Sunday, August 9, 2020

මුතියන්කට්ටු ගැරඬි හොද්ද

 ඒ මුතියන්කට්ටු පුහුණු පාසලේදී. යුද්දෙ ඉවරවෙලා මාස කිහිපයයි, හමුදාවෙ පටන් ගත්තෙ එක දිගටම කෝස් රැල්ලක්.

"ප්‍රභාකරන් යලි ඉපදේවා" කියල නොසිතුනාමත් නෙමෙි. යුද්දෙ තිබ්බනං හොඳා කියල හිතුනු වාර අනන්තයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. පෙරළුනු පිට හොඳයි කියල අපිත් ලෑස්තිවුනා වැඩෙිට. මාව මෙතනට එව්වෙ  සීසී තුමා මගෙ බෙල්ල කපල. ඒක කලින් කතාවක කිව්වනෙ.


මෙි කෝස් එකක වන අභ්‍යාසයේදි වුනු කතාවක්. මං එතකොට උපදේශකයෙක් විදියට තමා රාජකාරි කලේ. 

 

එදා අපිත් සුපුරුදු පරිදි තියෙන ලට්ට ලොට්ට ටික ලෑස්ති කරගෙන කෝස් එකේ අවසාන එක්සසයිසස් එක වන දවස් හතරක ජංගල් එක යන්න ලෑස්ති වුනා. වැඩි දුරක් නෙමෙි. කඳවුරේ ඉඳලා කිලෝ මීටර් පහක් විතර දුර. අමුතුවෙන් යන්න කැලයක් ඔින නෑනෙ.අපි හිටියෙ කොහොමත් රූස්ස කැලේනෙ. 


මෙිකෙ ප්‍රධාන උපදේශක තුමා හිටියෙ එතකොට මෙිජර් හේවාමාන්න. මගෙ ක්ලාස්මෙිට්. මගෙ ඉස්කෝලෙ බොක්කක්. ඒත් ඉතින් මං කරපු සමහර දේවල් එතුමට ගැලපුනේත් නෑ කියනවනෙ.


මගේ සුපිරි බොක්කක් වෙලා හිටියා තවත් උපදේශකයෙක්. ඒ 1වන ගැමුණු හේවා බළඇණියෙ කෝප්‍රල් රණසිංහ. පොර එස්එෆ් එකේ අවුරුදු දොලහක් ඉඳල ආමි එකෙන් අස්වෙන්න ඒකකයට ඇවිත් ඒකට අනුමැතිය ලැබිල නැතුව නන්නස්තාර වෙලා හිටපු ජෝකර් ඩෑල්ලෙකක්. මගේ පොටෝ කොපියක් කිව්වොත් වඩාත් නිවැරදියි. හොඳ මීටරයක්. හැබැයි මස් වැද්දෙක්. වෙඩි තියල සත්තු මරන්න තහනං උනාට පොර මස් කන එක අතෑරියෙ නෑ. කොකෙකුට හරි කමක් නෑ උගුලක් අටෝනවා. එක්කො වැවෙි මාළුවෙක් හරි බානව.

එදා අපි ජංගල් එක ගිහින් දවසක් ගතවෙද්දි පොර නිකන් මන්දගාමී වෙලා වගේ හිටියෙ.

*කෝපල් ආරච්චි, මාලුවෙක්වත් බාමුද බං. මෙලෝ රහක් නෑනෙ.

*පිස්සුද බං සත්තු මරන්ඩ. ඔන්නොහෙ දෙන දෙයක් කාල හිටාං පැත්තකට වෙලා කියල  අහන අහන පාරට කොච්චර කිවුවත් මෙික පොරට හරියන්නෙම නෑ. අහන්නෙම දැලක්වත් දාමුද බං කියල.

*මටත් කියල කියලම එපා වෙලා හිංද තොට ඔින මගුලක් කරගනින් කියල සද්ද නැතුව හිටියා. කෝස් එක  රෙෂන් මලු අරං ජංගල් ගියාට උපදේශක  අපිට  කෑම්ප් එකෙන් කෑම එවනව. නිකන්මත් නෙමෙි ඇති තරමට. අපිත් ඉන්න ගානට වඩා වැඩිපුර කෑම මුල් කිහිපයක් බැඳන් තමා එන්නෙ. ඒ අධික මහන්සියට  වැඩිපුර බඩගිනි හැදෙන නිසා.


එදා ඇති හවස තුනට විතර. කෝප්‍රල් රණසිංහ මට කතාකරල,

*මචං මං කෑම්ප් එකට ගිහින් එන්නං. වතුරයි කෑමයි අරං

මාත් "හා" කියල උපදේශක නිළධාරියෙකුගේ අනුමැතියත් අරන් දීල රණසිංහයව අපේ එකම සම්පත වුනු ටැට්ටරේට දාල කෑන් ටිකත් පටවල යැව්වා වතුරයි කෑමයි ගේන්න.

ඒත් ඒක පැයෙන් එකහමාරෙන් එන්න පුලුවන් ගමනක් වුනත් හය වෙද්දිත් මිනිහ නෑ.

මං හිතුවෙ ඇතුලට ගිහින් මහන්සියට හාංසියක් දාල ඉද්දි එහෙම්මම නින්ද ගිහින්වත් ඇති කියල. මාත් ඔහොම එක එක සිතිවිලි සමුදායක ගිලී ඉද්දි ඈතින් ඇහුනා ටැට්ටරේ එන සද්දෙ. හිතටත් ටිකක් සැනසීමක් ආව මගේ බොක්කා එන බව ඇහුනු හිංද. මොකද මාත් බඩු ටිකත් බලාගෙන මෙතනට වෙලා අධික පාලුවෙන් හිටියෙ. ඒ මා ඇතුලු කන්ඩායමට හෙට පාන්දර තුනට ජංගල් එක්සසයිස් එකක් තියෙන නිසා ටිකක් රෙස්ට් කරන්න.

මෙයා අපිට කෑමත් පාර්සල් කරගෙන ඒ ටික පහ පහ ගානෙ සිරි සිරි මලුවල දාගෙන එක ඇඟිල්ලේ කවර එක එක එල්ලගෙන මං ළඟට ඇවිත්..

*ගනින් කෝප්‍රල් මෙි ටික.

*අඩෝ ඔහොමද සීනියර් කෝපල්ට කතා කරන්නෙ. කියල කියන ගමන් මාත් ළඟට ගිහින් උගේ ඇඟිලිවල එල්ලගෙන හිටපු කවර ටික මගේ ඇඟිලිවල පටලෝගෙන බෙිස් එකට අරං ආවා. ඒ අස්සෙ මූ මා දිහා මහා අමුතුවකට කීප සැරයක් බැලුවත් මූත් ජෝකරයෙක් හිංද මං ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. පස්සෙ අපි දෙන්නම ගිහින් හොද්දක් හදල තිබුනු පොඩි ඩිකිස් එකකුයි වතුර කෑන් ටිකයි බෙිස් එකට ගෙනාවා.

ඔහොම ඉද්දි තමා ට්‍රෙිනින් වලට ගිහින් හිටපු අපේ නිළධාරි දෙ⁣න්නෙක් සහ අපේ තව පස් දෙනෙක් ආවෙ. සීඅයි සහ අනෙක් නිළධාරින් හවස කඳවුරට යනව. ඉතුරු වෙන්නෙ මෙි නිළධාරි දෙන්නයි අපේ කොල්ලො ටිකයි. කොල්ලො ටික කිව්වට අනිත් අය ට්‍රෙිනින් එකකට ගිහින් හිටියෙ. එයාල වෙනම තැනක ඉන්නෙ. පස්සෙ රණසිංහයා බෙිස් එකට ආපු ඔෆිසර්ලා දෙන්නට;

*සර්..ආඳෙක් ඇල්ලුවා. කන්න කලින් කියන්ඩ කියල මූ කිව්වා.

*යකෝ උඹ වතුර ගෙන්න ගිහින් මාලු අල්ලන්නත්  ගියාද?. මාර පොරක්නි.

*නෑ. ගොඩ ආඳෙක්. ඒක තමා ඩිකිස් එකේ නැටෙව්වෙ.

මාත් ඔික වැඩිය ගනන් ගත්තෙ නෑ.

අපිත් ටෝච් එල්යෙන් මුතියන්කට්ටු වැවෙි ඉහත්තාවෙන් කාණ්ඩෙ කාණ්ඩෙ ගිහින් හිමින් සැරේ නාගෙන ඇවිත් රෑ නවයට විතර ලන්තෑරුම් සහ පැට්ටෝල් මැක්ස් එලියෙන් ඉන්න ඉන්න තැන්වල ඉඳන් ආසම වියායාමයට සුදානම් උනා. ඒ කිව්වෙ කෑම කන්න.

මෙි වෙලාවෙ  ඩිකිස් එකේ බාගයක් කාලක් විතර පිරෙන්න උයාගෙන ඇවිත් තිබූ ගොඩ ආඳන් මාලුවෙන් කෑල්ල කෑල්ල අපිට රණසිංහයම බෙදල ඔිනද කියල අහල ඉස්මත් තියෙන විදිහට ටික ටික බෙදුවා.

ඇත්තටම රහයි. අපරාදෙ කියන්න බෑ. කොල්ලෙක් උනත් රහට උයල.කොහොමත් ආමි අපිට උයන්න පුලුවන්. 

මයෙ අප්පේ ලුනු මිරිස් ඇඹුල් ගානට දාල සුපිරියට හදල තිබුනු ඒ හොද්ද එක්ක විතරක් අපි පස්දෙනෙක් කෑම මුල් අටක් කෑවා. අපිට එහෙම කෑම වැඩිපුර ගේන්න පුලුවන්. උදේ ඉඳන් ට්‍රෙිනින් වලට සහභාගි වෙලා දුවල පැනල කෑ ගහල හවස් වෙද්දි හොඳටම හෙම්බත් වෙලා ඉන්නෙ. කෑම එකක් නෙමෙි මටනං තුනක් හතරක් කියන්නෙත් සුලු දෙයක් තමා. ඒ වෙලාවෙ හිටපු සර්ල දෙන්නයි අපියි  කාල ඉවර වෙලා මුගේ හොද්ද ගැනත් වර්ණනා කරලා ග්‍රවුන් ශීට් එකත් එලාගෙන ඉස්මුරුත්තාවට එනකං පිරිච්චි බඩත් පැත්තකට ඇල කරගෙන  වැතිරුනේ පාන්දර තුනට ඇහැරෙන්න තියෙන හංද. ඒ තවත් පුහුණු කටයුත්තක් තියෙන නිසා. අපි දෙන්නත් තරු පිරි අහස දිහා බලාගෙන එක එක වල්පල් කුනු හරප ආදිය කතා කර කර හිටියා. අනික්වුන්ට හොදටම නින්ද ගිහින්. සමහරු  ගොරොද්දෙත් අදිනව. සර්ලා දෙන්න වෙනම තැනක නිදි.

මා ගාවින්ම ඇලවෙලා හිටපු රණයා;

*කෝප්‍රල් ආඳා රහයිද.

*මරු බං. තිබ්බනං තව කනවා.

*ඒ ආදෙක් නෙමෙි. ගොඩ ආඳො කියල ජාතියක් ඉන්නවෑ බං 

*එහෙනං අර මොකාද හොද්දෙ නැටෙව්ව කිව්වෙ එතකොට.

*ගැරඬියෙක් කියල මූ හයියෙන් හිනාවුනා...

*මොනාහ්හ්හ්?? ගැඬරියාහ්??? තොගෙ අප්පට හුක්.. කියාගෙන මං ඌ ඉන්න පැත්තට වෙිගෙන් හැරුනෙ මුගේ බෙල්ල මිරිකන්න. ඒත් එස්එප් කුවික් කියනවනෙ. මං හැරෙනකොට මූ නැගිටල අහකට පැනලත් ඉවරයි.

*තෝ එව්වද යකෝ අපිට කැව්වෙිහ්???

*ඔි.. කියල මූ ආයෙ හක හක ගාල හිනාවෙනව.

ඒක ඇහිච්චි සෙන්ට්‍රි හිටපු එවුන් දෙන්නා ළඟ තිබ්බ පලු ගස් දෙකක් බදාගෙන "ඔික්" ගාද්දි,  නින්ද ගිහිං හිටපු එකෙකුට ඔික ඇහිල බුදියගෙනම ඔික් ගෑවා. ඒක ඇහිච්චි තව එකෙක් දෙන්නෙක් කෑවෙ මොනාද ,උනේ මොනාද කියලවත් දන්නැතුව අරූ වමනෙ කරන සද්දෙට  ඉන්න ඉන්න තැන්වලම ඉඳගෙන වමනෙ දාන්න හදනව. මටත් මහ අප්පිරියාවක් ආවත් මූට ගානක් නෑ. 

ඒ අස්සෙ එකෙක්..

*අම්මප ටුවක්කුව තිබ්බනං තොට වෙඩි තියනව යකෝ...ඔික් ඔික්...බ්ලෑක්..

*මොකද මොකද කෝපල්ලා.. නිදාගන්න දෙන්නැතෙයි...සර් කෙනෙක් අහනව.

*සර්රුත් ගැඬරිමස් බුදල බුදල සද්ද නැතුව නිදි නේහ්??  බ්ලෑක්.. බ්ලෑක්...ඒ තව එකෙක්

*කව්ද යකෝ ගැරඬි කෑවෙ..

*මෙි රණය කැවේවෙ සේර්... බ්වෑක් ඔික්..

එක සර් කෙනෙක්..

*ආ.. ඒකට මක් වෙනවද.. කියල අනික් පැත්ත හැරිල නිදාගන්න හදද්දි "කව්ද යකෝ ගැරඬි කෑවෙ" ඇහුව සර් බිවැක් එකත්(කැලේ සෙබළුන් විසින් හදන පොඩි කූඩාරම් විශේෂයක්) ගලෝගෙන ඇඟේ ඔතාගෙනම නැගිටල පැත්තකට දුවල

*බ්ලෑක් බුවෑක් ඔික්...

මෙි අස්සෙ අපිටත් කලින්ම කාල කලින්ම නිදාගත්තු කනපල්ලෙ තියල ආටි ගැහුවත් ඇහැරෙන් නැති බෙිබදු ගුණෙයයි හේරතුයි මෙලෝ දෙයක් දන්නැතුව තාම නිදි.

රණයා හයියෙන් හක හක ගගා හිනාවෙනව.


අපිත් මූට බැනල බැනල නිදාගත්තට කව්රුත් වමනෙනං දැම්මෙ නෑ. ඒකටම හරියන ඔෆිසර්ස්ලා දෙන්නෙක් තමා අපිටම ඉතුරුවුනෙත්.(මෙි දෙන්නත් කෝප්‍රල් රෑන්ක් එකේ ඉඳලා කමිෂන් ගියපු දෙන්නෙක්) 

අර ගානක්වත් නැතුව හිටපු සර් බිවැක් එක අස්සෙ ඉඳගෙනම;

*ඇත්තට කොහොමද බං හැදුවෙ එහෙම.

මූ විස්තරේ කිව්වා.  මූ නාන්න යන්න රෙදි ගන්න බිලට් එකට යද්දි ගැඬරියා  බිලට් එකේ ඉඳල තියෙන්නෙ. මූ ඌව අල්ලගෙන ඔලුවෙ ඉදන් අඟල් හයයි, නැට්ටෙ ඉඳන් අඩියයි කපල මැටි අනල හොඳට ගාල ගින්නෙ තම්බල පොතු ඇරල හොද්ද ගහල තියෙන්නෙ. මම බළල් මස්, මීමිනි මස් හා මස් කොක් මස් කාල තිබුනත් එස් එෆ් කෝස් දෙකක් කරලත් ගැරඬිමස් කෑවෙ එදා. කෑවෙ නෑ. අරූ කැව්වා. 

එස්එෆ්නෙ. පත්තෑයෙක් අහුවුනත් ඇති. එදා ඉඳන් මූ ලුනු මිරිසක් හැදුවත් හොඳට හොයල බලල ඉඹලත් බලල තමා මන්නං  කෑවෙ. නැත්තං මූ දවසක අපිවත් දන්නැතුව අපේ ගාතයක් උයල දෙයි අපිටම කාපිය කියල. ඒතරං පොර.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි.

2020.08.09

No comments:

Post a Comment