Friday, October 23, 2020

නූපන් පුතුගෙන්

 ෴නූපන් පුතුගෙන් ෴

==================


සෙනෙහස ආදරය උතුරන  කුසට          ඉබෙි

කරුණා ගුණය දැක තරුකැට අතර     ගැබෙි

සැඟවී පැමිණුනද අාදර මව්නි                ඔබෙි

සුකොමළ සිත් කමලෙ  කලබල ගතිය  තිබෙි


සසරේ පුරුද්දට ආදර පුතෙකු                 ලෙස

පිහිනා සත් සයුරු විත් බැස ගතිමි           කුස

නැතිනම් පුතුට මව් සෙනෙහස පුදන   තොස

මොනවා කරන්නද ආපසු හැරෙනු            මිස


පිය පදවියට බියවී මුලු ලොවට            හොරා

නසනට මාව සිව්බඹ විහරණය                ඉරා

බලකළ අයුරු බැලුවෙමි නෙත් කඳුලු     පෙරා

නුඹ අසලකට නොයෙනෙමි කප තිබෙන තුරා


දස පාරමී පුරමින් නුඹෙ ලොවට             මෙමා

වැඩි ඒ දිනේ දිම එළවන කරුන                කිමා

සඳ රාණියේ පව් පුරවා නොගනු                තමා

සිත මායිමෙන් මම යමි, වෙනු මැනවි       සමා


එරුනොත් මෙමා වෙනුවෙන් සුදු කිරට            ළැම

නැළවිලි ගීතයක් මුමුණා මියුරු                          තම

පවසනු මැනවි උතුරන දරු සෙනෙහෙ              එම

විගසින් ලඟට විත් සිත සනසවමි                     මම


ලැබගනු රිසින් ලඟ භවයක සුව           පාසත්

උණුහුම විඳින්නට පිය පදවියෙ           පෝසත් 

මතුවුන දිනක කවදා හෝ ගති            බෝසත්

එමි එමි විගස එමි මතු සෙවනෙහි      සේසත්


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.10.23


No comments:

Post a Comment