත් ගංවතුරෙන් යට වෙලා තිබුනු වකවානුවක් නිසා හැම දේකටම එතැන්ටම කරදර කිරීම නුසුදුසු බැවින්, අපගේ බළසේනාධිපතිතුමන් වූ මෑතක මෙිජර් ජෙනරාල් නිළයට උසස්වූ ⁣එවකට බ්‍රිගේඩියර් හත්නාගොඩ තීරණය කර තිබුනේ මෙි වගකීම තමන් දෙඋර මතට ගෙන දිස්ත්‍රික්ක දෙකේ යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් තමන් යටතේ සිටින භඨ පිරිස් ප්‍රමාණයෙන් පමණක් ඒ සඳහා රාජකාරි ඉටුකරවා ගැනීමටයි. නමුත් මෙි සිදුවීම මුලින් සුළු එකක්යැයි අනුමාන කලද රැය උදාවන්නට උදාවන්නට එහි තිබූ බැරෑරුම්කම හා බරපතල ඝනයේ ආපදාවක් බවට පත්වීම මත පිට ප්‍රදේශ වලිනුත් හමුදා සෙබළුන් ගෙන ඒමට මෙහිදී සිදුවුනා. 


මෙි වෙද්දි ඇති සවස තුනට විතර.(දැන් මතක විදියට) සුපුරුදු පරිදි මමත් හවසට නිවෙස් වලට ගිහින් උදේට කඳවුරට එන සහෝදර සෙබළුන්ගෙන් ඒ ඒ ප්‍රදේශවල තත්ත්වයන් විමසීම පුරුද්දක් කරගෙන හිටපු නිසාම අරනායක කිට්ටුව ඉඳන් කඳවුරට එන එදින නිවාඩු හිටපු කෝප්‍රල් කෙනෙක් ඇඟේ මයිල් ඉස්මයිල් වෙන ආරංචියක් පැවසූවා.කරුමෙි කියන්නේ ඒ වෙලාව අපේ දුරකථන ජාලය හා ගුවන්විදුලි යන්ත්‍ර උපරිම බිසී වෙන කාල පරාසයක්. මගේ දුරකතනයේ මිස් කෝල් දා හතක් තිබුනා. මං ඒක වැඩ කරන වෙලාවට සයිලන්ස් දාල තියෙන නිසා ඇමතුම් 17ම මිස්ම වෙලා ගිහින් තිබුනා. පොඩි විවෙිකයක් ලබා ගැනීමෙි අදහසින් වැදගත් ලියුම් ෆැක්ස් කිරිම,ඊ මෙිල් කිරීම හා තත්ත්ව වාර්ථාවන් ලබාගැනීම මා යටතේ සිටි  සාසෙ චමින්ද කුමාරට පැවරූ මම, මොහොතක් ක්‍රියාන්විත මැදිරියෙන් එලියට ඇවිත් දුරකතනය බැලුවා. මිස් කෝල් 17ක්. නාඳුනන නම්බරයක්. මාත් කලබලයෙන්ම ඒ නම්බරයට ආපහු කෝල් එකක් ගත්තා.

* හෙලෝ කව්ද මෙි.

*මං අහවලා, කෝල් වගයක් අරන් තිබුනා.ඒකයි බැලුවෙ. කරුණාකරල කව්ද කියන්න පුලුවන්ද මෙි.

*සර් මං අහවලා. හදිසි පණිවිඩයක් කියන්න ගත්තේ. මං වෙන කාටවත් කියන්න ගියේ නෑ. අපේ එක්කෙනෙක් අද අරනායක අමුතුයි කියල කතාවක් කිව්වා. හරියටම මුකුත් දන්නැති නිසායි කාටවත්ම කිව්වෙ නැත්තෙ කියා එහා පැත්තෙන් පිළිතුරු ලැබුනා. 

මාත් එයාගෙන් සම්පූර්ණ විස්තරේ අහ ගත්තා. අහගෙන කෑගල්ල ආපදා කළමණාකරන ඒකකයට කතාකලා. එතනටත් ගුවන් විදුලි යන්ත්‍රයක් අටවලා දුන්නෙ මම, මාදන සහ චමින්ද කුමාර.ඇන්ටනා දාල වහක් කාල ගස් නැගල තමා ඒකත් හැදුවෙ.

ආපදා කළමණාකරන ඒකකය ඒ වෙද්දි කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ. මාත් මෙික හිතේ තියාගෙන යාලුවට කතා කරල කිව්වා එයාට පනිවිඩෙි කිව්ව කෙනත් එක්ක දිගටම සම්බන්ධතාවය තියාගෙන වරින් වර මට කියන්න කියල. එයත් ඒක සතුටින් භාරගත්තා. 


සවස හතර වෙද්දි ආයෙ කෝල් එකක් ආවා. ඒකෙන් කියවුනේ අරනායක කන්ද (නාය ගියපු කන්ද) සම්පූර්ණයෙන් මීදුමින් වැහිල කන්ද මැද්දෙන් ගලන ඇලත් වෙනස් වෙලා එක එක සද්දත් ඇහෙනවා කියල. මං ඒක ගිහින් හැකි ඉක්මනින්ම බීඑම්ගේ කනේ තිබ්බා. ඒ කියල අපේ ඉන්න කට්ටිය ඔිනෑම අවස්ථාකට උචිත පරිදි සූදානම් කරන්න ඇවැසි නිසා අද ගෙවල්වල යන්නත් එපා කියල ඉන්න ඔක්කෝටම කාර්යාලය ඉදිරියට ඇවිත් පෙළ ගැසෙන්න කියා උපදෙස් නිකුත් කර ඒ සියල්ල කල බැව් බීඑම්ට දැනුම් දෙන්න යන අතර මගදි ආව යාලුවාගේ ඊලඟ ඇමතුමෙන් කියවුනේ අරනායක කන්ද නාය යනව කියල. මෙි කන්දෙ නම වෙන එකක්. ඒ නම අද මට මතක නැහැ.


එතනින් පටන් ගත්තු මෙි ව්‍යායාමය පුරා සති තුනකට ආසන්න කාලයක් ලංකාවෙි වැඩිම පිරිසක් පන පිටින් වැළලුනු අරනායක තමා හිටියෙ. අපිත්, 8වන සිංහ රෙජිමෙින්තුවත් එසැනින් අවශ්‍ය සියලුම දේවල් අරගෙන අරනායක යන්න පිටත්වුනේ ඉතාම සුළු කාලයක් ඇතුලත. ඉස්සරහට එන්නේ රාත්‍රී කාලය. කියන්න ආඩම්බරයි අපේ කොල්ලො අපිම දෙනකම් ඉන්නැතුව තමන්ගේම සල්ලි වලින් ටෝච්, ඒවාට බැටරි,ගෙවල් ලඟ ලඟ අය අවශ්‍ය ආයුධත් එක්රැස් කරගෙන එහෙට යන්නත් ගියා. එතන මට වුනේ මහා ඛේදයක්. හැකි ඉක්මනින් ඒ කිට්ටුව තිබ්බ ඉස්කෝලෙක කුියාන්විත මැදිරියක් පිහිටුවීමටත්, ඉහල සහ පහල මූලස්ථාන හා  ගලවාගැනීමට යන අය සමගත් සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට කුමක් හෝ සැලසුමක් සකස් කරගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස අණ කල බළසේනාධිපතිතුමා අපි යන්නටත් කලින්ම ඒ තැනට ගියා. පාන්දර කිට්ටු වෙනකොට ඉහටත් උඩින් මගේ කර්තෘව්‍ය සම්පූර්ණ කල මා ඉස්සෙල්ලාම කතාකලේ 58සේමු කර්නල් ජීඑස් තුමාට. ඒ, එතුමා මගේ හිටපු කණ්ඩභාර නිළධාරියෙක් වීමත්,මගේම ඒකකයේ වීමත් සහ ⁣පසුදාට තවත් මෙි ක්‍රියාන්විත මැදිරියේ සම්පූර්ණ කලයුතු උපාංග ලබාගැනීමෙි කටයුතු ලේසිකර ගැනීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමත් සඳහා.එතෙක් මෙි වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා දුන්නේ මගේ පුද්ගලික ලැප්ටොප් එක හා වැඩි මුදලක් වැයකර රීලෝඩ් කල මගේම ඩොංගලය හරහායි. පසුව මන්දගාමී ජාලය වෙිගවත් කර ගන්න කියල සහෝදර සෙබළෙකුගේ පුද්ගලික වයිෆයි රවුටරයක් මෙි වෙනුවෙන් පරිත්‍යාග කෙරුනා. මෙි උපාංග හා පහසුකම් හමුදාවෙි ඔින තරම් තිබෙනවා උනත් ඒවා ලැබෙන තෙක් අපි කවදාවත් කොතැනකවත් බලා හිටියේ නෑ. හබකෙන් බැරිනම් කෙමනෙන් හරි වැඩ ගැනීම අඩු සම්පත් ලාභී අපේ හමුදාවෙි අපේ වගකීමක් ලෙසයි අපි නිතරම හිතුවෙි.


එතෙක් විපතට පත්වූවන් බෙිරගන්න ගිය අය සමග සම්බන්ධතාවය පවත්වාගැනීමට මෙතැන තිබුනු සම්පත් ප්‍රමාණවත් වුනා. රෑ දහය එකොලහ වෙද්දි අනෝරා වැස්සේ තෙමි තෙමී අඩුම වශයෙන් රෑ බඩටවත් නොකා පිරිසිදු වතුර පොදක්වත් නැතුව 8 සිංහ ඒකකයේ නිළධාරි සෙසුනිළයින් සහ අපේ බළසේනාවෙි සෙබළුන් කණ්ඩායම් දෙකක් විපතට පත්වූවන් ගලවාගන්න උපරිම උත්සාහයක නිරතවුනා. බෙිරිලා හිටපු අය ඉස්කෝලෙට ගෙනත් දාන කට්ටිය ඒවත් ඉවර කරලා තවත් විපතට පත්වූවන් සොයා බෙිරාගැනීමෙි ක්‍රියාන්විතයට නැවත නැවත එකතුවුනා. අකුණු ගහන වැස්ස,ගලායන වතුර මැද, දණක් එරෙන මඩෙි කූඩැල්ලන් පොදි පොදි වලින් දිගටම බැටකමින් තමන්ගේ ජීවිතත් පරදුවට තියල තවමත් නාය යාමෙි අවදානමක් තියෙන භූමි කොටසට ඇතුල්වෙලා අන්තිම හුස්ම පොද දක්වාත් තමන් කව්රුන් හෝ පැමිණ බෙිරා ගනීවි යන බලාපොරොත්තුවෙන් පන නල අල්ලන් හිටපු මිනිසුන් සොයා ඔවුන් අඟලක් අඟලක් නෑර ඇවිදිමින් සොයමින් ගියා.  කෑ ගැසීමෙන් හා ටෝච් එළි මැද කෙරෙන මෙි ක්‍රියාන්විතයට විදුලිය තිබුනේ නෑ. ඒවා ඇන හිටලා. ළමයෙක් ලැබෙන්න හිටපු කාන්තාවක් මිය ගිහින් හිටපු ආකාරය දැකපු මගේ ඇස් දෙකට කඳුලු ආවෙි හෝ ගාලා.  ඒ දුකනං ඇත්තටම ආයෙ කවදාවත් ලැබෙන්න එපා. 


එසේ විශාල සංඛ්‍යාවක් පහුවදාට එලිවෙද්දි හමුදාවත් ගුවන් හමුදාවෙි හෙලිකොප්ටරයක් විසිනුත් බෙිරාගන තිබුනා. පහුවදා උදේ අට වෙනකොට පස්වලට බාගයක් යටවෙලා හිටපු කීප දෙනෙකුත්, කොටුවෙලා හිටපු ගැබ්බර සුනඛ ධෙිනුවකුත් බෙිරගන්න මෙයාලාට හැකිවුනා. එසේ ඇරඹි මෙි ක්‍රියාන්විතය සති තුනකට ආසන්න කාලයක් පුරාවටත්, අන්තිමෙිදී මිහිදන් වෙච්චි ඒවත්, ඒවගේ ශරීර කොටස් වශයෙනුත් ගෙනත් දැමුවා. ඒ වෙද්දි ඒවා නරක් වෙලා. පළාතම ගඳ. පස්සෙ රජයේ ඉහලම තනතුරකින් මෙික නවත්වන්න කියල අණක් ආවට පස්සෙ තමා නැවතුනේ. 


මෙි සංග්‍රාමය නිසා මට ජීවිතේට අමතක නොවන සංවෙිදී සිදුවීම් කිහිපයක්ම අත්විඳින්න ලැබුනා. එකක් තමයි අර ගැබිනි මව.

එකක් අම්මටම තුරුල්වෙලා පන පිටින් වැළලී ගිය අම්මෙකුගෙයි පුතෙකුගේයි සිරුරු. අවුරුද්දක් එකහමාරක් විතර වයසැති පොඩි එකා අම්මගේ පපුවට පියයුරු මැද්දෙන් ඔළුව තියාගෙන හිටියෙ. අනෙක් කාරණය අපේම සහෝදරයෙකුත් ඒකෙන් මිය ගිහින් අපි නැවතිලා හිටපු ඉස්කෝලෙ ආසන්නයේ තිබුනු කනත්තක පූර්ණ හමුදා ගෞරවය සහිතව මිහිදන් කිරීම. 

තව එකක්, වයසක අම්මෙකුයි තාත්තෙකුයි සුනඛයෙකුයි තමාගේ ඉඩමෙනුත් භාගයක් නාය ගිහින් තිබිලත් මෙහා පැත්තට එන්න බැරුව කොටුවෙලා සාලය මැද ලාම්පුවක් පත්තු කරාගන බලාපොරොත්තුවෙි දෑස් දල්වාගෙන "අපි හමුදාවෙි, කව්ද ඉන්නේ" කියල කෑ ගහල අහද්දිත් "අනේ පුතේ අපි ඉන්නෙ.එන්න විදියක් නෑ" කියලත් එයාලාව පස්සෙ බෙිරගන්න කියල අනෙක් අයගැන බලන්න කිව්ව කතාව. තව එකක් තියෙනව. ඒ තමන්ගෙ දුවගෙ උපන් දිනයට මාස එකහමාරකින් නිවාඩු ආපු අපේ සහෝදර සෙබළෙක්, උපන්දිනය සමරන සුරතල් දියනිය නිසා පවුලම බෙිරිච්චි එක. එදා තමන්ගෙ උපන් දිනේට දුවට බෝනික්කෙක් ගේන්න බැරි වෙච්චි තාත්තා හවස ඒක ගෙනත් දෙන්නම් කියද්දිත් ඒකම ඉල්ලලා "දැන්ම ඔීනෑ" කියල අඬද්දි බෙිරෙන්න බැරි තැන අම්මයි දුවයි අරගන මාවනැල්ලට යන්න එද්දි කන්ද පාමුලදිම තමන්ගේම ගේ දොර ඉඩකඩම් යට කරගෙන මුලු ගමම නාය යාම. ඒ කතාව මට කිව්වෙ එදින හවස වෙන කෙනෙක්. 


වැදගත්ම එක තමා හිටපු තැනත් නාය යාමට ආසන්න වෙද්දීත්, පහල නාය යද්දිත්, දුවල පන බෙිරගන්න ඔින තරම් අවස්ථාව තිබියදීත් එසේ නොකර තමන්ගේ සහෝදර ජනතාව බෙිරගන්න යැයි කියා නාය යාම ගැන මුලින්ම කෑගල්ල ප්‍රාදේශීය ලේකම්ට දැනුම්දුන් ඒ ගමෙි ආර්ථික සංවර්ධන නිළධාරි, ඒ පණිවිඩය කියනවත් එක්කම නාය යන කොටසට වැටී පන පිටින්ම වැළලීයාමෙි සිද්ධිය අමතක කරන්නම බෑ. මොකද තාමත් ඒ වගේ මිනිස්සු මෙි සමාජයෙන් වඳ වෙලා ගිහින් නෑ කියන එකට ඒක හොඳම උදාහරණයක් නිසා. 


නාය යාම සිදුවුනු දාට පහුවදා වෙලාව හරියටම සවස පහයි කාලයි. අනෝරා වැස්සක් වැහැලා පෑව්වා විතරයි. ඒ මුලු කන්දම විශාල ඝන මීදුමකින් වැසීගියා. අපිට ඇහුනේ හරියට චොපර් එකක් පොල් ගස් කරටි වල ගෑවි නොගෑවි යන තරම් පහතින් ගමන් කරන සද්දයක්. ඊලඟට කන්දේ තවත් විශාල කොටසක් නාය යන විදිය සියසින් දැකගන්න අපට පුලුවන් වුනා . ඒ වෙද්දි අපේ භඨ පිරිස්වල කිහිප දෙනෙක් හිටියේ හරියටම ඊට යටින්. නමුත් වාසනාවකට අපේ කට්ටිය  දුවල බෙිරැනා. ඒ කලින්ම කව්රු හරි මෙික දිහා සැකෙන් බලන් හිටපු නිසා. එතනින් පස්සෙ විපතට පත්වූවන් සොයන අපේ අයගෙත් ජීවිතාවදානම ඉහලම ප්‍රතිශතයක් ගත්තා. 


මිය ගිය සහ බෙිරගත්තු අය පහලට ගේන අපේ කොල්ලො ඒ කටයුත්තෙන් පස්සෙ කරන්නෙ පැත්තකට වෙලා භූමිතෙල් ඩීසල් දාල ඇඟ හෝදන එක. සමහරු සබන් උලන එක. ඉන් පස්සෙ බිමට වැටෙන්නෙ කූඩැල්ලන් තලි තලි. ⁣කූඩැල්ලන් කාල ලේ නොගලපු කෙනෙක් ඒ අතරේ හිටියෙම නෑ. වැස්සෙ ලඟට ගිහින් දෙන කෑම එක කෑවෙ කඩාගත්තු හබරල කොලයක් ඉහිලව ගෙන. අපි නම් නොකෑව ගානමයි. දවසට එක වෙිලක් කන්න ඇති. ඇත්තම කතාව කන්න බෑ. අන්තිම හරියෙ මෙි නායගියපු මඩ ගොඩෙි යටවුනු අය හෙව්වෙි ඉනක් තරම් මඩෙි එරි එරී පොලු වලින් බිමට ඇන ඇන ගිහින්. 


මෙි විපත මැද හරියේදි මෙතනට ආපු එවකට අගමැතිතුමත්, හිටපු ජනාධිපති මහින්ද මැතිතුමත් අපිත් එක්ක සුහදව කතාකරල ගියා. අපිව ඉහලින්ම ඇගයූවා. 

  අතීතයක වැළලී ගිය ඒ කතාව නිසා හා දක්වපු කැපවීම අගය කරනු වස් හොඳක් අහල ලැබුනු තුන්වෙනි ලිපියත් මගේ පුද්ගලික ගොනුවට වැටිලා, පෙනි පෙනී තිබී නොපෙනී ගිය නිළයක් ස්ථිර වශයෙන්ම ලැබෙන්න ඒ ලිපියත් හේතුවක් වුනා කියල පස්සෙ ඒකකයෙන් මට දැන්වූවා. ඒ අනුව හරියටම මාස දෙකකුත් දවස් කිහිපයකදි බළලත් නිළධාරි 11 නිළය දක්වා මා උසස්වීම් ලැබුවා.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.15


No comments:

Post a Comment